Thursday, March 9, 2017

ගිනි කිකිලියන්ගේ කාන්තා අයිතින්

සෑම වසරකම මාර්තු 8 වැනිදා ලෝක කාන්තා දිනය සැමරේ. ඒ අනුව ඊයෙ දිනයේ ලංකාවේද සුපුරුදු ලෙසම අපේ සමහරක් ගිනි කිකිලියො ටිකක් පාරට බැස උජාරුවෙන් රටේ තැන් තැන්වලත් ජනමාධ්‍යයෙත් අපට නොතේරෙන දේවල් දවස පුරාම කෙකර බානු අසා සිටියෙමි. ඇයි ඒ අය කියන දේවල් අපට නොතේරෙන්නේ? ඇයි ඒ කියන දේවලින් අපේක්ෂිත මට්ටමින් කාන්තා සුභසාධනය හෝ ආරක්ෂණය නොසැලසෙන්නේ? හැමදාමත් ගැහැනු ලමුන් ගැන සිත සිත සිටන මා හට මේ ගැනත් විමසා බලන්නට දැන් සිත් විය.

සමහරෙක් කාන්තාවන්ට සම තැන ඉල්ලා සිටී. ඊට ප්‍රතිචාර දක්වන සමහරෙක් නැහැ අපි නිසි තැන දෙමු යැයි කියති. ඊයේ ජාතික රූපවාහිනියේ මේ මාතෘකාව ඔස්සේ ප්‍රචාරය වූ වැඩසටහනකට සහභාගි වූ කොළඹ විජ්ජවිජ්ජාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය සුභන්ගි පැවසුවේ ඇයට සම තැන තේරෙන නමුත් නිසි තැන යන්න නොතේරෙන බවයි. මට නම් සම තැනත් නිසි තැනත් දෙකම නොතේරේ. මා ඕනෑම කෙනෙකුගෙන් මුලින්ම අසන සරල ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

ගැබිනි කාන්තාවක් බසයකට ඇතුලු වූ විට, කොතරම් බසය පිරී ඉතිරි තිබුණත් ඇයට අසුනක් හිමි වේ. තවද, එම අසුන බොහෝ අවස්ථාවල පිරිනමන්නේ පිරිමින් මිස ගැහැනුන් විසින් නොවන බවද මාගේ පෞද්ගලික අත්දැකීමයි. සම තැන ඉල්ලන එවුන්ගෙන් අසන්නේ අපි එවැනි කාන්තාවන්ටත් සම තැන දී සිටගෙන යන්න කියමු. මීට බොහෝ අය ලබා දෙන ප්‍රතිචාරත් මා දන්නා නමුත්, ඒ කිසිම ප්‍රතිචාරයක් මා තව මොහොතකින් පෙන්වා දෙන අදහසට කිසිදු බලපෑමක් නොකරන බව පෙනේවි.

බසයකට ගොඩවන විට සාමාන්‍යයෙන් බොහෝ පිරිමින් (විශේෂයෙන් තරුණයන්) කාන්තාවන්ට පළමුව ගොඩ වන්නට ඉඩ දී අවසානයේ ඔවුන් හිටගෙනත් සමහර විට ෆුට් බෝඩ් එකෙත් යනවා. මාද ඕනෑ තරම් පාසල් යන කාලයේ සිට අදටත් එසේ සිදු කරනවා. (කොහොමත් ෆුට්බෝඩ් එකේ එල්ලිලා යන එවුන් ගැන නොවෙයි මා මේ කියන්නේ.) සමතැන ඉල්ලන එවුන්ට කියමුද ගැහැනුන්ටත් ෆුට්බෝඩ් එකේ යන්න ලැහැස්ති වෙයල්ලා කියලා.

පිටකොටුවේ හා වෙනත් තැන්වලත් අපට දක්නට ලැබෙනවා බර ගෝනි දෙක තුන කරේ තියාගෙන යන නාට්ටාමිවරුන්. මා දැක නැහැ ගැහැනු අය එලෙස ගෝනි කරේ තියාගෙන යන. බොහෝ බරවැඩ සිදු කරන්නේ පිරිමිය. ගැහැනුන්ටත් සමතැන දෙන අතරේ බර වැඩත් පවරමු. බොහෝ අමාරු ශක්තියෙන් සිදු කළ යුතු කාර්යන් සිදු කරන්නේ පිරිමින් විසිනි.

මේ ආදි ලෙස බොහෝ උදාහරණ දැක්විය හැකියි. මෙවැනි ප්‍රශ්න අසන පලමු වැන්නා මා නොවේ. ඊට බොහෝ "විද්‍යාර්ථින්" ලබා දුන් පිලිතුරුද ඇත.

මට මතකයි දැනට අඩුම ගානේ වසර 5කට පමණ උඩදී අයිටීඑන් දොරමඬල වැඩසටහනින් මේ විෂය ගැන කතා කරන අවස්ථාවක සිටි මහාචාර්ය කුසුමා කරුණාරත්න මෙවැනි ප්‍රශ්න ඇයම අසාගෙන (සමාජයේ මෙවැනි ප්‍රශ්න ඇසෙන නිසා) ඊට ප්‍රතිචාර දුන් අවස්ථාවක්. ගැහැනුන් පිරිමින් තරම් වේගවත් නැත යන ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඇය කීවේ සුසන්තිකා උදාහරණයට දක්වාය. ඇය වේගවත්ය. එනිසා පිරිමින් තරම් කාන්තාවන් වේගවත් නොවේ යන තර්කය ඇය "ඛණ්ඩනය කළා" යැයි ඇයව සනසා ගන්නට ඇති.

ශක්තිය හා පුරුෂයන් වැඩි සහජ හැකියාවන් දක්වන එවැනි වෙනත් අවස්ථා කිහිපයකටම එලෙස යම් යම් කාන්තාවන් උදාහරණ ලෙස ගෙන පෑවාය. ඇයට අනුව, පිරිමින්ට යම් සහජයෙන් ලැබූ දෙයක් තිබේද ඒ සියල්ලම පාහේ කාන්තාවන්ටත් තිබේ.

මා ශක්තිය හෝ වේගය ගැහැනු පිරිමි වෙන් කරන සාධක ලෙස සලකා නොවේ ඉහත කරුණු කීවේ (පසුවට කියන පරිනාම ලක්ෂණ ගැන කීමටයි). ඇය විතරක් නොවේ මෙවැනි බාල තර්කන ක්‍රම භාවිතා කරන්නේ. කාන්තා අයිතින් වෙනුවෙන් පෙනී සිටින බොහෝ ක්‍රියාකාරින් එබඳු තර්ක සිදු කරනවා. සංඛ්‍යාන විද්‍යාවේදී outliers යැයි සාමාන්‍යයෙන් ඉවත් කරන, නීතියේදී ව්‍යතිරේක (exception) ලෙස සලකා ඉවත් කරන සාධක/සිද්ධි මොවුන්ගේ මූලික තර්ක ස්ඵුට කිරීමට යොදා ගැනීම කිසිසේත් බුද්ධි ගෝචර නොවේ.

මා පාසල් යන කාලයේ උගත් එක් උදාහරණයකින් එය යසට පැහැදිලි කළ හැකිය. යම් ගමක කෝපි කඩයක් තිබේ යැයි සිතමු. මෙම කෝපි කඩේට සාමාන්‍යයෙන් එන්නේ එම ගමේ ඉන්න අයයි. ඉතිං, යමෙකුට සිතුණොත් මේ කඩේට් එන පිරිසගේ ආදායම් තත්වය පිළිබඳ යම් අධ්‍යනයක් කරන්නට ඔහු කරන්නේ කඩේට එන අයගේ වාර්ෂික ආදායම සටහන් කර අවසානයේ ඒ සියලු දෙනාගේ වාර්ෂික ආදායම්වල එකතුව, එම පුද්ගල ගණනින් බෙදීමයි. මෙවිට ලැබෙන්නේ එම පිරිසගේ සාමාන්‍ය/ඇවරේජ් වාර්ෂික ආදායමනෙ. සමහරවිට එය 240,000ක් වැනි ගණනක් වේවි යැයි සිතමු. දැන් සංචාරයක් සඳහා ලංකාවට පැමිණි බිල් ගේට්ස් එම පෙදෙස හරහා යන ගමන් අර පොල් අතු කඩේ දැක ඉන් කෝපි එකක් බී යන්නට පැමිණියොත් කුමක් වේද? එවිට බිල් ගේට්ස් එම කඩේට ආ කෙනෙකු නිසා ඔහුගේ වාර්ෂික ආදායමත් අර සංඛ්‍යා ගණනය කිරීමේදී එකතු වේ. ඔහුගේ වාර්ෂික ආදායම ලංකා ආණ්ඩුවේම වාර්ෂික ආදායමට වඩා වැඩිය. බිල් සහිතව ගණනය කළොත් ඇවරේජ් අගය රුපියල් කෝට් ගණනක් වනු ඇත. එවිට එම සංඛ්‍යා ලේකනය අනුව එම කෝපි කඩේට එන ගැමියන් කෝටිපතියන් සේ දැක්වේවි. එය විකෘතියක් නේද? එනිසා බිල් ගේට්ස් ඉහත ගණනය කිරීමට යොදා ගන්නේ නැත. සංඛ්‍යාන විද්‍යාවේදී ප්‍රතිපලය විකෘති කරන දත්ත outlier ලෙස ඉවත් කෙරේ.

අපේ කාන්තා අයිතින් කතා කරන ගිනි කිකිලයන්ගේ සමහර සංඛ්‍යා දත්ත හා කාරණා ගෙන හැර පෑම් ඉහත උදාහරණය වැනිමය.

කාන්තාවන්ට වඩා පිරිමින් ශක්තිමත්ය, වේගවත්ය, තරමක් සැරපරුෂය. එය මිනිස් සතා වසර දසදහස් ගණනක සිට පරිනාමයෙන් දායාද කරගත් ගතිලක්ෂණ වේ. එක එක අම්මණ්ඩිලාට හා උන්ට බකප් දෙන බාප්පොච්චිලාට ඕන ඕන විදියට එවැනි ගතිලක්ෂණ ක්ෂණික නූඩ්ල්ස් වගේ වෙනස් නොවේ. කාක්කා කලුය. එහෙත් ඉඳහිට සුදු කාක්කෙක් ගැන වාර්තා වේ. එම සුදු කාක්කා ජාන විකෘතියකි; ව්‍යතිරේක අවස්ථාවකි; අවුට්ලයර් එකකි. එලෙසම පිරිමින්ට වඩා ශක්තිමත් හෝ වේගවත් ගැහැනු දුලබ වශයෙන් සිටිය හැකිය. ඒවා ව්‍යතිරේක වේ.

මා මේ පෙන්වා දෙන්නේ ඉතාම සරල කාරණයකි. ගැහැනුන්නට වඩා පිරිමි උසස් හෝ පිරිමින්ට වඩා ගැහැනු උසස් බවක් කිසිවිටෙක පෙන්වන්නට මා උත්සහ දරන්නේ නැත. එය හරියට ඇපල් වලට වඩා දොඩම් රසයි කියනවා වැනිය (you cannot compare apples with oranges).

සත්වයා කාලාන්තරයක් තිස්සේ පැවත ආ ක්‍රමයක් (පරිනාමයක්) තිබේ. එහිදී එකිනෙකාට උරුම වූ ගති ලක්ෂණ තිබේ. එම තත්වයන් තුල බිහි වී තිබෙන සම්ප්‍රදායක් සංස්කෘතියක් ඇත. එය අඩු වැඩි වශයෙන් රටින් රටට තැනින් තැනට වෙනස්ය. මේ පරිනාම වෙනස්කම නිසානෙ පිරිමින් දරුගැබ් නොදරා ගැහැනුන් එය දරන්නේ. එවැනි කාන්තාවන්ට බසය තුල වටිනාකමක් හිමි කර දී තිබේ. සමාජය තුල වටිනාකමක් ආරක්ෂාව ලබා දී තිබේ. ඒ ඇය කාන්තාවක් වීම නිසා නොව, අවශ්‍යතාව විසින් එය ලබා දිය යුතු යැයි තිබෙන මානුෂික හැඟීම නිසාය. ඇයට බර වැඩ නොපවරන්නේ කාන්තාව පිරිමියාට වඩා කිසියම් හෝ පැතිකඩකින් පහත් නිසා නොව, ඇගේ ජීවවිද්‍යාත්ම ගතිලක්ෂණ අනුව ඈට පිරිමියා තරම් ශක්තියක් නැති නිසාය.

විද්‍යාවක් නූගත් වෙනත් මොනවදෝ උගත් එවුන් ටිකක් සම තැන ඉල්ලා මල විකාර දොඩවයි. එය යම් කාලයක් පුරාවට සිදු වූ පසුව ඉබේම යම් ප්‍රවාහයක් බවට පත් වේ. එවිට, උගත් හා නූගත් බොහෝ පිරිසක් එම ප්‍රවාහයට හසු වේ. නැතහොත් එය ෆැෂන් එකට සිදු කරයි. එසේත් නැතිනම්, යම් සමාජ තත්වයක් ආරෝපණය කර ගැනීමට හෝ දේශපාලන වාසි ලබා ගැනීමට (පවිත්‍රා වන්නිආරච්චි වගේ වනචාරි දේශපාලුවන්) හුදෙක් ඒ ගැන කතා කරයි.

යම් යම් ආකල්ප නිසා කාන්තාව සමහර සමාජ තුල අඩු වරප්‍රසාද භුකිති විඳිනවාද විය හැකිය. එම ආකල්ප හැමවිටම පිරිමින් විසින් ඇති කරන්නක්ද නොවේ. කාන්තාවන්ද වගකිව යුතු අවස්ථා තිබේ. මෙවැනි අවස්ථාවලදී දැනුවත් කිරීම වටිනවා. එහෙත් කාටත් නොතේරෙන බොරු සංකල්ප හෝ සාවධ්‍ය උදාහරණ දැක්වීම් හෝ තඩි පොත්වල ඇති වාර්තා දැක්වීම ප්‍රතිපලදායකදැයි සිතා බැලීම වටී.

තවද කොතරම් දැනුවත් කළත් යම් කොට්ඨාශයක් වෙනස් නොවේ. එය මේ කාන්තා ගැටලුවේදී විතරක් නොව, වෙනත් සමාජ හා පෞරුෂ කටයුතුවලදීද පවතී. කොතරම් පැහැදිලි කළත් තමන් කාලාන්තරයක් තිස්සේ හුරුවූ සංකල්ප වෙනස් කර ගැනීම අඩුවෙන් සිදු වේ. ඒකනෙ තවමත් වශීගුරුකම්, යන්ත්‍රමන්ත්‍ර, ජ්‍යොතිෂ වැනි දෙවල් පස්සේ සමහරෙක් දුවන්නේ. පුද්ගලයාගේ උගත්කමද ආකල්ප වෙනස් කිරීම පහසුවීමට බොහෝවිට වැදගත් සාධකයක් නොවිය හැකිය (මිථ්‍යා කරේ එල්ලාගෙන සිටින උගතුන් ඕනෑ තරම් සිටී).

ආචාර්ය සුභාන්ගිට නිසි තැන නොතේරෙන හේතුව නිසි තැන තීරණය කරන්නේ කවුද කියා තිබෙන ගැටලුව නිසාලු. නිසි තැන පමණක් නොව, මනසේ මතුවන ඕනෑම ආකාරයේ ප්‍රස්තුථයක් අරඹයා එම ප්‍රශ්නය පොදු වේ. එය හුදු දාර්ශනික ප්‍රශ්නයකි. අවසානයේ භාෂාවේ අර්ථසීමනය නම් සංකල්පය දක්වා එය පුලුල් කළ හැකිය (එවිට එය මල විකාරයක් වේවි). අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. එහෙත් එය මෙසේ විය යුතුදැයි තීරණය කරන්නේ කවුද? 50%කට වැඩිය 1 ඡන්දයක් ලබා ගත් තැනැත්තාට කෙසේද අයිතියක් තිබෙන්නේ එවැනිම මිනිස් ජන කොටසක් ඔහුට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කර තිබියදී ඔවුන්ව පාලනය කරන්නට? මෙය කාගේ ප්‍රජාතන්ත්‍රවාදයද එතකොට?

නිසි තැන නොව සම තැන තීරණය කරන්නේ කවුද කියාද එම ප්‍රශ්නයම ඇසිය හැකිය. එවිට කෙනෙකුට සිතිය හැකියි සමතැන හඳුනාගැනීම පහසුයි මොකද පිරිමියාට යමක් හිමිද එම තැන එලෙසම ගැහැනියටද හිමි යැයි සිතිය හැකි නිසා. එහෙත් එසේ සිතිය නොහැකි බව මා මොහොතකට පෙරත් පෙන්වා දුන්නා. ජීව විද්‍යාව අනුව මිනිස් පරිනාමය අනුව පිරිමියා හා ගැහැනිය අතර ශාරීරිකවත් මානසිකවත් වෙනස් මට්ටම් ඇත. Men from Mars, Women from Venus (පිරිමින් ඇවිල්ල තියෙන්නේ යුධකාමී අඟහරු ලෝකෙන්, කාන්තාවන් ඇවිත් සිටින්නේ ආදරනීය රොමාන්තික සිකුරු ලොකයෙන්) කියා අප රසවත්ව ප්‍රකාශ කරන්නේද එනිසාය.

ඒ අනුව ගැබිනියට බසයේ සීට් එක දිය යුතුද කියා තීරණය කරන්නේ කොහොමද? කවුද? පිරිමියාට එවැනි අමුතු වරප්‍රසාදයක් නැති නිසා කාන්තාවට එය දුන්නේ කෙසේද? එවිට එවුන් කියා සිටින්නේ ගැබිනියට සීට් එක දෙන්නේ ඇය කාන්තාවක් වීම නිසා නොව, ඇයගේ ගැබිනි තත්වය නිසා බවයි (හරියට ලෙඩෙකුට සීට එක දෙනවා වැනි අවස්ථාවකට සමාන බව). නැවතත් අර ප්‍රශ්නය මතු වේ. ඇයට සීට් එක පිරිනැමිය යුත්තේ ඇය කාන්තාවක් නිසාද ගැබිනියක් වූ නිසාද කියා තීරණය කිරීමට බලය තිබෙන්නේ අභිමතය තිබෙන්නේ කාටද? ආචාර්ය සුභාන්ගිටද? මටද? එනිසා කිසිදා විසඳිය නොහැකි එවැනි දාර්ශනික ප්‍රශ්න මෙවැනි ප්‍රශ්න විසඳීමට නොගත යුතුය.

ඉතිං මිනිසාගේ ශාරීරියක ශක්තිය හා වේගය සහ සටන්කාමි මානසික්තවය නිසාත්, ගැහැනියගේ මුදු මොලොක් ගතිය නිසාත්, ශක්තිමතා/බලවන්තයා විසින් බලය අනෙකා කෙරෙහි යොමු කිරීමට තිබෙන ප්‍රවණතාව මත කාන්තාවට යම් යම් වදහිංසන ඇති විය හැකිය. මෙවිට එය කාන්තා පුරුෂ සමතැන පිළිබඳ කතාවක් නොවේ. ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගැටලුවකි. ඊට සුදුසු පිලියම් ගත යුතුය.

ඉහත ආකාරයේ ගැටලුවක් කාන්තා සමතැන පිළිබඳ ගැටලුවක් ලෙස ගතහොත් ඇත්තටම කාන්තා අයිතින් වෙනුවෙන් පෙනී සිටින අය තමයි පළමුවෙන්ම පිරිමියාගේ දෙපා මුල වැද වැටෙන්නේ මන්ද "මාස්ටර් සර් මට නිසි තැන දෙනවාද, අනේ සර් අනුකම්පා නොසිතේදෝ" කියා පින්සින්ඩු වීමක් වැනිය එය.

එනිසා අනවශ්‍ය සටන්පාඨ හා අනවශ්‍ය ගැටුම් නැතිව මෙම ප්‍රශ්නයට මුහුන දිය හැකිය. මිනිසා අනෙක් සතුනට වඩා දියුණු යම් ශීලාචාර බවක් පෙන්වන නිසා එය කළ හැකිය.

තමන්ගේ ගැහැනිට දස වද හිංසා පමුනුවන පිරිමියා පවා අල්ලපු ගෙදර හෝ පාරේදී තවත් පිරිමියෙකුගෙන් කාන්තාවකට අකටයුත්තක් සිදුවන විට ඊට විරුද්ධ වෙනවා. අනියම් සබඳතාවක් නිසා මිනී මැරෙන විට, අනියම් සබඳතා පිළිබඳ විශේෂඥ අත්දැකීම් තිබෙන අය (විශේෂයෙන් ගැහැනු මාගේ අත්දැකීම අනුව) කියන්නේ අරූගේ අහවල් එක කපා දැමිය යුතුය කියාය. එනිසා, ප්‍රචණ්ඩත්වය මිනිස් සත්ව සන්තානය තුල තවමත් තිබුණත්, ඊට උඩින් වගකීම හරිවැරැද්ද ගැන හැඟීමක්ද මිනිසා සතුව පවතිනවා. ඒ කියන්නේ මිනිස් මොලයේ සර්ප මොල කොටසත් (reptilian brain) නියෝකෝටෙක්ස් කොටසත් (neocortex brain) අතර ගතික සමතුලිතයක් හැමවිටම පවතිනවා. එනිසා ගැහැනියට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පිරිමියාවම යොදාගත හැකි තත්වයක් තිබෙනවා. එවිට (ශරීර ශක්තියෙන්) බලවතා විසින්ම බලවතා පාලනය කෙරෙන තත්වයක් ඇති වෙනවා. මේ තත්වයත් ඇති කළ හැක්කේ නිසි දැනුම කුඩා කල සිටම ඇති කිරීමෙනි. එහෙම නැතිව, කිසිල්ල පෙනෙන සේ සාරි ඇදගත් ගිනි කිකිලියො ටිකක් ගහන කයිවාරුවලින් නොවේ.

කාන්තාවගේ සියුමැලි මුදුමොලොක බව දුර්වලකමකට වඩා ප්‍රබල ආයුධයක් සේ මට පෙනේ. මොන ජගතා කිව්වත් යමක් කරන්නේ නැහැ කියපු දේවල් කෙල්ලක් ආදරෙන් හුරතල්ව කී පමණින් සිදු කරපු අවස්ථා අපේ ජීවිතවලද ඇත. මෙලෙස හරි ලස්සනට පරිනාමයෙන් ගැහැනු හා පිරිමි දෙපාර්ශ්වයම වෙනස් වෙනස් පැතිවලින් ශක්තිමත් කර තිබේ. ගින්දරට බලපෑමක් කළ හැක්කේ ජලයට මිස ගින්දරට නොවේ.

අවසාන වශයෙන් මට පෙනී යන්නේ මෙයයි. සම තැනට වඩා නිසි තැන යන්න වඩා වලංගු වේ. එහෙත් ඒ දෙකටම වඩා දෙගොල්ලන්ම සිතුටින් සහයෝගයෙන් සිටිය හැකි ප්‍රචණ්ඩත්වය හික්මවන ක්‍රමවේද සොයා ගත යුතුය. කවුරුන් ලොක්ක විය යුතුද, දෙගොල්ලන්ම ලොක්ක විය යුතුය ආදී බෙදීම් හා තරගකාරී හැඟීම් සමනය වන දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කළ යුතුය. නැතිනම් වන්නේ අපි කැමති වුවත් අකමැති වුවත් රොමාන්තික ගැහැනිය වෙනුවට සටන්කාමී ඇමසන් ගැහැනියක් පිරිමියා ඉදිරියේ නිර්මාණය කර, මිනිහගෙන් හන්දි කැඩෙන්න ගුටි කා කෙලවර දික්කසාදයෙන් අවසන් වෙන නන්නත්තාර සමාජයකි. සමතැන මුදුනේ තබා සිටින දියුණු යැයි කියන සමාජවල තත්වය අද වෙන කොට එය නොවේද?

5 comments: