Monday, March 12, 2018

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 7

ට්‍රාන්සිස්ටරයේ භාවිතාව

මූලික වශයෙන් ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන ආකාර 2ක් පවතී.

1. සංඥා වර්ධනය (signal amplification)

2. ස්විචකරණය (switching)

මෙතෙක් ට්‍රාන්සිස්ටර් පාඩම් මාලාව තුල සංඥා වර්ධනය ගැන තමයි කතා කරමින් සිටියේ (විශේෂයෙන් වින්‍යාස පාඩම තුල). එනිසා වර්ධනය සඳහා ට්‍රාන්සිස්ටරයක් යොදා ගැනීම පිලිබඳ දළ අවබෝධයක් ඔබට තිබෙනවා. ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා කිරීමයි ස්විචිකරණය හෙවත් ස්විචිං ලෙස හැඳින්වෙන්නේ. පසුවට විස්තරාත්මකව මේ ගැන ඉගෙන ගැනීමට ඉඩ තබා දැනට දළ අවබෝධයක් මේ ගැනත් ලබා ගමු.

ස්විචයක් යනු යම් ශක්තියක්/විදුලියක් අවශ්‍ය වෙලාවට ගලා යෑමට සලස්වා අවශ්‍ය වෙලාවන්ට ගලා යෑම නැවතීමට/කැඩීමට හැකි උපාංගයක්නෙ. විවිධාකාරයේ ලොකු කුඩා ස්විච ඔබ දැක ඇති. උදාහරණයක් ලෙස, නිවසේ විදුලි බුබුලු/උපාංග ඔන් ඕෆ් කරන ස්විචයක් ගැන සිතා බලන්න. ඒ සෑම ස්විචයකම පොදු ලක්ෂණයක් වන්නේ අවස්ථා දෙකක් පැවතීමයි - එක්කෝ ඔන් වේ; නැතහොත් ඕෆ් වේ. ඔන් යන වචනය වෙනුට closed යන වචනයද, ඕෆ් යන වචනය වෙනුවට open යන වචනයද සාමාන්‍යයෙන් භාවිතා වේ. ඊට හේතුව ස්විචය ඔන් කළ විට පරිපථය සම්පූර්ණ හෙවත් සංවෘත (closed) වීම හා ස්විචය ඕෆ් කරන විට පරිපථය බිඳී යෑම හෙවත් විවෘත (open) වීමයි.

තවද, අවට තිබෙන එම විවිධාකාරයේ ස්විච අතින් ක්‍රියාත්මක කරවන (manual) ඒවාය (“අතින් ක්‍රියාත්මක කරවන” යන අර්ථය සඳහා ඉංග්‍රිසි manual යන්නට හොඳ සිංහල වචනයක් සෙවූ නමුත් හමු නොවූ හෙයින් “හස්තකෘත” යන වචනය මා යෝජනා කරමි). එහෙත් ඔන් ඕෆ් හැකියාව තිබෙන නමුත් අතින් ක්‍රියාත්මක නොවන ස්විචද විදුලියේදී තිබෙනවා. ඒවා ඉලෙක්ට්‍රොනික් ස්විච ලෙස අවශ්‍ය නම් හැඳින්විය හැකියි. ඒ සඳහා බහුලවම යොදා ගන්නේ ට්‍රාන්සිස්ටරයි. ඉලෙක්ට්‍රොනික් ස්විචයක් ක්‍රියාත්මක කරනුයේ තවත් භෞතික සංඥාවකිනි.

එම භෞතික සංඥාව ආලෝකය විය හැකිය; තාපය විය හැකිය; කම්පන විය හැකිය; විද්‍යුත් හෝ චුම්භක ක්ෂේත්‍රයක් විය හැකිය; ශබ්දය විය හැකියි; පීඩනයක් විය හැකියි. එම භෞතික සංඥාව විදුලිය වුවද විය හැකිය. එම සංඥාව විද්‍යුත් වන විට කෙලින්ම එම විද්‍යුත් සංඥාව මඟින් ට්‍රාන්සිස්ටර් ස්විචය ක්‍රියාත්මක කරවිය හැකිය. ආලෝකය, කම්පනය, තාපය ආදි භෞතික සංඥාවක් වන විට පලමුව කිසියම් සංවේදකයක් (sensor) යොදා ගෙන එම සංඥාවට අනුරූප විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කර, අන්න එම විද්‍යුත් සංඥාව මඟින් ට්‍රාන්සිස්ටර් ස්විචය ක්‍රියාත්මක කරවිය හැකියි. ඉතිං, සාමාන්‍ය හස්තකෘත ස්විචයකට විවිධ භෞතික සංඥාවකට අනුව ඔන් ඕෆ් වීමේ හැකියාව ඉබේම නැත.

ඉහත වම් රූපයෙන් පෙන්වා තිබෙන්නේ තාපය තර්මොකප්ල් නම් තාප සංවේදී පාරනායකයකට යොමු කර, එමඟින් තාප සංඥාව විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කර, එම ට්‍රාන්සිස්ටරය විද්‍යුත් වශයෙන් ස්විචිකරණයට ලක් කරන ආකාරයයි. එහි දකුණු රූපයෙන් පෙන්වන්නේ එලෙසම ශබ්ද තරංගයක් මයික් එක නම් පාරනායකය මඟින් අනුරූප විද්‍යුත් සංඥාවක් බවට පත් කර ට්‍රාන්සිස්ටරය ස්විචකරණය කරන ආකාරයයි. එහිදී අතරමැද ඩයෝඩ 4කින් සැදුම්ලත් “සේතුකාරක ඍජුකරණය” (bridge rectification) සිදු කර ඇත. මෙතැන පොදුවේ පරිපථ නිර්මානකරණයේදී දත යුතු වැදගත් කරුණක් තිබෙන නිසා එය මඳක් විමසා බලමු.

ශබ්ද තරංගය විසින් මයික් එකේ ඇති කරන්නේ ඒසී විදුලි සංඥාවකි. එම පරිපථයේ අප ට්‍රාන්සිස්ටරය යොදා ගන්නේ සංඥා වර්ධනයට නොව ස්විචයක් ලෙසනෙ. ඉතිං ශබ්දයක් ජනිත වන හැම මොහොතෙම ට්‍රාන්සිස්ටරය ඔන් විය යුතුයි. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයේ බේසය මතට ධන විභවයක් ලැබිය යුතුයි ශබ්දයක් ඇති වන සෑම විටම (එය NPN නිසා). එහෙත් අර සංඥාව ඒසී නිසා විටෙක ධනද, විටෙක ඍනද ලෙස බේස් විභවය ඇති වේවි; එහිදී ධන විභවයක් පවතින අවස්ථාවකදී පමණක් ට්‍රාන්සිස්ටරය ඔන් වේවි; ඍන විභවයක් ඇති විට එය ඕෆ් වී තිබේවි (මෙවිට එය දෝෂයක්නෙ). ඉතිං ශබ්ද තරංගය නිසා හටගත් සංඥාවේ ඍණ කොටස්ද ධන කිරීමටයි ඉහත සේතු ඍජුකාරක පරිපථ කොටස යොදා ඇත්තේ. එවිට ශබ්දයක් ඇති වන හැමවිටම බේසය වෙත යොමු වන්නේ ධන විභවයක්ම පමණි.

තර්මොකප්ල් එකේදී එවැනි සේතු ඍජුකරණයක් අවශ්‍ය නොවේ මොකද එමඟින් ධන හා ඍන යන දෙවර්ගයේම විභවයක් ජනනය නොවේ (එනම් ඒසී විදුලියක් නොව විචලනය වන ඩීසී විදුලියකුයි ඉන් හට ගන්නේ). සේතුකාරකයක් යෙදුවත් කමක් නැත; නමුත් ඉන් කිසි ප්‍රයෝජනයක් ඇති නොවේ.

තවද, ට්‍රාන්සිස්ටර් ස්විචයක් ඔන් ඕෆ් කිරීම ඉතා සීඝ්‍රයෙන් සිදු කළද හැකිය. සිතා බලන්න ඔබට කොතරම් වේගයකින් නිවසේ බල්බයක් ඔන් ඕෆ් කරන ස්විචයක් ක්‍රියාත්මක කළ හැකිද? සමහරවිට තත්පරයකට තුන් වතාවක් පමණ එය ඔන් ඕෆ් කිරීමට ඔබට හැකියාවක් ඇති. එහෙත් ට්‍රාන්සිස්ටර් ස්විචයකට තත්පරයකට මිලියන වතාවක් හෝ ඊටත් වැඩියෙන් පහසුවෙන්ම ඔන් ඕෆ් විය හැකියි. සමහර ට්‍රාන්සිස්ටර්වලට බිලියන ගණනක වේගයක් (switching speed) තිබේ. වේගවත් ස්විචකරණය සඳහා වඩා යෝග්‍ය ට්‍රාන්සිස්ටර්ද නිපදවන අතර ඒවා switching transistor ලෙස (හෝ fast switching transistor ලෙසත්) සමහරුන් හඳුන්වයි.

ඉහත විස්තරයට අනුව ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරිත්වය ගැන විමසා බලන්න. ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් අග්‍රයට යම් කුඩා සංඥාවක් ඇතුලු වේ. එම සංඥාව විසින් ට්‍රාන්සිස්ටරය එක්කෝ ඔන් කරයි; නැතිනම් ඕෆ් කරයි. ට්‍රාන්සිස්ටරය ඕෆ් වෙනවා යනු අවුට්පුට් ධාරාවක් නැත යන්නයි. ට්‍රාන්සිස්ටරය ඔන් වෙනවා යනු යම් විශාල ධාරාවක් අවුට්පුට් වෙනවා යන්නයි. මෙය හරියට ඩිජිටල් අවස්ථාවක් වැනිය (අවස්ථා 2කින් යම් එක් අවස්ථාවක ට්‍රාන්සිස්ටරය පවතී). තාක්ෂණිකව බලන විට ඇත්තටම ස්විචය ඩිජිටල් උපාංගයකි.

භාවිතාවන් 2ක් ලෙස වෙන වෙනම සාමාන්‍යයෙන් සැලකුවත් ඇත්තටම ඉහත අවස්ථා දෙක මා සිතන විදියට 2ක් නොව එකකි. සංඥා වර්ධනයේදී සිදු වන්නේ ඉන්පුට් කළ යම් සන්තතිකව (continuously) විචලනය වන දුර්වල/කුඩා විදුලි සංඥාවක් ඊට අනුරූප වර්ධිත/විශාල විදුලි සංඥාවක් බවට පත් කිරීමනෙ. එහෙත් ස්විචයක් ලෙස ක්‍රියාත්මක වන විට ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් අග්‍රයට ලැබෙන්නේ සන්තතිකව විචලනය වන විදුලියක් නොව අවස්ථා දෙකක් ඇති ඩිජිටල් ආකාරයේ සංඥාවකි (උදාහරණ ලෙස, බේස් ධාරාව 0 හා මිලිඇම්පියර් 1 වන අවස්ථා දෙක). මේ අනුව, ඉන්පුට් ධාරාව 0 වන විට ඊට අනුරූපව අවුට්පුට් ධාරාවද 0 වේවි (ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ස්විචය දැන් ඕෆ්); ඉන්පුට් ධාරාව මිලිඇම්පියර් 0.1 වන විට ඊට අනුරූපව වර්ධිත යම් මිලිඇම්පියර් 20ක් වැනි අවුට්පුට් ධාරාවක් පිට වේවි (ට්‍රාන්සිස්ටර් ස්විචය දැන් ඔන්).


ඉතිං, පේනවා නේද ස්විචයක් ලෙස ක්‍රියා කළත් දැනුත් ට්‍රාන්සිස්ටරය සංඥා වර්ධකයක්මයි. මේ හැමතැනම සිදු වන්නේ එකම ට්‍රාන්සිස්ටර් ක්‍රියාව නම් සංසිද්ධියයි. එහෙත් ප්‍රායෝගිකව වැඩ කිරීමේ හා අධ්‍යනය කිරීමේ පහසුව තකා සංඥා වර්ධනය හා ස්විචකරණය වෙන වෙනම සලකමු. ස්විචයක් ලෙසත් ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන විටත්, වින්‍යාස 3න් කැමති එකක් පරිපථයට ගැලපෙන සේ යොදා ගත හැකියි.

වර්ධනය සඳහා ට්‍රාන්සිස්ටර් යොදා ගැනීමේදී වැදගත් කාරණා කිහිපයක් ගැන දැන ගැනීමට අවශ්‍ය වේ. එකක් නම්, වර්ධනය වන්නේ ධාරාවද, වෝල්ටියතාවද, ජවයද යන්නයි. ඇත්තටම එය තීරණය වන්නේ ට්‍රාන්සිස්ටර් වින්‍යාසය මඟිනි (උදාහරණ ලෙස, කොමන් කලෙක්ටර් වින්‍යාසය වෝල්ටියතා වර්ධනය සඳහා යොදා ගත නොහැකි අතර කොමන් බේස් වින්‍යාසය ධාරාව වර්ධනය සඳහා යොදා ගත නොහැකිය). එකම ට්‍රාන්සිස්ටරය මේ තුන් ආකාරයේම වර්ධනය සඳහා යොදා ගත හැකියි ඊට සුදුසු වින්‍යාසයක් තෝරා ගැනීමෙන්. සාමාන්‍යයෙන් පරිපථ තුල සංඥා යනු වෝල්ටියතාවයි. සංඥා හැඩය නොනැසී හෝ විකෘති නොවී, ඝෝෂාවන්ට එහෙම ඔරොත්තු දීම සඳහා ගැලපෙන වෝල්ට් අගයකින් පැවතීමයි අවශ්‍ය වන්නේ.

එනිසා පරිපථයකදී සංඥාව දුර්වල නම් එම සංඥාවේ වෝල්ටියතාව සුදුසු මට්ටමක් දක්වා වර්ධනය කර ගැනීමට ට්‍රාන්සිස්ටර් යොදා ගන්නවා. මෙවැනි පරිපථයක් වර්ධකයක් (amplifier) හෝ වර්ධක අධියරයක් (amplifier stage) ලෙස හඳුන්වනවා. තවත් විටක එය පෙරවර්ධකය (pre-amplifier / pre-amp) ලෙසද පවසනවා.

එහෙත් සමහර අවස්ථා තිබෙනවා සංඥා වෝල්ටියතාව නොව ජවය වර්ධනය කළ යුතු. කාටත් එකවර සිහියට නැඟෙන එවැනි අවස්ථා 2ක් තිබෙනවා. එකක් නම්, ලවුඩ්ස්පීකර් භාවිතා කර ශබ්දය පිටකරන අවස්ථාවය; අනෙක ඇන්ටනා මඟින් රේඩියෝ සංඥා විසුරුවන අවස්ථාවයි. ශබ්දය වැඩි හඬකින් වැඩි දුරක් යැවීමට වැඩි ශක්තියක් අවශ්‍ය වේ. එලෙසම, රේඩියෝ තරංග වැඩි දුරකට සම්ප්‍රේෂනය කිරීමටත් වැඩි ශක්තියක් අවශ්‍ය වේ. ඉතිං ඒ සඳහා වැඩි විදුලි ජවයක් (ජවය යනු තත්පරයට පිටකරන ශක්තිය) සහිත විදුලි සංඥා ස්පීකරයට හෝ ඇන්ටනාවට යොමු කළ යුතුය. මෙවැනි වර්ධක ජව වර්ධක (power amplifier / power amp) යනුවෙන් හැඳින්වෙනවා.

සාමාන්‍යයෙන් පෙරවර්ධක සඳහා යොදා ගන්නා ට්‍රාන්සිස්ටර් එතරම් රත් නොවේ; විශාලද නොවේ. එහෙත් ජව වර්ධක සඳහා භාවිතා වන ට්‍රාන්සිස්ටර් අධිකව රත් වේ. වැඩි ධාරාවන් සමඟ නොපිලිස්සී වැඩ කිරීමට අවශ්‍ය නිසාත් තමන් තුල උත්සර්ජනය වන තාපය ඉක්මනින් පිටතට පිට කර සිසිල් වීම සඳහාත් මෙවන් ට්‍රාන්සිස්ටර් විශාලව සාදයි (සිසිල් වීම වේගවත් කිරීම සඳහා බොහෝවිට හීට් සින්ක් එකක් ට්‍රාන්සිස්ටර් බඳට සවි කෙරේ). සාමාන්‍යයෙන් මිලද වැඩිය. ජව වර්ධනය සඳහා යොදා ගැනෙන මෙවන් ට්‍රාන්සිස්ටර් ජව ට්‍රාන්සිස්ටර් (power transistor) යන විශේෂිත නාමයෙන්ද හැඳින්වේ.

ජව ට්‍රාන්සිස්ටර් යන නමින් නොහඳුන්වන ට්‍රාන්සිස්ටර්වලට පවා යම් ජව වර්ධනයක් කළ හැකි බව වින්‍යාස පාඩමේදී අප දුටුවා. එවිට පවර් ට්‍රාන්සිස්ටර් අනෙක් ට්‍රාන්සිස්ටර්වලින් වෙනස් වීමට තිබෙන කොන්දේසිය කුමක්ද? මීට ඉතාම නිශ්චිත පිලිතුරක් නැත. සමහරකු පවසනවා යම් ට්‍රාන්සිස්ටරයක් වොට් 1ක් හෝ ඊට වඩා වැඩි අගයක් දක්වා වූ ජවයක් අවුට්පුට් කළ හැකි නම් එය ජව ට්‍රාන්සිස්ටරයක් බව. තවත් සමහරෙකු වොට් 1 වෙනුවට මිලිවොට් 100 අගය සීමාකාරී/කඩඉම් අගය ලෙස සලකනවා. මාද පෞද්ගලිකව පිලිගන්නේ මිලිවොට් 100 අගයයි.

වර්ධක පරිපථවල පමණක් නොවේ ජව ට්‍රාන්සිස්ටර් භාවිතා වන්නේ; ස්විචිං පරිපථවලද ජව ට්‍රාන්සිස්ටර් භාවිතා වේ. කුඩා සංඥාවක් මඟින් විශාල භාරයක් (ලෝඩ් එකක්) ඔන් ඕෆ් කිරීමට මෙවන් පවර් ට්‍රාන්සිස්ටර් යොදා ගැනේ.

තවත් අවස්ථාවකදී (සාමාන්‍ය) ට්‍රාන්සිස්ටර් හා ජව ට්‍රාන්සිස්ටර් යන බෙදීම වෙනුවට, ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක කළ හැකි ජවය (power rating) පදනම් කර ගෙන low power (කුඩා ජවයන්), medium power (මධ්‍යම ප්‍රමාණයේ ජවයන්), high power (ඉහල ජවයන්) ලෙස ආකාර 3කින්ද ට්‍රාන්සිස්ටර් වර්ග කෙරේ. ලෝ පවර් යන්නට small signal යන වචනයද යොදා ගත හැකිය. එලෙසම හයි පවර් යන්නට large signal යන වචනය යොදා ගත හැකිය.

තවද, ජව ට්‍රාන්සිස්ටරය වෝල්ට් දහස් ගණනක් වැනි දැවැන්ත VCE අගයකට ඔරොත්තු දෙන ලෙසට නිපදවන විට ඒවා high voltage transistor ලෙස හැඳින් වේ. එමෙන්ම ජව ට්‍රාන්සිස්ටරයක IC අගය ඇම්පියර් දුසිම් ගණනක් සපෝට් කරන විට, ඒවා high current transistor නමින් හැඳින්විය හැකිය.

සංඥා වර්ධනයේදී වේවා ස්විචිංවලදී වේවා ට්‍රාන්සිස්ටරයක් නිසි ලෙස ක්‍රියාකාරී වීමට හැක්කේ යම් සංඛ්‍යාතයක් දක්වා පමණි. ඒ කියන්නේ, යම් ට්‍රාන්සිස්ටරයකට ඉන්පුට් කරන්න බැහැ ඕනෑම සංඛ්‍යාතයක් සහිත සංඥාවක්. සෑම ට්‍රාන්සිස්ටරයකටම යම් බීටා අගයක් තිබුණා සේම, සෑම ට්‍රාන්සිස්ටරයකටම වැඩ කළ හැකි උපරිම සංඛ්‍යාතයක් තිබෙනවා. එනිසා ඒ ඒ ට්‍රාන්සිස්ටරය සපෝට් කරන උපරිම සංඛ්‍යාතය අනුවත් ට්‍රාන්සිස්ටර්වලට විශේෂිත ලේබල් ලැබෙනවා.

පහල සංඛ්‍යාතයන් පමණක් සපෝට් කරන ට්‍රාන්සිස්ටර් AF (Audio Frequency) transistor හෙවත් ශ්‍රව්‍ය සංඛ්‍යාත ට්‍රාන්සිස්ටර් ලෙසත් ඉහල සංඛ්‍යාතයන්ද සපෝට් කරන ට්‍රාන්සිස්ටර් RF (Radio Frequency) transistor හෙවත් රේඩියෝ සංඛ්‍යාත ට්‍රාන්සිස්ටර් ලෙසද සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. ඒෆ් ට්‍රාන්සිස්ටර්වලට වඩා ආර්එෆ් ට්‍රාන්සිස්ටර්වල මිල අධික වීමටද හැකියි. ට්‍රාන්සිස්ටරයක් AF RF ද යන වග තීරණය කෙරෙන කඩඉම් සංඛ්‍යාතය හරියටම නිශ්චිත නැත. එහෙත් දළ වශයෙන් 10MHz ලෙස මා එය සලකනවා. තවත් කෙනෙකු එය 1MHz ලෙසද තවත් කෙනෙකු 30MHz ලෙසද එය සැලකිය හැකියි.

ඒඑෆ් ට්‍රාන්සිස්ටර් යන නම ඊට ලැබී තිබෙන්නේ ඒවා මිනිස් කන සංවේදී වන සංඛ්‍යාත පරාසය වන හර්ට්ස් 20 සිට 20,000 දක්වා වූ කලාපය ආවරණය කරන බැවිනි. එවිට කෙනෙකු අසාවි එසේ නම් කඩඉම් සංඛ්‍යාතය ලෙස හර්ට්ස් 20,000 ගත යුතුව තිබුණා නේද කියා. එහෙත් එම නම යොදා තිබෙන්නේ අඩු සංඛ්‍යාතයන් සහිත යන අර්ථය ගැනීම සඳහා ලේබලයක් ලෙස පමණි; එහෙම නැතිව හරියටම ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසයටම සීමා කිරීමට අවශ්‍යතාවක් තිබී නැත.

එලෙසම ආර්එෆ් ට්‍රාන්සිස්ටරයට එම නම ලැබුණේ රේඩියෝ තරංග සමඟ වැඩ කිරීමට ඒවාට හැකි නිසාය. ඇත්තටම රේඩියෝ තරංගද කිලෝහර්ට්ස් කිහිපයක සිට ගිගාහර්ට් සිය ගණනක් දක්වා විහිදී ඇත. එවිට කිලෝහර්ට්ස් කලාපයේ රේඩියෝ තරංග සඳහා ඒඑෆ් ට්‍රාන්සිස්ටර් වුවද යොදා ගත හැකියි. එසේ වුවත්, ප්‍රායෝගිකව අපට වැඩ කිරීමට පහසු වන්නේ මෙගාහර්ට් කලාපයේ රේඩියෝ තරංග සමඟයි. ඒ නිසා රේඩියෝ තරංග කියන නම ඇසෙන විටම අපට සිහිවෙන්නේ ඉහල සංඛ්‍යාතයන්ය. එනිසා ඉහල සංඛ්‍යාතයන් සඳහා යෝග්‍ය ට්‍රාන්සිස්ටර් රේඩියෝ සංඛ්‍යාත ට්‍රාන්සිස්ටර් කියා හැඳින්වීම ඉතාම උචිතයි නේද?

කෙසේ වෙතත්, ඒඑෆ් හා ආර්එෆ් යන ද්වි-භේද වර්ගීකරණය වෙනුවට ට්‍රාන්සිස්ටරය විසින් සපෝට් කරන උපරිම සංඛ්‍යාතය පදනම් කර ගෙන ට්‍රාන්සිස්ටර් low frequency, medium frequency, high frequency ලෙස තුන් ආකාරයකින් වර්ග කළද හැකියි.

FT

සංක්‍රාන්ති සංඛ්‍යාතය (Transition Frequency හෝ Transfer Frequency – FT) යනු සෑම ට්‍රාන්සිස්ටරයකම පවතින තවත් පරාමිතියකි. ඇත්තටම මෙය ට්‍රාන්සිස්ටරය සපෝට් කරන උපරිම සංඛ්‍යාතය හා ට්‍රාන්සිස්ටරයේ බීටා අගය යන දෙකම මත පදනම් වූ අගයකි. බැලූබැල්මට යම් ට්‍රාන්සිස්ටරයක් විසින් සපෝට් කරන උපරිම සංඛ්‍යාතය ලෙස පෙනුනත්, ඊට වඩා සියුම් වෙනසක් එහි ඇත. මෙහි නියම තේරුම දැනගත යුත්තේ මෙසේය
  
ඕනෑම ට්‍රාන්සිස්ටරයකට බීටා (iC/iB) අගයක් තිබෙනවානෙ. ට්‍රාන්සිස්ටරයට ඉන්පුට් කරන සංඥාවේ සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි කර ගෙන යන විට ඊට ප්‍රතිලෝම සමානුපාතිකව බීටා අගය වෙනස් වේ (එනම් සංඛ්‍යාතය වැඩි කර ගෙන යන විට බීටා අගය ක්‍රමයෙන් අඩු වේ). ඉතිං, යම් නිශ්චිත ඉහල සංඛ්‍යාතයකදී බීටා අගය 1 බවට පත් වේ. අන්න එම සංඛ්‍යාතය තමයි FT කියන්නේ. මෙනිසාම එය gain-bandwidth product යන නමිනුත් හැඳින්විය හැකියි.

ඉහත රූපයේ ඉතා මැනවින් සංකාන්ති සංඛ්‍යාතය නිරූපණය කෙරේ. යම් අඩු සංඛ්‍යාත පරාසයක් තිස්සේ ගේන් එක දළ වශයෙන් වෙනස් නොවේ (ඇත්තටම වෙනස් වේ; නමුත් එම බෑවුම ඉතා අඩුය). එහෙත් එක්තරා සංඛ්‍යාතයකට පසුව ගේන් එක සීග්‍රයෙන් ක්‍රමයෙන් අඩු වේ. ඉහත රූපයේ අක්ෂවල ඇති විචල්‍ය නේපියර් ලඝු (loge() = ln()) පරිමානයෙන් දක්වා ඇත.

ඉහත රූපයෙන් පෙන්වන ප්‍රස්ථාරය සූත්‍රයක් ලෙස පහත දැක්වේ. එහි β0 යනු අඩුම සංඛ්‍යාතයකදී ට්‍රාන්සිස්ටරයේ ඇති බීටා අගයයි; එය එම ට්‍රාන්සිස්ටරයට ලැබිය හැකි උපරිම බීටා අගයයි. එම අගය 0.707 න් ගුණ කළ විට ලැබෙන බීටා අගය සිරස් අක්ෂයෙන් ලකුණු කරන විට, ඊට අදාල තිරස් අක්ෂයේ සංඛ්‍යාත අගය තමයි fβ කියන්නේ.


එලෙසම සංඛ්‍යාතය fT වන අවස්ථාවේදී බීටා අගය, |β| = β0 / (f/f β) = 1 වේ. එවිට 1 = β0 / (fT/f β) වේ. ඉන් fT උක්ත කළ විට, fT = β0fβ ලැබේ. සංඛ්‍යාතය මත ට්‍රාන්සිස්ටරයේ බීටා අගය වෙනස් වේ. ඊට සැබෑම හේතුව ට්‍රාන්සිස්ටරය තුල තිබෙන ස්ට්‍රේ කැපෑසිටන්ස් දෙකකි. එකක් නම් (කොමන් එමිටර් වින්‍යාසයේදී) පෙරනැඹුරුව ඇති බේස්-එමිටර් සන්ධියේ ඇති emitter-base diffusion capacitance ලෙස හැඳින්වෙන ස්ට්‍රේ කැපෑසිටන්ස් එකයි (එය Cbe ලෙස සංඛේතවත් කරමු). අනෙක වන්නේ පසුනැඹුරු කර ඇති බේස්-කලෙක්ටර් සන්ධියේ ඇති collector-base transition capacitance නම් ස්ට්‍රේ කැපෑසිටන්ස් එකයි (Cbc). මේ දෙක ගැන පසුවට විස්තරාත්මකව බලමු (දැනට සිතන්න බේස්-එමිටර් සන්ධියට සමාන්තරවත්, බේස්-කලෙක්ටර් සන්ධියට සමාන්තරවත් මෙම ස්ට්‍රේ කැපෑසිටන්ස් පවතින බව). මෙවිට සංක්‍රාන්ති සංඛ්‍යාතය සොයන සූත්‍රය පහත ආකාරය ගනී (දැන් සංඛ්‍යාතය විචල්‍යයක් ලෙස එකවර පෙනෙන්ට නැත; නමුත් සංඛ්‍යාතය Cbc, Cbe වල විචල්‍යයකි; ඒනිසා වක්‍රාකාරයෙන් සංඛ්‍යාතය එහි විචල්‍යයක් වේ).


උදාහරණයක් බලමු. යම් ට්‍රාන්සිස්ටරයක බීටා අගය 200 ලෙස දී ඇතැයි සිතන්න. තවද, සංක්‍රාන්ති සංඛ්‍යාත අගය මෙගාහර්ට්ස් 100 යැයිද සිතන්න. මෙවිට එම ට්‍රාන්සිස්ටරයට හර්ට්ස් 100ක සංඥාවක් ඉන්පුට් කරන විට තිබෙන බීටා අගයට වඩා අඩු බීටා අගයක් කිලෝහර්ට්ස් 10ක සංඥාවක් සඳහා පවතිනවා. ඊටත් වඩා අඩු බීටා අගයක් පවතීවි සංඥා සංඛ්‍යාතය මෙගාහර්ට් 10ක් වූවා නම්. එලෙසම සංඥා සංඛ්‍යාතය මෙගාහර්ට්ස් 100 වුවොත් බීටා අගය 1 බවට පත් වේ. ඉතිං, එම ට්‍රාන්සිස්ටරයෙන් අඩුම ගානේ 20ක බීටා අගයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙගාහර්ට්ස් 100/10 = 20MHz ක උපරිම සංඛ්‍යාතය සහිත සංඥා පමණක් ඊට ඉන්පුට් කිරීමට සිදු වේ. එලෙසම, බීටා අගය 100ක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉන්පුට් කරන සංඥාවේ උපරිම සංඛ්‍යාතය විය යුත්තේ මෙගාහර්ට්ස් 100/100 = 1MHz වේ.

මේ අනුව ඔබට දැන් පැහැදිලි විය යුතුයි බීටා අගය නිරපේක්ෂ (තනි නියත) අගයක් ලෙස නොසැලකිය යුතුයි කියා. එනිසා β අගය කියවිය යුත්තේ FT අගයද සමඟය. කෙසේ වෙතත්, අඩු සංඛ්‍යාත සංඥා සමඟ වැඩ කරන විට සංඛ්‍යාතය ගැන අමුතුවෙන් වද වීමට අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් පවර් ට්‍රාන්සිස්ටර්, හයිවෝල්ටේජ් ට්‍රාන්සිස්ටර්වල “එෆ්ටී” අගය අඩුය.

BJT හඳුනාගැනීම

බයිපෝලර් (හා ෆෙට්) ට්‍රාන්සිස්ටර් යනු සරල උපාංගයක් නොවේ. අවශ්‍යයෙන්ම රෙසිස්ටර්, කැපෑසිටර්, කොයිල්වලට වඩා සංකීර්ණ හා දියුණු උපාංගයකි එය. රෙසිස්ටරයක් නම් කලර් කෝඩ් එකකින් හෝ යම් කෙටි අංකයකින් එම රෙසිස්ටරයේ වැදගත් පරාමිතින් (ප්‍රතිරෝධය, සහනතාව) රෙසිස්ටරය මතම දැක්විය හැකිය. කැපෑසිටර් හා කොයිල්වලත් එසේමයි. එහෙත් ට්‍රාන්සිස්ටර් එසේ නොවේ; ට්‍රාන්සිස්ටරයක වැදගත් පරාමිතින් සියල්ල ඒ මත කිසිසේත් දැක්විය නොහැකි තරමට විශාලය. එවන් අවස්ථාවලදී ට්‍රාන්සිස්ටර් හඳුනා ගැනීමට වෙනත් කේත ක්‍රමයක් අනුගමනය කළ යුතු වෙනවා. ට්‍රාන්සිස්ටර් බඳෙහි ඉංග්‍රිසි අක්ෂර හා ඉලක්කම් සහිත යම් කෙටි කේත නාමයක් සටහන් කරනවා. එවිට, එම ට්‍රාන්සිස්ටරය ගැන විස්තර (ට්‍රාන්සිස්ටර්වල විස්තර transistor data යනුවෙන් හඳුන්වනවා) අර කේත නාමය ගැන සෙවීමෙන් දැනගත හැකියි.

ඉස්සර නම් ට්‍රාන්සිස්ටර් ඩේටා සටහන් කර ඇති විශාල පොත් (මේවා transistor data book ලෙස හැඳින්වේ) මුද්‍රණය කෙරුණා. අදද එවැනි පොත් සොයා ගත හැකියි. එහෙත් ට්‍රාන්සිස්ටර් ඩේටා සෙවීම අද ඉතාම පහසු හා වියදම් අඩු කාර්යක් වී තිබෙනවා අන්තර්ජාලයට පිංසිදු වන්නට. අද ට්‍රාන්සිස්ටර්වල සියලු ඩේටා නොමිලේම අන්තර්ජාලය හරහා ගත හැකියි (ඒ සඳහා පහසුම ක්‍රමය නම් google.com යන සර්ච් එන්ජින් එකට ගොස් තමන් කැමති ට්‍රාන්සිස්ටර් කේතය හා datasheet යනුවෙන් ටයිප් කර බැලීමයි; උදාහරණ ලෙස c828 datasheet). ඩේටා පොත්වලට වඩා ඉතා විශාල විස්තර ප්‍රමාණයක් එමඟින් ක්ෂණිකව ලබා ගත හැකියි.

ට්‍රාන්සිස්ටර් ඩේටා පොතක ට්‍රාන්සිස්ටර් දහස් ගණනක දත්ත ලියා තිබෙන නිසා, එක් එක් ට්‍රාන්සිස්ටරයක අත්‍යවශ්‍යම දත්ත පමණි එහි තිබෙන්නේ (පේලි දෙක තුනකින් පමණ ඒවා ලියා තිබේ). එහෙත් ඇත්තටම ට්‍රාන්සිස්ටරයක් ගැන සම්පූර්ණ දත්ත ප්‍රමාණය පිටු දුසිමක පමණ දැක්වේ. විවිධ ප්‍රස්ථාර ඒ අතර වේ. බොහෝ නිෂ්පාදකයන් විසින් තමන් නිපදවන ට්‍රාන්සිස්ටර්වල එම දත්ත සියල්ලම ලස්සනට කුඩා පොත් පිංචක් ලෙස අන්තර්ජාලයෙන් නොමිලේම ලබා දෙනවා (බොහෝ විට pdf ෆයිල් ෆෝමැට් එකෙන් ඒවා ඇත). ගූගල් කළ විට එම ෆයිල් සොයා ගත හැකියි. ඇත්තටම තමන් භාවිතා කරන සියලු උපාංගවල නිෂ්පාදකයන් ලබා දෙන එම ෆයිල් සියල්ල ලබා ගෙන (අවශ්‍ය නම් ප්‍රින්ට් කරගෙනද) තබා ගැනීම සුදුසුය.

ට්‍රාන්සිස්ටර් විවිධ රටවලනෙ නිපදවන්නේ. ඉතිං ට්‍රාන්සිස්ටරයකට කෙටි කේතයක් දීමේදී ක්‍රම/සම්මත කිහිපයක්ම භාවිතා වේ. ප්‍රධාන සම්මතයන් 3ක් වන්නේ ජපන් සම්මතයක් වන JIS (Japanese Industries Standard), යුරෝපීය සම්මතයක් වන EECA (European Electronic Component Manufacturers Association), හා ඇමරිකානු සම්මතයක් වන EIA/JEDEC (Electronic Industry Association / Joint Electron Device Engineering Council) වේ. මෙම සම්මතයන්ට අමතරව ට්‍රාන්සිස්ටර් නිපදවන සමහර ආයතන තමන්ගේ ට්‍රාන්සිස්ටර් ඔවුන්ගේම කේත ක්‍රමයකින් දක්වන අවස්ථාද හමු වේ. යම් කිසි ආයතනයක් තමන්ගේම සම්මතයන් පවත්වාගෙන යන විට එවන් සම්මතයන් proprietary standards ලෙස හැඳින්වෙනවා.

JIS කේත

මෙහිදී ට්‍රාන්සිස්ටර් කේතය හැමවිටම 2S වලින් පටන් ගැනේ. එහි 2 යන්නෙන් අර්ථවත් වන්නේ උපාංගය තුල තිබෙන පීඑන් සන්ධි ගණනයි. ඉතිං ට්‍රාන්සිස්ටරයක් තුල සන්ධි 2ක් තිබෙනවානෙ. S යන්නෙන් අර්ථවත් වන්නේ මෙම උපාංගය අර්ධසන්නායක (semiconductor) උපාංගයක් බවයි. මෙම අක්ෂර දෙකට පසුව තවත් ඉංග්‍රිසි අකුරක් පවතින අතර පහත වගුවේ සටහන් කර ඇති ආකාරයට එම ට්‍රාන්සිස්ටරයේ යම් ස්වභාවයක් ඉන් හඟවයි.

A
RF PNP transistor
B
AF PNP transistor
C
RF NPN transistor
D
AF NPN transistor

ඊටත් පසුව තවත් සීරියල්/අනුක්‍රමික අංකයක් ලියයි. එම උපකොටස් 3ම අඩංගු වූ 2SC1815 වැනි ලස්සන කෙටි කේතයකින් ට්‍රාන්සිස්ටරය එතැන් පටන් හැඳින් වේ. තවද, සමහර අවස්ථාවලදී එම නමට පිටුපසින් තමත් A, B, C වැනි ඉංග්‍රිසි අක්ෂරයක් තිබිය හැකිය (එම අක්ෂරය අනිවාර්ය නැත). ඉන් හඟවන්නේ මූලික ට්‍රාන්සිස්ටරයේ යම් සුලු වෙනස්කමක් කර ඇති බවයි; සමහරවිට බීටා අගය වැඩි විය හැකියි. තවත් විටක කේතයේ ඉදිරියෙන් හැමවිටම පවතින 2S යන කොටස නැතිවත් එම ට්‍රාන්සිස්ටර් හඳුන්වයි (C1815 වැනි).

ඉහත වගුවේ සටහන් නොකළත්, J හා K යන අක්ෂරත් දෙවැනි අක්ෂරය ලෙස යොදා ගත හැකියි. ඒවා බයිපෝලර් ට්‍රාන්සිස්ටර් නොව (අප පසුවට ඉගෙන ගන්නට නියමිත) ෆෙට් ට්‍රාන්සිස්ටර් වේ. එවිට, 2SJxxxx යනු P-channel FET (JFET, MOSFET දෙකම) වන අතර, 2SKxxxx යනු N-channel FET (JFET, MOSFET දෙකම) වේ.

JEDEC කේත

කේතය හැමවිටම පටන් ගන්නේ 2N වලිනි. එයද ජපන් සම්මතයේදී මෙන් 2න් සන්ධි දෙකක උපාංගයක් බව හඟවයි. එහෙත් එම කොටසට පසුව සීරියල් අංකයක් පමණක් ඇත. එනිසා ට්‍රාන්සිස්ටරය ගැන තවත් අමතර තොරතුරක් මෙම ක්‍රමයෙන් නම් කරන ලද ට්‍රාන්සිස්ටරයක කේතයකින් ලබා ගත නොහැකිය (ජපන් සම්මතයේදී පීඑන්පීද එන්පීඑන්ද, ඒෆ්ද ආර්එෆ්ද යන වග කේතයේම සටහන් වෙනවානෙ). 2N2222 යනු මෙවන් ක්‍රමයට නම් කරන ලද ප්‍රචලිත ට්‍රාන්සිස්ටරයකි. සමහරවිට, මෙම කේතයට පිටුපසින් තවත් ඉංග්‍රිසි අකුරක් තිබිය හැකියි එම ට්‍රාන්සිස්ටරයේ කර ඇති විශේෂිත වෙනස්කමක් හැඟවීම සඳහා.

EECA කේත

මෙම ක්‍රමයට නම් කරන ලද ට්‍රාන්සිස්ටර් බහුලවම හමු වේ. Pro Electron සම්මතය ලෙසද සමහරුන් මෙය හඳුන්වයි. මෙහිදී කේතය පටන් ගන්නා මුල් ඉංග්‍රිසි අකුරින් එම ට්‍රාන්සිස්ටරය සාදා තිබෙන අර්ධසන්නායක ද්‍රව්‍ය හඟවයි. ප්‍රාථමිකව ජර්මේනියම්, සිලිකන්, ගැලියම් පොස්පයිඩ් ආදි ලෙස විවිධ අර්ධසන්නායක ද්‍රව්‍ය හඟවනවා යැයි පැවසුවත්, bandgap energy නම් අර්ධසන්නායක ගැන භෞතික විද්‍යාත්මකව හදාරණ විට හමුවන පරාමිතියයි මෙම අක්ෂරයෙන් හඟවන්නේ (ඔබට බෑන්ඩ්ගැප් ශක්තිය ගැන අවබෝධයක් නැති නම්, එක්කෝ එම සංකල්පය අමතක කර දමන්න; නැතිනම් සොයා බලා දැනගන්න). බෑන්ඩ්ගැප් ශක්තිය ඉලෙක්ට්‍රොන්-වෝල්ට් (eV) යන ශක්ති ඒකකයෙන් සාමාන්‍යයෙන් මනින/පවසන අතර, එම අගයන්ද පහත වගුවේ සටහන් කර ඇත (එය නොතේරෙන අය එය නොසලකා හරින්න).

A
Germanium
0.6eV – 1eV අතර බෑන්ඩ්ගැප් ශක්තියක් සහිත අර්ධසන්නායක
B
Silicon
1eV – 1.3eV
C
වෙනත් (Gallium Arsenide වැනි)
1.3eV
ට වඩා වැඩි
D
0.6eV ට වඩා අඩු

දෙවැනියටත් ඇත්තේ ඉංග්‍රිසි අකුරක් වන අතර, ඉන් කුමන වැඩක් සඳහා යොදා ගත හැකි ට්‍රාන්සිස්ටරයක්දැයි (ට්‍රාන්සිස්ටරයේ ස්වභාවය) හඟවයි. බහුලවම පරිපථ සඳහා යොදා ගැනෙන්නේ AF low power transistor නිසා General Purpose transistor (“හැම මඟුලකටම භාවිතා කරන ට්‍රාන්සිස්ටර්”) ලෙසත් ඒවා හැඳින්වේ.

C
AF low power
D
AF power
F
RF low power
L
RF power
S
switching
U
power switching

ඉහත ආකාරයට ඉංග්‍රිසි අකුරු දෙකෙන් පසු ඉලක්කම් 3ක හෝ ඉංග්‍රිසි අකුරක් සමඟ ඉලක්කම් 2ක සීරියල් අංක කොටසකුත් ඇත. උදාහරණ ලෙස, BC548 යන නිතර භාවිතා වන ට්‍රාන්සිස්ටරය ගත හැකියි. සමහරවිට මෙම කේතයට පසුව එම ට්‍රාන්සිස්ටරයේම තවත් විශේෂිත වෙනස්කමක් සහිත ට්‍රාන්සිස්ටරය හැඟවීමට තවත් ඉංග්‍රිසි අක්ෂරයක් තිබිය හැකිය. උදාහරණ ලෙස, BC548C යනු ගේන් එක විශාල (400ක් පමන) ලෙස ඇති BC548 ට්‍රාන්සිස්ටරය වන අතර, BC548A යනු ගේන් එක 100ක් පමණ වන සේ නිපදවූ එම BC548 ට්‍රාන්සිස්ටරයමයි.

ආදේශක ට්‍රාන්සිස්ටර්

පරිපථයක් නිර්මාණය කරන කෙනෙකු නම්, තමන් යොදා ගන්නා සියලු උපාංග මොනවාදැයි තීරණය කරන්නේ තමන් විසිනි. එහිදී තමන්ගේ අවශ්‍යතාව ඉටු කරන අඩුම මිලට පහසුවෙන් ලබා ගත හැකි හොඳ කොලිටියක් තිබෙන උපාංගයි තෝරා ගන්නට උත්සුක වන්නේ. එහෙත් දැනටමත් කවුරුන් හෝ විසින් ලෝකයේ කොහේ හෝ අස්සක නිර්මාණය කරපු පරිපථයක් අලුත්වැඩියාවකදී, ඉවත් කිරීමට සිදු වන පිලිස්සුනු උපාංග වෙනුවට අලුත් උපාංග සවි කරන්නට සිදු වෙනවානෙ. එහිදී සමහරවිට විශාල ප්‍රශ්නයක් වන්නේ එම උපාංගය පහසුවෙන් අඩු මිලට සොයා ගැනීමයි. මෙම ගැටලුව ට්‍රාන්සිස්ටර් සඳහා නිතර මතු වන අතර, ඒ සඳහා කදිම විසඳුම්ද ඇත.

ඉස්සර වගේ නොවේ; දැන් ලෝකය කුඩා වී ඇත. බොහෝ දේවල් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා නිවසටම ගෙන්වා ගත හැකිය. ඉස්සර නම්, කොළඹ පදිංචි නොවන කෙනෙකුට ට්‍රාන්සිස්ටර් ආදිය සොයා ගැනීමට කොළඹටම ඒමට සිදු වේ. සෑහෙන්න රස්තියාදුවක්ද ගැසීමට සිදු වේ. එහෙත් දැන් ebay.com, aliexpress.com වැනි වෙබ් අඩවියකට ගොස් තමන්ට අවශ්‍ය ට්‍රාන්සිස්ටර් හෝ වෙනත් උපාංග සියල්ලම පාහේ නිවසටම ගෙන්වා ගත හැකියි තැපෑලෙන්. පුදුමයට මෙන් එම උපාංග බොහෝවිට වෙළඳපොලේ තිබෙන මිල ගණන්වලට වඩා අඩුය. රට සිට තැපෑලෙන් බඩු ඒමට සුමාන දෙකක් පමණ කාලයක් ගත වීම මෙහි ඇති ප්‍රශ්නයයි. හොර විකුනුම්කරුවන්ද ඇති නිසා පරිස්සමට දැනගෙන එය කළ යුතුය. ඕනෑම කෙනෙකුට තමන්ගේ ඉතිරි කිරීම් ගිනුමට සම්බන්ද කරපු ඩෙබිට් කාඩ් එකක් ලබා ගත හැකි අතර, එමඟින් ගෙවීම් සිදු කළ හැකිය.

එහෙත් යම් යම් අංක සහිත ට්‍රාන්සිස්ටර් සොයා ගැනීමට නොහැකි නම්, තවත් විසඳුමක් තිබෙනවා. එය නම්, එම ට්‍රාන්සිස්ටරයට තුල්‍ය/සමාන (equivalent) ට්‍රාන්සිස්ටර් යොදා ගැනීම වේ. විවිධ කේත/නාම යටතේ ලෝකයේ විවිධ නිෂ්පාදකයන් විසින් ට්‍රාන්සිස්ටර් වර්ග සිය දහස් ගණන් නිපදවති. ඉතිං, ඒවායේ ගතිගුණ 100%ක් එක සමාන නොවුණත්, සමහර ට්‍රාන්සිස්ටර් තවත් වර්ගයකට ආදේශ කළ (substitute) හැකිය (හරියට සාමාන්‍යයෙන් ඔබ දත් මැදීමට ගන්නා ක්ලෝගාඩ් කඩේ නැති විටක ඒ වෙනුවට සිග්නල් භාවිතා කරනවා වාගේ). ඉතිං, තමන් සතුව තිබෙන සොයා ගැනීමට අපහසු ට්‍රාන්සිස්ටරයේ දත්ත පළමුව සොයා ගෙන, එම දත්තවලට ගැලපෙන තමන්ට සොයා ගත හැකි වෙනත් ට්‍රාන්සිස්ටර් ගැන සෙවිය හැකිය.


TUN හා TUP

TUN (Typical Universal NPN) හා TUP (Typical Universal PNP) යනු විශේෂිත ට්‍රාන්සිස්ටර් නාම 2කි. ඇත්තටම මේවා ට්‍රාන්සිස්ටර්වල කේත දෙකක් නොව, පොදුවේ යම් general purpose ට්‍රාන්සිස්ටර් කාණ්ඩයක් වෙනුවෙන් යොදපු නම් දෙකකි (typical universal යනු general purpose යන තේරුමම දෙන වචන පෙලකි).

TUN යනු පහත දැක්වෙන කොන්දේසි සියල්ල සපුරන ඕනෑම එන්පීඑන් ට්‍රාන්සිස්ටරයක් පොදුවේ හඳුන්වනු ලබන නාමයකි. මෙම කොන්දේසි සපුරන ට්‍රාන්සිස්ටර්වලින් සමහරක් නම් BC547, BC107, 2N3904 වේ. ඒ කියන්නේ යම් පරිපථයක ට්‍රාන්සිස්ටරය TUN ලෙස නම් කර ඇත් නම්, මේ ඕනෑම ට්‍රාන්සිස්ටරයක් ඒ සඳහා යොදා ගත හැකිය. පහත කොන්දේසිවල අගයන් ලබා දී තිබෙන්නේ උපරිම හා අවම අගයන් වශයෙනි.

කොන්දේසි
VCE(max) = 20V
IC(max) = 100mA
P(max) = 100mW
FT(min) = 100MHz
β(min) = 110

ඒ ආකාරයටම TUP සඳහාද ඉහත කොන්දේසි ටික එලෙසම අදාල වේ; එකම වෙනස මෙම ට්‍රාන්සිස්ටර් PNP විය යුතු වීමයි. TUP ට්‍රාන්සිස්ටර්වල උදාහරණ ලෙස, BC557, 2N2412 දැක්විය හැකිය.



ඇත්තටම දක්වා තිබෙන අගයන්ට සමාන හෝ වැඩි අගයන් සහිත ට්‍රාන්සිස්ටර් තමයි එම කොන්දේසි තෘප්ත කරනවා සේ සැලකිය යුත්තේ. උදාහරණයක් ලෙස, යම් ට්‍රාන්සිස්ටරයක් සපෝට් කරන උපරිම කලෙක්ටර් ධාරාව මිලිඇම්පියර් 100ට සමාන හෝ වැඩි නම්, එම කොන්දේසිය සැපිරී ඇති අතර, එම අගය මිලිඇම්පියර් 100ට අඩු නම් කොන්දේසිය සපුරා නැත.
 

1 comment:

  1. බොහෝම ස්තුතී.අතිශය වටිනවා..

    ReplyDelete