Monday, April 10, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 87

Amateur Radio Log

අප කරන බොහෝ දේවල් පිළිබඳ ලිඛිතව වාර්තා තබා ගැනීමේ පුරුද්දක් තිබෙනවානෙ. සමහරුන් ඩයරි භාවිතා කරන්නෙත් මේ නිසාය. ආධුනික ගුවන් සේවයේදීත් තමන් කරන සියලු සංවාද පිළිබඳ සටහන් පවත්වා ගෙන යා යුතු යැයි ලංකාවේ (හා තවත් සමහර රටවල) නීති රෙගුලාසි විසින් අනිවාර්ය කර තිබේ. ඇමරිකාවේද මෑතක් වන තුරු මෙම නීතිය තිබූ අතර, මේ වන විට එම නීතිය ඉවත් කර ඇත (කැමති නම් පමණක් තමන්ට එලෙස වාර්තා තබා ගත හැකියි). මෙලෙස ආධුනික ගුවන් සංවාද වාර්තාව log ලෙස හැඳින්වේ.

ලොග් එකකට ඇත්තෙන්ම පැතිකඩවල් 3ක් ඇත.

1. පෞද්ගලික – මෙහිදී තමන් අතීතයේ සිදු කළ සංවාද පිළිබඳ මතක් කර ගැනීමට මෙම වාර්තා ඉවහල් වේ (පැරණි මතකයන් අලුත් කිරීමට). එම වාර්තාවලින් පෙන්වන්නේ තමන්ගේ “පම්පෝරිය” වේ (අර පාසල් ළමයෙකුගේ රිපෝට් කාඩ් එක වගේ).

2. ක්‍රියාන්විත – සමහර අවස්ථාවලදී (විශේෂයෙන් තරගවලදී) තමන් කළ සංවාද පිළිබඳ විස්තර සැපයිය යුතුය. ඒවා සෑම එකක්ම සියලු විස්තර සහිතව සිතෙහි මතක තබා ගෙන සිටීමට බැහැනෙ. එවිට මෙම ලොග් එක එම රාජකාරිය ඉටු කරයි.

3. නෛතික – රටේ නීතිය විසින් අනිවාර්ය කර තිබේ. ඇයි එය නීතියෙන් අනිවාර්ය කර තිබෙන්නේ? ආධුනික ගුවන් සේවයේ කටයුතු බොහෝමයක්ම ස්වයං පාලනයකින් සිදු වේ (එනම් ආධුනික ශිල්පින් තමන්ගේ යහපැවැත්ම පවත්වාගෙන යනවා යැයි උපකල්පනය කෙරේ). නීතිය පන්න පන්නා එන්නේ නැත. ඉතිං, තමන්ගේ සන්නිවේදන ක්‍රියාකාරකම් පිළිබඳ තමන්ම වාර්තා තබා ගෙන අවශ්‍ය වෙලාවට නිසි බලධාරින් එය ඉල්ලා සිටි විට පමණක් එය පෙන්වීමට සූදානමින් සිටී. නීති විරෝධි අයුරින් සංවාද නොකර ඇති බවට එම ලොග් සටහන් සාක්ෂි දරාවි.

තවද, සමහර ප්‍රශ්නවලදී ලොග් සටහන් ඇත්තටම සහයට පැමිණේ. උදාහරණයක් ලෙස, අහවල් දවසේ අහවල් වෙලාවේ ඔබේ සන්නිවේදන උපකරණ විසින් වෙනත් සන්නිවේදන සේවාවකට බාධාවක් එල්ල වූයේ යැයි එම සන්නිවේදනය සේවාව ඔබට විරුද්ධව චෝදනාවක් එල්ල කළ විට, ඇත්තටම ඊට ඔබ වගකිව යුතු නැතිනම් (එනම්, එම වෙලාවේ ඔබ කිසිදු සන්නිවේදනයක් සිදු කර නොමැති බවට හෝ ඒ කියනා විදියේ බලපෑමක් ඇති කළ හැකි අයුරින් සන්නිවේදනයක් සිදු නොකළ බවට හෝ), ඔබේ ලොග් සටහන් සාක්ෂි දරාවි.

ලොග් සටහන් පවත්වාගෙන යා යුත්තේ ලොග් පොතක වේ. එම පොතේ පිටු තදින් බයින්ඩ් කර තිබිය යුතුය (එනම් පසුකාලීනව පිටු ඇතුලත් කළ නොහැකි සේ බයින්ඩ් කර තිබිය යුතුය). තවද, පිටු අනුක්‍රමිකව අංක කර තිබිය යුතුය. සටහන් ලිවිය යුත්තේ මැකිය නොහැකි පරිදිය (එනම් පෑනෙන් ලිවිය යුතුය; පැන්සල් භාවිතා නොකරන්න). මේ සියල්ලම සිදු කරන්නේ හොර වැඩ අවම කිරීමටයි. පහත දැක්වෙන්නේ එවැනි ලොග් පොතක පිටුවකි.


සෑම සංවාදයක් සඳහාම එහි එක් වාර්තාවක් (record) ලිවිය යුතුය. එම වාර්තාවට ඇතුලත් විය යුතු කරුණු මූලිකව වර්ග දෙකකි. එනම්, ඔබ සංවාද කරපු අනෙක් පුද්ගලයාගේ විස්තර හා එම සංවාදයට අදාල පොදු විස්තර වේ. පහත දැක්වෙන්නේ මෙම දෙවර්ගයටම අදාල දත්තයන්ය. මෙම දත්තයන්ට අමතරව, ඔබට සුදුසු යැයි හැඟෙන ඕනෑම තවත් අතිරේක විස්තරයක් වුවද එහි සටහන් කළ හැකිය (උදාහරණයක් ලෙස, ඔහුගේ වෙනත් විස්තර, ඔහු කී සමහර දේවල් ඔබට වැදගත් යැයි සිතෙන්නේ නම් ඒවා වුවද ලිවිය හැකිය; පසු කාලීනව එම සංවාදය ගැන මතක් කළ හැකි ඕනෑම තොරතුරක් ලිවිය හැකිය).

1. සංවාදය කළ දවස, සංවාදය පටන් ගත් හා අවසන් කළ වෙලාවන් – මේවා GMT ෆෝමැට් එකෙන් ලිවිය යුතුය (GMT වෙලාව UTC ලෙසද හැඳින්වේ; එයම Zulu ලෙසද හැඳින්වේ).

සාමාන්‍යයෙන් DDMMYY[YY] යන ෆෝමැට් එකෙන් දිනය ලිවිය හැකිය (පළමුව දවස ඉලක්කම් 2කින්ද, මාසය ඉලක්කම් 2කින්ද, වසර ඉලක්කම් 2කින් හෝ 4කින්). තවද මෙම දිනය UTC දිනය විය යුතුය (එනම් ඔබ සංවාදය කරන විට එංගලන්තයේ දිනයයි ලිවිය යුත්තේ). උදාහරණයක් ලෙස, ඔබ 2017 අප්‍රේල් 9 පාන්දර 2.30ට සංවාදයක් කරයි නම්, එම මොහොතේ එංගලන්තයේ දිනය වන්නේ අප්‍රේල් 8 වේ (එදින රාත්‍රී 9 පමණ). මීට හේතුව ලංකාවට වඩා පැය 5.30ක් පිටුපසින් GMT වෙලාව පිහිටීමයි. මෙවිට ඔබ ලොග් පොතේ සටහන් කළ යුත්තේ අප්‍රේල් 8 මිස 9 නොවේ.

GMT වෙලාව 1930 ආදි ලෙස එකට ලියූ ඉලක්කම් 4කින් ලිවිය හැකිය. එය 19:30 හෙවත් රාත්‍රී 7.30 වේ (GMT වෙලාවෙන්).

ඔබට කැමති නම් එය සාමාන්‍ය රටේ දවසින් හා වෙලාවෙන් (local time) වුවද ලිවීමට අවසර තිබේ. එහෙත් ලෝකල් හා ජීඑම්ටී ෆෝමැට් දෙක කලවම් කරමින් නොලිවිය යුතුය.

2. සංවාදය සිදු කළ සංඛ්‍යාතය

3. සංවාදය සිදු කළ එමිෂන් වර්ගය (mode)

4. සංවාදය සිදු කළ ට්‍රාන්ස්මීටරය කොපමණ ජවයකින් පැවතියාද යන්න (භාවිතා කළ උපරිම ජව අගය)

5. අනෙක් කෙනාගේ කෝල්සයිනය හා ඔහුගේ නම, හා ඔහුගේ QTH (සිටින ස්ථානය).

6. ඔහුගේ සිග්නල් රිපෝට් එක


යම් ලොග් පොතක සටහන් කර ඇති අවසාන රෙකෝඩ් එක සටහන් කර ඇති දිනයේ සිට අඩුම ගානේ තවත් අවුරුද්දක්වත් ඉදිරියට යන තෙක් එම පොත ආරක්ෂා කර ගත යුතුය (ඇත්තටම මෙම පොත මතක සටහන් පොතක් ලෙස ජීවිත කාලයේම වුවද තබා ගැනීමට සුදුසු එකකි).

නිසි බලධාරින්ට (TRC හා ඔවුන් බලය පැවරූ ඕනෑම අයෙකුට) ඔබේ ලොග් පොත (පසුගිය වසර තෙක් සියලු රෙකෝඩ්) ඕනෑම මොහොතක පරික්ෂා කිරීමට අවසර තිබේ. ලොග් පොත පමණක් නොව, ඔබේ සන්නිවේදන උපකරණ පවා ඕනෑම මොහොතක එලෙස ඔවුන්ට පරික්ෂා කිරීමට බලය ඇත.

ලොග්පොතක් තමන්ටම පහසුවෙන් සාදා ගත හැකියි. පරිගනකයේ Microsoft Excel හෝ LibreOffice Calc වැනි ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර් එකකින් ලොග් පිටුවේ ආකෘතිය පහසුවෙන්ම ඩිසයින් කර එය A4 කොල ටිකකට ප්‍රින්ට් කර ගත හැකියි (හෝ එලෙස එක පිටුවක් ප්‍රින්ට් කරගෙන ඉන් අවශ්‍ය තරමට ෆොටෝ කොපි ගත හැකිය). ඉන්පසු බයින්ඩිං ගම් භාවිතා කරමින් ඉතා පහසුවෙන්ම බයින්ඩ් කර ගත හැකියි තද කවරයක්ද යොදා ගනිමින්. ප්‍රින්ට් කර ගත් ඒ4 කොල ටික ඒ ප්‍රමාණයට කැපූ හාඩ්කවර් කොල දෙක අතර තබා, එම කොල බන්ඩලයම ලී හෝ බර පොත් දෙකක් අතර තබා තෙරපන්න එහි ගම් ගාන වාටිය තරමක් එලියට පිහිටන සේ තබමින්. දැන් PVA ගම් කුඩා පින්සලකින් ගෙන අර වාටියේ හොඳින් තවරන්න. එය වේලෙන්න තැබූ විට හොඳට බයින්ඩ් වී තිබේවි. අවශ්‍ය නම් සපයිරල් බයින්ඩිං වුවද කරගත හැකියි පොත් කඩයකින්.

මීට අමතරව දැන් මෙම ලොග් පරිගනක සොෆ්ට්වෙයාර් විසින්ද සිදු කර ගත හැකි (ඒ සඳහා සොෆ්ට්වෙයාර් ගණනාවක්ම තිබෙනවා). එහෙත් ලිඛිතව එය පවත්වාගෙන යෑම ලංකාවේ නීතිය අනුව සිදු කළ යුතුය. ඇත්තෙන්ම එය පොතක අතින් ලියන එක තරමක “ජොලියක්” තිබිය හැකිය.

QSL Card

ඉහත ලොග් පිටු රූපයේ අවසාන තීරු දෙකද අප මේ කතා කරන්නට යන QSL (S, R) ලෙස සටහන්ව තිබෙනවා නේද? මොකක්ද QSL කාඩ් කියන්නේ? යම් ආධුනික ගුවන් ශිල්පින් දෙදෙනෙකු පළමු වරට හමු වූ විට (සංවාදයක් කළ විට), ඉන් එක්නෙකු විසින් අනෙකාට හෝ දෙදෙනාම එකිනෙකාට සුහදව හුවමාරු කර ගන්නා සුභපැතුම් කාඩ් පතක් වැනි දෙයකි මෙය. තැපෑලෙන් යවයි. මේවා යැවීම අනිවාර්ය නැත. හුදු විනෝදයට සිදු කරන්නකි.

මෙම කාඩ් එකෙහි සාමාන්‍යයෙන් සංවාදය සිදු කළ දෙදෙනාගේ කෝල්සයින දෙකද, සංවාදය සිදු කළ දිනය හා වෙලාවද (UTC ෆෝමැට් එකෙන්) සටහන් කරනවා. ඊට අමතරව අවශ්‍ය නම්, දෙදෙනා සංවාද කළ බෑන්ඩ් එක, එමිෂන් වර්ගය, සිග්නල් රිපෝට් එක වුවද එහි සටහන් කළ හැකියි. ඊට අමතරව තමන්ගේ හෝ තමන් භාවිතා කරන සන්නිවේදන උපකරණවල, හෝ තමන් සිටින ප්‍රදේශයේ ලස්සන රූපයක්ද එහි ප්‍රින්ට් කළ හැකිය. ඇත්තටම තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ලස්සනට එය සෑදිය හැකියි. තමන්ගේම කාඩ් එකක් පරිගනකයෙන් ඩිසයින් කර මුද්‍රණය කර ගත හැකිය (එය තරමක් වියදමක් සහගතයි). එය ලාභෙට කළ හැකියි වෙළඳපොලේ දැනටමත් ලස්සන රූප සහිත කාඩ් එකක් මිලදී ගෙන ඒ මත ඉහත වැදගත් විස්තර පරිගනක ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කර ගන්නවා නම්.


දෙදෙනා සංවාද කළ පසු ලිපින හුවමාරුකරගෙන මෙම කාඩ් තමන්ගේ වියදමින් තැපෑලෙන් යැවිය හැකිය. මෙම කාඩ් හුවමාරු කරගැනීම පහසු කිරීමට ඒ ඒ රටවල ආධුනික ගුවන් විදුලි සංගම්ද මැදිහත් වී සිටී. ඔවුන් දෙයාකාරයකින් මැදිහත් විය හැකියි.

Incoming QSL Bureau එකක් පවත්වාගෙන යා හැකියි. එවිට ඔබට ඔබ සාමාජිකත්වය දරන සංගමයේ මෙම ඉන්කමිං බියුරෝ එකේ ලිපිනය ඔබ සංවාද කරන අයට ලබා දිය හැකියි. සමහරෙක් තමන්ගේ නිවසේ ලිපිනය හැමෝටම ඇහෙන්න පිටස්තරයකුට දීමට අකමැත්තක් දක්වනවා වෙන්නත් පුලුවන්; එවැනි අයට ඉන්කමිං බියුරෝ එකේ ලිපිනය දිය හැකියිනෙ. එවිට ඔහු එවන කාඩ් එක ඔබේ සංගමය විසින් ඔබට එවාවි.

සමහරවිට සංගමය විසින් Outgoing QSL Bureau එකකුත් පවත්වාගෙන යා හැකිය. මෙහිදී එම සංගමේ සාමාජිකයන්ට පිටරටකට කාඩ් යවන්නට අවශ්‍ය වූ විට ඒවා (යම් මුදලක්ද ගෙවා) මෙම අවුට්ගොයිං බියුරෝ එකට ලබා දිය හැකිය. බියුරෝ එක විසින් ඒවා අදාල රටවලට යොමු කරනවා. අවුට්ගොයිං බියුරෝ එකක ඇත්තෙන්ම අරමුණ වූයේ තම සාමාජිකත්වයට අඩු වියදමකින් පිටරටට කාඩ් යැවීමට පහසුකම් සැලසීමයි. විශේෂයෙන් විශාල සාමාජික පිරිසක් සිටින විට එය කළ හැකිය.

තාක්ෂණයේ දියුණුවත් සමඟම අද අන්තර්ජාලය හරහා විද්‍යුත්මය වශයෙන් (ඊමේල් වගේ) මෙම කාඩ් යැවිය හැකිය. www.eqsl.cc වැනි වෙබ්අඩවි මෙවැනි සේවා ලබා දේ. ඊට අමතරව ආධුනික ගුවන් විදුලි සේවා සඳහා නිපදවා තිබෙන බොහෝ සොෆ්ට්වෙයාර් විසින්ද මෙම පහසුකම සලසා දේ.

ඇත්තෙන්ම මෙලෙස QSL කාඩ් යැවීම ආධුනික ගුවන් ශිලපය තුල ආරම්භ වූවක් නොවේ. ඈත කාලයේ සමහර මිනිසුන් රේඩියෝ චැනල් අල්ලමින් ටියුන් කරමින් සිටින විට වෙනදාට නොඇසෙන ඉතා ඈත පිහිටි රේඩියෝ චැනල් ඉඳහිට ඇසෙන්නට විය. එවිට, එම පුද්ගලයන් ඒ බැව් පෝස්ට්කාඩ් එකකින් අදාල චැනල්වලට දැන්වූවා. එවිට, ඊට පිළිතුරු ලෙසත් එම ක්‍රියාව තවදුරටත් දිරිගැන්වීමක් ලෙසත් චැනල් විසින් ලස්සන පෝස්ට්කාඩ් ඔවුන්ට යැව්වා. මෙම කාඩ් තමයි QSL card.

ඉතිං මීට පෙර දුටු ලොග් පිටුවේ අග තිබූ QSL තීරු දෙකෙන් කියවෙන්නේ කුමක්ද? එහි R තීරුවෙන් කියන්නේ එම සංවාදය කළ පුද්ගලයාගෙන් තමන්ට කාඩ් එකක් ලැබුණාද (received) යන්නයි. ලැබුණා නම්, එම කොටුව තුල කතිරයක්/හරියක් දමනවා. එහි S තීරුවෙන් කියන්නේ තමන් එම පුද්ගලයාට කාඩ් එකක් යැව්වාද (sent) යන්නයි.

Signal Reporting

තවත් පුද්ගලයකු සමග රේඩියෝ සංවාදයක යෙදෙන විට, ඔහු එවන සංඥාවේ තත්වය ඔබට දැනගත හැකියි. ඔහු එවන්නේ කටහඬ සහිත ශබ්ද සංඥා නම් ඔහු කියන දේ (ශබ්දය) ඔබට කොතරම් පැහැදිලිව හා හොඳින් ඇසේද යන්න එහිදී සොයා බැලේ. ඔහු එවන්නේ මෝස්කෝඩ් හෝ වෙනත් ආකාරයක සංඥා නම්, ඒවා ග්‍රහනය කරගෙන කොතරම් නිවැරදිව එම සංඥා හඳුනාගත හැකිද යන්නත් එහිදී සොයා බැලේ. මේ අනුව, යම් රිසීවරයකට ලැබෙන සංඥාවේ ප්‍රබලතාව (වොට් ගණන) මෙන්ම එම සංඥාව ෆේඩිං ආදි දෝෂයන්ට ලක් වෙලාද නැද්ද යන්න වැදගත් වේ.

ඔබ සංවාද කරන අනෙකාගේ සංඥා ඔබ සිටින තැනට ලැබෙන විට එම සංඥාවල තත්වය ඔහුට පැවසීමයි signal reporting කියා කියන්නේ. ඔහුත් ඔබගේ සංඥාවේ signal report එකක් දේවි. තමන්ගේ සංඥාවල සිග්නල් රිපෝට් එකක දැන ගැනීමේ ප්‍රයෝජනයක් තිබේ. ඔහු සිටින ස්ථානයද ඔහුගෙන් අසා දැනගත හැකියි (සාමාන්‍යයෙන් QTH දෙදෙනා කොහොමත් හුවමාරුකර ගන්නවානේ සංවාදය මුලදීම). එවිට ඔබ හා ඔහු අතර දුරද ඔබටම සොයා ගත හැකියි (මැප් එකකින් හෝ සොෆ්ට්වෙයාර් එකකින් හෝ සරල ගණනය කිරීමකින්). එමඟින් ඔබේ ට්‍රාන්ස්මීටරය හා ඇන්ටනාව හා එම මොහොතේදී අයනගෝල තත්වය පිළිබඳ ඔබටම අධ්‍යනයක් කිරීමේ හැකියාවක් ලැබේවි.

උදාහරණයක් ලෙස, ඔබ ඉතා අඩු වොට් ගණනකින් නම් සංඥා යැව්වේ, ප්‍රංශයේ සිටින කෙනෙකු ඔබගේ සිග්නල් රිපෝට් එක ඉතා හොඳ එකක් ලෙස සඳහන් කරන විට, ඉන් කියවෙන්නේ ඇන්ටනාව හොඳ බවද, අයනගෝලය මෙම මොහොතේ හොඳ බවද ආදී ලෙස පර්යේෂනයක්/සොයා බැලීමක් සිදු කළ හැකියි. ඇන්ටනාවල හැසිරීම හෝ ඒවා තවත් වෙනස් කරමින් වැඩිදියුණු කළ හැකිදැයි අධ්‍යනය කිරීම් කළ හැකියි. ඇත්තටම අතීතයේ ආධුනික ශිල්පින් යනු එවැනි හොඳ විමර්ෂකයන් හා පර්යේෂකයන් විය.

අද බොහෝවිට හුදු විනෝදෙට පමණක් බොහෝ දෙනා ආධුනික ගුවන් ශිල්පයෙහි නියැලෙන බවක් පෙනේ (සල්ලි ටිකක් වියදම් කර උපකරණ ටිකක් මිලට ගෙන පොඩි එවුන් චීන සෙල්ලම් බඩු එක්ක විනෝද වෙනවා සේ නිකං විනෝද වෙනවා). අර කරන්නම් වාලේ (කියන්නම් වාලේ) සිග්නල් රිපෝට් එක දැනගෙන “ආනේ ඇත්තද” කිය කියනවා නම් (සිතෙනවා නම්) එවැන්නෙකුට සිග්නල් රිපෝට් එකෙන් ඇති වැඩක් නැත (ඌ කම්මැලියෙකි).

S Meter

සිග්නල් රිපෝට් එක යනු සංඥාව පිළිබඳ යම් දත්තයකි (ඉලක්කම් දෙකක හෝ තුනක අගයකි). එම දත්තය ලබා ගැනීමට රිසීවරයේ යම් මෙවලමක්/ගැජට් එකක් තිබේ. S Meter යනු ඇමචර් රේඩියෝ රිසීවර්වල තිබෙන හෝ ඊට සවි කළ හැකි සිග්නල් රිපෝට් එකෙහි වැදගත්ම සාධකය දැන ගත හැකි මීටරයකි. යම් සංඥාවක් රිසීවරයෙන් ග්‍රහණය කරන විට, එම සංඥාවේ ප්‍රබලතාව මෙම එස් මීටරයෙන් දක්වනවා. එහි S මඟින් Signal strength (සංඥා ප්‍රබලතාව) යන්න නිරූපණය කරනයි. මෙම මීටරය පහත ආකාරයට කට්ටක් කැරකෙන සේ පවතින ඇනලොග් ස්වරූපයෙන් පවතී.


අලුත් ඩිජිටල් රිසීවර්වල බොහෝවිට මෙවැනි ඇනලොග් මීටරයක් නැත. S meter පරිපථය රිසීවරය තුල තිබෙන අතර, ඉන් ලබා දෙන සංඥා අගය එහි තිබෙන LCD ඩිස්ප්ලේ එකේ යම් තැනක පෙන්වාවි. පහත රූපයේ රතු පාට ඊහිසකින් පෙන්වා තිබෙන්නේ මෙම සිග්නල් අගයයි.


ඇනලොග් වේවා ඩිජිටල් වේවා, එස් මීටරයක සංඥා ප්‍රබලතාව දක්වන්නේ S1, S5 ආදී ලෙස S අකුරක් හා ඊට පසුව ඇති ඉලක්කමකින්ය (මේවා S Point ලෙස හැඳින්වේ). S1, S2, S8 ආදි ලෙස ඒ දක්වන ඒකකය S unit නමි. සාමාන්‍යයෙන් S1 සිට S9 දක්වා එස් යුනිට් අගයන් පවතිනවා. S9 යන්න එලෙස කෙටි සංඥා ක්‍රමයෙන් දැක්විය හැකි උපරිම සංඥා ප්‍රබලතා අගය වුවද, මීට වඩා ප්‍රබල සංඥා පවතිනවා. එවිට එම ප්‍රබලතා අගයන් දක්වන්නේ “S9 සංඥාවට වඩා අච්චර ඩෙසිබෙල් ප්‍රමාණයක් වැඩියි” කියාය. උදාහරණයක් ලෙස, S9+40dB (“40 deciBels over es nine” කියා හෝ “forty over nine” කියා එය ශබ්ද කරයි) යනු S9 මඟින් නිරූපණය කරන සංඥා ප්‍රබලතාවට වඩා ඩෙසිබල්වලින් 40ක් වැඩිපුර එම සංඥාව ප්‍රබලයි කියාය.

ඇත්තෙන්ම, එක් එස් පොයින්ට් එකක සිට ඊට ඉහල අනෙකට යන විට අගය වැඩි වන්නේ වෝල්ටියතා ඩෙසිබල් 6කින්ය; එය වෝල්ටියතාව දෙගුණ වීමකි. එයම ජව ඩෙසිබල් අගයක් ලෙස ජවය 4 ගුණයකින් වැඩි වීමක් ලෙස සලකනවා. උදාහරණයක් ලෙස, S4 සිට S5 දක්වා සංඥා ප්‍රබලතා කට්ට නැග්ගේ නම්, ඒ කියන්නේ සංඥාව තිබූ ප්‍රබලතා/වෝල්ටියතා මට්ටමේ සිට ඩෙසිබල් 6කින් වැඩි වූ බවයි.

එස් පොයින්ට් ඩෙසිබල්වලින් පමණක් කියන සාපේක්ෂ අනුපාතයක්ම පමණක් නොවේ (සාපේක්ෂ අනුපාතයක් යැයි අදහස් කළේ, S1 ට වඩා දෙගුණයක් S2 හි වෝල්ටියතාව වැඩියි; S2 හි වෝල්ටියතාවට වඩා S3 හි වෝල්ටියතාව දෙගුණ වේ ආදි ලෙස එකක අගය අනෙකෙහි අනුපාතයක් ලෙස ප්‍රකාශ කිරීම වේ). මේ සෑම එස් අගයකටම නිශ්චිත වෝල්ටියතා/ජව අගයන් පවතිනවා (එනම් නිරපේක්ෂ අගයන් තිබෙනවා). එම අගයන් සොයා ගන්නේ පහත ආකාරයටයි.

HF හා පහල සංඛ්‍යාතයන් සඳහා:
රිසීවරයට සංඥා ඇතුලුවන ස්ථානයේදීම (ඊට පෙර හෝ පසු ස්ථානයක නොව) S මීටරයක් තබා බැලූ විට, එම අගය S9 වන අවස්ථාවේදී, -73dBm ක ජව/වොට් අගයක් (පිකෝවොට් 50ක් හෙවත් වොට් 50x10-12ක්) පැවතිය යුතුය. මෙවිට රිසීවරයට සංඥා ඇතුලු කරන හෙවත් රිසීවරයට සවි කර තිබෙන ආදායක ඇන්ටනාවේ සම්භාධක/ප්‍රතිරෝධක අගය ඕම් 50ක් විය යුතුය. එවිට මෙම අවස්ථාවේදී තිබිය යුතු වොල්ටියතාව වන්නේ P=V2/R අනුව, ((50x10-12)x50) = 50uV හෙවත් වෝල්ට් 50x10-6 වේ.

ඉහත විස්තරය අනුව, HF හා පහල සංඛ්‍යාතයන් සඳහා, එක් එක් එස් යුනිට් හි සාපේක්ෂ ඩෙසිබල් අගයන් හා විවිධ නිරපේක්ෂ අගයන් පහත වගුව ආකාරයට පැවතිය යුතුය.

S unit
dBm
Voltage
uVrms @ 50Ω
Power
fW @ 50Ω
S9+20
-53
500.6
5011872
S9+10
-63
158.3
501187
S9
-73
50.1
50119
S8
-79
25.1
12589
S7
-85
12.6
3162
S6
-91
6.3
794
S5
-97
3.6
200
S4
-103
1.6
50
S3
-109
0.8
12.6
S2
-115
0.4
3.2
S1
-121
0.2
0.8

VHF හා ඉහල සංඛ්‍යාතයන් සඳහා:
රිසීවරයට සංඥා ඇතුලුවන ස්ථානයේදීම S මීටර් අගය S9 වන අවස්ථාවේදී -93dBm ක ජව අගයක් (පිකෝවොට් 0.5) පැවතිය යුතුය. මෙවිට රිසීවරයට සංඥා ඇතුලු කරන හෙවත් රිසීවරයට සවි කර තිබෙන ආදායක ඇන්ටනාවේ සම්භාධක/ප්‍රතිරෝධක අගය ඕම් 50ක් විය යුතුය. එවිට මෙම අවස්ථාවේදී තිබිය යුතු වොල්ටියතාව වන්නේ P=V2/R අනුව, ((0.5x10-12)x50) = 5uV හෙවත් වෝල්ට් 5x10-6 වේ.

ඉහත විස්තරය අනුව, VHF හා ඉහල සංඛ්‍යාතයන් සඳහා, එක් එක් එස් යුනිට් හි සාපේක්ෂ ඩෙසිබල් අගයන් හා විවිධ නිරපේක්ෂ අගයන් පහත වගුව ආකාරයට පැවතිය යුතුය.

S unit
dBm
Voltage
nVrms @ 50Ω
Power
fW @ 50Ω
S9+20
-73
50000
50119
S9+10
-83
15800
5012
S9
-93
5000
501
S8
-99
2500
126
S7
-105
1250
32
S6
-111
630
8
S5
-117
316
2
S4
-123
158
0.5
S3
-129
79
0.12
S2
-135
40
0.03
S1
-141
20
0.008

ඉහත ආකාරයට සෛද්ධාන්තිකව එස් මීටර්වල ක්‍රියාකාරිත්වය විස්තර කළත් ප්‍රායෝගික තත්වය බොහෝ වෙනස්ය. එනම්, එස් යුනිට් දෙකක් අතර බොහෝවිට ‍6dB ක පරතරය නියතව නැත. තවද, අනුයාත එස් යුනිට් දෙකක් අතර තිබෙන පරතරය (ඩෙසිබල් අගය) තැනින් තැනට වෙනස් වේ (උදාහරණයක් ලෙස, S8 හා S9 අතර පරතරය 10dBක් විය හැකි අතර, එම මීටරයේම S2 හා S3 අතර පරතරය 3dB ක් විය හැකිය). ට්‍රාන්සීවර් උපාංග මොඩලයෙන් මොඩලයට මෙම වෙනස්කම් පවා වෙනස් වේ.

මෙයින් හැඟවෙන්නේ එස් මීටර්වලින් අපට සාපේක්ෂක අගයන් දළ වශයෙන් දැනගැනීමට සුදුසු බවයි. එක් එක් යුනිට් එකෙන් කියවෙන නිරපේක්ෂ (සත්‍ය) අගයන් දැන ගැනීමට අවශ්‍යම නම්, තමන්ගේ එස් මීටරය කැලිබ්‍රේට් කරගත හැකියි.

ඔබ දැනට සම්ප්‍රේෂණය කරමින් සිටින විට අනෙකාගේ එස් මීටරයට අනුව ඔබේ සංඥා එම මීටරයේ යම් එස් යුනිට් අගයකින් දක්වාවි (සිතමු S4 කියා). දැන් ඔබට අවශ්‍ය නම් එම අගය S5 දක්වා වැඩි කරන්නට, ඔබට කරන්නට තියෙන්නේ අවසාන RF ඈම්ප් එකේ (ට්‍රාන්ස්මිටරයේ) ජවය 6dB කින් ඉහල දමන්නටයි; ඒ කියන්නේ ජවය 4 ගුණයකින් ඉහල දැමිය යුතු වෙනවා. දැන් සම්ප්‍රේෂනය කරමින් සිටින්නේ වෝට් 25කින් නම්, එය වොට් 100 දක්වා වැඩි කිරීමට සිදු වේ. එලෙසම ඔහුගේ එස් මීටරයෙන් ඔබේ සංඥා S9 ලෙස දැක්වේ නම් ඔබට ඇත්තටම ඔබේ ට්‍රාන්ස්මීටරයේ ජවය S8 දක්වා අඩු කළ හැකියි. ඒ කියන්නේ දැන් භාවිතා කරන ජවයෙන් 1/4ක් දක්වා අඩු කරන්න (වොට් 200ක් භාවිතා කළා නම් වොට් 50 දක්වා අඩු කරන්න).

එස් අගයන්ගෙන් ප්‍රයෝජනය ගත හැකි තවත් ආකාරයක් බලමු. ඔබ ට්‍රාන්ස්මීටරයට යම්කිසි ඇන්ටනාවක් සවි කර ඇතැයි සිතන්න. දැන් එම ඇන්ටනාවෙන් සංඥා යවන විට අනෙකාගේ එස් මීටරයට අනුව යම් එස් අගයක් පෙන්වනවානෙ (එය ලියා තබා ගන්න). දැන් එම පුද්ගලයා සමඟම එවැනිම තවත් සංවාදයක් සිදු කරන්න (වොට් ගණන වෙනස් නොකර). එහෙත් දැන් ඇන්ටනාව වෙනස් කරන්න. දැනුත් ඔහුගේ එස් මීටරයෙන් කියවෙන එස් අගය ලබා ගන්න. ඇන්ටනා දෙක සඳහා ලැබුණු එස් අගයන් දෙක සැසඳීමෙන් දල වශයෙන් ඇන්ටනා දෙකෙහි ගේන් වෙනස සොයා ගත හැකියි. උදාහරණයක් ලෙස x ඇන්ටනාව යොදා ගත් විට එස් අගය 5 හා y ඇන්ටනාව යොදා ගත් විට එස් අගය 7 නම්, xට වඩා y ඇන්ටනාවේ ගේන් එක ඩෙසිබල් 12කින් වැඩි බව තීරණය කළ හැකිය.

RST System

මෙය සිග්නල් රිපෝට් ලබා දෙන ජනප්‍රියතම සම්මත ක්‍රමයයි. RST යන අක්ෂර 3න් නිරූපණය කරන්නේ Readability, Signal Strength, Tone යන වචන 3යි. ඒ අනුව ආර්එස්ටී ක්‍රමයෙන් යම් සංඥාවක අංශ/කාරණා/සාධක 3ක් ගැන සොයා බලනවා. මේ එක් එක් කාරණාව පිළිබඳ තත්වය යම් ඉලක්කමකින් දක්වනවා. ඒ කියන්නේ ඉලක්කම් 3කින් සම්පූර්ණ සිග්නල් රිපෝට් එක පැවසිය හැකියි.

ශබ්ද (voice) සන්නිවේදනයක් කරන විට, Readability හා Signal strength යන කාරණා 2 පමණයි වැදගත් වන්නේ. ඒ කියන්නේ ඉලක්කම් 2කින් සිග්නල් රිපෝට් එක ලබා දේ. මෝස්කෝඩ්වලදී පමණක් කාරණා 3ම වැදගත් වන අතර, එනිසා ඉලක්කම් 3කින් සිග්නල් රිපෝට් එක ලබා දේ.

පහත දැක්වෙන්නේ එක් එක් කාරණාවේ ගුණාත්මකබව හඟවන සංඛ්‍යාත්මක අගයන්ය. ඕනෑම කාරණයක් ගත් විට, ඉලක්කම වැඩි වන විට ඉන් කියන්නේ ගුණාත්මකබවද වැඩි වන බවයි.

Readability
1--Unreadable
2--Barely readable, occasional words distinguishable
3--Readable with considerable difficulty
4--Readable with practically no difficulty
5--Perfectly readable

Signal Strength
1--Faint signals, barely perceptible
2--Very weak signals
3--Weak signals
4--Fair signals
5--Fairly good signals
6--Good signals
7--Moderately strong signals
8--Strong signals
9--Extremely strong signals

Tone
1--Sixty cycle a.c or less, very rough and broad
2--Very rough a.c., very harsh and broad
3--Rough a.c. tone, rectified but not filtered
4--Rough note, some trace of filtering
5--Filtered rectified a.c. but strongly ripple-modulated
6--Filtered tone, definite trace of ripple modulation
7--Near pure tone, trace of ripple modulation
8--Near perfect tone, slight trace of modulation
9--Perfect tone, no trace of ripple or modulation of any kind

signal strength යන කාරණය ඍජුවම එස් මීටරය හා සම්බන්ද වේ. එස් මීටරයේ මූලික එස් පොයින්ට් 9ක් තිබෙන අතර RST හි S සාධකයෙත් ඉලක්කම්/මට්ටම් 9ක් තිබේ. එස් මීටරයේ S9හා ඊට වැඩි සියලු පොයින්ට් මෙහි 9 ලෙස සැලකිය හැකියි.

අනෙක් කාරණා දෙක සොයා බැලීමට මීටර් අවශ්‍ය නැත. එය කනින් අසා ඔබට දැනෙන අවබෝධය මත තීරණය වේ. ශබ්දය හොඳින් ඇසෙන මුත් ෆේඩිං ආදී විවිධ හේතු නිසා එහි කියවෙන දේ තේරුම් ගැනීමට අපහසුයි විය හැකිය. එවිට රීඩබිලිටි අගය 1 ලෙස සටහන් කිරීමට සිදු වේ.

ටෝන් සාධකය අවශ්‍ය වන්නේ මෝස්කෝඩ් සඳහා පමණයිනෙ. එහි එක් එක් ඉලක්කමින් නිශ්චිතවම පවසන දෙයක් ඇත. සම්ප්‍රේෂක පරිපථයේ පවතින විවිධ දෝෂ නිසා ඇතිවන අපහසුතා පිළිබඳ ඇගයීමක් ලෙසත් මෙම සාධකය තේරුම් ගත හැකියි.

ඉතිං ඔබ යම් වොයිස් සංවාදයක් කරමින් සිටින විට අනෙකා ඔබේ සිග්නල් රිපෝට් එක ලෙස 59 දුන්නේ නම් ඉන් කියන්නේ “ඉස්තරම්” කියාය. එනම් ඔබේ ශබ්දය ඉතාම හොඳින් ඇසේ (එනිසා ඒ සඳහා ලැබෙන උපරිම අගය වන 5 දී ඇත). තවද, සංඥාවල ප්‍රබලතාව ඔහුගේ එස් මීටරය අනුව S9 හෝ ඊට වැඩි පරාසයක තිබේ. වොයිස් සංවාදයකදී කෙනෙකුට ලැබිය හැකි ඉස්තරම්ම සංඥා රිපෝට් එක තමයි 59 කියන්නේ.

No comments:

Post a Comment