Tuesday, March 14, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 62

GPS සේවාව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (ලංකාවේ “අමාත්‍යංශ” යනුවෙන් හඳුන්වන දේශපාලන ඒකක ඇමරිකාවේදී “දෙපාර්තමේන්තු” ලෙස හැඳින්වෙන බව මතක තබා ගන්න; ලංකාවේදී දෙපාර්තමේන්තු යන වචනය භාවිතා කෙරෙන්නේ අමාත්‍යංශ යටතේ පවතින රාජ්‍ය සේවා සපයන ආයතන විශේෂයකටයි) වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව විසින් සාදා පවත්වාගෙන යන්නකි. 1995 වන විට GPS චන්ද්‍රිකා 24ක් සමඟින් සමස්ථ පෘථිවිය පුරාම පූර්ණ ක්‍රියාකාරිත්වය ලබා ගත් එය මේ වන විට චන්ද්‍රිකා 31කින් යුතුය. Defense Navigation Satellite System (DNSS) යන නමින් පටන් ගත් එය පසුව Navigation System using Timing and Ranging (NAVSTAR) යන නිල නමින් පවත්වාගෙන යන එය වඩා ප්‍රචලිතව ඇත්තේ GPS ලෙසයි.

අදටත් ජීපීඑස් චන්ද්‍රිකා නම් කරන්නේ Navstar යන නමින්ය. ඕනෑම චන්ද්‍රිකාවක් උඩුගුවනේ රාජකාරියේ යෙදිය හැක්කේ යම් කාල සීමාවක් සඳහාය. ඊට හේතුව මීට පෙර අප චන්ද්‍රිකා පාඩමේදී කතා කළා. නැවතත් මතක් කරන්නේ නම්, මොහොතකට පෙරත් සඳහන් කරපු විවිධ හේතු නිසා චන්ද්‍රිකාවක කක්ෂය නිරන්තරයෙන්ම නියමිත කක්ෂයෙන් වෙනස් වෙමින් ගමන් කරනවා. එවිට චන්ද්‍රිකාව පොලොවේ පාලක මැදිරියේ උපදෙස් විට, තම කක්ෂය නිවැරදි කර ගත යුතු වෙනවා. එය සිදු කරන්නේ (නිව්ටන්ගේ තුන්වෙනි නියමය යොදා ගනිමින්) චන්ද්‍රිකාවේ මේ කටයුත්ත සඳහාම ගබඩා කරගෙන තිබෙන ඉන්ධනයක් අවශ්‍ය දිශාව ඔස්සේ දහනය කිරීමෙනි. ඉතිං, කාලයක් යන විට මෙම ඉන්ධන අවසන් වෙනවා. එවිට, චන්ද්‍රිකාව ක්‍රමයෙන් විශ්වාසනීය ලෙස භාවිතා කිරීමට නොහැකි වන්නට පටන් ගන්නවා; චන්ද්‍රිකාවේ ආයුෂ ඉවර වූවා ලෙස එවිට සලකනවා.

එම කල් ඉකුත් වූ චන්ද්‍රිකාව වෙනුවෙන් තවත් චන්ද්‍රිකාවක් යැවීමට අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආයු කාලය වසර පහ හයක සිට දහයක් දොලහක් දක්වා විය හැකිය. මේ කාලය තුල තාක්ෂණයද දියුණු වෙනවා. ලබාගත් අත්දැකීම්ද වැඩියි. එනිසා පසුවට යවන ආදේශක චන්ද්‍රිකා පෙර ඒවාට වඩා බොහෝවිට දියුණු මට්ටමේ ඒවාය. එලෙස ජීපීඑස් චන්ද්‍රිකාද ක්‍රමයෙන් දියුණු වෙලා තිබෙනවා. මේ වන විට තවත් අමතර සේවා/සංඥා අලුත් gps චන්ද්‍රිකාවලින් ලබා දිය හැකිය.

ඇමරිකානු ආරක්ෂක හමුදා සතු මිසයිල නිවැරදි ස්ථානවලට යැවීමේ ක්‍රමයක් ලෙසයි GPS බිහි වූයේ ඊට කලින් තිබූ ප්‍රාථමික රේඩියෝලොකේෂන් සේවා රැසක් ඉවත් කරමින්. එහෙත් සාමාන්‍ය වැසියන් (civilian) සඳහාද එම සේවාව ලබා දුන්නා; නමුත් මෙහිදී උවමනාවෙන්ම සිවිලියන් ජීපීඑස් රිසීවර්වලින් අක්ෂාංශක දේශාංශක හමුදාව භාවිතා කරන රිසීවර්වලින් පෙන්වන අගයන්ට වඩා සාවද්‍ය කළා (ආරක්ෂක හේතුන් මත). මෙලෙස උවමනාවෙන්ම පිහිටුම යම් ප්‍රමාණයකින් සාවධය කිරීම selective availability (SA) ලෙස නම් කෙරෙනවා. එහෙත් එලෙස වුවමනාවෙන්ම සාවධ්‍ය කරපු ජීපීඑස් සංඥාවලින් ඇමරිකානු හමුදාවන්ට ලැබෙන නිරවද්‍යතාවම ලබා ගත හැකි උපක්‍රම (differential GPS වැනි) විවිධ පාර්ශව විසින් සොයා ගැනීම නිසා සිලෙක්ටිව් අවේලබිලිටි හැකියාව වසර 2000දී අහෝසි කර දැමුවා. එතැන් සිට හමුදාවන්ට හා සිවිල් වැසියන්ට දෙගොල්ලන්ටම ලැබෙන්නේ එකම නිරවද්‍ය පිහිටුම් වේ. එහෙත් තවමත් සතුරු භූමි තුල පිහිටුම් වැරදියට දැක්වීම ඇමරිකානු හමුදාවට අවශ්‍ය පරිදි සිදු කරනවා (සතුරන්ට මෙම තාක්ෂණය යොදා ගෙන ව්‍යසනයන් කිරීමට නොහැකි වනු පිනිස).

සතුරන් හෝ හිංසාවාදීන් විසින් මිසයිල ආදිය නිවැරදිව යවා ව්‍යසනයන් ඇතිවීම වැලැක්වීම සඳහාද ජීපීඑස් රිසීවර්වලට වෙනත් ආරක්ෂිත උපක්‍රම ඇමරිකාව විසින් අනිවාර්ය කර ඇත (එහෙත් වෙනත් රටවල නිෂ්පාදනය කරන ජීපීඑස් රිසීවර් සඳහා ඒවා බලාත්මක කළ නොහැකිය). පොලොවේ සිට කිලෝමීටර් 18කට වැඩි උසකදී මේ සියලු සාමාන්‍ය රිසීවර් ඉබේම ක්‍රියාවිරහිත වන සේ ඒවා සාදා තිබේ. තවද, තත්පරයට මීටර් 515කට වඩා වේගයෙන් (මෙය ශබ්දයේ වේගය වන තත්පරයට මීටර් 330ට වඩාද වැඩිය) යන වාහනයක්/යමක් මත සාමාන්‍ය ජීපීඑස් රිසීවරයක් තිබුණොත්, එවිටද ඉබේම රිසීවරය ක්‍රියාවිරහිත විය යුතුය. එහෙත් ඇමරිකානු රජයේ අවසර ලබාගත් අයට පමණක් එම සීමා නැති ජීපීඑස් රිසීවර් ලබා ගත හැකියි.

කෙසේ වෙතත් මුල් කාලයේ සිටම ජීපීඑස් චන්ද්‍රිකාවලින් සංඥා දෙවර්ගයක් එවනවා - Civilian හා Military; මේවා සේවා දෙකක් ලෙසද නම් කෙරෙනවා civillian service/standard positioning service (SPS) හා military service/ precise positioning service (PPS) ලෙස.

ඇත්තෙන්ම ලෝකයේ පවතින වෙනත් රේඩියෝලොකේෂන් සේවාවලද මෙලෙස දෙවර්ගයක සේවා සාමාන්‍යයෙන් පවත්වාගෙන යනවා; එකක් සාමාන්‍ය පොදු ජනයා සඳහා නිරවද්‍යතාව එතරම්ම නිවැරදි නැති සේවාවක් වන අතර අනෙක හමුදාවන්ට හෝ ගුවන් සේවා වැනි භාරදූර නීත්‍යානුකූල සේවා සඳහා නිරවද්‍යතාව ඉතා වැඩි සේවාවක් ලෙසයි (මෙම දෙවැනි සේවාව ලබා ගැනීමට විශේෂිත රිසීවරයක් අවශ්‍ය වෙනවා).

ඇමරිකානු රජය නිල වශයෙන් පොරොන්දු වී තිබෙනවා ජීපීඑස් සේවාව සිලෙක්ටිව් අවේලබිලිටි ක්‍රියාත්මක නොකර දිගටම සමස්ථ ලෝකයාගේම නීත්‍යානුකූල භාවිතාවන් සඳහා ඉදිරියටත් ලබා දෙන්නට. තවද, ඉදිරියේදී යවන ජීපීඑස් චන්ද්‍රිකාවල SA පහසුකම කොහොත්ම නැති ලෙසට සකසන බවත් ඔවුන් පොරොන්දු වූවා. එසේ වුවත්, ඇමරිකාවට හැකියි ඕනම මොහොතක එම සේවාව සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමට, යම් යම් රවටලට/ප්‍රදේශවලට පමණක් අක්‍රිය කිරීමට හෝ වැරදි පිහිටීම් දැක්වෙන සේ සකස් කිරීමට. එනිසා සමහර රටවල් තමන්ගේම රේඩියෝලොකේෂන් සේවා ආරම්භ කර තිබෙනවා. මෙවැනි තත්වයක් උදා වූවා 1999 දී ඉන්දියාවට (Kargil යුධ තත්වයේදී). එනම්, ඉන්දියානු හමුදාවන්ට අවශ්‍ය මොහොතේදී ජීපීඑස් සේවාව භාවිතා කළ නොහැකි තත්වයට ඇමරිකාව විසින් පත් කළා.

මේ නිසා ඉංදියාව තීරණය කළා ඔවුන්ගේම රේඩියෝලොකේෂන් සේවාවක් ඇරඹීමට. ඒ අනුව ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂන භාරව සිටින ආයතනය (ඇමරිකාවේ නාසා එක වගේ) වන Indian Space Research Organization (ISRO) විසින් Indian Regional Navigation Satellite System (IRNSS) ලෙස එම සේවාව අරඹා 2016 වන විට එය NAVIC යන නමින් ප්‍රායෝගිකව භාවිතා කළ හැකි (operational) තත්වයට පත් කළා. එහෙත් මෙය ජීපීඑස් මෙන් මුලු ලෝකයේම ප්‍රයෝජනය සඳහා සාදපු ගෝලීය සේවාවක් නොවේ. චන්ද්‍රිකා 4ක්ද, භූ-ස්ථාවර චන්ද්‍රිකා 3ක්ද ලෙස චන්ද්‍රිකා 7කින් මෙම සේවාව සැපයෙනවා. ඉංදියාවත් ඉංදියානු සීමාවේ සිට වටේට තවත් කිලෝමීටර් 1500ක් පමණ ඈතට යන තෙක් මේ සේවාව ලබා ගත හැකියි. ඒ අනුව ලංකාවටත් එම සේවාව ලබා ගත හැකියි. මෙහිත් GPS හි මෙන් රේඩියෝ සංඥා දෙවර්ගයක් එවනවා civilian හා restricted ලෙස. සිවිල් සංඥාවේ/සේවාවේ නිරවද්‍යතාව මීටර් 10ක් පමණ වන අතර හමුදා ආදිය භාවිතා කරන රෙස්ට්‍රික්ටඩ් සංඥාවෙන්/සේවාවෙන් මීටර් 0.1ක නිරවද්‍යතාවක් ලැබේ. මේ සංඥා දෙවර්ගයම 1176.45MHz හා 2492.028MHz යන සංඛ්‍යාත ඔස්සේ සම්ප්‍රේෂනය කෙරේ.

මෙලෙසම චීනය විසින්ද චීන රට හා ඒ අවට පෙදෙස් සඳහා Beidou යන නමින් රේඩියෝලොකේෂන් සේවාවක් පවත්වාගෙන යනවා. මුලින්ම භූ-ස්ථාවර චන්ද්‍රිකා 3ක් පමණක් යොදා ගෙන, චීනය හා ඒ අවට පෙදෙස්වලට (ලංකාවත් මෙම ප්‍රදේශයට ඇතුලත්) පමණක් ලබා දෙන සේවාවක් ලෙසයි එය පැවතියේ (Beidou1 ලෙස එය හැඳින්වෙනවා). එහෙත් 2020 වන විට එය චන්ද්‍රිකා 35ක් යොදාගෙන ගෝලීය සේවාවක් ලෙස වැඩි දියුණු කරමින් තිබෙනවා (Beidou2 හෝ COMPASS ලෙස එය හැඳින්වෙනවා). මෙහිදී සංඥා/සේවා දෙවර්ගයක් ලබා දෙනවා - open (civilian) හා restricted. ඒවායේ නිරවද්‍යතාද ඉංදියානු පද්ධතියේ වැනිමය (සිවිලියන් සේවාව සඳහා මීටර් 10ක්ද, රෙස්ට්‍රික්ටඩ් සේවාව සඳහා මීටර් 0.1ක් වේ). මේ සඳහා සංඛ්‍යාතයන් කිහිපයක්ම භාවිතා කෙරේ - 1176.45MHz, 1207.14MHz, 1227.60MHz, 1268.52MHz, 1278.85MHz, 1561.098MHz, 1575.42MHz.

රුසියාව විසින් GLONASS (Globalnaya navigatsionnaya sputnikovaya sistema හෝ Global Navigation Satellite System) යන නමින් ගෝලීය සේවාවක් පවත්වාගෙන යනවා. ඇත්තෙන්ම රුසියාවට එසේ කිරීමට අමතර හේතුවක්ද තිබේ. එනම්, ජීපීඑස් පද්ධතියෙන් ධ්‍රැව ආසන්න ප්‍රදේශවලට නිරවද්‍ය පිහිටීම් ලබා දිය නොහැකිය. රුසියාව පිහිටා තිබෙන උතුරු ධ්‍රැව පෙදෙස් සඳහා නිරවද්‍ය පිහිටුම් ලබා දිය හැකි පද්ධතියක අවශ්‍යතාව ඔවුනට විය (මෙවිට ඉබේම දකුණු ධ්‍රැව සඳහාත් නිරවද්‍ය පිහිටුම් ලබා ගත හැකිය). මේ සඳහා චන්ද්‍රිකා 24ක් පමණ යොදා ගැනේ (ඇත්තටම එක් එක් කාලවලදී මෙම චන්ද්‍රිකා ගණන වෙනස් විය හැකිය; එය අනෙක් GPS වැනි සේවාවලටද පොදු ලක්ෂණයකි). සුපුරුදු ලෙසම මෙහිදිත් සංඥා දෙවර්ගයක් ඇත – open හා restricted. 1602MHz, 1246MHz, 1202.025MHz, 1600.995MHz, 1248.06MHz යන සංඛ්‍යාතයන් දැනට භාවිතා කරන අතර, 1575.42 MHz, 1176.45 MHz, 1207.14 MHz යන සංඛ්‍යාතයන් ඉදිරියේදී භාවිතා කිරීමට නියමිතය.

යුරෝපිය සංගමය (Europen Union - EU) විසින්ද ඔවුන්ගේ අභ්‍යවකාශ පර්යේෂන ආයතනය වන European Space Agency (ESA) මඟින් ගෝලීය රේඩියෝලොකේෂන් සේවාවක් ඇරඹීය Galileo නමින්. ඉන්දියානු, චීන, රුසියානු සේවාවල නැති විශේෂත්වයක් ගැලීලියෝ සතුව තිබෙනවා. එනම්, මෙම සේවාව මූලික වෙලා තිබෙන්නේ සිවිල් භාවිතාවන් සඳහාය. GPS, GLONASS, BeiDou, NAVIC යන සේවා සියල්ලම මූලික වී තිබෙන්නේ හමුදාවල භාවිතාව වන අතර, සිවිල් සේවාව ද්විතියක මට්ටමේ පවතී. එනිසා ගැලීලියෝ සේවාවෙන් සෑම රටකටම සෑම පුද්ගලයකුටම එකම ගුණාත්මක සේවාවක් ලබා දීමට අරමුණු කරගෙන ඇත. මීට තදින්ම ඇමරිකාව විරුද්ධ වී තිබේ. වරක් ඇමරිකාව තර්ජනය කර සිටියා ගැලීලියෝ චන්ද්‍රිකා යැවීම කඩාකප්පල් කර දමනා බවටත්.

විවිධාකාරයේ සිවිල් සේවා 5ක් ක්‍රියාත්මක කළ හැකි එය, 2020 වන විට චන්ද්‍රිකා 30ක් මඟින් ඒ සියලු සේවා සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී මට්ටමට පත්වීමට නියමිත අතර, දැනටමත් open access navigation ලෙස හැඳින්වෙන සාමාන්‍ය සිවිල් සේවාව (එනම් ඕනෑම කෙනෙකුට මීටර් 1ක නිරවද්‍යතාවක් සහිතව පිහිටීම දැන ගැනීමේ සේවාව) සඳහා ක්‍රියාකාරි වේ. අතුරුදහන් වන නැව් ගුවන් යානා ආදිය සොයන Search and Rescue (SAR) සේවාව, ගුවන් යානා නැව් ආදියට ගමන් කිරීමට සෙන්ටිමීටර් 1ක නිරවද්‍යතාවක් සහිත encrypted commercial navigation මුදල් ගෙවා ලබා ගත යුතු සේවාව, සාමාන්‍ය අයටත් යම් නියාමනයක් යටතේ ලබා දෙන ඉහල නිරවද්‍යතාවක් සහිත encrypted public regulated navigation සේවාව, safety of navigation සේවාව ලෙස අනෙක් සේවා සියල්ල 2020 වන විට සම්පූර්ණ වේවි. ගැලීලියෝ භාවිතා කරන සංඛ්‍යාතයන් වන්නේ 1176.45MHz, 1207.14MHz, 1575.42MHz, 1278.85MHz වේ.

සටහන
SAR හා Cospas-Sarsat
ගුවන් යානා හෝ නවුකා හෝ වෙනත් වාහන හා මිනිසුන් ලෝකයේ විවිධ ස්ථානවලදී අනතුරුවලට ලක් විය හැකිය; ඒ අය හිටිහැටියේ අතුරුදහන් විය හැකිය. ගුවන් යානා කඩා වැටිය හැකියි. මෙවැනි emergency අවස්ථාවලදී ඒ අය සෙවීම හා ගලවා ගැනීමේ කටයුතු තමයි Search And Rescue (SAR) ලෙස හඳුන්වන්නේ. මේ සඳහා බොහෝ රටවල ගුවන් හා නාවුක හමුදාද සහිත විවිධ යාන්ත්‍රණ/ඒකක/ආයතන පිහිටුවා තිබෙනවා. ලංකාවේ ඒ සඳහා නිල වශයෙන් වගකීම දරන ආයතනය වන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority) වේ. ලංකාවේ SAR කටයුතු මෙහෙයවන්නේ කොළඹ රත්මලාන එයාර්පෝට් එකේ පිහිටුවා ඇති (Colombo) Aeronautical Rescue Coordination Center (ARCC) විසිනි (එහි දුරකතන අංක වන්නේ 011 2611572, 011 2625555).

අනතුරුවලට ලක්වූවන්ට කඩිනම් සහය ලබා දීමට නම් ඉතාම වැදගත් වන කාරණය වන්නේ අනතුර සිදු වූ ස්ථානය ඉක්මනින් දැනගැනීමයි. නැවතත් අපගේ පිහිටට එන්නේ රේඩියෝ තරංගයි. මේ සඳහා විවිධ රටවල වෙන වෙනම ක්‍රමවේද සකසා තිබෙන අතරම, ජාත්‍යන්තර වශයෙන්ද බොහෝවිට IMO, ICAO, ITU වැනි විවිධ ආයතනවල ආශිර්වාදය මත (එනම් එම ආයතන විසින් පනවා ඇති ප්‍රමිතින්ට අනුකූලව) ගෝලීයව සේවා සපයන ව්‍යුහයන් ඇති වී තිබෙනවා. මේ අතර ප්‍රමුඛව සිටින්නේ 1979දී (එවකට) සෝවියට දේශය (අද රුසියාව), ප්‍රංශය, ඇමරිකාව, කැනඩාව මූලික වී පිහිටුවා ගෙන 1985දී පමණ ක්‍රියාකාරි මට්ටමට පත් වූ Cospas-Sarsat වේ. කොස්පාස් යනු “ආපදාවට පත් යාත්‍රා සොයන අභ්‍යවකාශ පද්ධතිය” යන තේරුම සහිත රුසියානු Cosmicheskaya Sistyema Poiska Avariynich Sudov වචන පෙලෙහි කෙටි නම වන අතර, SARSAT යනු Search and Rescue Satellite-Aided Trackingයන්නෙහි කෙටි නාමයයි. අද වන විට ලෝකයේ රටවල් 40ක් පමණ ඊට සම්බන්දව සිටිනවා. අනතුරට පත් වූවන්ට කිසිදු වියදමක්/අයකිරීමක් සිදු නොකර මෙම සේවාව ලබා දේ.

මෙම පද්ධතිය IMO විසින් හඳුන්වා දී තිබෙන Global Maritime Distress and Safety System (GMDSS) යන සම්මතයට අනුකූලය. ඒ කියන්නේ (බොහෝ) නැව්වල හා බෝට්ටුවල සවිකර තිබෙන GMDSS ප්‍රමිතියට අනුකූල ආපදා වාර්තා කිරීමේ EPIRB (ඊපර්බ්) උපකරණවලට cospas සේවාව ඉබේම ලැබේ. EPIRB (Emergency Position-Indicating Radio Beacon) යනු යම් අනතුරකදී අනතුරක් සිදු වූවා යැයි රේඩියෝ තරංග නිකුත් කරන නාවුක යාත්‍රාවල සවිකරපු ඩිජිටල් උපකරණයකි. අනතුර සිදු වූ ස්ථානයේ අක්ෂාංශක හා දේශාංශක පවා ඊට සම්බන්ද ජීපීඑස් රිසීවරයෙන් ලබා ගෙන අර ආපදා සංඥාව සමඟම යවනවා.

තවද, කොස්පාස් පද්ධතිය ICAO විසින් හඳුන්වාදුන් Global Aeronautical Distress and Safety System (GADSS) යන සම්මතයන්ට අනුකූල නිසාත්, සෑම ගුවන් යානයකම සවිකර තිබෙන GADSS ප්‍රමිතියට අනුකූල ආපදා වාර්තා කිරීමේ ELT උපකරණවලටද කොස්පාස් සේවාව ඉබේම ලැබේ. ELT (Emergency Location Transmitter) යනුද ඉහත EPIRB වැනි උපකරණයක් වන අතර, ඒවා සවි කරන්නේ ගුවන් යානා වලටයි.

ඉහත අවස්ථා දෙකට අමතරව, වෙනත් වාහන හා පුද්ගලයන්ට පවා එවැනි ආපදා දන්වන උපකරණ විශේෂයක් හඳුන්වා දී තිබෙනවා PLB (Personal Locator Beacon) නමින්. මෙවැනි උපකරණයක් අතැති කෙනෙකුට තමන් ආපදාවකට ලක් වූ විට, එය ක්‍රියාත්මක වීමෙන් කොස්පාස් පද්ධතියෙන් සේවාව ඉබේම සැලසේ.පහත දැක්වෙන්නේ (කුඩා කැමරවාක් තරමේ) PLB එකකි.



ඉහත තුන් ආකාරයේම බීකන් හඳුනා ගැනීම සඳහා අනන්‍ය අංකයක් තිබේ. එම අංකයෙන් හැඳින්වෙන බීකනය කොස්පාස් පද්ධතිය තුල අවශ්‍ය නම් ලියාපදිංචිද කළ හැකියි (කොස්පාස් සේවාව ලැබීමට මෙම ලියාපදිංචිය අනිවාර්ය නොවූවත්, ඒ ඒ රටවල පවතින නීති විසින් එය අනිවාර්ය කර තිබිය හැකිය). ආපදා සංඥාව සමඟින් හැමවිටම මෙම බීකන් අයිඩී එකත් යැවෙන නිසා, පෙර ලියාපදිංචි කර තිබුණේ නම්, ආපදාවට ප්‍රතිචාර දැක්වීම තවත් පහසු වේ. ලංකාවේ මෙම ලියාපදිංචිය සිදු කරන්නේ TRC එක විසිනි (සමහර රටවල් සඳහා ඍජුවම අන්තර්ජාලය හරහා කොස්පාස් පද්ධතියේ එය අයිති කෙනා විසින් ලියාපදිංචි කළ හැකිය).

කොස්පාස් පද්ධතිය චන්ද්‍රිකා තාක්ෂණය මත තනිකරම පදනම් වී තිබේ. මෙම චන්ද්‍රිකාවලින් සිදු කරන්නේ ඉහත ආපදා තත්වයකදී රේඩියෝ සංඥා නිකුත් කරන බීකනයකින් එන සංඥා ග්‍රහණය කර ගෙන නිසි තැන්වලට යොමු කිරීමයි. මේ සියල්ල සිදු වන්නේ 406 MHz සංඛ්‍යාතය ඔස්සේ පමණි. චන්ද්‍රිකාවලින් ලබා ගන්නා ආපදා සංඥා ළඟම ගොඩබිමේ පිහිටුවා ඇති Local Users Terminal (LUT) ලෙස හැඳින්වෙන මධ්‍යස්ථානයක් වෙතට යොමු කෙරේ. මෙවැනි මධ්‍යස්ථාන ගණනාවක් ලොවපුරා පිහිටුවා ඇත. මෙම මධ්‍යස්ථානයේ ඇති පරිගනක පද්ධතියෙන් එලෙස ලැබුණු ආපදා සංඥා විශ්ලේෂනය කර, එම ආපදාව සිදු වූ තැන නිශ්චය කරගෙන Mission Control Center (MCC) නම් මෙහෙයුම් මධ්‍යස්ථානයකට ක්ෂණයෙන් යොමු කෙරේ. මෙවැනි මෙහෙයුම් මධ්‍යස්ථාන කිහිපයක්ද ලොව පුරා පිහිටුවා ඇත.


දැන් මෙහෙයුම් මධ්‍යස්ථානය සිදු කරන්නේ එම දත්ත SAR සිදු කරන අදාල ආයතනයකට (Rescue Coordination Center – RCC) වහාම එම ආපදාව සියලු විස්තර සමඟ වාර්තා කිරීම පමණයි. SAR කටයුතුවලට කොස්පාස් සහභාගි නොවේ; ආපදා සංඥා ග්‍රහණය කර නිසි තැන්වලට දැන්වීම පමණයි සිදු කරන්නේ. ආපදාවට ප්‍රතිචාර දැක්වීමේ ඉක්මන්භාවය තහවුරු කිරීම සඳහා සෑම රටක් සඳහාම ආපදා තත්වයක් වාර්තා කිරීමට ව්‍යුහයක් ඒ ඒ රට විසින් සාදා කොස්පාස් පද්ධතියට දන්වා ඇත. මෙම ව්‍යුහය SAR Point of Contact (SPOC) ලෙස හැඳින්වෙන අතර, ලංකාවේ SPOC එක වන්නේ ඉහත විස්තර කළ ARCC එක වේ. එතැන් සිට ගලවා ගැනීමේ මෙහෙයුම අදාල SAR සිදු කරන අයගේ වගකීමයි.

මේ වන විට තුන් ආකාරයක චන්ද්‍රිකා මේ සඳහා භාවිතා වේ (චන්ද්‍රිකාව පවතින කක්ෂය අනුව).

1. polar orbit නම් කක්ෂ (මේවා ගමන් කරන්නේ පොලොවේ උඩ හා යට දිසා ඔස්සේ බව මීට කලින් අප ඉගෙන ගත්තා) ඔස්සේ පොලොවට ඉතා ආසන්නයේ ගමන් කරන (Low Earth Orbit - LEO) චන්ද්‍රිකා 4ක් පමණ යොදා ගෙන ඇත. පොලොවට ඉතා ආසන්න නිසා, ආපදා රේඩියෝ සංඥාවල ප්‍රබලතාව අඩු වුවද ඉන් ග්‍රහණය කර ගත හැකිය. එහෙත් චන්ද්‍රිකා තිබෙන්නේ 4ක් පමණ නිසාත් පොලොවට ඉතා ආසන්න නිසා මුලු පොලොවම එකවර ආවරණය කළ නොහැකිය. යම් ආපදාවක් සිදු වූ විට, එවැනි චන්ද්‍රිකාවකින් එය ග්‍රහණය කරගෙන නිසි තැනට යොමු කිරීම දක්වා පැයක පමණ දල වශයෙන් කාලයක් ගත වීම එහි ඇති අඩුපාඩුවකි . එහෙත් වේගයෙන් මෙම චන්ද්‍රිකා ගමන් කරන නිසා, ඒවාට හැකියාව තිබෙනවා ආපදා රේඩියෝ සංඥාවේ කිසිදු අක්ෂාංශක දේශාංශක තොරතුරු නැතත් ආපදා සංඥාව එන ස්ථානය සොයා ගන්නට (ඒ හපන්කම කිරීම සඳහා ඩොප්ලර් ආචරණය භාවිතා වේ). දළ වශයෙන් මේ ක්‍රමයෙන් කිලෝමීටර් 5ක පමණ නිරවද්‍යතාවකින් ස්ථානය නිශ්චිත කරගත හැකිය.

2. භූ-ස්ථාවර (GEO) චන්ද්‍රිකාද භාවිතා වේ. මෙනිසා පොලොවේ සිට බලන විට එම චන්ද්‍රිකා ගමන් කරන්නේ නැතිව (ස්ථාවරව අහසේ එකම තැන) තිබේ. මේවා පොලොවට ඉතාම ඈතින් තිබෙන නිසා එක් චන්ද්‍රිකාවකින් පෘථිවියේ විශාල ප්‍රමාණයක් (1/3ක් පමණ) ආවරණය කළ හැකි වීම වාසියකි. දුර්වල රේඩියෝ සංඥා එතරම් උසකට ගමන් කළ නොහැකි වීම අවාසියකි. තවත් අවාසියක් වන්නේ චන්ද්‍රිකා පොලොවට සාපේක්ෂව ගමන් නොකරන නිසා, ඩොප්ලර් ආචරණය යොදා ගත නොහැකි වී, ඉන් නිකංම රේඩියෝ සංඥාවෙන් විතරක් ආපදාව සිදු වූ තැන සොයා ගත නොහැකිය. අනිවාර්යෙන්ම එම ආපදා සංඥාව තුල GPS රිසීවරයකින් ලබා ගත් පිහිටීම් දත්ත ගබඩා කර යැවිය යුතුය.

3. මෑතක සිට (2016) කොස්පාස් පද්ධතියට එකතු වෙමින් තිබෙන අලුත්ම චන්ද්‍රිකා සාමාජිකයා වන්නේ GPS වැනි සේවා සපයන MEO චන්ද්‍රිකා වේ. මුලින් සාදපු ජීපීඑස් චන්ද්‍රිකාවල මෙම හැකියාව නැති වුවත්, අලුතින් යවන gps චන්ද්‍රිකා දැන් කොස්පාස් පද්ධතියේ චන්ද්‍රිකා ලෙසද ක්‍රියාත්මක වෙනවා. තවද, ගැලීලියෝ සේවාවේ චන්ද්‍රිකාද, ග්ලොනාස් සේවාවේ චන්ද්‍රිකාද මීට සහය දක්වමින් තිබෙනවා. ඒ අනුව, ඉදිරියේදී චන්ද්‍රිකා 100කට වැඩි සහය ඊට හිමි වේවි. එමඟින් කොස්පාස් පද්ධතියේ විප්ලවයක් මෙන්ම ලෝකයේ ආපදා කළමණාකරණයේ විප්ලවයක්ද ඇති වේවි. ආපදාවක් ඇති වූ විගසම (real-time) එය සිදු වූ තැන දශමයට දැනගැනීමේ හැකියාව ලැබේවි.

කොස්පාස් පද්ධතිය දැන් SAR සඳහා සේවාව සපයනවාට අමතරව නවුකා ආදියට සිදු වන ත්‍රස්තවාදී (මුහුදු මංකොල්ලකෑම්) තර්ජනයෙන් ආරක්ෂා වීමේ සේවාවක්ද Ship Security Alert System (SSAS) ලෙස ක්‍රියාත්මක වේ.

ඉහත විවිධ රටවල් විසින් පවත්වාගෙන යන රේඩියෝලොකේෂන්/රේඩියෝනැවිගේෂන් සේවා සියල්ලම පොදුවේ Global Navigation Satellite Service (GNSS) ලෙස හැඳින්වෙනවා. තවද, ඒ ඒ සේවා සඳහා වෙන වෙනම GNSS රිසීවර් තිබෙනවා. එහෙත් සමහර සේවා අතර අවබෝධතා ගිවිසුම් ගසාගෙන තිබෙනවා එකම සංඛ්‍යාත පරාසයන් සහයෝගයෙන් භාවිතා කරන්නටත්. (ඇත්තටම මේ සඳහා යොදා ගන්නා සංඛ්‍යාතයක් පළමුව ප්‍රායෝගිකව භාවිතා කරන කෙනාටයි ITU රෙගුලාසි අනුව ප්‍රමුඛතාව ලැබෙන්නේ.) එමඟින් පහසුවෙන්ම හැකියාව ලැබෙනවා එකම රිසීවරයකින් විවිධ සේවා කිහිපයක්ම ලබා ගන්නට (එක් එක් සේවාවටම විශේෂයෙන් සෑදූ රිසීවර් වෙන වෙනම ගන්නවා වෙනුවට). මෙමඟින් ලෝකයේ ඕනෑම තැනකට රිසීවරයට චන්ද්‍රිකා විශාල ගණනක් (දුසිමක් විතර අඩුම වශයෙන්) පෙනෙන නිසා, ඉතා හොඳ චන්ද්‍රිකා ආවරණයක් ලැබේවි. වෙනත් ගැටලුද නැත්තේද නොවේ.

අවසාන වශයෙන් Differential GPS ගැනත් වචනයක් කිව යුතුය. මෙම ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා චන්ද්‍රිකාවකින් ලැබෙන පිහිටුමේ නිරවද්‍යතාව තවත් වැඩි කිරීමට (Augmentation). එය සිදු කරන විදිය සරලයි. ගොඩබිම මත100%ක්ම නිවැරදි අක්ෂාංශක හා දේශාංශක (පිහිටුම) දන්නා ස්ථානයක් තෝරා ගන්නවා. එම ස්ථානයේ ජීපීඑස් රිසීවරයක් සවි කර, එමඟින් ජීපීඑස් ක්‍රමයෙන් ලැබෙන අක්ෂාංශක දේශාංශක (පිහිටුම) සොයා ගන්නවා. දැන් සත්‍ය පිහිටුම් අගයේ හා ජීපීඑස් එකෙන් ලැබුණු අගය අතර වෙනස ගණනය කරනවා. මෙම වෙනස තමයි ඒ අවට ඇති පෙදෙසෙහිත් දළ වශයෙන් පවතින්නේ.

ඉතිං, එම ස්ථානයේ තනා තිබෙන රේඩියෝ ට්‍රාන්ස්මීටරයකින් එම වෙනස ඒ අවට ප්‍රදේශයට සම්ප්‍රේෂනය කරනවා. එම අවට පෙදෙසේ තිබෙන DGPS සපෝට් කරන රිසීවරයකින් එම සංඥාව ලබා ගෙන, එම රිසීවරයෙන් ලබා දෙන අගයට එකතු කරනවා. එමඟින් පිහිටුම වඩා නිරවද්‍ය වෙනවා. DGPS සංඥාව විසුරුවාලන ටවර් එකේ සිට දුර වැඩි වන්නට වන්නට එම වෙනසේ නිරවද්‍යතාවද අඩු වෙනවා. දළ වශයෙන් ටවර් එකේ සිට කිලෝමීටර් 100ක් තරම් ඈත තැනක සෙන්ටිමීටර් 20ක් තරම් හොඳ නිරවද්‍යතාවක් ලබා ගත හැකිය.

No comments:

Post a Comment