Sunday, March 12, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 60

භූගෝලීය ස්ථානය දැක්වීම

බොහෝ සත්වයන්ට තමන් සිටිනා ස්ථානය/ප්‍රදේශය ගැන හොඳ වැටහීමක් තිබේ (පරවියන් හා සංචාරක කුරුල්ලන් ගැන සිතා බලන්න). විශේෂයෙන් මිනිසාගේ සෑම කටයුත්තකදීම පාහේ එය වැදගත් වේ. සන්නිවේදන කටයුත්තේදීද භූගෝලීය ස්ථානය (geographic location) වැදගත් වන අතර විවිධ අයට එය වැදගත් වන්නේ වෙනස් වෙනස් හේතු නිසාය. උදාහරණයක් ලෙස, TRC එකට ඔබ සන්නිවේදනය සිදු කරන (එනම් අපේ ට්‍රාන්ස්මිටරය තිබෙන) ප්‍රදේශය වැදගත් වෙන්නේ ඔබේ ට්‍රාන්ස්මීටරයෙන් ඒ අවට ඇති වෙනත් පොදු සන්නිවේදන උපකරණවලට බාධා/ඉන්ටර්ෆරන්ස් ඇති වේදැයි දැනගැනීමටය.

අප දැන් සලකා බලන්නට යන්නේ ආධුනික ගුවන් විදුලියේදී ප්‍රදේශ හඳුනාගැනීමට භාවිතා කරන ක්‍රමවේද ගැනයි. ආධුනික ශිල්පී තරග පවත්වන අයට එය වැදගත් වන්නේ ඔබ සිටින තැන සිට ඈත පුද්ගලයකු සමඟ ඔබ සංවාදයක් ඇත්තටම සිදු කළාද (DX contact) නැද්ද කියා දැනගැනීමටය (මොකද සමහර තරගවලදී ලකුණු ලැබෙන්නේ තමන් සිටින තැන සිට ඈත වෙනත් රටක සිටින අය සමඟ සංවාද කළොත් පමණි). සමහරවිට ඔබට එය වැදගත් වන්නේ ඔබ රේඩියෝ තරංග ඔස්සේ සංවාද කරන අය ලෝකයේ කුමන ප්‍රදේශයක සිටින කෙනෙකුදැයි දැනගැනීමට විය හැකියි (සමහරවිට ඔහු සිටින නගරයේ/ප්‍රදේශයේ නම ඔබ කිසිදා අසා නැති නිසා එකවර ඔබට සිතාගත නොහැකි වේවි; එනිසා එය පහසුවෙන් දැනගත හැකි ක්‍රමයක් තිබේ නම් වටිනවා).

ලෝකයේ භූගෝලිය ප්‍රදේශ මහාද්වීප 7කට හා සාගර 5කට කඩා ඇත්තේ භූගෝල විද්‍යාත්මක පදනමක් මතය. තවද රටවලට/රාජ්‍යයන්වලට කඩා ඇත්තේ දේශපාලනික පදනමක් මතය (දළ වශයෙන් ලොකු කුඩා රටවල් 200ක් පමණ දැනට ඇත). ඒ එක් එක් රටක් විසින් තමන්ටම ආවේනික ක්‍රමවලට එම රට (පරිපාලන හා දේශපාලන පදනම මත) තවත් අනුප්‍රදේශවලට කඩා තිබෙනවා (උදාහරණයක් ලෙස ලංකාවෙ පළාත් 9කටත්, එක් එක් පලාත නැවත දිස්ත්‍රික්වලටත්, එම දිස්ත්‍රික් තවත් විවිධ කුඩා ඒකකවලටත් කඩා තිබෙනවානෙ).  




මේ එක් බෙදීමක්වත් ආධුනික සන්නිවේදන අවශ්‍යතා පදනමින් සලකා සිදු කර නැති නිසා, එම පදනම යටතේ ලෝකයේ ප්‍රදේශ බෙදන ආකාර කිහිපයක් පවතිනවා.

ITU ආයතනය මුලු ලෝකයම ITU Zones වලට කඩා තිබෙනවා. මෙම බෙදීම ITU Region සමඟ පටලවා නොගන්න (රීජන් තිබෙන්නේ 3ක් වන අතර, එසේ බෙදීමේ අවශ්‍යතාව වෙනස් එකක් බව මීට කලින් අප ඉගෙන තිබෙනවා). පහත දැක්වෙන්නේ එම කලාප සාමාන්‍ය ලෝක සිතියමක් (Marcator projection map) මත ලකුණු කර තිබෙන ආකාරයයි. මෙම කලාප අධ්‍යනය කරන විට, ගොඩබිම් හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල් මුලින් ලකුණු කර මුහුදු/සාගර දෙවනුව ලකුණු කර ඇති බව පෙනේ.


ඉහත මැප් එක අනුව ලංකාව අයත් වන්නේ අයිටීයූ සෝන් 41 වේ. අයිටීයූ සෝන්වලට IARU zone කියාද කියනවා.

මීට අමතරව, CQ Magazine නම් ආයතනය විසින් CQ Zone නමින් හැඳින්වෙන කුඩා කලාපවලට ලෝකය කඩා තිබෙනවා. මීට පෙර එම කලාප WAZ Zones ලෙස වෙනත් පිරිසක් විසින් වෙන්කර පවත්වාගෙන ගියා (WAZ යනු Worked All Zones යන්නයි). මෙම බෙදීම මූලිකවම ආධුනික ගුවන් ශිල්පින්ට පවත්වන තරග සඳහා තමන් සිටින ප්‍රදේශ හඳුනාගැනීමට ඇති කරපු ක්‍රමයකි. පහත දැක්වෙන්නේ සීකිව් සෝන් දැක්වෙන සිතියමකි. ලංකාව පිහිටා තිබෙන්නේ 22 යන සීකිව් කලාපයට වේ.


Maidenhead Locator System

ඉහත ක්‍රම දෙකටම වඩා ක්‍රමවත් ක්‍රමයක් වන මෙය 1980දී පමණ සම්මත විය. ඇත්තටම ඊට පෙර මෙම ක්‍රමයේම මූලාකෘතිය QRA Locator System නමින් බිහිවී තිබුණි. එනිසා සමහරුන් දැනටත් මෙම නම මේඩන්හෙඩ් ක්‍රමය හැඳින්වීම සඳහාත් යොදා ගන්නවා. කිව්ආර්ඒ ක්‍රමය යුරෝපය (ITU Region 1) පදනම් කර ගත් ක්‍රමයක් වූ අතර, එය මුලු ලෝකයටම පොදු ක්‍රමයක් ලෙස පත්කළ නිසයි මේඩන්හෙඩ් ලෙස නම වෙන් කෙරුණේ. පළමුව මෙම බෙදීම සහිත ලෝක සිතියමක් බලමු.


ඇත්තෙන්ම ඉහත සිතියම මඟින් පෙන්වන්නේ මේඩන්හෙඩ් ක්‍රමයේ කොටසක් පමණි. එහි සියලු විස්තර අඩංගු කළ නොහැකි තරමට සිතියම විශාල වන නිසා, කුඩා සිතියමක පෙන්විය හැකි තරම් පමණි ඒ දක්වා තිබෙන්නේ. අනෙක් ක්‍රමවලට වඩා මෙය සුරු (smart) වේ. ඊට හේතුව, ඉහත සිතියමේ පෙන්වා තිබෙන ලෙස ලෝකය කොටු ගණනාවකට කඩා, නැවත එම එක් එක් කුඩා පෙදෙසක් ඊටත් කුඩා පෙදෙස් ගණනාවකට කඩා, නැවතත් එම ඉතා කුඩා කොටස් ඊටත් වඩා ඉතාම කුඩා කොටස්වලට කැඩිය හැකිය. එම ඉතාම කුඩා පෙදෙස් අවශ්‍ය නම්, තව වරක් ඉතාම ඉතා කුඩා පෙදෙස්වලට කැඩියද හැකිය. ඒ කියන්නේ සිතියම විශාල කරගෙන යන විට (zoom in), කුඩා බෙදීම් ක්‍රමයෙන් මතු වේ; බෙදන්නේ මට්ටම් (tier) කිහිපයකිනි. මෙලෙස කුඩා කොටස්වලට කඩන සම්මත ආකාරය දැන් බලමු.

සටහන
අක්ෂාංශක හා දේශාංශක
ලෝකය අක්ෂාංශක (latitude) හා දේශාංශක (longitude) ලෙස බෙදා තිබෙනවා. ලෝකය දළ වශයෙන් ෆුට්බෝලයක් මෙන් ගෝලාකාරයිනෙ. එම ගෝලයේ උඩම කෙලවර උත්තර ධ්‍රැවය (North pole) ලෙසද, දකුණුම කෙළවර දක්ෂිණ ධ්‍රැවය (South pole) ලෙස නම් කෙරෙනවා. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා (එනම් සිරස් අතට) එම ගෝලය දිගේ “ඍජු” රේඛාවක් ඇන්ද විට ඊට දේශාංශකයක් කියා කියනවා. මුලු පෘථිවි ගෝලයම එලෙස සමාකාරව දේශාංශක 360කට කඩා තිබෙනවා. සිරස් අතට මෙන්ම තිරස් අතටත් ගෝලය රවුම් රවුම් (මුදු) ආකාරයට බෙදිය හැකියි. මෙම රේඛාවලට අක්ෂාංශක යැයි කියනවා. මුලු පොලොවම එලෙස අක්ෂාංශක 180කට කඩා තිබෙනවා.



අක්ෂාංශක හා දේශාංශක අංශකවලින් (degree) මනින්නේ. දේශාංශක 360ක් තිබෙන නිසා, ගෝලයක (වෘත්තයක) වටේටම අංශකද 360ක් තිබෙන නිසා, දේශාංශක දෙකක් අතර අංශක (3600/360) 1ක වෙනසක් තිබෙන්නේ. එලෙසම අක්ෂාංශක දෙකක් අතර දුර අංශක (3600/180) 2ක් වේ.

දේශාංශක 360න් එක් දේශාංශකයක් අංශක බින්දුවේ දේශාංශකය ලෙස නම් කෙරෙනවා. එම දේශාංශකය එංගනත්යේ ග්‍රිනිච් නගරය හරහා වැටී තිබෙන හෙයින් ඊට Prime meridian හෙවත් Greenwich meridian (ග්‍රිනිච් රේඛාව) යැයි කියනවා. ග්‍රිනිච් රේඛාවෙ සිට දකුණට/නැගෙනහිරට ඇති දේශාංශක 180 නැගෙනහිර දේශාංශක (ධන) ලෙසද, ග්‍රින්ච් රේඛාවේ සිට වමට/බටහිරට ඇති දේශාංශක 180 බටහිර දේශාංශක (ඍණ) ලෙසද සැලකෙනවා. ග්‍රිනිච් රේඛාවට හරියටම විරුද්ධ පැත්තේ (එනම් ග්‍රිනිච් රේඛාවේ සිට වමින් හෝ දකුණින් අංශක 180කින් තිබෙන) රේඛාව antimeridian ලෙස නම් කෙරේ.

අක්ෂාංශක 180න් පොලොව මැද තිබෙන අක්ෂාංශකය සමකය (equator) ලෙස හැඳින්වෙනවා. සමකයේ සිට අක්ෂාංශක 90ක් උතුරු අක්ෂාංශක (ධන) ලෙසද, ඊට පහලින් ඇති අක්ෂාංශක 90 දකුණු අක්ෂාංශක (ඍණ) ලෙසද හැඳින්වෙනවා. තවද, දළ වශයෙන් සූර්යා ගමන් කරන්නේ සමකයට ආසන්නවයි (එනිසායේ සමකය අවට ප්‍රදේශවලට හිම නොවැටෙන්නෙත් රස්නය වැඩිපුර තිබෙන්නෙත්).

අක්ෂාංශක හෝ දේශාංශක මැනීමට ගන්නා අංශක යනු විශාල ඒකකයකි. දළ වශයෙන් දේශාංශක දෙකක් අතර හෙවත් එක් දේශාංශක අංශකයක පොලොව මතුපිට මත දුර 111 km වේ. එලෙසම අක්ෂාංශක දෙකක් අතර පොලොව මතුපිට මත දුර 222 km වන අතර අංශාංශක දෙකක් අතර අංශක දෙකක් තිබෙන නිසා එක් අක්ෂාංශක අංශකයක ප්‍රමාණය 111 km වේ. ඒ කියන්නේ දළ වශයෙන් අක්ෂාංශක අංශකයකත් දේශාංශක අංශකයකත් අගයන් සමාන වේ. ඊට හේතුව පෘථිවිය දළ වශයෙන් ගෝලාකාර වීමයි.

ඉහත පෙන්වා දුන් පරිදි අංශකය විශාල ඒකකයක්නේ. එනිසා, එක් අංශකයක් කුඩා කොටස් 60කට කඩනවා. එවැනි කුඩා ඒකකයක් කලාවක් (arcminute හෙවත් නිකංම minute) ලෙස හැඳින්වෙනවා. මෙවිට අක්ෂාංශක දිගේ හෝ දේශාංශක දිගේ කලා 2ක් අතර දුර කිලෝමීටර් 111/60 = 1.85 කි. තවදුරටත් එක් කලාවක් ඊටත් වඩා කුඩා කොටස් 60කට බෙදිය හැකියි. මෙවැනි කුඩා කොටසක් විකලා (arcsecond හෙවත් නිකංම second) ලෙස හැඳින්වෙනවා. මෙවිට විකලා දෙකක් අතර දුර මීටර් 1850/60 = 30.8කි. අංශක 290 ආදි ලෙස 0 සංඛේතයෙන්ද, කලා 53´ ආදි ලෙස ´ සංඛේතයෙන්ද, විකලා 22´´ ආදි ලෙස ´´ යන සංඛේතයෙන්ද දක්වනවා.

ශ්‍රී ලංකාවේ (උපරිම) පලල 220km ක් හා (උපරිම) උස 440km ක් වේ (දළ වශයෙන් පලල මෙන් දෙගුණයකි උස). එනිසා පළල සඳහා දේශාංශක දෙකක් හෙවත් අංශක දෙකක් පමණ පැතිරී පවතී (220/111). එලෙසම උස සඳහා දේශාංශක දෙකක් හෙවත් අංශක හතරක් පමණ පැතිරී පවතී (440/110). පොලොව මත ඕනෑම ස්ථානයක් හරියටම නිශ්චිතවම සලකුණු කළ හැකි අක්ෂාංශක හා දේශාංශකවලින්. උදාහරණයක් ලෙස මා සිටින ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක අගය සොයා ගත් විට, එය N 70 3´ 11´´, E 800 1´ 00´´ විය (මෙහි N (North) යනු උතුරු අක්ෂාංශක බවත්, E (East) යනු නැගෙනහිර දේශාංශක බවත් කියැවේ).

අංශක කලා වලටත්, කලා විකලා වලටත් සාම්ප්‍රදායිකව බෙදුවත් විකලාවක් තවත් “සුකුරුත්තං නමකින්” දැක්වෙන බෙදන ආකාරයක් නැත. එනිසා, විකලා දෙකක් අතර දුර තවදුරටත් බෙදීමට අවශ්‍ය නම් සාමාන්‍ය දශම ක්‍රමය එතැන් සිට භාවිතා කළ හැකියි. උදාහරණයක් ලෙස විකලා 25.4 (25.4´´) ආදි ලෙස දැක්විය හැකියි. මේ හැරුණහම සමහර අවස්ථාවලදී අංශකත් කුඩා ප්‍රමාණයන්ට බෙදා දක්වන්නේ (කලා හා විකලා ක්‍රමය භාවිතා නොකර) දශම ආකාරයෙන්ය. උදාහරණයක් ලෙස, N 7.064011, E 80.023899 දැක්විය හැකිය.

GPS තාක්ෂණය මඟින් හැකියි ඔබ සිටින තැනෙහි අක්ෂාංශක හා දේශාංශක ඉතා නිවැරදිව දක්වන්නට (මීටර් දෙක තුනක එහාමෙහා වීමක් තිබේ). අද සාමාන්‍ය සෙල්‍යලර් ෆෝන්වල පවා GPS තිබෙනවා. මෙනිසා මිනිස් ජීවිතය පහසු කරවන බොහෝ සේවා ඉන් ලැබී තිබෙනවා (ගූගල් මැප් ඒ අතර වේ).

මුලින්ම ලෝක සිතියම ඉහත පෙන්වා ඇති ආකාරයට කොටු ගණනාවකට කඩනවා. මේ කොටු Field ලෙස නම් කෙරෙනවා. එහිදී, සිරස් අතට කොටස් 18කටද, තිරස් අත පැත්තට කොටස් 18කටද කඩනවා (ඒ අනුව ෆිල්ඩ් 18x18 = 324ක් තිබෙනවා). ඒ අනුව සිරස් දෙසට කොටු දෙකක් අතර පරතරය අක්ෂාංශකවලින් 180/18 = 10 ක් වන අතර, තිරස් අතට කොටු දෙකක් අතර පරතරය දේශාංශකවලින් 360/18 = 20ක් වේ (මේ දෙපැත්තටම පරතර අංශකවලින් ගත් කළ අංශක 20 බැඟින් වේ). මෙලෙස අක්ෂාංශක දෙකක් හා දේශාංශක දෙකක් අතර සෑදෙන කොටුවක් විශාල ප්‍රදේශයකි. එය වර්ගකිලෝමීටර්වලින් මිලියන 5ක් පමණ වේ.

මෙම කොටු දක්වන්නේ ඉංග්‍රිසි අක්ෂර වලිනි - A සිට R දක්වා. තවද, ඒවා ලකුණු කිරීම පටන් ගන්නේ පහල වම් කෙලවර සිටයි. එනම් සිරස් පැත්තට අංකනය කිරීම පටන් ගන්නේ දක්ෂිණ ධ්‍රැවයේ සිටය (දක්ෂිණ ධ්‍රැවය A ද උත්තර ධ්‍රැවය R ද වේ). තිරස් පැත්තට අංකනය කිරීම පටන් ගන්නේ ඇන්ටිමෙරිඩියන් එකේ සිටයි. රූපය බලන්න. පළමුව සිරස් අතට යන අකුරද, දෙවනුව තිරස් අතට යන අකුරද ලිවීමෙන් ඉහත රූපයේ ආකාරයට එක් එක් ෆීල්ඩ් එක අනන්‍යව හඳුනා ගැනීමට හැකිය. ලංකාවේ ගොඩබිම සම්පූර්ණයෙන්ම වාගේ NJ කොටුවේ (grid) පිහිටයි.

ෆිල්ඩ් එකක් විශාල වැඩිය. එනිසා එක් එක් ෆීල්ඩ් එකක් නැවත කුඩා කොටස්වලට කඩනවා. මෙහිදී ෆීල්ඩ් එක තුල සිරස් පැත්තට කොටස් 10ක්ද, තිරස් පැත්තට කොටස් 10ක්ද වන සේ කුඩා කොටු 10x10 = 100 ක් වන සෑදෙනවා. මේ එක් එක් කුඩා කොටුවක්ද 0 සිට 9 දක්වා ඉලක්කම්වලින් නම් කෙරෙනවා. මේ කුඩා කොටුවක් square නමි. ඒ අනුව ස්ක්වයාර් එකක වර්ගඵලය සෙවිය හැකියි ෆීල්ඩ් එකේ වර්ගඵලය 100න් බෙදීමෙන්; එය 5,000,000/100 = 50,000km2 පමණ වේ.



ස්ක්වයාර් එකක් වුවද වර්ගකිලෝමීටර් 50,000 තරම් විශාල ප්‍රදේශයකි (ලංකාවේ වර්ගපලය වර්ගකිලෝමීටර් 65,000ක් පමණ වේ). එනිසා, ස්ක්වයාර් එකක්ද පෙර ලෙසම නැවතත් කුඩා කොටුවලට කැඩේ. මෙහිදී සිරස්වත් තිරස්වත් කොටස් 24 බැඟින් වේ. මෙම කුඩා කොටු subsquare ලෙස හැඳින්වේ. ඒවා හැඳින්වීමට ඉංග්‍රිසි හෝඩියේ a සිට x දක්වා වූ සිම්පල් අකුරු භාවිතා කෙරේ. මෙවිට සබ්ස්ක්වයාර් එක් ස්ක්වයාර් එකක් තුල 24x24 = 576ක් තිබේ. එවිට එක් සබ්ස්ක්වයාර් එකක වර්ගඵලය 50,000/576 = 87km2 පමණ වේ.

සබ්ස්ක්වයාර් එකක් එතරම්ම විශාල භූමි වපසරියක්/වර්ගඵලයක් නොවේ. වර්ගඵලය ලෙස 87km2 ක් වන එය, දිගක් පළලක් වශයෙන් ගත් කළ කිලෝමීටර් 87 = 9 පමණ බැඟින් වේ. ආධුනික ගුවන් ශිල්පයේ අවශ්‍යතා සඳහා මෙම ප්‍රමාණය හොඳටම සෑහේ. එනිසා සම්මතයක් ලෙස ෆීල්ඩ්, ස්ක්වයාර්, හා සබ්ස්ක්වයාර් පමණක් තිබීම ප්‍රමාණවත්.

එහෙත් මීටත් වඩා කුඩාවට ප්‍රදේශ කැඩීමට අවශ්‍ය නම්, තවත් එක් පියවරකට කැමති නම් යෑමට හැකිය (optional). මෙවිට, සබ්ස්ක්වයාර් එකක් සිරස් අතටත් තිරස් අතටත් කොටස් 10 බැඟින් බෙදිය හැකිය. මෙම කුඩා කොටු නම් කෙරෙන්නේ 0 සිට 9 දක්වා ඉලක්කම්වලින්. මෙම කුඩා කොටු extended square ලෙස නම් කෙරෙනවා. ඒ අනුව එක්ස්ටෙන්ඩඩ් ස්ක්වයාර් 100ක් තිබෙන අතර, එක් එක්ස්ටෙන්ඩඩ් ස්ක්වයාර් එකක වර්ගඵලය 0.9km2 පමණ වේ. ඒ කියන්නේ දිගක් පලලක් වශයෙන් ගත් කළ එය කිලෝමීටර් (0.9) = 0.95km (දළ වශයෙන් කිලෝමීටරයක්) පමණ වේ. සමහරවිට කුඩා ගමක තරම් වපසරියකි එය.

ඉතිං, මේඩන්හෙඩ් ක්‍රමය ලොකු කොටුවල සිට ක්‍රමයෙන් කුඩා කොටු දක්වා යා හැකි නම්‍යශීලි සුරු ක්‍රමයක් බව පැහැදිලියි. කොටු වශයෙන් පවතින නිසා මෙම ක්‍රමය Grid squares, Grid Locator යන නම්වලින්ද හැඳින්වෙනවා. QTH Locator යන නමින්ද හැඳින්වෙනවා (QTH යනු ට්‍රාන්ස්මීටරයේ ස්ථානය යන තේරුම සහිත Q code එක බව මීට කලින් මා කියා තිබෙනවා). මෝස්කෝඩ්වලදී එය LOC යන කෙටි වචනයෙන් ලියනවා (location යන්න කෙටි කර; මෝස්වලදී කෙටිවචන යොදා ගන්නා බව අප පෙර ඉගෙන ගත්තා).

ඉහත ඉගෙනගත් මේඩන්හෙඩ් ක්‍රමයට යම් ස්ථානයක් ලියන සම්මත ආකාරයක්ද තිබෙනවා. පළමුව ෆීල්ඩ් එකේ අක්ෂර දෙක ලිවිය යුතුය (එහිදීත් පළමු අක්ෂරය සිරස් පැත්තට යන අක්ෂරය හා දෙවනුව තිරස් අත පැත්තට යන අක්ෂරය විය යුතුය). දෙවනුව ස්ක්වයාර් එකේ ඉලක්කම් දෙක ලිවිය යුතුය (මෙහිදිත් පළමුව සිරස් ඉලක්කම දෙවනුව තිරස් ඉලක්කම). තෙවනුව සබ්ස්ක්වයාර් අක්ෂර දෙක ලිවිය යුතුය (මෙවිටත් පළමුව සිරස් දෙවනුව තිරස්). ඉන්පසු කැමති නම්, එලෙසම එක්ස්ටෙන්ඩඩ් ස්ක්වයාර් ඉලක්කම් දෙක ලිවිය හැකිය. පහත දැක්වෙන්නේ මා දැනට ජීවත්වන තැන ග්‍රිඩ් ස්ක්වයාර් එකයි (එක්ස්ටෙන්ඩඩ් ස්ක්වයාර් එක දක්වා නැත). තවත් කෙනෙකුගේ ග්‍රිඩ් එකත් NJ07ab ලෙස තිබෙන්නේ නම්, මා දන්නවා ඔහු සිටින්නේද මා සිටින ගමේ හෝ අල්ලපු ගමේ කියා (සමහරවිට අල්ලපු ගෙයක් වෙන්නත් පුලුවන්). මේ ලෙසට තමන්ගේ ග්‍රිඩ් අංකය මතක නම්, අනෙකුගේ ග්‍රිඩ් අංකය බලා ඔහු සිටිනා තැන ගැන දළ අදහසක් එකවරම ගත හැකිය (දළ වශයෙන් කොපමණ දුරක්ද යන්න අවශ්‍ය නම් ගණනය කළද හැකිය).


අප කුඩා කාලයේ සිටම ඉහත ආකාරයේ ලෝක සිතියමකට පුරුදුව සිටියත් ඇත්තටම එම ලෝක සිතියම විශාල විකෘතියකි (ඒ ගැන විමසීමට යන්නේ නැත; කැමති නම් ඒ ගැන අන්තර්ජාලයෙන් හෝ සොබා බලන්නට හැකියි). එම විකෘතිය නිසා ලොකු ප්‍රදේශ කුඩාවටත් කුඩා ප්‍රදේශ විශාලවත් පෙනේ (උදාහරණයක් ලෙස itu zone මැප් එකේ පහලින්ම 74 කලාපය ලෙස පෙන්වන ඇන්ටාර්ටිකාව විශාල භූමියක් ලෙස පෙනුනත් ඊට වඩා බොහෝ කුඩා ප්‍රදේශයකි එය. ඉහත මාකේටර් ප්‍රක්ෂේපන සිතියම වෙනුවට වෙනත් ප්‍රක්ෂේපන ක්‍රම යොදාගෙන සාදා ගත් ලෝක සිතියම් ඇත.

ඕනෑම ත්‍රිමාන රූපයක් ද්විමාන කිරීමේදී කුමක් හෝ ප්‍රක්ෂේපන ක්‍රමයක් යොදා ගත යුතු වෙනවා. එවිට ත්‍රිමාන ස්වභාවය ද්විමාන කිරීමේදී අනිවාර්ය විකෘතියක් ඇති වෙනවාමයි. එවැනි (වෙනත් ආකාරයක විකෘතියක්ද සහිත) තවත් ප්‍රක්ෂේපන ක්‍රමයක් යොදා ගෙන සාදා ගන්නා ලෝක සිතියමකි azimuthal map හෙවත් great circle map (GCM) කියන්නේ. මෙම ක්‍රමයේදී විශේෂත්වයක් තිබෙනවා. එනම්, එවැනි මැප් එකක් හැමවිටම සාදන්නේ එක් ස්ථානයක් කේන්ද්‍ර කරගෙනයි. එනිසා, ලෝකයේ එක් එක් තැනක් කේන්ද්‍ර කරගෙන සාදන නිසා, ඒ එක් එක් තැනට සාදපු සිතියම් තරමක් වෙනස් වෙනස් ආකාරයට දක්නට ලැබේවි (එහෙත් එම මැප්වලට තරමක් හුරු වූ පසුව එම වෙනස්කම් පහසුවෙන් සිතාගතද හැකි වේවි).

ඒ අනුව පහත දැක්වෙන්නේ මා දැනට සිටිනා NJ07ab යන ග්‍රිඩ් එක කේන්ද්‍ර කරගෙන සාදපු එවැනි මැප් එකක් මත මේඩන්හෙඩ් ග්‍රිඩ් ලකුණු කර ඇති ආකාරයයි. මෙවැනි ඇසිමතල් මැප් එකක් සාමාන්‍ය මැප් එකකට වඩා රේඩියෝ තරංග යොදා ගෙන සිදු කරන සන්නිවේදනයකදී ඉතාම වැදගත්ය. ඊට හේතුව බොහෝවිට අප එක් දිශාවකට පමණක් සංවේදී ඇන්ටනා භාවිතා කරනවා ඒ පැත්තේ සිට එන දුර්වල සංඥා ග්‍රහනය කරගන්නට හෝ එම දෙසට වැඩි ප්‍රබලතාවකින් සංඥා සම්ප්‍රේෂනය කරන්නට. එවිට ඔබේ එම ඇන්ටනාව කරකවන පැත්තේදී කුමන රටවල් හසුවේද යන්න ඉතාම නිවැරදිව මෙවැනි සිතියමකින් බැලිය හැකිය (සාමාන්‍යයෙන් භාවිතා කරන මැප් එකේ ඇතිවන ප්‍රදේශ විකෘතිය නිසා එවැනි මැප් එකක් මත අහවල් දිශාවට යැයි ඔබ රේඛාවක් ඇන්දත්, සත්‍ය ලෙසම එම ප්‍රදේශ එම රේඛාව ඔස්සේ නොතිබිය හැකියි).


මේ හැරුණු විට තමන් සිටිනා තැන නිශ්චිතව ඉතාම නිවැරදිව දැන ගැනීමට GPS තාක්ෂණය අද තිබේ. සාමාන්‍ය ක්‍රමයට ජීපීඑස්වලින් මීටර් කිහිපයක නිවැරදිතාවක් ගත හැකිය. තවද, Differential GPS (D-GPS) යන ක්‍රමයට එය භාවිතා කළොත්, සෙන්ටිමීටර් ගාණක නිවැරදිතාවක් ඉන් ලබා ගත හැකිය. මෙම තාක්ෂණය සාමාන්‍ය මිනිසුන්ට ලාභදායි ලෙස නොතිබූ කාලයේ තමයි ඉහත ආකාරයේ ක්‍රම නිර්මාණය කර ගත්තේ දළ වශයෙන් හෝ ස්ථාන හඳුනාගැනීමට. අද ඉතා ලාභදායි ලෙස GPS තාක්ෂණය තිබුණත්, බොහෝ අය එය භාවිතා කරමින් තමන් සිටිනා ස්ථානය දක්වාවි යැයි සිතිය නොහැකිය. එවිට තමන්ගේ නිවස තිබෙන තැන සෑම කෙනාම දැනගන්නවා. ගූගල් මැප් හා ගූගල් අර්ත් වැනි නොමිලේ ලැබෙන සේවා වලින් එම නිවස ගුවනේ සිට බැලියද හැකි වෙනවා. එය පුද්ගලයකුගේ රහස්‍යභාවය (privacy) නැති වීමකි. එනිසා තව ඉදිරියටත් මේඩන්හෙඩ් ක්‍රමය භාවිතා වේවි. එය අවශ්‍ය තරමට රහස්‍යභාවය රැකෙන ගමන්ම ස්ථාන හැඳිනගැනීමට ඉතා යෝග්‍ය ක්‍රමයකි.

ඉහත ආකාරයේ ඇසිමතල් මැප් එකක් ඔබ සිටින තැනට (හෝ ඕනෑම ස්ථානයකට) සාපේක්ෂව නොමිලේම අන්තර්ජාලය හරහා සාදා ගැනීමට http://ns6t.net/azimuth/azimuth.html යන වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ නැතත් ඉහත ඇසිමතල් රූපය මුලු ලංකාව සඳහාම ගැලපේ.

No comments:

Post a Comment