Saturday, November 25, 2017

උසස් අධ්‍යාපනය ආශ්‍රයෙන්...

අධ්‍යාපනික සුදුසුකම් සහතිකපත්‍ර
විශ්ව විද්‍යාල හා එහි ව්‍යුවහය
විවෘත විශ්ව විද්‍යාලය
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්
උපාධි වර්ග
උපාධි සාමාර්ථ/පංති
වෘත්තීය/ප්‍රොෆෙෂනල් අධ්‍යාපනය
විශ්ව විද්‍යාල හා පාඨමාලාවල පිලිගැනීම
නිදහස් ආරේ අධ්‍යාපනය


අධ්‍යාපනය (education) යනු කුමක්දැයි ඇසූ විට විවිධ අය විවිධ පිලිතුරු දිය හැකිය. ඩික්ෂනරිවලද විවිධ අර්ථ දැක්වීම් තිබිය හැකිය. නිශ්චිතවම අර්ථ දැක්වීමට අපොහොසත් වුවත් අප සැවොම අඩුවැඩි වශයෙන් අධ්‍යාපනය ලබමින් සිටී හෝ ලබා ඇත. අධ්‍යාපනය නොයෙක් ආකාරවලින් බෙදා දක්වනවා. ඒ අතුරින් එක් බෙදීමක් තමයි ඉගෙන ගන්නා දැනුමේ මට්ටම අනුව බෙදීම. එවිට සමස්ථ අධ්‍යාපනයම ප්‍රාථමික (primary), ද්විතියික (secondary), තෘතියික (tertiary) ලෙස තුන් ආකාරයකින් බෙදිය හැකියි. මේ එක් එක් මට්ටමේදී ලබා දෙන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇත; ඒ ගැන ඉතා දීර්ඝ ලෙස කතා කිරීමට තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය බොහෝවිට කුඩා ළමුන්ට ලබා දෙන අධ්‍යාපනයයි. ද්විතියික අධ්‍යාපනය ළමා අවධිය පසු කළ පසු නව යොවුන් වියේ හා තරුණ වියේ ලබන අධ්‍යාපනයයි. සාමාන්‍යයෙන් මෙම දෙවර්ගයේම අධ්‍යාපනය ලබා දෙන්නේ පාසැල් (schools) හරහාය. අප සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා ඉගෙන ගන්නා විට ද්විතියික අධ්‍යාපනයේ අවසානය එයයි (ලංකාවේ හැටියට).

ඒ දෙකටම වඩා ඉහල දැනුමක් උගන්වන අධ්‍යාපනය තෘතියික අධ්‍යාපනය වේ. සමහරුන් තෘතියික අධ්‍යාපනයට පසුව තවත් අධ්‍යාපන මට්ටමක් (චතුර්ථක - quartenary) ගැනද කතා කරයි. බොහෝ දෙනා (මාද ඇතුලුව) චතුර්ථක අධ්‍යාපනයද තෘතියික අධ්‍යාපනයටම ඈඳා කතා කරනවා. තෘතියික අධ්‍යාපනය උසස් අධ්‍යාපනය (higher education) ලෙසද අවශ්‍ය නම් හැඳින්විය හැකියි. මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථයද උසස්/තෘතියික අධ්‍යාපනය ගැන කරුණු කිහිපයක් කතා කිරීමටයි.


සමහරුන්ට උසස් අධ්‍යාපනය හෝ තෘතියික අධ්‍යාපනය යනු විශ්ව විද්‍යාල අධ්‍යාපනයම පමණි. විශේෂයෙන් විශ්ව විද්‍යාල අරගලවල නියුතු එම සිසුන්ගේ ආකල්පය එය බව ඍජුවත් වක්‍රවත් විද්‍යාමාන වේ. එය ළිං මැඩි ආදිවාසි ආකල්පයකි. උසස් අධ්‍යාපනය මේ වන විට සංකීර්ණ හා පැතුරුණු ස්වභාවයක් ගනී. මිනිසුන්ට එහිදී තෝරාගැනීම් එමටයි.

ඔබ යමක් ඉගෙන ගන්නේ ඇයි? විවිධ හේතු විවිධ අයට තිබිය හැකියි. හේතුව කුමක් වුවත්, මේ අතරින් අතිශය බහුතරය කැමැතියි තමන් ඉගෙන ගත් දේ කවුරුත් පිලිගන්නා එකක් නම්. මෙම පිලිගැනීම අන්‍යයන්ට සනාථ කිරීම සඳහා කුමක් හෝ සහතික/අධිකාරි පත්‍රයක් හිමි කර ගත යුතුයිනෙ. ඉතිං, ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ සහතික/අධිකාරි පත් පිරිනැමිය හැකියි. ලංකාවෙත් තවත් බොහෝ රටවලත් මෙලෙස පිරිනැමෙන ප්‍රධාන සහතිකපත්‍ර වර්ග 3ක් සිහියට නැගේ.

       1. සහතික (certificate)
       2. ඩිප්ලෝමා (diploma)
       3. උපාධි (degree)

කෙනෙකුට එකවරට සිතට හැඟේවි සහතිකයට වඩා ඩිප්ලෝමාවද, ඩිප්ලෝමාවට වඩා උපාධියද පිලිගැනෙන හෝ උසස් වග. එහෙත් එය එසේම නොවේ. යම් ගමනක් යෑමට ඔබට වාහන වර්ග කිහිපයක්ම තිබෙනවානෙ - කාර්, වෑන්, බයිසිකල්, ප්ලේන්, බස් ආදි ලෙස. මින් එකක් අනෙකට වඩා උසස් හෝ පහත් කියා කිව නොහැකිය. එක් එක් වාහනයේ වෙනස්කම් තිබේ; වාසි අවාසිද තිබේ. එච්චරයි. අන්න එලෙසමයි ඉහත ආකාරයේ සහතිකපත්වල තත්වයත්.

සාමාන්‍යයෙන් වසරක් හෝ ඊට අඩු කාලයක් තුල යමක් හැදෑරුවාට පසුව සහතික පිරිනැමේ. මෙම ඉගෙන ගන්නා එකේ උසස් පහත් භේදයක් ඉන් හැඟවෙන්නේ නැත. උදාහරණයක් ලෙස, යම් ඉංජිනේරුවෙක් තමන්ට අවශ්‍ය තවත් අතිවිශේෂ/වැදගත් දැනුමක් මාස 6ක කෝස් එකක් කර ලබා ගත්තේ නම්, ඔහුට ලැබෙනු ඇත්තේද සහතිකයකි. එය සහතිකයක් වුවත් ඉගෙන ගත් දේ කොතරම් වටිනවාද බලන්න. එහෙත් කෝස් එකේ කාලය කුඩා නිසා එක්කෝ උගන්වන දෙය සරල දෙයක් විය යුතුය; නැතිනම් සංකීර්ණ වුවද කුඩා ප්‍රමාණයක් විය යුතුය. විශාල කාලයක් වැය කරමින් උගත යුතු දේවලට තමයි ඩිප්ලෝමා හෝ උපාධි තිබෙන්නේ.

ඩිප්ලෝමා යනු වසරක සිට වසර කිහිපයක් දක්වා ඉගැන්වෙන කෝස් එකක් සඳහා සාමාන්‍යයෙන් පිරිනැමෙන්නෙකි. සමහර වෙලාවට වසර එකයි හමාරක් හෝ දෙකක් වැනි දිගු කාලයක ඩිප්ලෝමා "උසස් ඩිප්ලෝමා" (higher diploma) ලෙස හැඳින්වෙනවා.

උපාධියක් යනුද සාමාන්‍යයෙන් වසර දෙකයි හමාරක සිට වසර කිහිපයක් දක්වා වූ කාලයක කෝස් එකක් සඳහා පිරිනැමෙන්නකි. උදාහරණයක් ලෙස, ලංකාවේ විශ්ව විද්‍යාලවල, නීති, ඉංජිනේරු උපාධි සඳහා වසර 4ක්ද, කලා උපාධි සඳහා වසර 3ක්ද සාමාන්‍යයෙන් ගත වේ.

ඒ අනුව ඩිප්ලෝමා හා උපාධි අතර සමීපබවක් පෙනෙනවා නේද? සමහර ඩිප්ලෝමා තිබෙනවා උපාධියක් තරම්ම පිලිගැනෙන. ඒවා උපාධිවලට සමාන (degree equivalent) සුදුසුකමක් ලෙස හෝ "උපාධි ඩිප්ලෝමා" (graduate diploma) ලෙස හැඳින්වේ. එංගලන්තය වැනි රටවල මෙවැනි උපාධි ඩිප්ලෝමා බහුල වශයෙන් පිරිනැමේ. BCS (British Computer Society), ECUK, City and Guilds වැනි ආයතන මෙහි ඉදිරියෙන් සිටී.

ඇත්තටම උපාධියක් කියන්නේ තවත් එක් සහතිකපත්‍රයක් පමණි. ඕනෑම කෙනෙකුට හෝ ආයතනයකට යම් දෙයක් යම් කාල සීමාවක් තුල උගන්වා ඉන්පසු පවත්වන විභාගයකින් සමත් වන අයට සහතික හෝ ඩිප්ලෝමා පිරිනැමිය හැකිය. ඒ සඳහා කාගෙන්වත් අවහිරයක් නැත. මටත් එලෙස පිරිනැමිය හැකියි. එය ලෝකයා විසින් පිලිගන්නවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි (ඒ ගැනත් මොහොතකින් බලමු).

එහෙත් එලෙස උපාධි යන නමින් සහතිකපත්‍රයක් පහසුවෙන් ලබා දිය නොහැකිය. ඒ සඳහා රට තුල සුදුසු රාජ්‍ය ආයතනයකින් අවසර ලබා ගත යුතු වේ. ලංකාව තුල නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඊට මැදිහත් වේ. එලෙස අවසර ලබන ආයතන පොදුවේ "උපාධි පිරිනැමිය හැකි ආයතන" (degree awarding institutions) ලෙස හැඳින්වේ. ලංකාවෙත් වෙනත් රටවලත් විවිධ නම්වලින් මෙවැනි ආයතන තිබේ (උදාහරණ ලෙස, SAITM, SLIIT, NIBM, NSBM, ඇමරිකාවේ MIT).

සමහර රටවල නම් උපාධිය පවා කාගෙන්වත් අවසර නැතිව පිරිනැමිය හැකි වේ. එනිසා ඒ ආශ්‍රයෙන් තරමක වංචාද සිදු වේ. එනම්, යම් මුදලක් (වසර ගණනාවකට පෙර අවසන් වරට මේ ගැන මා සොයා බැලූ විට ඊට වැය වූයේ රුපියල් විසිතිස් ගණනකි) අය කර ගෙන විවිධ උපාධි (ආචාර්ය උපාධි පවා) සහතික ලබා දේ. ලංකාවේද එලෙස හොර සහතික ගත් අය සිටිති. මෙවන් උපාධි සහතිකයක් ලංකාවේ ආයතනයකට ඉදිරිපත් කළ විට, ඔවුන්ට හැඟීමක් නැහැ එම සහතිකය පිරිනමා ඇති ආයතනය හොර ආයතනයක් වග. මට මතකයි එක් අවස්ථාවක යම් කෙනෙකු විශ්ව විද්‍යාල කථිකාචාර්ය රැකියාව ලබා ගැනීමටද මෙවන් හොර සහතිකයක් ඉදිරිපත් කර වැඩේ මාට්ටු වූවා.

උපාධි පිරිනැමිය හැකි ආයතන අතර විශ්ව විද්‍යාල (university) යන නමින් හැඳින්වෙන ආයතන ව්‍යුහයක්ද ඇත. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව යමින් ලංකාවෙත් බොහෝ රටවලත් විශ්ව විද්‍යාලට නාමයන් දමන්නේ එය පිහිටා තිබෙන ප්‍රදේශයේ නමිනි (කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය, එංගලන්තයේ කේම්බ්‍රිජ් නම් නගරයේ පිහිටි කේම්බ්‍රිජි විශ්ව විද්‍යාලය ආදි ලෙස). එසේ නම් කිරීම අනිවාර්ය නැත; එය සම්ප්‍රදායක් පමණි.

තවද, රජයෙන් (රාජ්‍ය විශ්ව විද්‍යාල - state university) මෙන්ම පෞද්ගලික අංශයද (පෞද්ගලික විශ්ව විද්‍යාල - private university) විශ්ව විද්‍යාල පවත්වාගෙන යනවා. රජයෙන් පවත්වාගෙන ගියත් ඉන් හැඟවෙන්නේ නැහැ රාජ්‍ය විශ්ව විද්‍යාලවල නොමිලේ ඉගැන්වෙනවා කියා. ලංකාවේදී නිදහස් (නොමිලේ) අධ්‍යාපන ප්‍රතිපත්තිය තිබෙන නිසා එලෙස නොමිලේ විශ්ව විද්‍යාල පහසුකම් ලැබෙනවා. ලංකාව හැරුණහම ජර්මනිය ආදී යුරෝපා රටවල් ගණනාවකත්, තවත් රටවලත් මෙලෙස නොමිලේ විශ්ව විද්‍යාල පහසුකම ලබා දී තිබෙනවා (විදෙස් සිසුන්ට පවා ඇතුලු විය හැකිය). ඔබත් ඒ ගැන සොයා බලන්න; ඔබට පුදුම හිතෙන තරමට රටවල් මෙම පහසුකම සලසා දී තිබෙනවා. සමහරවිට ඔබටත් එවැන්නකට ඇතුලු විය හැකි වේවි. ලංකාවේ මෙම අගනා අවස්ථා ගැන සිසුන් නොදැනීම නිසා මහඟු අවස්ථා ඔවුන්ගෙන් මඟ හැරී යන බව පෙනෙනවා.

සමහර පෞද්ගලික විශ්ව විද්‍යාල ලාභ නොලබන ආයතන (non-profit institutions) ලෙස පවත්වාගෙන යනවා. මෙහිදී සිසුන්ගෙන් මුදලක් අය කරන නමුත්, එම මුදල වැය කෙරෙන්නේ ආයතනය පවත්වාගෙන යන්නට, ගුරුවරුන්ගේ පඩි ගෙවීමට ආදියටයි. අයිතිකරුවන්ට ලාභ නොලැබේ. ලංකාවේ සයිටම් වෛද්‍ය පීඨයත් නුදුරේදී එසේ කරන බව රජයෙන් පොරොන්දු දී තිබෙනවා.

විශ්ව විද්‍යාලය යනු නමින්ම කියවෙන පරිදි ඉතා වැදගත් අධ්‍යාපන ආයතන වර්ගයකි. එහි බුද්ධිමතුන් හා උගතුන් සිටී යැයි සාමාන්‍යයෙන් පිළිගැනේ. එනිසා අතීතයේ සිට පල්ලියට හා විශ්ව විද්‍යාලයට රජයෙන් එතරම් ඇඟිලි ගැසුවේ නැත. තරමක ස්වාධිපත්‍යයක් (autonomy) තමන්ගේ කටයුතු සඳහා ඔවුන් සතුව පැවතිණි. අදටත් ලංකාවේ විශ්ව විද්‍යාල තුලට දේශපාලකයන්, පොලිසිය වැනි ආයතනවලට මැදිහත් වීමට විශාල විරෝධයක් තිබෙනු ඔබ ජනමාධ්‍යය තුල නොයෙක් වර දැක ඇති. එහෙත් සම්ප්‍රදායට වඩා රටේ සාදන නීති ඉහලින් සිටින නිසා අවශ්‍ය ඕනෑම වෙලාවක රජයට අවශ්‍ය ලෙස ඒවා වෙනස් කළ හැකි බවද මතක තබා ගත යුතුය.

විශ්ව විද්‍යාලයක විවිධ විෂයන් සාමාන්‍යයෙන් උගන්වයි. එනිසා ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් අනුව නැවත විශ්ව විද්‍යාලය තුල කුඩා බෙදීම් ඇත. සමස්ථ විශ්ව විද්‍යාලයම පළමුව පීඨ (faculty) ලෙස හැඳින්වෙන ඒකකවලට බෙදේ. උදාහරණ ලෙස, යම් විශ්ව විද්‍යාලයක විද්‍යා පීඨයක් තිබිය හැකියි විද්‍යාවට අදාල විෂයන් ඉගැන්වෙන; කලා පීඨයක් තිබිය හැකියි කලා විෂයන් ඉගැන්වීම සඳහා. ඔබ දන්නවා පාසල්වල පවා කලා, වානිජ, විද්‍යා, තාක්ෂන ආදි ලෙස කොටස් කර තිබෙනවානෙ. සෑම පීඨයක්ම තනි තනියෙන් ස්වාධීන වේ. ඒ කියන්නේ තම පීඨයේ වැඩ කටයුතුවලට විශ්ව විද්‍යාලයේම වෙනත් පාර්ශ්වයකට හෝ භාහිරව අනවශ්‍ය ලෙස මැදිහත් විය නොහැකිය (එයද සම්ප්‍රදායකි).

පීඨයක් තුල එකිනෙකට සම්බන්ද විෂයන් රාශියක් ඉගැන්විය හැකිය. එනිසා පීඨයක් තුල එක් එක් විෂය පථයක් සඳහා වෙන වෙනම අංශ හෙවත් දෙපාර්තමේන්තු (department) පවතී.

සෑම දෙපාර්තමේන්තුවකට ප්‍රධානියෙකු සිටින අතර, ඔහු අංශාධිපති (department head) ලෙස හැඳින්වේ. එලෙසම සෑම පීඨයකම ප්‍රධානියා ලෙස පීඨාධිපතියකු (dean) බැඟින් සිටී. එලෙසම, සමස්ථ විශ්ව විද්‍යාලයේම ප්‍රධානියා ලෙස උපකුලපති (Vice-chancellor) කෙනෙකු සිටී. කුලපති (chancellor) කියා තනතුරක්ද ඇති අතර, ඔහු ඇත්තටම නාමික ප්‍රධානියා පමණි. ඔහුට එදිනෙදා විශ්ව විද්‍යාල කටයුතුවලට මැදිහත් විය නොහැකිය. සාමාන්‍යයෙන් රටේ නායකයා විසින් නමගිය (උගත්/බුද්ධිමත්/වැදගත්) අය මෙම තනතුරට පත් කෙරේ.

තවද ඇමරිකාව හා ඒ ඔස්සේ හැඩගැසී ඇති රටවල මීට වඩා වෙනස් සම්ප්‍රදායන්ද ඇත. සමහරවිට පීඨ යන වචනය වෙනුවට College යන වචනය ඔවුන් භාවිතා කරනවා. එංගලන්තය, ලංකාව ඇතුලුව එංගලන්ත සම්ප්‍රදාය සහිත රටවල පවා කොලීජ් යන වචනය පීඨ වෙනුවට භාවිතා වෙන අවස්ථාද තිබෙනවා. උදාහරණ ලෙස, මෙඩිකල් කොලීජ් යන වචනය අප කාටත් හුරුයි නේද? මෙඩිකල් කොලීජ් යනු මෙඩිකල් ෆැකල්ටි යන්නම තමයි. ඊට අමතරව, ලංකාවේ (හා වෙනත් රටවලත්) අප බොහෝවිට කොලීජ් යන්න භාවිතා කරන්නේ සාමාන්‍ය පාසල්වලටනෙ. ඊටත් අමතරව, වෙනත් උසස් හෝ වෙනත් අධ්‍යාපනයන් ලබා දෙන ආයතනත් කොලීජ් යන නමින් හඳුන්වනවා (ටෙක්නිකල් කොලීජ්, ලෝ කොලීජ් ආදි ලෙස). කොලීජ් යන්න වෙනුවට school යන වචනයද පීඨ වෙනුවට ඇමරිකානු සම්ප්‍රදායන් තුල සමහරවිට යොදා ගැනෙනවා. එම ආරෙට යමින් ලංකාවේද කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක පිලිබඳ ඉගැන්වෙන පීඨය school of computing (දිග නම university of colombo school of computing - UCSC) ලෙස හැඳින් වෙනවා. මෙවිට පීඨාධිපති යන නම වෙනුවට අධ්‍යක්ෂක (director) යන නමින් එහි ප්‍රධානියාව හැඳින්වෙන අවස්ථා තිබෙනවා.

මීටත් අමතරව, දැන් විශ්ව විද්‍යාල තුල center ("අහවල්" සෙන්ටර්), unit ("අහවල්" යුනිට්), institute ("අහවල්" ආයතනය) ආදි නම්වලින්ද අධ්‍යනයන්ට උදව් කරන විවිධ (පීඨ හෝ අංශවලට සමාන්තරව) ව්‍යුහයන්ද පිහිටුවා තිබෙනවා. තවද, විශ්ව විද්‍යාලයක පීඨයක් තරම්ම වටිනා තවත් ව්‍යුහයක් වන්නේ පුස්ථකාලයයි.

විශ්ව විද්‍යාලයටම බොහෝ අය campus කියාද කියනවා (කෙටි නිසා වෙන්න ඇති). එහෙත් එය 100%ක්ම නිවැරදි නැත. කැම්පස් යනු යම් විශ්ව විද්‍යාලයකට අයත් උපකොටසකි. සිංහලෙන් එය මණ්ඩපය කියා කිව හැකියි. එයත් හරියට විශාල පීඨයක් වැනිය. සාමාන්‍යයෙන් මණ්ඩපයක් පිහිටුවන්නේ විශ්ව විද්‍යාලයේ පරිශ්‍රයෙන් පිට වෙනත් තැනකය. උදාහරණයක් ලෙස, කිරිබත්ගොඩ පිහිටි කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත දේශිය වෙදකම පිලිබඳ මණ්ඩපය පිහිටා තිබෙන්නේ යක්කලය. කැම්පස් එකක් කාලයාගේ ඇවෑමෙන් සමහරවිට වෙනම විශ්ව විද්‍යාල බවටද පහසුවෙන් හැරවිය හැකිය. එනිසා සමහර අවස්ථාවල, පසුකාලයක ස්වාධීන විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ අදහසින් යම් විශ්ව විද්‍යාලයකට අනුබද්ධිතව කැම්පස් ඇති කෙරේ.

ලංකාවේ විශ්ව විද්‍යාල අතර ඔබ අසා ඇති විවෘත විශ්ව විද්‍යාලය (open university) යන නමින්ද රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තිබෙනවා (නාවල ප්‍රදේශයේ එය පිහිටා ඇත). මෙය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයක් නොව. වෙනත් රටවලද විවෘත විශ්ව විද්‍යාල තිබිය හැකිය. සාමාන්‍ය විශ්ව විද්‍යාලවලදී සිසුන් පූර්ණ කාලීනව (full-time) ඉගෙන ගත යුතුය. එනම් අප සතියට යම් දවස් ගණනක් පාසල් යනවා වාගේම, විශ්ව විද්‍යාල සිසුන්ද සතියකට යම් දින ගණනක් කැම්පස් යා යුතුය. තවද, සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයක සිසුවෙකුට තමන් කරන අධ්‍යන පාඨමාලාව (program of study හෝ course) නියමිත වසර ගණන තුල (දිගු නිවාඩු නොගෙන) අවසන් කළ යුතුය (සමහරවිට සමහර විභාග අසමත් වීම වැනි කාරණා නිසා එම කාලය ටිකක් වැඩි වියද හැකිය). සමහරවිට ඊට ඇතුලු වීමට උපරිම වයස් සීමාවක්ද තිබිය හැකියි. ඊටත් අමතරව, ලංකාව වැනි රටවල එවැනි සාම්ප්‍රදායික කැම්පස් එකකට ඇතුලු වීමට උසස් පෙළ විභාගයෙන් ඉහලින් සමත් වීමටද සිදු වෙනවා (මෙය සිදුව ඇත්තේ ලංකාවේ කැම්පස් එකට බඳවා ගන්නා ප්‍රමාණය අඩු නිසාය). තවද, ඒලෙවල් විභාගයට පසු වසරේම විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කිරීමට සිදු වෙනවා (අද ඒලෙවල් කර, එම ප්‍රතිපලයෙන් තවත් වසර 3කට පසුව විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කළ නොහැකිය). විවෘත විශ්ව විද්‍යාලයේ තත්වය වෙනස්ය.
  • ඊට ඇතුලු වීමට කිසිදු උපරිම වයස් සීමාවක් නැත. හැට පැනපු කෙනෙකුට වුවද අවශ්‍ය නම් ඇතුලු විය හැකිය. එනිසා තරුණ මහලු සෑම වයස් කාණ්ඩයකම අය එකට ඉගෙන ගනී.
  • කෝස් එක ඉවර කිරීම මෙතරම් කාල සීමාවක් තුලදී සිදු විය යුතු බවටද සීමාවක් නැත. අවශ්‍ය නම් අවුරුදු විස්සක් තිහක් වුවද සිටිය හැකියි (එතරම් කාලය ගන්නා අය ඇත්තටම සිටිනවාද නැද්ද යන්න මා දන්නේ නැත). එහෙත් එය කර අවසන් කළ හැකි අවම කාලයක් ඇති අතර එය බොහෝ විට වසර 3ක් හෝ 4ක් වේ. බොහෝ දෙනෙකු කැමැති හැකි ඉක්මනින් උපාධිය අරන් පිට වන්නට බැවින් වසර ගණන් අනවශ්‍ය ලෙස ගත කරන්නේ නැත.

    සමහරුන්ට ඇති වන ප්‍රායෝගික ප්‍රශ්න නිසා කාලය වැඩියෙන් ගත විය හැකියි. උදාහරණයක් ලෙස, යම් කාන්තාවක් විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්න අතරේ මවක් වුවොත්, ඇයට හැකියි ළමයා තරමක් ලොකු වන තෙක් වසර කිහිපයකට කැම්පස් නොගිහින් ඉන්න. මෙහිදී කිසිදු අධ්‍යාපනික වැඩක් සිදු නොකර ශිෂ්‍යභාවය (studentship) වසරින් වසර අලුත් කරමින් පමණක් සිටිය හැකිය. මෙලෙසම කෙනෙකුට විශාල රෝගයක්/අනතුරක් සිදු වීම, රැකියාවක් සඳහා විදෙස්ගත වීම වැනි කාරණා නිසාද ශිෂ්‍යභාවය විතරක් පවත්වාගෙන යමින් සිටිය හැකිය. ඉන්පසු අවුරුදු කිහිපයකට පසුව තමන් නැවතුනු තැන සිට නැවත ඉදිරි පාඩම් නිම කළ හැකියි.
  • තවද, විවෘත විශ්ව විද්‍යාලයට ඇතුලු වීමටද අවම සුදුසුකම (ලංකාවේ) උසස් පෙල සමත් වීම පමණි (සාමාන්‍ය විශ්ව විද්‍යාලයට තිබිය යුතු සුදුසුකමමයි). එහෙත් උසස් පෙල විභාගය සමත්ව තමන්ට කැමති කාලයකට පසුව වුවද ඉල්ලුම් කළ හැකිය.

    තවත් අවස්ථාවල, එම අවම සුදුසුකම සපුරා නැති අයටද ඊට ඇතුලත් වීමට අවසර දේ. එහිදී වෙනත් සුදුසුකම් සලකා බැලේ (කාර්මික පුහුනුවක්, ක්ෂේත්‍ර අත්දැකීම් වැනි). මෙවිට උපාධි පාඨමාලාව හැඳෑරීමට පෙර බොහෝවිට මූලික පාඨමාලාවක් විශ්ව විද්‍යාලය විසින් ඔවුන්ට කිරීමට බල කරයි. මේවා පදනම් පාඨමාලා (foundation course) ලෙස හැඳින්වේ.
  • සියලු පාඨමාලා අර්ධකාලීන (part-time) වේ. එනිසා ජොබ් එකක් කරන ගමන් වුවද උපාධිය කළ හැකි පරිදි මේවා සකසා ඇත. එහෙත් සති අන්ත හා වෙනත් නිවාඩු දිනවල දේශන පැවැත්වේ (ඒවාට සහභාගි විය යුතුය). පාඨමාලාවට අදාලව පෙළ පොත්ද ලබා දේ. නිවසේදී ඒවා කියවා හැදෑරිය යුතුය. වෙනත් නිර්දේශිත පොත්ද කියවිය යුතුය. ඒවා කැම්පස් පුස්තකාලයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබා ගත හැකියි.
  • මුදල් අය කරයි.
ඉහත හේතු නිසා පෙනෙනවා නේද මෙය කාටත් "විවෘතයි" කියා. එනිසා තමයි විවෘත විශ්ව විද්‍යාලය කියා නම් කරලා තිබෙන්නෙත්. තවද, හැමදාම යම් නිශ්චිත තැනකටම විත් ඉගෙන නොගෙන තමන් සිටින තැන සිටම ඉගෙන ගැනීමට හැකි ක්‍රමයකුත් තිබෙනවා. මෙය දූරස්ථ අධ්‍යාපනය (distance learning) ලෙස හැඳින්වෙනවා. විවෘත විශ්ව විද්‍යාලයද ඒ අනුව දූරස්ථ අධ්‍යාපනයක් තමයි ලබා දෙන්නේ. දැන් දැන් සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලවල පවා දූරස්ථ අධ්‍යාපන ක්‍රමයට පාඨමාලා පවත්වනවා. ඊට හේතුව අන්තර්ජාල පහසුකම් පැවතීමයි.

පාසලක උගන්වන අය (පාසල්) ගුරුවරු/ආචාර්යවරුන් වන අතර, විශ්ව විද්‍යාලයක උගන්වන ගුරුවරු "විශ්ව විද්‍යාල ගුරුවරු/ආචාර්යවරුන්" (university teachers) වේ. සමහරුන් කථිකාචාර්යවරුන් ලෙසද මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පොදුවේ හඳුන්වනවා. ඉගැන්වීමට අමතරව, පර්යේෂනද මොවුන් විසින් සිදු කෙරේ (විශ්ව විද්‍යාලයක මූලික වගකීමක්ද වනුයේ පර්යේෂනය කිරීම හා නව දැනුම නිර්මාණය කිරීමයි). මොවුන්ට රජයෙන් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වේ (සොයා බලන්න). එහෙත් දළ වශයෙන් මෙම ගුරුවරුද මූලික මට්ටම් දෙකකින් යුතුය.

       1. කථිකාචාර්ය (lecturer)
       2. මහාචාර්ය (professor)

ඕනෑම ආයතනයක සේවකයන්ට වැටුප් හා සේවා තත්වය/මට්ටම කාලය (ජ්‍යෙෂ්ඨත්වය), හැකියාව, උගත්කම මත ඉහලට යන්නට අවස්ථාව සලසා තිබෙන්නා. මේ සඳහා ඉහත මූලික මට්ටම් 2 බොහෝවිට තවත් උපමට්ටම් කිහිපයකට බෙදනවා. එය රටින් රටට වෙනස් වේ. ලංකාවේ දළ වශයෙන් එය පහත ආකාරයට බෙදේ.

       1. සහය කථිකාචාර්ය
       2. කථිකාචාර්ය
       3. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
       4. සහය මහාචාර්ය
       5. මහාචාර්ය
       6. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

ඇත්තටම විශ්ව විද්‍යාලය පරිපාලනය කරන උපකුලපති, පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් වන්නේද ඉහත විශ්ව විද්‍යාල ගුරුවරුන් අතරින්මයි. මේගොල්ලන් අධ්‍යාපනික කටයුතුවල නියැලෙන නිසා අධ්‍යන කාර්ය මණ්ඩල (academic staff) ලෙස හැඳින්වේ. මීට අමතරව අනධ්‍යන සේවකයන්ද සිටී (විශ්ව විද්‍යාලයේ පිරිසිදුකම පවත්වා ගැනීමට, ආරක්ෂාව සැපයීමට, ලිපිකාර වැඩ කිරීමට ආදිය).

අනෙක් රාජ්‍ය සේවකයන් සේම, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්/ගුරුවරුන්ද නිසි වයසේදී විශ්‍රාම යයි. යම් මහාචාර්ය කෙනෙකු එලෙස විශ්‍රාම ගිය පසු ඔහුට මහාචාර්ය යැයි කියන්නේ නැත (කැමති නම් හිටපු මහාචාර්ය හෝ විශ්‍රාමිත මහාචාර්ය යැයි කිව හැකිය). එහෙත් සමහර මහාචාර්යවරුන් විශ්‍රාම යන විට, ඔහුගෙන් විශාල සේවාවක් රටට සිදුව ඇත් නම්, බොහෝවිට විශ්ව විද්‍යාලය විසින් ඔහුට "සේවාර්ජිත මහාචාර්ය" (Emeritus Professor) පට්ටමක් පිරිනමයි ඔහුට ගෞරවයක් වශයෙන්. එවිට, විශ්‍රාම ගිය පසුද ඔහුව මහාචාර්ය ලෙස ආමන්ත්‍රණය කළ හැකිය.

සමහර අවස්ථාවල යම් කෙනෙකු තම ජීවිත කාලය තුල යම් ක්ෂේත්‍රයකට කළ මෙහෙවර ඇගයීමක් ලෙසද, මහාචාර්ය පට්ටමක් ඔහුට පිරිනැමිය හැකිය. එම පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් එහිදී නොසැලකේ. එවැනි මහාචාර්ය පට්ටම් honorary professor ("ගෞරවනීය මහාචාර්ය" ?) ලෙස හැඳින්විය හැකිය. මෙය ගෞරවයට පිරිනමන දෙයක් බැවින්, ඉන් කිසිදු උසස් අධ්‍යාපන මට්ටමක් නොහඟවන බැවින්, එවැනි මහාචාර්ය පට්ටමක් ලැබූ අය ඉන් අයුතු වාසි නොලැබීමට හෝ තමන්ද විශ්ව විද්‍යාල මහාචාර්ය කෙනෙකු බවට නොහැඟවීමටද කටයුතු කළ යුතුය.

සමහර අවස්ථාවලදී යම් යම් දේශන සිදු කිරීමට පිටතින් පුද්ගලයන්ටද ආරධනා කෙරේ (ඔවුන් කැම්පස් එකේ ස්ථිරව වැඩ කරන්නේ නැත). ප්‍රකට ව්‍යාපාරිකයන් හෝ යම් ක්ෂේත්‍රයක් සම්බන්දයෙන් නම ගිය පුද්ගලයන් මෙලෙස කැම්පස් එකට ඉඳහිට දේශන කිරීමට යයි. මේ අය භාහිර කථිකාචාර්ය (visiting lecturer) ලෙස හැඳින්වේ. එහි අරමුණ මේ අයගේ ප්‍රායෝගික දැනුම සිසුන් සමඟ බෙදා හදා ගැනීමයි.

උපාධිය යන සුදුසුකමද මට්ටම් කිහිපයකින් ඇත. මූලික වශයෙන් එය මට්ටම් 3කින් කතා කෙරේ.

       1. ප්‍රථම උපාධිය හෙවත් ශාස්ත්‍රවේදී උපාධිය (first degree හෝ bachelor degree)
       2. දෙවැනි උපාධිය හෙවත් ශාස්ත්‍රපති උපාධිය (master degree)
       3. ආචාර්ය උපාධිය (හෙවත් දර්ශනශූරී උපාධිය?) (PHD හෝ doctorate)

විශ්ව විද්‍යාලයකින් කෙනෙකු ලබන පලමු උපාධිය බැචලර් උපාධියයි. "ශාස්ත්‍රවේදී, විද්‍යාවේදී" ආදී ලෙස "වේදී" යන කොටස සහිතව මෙවන් උපාධි හැඳින් විය හැකිය. මෙම උපාධි නිතරම ඉංග්‍රිසියේදී bachelor යන කොටස සහිතව සඳහන් වේ. උදාහරණ ලෙස, bachelor of arts (BA), bachelor of science (BSc හෝ BS), bachelor of engineering (BEng), bachelor of information technology (BIT), bachelor of technology (BTech), bachelor of Ayurvedic Medicine (BAM), bachelor of Dental Surgery (BDS), bachelor of laws (LLB), bachelor of medicine + bachelor of surgery (MBBS) ආදි ලෙස උදාහරණ දැක්විය හැකිය. පෙරත් සඳහන් කළ පරිදි වසර 2යි හමාරක සිට වසර 5ක් වැනි කාලයක් මෙවැනි පාඨමාලා පවතී. යම් විෂයක් ගැන තරමක් ගැඹුරින් මෙවැනි කෝස්වල ඉගැන්වේ. එහෙත් මේවා හැදෑරීමෙන් විශේෂඥ දැනුමක් නොලැබේ. ලංකාවේ බොහෝ අය මෙම මට්ටමින් පසුව උසස් අධ්‍යාපනය අවසන් කරයි.

එහෙත් ඉහත ආකාරයේ ප්‍රථම උපාධියක් සමත්ව කැමති නම් තව දුරටත් ගැඹුරට ඉගෙනීමට මාස්ටර් උපාධියක් කළ හැකිය. සාමාන්‍යයෙන් කාල සීමාව වසරක සිට වසර 3ක් පමණ දක්වා විය හැකිය. මෙහිදී තමන් ප්‍රථම උපාධියේදී උගත් විෂය යටතේම තවත් ගැඹුරු දැනුමක් මින් ලැබේ. එනිසා මින් බිහි වන්නේ විශේෂඥ දැනුමක් ඇති අයයි. "ශාස්ත්‍රපති, විද්‍යාපති" ආදී ලෙස "පති" යන කොටස සහිතව මෙම උපාධි නම් කළ හැකිය. මෙම උපාධි නාමයන් ඉංග්‍රිසියෙන් පටන් ගන්නේ master යන කොටසිනි. උදාහරණ ලෙස, master of arts (MA), master of science (MSc), master of engineering (MEng), master of laws (LLM) ආදිය දැක්විය හැකිය.

මීටත් පසුව තවත් උපාධියක් ඇත. එය ආචාර්ය උපාධිය (Doctor of Philosophy - PHD හෝ Doctorate) ලෙස හැඳින්වෙනවා. ඇත්තටම පෙර කියූ උපාධි වර්ග දෙකෙන් මෙය වෙනස්ය. පෙර අවස්ථා දෙකේදී තමන් යම් ක්ෂේත්‍රයක් පිළිබඳ දැනට තිබෙන දැනුමයි ඉගෙන ගන්නේ. එහෙත් ආචාර්ය උපාධියකට ඉගෙන ගැනීමේදී තමන් නව දැනුමක් එම ක්ෂේත්‍රයට නිර්මානය කර දෙයි. එහිදී ක්ෂේත්‍රය ගැන ඉගෙන ගෙන, විමර්ෂනය කර, පර්යේෂනය කර නව දැනුම සොයා ගැනීමට සිදු වේ. එනිසා යම් අධ්‍යනයක් එහිද නැත්තේ නොවේ. මෙසේ ආචාර්ය උපාධි අපේක්ෂකයා තමන් සොයා ගත් දැනුම එම විෂය පිළිබඳ දැනුමැති මහාචාර්ය මණ්ඩලයකට ඉදිරිපත් කරන අතර, එම දැනුම ඇත්තටම වැදගත් යැයි ඔවුන් නිශ්චය කළොත්, ආචාර්ය උපාධිය ඔහුට පිරිනැමේ. ඇත්තටම ආචාර්ය උපාධියට ගත වන කාලය එය කරන ආකාරය අනුවයි නිශ්චය වන්නේ.

සමහරුන් MPhil (master of philosophy) නම් තවත් උපාධියක් ආචාර්ය උපාධිය හා මාස්ටර් උපාධිය අතර පවතිනවා යැයි සලකනවා (මා එයත් මාස්ටර් උපාධි යටතටම ඇතුලු කරනවා). නමින්ම කියවෙන පරිදි එයත් මාස්ටර් උපාධියක් නේද? අතීතයේදී දර්ශන විෂය යනු ඉතා ඉහළින් සැලකූ විෂයයි. එනිසා එය ඉගෙන ගත් අයට ඉතා ඉහල වටිනාකමක් ඉබේම ලැබුණා. එනිසා කෙනෙකු, අපි සිතමු, යම් කලා විෂයකින් මාස්ටර් උපාධියක් ලැබුවා කියා; තවත් කෙනෙකු දර්ශන විෂයෙන් මාස්ටර් උපාධියක් ලැබුවා කියා. එවිට ඉහත කියූ කරුණ අනුව වැඩි සැලකුම ලැබුවේ දර්ශනපති (master of philosophy) උපාධිකරුටයි. ඉතිං අදටත් එම සම්ප්‍රදාය සමහරුන් පවත්වාගෙන යනවා. එහෙත් අද දර්ශන විෂය යනු සමාජයේ එතරම් ඉහලින් සලකනු ලබන්නක්ද නොවෙයි.

Doctor of Science - DSc ලෙසද තවත් උපාධියක් දක්නට ලැබේ. මෙය අනිවාර්යෙන්ම ආචාර්ය උපාධිය හෝ ඊට ඉහල මට්ටමක එකකි. රටින් රටට එය වෙනස් වේ. කෙසේ වෙතත්, ආචාර්ය උපාධිය කලා, විද්‍යා, වානිජ ආදි ඕනෑම ක්ෂේත්‍රයකට පොදු වුවත්, DSc උපාධිය විද්‍යා ක්ෂේත්‍රයට පමණක් අයත් එකකි. තවද, ලංකාවද ඇතුලුව සමහර රටවල DSc උපාධිය ආචාර්ය උපාධියට වඩා ඉහල මට්ටමක උපාධියක් ලෙස සැලකේ. තවද, එක දිගට කෙනෙකු පියවරින් පියවර ඉගෙන ගෙන ආවොත්, තරුණ වයසේදීම ආචාර්ය උපාධියක් ලබා ගත හැකියි. එහෙත් DSc උපාධියක් ලබන විට සාමාන්‍යයෙන් ජීවිතයේ පරිනත අවධියට පැමිණ තිබේ. ඊට හේතුව පර්යේෂන ආදිය බොහෝ කර අත්දැකීම් බහුල අයටයි එය ලැබෙන්නේ. මෙනිසා මෙම උපාධිය පශ්චාත්-ආචාර්ය උපාධියක් (post-doctoral degree) ලෙස හැඳින්වේ.

පළමු උපාධියේද යම් ප්‍රභේද ඇත. සාමාන්‍ය බැචලර් උපාධියට වඩා අවුරුද්දක් වැනි කාලයක් වැඩිපුර තව දුරටත් එම උපාධිය කරන විට (එවිට අවුරුදු තුනේ උපාධිය අවුරුදු 4ක් බවට පත් වේ), ඊට විශේෂ උපාධියක් (special degree) ලෙස හැඳින් වේ. එනම් වැඩිපුර වසරක් අමතර දැනුමක් ඉගෙන ගනී. එවැනිම උපාධියකි ගෞරව උපාධියක් (Honors degree) කියන්නෙත්. සාමාන්‍යයෙන් මෙවැනි උපාධි සාමාන්‍ය පලමු උපාධියට වඩා ඉහල නමුත් මාස්ටර් උපාධියකට වඩා තරමක් පහල මට්ටමක් සහිත උපාධියක් සේ සැලකේ. මෙවන් උපාධියක් සහිත කෙනෙකුට යම් වරප්‍රසාදයක්ද ඇත. එනම්, එම උපාධිය හොඳින් සමත් වූ විට, මාස්ටර් උපාධිය මඟහැර කෙලින්ම ආචාර්ය උපාධියක් කළ හැකිය.

පොදුවේ මාස්ටර් උපාධිය හා ඊට ඉහල උපාධි පශ්චාත් උපාධි (postgraduate) ලෙස හැඳින්වේ. ඊට හේතුව ප්‍රථම උපාධියට පසුව ඇති උපාධි යන අර්ථයෙන් ඒවා සලකන නිසාය. පශ්චාත් උපාධියක් ලබා ගත් තැනැත්තාවද පෝස්ට්ග්‍රැජුවට් යන නමින් හැඳින් වේ. තවද, පළමු උපාධිය මෙන්ම එම උපාධිය ඇති කෙනාව undergraduate ලෙස ඒ අනුව ඉංග්‍රිසියෙන් කිව හැකියි. මේ කුමන හෝ වර්ගයක උපාධියක් හෝ එවැන්නක් ලබපු කෙනාව graduate ලෙස හැඳින් විය හැකිය.

සාමාන්‍යයෙන් මාස්ටර් උපාධියක් කළ හැක්කේ එම ක්ෂේත්‍රයේම ප්‍රථම උපාධියක් ඇති කෙනෙකුට පමණි. එහෙත් තවත් ආකාරයක මාස්ටර් උපාධි ඇත. එහිදී ප්‍රථම උපාධිය කුමන හෝ විෂයක් ගැන විය හැකිය. මෙවැනි මාස්ටර් උපාධියකින් කරන්නේ ප්‍රථම උපාධියක් සහිත කෙනෙකුට (ඕනෑම විෂයක් යටතේ), වෙනත් විෂයක් ගැන පොදුවේ දැන සිටිය යුතු දැනුමක් ලබා දීමයි. උදාහරණයක් ලෙස, පරිගනක දැනුම අද හැමෝටම අවශ්‍යයිනෙ. ඉතිං, පරිගනක පිලිබඳ මාස්ටර් ඩිග්‍රි මේ සඳහා සකසා තිබෙනවා. ඇත්තටම මෙවැනි මාස්ටර් උපාධිවලින් විශේෂඥ දැනුමක් ලබා දෙන්නේද යන්න ගැටලුවකි. මෙවැනි මාස්ටර් උපාධි conversion degrees ලෙස හැඳින් වේ (තමන් දන්නා විෂයේ සිට තවත් විෂයකට යෑමක්). අප කවුරුත් නිතර අසන දකින MBA (master of business administration) යනු එවැනි උපාධියකි.

උපාධි හදාරන විට හමුවන වචනයක් semester කියන්නේ. එය උපාධිය කරන කාල සීමාව තුල පවතින නිශ්චිත කාල පරාසයකි; පාසැල්වල "වාරය" (term) කියන දේම තමයි මෙය. සාමාන්‍යයෙන් වසරකට සෙමෙස්ටර් දෙකක් තිබේ. සෑම සෙමෙස්ටර් එකක් අවසානයේ විභාගයක් තිබේ. මෙම ලකුණු සියල්ල සලකා තමයි අවසානයේ උපාධිය පාස්ද නැද්ද කියා බලන්නේ.

මෙලෙස සෑම සෙමෙස්ටර් එකකදීම ලබා ගන්නා ලකුණු එකතු කර එය ඇවරේජ් කර ඔබට ලැබෙන සාමර්ථයේ මට්ටම තීරණය වේ. පාසලේදී A, B, C, W වැනි අක්ෂරයකින් සාමාර්ථ මට්ටම පෙන්වන්නා සේ, උපාධියකදී " අහවල් පංතිය" (class) යන නමින් එම සාමාර්ථ මට්ටම නම් කරනවා. සාමාන්‍යයෙන් පහත ආකාරයට මෙම පංති පවතිනවා.

       1. පළමු පංතිය (first class)
       2. දෙවැනි ඉහල පංතිය (second upper class)
       3. දෙවැනි පහල පංතිය (second lower class)
       4. තෙවැනි පංතිය (third class)

පලමු පංතියේ හෝ දෙවැනි ඉහල පංතියේ සාමාර්ථයක් ලබපු අයටයි සුදුසුකම් ලැබෙන්නේ කැම්පස් එකක කථිකාචාර්ය (සහය කථිකාචාර්ය) ලෙස පත් වන්නට. එසේ පත්වීම ලැබුවට පසු, (සහය) කථිකාචාර්යවරුන්ට බල කෙරෙනවා පශ්චාත් උපාධියක්ද තමන් උගන්වන ගමන් හැඳෑරීමට. ඉන්පසු උසස් වීම් ලැබිය හැකිය. සාමාන්‍යයෙන් මහාචාර්යවරුයකු බවට උසස් වීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය කරනවා. බොහෝ අයට ආචාර්ය මහාචාර්ය වචන දෙක සමාන බවක් දැනේ; එහෙත් ඒ දෙක වෙනස්ය. ආචාර්ය යනු යමක් ඉගෙන ගෙන ලබන අධ්‍යාපනික සුදුසුකමකි; උසස් උපාධියකි. මහාචාර්ය යනු රැකියාවකි. රැකියාවෙන් විශ්‍රාම යන විට එම නම මීට පෙර විස්තර කර ඇති ලෙසට තමන්ට අහිමි වුවත්, තමන්ගේ ආචාර්ය උපාධිය හා ඉන් ලබන ගෞරවය මැරෙන තුරුම පවතී.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් ලබා දෙන්නේ ශාස්ත්‍රිය අධ්‍යාපනයකි (academic education). මෙවන් හැදෑරීමකදී තම විෂය පිළිබඳ ඉතිහාස කතා, දාර්ශනික පදනම් ආදී දේවල්ද ඉගැන්වේ. ඒ කියන්නේ යමක් ප්‍රායෝගිකව සිදු කිරීමට අවශ්‍ය දැනුමට අමතරව ප්‍රායෝගික වැඩවලට අවශ්‍ය නැති විශාල දැනුමක්ද ඉන් ඉගැන්වෙනවා. ඒ කියන්නේ මෙවන් අය "පණ්ඩිතයි". තම ක්ෂේත්‍රය ගැන අල ගිය මුල ගිය තැන්ද ඉගෙන ගන්නවා. තවත් ජාතියක අධ්‍යාපනයක් තිබෙනවා වෘත්තීය අධ්‍යාපනය (professional education) කියා. මෙහිදී ප්‍රායෝගිකව යමක් නිවැරදිව ඵලදායිව කිරීමට අවශ්‍ය දැනුම පමණයි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකින් මෙවන් අධ්‍යාපනයක් ලබා නොදේ.

එනිසා සාමාන්‍යයෙන් උපාධි (ප්‍රථම, මාස්ටර්, ආචාර්ය ආදී සියලු මට්ටම්) ලබා දෙන්නේ ශාස්ත්‍රිය අධ්‍යාපනයක් ලබපු අයටයි. වෘත්තිය දැනුම ලබපු අයට ඩිප්ලෝමා (ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදි ලෙස විවිධ මට්ටම්වලින්) ලබා දේ. ඇත්තටම අද ලෝකයේ/ව්‍යාපාරිකයන්ගෙන්/කර්මාන්තවලින් වැඩි ඉල්ලුමක් තිබෙන්නේ "වැඩකාරයන්ට" බැවින් වෘත්තිය පාඨමාලාවලට (ලංකාව වැනි රටවල) ඉහල ඉල්ලුමක් තිබෙනවා. එනිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයද දැන් දැන් වෘත්තීය අධ්‍යාපනය මුසු කරමින් තිබෙනවා ඒගොල්ලන්ගේ උපාධි පාඨමාලා තුලට. එලෙසම වෘත්තීය අධ්‍යාපනය තුලද ඉහලට යෑමට පශ්චාත්උපාධි, ආචාර්ය උපාධි (professional phd) දක්වාම අවස්ථාත් තිබෙනවා.

අවසාන වශයෙන් දැන ගත යුත්තේ තමන් උසස් අධ්‍යාපනය ලබා ගත යුත්තේ කුමන ආයතනයකින්ද කියාය. එය තීරණය කරන සාධක කිහිපයක් ගැන බලමු. එය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයක්ම වීම අත්‍යවශ්‍ය නොවන බව ඔබ දැන් දන්නවා. එනිසා එය විශ්ව විද්‍යාලයක් හෝ වෘත්තීය ආයතනයක් විය හැකිය. ආයතනය හා ආයතනයේ ඇති පාඨමාලාවල පිලිගැනීම, වැය වන මුදල, පාඨමාලාව අවසන් වීමට වැය වන කාලය, ඉගෙන ගන්නට තිබෙන ආකාරය යන සාධක මෙහිදී වැදගත් වේ.

බොහෝ අයට (සල්ලි මත පිනුම් ගහන අය නොව!) මින් පළමු සාධකය වන්නේ මුදල්ය. එනිසයි කොහොම හරි ලංකාවේ අය රජයේ විශ්ව විද්‍යාලයකටම ඇතුලු වීමට වලි කන්නේ. ඉතිං, තමන්ට සපයා ගත හැකි තරමේ වියදමක් තුල හැදෑරිය හැකි දෙයක් විය යුතුය. සමහර රටවල මුදල් නැති අයට, රජයේ අනුග්‍රහය ඇතිව කෙලින්ම රජයේ හෝ පෞද්ගලික බැංකු හරහා ණය පහසුකම්ද සලසා දේ (ලංකාවේද එවැනි පහසුකම් දැන් තිබේ). මේවා "උසස් අධ්‍යාපන ණය පහසුකම්" ලෙස හැඳින්විය හැකිය. අවශ්‍ය මුදල ණයට ගෙන, එම අධ්‍යාපනය අවසන් කර ඉන් රැකියාවක් සොයාගෙන ඉන් ලැබෙන පඩියෙන් ණය කොටස් වශයෙන් ගෙවා නිම කළ හැකි පරිදි මේවා සකස් කර තිබේ.

දෙවැන්න පිලිගැනීම (recognition) වේ. උසස් අධ්‍යාපන ආයතනයක් පිලිගැනීම තරමක් සංකීර්ණ/විස්තීර්ණ සංකල්පයකි. කවුරුන් විසින් පිලිගත යුතුද? පිලිගන්නවා කියන්නේ කුමක්ද? පිලිගන්නවා කියන්නේ යම් ආයතනයකින් ලබා දෙන අධ්‍යාපනයේ ඉහල ගුණාත්මක බවක් හා ඵලදායි (එනම් පවතින ලෝක තත්වයන්ට ගැලපෙන, කාර්යක්ෂම) බවක් පවතිනවා යන්නයි.

කාලාන්තරයක් තිස්සේ හොඳ ගුණාත්මයක් පවත්වා ගත් අධ්‍යාපනික ආයතන සාමාන්‍යයෙන් පිලිගැනුමට ලක් වේ. එවන් ආයතනයකට හැකි තරම් ඇතුල වීමට උත්සහ කළ යුතුය. එහෙත් ඊට විශාල ඉල්ලුමක් තිබිය හැකිය. එවිට ඉබේම එවැනි ආයතනයක් තුල ඉගෙනීමට යන වියදමද ඉහල යනු ඇත (එනිසා මුදල් නැති අයට ඒවාට ඇතුලු වීමට තිබෙන අවස්ථා අඩු විය හැකියි). එවන් පිලිගන්නා ආයතනයක් විසින් පවත්වන පාඨමාලාද සාමාන්‍යයෙන් ඉහල පිලිගැනීමකට ලක් වේ. එහෙත් එසේ වීම අනිවාර්ය නැත. ආයතනය පිලිගත්තත් එහි තනි තනි පාඨමාලාවල පිලිගැනීම වෙනස් විය හැකිය. එනිසා එක් එක් පාඨමාලාවලට තිබෙන පිලිගැනීමත් සොයා බැලීම වටී.

පිලිගැනීම කවුරුන් විසින් සිදු කළ යුතුද? එය විවිධ ආකාරවලින් වේ. යම් රටක උසස් අධ්‍යාපන පාඨමාලාවල පිලිගැනීම එරට තුලම තිබිය යුතුය. එසේ පිලි නොගන්නා පාඨමාලාවල වටිනාකම අවම වේ මොකද බොහෝ අය අධ්‍යාපනය ලබා ගැනීමේ එක් ප්‍රමුඛ පරමාර්ථය ලෙස ඉන් ඉහල වැටුපක් සහිත රැකියාවක් කිරීමට ඇති බලාපොරොත්තුවට ගැටලු ඇති වේ. රට තුල ඇති ව්‍යාපාර විසින් හෝ රජයේ ආයතන විසින් හෝ එවන් පාඨමාලා හැදෑරූ අයව අඩු තක්සේරුවකින් සැලකිය හැකියි. රට තුල වුවද පිලිගැනීම සමාකාර/ඒකාකාර නොවන්නට පුලුවන්. උදාහරණයක් ලෙස, රජය (එනම් රජයේ ආයතන) විසින් යම් යම් පාඨමාලාවලට දෙන පිලිගැනුම පෞද්ගලික අංශ විසින් එලෙසම නොලැබෙන්නට පුලුවන් (උදාහරණයක් ලෙස, ලංකාවේ ගිනුම්කරණ ක්ෂේත්‍රයේ එවැනි තත්ව ඇත).

වර්තමාන ලෝකය කුඩා වී ඇත; අද එක් රටකත් හෙට තවත් රටකත් කෙනෙකු සේවයේ නියුතු වීමට හැකියි. එනිසා සමස්ථ ලෝකයා විසින් යම් පාඨමාලාවක පිලිගැනීම කෙසේ කරනු ඇත්ද? ඇත්තටම එය ඒ ඒ රටට හා ඒ ඒ රටේ සිටින ව්‍යාපාර/ආයතන සතු වගකීමක් හා අයිතියකි. යම් ආයතන/පාඨමාලා එක් රටක පිලි ගත්තත් තවත් රටක සත පහකට පිලි නොගන්නට පුලුවන්.

අද විවිධ රටවල පිහිටා ඇති උසස් අධ්‍යාපන ආයතන වෙනත් රටවලටද ගොස් පාඨමාලා පවත්වනවා (ලංකාවේ එවැනි පාඨමාලා ඉතා විශාල ගණනක් තිබෙනවා). මෙහිදී ඍජුවම පිටරට ආයතනය ලංකාවට විත් ඒවා කරන්නේ නැති තරම්ය (අවශ්‍ය නම් එසේද කළ හැකිය). බොහෝවිට වනුයේ ලංකාවේ යම් ආයතනයක් පිටරට ආයතනයක් සමඟ සම්බන්ද වී ගිවිසුම් ගසා ගෙන එම ආයතනයේ පාඨමාලා මෙහේ පැවැත්වීමයි. එම පාඨමාලා පවත්වා විභාගයෙන් පාස් වූවන්ට අර පිටරට ආයතනයෙන් පිරිනමන සහතිකපත හිමි වේ. එවිට එවන් සහතිකයක පිලිගැනීම කෙබඳු විය හැකිද? එම පිටරට ආයතනය ඇත්තටම ඉහල නමක් සහිත එකක් නම්, තමන්ගේ කීර්ති නාමය කැත කර ගන්නට ඔවුන් අකමැතිය. එනිසා ලංකාවේ ආයතනය ගැන නිතර අධීක්ෂණය කරමින්, ළමුන්ට ලබා දෙන අධ්‍යාපන පහසුකම් හා මට්ටම නිතරම සොයා බලා කටයුතු කරාවි. මෙවන් අධීක්ෂන ක්‍රියාවලි ප්‍රතීතකරණය (accreditation) ලෙස හඳුන්වමු. එසේ කරයි නම්, එම සහතිකයට ඉහල පිලිගැනීමක් ලැබේවි. එනිසා තමන් හදාරණ පාඨමාලාව යම් පිටරටක බර නමක් තිබෙන ආයතනයකට අනුබද්ධ යැයි කී පමණින් ඒවායේ පිලිගැනීම ඉහල යැයි නොසිතිය යුතුය.

ලංකාවේදී නම් රාජ්‍ය මට්ටමින් උසස් අධ්‍යාපන ආයතනවල (විශ්ව විද්‍යාලවල) පිළිගැනීම පිළිබඳ නිල වශයෙන් තීරණ ගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම (University Grants Commission - UGC) විසිනි. විශ්ව විද්‍යාලවලට පිලිගැනීම ලබා දීම මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතිය නියාමනයද එම ආයතනය මඟින් සිදු වේ. සමස්ථ රටම මෙම ආයතනය විසින් නියෝජනය වේ (උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී). එහෙත් නිල රාජ්‍ය පිලිගැනීම ඔවුන් සිදු කළත්, ප්‍රායෝගික (සත්‍ය ලෙසම පොලොවේ පවතින) තත්වය වෙනස් විය හැකිය; රට තුල ඇති කර්මාන්ත/ව්‍යාපාර ඊට වඩා වෙනස් ප්‍රතිපත්ති මත සිටිය හැකියි. ප්‍රතිපාදන කොමිෂමද ඇතුලත්ව උසස් අධ්‍යාපන ආයතන හා රටේ කර්මාන්ත අතර සෞඛ්‍යවත් සංවාද පවතී නම් මෙම වෙනස්කම් අවම කරගතද හැකිය.

තවද, රටවල් හෝ රටවල තිබෙන උසස් අධ්‍යාපනයට/වෘත්තින්ට සම්බන්ධ ආයතන අතර වෙන වෙනම (ද්විපාර්ශ්වික) හෝ සාමූහිකව (බහුපාර්ශ්විකව) ගිවිසුම්ද තිබිය හැකියි තම තමන්ගේ රටවල අහවල් අහවල් විධියේ ආයතන හෝ පාඨමාලා ගිවිසුමට බැඳෙන රටවල් තුල අන්‍යොන්‍ය වශයෙන් පිලිගැනීමට. මෙවිට එම සාමාජික රටවල ඉහල ප්‍රතීතකරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවැනි ගිවිසුම් ලෝකයේ ඇත. Washington Accord, Sydney Accord ඊට උදාහරණ වේ.

මීටත් අමතරව තවත් ක්‍රම තිබෙනවා ලෝකයේ විවිධ පාඨමාලාවල පිලිගැනීම තීරණය කරන. විවිධ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන විසින් ලෝකයේ විශ්ව විද්‍යාල ගැන පරික්ෂා කොට, විවිධ නිර්ණායක මත ඒවා පිළිගත හැකිද නොහැකිද යන්න සොයා ප්‍රසිද්ධ කරනවා (පොත් වශයෙන්). එවන් ප්‍රකාශන දෙකකි Common Wealth Universities yearbook හා International Handbook of Universities කියන්නේ. මෙම ප්‍රකාශන දෙකේම විශාල විශ්ව විද්‍යාල ගණනක නම් තිබෙනවා (පිලිගත හැකි මට්ටමේ යැයි නිර්දේශිත). ඉතිං, ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ප්‍රතිපත්තිමය තීරණයක සිටිනවා මෙම පොතේ දෙකෙහි සටහන් වන ආයතන/පාඨමාලා ලංකාව තුල පිලිගන්නවා කියා.

ඉහත මෙතෙක් කතා කළේ තමන් ලබන උසස් අධ්‍යාපන පාඨමාලාව ඇත්තටම උසස් මට්ටමේ පිලිගන්නා එකක් බවට වග බලා ගැනීමට අවශ්‍ය දැනුම් කාරණා ටිකකි. ඒ ගැන උනන්දු අයගේ එවන් පාඨමාලාවක් හැඳෑරීමේ ප්‍රමුඛ අභිප්‍රාය වන්නේ ඉන් ඉහල වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීම වේ. එහෙත් මාද ඇතුලුව අද ලෝකයේ බොහෝ දෙනෙකු සිටිනවා අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ගැන වෙනත් පැතිකඩවලින් බලන. මෙහිදී රැකියාව අරමුණු කරගෙනම නොව, ජීවිත සාර්ථකත්වය හා සතුට වෙනුවෙන් උසස් අධ්‍යාපනයේ නියැලේ. මෙවන් අයට නම් ඒ සඳහා පවතින පහසුකම් කියා නිම කළ නොහැකිය. මෙය මා "නිදහස් ආරේ අධ්‍යාපනය" කියා හඳුන්වන්නට කැමැතයි. ඇත්තටම කැම්පස් ගිය කෙනෙකුටත් වඩා ඉතා ඉහල දැනුමක් ආශාවක් තිබෙන ඕනෑම කෙනෙකුට මින් ඉතා කෙටි කාලයකින් අත්පත් කර ගත හැකිය. ඒ ගැනත් කෙටියෙන් බලමු.

මේ සියල්ලටම මුල අන්තර්ජාලය වේ. අධ්‍යාපනික වැදගත්කමින් බලන විට අන්තර්ජාලය යනු මැජික් එකකි; මානව ශිෂ්ඨාචාරයේ උත්කර්ෂමත්ම සොයා ගැනීමකි. අධ්‍යාපනය සම්බන්ද සියලු බාධක සුනු විසුනු වී ඇත. එනිසා ආශාවට (උසස්) අධ්‍යාපනය ලබන අයට අන්තර්ජාලය හරහා ලබා ගත හැකි පහසුකම් කිහිපයක් මා සිතට එන පිලිවෙලට පහතින් සටහන් කරමි.

  • ඕනෑ තරම් පාඩම්/ටියුට් අන්තර්ජාල ලිපි වශයෙන් ඕනෑම විෂයක් ගැන නොමිලේම ඇත. මේ සියල්ලම එක සේ වැදගත් හෝ නිවැරදි/විශ්වාසදායි හෝ නොවිය හැකිය. එහෙත් විශ්වාසදායි ආයතන හෝ පුද්ගලයන් විසින් ලියන දේවල් ඕනෑ තරම් ඇත. වැරදි ඇත් නම් ඒවාද සොයා දැන ගැනීමට ක්‍රම ඇත.
  • ඕනෑ තරම් අධ්‍යාපනික වීඩියෝ youtube වැනි සේවාවල ඇත. ඉහත කාරණයේදී කියූ විස්තර මෙහිදීද අදාල වේ.
  • ලෝකප්‍රකට විශ්ව විද්‍යාලවලින් (MIT වැනි) දැන් ඔවුන්ගේ බොහෝ පාඨාමාලාවල ලෙක්චර්ස්/දේශන නොමිලේ අන්තර්ජාලය හරහා ලබා දේ.
  • නීත්‍යානුකූලව බොහෝ පොත් ප්‍රමාණයක් විවිධ විෂයන් ගැන අන්තර්ජාලයෙන් නොමිලේ ඊබුක් වශයෙන් ලබා ගත හැකියි. ඊට අමතරව, නීති විරෝධිව (එනම් කොපිරයිට් නීතිය උල්ලංඝනය කරමින්) ලක්ෂ ගණන් පොත් ප්‍රමාණයක්ද torrent ආදි ක්‍රම මඟින් ලබා ගත හැකිය. මා සිතන්නේ මෙලෙස අධ්‍යාපනය සොරකම් කිරීම ලොකු ගැටලුවක් නොවන බවයි. එනිසා හැකි තරම් මෙවැනි පොත්ද ඩවුන්ලෝඩ් කර ගෙන ඩීවීඩී වල ආදිය සේව් කර ගෙන යාලුවන් සමඟද බෙදා හදා ගෙන (ඔවුන්ටද ඩීවීඩී කොපි තියා ගන්න කියමින්) ඉගෙන ගන්න. මා නම් විශාල පොත් ප්‍රමාණයක් එලෙස ප්‍රින්ට් කරගෙනද ඇත (පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි; ව්‍යාපාර අදහසින් කිරීම නම් යුක්තිසහගත නොවේ). කඩෙන් මිල දී ගන්න ගියොත් ලංකාවේ පොත්හල්වල නැති පොත්ද, තිබුණත් රුපියල් හාර පන්දහකට වැඩි මිල ගණන් ඇති පොත්ද මෙලෙස ලබා ගත හැකියි. පොත් පමණක් නොව, වටිනා සඟරාද එලෙසම ලබා ගත හැකිය.
  • ගැටලු ඇති විට, එම ගැටලු විසඳා ගැනීමට සංවාද මණ්ඩප (forums) දහස් ගණන් ඇත. තමන්ගේ ප්‍රශ්න අසා පිලිතුරු ලබා ගැනීමට මෙන්ම, අනුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දීමටද ඉදිරිපත් වන්න. අපේ එවුන් ඉතිං ගන්නවා විතරයි; දෙන්නේ නැති තරම්ය.
  • අන්තර්ජාලය හරහා නොමිලේ පාඨමාලාද (alison.com වැනි වෙබ් අඩවි හරහා) ඇත.
  • ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලා (social network) පවා අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත හැකිය. තමන්ට අදාල විෂයන් ගැන නවීනතම තොරතුරු ආදිය ලබා දෙන ෆේස්බුක් පේජස් හා ෆේස්බුක් ගෲප්වලට සම්බන්ද විය හැකිය. තමන්ටද මිතුරන් හා සුදුසු වෙනත් පිරිසක් සහභාගි කරගෙන පේජ් හා ගෲප් සාදා ගත හැකිය. අවශ්‍යම නම්, ස්කයිප්, වයිබර් වැනි voip සේවා හරහා අධ්‍යාපනය ලබන පිරිසට එකිනෙකා හා අඩු වියදමින් සම්බන්ද වී සාකච්ඡා ආදිය සිදු කළ හැකිය. තම තමන් සතු අධ්‍යාපනික දේවල් අන්තර්ජාලය හරහා හුවමාරු කර ගත හැකියි.
මේ ආදි ලෙස කුමන අරමුණක් අරඹයා හෝ තමන්ට හැකි පරිදි අධ්‍යාපනික කටයුත්තක නියැලෙන බුද්ධිමත් සමාජයක් කොතරම් සුන්දර වනු ඇත්දැයි සිතා බලන්න.

4 comments:

  1. ශා..නියමයි..බොහෝම වටිනවා..

    ReplyDelete
  2. නිදහස් ආරේ අධ්‍යාපනය තමයි මං කැමතිම ක්‍රමය. කිසිම බලපෑමක් කරන්න කෙනෙක් නෑ. බාධක නෑ. සිමා නෑ. එය පාසල් විෂය මාලාව වගේ අපේ ඔළු ගෙඩි වලට බලෙන් පැටවූ එකක් නෙවෙයි. අනික එක පාරක් කියවූ සැනින් මතක හිටිනවා. ගණිතය වගේ දේවල් නම් කියවලා නිකන් ඉන්න බැ. නිකන් ඉඳිද්දි පවා ගාණක් මතක් වෙනවා. මොකක් හරි තේරෙන්නේ නැත්නම් නිකං ඉඳිද්දි ඒක ගැඹුරින් කල්පනා කෙරෙනවා. ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. දැන් වාර විභාග කාලේ උනත් මම නම් වැඩේ නවත්තලා නැ. �� නිදහස් ආරේ අධ්‍යාපනයට ජය වේවා!

    නමුත් එකම එක සිමාවක් තියෙනවා සිංහල භාෂාවෙන් ලියා ඇති තාක්ෂණික ලිපි හා පොත් අල්ප ප්‍රමාණයක් තිබීම පමණයි. මට නම් හිතෙන්නේ ලංකාවේ සාර්ථකව තාක්ෂණික බ්ලොගයක් පවත්වාගෙන යන එකම කෙනා ඔබ කියා. :) එ බව වෙනත් බ්ලොග් ගැන සොයා බැලීමෙන් ම තේරෙනවා. මට දැන් මේකට එන්නමයි හිතෙන්නේ. දවසකට සැරයක් අනිවාර්යයෙන්ම මම මේ බ්ලොග් එක බලනවා. මොකද කිව්වොත් මේ වගේ දැනුම් සාගරයක් මම දැක්කේ ජීවිතේ පලමු වතාවට. හැබැයි ඉතින් මේ දවස් වල නම් පොඩ්ඩක් හිත අදිමදි කරනවා වගේ, මොකද දැන් පළ වෙන ලිපි ගොඩක් දේශපාලන අංශයට බර නිසා. කොහොම වුණත් ලංකාවෙන්ම හොඳම බ්ලොගය මෙක බව මට ඉඳුරාම කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මාද කුඩා කල සිටම තනියම ඉගෙන ගත් කෙනෙකි. පාසැලෙදී මා ගුරුවරුන් දුන් නෝට් එකක්වත් ලියා ගත්තේ නැත; පාසැලෙන් දෙන ගෙදර වැඩ කිසිදා කරද නැත. ඒ කාලයේ අපට අන්තර්ජාල පහසුකම තියා එම වචනයවත් අසා තිබුණේ නැත. එහෙත් පුස්තකාල ගණනාවකට සම්බන්ද වී විවිධ විෂයන් ගැන පොත් දහස් ගණනක් බොහෝම ආසාවෙන් කියවා පාඩම් කර මතක තබා ගත්තා. අධ්‍යාපනය යනු කියවීමම වේ. කොහොම හරි විභාග සමත් වීමම අධ්‍යාපනය නොවේ. ලංකාවේ රාජ්‍ය ආයතන (විශේෂයෙන් පාසල්) හරහා ලබා දෙන අධ්‍යාපනයට වඩා ඉතා රසවත් දේවල් තිබේ. එනිසා රජයෙන් හෝ වෙනත් කවුරුන් හෝ එවැනි වටිනා අධ්‍යාපනයක් නිල වශයෙන් ලබා දෙන තෙක් නොසිට වෙනත් ආකාරවලින් එය ලබා ගන්නට උත්සහ කිරීම යහපත්. අන්තර්ජාලය නිසා එය ඉතා පහසු වී ඇත.

      දැනුම ලබා ගැනීමට තිබෙන ලොකුම ගැටලුව භාෂාව තමයි. එනිසා කොහොම හරි ටිකෙන් ටික ක්‍රමානුකූලව ඉංග්‍රිසි හැකියාව දියුණු කර ගත යුතුයි තමන්ට තනියෙන් (නිදහර ආරට) ඉගෙන ගැනීමට අවශ්‍ය නම්.

      ටෙක්‍රෝච් යනු දේශපාලනික සත්වයකි. උගේ ඇඟේ දිවෙන රුධිරයේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා, හා දේශපාලනය ඇත.

      Delete