Sunday, July 9, 2017

විද්‍යාව යනු...

අද වන විට ඉතා ජනප්‍රිය මාතෘකා දෙකක් වන විද්‍යාව හා මිත්‍යාව ගැන විවිධ අංශවල හා ජනසන්නිවේදන මාධ්‍ය ඔස්සේද කතා බහට ලක් වන අතර, එහිදී නිතරගයෙන්ම ජයග්‍රහනය විද්‍යාව හිමි කර ගනී. ඊනියා මිත්‍යාවන් ව්‍යාප්ත කරන බොහෝ දෙනා පවා කියන්නේ තමන් නියෝජනය කරන ශාස්ත්‍රයන් විද්‍යාත්මක පදනමකින් සාදා තිබෙන බවයි. එහෙත් එතරම් ගැඹුරින් නැතිවත් සාවදානව යම් අවබෝධයකින් මේ ගැන විශ්ලේෂනය කරන විට අවාසනාවකට මෙන් පෙනී යන්නේ විද්‍යාව යනු කුමක්දැයි සමබර අවබෝධයක් ඊනියා මිත්‍යාව මෙන්ම විද්‍යාවද ව්‍යාප්ත කරන දෙපිරිසේ බොහෝ දෙනෙකුට නැති බවයි. ඇත්තටම, ඉංජිනේරුවෙකු, වෛද්‍යවරයකු හෝ විද්‍යාව මත ගොඩනැඟූ යම් වෘත්තියක නියැලුනු පලියට ඉන් හැඟිය නොහැකියි විද්‍යාව යනු කුමක්දැයි ඔවුන් හරියටම අවබෝධයක් ඇතිව සිටින බව. කම්මැලිකමේ අද දවසම ගත කරමින් සිටි මට මේ ගැනත් යම් සටහනක් තබන්නට සිතුණා.

ඉංග්‍රිසියෙන් science කියා ඉතාම වැදගත් දැනුම් පද්ධතියක් දැන් වසර දහසකට වැඩි කාලයක් තිස්සේ දියුණු වෙමින් ශක්තිමත් වෙමින් අද දක්වාම පැවතගෙන එයි. පළමුව ඊට "විද්‍යාව" කියා සිංහල වචනයක් හඳුන්වා දුන් එකාව අල්ලා පට්ට පතුරු ගැසිය යුතුය (ඒ තැනැත්තා කවුදැයි මා දන්නේ නැති අතර ඔහු මා ඉතා ගරු කරන කුමරතුඟු මුනිදාසයන් නොවේවායි ප්‍රාර්ථනා කරනවා). විද්‍යාව කියන වචනය නිසාම සයන්ස් හා බුදු දහම අතර අනවශ්‍ය පැටලවීමක් ඉන් ඇති කර තිබේ. අදටත් විද්‍යා ආචාර්ය මහාචාර්ය යැයි කියා ගන්නා එවුන් ටිකක් ලෝකයේ වෙනත් අය සිදු නොකරන ඵලදායි නොවන අනවශ්‍ය තර්ක විතර්කවල නියැලෙනවා මේ වචනවල අවුල නිසාම. එය අහක යන නයි රෙද්දෙ අස්සෙ දමා ගැනීමකි.

විද්‍යා හෙවත් විජ්ජා යනු බුදු දහම තුල හමු වන්නේ ඉතා බැරෑරුම් විඥානවාදී අදහසකින්ය. එනම් නිවන අවබෝධ කර ගැනීමට ඇති මානසික ශක්‍යතාවක් ලෙසයි. පටිච්චසමුපාදයේ පෙන්වන හේතු-පල සම්බන්දතා විග්‍රහයේ එක් ආරම්භ පුරකයි අවිද්‍යාව හෙවත් විද්‍යාව නොමැති වීම. එනිසා විද්‍යාව යන්නට බුදු දහම තුල ඉතා නිශ්චිත හා බැරෑරුම් තේරුමක් ඇත.

"විද්‍යා" (හෝ "විජ්ජා") යන වචනය ගත් විට එහි "වි" හා "ද" (හෝ "ජ") යන උපසර්ග හා ධාතු විග්‍රහය අනුව විශිෂ්ඨ හෝ හැමපැත්තෙන්ම මැනවින් දැනගැනීම වැනි අර්ථයක් ඇත. බුදු දහම තුල එම වචනය ඉහත සඳහන් කළ පරිදි නිර්වාණයට අදාලව ගම්භිර වචනයක් ලෙස භාවිතාවට ගෙන තිබෙන්නේ එනිසාය. එලෙසම සයන්ස් යන දැනුම් පද්ධතියේ ස්වභාවය සලකා බලන විටත්, විද්‍යා යන වචනය ඇත්තටම ගැලපේ. එහෙත් එවිට සමහරුන් නිකරුණේ බුදුදහම හා සයන්ස් පැටලවීමට පෙළඹීයි එහි ඇති දෝෂය. කෙසේවෙතත්, මෙතැන් සිට විද්‍යාව යන වචනය මා ලියන්නේ (අකමැත්තෙන් වුවද) සයන්ස් සඳහා පමණි.

සයන්ස් හි ආරම්භය දර්ශනයයි. එනිසා දර්ශනය විද්‍යාවේ මීමුත්තා (philosophy is the forefather of science) යනුවෙන්ද හැඳින්වෙනවා. දර්ශනය එදත් අදත් බුද්ධිය ඇති හා නැති යන දෙගොල්ලන්ම භාවිතා කළ හා නිර්මාණය කරන්නකි. බුද්ධිහීනයන් විසින් සෑදූ දර්ශනවල එතරම් වැදගත්කමක් නැති වුවත්, බුද්ධිමතුන් විසින් ඉදිරිපත් කරන දර්ශනවල වැදගත්කමක් තිබිය හැකියි. මෙහිදී මා පෙන්වා දෙන්නට උත්සහ කළේ දර්ශනයෙන් තොර මිනිස් ජීවිතයක් ගෙන යා නොහැකි බවයි. එය හරියට ලිංගික ආශාව මෙන් මිනිස් සන්තානය තුල ස්වභාවයෙන්ම පවතින්නකි. මිනිසා දේශපාලන සත්වයෙකි ආදී ප්‍රකාශන තුලත් අනියමින් කියන්නේ එයමයි.

දර්ශනය මනසේ නිර්මාණයකි. ආදි කාලයෙහි විසූ මිනිසාට කිසිවක් ගැන දැනුමක් අවබෝධයක් තිබුණේ නැත. එවිට කුමන හෝ ක්‍රමයකින් චින්තන ක්‍රියාවලිය ඇරඹී, තමන් සංජානනය කරන සරල දේවල් හා පසුව සංකීර්ණ දේවල් ගැන යම් යම් නිර්මාණාත්මක දැනුමක් ඇති කර ගති. දේව ආදි සංකල්ප ඒ අතර විය. සිංදුවලට තනු යොදන විට මීට පෙර ලොව කොතැනවත් නොතිබූ තනුවක් මිනිස් මනස තුල නිර්මාණය වූයේ කෙසේද, අන්න එලෙසම ලෝකය අවබෝධ කර ගැනීමේදී නව සංකල්ප (දර්ශන) බිහි වූවාට සැක නැත.

උදාහරණයක් ලෙස, උස් තැනක සිට පුලුං කැබැල්ලකුත් යකඩ කැබැල්ලකුත් බිටම අත් හැරියොත් කුමක් වේදැයි ඔවුන් කල්පනා කළා යැයි සිතමු. කෙනෙකු සිතන්නට ඇති යකඩ කැබැල්ල පුලුන් කැබැල්ලට වඩා ඉක්මනින් පොලොවට වැටේවි කියා. කුඩා ළමයෙකුගෙන් එම ප්‍රශ්නය ඇසුවොත් ඔවුන් ලබා දෙන්නේද එම පිලිතුරමයි. ඉතිං තව කෙනෙකුට එය සිදු කර බලන්නට සිතෙන්නට ඇති. ඒ කියන්නේ මනසේ ඇති දෙයක් ප්‍රායෝගිකව භෞතිකව සිදු කර බැලීමට දැන් පෙළඹීමක් තිබේ.

අන්න එවැනි ප්‍රායෝගිකව සිදු කර බැලීම් දර්ශනයෙන් ඔබ්බට ගිය සාධනීය ලක්ෂණයකි. පර්යේෂන, ගවේශන, නිරීක්ෂන ආදියට වැදගත්කමක් ඇති විය. ඉතිං විවිධ අය විවිධ ක්‍රම ඔස්සේ එම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්නට ඇති. මෙලෙස කාලාන්තරයක් තිස්සේ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් (පර්යේෂන) සිදු කරන විට, ඒවා ක්‍රමවේද ලෙස සකස් විය. එවිට එම ක්‍රමවේදවල තිබෙන දෝෂ ඉවත් කරමින් ඒවා දියුණු කරමින් පලදායි ලෙස යොදා ගැනීමට හැකි පරිදි ඒවා වැඩිණි.

විද්‍යාව යනු එවැනි ක්‍රමවේදයකින් සොයා ගත් හා නිර්මාණය කර ගත් දැනුම් සම්භාරයකි (දැනුම් පද්ධතියකි). ඉතිං විද්‍යාව බිහි කරන එම ක්‍රමවේදය විද්‍යාත්මක ක්‍රමය (scientific method) ලෙස හඳුන්වමු. අද තිබෙන දියුණු විද්‍යාව හා විද්‍යාත්මක ක්‍රමය බිහි කිරීම ශතවර්ෂ ගණනාවක් තිස්සේ බුද්ධිමත් මිනිසුන් (විද්‍යාඥයන් ලෙස ඔවුන් හඳුන්වමු) විසින් සිදු කරමින් පැමිණ තිබේ. එය එක රටකට හෝ එක ජන වර්ගයකට හෝ එක ආගමකට හෝ අයත් දෙයක් නොවේ. සමහර ඊනියා උගතුන් එවැනි අශීලාචාර උත්සහක නිරතව ඇත (විද්‍යාව යුදෙව් දහමට අයත් දෙයක් බව පෙන්වීමට උත්සහ දරමින්).

ඇත්තටම විද්‍යාව/සයන්ස් හැඳින්වීමට සුදුසුතම නම "පොදු මානව දැනුම" (common human knowledge) යන්න බව මාගේ අදහසයි. එය අපේ මුතුන් මිත්තන්ගේ කඳුලු ලේ දහඩිය දුක සතුට සියල්ලෙන්ම කැටිකොට ඇති දෙයකි. ඔවුන්ට අප අපේ උත්තමාචාරය හා ආදරය පිරිනැමිය යුතුය. එහෙම නැතිව විද්‍යාව පරසුද්දාගේ එකක් කියා පරසුද්දගේ කලිසමට බැසගෙන පරසුද්දා හදපු කාර් එකේ නැගගෙන පරසුද්දගේ ටීවී එකේ රිංගගෙන විද්‍යාවට බනින පරයන් කියනා ජාතියේ එකක් නොවේ.

දැන් අපි මොහොතක් විද්‍යාවේ ස්වභාවය හඳුනාගනිමු. විද්‍යාව යනු දැනුමකි; එය එකිනෙකට සබැඳි විශාල පරාසයක් පුරා පැතිර පවතින දැනුම් ජාලයකි; දැනුම් පද්ධතියකි. එම දැනුම හැමවිටම තත්කාලයේ (එනම් ඒ ඒ කාලයේ) පැවැති තාක්ෂණයට සොයා ගත හැකි උපරිම නිරවද්‍යතාව හා විශ්වාසදායිබව සහිත දැනුමකි.

තාක්ෂණය යනු තත්කාලයේ පවතින උපරිම විද්‍යා න්‍යායයන් අනුව විවිධ ප්‍රායෝගික කාරණා සඵල කර ගැනීමට සඳහා මිනිසා විසින් සකසා ගන්නා මෙවලම් හා ක්‍රමවේද වේ. මෙවිට පවතින තාක්ෂණය අනුව විවිධ පර්යේෂන ආදිය කිරීම මඟින් නව විද්‍යා දැනුම සොයා ගැනේ; පවතින විද්‍යා න්‍යායන් යාවත්කාලීන කෙරේ. එසේ වැඩි දියුණු වූ විද්‍යාව නිසා පෙර තිබුණට වඩා දියුණු තාක්ෂණයන් බිහි වේ. එසේ දියුණු තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේද මඟින් නැවතත් ගැඹුරු හා දියුණු විද්‍යාවක් මතු කර ගත හැකියි. මෙලෙස මාරුවෙන් මාරුවට විද්‍යාව හා තාක්ෂණය අත්වැල් බැඳගෙන එකිනෙකට උදව් කරගනිමින් දියුණු වේ. දිනෙන් දින විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවීම අපට දක්නට ලැබෙන්නේ එනිසාය.

ඉහත කියූ තාක්ෂණික කාරණාව ඉතාම වැදගත්ය. එකදහස් හයසිය ගණන් ගැන සිතා බලන්න. අයිසෙක් නිව්ටන් සිටියේද ඒ කාලයේය. පරිගනක, රේඩියෝ තරංග, වේගවත් යන්ත්‍ර ආදී අද අප අවට තිබෙන පොඩි එකා පවා දන්නා සියල්ලම පාහේ එදා නොතිබුණි (අද ජීවත් වන කෙනෙක් එම කාලයට ගියා නම් සාංකාව හා සරලබව ඉවසා ගත නොහැකිව පිස්සකු වනු නොඅනුමානයි). තාක්ෂණයද අදට සාපෙක්ෂව ළඳරු වියේ පසුවිය. ඒ කියන්නේ නිවටන්ගේ කාලය වන විට තාක්ෂණයෙන් ක්ෂුද්‍ර ජීවින්ද ඇතුලු ක්ෂුද්‍රලෝකය ගැන කිසිවක් ගැන අධ්‍යනයක් කිරීමට බැරිය. ඉතා වේගවත් වස්තුන් ගැන සෙවීමට තාක්ෂණයක් නොතිබුණි.

එනිසා එකල සොයා ගත් නිව්ටන්ගේ නියමයන් එම ලෝකයට සාපේක්ෂවයි නිවැරදි හා විශ්වාසදායි වූයේ. එහි වැරද්දක් නැත. වැරැද්දක් තිබුණත් දොස් පවරන්නට හෝ මැසිවිලි නඟන්නට හේතුවක් නැත. තිබෙන වාස්තවික පරිසරයෙන් උපරිම දේ ඔවුන් අපට දායාද කර දී තිබේ. එම සොයා ගැනීම් නිසා තමයි ඊළඟ අනාගතයේදී ඊට වඩා හොඳ වඩා නිරවද්‍ය හා වඩා විශ්වාසදායි විද්‍යාවක් ගොඩනැඟුවේ. අද වන විට විද්‍යාවේ දියුණුව සිතා ගත නොහැකි තරම් වී තිබෙන්නේ ආදි බුද්ධිමත් මානවයන්ට පිං සිදු වන්නටයි. එහෙත් පිං දෙනවා වෙනුවට සමහර පිංගුත්තරයන් කරන්නේ ඔවුන්ට අවලාද නැඟීමයි.

තමන් අවට තිබෙන සාමාන්‍ය දේ ගැන අධ්‍යනයෙන් නොනැවතී කිසිදා ළඟා විය නොහැකි තරම් දුර තිබෙන දේවල් ගැනද, අතිවිශාල වේගවත් දේවල් ගැනද, අතිදැවැන්ත දේවල් ගැනද, අතික්ෂුද්‍ර දේවල් ගැනද සෙවීමට තරම් අද වන විට විද්‍යාව දියුණුව ඇත. තවත් ඉදිරියටත් අසිරිමත් දේවල් සොයා ගනු ඇත. මේ අතර මිනිස් අවශ්‍යතා හා ජීවන රටාවද වෙනස් වී හා සංකීර්ණ වී තිබේ. එහි බලපෑමට ඉතා තදින් විද්‍යාවට දැනේ. උදාහරණයක් ලෙස, මේ දිනවල ලෝක දේශගුණ විපර්යාස ගැන විද්‍යා දැනුම ඇමරිකානු මීහරක් ජනපති ට්‍රම්ප්ගේ දේශපාලනය විසින් අභියෝගයට පත්ව ඇත. යුද්ධමය අවශ්‍යතා නිසා විද්‍යාවේ දිශානති වෙනස් වී තිබේ. ඒ සියල්ල මධ්‍යයේ අප විද්‍යාව තේරුම් ගත යුත්තේ කෙසේද යන්න ගැන ලංකාව වගේ විද්‍යාවෙන් දිළිඳු රටවලට හැඟීමක් නැත.

ඉහත විස්තර කළ පරිදි විද්‍යාව යනු කාලයත් සමඟ වෙනස් වන දැනුම් පද්ධතියකි. විවෘත දැනුම් පද්ධතියක් ලෙස එනිසා එය හඳුන්වමු. ඇත්තටම විවෘත බව තමයි විද්‍යාවේ තිබෙන ශක්තියත්. කාලයත් සමඟ වඩා නිවැරදි වඩා විශ්වාසදායි වඩා පෘථුල විද්‍යාවක් නොනැනවතීම බිහි වන්නේ එම ගතිලක්ෂණය නිසාය. එහෙත් සමහරුන් එය සලකන්නේ විද්‍යාවේ දෝෂයක් ලෙසයි. අදට වඩා හෙට හොඳ වෙන එක උන්ට රුස්සන්නේ නැති බවක් පෙනේ.

එහෙත් ආගම්ද ඇතුලු බොහෝ දර්ශන සංවෘත දැනුම් පද්ධති වේ. ඒවා දෙවිවරුන් හෝ ඍෂිවරුන් හෝ වසර කෝටි ගණනකට සැරයක් පහළ වන විශේෂිත පුද්ගලයකු විසින් නිර්මාණය කර ඇතැයි පවසයි. ඒ කියන්නේ එවැනි දැනුමක් වෙනස් කිරීමට, ඊට අලුත් කොටස්/දැනුම් කාරණා එකතු කිරීමට අවකාශයක් නැත. මෙවැනි දැනුම් අන්තර්ගත පත පොත කියවා බලන්න කොතරම් එකිනෙකට පටහැනි කරුණු තිබෙනවාද කියා. එහෙත් ඒවා වෙනස් කිරීමටද බැරිය. සමහරුන් නම් ඇත්තටම එම දෝෂ ඉවත් කරමින් නව සංස්කරණද ඉදිරිපත් නොකරනවා නොවේ. මෙවිට එම සමාජය තුල බෙදීම්ද හට ගන්නා බව පෙනේ. බලන්න සෑම ආගමකම විවිධ නිකායවල් කොපමණ තිබේද? ඊට හේතුව ආදිකෘත දර්ශනයට සමහර අය කරන වෙනස්කම්වල ප්‍රතිපලයයි. යම් යම් දෝෂ ඉවත් කිරීමට (යාවත්කාලීන කිරීමට) දේව හෝ ඍෂි භාෂිත යැයි කියන ආදිකෘත දර්ශනයක් ඇත්තටම සාමාන්‍ය "උගතෙකුට" වෙනස් කිරීමට බැරිය යන මතයද තර්කානුකූලය. එහෙත් වෙනස් නොකර සිටියොත් ආදිකෘත දර්ශනයේ දෝෂද පෙනේ. ඒ කියන්නේ විකල්ප දෙකෙන් කුමක් ගත්තත් සංවෘත දැනුම් පද්ධති සියල්ලම සදොස් බව වටහා ගැනීමට මහා ලොකු ප්‍රඥාවක් අවශ්‍ය කරන්නේ නැත.

විද්‍යාවද සදොස්ය. එහි කිසිදු වාදයක් නැත. එහෙත් එම සදොස් තැන් නිවැරදි කිරීමට ඕනම අවස්ථාවක හැකිය. ඒ කියන්නේ සදොස් තැන් යනු විද්‍යාව තව දුරටත් දියුණු වී විකාශය වීමට තිබෙන අවකාශයක් බඳුය. ඒකයි මා මුලදිත් පැවසුවේ විද්‍යාවේ මෙලෙස කාලයත් සමඟ වෙනස් වීමේ ස්වභාවය එහි ශක්තියක් මිස දුර්වලකමක් නොවන බව.

විද්‍යාවේ යම් දෘඩ බවක් (rigidity) ඇත. එනම්, යම් දෙයක් විද්‍යාව යැයි පිලිගැනීමට ලක් වූ පසුව (එනම් විද්‍යාත්මක යැයි පිළිගත් පසුව), එහි ප්‍රායෝගික හා විශ්වාසදායි බවක් පවතී. විද්‍යාවේ තිබෙන වටිනාකම එයයි. විද්‍යාවේ විවෘත බවක්ද ඇත; රහස් නැත. භාවනා කර අහවල් මානසික තත්වයට පත් වෙච්ච අයට පමණක් අවබෝධ වේ කියා කියන්නේ නැත. කිලිවලට අසුනොවී අහවල් දේ කළ යුතු යැයි දෙයක් නැත. ඕනෑම කෙනෙකුට ප්‍රායෝගිකව සිදු කර එකම ප්‍රතිපලය ලබා ගත හැකියි (විශ්වාසදායිබව පවතින්නේ එනිසාය). මේ ගතිලක්ෂණ සියල්ල ලැබෙන්නේ විද්‍යාව ගොඩනැඟෙන විද්‍යාත්මක ක්‍රමය නිසාය. එම ක්‍රමය අනුගමනය කරනවා නම්, තත්කාලයේ තාක්ෂණයට අනුව ලබා ගත හැකි ඉතා හොඳම නිවැරදිම විශ්වාසදායිම ප්‍රතිපල/විද්‍යා න්‍යායයන් ලබා ගත හැකියි.

දල වශයෙන් විද්‍යාත්මක ක්‍රමයේ අංග කිහිපයකි. බොහෝ දෙනා පර්යේෂන, නිරීක්ෂන, නිගමන ලෙස කෙටියෙන් එම විද්‍යාත්මක ක්‍රමය හඳුන්වාදෙයි. එහෙත් ප්‍රායෝගිකව එය ඊට වඩා සංකීරණ විය හැකියි.

යම් සංසිද්ධියක් (phenomenon) ගැන විවිධ පැතිවලින් කරුණු රැස් කිරීම විද්‍යාත්මක ක්‍රමයේ වැදගත් අවධියකි. "එහෙම වෙන්නේ ඇයි", "එහෙම වෙන්නේ කොහොමද" වැනි ප්‍රශ්නවලට පිලිතුරු සෙවීමයි කරන්නට යන්නේ. එම තොරතුරු එක්රැස් කරන්නේ තමන්ට ලබා ගත හැකි උපරිම තත්කාලීන තාක්ෂණික උපකරණ හා ක්‍රමවේද ඔස්සේය.

එම කරුණු ගැන විශ්ලේෂණය සිදු කර ඉන් නව රටා, න්‍යායන් මතු කර ගත යුතුය. මෙහිදීත් තත්කාලීන තාක්ෂණයේ බලපෑම තිබේ. ඇත්තටම තත්කාලීන තාක්ෂණයේ බැලපෑම විද්‍යාත්මක ක්‍රමයේ සෑම පියවරකදීම එකලෙස පවතී.

එම සොයා ගත් න්‍යායන්/රටාවන් ඇත්තටම එසේද (සත්‍යද) කියා දැන් තහවුරු කරගත යුතුය. ඒ සඳහා එම න්‍යායන් යොදා ගත හැකි යම් ප්‍රායෝගික අවස්ථාවක් ගෙන එම න්‍යායන් ඇසුරින් නිශ්චිත පුරෝකතනයන් සිදු කළ හැකියි. ඉතිං, එම පුරෝකතනයන් ඇත්තටම ඒ කියූ ලෙසම සිදු වේ නම්, බොහෝවිට එම න්‍යයාස සත්‍ය වේ. මෙම පරීක්ෂණය කිහිප වරක්ම සිදු කර නැවත නැවත එය තහවුරු කර ගනීවි. පුරෝකතනය හා ප්‍රායෝගික ප්‍රතිපල අසමාන නම්, ඊට හේතු සොයයි. නැවතත් දත්ත රැස් කිරීමට හා/හෝ විශ්ලේෂන ක්‍රියාවලිය සිදු කර නව න්‍යායන් ලබා ගනීවි.

දැන් පර්යේෂකයන්ට තම න්‍යායන් ගැන සෑහීමකට පත් විය හැකි නම්, ඔවුන් යම් යම් නිගමනවලට එළඹේවි. මේවා විද්‍යාත්මක න්‍යායන් (theories) ලෙස හැඳින්වේ. එහෙත් තවමත් එම න්‍යායන් විද්‍යාව යන ලේබලයට වැටී නැත. යම් විද්‍යාඥයෙකු හෝ කණ්ඩායමක් න්‍යායක් ඉදිරිපත් කළ පමණින් එය විද්‍යාවක් බවට පත් වන්නේ නැත. දිනපතා ඉතා සරල සංසිද්ධිවල සිට අතිසංකීර්ණ සංසිද්ධිවලට මෙවැනි තියරි සියගණන් ලොව පුරා ඉදිරිපත් වේ. පත්තරවල හා අන්තර්ජාලයේ මෙවැනි පුවත් ඕනෑ තරම් පළ වේ.

ඇත්තටම ඒවාට එවැනි ප්‍රචාරයක් ලැබීම හොඳ තත්වයකි. එහෙත් විද්‍යාව ගැන වැටහීමක් නැති අය ඒවා වැරදියට තේරුම් ගැනීමේ ප්‍රවණතාවක් පවතිනවා. විශේෂයෙන් අන්තර්ජාලය නිසා මෙම තත්වය තවත් දරුණු වී ඇත. එංගලන්තය වැනි රටවල මේ කාලයේ මෙම තත්වය ගැන විද්‍යාඥයන් හා රජය අතර බරපතල සංවාද පවා ඇති වී තිබේ. මෙතැන ඇත්තටම තිබෙන්නේ විද්‍යාවේ හෝ විද්‍යාඥයන්ගේ වැරැද්දක් නොව; සාමාන්‍ය මහජනයාගේ වැරැද්දක්ද නොවේ. සෑම පුද්ගලයකුටම නිවැරදිව විද්‍යාව හඳුනාගැනීමේ නිපුණතාව ලබා දීමට කටුයුතු කිරීම ප්‍රායෝගික නැහැනෙ. මෙතැන තිබෙන්නේ විද්‍යා සන්නිවේදකයන්ගේ දෝෂයකි. විද්‍යාඥයන් විසින් සොයා ගන්නා දේවල් හා විද්‍යාව තුල බිහිවෙන නව විද්‍යා දැනුම පොදු ජනයා අතරට යෝග්‍ය අයුරින් ගෙනයෑම විද්‍යා සන්නිවේදකයන්ගේ යුතුකමකි. එහෙත් බොහෝ එවුන්ට විද්‍යාව ගැන හෝ තමන් කරන රාජකාරිය ගැන හැඟීමක් නැති නිසා සාමාන්‍ය තියරි පවා විද්‍යාවේ නාමයෙන් ඉදිරිපත් කෙරේ. ලංකාවේ සුප්‍රසිද්ධ සිංහල විද්‍යා සඟරාවක් වන විදුසරහි පවා එම දෝෂය තිබේ.

ඉතිං, ඉහත ආකාරයට අලුතින් සොයා ගත් න්‍යායක් විද්‍යාවක් බවට පත් වන්නේ කෙසේද? එය සිදුවන විදිය ඇත්තටම අපූරුය. එලෙස සොයා ගත් න්‍යායන් විද්‍යා ජර්නල් (journal) ලෙස හැඳින්වෙන විශේෂිත විද්‍යා සඟරාවල පළ කෙරේ. ලෝකය පුරා විවිධ විද්‍යා ක්ෂේත්‍රයන් සඳහාම වෙන් වූ ජර්නල් සඟරා විශාල සංඛ්‍යාවක් ඇත. එවැනි ලෝකපූජිත ජර්නලයක යම් ලිපියක් (තියරියක්) පළ වීමම ජයග්‍රහණයකි. බොහෝවිට විශ්ව විද්‍යාල ආචාර්යවරයකු හෝ පර්යේෂයකු තම පර්යේෂන වාර්තාවක් එලෙස පිලිගත් ජර්නලයක පළ කරන විට, විශ්ව විද්‍යාලයෙන් යම් විශාල මුදලක්ද ඔහුට පිරිනැමේ.

එහෙත් මේ අතර හොර ජර්නල්ද නැතිවා නොවේ. ඉංදියාව වැනි රටවල එවැනි ජර්නල් තිබේ (ඒවා නිකං හොර ඩිස්පැන්සරි වගේ). හොඳ පිළිගත් ජර්නලයක ලිපියක් පළ කරන්නට පෙර, ජර්නලයට සම්බන්ද එම විෂය ගැන ප්‍රාමාණිකයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් එම පර්යේෂන පත්‍රිකාව විමර්ෂනය කර, බැලූබැල්ටම හොඳ තියරියක් මෙන් හැඟුනොත් තමයි පළ කරන්නේ. එහෙත් හොර ජර්නල් එසේ නොවේ. එවුන්ට ලැබෙන ඕනෑම එකක් පළ කිරීමට පෙළඹේ. ඉතිං, සාමාන්‍ය ජනයා හොර ජර්නල් හොඳ ජර්නල් නොදන්නා නිසා විද්‍යාවේ නාමයෙන් වැරදි දේවල් සත්‍ය යැයි පිලිගැනීමට අවස්ථාවක් ඇත. මෙම තත්වය තවත් බැරෑරුම් වෙනවා විද්‍යා සන්නිවේදකයන්ද එම හොර ජර්නල්වලින් ලබා ගත් කරුණු ඉදිරිපත් කරන නිසා.

ඉතිං, මෙලෙස යම් පර්යේෂනයක් ජර්නලයක පළ වූ විට, එය ගැන ලොව පුරා විද්‍යාඥයන්ට දැනගන්නට ලැබෙනවා. ඔවුන් එම පර්යේෂන පත්‍රිකාව කියවා තම තමන්ගේ ලැබ්වල ඒ පර්යේෂනය සිදු කර බලනවා. මෙලෙස ස්වාධීනව තම තමන්ට පර්යේෂණය සිදු කිරීමට අවශ්‍ය නිසා, මුල් පර්යේෂණය සිදු කළ ආකාරය පියවරෙන් පියවර ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි. මෙම ක්‍රියාවලිය සාම්‍ය සමාලෝචනය (peer review) ලෙස හැඳින්වෙනවා.

සාම්‍ය සමාලෝචනය යන වචනයෙන්ම කියවෙන පරිදි, යම් විද්‍යාඥයෙකු (හෝ විද්‍යාඥ කණ්ඩායමක්) විසින් කරපු පර්යේෂණයක සත්‍ය අසත්‍ය බව සොයන්නේද එම විෂය පිළිබඳ විද්‍යාඥයන් විසින්මය (ඒ සඳහා නාථ හෝ වෙනත් දෙවියෙකු ඉදිරිපත් වී නැත). සාම්‍ය යනු සමාන අය යන තේරමනෙ. සාම්‍ය සමාලෝචනයේදී එක්කෝ අර තියරිය සත්‍ය යැයි ඔප්පු වේවි. නැතිනම් දෝෂ මතු වේවි. සත්‍ය යැයි ඔප්පු වූ විට ඒ බව නැවතත් ජර්නල් හා විද්‍යා සමුලුවලින් ලෝකයට හෙලි කෙරේ. අන්න එතැන් සිට එම තියරිය විද්‍යාවේ අංගයක් බවට පත් වේ.

බොහෝ දෙනා තමන් කරන දේට ගරු නම්බු බලාපොරොත්තු වේ (ඊට අමතරව මුදල් හා සම්පත්ද බලාපොරොත්තු වන අය සිටිනවා). විද්‍යා පර්යේෂනවලද එම තත්වය තිබේ. එහි ඇත්තේ තරගයකි. සමහරවිට තමන් කරන පර්යේෂනය ලෝකයේ වෙනත් ලැබ් එකක තවත් අය කරනවා විය හැකියි. තමන් යමක් සොයා ගෙන ඉදිරිපත් කරන්නට පෙර වෙනත් කෙනෙකු එය ඉදිරිපත් කරන්නට ඉඩ ඇත. එනිසා සමහරවිට තමන් සොයා ගන්නා තියරි දිගු කාලයක් තිස්සේ හරි වැරදි සොය සොයා ඉන්නේ නැතිව ජර්නල්වලට ඉදිරිපත් කිරීමද සිදු වේ. එවිටද සාම්‍ය සමාලෝචනයෙන් සාවද්‍ය කරුණු විද්‍යාවට එකතු වීම වැලකේ.

අන්තර්ජාලය මෙහිදීත් නැවතත් ගැටලුවක් වී ඇත. එනම්, තම පර්යේෂන වාර්තා සමහරුන් කෙලින්ම අන්තර්ජාලයටද දමනවා (ජර්නල්වල පළ කිරීමට කාලය වැය වන නිසා). මෙවිට සාම්‍ය සමාලෝචනය සිදු වීම එක්කෝ මඟහැරෙනවා නැතිනම් කල්ගත වෙනවා. එය විද්‍යාවේ යහපැවැත්මට ගැටලුවකි. සාමාන්‍යයෙන් විද්‍යාවේ කියමනක් තිබෙනවා විද්‍යාව බිහිවන්නේ ජර්නල් තුලින්ය කියා.

පෙර පැවසූ ලෙසට, කාලයත් සමඟ විද්‍යා දැනුම/න්‍යායන් යාවත්කාලීන වී වඩා නිවැරදි හා විශ්වාසදායි වෙනවා. එය කෙනෙකු දකින්නේ අද තියෙන විද්‍යාවෙන් ඊයේ තිබූ විද්‍යාව බොරු කරනවා කියාය. එහෙත් එය සාධාරණ ප්‍රකාශයක් නොව විද්‍යාව ගැන අඹමල් රේණුවක දැනුමක් නැතිව කරන ප්‍රකාශයකි. එය තේරුම් ගත යුත්තේ මෙසේය.

අද යම් විද්‍යා තියරියක් තිබෙනවා යැයි සිතුමු. එය විද්‍යාව ලෙස පිලිගෙන තිබෙන්නේම ඒ කියන දේ තුල ප්‍රායෝගික සත්‍යයක් තිබෙන නිසානෙ. එම සත්‍ය සාපේක්ෂයි. ඔබ ගැඹුරින් සිතා බැලුවොත් පෙනේවි මේ විශ්වයේ තිබෙන සෑම දෙයක්ම සාපේක්ෂ බව. සත්‍යයද සාපේක්ෂ වේ. උදාහරණයක් ලෙස නිව්ටන්ගේ චලිත නියම ගමු. නිව්ටන් ඒවා ඉදිරිපත් කළ කාලයේදී එය 100%ක් සත්‍ය විය. අදටත් එය 100%ක් සත්‍ය වේ. එහෙත් කොන්දේසි ඇත. එම චලිත රික්තකයක් තුල සිදු විය යුතුය. ප්‍රතිරෝධි බල තිබෙන අවකාශයකදී එම බලද සැලකිල්ලට ගත යුතුය. තවද, එම චලිත වේගය ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතා කුඩා විය යුතුය. ඔබ දන්නවා ආලෝකයේ වේගය යනු නිව්ටන්ගේ කාලයේ විතරක් නොවේ, මේ වර්තමාන කාලයේ වුවද අතිදැවැන්ත වේගයකි. මිනිසා සාදා තිබෙන කිසිදු යන්ත්‍රයකට තවමත් එම වේගයට ආසන්න විය නොහැකියි. ඒ නිසා අදටත් නිව්ටන්ගේ නියම අපේ එදිනෙදා කටයුතුවලට ඉතාම ගැලපේ; නිවැරදි වේ.

එහෙත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය හා ඒ ආශ්‍රිත භාවිතාවන් තුලදී නිව්ටන්ගේ චලිත නියම ඒ පරිද්දෙන්ම සත්‍ය නොවේ. ඒ කියන්නේ යම් අංශුවක්/වස්තුවක් ආලෝකයේ වේගයට ආසන්න වන විට නිවටන්ගේ නියමවලින් කියන පුරෝකථනයක් අසත්‍ය වේ. ඊට හේතුව එවැනි වේගවත් චලිතයකදී එම අංශුව සඳහා කාලය මන්දගාමී වන බවයි (මේ ගැන වැඩිදුර දැනගැනීම විශේෂ සාපේක්ෂතාවාදය ගැන සොයා බලන්න). නිව්ටන්ගේ කාලයේ සිතුවේ කාලය යනු කිසිම හේතුවක් නිසා වෙනස් නොවන ඔහේ එකම රටාවකට "ගලාගෙන" යන දෙයක් බවයි. එහෙත් අයින්ස්ටයින් පෙන්වා දුන්නේ කාලය අංශුවේ වේගය මත වෙනස් වන බවයි.

ඇත්තටම අයින්ස්ටයින්ගේ එම සොයා ගැනීම විද්‍යාව තරමක් උඩුයටිකුර කළේය. ඒ සමඟම විද්‍යාවේ විශාල පිම්මක් ඇති විය. විද්‍යාවේ තියරිවල වෙනස්වීමක් ඇති වෙනවා යනුම එය දියුණු වීමකි. ඉතිං, පරණ දැනුම වැරිදියි කියනවාට වඩා අපට එය සිතිය හැකියි අපේ ප්‍රායෝගික වැඩ කර ගැනීම සඳහා තවත් අමතර මෙවලම් ලැබීමක් ලෙස. එනම්, දැන් අපට නිව්ටන් නියමවලින් සේම අයින්ස්ටයින් නියමවලිනුත් වැඩ ගත හැකියි. පොඩි අත්තක් කැපීමට මන්නයකුත්, විශාල ගසක් කැපීමට පොරවකුත් අපට දැන් තිබෙනවා.

මෙම තත්වය තවත් උදාහරණයකින් මා පෙන්වා දෙන්නම්. ආලෝකය ගැන බලන්න. ආලෝකය මුල් වී විවිධ සංසිද්ධි සිදු වෙනවානෙ - පරාවර්තනය, වර්තනය, විවර්තනය, ප්‍රකාශවිද්‍යුතය. මේ සියල්ලම එකවර විද්‍යාවෙන් සොයා ගත්තේ නැත. කාලයක් තිස්සේ එකින් එක ගැන කරුණු දැන ගති. ඒ අනුව එක් කාලයකදී ආලෝකය යනු කිරණ ලෙස ගමන් කරන්නක් ලෙස සැලකුවේය. ඒ අනුව පරාවර්තනය හා වර්තනය යන දෙක ඉතා හොඳින් පැහැදිලි කර ගත හැකි විය. එහෙත් ආලෝකයේ විවර්තනය ඉන් පැහැදිලි කර ගත නොහැකි විය. මේ ගැන අධ්‍යනය කරගෙන යන විට, ආලෝකය තරංග විශේෂයක් ලෙස සැලකුවේය. දැන් විවර්තනය ආදිය හොඳින් පැහැදිලි කර ගත හැකියි. එහෙත් ප්‍රකාශවිද්‍යුතය පැහැදිලි කිරීමට ඊට නොහැකි විය. මෙවිට ආලෝකය කුඩා අංශු (ෆෝටෝන) ලෙස සලකා පැහැදිලි කිරීම් සිදු කළේය. මෙම පැහැදිලි කිරීම 1905 දී පමන අයින්ස්ටයින් විසින් සිදු කළ අතර, ඒ සඳහා නොබෙල් ත්‍යාගයද ඔහුට හිමි විය. අද වන විට ආලෝකය ක්වන්ටම් භෞතික න්‍යායකින් පැහැදිලි කෙරේ.

ඉහත උදාහරණ දෙකෙන් වුවද පැහැදිලි වන දෙයක් තමයි විද්‍යාවෙන් සිදු කරන්නේ සංසිද්ධි පැහැදිලි කිරීමට යම් යම් සාර්ථක ආකෘති (model) ඉදිරිපත් කරන බව. ඉතිං යම් සංසිද්ධියකට ඉදිරිපත් කර ඇති යම් ආකෘතියකට වඩා හොඳ ආකෘතියක් ඒ සඳහා යම් දවසක ඉදිරිපත් කෙරේ නම් විද්‍යාව පැනලා එම ආකෘතිය බදා ගනී. ඉන් විද්‍යාව ඉදිරියට ගමන් කරයි. උදාහරණයක් ලෙස, සංසිද්ධි කිහිපයක් සඳහා වෙන වෙනම ආකෘති කිහිපයක් ඇතැයි සිතන්න. එහෙත් පසුව ඒ සියලු සංසිද්ධි පැහැදිලි කළ හැකි තනි ආකෘතියක් ඉදිරිපත් කළ විට, එම පසුව ඉදිරිපත් කරපු තනි පෘථුල ආකෘතිය අර වෙන වෙනම තිබූ වෙනස් ආකෘති/තියරි සියල්ලම කපා දමනවා.

මේ අනුව පේනෙනවා විද්‍යාව යනු ලෝකයේ/විශ්වයේ පවතින අනේකවිධ සංසිද්ධි ගැන සොයා ඒ ගැන ඉදිරිපත් කළ හැකි තත්කාලයේ හොඳම ආකෘති සමූහය බව. ආගම්වල පෙන්වන්නට උත්සහ කරන විමුක්තිය සෙවීම විද්‍යාවේ මූලික අරමුණක් නොවේ. අවශ්‍ය කෙනෙකුට එය වුවද විද්‍යාත්මක ක්‍රමයෙන් සෙවීමට බාධාවක් නැත. අහවල් අහවල් දෙවල් පමණයි විද්‍යාවේ සොයන්නේ කියා සීමා නැත. එවැනි සීමා පනවන්නට ආයතන හෝ බලවතුන් නැත. විද්‍යාව අප කාටත් අයිතිය. එහෙත් විද්‍යාව නිර්මාණය වන්නේ ඊට කැමැත්තක් ඇම්මක් තිබෙන ඊට මුදල් යොදවන රටවලයි. උන් එලෙස බොහෝ වටිනා දේවල් සොයා අපේ ප්‍රයෝජනයටත් ඒවා මානවයා සතු කරයි (අපේ මහාලොකු එවුන් ටීවී එකේ රිංගා එම විද්‍යාවට ගරහයි).

එහෙත් මේ වන තුරුත් විද්‍යාවේ පවතින්නේ ප්‍රායෝගික සත්‍ය කාරණා සමූහයකි. තවත් බොහෝ දේවල් ඉදිරියේදී සොයා ගැනේවි. එසේ වුවත් ඒ සොයා ගන්නේ මොනාද කියා ජ්‍යොතිෂ හෝ ශාස්ත්‍ර කාරයන්ට ඉඟි පළ කළ නොහැකියි. එවුන් කියන්නේ විද්‍යාවෙන් ඉදිරියේදී එවුන් කියන දේවල් සොයා ගනීවි කියානේ. එතකල් තමන් ප්‍රචාරය කරන එම මිත්‍යාවන් පිලිගන්නා ලෙසනෙ. එසේ සිතීම එවුන්ට තරම් වුවත්, විචක්ෂන බුද්ධියක් තිබෙන අයට එසේ සිතීමට අවසර නැත. එය හරියට මරාගෙන මැරෙන ත්‍රස්තවාදින් සිටිනා කාලයකදී ආරක්ෂක ඇමතිව හමුවන්නට එන අයව පෝලිම්වල් දිගු වෙලාවක් පුරා චෙක් කර කර ඇමති ගාවට යවන්නේ නැතිව, සියල්ලන්ම ඇමති ගාවට යවා ගියාට පසුව සෙමින් සෙමින් ඔවුන්ව චෙක් කරන්න යෝජනා කරනවා වැනිය. එවිට බෝම්බකරු තමන්ගේ වැඩේ ඉටු කරලා තිබේවි.

විද්‍යාව ගැන අවසාන සාරාංශ ගත කිරීම මෙසේය. විද්‍යාව නිරපේක්ෂ සත්‍යය ගැන (තවමත්) කතා නොකරයි. ප්‍රායෝගික සත්‍ය ගැන බොහෝ කරුණු විද්‍යාව තුල ඇත. එම අතිවිශිෂ්ට දැනුම මිසරයේ පිරමීඩ හෝ ලංකාවේ සීගිරිය පෙන්වා අතීත කාමයෙන් මත්ව හෝ ජාති/ජාතිකවාදයෙන් මත්ව අවඥාවට ලක් කළ නොහැකිය.


14 comments:

  1. යම් කිසි විශේෂිත ඍජුකෝණී ත්‍රිකෝණ වල පාද අනුපාත අතර සම්බන්ධතාව අතීත මිනිසුන් දැන සිටියා. එය සංයුක්ත දැනුමක්.
    නමුත් පයිතගරස් ඕනෑම ඍුජුකෝණි ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධය සාධනය කලා එය වියුක්ත දැනුමක්.

    තව උදාහරණයක් දැක්වුවහොත් ඔබ ඇන්ටෙනා සෑදීම පිළිබඳව ලිවීමේදී විවිධ සූත්‍ර ඉදිරිපත් කරනවා. ඒවා සංයුක්ත සූත්‍ර.
    ඒවගේම පුරාණ සිංහලයන්ට වැව්, දාගැබ්, බුදුපිළිම සෑදීම, වෙදකම ආදී විශයයන් සඳහා සංයුක්ත සූත්‍ර තිබුනා. වෙනත් සංස්කෘති තුලත් ඒ තත්වය තිබුනා.
    නමුත් බටහිර විද්‍යාව එයින් වෙනස් වන්නේ එහි ඇති වියුක්ත ප්‍රවාද නිසයි.
    බටහිර විද්‍යාව අනෙක් දැනුම් වලින් වෙනස්වන හේතුව මෙම වියුක්ත ස්වභාවයයි.
    වැඩියෙන්ම වියුක්ත ස්වභාවයක් ඇති දැනුම වන්නේ බටහිර ගණිතයයි. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවයි.
    බටහිර භෞතික විද්‍යාව පසුපස අනෙක් බටහිර විද්‍යාවන් නොන්ඩි ගසමින් යන බව නලීන් ද සිල්වතුමා කියන්නේ එනිසායි.
    එසේම.
    ඇමෙරිකා එක්සත් රාජ්‍යය ජනාධිපතිවරණය ගැන විශ්ලේෂණයක් යනු සංයුක්ත දැනුමක්. නමුත් ඒ ආශ්‍රයෙන් ගොඩනඟනලද
    "බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය" යනු නලීන් ද සිල්වා තුමා බිහිකල වියුක්ත දැනුමක්.

    ඉතා සුළු ජනගහනයක් සිටින යුදෙව් ජාතිකයන් බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ගෙතීම අතින් දක්ෂ වීමටත්.
    වැඩි ජනගහනයක් සිටින, මව් බසින් ඉගෙනීමට අවස්ථාව ඇති, දියුණු ආර්ථිකයක් හිමි ජපන් ජාතිනයන් සංයුක්ත තාක්ෂණික දැනුම ගොඩනැඟීමට දක්ශ වුවත්,
    වියුක්ත ප්‍රවාද ගොඩනැඟීමට දුර්වල වීම පිටුපස ඇත්තේ සංස්කෘතික සාධකයක් වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. හොඳ පැතිකඩවල් කිහිපයක්... මා අවසාන එකෙන් පටන් ගන්නම්... වියුක්ත හෝ සංයුක්ත හෝ ඕනෑම ආකාරයක දැනුමක් ගොඩනැඟීමේදී ලෝකයේ විවිධ කලාප හා ජනවර්ග අතර පෙනෙන වෙනසට හේතුව අනිවාර්යෙන්ම භෞතික හෝ ජානමය හෝ විය නොහැකියි. සංස්කෘතියේ බලපෑම ඇත. චින්තනයට භාෂාව (සංස්කෘතියේ ප්‍රබලතම අංගය භාෂාවයි) හා භාෂාවට චින්තනය බලපාන අයුරු පරිගනක ප්‍රෝග්‍රැමිං ලැංවේජ් ඉගෙන ගැනීමේදිත් ඉතා ලස්සනට පෙන්වා තිබෙනවා.

      සිල්වාගේ බටහිර විද්‍යාව යැයි විද්‍යාව වාර්ගික පැතිකඩකින් බැලීම මට නොතේරේ. විවෘත මනසට වඩා ජාතික/ජාති වාදය ඉස්මතු වීමක් ලෙසයි මා එය හැමවිටම දැක්කේ. විද්‍යාව පොදු මානව දැනුමකි. ඊට බටහිර රටවලින් වැඩි දායකත්වයක් ලැබී තිබීම වෙනමම කාරණයකි. අපේ එවුන්ට දැනුම නිර්මාණය කරන්නට බැරි එකට සුද්දා පලි නැත.

      භෞතික විද්‍යාව යනු සියලු විද්‍යාවේ මව් විද්‍යාවයි. එය පිටුපස අනෙක් විද්‍යාවන්ට නොන්ඩි ගසමින් යන්නට අවශ්‍ය නැත. අම්මා පිටුපස දරුවන් යන්නේ නැතිනම්, අල්ලපු ගෙදර එකා පිටුපසද ළමුන් යා යුත්තේ?

      දළ වශයෙන් භෞතික විද්‍යාව යනු ලෝකයේ තිබෙන සියලු භෞතික සංසිද්ධි ගැන හැදෑරීමකි. එහි නිශ්චිත අංශයක් වන පදාර්ථ හා පදාර්ථ හා ශක්ති අතර සම්බන්දතා හැදෑරීම රසායන විද්‍යාවයි. ඒ කියන්නේ රසායන විද්‍යාව යනුත් භෞතික විද්‍යාවේම කොටසකි. එම රසායනික පදාර්ථ ගැන අධ්‍යනය කරන විට සමහර පදාර්ථ ජීවමය ගුණ සහිතය (ජීවිය යනු කුමක්දැයි වෙනමම ප්‍රශ්නයකි). එවිට එතැනින් ජීව විද්‍යාව හට ගනී. ජීව විද්‍යාව තුල ඉන්පසු වෛද්‍ය විද්‍යාව බිහි වේ (එසේ වුවත්, වෛද්‍ය විද්‍යාවෙන් කරන රාජකාරියට අංගසම දේවල් මේ ආදි ලෙස නිශ්චිත නම්වලින් විද්‍යාවන් බිහි වන්නට බොහෝ ඈත කාලයේ සිට පැවතුණි; ලෝකය රේඛීය ස්වරූපයකින් පැවතෙන්නේ හෝ විස්තර කරන්නට බැරිය). ඉන්පසු වෛද්‍ය විද්‍යාව තුලත් අනෙක් විද්‍යාවන් තුලත් රුක් සටහන් මෙන් විවිධ විද්‍යාවන් බිහි විය. එයම තමයි විද්‍යාවේ දියුණුව. එය නොන්ඩි ගසා ගමන් කිරීමක් නොව.

      සිල්වා හෝ තවත් අය කරන්නේ පොඩි එවුන්ටත් කළ හැකි දේවල්ය. විද්‍යාවේ නාමයෙන් ඔහු ගැවසෙන්නේ දර්ශනය තුලයි (විද්‍යා දර්ශනය). අන්තර්ජාලයේ බැලුවොත් පෙනේවි පාසල් යන ළමුන් පවා මනරම් දර්ශන මතවාද ඉදිරිපත් කර තිබෙනවා (බොහෝ ඒවා කුමන්ත්‍රණ න්‍යායන් - conspiracy theories වේ). ලොකු බරපතල නමක් සාදා ඒ යටතේ යම් කතාන්දරයක් ඉදිරිපත් කර තිබේ. විද්‍යාවද කතාන්දර විය හැකියි. එහෙත් එම කතාන්දරවලින් විවිධ භෞතිකමය නව නිර්මාණවලට අවකාශය සැලසේ. රූපවාහිනි, පරිගනක, වාහන, චන්ද්‍රිකා ආදිය බිහි වූයේ එනිසානෙ. සිල්වාගේ කතාන්දරවලින් අඩුම ගානේ භෞතිකමය නිර්මාණයකට ඉඩ සැලසෙනවා තියා පොඩි එකෙක්වත් නිදි කරවිය නොහැකිය. එහෙත් අවශ්‍ය නම්, ශාලාවක ගුලි වී පැය ගණන් වාද විවාද කර කර සිටින්නට තරම් ඒවා ප්‍රබලය.

      අපට සාධාරණ ජීවන හා ලෝක දර්ශනයක් අවශ්‍ය නම්, බුදු දහම ඇත. මා ආගමක් ලෙස එය නොගත්තත්, බුදු සමිඳුන්ගේ ලෝක හා ජීවන විග්‍රහය අග්‍රගණ්‍ය වේ. එයට අකැමති අයට ක්‍රිෂ්ණාගේ දර්ශනය ගත හැකියි. අවශ්‍ය නම් ජේසුගේ හෝ වෙනත් හොඳ සාමකාමි දර්ශන තිබේ. හොස්ස ළඟින් මැස්සෙක් ගියත් මල පනින සිල්වාගේ දර්ශනය කුමටද? අපට විද්‍යාවේදී වැදගත් වන්නේ බටහිර රටවල සිදු වන්නා සේ විද්‍යා තියරි බිහි වීමයි. විද්‍යාව දියුණු වන්නේ පිමි පනින්නේ එවිටයි.

      යම් යම් දැනුම් කාරණා වියුක්ත වීම හා සංයුක්ත වීම ගැටලුවක් නොවේ. ගණිතය ඉතා වියුක්ත ස්වභාවයෙන් යුත් බව බොහෝ දෙනා කියතත්, මා දකින විදියට ගණිතය යනු වියුක්ත සංයුක්ත භේදයෙන් තොරව එහි ආරම්භය සිදු වූ බවකි. ගණිතය ආරම්භයේදී සාමාන්‍ය භාෂාවේ/භාෂනයේ අංගයක් විය. එහෙත් යමක් බදාගෙන සියල්ල එකට අධ්‍යනය කරනවාට වඩා කොටස් කර වෙන් වෙන්ම අධ්‍යනය කිරීම ඉතාම පහසු හා කාර්යක්ෂම වන නිසා වියුක්ත ආකාරයට විද්‍යාව හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පවත්වාගෙන යනවා විය හැකියි. අප එදිනෙදා කටයුතුවලදී "පිලිවෙලට" වැඩ කරනවා යැයි කියන දේට සමාන තත්වයකි.

      අපේ අම්මා උයනවා මා දැක තිබෙනවා. ඇය පරිප්පු හොද්ද හදන විට වියුක්තව ලූණු කපයි, මිරිස් කපයි, පොල් මිරිකයි... අවසානයේ ඒ සියල්ල නිසි පමණට යොදා රසවත් පරිප්පු හොද්දක් සංයුක්තවය සාදයි.

      Delete
    2. Me සාකච්ඡාවන් ekka පෑහෙන්න tawama morala madi mamanm.. 0 idan patan gannam හැදෑරීම.. වියුක්ත දැනුම saha සංයුක්ත danuma poddak terum karala denna..

      Delete
    3. haha... මා පළමුව පළ කළ කමෙන්ට් එකේ වචන පැටලීමක් සිදුව තිබෙන බව පෙනෙනවා (මා වඩා හුරු ඉංග්‍රිසි abstract කියන වචනයට නිසා වියුක්ත සංයුක්ත වචන මාරුවීමක් සිදු විය).. එනිසා එය මකා නැවත වෙනස්කම් සහිතව කමෙන්ට් එක මෙසේ පල කරනවා...

      සංයුක්ත හා වියුක්ත යනු හරියට හොඳ නරක, උස මිටි, පොහොසත් දුප්පත් වගේ එකිනෙකට විරුද්ධ පද දෙකක්.

      සංයුක්ත කියන දේ පහසුවෙන් තේරෙනවනෙ... ඒ කියන්නේ බොහෝ දේවල් සමූහයකින් සැදුම් ලත් වැනි තේරුමක්... එවිට වියුක්ත යනු සමූහය නොව ඉන් එක් සංඝටකයක් විතරක් සලකා බලනු ලබන වැනි තේරුමක්...

      ඊට අමතරව, සංයුක්ත (concrete) යන්න ස්පර්ශීයව/භෞතිකව පවතින වැනි අර්ථයක්ද තිබෙනවා... එවිට වියුක්ත යන්නෙහි තිබෙනවා සත්‍ය ලෙසම නොපවතින (අතථ්‍ය) නමුත් අස්පර්ශීයව/ගතිලක්ෂණයක් වශයෙන් පවතින වැනි අර්ථයකුත්...

      මේකයි වියුක්ත සංයුක්ත කියන්නේ එතරම් ගැඹුරු සංකල්ප නොවේ; එහෙත් පැටලිලි ඇති කළ හැකිය... වියුක්ත යන්න "තනි" යන තේරුමින් ගත් විට ඉන් ගම්‍ය වන දෙය "අතථ්‍ය" වැනි තේරුමට වඩා වෙනස් විය හැකිය.

      හොඳ නරක සෑම දෙයක් තුලම තිබෙන්නා සේ සංයුක්ත වියුක්ත ස්වභාවයද එසේම සෑම දෙයක් තුලම තිබෙනවා.

      "හැඩය" කියන වචනයෙන් කියන්නේ වියුක්ත (ඇබ්ස්ට්‍රැක්ට්) අදහසක්... හැඩය කිව්වහම ඔබේ සිතේ හටගන්නේ කුමක්ද? එහෙත් "ත්‍රිකෝණය" කියන්නේ වියුක්ත අදහසක් නොවන නිසා එය සංයුක්ත අදහසක්... එයත් හිතේ මවා ගන්න... දැන් වෙනස කුමක්ද? ත්‍රිකෝණය කිව්වහම සිතේ ත්‍රිකෝණය හැර වෙන දෙයක් මැවෙන්නේ නැත... ත්‍රිකෝණයක් ඇඳිය හැකිය; සෑදිය හැකියි; එසේ සාදපු ත්‍රිකෝණය දැකිය හැකියි; ඇල්ලිය හැකියි. එහෙත් හැඩය කිව්වහම ත්‍රිකෝණයක්, චතුරස්‍රයක්, වෘත්තයක් හෝ වෙනත් ඕනෑම අක්‍රමවත් රූපයක් හිතේ මැවේවි...

      එලෙසමයි වාහයන යනු වියුක්ත අදහසක්... කාර්, වෑන්, ප්ලේන්, බස්, ලොරි ආදිය තනි තනිව සංයුක්ත අදහස් වේ. මේ ආදි ලෙස සිතා බලන්න. වියුක්ත යනු යම් අයිටම්/දේවල් ගණනාවකට කියන තනි වචනය වැනියි.

      සංඛ්‍යා යනුද වියුක්ත අදහසක්... සංඛ්‍යාවක් යන්නෙන් ඍජු නිශ්චිත අගයක් කිසිසේත් සිතා ගත නොහැකියි. එහෙත් 5 කිව්ව විට එය සංයුක්තයි... ඇඟිලි 5ක්, පෙම්වතියන් 5 දෙනෙක් ආදි ලෙස නිශ්චිත අගයක් සහිත හැඟීමක් එහි වේ.

      ගණිතයේ ආරම්භයේදී එහි සංයුක්ත ස්වභාවය වැඩිපුර තිබෙන්නට ඇතැයි මා සිතනවා. එකතු කිරීම කනවා, බොනවා වැනි සාමාන්‍ය අවශ්‍යතාවක් විය. අඹ ගෙඩි හෝ හරක් එකතු කිරීමට අඩු කිරීමට සිදු වීම සාමාන්‍ය දෙයක් වෙන්නට ඇති. එහෙත් ගණිතය තුලට දර්ශනය හා ක්‍රමවත්බව හා දෘඩබව ඇතුලු වූ පසුව එහි වියුක්ත බව වැඩි විය. දැන් එකතු කිරීම නිකංම පූර්ණ අගයන්/සංඛ්‍යා එකතු කිරීම සඳහා පමණක් නොව, වෙනත් සිතින් පවා සිතා ගත නොහැකි (අතථ්‍ය සංඛ්‍යා වැනි) දේවල් පවා එකතු කිරීමටත් දියුණු විය.

      භාෂාව යනුම සංයුක්ත වියුක්ත සංකලනයකි. එනිසා මෙය විද්‍යාවට පමණක් සුවිශේෂි තත්වයක් නොවේ. ජීවිත ස්වභාවයත් සංයුක්ත වියුක්ත සංකලනයකි. හැමවිටම හැමදාම අපි සිය දහස් වාරයක් නොදැනුවත්ම සාමාන්‍ය ජීවිතයේ මෙම සංකලනය තුල සැරිසරනවා. උදාහරණයක් ලෙස, ඔබට කෙල්ලක් බූට් එකක් තැබුවේ යැයි සිතමු. ටික කාලයකට පසුව තවත් කෙල්ලෙක් බූට් එකක් දෙයි... ඒ අවස්ථා දෙකම සංයුක්ත සිද්ධි දෙකකි. එහෙත් ඔබ එම අත්දැකීමෙන් වියුක්ත අදහසක් ඇති කර ගන්නවා කෙල්ලො ඇවිත් කොල්ලන්ට බූට් දෙන මහා එපා කරපු ජාතියක් කියා... මෙහි අනෙක් පැත්තටත් සිදුවීම් ඇති විය හැකිය.

      මෙලෙස කෝටියක් වුවත් උදාහරණ දක්වමින් යා හැකියි. කොම්පියුටර් ප්‍රෝග්‍රැමිංවලින් මීටත් වඩා ලස්සනට එය පැහැදිලි කළ හැකි වුවත්, බොහෝ අය ප්‍රෝග්‍රැමිං නොදන්නා නිසා එය නොකරමි.

      විද්‍යාව ගැන මා යම් විස්තරයක් සිදු කර ඇත. එහි ඇත්තේ ප්‍රායෝගික බවකි. වාස්තවිකත්වයක් එහි අවශ්‍යයෙන්ම තිබේ යැයි කිව නොහැකියි. ඉතිං, අප දෙයක් කරන විට ක්‍රමවත් හා කාර්යසාධක (effective) හා කාර්යක්ෂම (efficient) අාකාරවලට සිදු කිරීමට අර මුලු අඹ ගොඩම බදා ගන්නා සේ සිදු නොකර එකින් එක අධ්‍යනය කර අවසානයේ ඒ සියල්ල අන්තර්ක්‍රියා කරන ආකාරය ගැන විද්‍යාව සොයා බලයි. පාර්ශ්වික අවකලනය තුලත් සිදු කරන්නේ එයයි. ජීවිතයේ ප්‍රශ්න හමුවෙත් අප ස්වාභාවිකව හැසිරෙන්නේ එයයි (වරකට එක ප්‍රශ්නය ගැන සිතමින්; පසුව ඉන් පාඩමක් ඉගෙන ගනිමින්). අඩුම ගානේ අපේ මනස ක්‍රියාත්මක වන්නෙත් එලෙසයි.

      Delete
    4. Sahenna watawak කමෙන්ටුව kyawa යම්කිසි අවබෝධයකට පැමිණියෙමි..amaru na tamai sahenna patalili sahitai e 2

      Delete
    5. ganan ganna epa... mamath mewa satha pahakata ganan ganne na... philosophy awilla ara katata chewing gum ekak wage manasata chewing gum ekak... nikanma wachana gonnak mokek hari ekekta wedak nathi welawata gothala lassana namak daapu... philosphy bohomayak atheethaya awussala karapu analysis wala prathipala... e kiyanne wenna ona dewal wela wunata passe karana paschath marana pariksanayak... eken kala haki ken gediyak natha... eheth thama thamange waag wisaaradathwaya ho paandithya penwanna philosophy hondai... haha...

      Delete
    6. Pollen gahuwa wge ettama qwa eh.. පඩි වදන් dennat itn වදන් එපැයි .. habai sir dewalawbodakaragannat වදන් wala අරුත් එපැයි. Mta smahara ewa kyawan yaddi issara, eka wachneka terume apahadilikma handa hena gatalu etiwela tye..ekai danatat wchan passe pannanne.sir unat use karnwne smanaya wiyawaharata eha gya wchana padam wladit..itn api wachanat ekka parinata nowi samahara siyum karana ukahaganna bariwa loku awasi kragnnawa..

      Delete
    7. mekai... වචන වැදගත් නැහැ කියල නෙමේ මං කියන්නේ... වචනවලින් තමයි දැනුම නිර්මාණය වෙලා පෝෂණය වෙලා ඉදිරියටත් ගලාගෙන යන්නේ... එහෙත් මං කියන්නේ වචන යොදාගෙන කරන සමහර හරඹවලින් එතරම් ප්‍රයෝජනයක් නැති වෙන්නට පුලුවන්... ඒක හරියට අර අපට සිංදුවක වචන අමතක වුණාම කියන "ලාලා.... ලාල ලාලා... ලාල ලා..ල ලා..ලා.. ලෝ" වගේ ලල්ල ලලා තමයි.

      වචන හැකි තරම් ඉගෙන ගැනීම හොඳයි... මා නිතරම කොල්ලන්ට (හා කෙල්ලන්ටත්) කියන දෙයක් තමයි යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, එම ක්ෂේත්‍රයේ තිබෙන වචන ටික පළමුව ඉගෙන ගන්න කියන එක (භාෂාව කුමක් වුවත්)... වචන කියන්නේ සංකල්ප තමයි... හරියට ලොකු තියරියක ෂෝට් නෝට් එකක් වගේ...

      මට "සර්" කියන්නෙ නැතිනම් තවත් සතුටුයි... :)

      Delete
    8. Mekane itn obatumage dp eke nature eka anuwa nikan mass class eheka teach karana gaman wagene..anika itn ගුරුවරයකු wge ඉගැන්වීම් karanakota wena ආමන්ත්‍රණයක් gana sihiyata ennahane..mn kumana akarayakin ආමන්ත්‍රණය kalayutudai pawasanu manawi.. 😒
      Wachananam ettatama wadagat wenne dewal awaboda karaganna tamai.e wagema e dewal සාකච්ඡා karannat wachana epei..natnam වියත් ඇත්තෝ apiwa නොසලකා හරියි. Mehema commentu සාකච්ඡාවක් unat digaharenna hetuwa mn htana hatiyata wchana wala tyena pahadilikama,gaburu bawa wagema වියත් bawai.

      Delete
    9. tekcroach or tek kiyala kiyanna... awlak na... :)

      ow... wachana wala ehema wedagath kamak thiyenawa... lassanata wadan galapanna puluwan nam kelloth washee wenawane... haha... "it's only words... and words are all I have... to take your heart away..."

      Delete
    10. Idala idala qwe namak... hari tek kyamuko... "it's not only for you tek..for me, conversation between us built with clear,clever nd beautiful words.. all I have too.."
      But mta htenawa metana niknam wchana godakata wda deyak tye kyala.prayogika kriyawan ekka badunu artawat wachana..ane manda itn.. Tekge akalpa ekka tamai godanagagena tyenne pratirupe danatnam mn.not from your acts..coz I can't see them neh..😊. But it is a powerful nd very meaningful image Tek..👍.built with words through your attitudes I guess..
      (Sorry for my English)

      Delete
    11. eka Beejees laage lassana sinduwak... ahala balanna.

      Passion + Justice + Wisdom ... look for them, the celestial combination thereof that will exhault your spirit to sanctity... never go after a person...

      Delete
    12. Hari mn ahannamko..mn dannaha sinduwak kyala.ekai terumata reply kale hehe.. right Tek.people have to be theirselves.becoming anyone else will not give such a valuable person for society.we call them "puppet"

      Delete