Tuesday, March 7, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 57

කවුරුන් හෝ එවන මෝස් සංඥා කනින් අසා සාමාන්‍යයෙන් කොලයක ලියා ගන්නවා. ඉන්පසු කොලය නිවිසැනසිල්ලේ කියවා පනිවුඩය තේරුම් ගන්නවා. එම ක්‍රියාවට copying code කියා කියනවා (මෝස්කෝඩ් කොපි කරනවා). හොඳින් පුහුනු වූ කෙනෙකුට එලෙස කොලයක ලිය ලියා ඉන්නේ නැතිව කෙලින්ම මෝස් සංඥා තේරුම් ගත හැකියි.

Koch’s method

එක් එක් අක්ෂරයක්/සංඛේතයක් සඳහා වන මෝස් කේත කියවා කවි කටපාඩම් කරනවා වගේ මෝස්කෝඩ් ඉගෙන ගත නොහැකිය (එසේ කළ හැකි අය සිටීමටත් හැකියි; එක් එක් පුද්ගලයා වෙනස්නෙ). සාමාන්‍යයෙන් එවැනි කටපාඩම් ක්‍රමයට පුරුදු වූ අය පළමුව එක් එක් ඩි හෝ ඩා ශබ්දය අසා, දෙවනුව එවැනි ශබ්ද කිහිපයක් ඇසුනු විට එම ශබ්දයෙන් නියෝජනය කරන අක්ෂරය/සංඛේතය කුමක්දැයි මොලය ඇතුලෙන් සොයා බලන බව (memory maps) ඒ පිළිබඳව සිදු කළ අධ්‍යනවලින් පෙන්වා දී තිබේ. එනිසා මෙම ක්‍රමයට හුරු වූ විට, මොලය වැඩිපුර කාලයක්/මහන්සියක් ගන්නවා මෝස්කෝඩ් තේරුම් ගැනීමට. එහි ප්‍රතිපලයක් වන්නේ මෝස්කෝඩ් තේරුම් ගැනීම මන්දගාමි වීමයි. දළ වශයෙන් මේ ක්‍රමයෙන් විනාඩියකට වචන 10ක් පමණ උපරිම වේගයක් ලබා ගත හැකි බව පවසනවා.

එහෙත් විශාල වේගයන් ලබා ගැනීම සඳහා (විනාඩියකට වචන 12ක්, 15ක්, 32ක්, 72ක්, 100ක් පවා) මෝස්කෝඩ් ප්‍රැක්ටිස් විය යුතු වෙනත් ක්‍රම හඳුන්වාදී තිබෙනවා. මෙම ක්‍රමවල මූලික පදනම වන්නේ සිත සිත ඉන්නේ නැතිව උපවිඥානිකව (subconsciously) මෝස් සංඥා කනින් ඇසෙන විටම ඉබේම/ඉවෙන් මෙන් අදාල අක්ෂර/සංඛේත මනසට එන පරිදි මනස හුරු කිරීමයි (මා මෙවැනි උපවිඥානික පුහුනුවකට කියන්නේ muscle training කියාය). මේ සඳහා Koch’s method නම් ප්‍රචලිත ක්‍රමයක් යොදා ගන්නවා. ජර්මානු ජාතික මනෝවිද්‍යාඥයකු වන Ludwig Koch විසින් 1930 ගණන්වල එය හඳුන්වාදෙන ලදි.

කොච් ක්‍රමයේදී සිදු වන්නේ මෙයයි. ඉහත දක්වා තිබෙන මෝස් සංඥා එකින් එක කටපාඩම් කරන්නේ නැත (කවි කටපාඩම් කරනවා මෙන් සිදු නොකරයි). මුලින්ම තමන්ට අවශ්‍ය කරන වේගයක් තීරණය කළ යුතුය. මට අවශ්‍ය විනාඩියකට වචන 22ක් නම්, මා තෝරා ගත යුතු වන්නේ එම වේගයයි.

ඉන්පසු ඕනෑම අක්ෂර/සංඛේත 2ක් පමණක් ගෙන එම දෙකෙහි විවිධ මිශ්‍රණවලට විනාඩි 5ක් එක දිගම ඇහුම්කන් දෙන්න; එය එක් සැසිවාරයකි (session). මෙම සංඥා එවන්නේ පෙර තෝරාගත් වේගයෙන් විය යුතුය. උදාහරණයක් වශයෙන් මා මුලින්ම A හා S යන සංඥා දෙක තෝරා ගත්තා නම්, එම දෙකෙහි විවිධ මිශ්‍රන තිබිය හැකියි - AA, AS, SA, SS, ASA, SAA, AAA, SASS ආදී ලෙස.

ඉහත ආකාරයට සංඥා දෙකෙහි විවිධ මිශ්‍රන ඇසෙන විට, ඔබ එය කොලයක නිවැරදිව කොපි කළ යුතුය. ඉන්පසු විනාඩි 5 අවසන් වූ විට, එම කොපි කළ සංඥා හා ඇසුනු සංඥාවල නිවැරදිතාව පරික්ෂා කළ යුතුය. එහි නිවැරදිතාව 90%ට අඩු නම්, නැවතත් එම අක්ෂර දෙක එලෙසම විනාඩි 5ක් ප්‍රැක්ටිස් විය යුතුය. මේ විදියට 90%ට වඩා නිවැරදිතාවක් ලැබූ විට ඊළඟ පියවරට යා හැකිය.

ඊළඟ පියවරේදි කරන්නේ අර අක්ෂර 2ට තවත් අක්ෂරයක් එකතු කිරීමයි. දැන් නැවතත් අර විදියට අක්ෂර 3ක මිශ්‍රනයකට ඇහුම්කන් දෙමින් කොපි කිරීම පුහුනු වෙනවා විනාඩි 5ක්. අවසානයේ 90%ට වැඩි නිවැරදිතාවක් එන තුරු එය කිරීමෙන් පසු, ඊළඟ පියවරට යා හැකිය.

ඊළඟ පියවරේදී තවත් අක්ෂරයක්/සංඛේතයක් එකතු කරගෙන පෙර ලෙසම සිදු කරන්න. මේ ක්‍රමයට එකින් එක අකුරක් බැඟින් එකතු කරගෙන විනාඩි පහේ සෙෂන් සිදු කරන්න සියලු අක්ෂර/සංඛේත පුහුනු වී අවසන් වන තුරු.

වැඩියෙන්ම භාවිතා වෙන අක්ෂර මුලින්ම ප්‍රැක්ටිස් වෙන එක හොඳයි මොකද එවිට වැඩි කාලයක් එම අක්ෂරවලට මනස හුරු වෙනවා. එක් පර්යේෂනයක තොරතුරුවල හැටියට, වැඩියෙන්ම භාවිතා වන ඉංග්‍රිසි අක්ෂර (English letter frequency) අනුපිලිවෙලින් වන්නේ e, t, a, o, i, n, s, r, h, d, l, u, c, m, f, y, w, g, p, b, v, k, x, q, j, z.

පරිගනක නැති කාලයේ ඉහත ක්‍රමයට ප්‍රැක්ටිස් වීම තරමක් අමාරු කාර්යක් විය. ටේප් රෙකෝඩරයක පළමුව සුදුසු (තමන් කැමති) වේගයකින් පටිගත් කරපු මෝස් සංඥා ශබ්ද හා එම ශබ්දවල ලිඛිත පිටපත් (transcript) තිබිය යුතු වෙනවා. අදටත් එවැනි ශබ්ද පට හා ට්‍රාන්ස්ක්‍රිප්ට් අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. සමහර අය ඒවා සාදා විකුණනවා (ලංකාවේ ඒවා මා දන්නා තරමින් නැත).

එහෙත් අද පරිගනකවලින් එය පහසුවෙන්ම සිදු කරගත හැකියි. මෝස්කෝඩ් මේ ක්‍රමයට (හා තවත් නොයෙක් ක්‍රමවලට) පුරුදු කරන සොෆ්ට්වෙයාර් ගණනාවක්ම නොමිලේම අන්තර්ජාලයේ ඇත. ඊට අමතරව, සමහර වෙබ් අඩවිවලින් නොමිලේ ඔන්ලයින් ප්‍රැක්ටිස් වීමටත් අවස්ථාව තිබෙනවා. http://lcwo.net/main යනු එවැනි කදිම වෙබ් අඩවියකි. එහි එකවුන්ට් එකක් සාදා ගෙන ඔබට කැමති විදියට සෙටිංස් සාදා ගෙන ප්‍රැක්ටිස් විය හැකිය. අවශ්‍ය නම්, පරිගනකයක් නැති අවස්ථාවලදී පුහුනු වීමට අවශ්‍ය සවුන්ඩ් ෆයිල් පවා නිර්මාණය කරගෙන ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

Farnsworth’s method

ඩොනල්ඩ් ෆාන්ස්වර්ත් (Donald Farnsworth) විසින් මෝස්කෝඩ් ඉහල වේගවලින් යැවීම පුහුනු වීමට ක්‍රමයක් හඳුන්වා දුන්නා. එය Farnsworth’s method ලෙස හැඳින්වෙනවා.

සාමාන්‍යයෙන් ඉහල වේගවලට යන විට කොහොමත් ඩොට් කාලය අඩු වෙනවානෙ (එවිට ඩෑෂ් හා විවිධ ස්පේස්/පරතර කාලයන්ද ඊට අනුරූපව අඩු වෙනවානෙ). උදාහරණයක් ලෙස විනාඩියට වචන 5 වේගයේදී ඩොට් කාලය තත්පර භාගයක් නම් (එවිට ඩෑෂ් කාලය එමෙන් 3 ගුණයක් වන තත්පර 1.5ක් වේ), වේගය විනාඩියකට වචන 10 දක්වා වැඩි කළොත්, ඩොට් කාලය (ඩෑෂ් හා අනෙකුත් කාලයන්ද) දෙගුණයකින් අඩු වේ; එනම්, ඩොට් කාලය තත්පර කාලක් වේවි (එවිට ඩෑෂ් කාලය තත්පර ¾ ක් වේවි). එවිට වැඩි වේගයකට පුරුදු වෙනවා යනු අඩු කාල පරාසයක ඇසෙන ඩි හා ඩා ශබ්දවලට පුරුදු වෙනවා කියන එකයි. ෆාන්ස්වර්ත් යොදා ගත්තේ අන්න එම අදහසයි.

මෙහිදී ඩි හා ඩා යන සංඥා දෙක ඇසෙන කාලය අඩු කරනවා. එම අඩු කිරීම අපට පුහුනු වීමට අවශ්‍ය වේගයට සමාන වේ. එසේ ඩි හා ඩා සංඥා දෙකෙහි කාලය අඩු කළත්, සමස්ථ සංඥාවල අවසාන වේගය අපට පහසු අඩු වේගයක පවත්වා ගන්නවා. ඉන් අදහස් වන්නේ ඩි හා ඩා කාලයන් අඩු කරන විට, ඉන්ට්‍රාලෙටර් කාලය හා ඉන්ටර්ලෙටර් කාලය වැඩි කෙරේ. එය උදාහරණයකින් වටහා ගමු.

යම් වචන පෙලක් විනාඩියකට වචන 10ක වේගයෙන් එක් විනාඩියක කාල පරාසයක් තුල සම්ප්‍රේෂනය කළ හැකි යැයි සිතමු. එක් ඩි සංඥාවක් යැවීමට මිලිතත්පර 100ක් යනවා යැයිද සිතමු (මෙවිට ඩා සංඥාව සඳහා මිලිතත්පර 300ක්ද, ඉන්ට්‍රාලෙටර් ස්පේස් එක සඳහා මිලිතත්පර 300ක්ද, ඉන්ටර්ලෙටර් ස්පේස් එක සඳහා මිලිඇම්පියර 700ක්ද වැය වේවි).

දැන් එම වචන පෙලම විනාඩියකට වචන 20ක වැඩි වේගයකින් මෝස්කෝඩ් යැවීමේ වේගයක් ලබා ගැනීම සඳහා ෆාන්ස්වර්ත් ක්‍රමයට පුහුනු වන්නට යනවා යැයිද සිතමු. ෆාන්ස්වර්ත් නැතිව ඇත්තටම විනාඩියකට වචන 20ක වේගයෙන් එම වචන පෙල යවනවා නම්, විනාඩි භාගයකින් එය යැවිය හැකි වේවි (මොකද වේගද දෙගුණ වී තිබෙන නිසා). මෙවිට ඩි සංඥා කාලය හා අනෙකුත් කාලයන් භාගයකින් අඩු වේවි (ඩී සඳහා මිලිතත්පර 50ක්ද, ඩා සඳහා මිලිතත්පර 150ක්ද, ඉන්ට්‍රාලෙටර් සඳහා මිලිතත්පර150ක්ද, ඉන්ටර්ලෙටර් සඳහා මිලිතත්පර 450ක්ද වශයෙන්).

එහෙත් ෆාන්ස්වර්ත් ක්‍රමයේදී තවමත් අපට එක් විනාඩියක් ගත වෙනවා එම වචන පෙල යැවීමට. එහෙත් ඇත්තම විනාඩියකට වචන 20ක වේගයේදී තිබෙන ආකාරයේ අඩු කාලයන් තමයි ඩි හා ඩා සඳහා යොදා ගැනෙන්නේ. ඒ අනුව, ඩි සඳහා මිලිතත්පර 50ක්ද, ඩා සඳහා මිලිතත්පර 150ක්ද යොදා ගන්නවා. එහෙත් ඉන්ට්‍රාලෙටර් හා ඉන්ටර්ලෙටර් ස්පේස් කාලයන් ඊට සාපේක්ෂව වැඩි වෙනවා (ඉන්ට්‍රාලෙටර් කාලය මිලිතත්පර 300ට වඩාද ඉන්ටර්ලෙටර් කාලය මිලිතත්පර 700 ට වඩාද වැඩි වේ) . එසේ පරතර කාලයන් වැඩි වීම නිසා වචන සියල්ලම සම්ප්‍රේෂනය වීම පරණ වේගයටම සිදු වෙනවා. ඒ අනුව ෆාන්ස්වර්ත් ක්‍රමයේදී වේගවල් දෙකක් ගැන හැමවිටම සඳහන් වේ (“13 WPM characters sent at an 8 WPM rate”). කන/මනස හුරු කරන්නේ ඉන් වැඩි වේගයට වන අතර, ඇත්තටම සංඥා යැවෙන්නේ එහි සඳහන් අනෙක් අඩු වේගයෙනි. මෙලෙස කිරීමේ අරමුණ සිතා ගත හැකියි නේද?

මනස වැඩි වේගයෙන් එන ඩි හා ඩා සංඥාවලට ඉන් හුරු කෙරේ. එහෙත් පරතර කාලය තරමක් වැඩි නිසා මනසට යම් හිස්පාසුවක් ලැබෙනවා තමන්ට ඇසෙන සංඥා කුමක්දැයි තේරුම් කර ගන්නට. කෙටි කාල පරාස සංඥාවලට කන හා මනස පුරුදු වූ විට, අපට හැකියි පරතර කාලයන්ද සාමාන්‍ය පරිදි අඩු කරන්නට. එවිට සත්‍ය ලෙසම වැඩි වේගයට අපට ළඟා විය හැකියි.

කොච් හා ෆාන්ස්වර්ත් ක්‍රම දෙකම එකට යොදා ගත හැකියි. මේ හැර තවත් නොයෙක් ක්‍රම තිබේවි මෝස්කෝඩ් වේගවත්ව යැවීමට පුරුදු වීමට. යම් ක්‍රමයක් හැමෝටම හරි යන එකක් නැත.

මෝස්කෝඩ් යනු අක්ෂර/සංඛේත පාදක කර ගත් සන්නිවේදනයක් බව පැහැදිලියිනෙ. විදුලිසංදේශයේදී මෝර්ස්කෝඩ් සාමාන්‍යයෙන් කොපි කර ගන්නේ කනින් අසමින්ය (aural reception). මෙම ක්‍රමය එමිෂන් ඩෙසිග්නේටර් එකක් වශයෙන් දක්වන්නේ තුන්වැනි අක්ෂරය A ලෙසයි (A1A, A2A). එහෙත් කනින් අසන්නේ නැතිව යම් යන්ත්‍රයක් මඟින් මෝස්කෝඩ් කොපි වීමට සැලැස්විය හැකිය. කොලයක් මත එය ඉබේම ලියැවෙන පරිදි සෑදූ යන්ත්‍ර ඇත. මෙවැනි අවස්ථාවලදී එමිෂන් ඩෙසිග්නේටර් එකේ තෙවැනි අක්ෂරය B ලෙස සටහන් කළ යුතුය (A1B වැනි).

ඇත්තටම මෝස්කෝඩ් ක්‍රමයෙන් සන්නිවේදනය කළ හැකි ආකාර විශාල ගණනක් ඇත. ඔබේ නිර්මාණශීලිත්වය යොදාගෙන සමහරවිට සිය ගණන් ක්‍රම ඔබටම සිතා ගත හැකි වේවි. මෝස් ක්‍රමයේදී මූලික සංඥා දෙකයිනෙ තිබෙන්නේ. ඉතිං එම අවස්ථා දෙක වෙන් වෙන්ව නිරූපණය කළ හැකි ඕනෑම උපක්‍රමයක් මෝස් සඳහා යොදා ගත හැකියි.

උදාහරණ ලෙස, වම් අත එසවීම ඩී සංඥාව ලෙසද දකුණු අත එසවීම ඩා සංඥාව ලෙස සලකා, වම් අත හෝ දකුණු අත මෝස් කේත අනුව එසවීමෙන් ඔබට ඈත සිටින කෙනෙකුට මෝස් ක්‍රමයෙන් පනිවුඩයක් දිය හැකිය. එසෙත් නැතිනම්, ඔබේ කට හඩින් එකිනෙකට වෙනස් ශබ්ද දෙකක් ඒ සඳහා යොදා ගත හැකියි. තාලම් පටක් තිබේ නම්, තිත් හා තෙයි තාල දෙක ඒ සඳහා යොදා ගත හැකියි. ටෝච් එකක් තිබේ නම්, ටෝච් එක කෙටි කාලයක් දැල්වීම හා දිගු කාලයක් දැල්වීම යොදා ගත හැකියි. එහෙමත් නැතිනම්, යම් ගිනි පෙලෙල්ලක් හෝ දල්වපු ටෝච් එකක් උඩ යට වැනීමෙන් හා වමට දකුණට වැනීමෙන් එම සංඥා දෙක නිරූපණය කළ හැකියි. එවැනි ක්‍රම කොතෙක් සිතා ගත හැකිද?

විදුලිසංදේශයේදී වයර් හරහා යන විදුලිය මෙන්ම රේඩියෝ තරංග උපයෝගි කරගෙන මෝස් ක්‍රමයෙන් සන්නිවේදනය බහුලවම සිදු කළා. එවැනිම ලෙස, විදුලි ටෝච් එකක් ආධාරයෙන්ද මෝස් ක්‍රමයෙන් රහසිගත පනිවුඩව හුවමාරු කිරීම් හෝ ආපදා තත්වයන්හිදි (නැවක් ආපදා වූ විට ඈත තිබෙන නැව්වලට පනිවුඩය යැවීමට) පනිවුඩ දීම බහුලවම සිදු කර තිබෙනවා.

විශේෂයෙන් සමහර චිත්‍රපට හා එවැනි නිර්මාණවල බහුලව මෝස් ක්‍රම විවිධ නිර්මාණශීලි ලෙස උපයෝගි කර ගන්නා දර්ශන ඇත. මට මතක විදියට Olympus has fallen චිත්‍රපටයෙත් එවැනි දර්ශනයක් තිබෙනවා. කුඩා කළ මා නැරඹූ තවත් චිත්‍රපටයක හෝ නාට්‍යයක (එහි නම මතක නැත) යම් රහසිගත පනිවුඩයක් ලියා තිබෙන්නේ ඉංග්‍රිසි අක්ෂරයෙන් වුවත් මෝස්කෝඩ්වලිනි. එහිදී i, j වැනි ඩොට් එකක් තිබෙන අක්ෂරවලින් ඩි සංඥාවද, t, f වැනි හරහාට ඉරි කෑල්ලක් තිබෙන අක්ෂරවලින් ඩා සංඥාවද නිරූපණය විය. 24 නම් ක්‍රියාදාම කතා පෙලෙහි එක් අවස්ථාවක සතුරන්ට හසු වූ වීරයෙකු තම සඟයන්ට පනිවුඩයක් ලබා දෙන්නේ ඇසිපිය හෙලමින් මෝස් සංඥා යැවීමෙනි.

මෝස් ක්‍රමයේ වාසි

මෝස් සන්නිවේදනයේ යම් වාසි කිහිපයක් තිබෙනවා අනෙක් දියුණු සන්නිවේදනයන් වලටද වඩා.

1. සන්නිවේදනය සිදු කිරීමට හැමවිටම විදුලිය අවශ්‍ය නැත. ඉහත මා පෙන්වා දුන් පරිදි තැනේ හැටියට තමන්ගේ අතපය හෝ තමන් අවට ඇති සරල දේවල් වුවද යොදා ගෙන ඈතට සන්නිවේදනයක් සිදු කළ හැකිය.

2. සාමාන්‍ය විදුලිසංදේශහි පවා, මෝස් සන්නිවේදනයට අවශ්‍ය උපකරණ ඉතා සරලය. රුපියල් දෙතුන් සියයකට පමණ වුවද එකක් තමන්ටම සාදා ගත හැකි තරමට සරලය. අන්තර්ජාලයේ තිබෙනවා අවට පරිසරයේ තිබෙන ලෝහ කැබැලි කිහිපයකින් පවා එවැන්නක් විනාඩි කිහිපයකින් සාදා ගන්නා අයුරු.

3. ඉතා ඝෝෂාකාරි පරිසරයක හෝ සංඥා ඉතා දුර්වල අවස්ථාවක පවා මෝස් සන්නිවේදනය සිදු කළ හැකිය. ඊට හේතුව එකිනෙකට වෙනස් මූලික ශබ්ද දෙකක් පමණි තිබෙන්නේ තේරුම් ගැනීමට (මෙම වාසිය ඩිජිටල් තරංග සඳහාත් තිබෙන බව ඔබ දන්නවා; එනම් ඕනෑම බයිනරි ක්‍රමයකට මෙම වාසිය ඇත).

4. අනෙක් ක්‍රමවලට වඩා ඉතා විශාල දුරකට සංඥා යැවිය හැකියි අඩු වොට් ගණනකින් (ඉහත තුන්වැනි හේතුව අනුව සංඥා ප්‍රබලතාව දුර්වල විටත් තේරුම්ගත හැකි නිසාත්, පහත කියවෙන පස්වැනි හේතුව නිසාත්).

5. අවශ්‍ය වන බෑන්ඩ්විත් එක ඉතා කුඩාය. ප්‍රායෝගිකව එය හර්ට්ස් 400කට අඩුය. න්‍යායාත්මකව මීටත් වඩා ඉතාම කුඩා සංඛ්‍යාත පරාසයකින් වුවද එය සිදු කළ හැකිය.

6. මෝස් ක්‍රමයේදී Q code නම් සම්මත කේත ක්‍රමයක් භාවිතා කළ හැකිය (මොහොතකින් මේ ගැන බලමු). එනිසා විවිධ භාෂා කතා කරන අයට පොදුවේ අනෙකාගේ බස නොදැන එම පොදු කිවු කෝඩ්වලින් සීමිත (නමුත් නාවුක හා ගුවන් කටයුතුවලදී අත්‍යවශ්‍ය) සන්නිවේදනයක් සිදු කළ හැකිය.

මෝස්කෝඩ්වල අවාසි ඇත. එය අක්ෂරවලින් සිදු කරන සන්නිවේදනයකි (හරියට SMS වලින් සන්නිවේදනය කරනවා වාගේ). එනිසා වේගවත් නොවේ. එය භාවිතා කිරීමට පෙර මෝස්කෝඩ් ගැන ඉගෙන ගත යුතු වේ. අවාසනාවකට මෙන් හැමෝටම එය පහසුවෙන් ඉගෙන ගැනීමටද නොහැකිය. (එවිට එම පුද්ගලයා මෝඩයෙකු වැඩ බැරි කෙනෙකු ලෙස නොසැලකිය යුතුය. එසේ සලකන මුග්ධ අය මා දැක තිබෙනවා; තමන්ට පුලුවන් වූ පලියට එය අනෙකාත් දැන සිටිය යුතු යැයි සිතීම මෝඩකමක්; අනුන් දන්නා තමුන් නොදන්නා කොතරම් දේවල් තිබේදැයි ඔවුන්ට නොදැනේ. පුද්ගලයාගෙන් පුද්ගලයා සෑම දේකටම අනන්‍ය ආකාරවලින් හැසිරෙන්නේ, ඉගෙන ගන්නේ.)

Q codes

දිගු වචන මෝස්කෝඩ්වලින් යවන විට වැඩි කාලයක් ගත වෙනවානෙ. තවද, නාවුක හා ගුවන් කටයුතුවලදී (විශේෂයෙන් ආපදා දැනුම් දීමේදී) කෙනෙකු තමන්ගේ බසින් යවන මෝස්කෝඩ් එක අනෙකාට තේරුම්ගත නොහැකි වුවොත් අන්තර්ජාතික වශයෙන් සාර්ථකව සන්නිවේදනයක් කිරීමට නොහැකි වනු ඇත. මේ ප්‍රශ්න දෙකටම පිළිතුරක් ලෙස එංගලන්තය විසින් 1909 දී පමණ කිවු කෝඩ් නමින් කේත 45ක් හඳුන්වා දෙන ලදි. 1912දී එය ජාත්‍යන්තර සම්මතයක් බවට පත් විය.

මේ සියලුම කේත අක්ෂර 3කින් යුතු වේ. සෑම කේතයක්ම Q අකුරින් පටන් ගැනේ. මේවා කිවු කෝඩ් කියා හැඳින්වෙන්නේද එනිසාය. මුලදී කේත 45ක් වුවද, පසු කාලයේදී ඊට තව කේත එකතු විය. දළ වශයෙන් කිවු කෝඩ් තුල භාවිතාවන්/ප්‍රභේද 3ක් ඇත.

1. QAA සිට QNZ දක්වා වූ කිවු කෝඩ් භාවිතා වෙන්නේ ගුවන් සේවා සඳහාය. එනිසා එම කිවු කෝඩ් aviation/aeronautical Q codes වේ. International Civil Aviation Organization නම් ගුවන් ගමන් පිළිබඳ කටයුතු කරන ජාත්‍යන්තර ආයතනය විසින් මෙම කෝඩ් පරිපාලනය කෙරේ.

2. QOA සිට QQZ දක්වා වූ කිවු කෝඩ් භාවිතා වෙන්නේ නාවුක සේවා සඳහාය. එනිසා එම කිවු කෝඩ් maritime mobile service Q codes වේ.

3. QRA සිට QUZ දක්වා වූ කිවු කෝඩ් පොදුවේ විදුලිසංදේශ සඳහා භාවිතා වේ. ITU ආයතනය විසින් මෙම කෝඩ් පරිපාලනය කෙරේ. ආධුනික ගුවන් ශිල්පින් භාවිතා කරන්නේද වැඩිපුරම මෙම පරාසයේ ඒවාය.

QVA සිට QZZ දක්වා කලාපය දැනට භාවිතයට නොගනී. ඇත්තටම සන්නිවේදනය තුල දිගු වචන හා සමහර සම්මත (නිතර එක ලෙසම) යෙදෙන ප්‍රකාශ සඳහා කෙටි යෙදුම් (brevity code) භාවිතා කිරීම බහුලවම සිදු වේ. ten code, z code යනු වෙනත් අවස්ථාවල යොදා ගන්නා ප්‍රචලිත බ්‍රෙවිටි කෝඩි වර්ග දෙකකි.

ඇත්තටම මේ වන විට, සෑම කිවු කෝඩ් එකක්ම භාවිතා නොවේ. වෙනත් දියුණු තාක්ෂණයන් විසින් ඒවා ඉවත් වී ඇත. ආධුනික ගුවන් ශිල්පයෙහිද යම් Q කෝඩ් ප්‍රමාණයක් භාවිතා වේ. පහත දැක්වෙන්නේ එම කිවු කෝඩ් වගුවකි.

Code
Question
Answer or Statement
QLE
What is your expected signal?
The expected signal is low...
QNI
May I join the net?
You may check in...
QRA
What is the name (or call sign) of your station?
The name (or call sign) of my station is ...
QRG
Will you tell me my exact frequency (or that of ...)?
Your exact frequency (or that of ... ) is ... kHz (or MHz).
QRH
Does my frequency vary?
Your frequency varies.
QRI
How is the tone of my transmission?
The tone of your transmission is (1. Good; 2. Variable; 3. Bad)
QRJ
How many voice contacts do you want to make?
I want to make ... voice contacts.
QRK
What is the readability of my signals (or those of ...)?
The readability of your signals (or those of ...) is ... (1 to 5).
QRL
Are you busy?
I am busy. (or I am busy with ... ) Please do not interfere.
QRM
Do you have interference? [from other stations]
I have interference.
QRN
Are you troubled by static?
I am troubled by static.
QRO
Shall I increase power?
Increase power.
QRP
Shall I decrease power?
Decrease power.
QRQ
Shall I send faster?
Send faster (... wpm)
QRS
Shall I send more slowly?
Send more slowly (... wpm)
QRT
Shall I cease or suspend operation?/ shutoff the radio
I am suspending operation. /shutting off the radio
QRU
Have you anything for me?
I have nothing for you.
QRV
Are you ready?
I am ready.
QRW
Shall I inform ... that you are calling him on ... kHz (or MHz)?
Please inform ... that I am calling him on ... kHz (or MHz).
QRX
Shall I standby / When will you call me again?
Please standby / I will call you again at ... (hours) on ... kHz (or MHz)
QRZ
Who is calling me?
You are being called by ... on ... kHz (or MHz)
QSA
What is the strength of my signals (or those of ... )?
The strength of your signals (or those of ...) is ... (1 to 5).
QSB
Are my signals fading?
Your signals are fading.
QSD
Is my keying defective?
Your keying is defective.
QSG
Shall I send ... telegrams (messages) at a time?
Send ... telegrams (messages) at a time.
QSK
Can you hear me between your signals?
I can hear you between my signals.
QSL
Can you acknowledge receipt?
I am acknowledging receipt.
QSM
Shall I repeat the last telegram (message) which I sent you, or some previous telegram (message)?
Repeat the last telegram (message) which you sent me (or telegram(s) (message(s)) numbers(s) ...).
QSN
Did you hear me (or ... (call sign)) on .. kHz (or MHz)?
I did hear you (or ... (call sign)) on ... kHz (or MHz).
QSO
Can you communicate with ... direct or by relay?
I can communicate with ... direct (or by relay through ...).
QSP
Will you relay a message to ...?
I will relay a message to ... .
QSR
Do you want me to repeat my call?
Please repeat your call; I did not hear you.
QSS
What working frequency will you use?
I will use the working frequency ... kHz (or MHz).
QST

Here is a broadcast message to all amateurs.
QSU
Shall I send or reply on this frequency (or on ... kHz (or MHz))?
Send or reply on this frequency (or on ... kHz (or MHz)).
QSW
Will you send on this frequency (or on ... kHz (or MHz))?
I am going to send on this frequency (or on ... kHz (or MHz)).
QSX
Will you listen to ... (call sign(s) on ... kHz (or MHz))?
I am listening to ... (call sign(s) on ... kHz (or MHz))
QSY
Shall I change to transmission on another frequency?
Change to transmission on another frequency (or on ... kHz (or MHz)).
QSZ
Shall I send each word or group more than once?
Send each word or group twice (or ... times).
QTA
Shall I cancel telegram (message) No. ... as if it had not been sent?
Cancel telegram (message) No. ... as if it had not been sent.
QTC
How many telegrams (messages) have you to send?
I have ... telegrams (messages) for you (or for ...).
QTH
What is your position in latitude and longitude (or according to any other indication)?
My position is ... latitude...longitude
QTR
What is the correct time?
The correct time is ... hours
QTU
At what times are you operating?
I am operating from ... to ... hours.
QTX
Will you keep your station open for further communication with me until further notice (or until ... hours)?
I will keep my station open for further communication with you until further notice (or until ... hours).
QUA
Have you news of ... (call sign)?
Here is news of ... (call sign).
QUC
What is the number (or other indication) of the last message you received from me (or from ... (call sign))?
The number (or other indication) of the last message I received from you (or from ... (call sign)) is ...
QUD
Have you received the urgency signal sent by ... (call sign of mobile station)?
I have received the urgency signal sent by ... (call sign of mobile station) at ... hours.
QUE
Can you speak in ... (language), – with interpreter if necessary; if so, on what frequencies?
I can speak in ... (language) on ... kHz (or MHz).
QUF
Have you received the distress signal sent by ... (call sign of mobile station)?
I have received the distress signal sent by ... (call sign of mobile station) at ... hours.

තරමක් දිගු කිවු කෝඩ් ලැයිස්තුවක් තිබුණත්, ඒ සියල්ලම ඔබ දැන සිටීම අනිවාර්ය නැත. බහුලව භාවිතා වෙන කිහිපයක් දැන සිටීම ප්‍රමාණවත්. ඇත්තටම කිවු කෝඩ් කිහිපයක් සාමාන්‍ය ව්‍යවහාරයේද භාවිතා වෙනවා (මෝස්කෝඩ්වලින් කෙරෙන සන්නිවේදනයට අමතරව). QSO, QSL, QRM යනු එවැනි නිතර සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන වචනයකි (QRM යන්න “රේඩියෝ විකිරණවලින් සිදු වන බාධා/ඉන්ටර්ෆරන්ස්” යන තේරුමින්).

කිවු කෝඩ් එකක් දෙයාකාරයෙකින් යොදා ගත හැකියි. එකක් ප්‍රශ්නයක් විදියටයි. එවිට කිවු කෝඩ් එකට පසුව ? යන සංඛේතය යොදනවා. උදාහරණයක් ලෙස, QRL? ලෙස ලිව්වොත් ඉන් අහන්නේ “ඔබ කාර්යබහුලද?” යන ප්‍රශ්නයයි. එයම ? නැතිව QRL ලෙස ලියන විට “මම කාර්යබහුලයි” යන පිළිතුර/ප්‍රකාශය ලබා දේ.

සමහර කිවු කෝඩ් යැවීමේදී ඒ පිටුපසින් තවත් අමතර පද අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස QUA යන්න බලන්න. එය ප්‍රශ්නයක් ලෙස අසල විට, QUA 4S7TEK? වැනි ආකාරයකට ඇසිය යුතුය. ඉන් අහන්නේ “4S7TEK යන කෙනා ගැන ආරංචියක් තිබේද?” යන්නයි.

ඉහත ලැයිස්තුවේ සමහර කිවු කෝඩ්වලින් අසන ප්‍රශ්නයකට පිළිතුර ඔව් හෝ නැහැ වශයෙන් දිය යුතුය. පිළිතුර “ඔව්” නම්, ඔහුට ප්‍රතිචාරය දැක්විය යුතු වන්නේ ඉංග්‍රිසි C අකුර යැවීමෙනි. c ශබ්ද වන්නේ “සී” කියානෙ. ප්‍රංශ හා ස්පාඤ්ඥ භාෂාවල “සී” (si) ශබ්දයේ තේරුම “ඔව්” (ඉංග්‍රිසි yes) යන්නයි. පිළිතුර “නැහැ” කියා නම් යැවිය යුත්තේ ඉංග්‍රිසි N අකුර යවන්න. නැත අර්ථයෙන් ඉංග්‍රිසි No යන්න මෙන්ම නැත තේරුමින්ම ප්‍රංශ/ස්පාඤ්ඥ non මින් හැඟවේ.

යම් කිවු කෝඩ් එකකින් ප්‍රශ්නයක් ඇසුනු විට, අනෙක් පාර්ශවයෙන් ඊට යම් පිළිතුරක් ලබා දෙනවානෙ. මුලින් ප්‍රශ්නය අසපු කෙනා නැවතත් එම පිළිතුර ලැබූ බවට අනෙකාට සාමාන්‍යයෙන් දන්වනවා. එය acknowledgement ලෙස හැඳින්වෙනවා. බොහෝ සන්නිවේදනයන් තුල මෙය සිදු වෙනවා. සමහර අවස්ථාවලදී සාමාන්‍ය කතා බහේදිත් මෙය සිදු වෙනවා (කෙනෙකු යමක් කියා ගෙන යන විට “හ්ම්” කියමින් “හූමිටි තබනවා” කියන්නෙත් මෙවැන්නකි).

අනෙකා කියූ පිළිතුර තමන්ට ලැබුණා/අවබෝධ වුණා යන අරුතින් ඉංග්‍රිසි R අකුර ඇක්නොලෙජ්මන්ට් එක ලෙස යැවිය හැකිය (R යනු Roger යන්න හඟවයි; රොජර් යන්නෙහි තේරුම “පනිවුඩය ලැබුණා” යන්නයි). උදාහරණයක් ලෙස ඹබ මාගේ නම ඇසූ විට (QRA?), මා ඊට පිලිතුර වශයෙන් මගේ නම කී විට (QRA 4S7TEK), ඔබ R අකුර මට එවනවා. R වෙනුවට <SN> යන ප්‍රෝසයින් එකත් යැවිය හැකියි (ප්‍රෝසයින් ගැන මොහොතකින් බලමු).

යම් කෙනෙකු සමඟ මෝස් ක්‍රමයෙන් සංවාදයක් කරන විට සාමාන්‍යයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් දෙකක් ඇත.

1. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට මෝස්කෝඩ් අසා තේරුම් ගන්නා වේගයට වඩා වැඩි වේගයකින් මෝස්කෝඩ් යැවිය හැකියි. එසේ වුවත් හැමවිටම තමන්ට එන මෝස්කෝඩ් තේරුම් ගැනීමේ වේගයට වඩා වැඩි වේගයකින් මෝස්කෝඩ් නොයැවිය යුතුය.

2. යම් සංවාදයක් කරනවා නම් යටත් පිරිසෙන් දෙදෙනෙකු සිටිය යුතුයිනෙ. ඉතිං, අනෙක් පාර්ශ්වයට තේරුම් ගැනීමේ වේගයට සමාන හෝ අඩු වේගයකින් මෝස්කෝඩ් යැවිය යුතුය. තමන්ට පුලුවන් කියා වැඩ පෙන්වන්නට ගියොත් එම වේගයෙන් අනෙක් පාර්ශ්වයට තේරුම් ගන්නට බැරි වීමෙන් සංවාදය අසාර්ථක වේවි.

එසේම අනෙක් පාර්ශ්වය තමන්ට තේරුම් ගත නොහැකි වේගයකින් මෝස් සංඥා එවන විට, වේගය අඩු කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටින්න.

ආධුනික ගුවන් ශිල්පින් සඳහා වෙන් කළ සංඛ්‍යාත පරාස සියල්ලෙම පාහේ මෝස් සන්නිවේදනය අනුමත කර තිබේ. තවද, බෑන්ඩ්ප්ලෑන්වල මෝස් සන්නිවේදනය කුමන සංඛ්‍යාත තුල කිරීම සුදුසුදැයි තවදුරටත් පෙන්වා තිබෙනවා. මෝස් සන්නිවේදනයක් සඳහා වැය වන බෑන්ඩ්විත් එක ඉතා කුඩා නිසා, කුඩා සංඛ්‍යාත පරාසයක පවා එකවර විශාල මෝස් සන්නිවේදනයන් ප්‍රමාණයක් සිදු කළ හැකිය. තවද මෝස් සන්නිවේදනය විවිධ වේගවලින් සිදු වේ (ආධුනික ශිල්පින් හැමෝම එක වගේ වේගයෙන් මෝස් යවන්නේ නැත). එනිසා තමන්ගේ වේගයට ආසන්න වේගයකින් මෝස් යවන කෙනෙකු සොයා ගත් විට වැඩේ පහසුය රසවත්ය.

තමන්ට ගැලපෙන වේගයක් සහිත කෙනෙකු සොයා ගැනීම පහසු කිරීමට යම් සම්ප්‍රදායක් ගොඩනඟා ගෙන තිබෙනවා. එනම්, මෝස් සන්නිවේදනයට වෙන් කර තිබෙන ඕනෑම සංඛ්‍යාත පරාසයක සංඛ්‍යාතය අඩු පැත්තේ සිටින්නේ වේගය වැඩි අයයි. එම සංඛ්‍යාත පරාසයේ සංඛ්‍යාතය වැඩි වන පැත්තට යන්නට යන්නට මෝස් වේගය එන්න එන්නම අඩු අයයි භාවිතා කරන්නේ. මෙය සම්ප්‍රදායක් පමණි. සංවාද කරන දෙදෙනාගේ අවබෝධය හා ඉවසීම අනුව දෙදෙනාටම සුදුසු වේගයකින් එය කළ හැකිය.

1 comment:

  1. http://www.instructables.com/id/Transmitting-data-from-Android-to-Arduino-through-/?ALLSTEPS

    ReplyDelete