Tuesday, April 24, 2018

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 13

Input Resistor – RIN

සමහර පරිපථවල ඔබ දැක ඇති මයික් එක ඉන්පුට් කැපෑසිටරයට සවි වන්නට පෙර ශ්‍රේණිගත රෙසිස්ටරයකට සම්බන්ද කරනවා. මයික් එක කන්ඩෙන්සර් වුවත් ඩයිනමික් වුවත් ඊට වෙනසක් නැත. මා ඇඳ ඇති පරිපථවල එවැන්නක් යොදා නැත. ඇත්තටම මයික් පමණක් නොව, පරිපථයට සංඥා ඇතුලු කරන ඕනෑම සෙන්සරයක්/උපාංගයක් ඇති අවස්ථාවක් වුවද ගත හැකිය. මෙම රෙසිස්ටරය සාමාන්‍යයෙන් input resistor (RIN) ලෙස නම් කරනවා.


මෙම රෙසිස්ටරය සංඛේතවත් කරන්නේ කැපිටල් අකුරිනි. rin ලෙස සිම්පල් අකුරින්ද යම් ඉන්පුට් රෙසිස්ටරයක් අපට හමු විය. මේ දෙක එකිනෙකට වෙනස් දෙකක්ය. (කැපිටල් සිම්පල් භේදයේ වැදගත්කම නිතරම නිතර මතු වෙනවා නේද?) rin යනු පසුඅධියරයක ඉන්පුට් රෙසිස්ටන්ස්/ඉම්පීඩන්ස් අගය වේ. එයම අවශ්‍ය නම් zin ලෙසද දැක්විය හැකිය (සම්බාදකය හෙවත් ඉම්පිඩන්ස් සංකේතවත් කරන්නේ ඉංග්‍රිසි ඉසෙඩ් අකුරිනි). සාමාන්‍යයෙන් මෙම rin/zin යනු සූත්‍රයක් සුලු කිරීමෙන් ගණනය කර ලබා ගන්නා අගයක් වේ. එහෙත් RIN යනු අප විසින් පිටින් යොදන නිෂ්චිතවම/ඇත්තටම අපට ස්පර්ශ කළ හැකි රෙසිස්ටරයකි.

මෙවැනි රෙසිස්ටරයක් සවි කිරීමට හේතුව කුමක්ද? හේතුව හෝ හේතු දැනගත් විට එවැනි රෙසිස්ටරයක් අවශ්‍ය වෙලාවට දැමීමටත්, අනවශ්‍ය වෙලාවට නොදැමීමටත් ඔබට තීරණය කළ හැකියි (අනෙක් පරිපථවල එය තිබෙන නිසා තමනුත් කරන්නම් වාලේ නොකර). සමහර පොත්වල කියන්නේ එය වෝල්ටියතාව (සංවේදකයෙන් නිපදවන සංඥා වෝල්ටියතාව) සංඥා ධාරාවක් බවට පත් කිරීමට යොදා ගන්නා බවයි.

සටහන
වෝල්ටියතාවක් ඊට අනුරූප ධාරාවක් බවට පත්කර ගන්නේ රෙසිස්ටරයක් මඟිනි. එහි විරුද්ධ දේ, එනම් ධාරාවක් ඊට අනුරූප වෝල්ටියතාවක් බවට පත්කර ගන්නේද රෙසිස්ටරයක් මඟිනි.

මෙසේ සිතා බලන්න. යම් සංඥා උත්පාදක උපාංගයක අග්‍ර දෙකේ පිහිටන්නේ වෝල්ටියතාවක්නෙ. එම අග්‍ර දෙක කෙලින්ම එකිනෙකට ෂෝට් කළොත් න්‍යායාත්මකව එහි “අනන්ත” ධාරාවක් ගලා යයි (ශූන්‍ය ප්‍රතිරෝධය නිසා). එහෙත් ඔබ දන්නවා අනන්ත ධාරාවක් කියා දෙයක් තිබිය නොහැකියි; ඒ වෙනුවට ඉතා අධික ධාරාවක් ගලා ගොස් පරිපථය පිලිස්සී යයි. තවදුරටත් සිතුවොත් පෙනේවි අනන්ත ධාරාවක් වෙනුවට අධික ධාරාවක් ගලා ගියේ ඒ පරිපථ මාර්ගයේ තිබූ ඉතා කුඩා ප්‍රතිරෝධය නිසා බව (ප්‍රායෝගිකව සුපිරිසන්නායක හැරෙන්නට සෑම විද්‍යුත් සන්නායකයකම යම් ප්‍රතිරෝධයක් තිබේ). ඒ කියන්නේ වෝල්ටියතාව එතැනත් ධාරාවක් බවට පත් වූයේ පථය පුරා පැතිරී තිබූ (ස්ට්‍රේ) ප්‍රතිරෝධය නිසාය. ඉතිං, අපට අවශ්‍ය ප්‍රමාණය දක්වා ධාරාව පවත්වා ගෙන යෑමට අප කළ යුත්තේ සුදුසු අගයකින් යුතු ප්‍රතිරෝධයක් සවි කිරීම නේද? ඒ කියන්නේ ප්‍රතිරෝධය විසින් වෝල්ටියතාව ඊට අනුරූප ධාරාවක් බවට පත් කර ඇත.



ධාරාවක් මඟින් වෝල්ටියතාවක් බිහි කරන ආකාරය තේරුම් ගැනීමට ඊටත් වඩා පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. ඔබ දන්නවා යම් ප්‍රතිරෝධකයක් හරහා ධාරාවක් ගලා යන විට, එම ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටියතාවක් පාතනය/ඩ්‍රොප් වෙනවා, V = IR සූත්‍ර ප්‍රකාරව.


ඇත්තෙන්ම, කෙටියෙන්ම බැලුවොත් ඉහත අවස්ථා දෙකේදීම බලපැවැත් වූයේ ඕම් නියමයි. වෝල්ටියතාවක් ධාරාවක් බවට පත් කරන අවස්ථාවේදී එය I = V/R යන ස්වරූපයෙන්ද, ධාරාවක් වෝල්ටියතාවක් බවට පත් කරන අවස්ථාවේදී එය V = IR යන ස්වරූපයෙන්ද සැලකීමට සිදු වේ.

ඉහත සටහන අනුවද බැලූබැල්මට එම එම පොත්වල තිබෙන ප්‍රකාශය සාධාරණ බව පෙනේ. එහෙත් එයම නොවේ සත්‍යය. සංඥාව උත්පාදනය කරන සෙන්සරය ප්‍රායෝගික උපාංගයකි. එහි හැමවිටම යම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් පවතී. ඒ කියන්නේ සෙන්සරය ඇතුලේ දැනටමත් යම් ප්‍රතිරෝධකයක් තිබෙනවා සේ සැලකීමට සිදු වේ. එවිට, යම් උපාංගයක් එහි අග්‍ර දෙකට පහත ආකාරයට සම්බන්ද කරන විට, අර අභ්‍යන්තර ප්‍රතිරෝධය RS ලෙස නිරූපණය වන නිසා, එමඟින් සංඥා වෝල්ටියතාව සංඥා ධාරාවක් බවට පත් වී ඇත.

මෙතැන තිබෙන බරපතල කාරණාව වන්නේ සෙන්සරයේ ඉම්පීඩන්ස් අගය (එනම් RS අගය) හා එය සවි වන පසුඅධියරයේ ඉන්පුට් ඉම්පීඩන්ස් අගය අතර ගැලපීමේ ප්‍රශ්නයකි; සිදු විය හැකි සංඥා විකෘතියකි. එය මෙසේ පැහැදිලි කර ගත හැකිය.

සෙන්සරයේ ඉම්පිඩන්ස් අගයට වඩා බොහෝ සෙයින් පසුඅධියරයේ ඉම්පිඩන්ස් අගය විශාල යැයි සිතන්න (වඩා හොඳින් පැහැදිලි වීම පිනිස RS = 0 ලෙස වුවද සැලකිය හැකිය). සාමාන්‍යයෙන් සෙන්සරයෙන් ජනිත වන සංඥා වෝල්ටියතාව තීරණය වන්නේ සෙන්සරයේ සංවේදිතාව මතය. එය පසුඅධියරය මත තීරණය නොවේ. එහෙත් එම වෝල්ටියතාව දැන් ධාරාවක් බවට පත් වන්නේ පසුඅධියරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් අගය මඟිනි. මොහොතකට සිතමු (මිලිතත්පරයක හෝ එවන් කුඩා කාලයක් තුල) සෙන්සරයෙන් ජනිත වන්නේ වෝල්ට් 1ක නියත වෝල්ටියතාවක් කියා.

ඉතිං, මෙම පසුඅධියරයේ ඉන්පුට් ඉම්පීඩන්ස් අගය දිගටම (දළ වශයෙන් හෝ) ස්ථාවරව/නියතව පවතින්නේ නම්, හා මෙම ඉම්පිඩන්ස් අගය ඔම් 100ක් නම්, සංඥා ධාරාව වන්නේ 1V/1ooΩ = 10mA වේ. ඒ අනුව, සංඥා වෝල්ටියතාව කාලයත් සමඟ නියතව පැවතියත් හෝ විචලනය වුවත්, එම සංඥා වෝල්ටියතා හැඩයම සහිත සංඥා ධාරාවක් ලස්සනට ඇති වේ


එහෙත් කුමක් හෝ හේතුවක් නිසා, (අර මිලිතත්පරයක කාලය තුලදීම) පසුඅධියරයේ ඉම්පීඩන්ස් අගය ඔම් 125 හෝ වෙනත් අගයක් බවට පත් වූයේ නම්, දැන් සංඥා ධාරාව 1V/125R = 8mA වේ. ඒ කියන්නේ එකම සංඥා වෝල්ටියතාවට දැන් වෙනස් සංඥා ධාරා දෙකක් ලැබී තිබෙනවා සංඥාවේ පාලනයෙන් තොරව හා පසුඅධියරයේ ඉම්පීඩන්ස් අගය වෙනස්වීම නිසාම. බලන්න මිලිතත්පරයක කාලය තුල සංඥා වෝල්ටියතාව එකම මට්ටමේ (නියතව) පැවතියත්, ඊට අනුරූප සංඥා ධාරාවද එම කාල සීමාව තුල එකම මට්ටමකින් පැවතිය යුතුව තිබුණත්, දැන් එය මට්ටම් දෙකක් ලෙස ඇත; එය විකෘතියකි.


ඉතිං, කාලයත් සමඟ විචලනය වන සංඥා වෝල්ටියතාවේම හැඩය සහිත සංඥා ධාරාවක් දැන් ලැබෙන්නේ නැත. බයිපෝලර් ට්‍රාන්සිස්ටරය වැනි ධාරාවෙන් පාලනය වන උපාංගයකට එය සංඥාව විකෘති වීමකට මඟ පාදයි (ඒ කෙසේද යත්: එම විකෘති බේස් ධාරාව වර්ධන වීමෙන් විකෘතිය සහිතව කලෙක්ටර් ධාරාවක් ඇති වී, එම විකෘති කලෙක්ටර් ධාරාව කලෙක්ටර් රෙසිස්ටරය හරහා යන විට විකෘති වූ වෝල්ටියතාවක් බවට පත් වේ). පහත රූපයෙන් දැක්වෙන්නේ වෝල්ටියතා හැඩයට වඩා ධාරා හැඩය තරමක් වෙනස් වීමයි. සැබෑ සංඥාව යනු වෝල්ටියතාව නිසා, එම වෝල්ට්යතා හැඩයෙන් ධාරාවේ හැඩය වෙනස් නිසා එතැන විකෘතියක් නේද තිබෙන්නේ?


මෙම විකෘතිය ඇති වන්නේ සෙන්සරය සවි කර ඇති පසුඅධියරයේ ඉන්පුට් රෙසිස්ටන්ස්/ඉම්පීඩන්ස් අගයත් කාලයත් සමඟ විචලනය වන විටයි.

ඇත්තටම මෙය ට්‍රාන්සිස්ටර් තුල සිදු වෙනවානෙ. මතක් කර බලන්න කොමන් එමිටර් වින්‍යාසයේදී ඉන්පුට් රෙසිස්ටන්ස් අගය (β+1)re වන අතර, මෙහි β නියතයක් වුවත් re යනු එමිටර්/කලෙක්ටර් ධාරාව අනුව විචලනය වන්නකි. ට්‍රාන්සිස්ටරයේ බේසය මතට යම් සංඥා ධාරාවක් යොමු කළ විට, ධාරා වර්ධනය නිසා ඊට වඩා සිය ගණනක් විශාල ධාරාවක් එමිටරය හා කලෙක්ටරය හරහා ගමන් කරනවානෙ. එ් කියන්නේ, සංඥාවට අනුරූපව බේස් ධාරාවද, බේස් ධාරාවට අනුරූපව කලෙක්ටර් ධාරාවද විචලනය වන නිසා, සංඥාවට අනුරූපව එමිටර් ධාරාව නිරන්තරයෙන්ම විචලනය වෙනවා; එවිට ඉබේම ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් එකත් වෙනස් වෙනවා (re = 25/IE නිසා). ඒ කියන්නේ ඉහත විකෘතිය ඇති වෙනවා.

ඉතිං, මෙම විකෘතිය නැති කිරීමට බැරි වුවත් අපට අවශ්‍ය ප්‍රමාණයට අවම කළ හැකියි අනිවාර්යෙන්ම. මේ සඳහා කළ හැකි හොඳම දේ වනු ඇත්තේ පසුඅධියරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් එකට වඩා ඉතා වැඩි අගයක් සෙන්සරයේ ඉම්පිඩන්ස් එකේ තිබීමයි (පෙර අවස්ථාවේදී මෙන්, මෙහිදී පසුඅධියරයේ ඉම්පිඩන්ස් අගය 0 ලෙස සලකමු). එවිට, සංඥා වෝල්ටියතාව සංඥා ධාරාවක් බවට පත් වන්නේ සෙන්සරයේම අභ්‍යන්තර ප්‍රතිරෝධයෙනි. එම ප්‍රතිරෝධ අගය අර වගේ විචලනය වන්නක් නොවේ. මෙවැනි අවස්ථාවක් ධාරා ප්‍රභවය (current source) ලෙස හැඳින්වේ.

සටහන
current source හා voltage source (වෝල්ටියතා ප්‍රභව) යනුවෙන් සංකල්ප දෙකක් පවතී. සැබැවින්ම ඒවා සංකල්පම නොව ප්‍රායෝගිකව නිර්මාණය කර ගත හැකි උපක්‍රම වේ. අයිසී නිර්මාණයේදී බහුලවම භාවිතා වුවත්, සාමාන්‍ය පරිපථ නිර්මාණයේදීද ප්‍රයෝජනවත් උපක්‍රම දෙකකි.

කරන්ට් සෝස් එකක් යනු, ඊට සම්බන්දව ඇති පසුඅධියරයේ ඉම්පිඩන්ස් අගය නියත නොවී විචලනය වුවත්, කරන්ට් සෝස් එකට ඉන් කිසිදු බලපෑමක් ඇති කර නොගෙන තමන් විසින් පිට කරන ධාරා ප්‍රමාණය ඒ විදියටම පිට කරන උපක්‍රමයකි.

මෙම හපන්කම කරන්නට හැකි වන්නේ කරන්ට් සෝස් එකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පසුඅධියරයේ ප්‍රතිරෝධයට වඩා ඉතා අධිකව වැඩි වන විටයි (සෛද්ධාන්තිකව ගත් විට අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තය වන විටයි). මේ පිළිබඳ විස්තරයක් තමයි මොහොතකට පෙර සිදු කළේ.

එලෙසම, වෝල්ටේජ් සෝස් එකක් විසින් පසුඅධියරයේ ඉම්පීඩන්ස් අගය විචලනය වුවත්, තමන් විසින් පිට කරන වෝල්ටියතා ප්‍රමාණය ඒ විදියටම පිට කරයි. වෝල්ටේජ් සෝස් එකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පසුඅධියරයේ ප්‍රතිරෝධයට වඩා අධිකව අඩු විට (සෛද්ධාන්තිකව ගත් විට, අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වන විට), වෝල්ටේජ් සෝස් එක මතු වේ.

මේ දෙකම ගැන පසුවට වැඩි විස්තර සහිතව සාකච්ඡා කෙරේ. මේ දැන් සිදු කළේ මේ උපක්‍රම දෙක මතක තබා ගත යුතු හොඳම කෙටිම ක්‍රම දෙක කියා දීම පමණි.

එහෙත් ඉහත පැවසූ විසඳුමත් (එනම්, මයික් එක කරන්ට් සෝස් එකක් ලෙස ක්‍රියාත්මක වීම) ප්‍රායෝගිකව හරි යන්නේ නැති වන්නට පුලුවන්. ඊට හේතුව අප දන්නවා පෙරඅධියරයෙන් යම් සංඥා වෝල්ටියතාවක් පසුඅධියරයට ලබා දීමට අවශ්‍ය නම්, පෙරඅධියරයේ අවුට්පුට් රෙසිස්ටන්ස් අගයට වඩා පසුඅධියරයේ රෙසිස්ටන්ස් අගය ඉතා විශාල විය යුතුයි. එහෙත් සංඥා විකෘතිය නැති කිරීමට යෑමේදී සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. ඒ කියන්නේ සංඥා වෝල්ටියතාවෙන් ඉතාම ඉතා කුඩා කොටසක් පමණයි දැන් පසුඅධියරයට යන්නේ. එය පිලිගත නොහැකි තත්වයකි. එය පිලිගත හැකි ක්‍රමයක්ද තිබෙන අතර, ඒ ගැන පසුවට බලමු.

ඒ අනුව, එම අන්ත දෙකේ අතරමැදි අවස්ථාවක් අපට තෝරා ගැනීමට සිදු වෙනවා. සමහරෙකු එම අතරමැදි අවස්ථාව ලෙස ගෙන තිබෙන්නේ සෙන්සරයේ සම්බාදක අගය හා පසුඅධියරයේ සම්බාදක අගය සමාන වන අවස්ථාවයි. එය ඉම්පිඩන්ස් මැචිං සංකල්පයටම සමාන වේ. එය පිලිගත හැකි විසඳුමකි. මෙවිට දළ වශයෙන් අඩුම ගානේ 50%කින්වත් වෙන්නට තිබෙන විකෘතිය අවම වේ. ඊටත් වඩා විකෘතිය අවම කිරීමට අවශ්‍ය නම්, පසුඅධියරයේ ඉම්පිඩන්ස් අගය තවත් අඩු කළ හැකිය. ඔබ දැන් දන්නවා, පසුඅධියරයට ප්‍රමාණවත් තරම් ප්‍රබලතාවකින් ඉන්පුට් සංඥාව උකහා ගත හැකි නම්, පසුඅධියරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් අගය අඩු වූවාට එතරම් ගැටලුවක් නැත. ඉතිං, අවස්ථාවේ හැටියට ගණනය කර ඔබට එය තීරණය කළ හැකියි.

යම් යම් ක්‍රම මඟින් පසුඅධියරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් අගය අපට අවශ්‍ය පරිදි විචලනය කළ හැකියි. එමඟින් සංවේදකයේ ඉම්පීඩන්ස් අගයට සමාන හෝ ගැලපෙන අගයක් ඇති කළ හැකියි. එහෙත් මෙහිදී සමස්ථ ට්‍රාන්සිස්ටරයේම අගයන්ද ඒ සමඟම වෙනස් වේ. එය කරදරකාරී වැඩක් විය හැකියි. තවද, සෙන්සරයේ ඉම්පීඩන්ස් අගය අපට වෙනස් කළ නොහැකිය; එය නිෂ්පාදනය කරන විටම බොහෝවිට තීරණය වී ඇත. එහෙත් එම සෙන්සරයට පිටතින් ශ්‍රේණිගතව සම්බන්ද කරන රෙසිස්ටරයක් මඟින් සෙන්සරයේ ඉම්පීඩන්ස් අගය “කෘත්‍රිමව” වෙනස් කළ හැකියි ඉතා පහසුවෙන්ම.

ඒ ආකාරයෙන් සංඥා විකෘතිය අවම කිරීමට ඉන්පුට් රෙසිස්ටරයක් යෙදීම ඉතා පහසු දෙයකි. එහෙත් ඉන් ඇති වන අවාසියක්ද ඇත. එනම්, සංඥාවෙන් පිට වන ධාරා ප්‍රමාණය අඩු වේ (ඔබ දන්නවා විදුලිය ගමන් කරන මාර්ගයේ/පථයේ ප්‍රතිරෝධය වැඩි වන විට, ඊට සමානුපාතිකව ධාරාව අඩු වේ). ඉන්පුට් වන ධාරාව අඩු වන විට, එම බලපෑමෙන් අවුට්පුට් ධාරාවද අඩු වේ. ඒ කියන්නේ සමස්ථ ට්‍රාන්සිස්ටරයේ ගේන් එක අඩු වීමක් ලෙස එය සැලකීමට සිදු වේ. ඊට කරන්නට දෙයක් නැත. විකෘති සංඥාවකින් අපට ප්‍රයෝජනයක් නැහැනෙ (හරියට ලෙඩා මලත් බඩ සුද්දයි වගේ තත්වයක් අපට අවශ්‍ය නැත).

ඇත්තටම ස්මෝල් සිග්නල් ට්‍රාන්සිස්ටරයක්/පරිපථයක් සඳහා ඉහත විස්තර කළ සංඥා විකෘති වීමේ ගැටලුව ඉතා අල්ප වේ. ඊට හේතුව සංඥා ස්මෝල් (කුඩා) වීමම තමයි. ඉන්පුට් සංඥාව නිසා ඇති වන වර්ධිත කලෙක්ටර් ධාරාවේ විචලනය නියත නිවාත ධාරාවට වඩා ඉතා කුඩා වේ. ඉතිං, එමිටර්/කලෙක්ටර් ධාරාවේ සුලු විචලනය විසින් ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් එක වෙනස් කරන්නේ ඉතා අල්ප වශයෙනි. එය විකෘතියක් ඇති කරන මට්ටමක බොහෝවිට නැත. කෙසේ වෙතත්, 10%ක් හෝ ඊට අඩු හෝ වැඩි ප්‍රමාණවලින් විචලනයක් ඇති කරයි නම්, එතැන ගැටලුව සැලකිල්ලට ගත යුතු තරමේ එකකි; එනම් ඉන්පුට් රෙසිස්ටරයක් සවි කිරීමට සුදුසු අවස්ථාවකි.

ඉන්පුට් රෙසිස්ටරයක් දැමීමට සුදුසු තවත් අවස්ථාවක් ඇත. එනම්, පසුඅධියරය බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා ප්‍රබල සංඥාවක් ඊට ඇතුලු වන වන විටයි. මෙවැනි ප්‍රබල සංඥාවක් නිසා ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් එකට ඉතා විශාල ධාරා ප්‍රමාණයක් ඇතුලු වෙවි. එමඟින් සමහරවිට සංඥා විකෘතියක් ඇති විය හැකිය. එය වැලැක්විය හැකියි ඉන්පුට් රෙසිස්ටරයක් දැමීමෙන්. එවිට, මොහොතකට පෙරත් පැවසූ ලෙස, සංඥා ධාරා ප්‍රමාණය කුඩා වේ. මෙය සංඥා හායනය කිරීමකි (signal attenuation).

සංඥාව ප්‍රබල මට්ටමින් ඇතුලු වීමෙන් ඇති වන සංඥා විකෘති ඔබ ඕනෑ තරම් අත්විඳ තිබෙනවා. සමහර වෙලාවට ඔබ අදාල උපකරණයේ වොල්‍යුම් එක අඩු කරනවා එම කඨෝර ඝෝෂාකාරී විකෘති ශබ්දය අඩු කිරීමට.

ඉන්පුට් රෙසිස්ටරයක් යොදන තවත් අවස්ථාවක් තිබෙනවා කලෙක්ටර් ෆීඩ්බැක් බයසිං ක්‍රමය යොදා ගන්නා විට. එම පාඩමේදී මේ ගැන මා වැඩිදුරටත් විස්තර කරන්නම්.
සමහර පරිපථවල ඉන්පුට් රෙසිස්ටරයක් යෙදීමට ඉහත සඳහන් කළ හේතු හැරෙන්නට තවත් හේතු/අවස්ථා මතු වන්නට හැකිය.

2 comments:

  1. මයික් වල gain එක කියන්නේ මොකද්ද? gain එකෙයි volume එකෙයි තියෙන වෙනස මොකද්ද?

    ReplyDelete
    Replies
    1. හරියටම බැලුවොත් මයික් එකට ගේන් එකක් කියා දෙයක් නැත. සෑම මයික් එකක්ම යම් ප්‍රීඈම්ප් එකකට මුලින්ම සෙට් වේ. ප්‍රීඈම්ප් එකෙන් කරන්නේ මයික් එකෙන් නිපදවෙන ඉතා කුඩා වෝල්ටියතා සංඥාව තරමක ඉහල වෝල්ටියතා සංඥාවක් බවට වර්ධනය කිරීමයි. එය තමයි ගේන් එක කියන්නේ. එය ඇත්තටම වෝල්ටියතා ගේන් එකයි (මීට අමතරව ඉලෙක්ට්‍රොනික්ස්වල ධාරා ගේන් එක ජව ගේන් එක කියා දෙකකුත් තියෙනවා). gain යනු amplification කියන එකමයි. දෙකේම තේරුම වර්ධනය යන්නයි.

      ප්‍රීඈම්ප් එකෙන් පසුව සාමාන්‍යයෙන් පවර් ඈම්ප් එකකුත් තියෙනවානෙ. ඉතිං, අවසාන වශයෙන් ශබ්දය පිට වන ස්පීකර් සම්බන්ද වන්නේ ඒකටයි. පවර්ඈම්ප් එක ග්‍රහණය කර ගන්නේ තරමක් ප්‍රබල වෝල්ටියතා සංඥාවක් වන අතර, ඉන් පිට කරන්නේ (ඉතා) ප්‍රබල ජව සංඥාවක් (ඒ කියන්නේ සංඥාවේ වෝල්ටියතාව හා ධාරාව යන දෙකම බලවත්). එනිසා, ප්‍රීඈම්ප් එකේ මයික්/ඉන්පුට් ගේන් එක අඩු වැඩි කරන විට, පවර්ඈම්ප් එකට ලැබෙන සංඥා වෝල්ටියතාවද අඩු වැඩි වීම නිසා, අවසාන වශයෙන් පිට වන ජව සංඥාවේ අඩු වැඩි වීමක් සිදු විය හැකියි. එහෙත් ප්‍රීඈම්ප් එකේ ගේන් කන්ට්‍රෝල් එකේ රාජකාරිය නම් එය නොවේ (පිටවන අවසාන ශබ්දයේ හඬ අඩු වැඩි කිරීම නොවේ එහි රාජකාරිය). මේ සඳහා තමයි වොල්‍යුම් කන්ට්‍රෝල් තිබෙන්නේ. ගේන් කන්ට්‍රෝල් එකෙන් කරන්නේ මයික් එකෙන් පිටවන කුඩා විදුලි සංඥාව පසුඅධියරයට (එනම් පවර්ඈම්ප් එකට) ගැලපෙන පරිදිත් වර්ධනය කිරීමයි. මෙම වර්ධනය ඕනවට වඩා වැඩි වුවොත් සංඥාව විකෘති වේ. එනිසා ගානට කන්ට්‍රෝල් කළ යුතුය.

      ගේන් යනු ඉලෙක්ට්‍රොනික්ස් ක්ෂේත්‍රයෙන් සවුන්ඩ් ඉංජිනියරිංවලට ගිය වචනයකි. එහෙත් වොල්‍යුම් යනු තනිකරම සවුන්ඩ් ක්ෂේත්‍රයේ වචනයකි. එහි දළ තේරුම ත්‍රිමාන (එනම් සාමාන්‍ය) පරිසරයේ පැතිරෙන ශබ්දයේ ප්‍රබලතාව (ශබ්දයේ පිරිපුන් බව) යන්නයි. වොල්‍යුම් කන්ට්‍රෝලර් එකෙන් එය අඩු වැඩි කෙරේ. ශබ්දය යනු ශක්තියක් නිසා, වොල්‍යුම් එකට ගැලපෙන විද්‍යුත් ගතිගුණය වන්නේ පවර් හෙවත් ජවයයි (වොට් ගණන). ජවය පාලනය වන්නේ පවර්ඈම්ප් එකෙන්. එනිසා වොල්‍යුම් කන්ට්‍රෝලය තිබෙන්නේ පවර්ඈම්ප් එකේ. දළ වශයෙන් loudness (විපුලතාව හෙවත් හඬේ සැර) කියා කියන්නේද වොල්‍යුම් එකටයි.

      Delete