Monday, April 3, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 78

Aurora Propagation

සමකාසන්න ප්‍රදේශවලට මින් ප්‍රයෝජනය නැති අතර, ධ්‍රැව ආසන්නයට යා යුතුය මෙම ක්‍රමයෙන් සන්නිවේදනයක් සිදු කිරීමට. මීට කලින් අප අවුරෝරා ගැන කතා කළා. අවුරෝරා ඇති වන්නේ ධ්‍රැව ආසන්න ප්‍රදේශවල බවද එහිදී සඳහන් කළා. අවුරෝරා පවතිනවා යැයි කියන්නේ අධික අයන සාන්ද්‍රණයක්/ඝනත්වයක් එම මොහොතේ පවතිනවා කියන එකයි. මෙම අධික වායුගෝල අයනීකරණය නිසා, බොහෝවිට සාමාන්‍යයෙන් අයනගෝලය හරහා වර්තනය වන HF කලාපයේ සංඛ්‍යාත blackout වේ (එනම් උරා ගැනේ). එහෙත් මේ සමඟම VHF කලාපයේ සංඛ්‍යාතයන් එම අධික අයන වලාකුලු විසින් පරාවර්තනය කෙරේවි.


ඉතාම අස්ථාවර තත්වයක් නිසා fading වැඩිය. ඊට අමතරව ඩොප්ලර් ආචරණයද ඇති වේ (හර්ට්ස් 500ක් දක්වා සංඛ්‍යාත වෙනසක් පවතීවි). මෝර්ස්කෝඩ් වැනි බෑන්ඩ්විත් ඉතා අඩුවෙන් අවශ්‍ය කරන එමිෂන් ක්‍රම යොදා ගැනීම වඩා සුදුසුය. ලංකාවේ අපට මින් ප්‍රයෝජනයක් නැත.

Backscatter

Scatter යනු යම් තරංගයක් හෝ අංශු සමූහයක් යම් දෙයක හැපී දසත සීසීකඩ පැතිරී යෑමයි (හරියට පස් කැටයක් ගෙන වේගයෙන් බිත්තියකට ගැසූ විට පස් අංශු විවිධ දිශාවලට විසිරී යන්නා සේ). විද්‍යාව අනුව ස්කැටර් සිදු විය හැකි සංසිද්ධි ගණනාවක් තිබෙනවා (විවිධ ලස්සන නම්වලින් ඒවා හැඳින්වෙනවා). පහත රූපයේ තරංග සීසීකඩ විසිරී යන සැටිත්, එම විසිරී යන තරංග නැවතත් වෙනත් දිසාවලට විසිරී යන හැටිත්, බැක්ස්කැටර් සිදුවන හැටිත් කදිමට පෙන්වනවා.


තවද, සමහරවිට විසිරී යෑමකදී වැඩිපුර තරංග/අංශු ප්‍රමාණයක් එම ඔරිජිනල් තරංග/අංශු යන දිශාව ඔස්සේම නොයවා වෙනත් පැත්තට යැවීමට වැඩි ප්‍රවණතාවක් ඇති විට, ඊට backscatter (backscattering) යැයි කියනවා. සම්ප්‍රේෂණය කරපු සංඥාවෙන් වැඩිපුර ප්‍රමාණයක් එලෙස වෙනත් පැත්තකට ගියත් නොගියත් එලෙස යම් හෝ ප්‍රමාණයක කොටසක් වෙනත් පැත්තකට විසිරී ඇත්නම් එයත් බැක්ස්කැටර් ලෙසම හැඳින්විය හැකියි. මෙහිදී මතක තබා ගත යුත්තේ ඔරිජිනල් තරංගයෙන් ඉතා කුඩා ප්‍රතිශයක් තමයි බැක්ස්කැටර් වන්නේ.

මෙලෙසම forwardscatter නම් සංසිද්ධියක්ද තිබෙන අතර, එහිදී සිදු වන්නේ ඔරිජිනල් තරංගය යන දිශාව ඔස්සේම (ඇත්තටම 100%ක්ම එම දිශාවම නොව, එම දිශාව දක්වන සරල රේඛාවට අංශක 90කට අඩු කේතු ආකාර වපසරියක් පුරා) විසිරුණු තරංගවලින් වැඩි ප්‍රතිශතයක් ගමන් කිරීමයි.

එහෙත් පොලොවේ සිට සිදුකරන රේඩියෝ තරංග ප්‍රචාරණයට forwardscatter ගෙන් ප්‍රයෝජනයක් නැත. අපට වැදගත් වන්නේ බැක්ස්කැටර් වේ. මෙහිදීත් බැක්ස්කැටර් වන්නේ පහත රූපයේ ආකාරයට කේතුවක් මෙනි.


රේඩියෝ සන්නිවේදනයේදී බැක්ස්කැටර් සිදු විය හැකියි අයනගෝලයේ විවිධ ස්ථර විසින් (ඊට අවශ්‍ය කොන්දේසි සැපිරෙන විට; විශේෂයෙන් Es හිදිත් මෙය සිදු වේ). එහිදී යවන සංඥා වර්තනයක් හෝ පරාවර්තනයක් නොවී බැක්ස්කැටර් වීමක් සිදු වී පොලොවේ විශාල ප්‍රදේශයක් පුරාවට සංඥා පැතිරී යාවි. එහෙත් යවන සංඥාවෙන් යම් ප්‍රතිශතයක් පමණක් බැක්ස්කැටර් වන බැවින් ලැබෙන සංඥා බොහෝවිට දුර්වලය. තවද, සංඥාව විවිධ ආකාරවලින් විසිරෙන නිසා රිසීවරයට විවිධ පමාවන් සහිතව එකම සංඥාවේ කොපි කිහිපයක් ලැබිය හැකියි; එමඟින් ෆේඩිං සිදු විය හැකිය.

HF කලාපයේ සංඛ්‍යාතයේ රේඩියෝ තරංගවලට බැක්ස්කැටර් සිදු විය හැකිය (අයනගෝලයේ ඇතිවන තත්වයන් අනුව මෙහි ගුණාත්මකබව තීරණය වේ). මෙහි තිබෙන විශේෂත්වය වන්නේ සම්ප්‍රේෂක ඇන්ටනාව අවට සම්පූර්ණ කලාපයම (බ්ලයින්ඩ් සෝන් නැතිව) මින් ආවරණය කරාවි (මොකද එම සමස්ථ ප්‍රදේශයටම විසිරෙන සංඥා ලැබෙන බැවින්).

සටහන

Ambient Backscatter Communication

බැක්ස්කැටර් ක්‍රමවේදය දැන් කෙටිදුර මන්දගාමී සන්නිවේදනයන් (short range low speed communication) සඳහාද යොදා ගත හැකි බව පෙන්වා ඔප්පු කර තිබේ. මෙය BackCom ලෙසද හැඳින්විය හැකිය. මෙහි තිබෙන අපූර්වත්වය වන්නේ ට්‍රාන්ස්මීටරය විසින් තමන්ගේම විදුලි ශක්තියක් වැය කරන්නේ නැත රේඩියෝ තරංග නිපදවීමට. කොටින්ම ට්‍රාන්ස්මීටරය කිව්වත් එහි ඔසිලේටර් නැත (එනිසා තමන්ගේම රේඩියෝ තරංග නිපදවන්නේ නැත). එවිට ඔබ අසාවි කොහොමද රේඩියෝ තරංග නිපදවන්නේ නැතිව රේඩියෝ සන්නිවේදනයක් සිදු කරන්නේ කියා.

මෙහිදී ට්‍රාන්ස්මීටරය සිදු කරන්නේ එම උපකරණය අවට තිබෙන වෙනත් රේඩියෝ තරංග තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමයි. එය හරියට ඔබට යම් තැනකට පනිවුඩයක් දීමට අවශ්‍ය වූ විට, ඔබ හෝ ඔබේ කවුරුවත් ඒ වැඩේ සඳහාම යවන්නේ නැතිව එතැනට යන වෙනත් අයකු අතේ පනිවුඩය යවනවා වැනිය. ඔබ දන්නවා අප අවට ඕනෑ තරම් රේඩියෝ තරංග තිබෙනවා - ටීවී චැනල්, රේඩියෝ චැනල්, සෙල්‍යලර් සේවාවල රේඩියෝ තරංග ආදී ලෙස. අද ගමේ නගරයේ අස්සක් මුල්ලක් නෑර ඕනෑ තරම් විවිධ සංඛ්‍යාත ඔස්සේ පවතින රේඩියෝ තරංග තිබෙනවා දිවා රාත්‍රී දෙකෙහිම. මෙවැනි වටපිටාවේ තිබෙන සමස්ථ රේඩියෝ තරංග ambient radio waves/radiation කියා හඳුන්වමු.

දැන් ට්‍රාන්ස්මීටරයට හැකියි ඊට අවශ්‍ය වෙලාවට මෙවැනි තරංග බැක්ස්කැටර් කරන්නට. හිතමු එක් මිලිතත්පරයක කාලයක් එලෙස බැක්ස්කැටර් කරනවා කියා. එවිට රිසීවරයට එම බැක්ස්කැටර් කරපු දුර්වල තරංගයත්, සාමාන්‍යයෙන් (බැක්ස්කැටර් නොවී) එන ඔරිජිනල් තරංගයත් දෙකම ග්‍රහණය කරනවා. රිසීවරයට මෙම තරංග දෙකෙහි වෙනස හඳුනාගැනීමට හැකි ලෙස රිසීවරය සෑදිය හැකියි. එලෙස වෙනසක් හඳුනා ගතහොත් එය ඩිජිටල් 1 සංඥාව ලෙස රිසීවරය හඳුනා ගනී යැයි සිතමු. ඊළඟ මිලිතත්පරය තුලත් ට්‍රාන්ස්මීටරය පෙර සේම බැක්ස්කැටර් සිදු කළොත් නැවත රිසීවරය එය ඩිජිටල් 1 සංඥාවක් ලෙස සලකාවි. තෙවැනි මිලිතත්පරය තුල ට්‍රාන්ස්මිටරය බැක්ස්කැටර් කරන්නේ නැතිව නිකං සිටිනවා. එවිට රිසීවරයට වෙනසක් නොදැනේ. එය ඩිජිටල් සංඥ 0 ලෙස රිසීවරය සලකාවි. බලන්න මේ විදියට 1 හා 0 යන ඩිජිටල් සංඥා යැවිය හැකියි නේද? මිලිතත්පරයකට එක් ඩිජිටල් සංඥාවක් බැඟින් යැවූ නිසා එක් තත්පරයකදී සංඥා 1000ක් යවාවි. ඒ කියන්නේ එහි දත්ත වේගය තත්පරයට බිට් 1000ක් හෙවත් 1kbps වේ.


මෙහිදී දුර්වල මට්ටමේ අවට තිබෙන රේඩියෝ තරංග භාවිතා කරන බැවිනුත්, බැක්ස්කැටර් වන විට ඊටත් දුර්වල රේඩියෝ තරංග සෑදෙන බැවිනුත් විශාල දුරකට මෙමඟින් සන්නිවේදනය කළ නොහැකිය. අඩියක් දෙකක් පමණ කෙටි දුරකට එය කළ හැකිය. එහෙත් මෙහි ප්‍රයෝජන අතිවිශාල වේ. උදාහරණයක් ලෙස, දැනටත් මීට සමාන ක්‍රමයක් වන RFID (Radio Frequency ID) යන තාක්ෂණ ක්‍රමය ඉතා විශාල භාවිතාවන් ප්‍රමාණයකදී යොදා ගන්නා අතර, මේ මඟින් එය ඉවත් කළ හැකියි.


RFID වලදී වටපිටේ තිබෙන අනුන්ගේ රේඩියෝ සංඥා භාවිතා නොකර, RFID reader ලෙස හැඳන්වෙන උපකරණයකින් ජනිත කරන වොට් 1ක පමණ (රීඩර් එක අනුව වොට් ගණන වෙනස් වේ) රේඩියෝ තරංගයි RFID transmitter හෙවත් RFID tag විසින් භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ටැග් එක කරන්නේ රීඩර් එකෙන් විසුරුවන රේඩියෝ තරංග අල්ලා ගෙන, එම තරංග මත ටැග් එකේ ගබඩා කර ඇති යම් කෙටි තොරතුරු (බොහෝවිට බිට් කිහිපයකි) කේත කර, නැවත රීඩර් එකට එම තොරතුරු සහිත තරංගය කියවීමට සැලැස්වීමයි. මෙවිට ටැග් එකට වැඩ කිරීමට අමතර විදුලිබලයක් අවශ්‍ය නැති වෙනවා.

මෙය ඉතාම ලාභදායි මෙන්ම පරිසර හිතකාමිද වේවි (මොකද වෙනම බලශක්තියක් වැය නොකරන නිසා). ඕනෑම තැනක ඕනෑ තරම් මෙවැනි උපකරණ එනිසා භාවිතා කළ හැකි වේවි. මෙය IoT නම් තාක්ෂණයටද හොඳින්ම ගැලපේ.

IoT (Internet of Things) නම් නව ඩිජිටල් පෙරලියක් මේ වන විට ලොව තුල සිදු වෙමින් පවතින අතර, එහිදී ඉදිකට්ටේ සිට සෑම ලොකු කුඩා උපකරණයක්/බඩුවක් රේඩියෝ තාක්ෂණය මඟින් එකිනෙකට ජාලගත (internetwork) කෙරේ (Internet යනු internetwork යන වචනයේ කෙටි කිරීමයි). එම උපකරණ කමිස බොත්තම්, ඉදිකට්ටක්, ඉස්කුරුප්පු නියනක්, උයන වළඳක් වැනි සරල බඩුවක සිට, ටීවි එක, ෆ්‍රිජ් එක, කාර් එක, පරිගනකය, ෆෝන් එක වැනි සංකීරණ භාණ්ඩයක් දක්වා පරාසයක පවතී (කොටින්ම අතට ඇල්ලිය හැකි ඕනෑම දෙයක්). එමඟින් ඒ සෑම උපකරණයක්ම/බඩුවක්ම තමන් අවට තිබෙන අනෙක් උපකරණ/බඩු සමඟ සන්නිවේදනය කළ හැකියි. එවිට අර සමහර විද්‍යා ප්‍රබන්ධවල තිබෙන ආකාරයේ දේවල් සිදු කළ හැකිය.

ඉතිං, ඉඳිකට්ටත් IoT කරනවා නම්, ඊට බැටරි සවි කිරීම ප්‍රායෝගික නැහැනෙ. අවට විසිරී තිබෙන රේඩියෝ තරංග වැනි ශක්තියකින් තමන්ගේ වැඩ කරගත හැකි විය යුතුය. අවට රේඩියෝ තරංග, ආලෝකය, තාපය ආදී ලෙස පැතිරී තිබෙන ශක්තිය මෙලෙස ප්‍රයෝජනයට ගැනීම ambient energy harvesting හෙවත් wireless power transfer ලෙස හඳුන්වමු. මේ අනුව ඇම්බියන්ට් බැක්ස්කැටර් යනුද ambient energy harvesting ක්‍රමයකි. මේ හැර වෙනත් wireless power transfer ක්‍රමත් තිබෙනවා (inductive coupling වැනි).

Ambient backscatter හිම තවත් ආකාරයක් ලෙස WiFi backscatter හැඳින්විය හැකිය. එහිදී වයිෆයි රවුටරයෙන් නිකුත් වන රේඩියෝ තරංග ඉහත පැවසූ ආකාරයට බැක්ස්කැටර් කර උපකරණ අතර සන්නිවේදනය සිදු වේ. ඔබ දන්නවා වයිෆයි ජාලයකට කනෙක්ට් වී අන්තර්ජාලයට තොරතුරු යැවීමට නම් අදාල උපකරණයට අනිවාර්යෙන්ම භාහිර බලශක්තියක් අවශ්‍යමයි. එහෙත් වයිෆයි බැක්ස්කැටර් යොදා ගත් විට, උපකරණයට අමුතුවෙන් බලශක්තියක් අවශ්‍ය කරන්නේ නැතිව, අඩුවේග දත්ත අන්තර්ජාලයට යැවිය හැකි පරිදි සකස් කළ හැකියි.

Grayline Mode

සූර්යාලෝකය හොඳට වැටෙන පැත්තේ අයනගෝලයේ සෑම ස්ථරයකම අයන ඝනත්වය වැඩිය. එනම්, සියලු ස්ථර සක්‍රිය වේ. ඒ කියන්නේ D, E යන ස්ථර දෙකත් සක්‍රිය වේ. එබැවින් පහල සංඛ්‍යාතයන් සම්පූර්ණයෙන්ම පාහේ අවශෝෂණය වන අතරම, ඉහල සංඛ්‍යාතයන්ද වැඩි හායනයකට ඉන් ලක් කෙරේ. F ස්ථරද සක්‍රිය නිසා, එලෙස D, E ස්ථර (හායනයක් සහිතවද) විනිවිද යන රේඩියෝ තරංග F ස්ථරය විසින් ඉතා හොඳින් වර්තනය වේවි.

සූර්යා මුදුන් වූවාට පසු අහස ගැන දැන් සිතමු. තවමත් සූර්ය විකිරණය අයනගෝලයේ සියලු ස්ථරවලට ලැබේ; නමුත් අර තරම් ප්‍රබලව ලැබෙන්නේ නැති නිසා අයන මට්ටම් තරමක් පහල බසී. සූර්යා බසින්නට බසින්නට මෙම අයන මට්ටම්ද සියලු ස්ථරවල ටිකෙන් ටික පහල බසී. එක්තරා අවස්ථාවකදී සූර්යාගේ බැසීම නිසා පහල ස්ථරවලට සූර්යා නොපෙනෙන අතර ඉහල F ස්ථරයට තවමත් සූර්යා පෙනෙනු ඇත. මේ හේතු නිසා, F ස්ථරයේ අයන ඝනත්වය අඩු වන වේගයට වඩා වැඩි වේගයකින් පහල ස්ථරවල අයන ඝනත්වය අඩු වේ.


තව දුරටත් සූර්යා බැසගෙන යන විට ඉහල ස්ථරවලටද සූර්යා පෙනෙන්නේ නැති වෙනවා. මෙලෙස ක්‍රමයෙන් සියලු ස්ථරවල අයන ඝනත්වය වෙනස් වේගවලින් අඩු වෙමින් යන අතරේ, රාත්‍රිය ඇරඹෙන විට සම්පූර්ණයෙන්ම “කිසි වැඩකට නැති” D ස්ථරය අහෝසි වෙනවා. එක් එක් ස්ථරවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය දිවා හා රාත්‍රී කාලවල වෙනස් වන හැටි පහත රූපයේ දක්වා ඇත.


මෙලෙස රාත්‍රිය ගෙවී යන්නේ තව තවත් අයන ඝනත්වය සියලු ස්ථරවල අඩු කරමිනි. දැන් අලුයම වෙනවා. සූර්ය කිරණ මුලින්ම දකින්නේ උඩින්ම පිහිටි F ස්ථරයි. එනිසා නැවත පහල ස්ථර සක්‍රිය වන්නට පෙර F ස්ථරය සක්‍රිය වී ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. තවත් වෙලාව යද්දී සූර්යාලෝකය සියලු ස්ථරවලට ක්‍රමයෙන් ලැබෙමින් එම ස්ථරද පෙර කියූ ලෙස සක්‍රිය වන්නට පටන් ගන්නවා. මෙය හැමදාම දිවා රාත්‍රියේ සිදු වෙනවා ඔබ සිටින තැනට ඉහල අයනගෝලයේ.

මෙම ප්‍රචාරණ ක්‍රමය සඳහා අපට වැදගත් වන්නේ සූර්යා පායන හෝරාව හා සූර්යා බසින හෝරාව වේ. එම අවස්ථා දෙකෙහිදී අයනගෝලයේ සිදු වන දේ නැවත බලමු. ඉරු බසින හෝරාව වන විට, F ස්ථරය සක්‍රිය මට්ටමින්ද D හා E සෑහෙන්න දුර්වල මට්ටමින්ද පවතිනවා. එනම්, ලෝක සිතියමක මෙම අවස්ථාව ඇන්දොත් යම් රේඛාවකින් මෙම අවස්ථාව දැක්විය හැකියි; එම රේඛාවෙන් වම් පැත්තේ තිබෙන්නේ ඉර උදාවන ප්‍රදේශය වන අතර, ඊට දකුණු ඇත පැත්තේ තිබෙන්නේ ඉරු බැසගිය ප්‍රදේශයයි. මෙම රේඛාව terminator ලෙස හැඳින්වේ. ඉරු නගින හෝරාවේදීද තත්වය එලෙස තර්ක කළ හැකියි. පහත දැක්වෙන්නේ මා මෙම ඡේදය ලියන 2017 අප්‍රේල් 2 දින සවස 6ට පමණ වන විට මෙම ටර්මිනේටර් එක පවතින ආකාරයයි.


කාලය ගෙවෙන විට ක්‍රමයෙන් ඉහත ජෝගුවක් ලෙස පෙනෙන ආලෝකමත් කොටස (තවමත් සූර්යාලෝකය තිබෙන පෙදෙස) ක්‍රමයෙන් වමට යනවා. ඇත්තටම ඉහත රූපයේ ඉරු නැගෙන හා බසින ප්‍රදේශ වෙන් කරන ටර්මිනේටර් එක visual terminator එකයි. එනම් පොලොව මතුපිටට ඇත්තටම දෘෂ්‍යාලෝකය වැටීම සලකායි එය තීරණය කර තියෙන්නේ. ඔබ නැගෙනහිර මුහුදු තීරයේ සිටින විට ඉර රතුපාටින් බබලා නැගෙන අවස්ථාව හෝ බටහිර මුහුදු තීරයේ සිටින විට ඉර රතුපාටින් බැසයන අවස්ථාව දකී නම්, ඔබ සිටගෙන සිටින්නේ මෙම විෂුවල් ටර්මිනේටර් එක මතයි.

එහෙත් රේඩියෝ තරංග ප්‍රචාරණය ගැන සැලකීමේදී පොලොව මතුපිටට ඉර පෙනෙන විදිය නොව, අයනගෝලයට ඉර පෙනෙන විදියයි වැදගත් වන්නේ. එනම්, රාත්‍රිය උදාවීමේදී E ස්ථරයට ඉරු නොපෙනෙන මොහොත (මෙවිට තවත් විනාඩි 30ක පමණ කාලයක් ඉක්මෙන තුරු ඊට උඩින් ඇති F ස්ථරයට සූර්යා දර්ශනය වෙමින් පවතීවි) හා උදෑසන එළඹීමේදී නැවත E ස්ථරයට සූර්යා දර්ශනය වන මොහොතයි (එහෙත් මීට විනාඩි 30කට පමණ පෙර සිට ඉහල F ස්ථරයට සූර්යා පෙනෙන්නට ගන්නවා) සලකන්නේ. මෙම ටර්මිනේටර් එක එනිසා radio terminator ලෙස නම් කරමු.

මේ ටර්මිනේටර් වර්ග දෙක අතර විනාඩි 30ක පමණ වෙනසක් තිබෙනවා. එනම් සූර්යා බැස යාමේදී විෂුවල් ටර්මිනේටර් එක පවතින වෙලාව පසු වී තවත් විනාඩි 30කින් පමණ රේඩියෝ ටර්මිනේටර් එක පවතීවි. එලෙසම සූර්යා උදා වීමේදී විෂුවල් ටර්මිනේටර් එක එන්නට විනාඩි 30කට කලින් රේඩියෝ ටර්මිනේටර් එක ඇති වේ. සූර්ය උදාව හා බැසයාම දේශාංශක ඔස්සේනෙ එකවර සිදු වන්නේ දළ වශයෙන් (එනම් යම් දේශාංශකයක් දිගේ තිබෙන සෑම පෙදෙසකටම එකට සූර්ය නැගීම බැසීම පෙනේ). එනිසා මෙම ටර්මිනේටර් දෙක අතර පවතින කාල පමාව අවශ්‍ය නම් දේශාංශක ගණනකින්ද පැවසිය හැකියි - දේශාංශක 7ක් පමණ. පොලොව භ්‍රමණයේදී එක් දේශාංශකයක් ගෙවා දැමීමට විනාඩි 4ක කාලයක් ගත වෙන නිසා, 4 x 7 = 28 විනාඩි වේ (එය විනාඩි 30 ලෙස සන්නිකර්ෂනය කරමු).

grayline propagation ගැන කතා කරන විට වැදගත් වන්නේ රේඩියෝ ටර්මිනේටර් වේ. ඉතිං පොලොවේ සිටින අපට විෂුවල් ටර්මිනේටර් රේඛාව ඇති ප්‍රදේශයේ දෙපස විනාඩි 30 බැඟින් ටර්මිනේටර් දෙකෙහි කාල වෙනස්කම් 2ක් ලැබෙනවා (විෂුවල් ටර්මිනේටර් එකෙන් වම් පැත්ත හෙවත් ඉර පායන ප්‍රදේශයට විනාඩි 30කුත්, විෂුවල් ටර්මිනේටර් එකට දකුණු පැත්ත හෙවත් ඉර බැසගිය ප්‍රදේශයට විනාඩි 30කුත් ලෙස). ඉතිං විෂුවල් ටර්මිනේටර් රේඛාව යම් ස්ථානයක යම් මොහොතක වැටී තිබෙනවා නම්, එම ස්ථානයට පැයක “එහෙටත් නැති මෙහෙටත් නැති” සංක්‍රාන්ති කාලයක් තිබෙනවා. මෙම කාලය නැවත දේශාංශකවලට හරවා ප්‍රදේශයක් බවට පරිවර්තනය කර ගත හැකියි. මෙම ප්‍රදේශය විෂුවල් ටර්මිනේටර් එක ඔස්සේ කුඩා තීරුවක් ලෙස දෙපස පිහිටයි. මෙම තීරුව grayline ලෙස හඳුන්වමු.

ඇත්තටම සූර්යාගේ අස්ථාවර සූර්ය ක්‍රියාකාරිත්ව විචලනය නිසා සියලු ස්ථරවල උස තැනින් තැන නිමේෂයෙන් නිමේෂයට වෙනස් විය හැකිය. එනිසා 100%ක්ම නිශ්චිතව විෂුවල් ටර්මිනේටර් එක ආශ්‍රයෙන් ග්‍රේලයින් එක තීරණය කළ නොහැකිය. විෂුවල් ටර්මිනේටර් එක නම් 100%ක් නිශ්චිතයිනෙ (සූර්යා පායන එක බසින එක හරිම නිශ්චිතයි).

ග්‍රේලයින් එකේ ඇති සුවිශේෂි බව ඔබට දැන් සිතාගත හැකි විය යුතුය. එනම්, ග්‍රේලයින් ප්‍රදේශ තීරුවේදී D, E ස්ථර අක්‍රිය හා F ස්ථර සක්‍රිය ප්‍රදේශයකි. ඒ කියන්නේ හායනය ඉතාම අඩුය. එනිසා ග්‍රේලයින් තුල පවතින ප්‍රදේශ දෙකක් අතර ඉතා හොඳ රේඩියෝ සන්නිවේදනයක් කළ හැකිය. යම් ස්ථානයකට දවසකට දෙවරක් පැය බැඟින් මෙම අවස්ථාව ලැබේ (ඉර නඟින විට හා බසින විට). ඔබ සිටින තැනට ඉර නඟින විට ඔබ සිටින තැන සිට බටහිර දෙසටත් (westerly), ඉර බසින විට ඔබ සිටින තැන සිට නැගෙනහිර දෙසටත් (easterly) මෙම සන්නිවේදනය කළ හැකිය.


No comments:

Post a Comment