Tuesday, March 7, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 56

මෝර්ස් සංඥා සන්නිවේදනය

වීඩියෝ, රූප, හා ශබ්ද මඟින් සන්නිවේදනය කිරීම ඇරඹීමට පෙර මෝර්ස් සංඥා මඟින් සන්නිවේදන කටයුතු සිදු විය. ඉතා පැරණිතම විදුලිසංදේශ ක්‍රමයකි. ITU ආයතනයේ ආරම්භය සඳහාත් මෝස් සංඥා සන්නිවේදනය මූලික වූ හැටි මුල් පාඩමකදී කතා කළා. රටක් තුල (ජාතික) මෙන්ම අන්තර්ජාතික වශයෙන් අතීතයේදී පනිවුඩ වේගයෙන් යැවීමේ ක්‍රමය මෙය විය. Telegraphy/Telegraph ලෙස හැඳින් වෙන්නේද මෝස් සංඥා සන්නිවේදනයයි. ආරම්භයේදී වයර් හරහා එය සිදු විය (අද ටෙලිෆෝන් වයර් තිබෙන්නා සේ එකල තිබුණේ ටෙලිග්‍රාෆ් වයර් වේ). පසුකාලීනව රේඩියෝ තරංග සොයා ගැනීමත් සමඟම රේඩියෝ තරංග ඔස්සේද මෝස් සංඥා සන්නිවේදනය කළ හැකි විය අතර, එය radiotelegraphy ලෙස හැඳින්වේ.

අතීතයේ බොහෝ රටවල නාවුක, ගුවන් ආදි සියලු හමුදා විසින් අතිශය බහුලව එය භාවිතා කළා, සාමාන්‍ය ජනයාගේ පොදු පනිවුඩ ක්‍රමයක් ලෙස භාවිතා වෙන අතරේම. එහෙත් අද වන විට ඉතා දියුණු සන්නිවේදන ක්‍රම බිහිවී තිබෙන නිසා, ලොව කිසිදු රටක් මේ වන විට මෝස් සංඥා සන්නිවේදනය නිල වශයෙන් සිදු කරන්නේ හෝ පිළිගන්නේ නැත. වර්ෂ 2000 වන විට, සියලුම රටවල් පාහේ මෝර්ස්කෝඩ් අත්හැර දමා ඇත.

එහෙත් එය “මළ” සන්නිවේදන ක්‍රමයක් නොවේ මොකද අදටත් විශාල පිරිසක් විනෝදෙට මෝස් සංඥා සන්නිවේදනයේ නියැලෙනවා. ඒ පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ආධුනික ගුවන් විදුලි ශිල්පින්. ලංකාවේ ඉහලතම ආධුනික ශිල්පී මට්ටම වන Advance class එක ලබා ගැනීම සඳහා මෝස් සංඥා ක්‍රමයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළ යුතුයි (මෝස්කෝඩ් ටෙස්ට් එක සමත් විය යුතුයි).

ඇමරිකාවේදී 1844 මැයි 24 දින ප්‍රථම මෝස් සංඥාව යවා තිබේ සැමුවෙල් මෝර්ස් (Samuel Morse) විසින් ඔහුගේ සහයකයා වන ඇල්ෆ්‍රඩ් වේල් (Alfred Vail) හට; එම පනිවුඩය වී තිබෙන්නේ What hath God wrought! යන්නයි. ඒ දෙදෙනා මූලික වී තමයි මෝර්ස් සංඥා ක්‍රමයත්, ඒ සඳහා භාවිතා කරන උපකරණයත් සාදා තිබෙන්නේ.

මෝර්ස් සංඥා ක්‍රමය එකිනෙකට වෙනස් මූලික සංඥා දෙකක් මත සාදපු එකකි; එනිසා එය ද්විමය ක්‍රමයක් (binary method) හෙවත් ඩිජිටල් ක්‍රමයක් ලෙස හැඳින්වෙනවා (නමුත් අද පවතින දියුණු ඩිජිටල් සංකල්ප මත ගොඩ නඟා තිබුණේ නැත). මෝර්ස් සංඥා ග්‍රහනය කරගෙන තේරුම් ගන්නේ මිනිස් කන ආශ්‍රයෙනි (audible reception). එන මෝර්ස් පනිවුඩ කිසියම් බසර් එකක් හරහා ශබ්ද පෙලක් බවට පත් කර කනින් අසනවා. පනිවුඩ යවන්නේ කිසියම් දණ්ඩක් වැනි දෙයක් එබීමෙනි; එය ඔබන්නේ මෝර්ස් සංඥා සෑදෙන පරිදිය. පහත දැක්වෙන්නේ මෝර්ස් සංඥා යවන එවැනි උපකරණයකි.


මෝර්ස් විසින් සාදපු මුල් ආකෘතියේදී එකිනෙකට වෙනස් මූලික සංඥා 2 සාදා ගත්තේ මෙලෙසයි. අර දණ්ඩ එක වරක් කෙටි කාලයක් එබූ විට එක් සංඥාවක් ලැබේ (එනම් ඔබ මේසයට අතින් ඉක්මනින් තට්ටුවක් දමනවා වගේ, අර දණ්ඩට ඉක්මන් තට්ටුවක් දමනවා). එය “ටික්” කියා කියමු/ඇසේවි. දෙවැනි සංඥාව සාදා ගන්නේ එවැනි කෙටි තට්ටු කිරීම් 3ක් ඉතා වේගයෙන් සිදු කිරීමෙනි. මෙය “ටික්ටික්ටික්” කියා කියමු/ඇසේවි. ඒ විදියට මූලික සංඥා දෙක වෙනස් වෙනස් රටා ඇති වන පරිදි සකස් කරමින් ඉංග්‍රිසි අක්ෂර හා තවත් සංඥා රැසක් සඳහා කේත ක්‍රමයක් නිර්මාණය කළා. එය American Morse හෙවත් railroad code ලෙස දැන් හැඳින්වේ (දැන් භාවිතා වෙන්නේ නැත).

මුල් ඇමරිකානු ආකෘතිය එසේ වුවත්, එය යුරෝපා රටවලදී තරමක් වෙනස් වී අද පවතින ආකෘතිය බවට පත් විය. එම ආකෘතිය Continental Morse code ලෙස හැඳින්වේ. 1848දී ජර්මන් ජාතික ෆ්‍රෙඩ්‍රික් ගර්කි (Friedrich Clemens Gerke) මෙය සෑදුවේය. මෙම ක්‍රමයේදී එක් සංඥාවක් වූයේ මුල් ආකෘතියේ තිබූ කෙටි තට්ටුවයි (“ටික්”). එහෙත් දෙවැනි සංඥාව සඳහා ඔවුන් දිග තට්ටු කිරීමක් යොදා ගත්තා (එය “ටී..ක්” කියා කියමු/ඇසේවි). මෙම ක්‍රමය ඇත්තටම පහසුය. එය හරියටම දේශීය නැටුම්වල තාලම්පටින් “තිත්” හා “තෙයි” යන නාද දෙක ලබා ගන්නා ක්‍රමයට සමානයි. ඇමරිකන් ආකෘතියේ තිබූ සමහර සංඥා සඳහා තිබූ “ටික්” “ටී..ක්” රටා මෙහිදී වෙනස් කෙරිණි. ඊට අමතරව යුරෝපා රටවල පවතින සමහර අක්ෂර කිහිපයක් සඳහාද නව මෝර්ස් සංඥා සාදා ගති.

එහෙත් තවත් කාලයක් යද්දී, ITU ආයතනය විසින් මෙම කොන්ටිනෙන්ටල් කෝඩ් එක සුලු වශයෙන් වෙනස් කර, International Morse code එකක් නිර්මාණය කළා. අද ලෝකයේ සම්මත මෝර්ස්කෝඩ් එක වන්නේ එයයි. ඇත්තටම මෙය කොන්ටිනෙන්ටල් කෝඩ් එකට බොහෝදුරට සමාන නිසා, සමහර අවස්ථාවලදී කොන්ටිනෙන්ටල් කෝඩ් එක කියාත් මෙම සම්මත ජාත්‍යන්තර මෝස් කෝඩ් එක හැඳින්වෙනවා.

පහත දැක්වෙන්නේ එම කෝඩ් 3 තුල සිදු වූ වෙනස්කම් සංසන්දනය සංක්ෂිප්තව සසඳන රූපයකි.


මා “ටික්” හා “ටී..ක්” කියා එම සංඥා දෙක හැඳින් වුවත්, මෝර්ස් කෝඩ්වල කෙටි ශබ්දය dot (ඩොට්) හෝ dit (ඩිට්) ලෙසද, දිගු ශබ්දය dash (ඩෑෂ්) හෝ dah (ඩා) ලෙසඳ හඳුන්වනවා (ඩිට් හා ඩා මින් ප්‍රචලිතය). එහෙත් dit හා dah තවත් කෙටි කරමින් di හා da ලෙස ඒවා දැක්විය හැකිය. ඒ අනුව බයිනරි මෝර්ස් සංඥාවල පවතින සංඥා දෙක වන්නේ ඩී හා ඩා වේ. එය හරියට ඩිජිටල් සංඥාවල 0 හා 1 වගේය. ඉතිං සියලු සන්නිවේදනයන් සිදු කරන්නේ ඩි හා ඩා මඟිනි.

මෝර්ස් මෙම මූලික සංඥා දෙක යොදා ගනිමින් තමන්ගේ ඉංග්‍රිසි භාෂා හෝඩියේ අක්ෂර සියල්ල සඳහාම කේත ක්‍රමයක් නිර්මාණය කළා. එය තමයි මෝර්ස් සංඥා (Morse code) කියා හැඳින්වෙන්නේ. එහිදී කැපිටල් සිම්පල් වෙනස සැලකුවේ නැත. මූලිකවම ඉංග්‍රිසි අක්ෂර සඳහා එය සැකසුවත්, ප්‍රංශ, ජර්මන්, ඉතාලි වැනි එකල සන්නිවේදන තාක්ෂණය සම්බන්දයෙන් පර්යේෂන කරමින් ඉදිරියෙන්ම හිටපු රටවලටත් එම මෝර්ස්කෝඩ් එලෙසම භාවිතා කළ හැකි වූවා මොකද ප්‍රංශ, ජර්මන්, ඉතාලි භාෂා එකිනෙකට වෙනස් වුවත්, ඒ සියලු භාෂාවල භාවිතා වන අක්ෂර හෝඩිය ඉංග්‍රිසි අක්ෂරවලට සමානය (එනම් ඉංග්‍රිසි අක්ෂර වේ). පහත දැක්වෙන්නේ ඉංග්‍රිසි හෝඩියේ අක්ෂර සඳහා ඇති මෝර්ස් කෝඩ් වේ.

A   di da J   di da da da S   di di dit
B   da di di dit K   da di da T   da
C    da di da dit L   di da di dit U    di di da
D   da di dit M   da da V   di di di da
E   dit N   da dit W   di da da
F    di di da dit O   da da da X   da di di da
G    da da dit P   di da da dit Y   da di da da
H   di di di dit Q   da da di da Z   da da di dit
I    di dit R   di da dit


උදාහරණයක් ලෙස, Sri Lanka යන්න පහත ආකාරයට මෝර්ස්කෝඩ්වලින් ලිවිය හැකිය.

di di dit   di da dit   di dit        di da di dit   di da   da dit   da di da   di da

ඉහත සංඥා දෙස බලන විට, අග තිබෙන di වෙනුවට dit ලියා තිබෙන බව පෙනේ. එය අනිවාර්ය නැතත්, එසේ ලියන සම්ප්‍රදායක් ඇත. di හා da යන සංඥා දෙක . (ඩොට්) හා - (ඩෑෂ්) යන සංඛේත දෙකෙන්ද බොහෝවිට දක්වනවා. එය di හා da යන සංඛේත භාවිතා කරනවාට වඩා පහසු හා කෙටිය. උදාහරණයක් ලෙස, ඉංග්‍රිසි c අක්ෂරය ඒ අනුව, da di da dit යනුවෙන් දක්වන්නා සේම . – . – ලෙසත් දැක්විය හැකියි. මේ අනුව, දැන් බලමු 0 සිට 9 දක්වා ඉලක්කම් කොහොමද මෝර්ස් ක්‍රමයෙන් ලියන්නේ කියා (ඩොට් හා ඩෑෂ් භාවිතා කරමු මෙවර). මෙහි රටාවක් තිබේ.

1    . – – – – 6   – . . . .
2   . . – – – 7   – – . . .
3   . . . – – 8   – – – . .
4    . . . . – 9   – – – – .
5    . . . . . 0   – – – – –

මීට අමතරව, සම්මත විරාම ලකුණු (Punctuation marks) හා වෙනත් නිතර යෙදෙන සංඛේත සඳහා පහත ආකාරයට මෝර්ස් කෝඩ් සාදා තිබේ.

. fullstop/period
di da di da di da
, comma
da da di di da da
? question mark
di di da da di dit
! exclamation mark
da di da di da da
/ slash
da di di da dit
- dash/hyphen/subtraction sign
da di di di di da
; semicolon
da di da di da dit
: colon
da da da di di dit
( opening paranthesis
da di da da dit
) closing paranthesis
da di da da di da
= equal sign/double hyphen
da di di di da
+ plus sign/cross sign
di da di da dit
‘ apostrophe/single quote
di da da da da dit
double quote
di da di di da dit
_ underscore
di di da da di da
@ commercial at (commat)
di da da di da dit
& ampersand
di da di di dit
$ dollar sign
di di di da di di da

ඇත්තටම ඉහත වගුවේ !, &, $, _ යන සංඛේත සඳහා ලබා දී තිබෙන මෝර්ස් කේත තවමත් ජාත්‍යන්තරව සම්මත වූ ඒකක නොවේ. @ යන සංඛේතය ඊමේල් ලිපිනවල අත්‍යවශ්‍ය බැවින්, ඒ සඳහා සම්මත කෝඩ් එක 2004 වසරේදියි හඳුන්වා දුන්නේ ITU විසින්. එය පලමු ලෝක යුධ කාලයට පසුව පළමු වරට අලුතින් සංඛේත එක් කරපු අවස්ථාවයි.

මීට අමතරව, වෙනත් භාෂාවල අක්ෂර සඳහාද වෙනස් සංඥා සඳහාද මෝස්කෝඩ් සාදා තිබෙනවා. සමහරවිට ඉදිරියටත් සාදාවි. කැමති නම් සිංහල බසටත් අපට මෝර්ස් සංඥා සෑදිය හැකිය. ඒවා බොහෝවිට ජාත්‍යන්තර සම්මත කෝඩ් ලෙස නොසලකන අතර ඒවා සාදාගත් අයට වැදගත් වුවද අපට එතරම් වැදගත් නැත.

ගණිතයේ තිබෙන බෙදීම / මඟින්ද, එකතු කිරීම + මඟින්ද, අඩු කිරීම – මඟින්ද දක්වා තිබෙන අතර, වැඩි කිරීමේ සලකුනක් ඉහත සටහන් කර නැත. ඊට හේතුව වැඩි කිරීම සඳහා ඉංග්‍රිසි x අකුර යොදා ගැනීමයි.

තවද, ගණිතයේදී නිතරම ´ (prime sign) සලකුන හමු වෙනවා කෝණ කලා අගයන් දැක්වීමේදී (300 45’ - අංශක 30යි කලා 45යි) වැනි අවස්ථාවලදී. ප්‍රයිම් සංඛේතය සඳහා ඇපොස්ට්‍රොෆි භාවිතා කෙරේ. එලෙසම, ´´ (double prime sign) සලකුනද ගණිතයේදී කෝණ විකලා අගයන් දැක්වීමට වැනි තැන්වල යොදා ගන්නවා. ඩබ්ල් ප්‍රයිම් සඳහා ඇපොස්ට්‍රොෆි සංඥාව දෙවරක් ලියා දැක්විය හැකිය. උදාහරණ ලෙස, කලා 4යි විකලා 2 පහත ආකාරයට දැක්විය හැකිය.

4’ 2’’ - di di di di da    di da da da da dit    di di da da da    da di da da da da dit    di da da da da dit

% සලකුණ සඳහාත් අමුතුවෙන් මෝස්කෝඩ් නැත. එය 0/0 (බිංදුව ස්ලෑෂ් බිංදුව) ලෙස සලකා ලිවිය යුතුය. මෙම සලකුන සංඛ්‍යාවකට පසුව යෙදෙන විට, එම සංඛ්‍යාවත් ප්‍රතිශත සලකුණත් අතර – (ඩෑෂ්) සලකුණක්ද දැමිය යුතු වෙනවා. මෙවිට සංඛ්‍යාව හා - අතරද, - හා ප්‍රතිශත සලකුණ අතරද කිසිදු හිඩැසක් නැත. ඒ අනුව 20% ලිවිය යුත්තේ පහත ආකාරයටයි. 20% → 20-0/0

di di da da da    da da da da da     da di di di da    da da da da da    da di di da dit    da da da da da

භාග සංඛ්‍යා සඳහා / සලකුණ යොදා ගන්නවා. ඒ අනුව ¼ ලියන්නේ පළමුව 1 ලියා ඉන්පසුව / ලියා ඉන්පසුව 4 ලිවීමෙනි. තවද, 2 ½ වැනි මිශ්‍ර භාග ලියන විට, පූර්ණ සංඛ්‍යා කොටස හා භාග සංඛ්‍යා කොටස අතර ඩෑෂ් එකක් යොදන්න. එවිට 2 ½ මෝර්ස්කෝඩ්වලින් ලිවිය යුත්තේ පළමුව 2ට අදාල මෝර්ස්කෝඩ් ලියා ඉන්පසුව – හි මෝර්ස්කෝඩ් ලියා, ඉන්පසුව 1 හි මෝර්ස්කෝඩ් ලියා ඉන්පසු / හිද ඊටත් පසුව 2හිද මෝර්ස්කෝඩ් ලිවිය යුතුය. උදාහරණයක් ලෙස 12 ¼ යන මිශ්‍ර භාගය මෝර්ස්කෝඩ්වලින් පහත ආකාරයට ලිවිය යුතුය.

di da da da da    di di da da da    da di di di da    di da da da da    da di di da dit     di di di di da

1st , 2nd , 3rd , 4th , 17th ආදී ලෙස දක්වන සංඛ්‍යා (ordinal numbers) මෝර්ස්කෝඩ්වලින් ලිවීමේදී අදාල සංඛ්‍යාව ලියා, ඉන්පසු හිඩැස් නොතබාම අදාල ඉංග්‍රිසි අක්ෂර ලිවිය යුතුය. උදාහරණයක් ලෙස, 12th යන්න ලියන්නේ පහත ආකාරයටයි.

di da da da da    di di da da da    da    di di di di

යම් කිසි වචනයක් තුල ඉලක්කම් හා අක්ෂර දෙකම කලවමේ ඇත්නම්, ඉලක්කම් හා අක්ෂර අතර වැඩිපුර හිඩැස් නොතැබිය යුතුය. උදාහරණයක් ලෙස, 124MHz යන්න පහත ආකාරයට ලිවිය යුතුය.

di da da da da    di di da da da    di di di di da    da da    di di di dit     da da di dit

මෝර්ස්කෝඩ්වලින් යම් යම් අක්ෂර/සංඛේත ඩි හා ඩා වශයෙන් ඉහත ආකාරයට ලියා තිබුණත්, ඒ දෙකෙන් සාමාන්‍යයෙන් හැඟවෙන්නේ යම් කිසි සංඥාවක්/ශබ්දයක් ඇසෙමින් තිබෙන කාලයයි. උදාහරණයක් ලෙස, ඩි යනු යම් ශබ්දයක් එක් තත්පරයක් ඇසෙමින් තිබීම නම්, ඩා යනු තත්පර 3ක් එම ශබ්දය ඇසෙමින් තිබීමයි. ඒ විතරක්ද නොවේ, ඩි හෝ ඩා යම් ශබ්දයක් ඇසී ඊළඟ ඩි හෝ ඩා ශබ්දය ඇසීමට පෙර යම් නිශ්ශබ්දතාවක් තිබිය යුතුය. මේ ආදී ලෙස එක් එක් මූලික සංඥාව (ඩි හා ඩා) සඳහාද, සංඥා දෙකක් අතර නිශ්ශබ්දතාව සඳහාද, එසේ සාදපු වචන අතර පැවතිය යුතු නිශ්ශබ්දතාව සඳහාද කොතරම් කාලයක් වැය කළ යුතුද යන්න මෝර්ස්කෝඩ් සම්මතය තුල දක්වා තිබෙනවා.

ඇත්තටම එම කාලයන් ස්ථිරව අච්චර මිලිතත්පර ගණනක් විය යුතු යැයි සඳහන් කර නැත. ඊට වඩා නම්‍යශීලි ක්‍රමයකින් එම කාල පරාසයන් කදිමට දක්වා තිබෙනවා. එහිදී වැදගත් වන්නේ ඩි හෙවත් ඩොට් යන මූලික සංඥාව සඳහා කොපමණ කාලයක් වැය වේද යන්නයි. කෙනෙකු එය එක තත්පරයක් ලෙස සැලකිය හැකියි. තව කෙනෙකු එය මිලිතත්පර 100ක් ලෙස සැලකිය හැකියි. කවුරු කීය ලෙස සැලකුවත්, ඩි/ඩොට් සඳහා වැය වන කාලය මතයි අනෙක් කාලයන් තීරණය කර තිබෙන්නේ. උදාහරණයක් ලෙස, ඩා/ඩෑෂ් සංඥාව සඳහා ගත වන කාලය ඩොට් සංඥාවට ගත වන කාලය මෙන් 3 ගුණයකි. එනිසා ඩොට් ඇසුරින් අනෙක් කාල පරාසයන් පහත ආකාරයට සම්මත කරගෙන තිබෙනවා.

da/dash = 3 dots

intra-letter space = 1 dot

inter-letter space = 3 dots

inter-word space = 7 dots

intra-letter space යනු යම් අක්ෂරයක් මෝර්ස්කෝඩ්වලින් දක්වන විට ඇති ඩි හා ඩා අතර හිඩැසයි. උදාහරණයක් ලෙස, S අක්ෂරය di di di ලෙසනෙ ලියන්නේ. ඒ කියන්නේ මෙම අක්ෂරයට ඩි සංඥා 3ක් තිබෙනවා. මේ එක් එක් සංඥා යැවිය යුතුයිනෙ. එවිට, එක් සංඥාවක් යවා, එම අක්ෂරයට අයත් ඊළඟ සංඥාව යවන තෙක් යම් කාලයක් කිසිත් නොයවා සිටිනවා. එම කාලය තමයි ඉන්ට්‍රාලෙටර් ස්පේස් කියන්නේ.

inter-letter space යනු මෝර්ස්කෝඩ්වලින් අක්ෂර කිහිපයක් සහිත වචනයක් යවන විට, එම වචනයේ එක් අක්ෂරයක් යවා එහි ඊළඟ අක්ෂරය යැවීමට පෙර කිසිත් නොයවා නිශ්ශබ්දව සිටිය යුතු කාල පරාසයයි. එය ඩොට් 3ක කාල පරාසයකට හෙවත් එක් ඩා සංඥා කාල පරාසයකට සමාන වේ. උදාහරණයක් ලෙස, TEK යන්න මෝර්ස්කෝඩ්වලින් යවන විට, පළමුව T අකුරට අදාල da යන සංඥාව යවා, ඊළඟට ඩොට් 3ක කාලයක් නිශ්ශබ්දව සිට, ඊළඟට E ට අදාල di යන සංඥාව යවා, නැවත ඩොට් 3ක කාලයක් නිශ්ශබ්දව සිට, ඉන්පසු K ට අදාල da di da යන සංඥාව යැවේ.

inter-word space යනු මෝර්ස්කෝඩ්වලින් වචන කිහිපයක් සහිත වාඛ්‍ය යවන විට, ඉන් එක් වචනයක් යැවූ පසු, ඊළඟ වචනය යැවීමට පෙර නිශ්ශබ්දව සිටිය යුතු කාල පරාසයයි. උදාහරණයක් ලෙස it is good යන වාඛ්‍යයේ it යන්නට අදාල මෝර්ස් කේත යවා ඩොට් 7ක් නිශ්ශබ්දව සිට ඊළඟට ඇති is යන වචනයට අදාල මෝර්ස් කේත යවා නැවත ඩොට් 7ක් නිශ්ශබ්දව සිට good යන්නෙහි මෝර්ස් කේත යැවිය යුතුය.


ඉහත ආකාරයට එක් එක් අවස්ථාවන් සඳහා නිවැරදිව තිබිය යුතු කාල පරාසයක් දක්වා තිබුණත්, 100%ක්ම නිවැරදිව එය සිදු කළ නොහැකි වන්නට පුලුවන්. 100% ටම නොවූවත්, ඉතා හොඳ මට්ටමකට එම කාලාන්තරවලට මෝස්කෝඩ් යැවිය හැකි වෙනවා එය ප්‍රැක්ටිස් කළාට පසු. මෙයත් හරියටම සංගීතයේදී කීබෝඩ් (ඕර්ගන්) එකක් ප්ලේ කරන්න පුරුදු වෙනවා වැනිය; මුලදී නෝට් ඉන්ටර්වල් හරිහැටි නොහැකි වුවත් පුහුනුවත් සමඟ හොඳ මට්ටමකට පැමිණේ. ඇඟට රිද්මය ඒමට වැඩි කාලයක් ගත නොවේ.

No comments:

Post a Comment