Saturday, April 1, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 77

Meteor Scatter

මෙම ක්‍රමයත් තවත් අපූරු වික්‍රමාන්විත (adventurous) රේඩියෝ ප්‍රචාරණ ක්‍රමයකි. උල්කා (meteor) උපයෝගි කරගෙන රේඩියෝ පරාවර්තනය මෙහි සිදු වේ (ඇත්තටම මෙහිදී සාමාන්‍ය අයනගෝලය උපයෝගි කරගත් ප්‍රචාරණයේ සිදු වූ ලෙසම වර්තනයකි සිදු වන්නේ). මෙය meteor burst communication ලෙසද හැඳින්වේ.

සටහන

උල්කා, උල්කාපාත, හා උල්කාෂ්ම

සාමාන්‍යයෙන් මේ නම් තුනෙන්ම කියවෙන්නේ එකම දෙයක් වුවද, සියුම් වෙනස්කම් මෙහි ඇත. මේවාද තරු, ග්‍රහාලෝක, ග්‍රාහක ආදි ලෙස ඇති අභ්‍යවකාශ වස්තුන් (heavenly/celestial bodies) අතරින් කුඩා සාමාජිකයාය. දවසකට ටොන් දහක පමණ ලොකු කුඩා උල්කා මිලියන ගණනක් පොලොවට වැටේ (ඒ කියන්නේ නිරන්තරයෙන්ම පෘථිවියේ ස්කන්ධය ටික ටික වැඩි වෙනවා කියන එකයි). මේවායින් ඉතාම ඉතා සුලු ප්‍රමාණයක් හැරෙන්නට අනෙක් සියල්ලම වැලිකැට තරමේ උල්කා වේ.

තවද, දළ වශයෙන් උල්කාවේ සයිස් එකට ප්‍රතිලෝමව සමානුපාතිකවයි පොලොවට ඇතුලු වන එම සයිස් එකේ උල්කා ගණන පවතින්නේ. ඒ කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයේ උල්කා අතිශය දැවැන්ත ප්‍රමාණයක්ද, කුඩා උල්කා ඊට වඩා තරමක් අඩුවෙන්ද, මධ්‍යම ප්‍රමාණයේ උලකා ඊටත් අඩුවෙන්ද ආදී ලෙස සයිස් එක වැඩි වන විට, පොලොවට ඇතුලු වන එම සයිස් එකේ උල්කා ගණන ක්‍රමයෙන් අඩු වෙනවා.

උල්කා (meteoroid) යනු පෘථිවි වායුගෝලයට තවම ඇතුලු වී නැති අභ්‍යවකාශයේ සැරිසරන කුඩා ගල් කැබැලිය. තරු, ග්‍රහාලෝක ආදි අභ්‍යවකාශ වස්තුන් නිර්මාණය වීමේදී හෝ ගැටීම්වලදී හෝ විසිවෙන කුඩා ගල් කැබැලිය මේවා. ඊටත් අමතරව, වල්ගාතරු (comet)/ග්‍රාහක (asteroid) යන නම්වලින් හඳුන්වන තරමක විශාල ගල් කැබැලි එකිනෙකට හැප්පීම හෝ සූර්ය කිරණවලට ලක්ව උනු වී කැඩී යෑම නිසාද කුඩා උල්කා සෑදේ. උල්කා කැබැලි සීනි කැටයක තරමේ සිට ෆුට්බෝල තරමේ හෝ ඊටත් විශාල විය හැකිය. සමහර උල්කාවල ලෝහ අධිකය (එනිසා ඝනත්වය වැඩිය). සමහර ඒවා ඝනත්වය අඩු පාංශුමය ගතියක් ඇත.

උල්කාවක් පෘථිවියේ ගුරුත්වයට හසු වී පෘථිවි වායුගොලය තුලට ඇතුලු වූ විට, ඊට “පාතනය හෙවත් වැටෙන උල්කා” යන අදහසින් උල්කාපාත (meteor හෝ shooting star) යැයි නම් කෙරෙනවා. උල්කාපාත ගැන නොදැන සිටි අතීතයේ දේවතා එලි ලෙසද මේවා සැලකිණි. උල්කා ගමන් කරන්නේ තත්පරයට කිලෝමීටර් 5කට වඩා වැඩි වේගයෙනි. අනිවාර්යෙන්ම පෘථිවි වායුගෝලය තුල මේවා ගමන් කරන විට වායු අංශු සමඟ එය ඝට්ටනය වීම නිසා (ඝර්ෂණය නිසා) අධික තාපයක් එහි හටගන්නවා. ඝර්ෂනය වන ඕනෑම තැනක තාපයක් හට ගන්නවානෙ. ඔබේ අත්ල දෙක වේගයෙන් අතුල්ලා බලන්න. අත්ල දෙකම රත් වී තිබෙනු දැනේවි.

මෙම තාපය නිසා උල්කාපාතය දහනය වේවි (ඕනෑම සැහැල්ලු හෝ ඝන දෙයක් දහනය වෙනවා එය දහනය වීමට අවශ්‍ය උෂ්ණත්වයට (ජ්වලන උෂ්ණත්වයට – ignition point) පත් වූ විට). එනිසයි අපට උල්කාපාත ආලෝකමත් ලපයක් ගමන් කරනවා සේ පෙනෙන්නේ. මෙම දහනය නිසා බොහෝවිට උල්කාපාතය කිලෝමීටර් 100ක් පමණ ඉහලදී සම්පූර්ණයෙන්ම වාෂ්ප වී යනවා. මේහිදී අංශු අධික ශක්තියක්/තාපයක් උරා ගන්නා නිසා, එම උල්කාපාතය ගමන් කළ මාර්ගයම අයනවලින් පිරී යනවා (ion trail/cloud). කාලයත් සමඟ මෙම අධික අයන වලාකුල සෙමින් සෙමින් ඒ අවට තිබෙන සාමාන්‍ය අයන මට්ටම දක්වා පැමිණෙනවා.

සාමාන්‍යයෙන් කුඩා උල්කාපාත ඉහත ආකාරයට සම්පූර්ණයෙන්ම වාෂ්ප වී යනවා අහසේදීම. එහෙත් තරමක විශාල උල්කාපාත එලෙස දහනය වන විට විශාල ගිනි බෝලයක් සේ දිස් වේවි; යම් ශබ්දයකුත් ඇති වේවි. මේවා fireball ලෙස හැඳින්වෙනවා. තවද, ලෝහ අධික තරමක විශාල උල්කාපාත එලෙස දහනය වන විට, සම්පූර්ණයෙන්ම දහනය වී වාෂ්ප වන්නට පෙර පොලොවට කුඩා කැබැල්ලක් ලෙස වැටෙන්නටත් පුලුවන්. තවද, සමහර විට ඝනත්වය අඩු පාංශුමය උල්කා වුවත් විශාල කුට්ටියක් ලෙස වායුගෝලයට ඇතුලු වුවොත් ඉන් දහනය අවසන් වන්නට පෙර ඉතිරි වූ කුඩා කොටසක් පොලොවට වැටිය හැකියි. මෙවිට “උල්කාවකින් ඉතිරි වූ කොටස” යන අරුතින් ඊට උල්කාෂ්ම (meteorite) යැයි කියනවා.

ඇත්තෙන්ම උල්කාෂ්ම ඉතාම දුර්ලභ මෙන්ම විද්‍යාත්මකව ගත් විට විශ්වයේ රහස් හෙලි කරන ඉතා මිල අධික මෙන්ම වටිනා වස්තුවකි (රත්තරංවලට වඩා මිල විය හැකියි සමහර උල්කාෂ්ම). සමහර රටවල ඒවා ඇහිද ගත් අයට එහි අයිතිය ලැබෙනවා (මෙවිට පර්යේෂන සඳහා ඒවා අවශ්‍ය නම් ඊට ඇති වෙළඳපොල වටිනාකම ගෙවා ඒවා එම අයගෙන් මිලදී ගත හැකියි විද්‍යාගාර විසින්). එහෙත් ලංකාවේ නීතිය අනුව ඒවායේ අයිතිය රජය සතුය. උල්කාෂ්ම පමණක් නොව, පොලොවෙන් අහසෙන් ලැබෙන ඕනෑම වටිනා දෙයක අයිතිය ඉබේම රජය සතු වේ. එය අසාධාරණ ක්‍රමයක් වන නිසා, හොර රහසේ ඒවා වෙළඳාම් කිරීම සිදු වේ.

සෑම තත්පරයකදීම උල්කා ලක්ෂ ගණනක් පොලොවට ඇතුලු වේ. මේවා sporadic meteor ලෙස හඳුන්වමු. එහෙත් අවුරුද්දේ සමහර දවස්වල සාමාන්‍යයෙන් වැටෙන ප්‍රමාණයට වඩා වැඩිපුර උල්කා ප්‍රමාණයක් ඇතුලු වේ. මේවා උල්කා වර්ෂා (meteor shower) ලෙස හැඳින්වේ.

උල්කා වරුෂා ඇති වන්නේ පොලොව සූර්යා වටා ගමන් කරන අතරතුරදී ගල් කැබැලි (උල්කා) අධිකව තිබෙන තැනක් හරහා යන විටය. එය හරියට දූවිල්ලක් ඇවිස්සී ඇති තැනක් හරහා ඔබ යන විට දූවිල්ල ඇසේ ඇඟේ වදිනවා වාගේය. සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය හා අනෙක් ග්‍රහලෝක සූර්යා වටා ගමන් කරන්නා සේ, ගල් කැබිලි (සමහර ඒවා කුඩා වන අතර, සමහර ඒවා යෝධ ග්‍රාහක වේ) පවා එසේ සූර්යා වටා ගමන් කරනවා. මේවා සූර්යාගේ තාප හා විකිරණ බලපෑම නිසා උනු වෙමින් කුඩු වෙමින් තමන්ගේ කොටස් මඟ දිගට හලමින් ගමන් කරන්නේ (අර සමහර වාහන යන විට තෙල් පාර දිගට හලාගෙන යනවා වාගේ). සූර්යාගේ බලපෑම නිසා මෙලෙස වලිගයක් ලෙස දූවිලි හලමින් යම් ග්‍රාහකයක් සූර්යා සිටින පැත්තට යන විට පොලොවේ සිට දකින අප ඊට වල්ගා තරුවක් යැයි කියනවා. ඉතිං, මෙලෙස කෝටි ප්‍රකෝටි ගණන් දූවිලි සහිත මාර්ග සූර්යා වටේ තිබේ. පෘථිවිය ගමන් කරන කක්ෂයේ සමහර කොටස් හරහාද මෙවැනි දූවිලි මාර්ග වැටී තිබේ (අර තුංමන් හන්දි හතරමං හන්දිවලදී පාරවල් දෙකක් එකිනෙකට ක්‍රොස් කරනවා වාගේ).

සෑම උල්කා වර්ෂාවක්ම වාර්ෂිකව පෙනෙන අතර එය දර්ශනය වන වසරේ නිශ්චිත කාලයක් (පැය ගණනක්) තිබේ (පොලොව සෑම වසරක් පාසාම යම් ස්ථානයක් එකම දවසේ පසු කරන බැවින්); එය හොඳින් දර්ශනය වන ප්‍රදේශද පුරෝකථනය කළ හැකියි. ඔබ ප්‍රවෘත්තිවලින් සමහර විට අසා ඇති අහවල් දවසේ අහවල් වෙලාවේ සිට අහවල් වෙලාව දක්වා අහවල් උල්කාපාත වර්ෂාව අහසේ අහවල් පැත්තෙන් දැකගත හැකිය කියා. සෑම උල්කා වර්ෂාවකටම ලස්සන නමක්ද ඇත (ලියෝනිඩිස්, ඔරයනිඩ්ස් ආදි ලෙස). උල්කා වර්ෂාවකට නමක් දෙන්නේ එම උල්කා වැටී තිබෙන ස්ථානයේ පසුබිමින් (පිටුපසින්) පෙනෙන තරු රාශියේ නම අගට “ඉඩ්ස්” කියා ප්‍රත්‍යයක් එකතු කිරීමෙනි. උදාහරණයක් ලෙස, Leo නම් තරු රාශියේ (constellation) සිට පොලොටව උල්කා එන්නේ යැයි පෙනෙන උල්කා වරුෂාව Leonids වේ.

සාමාන්‍යයෙන් වසරේ සෑම මාසයකම පාහේ උල්කා වරුෂා කිහිපයක් පෙනේ ලෝකයේ විවිධ ස්ථානවලට. ඇත්තටම සමස්ථ ලෝකයාටම එවැන්නක් එකවර බැලිය නොහැක්කේ දවල් කාලයේදී උල්කා, තරු ආදිය පෙනෙන්නේ නැති නිසාය සූර්යාලෝකය ප්‍රබල නිසා.

මෙහිදී කිලෝමීටර් 100ක් පමණ ඉහල අහසේ වාෂ්ප වන උල්කාපාතයක් විසින් ඇති කරන අයන වලාවකට රේඩියෝ තරංග වද්දවා වර්තනය/පරාවර්තනය සිදු කරයි කිලෝමීටර් 1500ක් පමණ ඈතකට. HF හි ඉහල සංඛ්‍යාතයන්ගේ සිට මෙගාර්ට්ස් 150 දක්වා (සමහරවිට 500MHz දක්වා වුවද) වූ සංඛ්‍යාතයන්ගේ රේඩියෝ තරංග මේ සඳහා යොදා ගත හැකියි. මිලිතත්පර කිහිපයක සිට තත්පර කිහිපයක කාලයක් පුරා මෙවැනි අයන වලාවක් පවතින බැවින්, එතරම් කුඩා කාල පරාසයක් තුල සන්නිවේදනය සිදු කළ යුතුය. අහසේ විවිධ තැන්වල විවිධ වෙලාවල්වලදී උල්කාපාත ගමන් කරන බැවින් සැරින් සැරේට (එක දිගට නොව) මෙලෙස සන්නිවේදනය කළ හැකිය. මෙය ඉතාම අස්ථාවර නිසා fading ද අධිකව ඇත.


යම් පෙදෙසකට අහවල් කාලයේ උල්කා වර්ෂාවක් තිබෙනවා යැයි පැවසුවොත්, එම පෙදෙසේ අයට එම කාල සීමාව තුල ඉතා හොඳින් meteor scatter සන්නිවේදනයක් සිදු කිරීමට බොහෝවිට අවස්ථාව ලැබේවි. උල්කා වර්ෂා නැතත් sporadic meteor උදව්වෙන් වෙනත් වෙලාවලදීද එය සිදු කළ හැකියි. අන්තර්ජාලයේ බොහෝ වෙබ් අඩවි තිබෙනවා මෙවැනි උල්කා වර්ෂා ඉදිරියේදී කුමන ප්‍රදේශවල කුමන වෙලාවලදී පවතිනවාද කියා පුරෝකථනය කරන.

සාමාන්‍යයෙන් නිශ්චිතව පැයකට මෙතරම් උල්කා ප්‍රමාණයක් වැටෙනවා යැයි කිව නොහැකිය. එහෙත් උල්කා ක්‍රියාකාරිත්වය ඔබ සිටින තැනට අධිකව සිදු වන්නේ පාන්දර 6ට පමණය (අවාසනවාකට මෙන් එම වෙලාවේදී අලංකාර උල්කා ඇසෙන් දැක ගැනීමට නොහැකි වේවි; එහෙත් රේඩියෝ සන්නිවේදනයට ඇසට පෙනුනත් නැතත් ප්‍රශ්නයක් නැහැනෙ). අඩුම ක්‍රියාකාරිත්වය පවතින්නේ සවස 6ට පමණ වේ. මීට හේතුව පොලොවේ භ්‍රමණයයි.

වැසි වෙලාවක ඔබ වාහනයක යන විට ඇතිවන තත්වය මෙහිත් ඇත. වාහනයේ ඉදිරි වීදුරුවට වැසි බිඳු වැටෙන්නේ ඇතුලු පැත්තටයි (එනම් වීදුර තුලට එය “හිල් කරගෙන” එන විදියට). එහෙත් එම වාහනයේම පිටුපස වීදුරුව බලන විට පෙනේවි, දිය බිඳු එතරම් ඒ මත වැටෙන්නේ නැති බව (වාහනයේ උඩ වහලේ සිට බේරෙන වතුර එම පිටුපසේ වීදුරුව දිගේ වැටේ; එච්චරයි). වැස්සකදී ඔබ දුවන විටත් වැහිබිඳු ඔබ දෙසට ආනත වන සේ පෙනෙනවා නේද? පොලොව කරකැවෙන විට, උල්කා ඔබ සිටින තැනට ඉහල අහස් කුසට පිවිසින්නේ අර වාහනය වැස්සේ ඉදිරියට යන විට එහි ඉදිරි වීදුරුවට වැහි බිඳු වැටෙන්නා සේය. එහෙත් හවස් ජාමයේ ඔබේ සිටින තැනට ඉහලින් තිබෙන අහස් කුසට උල්කා එන්නේ අර වාහනයේ පිටුපස වීදුරුවට දිය බිඳු වැටෙන්නා සේය (එනම් එතරම් උල්කා නොවැටේ).

තවද, සමකාසන්නයට වැඩිපුර උල්කා ප්‍රමාණයක් වැටෙන අතර, ක්‍රමයෙන් ධ්‍රැව කරා යන විට එම ප්‍රමාණය එන්න එන්නම අඩු වේ.

තවද, පෘථිවිය අංශක 23.5ක ඇලයකින් යුතුව සූර්යා වටා පරිභ්‍රමණය වන නිසාද, මාස කිහිපයකදී සමකයෙන් ඉහල උතුරු ප්‍රදේශවලට වැඩිපුර උල්කා ප්‍රමාණයක් වැටේ (ඊට හේතුව එම කාලය තුල ඇලය නිසා පොලොවේ උතුරු කොටස පිහිටන්නේ පෘථිවිය ගමන් කරන දිශාවට මුහුන ලාගෙනයි (අර පපුව ඉස්සරහට දාගෙන ඇවිදින සමහර මිනිසුන් වගේ). එසේ යන විට ඉදිරියේ තිබෙන දෙයක් හැප්පේ නම්, ඒ හැප්පෙන්නේ එම දෙසට නැඹුරු වෙලා තියෙන කොටසේනේ. අන්න එලෙසමයි උල්කා දැන් ඇතුලු වන්නේ උතුරු ප්‍රදේශවලටයි. උතුරු අර්ධ ගෝලයට මෙවැනි තත්වයක් පවතින්නේ සැප්තැම්බර් මාසය මැදි කරගත් මාස කිහිපයක් තුල පමණි (Autumnal equinox මැදි කරගත් මාස කිහිපයේ).

උතුරු අර්ධගෝලයට ඉහත දේ සිදු වෙද්දී එම කාලය තුල දකුණු අර්ධගෝලය තිබෙන්නේ ගමන් කරන මාර්ගයේ පිටුපසට වන්නට බැවින් උල්කා එම කොටසේ “හැප්පෙන්නේ” අඩුවෙනි. එහෙත් හරියටම මීට මාස 6කට පසුව ක්‍රියාවලිය කනපිට පෙරලේ. මාස 6ක් ගිය පසු, පෘථිවියේ දක්ෂිණ අර්ධගෝලය දැන් ඉදිරියට පැමිණ උතුරු අර්ධගෝලය පසුපසට යයි. මෙවිට එම කාලය තුල දකුණු අර්ධගෝලයට වැඩිපුර උල්කා වැටේ (Vernal equinox තිබෙන කාලයේ). බලන්න පහත රූපයේ මාර්තුවලදී ලෝකගෝලයේ දකුණු කොටස තම ගමන් මාර්ගයේ යන්නේ ඉදරියට නැමීගෙනයි (උතුර පසුපසට නැමී).


ඇත්තටම උල්කාවලින් දල වශයෙන් ආකාර දෙකක අයන වලා සාදයි. තරමක් විශාල (ස්කන්ධයෙන් හා ප්‍රමාණයෙන්) එනම් මිලිග්‍රෑම් 1කට වඩා බර උල්කාපාත විසින් සාදන අයන වලාව over-dense trail ලෙස හැඳින්වෙන අතර, ඒවායේ අයන ඝනත්වය ඉතා වැඩිය (ඝන මීටරයකට ඉලෙක්ට්‍රෝන 1014ට වැඩි). ඇත්තටම මෙම නිශ්චිත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අයනගෝලය තුලදී 90MHz සංඛ්‍යාතය ක්‍රිටිකල් සංඛ්‍යාතය ලෙස සැලකෙන අවස්ථාවයි (එනම් මෙම 1014 electrons per meter ඝනත්වයක් අයනගෝලයේ යම් ස්ථරයක ඇත් නම්, 90MHz ක තරංගයක් කෙලින්ම උඩට යැවූ විට, එම තරංගය පරාවර්තනය (වර්තනය) වේවි). එම ඝනත්වයට අඩු අයන වලාවක් සාදන්නේ ඊටත් කුඩා උල්කාපාත විසිනි. මෙවැනි අයන වලා under-dense trail නමි.

ඕවර්ඩෙන්ස් වලාවක් ඇති විට, රේඩියෝ තරංග එම වලාව තුලින් යන විට ක්‍රමයෙන් වර්තනය සිදු වී අවසානයේ පොලොව දෙසට සංඥාව එවනවා (පරාවර්තනය). එනිසා මෙහි සංඥා ප්‍රබලය. වැඩි කාලයක් පුරා (තත්පරයක් හෝ කිහිපයක්) සන්නිවේදනය මින් කළ හැකියි. එනිසා burst එකක් ලෙසද එය හැඳින්වේ. එහෙත් අන්ඩර්ඩෙන්ස් වලාවක් ඇති විට, රේඩියෝ තරංග එම වලාව තුලටම ඇතුලු වෙන අතර, ඒ යන ගමන් දස අතට රේඩියෝ තරංගය විසිරේ (scatter). එම විසිරෙන තරංගවලින් කොටසක් පොලොව පැත්තට පවතීවි. එනිසා මෙහි සංඥා දුබලය (විසුරුණු සංඥාවලින් කුඩා ප්‍රමාණයක් පමණක් පොලොවට එන නිසා). මිලිතත්පර කිහිපයක සන්නිවේදනයක් මින් කළ හැකිය. එනිසා ping එකක් ලෙස එය හැඳින්වේ. තවද, ඕනෑම ඕවර්ඩෙන්ස් වලාවක් තත්පරයකට දෙකකට පසුව එහි අයන ඝනත්වය අඩු වී අන්ඩර්ඩෙන්ස් වලාවක් බවට පත් වේ.

සංඥා සංඛ්‍යාතය වැඩිවන විට හායන ප්‍රමාණයද වැඩි වේ. එනිසා ප්‍රායෝගිකව 150MHz උපරිම සීමාව ලෙස ගත හැකිය (ප්‍රබල ඕවර්ඩෙන්ස් වලාවක් ඇති වන විට 500MHz වැනි සංඛ්‍යාතයක් දක්වාද යා හැකිය). එහෙත් 30MHz ට වඩා අඩු වන විට, අයනගෝලයේ සාමාන්‍ය ප්‍රචාරණ ක්‍රමත් ක්‍රියාත්මක වන නිසා මීටියර් ස්කැටර් ප්‍රචාරණය ඇනහිටී. එනිසා මෙගාහර්ට්ස් 40ත් 50ත් අතර සංඛ්‍යාතයන් මේ සඳහා උචිතය.

තවද, මීට ඩොප්ලර් ආචරණය අහිතරක ලෙස බලපෑ හැකිය. උල්කාපාතය ගමන් කරන අතරේ අයන වලාවද එම වේගයෙන් ඇති වේ. එය රේඩියෝ තරංගවලට චලිතයක් ලෙස දැනේ. එනිසා සම්ප්‍රේෂකයේ ඔරිජිනල් සංඛ්‍යාතයට වඩා ආදායකයට දැනෙන සංඛ්‍යාතය තරමක් එහා මෙහා යා හැකියි (හර්ට්ස් 1000කින් පමණ).

මෙම ක්‍රමය තත්කාලීනව වික්‍රමාන්විත ආකාරයේ සන්නිවේදනයක් සිදු කර ගැනීමට මෙන්ම යම් ඈත මිනිසුන් නැති ස්ථානයක (විද්‍යාත්මක පර්යේෂණ සඳහා මිනිසුන් නැති දුෂ්කර තැනක සවිකර තිබෙන උපකරණයක් ගමු) එකතු කරන සමහර ඩිජිටල් දත්ත (telemetry) එවීම සඳහාද භාවිතා කළ හැකිය (චන්ද්‍රිකා ලින්ක් සඳහා විශාල වියදමක් යන නිසා එය ප්‍රායෝගික නැති වන්නට පුලුවන්). එනම්, එම ස්ථානයේ සවිකර තිබෙන උපකරණයෙන් ජනිත වන දත්ත එම උපකරණය තුල තාවකාලිකව ගබඩා කර ගැනේ. ඉන්පසුව මෙම ක්‍රමයෙන් ටිකෙන් ටික එම දත්ත වෙනත් ස්ථානයකට රේඩියෝ තරංග මඟින් සම්ප්‍රේෂණය කරවා ගත හැකියි. මෙයද හොඳින් සැලසුම් කර සිදු කළ යුත්තකි.

ඉතිං, ඉහත ආකාරයේ ඇටවුමක් කොහොමද දැන ගන්නේ උල්කාවක් නිසා දැන් අහසේ අයන වලාවක් හටගත්තා එනිසා වහම දත්ත යවන්න කියා. එය මෙසේ කළ හැකියි. එනම්, දත්ත සම්ප්‍රේෂකය විසින් අඛණ්ඩව තම දත්ත යැවිය හැකියි උලකා අයන වලා තිබෙනවාද නැද්ද යන නොසලකා. එනිසා එම යවන මොහොත් අයනවලාවක් නිසා (හෝ වෙනත් ඕනෑම සංසිද්ධියක් නිසා) එම සංඥාව ඈත අවශ්‍ය තැනට ගිය විට, එම ස්ථානයෙන් ලැබෙන acknowledgement එකක් ලබා ගත හැකියි. එවිට සම්ප්‍රේෂකය දන්නවා පනිවුඩය අවශ්‍ය තැනට ගොස් ඇති බව. ඉන්පසු ඊළඟ පනිවුඩත්/දත්තත් එකින් එක අවස්ථාව ලැබෙන ලැබෙන විදියට යැවිය හැකිය.

එහෙමත් නැතිනම්, මීට පෙර කතා කළ බීකන් උපක්‍රමයද යෙදිය හැකිය. එවිට බීකනය නිරන්තරයෙන්ම බලනවා ස්ථාන දෙක අතර දත්ත යැවීමට පහසුකම සැලසී තිබෙනවාද කියා. බීකනයට ඇහුම්කන් දෙමින් ට්‍රාන්ස්මිටරය සිටී. ඈත බීකනයෙන් සංඥාවක් ලැබූ විගස, ට්‍රාන්ස්මීටරයෙන් දත්ත යැවීමට හැකි ලෙස ට්‍රාන්ස්මීටරය සකසා තැබිය යුතුය.

නිශ්චිත ස්ථාන දෙකක් අතර පෙර කී ලෙස එවැනි ඇටවුම් සකස් කළ හැකි වුවත්, ආධුනික ගුවන් ශිල්පින්ට මෙවැනි ඇටවුම් නැතිවත් විනෝදාංශයක් ලෙස ඉවසීමෙන් යුතුව එය සිදු කළ හැකියි.

ඇත්තටම ආධුනික තාරකා විද්‍යා (amateur astronomy) තුල, අවට අහසේ ගමන් කරන උල්කාපාත ගනන් කිරීමටත් මේ දැන් කතා කළ ආකාරයේ ඇටවුමක් භාවිතා කළ හැකියි. එනම්, යම් ස්ථානයක පුලුල් සංඛ්‍යාත පරාසයක් ග්‍රහණය කරගත හැකි ඇන්ටනාවක් සවි කර, එය හොඳ සංවේදී පුලුල් සංඛ්‍යාත රිසීවරයකට සවි කර ඊට ඇහුම්කන් දෙමින් සිටින විට, “සුරුස්” ගා කෙටි ඝෝෂා ශබ්ද ඉඳහිට ඇසේවි. ඒ එක් එක් ශබ්දයක් ඇති වන්නේ සාමාන්‍යයෙන් ඒ අවට ආකාශයේ උල්කාපාතයක් ගිය විටයි. රෑට හා දවල්ට දෙකෙහිම මෙම උපකරණය ක්‍රියාත්මක කළ හැකියි.

2 comments:

  1. රේඩියෝ දුරේක්ෂවල සංඥා ග්‍රහණය කරගන්නේ එක ඇන්ටනාවකින්ද,එකලඟ සවිකල ඇන්ටෙනා ශ්‍රේණියකින්ද?

    ReplyDelete
    Replies
    1. එකකින් පුලුවන්.

      ඇන්ටනාවේ "දීසිය" විශාල වන තරමට රෙසලූෂන් එක වැඩියි (එනම් සියුම් දත්ත තව තවත් දැක ගත හැකියි). ඉතිං මෙන්න මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. කුඩා දීසී ඉතාම නිවැරදිව සෑදිය හැකි වුවත්, ඉතා විශාල දීසි එසේ සෑදීම අතිශය වියදම් අධිකයි. දැනට ඔස්ට්‍රේලියාවේ එවැනි විශාල වියදම් අධික දීසි ඇන්ටනාවක් තිබෙනවා. මට මතක විදියට චීනය මේ මෑතක සෑදුවා ලොව විශාලතම දීසිය (පොලොවේ ස්වාභාවිකව පිහිටි විශාල වලක් තුල).

      එක් විශාල දීසියක් නිවැරදිව සෑදීම අභියෝගයක්නෙ. එහෙත් රෙසලූෂන් එක වැඩි කර ගත හැකියි කුඩා දීසි සමූහයක් පොකුරක් ලෙස විවිධ ස්ථානවල ස්ථානගත කිරීමෙනුත්. එම දීසි එකළඟම තිබිය යුතු නැහැ (ගණනය කිරීම්වලින් සුදුසු තැන් ඔවුන් තීරණය කරනවා).

      සමහරවිට ඔබ දැක ඇති විවිධ සයිස්වල හෝ විවිධ පැතිවලට හරවපු දීසි කිහිපයක් එකළඟ පොකුරට තිබෙනවා. මේවා ඉහත ආකාරයේ අවශ්‍යතාවකට සාදපුවා නොවේ. විවිධ චන්ද්‍රිකාවලට එල්ල කරපු දීසිය.

      Delete