Friday, March 31, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 75

Radio Beacon

බීකන් යනු යම් සන්නිවේදන කාර්යක් සපුරාලන ඉතා පැරණි තාක්ෂණික උපක්‍රමයකි. යම් පනිවුඩයක්/සංඥාවක් ශබ්ද මාර්ගයෙන් හෝ දෘෂ්‍ය මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ වෙනත් අයට පොදුවේ ලබා දිය හැකි ඕනෑම උපක්‍රමයක් බීකනයකි. ඒ අනුව අතීතයේදි ගිනි දැල් බීකන් ලෙස භාවිතා කර තිබෙනවා (කඳු මුදුන්වල ගැසූ ගින්දරින් පිටවන දුම්වලින් යම් පනිවුඩ ලබා දී තිබෙනවා). මීට අමතරව අප කවුරුත් දන්නා බීකනයක් තමයි නැව් ගමනාගමනයට උපකාරිවන lighthouse කියන්නෙත්.

ඇම්බ්‍යුලන්ස් රථ, ගිනි නිවන රථ, පොලිස් රථ ආදියෙහි ඇති සයිරන් ශබ්ද හා/හෝ “වර්ණවත් සැලෙන එලි” ආදියද බීකන් වේ. විශාල කන්ටේනර් රථ ආදියෙහිද මෙවැනි බීකන් තිබෙනවා. Airport හා heliport (හෙලිකොප්ටර් බස්සන තැන්) වලත් මෙවැනි ආලෝකමත් බීකන් තිබෙනවා. එම බීකනයෙන් පිටවන වර්ණය අනුව පයිලට්ට පණිවුඩයක් ලැබෙනවා කුමන ජාතියේ යානා එහි බැස්සිය හැකිද කියාත්.

එහෙත් අප මෙම පාඩමින් වැඩි විස්තර සොයන්නට යන්නේ ඉහත ආකාරවල බීකන් ගැන නොව. රේඩියෝ තරංග උපයෝගි කරගන්නා බීකන් හෙවත් radiobeacon ගැනයි. මීට පෙර හදිසි ආපදා සන්නිවේදනය ගැන කතා කරන විට හමු වූ EPIRB, ELT, PLB ද රේඩියෝබීකන් වේ (හදිසි ආපදාවකදී කොස්පාස් ආදී හදිසි ආපදා ප්‍රතිචාර පද්ධතියකට තමන් සිටින තැන හඟවන කාර්ය ඉන් සිදු වෙනවා). මෙම බීකන් ක්‍රියාත්මක වන්නේ ආපදා තත්වයකදී පමණි (එනිසා emergency beacon හෝ distress beacon ලෙස මේවා හැඳින්වේ); එතකල් කිසිම රේඩියෝ තරංගයක් ඉන් නිකුත් වන්නේ නැත.

එසේ වුවත්, අප මේ කතා කරන්නට යන්නේ ඊටත් වෙනස් රාජකාරියක් සිදු කරන රේඩියෝබීකන් ගැනයි. විශේෂත්වය කුමක් වුවත්, සෑම බීකන් එකකින්ම සිදු කරන පොදු රාජකාරිය නම් යම් සන්නිවේදන කටයුත්තකි (යම් පනිවුඩයක්/සංඥාවක් ලබාදීම). ආධුනික ගුවන් විදුලියේදී භාවිතා කරන බීකන් නොකඩවා දිගටම යම් රේඩියෝ තරංගයක් විසුරුවා හරිනවා. අපට හැකියි මෙම බීකන් ක්‍රමය යොදා ගන්නට අයනගෝලයේ උපකාරයෙන් සිදු කරන රේඩියෝ සන්නිවේදනය පහසු කර ගැනීමට. ඒ කොහොමද?

ඔබ දන්නවා HF කලාපයේ සංඛ්‍යාතයන් භාවිතා කරමින් අපට හැකියි අයනගෝලයේ ඉහල ස්ථරවලින් පරාවර්තනය කරවා කිලෝමීටර් දහස් ගණනක් ඈතට සංඥා විසුරුවා හරින්නට (sky wave). එහෙත් එය හැමදාම එක හා සමානව කළ හැකි දෙයක් නොව දිනෙන් දින පැයෙන් පැය නිමේෂයෙන් නිමේෂය වුවද විචලනය වන එකකි. ඊට හේතුව අස්ථාවර සූර්ය ක්‍රියාකාරිත්වය බවත් අප ඉගෙන ගත්තා.

සිතන්න ලංකාවේ (ගම්පහ දිස්ත්‍රක්කයේ යම් ප්‍රදේශයක) මේ මොහොතේ මා සිටින බැවින්, එතැන සිට ප්‍රංශයේ Aiguèze නම් මනරම් ගම් ප්‍රදේශයට මට අයනගෝලයේ උපකාරයෙන් රේඩියෝ සන්නිවේදනයක් කිරීමට අවශ්‍ය යැයි කියා. එය ඇත්තෙන්ම කළ හැකියි. එහෙත් එය හැමදාම කිරීමට නොහැකියි. ඊට හේතුව සමහර කාලවලදී/වෙලාවලදී අයනගෝලය විසින් රේඩියෝ තරංග බ්ලොක් කරනවා (අවශෝෂණය කරනවා). සමහර අවස්ථාවලදී මට එම පෙදෙස සමඟ සන්නිවේදනය කළ හැකි වුවත්, සංඥා ඉතාම දුබලවයි ඇසෙන්නේ (එනම් ඉතා විශාල හායනයක් සිදු වී තිබෙනවා). තවත් අවස්ථාවකදී මට එය ඉතාම පැහැදිලිව කළ හැකි වෙනවා. මෙලෙස විවිධ කාලයන්වලදී සන්නිවේදනය වෙනස් වෙනවා මොකද අයනගෝලයේ ස්වභාවය අස්ථාවර සූර්ය ක්‍රියාකාරිත්වය නිසා නිතරම වෙනස් වන නිසා.

ඉතිං, මට ඉහත ආකාරයට හොඳ සන්නිවේදනයක් සිදු කිරීමට හැමතිස්සේම හැකි වෙන්නේ නැහැ. මොන මොන වෙලාවලදී එය හොඳින් කළ හැකිදැයි මට දළ වශයෙන් හඳුනාගත හැකියි පෙර පාඩම්වලදී ස්පේස් වෙදර් ගැන කියූ කරුණු ගැන විමසිල්ලෙන් සිටිමින්. එහෙත් එවැනි ආකෘතිවලින් කියනා තත්වයන්/අනාවැකි 100%ක්ම නිවැරදි නොවන්නටත් හැකියි. එසේ නම් මට කරන්නට තිබෙන්නේ සැරින් සැරේට ඇත්තටම මගේ ට්‍රාන්ස්මීටරයෙන් සංඥා යවා බැලීමයි. එහෙත් තිස්සෙම එය කර කර ඉන්නටත් බැහැනෙ (අපට වෙන වැඩත් කරන්නට තිබෙන නිසා ජීවිතයේ). මෙන්න මෙතැනදී තමයි බීකනයක වටිනාකම එන්නේ.

මට හැකියි ප්‍රංශයේ යම් රේඩියෝබීකනයක් පිහිටුවන්නට. ඉන් දිගටම රේඩියෝ තරංග නිකුත් වේවි. එම රේඩියෝ තරංගවලට ඇහුම්කන් දීමට මටත් ලංකාවේ සිට රිසීවරයක් ටියුන් කර තැබිය හැකියි. එවිට, අයනගෝලයේ උපකාරය නැති විට (එනම් අයනගෝලය රේඩියෝ තරංග පරාවර්තනය නොකරන විට), රිසීවරයෙන් කිසිදු ශබ්දයක් නොඇසේවි. එහෙත් යම් මොහොතක අයනගෝලය සක්‍රිය වූ විට (එනම් පරාවර්තනය සිදු කරන්නට ගත් විට), රිසීවරයෙන් ශබ්දයක් විත් මට දැනුම් දේවි. එවිට මා දැන ගන්නවා දැන් අයනගෝලය හරහා රේඩියෝ සන්නිවේදනයක් ප්‍රංශය සමඟ කළ හැකියි කියා.

රේඩියෝබීකනයක් සාමාන්‍යයෙන් යොදා ගන්නා හැටි ඉහත ආකාරයෙන් තමයි සිදු වන්නේ. එහෙත් මීට වඩා තවත් හොඳ පහසුකම් කිහිපයක්ම මෙම බීකනය මඟින් සිදු කරගත හැකි ලෙස එය සකස් කළ හැකියි. ඒ ගැන බලමු දැන්.

අයනගෝලය විසින් සෑම සංඛ්‍යාතයකටම එක ලෙස සලකන්නේ නැහැනෙ. එක් එක් සංඛ්‍යාතයන්ට සලකන විදිය වෙනස්ය. සමහර සංඛ්‍යාතයන්ට ඉතාම අවම හායනයක් සිදු කර ඈතට පරාවර්තනය කරයි. තවත් සංඛ්‍යාතයන්ට විශාල හායනයක් සිදු කර පරාවර්තනය කරයි. තවත් සංඛ්‍යාතයන් කොතරම් හායනයකට ලක් වේද කියතොත් පොඩ්ඩක්වත් පරාවර්තනය සිදු නොකරාවි. ඉතිං, අර රේඩියෝබීකනයෙන් කුමන කුමන සංඛ්‍යාතයන් කුමන කුමන මට්ටමින් පරාවර්තනය කරයිද යන්න සෙවිය හැකියි. ඒ සඳහා කරන්නට තිබෙන්නේ සරල දෙයකි.

සාමාන්‍යයෙන් අයනගෝලය සපෝට් කරන සම්පූර්ණ සංඛ්‍යාත පරාසයේ තැනින් තැන සංඛ්‍යාතයන් කිහිපයක් තොරා ගන්න. ඉන්පසු එක් මොහොතකදී ඉන් එක් සංඛ්‍යාතයකින් සංඥාවක් විසුරුවා හරිනවා. එයද වොට් කිහිපයකින් සිදු කරනවා. ඒ කියන්නේ පළමු තත්පරයේදී වොට් 100කින් එක් සංඛ්‍යාතයකින් රේඩියෝ සංඥාවක් යවනවා තත්පර 5ක කාලයක් පුරා. එම තත්පර 5 අවසන් වූ පසු, එම සංඥාවම එම සංඛ්‍යාතයෙන්ම වොට් 10කින් විසුරුවා හරිනවා තවත් තත්පර 5ක කාලයක් පුරා. එම තත්පර 5 අවසන් වූ පසු එම සංඥාවම එම සංඛ්‍යාතයෙන්ම නැවත වොට් 1කින් විසුරුවා හරිනවා තත්පර 5ක කාලයක් පුරා. මෙලෙස විවිධ වොට් ගණනින් එකම සංඥාව එකම සංඛ්‍යාතයෙන් විසුරුවා හරින විට, ඉන් අපට දැන ගත හැකියි මේ මොහොතේ අයනගෝලය එම සංඛ්‍යාතය කොතෙක් හොඳට පරාවර්තනය කරනවාද කියා.

හායනය ඉතාම වැඩි නම්, වොට් 100ක් වැනි වැඩි වොට් ගණනකින් යැව්වත් සංඥාව අයනගෝලය හරහා ඈතට නොයනු ඇති (හායනය එතරම්ම වැඩියි එම මොහොතේ). සාමාන්‍යයෙන් අයනගෝලය හරහා ප්‍රචාරණය වන සංඛ්‍යාතයක් යම් මොහොතක බ්ලොක් වී තිබෙන විට අප ඊට කියනවා “එම බෑන්ඩ් එක closed” (band closed) කියා. සංඥාව වොට් 10කින් යවන විට යාන්තමට ඈත සිට ඇසේ නම් ඒ කියන්නේ හායනය තරමක් වැඩි වුවත් අයනගෝලය විසින් එම සංඛ්‍යාතය ප්‍රචාරණය වීමට උදව් කරනවා කියාය. යම් මොහොතක එම සංඛ්‍යාතය අයනගෝලය හරහා ප්‍රචාරණය වන විට අප ඊට කියනවා “බෑන්ඩ් එක open” (band opened) කියා. වොට් 1කින් යවන විටත් ඈත සිට එම සංඥාව ග්‍රහණය කළ හැකි නම්, එම අවස්ථාවේදී අයනගෝලය ඉතා හොඳින්ම (හායනය ඉතාම අඩුවෙන්) එම සංඛ්‍යාතය පරාවර්තනය කරන බව නිගමනය කළ හැකියි (ඒ කියන්නේ බෑන්ඩ් එක හොඳටම ඕපන්).


ඉහත ආකාරයට තෝරා ගත් අනෙක් සංඛ්‍යාතයන්ද පිලිවෙලට අර වගේ වොට්/ජව මට්ටම් කිහිපයකින් යැවිය හැකිය. එමඟින් අපට හැකි වෙනවා අයනගෝලය සපෝට් කරන සංඛ්‍යාත පරාසයම යම් මොහොතක පවතින තත්වය කුමක්දැයි දැන ගැනීමට.

එකම වෙලාවේ ලෝකය වටේ ඇති සමස්ථ අයනගෝලයම එකම ගතිගුණ දක්වන්නේ නැත. යම් මොහොතක ලංකාව හා ප්‍රංශය අතර පෙදෙසයේ අයනගෝලය යම් සංඛ්‍යාතයක් ප්‍රචාරණය කළත් (band opened), එම මොහොතේදී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අයනගෝලය හරහා එම සංඛ්‍යාතයට band closed වී තිබිය හැකියි. ඒ අනුව ප්‍රංශයේ සවිකර තිබෙන බීකනයෙන් මට ඔස්ට්‍රේලියාව හා ලංකාව අතර අයනගෝල තත්වය දැනගත නොහැකිය. ඒ සඳහා තවත් බීකනයක් මට ඔස්ට්‍රේලියාවේ සවි කිරීමට සිදු වෙනවා. එලෙස ලොව පුරා ස්ථාන දුසිමක විතර බීකන් සවි කිරීමෙන් අපට පුලුවන් මුලු ලොවම ආවරණය කරන්නට.

එවැනි ලොවම ආවරණය කරපු බීකන් පද්ධතියක් තිබෙනවා ආධුනික ගුවන් විදුලි ශිල්පින් සතුව. මුලු ලොවම ආවරණය නොකරන තවත් කුඩා පද්ධතිද ගණනාවක් තිබෙනවා. ආධුනික ගුවන් ශිල්පින් භාවිතා කරන මෙවැනි බීකන් amateur radio propagation beacon ලෙස හැඳින්විය හැකියි. අනිවාර්යෙන්ම මෙවැනි බීකන්වල සංඛ්‍යාතයන් ආධුනික ගුවන් විදුලි සංඛ්‍යාත බෑන්ඩ්/පරාස තුල තිබිය යුතුයි. තනි තනි ආධුනික ශිල්පින්ට මෙන්ම ආධුනික රේඩියෝ ශිල්පී සමාජ විසිනුත් ඒවා පවත්වාගෙන යා හැකියි. කවුරුන් විසින් පවත්වාගෙන ගියත් ඒවායේ සේවය කාටත් නොමිලේ ලබා දිය යුතුය (මොකද ආධුනික ගුවන් සේවයේ කිසිම තැනකදී මුදල් අය කිරීම හෝ යම් තෝරාගත් කාණ්ඩයකට පමණක් සේවාවන් සීමා කිරීම කළ නොහැකිය).

සාමාන්‍යයෙන් මූර්ජනය නොකරපු නිකංම කැරියර් සංඛ්‍යාතය පමණක් ඇමචර් රේඩියෝබීකනයකින් නිකුත් වන්නේ නැත. එක් එක් බීකන් ට්‍රාන්ස්මීටරයක් සඳහාම අනිවාර්යෙන්ම අනන්‍ය කෝල්සයින් එකක් තිබිය යුතුමය (එය ඉතිං සාමාන්‍ය නීතියනෙ - සෑම ට්‍රාන්ස්මිටරයකටම කෝල්සයින් එකක් තිබිය යුතුය). එනිසා, බීකනයෙන් තමන්ගේ කෝල්සයින් එක මෝර්ස්කෝඩ් (A1A) ක්‍රමයෙන් විසුරුවා හැරේ. අවශ්‍යම නම් වෙනත් එමිෂන් ක්‍රමයකින්ද (F1A, G1B, වැනි) කෝල්සයින් එක යැවිය හැකිය.

ඇත්තටම HF සංඛ්‍යාත පරාසය සඳහා පමණක් නොව, LF, MF, VHF, UHF, SHF ආදී අනෙක් සංඛ්‍යාත පරාසයන් සඳහාද එවැනි රේඩියෝබීකන් ක්‍රියාත්මක වේ. VHF බීකනයකින් අපට දැන ගත හැකියි tropo ප්‍රචාරණය සක්‍රියද කියා සොයා ගැනීමට.

SHF බීකන්වලින් ඇත්තටම බලාපොරොත්තු වන්නේ අයනගෝලය එම සංඛ්‍යාත සඳහා ඕපන්ද කියා බැලීමට නොවේ. කිසිදා අයනගෝලය මෙවැනි අධිසංඛ්‍යාතයන්ට විවෘත නොවේ (මෙම සංඛ්‍යාත අයනගෝලය විනිවිද යයි). ඇන්ටනා හා රේඩියෝ රිසීවර් හරියට ටියුන් කිරීමට හා calibrate කිරීමට මෙවැනි බීකන්වලින් එන රේඩියෝ සංඥා භාවිතා වේ. මින් පෙනෙන්නේ අයනගෝලයේ තත්වය බැලීමට අමතරව තවත් රාජකාරි රේඩියෝබීකන්වලින් කර ගත හැකි බවයි.

ඇත්තෙන්ම නිකංම කෝල්සයින් එක යවනවා වෙනුවට සමහර බීකන් විසින් තවත් අමතර දත්තද යවනවා. එම අමතර දත්ත වන්නේ ස්පේස් වෙදර් දත්තයන්ය (K-index වැනි). තවත් බීකන්වලින් එමිෂන් කිහිපයකින්ම සංඥා නිකුත් කරනවා (වරක මෝර්ස්කෝඩ්වලින්ද, ඊළඟට ඩිජිටල් ක්‍රමයකින්ද ආදි ලෙස). මෙලෙස සාමාන්‍යයෙන් ඔබට සිතිය හැකි ඕනෑම විදියකින් බීකන් සෑදිය හැකි බව පෙනෙනවා නේද?

සමහර ආධුනික ගුවන් ශිල්පින්ද බීකන් පවත්වාගෙන යනවා විනෝදෙට මෙන්. බොහෝ ඒවා තාවකාලික වේ. එහිදී තමන්ගේ කෝල්සයින් එක අගට /b යන්න එකතු කර බීකනය සඳහා අලුත් කෝල්සයින් එකක් සාදා ගත හැකියි. එහෙත් ලෝක මට්ටමින් ඉතා හොඳ බීකන් ජාලයක් පවතිනවා. දැන් ඒ ගැන සොයා බලමු.

ලංකාවේ RSSL රේඩියෝ සංගමය විසින් 6 meter beacon project නම් ව්‍යාපෘතිය සමඟ එක්ව 6m බෑන්ඩ් එක තුල 50.009MHz යන සංඛ්‍යාතයෙන් වොට් 25ක බීකනයක්ද පවත්වාගෙන යනවා. එහි කෝල්සයින් එක 4S7B/B වේ. එහි ග්‍රිඩ් පිහිටීම MJ96xv වේ.

International Beacon Project (IBP)

ලොව පුරා විවිධ ස්ථාන 18ක සවිකර තිබෙන බීකන් ජාලයකි. Northern California DX Foundation (NCDXF) හා International Amateur Radio Union (IARU) යන ආයතන දෙක එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 22WPM වේගයකින් මෝර්ස්කෝඩ්වලින් දත්ත යවයි. HF කලාපයේ තෝරාගත් නිශ්චිත සංඛ්‍යාතයන් 5කින් මේ සියලු බීකන් ක්‍රියාත්මක වේ. එම සංඛ්‍යාතයන් වන්නේ 14.100 MHz, 18.110 MHz, 21.150 MHz, 24.930 MHz හා 28.200 MHz වේ.

ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතියට ලෝකයේ විවිධ රටවල ආධුනික ගුවන් ශිල්පි සංගම්වලද උපකාර ලැබෙනවා (එනම් යම් ප්‍රදේශයක බීකනයක් එම ප්‍රදේශයට/රටට අයත් රේඩියෝ සංගමයකින් තමයි පාලනය කරන්නේ). http://www.ncdxf.org/ යන වෙබ් අඩවියට ගොස් එක් එක් බීකනය තිබෙන රට හා ප්‍රදේශයත්, ඒවායේ ග්‍රිඩ් පිහිටීමත්, පවත්වාගෙන යන රේඩියෝ සංගමයත්, ඒවායේ කෝල්සයිනුත් ආදී සියලු නිල තොරතුරු ඉන් බලා ගත හැකියි.

මෙහි එක් බීකනයක් ලංකාවේ කොළඹ පිහිටුවා ඇත. එය RSSL නම් ලංකාවේ ප්‍රමුඛ රේඩියෝ සංගමය විසින් පවත්වාගෙන යන අතර, එම බීකනය පිහිටා තිබෙන grid එක වන්නේ MJ96wv වේ. එහි කෝල්සයින් එක 4S7B වේ.

මෙම බීකනයක් වැඩ කරන හැටි දැන් බලමු. ඉහත සංඛ්‍යාත පහෙන් පහලම සංඛ්‍යාතය වන 14.100MHz පළමුවෙන්ම තෝරා ගෙන තත්පරයට වචන 22ක වේගයෙන් එම බීකනයේ කෝල්සයින් එක හා ඩෑෂ් සලකුණු 4ක් පමණක් යවනවා මෝස්කෝඩ්වලින්. එහිදී කෝල්සයින් එක හා පළමු ඩෑෂ් එක වොට් 100ක ජවයකින් යවනවා. එහි දෙවැනි ඩෑෂ් එක වොට් 10කින්ද, තෙවැනි ඩෑෂ් එක වොට් 1කින්ද, අවසාන ඩෑෂ් එක වොට් 0.1කින්ද යවනවා. එලෙස කෝල්සයින් එක හා ඩෑෂ් 4ම යැවීමට තත්පර 10ක් වැය වෙනවා. ඉන්පසු, ඊළඟට ඉහල 18.110MHz සංඛ්‍යාතයට පැන නැවත ඉහත ආකාරයටම සංඥාව යවනවා. මේ ආකාරයට අනෙක් සංඛ්‍යාත 3න්ද සංඥා යවනවා.

එම සංඛ්‍යාත 5න්ම සංඥා යැවූ පසු තත්පර 130ක් නිහඬව සිට නැවත මුල සිට පෙර පරිදිම සංඛ්‍යාත එකින් එක ඔස්සේ සංඥා යවනවා. එක් සංඛ්‍යාතයක් සඳහා තත්පර 10 බැඟින් සංඛ්‍යාත පහෙන්ම විසුරුවාලීමට තත්පර 50ක් වැය වේ. නිහඬව සිටින තත්පර 130ත් සමඟ එක් වටයක් සඳහා තත්පර 180ක් හෙවත් විනාඩි 3ක් ගත වේ.

සියලුම බීකන් එකම සංඛ්‍යාත සෙට් එක භාවිතා කළත් කිසිම විටක එකම සංඛ්‍යාතයකින් බීකන් දෙකක් එකවර සම්ප්‍රේෂණය සිදු නොකරන ලෙසයි ඒවා සකස් කර තිබෙන්නේ. එනිසා සියල්ලම ඉතා හොඳ කාල සටහනයක් අනුව වැඩ කරයි. මේ සියලුම බීකන් GPS රිසීවර් මඟින් කාලය සින්ක්‍රොනයිස් කර ඇත. ලංකාවේ බීකනය උදාහරණයට ගෙන එය සිදු වන හැටි බලමු.

පළමුව පහලතම සංඛ්‍යාතයෙන් තත්පර 10ක් පුරාවට පෙර විස්තර කළ ආකාරයට සංඥාව යවයි. මෙවිට අනෙක් බීකන් 17 විසින්ම මෙම සංඛ්‍යාතය භාවිතා කරන්නේ නැත. තත්පර 10ට පසුව ඊළඟ සංඛ්‍යාතයට පනී. මෙවිට ඊට පෙර භාවිතා කළ සංඛ්‍යාතය දැන් වෙනත් බීකනයක් භාවිතා කරන අතර, වෙනත් බීකනයක් භාවිතා කරමින් සිටි සංඛ්‍යාතය තමයි දැන් ලංකාවේ බීකනය භාවිතා කරන්නේ. මෙලෙස සංඛ්‍යාතයන් 5ම ගාණට තත්පර 10න් 10ට මාරු වේ. හාමුදුරුවරු 18ක් හිඳගෙන සිටින විට, පස් දෙනෙකු පෝලිමට දන් බෙදනවා වැනි වැඩකි මෙතන සිදු වන්නේ. එක් වටයක් තුලදී පළමු කෙනා පළමු හිමිට දන් බෙදනවා. ඉන්පසු ඔහු ඊළඟ හිමි ගාවට යනවා; එවිට ඔහුට පිටුපසින් සිටින දෙවැනි කෙනා පළමු හිමි ගාවට එනවා. මෙලෙස පස් දෙනා ක්‍රමයෙන් දන් බෙදමින් ඉදිරියට යනවා. හිමියන් 18ක් සිටින නිසා, පළමු හිමිට පස්වැන්නා දන් බෙදූ පසු එම පලමු හිමිට බලාගෙන ඉන්න වෙනවා අර මුලින්ම දන් බෙදපු කෙනා තවත් හිමියන් 13කට දන් බෙදා අවසනව තමන් වෙත එන තුරු. අන්න එම බලන් සිටින කාලය තමයි පෙර දැක්වූ තත්පර 130ක කාලය (එක් බීකනයකට තත්පර 10 බැඟින් බීකන් 13ක් හරහා ගමන් කිරීමට ගත වන කාලය). මෙලෙස එක් එක් බීකනය කුමන කුමන සංඛ්‍යාත භාවිතා කරනවාද යන්න තත්කාලීනව බැලිය හැකියි ඉහත වෙබ් අඩිවියට ගොස්.

Fox hunting

රේඩියෝබීකන් භාවිතා කරමින් සිදු කරන ක්‍රීඩාවකි. යම් රේඩියෝබීකනයක් තරග සංවිධායකයන් විසින් රහසිගතව යම් ස්ථානයක සඟවයි. තරගකරුවන්ට (hounds) කරන්නට තිබෙන්නේ තම රිසීවරයෙන් ඊට ඇහුම්කන් දෙමින් එය තිබෙන තැන සොයා ගැනීමයි. මෙහිදී සඟවපු බීකනය/ට්‍රාන්ස්මීටරය තමයි fox (හිවලා). අතීතයේ (හා දැනටත්) සමහර රටවල යම් උත්සව කාලයකදී කැලෑවක සිටින හිවලුන් දඩබල්ලන් (hounds) ලවා දඩයම් කිරීමේ ක්‍රීඩා තිබී ඇත. එම නම තමයි සැඟවූ රේඩියෝ බීකනය සෙවීමේ ක්‍රීඩාවටත් අරං තිබෙන්නේ.

transmitter hunting, bunny chasing ආදි තවත් නම්වලින්ද මෙම ක්‍රීඩාව හැඳින්වෙන අතර, එහි ආකාර කිහිපයක්ම පවතී. සමහර තරගවලදී තරගකරුවන් පයින් යා යුතුය (pedestrian transmitter hunting). සමහර තරගවලදී වාහනවලින් ගොස් එය කළ යුතුය (mobile transmitting hunt). පළමුවෙන්ම ෆොක්ස් ගාවට ළඟා වූ තැනැත්තා ජයග්‍රහණය කරයි.

 

මෙවැනි තරගවල හුදු සතුට විනෝදය ලබා දීම පමණක් නොවේ තිබෙන්නේ. ශාරීරික ව්‍යායාමයක් ඉන් ලබා දේ. ඊටත් අමතරව සිතියම් කියවීමේ හා කොම්පාස්/මාලිමා යන්ත්‍ර භාවිතා කිරීමේ දක්ෂතාව ඔප් නැංවේ. ඊටත් අමතරව, රේඩියෝ තාක්ෂණය හා උපක්‍රම පිළිබඳ දැනුමකුත් ලැබෙනවා. ඊට හේතුව triangulation වැනි ගණනය කිරීම් සිදු කර යම් ට්‍රාන්ස්මීටරයකින් එන රේඩියෝ සංඥා ග්‍රහණය කරමින් එය තිබෙන තැන හැඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. ට්‍රාන්ස්මීටරයකින් එන සංඥා ග්‍රහණය කර එය තිබෙන තැන සොයා ගැනීම Radio Direction Finding (RDF) හෙවත් නිකංම Direction Finding (DF) ලෙස හැඳින්වෙනවා.

එම RDF දැනුම ප්‍රායෝගික ලෝකයේදී වැදගත් දේවලට භාවිතා කළ හැකියි. එනම්, කවුරුන් හෝ කරදරකාරී ලෙස නීති විරෝධි ලෙස රේඩියෝ තරංග විසුරුවාලනවා නම්, එම ස්ථානය සොයා ගැනීම සිදු කරන්නෙත් ෆොක්ස් දඩයම් කරනවා ලෙසමයි; ඉතිං ඔහුව සොයාගෙන අදාල රජයේ ආයතනයට දැනුම් දී ඔහුව අල්ලා දිය හැකියි. තවද, දැනටමත් රේඩියෝ තරංග නිකුත් කරන ට්‍රාන්ස්මීටරයක හෝ කිහිපයක පිහිටුම් ස්ථාන දන්නවා නම්, ඒ මඟින් triangulation මාර්ගයෙන් තමන් සිටින ස්ථානය (සිතියමක් මත) සොයා ගැනීමටත් මෙම හැකියාවෙන් පුලුවන්.

RDF සිදු කිරීමට අද දියුණු උපකරණ ඇත. ඒවා රේඩියෝ තරංගවල නොයෙක් සංසිද්ධි (ඩොප්ලර් ආචරණය වැනි) භාවිතා කර ස්ථානය වඩා නිවැරදිව සොයා ගැනීමට හැකි පරිදි සාදා තිබෙනවා. එවැනි දියුණු උපකරණයක් නැතිවත් රිසීවරයක් හා සුදුසු ඇන්ටනාවක් භාවිතා කරමින් සරල ක්‍රමයකින් එය කළ හැකියි. මෙහිදී එක් පැත්තකට වැඩියෙන් සංවේදී ඇන්ටනාවක් (directional antenna) භාවිතා කළ යුතුය. එවිට, තම රිසීවරයට එය සවි කර ඇන්ටනාව හෙමින් වටේට කරකවන විට එක් පැත්තකින් ප්‍රබල සංඥාවක් ඇසේවි. අන්න ඒ පැත්තේ තමයි දළ වශයෙන් බීකනය තිබෙන්නේ. ඉතිං ඒ පැත්තට දැන් ගමන් කළ හැකියි. එහෙත් බොහෝවිට එක කෙලින් යෑමට නොහැකි වන්නට පුලුවන් (ගෙවල්, කානු, ළඳු කැලෑ ආදිය තිබෙන නිසා). එවිට වටේට වක්‍ර මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදු වේ. මෙනිසා එය සොයා ගැනීම සරල වගේ පෙනුනත් අභියෝගාත්මක වෙනවා. තවද, සංඥා වෙනත් තැන්වල වැදී පරාවර්තනය වී පැමිණෙනවා විය හැකියි (එවිට ඒ පැත්තේ නොවේ ෆොක්ස් සිටින්නේ). නැවත අභියෝගාත්මක තත්වයකි එතැන තිබෙන්නේ. කෙසේ හෝ බීකනයට ළං වන්නට වන්නට රිසීවරයෙන් ඇසෙන සංඥා හඬ ප්‍රබල වෙනවා.

Amateur Radio Direction Finding (ARDF) හෙවත් Radiosport යනු පයින් ගොස් බීකනය සොයන ලොව පුරා සිටින ආධුනික ගුවන්විදුලි ශිල්පින් නියැලෙන ප්‍රසිද්ධම ක්‍රීඩාවයි. විවිධ වයස් කාණ්ඩ යටතේ එම තරග පැවැත්වේ. යුරෝපයෙන් ප්‍රචලිත වූ මෙම ක්‍රීඩාව මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවට පත්ව ඇත. IARU ආයතනය විසින් තරග රීති පවත්වාගෙන යයි. මීට අමතරව එක් එක් රටක් තුල රේඩියෝ සංගම් විසින්ද මෙවැනි තරග පවත්වනවා. ද්විවාර්ශිකව (එනම් සෑම ඉරට්ටේ අවුරුද්දකදී - 2000, 2002 ආදී ලෙස) මෙම ජාත්‍යන්තර තරගය සාමාන්‍යයෙන් පැවැත්වේ.

යම් ප්‍රදේශයක මෝස්කෝඩ් නිකුත් කරන බීකන් 5ක් සඟවා තිබෙනවා. එකම සංඛ්‍යාතයෙන් මේවා වරකට එක බීකනය බැඟින් සංඥා (තමන්ගේ කෝල්සයින් එක) විසුරුවා හරිනවා එක දිගට එක විනාඩියක් පුරා. ඉන්පසු එම බීකනය නතර වී, අනෙක් බීකනයද තමන්ගේ සංඥාව එක විනාඩියක් පුරාවට විසුරුවා හරිනවා. මේ ලෙස මාරුවෙන් මාරුවට බීකන් සංඥා විසුරුවනවා. තරගකරුවන්ට තිබෙන්නේ මෙම බීකන් කෙටිම කාලයක් තුලදී සොයා ගෙන දිනුම් කනුව ළඟට හැකි ඉක්මනින් යෑමටයි. සාමාන්‍යයෙන් 2m හෝ 80m බෑන්ඩ් ඔස්සේ බීකන් සංඥා නිකුත් කෙරේ. ආධුනික ගුවන් විදුලියේදී මුදල්වලට කටයුතු සිදු නොවන නිසා, දිනුම්කරුවන්ට මුදල්මය ත්‍යාග ලබා නොදේ. පහත දැක්වෙන්නේ එවැනි සඟවා ඇති බීකනයකි.
 

සියලුම තරගකරුවන්ට බීකන් සඟවා ඇති ප්‍රදේශයේ සිතියමක් (ADRF map) ලබා දේ. එම සිතියමේ තිබෙනවා තරගය පටන් ගන්නා ස්ථානය හා අවසන් කරනා ස්ථානය සලකුණු කර. ඊට අමතරව තරගකරුවන් ඇත්තටම සෙවිය යුතු ප්‍රදේශය ලකුණු කර තිබෙනවා (එනම් මෙම මායිමෙන් එලියේ ගිහින් වැඩක් නැත). භූවිෂමතා ලක්ෂණ මෙන්ම වෙනත් වැදගත් ලක්ෂණ මෙම මැප් එකේ සටහන් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එවැනි මැප් එකකට උදාහරණයකි.
 

No comments:

Post a Comment