Wednesday, March 15, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 63

GNSS මේ වන විට ඉතා වැදගත් භාවිතාවන් ගණනාවක් සඳහා යොදා ගනී. මොහොතකට පෙර බැලූ කොස්පාස් පද්ධතියට එය දැවැන්ත සහයෝගයක් දක්වන බව දුටුවා. මීට අමතරව දැනටමත් ප්‍රචලිත වෙමින් පවතින හා තව වසර කිහිපයක් තුල පූර්ණ වශයෙන්ම භාවිතාවට ගැනීමට නියමිත Automatic Dependent Surveillance – Broadcast (ADS-B) යන ගුවන් යානා සඳහා භාවිතා වෙන සේවාව සඳහාද GNSS අත්‍යවශ්‍ය සාධකයයි. ADS-B භාවිතා කිරීමෙන් ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු වේවි (තෙල් භාවිතාව 10%කින් අඩු වේවි; එයාර්පෝට් අසල ගුවන් ගමන් හැසිරවීම දැනට පවතින ප්‍රමාණය මෙන් 3 ගුනයකින් කළ හැකි වේවි; පමාවීම් සිදු වීම භාගයකින් අඩු වේවි; ගුවන් ගමන්වල ආරක්ෂාව ඉතා ඉහල මට්ටමකට පත් වේවි).

සටහන
ADS-B
Automatic Dependent Surveillance – Broadcast යනු ගුවන් යානාවල යොදා ගන්නා නව විප්ලවීය තාක්ෂණයකි. මෙමඟින් ADS-B උපකරණ සවිකර තිබෙන සෑම ගුවන් යානයකම පිහිටීම, වේගය එම ගුවන් යානයේ ඇති ADS-B ට්‍රාන්ස්මිටරයෙන් 1090MHz (978MHz) යන සංඛ්‍යාත ඔස්සේ සෑම තත්පරයකට සැරයක්ම විසුරුවා හැරෙනවා (ගුවන් යානාවල වේගය වැඩි නිසා තත්පරයට සැරයක් හෝ දෙසැරයක් එය සිදු කිරීමට අවශ්‍ය වෙනවා; squitter ලෙස මෙලෙස ස්වයංක්‍රියව ADS-B දත්ත යැවීම හැඳින්වේ). මෙම සංඥා ඒ අවට ගුවනේ ඇති ගුවන් යානා හා ඒ අවට පොලොව මත ඇති Air Traffic Controller (ATC) විසින් ග්‍රහණය කෙරෙනවා.

ATC මඟින් තමයි යම් ප්‍රදේශයකට ඉහලින් යන සියලු ගුවන් යානා පාලනය කරන්නේ. යම් රටකට අයත් හෝ පාලනය කරන යම් ගුවන් කලාපයක් (airspace) තිබේ. ලංකාවට තිබෙනවා වර්ගකිලෝමීටර් මිලියන 2ක පමණ එයාර්ස්පේස් එකක්. එය Colombo Flight Information Region (Colombo FIR) ලෙස නම් කෙරෙනවා. ලංකාවේ ගුවන් කලාපය මට්ටම් 3කින් පාලනය කෙරෙනවා. සෑම එයාර්පෝට් එකක් සඳහාම Control Tower ලෙස හැඳින්වෙන එයාර්පෝට් එක තුල සිටින Air traffic controller විසින් එයාර්පෝට් එක අවට කිලෝමීටර් 20ක පමණ අරයකින් යුතු ප්‍රදේශයේ අඩි 4000ට පහලින් යන ගුවන් යානා (නැග්ගීමට හා බැස්සීමට) හා තොටුපොලේ බිම තිබෙන යානා පාලනය කරනවා. එයාර්පෝට් එක අවට කිලෝමීටර් 112ක පමණ අරයකින් යුතු ප්‍රදේශයක අඩි 4000කට පමණ වඩා උඩට ගුවන් යානා පවතින විට ඒවා පාලනය කරන්නේ Terminal Approach Radar Center නම් ATC විසිනි. එම සීමාව ඉක්මවා ගිය පසු හෝ අඩි 15000ට වඩා උඩින් යන ගුවන් කලාපයේ තිබෙන සියලුම යානා පාලනය කරන්නේ රත්මලානේ පිහිටි Area Control Center නම් ATC විසිනි. මේ තුන් ආකාරයේම ATC සහයෝගයෙන් තමයි රාජකාරි සිදු කරන්නේ.

ADS-B මඟින් ගුවන් යානාවක පයිල්ට්ගේ තිරය මත දර්ශනය වෙනවා ඒ අවට ඇති ගුවන් යානා තමාගේ සිට කොපමණ දුරකින් මොන දිශාවෙන් සිටිනවාද කියා. ඉන් ලැබෙන ප්‍රයෝජන එමටය. එහි ප්‍රයෝජන දිස්වන්නේ දැනට ගුවන් යානා විසින් එය සිදු කරන ආකාරය දැනගත් විටයි.

සාමාන්‍යයෙන් අහසේ පියාසර කරමින සිටින ගුවන් යානා එකිනෙකට හැප්පීම වලක්වා (separation ලෙස එය හැඳින්වේ) ආරක්ෂිතව හැසිරවීමට භාවිතා කරන්නේ රේඩාර් තාක්ෂණයයි. මෙහිදී රේඩාර් තාක්ෂණ ක්‍රම දෙකක් ඇත – primary radar හා secondary radar. ප්‍රයිමරි රේඩාර් යනු සරලතම පැරණිතම ක්‍රමයයි. එහිදී රේඩාර් ඇන්ටනාවෙන් පිටවන රේඩියෝ තරංග ගුවන් යානයක (හෝ ඕනෑම වස්තුවක) හැපී පරාවර්තනය වී නැවත රේඩාර් ඇන්ටනාවටම ලැබේ. එමඟින් ගුවන් යානය කොපමණ දුරකින් තිබේදැයි දැනගත හැකිය (නිරවද්‍යතාව ඉතාම ඉහල නැත). මීට අමතරව එම ගුවන් යානයේ වේගයද දැනගත හැකිය. සෙකන්ඩරි රේඩාර් යනු දියුණු ක්‍රමයකි. එහිදී සාමාන්‍ය පරිදි රේඩාර් තරංග ඇන්ටනාවෙන් නිකුත් වන අතර, එම තරංග ගුවන් යානයට වැදුනු විට ගුවන් යානය විසින් යම් පණිවුඩයක් එවනවා රේඩාර් එකට (මෙම පනිවුඩයේ තිබෙනවා ගුවන් යානයේ පිහිටුම වේගය වැනි විස්තර).

මෙම ක්‍රම දෙකටම වඩා ADS-B ක්‍රමය කාර්යක්ෂම හා නිවැරදි වේ. ගුවන් යානාවල පිහිටුම තත්පරයෙන් තත්පරයට අප්ඩේට් වන නිසා වඩා නිවැරදි පිහිටුම් ලබා ගත හැකිය. දැනට පවතින පරණ ක්‍රමයේදී ගුවන් යානයකට අවට ගුවන් යානා ගැන තොරතුරු ලැබෙන්නේ තත්පර 10කට පමණ සැරයකි. එහෙත් ADS-B මඟින් තත්කාලීනව (realtime) එම තොරතුරු ලැබෙන බැවින් වෙනදාට වඩා ගුවන් යානා එකිනෙක ළඟින් පියාසර කළ හැකියි (ගුවන් තොටුපොල අවට; ගුවන් යානා නග්ගන විට හා බස්සන විට). ඉස්සර එවැනි ඉතා විශ්වාසදායි පිහිටුම් නොලැබුණ නිසා, ගුවන් යානා කෝකටත් කියා වැඩි පරිස්සමට එකිනෙකා අතර විශාල පරතර පවත්වා ගත්තා. මෙමඟින් තොටුපල අසල ගුවන් යානා නැග්ගීම් හා බැස්සීම් දළ වශයෙන් තුන් ගුනයක පමණ වැඩියෙන් කළ හැකි වේවි. මෙමඟින් දැනට සිදු වන පමා වීම් කාලය 50%කින් පමණ අඩු කර ගත හැකිය (තමන්ගේ වාරය එන තුරු නැග්ගීමට හෝ බැස්සීමට බලාගෙන සිටීම අඩු වෙන නිසා).

දැනට ගුවන් යානා ගමන් කරන්නේ වක්‍ර මාර්ගවලයි (zigzag). ඊට හේතුව ගුවන් මාර්ග ආරක්ෂිත කිරීමට පොලොවේ රේඩාර් පද්ධති තිබෙන ප්‍රදේශ හරහා ගමන් කිරීමයි. මේ නිසා වැඩිපුර ඉන්ධන නාස්තියෙක් මෙන්ම කාලයද නාස්ති වේ. එහෙත් GNSS හා ADS-B යොදාගෙන පියාසර කිරීම් කළ හැකි නම්, කෙටිම මාර්ග ඔස්සේ එය සිදු වෙන නිසා ඉන්ධන හා කාල නාස්තිය අඩු වේ. දළ වශයෙන් 10%ක පමන ඉන්ධන ඉතිරිවන බව ගණනය කර ඇත. CO2 (කාබන් ඩයෝක්සයිඩ්) විමෝචනයද අඩු වී පරිසර දූෂනයද අඩු වේ.

ADS-B සංඥා එන්ක්‍රිප්ට කර නැති නිසා, ඕනෑම කෙනෙකුට ඒවා ඇන්ටනාවකින් (vertically polarized antenna) ග්‍රහණය කර ගත හැකියි (1090MHz ඔස්සේ). පහත රූපයේ දැක්වෙන ආකාරයක සරල ඇන්ටනාවක් වුවද මේ සඳහා යොදා ගත හැකිය. ඇන්ටනාව ගස්කොලං හෝ වෙනත් බාධා නැති තැනක රූපයේ දක්වා තිබෙන සේ සිරස්ව රැඳවිය යුතුය.


අද ඉතා ලාභෙට RTL-SDR තිබෙන නිසා, මෙම සංඥා ග්‍රහණය කර ගෙන මේ සඳහාම සාදා තිබෙන සොෆ්ට්වෙයාර් එකකින් රේඩාර් තිරයක් මත බලනවා මෙන් ඔබේ පරිගනක තිරය මත ඔබ සිටින ප්‍රදේශය හරහා යන ගුවන් යානා දර්ශනය කරගත හැකියි.


මෙහිදී පළමුවෙන්ම ඩොන්ගල් එකෙන් ග්‍රහණය කර ගත් ADS-B සංඥාවේ ගැබ්ව තිබෙන තොරතුරු උකහා ගත (decode) යුතුය. මේ සඳහා ADSB# , RTL1090 වැනි සරල අන්තර්ජාලයේ නොමිලේ ලබා ගත හැකි ප්‍රෝග්‍රෑම් එකක් යොදා ගත හැකියි. ඉන්පසු, එම ඩිකෝඩ් කරපු සංඥා ADS-B radar display ප්‍රෝග්‍රෑම් එකකට යවා රේඩාර් තිරයක් (virtual radar screen) මත දිස්වන ආකාරයට සකස් කළ හැකිය. Virtual Radar Server, adsbSCOPE යනු එවැනි අන්තර්ජාලයේ නොමිලේ ලබා ගත හැකි සොෆ්ට්වෙයාර් දෙකකි.


මේ ආකාරයට ඔබට උඩින් යන ගුවන් යානාවල තොරතුරු පමණක් නොව, අවශ්‍ය නම් ලෝකයේ වෙනත් තැන්වල ගමන් කරන ගුවන් යානාද ඔබේ පරිගනක රේඩාර් තිරය මත දිස් කළ හැකියි (global air radar). එය සිදු වන්නේ මෙහෙමයි. ඔබ ලෙසම ලොව පුරා තවත් බොහෝ පිරිසක් තම තමන් සිටින ප්‍රදේශ හරහා යන ගුවන් යානා මෙලෙස ට්‍රැක් කරනවා. එම තොරතුරු ඔවුන් අන්තර්ජාලයේ යම් සර්වර් පරිගනකයකට යොමු කරනවා. එවිට ලෝකය පුරා යන ගුවන් යානාවල දත්ත එලෙස එක්තැන් වීම නිසා, එම සර්වර් එකෙන් එම දත්ත ලබා ගෙන ඔබේ පරිගනක වර්චුවල් රේඩාර් තිරය මත එම ගුවන් යානා ලෝක සිතියමක උඩින් සජීවිව දක්වාවි (යානා හෙමින් හෙමින් චලනය වෙනවා පෙනේවි). http://flightradar24.com/ යනු එවැනි සේවාවක් නොමිලේ ලබා දෙන වෙබ් අඩවියකි (ඔබේ ඩොන්ගලයෙන් ලබා ගත් තොරතුරුත් කැමති නම් මෙම සේවාවට ස්වයංක්‍රියව ලබා දිය හැකියි).

ගුවන් යානා හැසිරවීමට මෙන් නවුකා හැසිරවීමේදීත් රේඩාර්වලට අමතරව භාවිතා වන Automatic Identification Service (AIS) යන සේවාව සඳහාත් GPS/GNSS අත්‍යවශ්‍ය වේ.

සටහන
Automatic Identification Service
සාම්ප්‍රදායිකව රේඩාර් (marine radar) භාවිතා කරමින් නැව් හැසිරවීම සිදු කළ අතර, දැන් ඊට අමතරව AIS පද්ධතියද භාවිතා වෙනවා. මෙය ගුවන් යානා සඳහා භාවිතා කළ ADS-B වැනිම පද්ධතියකි නවුකා සඳහා භාවිතා වෙන. නවුකාවේ සවිකර තිබෙන AIS පද්ධතිය විසින් නවුකාවේ MMSI/IMO අංක, කෝල්සයින්, වේගය, පිහිටුම, heading, course ආදී විස්තර 161.975MHz, 162.025MHz යන සංඛ්‍යාත දෙක ඔස්සේ ස්වයංක්‍රියව විසුරුවා හැරේ. නවුකාවේ වේගය අනුව කොපමණ කාලයකට සැරයක් එම තොරතුරු විසුරුවා හැරේද යන්න තීරණය වේ; වේගය වැඩි නම් වැඩි වේගයෙන් එම තොරතුරු යැවේ. තත්පර 2කට සැරයක සිට තත්පර 10කට සැරයක් දක්වා එම වේගය පවතී. නැංගුරම්ලා තිබෙන නවුකාවලින් විනාඩි 3කට සැරයක් එය සිදු වේ. එම විස්තර ඒ අවට ඇති නවුකා හා වරායවල ආශ්‍රිතව පිහිටුවා ඇති Vessel Traffic Service (VTS) මඟින් ග්‍රහණය කරගනී. නවුකා අතර ගැටීම වැලැක්වීමට තිබිය යුතු වැදගත්ම තොරතුරු වන පිහිටීම, වේගය, කෝස් ආදි තොරතුරු GPS/GNSS තාක්ෂණය ඔස්සේ ලබා ගැනේ.

ගමන අරඹන වරායේ සිට ගමනාන්ත වරාය දක්වා වූ ගමන් මාර්ගය දිගේ එක් එක් කඩයිම් (waypoint) හරහා නවුකාව විසින් ගමන් කළ යුතු ගමන් මාර්ගය route ලෙස හැඳින්වෙනවා. එහෙත් නවුකාව 100%ක්ම මෙම ගමන් මඟ ඔස්සේම ගමන් කළ නොහැකි අතර, ඇත්තටම එය ගමන් කරන මාර්ගය රූට් එකට ආසන්න මඟකි; එම සත්‍ය ගමන් මාර්ගය track ලෙස හැඳින්වෙනවා. රූට් යනු වක්‍ර මාර්ග (සාමාන්‍ය පාරක් වුවත් වංගු තිබෙනවානෙ) වන අතර, දැන් නැව තිබෙන රූට් එකේ දිශාව තමයි course කියා කියන්නේ. නැවේ ඉදිරි කොටස (nose) මුහුනලා තිබෙන දිශාව heading වේ. කෝස් හා හෙඩිං යන දෙකම අංශකවලින් කියන්නේ උතුරු දිශාවට සාපේක්ෂවයි (උතුරු දිශාවේ සිට ඔරලෝසුවේ කටු කරකැවෙන දිශාවට එම කෝණ මැනේ). VTS යනු ගුවන් යානා පාලනය කළ ATC වැනිම වේ.

AIS පද්ධතියට පෙර සිටම නවුකා විසින් රේඩියෝ තාක්ෂණය යොදා ගත්තා (Marine VHF radio). ඇත්තටම VHF සන්නිවේදන පද්ධතියට අමතරව HF, MF ආදී සංඛ්‍යාත පරාසයන්ද ඔවුන් යොදා ගන්නවා. එහෙත් AIS පද්ධතිය සඳහා තෝරා ගත්තේ මැරින් vhf රේඩියෝ එකයි. මැරින් vhf රේඩියෝ ක්‍රමය 156MHz සිට 174MHz දක්වා සංඛ්‍යාත පරාසයයි භාවිතා කරන්නේ. තවද, එය නිශ්චිතව චැනල්වලට කඩා ඇත (channalized). උදාහරණයක් ලෙස, 156.025MHz, 156.050MHz, 156.075MHz ලෙස කිලෝහර්ට්ස් 25න් 25ට චැනල් කඩා ඇත. මේ චැනල් අංකවලින් නම් කරද ඇත. එම චැනල් අතරින් මුහුදු ආපදා දැන්වීමට යොදා ගන්නා Channel 16 (156.8MHz) ගැන මීට කලින් අප කතා කළා.

AIS පද්ධතිය භාවිතා කරන්නේ 87B (161.975MHz) හා 88B (162.025MHz) යන චැනල් දෙකයි. තවද, FM ක්‍රමයට සංඥා මූර්ජනය කෙරේ. ඇන්ටනා ADS-B හි මෙන්ම vertically polarized වේ (එනම් ඇන්ටනා ඩයිපෝලය සිරස්ව තබයි). සංඥා එන්ක්‍රිප්ට් නොකරන නිසා, ඕනෑම කෙනෙකුට ADS-B සංඥා ග්‍රහණය කළා සේම මෙම සංඥාද ග්‍රහනය කළ හැකිය. සාමාන්‍යයෙන් වොට් 1ත් 25ත් අතර ජවයකින් මෙම සංඥා යැවේ. අවට නවුකා විශාල ගණනක් AIS සංඥා විසුරුවා හරින විට, ඒ සෑම සංඥාවක්ම ග්‍රහණය කරන්නට උපකරණයට අපහසු නිසා, මෙවිට වොට් ගණන අඩු කර ගැනේ (ඉන් ඈත තිබෙන නවුකාවල සංඥා දුර්වල වීමෙන් ළඟපාත තිබෙන නවුකා අඩු ප්‍රමාණයක සංඥා පමණක් ග්‍රහණය වේ).

එහෙත් නැව් ගමන් කරන්නේ මුහුදේ බැවින් පෘථිවියේ වක්‍රතාව නිසා, සාමාන්‍ය ක්ෂිතිජ මට්ටම දක්වා පමණි සංඥා ග්‍රහණය කළ හැක්කේ. කුඩා (මිටි) නවුකාවල ඇන්ටනා එතරම් උසට නැති නිසා, නවුකාවේ සිට කිලෝමීටර් 9ක් පමණ ඈතට මෙම සංඥා යාවි. විශාල (උස) නවුකාවල ඇන්ටනා බොහෝ උස සවි වෙන නිසා, එය කිලෝමීටර් 100කට වඩා වැඩි දුරක් යාවි. ඒ හැරත් සංඥා ග්‍රහණය කරන ස්ථානයද මුහුදු මට්ටමේ සිට උස වන්නට වන්නට තව තවත් ඈත තිබෙන නවුකා දැකිය හැකි නිසා ඒවායේ සංඥාද ග්‍රහණය කළ හැකියි.

ADS-B වලදි මෙන්ම AIS සංඥාද RTL-SDR එකකින් ග්‍රහණය කළ හැකියි මොකද මෙම සංඥාද එන්ක්‍රිප්ට් කරන්නේ නැත. පෙර මෙන්ම වර්ටිකලි පොලරයිස්ඩ් ඇන්ටනාවක් යොදා ගත යුතුයි. ADS-B හි යොදාගත් වර්ගයේම ඇන්ටනා කැමති නම් භාවිතා කළ හැකියි; එහෙත් සයිස් පහත ආකාරයට විය යුතුය.


ඉන්පසු AISDeco2, AISMon වැනි AIS decoding සොෆ්ට්වෙයාර් එකකින් එම සංඥා විකේතනය කර, OpenCPN වැනි සොෆ්ට්වෙයාර් එකකින් එම විකේතනය කර ලබා ගත් දත්තවලින් සිතියම මත නවුකා ගමන් කරන ආකාරය බැලිය හැකිය. තවද, http://www.marinetraffic.com/ වැනි වෙබ්අඩවියකට ගොස්ද (ඩොන්ගලයක් නැතිවත් වෙන අය අප්ලෝඩ් කර තිබෙන දත්ත මත සෑදූ) නවුකා ගමන් කරන ආකාරය වර්චුවල් රේඩාර් එකක් සේ බැලිය හැකියි.


Google Earth වැනි සේවාවකින් ලෝකයේ ඕනෑම ස්ථානයක උඩු ගුවනේ සිට ගත් සත්‍ය රූප දැන් බැලිය හැකිය. ප්‍රදේශයක නම හෝ අක්ෂාංශක දේශාංශක ඊට ලබා දුන් විගස එම ස්ථානය බැලිය හැකිය. කාලාන්තරයකට සැරයක් විවිධ චන්ද්‍රිකා විසින් ලබා ගත් අලුත්ම විස්තර/රූප ඉන් ලැබේ. ඕනෑම කෙනෙකුට ඕනෑම භූමියක් මත මැනීම් කටයුතු සිදු කිරීම (land surveying) වැනි දේවල් මෙමඟින් හැකි වී තිබේ. වැව් තැනීම, මාර්ග තැනීම, පෙලොව මත ඕනෑම එවැනි විශාල ඉදිකිරීම් සිදු කරන විට මෙලෙස භූමි මැනිය හැකියි. තවද, එක් එක් ස්ථාන සලකුණු කරගෙන ඒවා වෙනත් අය සමඟ ෂෙයාර් කළද හැකිය.

Google Map යනුද GNSS යොදාගෙන දෙන ඉතාම වටිනා සේවයකි. මෙමඟින් පොලොවේ ඕනෑම ප්‍රදේශයක් හරහා වැටී තිබෙන මාර්ග ආදිය පෙන්වයි. තමන් දැන් සිටිනා තැන සිට ඕනෑම තැනකට යෑමට අවශ්‍ය විට, ගමන යෑමට පෙර ගූගල් මැප් එකක් ගෙන ඒ සඳහා වන කෙටිම මාර්ග සොයා ගත හැකියි. තවද, එම පාරවල් දිගේ ගමන යන විට, අතනින් අරවන්න මෙතනින් අරවන්න ආදී ලෙස ගමනාන්තය තෙක් මඟ කියා දෙන්නටද එය සමත්ය.

විවිධ ස්ථාන මෙම මැප් එකට ඕනෑම අයෙකුට ඇතුලු කළ හැකිය (මෙවැනි ස්ථාන Point of Interest (POI) ලෙස හැඳින්වේ). ඉන්පසු එම POI එක තමන් කැමති අය සමඟ ෂෙයාර් කළ විට, ඒ අයට තම තමන් සිටින ස්ථානයේ සිට එතැනට එන හොඳම මාර්ගය බලා ගත හැකිය. මෙමඟින් යම් තැනකට යන මාර්ගය බොහෝම අමාරුවෙන් විස්තර කර කර සිටීමට අවශ්‍ය නැත. තවද, දැන් තමන් සිටින තැනට ආසන්නයේ තිබෙන කෝච්චි ස්ටේෂන්, බස් නැවතුම්, රෙස්ටුරන්ට්, කලාගාර, පෙට්‍රල් ෂෙඩ් ආදී ස්ථාන (POI) තිබෙන්නේ කොහේද කියා දැන ගත හැකිය. ඕනෑම කෙනෙකුට මෙවැනි POI ඊට ඇතුලු කළ හැකි නිසා (තමන්ගේ ව්‍යාපාරික ස්ථාන ඊට ඇතුලු කරන්න කවුරුත් උනන්දු වෙනවා), මෙම සේවාව තුල එවැනි විස්තර විශාල ප්‍රමාණයෙන් පවතිනවා.

ගූගල් මැප් (හා ගූගල් අර්ත්) භාවිතා කිරීමට අන්තර්ජාලයට දිගටම සම්බන්ද වී සිටිය යුතු වේ. එනිසා මෙවැනි මැප් online map ලෙස හැඳින්වේ. එහෙත් භාවිතා කිරීමේදී අන්තර්ජාලයට සම්බන්දව සිටීම අවශ්‍ය නැති offline map ද ඇත. මෙවිට, එවැනි මැප් එකක් gps රිසීවරයට ඇතුලත් කරගෙන එය භාවිතා කළ හැකිය (Garmin, TomTom වැනි රිසීවර්වල මෙන්ම ස්මාර්ට් ෆෝන්වල ඇති රිසීවර් වලද මෙය කළ හැකියි). මේ දෙවර්ගයේම මැප් භාවිතා කරන විට, තමන් යමින් සිටින ස්ථානය මැප් එකේ දර්ශනය වේ.

ගූගල් මැප් සමඟම එන අනෙක් වටිනා සේවාව වන්නේ තමන්ට අවශ්‍ය මාර්ගයක සජීවි ට්‍රැෆික් විස්තර බලා ගත හැකි වීමයි. ට්‍රැෆික් ඉතා වැඩිද, වැඩිද, සාමාන්‍ය ප්‍රමාණයද, ට්‍රැෆික් නැද්ද ආදි ලෙස එම විස්තර දැනගත හැකියි. ඉස්සර මෙවැනි live traffic update ලබා දුන්නේ මුදල් අයකරගෙනයි. එයත් නගරබඳ ප්‍රසිද්ධ මාර්ග සඳහා පමණි. පාරවල් දෙපැත්තේ සවිකර තිබෙන කැමරා ආදී උපකරණවලින් පාරේ ට්‍රැෆික් තත්වය තක්සේරු කළා. එහෙත් එම වියදම් අධික ක්‍රමය වෙනුවට ගූගල් ට්‍රැෆික් අප්ඩේට් ක්‍රමය ඉතාම සරල වියදමක් නැති ආකාරයට සිදු කරනවා. එය සිදු වන අයුරු බලමු.

දැන් බොහෝ අය ස්මාර්ට් ෆෝන් භාවිතා කරනවානේ. ඒවායේ ජීපීඑස් පහසුකමත් තිබෙනවා. තවද, විශාල පිරිසක් ගූගල් මැප් වැනි සේවා ක්‍රියාත්මක කරගෙන සිටිනවා. මෙවිට, එම ෆෝන්වලින් යම් තත්පර ගාණකට සැරයක් එම ෆෝන් එකේ ජීපීඑස් එකෙන් ලබා ගත් පිහිටුම් දත්ත ගූගල් පරිගනක වෙත යවනවා. මෙහිදී කිසිදු බියක් ඇති වන්නට හේතුවක් නැහැ මොකද ඔබගේ අනන්‍යතාව හෙලි කිරීමක් එහිදී සිදු නොවේ (එනම් ඔබේ ෆෝන් එකේ පිහිටුම් දත්තය එලෙස ගූගල් ලබා ගත්තත්, ගූගල් විසින් එය එව්වේ ඔබ යැයි ගබඩා කර ගන්නේ නැත). දැන් ඔබ යම් පාරක කිලෝමීටරයක් දිග කොටසක් දිගේ ගමනක් යනවා යැයි සිතමු (උදාහරණයක් ලෙස ගාලු පාර දිගේ කොල්ලුපිටියෙ සිට වැල්ලවත්ත දක්වා). එම පාර දිගේ විවිධ තැන්වල අක්ෂාංශක දේශාංශක (පිහිටුම්) පැය කාලක් පුරාවට ඔබේ ෆෝන් එකෙන් ගූගල්ට යැව්වහම ගූගල් එය තේරුම් ගන්නේ එම පාරේ මේ වන විට සුලු ට්‍රැෆික් තත්වයක් තිබෙනවා කියාය මොකද ට්‍රැෆික් නොතිබ්බා නම් ඒ සඳහා ඔබට ඇත්තටම ගත වන කාලය විනාඩි 6ක් විතර වනු ඇති. එලෙසම එම කොටසේ විවිධ තැන්වල පිහිටුම් විනාඩි 30ක් තිස්සේ ගූගල්ට යැව්වා නම්, එවිට ගූගල් පරිගනක ස්වයංක්‍රියව තීරණය කරනවා එම මොහොතේ පාරේ එම කොටසේ ලොකු ට්‍රැෆික් එකක් තිබෙන බව. මේ ආදි ලෙස සෑම පාරකම එක් එක් කොටසේ තිබෙන ට්‍රැෆික් තත්වය ගූගල්ට ගණනය කළ හැකිය.

එක් කෙනෙකුගේ දත්ත පමණක් මෙහිදී විශ්වාසනීය නොවේ. උදාහරණයක් ලෙස, ඔබ එසේ යන අතරේ හඳුනන කෙනෙකු හමුවී කතා කර කර සිටි විටත්, ගූගල් එය දන්නේ නැති නිසා ට්‍රැෆික් තිබේ යැයි සිතා ගනු ඇත. එනිසා එම පාර දිගේ ගමන් කරන ගූගල්ට කනෙක්ට් වී සිටින සෑම දෙනාගෙන්ම ලබා ගත් තොරතුරුවල ඇවරේජ් එකයි සලකා බලන්නේ. මෙවිට අවසානයේ ලැබෙන්නේ ඉතාම ඉතා නිවැරදි විශ්වාසදායි ට්‍රැෆික් අප්ඩේට් එකකි. සාමාන්‍යයෙන් හතර පස් දෙනෙකුගෙන් ලැබෙන දත්තය ප්‍රමාණවත් විය හැකිය (සිය ගණනක්ම අවශ්‍ය නොවේ).

ඒ විතරක්ද නොව, කාලයක් තිස්සේ එවැනි දත්ත එක්රැස්කර තබා ගත් පසු, සාමාන්‍යයෙන් එම පාරේ ට්‍රැෆික් තත්වය දවසේ එක් එක් වෙලාවලදී කොහොමද, සතියේ එක් එක් දවස්වල කොහොමදැයි රටාවන් පවා සොයා ගත හැකියි. සාමාන්‍යයෙන් එවැනි රටාවකුත් තිබෙනවානේ පාරේ වාහන තදබදය සම්බන්දයෙන් (ඇක්සිඩන්ට් වැනි අවස්ථාවලදී ඇතිවන තදබදය මීට අයත් නොවේ). ගූගල්ට අමතරම තවත් ආයතන රැසක් නොමිලේත් මුදලටත් එවැනි සේවා සපයනවා.

GNSS භාවිතා කරන තවත් භාවිතාවකි Geographic Information System (GIS) කියන්නේ. ඇත්තෙන්ම GIS යනු විශාල ක්ෂේත්‍රයකි (පශ්චාත් උපාධි පවා තිබෙනවා මේ විෂයෙන්). GIS භාවිතා කරනවා පුරාවිද්‍යා කටයුතු, කෘෂිකර්ම කටයුතු, ජල කලමණාකරණය, ස්වාභාවික සම්පත් (කැලෑ ආදී) කළමණාකරණය ආදී භූමිය පදනම් කරගෙන සිදු කරන බොහෝ කටයුතුවලදී. මූලිකව භූමිය හා යම් දෙයක් අතර පවතින සම්බන්දතාවේ තොරතුරු සොයා ගබඩා කර විශ්ලේෂනය කිරීම මෙහිදී සිදු වේ. ඉතිං, භූමිය මෙම පද්ධතිය තුල අක්ෂාංශක දේශාංශක මුහුදු මට්ටමේ සිට ඇති උස යන සාධක ඔස්සේ සලකා බැලෙන අතර, මෙම සාධක සොයා ගන්නේ GNSS උපකාරයෙනි.

GIS වැනි පද්ධතියක් භාවිතා කරන සරල උදාහරණයක් බලමු. ඔබ ටෙලිකොම් ආයතනයේ දුරකතන සේවාවක් භාවිතා කරනවා නම්, එය කැඩෙන විට 1212 අංකය ඔස්සේ දෝෂය වාර්තා කරනවානෙ. මෙවිට පැය ගාණකට පසු එම ප්‍රදේශයේ කාර්යාලය විසින් හැමවිටම කරන වැඩේ තමයි ඔබව අමතා ඔබේ නිවස තිබෙන තැනට එන පාර අහන එකයි. එහෙත් එම ආයතනය GIS පද්ධතියක් පවත්වාගෙන ගියේ නම් එසේ කිරීමට අවශ්‍ය නැහැ. එහිදී ඔවුන් කරන්නේ ඔබට දුරකතන පහසුකම සලසා දෙන ප්‍රධාන ටෙලිෆෝන් කනුව තිබෙන ස්ථානයේ පිහිටුම GNSS මඟින් සොයා ගෙන එම කනුවෙන් සේවා සපයන දුරකතන අංකද ඒ සමඟ පරිගනකයක ගබඩා කිරීමයි. මෙවිට, දෝෂය වාර්තා කරපු ටෙලිෆෝන් අංකය පරිගනකයට ගැසූ විගස, එම ස්ථානයට යන පාර පරිගනක මැප් එකක් මත බැලිය හැකිය.

GNSS භාවිතා කළ හැකියි fleet management සඳහා. ෆ්ලීට් මැනේජ්මන්ට් යනු ප්‍රවාහන සේවයේ යෙදී සිටින අය විසින් සිදු කරන්නකි. ගුවන් යානා හෝ නාවුක යාත්‍රා හෝ ලොරි හෝ මෝටර්සයිකල් හෝ මඟින් ප්‍රවාහන සේවා සපයන විට, එම වාහන කාර්යක්ෂමව හැසිරවීම මෙහිදී සිදු වේ. එහිදී තම වාහන මේ මොහොතේ කොතැනද සිටින්නේ යැයි දැනගැනීම ඉතාම වටිනවානෙ. මෙලෙස සජීවී පිහිටුම් තොරතුරු ලබා ගත හැකියි තත්පර (හෝ විනාඩි) කිහිපයකට සැරයක් තමන්ගේ පිහිටුම් අන්තර්ජාලය හරහා පරිගනකයකට එවන උපකරණයක් (GPS/GNSS tracker) එම වාහනවල සවිකර තිබේ නම්. මෙමඟින් වාහන නිල රාජකාරීවලින් බැහැරව හොර පාරවල්වල යන එකත් සොයා ගත හැකියි. තම වාහනවල වේගයද මින් බැලිය හැකිය (අනුමත උපරිම වේගයට වඩා වැඩියෙන් යනවාද කියා සෙවිය හැකිය; සමහර බඩු රැගෙන යන විට අනුමත උපරිම වේගයක් තිබිය හැකියි).

ඇමරිකාව වැනි රටවල භාවිතා කරන සෙල්‍යලර් ෆෝන්වල gps පහසුකම අනිවාර්ය කර තිබේ. ඊට හේතුව යම් පුද්ගලයකු ආපදාවකට ලක් වූ විට, ඔහු සතුව ඇති ෆෝන් එකෙන් හදිසි ආපදා අංකයට කතා කළ විට, එම අයට හැකියාව තිබෙනවා දැන් එකවරම එම ආපදා ස්ථානයට යන්නට මොකද ස්වයංක්‍රියවම එම ෆෝන් එක තිබෙන පිහිටුම් දත්තයද හදිසි ආපදා තොරතුරක් ලෙස ලබා දෙනවා.

Geotagging යනු gps/gnss යොදා ගන්නා තවත් අවස්ථාවක්. ෆොටෝ කැමරාවල මෙය භාවිතා වේ. යම් ස්ථානයක සිට ෆොටෝ එකක් ගන්නා විට, එම ස්ථානයේ අක්ෂාංශක දේශාංශක කැමරාවේ අඩංගු gps රිසීවරයෙන් ලබා ගෙන එය ෆොටෝ එකේ ගබඩා කර ගනී. ෆොටෝ එකේ පිංතුරයට අමතරව වෙනත් දත්ත (metadata) ගබඩා කර ගත හැකිය. EXIF යනු එලෙස මෙටාඩේටා ගබඩා කිරීමේ ප්‍රමිතියකි. මෙහි ඇති වාසිය වන්නේ, ෆොටෝ එකේ ගබඩා කර ඇති පිහිටුම සම්බන්ද මෙටාඩේටා යොදාගෙන ෆොටෝ පෙලගැස්වීම (sorting) ආදී දේවල් සිදු කළ හැකියි ස්වංක්‍රියවම. තවද, ෆොටෝ එකේ ස්ථානය සඟවා තිබෙන නිසා, පසුකාලීනව එක් එක් ෆොටෝ එක ගත්තේ කොතැනදීද යන්න පහසුවෙන්ම දැනගතද හැකිය.

ස්වයංක්‍රියව පදවන වාහන අද අත්හදා බැලෙමින් තිබෙනවා. මෙය gps/gnss මත සම්පූර්ණයෙන්ම රඳා පවතින්නකි. තවද තාරකා විද්‍යාවේදී ටෙලෙස්කෝප් එකක් යම් ස්ථානයක සිට අහසේ යම් පෙදෙසකට එල්ල කිරීම ස්වයංක්‍රියව සිදු කිරීමට gps/gnss අවශ්‍ය වේ. පොලොවේ එක් එක් ස්ථානයක සිට හා එක් එක් වෙලාව අනුව අහසේ යම් වස්තුවක් දෙස බලන විට, කෝණය/දිශාව වෙනස් වේ; ඒ කියන්නේ තැනේ හැටියට ටෙලෙස්කෝප් එක කරකැවිය යුතුය. එහෙත් gps එකක් ඇති විට, තැන හා කාලය හරියටම දන්නා නිසා, සුදුසු කෝණයට හා දිශාවට ඉබේම ටෙලෙස්කෝප් එක හැරවේ.

මේ ආදි ලෙස විවිධ වැදගත් ප්‍රයෝජන රැසකට GNSS යොදා ගැනේ. ඔබත් සිතා බලන්න එය යොදා ගත හැකි තවත් නිර්මාණශීලි භාවිතාවන්. නොමිලේම GPS/GNSS සංඥා ලැබේ. ඉතිං, එම සංඥා භාවිතා කරමින් වැදගත් සේවාවක් ලබා දිය හැකි පරිගනක වැඩසටහන් ඔබටම නිර්මාණය කළ හැකියි. මෙවැනි එක් නිර්මාණශීලි භාවිතාවක් තමයි ව්‍යායාම කිරීමට ජොගිං/ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම සිදු කරන විට, තමන් ගමන් කළ දුර හා වේගය ගණනය කළ හැකි දුරකතන ඇප් සාදා තිබෙනවා. එවිට GPS සක්‍රිය කරපු ෆෝන් එකක එවැනි ඇප් එකක් රන් කරගෙන ව්‍යායාමය සිදු කළ විට ඉබේම ඔබේ ගමන් මාර්ගය හා වේගය ගබඩා කර ගන්නවා. එමඟින් ඔබ දහනය කර තිබෙන කැලරි ප්‍රමාණය ගණනය කරනවා. තවද, ඩයරියක් මෙන් එම දත්ත ගබඩා කර ගෙන සුමානයට, මාසයට ආදි ලෙස එම දත්ත ඇවරේජ් කර දක්වනවා.

එහෙත් අභ්‍යවකාශ කටයුතු සඳහා GNSS භාවිතා කළ නොහැකිය මොකද එම සංඥා හැමවිටම යොමු කර තිබෙන්නේ පොලොව දෙසටයි. දැන් බලමු තාක්ෂණික පැත්තෙන් GPS ක්‍රියාත්මක වන ආකාරය (අනෙක් GNSS ද ඊට සමාන ආකාරයකින් ක්‍රියාත්මක වන බව මතක තබා ගන්න).

4 comments:

  1. මෙම වටිනා ලිපි පෙළ පළකිරීම ගැන හදවතින්ම ඔබට ගරු කරමි

    ReplyDelete
  2. බොහෝම ස්තුතී.. :)

    ReplyDelete