Thursday, April 6, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 83

Repeater

මෙතෙක් පාඩම්වල අවස්ථා ගණනාවකදීම රිපීටර් යන වචනය අපට හමු වූවා. මෙය translator, relay, rebroadcaster, machine යන නම්වලින්ද හැඳින්විය හැකිය (පරිගනක ක්ෂේත්‍රයේදී මැෂින් යන්නෙන් පරිගනකය හැඟවන අතර, ආධුනික ගුවන් සේවයේදී මැෂින් යනු රිපීටරයයි). මොකක්ද රිපීටරයක් කියන්නේ? වචනාර්ථයෙන් සලකන විට එහි තේරුම repeat (නැවත කරනවා) යන ක්‍රියාව සිදු කරන්නා (හෙවත් “නැවත කරන්නා”) යන්නයි. සන්නිවේදනයේදී නැවත කරනවා යනු, තමන්ට ලැබෙන යම් සංඥාවක් නැවත විසුරුවා හරින එකයි. සිතියම්වල එහෙම රිපීටර් තිබෙන තැන් සංඛේතාත්මකව ® ලෙස සලකුනු කළ හැකිය.

මෙහිදී සාමාන්‍යයෙන් රිපීටරයට ලැබෙන්නේ දුර්වල සංඥාවක් වන අතර, රිපීට් කරන විට එය ප්‍රබල කර (එනම් වර්ධනය කර) විසුරුවා හරියි. පරිගනක ජාලාවලද, බ්‍රෝඩ්කාස්ටිං සේවාවලද, ෆයිබර් ඔප්ටික්වලද මෙවැනි රිපීටර් බහුලවම හමු වේ. ආධුනික ගුවන් විදුලියේදී භාවිතා වන රිපීටර් ගැනයි අප දැන් අධ්‍යනය කරන්නට යන්නේ. වැඩි දුරක් ආවරණය කළ හැකි වීමට සාමාන්‍යයෙන් රිපීටර් පිහිටුවන්නේ කඳු මුදුන්වලයි (හැකිතරම් උස් තැනකයි).


ඇත්තෙන්ම මේ කොහි රිපීටරයෙත් පොදුවේ රිසීවරයක්, ඇම්ප්ලිෆයර් එකක්, හා ට්‍රාන්ස්මීටරයක් යන 3ම එකට ඇත (රිසීවරයෙන් දුර්වල සංඥා අල්ලාගෙන, එය ඈම්ප් එකෙන් වර්ධනය කර, ට්‍රාන්ස්මිටරයෙන් නැවත විසුරුවා හැරේ).


බොහෝවිට එක් ඇන්ටනාවක් පමණි රිපීටරයේ තිබෙන්නේ. සංඥා ග්‍රහනය කිරීම මෙන්ම විසුරුවා හැරීම යන දෙකම සිදු කරන්නේ එය මඟිනි. මෙවිට ඇන්ටනාවෙන් අල්ලා ගෙන රිසීවරයට දුබල සංඥා හා ට්‍රාන්ස්මීටරයේ සිට ඇන්ටනාව වෙත ගමන් කරන ප්‍රබල සංඥා එකිනෙකට මිශ්‍රවීම වැලැක්වීමට duplexer නම් පරිපථ කොටස අත්‍යවශ්‍ය වේ.


එක් සංවාදයකට සංඛ්‍යාතයන් දෙකක් යොදා ගන්නා නිසා රිපීටර් සමඟ කරන සංවාද ක්‍රමය duplex සන්නිවේදනයක් කියා හැඳින්වෙනවා (එකම සංඛ්‍යාතය ඔස්සේ ඍජුවම දෙදෙනෙකු සංවාද කිරීම simplex කියා හැඳින්වූවා මතකයිනෙ).


බොහෝ අවස්ථාවලදී රිපීටරය සංඥා ග්‍රහණය කරන්නේ එක් සංඛ්‍යාතයකින් වන අතර, එම සංඥා වර්ධනය කර එම මොහොතේම නැවත විසුරුවා හරින්නේ වෙනත් සංඛ්‍යාතයක් ඔස්සේය. මෙවැනි රිපීටර් cross-band repeater (CBR) හෙවත් replexer ලෙස හැඳින්වේ. එවැනි CBR එකක් ගුවන් යානයක හෝ චන්ද්‍රිකාවක හෝ ඇති විට, ඊට transponder යැයි කියනවා. රිසීවරය හා ට්‍රාන්ස්මීටරය දෙකම එකට ඇති විට ඊට transceiver කියා කියනවනෙ. ඉතිං ට්‍රාන්සීවරයක් හා ට්‍රාන්ස්පොන්ඩරයක් අතර වෙනස වන්නේ, ට්‍රාන්සීවරයකින් ග්‍රහනය කරන සංඥා නොව ඉන් සම්ප්‍රේෂනය වන්නේ (ග්‍රහනය වන්නේ අනෙකා කියන දේ වන අතර, සම්ප්‍රේෂනය වන්නේ තමන් කියන දේය). එහෙත් ට්‍රාන්ස්පොන්ඩරයෙන් එක් සංඛ්‍යාතයකින් ග්‍රහනය කර ගන්නා දේමයි නැවත වෙනත් සංඛ්‍යාතයකින් සම්ප්‍රේෂනය කරන්නේ (එනිසා එය රිපීටරයකි).

රිපීටරයක් අවශ්‍ය ඇයි? ඔබ දන්නවා HF සංඛ්‍යාතයන් අයනගෝලයේ උපකාරය සහිතව ඉතා විශාල දුරවල් ගමන් කරනවා. MF හා ඊට අඩු සංඛ්‍යාතයන් ග්‍රවුන්ඩ් වේව් ලෙස විශාල දුරක් ගමන් කළ හැකියි. ඒ කියන්නේ HF සිට පහලට ඇති සංඛ්‍යාතයන් සාමාන්‍යයෙන් විශාල දුරක් ගමන් කරනවා. එහෙත් HF ට ඉහල සංඛ්‍යාතයන් සියල්ලම මූලිකවම LoS (line of sight) වේ. එවැනි අධිසංඛයාත සංඥා කොතරම් ප්‍රබලව යැව්වත් රේඩියෝ ක්ෂිතිජයෙන් එහාට ගමන් කරන්නේ නැත (උස් ඇන්ටනා භාවිතා කරනවා නම්) සමහරවිට කිලෝමීටර් 100ක් පමණ ඈතට ගමන් කරාවි. ඉතිං, මෙවැනි අධිසංඛ්‍යාතයන් යොදාගෙන කිලෝමීටර් 100කට එහා සිටින අය සමඟ සංවාද කරන්නටයි රිපීටර් යොදා ගන්නේ. ඒ අනුව රිපීටර් ක්‍රියාත්මක වන්නේ VHF හා ඊට ඉහල සංඛ්‍යාත ඔස්සේය.

මා හා ඔබ අතර දුර කිලෝමීටර් 200ක් යැයි සිතමු. දැන් අප දෙදෙනාට VHF+ (එනම් VHF සිට ඉහල සංඛ්‍යාතයන්) සංඛ්‍යාතයකින් සන්නිවේදනයක් කළ නොහැකි වේ (විශේෂිත අයනගෝල ප්‍රචාරණ ක්‍රමයක් නැති අවස්ථාවකදී). එහෙත් අප දෙදෙනා අතර මැද ඉහත රූපයේ ආකාරයට (ක්‍රොස්බෑන්ඩ්) රිපීටරයක් පිහිටෙව්වොත් එම රිපීටරය හරහා අප දෙදෙනාට සන්නිවේදනය කළ හැකි වේ.

සෑම (ක්‍රොස්බෑන්ඩ්) රිපීටරයකම පරාමිතින්/දත්තයන් කිහිපයක් ඇත. එම රිපීටරය භාවිතා කිරීමට ඔබට මෙම පරාමිතින් දැන ගැනීමට අවශ්‍ය වේ. මූලිකම පරාමිතින් දෙක පහත දැක්වේ.

1. රිපීටරයේ input frequency දැන ගත යුතුය. යමෙකු රිපීටරයට යම් සංඥාවක් ග්‍රහනය කරවීමට (එනම් රිපීටරයට සංඥා යැවීමට) නම් මෙම රිපීටර් ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ ඔහුගේ සංඥා යැවිය යුතුය. එවිට රිපීටරය එම සංඥා ග්‍රහනය කර ගෙන වර්ධනය කරයි.

2. රිපීටරයේ output frequency දැන ගත යුතුය. ඉහත ආකාරයට රිපීටරයෙන් ග්‍රහනය කර ගත සංඥා රිපීටරයෙන් පිට වන්නේ මෙම සංඛ්‍යාතය ඔස්සේය. එනිසා, යමෙකු රිපීටරයක් හරහා සංවාදයක් කරන විට, මෙම සංඛ්‍යාතය ඔස්සේ ඇහුම්කන් දීගෙන සිටිය යුතුය. සංඛ්‍යාත දෙකෙන් ප්‍රධානියා මෙයයි. රිපීටර් ගැන තිබෙන විස්තර තුල ඉන්පුට් සංඛ්‍යාතයද සටහන් කරන්නේ අවුට්පුට් සංඛ්‍යාතය ආශ්‍රයෙනි (මොහොතකින් මේ ගැන විස්තර කෙරේ).

ඇත්තටම රිපීටරයක ඉන්පුට් හා අවුටපුට් සංඛ්‍යාත දෙක පිහිටන්නේ එක ළඟය. එහි යම් සම්මතයක් ඇත. සාමාන්‍යයෙන් ඉතා ජනප්‍රිය 2meters බෑන්ඩ් එකේ (එනම් සංඛ්‍යාත පරාසය 144MHz ආසන්නයේ) පවතින රිපීටරයේ එම සංඛ්‍යාත දෙක අතර සම්මත වෙනස 600kHz කි. රිපීටරයක මෙම සංඛ්‍යාත දෙක අතර වෙනස repeater offset හෙවත් repeater shift ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, ලංකාවේ දැනට ක්‍රියාත්මක එක් රිපීටරයක ඉන්පුට් සංඛ්‍යාතය 145.025MHz වන අතර එහි අවුට්පුට් සංඛ්‍යාතය 145.625MHz වේ (එනම්, එහි රිපීටර් ඕෆ්සෙට් එක 600kHz වේ).

ඉහත උදාහරණයේ රිපීටර් අවුට්පුට් සංඛ්‍යාතයට සාපෙක්ෂව ඉන්පුට් සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 600කින් අඩුය. එය කෙටියෙන් 145.625MHz -600 ලෙසයි ලියන්නේ (ඉන්පුට් සංඛ්‍යාතය අවුට්පුට් සංඛ්‍යාතය ඇසුරින්නෙ දක්වන්නේ). සමහර අවස්ථාවලදී අවුට්පුට් සංඛ්‍යාතයට වඩා ඉන්පුට් සංඛ්‍යාතය වැඩිය. එවැනි අවස්ථාවල ඍණ සලකුණ වෙනුවට + ලකුණ යෙදිය යුතුය. උදාහරණයක් ලෙස, 145.050MHz +600 යනුවෙන් සටහන් කර ඇති රිපීටරයේ අවුට්පුට් සංඛ්‍යාතය 145.050MHz වන අතර, ඉන්පුට් සංඛ්‍යාතය 145.625MHz වේ.

විවිධ බෑන්ඩ් සඳහා සම්මත රිපීටර් ඕෆ්සෙට් පහත දැක්වේ. ඇත්තටම මීට වඩා වෙනස් ඕෆ්සෙට්ද තිබිය හැකිය ඒවැනි අවස්ථා oddball split ලෙස හැඳින්වේ.

10 meters – +100kHz
6 meters – සම්මත කිහිපයක් ඇත (-500kHz, -1MHz, -1.7MHz)
2 meters – ±600kHz
70cm – ±5MHz
23cm – +12MHz

රිපීටර් සාමාන්‍යයෙන් පිහිටන්නේ ළඟපාතය (කිලෝමීටර් 100කට අඩු දුරකිනි). එනිසා ඔබ රිපීටරයක් භාවිතා කරන්නේ නම් විශාල වොට් ගණනක් යොදා නොගත යුතුය. ඔබ සිටින තැන සිට යම් රිපීටරයකට කොපමණ වොට් ගණනකින් සන්නිවේදනය කළ හැකිදැයි සොයාගන්න. පළමුව තරමක් වැඩි වොට් ගණනකින් (තමන්ගේ ආධුනික ශිල්පී මට්ටමට හිමි උපරිම වොට් ගණනට යටත්ව) සංඥා යවා බලන්න එය රිපීටරයට ඇසෙනවාද කියා. ක්‍රමයෙන් වොට් ගණන අඩු කරමින් යන්න රිපීටරය සමඟ සන්නිවේදනය කළ හැකි අවම වොට් ගණන මෙලෙස සොයා ගන්නා තුරු. රිපීටරයක් පිහිටුම නිශ්චිත නිසා, හැමදාමත් මෙම වොට් ගණනින් ඉන්පසුව රිපීටරයට කතා කළ හැකියි. මෙනිසාම රිපීටර් හරහා සන්නිවේදනය කරන විට කුඩා බැටරිවලින් දුවන අතේ ගෙන යා හැකි කුඩා ට්‍රාන්සීවර් භාවිතා කළ හැකියි (සාමාන්‍ය සෙල්‍යලර් ෆෝන් භාවිතා කරනවා වාගේ). මෙනිසාම ඇවිදමින් (ජංගම) සන්නිවේදනය කිරීමේ හැකියාවද ලැබෙනවා.

උදාහරණයක් ලෙස, මා හා ඔබ අතර රිපීටරය හරහා සිදුවන සන්නිවේදනය සිදුවන හැටි බලමු. මා ඔබට යවන පනිවුඩය රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ එවනවා (මාගේ මෙම සංඥාව කෙලින්ම ඔබට එන්නේ නැත; දුර වැඩිය; එහෙත් රේඩියෝ ක්ෂිතිජය තුල තිබෙන රිපීටරයට ඇසේ). ඒ අතරම මා රිපීටරයේ අවුට්පුට් සංඛ්‍යාතයටද ටියුන් වී සිටිනවා හෙවත් monitor කරනවා. ඔබත් රිපීටරයේ අවුට්පුට් සංඛ්‍යාතය මොනිටර් කරනවා. දැන් මා යැවූ සංඥාව රිපීටරයෙන් වර්ධනය කර නැවත පිට කරන විට ඔබට එය ඇසෙනවා. ඉන්පසු ඔබත් රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ ඔබේ සංඥා එවනවා (එම සංඥාව කෙලින්ම මට ලැබෙන්නේ නැත; දුර වැඩිය). මාද රිපීටරය මොනිටර් කරන නිසා, ඔබේ සංඥා මට ඇසෙනවා. මෙලෙසයි රිපීටරයක් ක්‍රියාත්මක වන්නේ.

රිපීටරය ප්‍රයෝජනවත් වගේමයි එය සීමිත සම්පතකි. එනම්, යම් රිපීටරයක් අවට ප්‍රදේශයේ කොපමණ ආධුනික ගුවන් ශිල්පින් පිරිසක් එය භාවිතා කරමින් සිටියත්, වරකට එක් කෙනෙකුට පමණයි එය භාවිතා කළ හැක්කේ. එනිසා එය සුහදශීලීව කා සමගත් බෙදාහදා ගෙන භාවිතා කළ යුතුය (ආධුනික ගුවන් ශිල්පයේදී සුහදශීලිත්වය ඉතාම වටිනවා). එනිසා යමෙකු කෙටි වෙලාවක් එය භාවිතා කර නිශ්ශබ්ද වෙනවා. වෙනත් අයෙකුට එම නිහඬතාව තුල දැන් රිපීටරය හරහා තමන්ගේ සංවාදය එවැනිම කෙටි කාලයක් පුරා කළ හැකියි (ඉන්පසු ඔහුද නිහඩ විය යුතුය). මෙලෙස කාටත් අවස්ථාවක් ලැබේවි. පාසල් කැන්ටිම ළඟ පොරකකා කෑම ඉල්ලනවා සේ නොහැසිරිය යුතුය.

කෙනෙකු කතා කර නිශ්ශබ්ද වූ විට, වෙනත් කෙනෙකුට රිපීටරයට දැන් කතා කළ හැකියි. මෙහිදී සමහරවිට අහඹු ලෙස කිහිප දෙනෙකුම එකවර කතා කළ හැකියි. මෙවැනි තත්වයක් doubling කියා හැඳින්වේ. මෙහිදී එතරම් ගැටලුවක් නැත. එසේ කතා කළ සියලු දෙනාම නිශ්ශබ්ද වීමයි (back off) කරන්නට තිබෙන්නේ. ඉන්පසු අහඹු කාලයකට පසුව නැවත එක්කෙනෙකු කතා කරාවි. අහඹු කාලයක් නිසා බොහෝවිට නැවත ඩබ්ලිං වීමක් සිදු නොවේවි. බැරිවෙලාවත් නැවත බඩ්ලිං වුවත් ආයෙත් ඒ සියලු දෙනා බැක්ඕෆ් විය යුතුයි. පරිගනක ජාල ගැන දැනුමක් ඇති අයට මතක් වෙනවා ඇති contention ප්‍රෝටොකෝල් (simple contention, Carrier Sense Multiple Access - CSMA) කියන්නේද මෙවැනිම ක්‍රියාකාරිත්වයකට බව (Ethernet නම් පරිගනක ජාල තාක්ෂණය ඊට උදාහරණයකි).

රිපීටරය කොතරම් බිසී වුවද, යම් ආපදාවකට ලක්ව ඇති කෙනෙකු රිපීටරයට ආපදා සංඥාවක් එව්වොත් වහම අන් සියලු දෙනා තමන්ගේ සම්ප්‍රේෂන නතර කර ඊට ඉඩ ලබා දිය යුතුය (අර පාරේ ඇම්බ්‍යුලන්ස් එකක් යන විට පාරේ අනෙක් වාහන ඊට ඉඩ ලබා දෙන්නා සේ).

යම් රිපීටරයක ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ රේඩියෝ සංඥාවක් කොහෙන් හෝ ලැබෙන තෙක් සාමාන්‍යයෙන් රිපීටරය අක්‍රියවයි (inactive/closed/standby) තිබෙන්නේ (අර ටීවි එක තාවකාලිකව ස්ටෑන්ඩ්බයි කර තබනවා සේ). ඊට හේතුව නිකරුනේ උපකරණයක් දිගටම සක්‍රියව තැබීමෙන් එම උපකරණයේ ආයුකාලය අඩුවෙනවා සේම විදුලියද නාස්ති වෙනවා. ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ සංඥාවක් ලැබුණු විගස රිපීටරය අවදි වෙනවා (repeater activation).

යම් උපකරණයක් අක්‍රියව සිට සක්‍රිය වන විට එය ක්ෂණිකව සිදු වන්නේ නැහැනෙ. උදාහරණයක් ලෙස ෆෝන් එක ඔන් කරන විට තත්පර කිහිපයක් ගත වෙනවානෙ. අන්න එලෙසම රිපීටරයටද සක්‍රිය වීමට යම් වෙලාවක් ගත වෙනවා. එනිසා තමන්ගේ ට්‍රාන්සීවරයේ PTT බට්න් එක ඔබන ගමන්ම මයික් එකට කතා කරන්න එපා. එය ඔබපු ගමන් ඉන් රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතය ඔස්සේ වාහක තරංගය මුදා හරින නිසා, ඉන් රිපීටරය ඇක්ටිවේට් වේවි. එය ඔබා සුලු මොහොතකට පසුව කතා කරන්න (එම සුලු කාලය තුලදී රිපීටරය අවදි වෙලා තිබේවි; එවිට ඔබ කියන සියලු දේ රිපීටරයට ඇසේවි).

තවද, සෑම රිපීටරයකම තවත් ආරක්ෂිත උපක්‍රමයක් තිබෙනවා. එනම්, රිපීටරය ඇක්ටිවේට් වූවාට පසුව, එක දිගටම එය යම් විනාඩි ගණනක් (විනාඩි 3ක් පමණ) සක්‍රිය තිබුණොත් ඉබේම රිපීටරය අක්‍රිය වෙනවා (reset). මෙලෙස රිපීටරය සාදා තිබෙන්නේ රිපීටරයේ ආරක්ෂාවටයි. තාවකාලික පරිපථ දෝෂයක් නිසා හෝ යම් කඩාකප්පල් ක්‍රියාවක් නිසා හෝ රිපීටරය ඇක්ටිවේට් වී දිගටම සක්‍රියව තිබිය හැකියි (අර පරිගනක සමහර වෙලාවට “ස්ටක්” වෙන්නා සේ; මෙවිට අප පරිගනකය රීසෙට් කරනවානෙ). රිපීටරය මෙවැනි “ස්ටක්” වීම්වලින් ඉබේම ආරක්ෂා වෙනවා මොකද කොහොමත් උපරිමව රිපීටරය වරකට සක්‍රිය වන්නේ විනාඩි කිහිපයක් පමණි. ඉන්පසු එය “රීසෙට්” වේ.

ඉහත ආකාරයට රිපීටරය රීසෙට් වීම කරදරයක් නේද කියා කෙනෙකුට සිතිය හැකිය. එහෙත් එසේ නොවේවි. ඔබ ඇත්තටම විනාඩි 3ක් එකදිගට කතා කරනවා නම් එය එතරම් ගුණාත්මක සංවාදයක් නොවේ. හොඳ සංවාදයක් නම්, සංවාද කරන අය වරින් වර අනෙකාට කතා කිරීමට අවස්ථාවන් සුහදව හුවමාරු කර ගත යුතුය. උදාහරණයක් ලෙස, ඔබ විනාඩියක් එක දිගට කතා කරයි (එතකොට එම විනාඩිය තුල රිපීටරය එක දිගට සක්‍රියව පවතී); ඉන්පසු ඔබ ට්‍රාන්ස්මීටරය ඕෆ් කරනවා (මෙවිට රිපීටරයට සංඥා ලැබීම නැවතී රිපීටරය ස්ටෑන්ඩ්බයි වේ); ඉන්පසු අනෙකා ඔහුගේ ට්‍රාන්ස්මීටරය සක්‍රිය කර ගෙන විනාඩියක් පමණ කතා කරයි (මෙවිට නැවත රිපීටරය විනාඩියක් සක්‍රියව පවතී). ඉන්පසු ඔහු ඔහුගේ ට්‍රාන්ස්මීටරය ඕෆ් කර නැවත ඔබට අවස්ථාව ලබා දේ (දැන් රිපීටරය නැවත ස්ටෑන්ඩ්බයි වේ). මෙලෙස කෙටි කාල පරාස තුල රිපීටරය වරින් වර ස්ටෑන්ඩ්බයි හා ඇක්ටිවේට් වේවි. එවැනි සංවාදයක් හොඳ සෞඛ්‍යමත් සංවාදයකි.

සංවාදය තුල වාර (turns) අවසන් කරන විට (ඉහත ඡේදයේ දැක් වූ ආකාරයට), සමහර රිපීටර් විසින් beep ශබ්දයක් හෝ කුඩා නාදයක් (courtesy tone) නිකුත් කළ හැකියි. එවිට අනෙක් අය දන්නවා දැන් එක් කෙනෙක් රිපීටරයට කතා කර ඉවර කළා කියා (එය හරියට over යන ප්‍රෝවර්ඩ් එක වැනිය). ඇත්තටම එම නාදය ඇසෙන තුරු අනෙකා තමන්ගේ ට්‍රාන්සීවරයේ PTT බට්න් එක නොඑබිය යුතුය.

එහෙත් ඔහු හො ඔබ එක දිගටම විනාඩි 3කට වැඩියෙන් කතා කරන්නට ගියොත් රිපීටරය ඉබේම රීසෙට් වී නැවත ඇක්ටිවේට් වේවි. බොහෝවිට එලෙස රීසෙට් වන විට මෝස්කෝඩ් සංඥාවක් ( – – – යන කෝඩ් එක; මෙය TO යන අක්ෂර දෙකේ මෝස්කෝඩ් වන අතර, ඉන් time out යන්න හඟවයි) හෝ වොයිස් ප්‍රොම්ප්ට් එකක් (“time-out” යන්න ශබ්දයකින්) රිපීටරයෙන් විසුරුවැ හැරේ. රීසෙට් වෙන්න ගත වන කාලය තුල ඔබ කියූ දේවල් රිපීටරයෙන් පිට වන්නේ නැත. රිපීටරයේ එම හැසිරීම කිසිසේත් අසාධාරණ නැහැ නේද?

ඉහත ආකාරයෙන් එහි ඉන්පුට් සංඛ්‍යාතයට ලැබෙන ඕනෑම සංඥාවකින් ඇක්ටිවේට් වන රිපීටර් open repeater ලෙස හැඳින්වේ. කෙසේ හෝ වේවා මේ ආකාරයට රිපීටරය ඇක්ටිවේට් වීම යම් ගැටලුකාරි වෙනවා (රීසෙට් වීම ගැන නොව මේ කතා කරන්නේ; සාමාන්‍ය රිපීටර් ඇක්ටිවේෂන් එක ගැනයි). ඊට හේතුව, අහම්බෙන් හෝ වැරද්දකින් හෝ රිපීටරයේ ඉන්පුට් සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් රේඩියෝ තරංගයක් (spurious signal) රිපීටරය තිබෙන ප්‍රදේශයේ විසුරුනොත්, එමඟින් රිපීටරය සක්‍රිය වෙනවා. එය හිතාමතා කළ දෙයක් නොව (intermodulation ආදී සංසිද්ධි නිසා මෙය සිදුවිය හැකිය). රිපීටරය සක්‍රිය වෙනවා පමණක් නම් කමකුත් නැහැ. අර අනවශ්‍ය සංඥාව දැන් රිපීටරය විසින් එහි අවුට්පුට් සංඛ්‍යාතය ඔස්සේ ප්‍රචාරණය කරනවා. ඉන් කාටවත් ප්‍රයෝජනයක් නැත.

එහෙත් මේවන විටත් trunked radio වැනි සමහර සන්නිවේදන පද්ධතිහි භාවිතා කරන උපක්‍රමයක් ඉහත ප්‍රශ්නයට පිළියම ලෙස යොදා ගත හැකි බව වටහාගත්තා. එවැනි රිපීටර් closed repeater ලෙස හැඳින්වේ. එම උපක්‍රමය ගැන දැන් සොයා බලමු.

සටහන

Trunked Radio & TeTRa

අතීතයේ සිට දැනටත් ඉතා වැදගත් රේඩියෝ සන්නිවේදන තාක්ෂණයකි මෙය. සාමාන්‍යයෙන් රේඩියෝ සන්නිවේදනය අත්‍යවශ්‍ය කරන ආයතන/පිරිස් සිටිනවා - පොලිසිය, ගිනි නිවන හමුදාව, ඇම්බ්‍යුලන්ස් සේවාව, කැලෑ සංරක්ෂකයන්, රේගුව ආදී ලෙස (පොලිසියේ අය ගාව තිබෙන Walkie Talkie ලෙස අප හඳුන්වන සන්නිවේදනය යොදා ගන්නේ මෙම ක්‍රමයයි). මේ එක් එක් ආයතනවලට වෙනමම සංඛ්‍යාත පරාසයන් වෙන් කර දිය හැකියි. එහෙත් මේ සියලු දෙනාටම එකම සංඛ්‍යාත පරාසයක් තුලද සන්නිවේදනය කළ හැකි පරිදි සකස් කළ ක්‍රමයකි trunking (trunked radio) කියන්නේ. ක්‍රම කිහිපයක් ඇතත් ඉන් ජනප්‍රිය ක්‍රමය ගැන දැන් බලමු.

මෙහිදී යම් සංඛ්‍යාත පරාසයක් චැනල් කිහිපයකට කඩනවා (එක් එක් චැනලයක් ඔස්සේ සංවාද ස්වාධීනව පවත්වාගෙන යා හැකියි). එය channel/frequency pool ලෙස හැඳින්වේ. ඉන්පසු අවසරලත් ආයතනවල අවසරලත් අයෙකු මේ පූල් එකෙන් දැනටමත් කවුරුන් හෝ සංවාදයේ නොයෙදෙන ඕනෑම චැනලයක් භාවිතා කර තමන්ගේ සංඥා යැවිය හැකිය.

මෙම ක්‍රමය අතිශය කාර්යක්ෂම වේ (කුඩා සංඛ්‍යාත පරාසයක් විශාල පිරිසක් අතරේ භාවිතා වෙන නිසා). එය හරියට පාරේ යන පොදු ප්‍රවාහන සේවාව වගේ - බොහෝ දෙනෙකු එකම බස් රියේ යනවා (සම්පත් උපරිමව භාවිතා වේ); පෞද්ගලික වාහනවල හතර පස් දෙනෙකු යා හැකි වුවත් බොහෝවිට යන්නේ එක්කෙනකි (සම්පත් නාස්තියකි). සාමාන්‍යයෙන් ආයතනවල දුරකතනද මෙලෙසම කාර්යක්ෂමව භාවිතා කරනවානෙ. සෑම නිලධාරියෙකුටම එක දුරකතනය බැඟින් නොදී, ඒ සෑම දෙනාටම පොදුවේ භාවිතා කළ හැකි දුරකතන කිහිපයක් පමණක් ලබා දේ.

මෙහිදී එක් එක් ආයතනය ට්‍රන්කිං සිස්ටම් එක තුල කාණ්ඩ වශයෙන් නම් කෙරෙනවා. මෙම කාණ්ඩ talkgroup නමි. ට්‍රන්කිං පද්ධතියේ එක් සංඛ්‍යාතයක් control channel ලෙස හැඳින්වේ. එය සෑම දෙනාම පොදුවේ භාවිතා කරන චැනලය වන අතර, ඉන් සාමාන්‍ය දත්ත යවන්නේ නැත. කෙනෙකුට සංඥා යැවීමට අවශ්‍ය විට ඒ බැව් මෙම කොන්ට්‍රෝල් චැනලයෙන් ට්‍රන්කිං පද්ධතියේ පාලක පරිගනකයට දන්වනවා. මෙවිට එම පරිගනකය සොයා බලනවා ඔහුගේ ටෝක්ගෲප් එක මොකක්ද කියා. ඉන්පසු පාලක පරිගනකය සොයා බලනවා මේ මොහොතේ කවුරුත් භාවිතා නොකර සංඛ්‍යාතයන් මොනවාද කියා. ඉන් එක් චැනලයක් ඔහුට ලබා දෙනවා. ඉන්පසු, පරිගනකය විසින් එම ටෝක්ගෲප් එකේ සිටින අනෙක් සාමාජිකයන් සියල්ලන්ටම දන්වනවා මෙම අලුත් චැනල් සංඛ්‍යාතයට ටියුන් වෙන්න කියා. මෙය ස්වයංක්‍රියව සිදු වන්නකි. මෙම පනිවුඩයත් පරිගනකයේ සිට ටෝක්ගෲප් එකට ගෙන යන්නේ කොන්ට්‍රෝල් චැනලය විසිනි. දැන් ඔහුට ලබා දුන් සංඛ්‍යාතය ඔස්සේ යවන පනිවුඩ එම මොහොතේ ඔන්ලයින් වී සිටින ටෝක්ගෲප් එකේ සෑම කෙනාටම ලැබේ.

යම් සන්නිවේදනයක් අරඹන කෙනා හා ඔහුගේ ටෝක්ගෲප් එක පමණයි එක් චැනලයක් ෂෙයාර් කරන්නේ. එනිසා, වෙනත් ටෝක්ගෲප් එකකට එම සන්නිවේදනය ගමන් කරන්නේ නැත. සමහරවිට වෙනත් ටෝක්ගෲප් එවෙලෙහිම වෙනත් සංඛ්‍යාතයන් ඔස්සේ වෙන වෙනම ඔවුන්ගේම සංවාද සිදු කරමින් සිටිනවා ඇති.

ඔහුගේ සන්නිවේදනය අවසන් වූ පසුව, සියලුම දෙනා තමන් ටියුන් වී සිටින සංඛ්‍යාතයෙන් ඉවත්ව නැවත කොන්ට්‍රෝල් චැනලයට ටියුන් වෙනවා (කොන්ට්‍රෝල් චැනලයට ටියුන් වී සිටීම monitoring කියා හැඳින්වෙනවා). එවිට නැවතත් ඉහත ක්‍රියාවලිය අලුතින් ඇරඹීමට හැකියිනෙ. මෙලෙසයි කුඩා චැනල් ප්‍රමාණයක් විශාල පිරිසක් (ටෝක්ගෲප් ගණනක්) අතරේ ෂෙයාර් කර ගන්නේ.

විවිධ තාක්ෂණික මට්ටම්වල ට්‍රන්කිං පද්ධති ඇත. ලංකාවේ පොලිසිය හා තවත් රාජ්‍ය ආයතන රැසක් හවුලේ භාවිතා කරන දියුණුතම මට්ටමේ ට්‍රන්කිං පද්ධතියක් තිබෙනවා. එය යුරෝපීය ප්‍රමිතියක් අනුව සෑදූ ලොවපුරා ජනප්‍රිය Terrestrial Trunked Radio (TeTRa) ලෙස හැඳින්වේ. දැනට මෙම පද්ධතිය Dynacom Engineering (pvt) Ltd (මෙම ආයතනය IWS යන ලංකාවේ සුප්‍රකට සමාගම් ජාලය යටතේ ඇති සමාගමකි) විසින් පවත්වාගෙන යයි. මෙම IWS සමාගම ගැන වචනයක් කිව යුතුය. දැනට ARTV යන ඉංග්‍රිසි ටීවි චැනලය පවත්වාගෙන යන්නේද ඔවුන්ය. සම්පත් බැංකුවේ නිර්මාතෘද ඔවුන්මය. ලංකාවට පළමු සෙල්‍යුලර් ජංගම දුරකතන ජාලය වන Celtel (අද එටිසලාට් ලෙස වෙනත් සමාගමකට විකුණා ඇත) ඔවුන්ගේය. මේ සියල්ලම පිටුපස සිටි ධෛර්යවන්ත ව්‍යවසායකයා IW Senanayake වේ.

ඇත්තෙන්ම එය FDM හා TDM නම් මල්ටිප්ලෙක්සිං ක්‍රම යොදා ගන්නා ඩිජිටල් පද්ධතියකි. එනිසා සංඛ්‍යාත පරාසය තවත් අඩු කර ගත හැකියි (හෝ චැනල් ගණන වැඩි කර ගත හැකියි). එක් සංඛ්‍යාතයක් ටයිම් ස්ලොට් 4කට කඩයි. ACELP නම් vocoder යොදා ගනී. අවසානයේ එක් චැනලයක් 7.2kpbs පමණ වේ. මෙහි Short Data Service (SDS) නම් කෙටි අක්ෂර පනිවුඩ සේවාවක්ද පවතී (සෙල්‍යලර් සේවාවල sms සේවාව වැනිය).

එක් කෙනෙකුට අවශ්‍ය නම් තවත් එක් කෙනෙකුට පමණක් ඇසෙන සේ කතා කළ හැකියි (point-to-point හෙවත් unicast); නැතිනම් එක් කෙනෙකුට එම ටෝක්ගෲප් එකේ සියල්ලටම ඇහෙන්න කතා කළ හැකියි (point-to-multipoint හෙවත් multicast). මෙහිදී යුනිකාස්ට් ක්‍රමයට සන්නිවේදනය කිරීම Direct Mode Operation (DMO) ලෙසද, මල්ටිකාස්ට් ක්‍රමයට සන්නිවේදනය කිරීම Trunked Mode Operation (TMO) ලෙසද හැඳින්වේ. සන්නිවේදන ට්‍රාන්සීවරය (වෝකීටෝකී එක) mobile station (MS) ලෙසද හැඳින්වේ.

මෙම පද්ධතියේද සාමාන්‍ය සෙල්‍යුලර් පද්ධතියක මෙන් බේස් ස්ටේෂන් (Tetra base stations - TBS) තැනින් තැන පිහිටා තිබෙනවා. එහෙත් බේස් ස්ටේෂන් නැති අවස්ථාවකදී වුවද ක්‍රියාත්මක විය හැකි අපූරු ලක්ෂණ දෙකක් මෙහි තිබේ තිබේ.

එකක් නම්, දුරින් පිහිටි යම් ස්ථාන (මොබයිල් ස්ටේෂන්) දෙකක් අතර සන්නිවේදනයක් සිදු වීමට අවශ්‍ය නම් හා එම ස්ටේෂන් දෙකෙන් එකකට බේස් ස්ටේෂන්වලින් ආවරණයක් නැති නම්, එම ස්ටේෂන් දෙක අතර තවත් සාමාන්‍ය මොබයිල් ස්ටේෂන් (වෝකීටෝකී) ඇත් නම්, දම්වැලක පුරුක් මෙන් එක් ස්ටේෂන් එකක සංඥා ඊට යාබඳව ඇති තවත් ස්ටේෂන් එකකටද, ඉන් සංඥා ඊටත් යාබදව ඇති තවත් ස්ටේෂන් එකකටද ආදී ලෙස අවසානයේ ළඟා විය යුතු ස්ටේෂන් එක දක්වා සන්නිවේදනය ගලා ගෙන යයි (එනම් අතරමැද තිබෙන මොබයිල් ස්ටේෂන් දැන් ක්‍රියාත්මක වෙනවා තාවකාලික බේස් ස්ටේෂන් ලෙස; අතරමැද ස්ටේෂන් තාවකාලිකව රිපීටර් ලෙස ක්‍රියාත්මක වෙනවා යැයිද කිව හැකිය). මෙලෙස ක්‍රියාත්මක වීම gateway mode ලෙස හැඳින්වේ.

දෙවැන්න නම්, බේස් ස්ටේෂන් නැති විට, අවශ්‍ය නම් මොබයිල් ස්ටේෂන් දෙකක් ළඟපාතක ඇත් නම්, එකකින් අනෙකට ඍජුවම සන්නිවේදනය කළ හැකියි. මෙම ආකාරයට සන්නිවේදනය කිරීම walkie talkie mode ලෙස හැඳින්වේ (DMO).

ටෙට්‍රා වැනි උසස් පද්ධති ආරක්ෂාවෙන්ද උපරිමයි. අවසර දී තිබෙන මොබයිල් ස්ටේෂන්වලට පමණි ඊට කනෙක්ට් විය හැක්කේ (සාමාන්‍ය සෙල්ෆෝන් සේවාවල මෙන්ම). තවද, අවශ්‍ය නම්, සංඥා එන්ක්‍රිප්ට් කළ හැකිය.

සාමාන්‍යයෙන් අඩු සංඛ්‍යාතයන් මෙවැනි පද්ධතියක භාවිතා වේ. එනිසා ඉහල සංඛ්‍යාත භාවිතා කරන සෙල්‍යලර් ජාලාවලට වඩා විශාල දුරක් සංඥාවලට යා හැකියි හායනය නොවී. එනිසා ළඟින් ළඟ ටවර් (බේස් ස්ටේෂන්) පිහිටුවීම අවශ්‍ය වන්නෙත් නැහැ. සාමාන්‍ය සෙල්‍යුලර් ජාලාවල මෙන්ම මෙහිදීද ටෙට්‍රා ජාලයකට අනන්‍ය අංකයක් ඇත. එහිදී මුල් අංක 3 රටේ අංකය වන අතර, එය tetra mobile country code ලෙස හැඳින්වෙන අතර, මෙම කන්ට්‍රි කෝඩ් සෙල්‍යුලර් ජාලාවලදී හමු වූ mobile country code (MCC) ම තමයි. ඒ අනුව ලංකාවේ කෝඩ් එක 413 වේ. මෙම අංකයට පසුව ජාලය සඳහා බිට් 10කින් යුත් සීරියල් අංක කොටසක්ද ලැබේ.

මීට අමතරව, සාමාන්‍ය ටෙලිෆෝන් ජාලවලට (PSTN) සම්බන්දවීමේ ගේට්වේද සාමාන්‍යයෙන් ට්‍රන්කිං පද්ධතිය තුල ඇත. වෙනත් ට්‍රන්කිං ජාල හා සම්බන්ද විය හැකි ගේට්වේද තිබිය හැකියි. ඇත්තටම ට්‍රන්කිං පද්ධතිය දියුණු සන්නිවේදන පද්ධතියකි. එනිසා ඕනෑම සන්නිවේදන ජාලයකට සම්බන්ද වීමට අවශ්‍ය ගේට්වේ ඊට එකතු කළ හැකිය.


ටෙට්‍රා එක් යනු ට්‍රන්කිං රේඩියෝ පද්ධතියකි. ටෙට්‍රාට අමතරව තවත් ට්‍රන්කිං රේඩියෝ පද්ධති වර්ග කිහිපයක් ලොව ඇත. ට්‍රන්කිං රේඩියෝ පද්ධතියක් පොදු මහජනයාට විවෘත නැති බව ඉහත විස්තරවලින් පැහැදිලියිනෙ. යම් යම් විශේෂිත ආයතනවල සන්නිවේදන අවශ්‍යතා සඳහායි ඒවා සාදා තිබෙන්නේ. පොදු මහජනයා සඳහා සාමාන්‍ය සෙල්‍යුලර් පද්ධති තිබේ. මෙවැනි සීමිත වෘත්තින් වෙනුවෙන් සාදා තිබෙන සන්නිවේදන පද්ධති පොදුවේ Private Mobile Radio හෙවත් Professional Mobile Radio (PMR) යනුවෙන් හැඳින්වේ. ඒ අනුව ටෙට්‍රාද ඇතුලත් ට්‍රන්කිං රේඩියෝ යනු PMR ජාල තාක්ෂණයකි. යුනිකාස්ට් කෝල් මෙන්ම මල්ටිකාස්ට් කෝල් ගැනීමට හැකියාව තිබීම මෙවැනි පද්ධතියකට අත්‍යවශ්‍යම අංගයකි.

ඇමරිකාව ආදී බොහෝ රටවල කෙටි දුර ශබ්ද සන්නිවේදන ජාලා තිබෙනවා විවිධ නම්වලින්. FRS (Family Radio Service), GMRS (General Mobile Radio Service), Citizens Band (CB) යනු එවැනි ප්‍රචලිත ජාලා කිහිපයකි. මෙම ජාලා යම් කුඩා පිරිසකට සීමා කර නැත PMR හිදි මෙන්. මේවා යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් ඔස්සේ සිදු කිරීමට අවසර දී තිබෙනවා පොදු මහජනයාට (ලයිසන්ස් නැතිවත්).

රේඩියෝ සංඛ්‍යාතයන් ජාතික සම්පතක් නම්, එහි අයිතිය එම රටේ ජනයා සතු විය යුතුය. වේයගේ තුඹසට බලෙන් ඇතුලු වූ “ගැරඬියා” මෙන් TRC වැනි යම් රාජ්‍ය ආයතන ඉන් කොටසක් හෝ භුක්ති විදීමට පොදුවේ මහජනයාට ඉඩ ලබා නොදී, හිඟන්නන් සේ සල්ලි පස්සේම හඹා යෑම ලංකාවේ සිදු වේ. එනිසා ලංකාවේ පොදු ජනයාට මෙවැනි නිදහස් රේඩියෝ සන්නිවේදන පද්ධති කිසිවක් නැත. ලංකාව කොහොමත් හිඟන රටක් බවට පත් කර ඇත. වෙනත් රාජ්‍ය නායකයන්ට සාම්‍යයන් විදියට මහා උජාරුවට අතට අත දී පසුව හිඟා කෑම මෑතක සිට අපේ රටේ රාජ්‍ය නායකයන්ගේද විලාසිතාව බවට පත්ව ඇත. මෙම හිඟන මානසිකත්වය එනිසා උඩ සිට යටට සෑම සමාජ ස්ථරයකම දක්නට ලැබෙනවා උගත් නූගත් භේදයකින් තොරව. හැම එකාම මුදලට විකිනෙන ගණිකාවන් මෙනි.

No comments:

Post a Comment