Tuesday, March 21, 2017

ලංකා කැබිනෙට්ටුවේ සාමූහික වගකීම

ඕනෑම රටක මෙන් ලංකා රජයේද මධ්‍ය විධායකය ක්‍රියාත්මක කිරීමේ දේශපාලන ව්‍යුහය කැබිනෙට්ටුවයි. අප දන්නා කාලයේ සිට ලංකාවේ කැබිනෙට්ටුව තුල සිටියේ කුස්සියේ කැබිනෙට්ටුව තරම්ම විච්චූර්ණ බඩුය. ඒ අතර දේශපාලන පක්ෂ ආදි ඕලාරික ලැදියාවන්ගෙන් ඉක්මවා ගිය ලක්ෂ්මන් කදිරගාමර් වැනි උත්තුංග ඇමතිවරුන් ගැන ආදර මතකයන් සිහිපත් වේ.

රාජ්‍ය ප්‍රතිපත්තිවල සංතුලනතාව පවත්වාගෙන යෑම, පුද්ගල අභිමතය හික්මවීම, සද්භාවයෙන් ගත් තීරණවල වගකීම පිරිසක් අතරේ බෙදා ගැනීම ආදී වැදගත් අවශ්‍යතා නිසා කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම (collective responsibility) නම් නීතිමය හා දේශපාලනමය බැඳීමට යටත් කර තිබේ. ඒ කියන්නේ රටට වැදගත් වන කාරණා ආරම්භ කිරීම (initiation) හා ඒවා ක්‍රියාත්මක කිරීම (execution) තනි තනි ඇමැත්තා විසින් නොව සියලුම ඇමැත්තන්ගේ තීරණ ලෙස ගත යුතුය.

සද්භාවයෙන් හා යුක්තිගරුකව හා නීත්‍යානුකූලව ක්‍රියාවෙහි යෙදවිය යුතු කැබිනෙට්ටුවේ සාමූහික වගකීම ලංකාවේ ජනපතිගෙ සිට අගමැතිගෙ සිට ඇමතියා දක්වා බොහෝම අවලම් ආකාරයෙන් භාවිතා වන බවක් පෙනේ. එය මුන් යොදා ගන්නේ එක් එක් ඇමතියන්ගේ දූෂන හා වංචා වසාගැනීමේ ක්‍රමයක් ලෙසයි. උදාහරණයක් ලෙස, යම් ඇමැතියෙකු විසින් රාජ්‍ය මුදල් වංචා කළ බවක් හෙලි වූ විට, එය කැබිනෙට්ටුව විසින් සාමූහිකව ගත් තීරණයක් කියා එම වැරැද්දෙන් ඌ නිදහස් වේ. දැන් ඌට දඩුවම් නැත. සාමූහිකව වගකියනවා යැයි කියන කැබිනෙට්ටුවට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයකුත් නැත. විල්පත්තුව ආදී පරිසර ගැටලුවලදී මේ තත්වය තවත් කැපී පෙනේ.

ඇල්වතුරත් නිවලා බොන ධර්ම රාජ්ජයේ වැඩසිටින සමහර දීගගාමිණිලා හා තම වරුණයම කියවන දත් ගලවන කාලගෝලයන් සිටි කැබිනෙට්ටු තුල රටට අහිතකර බොහෝ තීරණ ගෙන ක්‍රියාත්මකව ඇති අතර, ඒවා හෙලි වූ විට දූෂනයට හවුල් වූ ඇමතියන් කැබිනෙට්ටුවෙන් එම තීරණ ගත් බවක් කියා අත පිහදා ගන්නා විට, අර නිවට දීගගාමිණිලා හා කාලගෝලයන් කියන්නේ තමන් එම තීරණවලදී කැබිනෙට්ටුවේදී විරුද්ධව කතා කළ නිසා ඒවාට වගකියන්නට තමන් බැඳී නැති බවයි. රටට අහිතකර නම්, එය එම මොහොතේම නතර කළ යුතුය. නැතහොත් කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස් විය යුතුය. ඒ දෙකම නොකර සිටීමෙන් සාමූහික වගකීම ඉෂ්ට කරන්නේ කෙසේද?

එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමූහික වගකීම යන ව්‍යවස්ථාව ඉවත් කළ යුතුය. සුපුරුදු ලෙසම කැබිනෙට්ටුව විසින් තීරණ ගත්තත්, තමන් කළ සියලු දෑ තනියම වගකියන තත්වයට පත් කළ යුතුය. කොම්පැනිවල අධ්‍යක්ෂ මණ්ඩලවලට බලපාන සම්ප්‍රදායවල් කැබිනෙට්ටුවට හැමවිටම හරි යන්නේ නැත. කොම්පැනි තීරණ ගන්නේ උන්ගේ සල්ලි ගැනය. කැබිනෙට්ටුව තීරණ ගන්නේ අපේ සල්ලි ගැනය.

අද ලංකාවේ කැබිනෙට්ටුව දේශපාලනමය ගනිකා මඩමකි. මා හැමදාමත් දකින්නේ ජනපතියා, අගමැත්තා, අමැතියා, මන්ත්‍රියා යන මේ සියලුම වර්ගයේ දේශපාලුවන් වෛශ්‍යාවන්ගේ පුතුන් බවයි. උන්ගේ කල් කිරියාවෙන් ඊට වඩා දෙයක් උන් ගැන කිව නොහැකිය. බලවත් එකෙක් දෙන්නෙක්ගේ ඕනෑ එපාකම් එහිදී හැමවිටම සැපිරෙන අතර, අනෙක් එවුන් සිටින්නේ එම ඇමතියන්ට "ආතල්" සපයා දෙන්නටය (පිම්පි වැඩ කිරීමට). ඒ අතර, එම පිම්පි නෝන්ජල් ඇමතියන්ටද ඉඳහිට රටේ දේපලක් විකුණාගෙන කෑමට හෝ වෙනත් අවලම් ක්‍රියාවන්ට ඉඩ සලසා දේ. මේ හැම එකාගෙම වනචර කාලකන්නි දූෂන හෙලි වූ විට විතරක්, සාමූහික වගකීම පෙරට එයි.

මේ අතර තටු නොකැපූ විගණන පනත එන තුරුත්, හැම ප්‍රකාශයක්ම "වගකීමෙන් ප්‍රකාශ කරන" ජනපති නීතිඥ මුස්තාෆා ඇමතියා පලාත්පාලන මැතිවරණය තබන තුරුත් දේශපාලුවන්ගේ අවකල් රති කෙලි නරඹමින් ජනතාව මුසපත්ව ප්‍රීති වෙති.

No comments:

Post a Comment