Friday, April 7, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 85

Amateur Satellite

ආධුනික ගුවන් සේවය වෙනුවෙන්ම කක්ෂගත කර තිබෙන චන්ද්‍රිකා (Amateur satellites) තිබෙනවා. තවද, වෙනත් අවශ්‍යතා වෙනුවෙන් යැවූ සමහර චන්ද්‍රිකාවලින් අමතර සේවාවක් ලෙසත් ආධුනික ගුවන් ශිල්පින්ට සේවා සපයන අවස්ථාද තිබෙනවා. මීට හොඳම උදාහරණය දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station – ISS) වේ.

මේවා ආධුනික ගුවන් විදුලි චන්ද්‍රිකා ලෙස සැලකෙන්නේ ආධුනික ගුවන් විදුලි සංඛ්‍යාත ඔස්සේ සංඥා යැවෙන නිසාය. බීකන් සේවාව, රිපීටර් සේවාව, ටෙලිමෙට්‍රි සේවාව යන සේවා එකක් හෝ කිහිපයක් මෙවැනි ඇමචර් චන්ද්‍රිකාවකින් සැපයේ. ඇත්තෙන්ම මුල් කාලයේ යැවූ සියලුම ඇමචර් චන්ද්‍රිකා බීකන් එකක් ලෙස පමණයි ක්‍රියාත්මක වූයේ (එනම් hi hi යන සංඥාව දිගටම සම්ප්‍රේෂනය කළා). පසුකාලීනව යවපු ඇමචර් චන්ද්‍රිකාවලයි වඩා වැදගත් වන රිපීටර් සේවාව (ට්‍රාන්ස්පොන්ඩර්) ඇති වූයේ.

ISS යනු සාමාන්‍ය චන්ද්‍රිකාවක් නොව, හැමදාමත් විද්‍යාඥයන් හා ගගනගාමින් කිහිප දෙනෙකු රැඳී සිටිමින් විවිධ පර්යේෂණ කරන modular අභ්‍යවකාශ නැවතුම්පොලකි (මොඩ්‍යුලර් යනු “කෑලි අවශ්‍ය වෙලාවට සවි කරමින් තව විශාල කළ හැකි හා අවශ්‍ය වෙලාවට ගලවා ඉවත් කළ හැකි හෝ කෑල්ලෙන් කෑල්ල එලෙස නවීකරණය කළ හැකි” යන්නයි). නිතිපතා ඊට ජලය හා වෙනත් සැපයුම් පොලොවේ සිට යවන අතර, යම් කාලයකට සැරයක් එහි සිටින විද්‍යාඥයන් පොලොවට ගෙන්වා අලුත් අයද යවනවා. 1998 නොවැම්බර් 20 දින පළමු වරට මෙය කක්ෂගත කළ අතර, අද වෙන විටත් විවිධ කොටස් ඊට එකතු කරමින් සිටී. මේ වෙන විට ටොන් 400කට වඩා බර යෝධ චන්ද්‍රිකාවකි එය. පොලොව මතුපිට සිට කිලෝමීටර් 400ක් පමණ කෙටි උසකිනුයි මෙය පවතින්නේ (ඒ කියන්නේ මෙය LEO චන්ද්‍රිකාවකි). තත්පරයට කිලෝමීටර් 7.67ක වේගයෙන් පොලොව වටා වේගයෙනුත් පොලොවට ඉතා සමීපයෙනුත් පරිභ්‍රමණය වන නිසා, විනාඩි 92.65කින් (එනම් පැය එකයි භාගයකින් පමණ) පොලොව වටා එක වටයක් ගමන් කරයි. කෙටි පරිභ්‍රමන කාලය නිසා, පොලොවේ යම් තැනක සිට එය දැකිය හැක්කේ උපරිමව විනාඩි 10ක් පමණය (චන්ද්‍රිකාව මතුවන ක්ෂිතිජයේ සිට බැසයන ක්ෂිතිජය දක්වා ගමන් කාලය). පහත දැක්වෙන්නේ ISS හි සත්‍ය ඡායාරූපයකි.


ISS හි තිබෙනවා ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂන උපකරණ. සාමාන්‍යයෙන් ආධුනික ගුවන් සම්ප්‍රේෂකයකට station කියායි කියන්නේ. සම්ප්‍රේෂක යන්ත්‍රය rig කියා අන්වර්ථ නමකින්ද (slang) සමහරුන් හඳුන්වනවා. ISS හි ඇති ස්ටේෂන් එක Amateur Radio on the ISS (ARISS) කියා හැඳින්වෙනවා. ISS විසින් සංඛ්‍යාතයන් කිහිපයක්ම භාවිතා කරනවා (ඇමචර් රේඩියෝ සංඛ්‍යාතයන් හා ඉන් පිටත සංඛ්‍යාතයන්). එහි රැඳී සිටින සමහර ගගනගාමින් මෙම සංඛ්‍යාත ඔස්සේ පොලොවේ සිටින ආධුනික ගුවන් ශිල්පින් සමඟ සංවාද කරනවා (හැමතිස්සෙම නොවේ).

ARISS සේවාව පවත්වාගෙන යන අදාල ආයතනය විසින් කල්තියා සැලසුම් කරපු වෙලාවලට, නිශ්චිත ස්ථාන සමඟ පමණි මෙම සංවාද සිදු වන්නේ (මෙය අධ්‍යාපනික වටිනාකමක් වෙනුවෙන් කරන දෙයකි). www.airss.org යන නිල වෙබ් අඩවියේ පළ වෙනවා ඉදිරියට සැලසුම් කර තිබෙන එවැනි සංවාද. ලෝකයේ විවිධ අධ්‍යාපනික හෝ එවැනි ආයතනවලට හැකියාවක් තිබෙනවා ඉල්ලීම් කර එවැනි අවස්ථාවක් තමන්ටත් ලබා ගැනීමට.

    ITU Region 1 සඳහා FM Voice:
      Downlink – 145.800MHz
      Uplink – 145.200MHz

    ITU Region 2 & 3 සඳහා FM Voice:
       Downlink – 145.800MHz
      Uplink – 144.490MHz

    Worldwide (ITU Region 1, 2, 3) SSTV downlink – 145.800MHz

    Wordwide AX.25 1200 Baud AFSK Packet Radio
       Downlink – 145.825MHz
       Uplink – 145.825MHz

ඉහත ආධුනික ගුවන් තරංග කලාප හැරුනහම සාමාන්‍ය සංඛ්‍යාත ඔස්සේද විවිධ සාමාන්‍ය අවශ්‍යතා වෙනුවෙන් එහි සන්නිවේදනයන් සිදු වේ (එහි විවිධ කටයුතු සිදු කෙරෙන අවස්ථාවල මෙම සංඛ්‍යාත යොදා ගැනේ). මෙවැනි අවස්ථාවල යොදා ගන්නා සමහර සංඛ්‍යාතයන් (හා යොදා ගන්නා මූර්ජනයන්) කිහිපයක් නම් - 121.125 FM, 121.75 FM, 130.167 AM, 143.625 FM, 166.000 AM.

ඉහත සංඛ්‍යාත ඔස්සේ ISS සමග සංවාද කිරීමට හෝ එහි නිල වශයෙන් සිදු කරන සමහර සන්නිවේදනයන්ට ඇහුම්කන් දීමට හැකියාවට අමතරව, එහි රිපීටර්ද සවි කර තිබෙනවා. ඇත්තෙන්ම අනෙකුත් ආධුනික ගුවන් විදුලි චන්ද්‍රිකා විසින්ද සපයන ප්‍රමුඛතම සේවය රිපීටර් සේවාව තමයි. ISS මත මිනිසුන් සිටින නිසා අර කී පරිදි ඔවුන් සමඟ සංවාද කිරීමට හැකි වුවත්, සාමාන්‍ය චන්ද්‍රිකාවල මිනිසුන් නැහැනෙ. ඉතිං ඉන් පැහැදිලියි ඇමචර් චන්ද්‍රිකාවක් යනු අභ්‍යවකාශයේ රැඳ වූ රිපීටරයක් බව. මෙම රිපීටර් transponder ලෙස හැඳින්වෙනවා (චන්ද්‍රිකාවක තිබෙන සාමාන්‍ය ට්‍රාන්සීවරයද හඳුන්වන්නේ ට්‍රාන්ස්පොන්ඩර් යන නමින්මයි). මෙනිසාම ඇමචර් චන්ද්‍රිකා orbitting repeater ලෙසද හැඳින්වෙනවා.

ඇමචර් චන්ද්‍රිකා රිපීටරයකින් FM voice, SSB voice, digital mode, CW ආදී ආධුනික ගුවන් සේවයේ භාවිතා වන විවිධ එමිෂන් වර්ග සඳහා රිපීටර් සේවා සැපයිය හැකිය (මින් එක් වර්ගයකට හෝ කිහිපයකටම). මෙවිට, ඇමචර් චන්ද්‍රිකාවක් සමඟ සන්නිවේදනය කළ හැකි පරිදි එය ඔබ සිටින තැනට ඉහල අවට අහසේ ගමන් කරන විට, එහි රිපීටරයෙන් එම මොහොතේ ඔබ අවට ඉතා විශාල ප්‍රදේශයකට ඔබේ සංඥා විසුරුවා හරීවි. ඇත්තෙන්ම දිගු කාලයක් චන්ද්‍රිකාවට ඔබ අවට රැඳී සිටින්නට බැරිය. බැරෑරුම් සන්නිවේදනයක් මින් කළ නොහැකියි වර්තමානයේ පවතින වෙනත් සන්නිවේදන හැකියාවන් හා සසඳන විට. මෙනිසා චන්ද්‍රිකා තාක්ෂණය තමනුත් භාවිතා කරනවා යන “වික්‍රමාන්විත” හැඟීමයි (“ත්‍රිල් එක”) මෙහි වැඩිපුර තිබෙන්නේ.

සමහර ඇමචර් චන්ද්‍රිකාවල තිබෙන්නේ ඩිජිටල් රිපීටරයකි; එනම් එය පොලොවේ යම් ස්ථානයක් උඩින් යන විට ඇසෙන රේඩියෝ සංඥා නැවත විසුරුවා හරින්නේ වෙනත් වෙලාවකයි (එනිසා වෙනත් ස්ථානයකයි). එය හරියට අර පැරණි සාහිත්‍යයේ එන සන්දේශ කාව්‍ය (සැලලිහිනි, හංස) වගෙයි. ලංකාවේ පනිවුඩය අහගෙන ගොස් යුරෝපයට ඉහලින් සිටින විට මුදා හරී. එම පනිවුඩ අසා යුරෝපයේ ආධුනික ගුවන් ශිල්පින් නිකුත් කරන සංඥා චන්ද්‍රිකාව විසින් ගබඩා කර ගෙන විත් ලංකාව උඩින් යන විට විසුරාවා හැරේ (අන්න ඒ විදියට ක්ෂණික නොවන, ප්‍රමාද වී ලැබෙන පනිවුඩ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වේ).

චන්ද්‍රිකාවල ට්‍රාන්ස්පොන්ඩර් එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් කුඩා වොට් ගණනකිනි. පොලොවේ සිටින අයද ඊට සංඥා යවන විට හැකි තරම් අඩු වොට් ගණනකින් සංඥා යැවීමට වගබලා ගත යුතුය. තවද, චන්ද්‍රිකාව චලනයේ යෙදෙන නිසා, ඩොප්ලර් ආචරණයද බලපානවා. එනිසා යම් චන්ද්‍රිකාවේ ඉන්පුට් (අප්ලින්ක්) හා අවුට්පුට් (ඩවුන්ලින්ක්) සංඛ්‍යාතයන් ඒ කියන අගයන්ට වඩා තරමක් එහාට මෙහාට වේ. මෙම අගයන් නිවැරදිවම සෙවීම තරමක් කරදරකාරී වේ (ඩොප්ලර් ආචරණ සූත්‍රය සරල වූවාට එය විවිධ දිශා ඔස්සේ යන චන්ද්‍රිකාවලට යෙදීමේදී අතින් ගණනය කරනවාට වඩා පරිගනක සොෆ්ට්වෙයාර් එකකින් ගණනය කිරීම යෝග්‍ය වේ).

චන්ද්‍රිකාවේ ගමන දිස් වන්නේ ඔබ සිටින තැනට ළං වෙනවා සේ නම්, එවිට එහි ඩවුන්ලින්ක් සංඛ්‍යාතය එහි සටහන් කර තිබෙන අගයට වඩා තරමක් වැඩි වේ (චන්ද්‍රිකාව ඔබ සිටින තැනට මුදුන් වන තෙක්). මෙවිට ඔබේ රිසීවරය ටියුන් කළ යුත්තේ සටහන් කර ඇති ඩවුන්ලින්ක් සංඛ්‍යාතයට වඩා තරමක් වැඩි සංඛ්‍යාතයකටයි. තවද, චන්ද්‍රිකාව ඔබ දෙසට ළං වන එම කාලය තුල, ඔබ චන්ද්‍රිකාව දෙසට සංඥා යැවිය යුත්තේ එහි අප්ලින්ක් සංඛ්‍යාතයට වඩා තරමක් අඩු සංඛ්‍යාතයකිනි. ඊට හේතුව, ඔබ එහි සාමාන්‍ය අප්ලින්ක් සංඛ්‍යාතයෙන්ම සංඥා යැව්වොත් චන්ද්‍රිකාවට ලැබෙන්නේ ඊට වඩා වැඩි සංඛ්‍යාතයක් ලෙසයි; ඉතිං චන්ද්‍රිකාව ඊට සූදානම් නැත (එය ප්‍රායෝගිකව කරන්නත් බැහැ මොකද පොලොවේ එක එක තැන්වල සිටින අයගෙන් එන සංඥාවල සංඛ්‍යාත වෙනස් වන්නේ වෙනස් අගයන්ගෙනි). ඒ වෙනුවට පොලොවේ සිට සංඥා යවන විටම තමන්ට අදාල වෙනස අඩු කරලා චන්ද්‍රිකාවට සංඥා යැවීමේ වගකීම දැන් පැවරෙන්නේ චන්ද්‍රිකාව සමග සන්නිවේදනය කරන ඔබටයි.

එලෙසම චන්ද්‍රිකාව ඔබෙන් ඈත් වන සේ ගමන් කරන විට, ඉහත සිද්ධිය කනපිට හැරේ. එනම්, ඩවුන්ලින්ක් සංඛ්‍යාතය එහි සටහන් සංඛ්‍යාතයට වඩා අඩුවෙන් ඔබේ රිසීවරයට ලැබෙන අතර, අප්ලින්ක් කරන විට, එහි සටහන් කර ඇති සාමාන්‍ය අප්ලින්ක් සංඛ්‍යාතයට වඩා වැඩිපුර අගයකින් යැවිය යුතුය.

ලෝක ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව වන Sputnik 1 චන්ද්‍රිකාව රුසියාව විසින් යැව්වේ 1957 දීය (එයද නිකංම බීකනයක් පමණි). එය යවා අවුරුදු 4ක් යන විට 1961 දෙසැම්බර් 12 වැනිදා පළමු ඇමචර් චන්ද්‍රිකාව වන OSCAR 1 කක්ෂගත කෙරිනි. එය කිලෝග්‍රෑම් 4.5ක් බර ඉතාම ප්‍රාථමික චන්ද්‍රිකාවක් වූ අතර දවස් 22ක් පමණි එහි ජීව කාලය වූයේ. මිලිවොට් 140ක් තරම් කුඩා ජවයකින් එය සංඥා නිකුත් කළේ 144.983 MHz යන සංඛ්‍යාතය ඔස්සේය. එය ඇත්තටම බීකනයකි (එනම් Hi Hi යන සංඥාව අඛණ්ඩව විසුරුවා හරිමින් එය ලොව වටා පරිභ්‍රමණය විය).

එහෙත් එය ඉතා වැදගත් සන්ධිස්ථානයකි. චන්ද්‍රිකා තාක්ෂණය ආරම්භයේදීම ඇමචර් චන්ද්‍රිකාවක් ආධුනික ගුවන් විදුලි ශිල්පින් විසින්ම සාදා යැවීමම විශාල ජයග්‍රහණයකි. තවද, ලොව ප්‍රථම පෞද්ගලික (එනම් රටක රාජ්‍යයකට අයත් නැති) චන්ද්‍රිකාවද එය වීම තවත් විශේෂත්වයකි. තවද, මෙය වෙනත් විශාල චන්ද්‍රිකාවක් වන Discoverer 36 නම් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් චන්ද්‍රිකාව කක්ෂ ගත කරන විට, ඒ සමඟම කක්ෂගත කළ චන්ද්‍රිකාවකි (ඇත්තටම මෙය “කනා චාන්ස්” එකක් විය; එනම්, ඩිස්කවරර් චන්ද්‍රිකාව යවන විට එහි අමතරව නිකං තිබූ හිඩක මෙම ඉතා කුඩා චන්ද්‍රිකාව “අසුරා යැව්වේය”). එක් චන්ද්‍රිකාවක් කක්ෂගත කරන අතරම තවත් චන්ද්‍රිකාවක්ද කක්ෂගත කළ (piggyback satellite) පලමු අවස්ථාවද ඔස්කාර් 1 චන්ද්‍රිකාව වේ. මෙතැන් සිට අද දක්වාම පිගිබැක් ක්‍රමයට චන්ද්‍රිකා යැවීම අතිශය ජනප්‍රියයි (වියදම ඉතාම අඩු නිසා). පහත දැක්වෙන්නේ ඔස්කාර් 1 චන්ද්‍රිකාවේ ඡායාරූපයකි.


OSCAR යන්න Orbitting Satellite Carry Amateur Radio යන වචනයේ කෙටිකරපු වචනයයි. සාමාන්‍යයෙන් ඇමචර් චන්ද්‍රිකා මේ නමින් හැඳින්විය හැකියි. එම චන්ද්‍රිකාව යැවූ සංවිධානය Project OSCAR නම් ඇමරිකානු ලාභ නොලබන ආයතනයකි. ඔවුන් OSCAR2, OSCAR3, OSCAR4 ලෙස තවත් ඇමචර් චන්ද්‍රිකා 3ක්ද ඉන්පසු යැවීය. මින් 1965දී යවපු ඔස්කාර් 3 ඇමචර් චන්ද්‍රිකාව තමයි පළමු වරට සූර්යපැනල යොදා ගත්තේ.

පසුව මෙම ඔස්කාර් ව්‍යාපෘති Radio Amateur Satellite Corporation (AMSAT) නම් තවත් ඇමරිකානු ආයතනයක් යටතට භාර විය. ඇම්සැට් ආයතනයේ අනුග්‍රහය හෝ සහයෝගයද ඇතුව ලෝකයේ නොයෙක් රටවල් විසින් ඇමචර් චන්ද්‍රිකා යවා ඇති අතර, එම චන්ද්‍රිකාවලට OSCAR11, OSCAR 30 ආදී ලෙස නම් කිරීමට බලය ඇත්තේද ඇම්සැට් වෙතයි (චන්ද්‍රිකාව යවන අයගේ ඉල්ලීම මත). 1970 දී යවපු Australis Oscar5 නම් චන්ද්‍රිකාව තමයි පොලොවේ සිට දුරස්ථපාලනය කළ හැකි ලෙස සාදපු පළමු ඇමචර් චන්ද්‍රිකාව වූයේ. තවද, එය ඇම්සැට් හා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් එක්ව යැවූ චන්ද්‍රිකාවකි. 1972 දී යවපු AO7 චන්ද්‍රිකාව අවුරුදු 4.5ක දිගු කාලයක් සේවයේ යෙදුණි. මීට පෙර යවා තිබූ සියලු ඇමචර් චන්ද්‍රිකාවලට දවස් කිහිපයක ආයු කාලයන් පමණයි තිබුණේ. 1978 දී පළමු රුසියානු ඇමචර් චන්ද්‍රිකාව යැවීය; ඇත්තටම චන්ද්‍රිකා දෙකක් එකවර යැවීය Radio Sputnik 1 (RS1) හා RS2 ලෙස. 1986 දී ජපානය විසින් තමන්ගේ ප්‍රථම ඇමචර් චන්ද්‍රිකාව වන Fuji Oscar 12 (FO12) යැවීය.

මේ වන විට රටවල් විසි ගණනක් එසේ ඇම්සැට් සමඟ චන්ද්‍රිකා යවා ඇත. තවද, ජපානය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක ඇමසැට් යන නමින්ම ඇමරිකානු ඇම්සැට් මව් ආයතනයට අනුබද්ධ ආයතනද පිහිටුවා ඇත. AMSAT-UK (එංගලන්තය), AMSAT-IN (ඉන්දියාව), AMSAT-DL (Deutschland – ජර්මනිය) ආදි ලෙස එම ආයතන නම් කෙරේ. අවශ්‍ය නම් ලංකාවෙත් එවැන්නක් බිහිකරගත හැකියි. මේ රටාවට ඇම්සැට් ආයතන නම් කරන විට ඇමරිකානු ඇම්සැට් මව් ආයතනය AMSAT-NA (North America) ලෙස හැඳින්වේ. මෙම ආයතන විසින් සාදපු සෑම ඇමචර් චන්ද්‍රිකාවක්ම සාදා තිබෙන්නේ ආධුනික ගුවන් ශිල්පින් හා ඉංජිනේරු ශිෂ්‍යයන් විසිනි. ඉතා අඩු වියදමින් ඒවා කක්ෂගත කිරීමටද ඇම්සැට් වගබලා ගන්නවා. එය කරන්නේ මෙලෙසයි.

සාමාන්‍යයෙන් විශාල චන්ද්‍රිකාවක් කක්ෂගත කරන විට අධික වියදමක් ඊට වැය වේ. එවැනි විශාල චන්ද්‍රිකා යවන විට, ඒ යවන “බඩු පෙට්ටියේ” වැඩිපුර තිබෙන ඉඩකඩක් බොහෝවිට පවතී. ඇම්සැට් කරන්නේ මෙම අපතේ යන වැඩිපුර ඉඩ තුල කුඩා ඇමචර් චන්ද්‍රිකාවක් යැවීමට එම විශාල චන්ද්‍රිකාව යවන ආයතනයෙන් අවසර ගැනීමයි.

ඇම්සැට්හි ඍජු මැදිහත් වීමෙන් යවන ඇමචර් චන්ද්‍රිකා Amsat OSCAR (AO) යන නමට පසුව අනුක්‍රමික අංකයකින් සාමාන්‍යයෙන් නම් කෙරෙනවා. එනිසා AO5 ආදී ලෙස ඇමචර් චන්ද්‍රිකාවල නම් ඔබට දක්නට ලැබේවි. වෙනත් ආයතන විසින් යවන චන්ද්‍රිකාවලටද ඔස්කාර් යන නම යටතේ අනුක්‍රමික අංකයක් ලබා ගත හැකි අතර, එවිට එම යවන ආයතනයේ නමද ඉදිරියෙන් සාමාන්‍යයෙන් යෙදේ - උදාහරණයක් ලෙස, CubeSat-OSCAR 57, VUSat-OSCAR 52.

විශාල ඔස්කාර් (හා වෙනත් ඇමචර්) චන්ද්‍රිකා ප්‍රමාණයක් යවා ඇතත්, මේ වන විට ඉන් බොහෝමයක් කල් ඉකුත් වී ගොස්ය (අක්‍රියයි). අලුතින් ඇමචර් චන්ද්‍රිකා ගණනාවක් කක්ෂගත කරමින් සිටී (ඉදිරියටත්). පහත දැක්වෙන්නේ මේ වන විට රිපීටර් සේවය සක්‍රිය මට්ටමේ පවතින ඇමචර් චන්ද්‍රිකා කිහිපයක ලැයිස්තුවකි. මේ සෑම චන්ද්‍රිකාවකම අප්ලින්ක්, ඩවුන්ලින්ක් ආදී සෑම විස්තරයක්ම චන්ද්‍රිකා නමට සබැඳි ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. http://www.amsat.org/status/index.php යන වෙබ් පිටුවෙන් තත්කාලීනව ආධුනික ගුවන් චන්ද්‍රිකාවල (විශාල ගණනක) විස්තර බලාගත හැකියි.

UKube-1      AO-7      FO-29      XW-2A      XW-2B      XW-2C      XW-2D 

XW-2F         NO-44    SO-50      EO-79       AO-85        EO-88       NO-84

ඇමචර් චන්ද්‍රිකා මෙන්ම සාමාන්‍ය චන්ද්‍රිකා ගැන විස්තරත්, ඒවා ලෝකයේ ඕනෑම තැනකට පෙනෙන වෙලාව හා පෙනෙන දිශානතිය ආදී විස්තර ලබා දෙන පරිගනක වැඩසටහන්ද අන්තර්ජාලයේ නොමිලේම ලබා ගත හැකියි.

ISS විසින් පවත්වාගෙන යනවා රිපීටර් 4ක්. එම රිපීටර් 4හි විස්තර පහත ඇත.

    FM U/v VOICE Repeater (Worldwide)
       Downlink 145.800
       Uplink 437.800

    FM V/u with PL VOICE Repeater (Worldwide)
       Downlink 437.800
       Uplink 145.990 with 67.0 PL (CTCSS tone)

    FM L/v VOICE Repeater (Worldwide)
       Downlink 145.800
       Uplink 1269.650

    AX.25 1200 Bd AFSK Packet Radio (Worldwide)
       Downlink 145.825
       Uplink 145.825

මීට අමතරව HAM TV (HAM Video) නමින් ටීවී චැනලයක්ද ISS (ARISS) විසින් විසුරුවා හරිනවා 2.422 GHz, 2.437 GHz යන සංඛ්‍යාත ඔස්සේ 10 W EIRP ක ජවයකින්. DVB-S යන ඩිජිටල් ටෙලිවිෂන් ප්‍රමිතියට සමාන ප්‍රමිතියකින් මෙම සංඥා විසුරුවා හැරේ . වැඩි විස්තර http://www.ariss-eu.org/columbus/ham-video වෙබ් පිටුවෙන් හා අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි.
 

No comments:

Post a Comment