Tuesday, April 4, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 81

කටහඬින් සංවාද කිරීම

මෝස් හෝ ශබ්ද හෝ කුමන ආකාරයේ සංවාදයක් (conversation) ආධුනික ගුවන් ශිල්පය තුල QSO (කිවුසෝ) යන කිවුවර්ඩ් එකෙන් හඳුන්වනවා. එහෙත් දැන් අප අධ්‍යනය කරන්නට යන්නේ ආධුනික ශිල්පින් දෙදෙනෙකු ඍජුව සංවාදයක යෙදෙන ආකාරයයි. රිපීටර් එකක් ආශ්‍රයෙන් සිදු කරන සංවාද පසුව වෙනම සලකා බලමු. දෙදෙනෙකු රේඩියෝ සංඥා ඔස්සේ ඍජුව සංවාද කිරීම (රිපීටර් නැතිව) simplex සන්නිවේදනයක් කියාද ආධුනික ගුවන් ශිල්පයේදී හැඳින්වේ.

සාමාන්‍ය ජංගම දුරකතන සේවාවකදී දෙදෙනෙකු සංවාද කරන විට, ශබ්දය යැවීමට මාර්ග දෙකක් (චැනල් දෙකක්) යොදා ගන්නවා. උදාහරණයක් ලෙස, ඔබ හා මා අතර සෙල් ෆෝන් එකකින් සංවාදයක් කළොත්, මා කියන දේ ඔබට එන්නේ එක් චැනලයකින් වන අතර, ඔබ කියන දේ මට එන්නේ තවත් චැනලයකින්ය. මෙනිසා අවශ්‍ය නම් දෙදෙනාටම එකවර කතා කළ හැකියි. එය හරියට මංතීරු දෙකක පාරක් වැනිය; වාහන දෙකකට තමන් කැමති ලෙස ස්වාධීනව ගමන් කළ හැකියි.

එහෙත් සිම්ප්ලෙක්ස්හිදි එසේ නැත. දෙදෙනාම කතා කරන්නේ එකම චැනලය ඔස්සේය. එනිසා දෙදෙනාටම එකවර කතා කළ නොහැකිය. එක් වරකට කෙනෙකු කතා කර අනෙකාට කතා කිරීමට අවස්ථාව ලබා දේ. මෙම හැකියාව ආධුනික ගුවන් සන්නිවේදන උපකරණවල ලබා දෙන්නේ යම් බට්න් එකකිනි. සාමාන්‍යයෙන් ට්‍රාන්සීවරය රිසීවරයක් ලෙස (receiver mode) වැඩ කරනවා. එනම් අනෙකා කියන දේ ඇසෙනවා. එහෙත් කතා කරන්නට ඔබේ වාරය ආ විට ට්‍රාන්සීවරයේ තිබෙන අර බට්න් එක ඔබා ට්‍රාන්ස්මීටර් ආකාරයට (transmitter mode) පත් කර ගත හැකියි. දැන් ඔබ කතා කරන දේ විසුරුවා හැරේ. ට්‍රාන්ස්මිට් කිරීමට බට්න් එකක් ඔබන නිසා මෙම ක්‍රියාකාරිත්වය Push-to-talk (PTT) ලෙසද හැඳින්වේ.

තවද, සංවාද කිරීමට සුදුසු සංඛ්‍යාතයක් තෝරන විට එය අප එෆ්එම් චැනල් තෝරන ආකාරයට සිදු කළ නොහැකිය. සාමාන්‍ය රේඩියෝ සේවයක් තෝරන විට, හැමදාම එම සේවයට හිමි එකම සංඛ්‍යාතයට ටියුන් කරන්නේ. එහෙත් ආධුනික ගුවන් ශිල්පයේදී එවැනි නිශ්චිත චැනල් නැත. අවසර දී තිබෙන සංඛ්‍යාත පරාසය තුල ඕනෑම තැනක සංවාදයක් ඕනම කෙනෙකුට පටන් ගත හැකියි. උපමාවකින් කියතොත් බස් එකෙන් ගමනක් යන එකයි තමන්ගේම වාහනයකින් ගමනක් යන එකයි ගත හැකියි. බස් එකෙන් යන විට අපට කැමති කැමති තැන නතර වෙන්නට බැරිය (බස් හෝල්ට්වල පමණි නතර කරන්නේ). එය හරියට අර නිශ්චිත සංඛ්‍යාත සහිත චැනල් වගේ. එහෙත් පෞද්ගලික වාහනයකින් යන විට තමන් කැමති ඕනම තැනක එය නතර කළ හැකියි; මෙය ආධුනික ගුවන් සංවාද කරන විදියයි.

මෙහිදී HF SSB මඟින් සිදු කරන සංවාදවලට වඩා තරමක් වෙනස් මුහුනුවරක් ගන්නවා VHF FM මඟින් සිදු කරන සංවාද. නිතරම වාගේ HF SSB යනු DX QSO එකකි. VHF FM යනු කෙටි දුර නිසා අහල පහල දන්නා හඳුනන අය සමඟ සිදු කරන QSO එකකි (ඔබ නිතරම යම් තැනක් හරහා ගමන් කරන විට, එම ප්‍රදේශයේ නිතර හමුවන අය දන්නා හඳුනන අය බවට පත් වෙනවානෙ ඉබේම). පහත විස්තරවල අවශ්‍ය තැන්වල මෙම වෙනස්කම් පෙන්වා දෙන්නම්.

දැන් පියවරින් පියවර බලමු කටහඬින් සිම්ප්ලෙක්ස් සංවාදයක් සිදු කරන හැටි. පහත දැක්වෙන ප්‍රකාශ මන්ත්‍ර මෙන් එලෙසම කීම අවශ්‍ය නැත; ඕනෑ තරම් වෙනස්කම් ඇත. එනිසා පොදු අදහස පමණක් ලබා ගන්න.

1. තමන්ගේ බලපත්‍රයට හිමි සංඛ්‍යාත පරාසයක් (බෑන්ඩ් එකක්) පළමුව තොරා ගෙන, එම බෑන්ඩ් එකේ පරාසය තුල සෙමින් සුසර කරමින් (tune) බලන්න දැනට සංවාදයක් ඔබට ඇසෙන්නේ නැති තැනක් හමු වෙන තුරු. ඉන්පසු ටියුන් කිරීම නවතා, එම සංඛ්‍යාතයට මඳක් සවන් දෙන්න ඇත්තටම එම චැනලය clear ද කියා තහවුරු කර ගැනීමට (දැනට සංවාදයක් යන තැනකට එකවර කඩාපැනීම හොඳ දෙයක් නෙමෙයි).

දැනට යම් සංවාදයක් යම් දෙදෙනෙකු සිදු කරනවා නම්, එම සංවාදය පවතින තුරාවට එම සංඛ්‍යාතයේ තාවකාලික අයිතිකරුවන් ඔවුන්ය. ඉතිං ඔබට බැහැ ඔවුන්ව එලවා දමන්න (දැන් හිටියා ඇති කියන්න බැහැ). එය පොදු ප්‍රවාහන බස් රථයක සීට් එක වැනිය. බසය ඔබේ නොවුණත්, ඔබ එහි යම් අසුනක වාඩි වූ විට, ඔබට එහි වාඩි වී සිටීමට හිමිකම තිබෙනවා ගමනාන්තය තෙක්ම.

සංවාදයක් ඔබට ඇසේ නම්, වෙනත් සංඛ්‍යාතයකට යා හැකියි. නැතිනම් එම සංවාදයට ඇහුම්කන් දෙමින් සිටිය හැකියි. සමහරවිට එම සංවාදයේ යෙදෙන කෙනෙකු සමඟ ඔබටත් සංවාද කළ හැකි වේවි. චැනලය ක්ලියර් වගේ දැනේ නම් දෙවැනි පියවරට යන්න.

ඇත්තෙන්ම තරමක් දිගු කාලයක් මෙලෙස සවන් දීම යෝග්‍ය වේ. ඊට හේතුව, එම සංඛ්‍යාතය ඔස්සේ දෙදෙනෙකු සංවාද කරන විට, එක්කෙනකුගේ සංඥා පමණක් ඔබට එන අතරේ ඔහු සමග සංවාද කරන අනෙකාගේ සංඥා ඔබට නොඑන්නට ඉඩ තිබේ. මෙවැනි තත්ව අප ඕනෑ තරම් එදිනෙදා ජීවිතයේදිත් දැක තිබෙනවා. කෙනෙකු ෆෝන් එකකින් කතා කරන විට, ඔහු කියන දේ ඔබට ඇසුනත් ඔහු සමඟ කතා කරන අනෙකා කියන දේ ඇහෙන්නේ නැහැනෙ.

එවිට ඇත්තටම එම දෙදෙනා අතර සංවාදයක් ගියත්, ඔබට සංඥා ලැබෙන්නේ නැති ඈතින් ඉන්න කෙනා සම්ප්‍රේෂණය කරන කාලය තුල ඔබ වැරදියට සිතන්නේ මේ චැනලය ක්ලියර් බවයි. එනිසා හදිසියක් නැතිව ඉවසලිමත්ව සවන් දීමට පුරුදු විය යුතුය. මෙවිට අර කෙනා තමන්ගේ වාරය අවසන් කළ පසු නැවත ඔබට සංඥා ලැබෙන කෙනා සංඥා යවන්නට පටන් ගනීවි. එවිට එම සංඥා ඔබට ඇසේවි. ඉන් ඔබ දැන් හොඳටම දැනගන්නවා එම සංඛ්‍යාතයේ “බිසී” බව.

2. ඉන්පසු පහත වාඛ්‍ය කියන්න. මෙම වාඛ්‍ය කියන්නේ ඉහත අවසාන ඡේදයේ දැක්වූ කරුණ නිසාය. එනම් යම් වේලාවක් ඇහුම්කන් දුන් පසුත් කිසිදු සංඥාවක් ඔබට නොලැබුණත්, ඉන් 100%ක්ම තහවුරු වෙන්නේ නැහැ එම සංඛ්‍යාතය නිදහස් කියා. එය 100%ක්ම තහවුරු කරගන්නයි මෙම වාඛ්‍යය කියන්නේ.

Is this frequency in use please? This is 4S7TEK, Four Sierra Seven Tango Echo Kilo, asking

එම (“මෙම සංඛ්‍යාතය කවුරුන් හරි පාවිච්චි කරනවාද?”) යන ප්‍රශ්නය පැහැදිලිව අසන්න (එය හරියට යම් ගේකට ගිය විට “ගෙදර කවුද” යැයි අසනවා වැනිය; ගේට්ටුව හෝ දොර වසා ඇති පලියට ඉන් තහවුරු වෙන්නේ නැහැ ගෙදර කවුරුත් නැහැ කියා). කැමති නම් ඉහත ප්‍රකාශනයේ please හා asking යන කොටස් නැතිවද එය ඇසිය හැකිය. එක් වරක් ඇසුවාට පසුව තත්පර කිහිපයක් නිහඬව සිට ඊට ප්‍රතිචාරයක් නොලැබේ නම් නැවත එම ප්‍රශ්නයම අසන්න (කැමති නම් තව වරක් එලෙස රිපීට් කරන්න).

කවුරුන් හෝ දැනට එම සංඛ්‍යාතය ඔස්සේ සංවාදයක් කරයි නම්, ඔහු ඔබට එය දන්වාවි. එවිට ඔබට හැකියි වෙනත් සංඛ්‍යාතයකට යෑමට. ඔහු දැනට මෙම චැනලය භාවිතා කරනවා කියා පහත ආකාරවලින් කිව හැකිය. එවිට ඔබ තවත් කිසිවක් නොකියා වෙනත් සංඛ්‍යාතයකට මාරු වන්න (තවත් ඔබ මොනා මොනා හරි කියන්නට ගියොත් එය ඔවුන්ගේ සංවාදයට බාධාවකි).

This frequency is in use”

Please QSY, frequency is in use”

(මෙහි QSY යනු කිවු කෝඩ් එකක් වන අතර, එහි තේරුම “වෙනත් සංඛ්‍යාතයකට මාරු වෙන්න” කියාය).

ඇත්තෙන්ම ඔබත් මෙලෙස ප්‍රතිචාර දක්වන විදිය දැන සිටිය යුතුය මොකද ඔබ යම් සංවාදයක නියැලෙන අතරතුර කවුරුන් හෝ මේ සංඛ්‍යාතය භාවිතා කරනවාද යන ප්‍රශ්නය නඟන විට ඊට ප්‍රතිචාර දක්වන්නේද මේ විදියටමයි.

කවුරුවත් දැනට එම සංඛ්‍යාතය ඔස්සේ සංවාදයක් නොකරයි නම්, ඔබට පිලිතුරක් නොලැබේවි. එහෙත් එම මොහොතේ කෙනෙකු හෝ කිහිප දෙනෙකු එම සංඛ්‍යාතයට ටියුන් වී අසාගෙන සිටිනවා විය හැකියි. ඒ අයත් මේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්නේ නැත (මොකද ඔවුන් සවන් දීගෙන සිටියත් සංවාද කරන්නේ නැති නිසා).

එහි ඇති This is යන කොටස ප්‍රෝවර්ඩ් එකකි (පිළිගත් සම්මත තේරුමක් සහිත ශබ්දයකි). එය යොදා ගන්නේ තමන් කවුද යන්න අනෙක් අයට හඳුන්වා දෙන්නටයි. ප්‍රෝවර්ඩ් හරියට කෝල් ගැනීමේදී යොදන “හලෝ”, “බායි” වැනිය (ඕනෑම බසකට පොදු වචන සේ සැලකිය හැකියි). එනිසා එය සිංහලට හෝ වෙනත් බසකට පරිවර්තනය කරන්නට අවශ්‍ය නැත. මෙවැනි විශේෂිත තේරුම් ලබා දෙන වචන/ප්‍රොවර්ඩ් ගණනාවක් තිබෙන අතර, ඒවාද සිංහලයට පරිවර්තනය කිරීම සුදුසු නැත.

එම ප්‍රෝවර්ඩ් එකට පසුව තමන්ගේ කෝල්සයින් එක කිව යුතුය. කෝල්සයින් එක සාමාන්‍ය ක්‍රමයට කියා පසුව ඉහත පෙන්වා ඇති ආකාරයට Four, Sierra, Seven, Tango, Echo, Kilo අදි ලෙසද කිව යුතුය. එම වචනවලින් කියවෙන්නේද 4S7TEK යන කෝල්සයින් එකමයි. සියෙරා, ටැන්ගෝ, ඉකෝ ආදී ශබ්ද/වචනවලින් නිරූපණය කරන්නේ ඉංග්‍රිසි හෝඩියෝ අක්ෂර වේ.

ඇත්තටම ඉහත ආකාරයට කෝල්සයින් එක ෆොනෙටික් ආකාරයෙනුත් කීමට අවශ්‍ය වන්නේ HF පරාසය භාවිතා කර අයනගෝලය හරහා කරන සන්නිවේදන හා SSB වැනි බෑන්ඩ්විත් අඩුවෙන් භාවිතා කරන අවස්ථාවලදීය. ඊට හේතුව මේ අවස්ථා දෙකෙහිදිම සාමාන්‍යයෙන් ශබ්දයේ කොලිටිය අඩුය. එනිසා අනෙකාට හරිහැටි ඇසෙන්නේ නැති වන්නට පුලුවන්.

එහෙත් FM ක්‍රමයට සන්නිවේදනය කරනවා නම්, ශබ්දය වඩා පැහැදිලි/කොලිටි වේ. එනිසා, ෆොනෙටික් විදියට කෝල්සයින් එක කීමට අවශ්‍යම නැත (කැමති නම් පමණක් ෆොනෙටික් විදියට කියන්න). ඒ වෙනුවට සාමාන්‍ය විදියට කෝල්සයින් එක දෙපාරක් කිව හැකියි.

Is this frequency in use? This is 4S7TEK 4S7TEK”

සටහන

Aviation Alphabet

ඉංග්‍රිසි හෝඩියේ අක්ෂර 26ක් තිබෙනවානෙ. සමහර අවස්ථාවල අපට සිදු වෙනවා එම අක්ෂර ශබ්ද කරන්න. එදිනෙදා කතා බහේදී වුවත් සමහර අවස්ථාවලදී අනෙකා කියන අක්ෂරය අපට ඇහෙන්නේ වෙනත් අක්ෂරයක් ලෙස නේද? ඊට හේතුව එම අක්ෂර ශබ්ද කරන විට එකළඟ සමාන ශබ්ද පිටවීමයි. උදාහරණයක් ලෙස “එෆ්” යන අක්ෂරය “එස්” කියා ඇසේවි. “බී” යන්න “පී” කියා ඇසේවි. “එම්” යන්න “එන්” කියා ඇසිය හැකිය.

විශේෂයෙන් සමහර අය කතා කරන විට ස්වභාවයෙන්ම ශබ්ද අපැහැදිලිය (එවැනි කථන විලාසයන් තිබෙන පුද්ගලයන් ඔබටත් ඕන තරම් හමු වී ඇති). සමහරු වේගයෙන් කතා කරයි. මේ හේතු නිසා අර ශබ්ද කොහොමත් වැරදියට උච්ඡාරණය වේවි. තවද, පරිසරයේ ඝෝෂාව වැඩි වන විටත් මේ ප්‍රශ්නය බැරෑරුම් වෙනවා.

මෙම තත්වය ඉතාම බරපතල වෙනවා දුරකතන ඔස්සේ කතා කරන විට. ඊට හේතුව දුරකතනවල සංඥා සඳහා යොදා ගන්නේ කුඩා බෑන්ඩ්විත් එකක් වීමයි. ඉන් අදහස් වන්නේ ඔරිජිනල් ශබ්දයේ ඉහල සංඛ්‍යාතයන් දුරකතන සංඥා හරහා නොයන බවයි (ඒවා කපා හැරේ). ඇත්තටම විද්‍යාත්මකව අධ්‍යනය කරන විට, උදාහරණයක් ලෙස s අකුරේ ශබ්දයෙන් f අකුරේ ශබ්දය වෙනස ඇති කරන්නේ මෙම ඉහල සංඛ්‍යාත කොටස විසින්ය. ඉතිං එම කොටස කපා හැරෙන විට එම අක්ෂර දෙකේ ශබ්දවල වෙනස අහෝසි වී එකම ශබ්දයෙන් ඇසේවි. තවත් අක්ෂර යුගලවලටත් එසේම සිදු වේ (p හා bයුගලයටත්) සමහරෙක් සිතන්නේ දුරකතනයෙන් ඉංග්‍රිසි අකුරු කියන විට එය පැටලැවෙන්නේ තමන්ගේ කනේ දෝසයක් නිසා කියලාය. එහෙත් සත්‍ය නම්, දෝෂය පවතින්නේ එන සංඥාවේය. මා නිතර මෙම ප්‍රශ්නයට පෞද්ගලිකවම මුහුන දෙන අතර, බොහෝ අවස්ථාවලදී මා කියන්නේ sms එකෙන් අකුරු ටික එවන ලෙසයි.

අතීතයේ රේඩියෝ සන්නිවේදනය අද මෙන් දියුණු නැත. එනිසා ඉහත ගැටලුව තවත් බරපතලව එදා පැවතුණා. ඔවුන් මේ ගැටලුවට ලබා දුන් විසඳුම තමයි aviation alphabet එක. එහිදී සෑම ඉංග්‍රිසි අක්ෂරයක්ම එකිනෙකට සපුරා වෙනස් ශබ්ද 26කින් හඳුන්වනවා. මේ වචනයක් ආරම්භ වන්නේ අදාල ඉංග්‍රිසි අක්ෂරයෙනි.

මෙය ඒවියේෂන් ඇල්ෆබට් යන නමින් හැඳින්වීමට ප්‍රධානතම හේතුව ගුවන් නියමුවන් රේඩියෝ තරංග මඟින් සන්නිවේදනය කරන විට, තමන්ට හරිහැටි නොඇසෙන විට, තමන් කියන වචනය මෙම ක්‍රමයෙන් අක්ෂරයෙන් අක්ෂරය පැවසූ නිසාය. එනිසා ඕනෑම අවස්ථාවකදී ඔබ කියන යමක් අනෙකාට ඇසෙන්නේ නැතිනම්, වැදගත් වචන මෙම ක්‍රමයට කියන්න. RR හි 57.7 යන රෙගුලාසියෙන්ද එසේ කරන ලෙස නිර්දේශ කරනවා (එම රෙගුලාසිය පහත දැක්වේ).

57.7 5) When it is necessary to spell out certain expressions, difficult words, service abbreviations, figures, etc., the phonetic spelling tables in Appendix 14 shall be used.”

තවත් තැන්වල හා RR රෙගුලාසිවලත් මෙම හෝඩිය phonetic alphabet කියා හැඳින්වේ (ෆොනෙටික් යන වචනයේ සාමාන්‍ය තේරුම “යම් අක්ෂරයක් ශබ්ද කරන්නේ එක් ආකාරයකට පමණි” යන්නයි). මෙයම radiotelephonic alphabet, spelling alphabet කියාද හැඳින්වේ. පහත දැක්වෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් එම ඒවියේෂන් හෝඩියයි (RR රෙගුලාසිවල 14වැනි අතිරේකයේ සඳහන් ආකාරයට).

ඉංග්‍රිසි අකුර
ෆොනෙටික් ශබ්දය
ඉංග්‍රිසි අකුර
ෆොනෙටික් ශබ්දය
A
Alpha (ඇල්ෆා)
N
November (නොවෙම්බර්)
B
Bravo (බ්‍රාවෝ)
O
Oscar (ඔස්කා)
C
Charle (චාලි)
P
Papa (පපා)
D
Delta (ඩෙල්ටා)
Q
Quebec (කෙබෙක්)
E
Echo (ඉකෝ)
R
Romeo (රොමියෝ)
F
Foxtrot (ෆොක්ස්ට්‍රොට්)
S
Sierra (සියෙරා)
G
Golf (ගොල්ෆ්)
T
Tango (ටැන්ගෝ)
H
Hotel (හොටෙල්)
U
Uniform (යුනිෆෝම්)
I
India (ඉන්ඩියා)
V
Victor (වික්ටර්)
J
Juliet (ජුලියට්)
W
Whiskey (විස්කි)
K
Kilo (කිලෝ)
X
Xray (එක්ස්රේ)
L
Leema (ලීමා)
Y
Yankee (යැන්කි)
M
Mike (මයික්)
Z
Zulu (සූලූ)

ඇත්තටම ඉහත හෝඩිය පර්යේෂකයන් විසින් සකස් කරන ලද්දක්. විවිධ මිනිසුන්ට විවිධ ශබ්ද ඇසෙන්නට සලස්වා ඉන් හොඳම ශබ්ද ටික තමයි එලෙස තෝරා ගත්තේ. ඝෝෂාවක් මැද වුවද, සංඥා දුර්වල අවස්ථාවලද එම ශබ්ද හොඳින් ඇසෙන බව සොයා ගෙන ඇත. එහෙත් මීට වඩා වෙනස් ෆොනෙටික් හෝඩිද තිබේ. තවද, ඉහත හෝඩියේම අක්ෂර කිහිපයක් සඳහා වෙනස් ශබ්ද භාවිතා වන අවස්ථාද ඇත (N අකුර සඳහා November වෙනුවට Nancy යන්නත්, R අකුර සඳහා Romeo වෙනුවට Radio යන්නත් සමහරුන් යොදනවා). එහෙත් මේවා සම්මතය නොවේ.

ඉහත හෝඩියට පහසුවෙන් හුරුවිය හැකියි. පළමුව එම ශබ්ද කටපාඩම් කරන්න (ඇල්ෆා බ්‍රාවෝ චාලි ඩෙල්ටා ආදි ලෙස). කෙනෙකු එම ක්‍රමයෙන් යම් වචනයක් අකුරින් අකුර කියන විට එකවර ඔබට අදාල අක්ෂරය ලිවීමට අපහසු විය හැකියි. එහෙත් ඊට යොදා ගත හැකි උපක්‍රමයක් මා දකිනවා. එනම් ඔබට යම් (ඉංග්‍රිසි) වචනයක් ඇසෙන විට ඉංග්‍රිසියෙන් එය ලියන විදිය මතක් කර බලන්න. ශබ්දය ඇසෙනවාත් සමඟම ඔබ එහි පළමු අක්ෂරයේ සිට ලියනවානෙ. ඉතිං, මෙම ෆොනෙටික් ශබ්දත් සාමාන්‍ය ඉංග්‍රිසි වචන ඇසෙන විට ලියනා අන්දමටම ලියන්න; නමුත් එහි පළමු අකුර පමණක් ලියා නවතින්න. එච්චරයි.

ඔබේ නම Ahasna නම් ෆොනෙටික් හෝඩියෙන් එය කියන්නේ ඇල්ෆා හොටෙල් ඇල්ෆා සියෙරා නොවෙම්බර් ඇල්ෆා ලෙසයි.

ඉංග්‍රිසි අකුරු ඇසීමේදී ඇතිවන වැරදි අවම කරගන්නටනෙ ෆොනෙටික් හෝඩිය යොදා ගත්තේ. සාමාන්‍යයෙන් ඉලක්කම් අසා තේරුම් ගැනීමට එවැනි බරපතල අපහසුතාවක් නැත. එසේ වුවත් ඉහත RR අතිරේකයේම ඉලක්කම් සඳහාත් අවශ්‍ය නම් භාවිතා කළ හැකි හෝඩියක් පහත ආකාරයට සකසා තිබෙනවා (මුල් තීරු දෙක පමණි).

ඉලක්කම/සංඥාව
ෆොනෙටික් ශබ්දය
තවත් ශබ්ද ආකාරයක්
0 (zero)
Nadazero (නඩාසීරෝ)
සීරෝ
1 (one)
Unaone (ඌනාවන්)
වන්
2 (two)
Bissotwo (බීස්සෝටූ)
ටූ
3 (three)
Terrathree (ටේරාට්‍රී)
ට්‍රී හෝ ත්‍රී
4 (four)
Kartefour (කාටේෆොවර්)
ෆෝවර්
5 (five)
Pantafive (පෙන්ටාෆයිව්)
ෆයිෆ්
6 (six)
Soxisix (සොක්සීසික්ස්)
සික්ස්
7 (seven)
Setteseven (සේටේසෙවන්)
සෙවන්
8 (eight)
Oktoeight (ඔක්ටෝඅයිට්)
එයිට්
9 (nine)
Novenine (නොවේනයිනර්)
නයිනර්
. (decimal point)
Decimal (ඩේසිමල්)
පොයින්ට්
. (full stop)
Stop (ස්ටොප්)
ස්ටොප්

සමහර භාවිතාවන් තුල ඉලක්කම් සඳහා ඉහත ITU ෆොනෙටික් ශබ්ද නොව වෙනත් ශබ්ද භාවිතා කෙරේ. එවැනි ප්‍රචලිත ක්‍රමයක් තමයි ඉහත වගුවේ තෙවැනි තීරුවේ දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත්, නයිනර්, ෆයිෆ් යන ශබ්ද දෙක හැරෙන්න සාමාන්‍යයෙන් ආධුනික ගුවන් විදුලියේදී ඉලක්කම් ශබ්ද කරන්නේ සාමාන්‍ය ආකාරයටයි (නයිනර්, ෆයිෆ් යන ශබ්ද දෙකද අවශ්‍ය නම් භාවිතා නොකර සිටිය හැකිය).

3. පිලිතුරක් නොලැබෙන විට, ඒ කියන්නේ එම සංඛ්‍යාතය ඔබට විවෘතයි. පෙර කීවා සේ, එම සංඛ්‍යාතය ඔස්සේ අසමින් සිටින ඕනෑම කෙනෙකුට තමන් සමඟ සංවාදයකට දැන් එන්න යැයි ආරාධනා කළ යුතුය. ඒ සඳහා සම්මත ක්‍රම ඇත. පහත ආකාරවලින් එය කළ හැකිය.

CQ CQ CQ… This is 4S7TEK, Four Sierra Seven Tango Echo Kilo

"CQ CQ CQ… This is 4S7TEK, 4S7TEK calling CQ"

වේ. මෙහි CQ යන්න “සීක්යු” ලෙස ශබ්ද කෙරේ. එය තුන්පාරක් කියනවා. ඉන් අදහස් වන්නේ “ඇහුම්කන් දෙන්න!” (attention!) යන්නයි. මෙම භාවිතයේ ආරම්භය මෝස්කෝඩ්/ටෙලිග්‍රාෆ් සන්නිවේදනයයි (“සියලුම ටෙලිග්‍රාෆ් ඔපරේටර්ලා ඇහුම්කන් දෙන්න, දැන් මං මෝස් පනිවුඩයක් එවන්නයි යන්නේ” යන අදහස එකල තිබුණි). මෙය ඇත්තටම “ආරක්ෂාව” හෙවත් safety යන තේරුම ඇති ප්‍රංශ වචනයක් වන sécurité යන්නෙහි කෙටි කරපු වචනයයි. අද වන විට සීක්යු යන ශබ්දය “seek you” (“ඔබවයි සොයන්නේ”) යන තේරුම ලබා දෙන backronym එකකි (එනම් මුලින් යම් අරුතකින් සෑදුණත් පසුකාලීනව වෙනත් අර්ථකථනයක් ලැබූ වචනයකි).

ඉහත ක්‍රමවලින් පළමු ක්‍රමය උචිත වන්නේ පෙරත් සඳහන් කරපු ලෙසටම ශබ්ද කොලිටිය අඩු සංවාද සඳහාය (HF පරාසයේ සංවාද හා SSB වැනි අඩු බෑන්ඩ්විත් මූර්ජන ක්‍රම යොදා ගන්නා විට). FM වැනි කොලිටිය වැඩි අවස්ථාවලදී දෙවැනි ක්‍රමය උචිතය.

එහෙත් HF පරාසයේ සිදු කරන SSB සංවාද සඳහා අවශ්‍ය නම් පහත ආකාරයටත් එය සීකිවු කෝල් කළ හැකිය. මෙම ක්‍රමයට සීකියු කෝල් කිරීම 3 times 3 rule (තුනේ තුන රීතිය) ලෙස හඳුන්වමු. මේ සම්පූර්ණ කොටස කීමට යම් කාලයක් ගත වෙන අතර, එම කාලය තුල ඉතා ඈත සිටින කෙනෙකුට ඔහුගේ රිසීවරය ඔබව පැහැදිලි ලෙස ඇසෙන තෙක් ටියුන් කර ගැනීමට එය ඉවහල් වේ (කෙනෙකුට කියන්න බැහැනෙ නොනවත්වා මොනා හරි කියවගෙන යන්න මට මේක ගාණට ටියුන් කරන්න හැකි වෙනකම් කියා).

"CQ CQ CQ… This is 4S7TEK, Four Sierra Seven Tango Echo Kilo calling CQ
CQ CQ CQ… This is 4S7TEK, Four Sierra Seven Tango Echo Kilo calling CQ
CQ CQ CQ… This is 4S7TEK, Four Sierra Seven Tango Echo Kilo calling CQ and standing by for any contact."

4. ඉහත ආරාධනාව සිදු කර නිශ්ශබ්දව සිටින්න තත්පර තුන හතරක වෙලාවක්. මෙවිටත් කාගෙන්වත් ප්‍රතිචාරයක් නැතිනම්, නැවත වතාවක් එයම සිදු කරන්න. එවිටත් ප්‍රතිචාරයක් නැතිනම් අවශ්‍ය නම් තවත් අවසාන සැරයක් සිදු එයම කියා බලන්න. මෙය තුනේ තුන රීතිය යොදා ගත් විටත් එලෙසම වලංගු වේ.

5. මෙවිටත් ප්‍රතිචාරයක් නැහැ කියන්නේ බොහෝවිට මේ මොහොතේ ඔබව කාටත් ඇසෙන්නේ නැහැ කියන එකයි. එහෙමත් නැතිනම් ඔබව ඇසෙන නමුත් ඔබ සමඟ සංවාද කිරීමට කැමැත්තක් නැති බවයි. හේතුව කුමක් වුවත්, තවත් සීක්යූ කිය කිය එතැන සිටිනවා වෙනුවට වෙනත් සංඛ්‍යාතයකට මාරු වී නැවත ඉහත 1 සිට ක්‍රියාවලිය සිදු කරන්න.

6. ඔබේ CQ එක ඇසී කෙනෙකු ප්‍රතිචාර දැක්විය හැකියි. ඔහු ඊට ප්‍රතිචාර දක්වන විදියක් ඇත. මෙම ප්‍රතිචාර දක්වන සම්ප්‍රදාය ඔබත් දැන සිටිය යුතුය මොකද සමහරවිට වෙනත් කෙනෙකු CQ කරනු ඔබට ඇසෙන විටක ඔබත් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ මේ ක්‍රමයටයි. ඔහු මෙලෙස ප්‍රතිචාරයක් දක්වාවි.

4S7TEK 4S7TEK, This is 4S7SUM, four sierra seven sierra uniform mike”

ප්‍රතිචාරය දක්වන්නේ CQ එක යවපු කෙනාටයි. එනිසා ඔහුගේ කෝල්සයිනය එක පාරක් හෝ දෙපාරක් කිව යුතුයි. එවිටයි ඔහු දැනගන්නේ මේ ප්‍රතිචාරය ඔහුගේ CQ එකට ලැබෙන බව. තවද, මෙහිදී ෆොනෙටික් හෝඩියෙන් ඔහුගේ කෝල්සයින් එක අකුරින් අකුරට කීමට අවශ්‍ය නැත. ඔහුට තමන්ගේ කෝල්සයින් එක බොහෝ අපහැදිලි ශබ්දයක් මධ්‍යයේ වුවද පහසුවෙන් හඳුනාගත හැකියි (ඝෝෂාවකදී වුවද තමන්ගේ නම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්නෙ). අනික ඔහු දැන් කොහොමත් අපේක්ෂාවෙන් ඉන්නේ තමන්ගේ CQ එකට ප්‍රතිචාරයක් ලැබේවි කියා (එනිසා තමන්ගේ කෝල්සයින් එක ඇසීමට ඔහු මඟ බලාගෙනයි සිටින්නේ).

ඔහුගේ කෝල්සයින් එක පැවසුවාට පසුව සුපුරුදු ලෙසම තමන්ගේ කෝල්සයින් එක ෆොනෙටික් ක්‍රමයට කිව යුතුයි This is යන ප්‍රෝවර්ඩ් එකට පසුව. අනිවාර්යෙන්ම සෑම පාර්ශවයක්ම ආධුනික ගුවන් සංවාදයක් අරඹන විට තමන් කවුදැයි මෙලෙස හඳුන්වා දිය යුතුමය (එය නීතියෙන් අනිවාර්ය කර තිබේ). තමන්ගේ කෝල්සයින් එක තවමත් අනෙකාට නුහුරු නිසා වැරදීමක් සිදු නොවනු පිනිසයි ෆොනෙටික් විදියට එය ශබ්ද කරන්නේ.

ඇත්තෙන්ම සංවාදයක් ඇරඹිය හැකි ආකාර දෙකක් තිබෙන බව ඔබට දැන් පෙනෙනු ඇති. එකක් නම්, ඔබ විසින් CQ එකක් යැවීමයි (Calling CQ). එවිට වෙනත් කෙනෙකු ඊට ප්‍රතිචාර දක්වා සංවාදය ඇරඹේවි. දෙවැන්න නම්, වෙනත් කෙනෙකුගේ CQ එකකට ප්‍රතිචාර දක්වා සංවාදයක් ඇරඹීමයි (Answering CQ).

7. සංවාදයේ යෙදෙන අතරතුර වැදගත් විස්තර කොලයක සටහන් කර ගන්න. විශේෂයෙන් අනෙකාගේ කෝල්සයින් එක ලියා ගන්න (එය මතකයේ විතරක් රඳවා ගෙන සිටින්න බැහැනෙ). ඔබට ඔහුගේ කෝල්සයින් එක ඇත්තටම එම සංවාදය පවත්වාගෙන යන කාලය පුරාවටත්, ඉන් පසුවටත් අවශ්‍ය වෙනවා. පසුවට අවශ්‍ය වන්නේ අනෙකාගේ කෝල්සයින් එක ඔබේ ලොග් පොතේ සටහන් කිරීමට අවශ්‍ය නිසාය. සංවාදය තුල එය අවශ්‍ය වන්නේ සැරින් සැරේට ඔහුගේ කෝල්සයින් එක ඔබට පැවසීමට සිදු වන නිසාය (තව මොහොතකින් මෙය පැහැදිලි වේවි).

8. දැන් දෙන්නට දෙන්නා හමු වූ නිසා රසවත් සංවාදයක් සිදු කළ හැකියි. ආචාරශීලිව, මිත්‍රශීලිව, බුද්ධිමත්ව සංවාද කරන්න. අහවල් දේවල් කතා කළ යුතුයි කියා දෙයක් නැත. දෙදෙනා කැමති දේවල් කතා කරන්න. එහෙත් වෙනත් අයත් මීට ඇහුම්කන් දෙමින් සිටිය හැකි බව නිතර සිහියේ තබා ගන්න.

ඉතිං දෙන්නට දෙන්නා මුන ගැහෙන්නේ පළමු වතාවට නම්, දෙදෙනාගේ නම, ගම ආදී විස්තර ඇසිය හැකිය. දෙදෙනාගේ පිහිටුම නිවැරදිව පෙන්වන ග්‍රිඩ් අගයන් හුවමාරු කර ගත හැකියි. ඔහුගේ සංඥා ඔබට ඇසෙන විදියත් ඔහුගේ සංඥාවේ ප්‍රබලතාවත් ඔහුට කිව හැකියි. ඔහුත් ඔබව ඔහුට ඇසෙන හැටි හා ඔබේ සංඥාවේ ප්‍රබලතාව ගැන පවසාවි (පවසන්නේ නැතිනම් ඔබට එය අසා දැනගත හැකියි). සංඥාව ගැන විස්තරය signal report ලෙස හැඳින්වේ. ඔබ කොපමණ වොට් ගණනකින් සම්ප්‍රේෂණය කරනවාද කියා ඔහුට කිව හැකිය. ඔහුද බොහෝවිට එය කියාවි. ඔබලා භාවිතා කරන ඇන්ටනා හා සන්නිවේදන උපකරණවල විස්තර හුවමාරු කර ගත හැකියි. ඇත්තටම ඔහු යම් දත්තයක් කියන විට ඔබත් එම දත්තය ලබා දීම යෝග්‍ය වේ; ඔබ යම් දත්තයක් කී විට බොහෝවිට ඔහුත් එය කරාවි. ඉන්පසු “ඕපදූප” කියවමින් සංවාදය දිගටම පවත්වාගෙන යා හැකිය. මෙවැනි දිගු සංවාද ragchewing ලෙස හැඳින්වේ.

පහත දැක්වෙන්නේ ඔබගේ CQ එකට කෙනෙකු ප්‍රතිචාරයක් දැක් වූ පසු, ඔබ සංවාදය අරඹන අයුරුයි (සිග්නල් රිපෝට් එක ආදී විස්තර දීමෙන්).

4S7SUM, 4S7SUM, this is 4S7TEK, four sierra seven tango echo kilo. Thanks for the call. Your signal is 59. My name is Sirimal Appu and my QTH is Gampaha, Sri Lanka. So how do you copy? 4S7SUM this is 4S7TEK over."

පළමුව ඔහුගේ කෝල්සයිනය එක පාරක් හෝ දෙපාරක් කිව යුතුය (දැන් ෆොනෙටික් විදියට කීමට අවශ්‍ය නැත; එහෙත් සංඥා මට්ටම ඉතා දුර්වල නම්, ෆොනෙටික් ක්‍රමයට එක පාරක් කෝල්සයිනය කීම සුදුසුය). ඉන්පසුව දිස් ඊස් යන ප්‍රෝවර්ඩ් එක ඇසුරින් තමන්ගේ කෝල්සයින් එක කියනවා. ඇත්තෙන්ම මේ ලෙසට අනෙකාගේ කෝල්සයිනය (වරක් හෝ දෙවරක් ෆොනෙටික් ක්‍රමයට හෝ නැතිව) කියා, දිස් ඊස් යන ප්‍රෝවර්ඩ් එකට පසුව තමන්ගේ කෝල්සයිනය (සංඥා දුර්වල නම් ෆොනෙටික් ක්‍රමයට) කිව යුතුමය.

සාමාන්‍යයෙන් දෙදෙනෙකු සංවාද කරන විට, දෙදෙනා කෙටි වාර (turn) බැඟිනුයි එය සිදු කරන්නේ. එනම්, තමන්ට කියන්නට අවශ්‍ය දෙයින් කොටසක් කියා අනෙක් කෙනාට අවස්ථාවක් ලබා දේ. ඔහුත් යම් කරුණු කිහිපයක් කියා නැවත ඔබට අවස්ථාව ලබා දේ. ඉතිං, සංවාදය තුල ලැබෙන “සෑම වාරයක්ම” පටන් ගන්නේ 4S7SUM, this is 4S7TEK වැනි කොටසිනි. එය කිරීමට අවශ්‍ය වන්නේ දෙදෙනා මුහුනට මුහුන බලාගෙන සංවාද නොකරන නිසා, අනෙකාගේ අවධානය තමන් කියන දේට යොමු කිරීමටයි.

ඉහතදී සෑම වාරයකදීම එය කරනවා කිව්වත් ඇත්තටම එය කෙරෙන්නේ නැති වීමට හැකියි. එනිසා අඩුම ගානේ වාර කිහිපයකට සැරයක්වත් එය සිදු කරන්න. ඒ හැරත් එක දිගට විනාඩි 5ක් තමන්ගේ කෝල්සයිනය නොකියා සංවාද කළ නොහැකියි යැයි රෙගුලාසියක් ඇත. ඉහත ආකාරයට සෑම වාරයකදීම නොවුවත් වාර කිහිපයකට සැරයක්වත් 4S7SUM, this is 4S7TEK වැනි කොටසක් කී විට විනාඩි පහේ රෙගුලාසියද ඉබේම පිළිපැදේ.

Your signal is 59 යන කොටසින් කියන්නේ ඔහුගේ සංඥාව පිළිබඳ සිග්නල් රිපෝට් එකයි (සිග්නල් රිපෝට් ගැන පසුවට බලමු). QTH යනු ස්ථානය (position) යන්න හඟවන කිවුවර්ඩ් එකකි. How do you copy? යනු “ඔබට මාව ඇසෙන්නේ කොහොමද” (එනම් ඔබ ඔහුගෙන් ඉල්ලා සිටිනවා සිග්නල් රිපෝට් එකක්; මෙම ප්‍රකාශයත් කටපාඩම් කරන්න). අවසානයේ නැවත ඔහුගේත් ඔබගේත් කෝල්සයින් එක සුපුරුදු ලෙස පවසා ඕවර් යැයි කියනවා

ඕවර් යනු “දැන් ඔබේ වාරේ” යන අදහස දෙන ප්‍රෝවර්ඩ් එකයි. Over වෙනුවට back to you හෝ go ahead හෝ කිව හැකිය. සංඥා හොඳින් ලැබේ නම් සාමාන්‍ය කතා බහේදී මෙන් කිසිත් නොකියා නිශ්ශබ්ද විය හැකියි (ටෙලිෆෝන් එකෙන් අප කතා කරන විට ඕවර් කිය කියා ඉන්නේ නැහැනෙ).
ඉන්පසු ඔහුත් ඉහත ආකාරයටම ප්‍රකාශ කිහිපයක් සිදු කර ඔබට වාරය නැවත ලබා දේ (ඕවර් යැයි කියමින්). මෙලෙස දෙදෙනා මාරුවෙන් මාරුවට තමන් කැමති දේවල් ඉදිරියට කතා කරමින් සිටිය හැකියි.

No comments:

Post a Comment