Sunday, April 23, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 96

Polarization

ඔබ දන්නවා රේඩියෝ තරංග යනු විද්‍යුත්චුම්භක තරංග විශේෂයක් බවත්, සෑම විද්‍යුත්චුම්භක තරංගයකම එකිනෙකට ලම්භක තල දෙකක් ඔස්සේ විචලනය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් (E field) හා චුම්භක ක්ෂේත්‍රයක් (H field) පවතින බවත්, තරංගය ගමන් කරන්නේ මෙම ක්ෂේත්‍ර දෙකම කම්පනය වන දිශාවලට ලම්භක දිශාවක් ඔස්සේ බවත්.


විද්‍යුත් ක්ෂේත්‍ර දිශාව, චුම්භක ක්ෂේත්‍ර දිශාව, හා තරංගය ප්‍රචාරණය වන දිශාව අතර නියත සම්බන්දතාවක් තිබෙන අතර, එය පහත දැක්වෙන සේ “සුරත් රීතියෙන්” සෙවිය හැකිය. මින් කියන්නේ දකුණු අතේ මහපොට දඹර හා මැද ඇඟිලි පහත රූපයේ ආකාරයට එකිනෙකට ලම්භකව තැබූ විට, විද්‍යුත් ක්ෂේත්‍රය දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්ද, චුම්භක ක්ෂේත්‍රය දඹරැඟිල්ල මඟින්ද, විද්‍යුත්චුම්භක තරංග ප්‍රචාරණය මැදඟිල්ල මඟින්ද නිරූපණය වන බවයි.


විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාව අතර පහත ආකාරයේ සම්බන්දතාවක් තිබේ. එනම්, විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රීව්‍රතා අගය (සම්මත ඒකකවලින්) හැමවිටම චුම්භක ක්ෂේත්‍ර ඝනත්ව අගය (සම්මත ඒකකවලින්) ආලෝකයේ වේගයෙන් (සම්මත ඒකකවලින්) ගුණ කළ විට ලැබෙන අගයට සමාන වේ.

E = cB

විද්‍යුත්චුම්භක තරංගයේ හමු වන්නේ චුම්භක ක්ෂේත්‍රයක් වන අතර, එහි අගය සාමාන්‍යයෙන් මනින්නේ චුම්භක ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාව (Magnetic field strength – H ) යන රාශියෙන් වේ. එහෙත් ඉහත සූත්‍රයේ චුම්භකත්වය පිළිබඳ මිම්ම දී තිබෙන්නේ චුම්භක ස්‍රාව ඝනත්වය (Magnetic flux density – B) යන රාශියෙනි. B හා H අතර B=μH යන සම්බන්දතාව පවතී. μ යනු චුම්භක පාරගමග්‍යතාව (magnetic permeability) යන රාශිය වේ (පාරගම්‍යතාව යනු චුම්භක ක්ෂේත්‍ර බල රේඛාවලට ගමන් කිරීමට ඇති පහසුවයි). රික්තකයේත්, සාමාන්‍ය වායුගෝලයේත් චුම්භක නොවන ද්‍රව්‍ය සියල්ලෙහිම පාහේත් එම අගය 4π x 10-7 පමණ වේ.

තවද, ඕනෑම මාධ්‍යයක (රික්තකයේ වුවද) විද්‍යුත්චුම්භක තරංගයක් ගමන් කරන වේගය එම මාධ්‍යයේ චුම්භක පාරගම්‍යතාව හා විද්‍යුත් පාරවේද්‍යතාව (electric permittivity – ε) මත හැමවිටම රඳා පවතී (පාරවේද්‍යතාව යනු විද්‍යුත් ක්ෂේත්‍ර බල රේඛාවලට ගමන් කිරීමට ඇති පහසුවයි). රික්තකයේ හා වායුගෝලයේ පාරවේද්‍යතා අගය 8.85418782 × 10-12 පමණ වේ. රික්තකය සඳහා වූ μ හා ε අගයන් මෙම සූත්‍රයට ආදේශ කළ විට, 300,000,000ms-1 යන රික්තකය තුල ආලෝකයේ වේගය ලැබේ.

විද්‍යුත්චුම්භක තරංග වේගය = 1/ (මාධ්‍යයේ පාරගම්‍යතාව x මාධ්‍යයේ පාරවේද්‍යතාව)

ඇත්තටම ඇන්ටනා හා රේඩියෝ සන්නිවේදනය ගැන කතා කරන විට, විද්‍යුත්චුම්භක තරංගයේ විද්‍යුත් ක්ෂේත්‍රය තමයි මූලික වන්නේ (චුම්භක ක්ෂේත්‍රය ගැන ඉතා අඩුවෙන් කතා කෙරේ). පොලොවට සාපේක්ෂව විද්‍යුත් ක්ෂේත්‍ර විචලනය/කම්පනය සිදු වන්නේ කුමන තලයක් මතදැයි මෙහිදී සොයා බැලේ.


ඇන්ටනාවකින් රේඩියෝ තරංග නිකුත් වන විට, ඇන්ටනාව පිහිටුවන ආකාරය අනුව, රේඩියෝ තරංගයේ විද්‍යුත් ක්ෂේත්‍රය අවකාශයේ පවතින ආකාරය (එනම් සිරස්වද තිරස්වද හෝ වෙනත් ආනතියකින්ද පවතින්නේ වග) තීරණය වේ. අවකාශයේ මෙම විද්‍යුත් ක්ෂේත්‍රය පවතින ආකාරය polarization (ධ්‍රැවීකරණය) ලෙස හැඳින්වේ.

 
එක එක ආනති ඔස්සේ පොලරයිසේෂන් එක විවිධාකාරයෙන් පැවතිය හැකි වුවත්, සන්නිවේදනයේදී ඉන් ප්‍රධාන ආකාර 2ක් වැදගත් වෙනවා. එන් එකකදී විද්‍යුත් ක්ෂේත්‍රය කම්පනය වන්නේ ඉහල පහලට හෙවත් සිරස්ව වේ. එය vertical polarization (H pole) ලෙස හැඳින්වේ. අනෙකෙහි විදුලි ක්ෂේත්‍රය කම්පනය වන්නේ තිරස්ව වන අතර, එය horizontal polarization (V pole) ලෙස හැඳින්වේ.









රේඩියෝ තරංගවලට පමණක් නොව ආලෝකය ඇතුලු අනෙක් සියලු විද්‍යුත්චුම්භක තරංගවලට මෙම ගතිගුණය ඇත. මීට පෙර ටීවී තිර ගැන කතා කළ පාඩමේදී ආලෝකයේ ධ්‍රැවීකරණය ගැන කතා කළා මතකද?

ඩයිපෝලය සිරස්ව තබා රේඩියෝ තරංග සම්ප්‍රේෂනය සිදු කළොත් ඉන් විසිරී යන්නේ vertically polarized සංඥාය. මෙවිට ඇන්ටනාව vertical polarization antenna හෝ vertically polarized antenna ලෙස හඳුන්වමු. ඩයිපෝලය තිරස්ව තබා රේඩියෝ තරංග සම්ප්‍රේෂනය කළොත් ඉන් විසිරී යන්නේ horizontally polarized සංඥාය. මෙවිට ඇන්ටනාව horizontal polarization antenna හෝ horizontally polarized antenna ලෙස හඳුන්වමු. ඩයිපෝලය තබන විදිය අනුව පොලරයිසේෂන් එක තීරණය වේ (එය එතරම්ම සරල දෙයකි).




රේඩියෝ තරංගයේ විද්‍යුත් ක්ෂේත්‍රය පිහිටන ආකාරය හෙවත් රේඩියෝ තරංගයේ පොලරයිසේෂන් එක ඇත්තටම ඉතා වැදගත් සාධකයකි. යම් රේඩියෝ සංඥාවක් සම්ප්‍රේෂක ඇන්ටනාවකින් විසුරුවන අතර, එම රේඩියෝ තරංග යම් ආදායක ඇන්ටනාවකින්නෙ ග්‍රහණය කර ගන්නේ. ඉතිං, සම්ප්‍රේෂක ඇන්ටනාවෙන් නිකුත් වූ එම රේඩියෝ තරංග හොඳින් ග්‍රහණය කර ගන්නට අවශ්‍ය නම්, ආදායක ඇන්ටනාව පිහිටවිය යුත්තේ සම්ප්‍රේෂක ඇන්ටනාවේ පොලරයිසේෂන් එකට සමානවයි. අසාමාන වුවොත් න්‍යායාත්මකව කිසිදු සංඥාවක් ග්‍රහණය කර ගන්නට බැරි වෙනවා සංඥාව කොතරම් ප්‍රබලව පැවතියත්. මෙම තත්වය cross polarization ලෙස හැඳින්වෙනවා. එහි සරල ආකෘතිකමය පැහැදිලි කිරීම පහත ආකාරයට සිදු කළ හැකිය.

සිතන්න සම්ප්‍රේෂක ඇන්ටනාව සිරස් කියා. මෙවිට ඉන් පිටවන රේඩියෝ තරංගවල විද්‍යුත් ක්ෂේත්‍රය පිහිටන්නේද සිරස්වයි. එවිට, එහි චුම්භක ක්ෂේත්‍රය තිරස්ව පිහිටයි. එම රේඩියෝ තරංගය සිරස් ආදායක ඇන්ටනාවක් වෙත පැමිණේ යැයි සිතමු. දැන් අර රේඩියෝ තරංගවල තිරස් පැත්තට විචලනය වන චුම්භක ක්ෂේත්‍ර බල රේඛා මඟින් සිරස් ඇන්ටනාව හෙවත් සිරස් සන්නායක දණ්ඩ කපනවා. එහි ප්‍රතිපලය ලෙස ආදායක දණ්ඩ මත සංඥාවට අනුරූපව නව විදුලි ධාරාවක් ප්‍රේරණය වෙනවා (විද්‍යුත්චුම්භක ප්‍රේරණය ලෙස හඳුන්වන්නේ එයයි).

ඒ අනුව පැහැදිලි විය යුතුයි ඇන්ටනා දෙකෙහි පොලරයිසේෂන් සමාන විය යුතුයි කියා සම්ප්‍රේෂනය කරපු රේඩියෝ සංඥා ග්‍රහණය කර ගන්නට නම්. උදාහරණයක් ලෙස, වයිෆයි රවුටරයක ඇන්ටනාව සිරස්ව තැබූ විට, ඉන් පිට වන සංඥා සිරස් වේ. මෙවිට වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් වන යම් ස්මාර්ට් උපකරණය ඔබ අතේ තබා ගෙන සිටින්නේ එහි (ආදායක) ඇන්ටනාවද සිරස්ව තිබෙන ආකාරයට නම් රවුටරය හා හොඳින් රේඩියෝ සම්බන්දතාව ඇති වේ. එහෙත් දැන් ස්මාර්ට් උපකරණය අංශක 90කින් කැරකැවූ විට එහි ඇන්ටනාව තිරස් වේ. එවිට සිරස් සංඥා හසු වීම ඉතා දුර්වල වේවි (න්‍යායාත්මකව ශූන්‍ය වේවි).




සම්ප්‍රේෂක හා ආදායක ඇන්ටනා දෙක අතර අංශක 90ක පොලරයිසේෂන් වෙනසක් තිබේ නම්, ඉහත පැවසූ ආකාරයට සංඥා ග්‍රහණයක් සිදු නොවේවි. එහෙත් අංශක 90කට අඩු ගණනකින් පොලරයිසේෂන් වෙනසක් ඇත්නම්, සංඥාවෙන් කුඩා ප්‍රමාණයක් ග්‍රහණය වේවි. එලෙස ග්‍රහණය වන ප්‍රමාණය අඩු වෙනවා අංශක ගණන වැඩි වෙන විට (වෙනස අංශක 0 නම්, ඉතා ප්‍රබලව සංඥාව ග්‍රහණය වන අතර, අංශක 45ක් නම් සංඥාවෙන් භාගයක් ග්‍රහණය වන අතර, අංශක 90ක් නම් සංඥා ග්‍රහණය ශූන්‍ය වේ). මේ අනුව, මෙම කෝණ අගය අනුව සංඥා ග්‍රහණය අවම වීම ලොස් එකක් ලෙස සැලකිය හැකියි. මෙම ලොස් එක Polarization Efficiency හෝ Polarization Loss Factor (PLF) ලෙස හැඳින්වෙන අතර, පහත දැක්වෙන සරල සූත්‍රයෙන් එම ලොස් එක ගණනය කළ හැකියි.

PLF = cos2(θ)


එහෙත් ප්‍රායෝගිකව ගත් විට, සම්ප්‍රේෂක හා ආදායක ඇන්ටනා දෙකෙහි පොලරයිසේෂන් වෙනස් වුවත්, සංඥා යම් පමණකින් හෝ ග්‍රහණය කර ගත හැකියි. ඊට හේතුව සම්ප්‍රේෂකයේ සිට ආදායකය දක්වා රේඩියෝ තරංග එන අතරේදී විවිධ සංසිද්ධි නිසා (පරාවර්තනය, වර්තනය ආදී) සංඥාවලින් කොටසක් විවිධ ආනති/පැතිවලට හැරෙනවා (ඒ කියන්නේ පිළිවෙලට ආ සංඥා මඟදී අපිළිවෙල වෙනවා; හරියට උදේට ලස්සනට ඇඳගෙන පාසල් යන ළමුන් හවස ගෙදර එන විට කුණු නාගෙන කිළිටි වී එනවා සේ). ඒ කියන්නේ ආදායක ඇන්ටනාව කොහි ආනතියෙන් තැබුවත් එම පැත්තට ආනත වූ සංඥා කොටසක් තිබේවි ඉන් ග්‍රහණය කළ හැකි ලෙස. ඇත්තටම මෙතැන ක්වන්ටම් භෞතික පැහැදිලි කිරීමක් තිබෙනවා; ඉන් කියන්නේද හරියටම අංශක 90කින් හැර වෙනත් ඕනෑම ඇලයකින් එන සංඥාවකින් ආදායක ඇන්ටනාව මත සංඥා විදුලියක් ප්‍රේරණය වේ යන්නයි. කෙසේ වෙතත්, පොලරයිසේෂන් නොගැලපීමෙන් සංඥා ග්‍රහණය වන්නේ ඉතා දුර්වල වීමෙන්ය.

සාමාන්‍ය ටීවී චැනල් භාවිතා කරන ඇන්ටනා හොරිසොන්ටල් වේ (එනිසා ගෙවල්වලදී ටීවී ඇන්ටනා පිහිටවිය යුත්තේද හොරිසොන්ටල් ලෙසයි). ආධුනික ගුවන් විදුලියේදී VHF/UHF SSB, CW, Digital modes සාමාන්‍යයෙන් හොරිසොන්ටල් ඇන්ටනා භාවිතා කරනවා. ග්‍රවුන්ඩ් වේව් භාවිතා කරන විට සාමාන්‍යයෙන් වර්ටිකල් ඇන්ටනා භාවිතා වේ. අයනගෝලය හරහා සන්නිවේදනය කරන විට (එනම් ස්කයි වේව් යොදා ගන්නා විට), පොලරයිසේෂන් එක එච්චර වැදගත් නැත. ඊට හේතුව අයනගෝලය හරහා කිලෝමීටර් සිය දහස් ගණන් යන විට සම්ප්‍රේෂනය කරපු පොලරයිසේෂන් එක විවිධ පැතිවලට වෙනස් වේ. එවිට ආදායක ඇන්ටනාවට ලැබෙන්නේ විවිධ පොලරයිසේෂන්වල මිශ්‍රණයකි.

වර්ටිකල් හා හොරිසොන්ටල් යන දෙවර්ගයම පොදුවේ linear polarization (LP) කියා හැඳින්වෙනවා. වර්ටිකල් හා හොරිසොන්ටල් යන දෙවර්ගයම එකවර යොදා ගෙන රේඩියෝ සංඥා විසුරුවන ක්‍රමයක්ද ඇත (වර්ටිකල් හා හොරිසොන්ටල් දෙවර්ගයම එකට තිබෙනවා යැයි කියන විට ඉන් ඉබේම ඒ ක්‍රම දෙක අතර තිබෙන ඕනෑම ආනතියක පොලරයිසේෂන්ද පවතිනවා). එය circular polarization (CP) ලෙස හැඳින්වේ. මෙහිදී ඇන්ටනාවේ සිට විකිරණය වන රේඩියෝ තරංගවල හැඩය දැකිය හැකි නම් එම තරංග “රවුම් රවුම්” ලෙස (කැරකි කැරකි) එලියට පහත රූපයේ ආකාරයට එන බවක් පෙනේවි. මෙවැනි ඇන්ටනාවක් නිර්මාණය කරන හැටි පසුවට බලමු තවත් විස්තර සමඟම.




කැරකෙන පැත්ත අනුව සර්ක්‍යුලර් පොලරයිසේෂන් දෙවර්ගයකි - Right handed (දක්ෂිණාවර්ත) circular polarization (RHCP) හා Left handed (වාමාවර්ත) circular polarization (LHCP). මෙහිත් පෙර ලීනියර් පොලරයිසේෂන් ඇන්ටනාවල පැවති cross polarization තත්වය ඇත. එනම්, RHCP සම්ප්‍රේෂක ඇන්ටනාවකින් පිටවන රේඩියෝ සංඥා ග්‍රහනය කරන්නේ LHCP ආදායක ඇන්ටනාවකින් නම් සංඥා ග්‍රහනය කිරීමට ඉතාම දුර්වල වේවි.




එසේ වුවත්, සම්ප්‍රේෂනයේදී සර්ක්‍යුලර් පොලරයිසේෂන් යොදා ගන්නා විට, ආදායක ඇන්ටනාව ලීනියර් පොලරයිසේෂන් ජාතියේ එකක් නම්, එය කුමක් වුවත් ගැටලුවක් නැත (වර්ටිකල් වුවත් හොරිසොන්ටල් වුවත්, ඒ දෙකම නොවන වෙනත් ආනතියක් වුවත්). මේ ඕනෑම එකකට ගැලපෙන පොලරයිසේෂන් එකක් සහිත සංඥා කොටසක් circularly polarized radio signal එක තුල ඇත. එනිසා CP සම්ප්‍රේෂක ඇන්ටනාවක් හා LP ආදායක ඇන්ටනාවක් අතර ක්‍රොස් පොලරයිසේෂන් දෝෂය හට ගන්නේම නැත. එය විශාල වාසියකි.

සර්ක්‍යුලර් පොලරයිසේෂන්හි ඇති වාසිය නම් ඕනෑම ජාතියේ ආදායක ඇන්ටනාවකින් අවම වශයෙන් සම්ප්‍රේෂනය කරපු රේඩියෝ තරංග ජවයෙන් ½ ක් “උරා ගත” හැකිය. ඒ කියන්නේ circularly polarized සංඥාවකින් හැමවිටම -3dB ක හායනයක් ඇති වෙනවා (සංඥාවෙන් ½ ක් පමණක් ආදායක ඇන්ටනාවට ලැබෙන නිසා). මෙම හායනය මීට පෙර කතා කළ PLF ම තමයි. සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවල ඩිෂ් ඇන්ටනාව සර්ක්‍යුලර් පොලරයිසේෂන් ඇන්ටනාවකි.

රේඩියෝ තරංග මඟින් පාලනය කරන (Radio-controlled – RC) කොලිටියෙන් උසස් සෙල්ලම් ගුවන් යානා සඳහා භාවිතා වන්නේ CP ඇන්ටනා වේ. ගුවනේදී ප්ලේන් එක විවිධ පැතිවලට කරකැවෙනවානෙ. තවද, රිමෝට් කන්ට්‍රෝලර් එකත් ඒ මේ අතට හැරවෙනවානෙ. රිමෝට් කන්ට්‍රෝලර් එකේ ඇන්ටනාවත් ප්ලේන් එකේ සවි කර තිබෙන ඇන්ටනාවත් ලීනියර් පොලරයිසේෂන් වර්ගයේ නම්, නිතරම ඇන්ටනා දෙක අහඹු දිශාවල පිහිටීම නිසා ක්‍රොස් පොලරයිසේෂන් දෝෂය හට ගෙන ගුවන් යානය මොහොතකට හෝ රිමෝට් කන්ට්‍රෝලර් එකේ පාලනයෙන් මිදෙනු ඇත. එහෙත් CP ඇන්ටනා භාවිතා කළොත් එම තත්වය මඟ හැරේ.

තවද, RC උපකරණවල සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඔම්නිඩිරෙක්ෂනල් ඇන්ටනාය. ඊට හේතුවත් ඔබට දැන් තර්ක කර බැලිය හැකිය. ගුවන් යානය විවිධ පැතිවලට ගමන් කරනවා. ඉතිං එය පාලනය කරන රිමෝට් කන්ට්‍රෝලරය ගුවන් යානයට ඕනම පැත්තක තිබිය හැකියි. එනිසා, ඒ ඕනෑම පැත්තක සිට සාර්ථකව සංඥා යැවීමට අවශ්‍ය නම් වටේටම සමාකාරව සංඥා යැවීම වැදගත් වේ (පහත රූපයේ කොලපාට රවුමෙන් එය දැක්වේ). එහෙත් ඔබට රිමෝට් කන්ට්‍රෝලර් පරිපථයේ ජවය වැඩි නොකර සාමාන්‍යයෙන් එය සපෝට් කරන දුරට වඩා විශාල දුරක් (කිහිප ගුණයක් වැඩි දුරක්) ලබා ගත හැකියි ඩිරෙක්ෂනල් ඇන්ටනාවක් යොදා ගන්නේ නම් (පහත රූපයේ රතුපාට පෙත්තෙන් එය දැක්වේ).

මෙවිට තිබෙන අවාසිය නම් ගුවන් යානය තිබෙන නිශ්චිත දිශාවටම රිමෝට් කන්ට්‍රෝලර් ඇන්ටනාවේ මේන්ලෝබ් එක දිශාගත කළ යුතුය. ටිකක් එහෙට මෙහෙට වුවොත් එකවරම ගුවන් යානය ඔබේ පාලනයෙන් මිදී යාවි (පහත පටු රතුපාට පෙත්ත තුල ගුවන් යානය හැමවිටම පවත්වා ගෙන යෑමට වගබලා ගත යුතුය; එය අමාරු වැඩකි).




CP ක්‍රමයේ තවත් වාසියක් තිබෙනවා සම්ප්‍රේෂක හා ආදායක යන ඇන්ටනා දෙකම එකම CP ක්‍රමය භාවිතා කරනවා නම්. එනම් multipath fading දෝෂයද ඉබේම ඉවත් වෙනවා. ඊට හේතුව මෙයයි. යම් CP සංඥාවක් (සිතමු RHCP කියා) කුමක් හෝ වස්තුවක වැදී පරාවර්තනය වන විට එහි CP එක මාරු වෙනවා (එනම් RHCP සංඥාව LHCP බවට පත් වේ; LHCP සංඥාවක් RHCP බවට පත් වේ). ඉතිං, මල්ටිපාත් ෆේඩිං දෝෂය ඇති වන්නේ විවිධ වස්තුවල වැදී පරාවර්තන වී එන සංඥා කොටස් නිසානෙ. දැන් පොලරයිසේෂන් එක මාරු වීම නිසා, පරාවර්තිත සංඥා ආදායක ඇන්ටනාව විසින් ප්‍රතික්ෂේප වෙනවා (ක්‍රොස් පොලරයිසේෂන් නිසා). එවිට මල්ටිපාත් ෆේඩිං දෝෂය නැති වෙනවා.

යම් සංඥාවක් පරාවර්තනය වීමේදී සාමාන්‍යයෙන් එහි කලාව ප්‍රතිවිරුද්ධ වේ. CP හිදී කලාව මාරුවීම පොලරයිසේෂන් එක මාරු වීමකි. එය සිදු වීම වාසියක් බව ඉහත දුටුවා. මෙය LP හිදිත් සිදු වුවත් එහි වාසියක් වෙනුවට බොහෝවිට ඇත්තේ අවාසියකි. LP සංඥාවක් පරාවර්තනය වීමේදී කලාව ප්‍රතිවිරුද්ධ වීම යනු අංශක 180කින් මාරු වීමයි. එවිට යම් ධන අගයක් ඍනද, යම් ඍන අගයක් ධනද වේ. කලා මාරුව පොලරයිසේෂන් එක මාරු වීමක් බවට පත් නොවේ. එනිසා vertical සංඥාවක් horizontal, horizontal සංඥාවක් vertical ද නොවේ. මෙනිසා LP හිදි පරාවර්තිත සංඥා මල්ටිපාත් ෆේඩිංවලට මඟපාදනවා.

Corner reflector නම් වටිනා සරල උපකරණයක්/ඇටවුමක් ඇත. ඉන් කරන්නේ ඊට පතිත වන ආලෝකය/රේඩියෝ තරංග සියල්ලම ඒවා ආපු තැනටම නැවත පරාවර්තනය කිරීමයි. යම් යම් ස්ථානවලට ඇති දුර මැනීමට විශේෂයෙන් මෙවැනි ඇටවුමක් භාවිතා කරනවා. එහිදී අවශ්‍ය ඈත තැනක මෙය රඳවා ඊට ලේසර් හෝ රේඩියෝ තරංග එල්ල කරනවා. එවිට, එම තරංග පරාවර්තනය කර එවනවා ඒවා නිකුත් කළ තැනටම. මෙවිට යවපු සංඥාව එතැනට ගොස් නැවත ගත වූ කාලය මැන්න විට, ඊට ඇති දුර සෙවිය හැකියි. මේ ක්‍රමයට සඳට ඇති දුර ඉතා නිරවද්‍යව මැන ගැනීමටද හැකි වූවා (සඳ මත කොනර් රිෆ්ලෙක්ටරයක් සවි කරමින්).




මා කොනර් රිෆ්ලෙක්ටර් ගැන සඳහන් කළේ, එම ඇටවුම (පරාවර්තක පෘෂ්ට 2ක් තිබෙන dihedral corner reflector ගැනයි මා මේ සඳහන් කරන්නේ) තුල සංඥාව දෙවරක් පරාවර්තනය වන නිසා, ඉන් පිටවන සංඥාව මුල්/ඔරිජිනල් සංඥාවට සමානය (කලාවෙන් හා පොලරයිසේෂන් එකෙන්). මෙවන් ඇටවුමක් යොදා ගත හැකි ප්‍රයෝජනවත් අවස්ථා ගැන සිතා බලන්න.




4 comments:

  1. ස්තුතී..වටිනා ලිපියක් හැමදාම වගේ

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි ෂමින්ද...

      Delete
  2. ඔබතුමාට ස්තුතියි,
    පුංචි ගැටලුවක් තියනව, ඇන්ටනා පළමු ලිපියේ තියෙන පරිදි පරිපථය සංවෘත නොවන විට ඩයිපෝලයේ විදුලි ධාරාවක් ඇතිවීම තේරුම් ගැනිම අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක තරමක් තේරුම් ගන්න අපහසු විය හැකියි. මෙම තත්වය තවදුරටත් මීළඟ ලිපියේ විස්තර කෙරෙනවා කොහොමත් (ෆීඩ්ලයින් ගැන කතා කරන විට).

      ඒ ගැන මෙහෙම සිතන්න. සාමාන්‍ය විදුලි ධාරාවක් ගලා යෑමට නම් සංවෘත ගමන් පථයක් තිබීම අත්‍යවශ්‍යයිනෙ (ඒකනෙ පරිපථ යන නමත් ලැබී තිබෙන්නේ). දැන් ට්‍රාන්ස්මීටරයෙන් සංඥා රැගත් විදුලියක් පිට කරනවා. එම විදුලිය ඇන්ටනාවට සවි කරපු ෆීඩ් ලයින් එක දිගේ ගමන් කරනවා. එම ෆීඩ් ලයින් එක උපකල්පනය කරන්න අනන්තයක් ඈතට දිවෙනවා කියා. එවිට එම වයර් එක දිගේ විදුලිය ගමන් කරනවා අනන්තය තෙක් (නමුත් එය ගමන් කර අවසන් වන්නට අනන්ත කාලයක් වැය වෙනවා). දැන් එලෙස සියලු සංඥා දිගටම ෆීඩ්ලයින් එක දිගේ යාවි. එම විදුලියෙන් කොටසක් විකිරණය වේවි.

      ඉහත ආකාරයටම ඇත්තටම ට්‍රාන්ස්මීටරයට "දැනෙනවා" අනන්තයක් දිග වයරයක්. ඒනිසා එම වයරයට යවන සියලු විදුලිය වැය වෙනවා ලෙස ට්‍රාන්ස්මීටරයට දැනෙනවා හරියටම රෙසිස්ටරයක් හරහා විදුලියක් යැවූ විට එම රෙසිස්ටරයෙන් එම විදුලිය තාප උත්සර්ජනයක් සිදු කරනවා සේ. එහෙත් මෙම අවස්ථාවේදී තාප උත්සර්ජනයක් වෙනුවට ඇති වන්නේ විදුලි ශක්තිය විකිරණ ශක්තියක් බවට පත් වීමයි.

      ඔබ දන්නවා ෆීඩ්ලයින් එක අනන්තයක් දිග වයර් එකක් නොවෙයිනෙ. ට්‍රාන්ස්මීටරයට එසේ දැනෙන්නේ ඇන්ටනාව නම් අපූරු උපකරණය විසින් එසේ දනවන නිසාය. ඇන්ටනා තියරි අනුව ඇන්ටනාවක් සාදන විට ඇන්ටනාව අනන්තයක් දිග වයරයක් සේ හැසිරෙනවා. එනිසා ඔබේ ප්‍රශ්නය පාදක කොට ඇති සාමාන්‍ය විදුලි න්‍යායට අමතරව, ඇන්ටනාව තවත් න්‍යායක් (ඇත්තටම න්‍යායන් කිහිපයක්ම) අනුව වැඩ කරනවා. මේ ගැන විස්තරාත්මකව ඉදිරි ලිපිවල පළ වේවි.

      Delete