Monday, May 15, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 104

අකුණු හා ඉන් ආරක්ෂාවීම

ඇන්ටනාව අකුණුවලින් ආරක්ෂා කළ යුතුය. ඇන්ටනාව පමණක් ‍නොව සජීවී අජීවි සෑම දෙයක්ම අකුණුවලින් ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්ය. මෙනිසා පොදුවේ අකුණු (lighning) හා ඒ ආශ්‍රිත තත්වයන් ගැන මෙහිදී අප සලකා බලනවා එහි ඇති වැදගත්කම නිසාම. එවිට ඉන් ආරක්ෂා වන්නේ කෙසේදැයි විද්‍යාත්මකවම ඔබට වැටහෙනු ඇති. අකුණු ඇති වන්නේ කෙසේදැයි අදටත් විද්‍යාව නිශ්චිතව දන්නේ නැත (සමහරවිට ඔබට එය විශ්වාස කරන්නටත් බැරිව ඇති; එහෙත් සත්‍ය එයයි). එනිසා සුලු සුලු වෙනස්කම් විවිධ පතපොතෙහි තිබේවි අකුණු ඇති වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමේදි.


අකුණු ඇති වන්නේ අහසේ තිබෙන එක්තරා වලාකුලු වර්ග නිසාය (වලාකුලු වර්ග කිහිපයක් තිබේ). එහෙත් ඔබට අහසේ විවිධ වලාකුලු වර්ග ගැන පරීක්ෂා කර කර ඉන්නට අවශ්‍ය නැහැ. අහස කලු පාට නම්, හෝ වලාකුලු බොහෝ තිබේ නම්, හෝ ඈතින් හෝ ගොරවන ශබ්දයක් යාන්තමින් හෝ ඇසේ නම් බොහෝවිට ඔබට අකුණුවලින් අනතුරක් සිදු වීමේ සම්භාවිතාවක් තිබේ.

ඊට අමතරව අප කාටත් දැනුමක් තිබෙනවා වසරේ යම් යම් කාලවල (අප්‍රේල්) වැඩිපුර අකුණු ගසන බවට. එම කාලවලදී වැඩිපුර පරික්ෂාකාරි විය හැකියි. ඊටත් අමතරව, කාලගුණ දෙපාර්තමේන්තුව විසින්ද අකුණු අනතුරු ගැන දැනුම් දෙනවා. ඇත්තටම කාලගුණ අනාවැකිය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය (ලංකාවේ ශත පහකට එය ගණන් ගන්නේ නැති තත්වයක් තිබීම කනගාටුදායකය).

වලාකුලු යනු පොලොවෙන් (විශේෂයෙන් මුහුදෙන්) වාෂ්ප වූ ජල අංශු ක්‍රමයෙන් ඉහලට නැඟ ඒවා සිසිල් වීම නිසා (පරිවර්තී ගෝලය තුල ඉහලට යන විට සිසිල් වන බව මීට පෙර අප ඉගෙන ගත්තා) ඝන ජල අංශු පටල ඇති වීමකි. වලාකුලු තුල හා අතරේ නිරන්තරයෙන්ම යට සිට ඉහලටත් (updrafts) ඉහල සිට යටටත් (downdrafts) වලා පටල කැරකෙමින් තිබෙන ස්වභාවයක් තිබෙනවා. මෙලෙස ඉහල පහල කැරකෙන සුළං අඩි 35,000ත් 70,000ත් අතර උසක් තුල (එනම් වලාකුලේ යට සීමාව හා එහි උඩ සීමාව අතර දුර එතරම් අඩි ගණනකි) සිදු වෙනවා.

එසේ ගමන් කරන විට වලාකුලු වලාකුලු අතරේ ඇතිල්ලීම නිසා වලාකුලුවල ස්ථිතික ආරෝපණ/විදුලිය (static electiricity) ඇති වේ. ස්ථිතික ආරෝපණ යනු පහසුවෙන් ගමන් කළ නොහැකි ආරෝපණ/ඉලෙක්ට්‍රෝන වේ. ආරෝපණවලට එහා මෙහා ගමන් කිරීමට සන්නායක මාධ්‍යයක් අවශ්‍ය වන අතර, වලාකුලු යනු පරිවාරකයකි. එනිසා ආරෝපණ එක තැනම/ස්ථිතිකව පවතී. සමහර පෑන් බට හිසකෙස්වල අතුල්ලා ඉන් කුඩා කොල කැබැලි ආකර්ෂනය කර ගන්නෙත් පෑන් බටය හිසකෙස් සමඟ ඇතිල්ලීමෙන් ස්ථිතික ආරෝපණ හට ගත් නිසාය. සෑම ද්‍රව්‍යයක්ම ඇතිල්ලීමෙන් ස්ථිතික ආරෝපණ හට නොගනී. ඇතිල්ලීමෙන් පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ගලවා දැමිය හැකි ද්‍රව්‍යවලයි එය සිදු වන්නේ. බොහෝවිට වලාකුලුවල පොලොව පැත්තට වන්නට තිබෙන කොටස්වල ඍණ ආරෝපණ එක් රැස් වේ. වලාකුලු වර්ගකිලෝමීටර් ගණන් විශාල නිසා, මෙම ආරෝපණ ප්‍රමාණය අතිදැවැන්තය.

දැන් වලාකුලුවල පොලොව පැත්තට වන්නට ඍන ආරෝපණ පවතින නිසා, එම වලාකුලුවලට යටින් ඇති පොලොව මතුපිට ධන ආරෝපණ එක්රැස් වේ. පොලොව යනු සෑහෙන්න හොඳ සන්නායකයකි (එනම් නිදහසේ ගමන් කළ හැකි ඉලෙක්ට්‍රෝන පොලොවේ තිබේ). වලාකුලුවල ඍණ ආරෝපණවල බලපෑමෙන් ඊට ආසන්න පොලොව මතුපිටින් ඉලෙක්ට්‍රෝන පොලොව තුලට විකර්ෂනය කර දමනවා. එවිට පොලොව මත ධන ස්වභාවයක් ඉතිරි වෙනවා. මෙය ධ්‍රැවීකරණය – polarization ලෙස හැඳින් වේ. සමහර පතපොතෙහි වලාකුලුවල යට පැත්තේ ඍන ආරෝපණත් පොලොව මත ධන ආරෝපණත් ඇති වන බව පවසනවා.


කෙසේ වෙතත් වලාකුලුවල ඉහලින් ඇති ධන ආරෝපිත ප්‍රදේශයේ සිටද පොලොවට අකුණු ගැසිය හැකිය. දළ වශයෙන් 20%ක් පමණ අකුණු ගසන්නේ එලෙසයි (ඉතිරි 80% දී ඉහත රූපයේ ආකාරයට පිහිටයි). මෙම අකුණු ඉතා භයානකය.

ඉහත රූපයේ ආකාරයට ආරෝපන පිහිටි විට දැන් පොලොව හා වලාකුලු හරියට යෝධ කැපෑසිටරයක් වාගෙයි. ඉහලින් ඍනද යටින් ධනද ඒ මැද කිලෝමීටර් ගණනාවක ඝනකමක් සහිත උදාසීන පරිවාරක වාත තට්ටුවක්ද ඇත. මෙම පරිවාරක වාත තට්ටුව දෙපස දැවැන්ත විදුලි ක්ෂේත්‍රයක් දැන් පිහිටනවා. ධන හා ඍණ ආරෝපණ වෙන් වෙන්ව පවතින විට නිතැතින්ම ධන පැත්තේ සිට ඍණ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් හට ගන්නවා.

ඉතිං, ඕනෑම පරිවාරකයක් පරිවාරයක ගුණය පවත්වාගෙන යා හැකි උපරිම විදුලි ක්ෂේත්‍රයක් ඇත. ඊට වඩා ක්ෂේත්‍රය ප්‍රබල වූ විට පරිවාරක ගුණ අහෝසි වී ක්ෂණයකින් සන්නායකයක් බවට පත් වේ (electrical/dielectric breakdown). එය පරිවාරකයේ dielectric strength (හෝ breakdown voltage) ලෙස හැඳින්වේ (මීටරයට වෝල්ට් යන ඒකකයෙන් මැනේ). සාමාන්‍ය වාතයේ එම අගය 3,000,000Vm-1 වේ. ඒ කියන්නේ මීටරයක් ඝනකම් වාත ස්ථරයක් දෙපස ධන හා ඍන විදුලි ආරෝපණ ඇති විට, එම ආරෝපණ නිසා හටගන්නා විදුලි ක්ෂේත්‍රයේ ප්‍රබලතාව එම අගයට ටිකක් හරි වැඩි වන විට, වාතයේ පරිවාරක ගුණය අහෝසි වී එකවර සන්නායකයක් බවට පත් වේ.

සම්මතයක් වශයෙන් මීටරයට වෝල්ට්වලින් ඩයිඉලෙක්ට්‍රික් ස්ට්‍රෙන්ත් එක මැන්නත්, ප්‍රායෝගිකව ඕනෑම ඝනකමක් සඳහා එය ගණනය කළ හැකියි. උදාහරණයක් ලෙස, සෙන්ටිමීටර් 1(මීටර් 0.01) වාත ඝනකමක එම අගය3,000,000/100 = 30,000V/cm වේ.

ඇත්තටම සමහර අවස්ථාවලදී ස්විච හා එක ළඟින් පිහිටි කරන්ට් වයර් අතර ගිනි පුළිඟු (spark) ඇති වන්නේද ස්විචයේ හෝ වයර් අග්‍ර දෙක අතර පවතින හිඩැසට ඔරොත්තු නොදෙන වෝල්ටියතා අගයක් තිබීමෙනි. උදාහරණයක් ලෙස, ස්විචය ඕෆ් කර තිබෙන විටක එම අග්‍ර දෙක අතර වාත හිඩැස මිලිමීටර් 5ක් නම්, එම අග්‍ර දෙක අතර උපරිමව වෝල්ට් 15,000ක් පැවතිය හැකිය. එම අගයට වැඩි වෝල්ටියතාවක් අග්‍ර දෙක අතර තිබුණොත්, විදුලිය ස්පාක් වේවි අග්‍ර දෙක අතරින්. ස්පාක් වීමේදී ගිනු පුපුරක් ලෙස පෙනෙන්නේ විදුලි ශක්තිය ගමන් කිරීමේදී වාතය ක්ෂණයෙන් උත්තේජනය (excite) වීම නිසාය (එනම්, වාතයේ පරමාණුවල ඉලෙක්ට්‍රෝන විසින් ශක්තිය උරාගෙන නැවත එම ශක්තිය පිට කිරීම).

අකුණු ගසනවා යනුද ස්පාක් වීමකි. පොලොවේ හා වලාකුලු අතර ඇති වන විද්‍යුත් ක්ෂේත්‍රය යම් අගයකට වඩා වැඩි වන විට ස්පාක් වීමක් හට ගනී. ස්පාක් වීමේදී හට ගන්නා ගිනි පුළිඟුව තමයි අකුණු ගසන විට අපට ඉතා ත්‍රීව්‍ර ආලෝකයක් සේ පෙනෙන්නේ. එහෙත් සාමාන්‍ය වයර් දෙකක් අතර ඇති වන ස්පාක් එකකට වඩා තරමක වෙනස්කම්ද එහි ඇත (සෛද්ධාන්තිකව සමාන වුවත්); එම සියුම් කාරණා අපේ මෙම පාඩමට අවශ්‍ය නැත.

ස්පාක් වූ විට, වාතය ඉතා ඉක්මනින් අතිවිශාල උෂ්ණත්වයකට රත් වේ. අකුණු සැරක රත්වීම අපේ සූර්යාගේ මතුපිට උෂ්ණත්වය මෙන් 5 ගුණයක් පමණ අතිදැවැන්ත වේ. ඒ එක්කම ක්ෂණයෙන් වාතය ප්‍රසාරණය වී අවපීඩන කලාපයක් ඇති කරයි. එම අවපීඩන කලාපයට අවට වාතය එකවර ගමන් කරයි. මෙලෙස වටේම වාතය එක තැනකට ක්ෂණයෙන් ගමන් කිරීම නිසා වාත අංශු එකිනෙකට වේගයෙන් ගැටේ. මෙය විශාල ශබ්දයක් ඇති කරයි (හරියට වාහන දෙකක් වේගයෙන් එකිනෙකට හැප්පෙන විට දඩාං ගා විශාල ශබ්දයක් ඇති වන්නා සේ). ගොරවනවා (thunder) කියා හඳුන්වන්නේ එයයි.

අකුණු ගැසීම හා ගෙරවීම දළ වශයෙන් එකම වෙලාවකදී සිදු වේ. එහෙත් අකුණත් සමඟ ඇති වන ආලෝකය ආලෝකයේ වේගයෙන් (තත්පරයට මීටර් 300,000,000) ගමන් කරන අතර, ගොරවන හඬ ශබ්ද තරංගයක් නිසා දළ වශයෙන් වාතයේ ශබ්දය ගමන් කරන වේගය වන තත්පරයට මීටර් 330ක පමණ වේගයෙන් ගමන් කරයි. එනිසයි අකුණක් ගසන විට, පළමුව ආලෝකය පෙනී පසුව හඬ ඇසෙන්නේ. මෙම ලක්ෂණය අප ප්‍රයෝජනයට ගන්නවා දළ වශයෙන් අකුණක් ඇති වූයේ ඔබ සිටින තැන සිට කොතරම් දුරකින්ද කියා සොයා ගැනීමටත් (මෙම ක්‍රමය flash-to-bang (fb) method කියා හඳුන්වනවා). අකුණක එලිය දැක්ක ගමන් තත්පර ගණන ගනන් කරන්න ගෙරවිල්ල ඇසෙන තෙක්. එම තත්පර ගණන 3න් බෙදූ විට ලැබෙන්නේ අකුණ ඇති වූ තැනට දුර කිලෝමීටර්වලින් (3න් බෙදන්නේ දළ වශයෙන් ශබ්දයට කිලෝමීටරයක් ගමන් කිරීමට තත්පර 3ක් ගත වන නිසාය).

අකුණු සැරෙන් මෙන්ම ගෙරවීමෙන් යන දෙවිධියෙන්ම අපට හානි ගෙන ආ හැකිය. එහෙත් ගෙරවීමට වඩා අකුණු සැරෙන් තමයි හානිය ඉතා වැඩියෙන් සිදු කරන්නේ. ඔබ ආසන්නයේ අකුණු ගැසීමක් වූ විට, එම දැඩි ශබ්දය නිසා ඔබව කම්පනයකට පත් විය හැකිය. කනට ආබාද ඇති කළ හැකිය (මා පෞද්ගලිකවම ගෙරවීමෙන් ෂොක් වෙච්ච අය දැක ඇත).

ගෙරවීමේදී තිබෙන්නේ අඩුසංඛ්‍යාත (bass) ශබ්දයකි. එනිසා දොරවල් ජනේල වැනි දේවල් ගොරවන විට දෙදරනවා ඔබ දැක ඇති (ඊට හේතුව ගෙරවීමේදී ඇති වන යෝධ අඩුසංඛ්‍යාතයන්ට ආසන්නවයි එම භාණ්ඩවල අනුනාද සංඛ්‍යාත පිහිටා තිබෙන්නේ).

පෙට්‍රල් වාහනවල නම් අප spark plug එකක් භාවිතා කර ඉන්දන දහනය කිරීම සඳහා ස්පාක් වීම භාවිතා කරනවා. එවැනි හොඳ ප්‍රයෝජනවත් භාවිතාවන් ස්පාක් නම් සංසිද්ධියේ ඇතත් සාමාන්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික්ස්වලදී ස්පාක් වීම විශාල අනතුරුවලට අත වැනීමකි.

එලෙසම අකුනු ගැසීමෙත් වාසි මෙන්ම අවාසි තිබේ. වාසිය වන්නේ අකුනු ගැසීමේදී ඇති වන දැවැන්ත ශක්තිය නිසා වාතයේ ඇති නයිට්‍රජන් හා ඔක්සිජන් අයණීකරණයට ලක්වී එකිනෙකට ප්‍රතික්‍රියා කර නයිට්‍රජන්වල ඔක්සයිඩ සෑදීමයි. මෙම ඔක්සයිඩ වැසි ජලයේ දිය වූ විට නයිට්‍රික් ඇසිඩ් ඇති වී ඒවා පොලොවට පතිත වේ. එය ගස්කොලංවලට හොඳ පොහොරකි (ශාක හා සත්වයන්ට නයිට්‍රජන් අත්‍යවශ්‍ය පදාර්ථයකි; සත්වයන් නයිට්‍රජන් ලබා ගන්නේ ප්‍රෝටීන මඟින් වන අතර, ශාකවලට නයිට්‍රජන් ලැබෙන එක් ක්‍රමයකි දැන් මා පෙන්වා දුන්නේ).

ඇත්තටම ඉහත විස්තර කළේ අහසේ සිට පොලොවට ඇති වන අකුණු (cloud-to-ground lighning) වේ. අපට වැදගත් වන්නේද අපට හානි ගෙන එන්නේද එම අකුණුවලිනි. දල වශයෙන් එවැනි අකුණු 100ක් පමණ එක තත්පරයක් තුල ලෝකයේ විවිධ ස්ථානවල ඇති වේ. ලෝකයේ වැඩියෙන්ම අකුණු ඇති වන්නේ මධ්‍යම අප්‍රිකාවට (කොන්ගෝ රටට) බව සංඛ්‍යා දත්ත පෙන්වාදේ. සාමාන්‍යයෙන් සමකාසන්න වන්නට වන්නට අකුණු වදිනවා වැඩිය.

එහෙත් ලෝකයේ ඇතිවන සමස්ථ අකුණුවලින් 25% ටත් අඩුයි පොලවට ගසන අකුණු. ඉතිරි විශාල ප්‍රතිශතයක අකුණු වන්නේ වලාකුලු-වලාකුලු අතරේ ඇති වන අකුණුයි (cloud-to-cloud lightning). මෙම අන්තර්වලාකුලු අකුණු ඇති වන්නෙත් පෙර විස්තර කළ පරිදිම ස්පාක් වීමෙන්ය. මෙහිදී ස්පාක් වීම ඇති වන්නේ වලාකුලේ ඉහල හා පහල සීමාවල රැඳෙන ධන හා ඍන ආරෝපණ ස්ථර අතරයි.

පොලොව හා වලාකුල අතර දුර ප්‍රමාණය අඩු වන්නට වන්නට අකුණක් එතැන වැදීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඊට හේතුව සරලයි. වාත ස්ථරයේ ඝනකම අඩු වන විට ස්පාක් වීමට තිබෙන පහසුව වැඩි වෙනවා. ඒ නිසා උස ස්ථානවලට අකුණු ගැසීමේ සම්භාවිතාව වැඩිය.


ඊට අමතරව, පොලොව මත තිබෙන සමහර වස්තුන්ගෙන් ආරෝපණය වායුගෝලයට මුදා හැරෙනවා. එම වස්තුන් සන්නායක නම් වැඩිපුර එය සිදු වෙනවා. එවිට එම වස්තුව උඩ හා අවට වාතයේ සන්නායකතාව වැඩි වී අකුණ ගැසීම තවත් පහසු කළ හැකියි. විශේෂයෙන් උල් සහිත වස්තුන්ගෙන් මෙලෙස “ආරෝපණ පොකුරු” පිට විය හැකිය. එය සිදු වන්නේ මෙසේය.

පොලොව ධන ආරෝපිතය. එනිසා ඊට සම්බන්ද සියල්ලත් ධන ආරෝපිත වන්නට උත්සහ දරනවා මොකද ධන ආරෝපිත පොලොව විසින් එම ද්‍රව්‍යවලින් ඉලෙක්ට්‍රෝන උදුරා ගන්නා බැවින්. එබැවින් පොලොව මත තිබෙන සියලු සන්නායකද ධන ආරෝපිත වෙනවා. යම් ආරෝපිත සන්නායකයක් උල් (ඉඳිකටු වගේ) හෝ තියුණු දාර (බ්ලේඩ් තල වගේ) සහිත විට එම ස්ථානවල අධික විභව ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාවක් ඇති වේ. ඊට හසුවන අවට වාත අංශු අයණීකරණයට ලක් වේ. එම අයණීකරණයෙන් ඇති වන ඉලෙක්ට්‍රෝන එම උල් විසින් ආකර්ෂනය කර ගෙන ඒවාද පොලොව භූගත කෙරේ. එලෙස ඉතිරිවන ධන ආරෝපිත අංශු ගැන තමයි ඉහත කතා කළේ. අකුණු අනතුරුවලින් බේරීමට භාවිතා කරන අකුනු සන්නායකවල උල් 3ක් තිබෙන්නේද මේ නිසාය.

සන්නායක/ලෝහමය කූඩුවක් තුලට අකුණු සැරක් ගමන් නොකරයි. එනිසා ලෝහ බැරලයක් (හැම පැත්තෙන්ම වැසුණු) එලිමහනයක තිබුණත් අකුණු සැර ඒ තුලට නොවදියි. ඒ නිසා අකුණු ගසන පරිසරයක ගමන් කරන ගුවන් යානයකට අකුණු සැර නොවදියි (එහෙත් ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික් පරිපථවලට හානි ඇති විය හැකියි). පොලොව මතදී ලෝහමය ආවරණය සහිත වාහන තුලට අකුණු සැර නොවදින්නෙත් මේ නිසාය. ලෝහමය ආවරණය 100%ක්ම ආවරණය වී පැවතීම අවශ්‍ය නැති වුවත් ඉතා හොඳින් ආවරණය වී පවතින තරමට ආරක්ෂාව වැඩිය.

මේ අනුව දැන් අපට අකුණු අනතුරු වලක්වාගත හැක්කේ කෙසේද යන්න ගැන සොයා බැලිය හැකිය. තවද මිථ්‍යා මත කිහිපයක්ද ඛණ්ඩනය කරමු. අකුණු අනතුරු වලක්වා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

1. අකුණු ගසන විට, උස් ස්ථානවල විවෘතව නොසිටින්න. වලාකුලට එවිට පහසුවෙන්ම ළඟා විය හැකි ස්ථානය වන්නේ ඔබේ හිසයි. ඉතිං අවශ්‍ය ප්‍රමාණයට ආරෝපණ වලාකුලේ තිබේ නම් බොහෝවිට ඔබට අකුණ සැර වදීවි. මෙනිසා පිට්ටනිවල, කුඹුරුවල, ජලාශවල වැඩක් කරමින් හෝ නිකං හෝ නොසිටින්න. ඔබ අතේ ලෝහමය දේවල් තිබුණත් නැතත් අකුණට වැඩක් නැත. එලෙසම වහලයක් මත, ගසක් මත, කඳු මුදුනක/ගැට්ටක ආදි උස් තැනක නොසිටින්න.

මෙවිට උස ගොඩනැඟිලිද අකුණු අනතුරු සහිතද? ඔව්. එසේ වුවත්, එවැනි තට්ටු ගණනාවක ගොඩනැඟිලිවල අකුණු සන්නායක සවි කර තිබේ (සවි කළ යුතුය). එනිසා අකුණු අනතුරු අවම වේ. ඊටත් අමතරව තට්ටු ගොඩනැඟිලිවල කොන්ක්‍රිට් ආදිය සඳහා යකඩ කූරු භාවිතා කර ඇත (විශේෂයෙන් ස්ලැබ් එකේ). වයරිං කරන විට බිත්ති දිගේ තඹ කම්බි හැම පැත්තෙන්ම ඇත. එනිසා ගොඩනැඟිල්ල එක්තරා විදියක ලෝහ කූඩුවකි. එනිසාද ගොඩනැඟිල්ල තුල ආරක්ෂාව වැඩි වේ.

ආරක්ෂිතව ගොඩනැඟිල්ලක් හෝ වාහනයක් තුල සිටියත්, ගොඩනැඟිල්ලේ හෝ වාහනයේ පිටතින් සවි කර තිබෙන ඇන්ටනා, කරන්ට් ලයින්, ටෙලිෆෝන් ලයින් ආදිය ඔස්සේ අකුණු සැර ඇතුලට ආ හැකිය. එනිසා ඒවායෙන්ද පරිස්සම් විය යුතුය.

ඇත්තෙන්ම අකුණු ගසන විට තමන්ගේ වත්තේ වුවද නොසිටින්න. උස තැනක් නොවූවත් අකුණු සැර වැදීමේ හැකියාවක් තිබෙනවා විවෘත ස්ථානයකදී. ඉතා තදින් අකුණු ගසයි නම්, නිවසේ තුල වුවද ඇවිදමින් හෝ වැඩ කරමින් නොසිට කාමරයක ඇඳට වී හෝ සාලයේ පුටුවක වාඩි වී සිටීම ඉතා හොඳම ආරක්ෂිත ක්‍රමයයි (ඇඳේ සිට පොතක් පතක් කියවන්න). ජනෙල් දොරවල් ආසන්නයේ නොසිටින්න. ඒවා වසා දැමීම වඩාත් යෝග්‍ය වේ.

තමන් සපත්තු සෙරප්පු දාගෙන සිටින නිසා අකුණු වදින්නේ නැහැයි සිතීමද මිථ්‍යාවකි. කිසිවක් නොදා සිටිනවාට වඩා එවැන්නක් පැළැඳ සිටීම ආරක්ෂිතය. ඒවා තෙත් නොවිය යුතුය.

සාමාන්‍ය පොලොව මත තරමක් ඈතින් අඩිය තියා ඇවිදින විටත් අකුණු සැරක් (විදුලියක්) ශරීරය හරහා ගමන් කළ හැකිය. පියවර අකුණු ලෙස එය හැඳින්වේ. ඊට හේතුව, අකුණක් ඔබ සිටින තැනට ආසන්නයෙන් භූගත වූ විට, සමහරවිට එහි විදුලි ධාරාව පොලොව මතු පිටින් ගමන් කළද හැකිය. එලෙස විදුලිය පොලොව මතු පිටින් ගමන් කරන විට, එය ඔබේ එක් පාදයකින් ශරීරයට ඇතුලුව අනෙක් පාදයෙන් නැවත පොලොවට ගොස් පරිපථය සම්පූර්ණ වේ. ඇත්තටම වැඩිම අකුණු අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේ මේ ක්‍රමයෙනි.


ඉහත රූපයේ A පුද්ගලයාට අනතුරක් නැත මොකද ඔහුගේ පාද දෙක එක තැනම තබාගෙන සිටින නිසා. එහෙත් B පුද්ගලායට අනතුර තිබෙනවා ඔහුගේ පාද ඈතින් තබා සිටින නිසා. මිනිසාට තමන්ගේ කකුල් අවශ්‍ය තැන තබා ගැනීමෙන් මෙම අනතුරින් ගැලවිය හැකි වුවත්, හරක් වැනි සතුන් ඉබේම මෙම අනතුරට මුහුන දෙනවා.

දුරකතන ටවර් නිසා ඒ අවට පෙදෙස්වලට අකුණු ගැසීමේ වැඩි හැකියාවක් තිබේ යැයි මතයක් සමහරුන් තුල තිබේ. නිසි ප්‍රමිතියට ටවරය සාදා නඩත්තු කරනවා නම්, ඇත්තෙන්ම එහි කිසිදු සත්‍යතාවක් නොමැත; එවිතරක්ද නොව, ඉන් අවට පෙදෙස්වලට වැඩි ආරක්ෂාවක් සැපයේ (අකුණුවලින්). ටවරය උස නිසා අකුණු ඊට වැදීමේ සම්භාවිතාව වැඩිය. මෙය අකුණු “ඇද ගැනීමක්” ලෙස සැලකුවාට වරදක් නැත. ඉතිං, එලෙස ඇද ගන්නා අකුණු හොඳින් පොලොවට යැවේ. එය අර්ත් කරන විට පොලොවේ ගැඹුරින් සවි කිරීමෙන් පොලොව මතු පිටින් හරහාට අකුණ ගමන් කිරීමේ හැකියාව අඩු කළ හැකියි.

එහෙත් ටවර් නිසා විකිරණ අවදානම ඇති විය හැකිය. ඉන් ශබ්ද දූෂනයද ඇති විය හැකිය. එනම් ටවරය අවට බිම සවි කරන උපකරණවලින් කනට පීඩාකාරී හා නවීන පර්යේෂන අනුව සෞඛ්‍යයටද හානිදායක අවසංඛ්‍යාත (බේස් ශබ්ද) ශබ්ද ඝෝෂාවක් නිකුත් වේ. තවද, ඉන් පරිසර සෞන්දර්ය අවලස්සන කරයි (ලංකාවේදී අවාසනාවකට මෙන් මෙම පැතිකඩ සලකා බලන්නේම නැත අවසර ගැනීමේදී පුරවන ෆෝම්වල මේ ගැන සොයා බැලුවත්).

2. විශාල ගසක් යට නොසිටින්න. අකුණු සැරක් ඍජුව ඔබට නොවැදුණත්, වක්‍රාකාරව වැදිය හැකියි. මෙවිට ගසට ගසන අකුණු සැර ඔබටත් වැදේවි. යම් තැනකට එන අකුණකින් කොටස් අහල පහලටත් වද්දන හැකියාවක් අකුණුවලට ඇත (sideflash). බැරිවෙලාවත් එලිමහනක සිටින විට ගසක් යට සිටින්නට සිදු වේ නම් (වෙනත් ආරක්ෂිත ස්ථානයක් අහල පහල නැති විට), අහල පහල ගස් ගොඩක් මැද තිබෙන කොටම ගහ තෝරා ගන්න. හොඳම දේ අකුණු ගැසීම ඈතින් ඇසෙන/පෙනන අවස්ථාවේදීම අනතුරුදායක ස්ථානයෙන් බැහැර වීම ආරම්භ කිරීමයි (එක පාරටම දැඩිව අකුණු ගසන්නේ නැහැනෙ; එය ටිකෙන් ටික වර්ධනය වේ).

3. විදුලිය සමඟ වැඩ නොකරන්න. විදුලි රැහැන් එන්නේ පාරේ ඉහලින්ය. අප නිතර අත් දකින දෙයක්නෙ විදුලි රැහැන් ඔස්සේ අකුණු එන එක. මෙවිට ඔබට අධික විදුලි සැරක් වදින්නට ඉඩ තිබෙනවා (මා පෞද්ගලිකවම එම අත්දැකීම ලබා තිබෙනවා; මාගේ අතේ ඇඟිලි පුරුක් මිටියෙන් තැලුවා හා වේදනාවක් ඇති වූවා; ඊට වඩා දෙයක් වාසනාවට මෙන් සිදු වුණේ නැත).

ඇත්තටම හැකි තරම් සියලු විදුලි උපකරණ අකුණු ගසන විට ප්ල්ග් බේස්වලින්ම ගලවා දමන්න. නිකංම ස්විචයෙන් ඕෆ් කළාට මදිය. බිත්තියේ ස්විචයෙන් පමණක් ඕෆ් කර තිබ්බත් එම ස්විච් අග්‍ර දෙක අතර ඇත්තේ මිලිමීටර් ගණනක හිඩැසක් නිසා විදුලි රැහැන් ඔස්සේ එන අධිවෝල්ටියතාව නිසා ස්පාක් වී අධික විදුලියක් උපකරණයට ගොස් උපකරණය පිලිස්සී යාවී. ගෙදර ෆියුස් පෙට්ටියේ ෆියුස්වලින් හෝ උපකරණයේ ඇති ෆියුස්වලින් හෝ බේරාගත නොහැකි වේවි. මා හිතන්නේ අකුණු නිසා අඩුම ගානේ බල්බයක්වත් නොපිලිස්සුණු ගෙයක් නැතිව ඇති (මගේ පරිගනකය පවා වරක් පිච්චුණා).

ඔබ දැක ඇත්නම් විදුලි රැහැන් ඔස්සේ එන අකුනු සැරකින් නිවසේ විදුලි රැහැන් පද්ධතියට කළ හැකි හානිය, බියටත් පුදුමයටත් පත් වේවි. තඹ වයර් ප්ලාස්ටික් මෙන් උනු වී ගොස් විසි විය හැකිය. බිත්තියේ ස්විච්වල බොත්තම් ගැලවී යා හැකිය. ඒ හැරත් එම ශබ්දය නිසා ඇති වන තත්වය එහි සිටින අයව කම්පනයට පත් කරනවා.

4. අකුනු ගසන විට, රැහැන් දුරකතන භාවිතා නොකරන්න. එය මරුවාට අත වැනීමක් වැනිමය මොකද ටෙලිෆෝනය තබා ගන්නෙත් ඔලුව අසලනෙ. කරන්ට් ලයින් මෙන්ම දුරකතන ලයින්ද පාරේ ඉහලින් ගමන් කරන නිසා පහසුවෙන්ම ඒ ඔස්සේ අකුණු සැරක් පැමිණිය හැකිය.

දුරකතන ලයින් එකට නිවසේදී අර්ත් එකක් ටෙලිකොම් සමාගමෙන් සවි කරනවා (ටෙලිකොම් එවුන් නිකංම තඹ බටයක් පොලොවට ගසනවා කිසිදු මීටරයකින් එහි සඵලතාව ගැන සොයන්නේ නැතිව). එහි එක් අරමුණක් වන්නේ අකුණුවලින් ආරක්ෂා කිරීමයි.

එහෙත් අකුණු ගසන විට ෆෝන් එක නිතරම පිලිස්සී යනවා නම්, ඊට හේතුව මෙම අර්ත් එක ප්‍රමිතියට සවි නොකිරීමයි. ඒ කියන්නේ අකුණු ගසන විට එවැනි ෆෝන් එකක් ඔබ භාවිතා කරනවා නම් ඒ පමණටම ඔබත් අකුණු අවදානටම ලක් වෙනවා. එවැනි ප්‍රමිතියෙන් තොර ටෙලිෆෝනයක් තිබේ නම් (නිතරම අකුණුවලට පිච්චෙන), ටෙලිකොම් ආයතනයට දන්වා, ප්‍රමිතියට අර්ත් කූරු සවි කර ගන්න. සමහරවිට අර්ත් කූරු කිහිපයක් පොලොවට බැස්සීමට සිදු වේවි. මාගේ නිවසේ එලෙස සිදු කරගෙන තිබේ (එදා සිට අද වන තුරු අවුරුදු ගණනාව තුල කිසිදු දුරකතන දෝෂයක් ඇති නොවීය). එහෙත් කියපු ගමන් ටෙලිකොම් එකෙන් එය සිදු කරන්නේ නැත (ටෙලිකොම් එකේ බොහෝ නිලධාරින්ට කතා කර උන්ගේ අම්ම තාත්තාව පවා මතක් කර දුන් පසුයි මට නම් එය කර දුන්නේ).

එහෙත් මොබයිල් ෆෝන් අකුණු ගසන විට භාවිතා කිරීම අවදානම් සහගත නොවේ. රේඩියෝ තරංග භාවිතා කරන ෆෝන් එකට අකුණු වැදීමට විද්‍යාත්මක හේතුවක් නැත. රේඩියෝ සංඥා සමඟ අකුණු එන්නේ නැත; එය මිථ්‍යාවකි. එසේ එනවා නම් අපට පහසුවෙන්ම අකුණු නිෂ්ක්‍රිය කිරීමේ ක්‍රමයක් ලෙස එය යොදා ගෙන කර්මාන්තශාලා ආදිය ආරක්ෂා කර ගැනීමටත් හැකියාව තිබුණා.

ෆෝන් එක චාජ් වෙන්නට කරන්ට් ලයින් එකට ගසා තිබේ නම්, එවිටද මොබයිල් එක භාවිතා නොකරන්න. මෙවිට අකුණ කරන්ට් ලයින් එක දිගේ ෆෝන් එකට ආ හැකියිනෙ (අකුනු ගසනවා නම් චාජරය ගලවන්න). ඇත්තෙන්ම අකුණු නොගසන විටදි වුවද චාජ් කරන ගමන් කෝල් ගැනීම හෝ ඉන්ටර්නෙට් යෑම එතරම් සුදුසු නොවේ (ෆෝන් එක පුපුරපු අවස්ථා කිහිපයක්ම වාර්තා වී තිබේ). මිථ්‍යා මතයක් වුවත් කමක් නැහැ, අකුණු ගසන විට මොබයිල් ෆෝන් එකත් භාවිතා නොකර සිටිනවා නම් එහි ගැටලුවක් නැත (ආරක්ෂාවක් මිස).

5. නිවසේ ටීවී ආදියට සවි කර තිබෙන ඇන්ටනා වයරය ටීවී එකෙන් ගලවා පැත්තකින් තියන්න. තවද, ආධුනික ගුවන් ශිල්පය ගැන සැලකුවොත්, අකුණු ගසයි නම් ආධුනික ශිල්පී කිසිදු ක්‍රියාවලියක් සිදු නොකරන්න. ඇන්ටනා ගලවා දමන්න. ඇන්ටනා නැතිව කිසිදු ආධුනික ශිල්පී ක්‍රියාකාරකමක් කරන්නට බැහැනෙ.

6. අකුණකට දැනෙන විවිධ පරිසර දෙකක් හමුවන මායිමක නොසිටින්න. උදාහරණයක් ලෙස, මුහුද හා මුහුදු වෙරලක් ගත හැකිය. මුහුද (එක් පරිසරයක්) සමතලා වන අතර, වෙරල (අනෙක් පරිසරය) දිගේ උසට ගස් ආදිය තිබෙන නිසා වෙරල පෙදෙස අකුණට හොඳින් දැනේ. වැවක, ගඟක අයිනද එලෙසය. පිට්ටනියක මායිම, කුඹුරු යායක මායිම ආදී ලෙස ඔබටම එවැනි ස්ථාන ගැන දැන් සිතා ගත හැකියි.

7. විදේශීය ලිපිවල ජලය සහිත නානකාමර වැනි ස්ථානවලත්, ටැප්වලින් ජලයට ස්පර්ශ වෙමින් සිටින්නටත් එපා කියනවා. ඊට හේතුව එම වතුර බට ලෝහ වලින් සාදා තිබීමයි. එහෙත් ලංකාවේ සාමාන්‍යයෙන් pvc බට භාවිතා කරන නිසා, එම අනතුර නැත. එහෙත් ලෝහමය බට භාවිතා කරනවා නම්, ඒ කියපු අවස්ථාද මඟ හැරිය යුතුමය. ඒ හැරත් පිටත සිට ලෝහමය බට ඔස්සේ ජලය ගෙන එන පිහිනුම් තටාක තුලද අකුණු ගසන විට සිටීම භයානකය.

නොවැලැක්විය හැකි හේතු නිසා හෝ මෝඩකමට හෝ අකුනු සැර වැදිය හැකි පරිසරයක දැනටමත් සිටී නම්, කන් වහගෙන කකුල් දෙක ළං කර ගෙන, කුදු වී වාඩි වී සිටිය යුතුයි අකුණු ගැසීම අඩු වන තෙක්. පිරිසක් සිටී නම්, සියල්ලන්ම එකම තැන නොසිට එකිනෙකාට අඩි 10ක පමණ පරතර සහිතව කියපු ලෙසට පහත් වී සිටිය යුතුය.

තවද, අකුණක් කෙනෙකුට ඍජුව හෝ වක්‍රව වැදුනු විට එම අයට වහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. අවශ්‍ය නම් ප්‍රථමාධාරද දිය යුතුය; විශේෂයෙන් කෘත්‍රිම ස්වසනය දීමට සිදු වේවි. එහෙත් අපේ රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍රමයට “පිං” සිදු වන්නට අතිශය බහුතරය එතරම් වැදගත් දේවල් කිරීමට නොදනී (මාද ඇතුලුව). අකුණක් වැදුණු පසුව ඔවුන්ගේ ශරීර තුල විදුලියක් පවතින්නේ නැත. එනිසා ඔවුන්ව කිසිදු ප්‍රශ්නයක් නැතිව ඇල්ලිය හැකිය. සමහරුන් සිතා සිටින්නේ අර සාමාන්‍ය විදුලි සැරක් වැදීමකදී මෙන් දිගටම විදුලි සැර එතැන පවතිනවා කියාය. එය මිථ්‍යා මතයකි.

එහෙත් ඉහත විස්තර කළ ආකාරයේ අනාරක්ෂිත තැනක නම් එම අනතුර සිදු වූයේ, ඔබත් එතැන වැඩි වෙලාවක් නොරැඳ ඉක්මනින්ම අනතුරට පත් තැනැත්තන්ව ඉන් ඉවත් කර ගෙන ආරක්ෂිත ස්ථානයකට යෑම උචිතය (නැතිනම් තවත් අකුණක් ඔබටත් වැදිය හැකිය). එකම ස්ථානයකට දෙවරක් අකුණු නොවදී යනුවෙන් සමහරුන් පවසන දෙහි කිසිදු සත්‍යතාවක් නොමැත.

සමහර මීහරක් අකුණක තිබෙන හාස්කම් ගැනත් කතා කරනවා. හෙන රාජ තෛලය සෑදීමට අකුණකින් ලබා ගත් ගිනිසිලු අවශ්‍ය බව ඔවුන් කියනවා. තවත් සමහරෙකු අකුණත් සමඟ ගිනි ගන්නා වටිනා/අමුතු ලෝහ කැබැලි තිබේ යැයි විශ්වාස කරනවා (අකුණ වදින විට එම ලෝහ කැබැල්ල පොලොව කාගෙන යන බව පවසනවා). තවත් අය විද්‍යා ප්‍රබන්ද මෙන් විද්‍යාත්මක කරුණුද එකතු කරමින් තඩි මිථ්‍යා කතන්දර ඇහෙන් දැක්කා සේ මවා පානවා. නාසා එකේ විද්‍යාඥයන් ඇවිත් අකුණක තිබෙන ගිනි සිලු රුපියල් කොටි ගණනකට රහසින් මිල දී ගන්නවා යැයි ඔවුන් පවසනවා. මේවා සියල්ල මිථ්‍යාවන්ය.

දැන් අවුරුදු කිහිපයකට පෙර මා කෝච්චියේ එන විට සියත රූපවාහිනි එකේ කෲ එකක්ද මා අසල සිට, ඉන් එකෙක් (ඌ තමයි එම කාණ්ඩයේ කථානායක) කියපු කතාවක් මතක් වන විටත් අදටත් ලොකු හාස්‍ය රසයක් මට දැනෙනවා. එය රසවත් නිසා කෙටියෙන් ලියන්නට හිතුණා. දැන් මේ එම පුද්ගලයා කියන විස්තරයයි. අකුණක තිබෙනවාලු කිසිදා නිමෙන්නෙ නැති ගිනි සිලුවක්. එය හැබැයි සෙවීම කලු නික සොයනවා වගේ අමාරුයිලු. ඒ ගිනිසිලුවට හැකියිලු මුලු ලෝකයටම බලශක්තිය සපයන්න (එතරම් බලයක් එහි තිබෙනවාලු). ඉතිං නාසා එකේ විද්‍යාඥයන් හොර රහසේ ලොව පුරා එවැනි ගිනිසිලු සොයමින් යනවාලු. ලංකාවෙත් එවන් නාසා විද්‍යාඥයෙක් ආවාලු ගිනි සිලුවක් මිලදී ගන්නට. දැන් මූ දැක්ක වගේ කියනවා එක්තරා අකුණක් වැදිච්ච ගේක අල්මාරිය යට වලක් හාරා ගෙන අර ගිනි සිලුව තිබිලා හමුවෙලා. අර විද්‍යාඥයා මොකක්දෝ පෙට්ටියක් වගේ එකක් ඇරියාම අර ගිනි සිලුව හෙමින් ඒක ඇතුලට ගියාලු. දැන් සල්ලි කොච්චර දුන්නද කියා තවෙකෙක් අසන විට, එය තමන් දැක්කේ නැහැලු මොකද සල්ලි ගනුදෙනු පිරිසක් ඉදිරියේ කරන්නේ නැති නිසා. බණ පොත්වල කියන විදියට බොරු කියන විට පොලොව පලා යනවා නම්, අනිවාර්යෙන්ම මේ වන විට ඌ සිටින්නේ පොලොව මධ්‍යයේ විය යුතුය.

ඉහත පෙන්වා දුන්නේ අකුණු අනතුරු ඇති විය හැකි හා ඉන් පහසුවෙන්ම වියදමක් නැතිව ආරක්ෂා විය හැකි ආකාරයයි. එහෙත් අවාසනාවකට මෙන් බොහෝ අය ඒවා නොතකා වැඩ කරයි. එනිසා වසරකට ලොව පුරා අකුනු සැර වැදීමෙන් 2000ක පමණ පිරිසක් මිය යයි. අකුනු සැර වැදී මිය නොගොස් අනතුරු ඇති වන අය ලක්ෂ ගණනකි. එහාට මෙහාට වෙඩි තබා ගන්නා යුධ පිටියක් මැදින් ඔබ බයක් නැතිව ගමන් කරනවාද? නැහැනෙ. අකුණු ගැසීමද එවැනිම බියකින් හා පරිස්සමකින් යුතුව වැඩ කළ යුතු තත්වයක් බව සිහි තබා ගන්න. කම්මලේ බල්ලාට වෙච්ච දේ මිනිසාටත් වෙලා තිබෙන නිසා ඊට තිබෙන බිය නැති වී තිබේ.

අකුනුවලින් බේරීමට වියදම් දරා සිදු කළ හැකි සඵලතාවෙන් උසස් උපක්‍රම කිහිපයක්ද තිබේ. දැන් ඒ ගැන මඳක් විමසා බලමු.

අකුණු ගසන විටත් විදුලි වැඩ කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහාම සැකසූ විශේෂිත උපාංග (Lighning Arresters) යොදා ගත යුතුය. අකුණු සැරක් විදුලි රැහැනකට වැදී එම විදුලි රැහැනේ විදුලි ශක්තිය එකවර ඉහල ගොස් උපකරණ පිලිස්සීම හා ඒවා පරිහරණය කරන අයට සිදු වන අනතුරු මින් වලක්වා ගැනේ. ඇරෙස්ටර් මිල අධිකය. මේවා බැලූබැල්මට ට්‍රිප්/මේන් ස්විච වගේය. තනි කලා විදුලියට මෙන්ම තෙකලා විදුලියටත් ගැලපෙන සේ නිපදවේ. තනිකලා විදුලියේදී ෆේස් ලයින් එකට හා නියුට්‍රල් ලයින් එකට වෙන වෙනම උපාංග 2ක් ඇත. නැතිනම් ලයින් දෙකම එකට සම්බන්ද කළ හැකි තනි උපාංගයක් විය හැකිය.


අනිවාර්යෙන්ම ෆේස් හා නියුට්‍රල් යන දෙවර්ගයේම ලයින් මෙම උපාංගයකින් ආරක්ෂා කළ යුතුය. සාමාන්‍යයෙන් නිවසට/ගොඩනැඟිල්ලට විදුලිය ලබා දීමේදී සවි කරන විදුලි මීටරයෙන් නිවස තුලට එන ලයින් එකට මෙය සවි කළ යුතුය (ෆියුස් පෙට්ට්ය ළඟ). දුරකතන කුලුනු, දුරකතන එක්ස්චේන්ජ්, කර්මාන්ත ශාලා, ආදී වටිනා උපකරණ තිබෙන සෑම ස්ථානයකම මෙවැනි ඇරෙස්ටර් සවි කරනවා.

අකුණක් ගසන විට, ඒ හරහා එකවර අධිකව එන විදුලිය නිසා ඇරෙස්ටර් එක තුල තිබෙන විකල්ප පරිපථ මාර්ගය විවෘත වේ. එම විකල්ප පරිපථ මාර්ගය ගමන් කරන්නේ පොලොවටයි. එනිසා අධික විදුලි ධාරාව පොලොවට අර්ත් කෙරේ. ඉහත රූපයේ දැක්වෙන පරිදි සමාන්තරගතවයි මෙම උපාංග කනෙක්ට් කරන්නේ මොකද අකුණකදී වැඩි පුර ධාරාව භූගතයට යොමු කිරීමයි එහි රාජකාරිය. විශාල අකුණකින් එලෙස අතිදැවැන්ත විදුලියක් එන තුරුම එම උපකරණය ඇත්තටම සෙසු පරිපථයට දැනෙන්නේ නැත.

මෙහිදී ප්‍රමිතියට සෑදූ අර්ත් එකක් තිබිය යුතුමය. අකුණ නිසා එන විශාල ධාරාවට ගමන් කළ හැකි මාර්ග 2ක් දැන් තිබෙනවා - අපගේ වටිනා උපකරණ සවි කර ඇති සාමාන්‍ය විදුලි පරිපථ මාර්ගය හා අර්ත් එක. විදුලියක් යම් ගමන් මාර්ගයක් තෝරා ගන්නේ අඩුම ප්‍රතිරෝධය තිබෙන එකයි. එනිසා අර්ත් එකේ අඩුම ප්‍රතිරෝධයක් තිබිය යුතුය (එනම් ප්‍රමිතියට තිබිය යුතුය).

ඇරෙස්ටර් වගේම තවත් උපකරණ වර්ගයක් තිබෙනවා Surge Protective Device (SPD) කියා. මේවායින්ද කරන්නේ ඇරෙස්ටර් කරන රාජකාරියමයි. අකුණුවලට අමතරව ෂෝට් වීම ආදි හේතු නිසාද ක්ෂණිකව වයර් හරහා අධික ධාරාවක් (surge) ගලා යා හැකිය. මෙවන් අවස්ථා සඳහාද භාවිතා වන්නේ සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් තමයි.

ඇරෙස්ටර් හෝ SPD එකක් මිල දී ගැනීමේදී වැදගත් පරාමිතින් කිහිපයක් ගැන බැලිය යුතුය. එකක් නම්, එය හරහා සාමාන්‍යයෙන් පවතින වෝල්ටියතාවයි. Imax 8/20 us හා Iimp 10/350 usයනුවෙන් පරාමිති 2ක් තිබේ. මේ සඳහා පිලිවෙලින් 60kA හා 30kA යන අගයන් හෝ ඊට වැඩි අගයන් සහිත උපාංග සුදුසුය. Vclamp නම් පරාමිතියක් ඇති අතර, එම අගය 1.8kV හෝ ඊට අඩු වන තරමට හොඳය. මෙම උපාංගයේ සිට අර්ත් එකට යන තඹ කම්බියේ ගේජ් එක 16mm2 හෝ ඊට වැඩි විය යුතුය; එම කම්බියේ දිග 50cm ට වඩා අඩු විය යුතුය මොකද අකුණේ අධික ධාරාව හැකි ඉක්මනින්ම පොලොවට අර්ත් කිරීම සුදුසුය.

අකුණු සන්නායකයක් (lightning conductor හෙවත් lightning rod හෙවත් air terminal) යනු අකුණු සැරකට පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයකි. අකුණක තිබෙන්නේ ආරෝපණයක් බැවින් එම ආරෝපණයට පහසුවෙන් යෑමට විකල්ප මඟක් ලබා දුන්නොත් වැඩි සම්භාවිතාවක් තිබෙන්නේ එම අඩු ප්‍රතිරෝධි මාර්ගය ඔස්සේ අකුණු සැර ගමන් කිරීමයි. එනිසාම අකුණු සන්නායකය තඹ ලෝහයෙන් සාදනවා (ප්‍රායෝගිකව අඩුම ප්‍රතිරෝධයක් තිබෙන ලෝහය තඹ නිසා). අකුණු සන්නායකයක උල් කූරු විවිධ ගණන් තිබිය හැකිය.


යම් ස්ථානයකට අකුණක් වදිනවා යැයි සිතමු (අකුණු ඉතිං කොහේ කොහේ හරි වදිනවානෙ; හරියටම නිශ්චිතව අහවල් තැනට වදිනවා යැයි කිව නොහැකිය). අන්න එම ස්ථානයට වදින්නට තිබෙන අකුණ තමයි දැන් එම ස්ථානයේ සවි කර තිබෙන අකුණු සන්නායකය විසින් “භාර ගන්නේ”. එහෙම නැතිව අහල පහල යන සියලු අකුණු ඉන් ඇද ගන්නවා කියා දෙයක් නැත. එහෙත් සමහරුන් විශ්වාස කරනවා අකුණු සන්නායකයකින් අකුණු විසි කරනවා කියා (එසේ විසි කරන අකුණු අහල පහල ගෙවල්වලට ආදිය වදිනවා කියා). මෙය මිථ්‍යා මතයකි. අකුණු විසි කරන උපාංගයක් තවමත් ලෝකයේ නිපදවා නැත.


අකුණු සන්නායකයක කූරු උල් කිරීමෙන් ඇති වාසිය ඔබට දැන් සිතා ගත හැකිය. එම උල්වලින් ධන අයන පොකුරු අහස උඩට (වලාකුලු දක්වා) යවනවා මොකද ධන ආරෝපිත පොලොව මතුපිට සිට ඍණ ආරෝපිත වලාකුලු දක්වා අතිදැවැන්ත විදුලි ක්ෂේත්‍රයක් තිබෙන නිසා. එමඟින් වලාකුලුවල ඍණ ගතිය අඩු වී අකුණක් ගැසීම අධෛර්යමත් කරනවා. එය අකුණු නිෂ්ක්‍රිය කිරීමක් ලෙස සැලකිය හැකියි.

අකුණු සන්නායකය සවි කරන උස වැඩි වන තරමට ඉන් ආරක්ෂා වෙන භූමි වපසරිය/වර්ගඵලය වැඩි වේ. මෙහි අනියම් අර්ථය අහල පහල යන අකුණුද “ඇද/භාර ගන්නවා” යන්නයි. එනිසා අකුණු සන්නායකයක රාජකාරිය අහල පහල යන අකුණු ඇඳ ගැනීම නොවුණත්, එහි අතුරු ප්‍රතිපලයක් ලෙස එය සිදු වේ. ඇත්තෙන්ම එය වටිනා අතුරු ප්‍රතිපලයක්. අකුණු සන්නායකයකින් කොතරම් වපසරියක් ආරක්ෂා වේද? එය දළ වශයෙන් ගණනය කළ හැකියි.


අකුණු සන්නායකයේ සිට ඉහත රූපයේ ආකාරයට අංශක 45ක කෝණයක් සහිතව ඇල උසක් අකුණු සන්නායකය වටේට අඳින්න. මෙවිට එය හරියට කිරිගොට්ටක්/කේතුවක් සේ පෙනේවි. මෙවිට පැත්තෙන් බැලූ විට සමද්විපාද ත්‍රිකෝණයක් පෙනේවි. එනිසා එම කාරණයම මෙසේද පැවසිය හැකිය. අකුණු සන්නායකයේ උසට සමාන දිගක් අරය ලෙස ගෙන අකුණු සන්නායකය මැදි කොට ගෙන වෘත්තයක් පොලොව මත අඳින්න. මෙන්න මෙම ප්‍රදේශය තමයි සාමාන්‍යයෙන් අකුණු සැරින් හොඳින් ආරක්ෂිත වන පෙදෙස . ඉහත රූපයේ දුඹුරු පාටින් පෙන්වා ඇති ආකාරයට ආරක්ෂිත අවකාශය/පරිමාව cone of protection (ආරක්ෂිත කේතුව) ලෙස හැඳින්වේ.

මෙම ආකෘතියට පදනම් වන්නේ සරල කාරණාවකි. එය මෙසේ තර්ක කරමු. හරියටම සන්නායකය උඩට අකුණක් ආ විට කිසි ගැටලුවක් නැතිව කෙලින්ම එය සන්නායකයට ආකර්ෂනය වේවි. දැන් ගැටලුව වන්නේ හරි උඩින් නැතිව වටේට ඇති වන අකුණුත් එලෙසම සන්නායකයට ඇද ගනීද යන්නයි. අකුණට එකම දුරකින් පිහිටි ස්ථාන 2ක් ඇති විට, අකුණට අහඹු ලෙස මෙම ස්ථාන දෙකෙන් එකකට ආකර්ෂනය විය හැකියිනෙ (හරියට කාසියක් උඩ දැමූ විට නෝන හෝ පොල්ල වැටීමේ සම්භාවිතාව වගේ). ඉතිං, ඉහත රූපයේ ආකාරයට O සිට A අතර දුරත් A සිට B අතර දුරත් සමානය. එවිට A යන ස්ථානයේ ඇති අකුණ B ට ළඟා නොවී O ට ළඟා විය හැකියි අඩුම ගානේ 50%ක චාන්ස් එකකින්. තවද, කෝන් එක තුලට තව තවත් එන විට, පොලොවට වඩා හැමවිටම අඩු දුරකුයි අකුණට තිබෙන්නේ අකුණු සන්නායකයට.


එම ආරක්ෂිත පෙදෙසෙහි වුවද සෑම තැනක්ම එකම ආකාරයෙන් හොඳින් ආරක්ෂා නොවේ. සන්නායකයේ සිට අරීයව ඈතට යන්නට යන්නට ආරක්ෂාව අඩු වේ. ඒ අනුව ඉහත රවුමෙන් පිටත වුවද යම් ආරක්ෂාවක් පවතිනවා. එනිසා හරියටම කියන්නට බැහැ සන්නායකයේ සිට අච්චර දුරින් පිහිටි ස්ථානයක් අනාරක්ෂිතයි හෝ රක්ෂිතයි කියා. අකුණු යනු ශත පහකට ෂුවර් කරන්න බැරි දෙයකි (කෙල්ලො වගේ?).

ඒ විතරක්ද නොවේ; පොලොව මට්ටමේ සිට ඉහලට යන්නට යන්නට ආරක්ෂාව අඩු වේ (එය සාමාන්‍ය තත්වයේදීත් පවතින ලක්ෂණයක්නෙ; අකුණු සන්නායක සවි කළා කියා එම ප්‍රවණතාවේ වෙනසක් නැත).

ඉහත කරුණු දෙක කැටි කොට මෙලෙස කිව හැකියි. අකුණු සන්නායකයෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන්නේ ඉහත රූපයේ ආකාරයට කිරිගොට්ට හැඩය (පරිමාව) හෙවත් කේතු ප්‍රදේශය තුල පමණි. උදාහරණයක් ලෙස, ඔබේ නිවසට මීටර් 65ක් ඈතින් අකුණු සන්නායකයක් සහිත ටවරයක් තිබේ යැයි සිතමු. එහි උස මීටර් 70ක් යැයිද සිතමු. බැලූබැල්මට ඔබේ නිවස සහිත ඉඩම අකුණු සන්නායකයේ ආරක්ෂිත බල ප්‍රදේශය තුල පවතී. ඔබේ නිවස තනි තට්ටුවක් නම් අර කේතුව තුල ඔබේ නිවසේ උඩ කොටස (වහල) සිට පොලොව දක්වා සම්පූර්ණ ගොඩනැඟිල්ලම පිහිටයි. එහෙත් ඔබේ නිවසේ තට්ටු දෙකක් හෝ ඊට වැඩි නම්, ඉහල තට්ටු පිහිටනු ඇත්තේ අර කේතු පරිමාවෙන් පිටතයි. ඒ කියන්නේ නිවසේ උඩ කොටස දැන් අකුණු සන්නායකට වඩා අකුණට ළංව ඇත. එවිට එම කොටස්වල ආරක්ෂාව අඩු වේ. ඔබේ ඉඩමේ උස ඇන්ටනාවක් පිහිටියේ නම්, එවිටද ලැබෙන ආරක්ෂාව තවත් අඩු වේ. අන්න එලෙසයි අකුණු සන්නායකයක නියම ආරක්ෂාව ලැබෙනවාද නැද්ද කියා සෙවිය යුත්තේ.

කේතු ආකාරයට ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති අවස්ථාවල් තිබේ. උදාහරණයක් ලෙස පහත රූපයේ ආකාරයට ආරක්ෂාවක් ලබා ගත හැකියි දෙපැත්තකින් උස අකුනු සන්නායක දෙකක් සවි කර, හා එම අකුණු සන්නායක දෙකම ඉහලින් තඹ/ලෝහ කම්බියකින් කනෙක්ට් කරමින්. මෙයත් කෝන් ඔෆ් ප්‍රොටෙක්ෂන් ආකෘතිය (මෙය protective angle method කියාද හැඳින්විය හැකිය) මත ගොඩනැඟූවකි. මින් ආරක්ෂාවන ප්‍රදේශය එක් අකුණු සන්නායකයක ආරක්ෂිත කේතුව අනෙක් අකුණු සන්නායකයේ ආරක්ෂිත කේතුව මත සමපාත වන තෙක් අර උඩින් ඇදපු වයරය දිගේ ඇද ගෙන යන විට ඇති වන අවකාය පරිමාවට සමාන බව පහත රූපයෙන් පෙනේ.


සමහර අය ඉහත ආකාරයේ cone of protection ආකෘතිය පිලිගන්නේ නැත. ඒ වෙනුවට rolling sphere නම් ආකෘතියක් ඔවුන් ඉදිරිපත් කරනවා. මෙම ආකෘතියත් අපූරුය. එම ආකෘතිය අනුව යම් අකුණු සන්නායකයකින් ආරක්ෂා වන අවකාශය/පරිමාව ඉහත ක්‍රමයෙන් ලැබෙන ආරක්ෂිත අවකාශයට වඩා අඩුය (එනිසා මෙම ආකෘතිය ඇත්තටම ඉහත ආකෘතියට වඩා නිවැරදි යැයි සැලකිය හැකිය). ඊට හේතුව මෙම ආකෘතිය ගොඩනඟා තිබෙන්නේ වෙනත් න්‍යායක් මතය. ඒ ගැන දැන් සැකෙවින් බලමු.

අකුණු සන්නායකය පොලොවේ සිට ඉහලට ඇති උසට සමාන අරයක් සහිත ගෝලයක් සිතින් මවා ගන්න (එය නිකංම බෝලයකි). දැන් මෙම ගෝලය අර අකුනු සන්නායකය වටේට රෝල් කරන්න (අංශක 360ක්). එවිට පහත රූපයේ රතුපාටින් තිබෙන ආකාරයේ හැඩයක් ලැබේ. මෙහි ඇල දිග ඇතුලට වක්‍රාකාර වේ. ඒ කියන්නේ කේතු ආකෘතියෙදි ඍජු ඇල රේඛාවට වඩා ඇතුලට ගොස් ඇත (එනම් ආරක්ෂිත පෙදෙස අඩු වී ඇත).


එම රෝල් කිරීමේදී අකුනු සන්නායකට වටා පහත රූපයේ ආකාරයට අවකාශයක් සෑදෙනු ඇත. මෙන්න මෙම අවකාශය තුල තමයි දැන් ආරක්ෂාව පවතින්නේ.


මෙම රෝලිං ස්ෆියර් ආකෘතිය මත පදනම්වද අකුණු සන්නායක දෙකක් හා ඒ දෙක කනෙක්ට් කරමින් අදින තඹ කම්බියකින් ආරක්ෂාව පහත රූපයේ ආකාරයෙන් ලබා ගනී.


තවත් සමහරෙක් එම ආකෘති දෙකම නිවැරදි යැයි පිලිගන්නේද නැත. එනිසා ආකෘති ගණනාවක් දැනට පවතින අතර, මේ එකක් ගැනවත් විද්‍යාත්මකව 100%ක් සනාථ කරපු තොරතුරු නැත. එවිතරක්ද නොව, සරල අකුනු සන්නායකය පවා සමහරුන් විස්තර කරන ආකාරයේ (ආකෘතියේ) වෙනස්කම් තිබෙනවා. එනිසා අහල පහල ගොඩනැඟිල්ලක හෝ ටවරයක හෝ මොකක හෝ අකුණු සන්නායක තිබුණත් නැතත්, තමන්ගේ යම් උස් ඉදිකිරීමකදී වෙනම අකුණු සන්නායක යෙදීම සුදුසු බව පෙනේ. ඒ හැරත් අකුණුවලින් ආරක්ෂා වීමම ඉතා අපහසු දෙයක් බව පැහැදිලි වේ.

තවද, අකුණු සන්නායකය පොලොවට අර්ත් කළ යුතුමය. ඒ සඳහා ඉතා ඝනකම් (ගේජ් එක වැඩි) තඹ කම්බියක් (Earth down-conductor) භාවිතා කරනවා. ඒ සඳහා 50mm2 ක ගේජ් එකක් සහිත තඹ කම්බියක් භාවිතා කිරීම සුදුසුය.


පොලොව තුලට භූගත කූරු (earth rod හෙවත් grounding rod) ඇතුලු කළ යුතුය. මෙහිදී කොතරම් ගනකම් තඹ කූරු භාවිතා කළ යුතුද, කොතරම් යටට කූරු බැස්සිය යුතුද, කූර තඹ විය යුතුද නැද්ද ආදී කාරණා මතු වේ. මේ සියල්ලටම දිය හැකි තනි හොඳම පිළිතුර අර්ත් එකේ ප්‍රතිරෝධය ඔම් 10ට අඩු විය යුතු බවයි. අකුණු අඩුවෙන් ගසන ප්‍රදේශවලට එම අගය සුදුසු වුවත්, අකුණු වැඩියෙන් ගසන ප්‍රදේශවලට එම අගය ඕම් 5කි. හරියටම දන්නේ නැතිනම් තමන්ගේ පෙදෙස මොන වගේදැයි කියා, ඕම් 5 අගය සලකන්න. ඇත්තටම ඕම් අගය අඩු වන තරමට හොඳ බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ.

පොලොවේ පසේ සාමාන්‍ය ස්වභාවය වියලි නම් ප්‍රතිරෝධි අගය වැඩිය. සමහර පස්වල ලවණ ගතිය වැඩිය. එවන් පොලොවක ප්‍රතිරෝධි අගය අඩුය. සමහරුන් පසට අමුතුවෙන් ලුණු එකතු කර ලවණතාව වැඩි කරනවා. වතුර දමා වියලි ස්වභාවය අඩු කරනවා. මේවා අමු ගොන් වැඩය. කිසිවිටක එවැනි වංචා සිදු කර තාවකාලිකව ඕම් ගණන අඩුයි යැයි පෙන්වන්න එපා. අවදානමට ලක් වන්නේ තමන්මයි. ප්‍රතිරෝධය සත්‍ය ප්‍රතිරෝධය විය යුතුය.

සාමාන්‍ය ප්‍රකෘති පස වෙනස් නොකර ප්‍රතිරෝධ අගය අඩු කර ගැනීමට උපක්‍රම යෙදිය යුතුය. ඒ සඳහා පහත දැක්වෙන උපක්‍රම යෙදිය හැකිය.

1. තඹ බටයක් යොදා ගත හැකියි ගැල්වනයිස් කරපු යකඩ බට වෙනුවට.

2. තඹ ලෝහ ප්‍රමාණය අඩු නොකරමින් මතුපිට ක්ෂේත්‍රපලය වැඩි තඹ බම්බු භාවිතා කළ හැකිය. මින් අදහස් වන්නේ මෙයයි. උදාහරණයක් ලෙස, කිලෝග්‍රෑම් 5ක් බර තඹ කූරක් වෙනුවට එම බරම හා දිගම තිබෙන තඹ බම්බුවක් (මැද හිස්) භාවිතා කළ හැකිය.

3. බම්බුව/කූර පොලොවේ බොහෝ යටට යැවිය හැකියි (දිග බම්බුවක්/කූරක් යැවීමෙන්).

4. සමහරවිට තනි බම්බුවක්/කූරක් ප්‍රමාණවත් නොවිය හැකිය. මෙවිට බම්බු/කූරු දෙක තුනක් අවශ්‍ය වේවි. මෙම බම්බු/කූරු එකිනෙකට තරමක් ඈතින් පොලොවට ගසා, ගේජ් එක ඉතාම වැඩි (50mm2) තඹ කම්බිවලින් එම බම්බු/කූරු සියල්ලම ශක්තිමත්ව එකිනෙකට කනෙක්ට් කළ යුතුය.


අර්ත් කූර/බම්බුව පොලොව තුලට බස්සන විට, උදැල්ලකින් වලක් කපා පස් ඉවතර කර එය වලලන්න එපා. කූර ඍජුව පොලොව තුලට කිඳා බැස්සිය යුතුය කූරේ උඩට පහර දෙමින්. කූර වටේට පැද්දෙන්නේ නැතිව අල්ලාගෙන එසේ පහර දෙමින් කූර බැස්සිය යුතුය. කූර බැස්සුවාට පසුත් හොඳ අඩු ප්‍රතිරෝධයක් නොපෙන්වයි නම්, සමහරවිට කූර ඉන් ඉවත් කර තවත් තැනක බස්සා බැලිය හැකිය (පොලොවේ තැනින් තැන ප්‍රතිරෝධ අගය විවිධ වේ).

හැමවිටම අර්ත් කූර හා උපකරණ අතර දුර අඩුවෙන් තැබිය යුතුය. දුර වැඩි වන තරමට අර්ත් වයරයේ ප්‍රතිරෝධය වැඩි වී අර්ත් පද්ධතියේ සමස්ථ සඵලතාව අඩු වේ. අර්ත් වයරය අර්ත් කූරට සම්බන්ද කරන විට එය විද්‍යුත් වශයෙන් අඩු ප්‍රතිරෝධයක් පවතින ලෙස සම්බන්ද කළ යුතුය. ශක්තිමත් ලෙසත්, පහසුවෙන් ගැලවී නොයන ලෙසත් සවි කළ යුතුය.

ඇන්ටනා බටයක්/ටවරයක් භාවිතා කරන විට, එම කොටස් ලෝහ වීම වාසියකි (උන බම්බු වෙනුවට). බටය පොලොව තුලට අර්ත් වේ. එනිසා අමුතුවෙන් අකුණු සන්නායක සවි නොකළත් (එතරම් උස නැති) ඇන්ටනා අකුණුවලින් අමතර ආරක්ෂාවක් ඉන් ලබයි. මෙවිට ඇන්ටනා සවි කළ යුත්තේ ඇන්ටනා බටයේ ඉහල කෙලවරට අඩියක්වත් පහතින්ය.

16 comments:

  1. meme lipi pelath pothak lesa (pdf) labadeemata puluwanda?

    ReplyDelete
    Replies
    1. ow... thawa tika dawasakin man pdf eka daanawa...

      Delete
  2. Niyama lipiyak....tec croach mata kiyala denawada naw(ship) wala kalin bawitha karapu ha ada bawitha karana lighting protection system gana

    ReplyDelete
    Replies
    1. :) mata wisesayen naw sandahama kiyala kiyanna ba... eheth e kale idanma ada dakwama lightning conductor (akunu sannayaka) yodaa gannnawa. ekath samanya (parani) krametath rolling sphere kramayatath.

      eheth meetath wadaa wenas PDCE wani kramath yoda ganimin thiyenawa. me pdf eka kiyawala balanda... http://www.rakurai-yokusei.jp/PDCEships.pdf

      Delete
    2. :) I love NOT to be called "sir".

      Delete
  3. අකුණු පිලිබඳ මගේ මුළු ජීවිත කාලෙටම දැකපු සවිස්තරාත්මකම සහ සාර්ථකම ලිපිය. ඔබතුමාට බොහොම පිං මේ කරන සමාජ මෙහෙවරට. තව තවත් දැනුම් දානය සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    ReplyDelete
  4. Lipiya nam supirii. Kiyala wadak na. Adunika guwanwiduli pot 2 tyena widyatmka karunu witarak ekatu krla wenama potak liyanna puluwan.

    Ai harakata akuna wadin natte? Harakage kakul 4ma eka eka tan walane tynne. Polowe Akunu wadinna puluwan parasa tyenwada( meter eken ekata parasaya tibboth kakul 2 mitarayak atin tibboth akuna wadinwa) e wage deyak da metana une.? Nattam harakata akuna wadinawada?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :)

      හරකට අකුණු වදින්නේ නැහැ කියා කවුද කියන්නේ? පියවර අකුණු අනතුර සිදුවන්නේම ශරීර අංග දෙකක් පොලොව මත ඈතින් තබා සිටීමෙනි.

      අකුණක් භූගත වූ පසු එය පොලොව මතුපිටින් ගමන් කරන විටයි පියවර අකුණු අනතුර සිදු වන්නේ. පොලොව යනු දුර්වල සන්නායකයක් නිසා ඉතා විශාල දුරකට එසේ අකුණට ගමන් කිරීමට බැරිය. එනිසා අකුණක් භූගත වූ ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරට මෙම අනතුර පවතී. පොලොවේ ස්වභාවය (තෙත් ගතිය, පසෙහි ලවණතාව/ පසෙහි සන්නායකතාව ආදිය) මෙහි ප්‍රබලතාවට බලපෑ හැකිය.

      Delete
    2. Wc :)

      Ehemada, man ehenan terum gatta waradii. Ehet harak wani satun me anaturata ibetama muhuna denawa kiyala dakkama mn hituwe un ewata anuwartanaya wela kiyala.

      Adunika guwan widuli poth 2 nam supirii. Wibage mona mona kalawalada tiyenne. Kohenda form ganna puluwan. Upakarana okkotama kiyak yanawada dan na ??

      Nadda aluten pothak liyanna ehema adahasak...? Ganitaya poth tikat maru. Prakshipta ganat potak liyamudaa...

      Delete
    3. ඔව්, අහිංසක සතුන් සමහර වෙලාවට ස්වාභාවික සංසිද්ධිවලදී අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙනවා. සමහරවිට උන්ගේ පාදයේ තිබෙන රලු කුර විදුලි කුසන්නායක බවක් පෙන්වනවද දන්නෙත් නැහැ (මා ඇත්තටම ඒ ගැන දන්නේ නැත; කැමති නම් ඒ ගැන සොයා බලා අපටත් දැනගැන්මට කමෙන්ට් කරන්න).

      ඉස්සර නම් ආධුනික ගුවන් විභාගය වසරකට දෙවරක් පැවැත් වුවත්, දැන් එය වසරකට වරක් පමණයි පවත්වන්නේ. ඒ සඳහා ඔක්තෝබර් මාසයේ පමණ විදුලි සන්දේශ නියාමන කොමිසම අයදුම්පත් කැඳවනවා. මේ වසරේ අයදුම්පත් භාරගෙන අවසානයි මං හිතන්නේ; නමුත් තවම විභාගය නම් පවත්වා නැත. ඇප්ලිකේෂන් ෆෝර්ම් කොළඹ ඇල්විටිගල මාවතේ (රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉදිරියෙන් ඇති) විදුලි සංදේශ නියාමන කොමිසමට ගොස් (නොමිලේම) ලබා ගත හැකියි. විභාගය සඳහා කිසිදු උපකරණයක් අවශ්‍ය නැති අතර, එය ප්‍රායෝගිකව සිදු කිරීමට නම් උපකරණ කිහිපයක් අවශ්‍ය කරනවා (ට්‍රාන්සීවර්, ඇන්ටනා වැනි). එහි වියදම ඔබ එම උපකරණ ලබා ගන්නා හෝ සාදා ගන්නා අන්දම අනුව තීරණය වේවි.

      තව දවස් කිහිපයකින් ට්‍රාන්සිස්ටර් ගැන ලියනවා. :) ප්‍රක්ෂිප්ත ගැන පොතක් ලියන්නට තරම් කරුණු තිබේද? හොඳින් ඉගෙන ගන්න.

      Delete
    4. ප්‍රක්ෂිප්ත

      පදම් කල ඇට්ටේරියා කරුව
      පරන හම් සපත්තුව
      වින්කලෙන් ගෙනා ටියුබ් පටි
      ඔට්ටුපාලු
      කැටපෝලය අතේ..

      පළමුවෙනි විදිල්ල පාරෙන් එහා
      රබර් ගසේ උසම උස කරටියට
      ලා දලු පසාරු කරගෙන
      ගල් කැටය නොපෙනී ගියත්

      විද්‍යාගණිත මිස් කියා දුන්න
      ගුරුත්වය සහ ප්‍රක්ෂිප්ත නීතී
      අකුරටම පිලිමදිමින්
      ........ගල්කැටය........
      පහලවෙලේ නියර අදින
      චන්ද්‍රපාලගේ වම් ඇහේ......

      හරියට ඉලක්කෙට
      රබර් ගහෙ කරටියට
      ගල වදිනකොට ඇහෙන
      හුරේ හඬ නොඇසේද?

      පාලයාගේ ඇහැ ගැන
      මේ උත්සව සමේ
      කතා කරනා එක
      හොඳ මදියි මගේ හිතට

      සාමාන්‍ය උපකරණ ටිකකට යන වියදමයි, සුපිරිම උපකරණ ටිකකට යන වියදමයි කියන්න. නැත්නම් උපකරණ ලැයිස්තුවක් දාන්නකෝ...

      සාපේක්ෂතාවාදය, ක්වන්ටම් වාදය ගැනත් ටිකක් දැනගන්න කැමතියි.

      Delete
    5. නිව්ටන්ගේ හිස මත පතබෑ ඇපල ගෙන
      විද්‍යාගණිත මිස්ගේ තියරි ගෙන මැන
      විද්දා නම් කැටපෝලෙන් වෙර ගෙන
      චන්ද්‍රපාලයාගේ ඇස අදටත් හොඳ සුවෙන

      වැස්සටවත් පාසල් නොගිය චන්දරේ
      විද්‍යාගණිතයට 100ම ලකුණු ගත් "ඇනෝ"
      පොතේ ලෙසම අකුරු කරවූ ගුරුන්
      කවුරුන්ද වැරදි මේ අතුරින් කියහන්

      බාහිර අසන්තුලිත වෙර බලය යොදා
      එෆ් සමානයි එම් ජී පමනක් විසඳා
      වා ඝර්ෂන විස්කොසිටි බල නොයොදා
      නොයවන් ප්‍රක්ෂිප්ත ආයේ කිසිදා

      Delete
    6. අම්මෝ කියා කෑ මොර දුන් හඬින් චන
      දෙදරා ගියා මිහිකත ගම් නියම්ගම
      පැළුනද මන්ද මගෙ කන් වී අනුනාද
      සැනින් නැග්ගා ගහකට වෙව්ලමින් බිය

      අම්මෝ ශබ්දය දෝංකාර විය
      ගම සියලු දෙනා එතැන රැස් විය
      විද්‍යාගණිත මිසුත් එහි විය
      කරපිටින් චනා වෙද ගෙදර ගිය

      විද්‍යාගණිත මිස් දැක්කම මගේ හිතට
      මතක් වේය ඇය කියා දුන් ප්‍රක්ෂිප්ත
      මතකයි එදා සිරා ඔච්චම් කළා මට
      සල රේ චලිතයෙන් දුන්නා උගෙ හොම්බට

      සැනින් එය දුටු විද්‍යාගණිත මිස
      එල්ල කළා හුණු කුර මගෙ මුහුණට
      එව්වා වේග පන්දුවක් මෙන් මගෙ හොම්බට
      වුණේ වෙන දෙයකි අහන් අාපිට

      එදා ගුරුන්ටත් අකුරු වැරදුනා
      සිරා කොලුවා කඩුල්ල මුවා කරා
      හුණුකූර උගෙ නාස් පොල්ලේ වැදුණා
      අපේ කරපිටින් ඔහු වෙද ගෙදර ගියා...

      වරද මගෙයි යෙදු නිස අසංතුලිත බල
      යැවූ නිස එෆ් සුත් පමනක් ම දැන
      නොදනිමි මා වා ඝර්ෂන කොසිටි බල
      නොයවමි ආය දිවි ඇති තෙක් ප්‍රක්ෂිප්ත

      Delete
    7. රේඛා පරිබමන වක් අනුවත්තී ඈ චල
      ඝර්ෂන ප්‍රකර්ෂන අභිසරි අපසරි ඈ බල
      ගුරුත්වජ චුම්භක විජ්ජුල් කෙත් බල
      සිහිවේ උසස් පෙල කළ මනකල එකල

      නෙල්සන් පාකර්ලාගේ තඩි විද්‍යා පොතත්
      ෆිසික්ස් ද වර්ල්ඩ් වීව් යන ටෝම් පොතත්
      මහැදුරු ලක්ෂ්මන් දිසානායක ලියූ පොතුත්
      නම් නොකියූ තව පොත් එවන් සියදහසකුත්

      කවිය ගීය හොඳ හැටි රස විඳල ඇතී
      නැටුම් රඟ සොබා සිතුවම් විඳල ඇතී
      ඒ පරයන අමුතු රසක් විදුවෙහි පවතී
      ඇපලටත් වඩා රස බව නිව්ටන් කියතී

      Delete