Thursday, March 9, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 58

මෝස් සංඥා යැවීමේ වේගය සාමාන්‍යයෙන් විනාඩියකට වචන (words per minute – wpm) යන ඒකකයෙන් මැනේ. සාමාන්‍ය ටයිප්රයිටරයක හෝ පරිගනක කීබෝඩයක් මත ටයිප් කරන වේගය මනින්නෙත් එම ඒකකයෙනි.

සමහර වචනවල ඇත්තේ එක් අකුරකි (a, I); සමහර වචනවල අකුරු දෙකකි (an, am, be, is, in, at, …); සමහර වචනවල අකුරු දුසිමක් විතර තිබිය හැකියි (acknowledgement, superposition, …). එනිසා විනාඩියකට වචන ගණන නිවැරදිවම මැනිය නොහැකිය.

ඊටත් අමතරව, මෝස් සංඥා බැලූ විට, සමහර අකුරු සඳහා යෙදා තිබෙන්නේ එක් ඩි හෝ ඩා සංඥාවකි (e, t); සමහර අක්ෂරවලට තිබෙන්නේ සංඥා දෙකකි (a, n, …); සමහර අක්ෂරවලට සංඥා 4ක් හෝ වැඩි ගණනක් ඇත (h, …). වචනවල තිබෙන අක්ෂර ගණන සමාන වුවත්, අවසාන වශයෙන් මෝස් සංඥා ගණන වෙනස් වේ. එනිසාද නිවැරදිවම මෝස් සංඥා යැවීමේ වේගය මැනීමේ අපහසුතාවක් ඇත.

විනාඩියකට ඩි හා ඩා යන සංඥා යවන වේගය ගැනීමත් සුදුසු නැත. මෝස්කෝඩ් වේගය කියන්නේ නිකංම ඩී හා ඩා සංඥා යවන හෝ අසාගෙන සිටින එක නෙමෙයිනෙ. එක් එක් අක්ෂර සඳහා සුදුසු කේත මනසින් හඳුනාගෙන එය කළ යුතු දෙයක්. එනිසා මෝස් සංඥා වේගයට මානසික තත්වයත් පුහුනුවත් බලපානවා.

මේ සියල්ලටම පොදු සම්මුතියකට එමනිසා පැමිණ තිබෙනවා වේගය මැනීමේදී. එනම්, කෙටිත් නැති දිගත් නැත මධ්‍යම ප්‍රමාණයේ යම් ඉංග්‍රිසි වචනයක් දර්ශීය වචනයක් (benchmark) ලෙස යොදා ගන්නවා. ඒ සඳහා බහුලව භාවිතා වන දර්ශීය වචන දෙක වන්නේ PARIS හා CODEX . උදාහරණයක් වශයෙන් ඔබේ වේගය 12wpm නම්, ඒ කියන්නේ ඔබට හැකියි එක් විනාඩියකදී paris (හෝ codex) යන වචනය 12 සැරයක් යවන්නට; හා එක් විනාඩියකදී එම වචනය 12 වරක් අසා කොපි කර ගන්න (එකම වචනය සියදහස් වතාවක් වුවද කොපි කිරීම පහසුයිනෙ කියා ඔබ කියාවි; ඇත්ත… මෙතැන ඇත්තටම අදහස් කරන්නේ එක වචනයක් නොව, වෙනස් වෙනස් වචන ගොන්නකි). ඇත්තෙන්ම paris යන වචනයට වඩා codex යන වචනය යැවීමට වැඩිපුර කාලයක් ගත වේ (20%ක් වැඩිපුර). ඊට හේතුම ඔබටම මෙසේ සොයා ගත හැකියි.

පැරිස් හා කොඩෙක්ස් යන වචනයේ අක්ෂර 5ක් ඇත. අකුරු ගණන සමාන වුවත්, ඒ එක් එක් අකුර සඳහා ඇති මෝස් සංඥා ගණන වෙනස් වේ (ඩොට් කාල ගණනින්). ගණනය කර බලන්න. p සඳහා . – – . වේ. එතැන ඩොට් 2ක් හා ඩෑෂ් 2ක් ඇත. ඉන්ට්‍රාලෙටර් හිස්තැන් 3ක් ඇත. මේ සියල්ල සඳහා ඩොට් කාලයෙන් මැන්න විට, 1(di)+1(intraletter space)+3(da)+1(intraletter)+3(da)+1(intraletter)+1(di) = ඩොට් කාල 11කි. එලෙසම a අකුරට ඩොට් කාල 5කි. r අකුරට ඩොට් කාල 7කි. i අකුරට ඩොට් කාල 3කි. s අකුරට 5කි. මේ එක් එක් අකුරක් අතර ඩොට් තුනේ හිස්තැන් (inter-letter space) 4කි; එතැන ඩොට් කාල 12කි. paris වචනයේ කෙලවර ඊළඟ වචනයට පෙර ඩොට් 7ක හිස්තැනක්ද (inter-word space) තිබෙනවා. මේ සියල්ල එකතු කළ විට, ඩොට් කාල 50ක් වේ.

මේ ලෙසම codex ගැනත් බැලුවොත් එවිට ඩොට් 60ක් ලැබේවි. එය පැරිස් යන වචනයට ගත වන කාලයට වඩා (10/50)x100% = 20%ක් වැඩිය (5010ක් වැඩි නම් 10020ක් වැඩිය). ඉතිං වැඩි ඩොට් ගණනක් යනු වැඩිපුර කාලය ගත වෙනවා කියන එකයි. එනම් පැරිස් වචනය යවනවාට වඩා කාලයක් යනවා කොඩෙක්ස් වචනය යැවීමට. එනිසා වේගය මනින විට භාවිතා කරන benchmark එක බලපානවා (එනම් දර්ශීය වචනය බලපානවා). පැරිස් බෙන්ච්මාර්ක් එකට අනුව ඔබේ වේගය 22wpm නම්, කොඩෙක්ස් බෙන්ච්මාර්ක් එකට අනුව තව කෙනෙකුගේ වේගයත් 22wpm නම්, ඇත්තටම ඔබට වඩා ඔහුගේ වේගය 20%ක් වැඩිය. එනම් ඔබේ වේගය මැනපු පැරිස් බෙන්ච්මාර්ක් අනුව ඔහුගේ වේගය 26wpm පමණ වේ.

මෝස් කේත නිර්මාණය කිරීමේදී එහි නිර්මාණකරුවන් ඔහේ හදන්නම් වාලේ එය සිදු කර නැති බවක් පේනවා. නිතර භාවිතා වෙන අක්ෂරවලට කෙටි මෝස් කේත ලබා දී තිබෙනවා. උදාහරණක් ලෙස, ඉංග්‍රිසියෙහි වැඩියෙන්ම භාවිතා වන අක්ෂරය වන e di යන කෙටිම සංඥාව ලබා දී තිබෙන්නේ. ඊළඟට වැඩියෙන්ම භාවිතා වෙන අක්ෂරය වන t ට දෙවැනි කෙටිම සංඥාව වන da ලබා දී තිබෙනවා. අනෙක් අක්ෂරද එසේය.

මෑතක් වන තුරු ලොව පුරා ආධුනික ගුවන් ශිල්පින් සඳහා මෝස්කෝඩ් ටෙස්ට් එකක් ITU විසින් අනිවාර්ය කර තිබුණා. එහෙත් එම කොන්දේසිය ඔවුන් වසර 2003දී ඉවත් කර තිබෙනවා (කැමති නම් පමණක් ඒ ඒ රටට එය කළ හැකිය). එනිසා බොහෝ රටවල්ද ආධුනික ගුවන් ශිල්පින් සඳහා පවත්වන විභාගවල අනිවාර්ය අංගයක් කර තිබූ මෝර්ස් ටෙස්ට් එක ඉවත් කර තිබෙනවා. ඇමරිකාවේ කිසිදු ආධුනික ගුවන් ශිල්පි මට්ටමක් සඳහා දැන් මෝස්කෝඩ් ටෙස්ට් පවත්වන්නේ නැත.

ලංකාවේ නවිස් හා ජෙනරල් මට්ටම් සඳහා මෝස්කෝඩ් ටෙස්ට් එකක් දැන් නැත (ඉස්සර තිබුණා). එහෙත් තවමත් ඇඩ්වාන්ස් මට්ටමට 5wpm ක වේගයක් සහිතව මෝස්කෝඩ් ටෙස්ට් එක සමත් විය යුතුය. එහිදී එම වේගයෙන් මෝස් යැවීමද (sending test) එම වේගයෙන් එන මෝස් සංඥා කොපි කිරීමද (receiving test) කළ යුතුය.

සෙන්ඩිං ටෙස්ට් එකේදී, වචන 15ක් (එක වචනයකට දළ වශයෙන් අකුරු 5ක් ඇති පරිදි; paris/codex බෙන්ච්මාර්ක් යොදා ගන්නා බව ඉන් හැඟවෙනවා) විනාඩි 3ක් ඇතුලත යැවිය යුතුය. වැරදියට සංඥා යැවුණේ නම් නිවැරදි කිරීම් උපරිම 4ක් කිරීමටද අවසර තිබේ. තවද ඉලක්කම් සහිත ප්‍රකාශ 5ක්ද විනාඩි 1යි භාගයක් ඇතුලත යැවීමටද සිදු වේ. එහිදී උපරිම නිවැරදි කිරීම් 2ක් කළ හැකිය.

රිසීවිං ටෙස්ට් එකත් එබදුය. විනාඩි 3ක් ඇතුලත වචන 15ක් කොපි කළ යුතුය. තවද, විනාඩි 1යි භාගයක් ඇතුලත ඉලක්කම් සහිත ප්‍රකාශ 5ක් කොපි කළ යුතුය. කොපි කරන විට වැරදියට කොපි කරපු සෑම අකුරක් හෝ ඉලක්කමක්ම වැරද්දක් (error) ලෙස සැලකේ. යම් වචනයක් තුල එවැනි වැරදි එකකට වඩා වැඩි විට, එවිට වැරදි 2ක් ලෙස සැලකේ. සාමාන්‍ය අක්ෂර සඳහා මුලු වැරදි ගණන 4ක් නම් හෝ ඉලක්කම් ටෙස්ට් එකේදී මුලු වැරදි 2ක් නම්, ටෙස්ට් එක අසමත් (fail) ලෙස සැලකේ.

Telegraph Key

මෝස්කෝඩ් භාවිතයේදී අංශ දෙකක් දියුනු කරගත යුතු වෙනවා. එකක් සංඥා යවන වේගයයි; අත හා මනස පුහුනු කළ යුතු වේ. අනෙක සංඥා කොපි කරන වේගයයි (මෙය තමයි තරමක් අපහසු); කන හා මනස පුහුනු කළ යුතු වේ. සංඥා යැවීමේ වේගයට පුහුනුව මෙන්ම මෝස් යැවීමට භාවිතා කරන උපකරණයත් (මෙය සාමාන්‍යයෙන් Morse key හෝ නිකංම key ලෙස හැඳින්වේ) වැදගත් වේ. මුල් කාලයේ (හා දැනුත්) යාන්ත්‍රික කී භාවිතා කළත්, දැන් ඉලෙක්ට්‍රොනික් කී පවා ඇත. පහත දැක්වෙන්නේ යාන්ත්‍රික කී එකකි. මෙවැනි යාන්ත්‍රික කී straight key ලෙසත් හැඳින් වෙනවා.


ටෙලිග්‍රාෆ් කී එකක යම් රවුම් හැඩැති knob එකක් තිබෙනවා. එය ඇල්ලිය යුත්තේ පහත රූපයේ ආකාරයෙනි. මෙම නොබ් එක කෙටි කාලයක් පහලට එබූ විට ඩි සංඥාවද, ඊට වඩා දළ වශයෙන් තුන් ගුණයක කාලයක් පහලට ඔබා ගෙන සිටින විට ඩා සංඥාවට නිපදවෙනවා. නොබ් එක අතහැරිය විට ඉබේම උඩට එනවා (spring mechanism එකක් එතැන තිබෙනවා). මෙම නොබ් එක සහිත දණ්ඩ Morse key හෙවත් telegraph key ලෙස හැඳින්වේ.


ඉහත කී එකේ යම් ප්‍රශ්නයක් තිබේ. එනම්, ඩි සංඥා කිහිපයක් එකවර යවන විට, ටක් ටක්ගාලා එය එබිය යුතු වෙනවා. කාල පරාසය කුඩා නිසා, අත ඉක්මනින් විඩාවට පත් වෙනවා. සමහරවිට අත තාවකාලික අක්‍රිය බවකට පත් වියද හැකියි (අතින්/ඇඟිලිවලින් යම් වැඩක් වේගයෙන් සිදු කර බලන්න; මොහොකින් ඇඟිලි විඩාබර වූ පසු තවදුරටත් ඇඟිලි වැඩ නොකරාවි සුලු වෙලාවක් යනකල්). මෙම තාවකාලික අක්‍රිය වීම glass arm ලෙස හැඳින්වේ. මෙවිට මෝස් සංඥා නිපදවිය නොහැකි වෙනවා.

සමහර කී සාදා තිබෙනවා නොබ් එකකින් යටට ඔබනවා වෙනුවට වමට හා දකුණට තල්ලු කළ හැකි ආකාරයටත්. මේවා sideswiper යන නමින්ද හැඳින්වේ. මෙවිට වමට හෝ දකුනට දෙපැත්තටම තල්ලු කරමින් ඩි හා ඩා නිපදවිය හැකිය. කෙටි කාලයක් වමට හෝ දකුනට තල්ලු කරගෙන සිටියොත් ඩි සංඥාවත්, දිගු කාලයක් වමට හෝ දකුනට තල්ලු කරගෙන සිටියොත් ඩා සංඥාවද ලැබේ. අත්හැරියොත් නැවත දණ්ඩ මැදට එයි.

මෙම ක්‍රමය හඳුන්වාදීමට මූලික වූයේ වැඩි කාලයක් ඉහත ආකාරයේ ස්ට්‍රේට් කී එකක් භාවිතා කිරීම නිසා අතේ මැනික්කටුව ප්‍රදේශයේ ඇති විය හැකි Carpal tunnel syndrome නම් ආබාධයක් අවම කිරීම සඳහාත් (මෙම රෝගී තත්වය පරිගනක කීබෝඩ්වල වැඩි කාලයක් ටයිප් කරන අයටද සෑදිය හැකිය), ග්ලාස් ආර්ම් තත්වය නැති කිරීම සඳහාත්ය. තරමක් වැඩි වේගයකින් සංඥා යැවියද හැකිය.


දැන් එක දිගට කෙටි ඩි සංඥා පෙලක් යැවීමට අවශ්‍ය නම්, අර දණ්ඩ වේගයෙන් දෙපැත්තට වැනිය හැකිය. ඇඟිලි තාවකාලික අප්‍රාණිකබවට පත් වන්නේ නැත (ග්ලාස් ආම් ඇති නොවේ).

ඉහත උපකරණයේම යම් දියුණු අවස්ථාවකි bug හෝ semiautomatic key යන නම්වලින් හැඳින් වූයේ. මෙහිදී දණ්ඩ දකුණු පසට දකුණතේ මහපට ඇඟිල්ලෙන් තල්ලු කළ විට ඩි සංඥාව ලැබෙනවා. ඒ විතරක් නොවේ, ඒ පැත්තට එක දිගට තල්ලු කරමින් සිටියොත් දිගටම ස්වයංක්‍රියවම “ටික් ටික් ටික් ...” ආදි ලෙස ඩි සංඥා පෙලක්ම නිපදවෙනවා (විද්‍යුත්චුම්භක යාන්ත්‍රණයක් මඟින්) අත හරින තෙක්ම; හරියට පරිගනක කීබෝඩ් එකක කී එකක් ඔබාගෙන සිටින විට එම අකුර දිගටම ටයිප් වෙනවා වාගේ. එලෙස ටික් ටික් ටික් ලෙස ඩි සංඥා සෑදෙන වේගය එම උපකරණයේ ඇති කුඩා නට් එකක් තද/බුරුල් කිරීමෙන් සැකසිය හැකිය.

එහෙත් දඹර ඇඟිල්ලෙන් වම් පැත්තට තල්ලු කරගෙන සිටියොත් ශබ්දය සාමාන්‍ය ලෙසම නී……..ක් ලෙස දිගටම පවතීවි. එනිසා වම් පැත්තට තල්ලු කරන විට, අවශ්‍ය කාල සීමාවට අනුව තද කරගෙන සිටීමට සිදු වේ (ඩි සඳහා කෙටි කාලයක්ද ඩා සඳහා දිගු කාලයක්ද).

ඉහත බග් එකේ වාසිය වන්නේ කෙටි ඩි සංඥා පෙලක් එකවර යැවීමේදී ඇතිවන ග්ලාස් ආම් තත්වය සම්පූර්ණයෙන්ම නැති කිරීමයි මොකද ටක්ටක්ගා ඔබ ඔබ ඉන්නට අවශ්‍ය නැතිව දකුණු පැත්තට අල්ලගෙන ඉන්න විතරයි තිබෙන්නේ. ඩා සංඥාවට එවැනි ගැටලුවක් නැති නිසා, එම සංඥාව සුපුරුදු ලෙසම නිසි කාලයක් කී එක ඔබාගෙන/තද කරගෙන සිටීමෙන් සෑදීමට සිදු වෙනවා. ඩි සංඥා පෙලක් ස්වයංක්‍රියවත් ඩා සංඥා සාමාන්‍ය ක්‍රමයටත් සාදන නිසා තමයි ඊට semiautomatic (භාගෙට ස්වංක්‍රිය) යන නම ලැබී තිබෙන්නේ.


එහෙත් පසුකාලයේ තරමක් වේගයෙන් හා පහසුවෙන් මෝස්කෝඩ් යැවීම සඳහා ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මෝස්කෝඩ් යැවිය හැකි උපකරණයක් නිපදවූවා. ඒවා electronic key හෙවත් keyer ලෙස හැඳින්වේ. එහිද පැත්තට තල්ලු කරන කුඩා ලීවරයක්/දණ්ඩක් එහි තිබෙනවා. මෙම දණ්ඩ paddle කියා හැඳින්වෙනවා. මෙය ඉහත ඡේදයේ සඳහන් කරපු සෙමිඔටෝමැටික් කී එකට බොහෝ සමානය; නමුත් මෙහිදී වම් පැත්තට තද කරන විට ඩි සංඥාවද දකුණු පැත්තට තද කරන විට ඩා සංඥාවද සෑදේ. එනිසා මෙය සම්පූර්ණයෙන්ම ස්වංක්‍රිය (automatic key) වේ. මෙයත් ආකාර දෙකකින් නිපදවන අතර එකක ඇත්තේ තනි පැඩල් එකකි (single paddle); අනෙකහි පැඩ්ල් දෙකක් ඇත (twin paddle).


(තනි) පැඩ්ල් එක වැඩ කරන්නේ මෙලෙසයි. පැඩල් වම් පැත්තට දඹර ඇඟිල්ලෙන් තද/තල්ලු කරන විට, ඉන් ඩා සංඥා නිපදවේ. ඒ විතරක්ද නොවේ; අත හරින්නේ නැතිව එක දිගට එම පැත්තට තල්ලු කරගෙන සිටියොත් දිගටම ඩා සංඥා පිට වේවි. පැඩ්ල් එක දකුනු පසට මාපට ඇඟිල්ලෙන් තල්ලු කළ විට එලෙසම ඩි සංඥාව නිපදවේ. දිගටම තද කරගෙන සිටියොත් දිගටම ඩි සංඥාව නිපදවේ.

පැඩ්ල් 2ක් තිබෙන විට ඊට iambic key යැයිද පවසනවා. මෙයත් ඉහත තනි පැඩ්ල් එක වගේමයි. වෙනස මෙයයි. පැඩල් එබිය යුත්තේ ඇතුලු පැත්තට පමණි (එක් පැඩ්ල් එකක් මාපට ඇඟිල්ලෙන්ද අනෙක දඹරැඟිල්ලෙන්ද ඔබන්න). මෙනිසා මෙම පැඩ්ල් දෙක squeeze keys (මිරිකන කී) ලෙසද හැඳින්වෙනවා. එක් පැඩ්ල් එකක් ඔබන විට ඩි සංඥාවද, අනෙක ඔබන විට ඩා සංඥාවද ලැබේ. මේ දෙකම එකවර ඔබාගෙන සිටියොත් මාරුවෙන් මාරුවට ඩි ඩා ඩි ඩා … ආදී වශයෙන් සංඥා සෑදේවි. iambic යන වචනය යොදා ගත්තේද මෙම මාරුවෙන් මාරුවට සංඥා සෑදෙන ක්‍රියාව නිසාය.


ඇත්තෙන්ම ඉහත රූපවල තිබෙන්නේ මෝස් කේත නිර්මාණය කරන උපකරණයයි. මා පෙරත් පැවසූ ලෙසම, කුඩා ලෝහ පිටි කිහිපයකින් එවැන්නක් පහසුවෙන්ම සෑදියද හැකිය. එහෙත් ඒ මඟින් විතරක් මෝස් සංඥා යැවිය නොහැකිය. ඒ කියන්නේ සෑම මෝස් කී උපකරණයක්ම සුදුසු රේඩියෝ ට්‍රාන්ස්මිටරයකට සම්බන්ද කළ යුතු වෙනවා. මෙවිට කී එක හෝ පැඩ්ල් එක ඔබා ඔබ සාදන මෝස් සංඥා අදාල ට්‍රාන්ස්මිටරය හරහා සම්ප්‍රේෂනය වේවි.

තවද, ඉහත කී උපකරණයෙන් බැහැ ලැබෙන මෝස් කේත ග්‍රහනය කර ගන්නට (එම රාජකාරිය ඊට අදාල නැත). ඒ සඳහා වෙනම සරල රිසීවර් පරිපථයක්/උපකරණයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මෝස් සංඥා යොදා ගන්නේ AM ක්‍රමය නිසා, AM රිසීවරයක් අවශ්‍ය වෙනවා. මෙම රිසීවරයෙන් ග්‍රහනය කර ගත් මෝස් සංඥාවේ තිබෙන ඩි හා ඩා සංඥාවලට අදාල ශබ්දයක් එහි ස්පීකරයෙන් අසන්නට සලස්වනවා. මෙම ශබ්දය සාමාන්‍යයෙන් හර්ට්ස් 600ත් 1000ත් අතර පවතී (එනිසා මෝස් සංඥාවල ශබ්දය එකවර ඔබට කොතැනක ඇසුනත් හඳුනා ගත හැකියි).

Prosigns

මෝස්කෝඩ් සම්මතය තුල ප්‍රෝසයින් කිහිපයක් තිබෙනවා. Procedural sign යන්න කෙටි කිරීමෙන් prosign සාදා ගෙන තිබේ. එක් එක් ප්‍රෝසයින් එක සඳහාද මෝස් කේත ඇත (සාමාන්‍ය අක්ෂර, ඉලක්කම්, විරාම ලකුණු ආදියට මෝස් කේත තිබෙන විදියටම). ප්‍රෝසයින් යනු එක්තරා විදියක විධාන (commands) වේ; ඒවා හුදු අක්ෂර/සංඛේත නොවේ (non-textual). ඒ කියන්නේ යම් ප්‍රෝසයින් එකක් ඇසෙන විට, එය යම් විධානයක් ලෙස සැලකිය යුතුය. පහත දැක්වෙන්නේ ප්‍රෝසයින් හා ඒවායේ මෝස් කේත වේ.

Error (HH) di di di di di di di dit (di සංඥා 8ක්)
End of Message/ New Page (AR) di da di da dit
Wait (AS) di da di di dit
End of Work/ End of Contact (SK) di di di da di da
Distress (SOS) di di di da da da di di di
Sentence Separation/ New Paragraph (BT) da di di di da
Invitation for any station to Transmit (K) da di da
Invitation for a Named Station to Transmit (KN) da di da da dit
New Line (AA) di da di da
Attention (CT) da di da di da
Understood (SN) di di di da dit

ප්‍රෝසයින් සඳහාද ඩා හා ඩා සංඥා පෙලක්නෙ තිබෙන්නේ. ඉතිං පහසුවෙන් මතක තබා ගැනීමට අපට හැකියි එම සංඥා පෙල ඉංග්‍රිසි අක්ෂරවලට කඩන්නට. උදාහරණයක් ලෙස SN යන ප්‍රෝසයින් එක ගමු. එහි මෝර්ස් කේතය සෑදී තිබෙන්නේ di di di da dit යන සංඥා පෙලෙන්. එහෙත් එම සංඥා පෙලෙහි මුල් සංඥා 3 වන di di di යන්න ඉංග්‍රිසි s අකුරට යෙදෙන මෝර්ස් කේතයට සමාන වේ. ඉන්පසු ඇති da dit කොටස ඉංග්‍රිසි N අකුරට සමාන වේ. එනිසා එම ප්‍රෝසයින් එක SN ලෙස ලිවිය හැකිය. එය නිකංම s හා n අකුරු දෙකක් නොව ප්‍රෝසයින් එකක් බව හැඟවීමට එම අක්ෂර දෙකට උඩින් “උඩු ඉරක්” (overline) ගසනවා. මේ ආකාරයෙන් අනෙක් ප්‍රෝසයින් ගැනද සිතන්න.

ඉහත ආකාරයට ප්‍රෝසයින් ඉංග්‍රිසි අක්ෂර ඇසුරින් දක්වන විට, සමහරවිට එකම ප්‍රෝසයින් එක ක්‍රම කිහිපයකින් දැක්වීමට හැකි වන්නත් පුලුවන්. උදාහරණයක් ලෙස New Line යන ප්‍රෝසයින් එකේ මෝස් කේතය di da di da වේ. එය ඉහත වගුවේද තිබෙන පරිදි A අකුරු දෙකක් ලෙස පෙන්විය හැකියි. එලෙසම එය EK ලෙසද අවශ්‍ය නම් දැක්විය හැකියි මොකද E හි di , K හි da di da යන්නත් නිසා. එසේ වුවද, සෑම ප්‍රෝසයින් එකක් සඳහා ප්‍රචලිත නිරූපණ ක්‍රම ඉහත වගුවේ දැක්වේ (අනෙක් ක්‍රම සාදා ගත හැකි වුවත්, පාවිච්චි කරන්නට හේතුවක් නැත).

මතක තබා ගැනීමේ පහසුව තකා ඉංග්‍රිසි අක්ෂර මඟින් ප්‍රෝසයින් දැක්කුවත්, ඒවා ඉංග්‍රිසි අක්ෂර එකතුවක් නොවන වග මතක තබා ගත යුතුය. සෑම ප්‍රෝසයින් එකකම කේත ඒ පෙන්වා ඇති පරිදි යැවිය යුතුය අමතර හැඩැස් සංඥා අතර නොතබා. උදාහරණයක් ලෙස, New Line ප්‍රෝසයින් එක AA ලෙස පෙන්නුවත්, එය යැවිය යුත්තේ සාමාන්‍යයෙන් එක ළඟ තිබෙන A අකුරු දෙකක් යවන ආකාරයට පළමුව A (di da) යවා ඉන්පසු ඩොට් 3ක කාලයක් නිහඬව සිට නැවත A (di da) යවන ආකාරයට නොව. කෙලින්ම එක දිගට di da di da ලෙස යැවිය යුතුය.

ඉහත එක් එක් ප්‍රෝසයින් එකෙන් කරන රාජකාරි/විධාන මොනවාද?

1. New Line – මෙම ප්‍රෝසයින් එක ඇසුනු විට, ඊළඟට ඇසීමට නියමිත මෝස්කේත කොපි කරන්නේ කොලයේ ඊළඟ පේලියේ සිටය. එය අප යමක් පොතක ලියමින් සිටින විට, ඊළඟ පේලියෙන් අලුතින් ලියන්න පටන් ගන්නවා වැනිය. පරිගණකයේ Enter කී එක එබීමෙන් සිදු කරන්නේද මෙයයි.

2. New Paragraph – මෙය ඇසුනු විට, ඊළඟට කොපි කරන අක්ෂර ලියන්නේ පේලි දෙකක් යටින් අලුත් පේලියක සිටයි. එනම්, අලුත් ඡේදයක් පටන් ගැනීමක් වැනිය.

ඊට අමතරව මෙම ප්‍රෝසයින් එකේ මෝස් කේත එලෙසම යොදා ගන්නවා = ලකුණ නිරූපණය සඳහාත් (මෙවිට එය ප්‍රෝසයින් එකක් ලෙස සලකන්නේ නැත).

3. New Page – මෝස්කෝඩ්වලින් එක දිගටම පනිවුඩ කිහිපයක් එවිය හැකියිනෙ. මෙවිට මේ එවන්නට යන්නේ අලුත් පනිවුඩයකි කියා කීමට මෙය යෙදේ. සාමාන්‍යයෙන් එකම කොලයේ මැසේජ් සියල්ල ලියනවා නම්, රූල් තුනකට විතර පසුව අලුත් මැසේජ් එක පටන් ගැනීම සුදුසුය. මැසේජ් කොපි කිරීමට කුඩා නෝට් පෑඩ් එකක් භාවිතා කරනවා නම්, මෙම ප්‍රෝසයින් එක ඇසුනු විට අලුත් පිටුවක ඊළඟ පනිවුඩය සටහන් කළ යුතුය. MS Word වැනි word processing software වල page break ලෙස තිබෙන ෆෝමැටිං එකත් මේ ප්‍රෝසයින් එකට සමාන රාජකාරියක් සිදු කරනවා.

ඊට අමතරව, මෙම ප්‍රෝසයින් එකේ මෝස් කේතය එලෙසින්ම යොදා ගන්නවා ගණිත + සලකුණ සඳහාත්.

ඉහත ප්‍රෝසයින් තුනෙන්ම ඇත්තටම සිදු වූයේ අලුත් පනිවුඩය කොපි කළ යුත්තේ රූල් එකකට පසුද, දෙකකට පසුද, තුනකට පසුද වැනි දෙයක් කීමටයි. එනිසා ඒවා තුනම පොදුවේ whitepace prosigns ලෙස හැඳින්වේ. අනෙක් ප්‍රෝසයින් එක්ක බලද්දී එතරම්ම වැදගත්කමක් එනිසා ඒවාට වර්තමානයේ නැත. ඉස්සර ටෙලිග්‍රාෆ් යුගයේ මේවා වැදගත් විය.

4. Wait – සංවාදයක් කරගෙන යන අතරේ, අනෙකාට “පොඩ්ඩක් ඉන්න” කියා කියයි. සමහරවිට මෙම ප්‍රෝසයින් එකට පසුව 2, 3 ආදී ලෙස යම් ඉලක්කමක්ද තිබිය හැකිය. එම ඉලක්කමින් කියන්නේ විනාඩි ගණනයි. මෙම ප්‍රෝසයින් එක ඇසෙන අනෙකා එවිට සාමාන්‍යයෙන් “හා” හෝ “හරි” කියා කියන්නේ R (roger) අකුර හෝ C අකුර හෝ understood (SN) යන ප්‍රෝසයින් එක එවීමෙනි.

ඊට අමතරව, මෙම ප්‍රෝසයින් එකේ මෝස් කේතය එලෙසම යොදා ගන්නවා & යන්න නිරූපණය කිරීම සඳහාත්.

5. Error – අප කොලයක් යමක් සාමාන්‍යයෙන් ලියමින් යන අතරේ වැරදුණොත් කරන්නේ කුමක්ද? එම වචන කපා හැර නිවැරදි වචන ඊට පසුව ලිවීමනෙ. එලෙසමයි මෝස්කෝඩ්වලින් යමක් ලියාගෙන යන අතරේ වැරදි කේත යැවුනොත් (එනම්, ඩි ලිවිය යුතු තැන ඩා ලෙස ලිව්වොත්, හෝ s අකුර ලිවිය යුතු තැන o අකුර ලිව්වොත් ආදි ලෙස), එම වැරැද්ද දුටු මොහොතේ එරර් ප්‍රෝසයින් එක යැවිය යුතුය (සාමාන්‍යයෙන් අවසානයට යැවූ හෝ දැන් යවමින් සිටින වචනයේ වැරද්දනෙ එසේ දැනී නිවැරදි කරන්නට යන්නේ). එවිට අනෙක් පැත්තේ කෙනා දන්නවා තමන් කොපි කර තිබෙන එකේ යම් වැරද්දක් තිබෙන බව. එරර් සංඥාව යවා ඊට පසුව අදාල මුලු වචනයේම නිවැරදි මෝස්කෝඩ් නැවත යැවිය යුතුය.

6. Invitation for any station - මෝස්කෝඩ්වලින් යමෙකුට කා එකක් හරි සංවාදයක් කිරීමට ඕනකමක් ආ විට, ඔහු කරන්නේ ඊට සුදුසු ආධුනික ගුවන් සංඛ්‍යාතයක් තෝරා ගෙන, තමන් අහවලා යැයි මුලින්ම මෝස්කෝඩ්වලින්ම හඳුන්වා දී, ඉන්පසු තමන්ගේ පනිවුඩ ඇසෙන ඕනෑම කෙනෙකුට තමන් සමඟ “පොඩි කයියක්” (සංවාදයක්) කිරීමට ආරාධනා කිරීමයි. මෙම ආරාධනාව සිදු කරන්නේ මෙම ප්‍රෝසයින් එකෙන් තමයි. මීට අමතරව, තමන් දැනටමත් මෝස් සංවාදයක යෙදී සිටින විට, තමන් ලියන මෝස් පනිවුඩයට පසුව අවසානයේ මෙම ප්‍රෝසයින් එක යැවූ විට, “හරි දැන් මං පනිවුඩයක් එව්වා, දැන් වෙනත් කවුරු හරි මොනා හරි කියන්න” වැනි අදහසක්/ආරාධනයක් සිදු වේ. මෙය හැමවිටම වාගේ මෝස්කෝඩ් සංවාද තුල භාවිතා වෙන ප්‍රෝසයින් එකකි.

7. Invitation for a named station – මෙම ප්‍රෝසයින් එකත් ඉහත 6වැනියට කී ප්‍රෝසයින් එක වැනි ආරාධනාවකි. එහෙත් මෙහිදී නම සඳහන් කරපු කෙනෙකුට හෝ වෙනත් විශේෂ කෙනෙකුටයි (අහවල් රටේ කෙනෙකු වශයෙන්) ආරාධනාව සිදු වන්නේ (ඔබයි තව පිරිසකුයි සිටින විට, එම පිරිසේ සිටින කෙනෙකුගේ නම කතා කර යමක් ඇසූ විට, ඔබලාටත් එම ප්‍රශ්නය ඇසුනත් ඔබලා පිළිතුරු නොදී අදාල තැනැත්තා පමණක් පිළිතුරු දෙනවා වැනිය). තවද, තමන් දැනටමත් පිරිසක් සමඟ මෝස් සංවාදයේ යෙදෙන විට, මේ මොහොතේ ඒ පිරිසෙන් යම් කෙනෙකු සමඟ විශේෂ දෙබසක් යන විට, ඔබේ පනිවුඩය ලියා අවසානයේ මෙම ප්‍රෝසයින් එක යැව්වොත් ඉන් අදහස් වන්නේ “මගේ පනිවුඩය මං එව්වා, දැන් මේ මොහොතේ මා කතා කරමින් සිටි කෙනා විතරක් ඊට ප්‍රතිචාර දක්වා අනෙක් අය මොහොතක් නිශ්ශබ්දව සිටින්න” කියාය.

8. Distress (sos) – යමෙකු ආපදාවක සිටින විට මෙම සංඥාව යවයි (මීට පෙරත් සොස් ගැන අපි කතා කළා). යම් කුඩා කාලාන්තරයකට සැරයක් මෙම සොස් සංඥාව දිගින් දිගටම යැවිය හැකියි කවුරුන් හෝ ප්‍රතිචාර දක්වන තෙක්.

9. Attention – තමන් සතුව සෑම දෙනාටම පොදුවේ යැවිය යුතු වැදගත් පනිවුඩයක් තිබෙන විට මෙම ප්‍රෝසයින් එක පළමුව යැවේ. එවිට, මෙම සංඥාව ඇසෙන අය, ඊට පසුව ඔබ එවන සංඥාව කුමක්දැයි සාවධානව කොපි කර ගැනීමට සැරසේ.

10. End of contact – දෙදෙනෙකු අතරේ යම් මෝස් සංවාදයක් ගිය පසු, තමන්ට එම සංවාදය දැන් අවසන් කිරීමට අවශ්‍ය විට, මෙම ප්‍රෝසයින් එක යැවේ.

මෝස්කෝඩ්වල ප්‍රෝසයින් භාවිතා කරන ආකාරය ශබ්දයෙන් කරන සන්නිවේදනයටත් ඇවිත් තිබෙනවා. මෙවිට එවැනි වචන/ශබ්ද proword (procedure word) ලෙස හැඳින්වෙනවා. Over, clear, roger, mayday, pan, security, say again, wilco, this is වැනි ප්‍රෝවර්ඩ් කිහිපයක් ඇත. මේඩේ, පෑන්, සික්‍යුරිටි, රොජර් වැනි ප්‍රෝවර්ඩ් ඔබට මීට පෙර හමු වී තිබෙනවා නේද?

මෝස් සන්නිවේදනය අක්ෂර/සංඛේත යොදා ගෙන කරන සන්නිවේදන ක්‍රමයක් නිසා, දිගු වචන ලිවීමට සාමාන්‍යයෙන් බොහෝ දෙනා මැලිකමක් දක්වනවා. මෙම තත්වය එලෙසම තිබෙනවානේ අද ෆෝන් එකකින් sms ටයිප් කරන විටත්. එනිසා, දිගු වචන වෙනුවට කෙටි වචන (abbreviations) භාවිතා කෙරෙනවා. මෝස් සන්නිවේදනයේදීද එවැනි බොහෝ දෙනාට තේරෙන කෙටි කිරීම් ගණනාවක් ඇත. පහත දැක්වෙන්නේ ඉන් කොටසකි.

abt - about dr - dear lw – long wire/long wave
adr - address dx - distance mgr - manager
agn - again Eu - Europe mom - moment
ans - answer eve - evening msg - message
ant - antenna fer - for N – no/negative/nine
bd - bad fm – from/frequency modulation Nil - nothing
bth - both fone - phone nm – no more
btr - better fq - frequency nw - now
btw – by the way fwd - forward op – operator/operation
b4 - before gd - good pt - point
C – yes/correct gn – good night pkg - package
CB - callbook gm – good morning Re - concerning
ckt - circuit ge – good evening rpt - repeat
Cl – call/ I am closing the station GND - ground Ref – reference/refer to
cld - called gv - give Sig – signal/signature
clg - calling gvg - giving tfc - traffic
cmg - coming hi – high/laugh ve - understood
cnt - can’t HQ - headquarters yf - wife
condx - conditions hr – hour/here/hear OM – old man
CS - callsign hv - have YL – young lady
cu – see you hvg - having OT – old timer
cud - could hw - how CQ – seek you
cul – see you later lsn - listen CW – Continuous Wave
cuz - because ltr – later/letter/litre XYL – married woman
diff - difference lv - leave Buro - bureau
dn - down lvg - leaving cfm – confirm/I confirm
sat – satellite/Saturday HAM – amateur radio operator min – minute/minimum
sec - second max - maximum

yr - year


සතියේ දින කෙටියෙන් sun, mon, tue, wed, thu, fri, sat ලෙස දැක්විය හැකිය. අවුරුද්දේ මාස කෙටියෙන් jan, feb, mar, apr, may, jun, jul, aug, sep, oct, nov, dec ලෙස දැක්විය හැකිය.

ලෝකයේ සෑම රටක් සඳහාම ඉංග්‍රිසි අක්ෂර දෙකකින් යුතු ජාත්‍යන්තරව පිළිගන්නා කෙටි country codes ඇත. Sri Lanka (LK), United States of America (US), United Kingdom (UK/GB), India (IN), China (CN), France (FR), Germany (DE), Italy (IT), Saudi Arabia (SA), South Africa (ZA), Japan (JP), Russia (RU), Canada (CA), Australia (AU), Brazil (BR) යනු ඉන් කිහිපයකි. ඉතිං, රටවල්වල නම හෝ එහි කෙටි නම භාවිතා කළ හැකිය. අන්තර්ජාලයේ වෙබ් අඩවි (website) දක්වා තිබෙන නම් (domain name) සඳහාද ඉහත කන්ට්‍රි කෝඩ් භාවිතා වේ.

සෑම රටකටම තමන්ගේම මුදල් ඒකකයක් (currency) ඇත. ජාත්‍යන්තර වශයෙන් සෑම මුදල් ඒකකයක්ම ඉංග්‍රිසි අකුරු 3කින් දැක්විය හැකිය (currency code). ඉන් පළමු අකුරු දෙක වන්නේ ඉහත සඳහන් කරපු කන්ට්‍රි කෝඩ් එකයි. තෙවැනි අකුර වන්නේ එම රටේ භාවිතා වෙන මුදල් ඒකකයේ ශබ්දයේ මුල් අකුරයි. උදාහරණ ලෙස, Sri Lankan rupee (LKR), US dollar (USD), Canadian dollar (CAD), Australian dollar (AUD), Singapore dollar (SGD), Indian rupee (INR), Pakistan rupee (PKR), British Sterling Pound (GBP), Euro (EUR), Russian rouble (RUR), Japanese Yen (JPY), Chinese Yuan (CNY), Saudi riyal (SAR) බලන්න (මින් යුරෝ විතරක් විශේෂිත වේ). ඉතිං මෝස්කෝඩ්වලින් යම් මුදල් ඒකකයක් සඳහන් කරන විට මෙම කෙටි නම් භාවිතා කරන ලෙස උනන්දු කර ඇත.

No comments:

Post a Comment