Friday, April 7, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 84

ආධුනික ගුවන් ශිල්පය තුල ට්‍රන්කිං තාක්ෂණය යොදා ගන්නේ නැත.

යම් PMR ජාලයක තිබෙන්නේ එක් චැනලයක් යැයි සිතන්න. දැන් එම චැනලය සාමූහිකව සෑම දෙනා විසින්ම භාවිතා කරන්නට සිදු වෙනවා. යම් පුද්ගලයකු ඉන් යම් සංඥාවක් විසුරුවා හැරියොත් ඊට සම්බන්ද සියලු දෙනාටම එය ඇසෙනු ඇති. ඉතිං, ඇම්බ්‍යුලන්ස් සේවාවට අදාල පිරිසක්, ගිනි නිවන හමුදාවට අදාල පිරිසක් ආදී ලෙස විවිධ පිරිස් ඊට සම්බන්දව සිටිනවානෙ. ඇම්බ්‍යුලන්ස් සේවාවට අයිති කෙනෙකු කියන දේ ගිනි නිවන හමුදාවටත් ඇසේ; එහෙත් ඉන් ප්‍රයෝජනයක් නැත; අමතර විඩාවක් ඇති වේ. සාමාන්‍යයෙන් කරන්නට තිබෙන්නේ තමන්ට අදාල නැති පනිවුඩ ඇසුනත් නෑසුනා වගේ ඉන්නටයි.

එහෙත් තවත් ක්‍රමයක් තාක්ෂණිකව යොදා ගත හැකිය. එහිදී යම් කණ්ඩායමක/කෝල්ගෲප්/ටෝක්ගෲප් එකක කෙනෙකු යවන පනිවුඩයක් අදාල ගෘප් එක තුල අයට පමණක් ඇසේවි. මෙහිදී තවමත් අනෙක් ගෲප්වල අයටත් රේඩියෝ සංඥාව යැවේ (එය වලක්වන්නට බැහැ). එහෙත් එම ගෲප්වල අයගේ රිසීවර් විසින් (“කාටත් හොරා”) එම කෝල් සයිලන්ස් කරනවා (හරියට එම සංඛ්‍යාතය ඔස්සේ සන්නිවේදනයක් සිදු වන්නේ නැහැ වගේ). එය කළ හැක්කේ කෙසේද?

යම් ගෲප් එකක් සඳහා අනන්‍ය යම් සියුම් නිශ්චිත ශබ්දයක් වෙන් කරනවා. උදාහරණයක් ලෙස, ටෝක්ගෲප් 1 සඳහා හර්ට්ස් 100ක ශබ්දයක්ද, ටෝක්ගෲප් 2 සඳහා හර්ට්ස් 130ක ශබ්දයක්ද ආදි ලෙස එක් එක් ගෲප් එකට ලැබෙන්නේ ඊටම විශේෂිත හර්ට්ස් ගණනක ශබ්දයකි. දැන් කරන්නේ අදාල ගෲප් එකේ කෙනෙකු කතා කරන විට, එම ගෲප් එකට අයත් ශබ්දයත් ඒ සමඟම අඩු ප්‍රබලතාවකින් ඔහුගේ කටහඬ සමඟ මිශ්‍ර කිරීමයි (ඔබ කතා කරන විට, එම මයික් එකටම ඉතා සිහින්ව තවත් ශබ්දයක් එකතු කරන්නා සේ). අනෙක් කෙනාට ඇත්තටම අර අමුතුවෙන් එකතු කරන ශබ්දය නොඇසේ (එතරම් සියුම්ව අඩු ප්‍රබලතාවකිනුයි එම ශබ්දය තිබෙන්නේ). එනිසා මෙම ශබ්ද sub-audible tones හෙවත් subtones කියා හැඳින්වෙනවා. මෙම ශබ්ද අපේ කනට ඇසෙන තරමට ප්‍රබල නොවූවත්, රිසීවරයට හොඳින් ඇසේ (කනට වඩා යන්ත්‍ර සංවේදීව සෑදිය හැකියිනෙ). තවද රිසීවර් පරිපථය විසින් මෙම සංඛ්‍යාතය ෆිල්ටර් මඟින් හායනය කරන නිසා එය මිනිස් කනට ඇසෙන්නට තිබෙන හැකියාව තවත් අඩු වේ. තවද මේ සඳහා යොදා ගන්නේ පහල සංඛ්‍යාතයන් නිසාත් පහල සංඛ්‍යාතයන්ට මිනිස් කන එතරම් සංවේදී නොවන නිසාත් තවදුරටත් එම ටෝන් නොඇසෙන තත්වයක් ඇත.

ඉතිං, යම් ගෲප් එකකට අයත් සියලු ට්‍රාන්සීවර්වල අර නිශ්චිත සංඛ්‍යාතයෙන් යුතු සබ්ඕඩිබල් ටෝන් එක සෙට් කරනවා. එවිට, එම ගෲප් එකේ කෙනෙකු කතා කරන විට ඉබේම ට්‍රාන්සීවර් පරිපථය විසින් එම ටෝන් එක ඊට එකතු කරලයි විසුරුවා හරින්නේ. දැන් සෑම දෙනාටම එම සංඥා යැවෙනවා. අදාල ගෲප් එකට අයත් ට්‍රාන්සීවරයට එම සංඥා ලැබෙන විට එම ට්‍රාන්සීවරය විසින් සොයා බලනවා එම සංඥාව තුල තමන්ගේ ගෲප් එකේ ටෝන් එකද තිබෙන්නේ කියා. එසේ නම්, ට්‍රාන්සීවරය විසින් එම සංඥාව ඇසෙන්නට සලස්වනවා. වෙනත් ගෲප් එකක ටෝන් එකක් නම් එහි තිබෙන්නේ, සංඥාව ඇසෙන්නට සලස්වන්නේ නැත.

FRS/GMRS වැනි පද්ධති තුල භාවිතා වූ ඉහත සබ්ඕඩිබල් ටෝන් හැඳින්වෙන්නේ privacy codes/tones ලෙසයි. ඇත්තටම එමඟින් ප්‍රිවසි (පෞද්ගලිකත්වය) ආරක්ෂා නොවේ (එහෙත් එසේ ආරක්ෂා වෙනව වගේ පිටතින් පෙන්; අවශ්‍ය නම්, තම ට්‍රාන්සීවරයේ ප්‍රිවසි කෝඩ් එක වෙනත් ගෲප් එකක ටෝන් එකට මාරු කර එම ශබ්ද ඇසිය හැකිය).

දැන් යම් ගෲප් එකක කෙනෙකු එම තනි චැනලය ඔස්සේ සන්නිවේදනය කරනවා යැයි සිතන්න. එවිට වෙනත් ගෲප් එකක සිටින පුද්ගලයකු සිතන්නේ චැනලය ක්ලියර් කියාය (තමන්ගේ රිසීවරයෙන් කිසිවක් නොඇසෙන නිසා). එවිට, එම අනිත් කෙනාද ඔහුගේ ගෲප් එකට යම් සංඥාවක් අර සංඛ්‍යාතය ඔස්සේම යැවීමට ඉඩ තිබේ. මෙවිට එකම චැනලය දිගේ සංඥා දෙකක් යැවෙන නිසා, සංඥා විකෘති වී කාටවත් ප්‍රයෝජනයක් නැති වීමට පුලුවන්.

එහෙත් මෙම තත්වය පහසුවෙන්ම වැලැක්විය හැකියි. සෑම රිසීවරයටම ඇත්තටම එම සංඛ්‍යාතය ඔස්සේ සංඥා ඇසෙනවානෙ. ඉතිං ඔබට බැරි වූවාට, රිසීවරයට හැමවිටම දැනගන්නට පුලුවන් චැනලය දැන් ක්ලියර්ද නැද්ද කියා. ක්ලියර් නම් විතරක් වෙනත් කෙනෙකුට සංඥා යැවීමට අවස්ථාව ලබා දේවි; නැතිනම් දැන් චැනලය බිසී කියා හඟවා එය ක්ලියර් වෙනකල් සංඥා යවන්නට ඉඩ නොදේවි. මෙම හැකියාව Busy channel lockout ලෙස හැඳින්වේ. මෙම ස්වයංක්‍රිය හැකියාව වෙනුවට වෙනත් ක්‍රමවලින්ද එය දැනගත හැකි ට්‍රාන්සීවර් නිපදවා තිබෙනවා. එහිදී ට්‍රාන්සීවරයේ තිබෙනවා monitor නම් බට්න් එකක්. එය එබූ විට චැනලය ක්ලියර්ද නැද්ද කියා දැනගත හැකියි. සමහර ට්‍රාන්සීවර්වල මෙම මොනිටර් බට්න් එක සම්ප්‍රේෂකය ක්‍රියාත්මක කරන PTT බට්න් එකටම ඇතුලත් කර තිබේ (එවිට, PTT බට්න් එක තරමක් යටට ඔබන විට එය මොනිටර් බට්න් එක ලෙස ක්‍රියාත්මක වී චැනලය ක්ලියර්ද නැද්ද කියා දැනගැනීමට ලැබෙන අතර, ක්ලියර් නම් තවදුරටත් අර බට්න් එක තවත් පහලට ප්‍රෙස් කරන විට ට්‍රාන්ස්මීටරය සක්‍රිය වේ).

රිපීටර් සඳහා ඉහත ක්‍රමය හඳුන්වා දීමට පුරෝගාමීන් වූයේ Motorola ආයතනයයි. ඔවුන් සබ්ටෝන් නම් කළේ private line tones (PL tones) ලෙසයි. ඉන්පසු වෙනත් නිෂ්පාදකයින්ද මෙම ක්‍රම යොදා ගෙන රිපීටර් සෑදුවා. එක් එක් නිෂ්පාදකයා මෙම ටෝන්ස් විවිධ නම්වලින් හැඳින් වූ නිසා, Private Line (PL) tones, Channel Guard (CG) tones, Quiet Call (QC) tones, Quiet Talk (QT), C.Tones, Continuous Tone Coded Squelch System (CTCSS) ආදී ලෙස මෙම subtones හැඳින්වේ.

අපට කැමති කැමති සංඛ්‍යාතයන්ගෙන් යුතු සබ්ටෝන් භාවිතා නොකර පොදු සම්මුතියකට සෑදූ සබ්ටෝන් ගණනාවක් තිබෙනවා. මෙමඟින් හැකි වෙනවා විවිධ නිෂ්පාදයකන් නිපදවන සන්නිවේදන උපකරණ එකසේ භාවිතා කරන්නට. සමහර ට්‍රාන්සීවර්වල මෙවැනි සබ්ටෝන් 36ක් හෝ 38ක් සපෝට් කරන අතර, තවත් සමහරක් ඒවාවල සබ්ටෝන් 50ක් විතර සපෝට් කරනවා. හර්ට්ස් 67 සිට 257 දක්වා සංඛ්‍යාත පරාසය තුල එම සබ්ටෝන් පිහිටුවනවා. ඇත්තෙන්ම සමහර නිෂ්පාදයක් පොදු නොවන සබ්ටෝන් කිහිපයක්ද භාවිතා කරනවා.

පහත දැක්වෙන්නේ සබ්ටෝන් 38යි (සබ්ටෝන් නම් කරන්නේ එම ටෝන්වල සංඛ්‍යාතයෙන් නිසා පහත වගුවේ තිබෙන්නේ ඒ ඒ සබ්ටෝන්වල සංඛ්‍යාතයි). එම සබ්ටෝන් 38 කාණ්ඩ 3කට බෙදා ඇත. එහි නිල් පාටින් පෙන්වා තිබෙන්නේ Group A වන අතර, Group B කොල පාටින්ද, Group C රතු පාටින්ද දක්වා තිබේ (67.0 මුල් කාලයේ Group A යටතේ තිබී ඇත).

67.0 71.9 74.4 77.0 79.7 82.5
85.4 88.5 91.5 94.8 97.4 100.0
103.5 107.2 110.9 114.8 118.8 123.0
127.3 131.8 136.5 141.3 146.2 151.4
156.7 162.2 167.9 173.8 179.9 186.2
192.8 203.5 210.7 218.1 225.7 233.6
241.8 250.3








සාමාන්‍යයෙන් රිපීටර් සඳහා Group B වලින් තෝරාගත් සබ්ටෝන් යොදා ගැනේ. ඉහත එක් එක් සබ්ටෝන් අතර ලස්සන සම්බන්දතාවක් ඇත. එනම් යම් සබ්ටෝන් සංඛ්‍යාතයක් 1.035265 යන අගයෙන් වැඩි කළ විට දළ වශයෙන් ඊළඟ සබ්ටෝන් එක ලැබේ (එසේ නොවී තරමක් එහා මෙහා යන කිහිපයක්ද ඇත).

මෙලෙස (මෙතැන විතරක් නොව, සන්නිවේදන/ඉලෙක්ට්‍රොනික්ස් තාක්ෂණයේ ඕනෑම තැනක) යම් සංඛ්‍යාතයන් අතර පවතින සම්බන්දතාවක් (එනම්, එක් සංඛ්‍යාතයක් කිසියම් නිශ්චිත අගයකින් වැඩි කළ විට අනෙක් සංඛ්‍යාතය ලැබීම) harmonic relation ලෙස හැඳින් වේ. ඒ අනුව ඉහත සංඛ්‍යාත අගයන් එකිනෙකට harmonically related වේ.

ඉතිං, යම් රිපීටරයක් ක්ලෝස්ඩ් රිපීටරයක් නම්, එය පාවිච්චි කරන්නට පෙර එම රිපීටරයේ CTCSS tone අගය දත යුතුය. රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතය, අවුට්පුට් සංඛ්‍යාතය සේම වැදගත් අනෙක් පරාමිතිය එයයි. උදාහරණයක් ලෙස, පහත ආකාරයට යම් රිපීටරයක පරාමිතින් ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකි වේවි.

PODUNK VALLEY 146.94 (-) 103.5

රිපීටරය සම්බන්ද සියලු විස්තර ඉහත ප්‍රකාශය තුල සාරාංශගතව ඇත. රිපීටරයක් සාමාන්‍යයෙන් එය පිහිටන ප්‍රදේශයේ නමින් හඳුන්වනවා. ඒ අනුව පොදුන්ක් වැලි යනු එම රිපීටරයේ නමයි (එය පිහිටි ප්‍රදේශයේ නම). ඉන්පසුව තිබෙන 146.96 යනු රිපීටරයේ අවුටපුට් සංඛ්‍යාතය වන 146.94MHz වේ. ඊටත් පසුව වරහන තුල ඇති ඍන ලකුණින් කියන්නේ ඉන්පුට් සංඛ්‍යාතය ඍණ ඕෆ්සෙට් එකක් සහිත බවයි. එහෙත් එම ඕෆ්සෙට් අගය එහි දක්වා නැත මොකද මීට පෙර අප ඉගෙන ගත් පරිදි සම්මත ඕෆ්සෙට් අගයයි එතැන තිබෙන්නේ. 146.94MHz යනු 2 මීටර් බෑන්ඩ් එක වන නිසා, ඊට අදාල සම්මත ඕෆ්සෙට් අගය 600kHz වේ. අවසානයේ තිබෙන්නේ CTCSS tone අගයයි (සංඛ්‍යාතයයි). ඉහත වගුව අනුව මෙය රිපීටර් සඳහා යොදා ගන්නා ගෲප් බී ට අයත් බව පෙනේ.

ඒ අනුව ඉහත රිපීටරය සමඟ සන්නිවේදනය කිරීමට නම් ට්‍රාන්සීවරයේ CTCSS ටෝන් ලිස්ට් එකෙන් 103.5 යන්න තෝරා ගත (සෙට් කළ) යුතු වෙනවා. නිවැරදි අගය නොතේරුවොත් හෝ කිසිම සබ්ටෝන් එකක් නොතෝරා සිටියත් එම රිපීටරය සමඟ සන්නිවේදනය කිරීමට බැරි වෙනවා. සමහර ට්‍රාන්සීවර් සතුව තිබෙනවා tone scan නම් feature එකක්. ඉන් කරන්නේ දැනට ඒ අවට පරිසරයේ සැරිසරන රේඩියෝ සංඥා ස්කෑන් කර, නිවැරදි සබ්ටෝන් එක ස්වයංක්‍රියව සොයා ගැනීමයි (මෙවිට අතින් නිවැරදි අගයන් දෙන්නට අවශ්‍ය නැහැ).

සටහන

Squelching (SQL)

squelch යන වචනයේ එක් සාමාන්‍ය තේරුමක් වන්නේ “යටපත් කරනවා” යන්නයි. ඉලෙක්ට්‍රොනික්ස්වලදී එහි තේරුම යම් සංඥාවක් යම් කොන්දේසියක් සැපිරෙන විට, එම සංඥාව යටපත් කිරීමයි. බොහෝ ට්‍රාන්සීවර් තුල මෙම ස්ක්වෙල්ච් ෆීචර් එක ඇත; එය ඔන් ඕෆ් කළ හැකියි (ස්ක්වෙල්ච් ෆීචර් එක ඕෆ් කිරීම opening squelch ලෙස හැඳින්වෙනවා). ස්ක්වෙල්ච් ඕපන් කර ඇති විට (එනම් එය ඕෆ් කර ඇති විට), රිසීවරයෙන් යම් ඝෝෂාවක් ඇසිය හැකි අතර මෙම ඝෝෂාව squelch noise ලෙස හැඳින්වේ.

ස්ක්වෙල්ච් ක්‍රම කිහිපයක්ම ඇත.

1. carrier/noise squelchමෙහිදී සංඥාවේ ප්‍රබලතාව යම් මට්ටමකට වඩා අඩු නම් සම්පූර්ණයෙන්ම එම සංඥාව කපා දමනවා (බොහෝවිට මෙම අවම මට්ටම සෙට් කළ හැකියි). මෙවැනි පරිපථයක් තිබෙනවා දැන් එන ටීවී වලත්. සාමාන්‍යයෙන් ටීවී එකක චැනලයක් ටියුන් කර නැති අවස්ථාවක තිත් ගොඩක් සමඟ සූ ගාන ශබ්දයක් පිට වේ. එහෙත් සමහර ටීවීවල තිත් පෙන්වන්නේ නැතිව නිකංම නිල්පාට තිරයක් පෙන්වා, සූ ගාන ඝෝෂාවද කපා දමනවා. එය සිදු කරන්නේ මෙවන් පරිපථයකිනි. සමහර ටීවීවල, ටියුන් කර තිබෙන චැනලයේ සංඥා දුර්වල නම්, ඝෝෂාව සමඟ තිත් ගොඩාක් තිබෙන චැනලය නොපෙන්වා පෙර ලෙසම ශබ්දය නවතා නිල් පාට තිරයක් පෙන්වනවා. එයත් මෙම පරිපථය නිසා සිදු වුවකි.

2. tone/selective squelchමේ ගැන තමයි මීට පෙර අප CTCSS යටතේ කතා කරමින් සිටියේ. කිසියම් නිශ්චිත සබ්ටෝන් එකක් තිබේ නම් පමණක් සංඥාව ඇසෙන්නට/දකින්නට සලස්වනවා. නැතිනම් සංඥාව කපා දමනවා.

ඇත්තටම, මෙහි ඩිජිටල්කරණය වූ ආකාරයකුත් තිබෙනවා. එය Digital Coded Squelch (DCS), CDCSS (Continuous Digital Coded Squelch System), DPL (Digital Private Line), DCG (Digital Channel Guard), CTCS (Digital Tone Code Squelch) යනාදි නම්වලින් හැඳින්වේ (CTCSS සඳහාත් නම් ගණනාවක් තිබුණානෙ). මෙවැනි පද්ධතියකදී සංඥාවට එකතු කරන්නේ යම් සංඛ්‍යාතයකින් යුතු සයිනාකාර ඇනලොග් තරංගයක් නොව, 134.4bps ක ඩිජිටල් තරංගයකි (ප්‍රබලතාව ඉතා අඩුවෙන්).

3. Selective calling (sel call) හෙවත් tone burst මෙහිදී සාමාන්‍ය සංඥාව යවන්නට පෙර යම් නිශ්චිත සංඛ්‍යාතයකින් යුතු ටෝන් එකක් යම් නිශ්චිත කාල පරාසයක් පුරා යවනවා. මෙම ටෝන් එක අඩු ප්‍රබලතාවක් සහිත සබ්ටෝන් එකක් නොව හොඳට කනට ඇසෙන තරමේ එකකි. සංඥාවත් සමඟ මිශ්‍ර නොකරන නිසා ගැටලුවක් ඇති නොවේ. මෙම පූර්ව සංඥාව හරියට පෙරහැරක කසකරුවා වාගේ. “ඔන්න දැන් සංඥාවක් එවනවා, එය ග්‍රහනය කරගන්න” වැනි අදහසක් එම පූර්ව සංඥාවේ ඇත.

සමහර අවස්ථාවලදී එක ටෝන් එකක් විතරක් එසේ යැවීම අවදානම් සහගත විය හැකියි. ඊට හේතුව, කිසියම් හේතුවක් නිසා එම නිශ්චිත සංඛ්‍යාතයෙන් spurious signal එකක් අවට පරිසරයේ ඇති වුවොත් (අවට පරිසරයේ තිබෙන වෙනත් උපකරණයකින්), එවිටත් නිකරුනේ/වැරදියට රිපීටරය සක්‍රිය වේවි. මෙය පහසුවෙන්ම වැලැක්විය හැකියි විවිධ ටෝන් දෙකක් හෝ වැඩි ගණනක් එකක් පසුපස එකක් ලෙස පෝලිමට යැව්වොත්. එලෙස වෙනස් ටෝන් 5ක් යැවීමේ ටෝන් බර්ස්ට් ක්‍රමය ප්‍රචලිතය.

ටෝන් බර්ස්ට් සිදු කරන තවත් ආකාරයක් නම්, වෙනස් ටෝන් දෙකක් එකක් පිටුපස එකක් යැවීම වෙනුවට දෙකම එක වෙලේම යවනවා. Dual Tone Multi Frequency (DTMF) යනු එවැනි ජනප්‍රිය යෙදුමකි (මෙහි නිශ්චිත සංඛ්‍යාත/ටෝන් දෙකක් එකවර යැවේ). අප එදිනෙදා භාවිතා කරන රැහැන් දුරකතනවල keypad එක වැඩ කරන්නේ මෙම ක්‍රමයටයි.

ඇත්තෙන්ම CTCSS ක්‍රමය හැරුනහම tone burst ක්‍රමය යොදා ගන්නා රිපීටර්ද තිබෙනවා. එහිදී ඔබේ ට්‍රාන්සීවරයට අවශ්‍ය නම් එවැනි ටෝන් බර්ස්ට් භාවිතා කරන ක්ලෝස්ඩ් රිපීටරයක ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ ඊට සංඥා යවන්නට, ඔබට සිදු වෙනවා එම රිපීටරයේ ටෝන් එක ඔබ වරින් වර යවන සෑම සංඥාවක් ඉදිරියෙන් යවන්නට. මේ සඳහා ඔබේ ට්‍රාන්සීවරයට සෙට් කළ යුතු වෙනවා ටෝන් බර්ස් මෝඩ් එකට. සාමානයයෙන් 1750Hz ක ටෝන් එකක් යැවිය යුතුය. CTCSS මෙන් නොව, මෙහිදී ටෝන් එක යවන්නේ වරකට එක පාරයි (සංඥාවට පෙර එක වතාවක්).

සමහර රිපීටර් තිබෙනවා DTMF ක්‍රමයට අවසර ගැනීමට සිදු වෙන. මෙම ක්‍රමයේදී කීපෑඩ් එකෙන් යම් අංකයක් (ටෙලිෆෝන් අංකයක් වැනි) එබීමටයි තිබෙන්නේ (බැංකු ATM මැෂින් එකකින් සල්ලි ගැනීමේදී ඇතුලත් කරන පින් අංකය වැනි). කීපෑඩ් එකෙන් ඔබන සෑම ඉලක්කමක් පාසාම DTMF නාද යුගලය බැඟින් රිපීටරයට යනවා.

සටහන

DTMF

මෙම ක්‍රමය රැහැන් දුරකතන පද්ධතිය සඳහා ඇමරිකාවේ සුප්‍රකට බෙල් ආයතනය විසින් සොයා ගන්නා ලදි. මේ වන විට ලොව පුරා සෑම රැහැන් හා සෙල්‍යුලර් හා වෙනත් ඕනෑම දුරකතන ජාලයකම මෙය භාවිතා වන අතර, ITU විසින් ප්‍රමිති කරද ඇත. ඉස්සර රැහැන් දුරකතනවලින් යම් දුරකතන අංකයක් ඩයල් කරන විට, කුඩා රෝදයක් වැනි දෙයක් කරකවා අංකය ෆෝන් එකට ඩයල් කරන්නටයි තිබුණේ. එය pulse/rotary dialling ලෙස හැඳින්විය. මෙම ක්‍රමය ඉවත් කර tone dialling ක්‍රමය අද රැහැන් දුරකතනවල පවතින්නේ DTMF නිසාය.


මෙහිදී කනට ඇසෙන සංඛ්‍යාත පරාසයේ තෝරාගත් සංඛ්‍යාතයන් 8ක් භාවිතා කරනවා. මෙම 8 කාණ්ඩ දෙකකට කඩනවා - එකක් අඩු සංඛ්‍යාත සහිත ටෝන් 4කින් සමන්විත අතර, අනෙක ඊට වඩා වැඩි සංඛ්‍යාත සහිත ටෝන් 4කින් සමන්විත වේ. මෙම ටෝන් 8 පහත ආකාරයට තැබූ විට ඉන් එකිනෙකට වෙනස් අවස්ථා 16ක් නිරූපණය කළ හැකිය. එම එකිනෙකට වෙනස් අවස්ථා 16ද සම්මත කර ගෙන තිබේ. ඒවා වන්නේ 0 සිට 9 දක්වා ඉලක්කම් 10, A, B, C, D යන ඉංග්‍රිසි අක්ෂර 4, # හා * යන සංඛේත දෙකද වේ. (බලන්න ඕනෑම ෆෝන් එකක කීපෑඩ් එකේ තිබෙන්නේ මෙම සංඥා නේද?)


1209 Hz
1336 Hz
1477 Hz
1633 Hz
697 Hz
1
2
3
A
770 Hz
4
5
6
B
852 Hz
7
8
9
C
941 Hz
*
0
#
D

උදාහරණයක් ලෙස, ඔබ 1 යන ඉලක්කම එබුවොත්, DTMF පරිපථයෙන් පිට වන්නේ හර්ට්ස් 697 හා 1209 යන ටෝන් දෙකයි (එකට මිශ්‍රවෙලා හෙවත් අධිස්ථාපනය වෙලා). ඇත්තටම පිටවන සංඥාව 1Cද වෙනත් එකක්ද යන්න නොවේ වටින්නේ; එකිනෙකට වෙනස් සංඥා 16ක් ඉන් නිපදවිය හැකිවීමයි වටින්නේ. දුරකතන සඳහා පමණක් නොව, යම් යම් පාලක දත්ත/සංඥා යැවීමට අවශ්‍ය බොහෝ අවස්ථා සඳහා DTMF යොදා ගත හැකියි.

යම් සන්නිවේදන පද්ධතියක් තුල දෙයාකාරයක සංඥා ගමන් කරනවා. එකක් නම් එක් එක් අයගේ සාමාන්‍ය පනිවුඩ ආදිය රැගත් සාමාන්‍ය තොරතුරු සංඥාය. අනෙක වන්නේ පද්ධතිය පවත්වා ගෙන යෑමට අවශ්‍ය පාලක තොරතුරු සහිත සංඥාය. සාමාන්‍ය සංඥා යන සන්නිවේදන මාර්ග තුලින්ම පාලක තොරතුරුත් යැවිය හැකි නම්, එවිට එය in-band signalling කියා හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස, රැහැන් දුරකතනයක් ගත් විට, ඔබ යම් අංකයක් ඩයල් කරන විට, ඊට අදාලව නිපදවෙන පාලක සංඥාද යැවෙන්නේ ඔබ කතා කරන විට කටහඬ යන වයර් එක ඔස්සේමය. සමහර දුරකතන සේවා වලට කතා කරන විට, සිංහල භාෂාවෙන් කතා කරන්න අවශ්‍ය නම් 1 ඔබන්න ඉංග්‍රිසි බසින් අවශ්‍ය නම් 2 ඔබන්න ආදී ලෙස ඔබේ ෆෝන් එකෙන් විවිධ අංක ඔබන්න යැයි කී විට, ඔබ ඔබන අංක ඇත්තටම පාලක දත්තයක් වන අතර, ඒවා DTMF ආකාරයෙනුයි යන්නේ.

ඉහත DTMF සඳහා සුදුසු සංඛ්‍යාතයන් තීරණය කරන විට මෙම කාරණයද සැලකිල්ලට ගෙන ඇත. එනම් ඉහත සංඛ්‍යාත 8ම ඕනෑම දුරකතන ජාලයක් සපෝට් කරන සංඛ්‍යාත පරාසය තුල පිහිටා ඇත. එනිසා ඔබ යම් අංකයක් ඩයල් කරන විට, ඉන් නිකුත් වන ටෝන් ඔබේ කනටද ඇසේ (ෆෝන් අංකයක් ඔබන විට නීක් වැනි ඇසෙන ශබ්ද). DTMF යනුද මෙනිසා inband signalling ක්‍රමයකි. ෆෝන් ජාලා වලින් ඔබට විවිධ රාජකාරි සිදු කර ගැනීම DTMF නිසා පහසු වී ඇත (ඔබ යම් යම් අංක ඔබා විවිධ රාජකාරි ඉටු කර ගත හැකිය)

Out-of-band signalling යනු සාමාන්‍ය සංඥා/දත්ත එක් මාර්ගයක් ඔස්සේද, පාලක සංඥා/දත්ත වෙනත් මාර්ගයක් ඔස්සේද යැවීමයි. උදාහරණයක් ලෙස, මීට පෙර කතා කළ ට්‍රන්ක්ඩ් රේඩියෝ ජාලයේදී පාලක දත්ත ගෙන යෑමට වෙනමම පාලක චැනලයක් තිබුණා නේද?

මේ අනුව, closed repeater එකකට ප්‍රවේශ වීමට මූලික ක්‍රම 3ක් තිබෙනවා - tone burst, CTCSS, DTMF. පෙර සඳහන් කළ පරිදි රිපීටරය අනවශ්‍ය ලෙස ස්පූරියස් සිග්නල් වලට සක්‍රිය වීම නැවැත්වීම ප්‍රධාන අරමුණ වුවත්, මෙමඟින් තවත් වාසි කිහිපයක් ඇත. රිපීටරය කාර්යක්ෂමව හා ඵලදායි ලෙස භාවිතා වේ (එනම් අනවශ්‍ය ලෙස ඔන් නොවී විදුලියද ඉතිරි කරමින් රිපීටරයේ ආයුකාලයද වැඩි කරගනී). තවද, වෙනත් රිපීටර්වලට සම්බන්ද කිරීමේ (cross-linking) හැකියාවද ලැබේ. දැන් රිපීටර් එකිනෙකට සම්බන්ද කිරීම ගැන සොයා බලමු.

රිපීටර් දෙකක් හෝ කිහිපයක් එකිනෙකට ඍජුවම සම්බන්ද කිරීම repeater linking ලෙස හැඳින්වේ. එහිදී එක් රිපීටරයක සිට තවත් රිපීටරයකට වෙනම link එකක් සාදනවා. මෙම ලින්ක් එක සාමාන්‍ය ටෙලිෆෝන් ලයින් එකක් විය හැකිය; චන්ද්‍රිකා සම්බන්දතාවක් විය හැකියි; ක්ෂුද්‍රතරංග ලින්ක් එකක් විය හැකිය; ප්‍රායෝගිකව කළ හැකි ඕනෑම විදියක ලින්ක් එකක් විය හැකිය. මෙවිට යම් රිපීටරයක ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ සංඥාවක් ලැබුණු විට එම රිපීටරයේම අවුටපුට් සංඛ්‍යාතය ඔස්සේ එම සංඥාව විසිරෙන ගමන්ම, ඊට ලින්ක් කර ඇති අනෙක් රිපීටර්වල අවුට්පුට් සංඛ්‍යාත ඔස්සේද එම සංඥාව විසිරේ. උදාහරණයක් ලෙස, ගම්පහ, යාපනය, හා මාතර යන ස්ථානවල ඇති රිපීටර් 3ක් මෙලෙස ලින්ක් කර ඇතැයි සිතන්න. දැන් ගම්පහ සිටින මා ගම්පහ රිපීටරයට යම් සංඥාවක් යවන විට, එම සංඥාව යාපනය හා මාතර ප්‍රදේශවලද විසිරේවි. ඉතා ඈත තැනින් තැන විසිරී සිටින පිරිස් මෙලෙස එකට සංවාද කළ හැකියි.

ඉහත ආකාරයට රිපීටර් ලින්ක් කළ හැකියි ඒවා කොතරම් දුර පිහිටියත්. උදාහරණයක් ලෙස, ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ රිපීටරයකුයි ඇමරිකාවේ නගරයක පිහිටි රිපීටරයකුයි මෙලෙස ලින්ක් කළ හැකියි (අවශ්‍ය වන්නේ රිපීටර් දෙක අතර කුමන හෝ ක්‍රමයකින් සන්නිවේදන මාර්ගයක් තිබීමයි). දැන් අන්තර්ජාල පහසුකම් ලාභෙටත් පහසුවෙනුත් ලබා ගත හැකි නිසා, අන්තර්ජාලය හරහා අවශ්‍ය නම් මෙලෙස රිපීටර් ලින්ක් කළ හැකියි. එවැනි ලින්ක් කරපු ප්‍රචලිත රිපීටර් පද්ධති ඇත (මොහොතකින් ඒ ගැන බලමු).


ඊට අමතරව ළඟ ඇති (එනම් එක් රිපීටරයකින් නිකුත් වන සංඥා ග්‍රහනය කර ගත හැකි දුරකින් සිටින) රිපීටර් දෙකක් හෝ කිහිපයක් වෙනත්/අමතර වෙනත් ලින්ක් නැතිව ඍජුවම සම්බන්ද කළ හැකිය. මෙවිට repeater cross-linking කියා කියනවා. එය අරකටත් වඩා සරලයි. මෙහිදී එක් රිපීටරයක අවුට්පුට් සංඛ්‍යාතයෙන් නිකුත් වන සංඥා ඊට ආසන්නව ඇති වෙනත් රිපීටරයක ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ එම රිපීටරයටද ඇතුලු කෙරේ. මෙය සිදු වන්නේ එක් රිපීටරයක ඉන්පුට් සංඛ්‍යාතය ඊට යාබදව ඇති අනෙක් රිපීටරයේ අවුට්පුට් සංඛ්‍යාතයට සමානයි නම් පමණි.

සමහර අවස්ථාවල විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති රිපීටර් අහම්බෙන්/ඉබේම ක්‍රොස්ලින්ක් විය හැකියි (අර කිව්ව විදියට සංඛ්‍යාතයන් සමාන වන විට). ඇත්තෙන්ම රිපීටර් ලින්ක් හෝ ක්‍රොස්ලින්ක් කිරීමෙන් වාසි මෙන්ම අවාසිද ඇත. වාසිය වන්නේ විශාල ප්‍රදේශයක් පුරා විසිරී සිටින අයට එකට සංවාද කිරීමට අවස්ථාව ලැබීමයි. අවාසිය වන්නේ රිපීටර් ගණනාවක් දැන් තනි විශාල රිපීටරයක් ලෙස ක්‍රියා කරන නිසා, එක වරකට රිපීටරයකින් කතා කළ හැක්කේ එක් කෙනෙකුට පමණක් නිසා බොහෝ දෙනෙකු සිටින අවස්ථාවක තමන්ගේ වාරය එන තුරු පොලිමේ සිටීමට සිදුවන තත්වයක් ඇති විය හැකියි. එනිසා විශාල පිරිසක් සිටින අවස්ථාවල රිපීටර් ලින්ක් කිරීම ගැටලු ඇති කරනවා.

ඉතිං, රිපීටර් ලින්ක් හෝ ක්‍රොස්ලින්ක් කරන අය එම කරුණු සැලකිල්ලට ගෙනයි එය සිදු කරන්නේ (බොහෝ දෙනෙකු සිටින peak hours වලදී ලින්ක් එක නවතා දමා කට්ටිය අඩු offpeak hours වල ලින්ක් එක සක්‍රිය කළ හැකිය). එහෙත් ගැටලුව වන්නේ ඉහතදී පැවසූ ලෙසට නොසිතූ පරිදි ඉබේම රිපීටර් ක්‍රොස්ලින්ක් වීමයි. මෙවිට එය පාලනයෙන් තොරයි. පීක් කාලයේදී පවා ඉබේම ක්‍රොස්ලින්ක් වේවි. මෙය වැලැක්විය හැකි කදිම විසඳුමක් තමයි රිපීටර්වල CTCSS/tone burst/DTMF සක්‍රිය කිරීම. මෙවිට ළඟපාත ඇති රිපීටර් එක සමාන ටෝන් එකක් භාවිතා නොකර වෙනස් ටෝන් යොදා ගන්නවා. එවිට, එක් රිපීටරයක අවුටපුට් සංඛ්‍යාතයෙන් පිටවන්නේ යම් ටෝන් එකක් සහිතව නිසා, එම සංඛ්‍යාතය අනෙක් රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතයට සමාන වුවත්, එම රිපීටරයේ ටෝන් එක වෙනස් නිසා, අර රිපීටරයෙන් එන සංඥා ඊට ඇතුලු නොවේවි. රිපීටර් කිහිපයක් ලින්ක්/ක්‍රොස්ලින්ක් කර ඇති විට ඒවා පොදුවේ repeater system/network ලෙස හැඳින්වෙනවා.

බොහෝ රිපීටර් FM repeater වේ. එනම් ඒවාට ඉන්පුට් කළ හැක්කේ FM සංඥා වන අතර, එම සංඥා රිපීටරය තුල විමූර්ජනය කර, නැවත රිපීටර් අවුටපුට් සංඛ්‍යාතය මත FM මූර්ජනය කර විසුරුවා හැරේ.
Cross-band repeater (CBR) යනුවෙන්ද රිපීටර් වර්ගයක් ඇත. මෙහිදී රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතය හා අවුට්පුට් සංඛ්‍යාතය පිහිටන්නේ වෙනස් සංඛ්‍යාත පරාස (බෑන්ඩ්) දෙකකය. උදාහරණයක් ලෙස ඉන්පුට් සංඛ්‍යාතය VHF පරාසයේද, අවුටපුට් සංඛ්‍යාතය UHF පරාසයේද පිහිටිය හැකිය. මෙවිට VHF පරාසයේ ට්‍රාන්සීවර් එකකින් රිපීටරයට එවන සංඥා රිපීටරයෙන් පිට වන්නේ UHF සංඛ්‍යාතයෙනි. එම සංඥා දැන් UHF පරාසයේ ට්‍රාන්සීවරයක් තිබෙන අයට ග්‍රහනය කර ගත හැකියි. ක්‍රොස්බෑන්ඩ් රිපීටර් සටහන් කරන විට v/u වැනි කොටසක්ද නිතරම දක්නට ලැබේවි. මින් කියන්නේ VHF හා UHF යන පරාස දෙක ක්‍රොස්බෑන්ඩ් කරන බවයි. V/U repeater අතර, 2m හා 70cm බෑන්ඩ් දෙක මෙලෙස ක්‍රොස්බෑන්ඩ් කරන රිපීටර් ජනප්‍රියයි.

Digital repeater කියාද වර්ගයක් ඇත. මෙහිදී රිපීටරයට යම් අවස්ථාවකදී ලැබෙන සංඥා තාවකාලිකව ගබඩාකරගෙන (ඩිජිටල් සංඥා වශයෙන් ගබඩා කර ගනී), සුදුසු වෙලාවකදී ඒවා විසුරුවා හැරේ. එනම් මෙම රිපීටර් store-and-forward යන පදනම මත ක්‍රියාත්මක වේ.

Parrot repeater ලෙසද රිපීටර් වර්ගයක් ඇත. මෙම රිපීටර්වල ඉන්පුට් හා අවුට්පුට් සංඛ්‍යාත දෙකම සමානය. එනිසා එකවිටම මෙම රිපීටරයට සංඥා ග්‍රහනය කිරීම හා සම්ප්‍රේෂනය කිරීමට නොහැකිය. පලමුව එය සංඥාවලට ඇහුම්කන් දෙයි. එම සංඥාව තාවකාලිකව ගබඩා කර ගනී. ඉන්පසු ඇහුම්කන් දීම නවතා, එම ගබඩා කර ගත් සංඥාව විසුරුවා හරී (ගිරවෙකු මෙන් තමන්ට කියන කියන දේ පසුව රිපීටරයද කියයි).

SSTV repeater ද ඇත. එහිදී SSTV මඟින් යවන රූප සංඥා රිපීට් කෙරේ. එලෙසම ATV repeater ද ඇත. එහිදී ATV මඟින් යවන රූප/වීඩියෝ සංඥා රිපීට් කෙරේ.

No comments:

Post a Comment