Saturday, May 13, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 102

ඇන්ටනාවේ උසේ බලපෑම

ඇන්ටනාවේ (හෝ වෙනත් දෙයක වුවද) උස ක්‍රම දෙකකට පැවසිය හැකිය. එකක් නම් මුහුදු මට්ටමේ සිට උස (Above Mean Sea Level – AMSL) වේ. මෙම උස ලෝකයේ ඕනෑම ස්ථානයක් සඳහා ප්‍රකාශ කළත් එකම උසකි (ඔබ සිටිනා ස්ථානය කන්දක් මතද පහත් ස්ථානයකද යන කාරණය මෙහිදී වැදගත් නැත මොකද එම උසත් ඉබේම එම අගය තුල පවතිනවා). අනෙක් ක්‍රමය දැනට සිටින ස්ථානයේ සිට ඇති උස (Above Ground Level – AGL) වේ. මෙම ක්‍රමයෙන් ලෝකයේ විවිධ ස්ථානවල ඇති ඇන්ටනා උසවල් සංසන්දනය කළ නොහැකිය. ඔබ සිටින ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට කොතරම් උසින් හෝ යටින් පිහිටියේද යන්න නොසලකා ඔබ සිටින ස්ථානයේ උස 0 යැයි සිතා එතැන් සිට ඇති සාපේක්ෂ උසයි දැන් සලකා බලන්නේ.

ඇන්ටනා සම්බාදක අගය ඇන්ටනාව පොලොවේ සිට පිහිටුවන උස ප්‍රමාණය අනුවද යම් විචලනයක් දක්වනවා. පොලොවට ආසන්න වන්නට වන්නට මෙම විචලනය වැඩිය. පොලොවේ සිට ප්‍රමාණවත් උසකින් ඇන්ටනාව සවි කළ විට මෙම විචලනය ඉතාම අවම කළ හැකියි.

මෙම ප්‍රමාණවත් උස වන්නේ අවම වශයෙන් එම ඇන්ටනාව අනුනාද වන සංඥා සංඛ්‍යාතයට අදාල තරංග ආයාම 1කි. උදාහරණයක් ලෙස, යම් ඇන්ටනාවක් අනුනාද වන සංඛ්‍යාතය මෙගාහර්ට්ස් 30 නම්, එහි තරංග ආයාමය මීටර් 10කි. එනිසා ඇන්ටනාව මීටර් 10ක් හෝ ඊට වඩා උසකින් තැබීම සුදුසුය.


ඇන්ටනාවක් අඩි 30ක් (මීටර් 10ක්) හෝ ඊට වඩා උසකින් අප පිහිටුවනවා යැයි සිතමු. ඒ කියන්නේ සංඛ්‍යාතය මෙගාහර්ට්ස් 30ට වැඩි රේඩියෝ තරංගවලට ඇන්ටනා උස එතරම් බල නොපාවි. සංඛ්‍යාතය වැඩි වන්නට වන්නට (තරංග ආයාමය අඩු වන නිසා) ඇන්ටනා උස නම් සාධකයේ බලපෑම එන්න එන්නම අවම වේ. එහෙත් මෙගාහර්ට්ස් 30ට අඩු සංඛ්‍යාත (මෙවිට තරංග ආයාම මීටර් 10ට වඩා වැඩි වේ) සඳහා ඇන්ටනා උස ගැන අමුතුවෙන් සැලකිලිමත් වීමට සිදු වේ.

ඇත්තටම තාක්ෂණික පැත්තෙන් බලන විට, ඇන්ටනා උස වැදගත් වන්නේ VHF හා ඊට ඉහල සංඛ්‍යාතයන් (line-of-sight waves) සඳහාය. අයනගෝලයේ උපකාරය ලබා ගන්නා HF සංඛ්‍යාතයන් (sky waves) සඳහා ඇන්ටනාවලට සංඥා එන්නේ අහසේ සිටය; ඇන්ටනාවේ සිට සංඥා යවන්නේ අහස දෙසටය. එනිසා අමුතුවෙන් උස ඇන්ටනාවක් අවශ්‍ය නැත. එහෙත් විකිරණ අවදානමෙන් බේරීමට සමහරවිට උස ඇන්ටනාවක් අවශ්‍ය විය හැකිය.

ඇන්ටනා සම්බාදකයේ මෙම විචලනය නිසා ෆීඩ්ලයින් හි ඉම්පීඩන්ස් අගය හා නොගැලපීමක් ඇති විය හැකිය. එම නොගැලපීමේ ප්‍රබලතාව (විස්වර් අගය) විචලනය වන ප්‍රමාණය මත වෙනස් වන බව පැහැදිලියිනෙ. උදාහරණයක් ලෙස, ඇන්ටනාව හා ෆීඩ්ලයින් දෙකම ඕම් 74ට මැච් කර තිබෙන විටක, ඇන්ටනාවේ උස තරංග ආයාම කාලක් පමණ වන විට, ඇන්ටනා සම්බාදකය ඕම් 98ක් පමණ වේවි. මෙවිට 74 හා 98 අතර විශාල වෙනසක් පවතිනවා (මිස්මැච්). විස්වර් අගය ඉහල යාවි. ඉහත ප්‍රස්ථාරයෙන් පෙනෙනවා ඇන්ටනා උස (උස ප්‍රකාශ කර තිබෙන්නේ තරංග ආයාමවල ගුණාකාර වශයෙනි) තරංග ආයාමයෙන් කාලකට වඩා අඩු වන විට, ඇන්ටනා සම්බාදක අගය ක්‍රමයෙන් ශූන්‍ය කරා ළං වන බවත් (ප්‍රායෝගිකව එය ඇත්තෙන්ම ශූන්‍යට ගමන් කරන්නේ නැත).

එසේ වුවත් ඇන්ටනාවක උස අඩු වීමෙන් (විශේෂයෙන් තරංග ආයාම කාලකට වඩා අඩු වීමෙන්) වෙනත් ප්‍රයෝජනද නැත්තේ නොවේ. සුදුසු අඩු උසකින් (තරංග ආයාම කාලකින් හෝ 1/8 කින් ආදි ලෙස) තැබීමෙන් (හොරිසොන්ටල්) ඇන්ටනාවකින් සිරස්ව පොලොව පැත්තට විකිරණය වන රේඩියෝ තරංග නැවත පරාවර්තනය කර ඇන්ටනාව අසලදී සිරස්ව ඉහලට යන රේඩියෝ තරංග සමග සමකලා කර ප්‍රබලව ඉහලට විසුරුවා හැරිය හැකිය. එනම් ස්කයි වේව් සඳහා මෙම ක්‍රමය භාවිතා කළ හැකියි.

ඇත්තෙන්ම මෙම කාරණා ගැන පර්යේෂන කර තවත් කරුණු සොයා ගැනීමට අවශ්‍ය දෙයකි. තවත් අමතර සාධකද මෙහි ඇත. එවැනි එක් ප්‍රබල සාධකයකි පස. උදාහරණයක් ලෙස ඇන්ටනාව පිහිටුවා ඇති පසෙහි ස්වභාවය (එනම් පසේ සන්නායකතාව) වැදගත් වේ. සන්නායකතාව වැඩි නම් සංඥා පරාවතර්නය හොඳින් සිදු වේ (එය ඇන්ටනා ගේන් එක වැඩි වීමක් ලෙස සැලකිය හැකිය). වැලි හෝ වියලි පසක සන්නායකතාව අඩුය. ලවණ ගතිය වැඩි හෝ තෙතමනය සහිත පසක සන්නායකතාව වැඩිය. අවශ්‍ය නම් පසෙහි ලවන ගතිය (එනම් pH අගය) අඩු වැඩි කිරීමටද හැකිය.

Radio Horizon හා ඇන්ටනා දෙකක් අතර සංඥා ගමන් කරන දුර

පෘථිවිය ගෝලාකාර නිසා පොලොව මත සිට වටේට බලන විට අපට ක්ෂිතිජ වලල්ලක් පෙනෙනවානෙ. මෙම ක්ෂිතිජය දෘෂ්‍ය ක්ෂිතිජයයි. බොහෝ රේඩියෝ සංඛ්‍යාත පරාසයන්ට මෙම ක්ෂිතිජයට මඳක් ඔබ්බට ගමන් කළ හැකි බවත් එය රේඩියෝ ක්ෂිතිජය (radio horizon) ලෙස හඳුන්වන බවත් පෙර අප ඉගෙන ගත්තා. අප දැන් බලමු මෙම රේඩියෝ ක්ෂිතජයේ අරය/දුර ගණනය කිරීමෙන් සොයා ගන්නේ කෙලෙසද කියා. පළමුව පහත ආකාරයට ගෝලාකාර වස්තුවක් සඳහා ආකෘතියක් සාදා ගමු.
 

මෙම ආකෘතියම අපට දැන් ගත හැකියි පොලොවේ ක්ෂිතිජය (දෘෂ්‍ය හා රේඩියෝ යන දෙවර්ගයේම) සෙවීමට. දෘෂ්‍ය ක්ෂිතිජය සේවීමේදී පෘථිවි අරය (r) 6371km ලෙස ගත යුතුය (එය පෘථිවියේ සත්‍ය මධ්‍යන්‍ය අරයයි). එහෙත් රේඩියෝ ක්ෂිතිජය යනු දෘෂ්‍ය ක්ෂිතිජයට වඩා තරමක් ඔබ්බෙන් පිහිටන එකක් නිසා, එම බලපෑම/සාධකය සූත්‍රය තුලට ගෙන ඒමට සත්‍ය අරය මෙන් 4/3 ක තරමක් වැඩි අරයක් ගත හැකිය (8495km). දැන් රේඩියෝ ක්ෂිතිජය සෙවීමට ඉහත සූත්‍රය අප සුලු කරමු.
 
ඉහත සූත්‍රයෙන් ලැබෙන්නේ මීටර් h නම් උසකින් පිහිටි තැනක සිට රේඩියෝ තරංග විසුරුවා හැරියොත් එය රේඩියෝ ක්ෂිතිජය දක්වා ගමන් කරන විට, එම ක්ෂිතිජ දුරයි (කිලෝමීටර්වලින්). මෙහිදී විසුරුවා හරින ස්ථානය පොලොව මට්ටමට වඩා h උසකින් ඇතත්, ග්‍රහණය කරන ස්ථානය පොලොව මතයි තිබෙන්නේ (එනම් ආදායක ඇන්ටනාව පොලොව මතයි තිබෙන්නේ; එය පොලොව මට්ටමමේ සිට 0 උසකින් තිබෙන්නේ).

එහෙත් සාමාන්‍යයෙන් සම්ප්‍රේෂක ඇන්ටනාව මෙන්ම ආදායක ඇන්ටනාවද තිබෙන්නේ පොලොව මට්ටමේ සිට යම් උසකින්ය. එනිසා, ඉහත සූත්‍රයෙන් දැක්වෙන දුරට වඩා බොහෝ දුරක් සංඥා ගමන් කළ හැකියි. ඒ කියන්නේ පොලොව මට්ටමට වඩා උසින් පිහිටි ඇන්ටනා දෙකක් අතර සංඥා රේඩියෝ ක්ෂිතිජ දුරට වඩා බොහෝ ඈත යා හැකියි (ඇන්ටනා දෙකේ උස වැඩි වන්නට වන්නට මෙම දුර වැඩි වෙනවා). එම මුලු දුර පහසුවෙන් මෙසේ සෙවිය හැකියි. සම්ප්‍රේෂක ඇන්ටනාවට ඉහත සූත්‍රය යොදා එහි ක්ෂිතිජ දුර සොයන්න (එය dt යැයි නම් කරමු). එලෙසම ආදායක ඇන්ටනාවටත් එම සූත්‍රයම යොදා එහි ක්ෂිතිජ දුරත් සොයන්න (එය dr ලෙස නම් කරමු). දැන් ඇන්ටනා දෙක අතර සංඥා ගමන් කරන මුලු දුර වන්නේ අර දුරවල් දෙකෙහි එකතුවයි (dt + dr).
 

Antenna සෑදීම හා සිටුවීම

විවිධාකාරයේ ඇන්ටනා පවතින බව පෙරදීත් මා සඳහන් කළා. ඇන්ටනා ගැන විවිධ ගතිලක්ෂණ ඉගෙන ගත් පසු, දැන් ඊට හේතු ඔබටම සිතා ගත හැකියි. gain, directivity, bandwidth, polarization, impedance, antenna loss, power, efficiency ආදී විවිධ සාධක/ගතිලක්ෂණ රැසක් පවතින අතර එක් ඇන්ටනාවකින් මේ සියලු සාධක ප්‍රසස්ථ (optimal) මට්ටමින් තබා ගත නොහැකිය.

සටහන
Antenna power ගැන මීට පෙර අප ඇත්තෙන්ම කතා කර නොමැති වුවත් එය ඉතා සරල දෙයකි. එනම්, යම් ඇන්ටනාවකින් යැවිය හැකි උපරිම ජවය (වොට් ගණන) ඉන් කියැ වේ. ජවය වැඩියි යනු ධාරාව වැඩියි යන්නයි. ඇන්ටනාවට ලැබෙ ධාරාව/ජවය වැඩියි යනු ඇන්ටනාවෙන් පිටවන රේඩියෝ විකිරණ ප්‍රමාණයද වැඩියි යන්නයි.

රේඩියෝ විකිරණයට අමතරව විවිධ හේතු නිසා ඇන්ටනාව විසින් නාස්ති කර දමන (උත්සර්ජනය කරන) ජව ප්‍රමාණයත් ඇන්ටනාවට සපයන ධාරාව වැඩි කරන විට ඉබේම වැඩි වේ.

මෙම නාස්තිය හැර ඇන්ටනාව විසින් සත්‍ය ලෙසම විකිරණය කරන ජවය ගැන අවධානය යොමු කරමු. ට්‍රාන්ස්මීටරයට පෙනෙන්නේ ඇන්ටනාව විසින් එම ශක්ති ප්‍රමාණය (ජවය) පාවිච්චි කර දැමුවා සේය. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික්ස්වල අප පුරුද්දක්/සම්මතයක් වශයෙන් සිදුකරන දෙයක් තමයි යම් ශක්තියක් වැය කරන ඕනෑම ලොකු කුඩා උපකරණයක්ම/උපාංගයක්ම රෙසිස්ටරයක් ලෙස සැලකීම. එම පොදු ප්‍රතිරෝධකයට භාර ප්‍රතිරෝධකය (load resistor) කියා කියනවා. මේ අනුව ට්‍රාන්ස්මීටරයට ඇන්ටනාව පෙනෙන්නෙත් භාර ප්‍රතිරෝධකයක් ලෙසයි. මෙම භාර ප්‍රතිරෝධකය radiation resistance යන විශේෂ නාමයෙන් හඳුන්වනවා. සමහරවිට ඔබට ඇන්ටනා ගැන සඳහන් කරන තැන්වල මෙම වචනය හමු වේවි.

මෙම රේඩියේෂන් රෙසිස්ටන්ස් යනු ඇන්ටනාව හරහා ධාරාව ගලන විට එය ජූල් තාපනයට ලක් කරන (එනම් සන්නායකය රත් කරන) ප්‍රතිරෝධය (Ohmic resistance) නොවේ. ඕමික් රෙසිස්ටන්ස් යනු සත්‍ය ලෙසම ඇන්ටනාවේ පවතින ප්‍රතිරෝධය වේ. එය ඇන්ටනා බට/කූරුවල දිග හා මහත හා යොදා ගන්නා ලෝහ වර්ගය මත රඳා පවතී. රේඩියේෂන් රෙසිස්ටන්ස් යනු සත්‍ය ලෙසම පවතින ප්‍රතිරෝධයක් නොවේ; එය පෙර මා සඳහන් කළ පරිදි භාර ප්‍රතිරෝධ සංකල්පය නම් ඉලෙක්ට්‍රෝනික්ස් සම්ප්‍රදාය අනුව සලකන විට ලැබුණු එකකි.

එහෙත් ඇන්ටනා ඉම්පීඩන්ස් යන්න තුල රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය ඉබේම තිබේ. මොහොතක් සිතා බලන්න. ඇන්ටනා සයිස් එක (එනම් කූරුවල දිග හා මහත ආදිය) වෙනස් නොකරමින් ඇන්ටනාවේ වෙනත් සාධක (උදාහරණ වශයෙන් ඇන්ටනාවට එවන සංඥා සංඛ්‍යාතය, ඇන්ටනාව පොලොවේ සිට ඇති උස ආදිය) වෙනස් කරන විට ඇන්ටනාවේ ඉම්පීඩන්ස් අගය විචලනය වෙන්නේ ඇයි? ඇන්ටනාව වෙනස් නොකළ නිසා ඕමික් ප්‍රතිරෝධයේ වෙනසක් සිදු නොවේ. එහෙත් රේඩියේෂන් රෙසිස්ටන්ස් එකේ වෙනස්කම් නම් ඇති වෙනවා. මෙම වෙනස්කම් තමයි අවසානයේ ඇන්ටනා ඉම්පීඩන්ස් අගයේ වෙනස්වීමට මූලික වන්නේ.

පොදුවේ ඇන්ටනාවක කොටස් හඳුනා ගනිමු. ඇන්ටනාව රඳවන උස බම්බුව antenna mast ලෙස හඳුන්වමු (අවශ්‍ය නම් මාස්ට් එකක් වෙනුවට tower එකක් මත ඇන්ටනා පිහිටුවිය හැකියි). මාස්ට් එකට ඇන්ටනාව සම්බන්ද කරන කොටස boom ලෙස හැඳින්වේ. මෙම බූම් එකට ඇන්ටනාවේ කූරු/කොටස් (elements) සවි කෙරෙනවා. ෆීඩ්ලයින් එක සවි වන ලෝහමය කූර/බටය/කොටස driven element ලෙස හඳුන්වමු. ඇන්ටනාවක ඉතාම වැදගත් කොටස එයයි. ඊට අමතරව සමහර ඇන්ටනාවල අමතර කූරු භාවිතා වන අතර ඒවා පොදුවේ parasitic elements ලෙස හඳුන්වනවා. පැරසිටික් එලිමන්ට් වර්ග දෙකක් තිබෙනවා - reflector හා director.


රිෆ්ලෙක්ටර් කූරින්/කොටසින් කරන්නේ ඩ්‍රිවන් එලිමන්ට්/ඉලෙමන්ට් එක පසුකරගෙන එන රේඩියෝ සංඥා නැවත ඩ්‍රිවන් එලිමන්ට් එකට පරාවර්තනය කර දැමීමයි; මෙම පරාවර්තිත සංඥා කොටස ඩ්‍රිවන් එලිමන්ට් එකේ සංඥාව සමඟ සමකලා වන පරිදි තිබීම වැදගත්; එවිටයි ඩ්‍රිවන් එලිමන්ට් එකේ සංඥාව තවත් ප්‍රබල වන්නේ. මෙමඟින් රිසීවර් ඇන්ටනාවක සංඥා ප්‍රබලව ග්‍රහණය කර ගත හැකියි. ට්‍රාන්ස්මිටිං ඇන්ටනාවක් නම්, රිෆ්ලෙක්ටරයට ඉදිරි ප්‍රදේශයට වැඩිපුර සංඥා ප්‍රමාණයක් යැවිය හැකියි (හරියට ටෝච් එකක බල්බය පිටුපස තිබෙන පරාවර්තකය මෙන් සංඥා ඉදිරියට වැඩිපුර යවනවා). ඒ කියන්නේ ඇන්ටනාව රිසීවිං වුවත් ට්‍රාන්ස්මිටිං වුවත් යම් පැත්තකට ගේන් එක වැඩි වෙනවා රිෆ්ලෙක්ටරය නිසා. එවිට ඇන්ටනාව ඉබේම ඩිරෙක්ෂනල් වෙනවා. සාමාන්‍යයෙන් එක රිෆ්ලෙක්ටරයක් හෝ කිහිපයක් තිබිය හැකියි.

ඩිරෙක්ටර් යනු ඇන්ටනාවේ ඩ්‍රිවන් එලිමන්ට් එකට සංඥාව පැමිණෙන පැත්තේ පිහිටුවන එලිමන්ට් වර්ගයකි. එහි කාර්ය වන්නේ ඩ්‍රිවන් එලිමින්ට් එකට එන රේඩියෝ තරංග තවත් ප්‍රබල කිරීම (එනම් ගේන් එක වැඩි කිරීම) හා ඇන්ටනාව තවදුරටත් ඩිරෙක්ෂනල් කිරීමයි. ඩිරෙක්ටර් කිහිපයක් සාමාන්‍යයෙන් තිබේ. ඩිරෙක්ටර් ගණන වැඩි වන තරමට ඇන්ටනාවේ ගේන් එක වැඩි වේ (මෙවිට ඉබේම ඇන්ටනාවේ ඩිරෙක්ටිවිටි එක පටු වේ; එනම් ඩිරෙක්ෂනල් ස්වභාවය වැඩි වේ).

සමහරවිට ඇන්ටනාව සමඟම මෝටරයක් සහිත antenna rotor/rotator නම් උපකරණයක්ද සවි කළ හැකිය. එය බිම සිට සෙමින් අපට අවශ්‍ය පැත්තට කරකැවිය හැකි උපකරණයකි. එමඟින් ඇන්ටනාවේ දිශාව බිම සිට කැරකැවිය හැකිය (ටීවී ඇන්ටනා බම්බුව කරකවනවා සේ එක එක පැති වලට බම්බුව අතින් කරකවන්නට අවශ්‍ය නැත).


ඇන්ටනාවක් සාමාන්‍යයෙන් හැකි තරම් උසින්නෙ රඳවන්නේ. මාස්ට් එකේ උස වැඩි වන තරමට සංඥා සම්ප්‍රේෂනය/ග්‍රහනය යහපත් වේ. එහෙත් උස වැඩි වන විට ෆීඩ්ලයින් එකේ දිග වැඩි වී හායනය වැඩි වේ. වියදමද වැඩි විය හැකිය. ඊට අමතරව අකුණු සැර වැදීමේ සම්භාවිතාවද වැඩි වේ.

සටහන
මීටර් 30ට වඩා ඉහලට ඇන්ටනා සවි වෙනවා නම්, රටේ නීති රෙගුලාසි රාශියකට මුහුන දීමටද සිදු වේ. උදාහරණ ලෙස, ඉතා උස කුලුනු/මාස්ට් භාවිතා වන විට, රතු හා සුදු පාටින් අර සෙල්ෆෝන් ටවර්වල මෙන් ටවරය/මාස්ට් එක පාට (aircraft warning paint) කළ යුතු වෙනවා (ගුවන් යානාවල ආරක්ෂාවට). තවද, කුලුන උඩ රතුපාට බීකන් (aircraft warning lights) සවි කිරීමටද සිදු වෙනවා (ගුවන් යානාවල ආරක්ෂාවට). ඊටත් අමතරව සියලු කුලුනු/මාස්ට් මත අකුණු සන්නායක සවි කිරීම මෙන්ම ඉතා හොඳ අර්ත් කිරීමක්ද සිදු කිරීම අනිවාර්යයි. මේ සියලු දේවල් වරලත් ඉංජිනේරුවන් හා නිසි බලධාරින්ගේ සුපරීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර, යොදා ගන්නා සියලු උපාංග (බීකන්, අර්ත් වයර්, ටවර්වල යකඩ බම්බු, තීන්ත ගෑම ආදිය) හා ක්‍රමවේද නිකුත් කර ඇති ජාතික/ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව පැවතිය යුතුය.

එහෙත් ආධුනික ගුවන් ශිල්පින් එතරම් උසට ඇන්ටනා සවි කරන්නේ නැති නිසා (හා දුරකතන හෝ රේඩියෝ/ටීවි විකාශනවල මෙන් ඉතා අධික වොට් ගණන් භාවිතා නොවන නිසා) සාමාන්‍යයෙන් කාගෙන්වත් අවසර නොගෙන ඇන්ටනා සවි කර ගත හැකිය. එසේ වුවද, ඇන්ටනා උස සම්බන්දයෙන් එම රසවත් තාක්ෂණික කරුණු තරමක් සොයා බලන්න.

තවද, විකිරණ අවදානම සම්බන්දයෙන් ICNIRP යන විකිරණ ආරක්ෂන සම්මතයන්ට අනුව වැඩ කිරීම අනිවාර්ය කර තිබෙනවා. එම නීති රෙගුලාසිය නම් ආධුනික ගුවන් ශිල්පින්ටත් බලපවත්වනවා (අමුතුවෙන් සඳහන් කර නොතිබුණත්) මහා පරිමාණ රේඩියෝ තරංග විකාශකයන්ට වගේම. අප මීට පෙර කතා කළ විකිරණ අවදානම ගැන පාඩම්වලදී මෙම සම්මතය ගැන අමුතුවෙන් විස්තරාත්මකව කතා කර නැතත්, එම පාඩමේ කරුණු දත් විට පහසුවෙන්ම මෙම විකිරණ ආරක්ෂණ සම්මතයත් තේරුම් ගත හැකිය. පහත දැක්වෙන්නේ ICNIRP (International Commission on Non-Ionizing Radiation Protection) ප්‍රමිතිය අනුව MPE අගයන් සහිත වගු දෙකයි.






මීටත් අමතරව අපට ඕන ඕන උසට ඇන්ටනා සවි කළ නොහැකිය. එයාර්පෝට් අසල ප්‍රදේශයක ඇන්ටනා පමණක් නොව වෙනත් ඉදිකිරීම්වල පවා තිබිය හැකි උස සීමාවන් තිබේ. ලංකාවේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එම රෙගුලාසි පනවා තිබේ. ගොඩනැඟිලි තට්ටු දෙක තුනක පමණ උසක් (එනම් අඩි 20ක් 30ක් පමණ) ඇති ඇන්ටනා සඳහා අමුතුවෙන් වද වීමට දෙයක් නැතත්, ඊටත් වඩා උසට සවි කරන විට කෝකටත් ඔවුන්ගෙන් විමසීම වටිනවා. තවද, සමහර අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යංශය හා/හෝ නාගරික සංවර්ධන අධිකාරි වැනි ආයතනවලින්ද රෙගුලාසි පනවා තිබිය හැකිය.

කිසිවිටක ඇන්ටනා බටයක් පාරේ ගමන් කරන විදුලි බල සේවා වයර් අසල සවි නොකරන්න. එය නීති විරෝධිද වේ (ඔබ දන්නවා ඇති විදුලිබල මණ්ඩලයට නීතිමය බලය තිබෙනවා විදුලි කම්බිවලට බාධා කළ හැකි ගස් කොලං පවා ඕනෑම ඉඩමකින් ඉවත් කර දැමීමට). දළ වශයෙන් ඇන්ටනාව හරහාට වැටුණොත් එය වැටෙන්නේ අර කරන්ට් ලයින් උඩට නම්, ඒ කියන්නේ ඔබේ ඇන්ටනාව තිබෙන්නේ තහනම් කලාපයක (එය ඔබේ වත්තේ පිහිටියත්). එලෙස වැටුණත් විදුලි වයර් මතට නොවැටන සේ තැබීම සුදුසුය. ඇන්ටනා උස වැඩි වන තරමට මෙම ගැටලුවද වැඩි වේ. මෙනිසා ඇන්ටනා දැඩි සුළඟට වුවද නොකැඩී නොවැටී තිබෙන සේ ශක්තිමත්ව ආරක්ෂිතව සෑදීමේ වැදගත්කම මින් පෙනේ.

ඇන්ටනා බම්බුව සඳහා සමහරුන් උන බට යොදා ගන්නවා. එය ලාභ දායකය. ඍජු දිග සවිමත් උන බට සොයා ගැනීමට තිබෙන අපහසුවත් කාලයත් සමඟ බම්බුව ඇද වීම හා දුර්වල වීම ගැටලුවකි. මෙවැනි ඇද වූ බම්බු සහිත ඇන්ටනා ආධුනික ගුවන් සේවය තුල Old Man (OM)නාකි මනුස්සයා කියා හඳුන්වනවා (ඊට හේතුව වයසට යන විට කොන්ද නැමෙනවානෙ). බම්බුව ඇද වීම නිසා ඇන්ටනාවේ සත්‍ය උස අඩු වෙනවා පමණක් නොව, ඇන්ටනාවේ දිශාව පවා වෙනස් වෙනවා (ඇන්ටනාව බිමට නැමී හෝ ඉහලට නැමී තිබේවි). එය නම් ඉතාම හොඳ නැති තත්වයකි.

මීට අමතරව ලෝහ බටද භාවිතා කළ හැකියි. ගැල්වනයිස් කරපු වානේ බට (Galvanized Iron – GI pipes) යොදා ගත හැකිය. සාමාන්‍ය යකඩ හා වානේ ඉක්මනින්ම (දවස් කිහිපයකින්) බල බැඳීම පටන් ගෙන ලෝහය විනාශ වීම පටන් ගන්නවානෙ. ඉතිං, සාමාන්‍ය යකඩ/වානේ බටවලට ලැකර් හෝ ලෝහවල ආලේප කරන තීන්තයක් ගසා භාවිතා කළ හැකි වුවත්, ඉතා ඉක්මනින්ම ලෝහයේ තැනින් තැන සීරීමෙන් එම සීරුණු තැන මල බැඳීම ආරම්භ වී අවසානයේ ලෝහය පුරාම එය පැතිරී යයි (එනිසා තීන්ත සීරුනු තැනක් දුටු විගස නැවත තීන්ත ආලෝප කර එය වසන්න). එනිසා ඊට වඩා හොඳයි ගැල්වනයිස් කරපු වානේ. මෙහිදී වානේ මතුපිට මල නොබඳින වෙනත් ලෝහයක් (මැග්නීසියම් හා සින්ක් වැනි) රසායනික ක්‍රමයකින් (electroplating – ලෝහාලේපය) ආලේප කර ඇත. රසායනිකව ආලේප කර ඇති නිසා තීන්තවලට වඩා ශක්තිමත්ව වානේ ආරක්ෂා වේ. එසේ වුවත්, මෙම බටද සීරුනොත් ඉතා සීඝ්‍රයෙන් මල කන්නට පටන් ගන්නවා. මල නොකන වානේ (stainless steel) වියදම් අධික නිසා විකල්පයක් නොවේ.

ඉහත විකල්ප අතරින් ඉතා හොඳම විකල්පය GI බට වේ (ලාභම විකල්පය උන බට වේ). සාමාන්‍යයෙන් ජීඅයි බට කොලිටි (class) 3කින් ඇත. මීටරයක දිගකට ඇති කිලෝග්‍රෑම් ප්‍රමාණය මත එම ක්ලාස් තීරණය කර ඇත. Class A යනු ඉන් සැහැල්ලුම වර්ගයයි; එවැනි බට හඳුනාගැනීමට කහපාටින් බටය කෙලවර වර්ණ පටියක් ඇත. මේවා ලාභ වේ (අඩු ලෝහ ප්‍රමාණයක් තිබෙන නිසා). ඊට වඩා බරැති Class B හඳුනා ගැනීමට නිල්පාටින් වර්ණ තීරුවක් ඇත. ඊටත් වඩා බරැති Class C යනු රතුපාට වර්ණ තීරුවකින් දක්වන අතර මිල අධිකය.

No comments:

Post a Comment