Monday, April 3, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 80

ආධුනික ගුවන් ශිල්පි සංවාද

විවිධ ඇනලොග් හෝ ඩිජිටල් මූර්ජන ක්‍රම යොදා ගනිමින්, විවිධ රේඩියෝ තරංග ප්‍රචාරණ ක්‍රම යොදා ගනිමින්, විවිධාකාරයේ ඇන්ටනා හා උපකරණ වර්ග යොදා ගනිමින් ආධුනික ගුවන් විදුලි ශිල්පින් හා වෙනත් අය මෙතරම් වෙහෙසෙන්නේ එක් දෙයක් උදෙසාය. එනම්, රේඩියෝ තරංග යොදා ගනිමින් එකිනෙකා හා සංවාද/සන්නිවේදනය කිරීමටයි. මෙම සන්නිවේදනයේ යම් සම්ප්‍රදායවල් ඇත (නීති රීතිවලට අමතරව).

සාමාන්‍යයෙන් ලෝකය පුරාම විවිධ රටවල විසිරී සිටින ආධුනික ශිල්පින් (HF පරාස ඔස්සේ) සංවාද කළ හැකි නිසා, ඔවුන් කාටත් පොදු බස ලෙස ලොව ජනප්‍රියතම භාෂාව වන ඉංග්‍රිසි භාෂාව ආධුනික ගුවන් ශිල්පයෙහි ප්‍රමුඛ භාෂාව ලෙස සැලකේ. ඉංග්‍රිසි බසෙහි නිපුනයෙකු වීම අවශ්‍ය නැත. කැඩිච්ච ඉංග්‍රිසියෙන් කතා කළා කියා ගැටලුවක් නැත. තවද, සංවාද කරන දෙදෙනාට අවබෝධ කර ගත හැකි ඕනෑම බසකින් සංවාද කිරීමට තහනමක්ද නැත. එනිසා ලංකාවේ අය සිංහලෙන්ද, ජපනුන් ජපන් බසින්ද, චීනුන් චීන බසින්ද ආදී ලෙස තම තමන්ගේ බසින් කතා කළ හැකියි.

ආධුනික ගුවන් සන්නිවේදනය මූලික ආකාර 4කින් සිදු කරගත හැකිය.

1. ශබ්දයෙන් (කටහඬින්) කරන සංවාද – මෙය පොදුවේ voice communication හෙවත් phone ලෙස හැඳින්වේ. AM හා එහි අනෙක් මූර්ජන විධි (විශේෂයෙන් SSB-SC), FM යන ක්‍රමවලින් එය කළ හැකියි. AM විධිවලින් සන්නිවේදනය කිරීමට වැඩි ආශාවක් දක්වන අයව AMer (-එමර්) ලෙස හැඳින්වේ. එලෙසම අවශ්‍ය නම් FMer (එෆ්-එමර්) ලෙස වචනයක් සාදා ගත හැකියි FM ක්‍රමයට වැඩි කැමැත්තක් දක්වන අය හැඳින්වීමට.

FM ද ක්‍රම දෙකක් තිබෙනවා; එකක් වැඩි බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කරන කොලිටිය ඉතා වැඩි Wideband FM (WBFM) වන අතර, අනෙක වන්නේ අඩු බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කරන කොලිටිය අර තරම් නැති Norrowband FM (NBFM) වේ. මෙම දෙවැනි ක්‍රමය ආධුනික ගුවන් සන්නිවේදනයේදී යොදා ගැනේ. කෙසේ වෙතත් AM/SSB ට සාපෙක්ෂව මෙම FM ක්‍රම දෙකම සඳහා වැඩිපුර බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කෙරෙනවා. එනිසා සංඛ්‍යාත පරාස පටු HF ට පහල සංඛ්‍යාත පරාසයන් සාමාන්‍යයෙන් FM සඳහා යොදා ගන්නේ නැත. එය තාක්ෂණික නොහැකියාවක් නොව, ප්‍රායෝගික ගැටලුවකි. එය උදාහරණයකින්ම සොයා බලමු.

මුලු HF පරාසයේම සංඛ්‍යාත පරාසය 3000kHz – 30,000kHz වේ. මෙම පරාසයෙනුත් ඉතා කුඩා පරාස කොටස්නෙ ආධුනික ගුවන් සන්නිවේදන සඳහා ලබා දෙන්නේ (3500kHz – 3900kHz, 7000kHz – 7100kHz ආදි ලෙස). ඉතිං 15kHz ක් වැනි බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කරන (නැරෝබෑන්ඩ්) එෆ්එම් 7000kHz – 7100kHz වැනි ඉතා කුඩා පරාසයක සිදු කරන්නට ගියොත් එකවර උපරිම සංවාද (7100 – 7000)/15 = 6 ක් පමණ කළ හැකි වේවි. එහෙත් 3kHzක් වැනි බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කරන SSB සංවාද 30ක් පමණ එම පටු කලාපයේම සිදු කර ගත හැකියි නේද? (බෑන්ඩ්විත් එක 150Hz ක් වන මෝස්කෝඩ් යොදාගන්නේ නම් මෝස් සංවාද 600ක් පමණ සිදු කළ හැකියි).

එහෙත් සංඛ්‍යාත පරාස ඉතා පුලුල් VHF හා ඊට ඉහල කලාපවලට ඉහත ගැටලුව නැත. උදාහරණයක් ලෙස, VHF කලාපයෙහි පිහිටි එක් ආධුනික ගුවන් සංඛ්‍යාත බෑන්ඩ් එකක් වන 144MHz – 146MHz ගමු. එතැන සංඛ්‍යාත පරාසය මෙගාහර්ට්ස් 2ක් හෙවත් කිලෝහර්ට්ස් 2000කි. ඉතිං, එම 2000kHz පරාසය තුල NBFM සංවාද 2000/15 = 130ක් පමණ සිදු කළ හැකිය.

මෙනිසා FM සංවාද සඳහා වඩා සුදුසු වන්නේ සාමාන්‍යයෙන් VHF හා ඊට ඉහල කලාපයි. මෙවැනි අධිසංඛ්‍යාතයන් සාමාන්‍යයෙන් අයනගෝලය හරහා ස්කයි තරංග ලෙස හෝ පොලොව පෘෂ්ටය වෙලාගෙන යන ග්‍රවුන්ඩ් තරංග ලෙස ගමන් නොකර LoS ක්‍රමයටයි ප්‍රචාරණය වන්නේ (එසේ වුවත්, Es, TEP වැනි විශේෂිත අයනගෝල ප්‍රචාරණ ක්‍රමවලින් VHF අයනගෝලය හරහා ඈතට ප්‍රචාරණය වන අවස්ථා තිබෙන බව මීට පෙර පාඩම්වලදී කතා කළා). එනිසා රේඩියෝ ක්ෂිතිජයෙන් මෙම සංඥා අවසන් වේ (තමන් සිටින තැන සිට කිලෝමීටර් තිහ හතලිහක් පමණ ඈතකට FM සංඥා යැවිය හැකි වේවි).

ලෝක වටේට සංඥා ප්‍රචාරණය කරන HF පරාසය තුල ශබ්දයෙන් සන්නිවේදනය කිරීමට අවශ්‍ය නම්, SSBSC (මෙය නිකංම SSB ලෙස ලියනවා) තමයි යොදා ගන්නේ. ඉතා ඈත ප්‍රදේශ සමඟ සන්නිවේදනය කිරීම DX ලෙස කෙටියෙන් හැඳින්වෙනවා. එම අකුරු දෙකෙන් කියවෙන්නේ long distance යන්නයි. එවැනි දුරස්ථ ස්ථානයක්ද DX යන්නෙන්ම හැඳින්වෙනවා. සමහර ආධුනික ශිල්පින් වඩා රුචි කරන්නේ ඈත රටවල සිටින අය සමඟ සංවාද කිරීමටයි. එවැනි ශිල්පින්ව DXer (ඩීඑක්සර්) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් DX සිදු කරන්නේ HF පරාසය තුලයි මොකද එම සංඛ්‍යාතයන්ටනෙ අයනගෝලයේ සපෝට් එක ලැබෙන්නේ.

DX යන්නට EME ද ඇතුලත් වේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) සමඟ සංවාද කරනවා නම්, එවැනි සංවාදයක්ද DXලෙස සැලකේ. ඇත්තටම DX යන්නට සංඛ්‍යාතය අනුවද තීරණය වේ. එනම්, HF සංඛ්‍යාත සඳහා ඉන් කියන්නේ වෙනත් රටවල්ය. VHF සිට ඉහල සංඛ්‍යාතයන් සඳහා ඉන් අදහස් වන්නේ කිලෝමීටර් 100කට වැඩියෙන් ඈත තිබෙන ඕනෑම ප්‍රදේශයකි (තමන්ගේම රට තුල වුවද).

මා විසින් මීට කළින් සාදා ඉදිරිපත් කළ බෑන්ඩ්ප්ලෑන් එක (ලංකාව තුල දැනට බලාත්මක රෙගුලාසි ඇතුලත්) බැලුවොත් ඉහත කාරණා හොඳින් එහි දැකගත හැකි වේවි. එම බෑන්ඩ්ප්ලෑන් එක ඔබත් පරික්ෂා කර බලන්න. උදාහරණයක් ලෙස, ලංකාවේ MF පරාසයේ ආධුනික ගුවන් ශිල්පි බෑන්ඩ් එකක් පමණක් තිබේ - 1800kHz සිට 2000kHz දක්වා. එහි J3E එමිෂන් වර්ගය (එනම් SSB-SC) පමණයි ශබ්දය සඳහා යොදා ගත හැක්කේ. වෙනත් AM ක්‍රම හෝ FM/PM ක්‍රම භාවිතා කිරීම තහනම්ය.

2. මෝස්කෝඩ්වලින් කරන සංවාද – මෝස්කෝඩ් ඕනෑම සංඛ්‍යාත පරාසයකට ඔට්ටුයි (බෑන්ඩ්ප්ලෑන් එකේද ඒ බැව් පෙනේ). කොතරම් ඈත ප්‍රදේශයක් දක්වා එය කළ හැකිදැයි තීරණය වන්නේ එය සිදු කරන සංඛ්‍යාතය අනුවයි. HF පරාසයේදී සිදු කරන්නේ නම් DX සන්නිවේදනයකි (DXing). VHF හා ඊට ඉහල සංඛ්‍යාතයන් භාවිතා කළොත් එය රේඩියෝ ක්ෂිතිජය දක්වා පමණයි ආවරණය කරන්නේ. එහෙත් MF වැනි අඩු සංඛ්‍යාත ඔස්සේ සන්නිවේදනය කළ හැකි හොඳම විදියත් මෝස්කෝඩ්ය (හේතුව ඒ සඳහා වැය වන්නේ ඉතා කුඩා බෑන්ඩ්විත් එකක් වීමයි). ඉතිං මෙවැනි අඩු සංඛ්‍යාත තරංග පොලොව වෙලාගෙන ග්‍රවුන්ඩ් තරංග ලෙස ගමන් කරන නිසා, රේඩියෝ ක්ෂිතිජයට වඩා විශාල දුරක් ආවරණය කළ හැකියි. එවිට එයද DX සන්නිවේදනයක් විය හැකියි.

3. “ඩිජිටල් මෝඩ්” (මේ ගැන පසුවට වෙනම පාඩමක් ඇත)

4. රූප හා වීඩියෝ යැවීම – ATV, SSTV, WEFAX ආදි නම්වලින් හැඳින්වෙන මේ ගැන පසුවට වෙනම පාඩමක් ඇත.

සංවාද කිරීමේදී අනුගමනය කරන සම්ප්‍රදායවල් සංවාදයේ ස්වභාවය හා අවස්ථාව අනුව තීරණය වෙනවා. අපි ප්‍රථමයෙන්ම කටහඬින් කරන සන්නිවේදනය ගැන ඉගෙන ගෙන, දෙවනුව මෝස්කෝඩ් හා වෙනත් ක්‍රමවලට යමු. එනිසා ඒ එක් එක් අවස්ථාව වෙන වෙනම ගෙන ඉගෙන ගමු. ඊට ප්‍රථමයෙන් සියලු සංවාද තුලදී පොදුවේ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි, නීති රෙගුලාසි, සම්ප්‍රදායවල් බලමු.

පොදුවේ සැලකිලිමත් විය යුතු කරුණු

1. රේඩියෝ සන්නිවේදනයකට සවන් දීමට ඕනෑම කෙනෙකුට අවසර තිබුණත්, රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කිරීමට අනිවාර්යෙන්ම ලංකාවේ TRC (විදුලිසංදේශ නියාමන කොමිසමෙන්) එකෙන් නිසි අවසරයක් (license) ලබාගත යුතුමයි.

ආධුනික ගුවන් ශිල්පියෙකුට novice, general, advance ලෙස මට්ටම් 3කින් අවසර ලැබෙන අතර, ඒ එක් එක් මට්ටමකට හිමි වරප්‍රසාද නියම කර තිබෙනවා (මේ ගැන පෙර පාඩමකදී අප කතා කළා). තමන්ට හිමි සංඛ්‍යාත ඔස්සේ පමණක් හා ඒ එක් එක් සංඛ්‍යාත පරාසයන්ට නියම කර ඇති උපරිම ජව පරිමාවට යටත්ව අනිවාර්යෙන්ම රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කළ යුතුය.

නිසි අවසරයක් නැතිව ට්‍රාන්ස්මීටර් භාවිතා කරමින් රේඩියෝ සන්නිවේදනයේ යෙදී හසු වුවොත් එය අපරාද ගනයේ වරදක් (criminal offence) වන අතර, උසාවියකින් ඒ බැව් ඔප්පු වුවොත් ඊට දඩුවම වශයෙන් රුපියල් 10,000ට නොඅඩු 20,000ට නොවැඩි දඩයක් හෝ මාස 3කට නොඅඩු 6කට නොවැඩි සිරදඩුවමක් හෝ ඒ දෙකම ලබා දිය හැකියි.

2. තමන් සංවාද කරනවා නම් තමන්ට නීත්‍යානුකූල කෝල්සයින් එකක් (ලයිසන්ස් එකත් සමඟම මෙය ලැබේ) තිබිය යුතුය. එනම් සුදුසු විභාග සමත්ව TRC එකෙන් කෝල්සයින් එකක් ලැබෙන තුරු ට්‍රාන්ස්මීටර් භාවිතා කළ නොහැකිය. ලයිසන්ස් එක කල් ඉකුත් වී ඇත්නම්, නැවත එය අලුත් කරගන්නා තුරු සංවාද කිරීම තහනම්ය. තවද බොරු කෝල්සයින් භාවිතා කිරීමට තහනම්ය. මීට පටහැනිව ක්‍රියා කරන්නේ නම්, නැවතත් ඉහත 1 වැනි කාරණයේදී සඳහන් කළ අපරාදයට වැරදිකරු විය හැකිය.

3. කේත ක්‍රමයට සංවාද කිරීම සපුරා තහනම්ය. එනම් තමන් ලියන දේ (මෝස්වලින්) හෝ කටහඬින් කියන දේ හෝ වීඩියෝ මඟින් යවන දේ ඕනෑම කෙනෙකුට ග්‍රහණය කරගෙන සම්මත ක්‍රමවලින් කියවීමට, ඇසීමට, බැලීමට හැකි විය යුතුය (plain language). වෙනත් වචනවලින් කියතොත් ඔබ යවන සංඥා encrypt කළ නොහැකිය. ඒ කියන්නේ ආධුනික ගුවන් සන්නිවේදනය මහජන/පොදු සන්නිවේදනයකි (public communication).

එසේ වුවත්, ආධුනික සේවා සපයන චන්ද්‍රිකා හා වෙනත් උපකරණ ඈත සිට පාලනය කරන විට, එම පාලක දත්ත සහිත සංඥා එන්ක්‍රිප්ට් කළ හැකිය. නැතහොත් ඕනෑම කෙනෙකුට එම උපකරණ පාලනය කිරීමට අවස්ථාව ලැබේවි.

තවද, ඩිජිටල් ආකාර දැන් යොදා ගන්නවා ආධුනික ගුවන් සන්නිවේදනය සඳහා. මේවා සාම්ප්‍රදායිකව සැලකෙන clear දත්ත නොවේ. යම්කිසි ඩිජිටල් සම්මතකයකට අනුව කේතීකරණය කරපු දත්තයි. එනිසා එක්තරා විදියකට එයත් එන්ක්‍රිප්ට් කරපු දත්ත වැනිමයි මොකද මෙම එන්කෝඩිං ක්‍රමය නොදත් විට එම දත්ත කියවීමට නොහැකි වේ. එහෙත් මෙවැනි ඩිජිටල් ආකාරවලට භාවිතා කරන්නේ කවුරුත් දන්නා සම්මත එන්කෝඩිං ක්‍රමයක් නම්, එය එන්ක්‍රිප්ට් කිරීමකට සමාන නොවේ; ක්ලියර් දත්ත සම්ප්‍රේෂනයක් ලෙසම සැලකේ.

4. මෝස්කෝඩ් යැවීමේදී අවශ්‍ය නම් සම්මත Q code භාවිතා කළ හැකිය. ඊට අමතරව පොදුවේ කවුරුත් දන්නා කෙටි වදන් (abbreviations) භාවිතා කළද හැකිය. කිවු කෝඩ් හා කෙටි වදන් ගැන මීට පෙර අප ඉගෙන ගත්තා.

5. තමන් කරන සෑම සංවාදයක්ම එකින් එක ලේඛනගත කළ (log) යුතුය. සංවාදය කරපු දවස හා වෙලාව, ඒ සඳහා යොදාගත් එමිෂන් වර්ගය, සංවාදය කළ අනෙක් පුද්ගලයාගේ කෝල්සයින් එක ආදී සුලු විස්තර ටිකක් එහි ඇත. මේ ගැන පසුවට වෙනමම ඉගෙන ගමු.

6. තමන් සංවාදයක් කිරීමට යන විට, ට්‍රාන්ස්මීටරය ඔන් කර, තමන්ට කැමැති බෑන්ඩ් එකක් ටියුන් කර, එකපාරටම මොනවා හෝ කියාගෙන හෝ ලියාගෙන යන්නේ නැත. යම් බෑන්ඩ් එකක් ටියුන් කර තත්පර කිහිපයක් ඊට ඇහුම්කන් දිය යුතුයි කිසිත් නොකියා. එම බෑන්ඩ් එක නිශ්ශබ්ද (clear) නම් තව මොහොතකින් පෙන්වා දෙන ආකාරයට ඔබට අවශ්‍ය දේ කිව හෝ ලිවිය හැකිය.

7. ඔබ කියන හෝ ලියන හෝ යවන පනිවුඩ සියල්ල හැකිතරම් ඔබේ විය යුතුය. එක් පැත්තකින් බුද්ධිමය දේපල නීතිය මෙහි ක්‍රියාත්මක වේ (රටේ පොදු නීති රීති සියල්ල ඇත්තෙන්ම ක්‍රියාත්මක වේ). බුද්ධිමය දේපල නීතිය යටතේ වුවද සාධාරණ පදනම් යටතේ ප්‍රතිපාදන තිබෙනවා අනුන්ගේ දෙයක් වුවද මුල් කර්තෘගෙන් පූර්ව අවසරයකින් තොරව භාවිතා කිරීමට (යම් පොතකින් අවශ්‍ය ඡේදයක් හෝ කවි පංතියකින් කවියක් දෙකක් උපුටා දක්වන්නට ආදිය).

8. යම් යම් අයට අපහස සිදු කිරීම, බොරු ප්‍රචාර කිරීම, රටක ආර්ථික, දේශපාලන, සාමාජික සුභසිද්ධිය පළුඳු කරන තොරතුරු යැවිය නොහැකිය. කුනුහරුප කීම තහනම්. හැකි පමණ, ග්‍රාම්‍ය වචන භාවිතා කිරීමද අවම කළ යුතුය.

9. ඇත්තෙන්ම විවිධාකාරයේ අය සිටිය හැකි බැවින් සංවාද කිරීමේදී සුහදශීලිත්වය ආරක්ෂා කිරීම පිනිස වාද විවාද ඇති විය හැකි කරුණු කතා නොකර සිටීම සම්ප්‍රදායකි. එනිසා, දේශපාලනය, ආගමික සංවාද හැකි තරම් අවම කළ යුතුය (එය තරමක් අපහසු කරුණක් විය හැකියි බොහෝ දෙනෙකුට). එනිසා යම් විනයක් අවශ්‍ය වන බව පේනවා.

10. තෙවන පාර්ශව තොරතුරු (third-party messages) යැවිය නොහැකිය. ඒ කියන්නේ ඔබට බැහැ වෙනත් සාමාන්‍ය කෙනෙකුගේ පනිවුඩයක් ආධුනික ශිල්පි රේඩියො තරංග ඔස්සේ තවත් අයට යවන්නට. මෙමඟින් වෙළඳ දැන්වීම් යැවීමට ඇති හැකියාව සපුරා අහුරා තිබේ (එනිසා වෙළඳ දැන්වීම් ආධුනික ශිල්පි සන්නිවේදනය තුල වාසනාවකට මෙන් නැත).

මෙමඟින් කූට ලෙස (මුදලට) සන්නිවේදන පහසුකම් සපයන සේවා ඇතිවීම වලක්වා ඇත (සාමාන්‍ය අයගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා රැහැන් හා සෙල්‍යලර් දුරකතන පහසුකම් තිබෙනවානෙ). අනවසර සන්නිවේදන සේවාවක් පවත්වාගෙන ගියොත් එය අපරාද ගණයේ වරදක් වන අතර, ඊට දඩුවම වන්නේ රුපියල් 10,000ට නොවැඩි දඩයක් හෝ එය නොගෙවන්නේ නම් මාස 3කට නොවැඩි සිරදඩුවමකි. තවද, එම අනවසර සන්නිවේදන සේවාව සඳහා යොදාගත් සන්නිවේදන උපකරණ රාජසන්තක වේ.

ඔබට හැකියි ලයිසන්ස් නැති තෙවන පාර්ශ්වයකට (unlicensed operators) ඔබේ උපකරණ හරහා සංවාද කිරීමට අවස්ථාව ලබා දෙන්නට. එහිදී ඔබේ ඉදිරිපිට ඔහු එහි නියැලිය යුතුය. මේ විදියට ආධුනික ගුවන් ශිල්පින්ගේ දරුවන්, නෑයන්, මිතරුන් ආදිය සංවාද කරනවා. තවද, ප්‍රදර්ශන ආදීයේදී ආධුනික ගුවන් ශිල්පි ප්‍රදර්ශන කුටිවලත් මෙය සිදු වෙනවා; එනම් එය නැරඹීමට එන අයට සංවාද කිරීමට අවස්ථාව ලබා දෙනවා.

තවද, ඇමරිකාව වැනි රටවලදී තෙවන පාර්ශව පනිවුඩ යැවිය හැකියි එක් කොන්දේසියක් මත. එනම්, එම පනිවුඩයෙන් ආර්ථික/මූල්‍යමය වාසියක් ඔහුට ලැබෙන්නේ නැති නම් හෝ පෞද්ගලික පනිවුඩයක් නොවන්නේ නම්. උදාහරණයක් ලෙස, ප්‍රදේශයේ ප්‍රාදේශික රෝහලෙන් යම් සෞඛ්‍ය නිවේදනයක් අවශ්‍ය නම් මේ ආකාරයෙන් විසුරුවා හැරිය හැකියි.

11. තමන්ගේ රටේ පවතින නීතිය විසින් යම් යම් අය සමඟ සන්නිවේදනය කිරීම තහනම් කර ඇත්නම්, එවැනි අය සමඟ සංවාද නොකළ යුතුය. බොහෝවිට මෙලෙස තහනම් කර සිටින පිරිස්/කණ්ඩායම් මෙන්ම සම්පූර්ණයෙන්ම රටවල්ද තිබිය හැකියි. එවිට එවැනි තහනම් රටක සිට සම්බන්දවන ඕනෑම කෙනෙකු සමඟ සංවාද නොකළ යුතුය.

12. සංවාද කරන විට ඕපදූප කතා කිරීම ඉබේම වන්නක්නෙ. ඉතිං අහවල්ලු අහවල් දේවල් කිව්වා ආදී ලෙස සංවාද සිදු වේවි වෙනත් අය කියපු දේවල් ගැන. මෙහිදී වෙනත් අය ප්‍රසිද්ධියේ කියපු දේවල් පමණි සන්නිවේදනය කළ හැක්කේ. යම් කෙනෙකු ඔබට රහසින් කී දෙයක් හෝ ඔහු පෞද්ගලිකව කියූ දෙයක් (ඒ කී දේ ප්‍රසිද්ධ වෙනවාට අකමැතිව) නම්, ඔබට ඒ දේ ආධුනික ගුවන් සංවාද තුල වෙනත් අයට කිව නොහැකිය.

13. සංගීත/ගීත/ගායනා/වාදන ආදිය යැවීම තහනම්ය. එනිසා ඔබට ආධුනික ගුවන් සංවාදයක් අර දුරකතනවල සිදු කරනවා සේ මියුසික් එකක් ඇසෙන්නට සලස්වා hold කර තැබිය නොහැකිය. එහෙත් සමහර විශේෂ අවස්ථාවලදී තත්පර තුන හතරක සංගීත කණ්ඩයක් යැවීම ගැටලුවක් නොවේ (අර ප්‍රවෘත්ති පටන් ගන්නා විට කුඩා කාලයක් යම් සංගීතයක් ඇසෙන්නට සලස්වනවා මෙන්).

ඇන්ටනා, ට්‍රාන්ස්මීටර් ආදිය චෙක් කරන විට, කැලිබ්‍රේට් කරන විට, සමහර අවස්ථාවලදී කුඩා නාද (tones) යැවීමට සිදු වේ. එයද සංගීතයක් ලෙස සැලකිය හැකි තත්වයක් පවතී. එනිසා, මෙවැනි අවස්ථාවල ටෝන් යවන විට, එය උපරිමව විනාඩි 2ක් දක්වා පමණි යැවිය හැක්කේ.

14. කිසිදු බුද්ධි සංඥාවක් නැතිව නිකංම මූර්ජනය නොකළ වාහක තරංගය පමණක් යැවීම තහනම්ය. එහෙත් ඇන්ටනා හා ට්‍රාන්ස්මීටර් චෙක් කිරීමේදී ආදි කටයුතුවලදී ඉතා කෙටි කාලයක් සඳහා පමණක් එය කළ හැකිය. එහෙත් මෙවැනි අවස්ථාවලදී වුවද, හැකි නම් dummy load (terminating resistor) එකක් භාවිතා කිරීම වඩා උචිතය (මෙවිට රේඩියෝ තරංග ඇත්තටම අවට පරිසරයට මුදා නොහැරේ).

15. ආධුනික ගුවන් විදුලි උපකරණ (ට්‍රාන්ස්මීටර්) සෙල්‍යුලර් හෝ රැහැන් දුරකතන වැනි වෙනත් සන්නිවේදන උපකරණවලට සම්බන්ද කිරීම තහනම්ය - මෙම සම්බන්දය විදුලිමය සම්බන්දයක් (electronically coupled) හෝ ශබ්දමය සම්බන්දයක් (acoustically coupled) හෝ ලෙස සිදු කළ නොහැකිය. විදුලිමය වශයෙන් බැහැ කියන්නේ ටෙලිෆෝන් වැනි පද්ධතියකට විදුලි වයර් මඟින් ආධුනික සන්නිවේදන උපකරණ සවි කිරීමයි. ශබ්දමය වශයෙන් බැහැ කියන්නේ අප කතා කරන ටෙලිෆෝන් එකේ මයික් කොටසට (mouthpiece) ආධුනික ගුවන් විදුලි උපකරණයක ස්පීකරයක් ළං කර ඉන් නිකුත් වන ශබ්දය මයික් එකට ශබ්ද තරංග වශයෙන් ඇතුලු වීමට සැලැස්වීම වැනි අවස්ථාය.

මෙම තත්වය මීට පෙර කාරණා අංක 10 යටතේ කතා කළ අනවසර සන්නිවේදන සේවා සැපයීමක් ලෙස සලකා අපරාධ ගනයේ වරදකට වරදකරු විය හැකිය.

ඇත්තටම මෙහි යම් පරස්පර තත්වයන් පවතී (ලංකාවේ නීති යල්පැන ගිය තත්වයකයි පවතින්නේ). අන්තර්ජාලය නිසා අද සන්නිවේදන (communication) සේවා හා දත්ත සැකසීම් (data processing) සේවා එකිනෙකට වෙන් කර හඳුනාගැනීමේ අපහසුතාවක් ඇත (එනිසානෙ මේ දෙකම එකට එකතු කර Information and Communication Technology – ICT යනුවෙන් තනි ක්ෂේත්‍රයක් ලෙස එය හඳුන්වන්නෙත්). පරිගනක හා ආධුනික ගුවන් විදුලි උපකරණ සම්බන්ද කිරීමට ගැටලුවක් නැත. ඉතිං එම පරිගනකය අන්තර්ජාලයට සම්බන්ද නම් ඒ හරහා ඊමේල් හෝ voip ක්‍රමයට සන්නිවේදනය කිරීමේ හැකියාව තිබෙන නිසා මෙම නීතියට අනුව එය අපරාද ගණයේ වරදක් වේ.

එහෙත් ඇමරිකාව වැනි රටවල මෙවැනි දැඩි නීතියක් නැත. ඔවුන් සමහර අවස්ථාවලදී පොදු දුරකතන සේවා හා ආධුනික ගුවන් සේවා එකට එකතු කර තිබෙනවා (එනම්, ආධුනික ගුවන් විදුලි උපකරණයකින් කෙලින්ම සාමාන්‍ය ටෙලිෆෝන් අංකයක් ඩයල් කර කෝල් ගත හැකියි). මෙය autopatch ලෙස හැඳින්වෙන බව මීට පෙර අප ඉගෙන ගත්තා.

16. බොරු/සාවද්‍ය distress/emergency signal යැවීම තහනම්ය. ඇත්තෙන්ම ලංකාවේ රෙගුලාසි අනුව ආධුනික ගුවන් ශිල්පින්ට distress signal යැවීමට අවසරද නැත. මෙය එතරම් සාධාරණ රෙගුලාසියක් නොවේ. එහෙත් ඇමරිකාව වැනි රටවල ඊට අවසර ඇත.

17. ඕනෑම සංවාදයක් තමන් අරඹන විට, පැහැදිලිව තමන්ගේ කෝල්සයින් එක පැවසිය/ලිවිය යුතුය. තවද, එක් වරක් තමන්ගේ කෝල්සයින් එක කියා/ලියා විනාඩි 5ක් ඉකුත් වීමට පෙර නැවත තමන්ගේ කෝල්සයින් එක කිව යුතුය. එනම්, දළ වශයෙන් තමන් සංවාදයේ සිටින කාල සීමාව තුල අඩුමගානේ සෑම විනාඩි 5කට සැරයක් කෝල්සයින් එක කිව/ලිව යුතුය. මීට හේතුව යම් සංඛ්‍යාතයක යමෙකු සංවාද කරමින් සිටින විට, අනිත් අය දැනගත යුතුයි මේ සිටින්නේ කවුද කියා.

මෙම තත්වය ආධුනික ගුවන් ශිල්පයෙහි පමණක් නොව, සෑම පොදු සන්නිවේදන පද්ධතියකම තිබේ. ඔබ එෆ්එම් රේඩියෝ චැනලයක් අසාගෙන සිටින විට, වරින් වර නිවේදයකන් මේ අහවල් රේඩියෝ සේවය යැයි පවසන්නේ මෙම නීතිය නිසාය. ටීවි එකකදී වරින් වර අහවල් චැනලය යැයි පෙන්වන්නේද, ඊටත් අමතරව තිරයේ උඩු කෙලවරක කුඩාවට ටීවි චැනලයේ නම/සංඛේතය පෙන්වන්නේද මෙම නීතිය නිසාය.

මෙම නීතිය වලංගු නැහැ සෙල්‍යුලර් හෝ එවැනි සන්නිවේදන පද්ධතිවල (ඔබ අනෙකාට විනාඩි 5කට සැරයක් මම අහවලා යැයි කිය කිය ඉන්නේ නැහැනෙ). ඊට හේතුව මෙම සන්නිවේදන පද්ධති පෞද්ගලික සන්නිවේදනයන් සඳහා යොදා ගන්නා නිසාය (එවිට සන්නිවේදනය කරන දෙපාර්ශවයේ වගකීමක් වෙනවා තමන් කතා කරන්නේ කාටද කියා දැන තහවුරු කර ගෙන සන්නිවේදනය කිරීමට).

ඒකනෙ නොදන්නා අංකයකින් හෝ නොදන්නා කටහඬකින් අපට කතා කරන විට “ඔය කතා කරන්නේ කවුද” කියා අසන්නේ. යමෙකු ටෙලිෆෝනයකින් කතා කරන විට, තමන් අහවලා යැයි නිවැරදිව හඳුන්වා දීම අනිවාර්යයි. දන්න කෙනෙකුට හෝ නොදන්නා කෙනෙකුට වුවද ඔබ කෝල් එකක් ගන්නා විට පළමුව හෙලෝ කියා දෙවනුව තමන් අහවලා යැයි කියන පුරුද්ද ඔබ ඇති කර ගන්න (එම පුරුද්ද ලංකාවේ එවුන්ගේ ඇත්තේම නැති තරම්ය).

එසේ අසන විට තමන් කවුදැයි කියන්නේ නැතිනම් වඩා සුදුසු වන්නේ කෝල් එක ඩිස්කනෙක්ට් කිරීමයි (බොරුවට ඌට බැන බැන ඒකේම එල්ලීගෙන ඉන්නෙ නැතිව). නැවත නැවත එවැනි කෝල් එනවා නම් ඒවා “කරදරකාරී කෝල්” (nuisance call) ගනයට වැටෙන අතර, අදාල දුරකතන සමාගමට ඒ ගැන පැමිනිලි කළ හැකිය. නියුසන්ස් කෝල් සිදු කර, ඊට වරදකරු වුවොත් රුපියල් 5000කට නොවැඩි දඩයක්ද, එය නොගෙවන්නේ නම් මාස 3කට නොවැඩි සිරදඩුවමකටද යටත් විය හැකිය.

18. ඔබ කතා කරන අනෙක් කෙනාට කෝල්සයින් එකක් නැතිනම් හෝ තිබෙන කෝල්සයින් එක බොරු එකක් යැයි ඔබ හරියටම දන්නවා නම්, ඔහු pirate කෙනෙකු ලෙස හැඳින්වෙන අතර, එවැනි අයෙකු සමඟ සංවාද කිරීම තහනම්ය. හැකිනම් ඔහු සිටින තැන නිර්ණය කර (හෝ නොකර) ඔහු ගැන පැමිනිලි කළ හැකිය.

19. තමන්ගේ නිවසේ හෝ අසල්වැසියන්ගේ නිවසේ විදුලි/ඉලෙක්ට්‍රෝනික් උපකරණවලට ඔබේ ට්‍රාන්ස්මීටරයෙන් බාධා/ඉන්ටර්ෆරන්ස් ඇති නොවන ලෙස පවත්වාගෙන යෑම ඔබේ වගකීමකි. හැකිතරම් අවම වොට් ප්‍රමාණයක් භාවිතා කිරීම වඩා සුදුසුයි (ඉන්ටර්ෆරන්ස් අඩු කිරීමටත් ගෙදර විදුලි බිල අඩු කිරීමටත් රේඩියෝ විකිරණයෙන් ආරක්ෂා වීමටත් ඉන් හැකි වේ). මේ ගැනත් වැඩිදුර විස්තර පසුවට ඇත.

20. යම් එමිෂන් එකක් සඳහා නිර්දේශිත බෑන්ඩ්විත් එක (හෝ හැකිනම් ඊටත් අඩුවෙන්) තුල තමන්ගේ සන්නිවේදනය සඳහා සංඛ්‍යාත පරාසය පවත්වා ගෙන යෑමට අවශ්‍ය වේ. බොහෝවිට ජවය වැඩි කරන විට බෑන්ඩ්විත් එකත් වැඩිවෙන්නට බලනවා (එය වැලැක්වීමට හැකියි).

මෙම තත්වය තිබෙනවා (තිබුණා) ලංකාවේ fm රේඩියෝ චැනල්වල. රේඩියෝ චැනල් ගණන වැඩි වන විට එක් චැනලයක බෑන්ඩ්විත් එක අවසන් වන තැනට ආසන්න පරාසයක් තවත් චැනලයකට ලබා දෙන්නට සිදු වෙනවා (එනම් චැනල් සංඛ්‍යාත පරාස ළඟින් ළඟින් පිහිටනවා). ඉතිං, යම් නොසැලකිලිමත්/අදක්ෂ රේඩියෝ සේවාවක් ජවය වැඩියෙන් විසුරුවා හරින විට ඊට ආසන්නයේ තිබෙන සැලකලිමත් නීතිගරුක රේඩියෝ සේවාවට ඉන් බාධා ඇති වෙනවා.

මීට හොඳ පිලියමක් TRC එකෙන් හඳුන්වා දුන්නා. එනම්, යම් චැනලයකට පවරා දෙන සංඛ්‍යාත දෙක (හෝ කිහිපය) එකම ළඟින් (අනුයාතව - consecutively) ලබා දීමයි. සාමාන්‍යයෙන් එක් සේවයකට සංඛ්‍යාත දෙකක්වත් අවම වශයෙන් ලබා දිය යුතුයි; එකක් මුලු රටම ආවරණය කරන මූලික සංඛ්‍යාතය වන අතර, යම් යම් ප්‍රදේශවලට එම තරංග හසු නොවන විට, එම ප්‍රදේශ ආවරණය කරන්නට තවත් සංඛ්‍යාතයක් අවශ්‍ය වෙනවා. දැන් තමන්ගේ එක් ට්‍රාන්ස්මීටරයකින් ඊට නියමිත බෑන්ඩ්විත් එක ඉක්මවා තරංග යැවේ නම්, ඉන් බාධා එල්ලවන්නේ තමන්ගේම අනෙක් සංඛ්‍යාතයට වේ. එනිසා එය නිවැරදි කිරීමට ඔවුන් වහා පියවර ගන්නවා.

21. ITU ආයතනය නිර්දේශ කරනවා ඔබ භාවිතා කරන රිසීවර්, ට්‍රාන්ස්මිටර්, ඇන්ටනා, මිනුම් උපකරණ ආදිය හැකිතරම් නවීන වීම සුදුසුයි කියා. මීට හේතුව නවීන උපකරණවල කාර්යක්ෂමතාව වැඩිය. භාහිර ඝෝෂාවන්ට/ඉන්ටර්ෆරන්ස් වලට හොඳින් ඔරොත්තු දේ. ට්‍රාන්ස්මීටර්වල ස්ථායිතාව (frequency tolerance) හා උෂ්ණත්වයට ඇති සංවේදිතාව අඩුය. ඩිජිටල් තාක්ෂණය (DSP) බහුලව යොදා ගැනේ. ආරක්ෂාව වැඩිය.

එහෙත් ඉන් අදහස් වෙන්නේ නැහැ පැරණි උපකරණ හෝ ඔබ විසින්ම සාදා ගන්නා උපකරණ යොදා ගන්නට එපා කියා. එය ඔබේ “ටේස්ට් එකයි”.

22. රේඩියෝ විකිරණය, විදුලිය, රේඩියෝ තාක්ෂණය, ආරක්ෂාව ආදිය ගැන මනා දැනුමකින්ද හොඳ සාමාන්‍ය දැනීමකින්ද වැඩ කළ යුතුය. තමන්ගෙත් අනුන්ගේත් ජීවිත අවදානමට ලක් විය හැකියි නොදැනුවත්කමින් හෝ නොසැලකිලිමත්කමින් වැඩ කළ විට.

23. ආධුනික ශිල්පී සංඛ්‍යාතයන් ඔස්සේ broadcasting කළ නොහැකිය (ඒ සඳහානෙ රේඩියෝ හා ටීවී සේවා තිබෙන්නේ). එනම් ඔබට බැහැ අනෙක් අයට පොදුවේ අසා ගෙන සිටිය හැකි විදියේ තොරතුරු යවන්න. ඒ කියන්නේ නිවුස් ප්‍රචාරය හෝ විනෝදාස්වාදය සැපයීම කළ නොහැකියි (ඔබ කතා කරමින් සිටින අතරතුර පසුබිමින් එන සංගීතයක් ඊට ඔබේ මයික් එක හරහා අනෙක් අයට සම්ප්‍රේෂනය වේ නම්, වහම එම සංගීතය නවතා දැමිය යුතුයි නැතිනම් ට්‍රාන්ස්මීටරය ඕෆ් කර සංවාදය නවතා දැමිය යුතුයි).

එලෙසම මෙම ආධුනික ගුවන් සංඛ්‍යාත ඔස්සේ ඔබට බැහැ පත්තරයට, රේඩියෝ හෝ ටීවී සේවාවකට, හෝ පුවත් එකතු කරන සේවාවකට (රොයිටර් වැනි) අවශ්‍ය පුවත් එකතු කරන්නත් (ඒ සඳහා ඔබට ඊමේල්, දුරකතන සේවා තිබෙනවා).

25. අවශ්‍ය නම් ඔබට හැකියි දිගු කාලයක් කෙනෙකු සමඟ සංවාදයේ නියැලී සිටීමට. එසේ වුවත්, අනෙක් අයටත් එම සංඛ්‍යාතය භාවිතා කිරීමට අවස්ථාව දීම සඳහා අවම වශයෙන් සෑම විනාඩි 10කට සැරයක්වත් ටික වේලාවක් නිශ්ශබ්ද වී සිටිය යුතුය. විශේෂයෙන් රිපීටර් භාවිතා කරන විට මෙය වැදගත් වේ (රිපීටර් ගැන විස්තර පසුවට ඇත).

සාමාන්‍යයෙන් දැනට සංවාදයක් සිදු වෙමින් යන විට අනෙක් අය ඊට බාධා එල්ල කරන්නේ නැත. එක්කෝ එය ඉවර වෙනකල් බලා සිටී. නැතිනම් වෙනත් සංඛ්‍යාතයකට ටියුන් කරාවි. ඊටත් අමතරව, සමහර විට දැනට සිදුවන සංවාදයකට හවුල්වීමට ආශාවෙන් සිටීවි. ඉතිං මෙවැනි ඉඩක් ලබා දුන් විට, අනෙක් අයට අවස්ථාවක් ලැබෙනවා එම සංවාදයට එක් වීමටත්.

26. අවසරයක් නැතිව රේඩියෝ තරංග සම්ප්‍රේෂනය කළ හැකි කිසිදු සන්නිවේදන උපකරණයක් වෙනත් රටකින් ආනයනය කිරීම හෝ අපනයනය කිරීම, වෙළඳපොලේ හෝ පෞද්ගලික මට්ටමින් විකිනීම හෝ මිලදී ගැනීම, ඒවා විකිනීමට පහසුකම් සැලසීම, නීත්‍යානුකූලව එවැන්නක් හිමි හෝ නොහිමි පුද්ගලයකුගෙන් තවත් කෙනෙකුට පැවරීම (නොමිලේ වුවද), හෝ එවැනි උපකරණ භාවිතා කිරීම අපරාද ගනයේ වැරැද්දකි. එම වරද ඔප්පු වුවොත් රුපියල් 10,000ට නොවැඩි දඩයක් හෝ එය නොගෙවන්නේ නම් මාස 3කට නොවැඩි සිර දඩුවමකට යටත් වේ.

එහෙත් ඔබ සතුව ආධුනික ගුවන් ශිල්පි බලපත්‍රයක් තිබේ නම්, සම්ප්‍රේෂක යන්ත්‍රයක් ආනයනය කිරීම, මිලදී ගැනීම, තමන් සතුව තිබෙන එකක් බලපත්‍රයක් තිබෙන තවත් කෙනෙකුට පැවරීමට හෝ විකිනීමට අවසරය ඇත. තවද, තමන්ගේම ට්‍රාන්ස්මීටර් සෑදීමටද හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් රිසීවර්, ඇන්ටනා, රේඩියෝ සංඛ්‍යාත වර්ධක ආදී රේඩියෝ තරංග නිපදවන්නේ නැති උපාංගවලට මෙහි පැවසූ දේ බලනොපායි.

තවද, යමෙකු සතුව මෙවැනි අනවසර සම්ප්‍රේෂක උපකරණ ඇතැයි පොලිසියට හෝ TRC එකට පැමිනිල්ලක් ලැබුණොත්, මහෙස්ත්‍රාත්වරයකුගෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් (search warrant) ලබා ගෙන අදාල නිලධාරින්ට එම ස්ථානය සෝදිසි කළ හැකියි. එවිට එම භාණ්ඩ රාජසන්තක වන අතර, ඉහත පැවසූ ආකාරයේ දඩුවමකටද ලක් වේ.

27. ආධුනික ගුවන් ශිල්පියෙකු තමන්ගේ ආධුනික ගුවන් සන්නිවේදන උපකරණ තබාගෙන සාමාන්‍යයෙන් සන්නිවේදනයේ යෙදෙන තැන shack කියා හැඳින්වෙනවා. එම ස්ථානයේ අක්ෂාංශක දේශාංශකත්, මුහුදු මට්ටමේ සිට ඇති උසත් (Above Sea Level – ASL හෙවත් Above Mean Sea Level – AMSL), GMTට සාපේක්ෂව ටයිම් සෝන් එකත්, ග්‍රිඩ් පිහිටීමත් (QTH) සොයා දැනගත යුතුය.

සටහන
Time Zones හා Standard Time
ලෝකයේ රටවල්/ප්‍රදේශවලට ඉර මුදුන් වන්නේ එක එක වෙලාවටනෙ (පොලාව කරකැවෙන නිසා). ඒ කියන්නේ එක එක රටවල එකම මොහොතේ දවල් රෑ වෙන්නේ වෙනස් වෙලාවටයි; ලෝකයේ රටවල්වල වෙලාව එකිනෙකට වෙනස්. උදාහරණයක් ලෙස, එංගලන්තයට දවල් 12 වන විට, ලංකාවට හැන්දෑ 5.30 වේ. රට රටවල් අතර පවතින මෙම කාල වෙනසද දේශාංශක ඇසුරින්ම දැක්විය හැකියි. ඊට හේතුව දේශාංශක පවතිනේ සිරස්ව ලෝකය වටේටම නිසා, එක දේශාංශකයක් ඉහලින් සූර්යා සිටින විට, අනෙක් දේශාංශකවලට එක්කෝ සූර්යා පායා බැස ගොස්ය; නැතහොත් ඉදිරියේදී සූර්යා මුදුන් වීමට නියමිතය. යම් දේශාංශකයක් දිගේ ඉහලට හා පහලට තිබෙන සියලු ප්‍රදේශවලට පවතින්නේ එකම කාලයයි (එනම් අක්ෂාංශක ඔස්සේ කාලය වෙනස් නොවේ). එනිසා ලංකාවේ වෙලාව හා ඉන්දියාවේ තමිල්නාඩුව (හා ඒ දිගට උඩට ඇති සියලු ප්‍රදේශවල) වෙලාව සමාන වේ.

සම්පූර්ණ පොලොව වටේම සූර්යා ගමන් කිරීමට එක් දවසක් හෙවත් පැය 24ක් හෙවත් තත්පර 86400ක් ගත වේ. එම අගය 360න් බෙදූ විට ලැබෙන්නේ දේශාංශකයක සිට ඊළඟ දේශාංශකයකට සූර්යාට යෑමට ගත වන කාලය හෙවත් දේශාංශක දෙකක් අතර කාල වෙනසයි (time difference). එය මිනිත්තු 4කි.

ඒ අනුව ලංකාවේ වම් බටහිර කෙලවර සිට දකුණු බටහිර කෙලවර දක්වා ඇත්තටම මිනිත්තු 8ක කාල වෙනසක් තිබේ. ඒ කියන්නේ නැගෙනහිර පලාතේ වෙලාව උදේ 10.12 නම්, එම මොහොතේ කොළඹ නගරයේ වෙලාව උදේ 10.20 පමණ විය යුතුය. එහෙත් රටවල් එලෙස සත්‍ය වෙලාවම එදිනෙදා වැඩකටයුතු සඳහා යොදා ගන්නේ නැත (විශේෂයෙන් කුඩා රටවල්). ඒ වෙනුවට මුලු රටටම පොදු එක් “ප්‍රායෝගික” වෙලාවක් පමණක් තෝරා ගන්නවා. මෙම තනි පොදු කාලය එම රටෙහි සම්මත කාලය (standard time) ලෙස හැඳින්වෙනවා. දේශාංශක කුඩා ප්‍රමාණයක් පැතිරී තිබෙන ලංකාව වැනි රටවල්වල ඒ අනුව තිබෙන්නේ එක සම්මත කාලයකි. රටේ නැගෙනහිර හා බටහිර දෙකෙලවර අතර කාල වෙනස විනාඩි කිහිපයක් නිසා එය ප්‍රායෝගික ගැටලු ඇති නොකරයි.

එහෙත් ඇමරිකාව, රුසියාව, කැනඩාව වැනි දේශාංශක විශාල ගණනක් පුරා පැතිර තිබෙන රටවලට එක තනි සම්මත කාලයක් ප්‍රායෝගිකව යොදා ගත නොහැකිය. එක් සම්මත කාලයක් මෙවැනි රටකට හඳුන්වා දුන්නොත්, එම රටෙහි බටහිර හා නැගෙනහිර දෙකෙළවර අතර කාල වෙනස පැය කිහිපයක් විය හැකි බැවින්, උදාහරණයක් වශයෙන් ඔරලෝසුවේ 4 පෙන්වන විට, එක් පෙදෙසක සැන්දෑවද තවත් පෙදෙසක රාත්‍රීද වී තිබේවි. එනිසා මෙවැනි රටවලට සම්මත කාලයන් දෙකක් හෝ කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

තවද, ඉහත පෙන්වාදුන් ලෙසට දේශාංශක හා කාලය අතර තිබෙන සබඳතාව පාවිච්චි කරනවා ලෝකයේ විවිධ රටවල/ප්‍රදේශවල කාලය යම් සම්මත ආකාරයකින් ප්‍රකාශ කිරීමට. එහිදී ග්‍රිනිච් රේඛාවේ තිබෙන කාලයට සාපේක්ෂවයි එක් එක් රටවල සම්මත කාලයන් සාදා තිබෙන්නේ. එය උදාහරණයකින් බලමු. ලංකාව පිහිටා තිබෙන්නේ ග්‍රිනිච් රෙඛාවට නැගෙනහිරින් අංශක 80ක් (දේශාංශක 80ක්) වන්නටයි. එක් දේශාංශකයකට විනාඩි 4 බැඟින් දේශාංශක 80කට පැය 5කුත් විනාඩි 33ක් පමණ වේ. ග්‍රිනිච් රේඛාවෙන් නැගෙනහිරට නිසා, යම් වෙලාවක පවතින ග්‍රිනිච් වෙලාවට පැය 5 විනාඩි 33 එකතු කළ යුතුය. මේ වෙලාවේ ග්‍රිනිච් වෙලාව උදේ 10 නම්, එම මොහොතේ ලංකාවේ වෙලාව සැන්දෑ 3 විනාඩි 33ක් වේ. මේ ලෙස ලෝකයේ ඕනෑම රටක සම්මත කාලය ග්‍රිනිච් කාලයට සාපේක්ෂව පැවසිය හැකිය.

එක් එක් රටවලට ග්‍රින්ච් කාලයට සාපේක්ෂව විවිධ පැය හා විනාඩි ගණන් ලැබිය හැකිය. එහෙත් ප්‍රායෝගික වාසි නිසා, සෑම රටක්ම පාහේ “රවුම් කරපු” කාල වෙනසකුයි භාවිතා කරන්නේ. ඒ අනුව ආසන්නතම පැය භාගයට එම කාල වෙනස සන්නිකර්ෂනය කරයි (රවුම් කරයි). එනිසා, ලංකාවේ වෙලාව ග්‍රිනිච් වෙලාවට සාපේක්ෂව පැය 5යි විනාඩි 30ක් ලෙස සකස් කර ගනී. යම් රටක් ග්‍රිනිච් වෙලාවට වඩා පැය 2 විනිඩි 47ක් වෙනසක් තිබේ නම්, එය පැය 3ක් ලෙස සලකාවි.

ඕනෑම මොහොතක ග්‍රිනිච් රේඛාවේ වෙලාව (ග්‍රිනිච් කාලය) Greenwich Mean Time (GMT) ලෙස සංඛේතවත් කෙරේ. එම රේඛාවට නැගෙනහිරින් තිබෙන ප්‍රදේශවල ඉහත ආකාරයෙන් සන්නිකර්ෂනය කරපු කාල වෙනසවල් + සහිතවද, එම රේඛාවට බටහිරින් තිබෙන ප්‍රදේශවල කාල වෙනසවල් - ලකුණ සහිතවද සටහන් කෙරේ. මෙලෙස සාදා ගන්නා සම්මත වෙලාවල් time zone ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, ලංකාවේ සම්මත කාලය GMT+5.30 ලෙස සටහන් කරනවා. එය ශ්‍රී ලංකාවේ සම්මත කාලය (Sri Lanka Standard Time – SLST) දක්වන නිවැරදිම ක්‍රමයයි. සමහරවිට GMT වෙනුවට UTC (Universal Coordinated Time) යන්නද ලියනවා; UTC+5.30. එදිනෙදා ව්‍යවහාරයේදී UTC හා GMT සමාන යැයි සැලකුවත් GMT යනු ටයිම් සෝන් එකක් වන අතර, UTC යනු ටයිම් සෝන් සකස් කර ගන්නා කාල සම්මතයකි.


එලෙසම කියුබාවේ සම්මත කාලය (Cuba Standard Time – CST) GMT-5.00 වේ. ඒ කියන්නේ ග්‍රිනිච් වේලාවට වඩා පැය 5ක් පිටුපසින් කියුබාව සිටින්නේ. යම් මොහොතක ග්‍රිනිච් හි වෙලාව හැන්දෑ 6 නම්, එම මොහොතේ කියුබාවේ වෙලාව දවල් 1 වේ.

එක් එක් රටට නීත්‍යානුකූලව අයිතිය තිබෙනවා තම රටේ සම්මත කාලය කුමක් විය යුතුදැයි තීරණය කිරීමට. ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවේ ජනපතිව සිටි කාලයේ ලංකාවේ සම්මත ඒකකය GMT+6.00 බවට පත් කළා එකල පැවති විදුලි අර්බුධයට විසඳුමක් වශයෙන් (පසුව එය නැවත වඩා නිවැරදි 5.30ට පත් කළා). ඉංදියාවේ සම්මත කාලය (Indian Standard Time – IST) පවා GMT+5.30 වේ. ලංකාව පිහිටා තිබෙන්නේ SLST time zone එකේය. එහෙත් එය ජාත්‍යන්තරව ප්‍රචලිත වචනයක් නොවේ (ලංකාව ලොව තුල එතරම් ප්‍රචලිත නැති නිසා). එම ටයිම් සෝන් එකම IST time zone ලෙස ලොව පුරාම ප්‍රචලිතය (ඉංදියාව ලෝකයම දන්නා රටක් නිසා).

මුල්ම කාලයේ වෙලාව දැක්වීමට සෑදූ ඔරලෝසුවල නිවැරදි වෙලාව වරක් තැබූ පසු එය දවසකට තත්පර කිහිපය බැඟින් වැඩියෙන් හෝ අඩුවෙන් දිවීම නිසා, සතියක් මාසයක් පමණ යන විට විනාඩි කිහිපයකින් වෙලාව වැරදි වූවා. එහෙත් පසුකාලීනව ක්වාර්ට්ස් ක්‍රිස්ටල් භාවිතා කිරීම නිසා, ඊට පෙර නොතිබූ නිරවද්‍යතාවකින් යුතු ඔරලෝසු ඉතා ලාභෙට සෑදීමට හැකි වූවා (ඒකනෙ රුපියල් සියයකට පමණ අද ඔරලෝසුවක් ගත හැක්කේ). ක්වාර්ට්ස් ඔරලෝසුවල වෙලාව සමහරවිට සතියකට මිලිතත්පර ගණනකින් පමණ වෙනස් වේවි.

එහෙත් මෙවැනි නිරවද්‍යතාවක් තිබුණත්, සමහර තාක්ෂණික භාවිතාවන් සඳහා ඊට වඩා නිරවද්‍ය ඔරලෝසු අවශ්‍ය වෙනවා. ඒ අනුව, අවුරුදු මිලියන 100කට එක් තත්පරයක් එහා මෙහා විය හැකි තරම් සිතාගත නොහැකි තරම් නිරවද්‍යතාවක් සහිත පරමාණු ඔරලෝසු (atomic clock) අද බහුලවම භාවිතා වෙනවා. සෑම GPS චන්ද්‍රිකාවකමත් මෙවැනි ඔරලෝසු තිබෙනවා (මෙම ඔරලෝසු නොතිබෙන්නට GPS සේවාවක් නොපවතිනු ඇති); පර්යේෂණාගාරවලත් තිබෙනවා.

අධිතාක්ෂණික බොහෝ උපකරණවලට සේම, අප එදිනෙදා භාවිතා කරන පරිගනක, මොබයිල් ෆෝන් ඇතුලු තවත් උපකරණ සඳහා නිවැරදි කාලය තිබීම වැදගත්ය. මෙම උපකරණවලට සාමානයයෙන් අප “අතින්” (manually) වෙලාව තබනවා. ඊට අමතරව ස්වංක්‍රියවම නිවැරදි වෙලාව එම උපකරණවලට ලැබෙන පරිදිත් එම උපකරණ සැකසිය හැකියි. සෙල්‍යලර් ෆෝන්වලදී ඒ සඳහා සෙටිං එකක් සක්‍රිය කිරීමට තිබෙනවා (කාලය දිනය සකසන සෙටිංස්වල). එවිට, ටවර් එකෙන් ඉතාම නිවැරදි වෙලාව ෆෝන් එක විසින් වරින් වර ලබා ගන්නවා. එනිසා ෆෝන් එකේ ඔරලෝසුව හැමවිටම නිවැරදි වෙලාවම දක්වාවි.

ෆෝන්වලට එසේ නිවැරදි වෙලාව සකසා ගැනීමේ හැකියාව තිබුණත් පරිගනකවලට එසේ කළ නොහැකියි මොකද පරිගනක ටවර්වලට සම්බන්ද වෙන්නෙ නැහැනෙ. පරිගනකවල මෙහෙයුම් පද්ධතියේ (operating system) ඒ සඳහා ඇත්තටම සෙටිං එකක් තිබෙනවා ඔරලෝසු වෙලාව හා දිනය සාදන සෙටිංස් තුලම. මෙහිදී නිවැරදි වෙලාව ලබා දෙන පරිගනකයට සම්බන්ද වීමේ හැකියාව ඔබේ පරිගනකයට තිබිය යුතුය (එනම් අන්තර්ජාලයට හෝ එවැනි වෙලාව සපයන පරිගනකයක් තිබෙන පරිගනක නෙට්වර්ක් එකකට ඔබේ පරිගනකය කනෙක්ට් වී තිබිය යුතුය).

මෙම සේවාව NTP (Network Time Protocol) වෙන අතර, මෙම සේවාව සපයන පරිගනකය NTP server ලෙස හැඳින්වේ. අන්තර්ජාලය හරහා නොමිලේම මෙම සේවාව සපයන පරිගනක ඕනෑ තරම් තිබේ. එවැනි NTP server කිහිපයක අන්තර්ජාල ලිපින (web address හෙවත් url) නම්, pool.ntp.org (මා පෞද්ගලිකව වැඩි කැමැත්තක් දක්වන ටයිම් සර්වර් එක මෙයයි), time.nist.gov, time.windows.com වේ. මීට අමතරව ලංකාව විසින්ද www.sltime.org ලෙස ntp server එකක් පවත්වාගෙන යනවා (මෙම වෙබ් ඇඩ්‍රස් එක වෙබ් බ්‍රවුසරයක එන්ටර් කර වෙබ් පිටුවක් ආකාරයෙන්ද නිවැරදිම වෙලාව බලා ගත හැකිය). පහත දැක්වෙන්නේ වින්ඩෝස් 7 ඔපරේටිං සිස්ටම් එකේ ntp settings සැකසීමට තිබෙන ආකාරයයි.


ටාස්ක් බාර් එකේ වෙලාව පෙන්වන තැන රයිට් ක්ලික් කර, එවිට මතුවන පොප්අප් මෙනු එකෙන් adjust time/date යන්න මත ක්ලික් කර, ඉන් මතුවන ඩයලොග් බොක්ස් එකේ Internet Time යන ටැබ් එක මත ක්ලික් කර, එහි ඇති Change settings යන බට්න් එක මත ක්ලික් කළ විට, තවත් කුඩා ඩයලොග් බොක්ස් එක තුල ඉහත ආකාරයේ ntp server එකක් තෝරා ගැනීමට හා අලුතින් ඇතුලු කර, Update now යන බට්න් එක මත ක්ලික් කරන්න. එවිට නිවැරදි වෙලාව පරිගනක ඔරලෝසුවේ සෑදේවි. ඇත්තටම මෙය මෙලෙස අතින් කළ යුතුද නැත. යම් පැය ගාණකට සැරයක් පරිගනකය විසින් ස්වංක්‍රියව මෙය සිදු කරනවා ඔබ අන්තර්ජාලයට සම්බන්දව සිටිනවා නම්.

28. සෑමවිටම කොලයකුයි පෑනකුයි තම මේසය මත තිබිය යුතුය. තමන් සංවාද කරන අතරතුර නොයෙක් විස්තර සටහන් කර ගැනීමට සිදු වේ. සංවාදය පටන් ගත් වෙලාව, අනෙකාගේ කෝල්සයින් එක හා ඔහු කියන සමහර වැදගත් විස්තර, හා සංවාදය අවසන් වූ වේලාව ආදිය සටහන් කර ගැනීමට අවශ්‍ය වේ. පසුව ලොග් සටහන් කරන විට මෙම කටුසටහන් වැදගත් වේ. ලිවීමට කියවීමට අවශ්‍ය නිසාම, මේසය මත ආලෝකයක් තිබීමද අවශ්‍ය වේ.

2 comments:

  1. pool.ntp.org (මා පෞද්ගලිකව වැඩි කැමැත්තක් දක්වන ටයිම් සර්වර් එක මෙයයි)

    ඇයි?

    ReplyDelete
    Replies
    1. ඒක නිකං අර ප්‍රථම ආදරය වගේ එකක්... හාහාහා...

      Delete