Thursday, June 8, 2017

යථාර්ථය හා අධ්‍යාත්මය

මානවයා තම වටපිටාව ගැන තේරුම් ගැනීමට උත්සහ කළ පලමු මොහොතේ සිට යථාර්ථය යනු කුමක්දැයි කල්පනා කරන්නට ඇති. අද පවතින දියුණු දැනුම් සම්භාරයක් නොතිබූ කාලයේ ඒ ගැන සිතීම සංකීර්ණ තත්වයක නොපවතින්නටත් ඇති මොකද කරුණු වැඩි වන තරමටනෙ සංකීර්ණත්වයත් ගොඩනැඟෙන්නේ. එසේ වුවත්, යමක් සංකීර්ණ වීම හෝ නොවීම මත යථාර්ථයට ඇති සමීපත්වය ගැනද හැඟිය නොහැකිය.

යථාර්ථය අවබෝධ කර ගන්නේ යම් දිනකද, එදින සිට ලොව සියලු ආගම්, දර්ශනවල උරගල බවට එය පත්ව බොහෝ දර්ශන මතවාද ඉතිහාසයේ කුනු කූඩයට වැටෙනු ඇත. එහෙත් භාග්‍යයකට හෝ අභාග්‍යයකට කිසි දිනෙක එය සිදු නොවනු ඇති මොකද යථාර්ථය කිසිදා අපට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නොලැබෙන නිසා. මේ ගැන පතපොත කියවමින් හා සිතමින්, වාද විවාද සංවාද කරමින් ආදි ලෙස සතත අධ්‍යාපනික චාරිකාවක බොහෝ කලක් ගෙවා දමමින් අවසානයේ ඉතා සරල සාධාරණ නිෂ්ඨාවකින් සංචාරය අවසන් කළෙමි. එම සංචාරයේ කෙටි සටහනකුයි මේ.

මෙම චාරිකාවේ මා ලබපු ඉතාම අප්‍රසන්නම අත්දැකීම වනුයේ වචන භාවිතාවේදී හා තර්ක කිරීමේදී බොහෝ අය පෙන්නුම් කළ සාවද්‍ය අශාස්ත්‍රීය හැසිරීමයි.

උදාහරණයක් ලෙස, යමෙකු දෙයක් ගැන කතා කරමින් යන විට වචනවල වැදගත්කමක් නැතැයි කියනවා; බොහෝවිට ඔහු එසේ කියන්නේ ප්‍රමාණවත් තරම් වචන ඔහු දැන නොසිටීමත් “වචනවල වැදගත්කමක් නැත” යන ප්‍රචලිත දාර්ශනික ප්‍රකාශයේ පදානුගත අර්ථය මත එල්බ සිටීමත්ය. එසේ කියන ඔහුම පසුව වචනවල එල්ලී බෙරිහන් දෙනවා තමන්ගේ යම් අදහසක් තහවුරු කිරීමට.

එවැනිම තත්වයකි තර්කනයේදිත් සිදු වන්නේ. තර්කනයෙන් සත්‍ය සෙවිය නොහැකි බවත් (“තර්කයෙන් සත්‍ය සෙවිය නොහැකිය” යන ප්‍රකාශයේ වැරදි තේරුම්ගැනීම නිසා) බුදුරඳුනුත් තර්කයේ දොස් පෙන්වා ඇති බව කියන ඔහුම ඔහුගේ යම් මතයක් තහවුරු කිරීමට තර්කය මත පිහිටනවා.

තවද, පොදුවේ යථාරූප යැයි සමාජයේ සම්මතයන් පරිච්ඡින්න කර බලන අවස්ථාවකදී බුදුරඳුන්ගේ දේශනාවලින් තම ස්ථාවරය තහවුරු කිරීමට උත්සහ කිරීමම කොතරම් දුර්වලකමක්ද? වෙනත් ආගමිකයන්ද තම තමන්ගේ ශාස්තෘන් මතම එලෙස යැපෙනවා.

ඇත්තෙන්ම විවෘත මනසකින් තොරව මෙවන් මාතෘකා ගැන සිතීමම අප්‍රයෝජනවත් අවසානයකට ගමන් කිරීමකි. අවංකව තමන්ගේ මතය හා විශ්වාසය ප්‍රකාශ කිරීමේ ගැටලුවක් නැත. තමන් දරන මතවාද හා විශ්වාස අවශ්‍යයෙන්ම හැමවිටම නිරවද්‍ය නොවේවි. තවද, සමාජ සම්මතයන් තමන්ගේ හෝ තම පරම්පරාවේ අයගේ දේපලක්ද නොවේ. ඒවා හුදු ප්‍රවාහ හා ප්‍රවාද පමණි. ඒවා දැඩිව අල්ලාගෙන සිටීමෙන් තමන් සිටින තත්වයට වඩා නිවැරදි හා සාධාරණ මට්ටමකට පැමිනීමට තිබෙන ඉඩ ඇහිරේ. එය තමන්ටම කරන අනර්ථයක් නොවේද?

විවෘත මනස යනු තමන් කුමන විශ්වාසයක් මතයක් දරා සිටියත්, අනෙකා කියන දේ තුල ගත යුත්තක් තිබේ යැයි බැලූබැල්මට හෝ පෙනේ නම් එය නිහතමානීව භාර ගැනීමට සූදානම් වීමත්, තමන් දරන මතයේ දොසක් තිබේ නම් ඉන් ඉවත්වීමට ඇති සූදානමත්ය. මෙහිදී එකවරම අනෙකාගේ මතය පිලිගැනීමට හෝ තමන්ගේ මතය ඉවත ලෑමට අවශ්‍ය නැත. ඒ ගැන තමන්ගේම අධ්‍යනයකින් ගවේෂනයකින් පසුව එය කළ හැකිය. එහෙත් ඒ දේ සඳහා සිතේ තිබෙන සූදානමයි වැදගත් වන්නේ.

එහෙත් මා ලබපු අත්දැකීම නම් තමන්ට වඩා අනෙකා වයසින් බාලයි නම් හෝ තමන්ගේ විවිධ නිල හා පට්ටම් නිසා හෝ අනෙකාගෙන් කිසිත් ගැනීමට සූදානමක් බොහෝවිට නැත. තමන් දරන මත හා විශ්වාස තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය, තමන්ගේ අහවල් එක ආදි ලෙස විවිධ ලැදියාවන්ගෙන් බන්දනය කරගෙන සිටීමේ නරක මෝඩ පුරුද්දද බොහෝ දෙනෙකුට තිබේ.

ප්‍රවාහ ගැනද වචනයක් කිව යුතුය. සෑම පුද්ගලයකුගේම සිතේ අනවරතයෙන් සිතුවිලි ජනිත වේ. කෙනා කෙනාගේ දැනුමේ, බුද්ධියේ, ප්‍රඥාවේ, නිර්මානශීලිත්වයේ ස්වභාවය අනුව එම සිතුවිලිවල විවිධත්වයක් ඇත. මෙම සිතුවිලි සමහරක් යහපත්ය; සමහරක් අයහපත්ය; සමහරක් යහපත් හෝ අයහපත් නොවේ. සමහර අය තම සිතුවිලි ක්‍රියාවේද යොදවති. ඒවා සඵල කර ගැනීමට විවිධ උපක්‍රම යොදති. සමහරුන් ඊට මුදල් පොම්ප කරති. එම මතවාද/ක්‍රියාන්විත වලට සිටින විරුද්ධවාදින්ව විවිධ පෙරමුණු ඔස්සේ මැඬලති. මෙවැනි ප්‍රබල ජවයකින් ක්‍රියාවේ යොදවන සමහර ක්‍රියාන්විත සාර්ථක වේ. දිගු කාලයක් වැඩි පිරිසක් ඊට අනුගත කරගෙන ක්‍රියාත්මක වේ. බොහෝවිට සංස්කෘතික අංගයක් බවටද ඒවා පත්වේ. මේවා ප්‍රවාහ වේ. ප්‍රවාහයක ස්වභාවය වන්නේ එහි මූලකර්තෘ අභාවයට ගිය පසුවත් ප්‍රවාහ නොනවත්වා පැවතීමයි. සමහරවිට පරම්පරා ගණනක් ගිය පසු ප්‍රවාහයේ ආරම්භය ගැනද එම ප්‍රවාහය තුල සිටින අය නොදනී.

බොහෝ ප්‍රවාහ කුමන්ත්‍රණකාරීය; අනර්ථකාරිය. ඊට හේතුව මිනිසා සතුව ඇති සත්ව ගතිගුණයි. අනෙකා පරයා තමන් සාර්ථක වීමට තිබෙන ආශාවයි. කලාතුරකින් තමන්ට වඩා අන්‍යයන් ගැන සිතන විශ්වාන්තරවාදී මිනිසුන් සිටියත් ඔවුන්ගේ එම සිතුවිලි හා ක්‍රියාන්විත ප්‍රබලව ගෙන යෑමට සිටින පිරිස අඩුය මොකද වැඩිම පිරිසක් අර කිව්ව ලෙසම අත්මාර්ථකාමී වීමය. එනිසා හොඳ ප්‍රවාහ සමහරවිට නැති තරම් විය හැකිය. මානව සමාජය අපරිපූර්ණ ගැටුම්කාරී අසහනකාරී වීම එනිසා ඓන්ද්‍රියව පවතින්නකි.

අද ලෝක මට්ටමේ ක්‍රියාත්මක වන බොහෝ කුමන්ත්‍රණ මෙවැනි ප්‍රවාහ ලෙස මා දකිනවා. සමහර ප්‍රවාහ ශතවර්ෂ ගණන් පැරණි විය හැකිය. මේවායේ සත්‍ය ස්වරූපය සමහරවිට අපට නිශ්චිතව පෙන්වා දියද නොහැකි වේවි. එම ප්‍රවාහය ඉදිරියට ප්‍රවර්තනය කරන අය පවා සමහරවිට එම ප්‍රවාහයේ සැබෑ අරමුණු ගැන නොදැනුවත්ය. අද පවතින (බටහිර) ආර්ථික විද්‍යාව එබදු ප්‍රවාහයක් විය හැකිය. අද ප්‍රචලිත වෙමින් පවතින සමලිංගිකත්වය ඉදිරියට පැමිණවීමත් එබදු ප්‍රවාහයක ආරම්භයකි.

දැනුම, බුද්ධිය, ප්‍රඥාව යන වචන තුන ගැනත් තරමක් සොයා බලමු. සමහරෙකුට නම් මේ තුනම දළ වශයෙන් එකම තේරුම සහිතය. එහෙත් මේ තුනෙහි එකිනෙකට සමීප සම්බන්දතා පැවතියත් ඉතා පැහැදිලි වෙනසක් ඇත. මාගේ විශ්වාසයේ හැටියට දැනුමට වඩා බුද්ධියත්, බුද්ධියට වඩා ප්‍රඥාවත් වටින්නේය.

දැනුම යනු අදහස්ය. එම අදහස් තමන්ගේ (ස්වීය – original) විය හැකිය; අනුන්ගේ විය හැකිය. එම අදහස් දැනගැනීම (හා අවශ්‍ය ප්‍රමාණයට මතකයේ තිබීම) දැනුමයි. දැනුම සහිත කෙනා උගතාය. තමන්ගේ හෝ අනුන්ගේ හෝ අදහස් දෙවැදෑරුම්ය. එකක් නම්, කාටත් පිලිගත හැකි අදහස් තිබේ. ඒවා කරුණු (facts) ලෙස හඳුන්වමු. උදාහරණයක් ලෙස, ලංකාව දූපතකි. එය කාටත් පිලිගත හැකියි. අනෙක් වර්ගය මතයන් (opinion) වේ. උදාහරණයක් ලෙස, ලංකාව ලෝකයේ සුන්දරම රටය. මෙම ප්‍රකාශය/මතය හැමෝම එක ලෙස පිලිගන්නේ නැත. එනිසා මතයන් තමන්ගේ විශ්වාසයන් (belief) වේ.

මේ අනුව ලෝකයේ බොහෝ අදහස් ඇත. ඒ කියන්නේ ලෝකයේ බොහෝ කරුණු ඇත; බොහෝ මත/විශ්වාස ඇත. මිනිසාගේ ස්වභාවයක් තමයි දේවල් වර්ගීකරණය කර පිලිවෙලට සකස් කිරීමට තිබෙන පෙළඹීම. එය ප්‍රායෝගිකව ගත් කළ ඉතා හොඳ පෙළඹවීමක් වුවත් සමහරවිට යථාර්ථය තේරුම් ගැනීමේදී “අනාගැනීමක්” විය හැකිය. කෙසේ හෝ වේවා, විවිධාකාරයේ පැතිරුණු දැනුම අප සංවිධානය කරමින් විෂයන් සාදා ගන්නවා. ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය, විද්‍යාව, ජ්‍යොතිෂය, බුදු දහම ආදී ලෙස විශාල නාමයන් රැසක් කියාගෙන යා හැකියි. මේවා වෙන වෙනම දැනුම් පද්ධති ලෙස පොදු නමකින් හැඳින්විය හැකිය.

සමහර දැනුම් පද්ධති අතිදැවැන්ත වේ. එනිසා ඒවා කාලයත් සමඟ ඊට කුඩා දැනුම් පද්ධති ගණනාවකට බෙදා ඇත. උදාහරණයක් ලෙස, විද්‍යාව ලෙස හඳුන්වනු ලබන තනි දැනුම් පද්ධතිය භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව ආදී ලෙස වර්ගීකරණය විය. පසුව වෛද්‍ය විද්‍යාව ජීව විද්‍යාවෙන් බිහි විය. වෛද්‍ය විද්‍යාව තුලත් උපපද්ධති ගණනාවකි. මේ ලෙස අද වන විට ලොකු කුඩා දැනුම් පද්ධති දසදහස් ගණනින් ඇත. විද්‍යාව යනු පොදුවේ මේ අතරින් තිබෙන ඉතා වැදගත් එක් දැනුම් පද්ධතියකි.

දැනුම් පද්ධතිවල ඇති ලස්සන වන්නේ විවිධත්වයයි; එනිසා සමහර දැනුම් පද්ධති එකිනෙකට විසංවාදී වේ (ගැටේ). උදාහරණයක් ලෙස ආගමික දර්ශන එකිනෙකට ගැටිය හැකිය. බුදු දහමට අනුව ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්ම වේ. එහෙත් හින්දු වැනි දේව ආගම්වල සියල්ල නිත්‍යයි හා ආත්ම වේ. විශේෂයෙන් පැරණි දැනුම් පද්ධතිවල දෝෂ එමට ඇත. විද්‍යාව සමඟ එම පුරාණ දැනුම් පද්ධති ගැටීම නිතරම ජන සංහතික මාධ්‍ය ඔස්සේද අපට දකින්නට අසන්නට ලැබේ.

ඒ අනුව ලෝකයේ බොහෝ දෙනා විවිධ මට්ටමින් හා විවිධ දැනුම් පද්ධතිවල උගතුන්ය. සමාජ පිලිගැනීම, ප්‍රායෝගික වටිනාකම ආදී සාධක මත ඔවුන්ව “උගතුන්” ලෙස හෝ “නූගතුන්” ලෙස වර්ග වුවත්, බොහෝ දෙනා උගතුන් බව නම් පැහැදිලිය. කසිප්පු පෙරන්නා එම විෂයෙහි ප්‍රවීනයකි. එම විෂය වෛද්‍ය විද්‍යාව තරම් විශාල නොවිය හැකිය. උගතෙකු වීමට යම් දැනුමක කොතරම් ප්‍රමාණයක් දැන සිටිය යුතුදැයි නිශ්චය කරන්නේ කවුරුන්ද?

බුද්ධිය යනු උගත්කමට වඩා සංකීර්ණ තත්වයකි. යම් අවස්ථාවකට ගැටලුවකට අභියෝගයකට මුහුන දෙන විට ඊට සාර්ථකව මුහුන දීමට හැකියාව මින් ලැබේ. යහපතට මෙන්ම අයහපතටද එය යෙදවිය හැකිය. දැනුම ලබා ගැනීමට තර්කනය අනිවාර්ය ආවශ්‍යයකයක් නොවූවත් බුද්ධියට තර්කය නැතිවම බැරිය. උදාහරණයක් ලෙස, පොත් පිටින් (යන්ත්‍ර මන්ත්‍ර) කට පාඩමින් දත් සමහර කපුවන්ගේ තර්ක හැකියාව හා බුද්ධිය අල්පය. එතරම් උගත් කමක් නැතැයි බැලූබැල්මට පෙනෙන සමහරුන්ගේ තීරණ ගැනීමේදී ඇති තීක්ෂණ ස්වභාවය පුදුම සහගත වේ.

උගත්කමේ හා බුද්ධියේ වෙනස පෙන්වීමට කදිම කතාවක් ඇත (මා හිතන්නෙ පංච තන්ත්‍රයේ එන කතාවකි එය). යම් ශාස්ත්‍රයන් හදාරා යන පුද්ගලයන් තුන් දෙනෙකු සිටී. ඔවුන් සමඟ “නූගත්” ආවතේවකරුවෙකුද සිටී. මොවුන් සිව් දෙනා කැලයක් මැදින් යන විට, සත්ව ඇටකටු වගයක් දකී. ඉතිං, මේ පිරිසෙන් එක් කෙනෙකු යම් ඇට සැකිල්ලක් දුටු විගස සත්වයා කවරෙකුදැයි කීමට හැකි ශාස්ත්‍රයක් ප්‍රගුණ කර ඇත. ඔහු එම දැනුමින් කියන්නේ මේ කොටියෙකුගේ ඇටසැකිලි බවයි. එම පිරිසෙන් තවත් කෙනෙකු ඉගෙන තිබෙනවා ඇටසැකිලි ගෙන ඉන් එම සත්වයාගේ සිරුර නිර්මාණය කිරීමට. ඉතිං එම කොටියාගේ සිරුර ඔහු නිර්මාණය කරයි. අනෙක් මිතුරා ඉගෙන තිබෙන්නේ මැරුණු සත්වයෙකුට පණ දීමේ ශාස්ත්‍රයයි. දැන් ඔහු එම කොටියාට පන දීමටයි හදන්නේ. මෙවිට කිසිදු එවැනි ආශ්චර්යමත් දැනුමක් උගෙන නැති ආවතේවකරු ඉක්මනින්ම ගසකට නඟින අතරේ කොටියාට පන දීම සිදු වේ. කොටියා මැරී තිබෙන්නේ හාමතේය. එනිසා ඌට පන ආ විගස අර උගත් මිතුරන් තිදෙනාව මරා දමනවා. අර ගසට නැඟි නූගතා බේරෙනවා. මෙහි බුද්ධිය තිබෙන්නේ කාටදැයි පෙනෙනවා.

ප්‍රඥාව යනු ඒ දෙකටම වඩා සංකීර්ණ දෙයකි. බුදු දහමේද ප්‍රඥාව යන වචනය එලෙසම හමු වේ. එහෙත් එම වචනය හා සාමාන්‍ය අනාගමික තේරුමින් ඇති ප්‍රඥාව අතර වෙනසක් ඇත. බුදුදහමට අනුව ප්‍රඥාව හෙවත් විද්‍යාව හෙවත් විදර්ශනාව යනු “සත්‍ය” දැක නිවන් දැකීමට ඇති සුරුකමයි. එනිසා බුදු දහමේ නිර්වචනය මෙම රචනය තුල බැහැර කරමි. මා ප්‍රඥාව ලෙස දකින්නේ උගත්කමේ හා බුද්ධියේ පරිපාක අවස්ථාවක් ලෙසයි. එහිදිත් එක් පටු දැනුමක් නොව පුලුල් දැනුම් පරාසයක් දැන සිටීම අවශ්‍ය වේ. හරියට යහමින් ගල් වැලි සිමෙන්ති මිශ්‍රණය නැමැති දැනුම් සම්භාරයට වතුර නමැති බුද්ධිය එකතු කළ විට ශක්තිමත් කොන්ක්‍රිට් නමැති ප්‍රඥාව සෑදේ. යමක් මීට පෙර දැක හෝ අසා හෝ අත්දැක හෝ ඉගෙන නැති වුවත්, අභියෝග අවස්ථා ගැටලුවලට නිර්මාණශීලීව සාර්ථක විසඳුම් ප්‍රඥාව තුලින් මතුවේ. අලුත් දැනුම් පද්ධති නිර්මාණය කිරීමේ හැකියාව ඊට ඇත. එනිසා බුද්ධිය අභිබවා ගිය තත්වයකි එය.

ඇත්තෙන්ම යථාර්ථය සොයා යෑමේදී වචනවල වැදගත්කමක් නැතිද? යම් මට්ටමක් දක්වා වචනවල වැදගත්කමක් ඇත. එය හරියට ගොඩනැඟිලි සාදන විට පලංචි යොදා ගන්නා සේය. ගොඩනැඟිල්ල සෑදුවාට පසුව පලංචිය අවශ්‍ය නැත. එහෙත් එය සාදා නිම කරන තෙක් පලංචි නැතිව බැරිය. වචනත් එසේය. තමන්ගේ අදහස් මෙන්ම අනුන්ගේ අදහස් වැදගත්නෙ. ඉතිං අනුන්ගේ අදහස් නිරවුල්ව දැන ගැනීමටත් අනුන් හා ඵලදායි ලෙස සංවාද වාද විවාද කිරීම නිවැරදි වචන අවශ්‍ය වේ.

එහෙත් වචන යනු කිසිදිනක නිශ්චිතවම යමක් කිව හැකි දෙයක්ද නොවේ. ඒ හැරත් වචනය යනු හුදු ශබ්ද නියෝජනය කිරීමක් නොවේ. වචන යනු සංකල්ප වේ. උදාහරණයක් ලෙස පුටුව යන වචනය ගමු. එය කොතරම් සරල වචනයක්ද බලන්න. එහෙත් කාටද හැකි එම වචනයෙන් කියවෙන දේ වෙනත් වස්තුවක්ද නියමින් හෝ අනියමින් හෝ හැඟ නොවන ලෙසට අර්ථ සීමනය සිදු කරන්න? හැකි නම් කර බලන්න. මා මෙය බාල මහලු බොහෝ දෙනෙකුට අභියෝගාත්මකව සිදු කර ඇත (හරියට එක්තරා විදියක ගේම් එකක් වගේ). කාරණය පැහැදිලි කිරීමට පමණක් මා යම් දුරකට සිදු කර පෙන්වන්නම්.

පුටුව කියන්නේ ඉඳ ගත හැකි දෙයකි” යැයි කෙනෙකු එකවරම කියාවි. හම්… එතකොට ඇඳද පුටුවකි; මේසයද පුටුවක; පොලොවද පුටුවකි; කොට කැබැල්ලක්ද පුටුවකි. මොකද මේ සියලු තැන්වලත් ඉඳ ගත හැකියිනෙ. එවිට “පුටුව යනු කකුල් 4ක් තිබෙන ඉඳ ගත හැකි දෙයකි” යැයි කියාවි. එහෙත් එවිටද මේසයට කකුල් 4ක් ඇති ඉඳ ගත හැකි භාණ්ඩයකි; ඇඳද එසේය. මේ ආදි ලෙස පුටුවේ අර්ථ දැක්වීම හැකි තරම් සීමාකාරි කළ යුතු වෙනවා වෙනත් භාණ්ඩ එම අර්ථ දැක්වීම තුලට ඇතුලු නොවනු වස්. එය ඉතාම දුෂ්කර දෙයකි. එලෙස යමක අර්ථය සීමනය කිරීම ඉතාම අපහසුය. ඇත්තෙන්ම එය වචනවල ගැටලුවක් නොවේ. සංකල්පය සීමා කිරීමේ ගැටලුවකි. මෙම තත්වය පරිගනක ප්‍රෝග්‍රැමිං වැනි තාක්ෂණික වේදයන් තුලද එලෙසම පවතී (abstraction යන පරිගනක විද්‍යා සංකල්පයෙන් ඇත්තෙන්ම කියවෙන්නේ මේ දැන් කතා කළ දේම තමයි).

ඉතිං එතරම් සරල පුටුව යන වචනයේ අර්ථය සීමනය කරන්නට අපහසු නම් ඇත්තටම සංකීර්ණ අදහසක් පවසන වචනයක් ගැන ඇති විය හැකි තත්වය සිතා බලන්න. ආදරය යනු කුමක්ද? හැකි නම් පිලිතුරක් සොයා බලන්න. එනිසා වචනය වැදගත්ය. එහෙත් වචන මතම අනවශ්‍ය ලෙස එල්ඹ සිටීම හරියට මඩ ගොහොරුවක සිරවීමක් වැනි වේවි. අප පුටුව යන වචනය ගැන කවදාවත් වද වෙලා නැහැනෙ. සන්නිවේදනය ගැටලුකාරි වී තිබේද පුටුව යන වචනය යොදා ගැනීමේදී? නැහැ. කොටි මව තම පැටවුන්ට හානි නොවන ලෙසත්, උන්ව නොවැටෙන ලෙසත් තම දත්වලින් රැගෙන යන්නා සේ වචන නිවැරදි සන්නිවේදනය සඳහා යොදා ගැනීමට හැකියාව තිබිය යුතුය.

තර්කනය යනු දැනට තිබෙන දත්ත අනුව තවත් දෙයක් ගැන අවබෝධයක් ඇති කර ගන්නා ක්‍රමවේදයකි. මේක මෙහෙම වුවොත් අරම වේ ආදි ලෙස තර්ක සිදු වේ. තර්කය නැතිව කිසිවක් කළ නොහැකි තරම්ය. ලොව සිදු වන සෑම දෙයක්ම (ඵලයක්) එසේ සිදු වූයේ තවත් යම් දෙයක් කරණ කොටයි (හේතුව). එම ඵලය උපැද්ද වූ හේතුව තවත් මූල හේතුවක ඵලයකි. මේ ආදී ලෙස හේතු ඵල සම්බන්දයක් ලෝකයේ දක්නට ලැබේ. මෙය මානවයා සිටියත් නැතත් සිදු වන්නකි. එවිට ඒවා ලෝක ධර්මතා ලෙස හඳුනා ගමු. අපේ මනසේ එය සිදු කරන විට තර්ක කිරීමක් ලෙස හඳුනාගමු.

තර්ක කිරීමක් නැතිනම් සියල්ලම එක තැන නවතිනු ඇත. දේවල එකිනෙකට වෙනසක් නැති වනු ඇත. වෙනසක් තිබුණත් එම වෙනස්කම් වටහා ගත නොහැකි වනු ඇත. ඇත්තටම අප මුලු විශ්වයටම සංජානනය කර තේරුම් ගන්නේ තර්කයෙනි.

එසේ වූ තර්කය සත්‍ය තේරුම් ගැනීමට අවශ්‍ය නැතැයි කෙනෙකු කියන්නේ ඇයි? සමහරවිට තර්ක කරනවා යන්නෙහි ග්‍රාම්‍ය තේරුමින් එය තේරුම් ගැනීම විය හැකියි. උදාහරනයක් ලෙස, අප දැක තිබෙනවානෙ ඕන තරම් අය කටේ බලෙන් (එනම් තර්ක කර) හරි හා වැරදි සියල්ලම කොහොමහරි සාධාරණිකරණය කරනවා. අන්න එවැනි අප්‍රයෝජනවත් තර්කනය නම් බැහැර කිරීම යෙහෙකි.

ඉහත එකිනෙකට වෙනස් වචන ගණනාවක් ඔස්සේ තැනින් තැනට පනිමින් කෙටි සටහන් ලිව්වේ ඒ සියල්ල ප්‍රස්තූතයට එනම් යථාර්ථය තේරුම් ගැනීමට බලපෑමක් සිදු කරන නිසාය. ඇත්තටම යථාර්ථය තේරුම් ගැනීම ගැන එතරම් කීමට දෙයක් නැති බවයි මා අවසානයේ තේරුම් ගත්තේ. එහෙත් ඒ ආශ්‍රිතව අප විසින් ගොඩනඟා ගත් විවිධ සංකීර්ණ තත්වයන් නිසා කවුරුත් කිසිම පැත්තකින් හෝ නිෂ්ටාවක් නොදකින “අනේ මන්දා” මානසිකත්වයෙන් සිටී.

සත්‍ය, යථාර්ථය, යථාරූපය, වාස්තවිකත්වය ආදී වචන සියල්ලෙන්ම හැඟවෙන්නේ දළ වශයෙන් එකම දෙයකි. සත්‍යය යනු කුමක්ද? මෙය බුද්ධ කාලයේ (“සච්ච ගවේසි”) පවා බුද්ධිමතුන් අතර ගවේෂනයට බදුන් වූ මාතෘකාවක් බව පතපොතේ හැටියට පෙනේ. අතීතයේ සිට විවිධ අය එය විවරණය කර දී තිබෙන අයුරු ආගම් දර්ශනවාදවලින් පැහැදිලි වේ. සත්‍යය යන්න ඒකක සංකල්පයක් නොව සංයුක්ත සංකල්පයකි.

අපේ එදිනෙදා සාර්ථක පැවැත්ම හෝ දිගුකාලීන සාර්ථක පැවැත්ම සඳහා පමණක් පිළිගත හැකි තත්වයන්/දේවල් තිබේ. සම්මුතික සත්‍යය ලෙස එය හඳුන්වමු. මා පෞද්ගලිකව වඩා කැමැති වන්නේ ප්‍රායෝගික සත්‍යය කියා ඒවා හැඳින්වීමයි. දැනට මිහිපිට ඇති ඉතාම විශ්වාසදායිම ප්‍රායෝගික සත්‍යය විද්‍යාවයි.

උදාහරණයක් ලෙස, අප කතා කරන භාෂාවේ වචන සම්මුතික සත්‍ය වේ. සිංහල කතා කරන අපට “පුටුව” යනු ඉඳගත හැකි ඇටවුමක් හඟවන සත්‍යයක් දක්වන වචනයකි. එය සත්‍ය නිසානෙ පුටුවේ වාඩි වෙන්න යැයි කෙනෙකුට කී විට ඔහු ලිප් බොක්කේ වාඩි නොවී පුටුවේම වාඩි වෙන්නේ. එහෙත් සුද්දෙකුට පුටුව තේරෙන්නේ නැත. ඔහුට චෙයාර් කියා කිව යුතුය. ඒ කියන්නේ අර වාඩි වෙන ඇටවුමට පුටුව යන වචනය සුද්දාට අසත්‍ය වේ. ජපනෙක්ට තවත් ශබ්දයකින් එය කිව යුතුය. ඒ කියන්නේ චෙයාර් යන්නද ජපනාට දැන් අසත්‍ය වේ. ඒ අනුව පැහැදිලියි සම්මුතික සත්‍යය ඇත්තෙන්ම සත්‍ය වන්නේ එම සම්මුතිය පිළිගන්නා හෝ දන්නා පිරිස අතරේ පමණි. එලෙසම සම්මුතික සත්‍යය එලෙස සත්‍ය ලෙස සැලකෙන කාල සීමාවක්ද තිබිය හැකිය. උදාහරණයක් ලෙස, පැරණි සිංහල ක්‍රමයට දවසට පැය 60ක් විය (“සිංහල පැය”). එහෙත් අද දවසකට තිබෙන්නේ පැය 24කි.

ඉහත ආකාරයට සම්මුතික සත්‍යය දැක්වීම ඕලාරික වේ (එනම් සියුම් නැත). එහෙත් එහි සියුම් තත්වයන්ටද යා හැකිය. උදාහරණයක් ලෙස ඉහත පුටුව උදාහරණයම ගමු. පුටුව හෝ චෙයාර් හෝ වෙනත් වචනයකින් එය හැඳින්විය හැකි වුවත්, එම ඇටවුම කුමක්ද යන්න ඒ කුමන වචනය භාවිතා කරන අය අතරේ වුවත් තවමත් සම්මුතික බවක් තිබෙනවානේ. එය අපට සිංහලෙන් “පුටුව යනු පුටුවමයි” කියා කිව හැකිය. එහෙත් එම ඇටවුම දැන් කඩා දමා ලී දඬු කිහිපයක් ලෙස දර මිටියක් සේ බැඳ තැබූ විට ඒ කිසිම කෙනෙකුට තම තමන්ගේ භාෂාවෙන් ඊට පුටුව යැයි කියාවිද? නැත, දැන් ඔවුන්ට එය පෙනෙන්නේ දර මිටියක් ලෙසනෙ. එහෙත් පදාර්ථමය (ද්‍රව්‍යමය) වශයෙන් තවමත් එතැන තිබෙන්නේ එකම ලී ටිකයි.

එතකොට පුටුව යන වචනය ව්‍යවහාර වූයේ ලී ගොඩ නිසාම නොවේ; එය සකස් කර තිබූ හැඩයත් අපේක්ෂිත ප්‍රයෝජනයත් නිසාය. එනිසා තවමත් පුටුව යනු සත්‍යයකි යැයි කෙනෙකු තර්ක කළ හැකිය. එවිට තවෙකුට තර්ක කළ හැකියි ඒ කියන්නේ පුටුව යනු වස්තුවකට කියන වචනයක් නොවේ නිකංම අප විසින්ම අර්ථ සීමනයකට යටත්ව සිතේ ඇති කර ගත් යම් සංකල්පයකට කියූ වචනයක්නෙ කියා. එනම් එතැන වස්තුවක් නැත. ඒ කියන්නේ වාස්තවිකත්වයක් නැත. මනසේ ඇති කරගන්නා කිසිම දෙයක වාස්තවිකත්වයක් නැත. එවිට, භාහිර ඇති දේවල් සියල්ලම ඔබ හොඳින් සිතා බැලුවොත් පෙනේවි ඒ සියල්ලම තම තමන්ගේ මනසේ සංස්කාරයන් බව. එම සංස්කාරයන් මානවයන් අතර සන්නිවේදනය කර ගෙන සම්මුති සත්‍යයන් සාදා ගෙන තිබේ. අරක පුටුව කියමු; මේක මේසය කියමු ආදි ලෙස එම සත්‍යයන් සම්මත කර ගෙන ඇත.

එසේ අප මනසේ සංස්කාරයන් සාදා ගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී මිනිසාගේ පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගත් සංජානනයන් මතයි. ඒවායෙන් ඍජුවම/තත්කාලීනව ලැබෙන සංජානන හා එසේ පෙර ලබා ගත් සංජානනවල මතකයන් මත සංස්කාරයන් ඇති කර ගනී. ලෝකයේ තවත් ලක්ෂ සංඛ්‍යාත සත්වයන් සිටියත් අප මේ කතා කරන කුමන ආකාරයක සත්‍යය හෝ අසත්‍යය එම එකදු සත්වයකුගේ අනුමැතියට යටත් වී නැත. ඒ කියන්නේ ලෝකයේ සත්‍ය ලෙස දකින්නේ මානවයාගේ සත්‍යයි. එය අවශ්‍යයෙන්ම පොදු සත්‍ය විය යුතුද? එයද ගැටලුවකි. තවද, දියුණු යැයි සලකන ඊනියා මානවයාගේ සංජානනවල නිරවද්‍යතාව ගැන තිබෙන තක්සේරුව කෙබඳුද? එයත් දෝෂ සහගතය. උදාහරණයක් බලමු.

ඔබ පෙරහැරකදී ගිනි බෝල කරකවනවා දැක තිබෙනවානෙ. ඔබට පෙනෙන්නේ ගිනි වලල්ලක්නෙ. ඔව්, ඇසට පෙනෙන දේ සත්‍ය නම් ඔබ සංජානනය කරන දේ ගිනි වලල්ලකි. එහෙත් සරල තර්කනයෙන්/බුද්ධියෙන් ඔබ දන්නවා එතැන ගිනි බෝල කිහිපයක් තිබෙන බවත්, එය වේගයෙන් කරකවන නිසා ගිනි වලල්ලක් පෙනෙන බවත්. එවිට ඒ ගැන තවත් ගවේෂන හා පර්යේෂන සිදු කර ගෙන යන විට එසේ පෙනෙන්නේ eye persistance නම් ඇසේ තිබෙන යම් ගති ගුණයක් නිසා බවත් අද අප දන්නවා. නිරන්තරයෙන්ම මෙලෙස සම්මුතික සත්‍යයේ අසත්‍යතාව පහසුවෙන්ම පෙන්වා දිය හැකි වෙනවා.

දැන් අවසාන ප්‍රශ්නය වන්නේ එලෙස කලින් කලට වෙනස් නොවන, තැනින් තැනට වෙනස් නොවන, සත්වයාගෙන් සත්වයාට වෙනස් නොවන සදාකල්හි පවතින සත්‍යයක් තිබේද යන්නයි. මෙම සත්‍යය තමයි ඇත්තටම දාර්ශනික තලයේදීත් මාගේ ලිපියේදිත් කතා කරන සත්‍ය ලෙස හඳුන්වන්නේ. ඉහත කියූ ගුණ සහිත නිසා පරම සත්‍යය, නිරපේක්ෂ සත්‍යය, යථාර්ථය, වාස්තවිකත්වය (හෝ වාස්තවික යථාර්ථය) යන වචන යොදා ගන්නේද එයටමයි. මෙම ප්‍රශ්නයට විවිධ අය විවිධ පිළිතුරු ලබා දී ඇත. අන්න එම පිලිතුර දෙස බලන විටයි ඔබටම මෙහි පවතින සංකීර්ණතාව හා හිස් බව තේරුම් ගත හැක්කේ. දැනුම, බුද්ධිය, ප්‍රඥාව, තර්කනය, වචන යන සියල්ලම යුද වදින්නේද මෙතැනය.

ඕනෑම ලොකු කුඩා දෙයක් සම්බන්දයෙන් කරුණු සොයා රැස් කර, විශ්ලේෂනය කර, සංවිධානගත කර, විසංවාද අවම කරමින් ඉදිරිපත් කළ හැකිය. ඉතිං වාස්තවිකත්වය ගැනත් එසේ සොයා බලා ඉදිරිපත් කළ අදහස්/දර්ශන ගණනාවක් ඇත. බුදු දහමද ඇතුලු සියලුම ආගම් එහි පෙරමුණේ ඇත. ඒවා හුදු දැනුම් පද්ධති වන අතර, එනිසාම විවිධ මට්ටමෙන් ඒ ගැන ඉගැන්වේ. එය උගන්වන ආචාර්ය මහාචාර්යවරුන්ද ඇත. මහාචාර්යවරුන් සිටි පමණින් යමක සත්‍යතාව ගැන කිසිදු අදහසක් ගත නොහැකියිනෙ. යම් දැනුම් පද්ධතියක් උගන්වන ප්‍රාමාණික උගතුන් පිරිසක් පමණි ඒ අය. සමහර මුග්දයන් සත්‍ය තේරුම් ගන්නට උත්සහ කරන්නේ එවැනි සමාජ සම්මතයේ උගතුන් ලෙස සිටිනා අය කියනා දේ විශ්වාස කරමින් පමණි. එහෙත් සත්‍යය ගැන සෙවිය හැක්කේ තමන්ගේ දැනුම, බුද්ධිය, ප්‍රඥාව, තර්කන හැකියාව ආදි දේවලින් පමණි.

ඕනෑම දර්ශන මතවාදයක් ගෙන බලන්න. එහි ඉතාම සංකීර්ණ සංකල්ප (හෝ සරල සංකල්ප හෝ) පවතිනු ඇත. තර්ක කළද එකක් අනෙක නිසා ඇති වන බව (එනම් හේතුඵල සම්බන්දතාව) සහිතව එම දැනුම් පද්ධති ගොඩනඟා තිබිය හැකිය. පිටු දහස් ගණනකින් එම දැනුම ලේඛනගත කරද තිබිය හැකිය. එම පිටු 5000 අතරින් සමහරවිට පිටු 4999 හිම ඉතා හොඳ හේතුඵල සම්බන්දතාවක් තිබේවි. ඒ කියන්නේ බැලූබැල්මට එම දර්ශනය යථාර්ථවාදී වේ. “පරම සත්‍යය” ඉන් කියයි. බලන්න ක්‍රිස්තියානි, හින්දු, බුදු දහම් තුනම මෙම විස්තරයට ගැලපේ. එහෙත් එම පිටු 5000න් එකම එක පිටුවක් තිබෙනවා යම් කරුණු කිහිපයක් හේතුපල සම්බන්දතාව ඔබේ ඇස් ඉදිරිපිට පෙන්විය නොහැකි. එවැනි තවත් දර්ශන සිය ගණනක් ඔබ හා මටත් හෙට සිට සෑදිය හැකියි. මෙය පැහැදිලි කිරීමට මට කුඩා කතන්දර දෙකක් මතකයට නැඟේ.

වෙලක් මැද තිබෙන විශාල කලුගලක් ඉවත් කිරීමට අන්දරේ දවසක් භාර ගන්නවා. හැබැයි ඒ සඳහා ඔහුගේ ශක්තිය වැඩීමට ගම්මුන් විසින් සති කිහිපයක් අන්දරේට දිවා රෑ හොඳ කෑම බීමෙන් සංග්‍රහ කිරීමට අවශ්‍ය බව අන්දරේ කියනවා. ගම්මුන් ඊට කැමති වී අන්දරේට එම දින ගණනම හොඳින් කෑම බීම සපයා ගල ඉවත් කරන දිනයට ළං වෙනවා. ඔන්න එම දිනය ආ විට අන්දරේත් ගමේ සියල්ලන්මත් එම ස්ථානයට පැමිණෙනවා. අන්දරේ දැන් ගල ඉවත් කරන්නට සූදානම් වෙමින් කියනවා හරි දැන් කවුරුත් එකතු වෙලා එම ගල උස්සා ඔහුගේ පිට උඩින් තියන්නට කියා. අන්න ඒකයි අන්දරේගේ ට්‍රික් එක. කවුරුත් ගල උස්සා තමන්ගේ පිට උඩින් තියන්න කියන එක හැර එම අවස්ථාව දක්වා සියල්ලම සිදු විය හැකි දේවල්ය. මෙය මොහොතකින් වාස්තවිකත්වය තේරුම් ගැනීමේදිත් බොහෝ අය සිදු කරන දේට සමාන බව පෙනේවි.

අනෙක් කතාව කර තිබෙන්නේ එකල සිටි ප්‍රසිද්ධ විද්‍යාඥයෙකි (මට නම හරියටම මතක නැත). ඔහු කියා තිබෙනවා ඔහුට තනියෙන්ම මේ ලෝක ගෝලය එසවිය හැකි බව. හැබැයි ඒ සඳහා තමන්ට “අච්චර” දිගක් සහිත ශක්තිමත් දණ්ඩකුත්, එම දණ්ඩට ධරය ලෙස ක්‍රියා කළ හැකි තවත් ග්‍රහයෙක් “අච්චර” දුරකින් තිබිය යුතුත් කියා. විද්‍යාව ගැන දළ දැනුමක් හෝ තිබෙන කෙනෙකුට ලීවර් ක්‍රියාව ඉගෙන ඇති කෙනෙකුට මේ කියන කාරණය ඉතා සරල දෙයක් බව වැටහෙනු ඇත. මෙහිත් තිබෙන්නේ අර අන්දරේගේ ට්‍රික් එකමයි. තමන්ට පොලොව එසවිය හැකියි. අවශ්‍ය නම් ගණිත සූත්‍රවලින්ද එය තර්කානුකූලවත් පෙන්වා දිය හැකියි. එහෙත් එය කිරීමට අර අවශ්‍යතා දෙක ඉටු කර දිය යුතුය. එය කළ නොහැකිය.

ආගම්වලින්ද අපට පරම සත්‍ය පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ අර කතා දෙකේ කියනා පරිදිම වේ. කෙටියෙන් උදාහරණයක් දෙකක් බලමු. අපට දේවල් ලැබෙන්නේ නොලැබෙන්නේ හෝ සිදු වන්නේ හෝ නොවන්නේ හෝ දෙවියන්ගේ කැමැත්ත මතයි. මෙම සරල වචන කිහිපයෙන් කියනා දේනෙ සියලුම දේව ආගම්වල පදනම. දෙවියන් සියල්ල මවා ඇත. සියල්ල පවත්වාගෙන යන්නේද ඔහුය. අවශ්‍ය නම් අඩ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ හැකියාවද ඔහු සතුය. දැන් ඔබට සිදු වන ඕනෑම දෙයක් සිදු වන්නේ ඇයි කියා ඉතාම පහසුවෙන්ම කිව හැකියි. එය දෙවියන්ගේ කැමැත්තයි. ලෝකයේ ඕනෑම මුල්ලක සිදු වන දෙයක්ද පැහැදිලි කළ හැකියි. එය දෙවියන්ගේ කැමත්තයි. ඇත්තෙන්ම මෙය ඉතා හොඳ “කපටි” යථාර්ථය පෙන්වා දෙනවා යැයි කියන ඉගැන්වීමකි. එනිසා අදත් ලෝකය මෙච්චර දියුණු යැයි පාරම්බාන කාලයෙත් සර්වබලධාරි දෙවියන් පිළිගන්නා අය සුලු පටු ප්‍රමාණයක් නොවේ. නාථ දෙයියන්ගේ සරණ යන භෞතික විද්‍යාව උගත් නලින්ද සිල්වා වැනි මහාචාර්යවරුන්, GMOA හි සභාපතිධුරන්දර ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ සිට අතිවිශාල පිරිසක් සිටී. පුදුමය වන්නේ මෙවුන් හොඳින්ම ඉගෙන තිබෙන්නේ විද්‍යා විෂයන් වීමත්ය.

එහෙත් මෙම දේවවාදී දර්ශනවල සියල්ලම පදනම් වන්නේ කිසිදා අත්දැක නැති අත්දැකිය නොහැකි සර්වබලධාරි දෙවියෙක් මතය. ඌ දැකපු එකෙක් නැත. දකින විදියක්ද නැත. ඌ කොහේද ඉන්නේ හැටි කොහොමද කියා දන්නේද නැත. තමන් හීනෙන්වත් දැක නැත. එහෙත් මොකෙක්දෝ අතීතයේ විසූ එකෙක් ලියාපු කියාපු විස්තරයක් විශ්වාස මාත්‍රයෙන් පිළිගනී.

තවද, තවත් අයෙක් කියන්නේ තමන් එම දර්ශනවලින් හාස්කම් දැක ඇති බවයි. ඔවුන් විවිධ හාස්කම් ගැන පවසති. එවැනි කතා ටොන් ගණනක් අප අසා තිබෙනවානෙ. ඇත්තටම “හාස්කම්” තිබිය හැකිය. මැජික් යනුද ඇත්තෙන්ම හාස්කම්ය. අපි මැජික් බලන විට කිසිවිටක දැනිල නැහැනෙ ඒ අය බොරු කරනවා කියා. ක්‍රිස් ඒන්ජල් හෝ කොපර්ෆීල්ඩ්ගේ මැජික් පවා විශේෂ දේව බලයෙන් ක්‍රියාත්මක වනවා යැයි කියන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මිකැට්‍රොන්කිස් ඉංජිනේරුවේදය ක්ලාස් පාස් ඇතිව සමත් වෙච්ච මාගේ මිතුරෙකු තදින්ම කියා සිටිනවා. තවද, එක් එක් හාස්කම ගැන වෙන වෙනම පැහැදිලි කළ යුතු තත්වයක් ඇති අතර, ඒවාට වෙනත් සරල හේතු තර්ක බුද්ධියෙන් හා පොදු විශ්වාසදායි දැනුමක් ඔස්සේ බොහෝවිට පෙන්වා දියද හැකිය.

එහෙත් මොහොතකට එම හාස්කම් සත්‍ය යැයි පිළිගමු. එසේ වුවද ඉන් ඔප්පු වෙන්නේ නැහැනෙ දෙවියන් වහන්සේ කෙනෙකු සිටින බව. එවිට දෙවියන් වාස්විකත්වයේ හිමි කරු විය නොහැකියි. යමක් තිබේද නැද්ද යන්න වාස්තවිකව පෙන්වා දිය යුතුය. එහෙත් මා මුලදිත් පැහැදිලි කළ ලෙස, ලෝකයේ කිසිවක් වාස්තවිකව පෙන්වා දිය නොහැකිය. ඇත්තටම මෙතැන තිබෙන්නේ දෙවියන් සිටීම හෝ නොසිටීම ගැන ගැටලුවක් නොවේ. ඔහුගේ පැවතීම හෝ නොපැවතීම වාස්තවිකව පෙන්වා දීමට ක්‍රමවේදයක් නොමැති වීමයි. මේ මොහොතේ මුලු ලොවටම එකවර පෙනෙන සේ කෙනෙකු මතු වී මම තමයි දෙවියන් වහන්සේ කියා කීවත්, ඉනුත් හැකි වෙන්නේ නැහැ වාස්තවිකව ඒ කියපු කෙනා ඇත්තටම දෙවියන් වහන්සේද කියා. සමහරවිට ඒ දෙවියන් වහන්සේගේ මල්ලි විය හැකියිනෙ; නැතහොත් දෙවියන්ගේ සර්වන්ට් විය හැකියිනෙ. සමහරවිට දෙවියන්ගේ හතුරෙකු (සාතන්) විය හැකියි. කොහොමද හරියටම දන්නේ?

බුදු දහම ගැනද කියන්නට තිබෙන්නේ එයමයි. මෙහෙම කරන්න අරම කරන්න යැයි පිලිවෙත් කියා දේ. උදාහරණයක් ලෙස නිවන් යෑම ටොයිස් වැඩකි. රාග, දෝස, මෝහ නැති කරන්නට විතරයි තිබෙන්නේ. එහෙමත් නැතිනම් සෑම දේකම නිර්සත්ව (මමත්වයෙන් තොර බව) පසක් කර ගැනීමට පමණයි තිබෙන්නේ. එහෙමත් නැතිනම් සෑම දෙයකම හට ගැනීම නැති වීම (උදය වැය) අවබෝධ කර ගැනීමට පමණයි තිබෙන්නේ. එහෙත් නිවන් දැකපු අය ඉන්නේ පොත්වල පමණි. හිමාලයේ හෝ වෙනත් කැලෑවල නිවන් අය ඉන්න බව සමහරු පවසන්නේ පෙනෙන්නට නිවන් ගොස් ඇති අය නැති නිසාය. ඉඳහිට හෝ සමන්තභද්‍ර වැන්නකු තමන් නිවන් ගොස් තිබෙන බව පැවසූ විට අපේ උන් උඩ පැන පැන පලු යනකම් ටොකු අනින්නේද ඒ නිවන් ගියා යැයි කියන එකාටය. එතකොට කැලෑවල නිවන් ගිහිපු අය ඉන්නා බව උන් දන්නේ කොහොමද? ජීවිතයට හිමාලය දැකපු නැති එවුන් ඒ ගැන කියවන්නේ හරියට හිමාලයේ ශතවර්ෂ ගණන් බවුන් වැඩිය එවුන් සේය.

අප මේ යන්නේ ඉතා භාරදූර දෙයක් සොයා ගෙනයි. එය පරම සත්‍යයයි. එය සොයා ගන්නට බැහැ පොතක තිබූ දෙයක් ඒ ලෙසම විශ්වාස කරන්නෙකුට. පොත් පෙලවල් කටපාඩමින් පාලියෙන් සංස්කෘතයෙන් වමාරන උගතෙකු කියූ පලියට එය විශ්වාස කළ නොහැකිය. අරමලු මෙහෙමලු ආදී ලෙස වලු කතා මත යැපීමෙන් එය කළ නොහැකිය. අඩුම ගානේ තමන්ගේ සංජානනයට හසු වෙච්ච දේවල් ගැන ගවේෂනය කළ යුතුය. එස් වුවද තමන්ට කල්පනා කරන විට හිතෙන දේවල් තර්කානුකූලව ඉදිරිපත් කළද එයද පරම සත්‍ය නොවේ. කනාවට හෝ එය පරම සත්‍ය වුවත්, අඩුම ගානේ තමන්ටවත් එය පරම සත්‍ය බව ප්‍රත්‍යක්ෂයෙන් දැනීමක් නැත. සංජානනයට හසු වුවත් ඕනෑතරම් සංජානනය සාවද්‍ය විය හැකියි.

මේ කුමක් හරිහැටි කළත් සියල්ල මිනිස් මනසේ නිර්මාණම පමණි. පරම සත්‍යය මිනිස් මනසට අවබෝධ කර ගත නොහැකි මට්ටමේ දෙයක් විය නොහැකිද? උදාහරණයකින් එය පැහැදිලි කළ හැකිය. උපතින්ම අන්ධ පුද්ගලයකුට ඔබ කෙසේද රතු හා නිල් පාටවල් දෙකේ වෙනස හඳුන්වා දෙන්නේ. ඔහුට කිසි දිනක එය තේරුම් ගත හැකි වේවිද? පරම සත්‍යයත් එසේ විය නොහැකිද?

විද්‍යාව යනු කිසිසේත් පරම සත්‍ය නොවේ. බොහෝ දෙනෙකු එම සාවද්‍ය වැටහීමේ සිටී. විද්‍යාව යනුද ආගම් මෙන්ම පට්ටපල් බොරුවකි. එහෙත් එම බොරුව ප්‍රයෝජනවත්ය, විශ්වාසදායකය. එම ප්‍රයෝජනවත් බව නිසානෙ විවිධාකාරයේ පහසුකම් මෙවලම් අප අද භාවිතා කරන්නේ. තවද, එම බොරුව ජීවිත පහසු කරනවා. තවද, එම බොරුව යම් කොන්දේසි යටතේ සිදු කරන විට එකම ප්‍රතිපලය නැවත නැවත ලැබෙනවා (ඇත්තටම ප්‍රයෝජනවත් බව හා විශ්වාසදායි බව විද්‍යාවට ලැබී තිබෙන්නේද එම හේතුව නිසාය). එනිසා විද්‍යාව වාස්තවිකත්වයට සාපේක්ෂව පට්ටපල් බොරු වුවත්, එය මානවයා විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ඨ දැනුම් පද්ධතියකි. එනිසා විද්‍යාව යොදා ගෙන ආගමක් හෝ දර්ශනයක සත්‍යාසත්‍ය බව සෙවීම බොරු වැඩකි. අවශ්‍ය නම් දැනුම් පද්ධති අතර සැසඳීමක් කළ හැකියි.

මේ සියල්ල සිතා බලන විට, මා මේ කියන්නේ පරම සත්‍ය නොවේ. සත්‍ය හෝ අසත්‍ය කුමක්ද යන්න මට කිසිදු වැටහීමක් නැත. එහෙත් මා නොදැනුවත්ව උපතක් ලබා ඇත. මා නොදන්නා හේතුඵල සම්බන්දයක් නිසා මගේ මනසට විවිධ මනස්ගාත පැමිණේ. අනුන්ගේ මනස්ගාතද කියවයි. එය කළ විට මට සතුටක් දැනේ. තව දේවල්වලින්ද මට සතුටක් ලැබේ. බොහෝ දේවලින් මට අසතුටද ලැබේ. දවසක මා මැරී යාවි. එහෙත් උපත, මම, මනස, සතුට, අසතුට, මරණය යනු කුමක්දැයිද මා දන්නේ නැත. උපතේ සිට මරණය දක්වා ක්‍රියාකාරිත්වයක මා සිර වී සිටින බව දනිමි. කිසිවක් මා නිශ්චිතව දන්නේ නැත. නිශ්චිතව දන්නේ යැයි කියනා එකෙකු මට හමු වීද නැත. අවසානයේ මොන දර්ශනයේත් එක් පිටුවක් හැමවිටම මට නොතේරේ. එය පැහැදිලි කර දිය හැකි එකෙකුද මෙතෙක් මට හමු වී නැත.

එම තනි පිටුව සමහරෙකු විශ්වාස කරයි. එහෙත් එය අවබෝධ වී නොමැත. එවිට එම සමස්ථ දර්ශනයම ඔහුට සත්‍යයි. එම දර්ශනය තුල පෙන්වා දෙන ආකාරයේ පරම සත්‍යයක් ඔහු සතු කර ගනී. සමහරෙකු එම දර්ශනය විශ්වාස නොකර වෙනත් දර්ශනයක් විශ්වාස කර තවත් ආකාරයක පරම සත්‍යයක් ඔහුට ඇත. මෙලෙස දෙපරිසක් විතරක් ගත්තත්, මේ දෙකම පරම සත්‍ය විය නොහැකි නිසා අනිවාර්යෙන්ම කෙනෙකු වැරදි විය යුතුය. එසේත් නැතිනම්, ඒ දෙකම සත්‍ය යැයි පෙන්වා දිය හැකි ජගතෙකු පහල විය යුතුය. දර්ශන දෙකක් නොව සිය දහස් ගණනම සත්‍ය හෝ අසත්‍ය ලෙස පිළිනොගෙන සිටීම අවම වශයෙන් සාධාරණය. ඔහුද පරම සත්‍ය දත්තේ නොවේ. එහෙත් ඔහු සාධාරණය.

අවසානයේදී තමන් යමක් පිළිගන්නේද පිළිනොගන්නේද පිළිගන්නේ හෝ නොගෙන සිටින්නේද යන්න තමන්ගේ අධ්‍යාත්මය පිළිබඳ ප්‍රකාශයකි. එම අධ්‍යාත්මය අඩුම වශයෙන් රෝගී නොකර තබා ගතහොත් පිස්සෙකු, ත්‍රස්තවාදියෙකු නොවී ලෝකය තුල සතුටින් සමාදානයෙන් සිටිය හැකිය. නොදැන උපත ලබා නොදැන මැරී යන තෙක්ම, සම්මුතික ලොව තුල සතුටින් තමුන්ටත් අනුන්ටත් ඵලදායි ලෙස සිටිය හැකි දේවල් සිදු කරමින් සිටීම හැර ජීවත් විය යුතු වෙනත් ක්‍රමයක් තිබේද?

තමන්ගේ ජීවිතය පහසු කරන හෝ තමන්ගේ සතුට තිර කරන දේවල් වෙනෙකෙකු විසින් සොරා ගත් විට ඔබට අසතුටක් අසහනයක් දැනෙන නිසා තමන්ද සොරකමින් වැලකී සිටීම වටිනවා නේද? එසේ නැතිව සොරකමට දෙවියන් දඬුවම් කරාවි හෝ කර්මයෙන් විපාක ලැබේවි යනුවෙන් තමන් හරිහැටි නොදන්නා මනස්ගාත මතයක් නිසා වැලකී සිටිය යුතුද? සතුනට හිංසා කිරීම, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, අනාචාරයේ හැසිරීම වැනි අනෙක් දේවල් ගැනද එසේ සිතිය හැකියි නේද? එනම් වැරදි යනු මොනවාදැයි ආගමකින් තොරව අපට නිශ්චය කළ හැකිය. එලෙසම, තමන්ට කරදර අවස්ථාවක කවුරුන් හෝ උදව් කිරීම කොතරම් සහනයක්ද? එසේ හෙයින් අප එකිනෙකාට උදව් කිරීම කොතරම් හොඳද? එය පසුව පල දී දෙව්ලොව ඉපදීමට පිනක් ලෙස හෝ දෙවියන් සතුටු කිරීමක් ලෙස සලකා කිරීමට වඩා හොඳ තර්කානුකූල ආකල්පයක් නොවේද? එනම් හොඳ දේ මොනවාදැයි යන්නත් ආගමින් තොරව නිර්ණය කළ හැකියි.

අධ්‍යාත්මය යනු ඒ කියන්නේ අනාගමිකවත් පැවතිය හැකි හොඳ නරක තේරුම් ගෙන කටයුතු කිරීමට හැකි දෙයකි. අනාගමිකයකු පව් කාරයකු නොවේ. පංසල් යන එවුන් කොතරම් පව් කරත්ද? එලෙසම අනාගමිකයන්ගෙන් සමහරෙකු එසේ ජඩ වැඩ කළ හැකියි. ඒ ඔහු අනාගමික වීම නිසා නොව, හොඳ අධ්‍යාත්මයක් නොතිබීම නිසා සිදු වීමකි. අනාගමික පරිසරයකදී ආගමිකයන්ටද හොඳින් ආරක්ෂිතව සිටිය හැකිය. භාවනාව කළ හැකිය (මා දන්නේ නැහැ භාවනාව ආගමක දේපලක් වන්නේ කෙසේද කියා). නපුරට එරෙහිව දණ්ඩනය මැනවින් ක්‍රියාත්මක කළ හැකිය. අනිවාර්යෙන්ම දැනට වඩා හොඳ ලෝකයක් ඇති වනු ඇත.

4 comments:

  1. Tek Matrix film series eka baluwda?mta anik ewa wdak na..palaweni film eke Neo yatartaya hoyagannakan tika gana mokada htnne? Aulakata gannepa.mta me topic ekata enter wenna ona.mulinma mge punchi sandiye oluwata wadune anna etanai yatartaya kyana sankalpaya.

    ReplyDelete
    Replies
    1. mekai... mata yatharthaya kiyala deyak therenne na... danneth na... aduma gaane mona wageda kiyala hitha gannawath ba... man dannawa praayogika sathya tharamak... vivida nirmanasili aya yatharthaya mebadu yai adahas pala karala thiyenawa... matrix ekath ehemane... amaradevayange "paawena nil walaawe" sinduwa wage mata eka bohoma rasawath penuna... eheth eka yathaarthaya wenne kohomada kiyala mata danila na... man yatharthaya gena hoyanneth na... boru wedak...

      Delete
    2. Eka tamai kyanne apita eka danaganna puluwannam api manasikawa diyunu wennepei.rahat unai kyala kenek kyaddi rahat bawa atdakala nati katwt eka ema newei kyanna bariwa wge yatartaya htaganna ba..mn matrix gana qwe කුඩාකළ mge mole aul unu siddiyak handa e.. eka nikan kalaya haraha gihin me dn wechcha de wenas karama kauruhari dn wechcha de atwidapu ayata moke wenne wge...

      Delete
    3. upathe sita anda kenekta warnayak pahadili karala denne kohomada? eka awabodaye ho moley kriyakarithwayen obbata gihipu deyak kiyalai man hithanne... siyalla manasey nirmaana... ithin meka neme, araka; na araka neme meka kiyala mona mona de aluthen hadunwa dunnath man hithanne na thathwaya wenas wei kiyala... oka hithala iwara karanna puluwanda kiyalath mata sakai...

      haha... dakkane dan oyage prasneta uttharaya diya hakke kaatada? eka ekkenata vivida utthara diya haki wewi... kaalaya haraha atheethayata gihin wenaskam karana kota sidu wiya vibawathaa ananthayak thiyenawa... mekai... e gena aasai nam hithanna... hithala nawathinne nathiwa haki nam vidya prabandayakuth karanna... :)

      Delete