Saturday, March 17, 2018

අලි බබා සහා හොරු සමඟ හෙලුවෙන්

විශේෂ අපරාධ මහාධිකරණයක් ස්ථාපනය කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, එය මේ මොහොත වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයටද ලක් කෙරී ඇත. විරුද්ධ පාර්ශව මූලිකව පොදු විපක්ෂය හා ලංකා නීතිඥ සංගමයයි. එහෙත් ඒ දෙගොල්ලන්ගේ ස්ථාවර වෙනස්ය. බැලූබැල්මට කිසිවෙකුට මීට විරුද්ධ වීමට බැරිය. තවද, එය රටේ ජාතික මැතිවරණ දෙකකින්ම ජනවරමකින්ද සම්මත වූ ඡන්ද පොරොන්දුවකි. එකවරම එය ජනමත විචාරණයකින් සම්මත වූවක් සේ නොසැලකිය හැකි වුවත්, ජනයා ඊට පක්ෂ වී තිබෙන බව ගම්‍ය කළ හැකිය.

රටේ නීතිය ක්‍රියාත්මක වීම ගොලුබෙලි ගමනේය. නීතිඥ ප්‍රජාවට නම් එම අධිකරණ කටයුතු ප්‍රමාදය ලොතරැයියකට සමානය. එනිසාදෝ ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස ඊට මැදිහත් නොවී අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉල්ලා නොසිටින්නේ (වරින් වර කුඩා නිවේදන නිකුත් කරනවා හෝ වොයිස්කට් දෙනවා හැරෙන්නට). රන්ජන් රාමනායක උසාවි හා නීතිඥයන් ගැන පැවසූ දේට අපද සියයට අනන්ත ගණනකින් එකඟ වේ.

එවැනි තත්වයක් තුල, රටේ සම්පත් බිලියන ගණනින් සොරකම් කළ එවුන්ගේ නඩුවත් කඩිනමින් ඇසීමට මෙවැනි උසාවියක් බිහි කිරීම පැසසිය යුත්තකි. එයද අනෙක් මහාධිකරණය මෙන්ම තවත් මහාධිකරණයක් පමණි. එයද රටේ සෙසු අධිකරණ සේම පරිපාලනය වන්නක් වනු ඇත. ඊට පත් වන්නේද රටේ වෙනත් අධිකරණවල සිටින විනිසුරුවන් වැනිම විනිසුරුවන්ය. රටේ පවතින පොදු නීතියමයි එහිත් ක්‍රියාත්මක වන්නේ. ඉතිං, එවන් අධිකරණයකින් කෙනෙකුට අවාසියක් අවැඩක් වන්නේ කෙසේද? චෝදනා ලද්දෙකු අවංකවම තමන් නිර්දෝෂි යැයි සිතන්නේ නම් හෝ තමන්ගේ නිර්දෝෂි බව ඔප්පු කිරීමට සාක්ෂි ඇත් නම්, ඇත්තටම ඔවුන්ද මෙවැනි උසාවියක් ඇති වීම ගැන සතුටු විය යුතුය. අසතුටු විය හැක්කේ ඇත්තටම පාදඩ සොරුන්ය; රට මංකොල්ල කාපු එවුන්ය.

රටේ පවතින පොදු තත්වයට සාපේක්ෂව පුරවැසියෙකුට සිතිය හැකියි එය තමන්ගේ මානව අයිතියක් උල්ලංඝනය වීමක් ලෙස මොකද තමන්ගේ නඩු වසර ගණන් ඇදෙද්දී තෝරා ගත් නඩු සීග්‍රව ඇසෙන නිසා. එසේ නම්, ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යා යුත්තේ සාමාන්‍ය ජනයාය. එහෙත් දැන් ඊට විරුද්ධව ගොස් ඇත්තේ වෙනත් පිරිසකි. පොදු විපක්ෂයේ නියෝජිතයන් ඊට විරුද්ධ වීම කාටත් ප්‍රත්‍යක්ෂ ලෙස පැහැදිලි කරුණකි. ඔවුන් කලබල වී ඇත. අමුතුවෙන් අටුවා ටීකා ඒ ගැන ලිවීමට අවශ්‍ය නොවේ.

නීති සංගමය විරුද්ධ වන්නේ එම කෙටුම්පතේ ඇති යම් යම් යෝජනා ස්වල්පයක් ගැන පමණි. ඉන් එකක් වන්නේ මෙතෙක් නීතිපති සතුව තිබූ යම් අභිමත බලයක් ඉන් වංචා දූෂන විමර්ෂන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්ටද හිම වීම ඔවුන් පිලි ගන්නේ නැත. එහෙත් එය අපට ගැටලුවක් නොවේ. නීතිපති යනුද අධයක්ෂක ජනරාල් යනුද රජයේ ස්වාධීන ආයතන දෙකක ප්‍රධානින්ය. ඔවුන් දෙදෙනාටම බලය හිමි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඉතිං, නීතිපතිම සියලු බලතල ඉසිලිය යුතු යැයි කියන්නේ මන්ද? මා කල්පනා කරන ලෙසට, නීතිඥ සංගමය යෝජනා කළ යුත්තේ, නීතිපතිගෙන් දැනට ඔහු සතුව තිබෙන බලතල එසේම තිබෙන්නට හැර, අධ්‍යක්ෂක ජෙනරාල්ටද කෙටුම්පතේ කියනා යම් බලතල කිහිපයක් සමපාත වන සේ පැවරීමයි. එවිට දෙදෙනාටම නඩු පැවරීමට  හැකියාව ලැබේවි. දෙදෙනා සාකච්ඡා කර නඩු පැවරීම තවත් ශක්තිමත් හා අප්‍රමාද අයුරින් සිදු කළ හැකි වනු ඇත.


නීතිඥ සංගමය විරුද්ධ වන අනෙක් කරුණ වන්නේ මෙම මහාධිකරණයෙන් දුන් තීන්දුවක් සම්බන්දයෙන් යම් පාර්ශ්වයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේදී පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එවැනි නඩුද අඛණ්ඩව පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි. එහෙත් මෙම නඩුවල තිබෙන බැරෑරුම්කම හා දැනටමත් ප්‍රබල සාක්ෂි පැවතීම හා එවන් නඩු සිය ගණනක් නොපැවතීම යන කරුණු මත ඒවාට ප්‍රමුඛතාව ලබා දීම එතරම් අප්‍රායෝගික නොවේ. මට නම් පෙනෙන්නේ, නීතිඥ සංගමයේ "පුරුෂාධිපත්‍යය" අවධි වී මේවාට විරුද්ධ වීමක් සේ පමණි. සංගමයේ සිටින යම් අයගේ පොරත්වය ඔසවා තැබීමට කරන සෙල්ලමකි. කෙසේ වෙතත්, පොදු විපක්ෂය කියන තර්කය නීතිඥ සංගමය පිලි නොගන්නා බව පෙනේ. ඒ අනුව අප සිතන්නේ අධිකරණ ශාලාව තුල කරුණු දැක්වීමේදී පොදු විපක්ෂයේ තර්කනයට විරුද්ධවද තම අදහස් නීතිඥ සංගමය විසින් දක්වනු ඇත කියාය.

මේ අතරේ තවත් සැකයක් මතු වේ. එනම්, රනිල්ගේ සර්ව රෝග නිවාරණය මෙම කෙටුම්පත හරහා විසඳා ගනීවිදෝ යන්නයි. පොදු විපක්ෂය නැවත කඩිමුඩියේ රනිල්ට විරුද්ධව විශ්වාසභංගය කතා බහට ගැනීම අවිශ්වාස කටයුතු වේ. එකිනෙකාගේ ක්‍රියාදාම අවසානයේ තිරයේ පිටුපස හිලව් කර ගැනීමට ඉඩ තිබේ. ඒ ගැනත් අප සිහියෙන් සිටිය යුතුය.

No comments:

Post a Comment