Sunday, November 19, 2017

මෝහනය, මිථ්‍යාව, හා යථාරූපය

රූපවාහිනියේ නොවැම්බර් 16 වැනිදා ගිය බ්‍රහස්පතින්දා විකාශය වූ යථාරූප වැඩසටහන තුල මෝහනය යනු මිථ්‍යාවකි කියා එහි සිටි වෛද්‍යවරුන් කියන ලදි. මාද මෝහනය ගැන පොතක් ලියා ඇති අතර, ඒ නිසාදෝ http://www.tekcroach.tk/2015/06/hypnosis-1.html?showComment=1511065849381#c6278351186215924679 හි කමෙන්ටුවක් දමා ඒ ගැන කවුරුන් හෝ මාගෙන් විමසාද ඇත. ඊට දිය යුතු පිලිතුර දිගු වන බැවින් එහි කමෙන්ට් නොකර මා මෙම ලිපිය ලියමි.

පළමුව කිව යුත්තේ යථාරූප වැඩසටහන් මාලාව කාලීන හා වැදගත් බවයි. ඕනෑම හොඳ දෙයක නරක පොඩ්ඩක් හෝ තිබිය හැකියි යන්න සනාථ කරමින් යථාරූප වැඩසටහනේ දෝෂ ගණනාවක් තිබේ; මා මීට පෙරත් ඒ ගැන ලියා තිබේ. එනිසා සමස්ථ වැඩසටහන පෙල තුලම ඇති එම දෝෂ ගැන මා කතා කරන්නට යන්නේ නැත. එම දෝෂවලට වඩා වැඩි ප්‍රයෝජනවත්කමක් හා වැදගත්කමක් ඉන් ඉස්මතු වේ.

තවද, උක්ත වැඩසටහනත් ඊට මාස දෙකකට පමණ ඉහතදී විකාශය වූ මොලය හා කුඩා ළමුන් හදා වඩා ගත යුත්තේ කෙසේද යන්න පිලිබඳ කියා දුන් වැඩසටහනත් ඉතාම වැදගත් (විශේෂයෙන් කුඩා ළමුන් සිටින හෝ ළමුන් හැදීමට සිතා සිටින දෙමාපියන්ට) බවද සිහිපත් කළ යුතුය. එම වැඩසටහන් මා සිතන්නේ රූපවාහිනි සංස්ථාවේ වෙබ් අඩවියේ (හෝ බොහෝවිට යූටියුබ්හිද) තිබෙන නිසා ඩවුන්ලෝඩ් කර තබා ගැනීමට තරම් වටී.

දැන් මා මෝහනය මිත්‍යාවකි යන කතාවට හැරෙන්නම්. ඇත්තටම එම ප්‍රකාශය සමඟ මාද 99% ක් එකඟය. ඒ කියන්නේ මෝහනය යනු මිත්‍යාවක් නම්, මාද කුඩා පොතක් ලියා තිබෙන්නේ මිත්‍යාවක් ජනප්‍රිය කරවීමටදැයි මටම ගැටලුවක් ඇති වේ. එය එසේද සිදු වී තිබීමට පුලුවන. එහෙත් මෙතැන ඊට වඩා වෙනස් තත්වයක් පවතින බව පෙන්වීමට මා කැමතිය. මට මේ ගැන තර්ක හා අර්ථකථන රාශියක් ඇත. ඒවා ඔබද විමසා බලන්න.

එම යථාරූප වැඩසටහන්වල විද්‍යාව පැත්තට පක්ෂව සිටිමින් සහභාගි වන අතිශය බහුතරයට විද්‍යාව යනු නිරපේක්ෂ සත්‍ය හෙවත් යථාර්ථය හෙවත් යථාරූපය හෙවත් පරම සත්‍ය ලෙස දැනේ. එවිට විද්‍යාත්මක නොවන අන් සියල්ලම ඔවුනට මිත්‍යාව වේ. සමහර වෙලාවට එම විශ්වාසය ඔවුන්ව දැනුවත්වම හෝ නොදැනුවත්වම කලක් විද්‍යාවේම අංග ලෙස සැලකූ දේවල් පවා දැන් මිත්‍යා ලෙස ඔවුන් දකී. මෙම තත්වය නිසා සාධාරණබව සමහර අවස්ථාවලදී ඔවුන්ගෙන් දක්නට නොලැබේ. මා මෙම බ්ලොග් එකේම වෙනත් අවස්ථාවල යථාර්ථය හා විද්‍යාව ගැන කතා කර තිබේ. http://www.tekcroach.tk/2017/07/blog-post_9.html හා http://www.tekcroach.tk/2017/06/blog-post_8.html යනු එවන් මා ලියූ ලිපි දෙකකි.

කවුරුත් මුලින්ම සිහිපත් කරගත යුත්තේ නිරපේකෂ සත්‍යයක් තවම කවුරුන් හෝ විසින් ප්‍රත්‍යක්ෂව ඉදිරිපත් කර නොමැති බවත් විද්‍යාවේ මුඛ්‍ය පරමාර්ථය එය සෙවීමද නොවන බවයි. විද්‍යාව යනු ඉතාම විශ්වාසදායි මිනිසා විසින් ගොඩනඟන ලද අතිවිශිෂ්ට දැනුම් පද්ධතියකි. බුදු දහම, අන් ආගමික දර්ශන, ජ්‍යොතිෂය ආදි දේවල්ද එවැනිම දැනුම් පද්ධති වේ (එම සමහර දර්ශන/ආගම්/දැනුම් පද්ධතිවල ඒවා මිනිස් නොවන දෙවියෙකු විසින් දේශිත යැයි කිව්වත් සත්‍ය නම් ඒවාද මිනිස් මනසේ නිර්මාන වේ). මෙවැනි දැනුම් පද්ධති විද්‍යාව තරම් උත්කෘෂ්ට නොවේ; විශ්වාසදායි නොවේ; සාධාරණ නොවේ. එනිසා එම දැනුම් පද්ධතිවල කතා කරන කාරණාවලට විද්‍යාවෙන් විස්ථාපනය කළ හැකි කරුණු නිර්මාණය වන විට එම පැරණි දැනුම් පද්ධති ක්‍රමයෙන් අභායවට යැවිය හැකිය.

එහෙත් විද්‍යාවද ඇතුලු මේ කිසිම දැනුම් පද්ධතියක් යථාරූපී හෙවත් නිරපේක්ෂ සත්‍ය නොවන බව හැමවිටම මතක් විය යුතුය. විද්‍යාව ගොඩනැඟෙන විද්‍යාත්මක ක්‍රමයට යටත් නොවන සියල්ල අවිද්‍යාත්මක යැයි හැඳින්විය යුතුය. මිත්‍යාව යනු නිරපේක්ෂ සත්‍යට විරුද්ධ වචනයයි. ඒ අර්ථයෙන් ගත් විට විද්‍යාවද මිථ්‍යාවකි (එහෙත් අප එසේ නොකියන්නේ මිත්‍යාව යන්න අවිද්‍යාත්මක යන පටු අර්ථයෙන්ද බොහෝවිට භාවිතා කෙරෙන නිසාය). එනිසා එකවරම බැලූබැල්මට කිසිම දෙයක් එකවර මිත්‍යාව යැයි කිව නොහැකිය. එහි සංකීර්ණතා තිබේ. අවිද්‍යාත්මක වූ පමණින් එය මිත්‍යා යැයි පැවසිය නොහැකිය. යමක් අවිද්‍යාත්මක යැයි සැනින් තීරණය කළ හැකිය; ඒ සඳහා හොඳ විද්‍යා දැනුමක් තිබීම ප්‍රමාණවත්ය. එහෙත් යමක් මිත්‍යා යැයි පැවසීමට විද්‍යා දැනුමින් පමනක් කළ නොහැකිය.

සමහර දේවල් පහසුවෙන්ම මිත්‍යා යැයි කිව හැකිය. උදාහරණයක් ලෙස, මා කුඩා ළමුන්ට යම් සුරංගනා කතාවක් නිර්මානය කරනවා යැයි සිතමු. සමහරවිට කුඩා ළමුන්ට එය සත්‍යයක් සේද දැනිය හැකිය. නත්තල් සීයා ඇත්තටම සිටී යැයි මාද කුඩා කාලයේ විශ්වාස කළෙමි. එහෙත් ඒවා හුදු ප්‍රබන්ද බව කවුරුත් දන්නේ එම කතා එක්කෝ කවුරුන් හෝ ප්‍රබන්ද කර තිබෙන බව, නැතිනම් එම කතාව/විශ්වාසය කාලාන්තරයක් තිස්සේ විකාශය වූ සැටි කවුරුත් දන්නා නිසාය. ඒවා මිත්‍යා වේ. ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි එවන් සරල ක්‍රමයකින් පෙන්වාදිය නොහැකිය. ඒ සඳහා වෙනත් මඟක් ගත යුතුය (ජ්‍යොතිෂයද මිත්‍යාවක් බව පෙන්වාදිය හැකියි ඇත්තෙන්ම).

මෝහනයත් ඒ අනුව මිත්‍යාවක්ද? මෝහනය අත්‍යවශ්‍යයෙන්ම යතාර්ථය/පරම සත්‍ය නොවිය හැකිය. එපරිද්දෙන්ම විද්‍යාවද පරම සත්‍ය නොවන වග පෙරත් මා සටහන් කර ඇත. මෝහනය යනු විද්‍යාත්මකද නොවිය හැකිය. වසර කිහිපයකට පෙර ලියූ මගේ මෝහනය පිලිබඳ පොතෙහිද මා මෝහනය විද්‍යාත්මක නොව, විද්‍යාභිමුක (science-oriented) විෂයක් යැයි කියා ඇත. ඊට හේතුව නියම විද්‍යාව වන්නේ භෞතික විද්‍යාව හා කෙලින්ම ඉන් ව්‍යුත්පන්න වන රසායන විද්‍යාව, ජීව විද්‍යාව වැනි විද්‍යාවන්ය.

එහෙත් විද්‍යාත්මක ක්‍රමයේ ඇති විශ්වාසදායි සාර්ථක ස්වභාවය නිසා එම ක්‍රමවේදය අඩුවැඩි වශයෙන් යොදා ගෙන වෙනත් විෂයන්ද ක්‍රමවත්ව අධ්‍යනය කිරීමට යොදා ගෙන ඇත. සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදිය ඊට උදාහරණ වේ. එහෙත් මේවා සත්‍ය ලෙසම විද්‍යාවන් නොවේ. හෙට ලෝකයේ යම් රටක අමුතුම දේශපාලන හෝ ආර්ථික හෝ ක්‍රමවේදයක් යම් කෙනෙකුගේ සිතැඟි අනුව හඳුන්වාදිය හැකිය. එහෙත් එලෙස භෞතික විද්‍යා අංගයක් සිතැඟි අනුව හඳුන්වාදිය නොහැකිය.

එනිසා මෙම දෙවර්ගය වෙන් කොට හඳුනා ගැනීමට වචන දෙකක් ඇත. භෞතික විද්‍යාව වැනි නියම විද්‍යාවන් "දෘඩ විද්‍යා" (hard science) ලෙසද, සමාජ විද්‍යාව වැනි "විද්‍යාභිමුඛ විෂයන්" "මෘදු විද්‍යා" (soft science) ලෙසද හඳුන්වමු. ඇත්තටම මෝහනයද ඇතුලත්ව මනෝවිද්‍යාවද (තවම) අයත්වන්නේ මෘදු විද්‍යා යටතටයි. මෝහනය (hypnosis) යනු මිත්‍යාවක් යැයි චකිතයක් නැතිව සමහරුන් පවසන්නට ඉදිරිපත් වුවත්, එපරිද්දෙන්ම මනෝවිද්‍යාව (psychology) යනුද මිත්‍යාවක් යැයි පවසන අය විරලය.

යථාරූප වැඩසටහන තුලත් බොහෝ අන් තැන්වලත් මෝහනය මිත්‍යාවක් යැයි පැවසීමට ගන්නා එක් කාරණයක් වන්නේ එය මෝහනයේ ආදිකර්තෘ ඇන්ටන් මෙස්මර් විසින් හඳුන්වාදුන් ක්‍රමවේදයේ දොස් පෙන්වා දෙමින්ය. මෙස්මර්ගේ ක්‍රමය යම් චුම්භක බලයක් (animal magnetism) මත ක්‍රියාත්මක වන්නේ යැයි විස්තර කෙරුණු දෙයකි. එම පැහැදිලි කිරීම සාවද්‍ය බව විද්‍යාව මෙතරම් නොදියුණු එකලම ඔප්පු විය. එහෙත් ඉන්පසුව එය ගැන ගැඹුරට විමසා බලා මෝහනය මෙස්මර්ගේ පැහැදිලි කිරීමට වඩා ගව් ගණනක් ඉදිරියට ගොස් ඇත. එහෙත් අපේ අය තවමත් මෙස්මර්ගේ සොහොන් කොත වටා වැලපෙමින් සිටී. වෛද්‍ය විද්‍යාව තුල එවන් තත්වයන් තිබී නැතිද? එවිට අප එවන් පැරණි පැහැදිලි කිරීම් පෙන්වා වෛද්‍ය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? යමක් විකාශය වෙමින් දියුණු වන විට, අවශ්‍යයෙන්ම ආරම්භක අවධිය සාවධ්‍ය වේ. මෝහනයටත් අන් සියලු ක්ෂේත්‍රවලටත් එය පොදු ධර්මතාවකි.

ඇත්තටම මෝහනය මිත්‍යා යැයි පවසන බොහෝ අය දැන් පවතින දියුණු මෝහනය ඉගෙන ගෙන නැති බවක් පෙනේ. එය පැහැදිලිව කිව හැක්කේ එවුන් මෝහනය විස්තර කිරීමට යොදා ගන්නා වචන හා විස්තර කරන විදියයි. උදාහරණ ලෙස, තවමත් මෝහනය මෙස්මර්ට ඈඳා කතා කිරීමෙන්ම තමන්ගේ මෝහනය පිළිබඳ අල්ප දැනුම ප්‍රදර්ශනය වේ. ඒ අය මෝහනය ගැන දන්නේ තමන් කියවන තමන්ගේ විෂයන්ට අදාල පොත්වල "මෝහනය යනු බ්ලා බ්ලා බ්ලා..." ආදි ලෙස තිබෙන වගන්ති එලෙසම විශ්වාස කරමිනි; තමන්ගේ ගුරුන් කියන දේම විශ්වාස කරමිනි. ඇත්ත වශයෙන්ම අපද භෞතික හා අනෙක් විද්‍යාවන්ද ඉගෙන ගත්තේ හා ඉගෙන ගන්නේ එලෙස තමයි. සෑම ලොකු කුඩා දෙයක්ම පර්යේෂනාගාරයේ පරීක්ෂා කර කර සිටින්නට ගියොත් ජීවිත කාලයත් මදි වේ එම විෂය ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම ඉගෙන ගෙන අවසන් කිරීමට. එහෙත් එහි අනිටු අතුරු ප්‍රතිපලයක් වන්නේ අර ලෙසට සමහර කරුණු ගැන අල්ප දැනුමක් ඇති වීමයි.

තවද, ආරම්භයේ සිටම වෛද්‍ය විද්‍යාවෙන් මෝහනයට කුඩම්මාගේ සැලකිලි ලැබේ. එය මෙස්මර්ට පවා අත්විඳින්නට සිදු වූ දෙයකි. අදටත් එම තත්වය එලෙසම තිබේ.

කෙසේ වෙතත් මෝහනයට සමහර ඍජුවම අවිද්‍යාත්මක අද්භූත දේවල් සම්බන්ද වී තිබේ. එය මෝහනය මිත්‍යා ගොඩට දැමීමට හේතු විය හැකිය. අතීත භවයන්ට ගෙන යෑම, වෙනත් ආත්ම සමඟ සම්බන්ද වීම ආදී කිසිම ලෙසකින් විද්‍යාත්මක නොවන දේවල් මෝහනයට කවුරුන් හෝ විසින් ඈඳා තිබේ. ඉතිං විද්‍යාවෙන් පිලිනොගන්නා එවන් දේ තිබෙන විට මෝහනය නොව වෙනත් ඕනෑම දෙයක් වුවද විද්‍යාවෙන් බැහැර කිරීමට පෙළඹීම අරුමයක් නොවේ. මෙවැනි අවිද්‍යාත්මක සංකල්ප නියම සම්මත මෝහනය තුල නොපවතින
බව ඉගෙන නොගෙන ගෙඩි පිටින්ම මෝහනයෙන් ආත්ම සමඟ කටයුතු කරනවා, පෙර භවයන්ට ගෙන යනවා ආදී කරුණු තිබෙන නිසා එය මිත්‍යා යැයි පැවසීමෙන් නැවත වරක් ඔප්පු වෙනවා එවුන් ඇත්තටම මෝහනය ගැන හරි දැනුමක් නැතැයි කියා. දෘඩ විද්‍යා (විශේෂයෙන් ක්වන්ටම් විද්‍යාව) වටාද එවන් මිත්‍යා ඕනෑ තරම් විවිධ අය විසින් දවටා තිබේ. එහෙත් අප කිසිදා කියනවාද භෞතික විද්‍යාව "අවිද්‍යාත්මක" යැයි කියා?

විද්‍යා උගත් සමහර අයට අධිමානය හෝ අධිවිශ්වාසය තිබේ. එයත් මානසික ව්‍යාධියකි. මෙවන් තත්වයක් මීට බොහෝ කාලයකට පෙර භෞතික විද්‍යාව තුලද තිබී ඇතැයි මා පතපොතේ කියවා ඇත. තාපගතික විද්‍යාවේ සීග්‍ර දියුණුවක් ඇති විය. එවිට එකල සිටි සමහර නමගිය ප්‍රසිද්ධි විද්‍යාඥයන් පවා විශ්වාස කර තිබෙන්නේ විද්‍යාව දැන් පරිපාකයට පැමින ඇති බවත්, මීට වඩා විද්‍යාව තව දියුණු කිරීමට නැති බවත්ය. මොලේ හා නියුරෝන ආශ්‍රිත වෛද්‍ය විද්‍යාවන් උගත් අයට මෙම ව්‍යාධිය බහුලවම ඇත. ලස්සනම කාරණය වන්නේ අද වන විට විවිධ විද්‍යාත්මක උපකරණ (fMRI, PET වැනි) දියුණු වී විශාල දැනුමක් ඇතිව මෙලෙස පැවසුවත් මෙම උපකරණ නැතිව මෙතරම් දැනුමක් නැති කාලවලත් ඔවුන් එලෙසම හැසිරී තිබේ. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුවෙන් වියුක්තව ඉබේම ඔවුන්ට එවැනි මානසිකත්වයක් හැම කාලයේම තිබී ඇත. මට පෞද්ගලිකවම එසේ ඔවුන් හැසිරීමට හේතුවක්ද සිතේ (මොකද මටද මනෝවිද්‍යාව උගත් මගේ මිතුරන්ටද එසේ දැනී තිබේ).

මොලය හා මනස යනු මිනිසාව අදටත් විෂ්මයට පත් කරන වැඩි දැනුමක් ඒ ගැන නැති ශරීර අංගයකි. ඒ ගැන වැඩි දැනුමක් නැතත් එය අපව පාලනය කරන බව අතීතයේ සිටම විශ්වාසය තිබුණි. ඉතිං එවන් අංගයක් ක්‍රමානුකූලව ඉගෙන ගත් විට සෑම මිනිසෙකුම හැසිරෙන විදිය පුරෝකතනය කළ හැකි බව සියුම්ව අපට දැනේ (එය ඍජුවම කීමට බොහෝ දෙනා ඉදිරිපත් නොවුවත්, ඇත්ත කතාව නම් එය එසේ දැනේ; මනෝවිද්‍යාව උගත් අය මෙම ලිපිය කියවනවා නම් තමන්ට එසේ සිතී නැතිදැයි අවංකවම මතක් කර බලන්න). ඒ කියන්නේ තමන් දැන් මහා කෙරුමෙක් බවට පත්ව ඇත. මිනිස් මොලයත්, ඒ මඟින් සමස්ථ මිනිස් ක්‍රියාකාරම්ද දැන් විනිවිද දැකිය හැකි යැයි දැනේ. තමන් දැන් සර්වඥතා ඥානයෙන් යුතුය!

එහෙත් සත්‍ය නම් ඊට ඉඳුරා වෙනස්ය. අදටත් මොලයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා හොඳ දැනුමක් අපට නැත. අදට අවුරුදු 10කට පෙර මොලය ගැන උගත් විශේෂඥයකුද කියා තිබෙනු ඇත්තේ "මොලය ගැන අප බොහෝ දන්නා" බවයි. වසර 10කට පසුව අද සිටින විශේෂඥයකුත් කියාවි එම දෙයම. එහෙත් පුදුමයට කාරණය වන්නේ එදාට වඩා සිය දහස් ගුණයක නව දැනුමක් අවුරුදු 10කට පසුව අප මොලය ගැන දැනගෙන ඇත. තවත් අවුරුදු 10කින්ද මෙම තත්වය මෙලෙසම පවතින බව මා කැට තියා දැන් කියමි. තත්වය එසේ තිබියදී මොලේ ගැන විශේෂඥයන් අර මා කියූ මානසික ව්‍යාධියෙන් යුතුව අදහස් පළ කරයි. එය විද්‍යාවේ දෝෂයක් නොව, පුද්ගල දෝෂයක් ලෙස සැලකිය යුතුය. කවුරුන් මොනා කිව්වත් විද්‍යාව දවසින් දවස දියුණු වී අපට පෙර නොවූ අත්දැකීම් ලබා දේ.

මනස යනු මොලය හා සමස්ථ ස්නායු පද්ධතියේම ප්‍රතිපලයක් යැයි විද්‍යාවෙන් සනාථ වෙමින් පවතී. ඒකෙන් කියවෙන්නේ නැහැ මනස යන සංකල්පය අවශ්‍ය නොවන බව. අර ටීවී වැඩසටහන තුල මනස වැඩක් නැතැයි මොලය යන සංකල්පය තිබුණහම ඇති වැනි අදහසක් ගම්‍ය විය. එය මහා උද්දච්ච මතයකි. විද්‍යාව යනු හුදු ආකෘති පමණි. එකම දෙයක් සඳහා විවිධ ආකෘති කිහිපයක් තිබිය හැකි බවත්, අවස්ථානුකූලව ඉන් පහසු ආකෘතිය භාවිතා කළ හැකි බවත් අප දන්නවා. අපට මෙසේ තර්ක කළ හැකිය. මොලයද ඇතුලුව සමස්ථ ශරීරය යනු යම් රසායනික ක්‍රියාකාරිත්වයකි. ඒවා අණුවලින් සෑදී තිබේ. අණු පරමාණුවලින්ද, පරමාණු පරම අංශු (ක්වාර්ක්, ඉලෙක්ට්‍රෝන වැනි) වලින්ද සෑදී තිබේ. එවිට, පදනම් විද්‍යාව වන භෞතික විද්‍යාවේ ක්වන්ටම් න්‍යායන් මඟින් මේ සියල්ල විස්තර කළ හැකි විය යුතුය.

මට ආදරයක් යම් ලස්සන කෙල්ලක කෙරෙහි ඇති වූ විට, අපට හැකි විය යුතුයි අහවල් අහවල් ක්වාර්ක් ආදි පරමඅංශු අහවල් අහවල් ආකාරවලින් ක්වන්ටම් විද්‍යාත්මක සංසිද්ධි ඔස්සේ හැසිරේය කියා. එහෙත් එවන් දැනුමක් හා ඒ ඔස්සේ සැකසූ ආකෘති විද්‍යාව තුල තවමත් නැත. මෙය විද්‍යාවේ දෝෂයක් නොව; එම තත්වය දක්වා විද්‍යාව දියුණු කෙරෙමින් පවතී.

අඩුම ගණනේ මට ඇති වූ එම ආදරය මොලය ඇසුරින් පැහැදිලි කිරීමට පවා තවමත් ඔවුන්ට බැරිය. ඔවුන් බොහෝවිට තවමත් මොලයේ බොහෝ ක්‍රියාකාරිත්වයන් විස්තර කරනවා (describe) මිස පැහැදිලි කරන්නේ (explain) නැත. පැහැදිලි කිරීම හා විස්තර කිරීම අතර ඉතා විශාල වෙනසක් පවතී. විද්‍යාත්මක වීමට නම් පැහැදිලි කිරීම මිස විස්තර කිරීම් අවශ්‍ය නැත. මට ආදර සිතුවිලි ඇති වන විට යම් ස්කැනර් උපකරණයකින් බලා මොලයේ අහවල් කොටස සක්‍රිය වන බව ඔවුන්ට කිව හැකිය. ඊට එහාට ගොස් අහවල් අහවල් රසායනික අහවල් විදියට නිපදවෙන බවද සොයාගත හැකිය. ඒ සියල්ලම විස්තර කිරීම් පමණි. පැහැදිලි කිරීම් නොවේ.

මට සාමාන්‍යයෙන් ඕනෑම කෙල්ලක දුටු විට හැඟීම් ඇති වේ. එහෙත් මටම දැනෙනවා එම හැඟීම්වල විවිධත්වයක් තිබෙන බව. ඉතිං ඒ එක් එක් අවස්ථාවලදී ඔවුනට හැකිද මොලය ඇසුරින් එම විවිධත්වයට හේතුව සොයා මට කියා දෙන්නට. එය හරියට ඔබේ අතේ ඇඟිලිවලින් ඇතිවන ඡායාවෙන් බිත්තිය මත යම් යම් හැඩ මවන්නා සේය. එලෙස බිත්තියේ සෑදෙන රූපවලට වඩා ඇඟිලි එ් ඒ අවස්ථාවලදී කොතරම් වෙනස්ද බලන්න. බිත්තියේ ඇතිවන ඡායාවට වඩා බොහෝ කරුණු සත්‍ය ලෙසම ඇඟිලිවල පවතී. මොලය ගැන තවමත් අපද ලබා ගන්නේ අර බිත්තියේ ඇති වන ඡායා දැනුමකි. මොලය සම්බන්දව විද්‍යාව තවත් බොහෝ දියුණු වීමට තිබේ. එතකල් එම විෂය උගත් අය තම උද්දච්චකම පාලනය කිරීමට සිදු වේ.

මනස වැඩක් නැහැ මොලය තිබුණහම ඇති යැයි පැවසුවත් ඔවුන්ගේ සමහර විස්තර කිරීම්වල ඇත්තටම මනස යන සංකල්පයේ අවශ්‍යතාව සැඟව තිබේ. ජාන හා පරිසරය විසින් ජීවී ලක්ෂණ තීරණය කරන බව ඔවුනුත් විද්‍යාව තුලත් පිළිගත් මතයයි. ජාන යනු හුදෙක් භෞත-රසායනික ක්‍රියාවලියකි (එය පරිගනක හාඩ්වෙයාර් කොටස වැනිය). එහෙත් ජීවියා උපන් පසු ඇති වන පරිසර සාධක ගැන විමසා බලන්න. එය හරියට පරිගනක සොෆ්ට්වෙයාර් කොටස වැනිය. මෙන්න මෙම සමස්ථ ක්‍රියාකාරිත්වය නොවේද අප මනස යන තනි සංකල්පය මඟින් ආවරණය (encapsulate) කරන්නේ? මනස යනු මොලය හා සමස්ථ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය විය හැකිය. ඒ ගැන ගැටලුවක් නැත. එහෙත් විද්‍යා ආකෘතියක් ලෙස මනස යොදා නොගැනීමට අත්‍යවශ්‍යයෙන්ම හේතුවක් තිබිය යුතුද? අප දන්නවා psychiatry හා medical science විසින් psychology නිතරම වාගේ අවඥාවට ලක් කරනවා. මට අද වගේ මතකයි වසර බොහෝ ගණනකට උඩදී ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වූ එක්තරා දොරමඬලාව වැඩසටහනකදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මනෝවිද්‍යාව දෙකහි පනහට දා කතා කළා මනෝරෝග විශේෂඥ හරිස්චන්ද්‍ර මහතා ඉදිරියේම (දැන් හරිස්චන්ද්‍ර මහතා ජීවතුන් අතර නැත). මෙයම තමයි මෝහනයට සිදු වූයෙත්.

සිතුවාට වඩා ලිපිය දිගු වන බැවින් තවත් කරුණු කිහිපයක් කීමට තිබුණත් මා මෙය අවසන් කරමි. මෝහනය යථාරූපය නොවන බවත්, 100% විද්‍යාත්මක නොවන බවත්, එය මෘදු විද්‍යාවක් බවත්, ඒ වටා මිත්‍යාවන් විශාල ප්‍රමාණයක් පවතින බවත්, නමුත් ඒ කිසිවකින් මෝහනය මිත්‍යාවක් බව ඔප්පු නොවන බවත් අවසාන වශයෙන් සටහන් කිරීමට සිදු වේ. එය හරියාකාරයෙන් මිත්‍යාවක් ලෙස කවුරුන් හරි පැහැදිලිව පෙන්වා දෙන්නේ නම්, එය පිලිගැනීමට මා තුල කිසිදු අපහසුතාවක් නොමැති බවත් කීමට කැමැතිය. අවශ්‍ය වන්නේ පවතින ස්ථානයේ සිට නිමේෂයක් පාසා වඩා සාධාරණ, ඵලදායි, විශ්වාසදායි තත්වයකට පත් වීමයි. විද්‍යාව පුද්ගලානුබද්ධ නොවිය යුතුය. කෙනා කෙනාගේ ආශාවන් හා විශ්වාසයන් හා මතයන් වෙනස්ය. ඒවා අන්‍යන් සමඟ බෙදා හදා ගැනීමද ඉතා හොඳ තත්වයකි. ඒ සෑම දෙයක්ම විද්‍යාවම නොවිය හැකිය. එය විවිධ විෂයන් ගැන කෙල පැමිණි අයටත් මටත් ඔබටත් පොදුය.


No comments:

Post a Comment