Sunday, April 29, 2018

සිර අඩස්සියට ගත් ළමා නිදහස

නිදහස යනු අහිමි වූ විට පමනක් අන් කිසිවකටත් වඩා වටිනා ලෙස දැනෙන, ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි. ඊට අභියෝග නොවන විට එහි අගය නොදැනෙනවා පමනක් නොව, අසීමාන්තික ලෙස වගකීම් විරහිතව එය බුක්ති විඳින්නටත් පෙළඹේ (මීට ශ්‍රීමත් අනගාරික ධම්මපාල තුමන් පැවසුවේ “වල්බූරු නිදහස” කියාය). නිදහස යනු අයිතියකි; නිදහස සමඟම වගකීමද ගැටගැසී ඇත. මිනිසුන්ට පමනක් නොව, සතා සිවුපාවාටත් ගස්වැල්වලටත් නිදහස අවශ්‍ය වේ; නමුත් ඒ ඒ දේට එහි ස්වරූපය විවිධ විය හැකිය.

ජීවියා හා බැඳුණු වටපිටාව තුල එහි යහපැවැත්මට බාධා ඇති නොවන පරිදි ඕනෑම අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට ඇති අයිතිය ලෙස නිදහස අර්ථ දැක්විය හැකිය. ඕනෑම අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට හැකියාව ලැබීම අයිතිය වන අතර, වටපිටාවට බාධා නොවන පරිදි ඒවා සිදු කිරීම තමයි ඒ හා බැඳුණු වගකීම වන්නේ.

එහෙත් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ළමුන්ගේ නිදහස පිළිබඳ කතා කිරීම පමනි. ළමුන්ගෙන් කිසිවෙකු සමාජ මෙහෙවරක් හෝ ආර්ථිකමය සහභාගිත්වයක් හෝ අපෙක්ෂා නොකරයි. තවද, විද්‍යාත්මකවත් සංස්කෘතික වශයෙනුත් ළමුන්ගෙන් ක්‍රියාවන්වල වැරදි තිබුණත් එහි බැරෑරුම්කම අඩුවෙන් තක්සේරු කෙරේ. එනිසයි ළමයකු අතින් අපරාධමය වැරැද්දක් සිදු වුවත් ඊට සාමාන්‍යයෙන් දෙන දඬුවම ලබා නොදෙන්නේ. ඊට හේතුව ඔවුන් හරියටම හරි වැරැද්ද තේරුම් ගැනීමට තරම් (මොලය) වර්ධනය නොවූ අය සේ සලකන නිසාය. එනිසා ඔවුන්ගේ නිදහස හා වගකීම වැඩිහිටියන්ගේ නිදහස හා වගකීම්වලට වඩා වෙනස් වේ.

බොහෝ අය කල්පනා කරන්නේ ඔවුන් ළමා කාලය තුල සිදු කළ යුත්තේ (පාසල්) අධ්‍යාපනය හොඳින් සිදු කිරීම බවයි; එය ඔවුන්ගේ වගකීම බවයි. එහි සත්‍යතාවක් තිබේ. අධ්‍යාපනය ඔවුන්ගේ වගකීමක් මෙන්ම අයිතියක්ද වේ. එහෙත් එම සත්‍යතාව වැඩිහිටියන් විසින් තහවුරු කිරීමේදී ළමුන්ගේ අයිතින් (නිදහස) තඹයකට මායිම් නොකරන බවක් පෙනේ. ලංකා සමාජය තුල එන්න එන්නම මෙම තත්වය නරක අතට හැරෙන බවක් පෙනේ. එහෙත් එය සමනය කිරීමට නිසි රාජ්‍ය මැදිහත් වීමක් සිදු නොවේ.

ළමා කාලය තුල ඔවුන් සිදු කළ යුත්තේ “විධිමත් (පාසල්) අධ්‍යාපනය” ලැබීමම නොවේ. ධනාත්මක අත්දැකීම් ලැබීම, සහයෝගයෙන් ක්‍රියා කිරීම, අභියෝගවලදී හැසිරීම, පරිසරය හැඳිනීම, සතුටින් කල් ගත කිරීම ආදී ඉතා වැදගත් සංසිද්ධි ඔවුන්ට අත්විඳීමට ඉඩ දිය යුතුය. තරමක ලොකු සංකල්ප හෝ වචන ලෙස මේවා පෙනුනත්, ප්‍රායෝගික වශයෙන් එම සංසිද්ධි ජීවිතයේ නිරන්තරයෙන්ම ස්වාභාවිකවම සිදු වන දේවල්ය. කොටින්ම කියතොත් ළමුන්ට ස්වාභාවිකව කිරීමට සිතෙන හා කරන දේවලට (වැඩිහිටි අවධානය යටතේ) ඉඩ දුන් විට ඉබේම ඒවා ඉෂ්ඨ වේ.

අද ළමුන්ගේ ජීවිතය ගෙවී යන්නේ භාගයක් පාසල් පංති කාමරය තුලය; ඉතිරි භාගය ටියුෂන් කාමරය තුලය. යම් තරමක හෝ නිදහස් කාලයක් ඇති විට එම කාලය නිවසේ තවත් කාමරයක් තුල පොත් පාඩම් කිරීමට සීමා වේ. අපේ පාසල්/විධිමත් අධ්‍යාපන ක්‍රමය අන්ත අසාර්ථක ක්‍රමයක් බව මෙයින්ම පෙනේ. දැනුම, ආකල්ප, කුලසතා වර්ධනය කිරීම අපේ රටේ පාසල් අධ්‍යාපනයේ අභිමතාර්ථ සේ නිල වශයෙන් පිළිගෙන තිබුණත්, ඒවා හුදු වචනවලට පමනක් සීමා වී ඇත. රටේ පොදු ජනයාගේ ප්‍රකෝටි ගණන් මුදලක් නිකරුනේ නාස්ති වීමක් පමණක් දැන් දැන් පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුල සිදු වේ.

මේ නිසා මෝඩ වැඩිහිටියන්ගේ පව් කරේ තියාගෙන සිටීමට සිදුව ඇත්තේ අහිංසක ළමුන්ටය. පහසුවෙන් රටක් වෙනස් කිරීමට තමන්ට බැරිය. එසේ නම් බුද්ධිමත් දෙමාපියන් සිටිත් නම්, ඔවුන් උත්සහ කළ යුත්තේ හැකි තරම් තමන්ගේ දරුවන්වත් එම විෂම චක්‍රයෙන් මුදවා ගැනීමයි. එහෙත් එසේ කරන අය පෞද්ගලිකව මා දැක නොමැත. එනිසා, මෙහි විශාලතම ගැටලුව වන්නේ අපේ රටේ සිටින ගොන් දෙමාපියන්ගේ මෝඩකමයි. උන්ගේ උගත්කම වැඩි වුවත් බුද්ධිය හීනය.

පාසල් යන වයසේ ළමුන්ටත් වඩා නිදහස අහිමි වීමක් අපගේ අවධානයට ලක් නොවී අතදරුවන්ට හා තවමත් පාසල් යෑමට තරම් වයසක් නැති දරුවන්ට සිදු වේ. දෙමාපියන්ගේ තමන් විහින් පැටලී සිටින “මායාකාරී” සමාජය නිසා අද එවන් කුඩා ළමුන්ට අනේකවිධ වදහිංසාවලට ලක්වීමට සිදුව ඇත.

එක අතකින් සමහර පවුල්වල මව හා පියා දෙදෙනාගෙම ආදරය රැකවරණය අහිමි වී තිබේ ඔවුන් දෙදෙනාම සල්ලි සෙවීමේ (රැකියා හෝ ව්‍යාපාර) නිරතව සිටීම නිසා. නිවසේ සුරතලේට ඇති කරන බලලුන් බල්ලන් මෙන්, මිනිස් දරුවන් අද ඩේකෙයා සෙන්ටර්වල පෙට්ස්/සුරතලුන් බවට පත්ව ඇත. එවැනි දෙමාපියන් අතරින් බොහෝ පිරිසක් තමන්ගේ දරුවා ඇති කිරීමට ලබා දුන් ඩේකෙයා සෙන්ටර් එකේ ඉස්තරම්බව හා තමන් ඒ කරපු දේ ගැන කතා කරන්නේද මහත් උජාරුවෙනි. අසනීපයක් හැදුනාම වැඩිම මුදලක් අය කරන පෞද්ගලික රෝහලකටද උජාරුවෙන් දරුවා උස්සාගෙන යයි. අඩුම ගානේ සුනඛ මවක් වුවද තම පැටවා තමන්ට කුමන බාධක මැද වුවද කිරි දෙමින් අසලටම වී රැක බලා ගනී. තිරිසනා ගාව තිබෙන මව් සෙනෙහස අද සමහර මිනිස් මව්වරුන් තුල වියකෙමින් යයි. කියමනට කියන්නේ තනි සර්වබලධාරි දෙවියන්ට සෑම සත්වයකුම ළඟ එකවර සිටිය නොහැකි නිසා මව්වරුන් බිහි කළ බවයි.

අද කුඩා ළමුන්ට වතුර ඇල්ලීමට නිදහසක් නැත. වත්තේ වැලි ටිකක් ඇල්ලීමට නිදහස නැත. ගහකට නැඟීමට තහනම්ය. පොඩි එකාට තමන්ගේම වත්ත ඇවිදීමට බැරි තහනම් කලාපයක් වී ඇත. ඉඳහිට හෝ වැස්සට ටිකක් තෙමෙන්නට, අව්වේ මොහොතක් සිටිමින් දුව පැන ඇවිදින්නටත් උන්ට අයිතියක් නිදහසක් නැත. කිසිම පදනමක් නැති හේතු දක්වමින්, කුඩා ළමුන්ට පරිසරය අත්විඳමින් දැනුම ලබා ගන්නට, බුද්ධිය වර්ධනය කර ගැනීමට තිබෙන බොහෝ සරල ක්‍රම අහිම කරමින් සිටී.

රටේ නමගිය වෛද්‍ය විශේෂඥවරුන් (මහාචාර්ය සනත් ළමාබඳුසූරිය, මහාචාර්ය හරෙන්ද්‍ර සිල්වා වැනි) නොයෙක් වර පත්තර හා ටෙලිවිෂන් වැඩසටහන්වල, වතුරේ ටිකක් තෙමුනාට ළමුන්ට කිසිදු හානියක් නැති බව පැවසුවත් අපේ මීහරක් මව්වරුන් ඊට කන් නොදේ. පුදුමෙට මෙන්, එම්බීබීඑස් යැයි කියා ගන්නා ප්‍රාදේශිකව බෙහෙත් කරන සල්ලි ලබා ගෙන බස්වල මෙන් තුන්ඩු කෑලි (ටිකට්) දෙන සමහර ඩොක්ටර් කොන්දොස්තරලා ළමුන්ට වතුර වසක් විසක් තරමට භයානක දෙයක් බවට දෙමාපියන්ට උපදෙස් දෙයි.

විශේෂිත අවස්ථාවලදී හැරෙන්නට වතුරෙන් ළමුන්ට හෝ වැඩිහිටියන්ට පවා කිසිදු ලෙඩක් ඇති නොවන බව පොදු විද්‍යාත්මක/වෛද්‍ය මතයයි. වතුර ඇඟේ ගෑවීම එතරම්ම නරක දෙයක් වන්නේ නම්, වතුර ඇඟ තුලට දා ගැනීම (එනම් වතුර බීම) කොතරම් භයානක විය යුතුදැයි මෝඩ හරක්ට නොතේරේ. පර්යේෂන මත පදනම් නොවූ ආයුර්වේදයේ මේ ගැන කියන්නේ කුමක්ද කියා අපට වැදගත් නැත. ආයුර්වේදය බටහිර වෙදකමට වඩා නිවැරදි යැයි සිතන්නේ නම්, දෙමාපියන් සෑම ලෙඩකටම ආයුර්වේද වෙදෙකු ගාවට ළමුන් එක්කන් යන්න එපැයි; එහෙත් එහෙම කරන්නේ නැහැනෙ. ඒ කියන්නේ බටහිර වෙදකම ගැන අප කාටත් පොදු විශ්වාසයක් තිබේ.

කුඩා ළමුන්ට පමනක් නොව, ජලය ගැන වැඩිහිටි මනස පවා විටක අපූර්වත්වයෙන් පුරවයි. දිය බිඳු කැඩෙන විදිය, ඒවා දිලිසෙන හැටි, ඇඟේ දැවටෙන විට දැනෙන හැටි ආදි ලෙස දිය බිඳු සිතේ අපූරු සිතුවිලි ඇති කරයි. හරියටම අපට දරුවාට කෙසේ සිතේදැයි දැනුමක් ගත නොහැකි වුවත්, කුඩා දරුවන්ටද දිය බිඳු මනස පොබයන දෙයක්ම විය යුතුය. ඒකයි උන් ඊට බොහෝ ආසා කරන්නේ. එවන් අපූර්වත්වයෙන් පිරි ජලය සමඟ දරුවන්ට කාලයක් ගත කිරීමට දැන් බැරිය. නාවන්නට ගියත් දඩං බඩං ගාල වතුර ටිකක් ළමායට වක් කර සබන් ටිකක් ගා නැවත සබන් සෝදා ළමයා ගොඩට ගන්නේ වලඳක දැලි කුනු සෝදන්නා සේය.

ළමයාට දිය අල්ලමින් ජලය සමඟ සෙල්ලම් කරමින් සිටින්නට ඉඩ නොදෙන නිසා පොඩි එකත් ඉතිං ඌගේ ක්‍රමයට ප්‍රතිචාර දක්වයි (අඬමින්). කොතරම් ලස්සනට ළමයාගේ සිතත් සතුටින් පවතින පරිදි, ඔහුට ධනාත්මක අත්දැකීමක් වන පරිදි ළමයා සේදීම කළ හැකිව තිබුණත්, මෝඩ මවක් විසින් එය එකම කාලගෝට්ටියක් බවට පත් කරගෙන ඇත. මොහොතක් සිතා බලන්න පැයක පමන ලස්සන චිත්‍රපටයක් ෆාස්ට් ෆෝවර්ඩ් කරමින් විනාඩි 10කින් නරඹා ඉවර කරන්නට ඔබ කැමතිද? ළමයාටත් එසේමය. ඌට මෙවන් ක්‍රියාකාරකම්වලින් ජොලියක් තිබේ. එය ඔබේ තදියමට ෆාස්ට් ෆෝවර්ඩ් කරනවාට ළමයි කැමති වෙයිද?

වැලි ඇල්ලීම ගැනද තත්වය එසේමය. අවශ්‍යයෙන්ම මිදුලේ විෂබීම අනන්තවත් තිබේ. මිදුලේ පමනක් නොව, නිවසේ බිම මතත්, ඇඳ මත, පුටුව මත, තමන්ගේ අත්වල ආදි ලෙස සෑම තැනකම විෂබීජ තිබේ. ටීවීවල පෙන්වන එක එක ජාතියේ කෙමිකල් ගැහුවාට ඒවා නැති කළ නොහැකිය; අඩු කළ හැකියි. එහෙත් වැලිවලට තිබෙන්නේ දෙමාපියන් තුල භීතිකාවකි. ජලය මෙන්ම වැලිවලත් ළමයා අපූර්වත්වයක් දකී. ඒවා කුඩා කැට වශයෙන් ඇඟිලි අතරින් බිමට වැටීම, අතට හා කකුලට දැනෙන විදිය (texture) ආදි ලෙස ළමා මනස/මොලය වැඩි වීමට බලපාන දේවල් එකතු කර ගැනීමට තරම් දෙයක් එතැන ඇත. විෂබීම භීතාකාවක් තිබේ නම් දෙමාපියන් කළ යුත්තේ ළමයා වැලි අල්ලන විට, ඒ අසලම ඔහු සමඟම වැලි සමඟ සෙල්ලම් කරමින්, වැලි හෝ වැලි අල්ලපු අත් කටේ දමා ගැනීම වැනි දේවල් වලක්වමින් සිටිමින්, එය අවසන් වූ වහම හොඳින් ඔහුගේ අත්පා සේදීමයි.

ළමුන්ට නිවස තුල හා වත්ත තුල දුව පැන ඇවදීමට තරම් ආරක්ෂිත තැනක් බවට පත් කිරීම වැඩිහිටියන්ගේ වගකීමයි. එසේ නොකර, වටපිටාව අනාරක්ෂිතව පවත්වාගෙන යමින්, ළමයාට එම පෙදෙස් තහනම් කලාප බවට පත් කිරීම මෝඩකමකි. එකක් දරුවන් වැඩිහිටි උපදෙස් පිලිපදින්නේ නැති නිසා, ඇත්තටම අනතුරු ඇති විය හැකිය. මා අනන්තවත් දැක තිබෙනවා අඩුම ගණනේ තවම කතා කරන්නවත් බැරි කුඩා දරුවන්ට දෙමාපියන් බොහෝ තරවටු කරනවා “මං කියල තියෙනවා නේද එතැනට යන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා” ආදි වදන් කියමින්. එවන් කුඩා ළමුන්ට එවැනි වදන්වලින් දෙන උපදෙස්වලින් දරුවා කුමක් ඉගෙන ගනීදැයි මට තවමත් සිතා ගත නොහැකිය.

නිවස අලංකරණය කිරීමට විවිධ වර්ගයේ විසිතුරු පොකුණු, විසිතුරු ගල් කැබැලි ආදි ලෙස නොයෙක් දෑ දරුවන් ලොකු වන තුරු ඉවත් කළ යුතුය. එහෙත් ළමයාට වඩා සමහරෙකුට ඒවා තබා ගැනීම වටින බවක් පෙනේ. ඉන්පසු දරුවා එම ගල් කැබැලි අරං විසි කිරීම, පොකුනට අත දැමීම වැනි සිද්ධි නිසා සිය දහස් වාරයක් දරුවාට තරවටු කරමින් සිටී.

තවද, ළමයා කොල කැබැලි කඩා විසි කරයි; පුටුවේ කොට්ට එහේ මෙහේ දමයි. ඒ උන්ගේ හැටිය. එවන් අහිංසක කාටත් බාධාවක් නැති දේවල් ළමයා කරන විට, දෙමාපියන්ට එය දැනෙන්නේ උතුරේ නන්තිකඩාල්වල ත්‍රස්තවාදී යුද්ධයක් සේය. ළමයාට බෙරිහන් දෙයි වරුවක්. ළමයා එහෙට මෙහෙට විසිකළ දේ නැවත තිබූ තැන්වලට තැබීමට අම්මාට ගත වනු ඇත්තේ තත්පර කිහිපයකි. ඉතිං, එය සිදු නොකර ළමයාට විනාඩි ගණනක් තරවටු කරමින් සිටියි. එහි කිසිම තාර්කික බවක් නැත. වරක් ලෝප්‍රකට යතිවරයකු වන අජහන් හිමියන් දෙසූ කියමනක් මට මතක් වේ. “අපට යමක් කරන්නට අමාරුවක් නැත; නමුත් ඒ දේ ගැන හිත හිත ඉන්න එකයි අමාරු” යැයි උන්වහන්සේ කීහ. එය මෙතැනත් ජීවිතයේ වෙනත් අවස්ථාවලත් සීයයට සියයක් සත්‍ය වේ. යමක් කරන්නට සමහරවිට යන්නේ තත්පර ගණනක් වුවද, ඒ ගැන සිත සිතා සිටීම මහත් දුකක් දැනේ. අර මවට සිදු වුණෙත් එයයි. මෙවන් සරල දේවල් වෙනස් කළ හැක්කේ ආකල්ප වෙනස් කර ගැනීමෙනි.

දැන් මව්වරුන් ටෙලිවිෂනයට ඇබ්බැහි වී සිටී. පිරිමින් සිගරට් අරක්කු ආදියට ඇබ්බැහි වෙමින් ජීවිතයේ ගුණාත්මකබව අඩු කරගෙන ඇත්තා සේම, ගැහැනුන් පැය ගණන් කුනුහරුප බලමින් ටෙලිවිෂනයට ඇබ්බැහි වී පවුලක තිබෙන බැඳීම් ලිහිල් වෙමින් දරුවන් නන්තතාර වෙමින් පවතී. දරුවන්ට කන්න බෙදන්නේ දරුවා කෑම ඉල්ලන වෙලාවට නොව, ටීවී එකේ ඇඩ් එක දාන වෙලාවටය. ළඳරුවා ඇඬුවත් කතාව ඉවර වෙනකල් පූර්ණ අවධානය ළමයාට නොලැබේ. ඒ වෙනුවට ළමයාට තරවටු කරමින් කේන්තියෙන් ගුගරමින් ටීවී එකේම එල්ලීගෙන සිටී. අම්මා ටීවී එක බලන කාලය තුල, ළමයා අනතුරුදායක දෙයක් කිරීම නොව, ළමයා ඉන්න තැන සිට අඩියක් එලෙව්වත් අම්මාට කේන්ති යයි; මහා වැරැද්දක් කළා සේ බැන වදී. මගේ සිතට වද දෙන කාරණය වන්නේ එවන් අභාග්‍යසම්පන්න දෙයක් නිවස තුල සිදු වෙමින් තිබෙන විට, පිරිමියා නපුංසකයකු සේ කිසිත් නොකර සිටීමයි.

දරුවා ඇවිදින එක මවට නුරුස්සන තවත් හේතුවක් වන්නේ ළමයා පස්සේ ගමන් කිරීමට ඔවුන්ට ඇති කම්මැලිකමයි. මැරතන් එකක් දුවන්නා සේ ඔවුන්ට එය මහා ලොකු මහන්සියක් සේ දැනේ. මැසිවිලි නඟන්නේ හරියට පොඩි එකා සමඟ සැතපුම් ගණන් ඇවිද්දා සේය. නැමෙන්න බැරි, ඇවිදින්න බැරි දෝෂ දුසිම් ගණනක් කියවයි. මේවා ඇසෙන විට මා ඇත්තෙන්ම මටම කල්පනා කර ගන්නේ මුං තම පිරිමියා සමඟ සංසර්ගයේ යෙදෙන්නේ කෙසේද කියාය (අපරාදෙ කියන්න බැහැ… ඒකට නම් අමාරුවක් නැතිව ඇති). එච්චරටම නැමෙන්න එහාට මෙහාට වෙන්න බැරි ලෙඩ්ඩු සේ පොඩි වුන් සමඟ සිටිනා විට පමනක් හැසිරේ.

දැනටමත් දෙමාපියෙක් හෝ ළමයකු හදන්නට බලාපොරොත්තු වන අයෙක් ළමුන් ගැන දැනගත යුතු දේවල් කොහෙන් හෝ හරි තැනකින් ඉගෙන ගත යුතුය. එක එක මෝඩ වැඩිහිටියන් කියනා “අපි නම් කළේ එහෙමයි, ඒ කාලේ මෙහෙමයි” වැනි උපදෙස්වලට අඩුවෙන් ඇහුම්කන් දිය යුතුය (එවන් සමහර උපදෙස්වල හරයක්ද තිබිය හැකි අවස්ථා තිබේ). උගත් යැයි කියා ගන්නා එවුන්ද සමහරවිට මෝඩ උපදෙස් දෙයි. මා පෙරත් කියූ ලෙස, එම්බීබීඑස් දොස්තරලා අතින් පවා වැරදි උපදෙස් ලැබේ (වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම ළමයා සේදීම පිළිබඳ එවැනි වැරදි උපදෙස් දීම ගැන පෞද්ගලිකව මා අත්විඳ ඇත). එවන් අවස්ථාවකදී ඒ ගැන විශේෂයෙන් සොයා බලා නැති අයකුට එම උපදෙස් සැකකිරීමට හේතුවක් නැත. එනිසා හොඳම දේ නම්, දරුවන් තමන්ගේ නිසා, අන් සියල්ලටම වඩා ඔවුන් වටිනා නිසා, විවිධ තැන්වලින් උපදෙස් ගෙන හා ඉගෙන, හරි දේ කොහොම හරි තීරණය කිරීමයි.

පෝය දාට මව්පියන්ව සිල් ගන්වන්නට දරන උත්සහය ඔවුනට මෙවන් දැනුම රසවත්ව ලබා දීමට කටයතු කිරීමට MOH කාර්යාලවල ඉන්න නිලධාරින්ට තිබේ නම් කොතරම් දෙයක්ද? විවාහයක් ලියාපදිංචි කිරීමට පෙර සුමානයක දෙකක හෝ ඔරියන්ටේෂන් වැඩසහනකට ගැහැනු හා පිරිමි කෙනාට සහභාගී වීම අනිවාර්ය කර මෙවන් දැනුමක් දීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් ගත්තත් නරකක් නැත.

මිනිස් මොලය අති සීග්‍රයෙන් වර්ධනය වන්නේ ළමා කාලයේදීය. ඒ ගැන ඔබට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත; මඳක් කල්පනා කර බැලුවොත් නිකංම අවබෝධ කර ගත හැකියි. ළමයා වසර දෙකක් වැනි කාලයකදී භාෂාවක් හැසිරවීමට තමන් විසින්ම ඉගෙන ගනී. ඒ සඳහා ටියුෂන් ගියේ නැහැනෙ. ඔබට හැකියිද එවන් හපන්කමක් කරන්නට වැඩිහිටියෙකු වෙලත්? කිසිදා නොදුටු, නොදන්නා දේවල් කෝටි ගණනක් පිලිබඳ අවබෝධය තමන් විසින්ම ළමුන් ලබා ගනී. ඒවා වචන, සංකල්ප, දැනීම්, සංජානන ආදි ලෙස පුලුල් පරාසයක පැතිර පවතී. අදටත් උගත් බුද්ධිමත් විද්‍යාඥයන්ට පවා ඇඟිලි සුරු ලෙස භාවිතා කරන, සමබරව ගමන් කළ හැකි රොබෝ කෙනෙකු සෑදීම ඉතා දුෂ්කර හෝ තවමත් හරිහැටි කරන්නට බැරිය. ඒ තරම් අංගචලන සිදු කිරීම හා ඒවා සමායෝජනය කිරීම (coordination) ඉතා සංකීර්ණ හා සියුම්ය. එහෙත් ළමයකු මාස ගණනක් තුල ඒවා සියල්ල සිදු කරයි.

මේ ආදි ලෙස ළමා කාලය තුල ළමයා ඉගෙනා ගන්නා ප්‍රමාණය අප්‍රමාණය. එහෙත් ඒ තරම් මිනිසකුට වටිනාකමක් ඇති ළමා කාලය දෙමාපියන් තුට්ටුවකට ගනන් නොගැනීම එම ළමයාට පමනක් නොව, සමස්ථ මානවයාටම කරන නිගරුවකි. ළමා මනෝවිද්‍යාවේදී කියන්නේ “අත් යනු ළමයාගේ එලියට දාපු මොලය” යනුවෙනි. ළමයා දුව පැන, විවිධ දේවල් අවුස්සමින් ඒ සිදු කරන්නේ ලෝකය දැනගැනීමයි. ඔහු වැඩිහිටියකු වශයෙන් ජීවිත් වීමට යන ලෝකය ස්වාභාවිකව ඉගෙන ගන්නා ක්‍රමය එයයි. වසර දස දහස් ගණනක් තිස්සේ මානවයා පරිසරය ගැන අවබෝධය ඇති කර ගත් ප්‍රමුඛම ක්‍රමය එයයි. එය ජානගතය. බුද්ධිමත් වැඩිහිටියා කළ යුත්තේ තව තවත් ළමයාට ඒ සඳහා දිරි ගන්වමින් හා ආරක්ෂිතව පහසුකම් සලසා දීමයි. මිනිසා පමණක් නොව, වෙනත් සත්වයින්ද එසේමය. එහෙත් ඒ සියලු කටයුතු දැන් ජීවත් වන මෝඩ වැඩිහිටියන් විසින් අහුරමින් යයි.

ඇත්තටම ළමුන්ට හොඳ දේ නරක දේ ගැන දැනුමක් සමහර දෙමාපියන්ට නැත්තේද නැත. එහෙත් ඒවායෙන් රිංගා යෑමට නොයෙකුත් තර්ක මතු කරයි. ළමුන් පිළිබඳ තීරණ ගැනීමේදී ප්‍රමුඛතාව ඔවුන්ට ලැබිය යුතුය; තර්ක විතර්කවලින් වැඩක් නැත. ඔබට වැසිකිලි යෑමට දැඩි අවශ්‍යතාවක් පැමිනි විට, තර්ක විතර්ක කර එය නොකර සිටීමට කටයුතු කරන්නට බැහැනෙ. අන්න ඒ වගේ මොනම හේතුවක් නිසාවත් පැහැර නොහැරිය හැකි වගකීමක් දෙමාපියන් සතුව ළමුන් කෙරේ පවතී. මෙතැන තිබෙන්නේ දෙමාපියන්ගේ ආකල්ප පිලිබඳ ගැටලුවකි. උන්ගේ මෝඩකමයි. එනිසයි මහා ලොකු උගතුන් හා උසස් රැකියා කරන එවුන් පවා පට්ට මී හරක් සේ දරුවන්ට සලකන්නේ.

මා සඳහන් කර ඇත්තේ මට කියන්නට තිබෙන බොහෝ දේවලින් ස්වල්පයකි. ඒ සියල්ලම දීර්ඝ කාලයක් තිස්සේ පෞද්ගලිකව අත්දැකීම් වශයෙන් ලබා ඇත. මේ ලිපිය තුල මා දොස් නඟා තිබෙන ජාතියේ දෙමාපියන් වන මාගේ මිතුරන්ද සිටින අතර, එවුන්ද මෙය කියවා අනිවාර්යෙන්ම මට විවිධ තර්ක හමු වූ විට ඉදිරිපත් කරනු ඇති. ඔවුන් නිතරම කියන්නේ උඹත් කසාද බැඳ ජීවිතය සංකීරණ වූ දවසට තේරෙයි කියාය (තම අඹුව සිටියදී වෙන අඹුවන් කරා යන වලත්ත එවුන් මට ඕක නිතර කියයි; මොන කරුමෙට හෝ එවන් මිතුරන් අපටද සිටී). මාද එවන් තර්කයන්ට (මේ බ්ලොග් එකේ සාමාන්‍යයෙන් නොලියන) මගේ ශුද්ධ සිංහල වාං මාලාවෙන්ම සුපුරුදු ලෙසම පිලිතුරු දීමටද බලා සිටිමි.

No comments:

Post a Comment