Tuesday, July 11, 2017

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ.

පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය.

මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත පොතද කියවා ලබා ගත් දැනුමක් ඇත (ඒ කාලයේ ප්‍රසිද්ධ කතා කරන්නට ලැජ්ජ නිසා තමයි මාත් පතපොත කියවා ඉගෙන ගන්නට උත්සහ කළේ).

කතා කිරීමට අප කවුරුත් හපන්නුය. එහෙත් හැමදාමත් කරන කතාවක් වුවද පිරිසක් ඉදිරියේ කතා කරන්න යැයි කියූ විට බොහෝ දෙනෙකුට තැති ගැන්මක් ඇති වේ. එසේ වන හේතුව කුමක් වුවත්, එය ඇත්තටම ඔබට කතාවක් කිරීමට නොහැකියාව නිසා ඇති වූවක් නොවන බව පැහැදිලියිනෙ. ඒ කියන්නේ අප කාටත් ප්‍රසිද්ධ කතාවක් කිරීමට දස්කමක් ඇත. බොහෝ දෙනෙකුට ඇත්තේ මානසික අපහසුතාවක් පමණි. එය නැති කර ගන්නා හැටි ගැන නොවේ මේ කතා කරන්නට යන්නේ.

ඕනෑම කතාවක් ගත් විට එහි සැලකිලිමත් විය යුතු සාධක කිහිපයක් ඇත.

එකක් නම්, කතාව අහගෙන ඉන්නේ කවුද යන්නයි; ප්‍රේක්ෂකයා (audience). එහිද පහත කාරණා ගැන සැලකිලිමත් විය හැකියි.

1. වයස
2. අධ්‍යාපන මට්ටම
3. සමාජ අවස්ථාව (මගුලක්ද අවමගුලක්ද ක්‍රීඩා උත්සවයක්ද ආදි ලෙස)

කුඩා ළමුන්ට කරන කතාවකදී මහා ලොකු උපහැරණ හෝ දර්ශන මතවාද හෝ බර වචන හෝ භාවිතා කරන්නේ නැහැනෙ. මංගල්‍ය අවස්ථාවක කරන කතාවක් අවමංගල්‍ය අවස්ථාවකදට කරන්නත් බැහැ. කතා කරන විලාසය පවා මෙම කාරණා අනුව වෙනස් වන බව පෙනේ. අන්න එවැනි කාරණා ගැන මඳක් සිතා බලන්න.

තවත් සාධකයක් වන්නේ කතාව කිරීමට ඇති කාලයයි. එය විනාඩි දෙක තුනක් හෝ පැය භාගයක් හෝ විය හැකියි. ඉතිං එම කාලයට සාපේක්ෂව කතා කිරීමට කරුණු තමන් සතු විය යුතුය. ඇත්තටම රසවත් ඉතා අනර්ඝ කතා කෙටිය. කෙටි වන තරමට ප්‍රේක්ෂකයාට සිතේ අනේ තව ටිකක් කතාව දිග වුණා නම් කියා. කතාවක් ඇත්තටම රසය ඉතිරි කර (මඟදී) ඉවර කළ යුතුය.

ඉහත සාධක හා කරුණු ගැන කල්පනා කරන විට පෙනෙනවා කතාවට පෙර ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍ය බව. තමන් කතා කරන්නට යන කාරණය සම්බන්දයෙන් කරුණු සෙවිය හැකිය. ඉස්සර නම් මේ සඳහා පුස්තකාල ගානේ බඩ ගෑ යුතු වුවත්, අද අන්තර්ජාලය නිසා ඕනෑ තරම් කරුණු පහසුවෙනුත් ඉක්මනිනුත් සොයා ගත හැකිය (ඒ සඳහා ඉංග්‍රිසි බසද දැනගත යුතුය).

ඇත්තටම සමහර කතා සඳහා එතරම් අධ්‍යයනයක්, පෙර සූදානමක් අවශ්‍යද නොවේ. අවස්ථාවේ හැටියට සිදු වූ/වන දේවල් ටිකක් පමණක් පැවසීම ප්‍රමාණවත්ය. උදාහරණයක් ලෙස, මංගල්‍ය දිනයක තම මිතුරා/මිතුරිය වෙනුවෙන් කෙටි කතාවක් කිරීමට අවශ්‍ය වූ විට එහි අමුතුවෙන් අධ්‍යනය කරන්නට දෙයක් නැත. තමන් සාමාන්‍යයෙන් දන්නා දේවලින් වුවද රසවත් හා වැදගත් කතාවක් කළ හැකිය.

තවත් සමහර කතා තිබෙනවා එතරම් වෙනස් කමක් නොවන, කොතරම් වාර ගණනක් එය සිදු කළත්. උදාහරණයක් ලෙස, මල ගෙදරක කරන කතා එබදුය. එකම වචන සෙට් එකකි තිබෙන්නේ. මිය ගිය තැනැත්තාගේ නම ගම ආදි සුලු විස්තරයක් දන්නේ නම් එය හොඳටම ප්‍රමාණවත් වේ.

මේ ආදි ලෙස විවිධ සමාජ අවස්ථා ගැන සිතා බලන්න.

1. අවමංගල්‍ය සභාවක් (මිය ගිය තැනැත්තා ගැන හෝ/හා අවමංගල්‍ය සභාව මෙහෙයවීම)
2. මංගල්‍ය සභාවක් (මනාලයා හෝ මනාලිය පාර්ශ්වයේ කතාවක්, මනාලිය මනාලයට භාර දීමේදී කරන කතාව)
3. පාසැලේ රැස්වීමක් (යම් මාතෘකාවක් ඔස්සේ සිදු කරන කතාවක්)
4. ගමේ හෝ ආයතනයේ සුභසාධක, ක්‍රීඩා, ආදී සමිති රැස්වීමක් (බොහෝවිට එම සභාවේම කටයුත්තක් අරඹයා සිදු කරන කතාවක්)
5. යම් පුවත්පත් සාක්ඡාවක්
6. යම් අධ්‍යාපනකික හෝ ශාස්ත්‍රිය මාතෘකාවක් ගැන දේශනයක්
7. යම් සභාවක ස්තූති කිරීම හා/හෝ පිලිගැනීම
8. ආයතනයක සහෘදයකු ඉන් ඉවත් වී යෑමේදී සමුදීමක් (farewell)
9. අනපේක්ෂිත්ව යම් යම් සමාජ අවස්ථාවකදී සිදු කරන්නට වෙන කෙටි කතාවක්

මෙ ආදි ලෙස විවිධ අවස්ථා තිබෙනවා නේද කතාවක් සිදු කළ යුතු? මේ එක් එක් වර්ගයේ කතාවල වෙන වෙනම සැලකිලිමත් විය යුතු කරුණුද ඇත (ඒවා එකින් එක ගැන මා කියන්නට යන්නේ නැත). ඉහත කියූ හා නොකියූ අවස්ථා සියල්ලම පොදුවේ කොටස් දෙකකට බෙදිය හැකිය.

1. යම් නිශ්චිත කතාවක් සිදු කිරීමයි. මෙහිදී කතා කිරීමට යම් මාතෘකාවක් හෝ කාරණා ඇත. බොහෝවිට ඊට පෙර හොඳ පෙර සූදානමක් තිබීම කතාව තවත් සාර්ථක වේවි.

2. සභාව මෙහෙය වීමයි (එයත් කතාවෙන් කරන දෙයක්නෙ).

මින් මෙහෙයවීම එතරම් අමාරු නැත. එහෙත් තමන් යෙදී සිටින අවස්ථාව ගැන දළ හෝ දැනුමක් ඔබට තිබිය යුතුය. මෙහෙයවීමේදී යම් කාර්ය පටිපාටියක් පවතී; පිලිවෙලක්, න්‍යාය පත්‍රයක් පවතී. එය කොලයක පැහැදිලිව ලොකුවට එකක් යට එකක් ලෙස ලියාගෙන අතේ තබා ගැනීම වැදගත් වේ. ඒ එක් එක් අයිටමය/කාර්ය ගැන කෙටි දැනීමක් තිබීම වැදගත්ය. කරන්නට තිබෙන්නේ බොහෝවිට එක එක කාර්යට ආරාධනා කිරීම ("දැන් මා ආරාධනා කරනවා අහවලාට අහවල් දේ කරන ලෙස") හා අවසන් වූ පසුව ස්තූති කිරීම ("අහවලාට ස්තූතියි අහවල් දේ කිරීම වෙනුවෙන්" හෝ නිකංම "ස්තූතියි" කිව හැකිය) වැනි දෙයකි.

මා මූලිකව ලියන්නට අදහස් කළේ පිලියෙල කරගත් කතාවක් සිදු කරන හැටි පෙන්වීමටයි. කතාවක්ද ලිපියක් ලියන විට මෙන් කොටස් කිහිපයකින් යුතු බව පෙනේ.

1. කතාවේ ඇරඹුම
2. කතාව (කතා ශරීරය)
3. කතාවේ අවසානය

ලෝකයේ සෑම දේකටම පටන් ගැන්මක්, පැවැත්මක්, හා අවසානයක් (උත්පාද-තිථි-භංග) ලෙස අධියර 3ක් තිබෙනවානේ. කතාවටත් එය පොදුය.

ඇරඹුම තුල මූලිකව සිදු වන්නේ සභාවෙන් අවසර ගැනීම හා තමන් කතා කරන්නට යන මාතෘකාව ගැන ඉඟි කිරීමයි. ලංකාවේ කතාවක් සඳහා අවසර ගැනීම ඉතාම බයාදු ක්‍රමයට සිදු වන බවක් පෙනේ. දෙකට තුනට නැමී, මුලසුන්වල ඉනේනේ බලවතෙකු නම් උගේ කකුල ලෙව කන සයිස් එකට අවසර ගැනිල්ල සිදු වේ. එහෙත් පෞරෂයකින් හෙබි කෙනෙකු කෙටි පැහැදිලි අවසර ගැනීමක් කරනු ඇත. ඉන්න හැම එකාගේම පට්ටම් තනතුරු තානාන්තර නොකියා තැනේ හැටියට කෙටියෙන් එය කළ හැකියි.

ඉන්න අයගේ වැදගත්කම කියා ඔවුන්ට ගරු බුහුමන් කර පිලි ගැනීම සිදු කරන්නේ පිලිගැනීමේ කතාව තුලයි. එය සාමාන්‍ය කතා සිදු කරන ඔබේ වගකීමක් නොවේ.

ඇත්තටම බොහෝ අය කතා පවත්වන්නේ එසේ අනෙක් අය සිදු කරනු මීට පෙර දැක ඇති ලෙසටයි. තමනුත් එසේම කරන්නේ ඇයිදැයිවත් ඔවුන් සිතා විමසා බලන්නේ නැත. සාම්ප්‍රදායිකව එය කරන අයුරු ඔබ ඕනෑ තරම් දැක ඇති. එනිසා සාම්ප්‍රදායික අවසර ගැනීම් ගැන මා කතා කරන්නට යන්නේ නැත.


කතාව මිස අවසර ගැනීම වැදගත් නැත. එනිසා හැකි හැමවිටම තනි තනි පුද්ගලයාගෙන් අවසර ගැනීම අවම කළ යුතුය. විශේෂයෙන් ලොකු එවුන්ට මුට්ටි අල්ලන බෙලහීන එකෙකුට මා යෝජනා කරන ක්‍රමය හරි යන්නේ නැත (කොහොමත් එවැනි ලපයි සිපයි එවුන්ට මා කිසිවක් මෙම බ්ලොගය තුල නොලියමි). මිනිසා කුමන සමාජ හෝ වයස් හෝ මට්ටමේ සිටියත් සමානය. අවසර ගැනිල්ල එමනිසා යම් පිලිවෙලක් පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් වීම සෑහේ. එනිසා මා යෝජනා කරන්නේ පහත ආකාරයේ අවසර ගැනිල්ලකි.

"ගරු ස්වාමින්වහන්ස ඇතුලු සම්භාවනීය පිරිසගෙන්/සභාවෙන් අවසරයි"

පූජ්‍ය පක්ෂයක් නැති නම්, ගරු ස්වාමින්වහන්ස යන කොටස යොදන්නේ නැත. මට හොඳටම මතකයි පාසල් කාලයේදී හාමුදුරුවන් නැති දවස්වලත් සමහරෙකු අවසර ගත්තේ ස්වාමින්වහන්සේත් ඇතුලත් කරමිනි (එතරම් තැතිගැන්මකිනුයි ඔවුන් කතාව සිදු කළේ).

කතාව තමන්ගේ නම්, අනෙක් අය මොනා කිව්වත් තමන් සතුව ඇති විශ්වාස පද්ධතියට හා පෞරෂයට ගැලපෙන ලෙස කතාව සකස් කරන්න. බොහෝ එවුන්ගෙන් උපදෙස් ගන්නා විට වැඩිපුරම ලැබෙන උපදෙස් එක එක ලොකු එවුන්ගේ සිත් සතුටු කරන ජාතියේ වේ. එවිට එය කතාවක් නොව, වචනවලින් කරන නගර සෝභනී වැඩකි.

කතාවේ ස්වරූපය ඒ ඒ අවස්ථාවේදී තමන් තීරණය කළ යුතුය. එය වැඩිපුර විහිලුවෙන් කළ යුතු රසාස්වාදයෙන් අනූන එකක්ද? සීරියස් ටෝක් එකක්ද? අධ්‍යාපන වටිනාකමකින් යුතු දෙයක්ද? අවස්ථාවේ හැටියට යොදා ගන්නා වචන, භාෂා අලංකරණ, වචන උච්ඡාරණය කරන ආකාරය සුදුසු ලෙස වෙනස් කළ යුතුය. කතාවේ වැදගත්ම හා අත්‍යවශ්‍යම කොටස මෙය නිසා වෙනත් අය කතා සිදු කරන හැටි විමසිලිවත්ව සොයා බලන්න.

කැක්කුමකින් (passion) යුතුව කතාව සිදු කරන්න. ඔබට එන (සභ්‍ය) අවේගවලට අනුව කතා කළ හැකි නම්, එම අවේගය සභාව තුලත් ඇති කළ හැකියි. සුප්‍රසිද්ධ මාක් ඇන්ටනී කතාව (ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ) එවැන්නකි. අවේගශීලිව කතා කිරීම හොඳ පෞරෂයක ලක්ෂණයක් බව ඉගැන්වේ.

ඇත්තටම කතාව තුල පිරිස ඥාණනය (දැනුම ලබා දීම) කළ හැකිය. උපහසයට ලක් කිරීම හා හින්ට් ගැසිය හැකිය. මා නම් දකින්නේ ප්‍රසිද්ධ කතාව තමයි හොඳම අවස්ථාව සමහරුන්ව උපහසයට ලක් කිරීමට. අවශ්‍යම නම් "කුනුහරුප" පවා සභ්‍ය විදියට කිව හැකිය. "අම්මගෙන් අහපන්/අහන්න උඹේ තාත්තා කවුද කියලා" යන්න සභ්‍ය විදියට කියූ හොඳම කුනුහරුපයකි. ලංකාවේ සුප්‍රසිද්ධ අය කිහිප දෙනෙකුම මෙය ප්‍රකාශ කරනවා මා අසා හා කියවා ඇත්තෙමි.

එහෙත් කිසිම විටක ළමුන් සිටින තැන සභ්‍ය විදියට හෝ එවැනි දේ නොකිය යුතුමය. ළමුන්ට සතුට, දැනුම, හා ආකල්ප වැඩි දියුණු වන විදියේ දේවල්ම කිව යුතුය.

තමන්ට කතා කරන්නට තිබෙන වෙලාවට සරිලන කාරණා ප්‍රමාණයක් සොයා සූදානම් කර ගත යුතුය. වෘත්තිමය වශයෙන් කතා පවත්වන අය එය සිදු කරන ආකාර ගැන (ඉන්ඩෙක්ස් කාඩ් යොදා ගැනීම වැනි) බොහෝ පතපොත්වල විස්තර කර ඇතත්, අපට එවැනි තාක්ෂණික කරුණු එතරම් වැදගත් වන්නේ නැති බව හෝ ඒවා කියවා දැන ගත්තත් ප්‍රායෝගිකව යොදා ගැනෙන්නේ නැති තරම් බව මගේ හැඟීමයි.

අනවශ්‍ය වචන හැකි තරම් අඩු කළ යුතුය. සමහරු යුගල පද රුසියෝය. යුගල පද නොව සමහරවිට සතර-පද හෝ ඊටත් වැඩියෙන් යොදා ගනී. "ගම් මට්ටමේ, නගර මට්ටමේ, බිම් මට්ටමේ ..." ආදි ලෙස අනවශ්‍ය වචන ගොන්නක් කියන දේශපාලුවෙකු මට මතක් වේ. "අද වර්තමානයේ" ආදී සාවද්‍ය යෙදුම පට්ට ගසන එවුන් කොතෙක් සිටීද බලන්න (අද යනුත් වර්තමානයම තමයි). ඇමරිකාවේ සුප්‍රසිද්ධ දේශකයකු වන හිටපු ජනපති බිල් ක්ලින්ටන් අනවශ්‍ය වචන සියල්ල ඉවත් කිරීමට ඉතා ඕනකමක් තිබෙන බව කියති.

"මෙව්ව" යන වචනය කිසිවිටක භාවිතා නොකරන්න. රටේ වැදගත්ම පුවත් රටට කියන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු (දැනටත් සිටින) "මෙව්ව" යන වචනය නිතර යොදා ගනී. "මෙව්ව එක", "මෙව්ව කරා" යනාදි ලෙස බොහෝ ප්‍රකාශ ඔහු සිදු කරයි. එය ඉතාම කැත පුරුද්දකි. තවද, "කරා" යන වචනය නොකියා "කළා" යන්න පුරුදු විය යුතුය (ප්‍රසිද්ධ කතාවලට පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාරයේදී පවා).

කතාවක් කිසිවිටක කටපාඩම් කර සිදු කරන්නට සිතන්නවත් එපා. කටපාඩම් කරන්නේම තමන් ගැන විශ්වාසයක් නැති නිසාය. ඉතිං එවැන්නකු සභාව ඉදිරියට ගිය විගසම කලබලයට යම් ත්‍රාසයකට පත් වේ. තමන් කටපාඩම් කළ කතාව අමතක වේ.

ඕනෑම කෙනෙකු පිරිසක් ඉදිරියේ සිටින විට අපහසුතාවක් දැනේ. නුහුරු අවස්ථාවකදී කලබල වීම සත්ව ගති ලක්ෂණයකි. පළමුව තමන්ටද එය ඇති විය හැකි බවත්, තමන්ට මෙන්ම අනෙක් අයටත් එය ඇති වන බවත් සිහිපත් කළ විට එම අපහසුතාව වර්ධනය නොවේවි. තවද, එම අපහසුතාව ක්‍රමයෙන් අඩු වේවි (තමන් විහින් අසරණ වන තැනට කටයුතු නොකළේ නම්).

සභාව ඉදිරියට ගිය විගස කතාව කිරීමට අවශ්‍ය නැත. සභාව දෙස හොඳින් බලන්න. තමන් දන්න අය සමහරවිට සිටිනු ඇති. එවිට අවශ්‍ය නම් ඔවුන්ට කෙටි අත් වැනීමක් සිදු කළ හැකියි; දඟකාර සිනහවක් ඔවුන්ට පෑ හැකියි. සුන්දර යුවතියක් සිටී නම් වැඩිපුර ඈ දෙස බැලිය හැකියි. ඉන් ඔබේ සිතේ ගතේ ඇති ටෙන්ෂන් එකද අඩු වේ. කතාව කරන්නනෙ සිතේ යම් චකිතයක් තිබෙන්නේ. සිනාසෙන්න හෝ අත් වනන්න බැරි කමක් නැහැනෙ. ඉන්පසු කතාව පටන් ගත හැකියි.

සමහරෙකුට සභාව ඉදිරියට ගිය විටයි කලිසමේ සිපර් එක වහලද කියා සොයා බැලීමට මතක් වන්නේ. කලිසමේ පිටුපසින් පැලිලවත්ද, සර්ට් එකේ බොත්තම් හරියට දාලද, මුහුනෙ පවුඩර් වැඩිද, කොන්ඩය අවුල් වෙලාද බඩ ඉදිරියට නෙරාවිත් වගේ පේනවද ආදි ලෙස දහසකුත් ඇඳුම් පැලඳුම්වල දෝෂ සෙවීමට මතක් වන්නේ සභාව ඉදිරියට ආ පසුය. ඉතිං ආපු වෙලේ සිටම කොන්ඩය අත ගාන්නයි, කලිසම් සර්ට් අත ගා බලන්නයි මිස සැහැල්ලුවෙන් කතාව කිරීමට සිතක් නැත. අපහසුව තවත් වැඩි වේ. එනිසා ඒ සියල්ල ඔබ නිවසේ සිට බලාගෙන එන්න. අඩුම තරමේ සභාව ඉදිරියට යන්නට පෙර සිටින තැන සිට ඒවා සකස් කර ගෙන යන්න.

අැත්තටම සභාව ඉදිරියට ගිය පසු භාහිර අඩුපාඩු කුමක් තිබුණත් එ්වා නැතැයි මෙන් හැසිරෙන විට, සභාව දකින්නේ එය ඔබේ යහපත් පෞරෂ ලක්ෂණයක් ලෙසයි. උදාහරණයක් ලෙස, මේ මෑතකදී යම් රාජ්‍ය නායක සමුලුවකදී ජර්මානු රාජ්‍ය නායිකාවගේ ඇඳුමට එම සභාව තුල කෑම බීම ආදිය අල්ලමින් සිටි කෙනෙකු අතින් වයින් වැටුණි. එහෙත් ඇය ඒ ගැන තඹ දොයිතුවකට ගණන් ගත්තේ හෝ අර සේවකයාට බැන වැදුනේ නැත. ඇදුමේ පැල්ලම තිබියදීම ඇය ගණන් නොගෙන සුපුරුදු සිනහවෙන්ම කටයුතු කළාය. එය බටහිර ජනමාධ්‍ය තුල ඉතා ඉහල පැසසුමට ලක් විය.

ඇත්තටම වැදගත්ම දේ ප්‍රසිද්ධ කතා පවත්වන්නේ කොහොමදැයි පොත් 100ක් කියවීම නොව. තමන්ට හැකි තරමින් අභියෝගයක් ලෙස භාරගෙන 1 කතාවක් සිදු කිරීම ඉතාම වටී. එසේ කතාව කළ පසු සෙමින් සෙමින් තවත් අයව අධ්‍යනය කර තමන්ගේ කුසලතාව දියුණු කර ගත හැකියි. කතා දෙක තුනක් අභියෝගයක් සේ සිතා කළ විට එතැන් සිට ප්‍රසිද්ධ කතා කිරීම මහා ලොකුවට අපහසුතාවක් නොදැනීම සිදු කරාවි.

කතාව පවත්වා අවසානයට පැමිණි විට අවසර ගැනීමම මෙන්ම ඉතාම කෙටියෙන් අවසන් කරන්න. පැය කාලක් හෝ භාගයක් කතාවක් සිදු කර "මගේ කෙටි වචන ස්වල්පය මෙතැනින් අවසන් කරමි" යනුවෙන් මෝඩ කතා නොකියන්න. මට නම් එවැනි අවසානයක් ඇසෙන විට සිතෙන් උගේ අම්ම මුත්තා මතක් වේ (මොකද එය කෙටි කතාවක් නොවන නිසා). කවුරුත් කියන්නම් වාලේ කියන වචන ගොන්නකි එය.

තවද, තමන්ගේ කතාව අසා සිටි නිසා ඔවුන්ට ස්තූති කියා නොකියන්න ("මෙතෙක් වෙලා මාගේ කතාව අසා සිටියාට ස්තූතියි"). කතාව කළේ ඔබයි. හරිනම් ස්තූති කිව යුත්තේ ඔවුන්ය. එහෙත් වේදිකාවෙන් ඉවත් වෙන්නට පෙර අවසාන වශයෙන් නිකංම "ස්තූතියි" කියා අවශ්‍ය නම් කිව හැකියි. එම ස්තූතිය තමන් සමඟ මෙතෙක් වෙලා සිටියාට තමන්ගේ සතුට පළ කිරීමක් වැනිය. ඇත්තටම ඊටත් වඩා සුදුසු වන්නේ මෙතෙක් වෙලා තමන්ගේ කතාව අසා සිටියාට තමන් බෙහෙවින් සතුටට පත් වන බව පැවසීමයි.

මතක තබා ගන්න වැරදියට හෝ අඩුලුහුඬු මධ්‍යයේ වුවද කතාවක් කිරීම ජයග්‍රහණයකි මොකද බොහෝ දෙනා හැංගෙන කාරණයකිදී ඔබ එය එඩිතරව සිදු කරන නිසාය. බොහෝ කයිවාරු ගාන "පොරවල්" එවැනි අවස්ථා මඟහරී. උන් කරන්නේ තව එකෙකුව බලෙන් කතා කරන්නට තල්ලු කිරීමයි. එවැනි පෞද්ගලික අත්දැකීමකින්ම මා මෙම ලිපිය අවසන් කරන්නම්.

මාගේ මිතුරෙකුගේ මඟුල් ගේකදී මනාලිය මනාලයාට භාර දීම සිදු විය (එවැනි චාරිත්‍රයක් තිබෙන බව දැනගත්තෙත් මා එදිනයි). දැන් රෑ 12ත් පසු වෙලාය. දැන් එහෙනම් මනාලයගේ පැත්තෙන් ඒ සඳහා කතාවකට කවුදෝ ඇරයුම් කරනවාත් මට ඇසිණි. එකවරම මා මිත්‍රයෙක් මාව පිටිපස්සෙන් තල්ලු කර දැමුවේය. අඩුම ගානේ කුමක් කිව යුතුදැයි මා දැන සිටියේද නැත. ඉතිං කරන්න දෙයක් නැති කමට මා එය නොදන්නා බවත්, කට්ටියට සිනහ යන ලෙස විහිලුවකුත් කියා මොනවාදෝ කිව්වා මතකයි. අදටත් කට්ටිය සෙට් වුණාම මා එය මතක් කර මාව තල්ලු කරපු එකාගේ දෙමාපියන් සිහිපත් කරමි.

12 comments:

  1. ගොඩක් වටින කාලින ලිපියක්.
    lalith Perera.

    ReplyDelete
  2. මේක ඔයාගෙ post එකට අදාළ comment එකක් නම් නෙවේ.

    ඔයාගෙ blog එක mobile phone browser වලින් බලන්න පුලුවන් විදිහට optimize කරන්න පුලුවන් නම්, මං වගෙ phone වලින් කියවන අයට ලොකු උදව්වක් වෙයි.

    මං මේ කියන්නෙ මොකක්ද කියල ඔයාට

    http://economatta.blogspot.com/?m=1
    http://vidya-gaweshana.blogspot.com/?m=1

    වගෙ blog එකකුයි, ඔයාගෙ blog එකයි,

    http://tekcroach.blogspot.com/?m=1

    mobile phone එකකින් බැලුවොත්, වෙනස තේරෙයි.

    - Jana

    ReplyDelete
    Replies
    1. ඔය ගැන search කරද්දි, මට මේක හම්බවුණා.

      - http://www.bloggersentral.com/2010/12/blogger-goes-mobile-how-to-enable-your.html?m=1

      උදව්වක් වෙයි සමහරවිට.

      - Jana

      Delete
    2. මං ඇත්තටම මොබයිල් ඔප්ටිමයිසේෂන් එක ඩිසේබ්ල් කරලයි තිබෙන්නේ. එක් හේතුවක් නම් මං අන්තර්ජාලයට කවදාවත් ස්මාට් ෆෝන් එකකින් පිවිසින්නේ නැති නිසාය (මා ස්මාට් ෆෝන් භාවිතා නොකරන නිසා). එහෙත් ඔබ වැනි අයට එය වැදගත් නම් එය එනේබ්ල් කරන්නම්. :)

      Delete
  3. අහ්, බොහොමත්ම ස්තුතියි!
    අපොයි, කලින් මේක කියවන්න වින්ද දුකක් :D දැන්නම් නියමෙටම තියනව!!

    - Jana

    ReplyDelete
  4. Smartphones walin balanna echchara amaru unada??mta ehema htuna nane..

    ReplyDelete
  5. man smart phone pawichchi karanne nathi nisa kohoma penawada danne na... haha

    ReplyDelete
    Replies
    1. Eka digata conversation ekk kran yanna online ena නිශ්චිත වෙලාවක් naha neda?

      Delete
  6. නියමයි sir, ගොඩක් වැදගත් ලිපියක්. මෙමගින් අපි අපේ කථන හැකියාව දියුණු කිරීමට පෙළඹෙනවා මෙන්ම එය අපගේ පෞරුෂ සංවර්ධනය සඳහාත් මෙය ඉමහත් රුකුලක් වනවා. ලිපිය කියවගෙන යන විට යම් අඩුපාඩුවක් හැගුණු එය පෙන්වා දීමට කැමැත්තෙමි. මෙහි කථනයකට අදාළ සියලු අංග තිබුණු නමුත් කථාව අතරතුර තම අත පය හැසිරවීම ( Body language ) පිළිබඳ තිබුණේ නැත. ( අභිනය ) හා eye contact ඔබතුමා සතු දැනුම, අත්දැකීම් හා සිත් ගන්නාසුලු වාග් විලාසය නිසා එය තව තවත් අර්ථවත් මෙන්ම රසවත් වනු ඇත.

    තවද පොඩි ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍යයයි. මට ඉස්සර පිරිසක් ඉදිරියේ කතා කිරීමට හැකිය. එහෙත් මීට අවුරුදු දෙකකට කලින් මට කතා කිරීමේදී ගොත ගැසීමට පටන් ගත්තා. (පිරිසක් ඉදිරියේ කතා කරද්දී නොව එදිනෙදා ජීවිතයේදී කතා කිරීමේදී පාවා) එය කෙතරම් කාලකණ්ණි දෙයක්ද කිවහොත් මට මගේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ. මෙම කාලකන්නි ගොත ගැසීම නිසා මා නොකළ වැරදි වලට අහු වූ වාර ගණන අනන්තයි. එයට හේතුව කුමක්ද? අැයි එහෙම වෙන්නේ? ස්වරාලයේ ආබාධයක් නිසා ද නැතහොත් එය මගේ මනසේ වරදක් ද? වැඩිපුරම ගොත ගැසෙන්නේ ස්වර අකුරු හා කන්ටජ අකුරුයි. මා ඒ පිළිබඳව පර්යේෂණ ද කළා අසරණ කමට එසේ ගොතා ගැසෙන අකුරු පිළිබඳ නාමාවලියක් ද හැදුවා. මා මෙය නවත්වා ගැනීමට නොකළ දෙයක් නෑ. (දොස්තර ලා පස්සෙ ගියේ නෑ) හැබැයි මේ ලෙඩේ සුව කරගන්න බෑ. නමුත් දැන් නම් යම් තරමකට ගොතය පාලනය කරගන්න පුළුවන් (සමහර අකුරු ගොතා ගැසීම යම්තාක් දුරකට අඩු කිරීම විනා එය ටික කාලයකට හෝ නවත්වා ගැනීමට නොහැක.) . මෙකට මෝහනයෙන් හරි මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ හොඳ කර ගන්න. වැඩිදුර තොරතුරු ඕනනම් කියන්න මම ඕනම දෙයක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව්... බොඩි ලැංවේජ් ගැන සඳහනක් කිරීමට මට මඟ හැරිලා... එයත් වැදගත්... කතා කිරීමේදී පමණක් නොවේ නිකං වාඩි වෙලා ඉන්න විට, සිටගෙන ඉන්න විට ආදි සාමාන්‍ය අවස්ථාවලදී පවා බොඩි ලැංවේජ් ඉතා වැදගත්... ඉස්සර අපි ඇලන් පීස් ආදි අයගේ වීඩියෝ හා පොත්පත් ඉතා ඕනකමින් හා ආශාවෙන් කියවා/බලා බොඩි ලැංවේජ් ගැන ඉගෙන ගත් හැටි සිහිවෙනවා.

      අතිශය බහුතරයකට ගොත ගහන්නේ යම් මානසික විපර්යාසයක්/ගැටලුවක් නිසාය. ටෙන්ෂන් එක වැඩි වුණාමත් කතා කරන්නට අපහසු වෙනවානෙ (ගොත ගසනවාට අමතරව හඬ වෙව්ලන ගතිය ඇති වෙනවා; දැඩි ආයාසයකින් කතා කිරීමට සිදු වෙනවා). එහෙත් එය තාවකාලිකයි. විනාඩියක් දෙකක් පමණ එම තත්වය තිබෙනවා. ඔබටත් බොහෝවිට මානසික අර්බුදයක් නිසා ඇති වූ තත්වයක් බව පෙනෙනවා. කොළඹ ජාතික රෝහලේ කථනය සම්බන්ද සායනයට කැමති නම් යන්න. මා හිතන්නේ ඔය පිළිබඳ විද්‍යාත්මකව අවබෝධයක් ප්‍රායෝගික වශයෙන්ම ලබා ගැනීමටත් ඉගෙනගැනීමටත් ඉන් ඔබට හැකි වේවි.

      කන්ටජ හා ස්වර නිපදවෙන්නේ උගුරෙනි (ඒකනේ ඒවට කන්ටජ කියන්නෙත්). මා සිතන්නේ ස්වරාලය ආශ්‍රිත පේශි තමයි ගොතගසන විට වැඩිපුර මුල් වන්නේ. ඔබ මොන දේ කළත්, කරන්නට ඕනම දේ කරලා නැත; එනම්, සුදුසු වෛද්‍ය සායනයකට ගොස් නැත. ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙන කෙනාට තමයි එහි ඇති දුක දැනෙන්නේ. ඒ වගේම තමන්ට තිබෙන ගැටලුව ඉතා භයානක හෝ "කාලකන්නි" බවද දැනෙනවා. අසරණකමකද දැනිය හැකියි. එහෙත් මොහොතක් සිතා බැලුවොත් ඒවාට විසඳුම්ද ඇති බව පෙනෙනවා. අපේ සල්ලිවලින් පඩි ගෙවලා රජයෙන් වෛද්‍යවරුන් සේවාවේ යොදවා තිබෙන්නේ ඔබට මට සේවය කිරීමට තමයි. ඇයි ඉන් ප්‍රයෝජන නොගන්නේ?

      Delete