Sunday, March 5, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 54

කෘත්‍රිමව නිපදවන රේඩියෝ තරංගවලින් තමයි මේ අනුව අපට හානි ගෙන ආ හැක්කේ. ඉතිං, කෘත්‍රිමව රේඩියෝ සංඥා නිකුත් කරන්නේ සම්ප්‍රේෂක ඇන්ටනාවකින්ය. ඇන්ටනාවේ ස්වභාවය අනුව රේඩියෝ තරංග අවට පරිසරයට සම්ප්‍රේෂනය වන ආකාරයේ ප්‍රබල වෙනස්කම් තිබේ. පසුවට ඇන්ටනා ගැන විස්තරාත්මකව සලකා බලන අතර, දැනට මෙම පාඩමට අවශ්‍ය තරමට ඇන්ටනා ගැන යම් කාරණා කිහිපයක් ගැන කතා කරන්නට සිදු වේ.

යම් ට්‍රාන්ස්මීටරයක අවසාන රේඩියෝ සංඛ්‍යාත වර්ධකයෙන් (RF amp) නිකුත් වන මුලු ජවයම හානී නොවී ඇන්ටනාව මඟින් රේඩියෝ තරංග බවට පරිවර්තනය කරනවා යැයි සාමාන්‍යයෙන් උපකල්පනය කෙරේ (එම උපකල්පනය මත තමයි මින් මතුවට දක්වන සූත්‍ර සාදා තිබෙන්නේ).

යම් ඇන්ටනාවකින් නිකුත් කරන සම්පූර්ණ ජවය උපකරණයකින් මැන සෙවීම ඉතාම අපහසුය. ඊට හේතුව ඇන්ටනාව ඉතා සරලව පෙනුනත් ඉන් අවට පරිසරයට විකිරණය සිදු කරන ප්‍රමාණයන් තැනින් තැනට වෙනස් වීම (radiation pattern) සංකීර්ණ ස්වභාවයක් ගනී (හැම දිසාවටම සමාකාරව විකිරණය සිදු නොවේ). එහෙත් ඉහත උපකල්පනය නිසා දැන් අප දන්නවා ඇන්ටනාවකින් නිකුත් කරන මුලු ජවය ට්‍රාන්ස්මිටරයේ ඈම්ප් එකෙන් එලියට පිට කළ ජවයට සමානයි කියා (ඈම්ප් එකේ ජවය අපට පහසුවෙන් මීටරයකින් මැනිය හැකියි).

ඉහත පැවසූ ලෙස ඇන්ටනාවකින් විකිරණය පිට කිරීම සමාකාර නැත; අක්‍රමවත්ය. නැවතත් අප තවත් උපකල්පනයක් කරනවා ඇන්ටනාවෙන් ත්‍රිමානව වටේටම සමාකාරව විකිරණ පිට කරනවා කියා. මෙවැනි ඇන්ටනාවක් isotropic antenna ලෙස හැඳින් වුවත්, ප්‍රායෝගිකව එවැනි ඇන්ටනාවක් කිසිවෙකුට සෑදිය නොහැකිය. එය මනංකල්පිත (hypothetical) පරිපූර්න (ideal) ඇන්ටනාවකි. ඒ අනුව, ට්‍රාන්ස්මිටරයේ ඈම්ප් එකෙන් පිටවන මුලු ජවයම සමාකාරව අයිසොට්‍රොපික් ඇන්ටනාවෙන් පහත රූපයේ ආකාරයට වටේටම විහිදෙනවා යැයි උපකල්පනය කරන්න.


ප්‍රායෝගික ඇන්ටනා වර්ග ගණනාවක් ඇත. ඒ සෑම එකක්ම අනෙකට වඩා විවිධ සාධකවලින් වෙනස් වේ. ඒ අතර, විකිරණය වටේට විසුරුවන ආකාරයද (radiation pattern) එක් සාධකයකි. ඉහත දකුණු පැත්තෙ රූපයෙන් පෙන්වන්නේ එක්තරා ප්‍රායෝගික (non-isotropic antenna) ඇන්ටනාවකින් විකිරණ නිකුත් කරන ආකාරය හා අයිසොට්‍රොපික් ඇන්ටනාවකින් විකිරණ නිකුත් කරන ආකාරය දෙකම සැසඳීමකි. තවත් උදාහරණයක් ලෙස, ඉහත අයිසොට්‍රොපික් ඇන්ටනාවෙන් සමාකාරව විකිරණය ගෝලයක් ප්‍රසාරණය වෙන ආකාරයට විසුරුවා හැරියත්, පහත ආකාරයේ දීසි/පැරබොලික් ඇන්ටනාවකින් විකිරණය පිට වන්නේ එක් දිශාවකට ප්‍රසාරණය වෙමින් යන කදම්භයක් ආකාරයෙනි.
 

වටේටම ගිය විකිරණය එක් පැත්තකට ගොනු කර යවන නිසා, දැන් මෙම ඇන්ටනාවෙන් පිටවන්නේ ප්‍රබල විකිරණයකි. එය හරියට විවිධ පැති සියදහස් ගණනක් ඔස්සේ ගමන් කළ මිනිසුන් පිරිසක් එකම දිශාවකට ගමන් කරවීමට සැලැස්සුවා වැනිය (පෙලපාලියක්); මෙම මිනිස් පෙලපාලිය ප්‍රබලය. එම දිශාව ඔස්සේ සංඥාව ප්‍රබල වූයේ ට්‍රාන්ස්මීටරයෙන් එවූ සංඥාව ප්‍රබල නොවීම නිසා බව පැහැදිලියිනෙ . ඇන්ටනාව වටේට විවිධ දිශා ඔස්සේ විසුරුවා හැරෙන රේඩියෝ තරංගවල ප්‍රබලත්වය විවිධ බව මේ අනුව දැන් ඔබට තේරුම් යා යුතුයි.

ඇන්ටනාවක සිට සැලකිය යුතු දුරක් ඈතට ගිය විට විකිරණ විසින් පෙන්වන ගතිගුණ නොවෙයි ඇන්ටනාවේ ඉතා සමීප ප්‍රදේයෙහි තිබෙන්නේ. විද්‍යාඥයින් විසින් ඕනෑම ඇන්ටනාවක ගතිගුණ එකිනෙකට වෙනස් වන කලාප 3ක් හඳුනාගෙන තිබෙනවා far field, near field, transistion region ලෙස.


ට්‍රාන්ස්මිටරයක්/ඇන්ටනාවක්/රේඩියෝ සම්ප්‍රේෂනයක් සලකන විට, අපට ඇත්තටම ප්‍රායෝගික ප්‍රයෝජනයක් තිබෙන ප්‍රදේශය තමයි ෆාර් ෆීල්ඩ් එක. අප භාවිතා කරන සංඛ්‍යාතයන් සියල්ලෙහිම ෆාර්ෆීල්ඩ් එක ආරම්භ වන්නේ ඇන්ටනාවේ සිට අඩි කිහිපයක ඇතුලතයි. උදාහරණයක් ලෙස, සංඛ්‍යාතය 100kHz නම් (හා ඇන්ටනාවේ විශ්කම්භය මීටර් 1ක් යැයි සලකමු; එනම් D2 = 12 = 1 වේ), Rff = (0.6D2)/λ යන ෆාර්ෆීල්ඩ් එකේ ආරම්භක ස්ථානය සොයන සූත්‍රය අනුව, ඇන්ටනාවේ සිට මිලිමීටර් 0.2ක් වැනි කෙටි දුරකින් ෆාර්ෆීල්ඩ් එක ඇරඹේ. රේඩියෝ සංඛ්‍යාතය 2.4GHz නම්, ඇන්ටනාවේ සිට ෆාර්ෆීල්ඩ් එක ඇරඹෙන්නේ මීටර් 4.8කින්ය. ඒ අනුව ප්‍රායෝගික ජීවිතයේදී රිසීවර් සියල්ලම පවතිනු ඇත්තේ ෆාර්ෆීල්ඩ් කලාපයේය.

සටහන
ඇත්තටම නියර්ෆීල්ඩ් එකද යම් යම් සන්නිවේදනයන් සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද සකසා තිබෙනවා. ඒවා Near Field Communication (NFC) ලෙස හැඳින්වෙනවා. අද බොහෝ සෙල්ෆෝන්වලත් මෙම හැකියාව තිබෙනවා. සෙල්ෆෝන් යොදාගෙන මුදල් ගනුදෙනු කිරීමට මෙම ක්‍රම යෝජනා කර තිබෙනවා.

විදුලි විභවයක් නිසා ඒ අවට විදුලි ක්ෂේත්‍රයක් ඇති වන අයුරුත්, චුම්භකයක් අවට චුම්භක ක්ෂේත්‍රයක් ඇති වන අයුරුත් අප මීට පෙර සලකා බැලුවා. එලෙසම, ඇන්ටනාවකින් විසුරුවා හරින රේඩියෝ තරංගත් ක්ෂේත්‍ර ආකෘතිය අනුවම අධ්‍යනය කළ හැකියි. මෙහිදී ක්ෂේත්‍රයේ පිරී තිබෙන්නේ විද්‍යුත්චුම්භක තරංගයි. තවද, විද්‍යුත්චුම්භක තරංගයක එකිනෙකට ලම්භක විද්‍යුත් ක්ෂේත්‍රයකුත් (E-field) චුම්භක ක්ෂේත්‍රයකුත් (H-field) තිබෙන බවද අප ඉගෙන ගත්තා


සාමාන්‍ය විදුලිය ගැන කතා කරන විට (මනින්නට අවශ්‍ය විට), විදුලියේ ගති ලක්ෂණ දෙකක් වන විභවය හා ධාරාවයි මනින්නේ. තාපය ගැන කතා කරන විට (මනිනන්ට අවශ්‍ය විට) තාපයේ ගති ලක්ෂණය වන උෂ්නත්වය මනිනවා. එලෙසම, රේඩියෝ තරංගයක් ගැන කතා කරන විට (මනින්නට අවශ්‍ය විට), සාමාන්‍යයෙන් එම රේඩියෝ/විද්‍යුත්චුම්භක ක්ෂේත්‍රයේ තිබෙන විද්‍යුත් ක්ෂේත්‍ර සංරචකය හෝ චුම්භක ක්ෂේත්‍ර සංරචකය මනිනවා.

ඇත්තටම අපට හානි ගෙන එන්නේ රේඩියෝ තරංග (විද්‍යුත්චුම්භක ක්ෂේත්‍රය) පමණක් නොවේ. චුම්භක ක්ෂේත්‍රයකින්ද හානි ගෙන ආ හැකිය. විද්‍යුත් ක්ෂේත්‍රයකින්ද හානි ගෙන ආ හැකිය. Non-ionizing radiation යටතේ මේ අවස්ථා 3ම පොදුවේ සලකා බැලිය හැකියි. මේ තුන් ආකාරයේම ක්ෂේත්‍රවලින් හානි ඇති විය හැක්කේ යම් නිශ්චිත උපරිම අගයකට (පර්යේෂන මඟින් සොයා ගත් අගයන්) වඩා වැඩි අගයක් සහිත තැනක මිනිසෙකු සිටියොත් පමණි.

ඇන්ටනාවට නැවත අවධානය යොමු කළොත්, එහි ෆාර්ෆීල්ඩ් එකේ සම්පූර්ණයෙන්ම පවතින්නේ රේඩියෝ තරංග පමණි. එහෙත් එහි නියර්ෆීල්ඩ් එකේ රේඩියෝ තරංග/ක්ෂේත්‍රය මෙන්ම චුම්භක හා විදුලි ක්ෂේත්‍රද පවතිනවා පමණක් නොව, රේඩියෝ තරංගවලට වඩා ප්‍රමුඛව පවතින්නේ එම ක්ෂේත්‍රයි. අතරමැදි ට්‍රාන්සිෂන් කලාපයේද මේ දෙකම පවතින අතර, වැඩිපුර බලවත්ව තිබෙන්නේ රේඩියෝ තරංගයි.

ෆාර්ෆීල්ඩ් එකේ පවතින රේඩියෝ ක්ෂේත්‍රය තරමක් පහසුවෙන් මැන ගතද හැකියි. ඊට සූත්‍රමය ගණිත ආකෘතියක්ද සෑදිය හැකියි; දැනට සාදාත් තිබෙනවා. එනිසා, අපට උපකරණයකින් මැන මැන ඉන්නේ නැතිවත්, එම සූත්‍ර ඇසුරින්ද විශ්වසනීය ලෙස ෆාර්ෆීල්ඩ් එකේ ඕනෑම තැනක පවතින විකිරණවල ප්‍රබලතාව සෙවිය හැකියි.

එහෙත් නියර්ෆීල්ඩ් හා ට්‍රාන්සිෂන් කලාපවල ක්‍රියාකාරිත්වය සංකීර්ණය. එම කලාප තුල තැනින් තැන අගයන් වෙනස් වේ. උපකරණයකින් මැනීමද ප්‍රායෝගිකව අපහසුයි මොකද තැනින් තැන අගයන් අක්‍රමවත් ලෙස විචලනය වේ. තවද, නියර්ෆීල්ඩ් එක ඉතා පටුයි නම් උපකරණයක් තබා මනිනවා තබා ඇඟිල්ලක්වත් ගසන්නට තරම් ඉඩක් එතැන නැති විය හැකියි. මෙවැනි ප්‍රායෝගික ගැටලු මතු වෙනවා නියර්ෆීල්ඩ් සම්බන්දයෙන්.

හැමවිටම රේඩියෝ තරංග අපට හානිදායක යැයි සිතිය යුතුද නැත. විකිරණයේ ප්‍රබලතාව (වොට් ගණන) හා විකිරණයට කොතරම් කාලයක් නිරාවරණය වෙනවාද යන්න මතයි එහි හානිදායක බව තීරණය වන්නේ (ඒ ගැන මොහොතකින් බලමු).

තවද, සෑම සංඛ්‍යාතයක්ම එක වගේ අපට බලපෑමක් ඇති නොකරයි. එක් එක් සංඛ්‍යාතයන්ගේ අපට හානිකරන මට්ටම වෙනස් වේ. විකිරණ ප්‍රබලතාව, නිරාවරණ කාලය (exposure time/duration), සංඛ්‍යාතය යන සාධක මත මිනිසාට රේඩියෝ විකිරණය කෙසේ බලපානවාද යන්න සෙවීමට නොයෙක් පර්යේෂන සිදු කර ඇත. ANSI (American National Standard Institute), IEEE (Institute of Electrical and Electronics Engineers), FCC (Federal Communications Commission), NCRP (National Council on Radiation Protection and Measurements) වැනි ඇමරිකානු ආයතනද, ICNIRP (International Commission on Non-Ionizing Radiation Protection) වැනි ජාත්‍යන්තර ආයතනද මේ අතර ප්‍රමුඛ වේ.

මෙම ආයතන විසින් රේඩියෝ විකිරණ සම්බන්දයෙන් ප්‍රමිතින් හා මාර්ගෝපදේශ (standards and guidelines) සාදා තිබේ. මීට අමතරව රුසියාව, චීනය වැනි සමහර රටවල් විසින්ද ඔවුන්ගේම ප්‍රමිතින් පනවා ඇත. අවාසනාවකට මෙන්, මේ එක් එක් ප්‍රමිතින් එකිනෙකට සමාන නැත. සෑම කෙනෙකුම පිළිගන්නා එක් පොදු ජාත්‍යන්තර ප්‍රමිතියක් තිබීම වටින අතර, ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization – WHO) කලක සිට ප්‍රයත්න දරනවා මේ විවිධ ප්‍රමිතින් එක් ප්‍රමිතියක් ලෙස සකසන්නට හෙවත් සාම්‍යකරණය කිරීමට (විවිධ ප්‍රමිතින් කිහිපයක් එක් තනි ප්‍රමිතියක් බවට පත් කිරීම සාම්‍යකරණය (harmonization) ලෙස හැඳින්වෙනවා)

ලංකාවේම කියා ප්‍රමිතිනන් හා මාර්ගෝපදේශ නොමැති අතර, බොහෝවිට FCC ප්‍රමිතින් හා ICNIRP ප්‍රමිතින් අප රට අනුගමනක කරයි. TRCද ප්‍රමුඛතාව ලබා දෙන්නේ FCC ප්‍රමිතින්ට බැවින් මෙතැන් සිට මාද වැඩිපුර කතා කරන්නේ එම ප්‍රමිතින් පදනම් කරගෙනයි. ඇත්තටම FCC ප්‍රමිතින් සවිස්තරාත්මක හා බොහෝ අංශ ආවරණය කරනවා ICNIRP ප්‍රමිතියට වඩා.

රේඩියෝ විකිරණ ගැන අධ්‍යනයේදී, ට්‍රාන්ස්මිටර් සහිත සන්නිවේදන උපකරණ මූලිකව කාණ්ඩ 3කට කඩා, ඒවා වෙන වෙනම සැලකීමට සිදු වෙනවා.

1. fixedයම් ස්ථානයක ස්ථාවරව (දීර්ඝ කාලීනව) සවි කර තබන සන්නිවේදන උපකරණයි. සාමාන්‍යයෙන් මේවා නිතර නිතර එක එක තැන්වලට ගෙන යන්නේ නැත. සියලු රේඩියෝ, ටීවී, සෙල්‍යලර් දුරකතන ටවර් ආදිය මේ යටතට වැටේ. ආධුනික ගුවන් විදුලියේ බොහෝ සන්නිවේදන උපාංග (විශේෂයෙන් VHF කලාපට අඩු සංඛ්‍යාත භාවිතා කරන උපාංග) ගැනෙන්නෙත් මේ යටතටයි.

ලංකාවේ රෙගුලාසි අනුව නම්, ආධුනික ගුවන් විදුලි ට්‍රාන්සීවරයක් තැන තැන ගෙන යෑමට (එනම් ජංගම ආකාරයෙන් භාවිතා කිරීමට), විදුලිසංදේශ කොමිසමෙන් අවසරයක් ලබා ගත යුතුය (මෙවිට සන්නිවේදන උපකරණ 30MHz ට වැඩි සංඛ්‍යාත භාවිතා කළ යුතුය). එවිතරක්ද නොව, සාමාන්‍යයෙන් තමන්ගේ fixed ආධුනික ගුවන් විදුලි යන්ත්‍ර/ඇන්ටනා ක්‍රියාත්මක කරන ප්‍රදේශය මාරු වෙන විට පවා කොමිසමට දැනුම් දිය යුතු යැයි රෙගුලාසිවල කියයි.

2. mobileඇමරිකානු FCC වැනි ප්‍රමිති තුල, මොබයිල් යන වචනය අර්ථ දක්වා තිබෙන්නේ තැන තැන රැගෙන යා හැකි හා එම උපකරණය සාමාන්‍යයෙන් භාවිතා කරන විට ශරීරයත් එම උපකරණයත් අතර අඩුම වශයෙන් 20cm ක පරතරයක් තබාගෙන භාවිතා කරන සන්නිවේදන උපකරණ (ට්‍රාන්සීවර්) ලෙසයි.

3. portableඇමරිකානු ප්‍රමිති තුල, පෝටබල් යන වචනය අර්ථ දක්වා තිබෙන්නේ තැන තැන රැගෙන යා හැකි හා එම උපකරණය සාමාන්‍යයෙන් භාවිතා කරන විට ශරීරයත් එම උපකරණයත් අතර 20cm ට වඩා අඩු පරතරයක් තබාගෙන භාවිතා කරන සන්නිවේදන උපකරණ ලෙසයි. අප “මොබයිල් ෆෝන්” කියා හඳුන්වන සියලු සෙල්‍යුලර් දුරකතන මේ ගනයට වැටේ. බොහෝවිට උපකරණය හා ශරීරය අතර පරතරයක් නැතිව (එනම් උපකරණය අඟේ/කනේ ස්පර්ශ කරගෙන) මේවා පරිහරණය වේ.

ඉහත දැක්වූ ආකාර 3 වෙනස් වන්නේ ට්‍රාන්ස්මීටර් ඇන්ටනාව හා පුද්ගලයා අතර තිබෙන පරතරය අනුව බව පැහැදිලි වේ. ඇත්තටම එය වැදගත් සාධකයකි.

ෆික්ස්ඩ් උපකරණයක් නම්, ඕනෑම සංඛ්‍යාතයක් සඳහා පුද්ගලයා හා සම්ප්‍රේෂක ඇන්ටනාව අතර දුර හැමවිටම වැඩිය (ඇන්ටනාව බොහෝවිට නිවසට එලියෙන් හෝ වහලයට උඩින් ඇති අතර, උපකරණයේ ක්‍රියාකරු නිවස තුල කාමරයක සිටී). එනිසා, පුද්ගලයා හැමවිටම සිටිනු ඇත්තේ ෆාර්ෆීල්ඩ් එකේය.

මොබයිල් හා පෝටබල් උපකරණ හැමවිටම වාගේ භාවිතා කරන්නේ VHF හා ඊට ඉහල සංඛ්‍යාත වේ. මොබයිල් උපකරණයක් භාවිතා වෙන විට, එය පාවිච්චි කරන කෙනා සිටිනු ඇත්තේද ෆාර්ෆීල්ඩ් එකේය. ඊට හේතුව සෙන්ටිමීටර් 20කට වැඩි පරතරයක් ඇන්ටනාව/ට්‍රාන්සීවරය හා ශරීරය අතර පැවතීමයි (ඇන්ටනාව (D අගය) තරංග ආයාමයට සාපේක්ෂව කුඩා වී, එවිට D2 අගය තවත් කුඩා වී නියර්ෆීල්ඩ් එක ඉතා පටු වේ).

පෝටබල් ට්‍රාන්ස්මීටරයක් ශරීරයට ස්පර්ශව හෝ ඉතාම ළඟින් තබා ගන්නා විට, එය භාවිතා කරන පුද්ගලයා හැමවිටම සිටිනු ඇත්තේ නියර්ෆීල්ඩ් එකේය.

පුද්ලයා හා ට්‍රාන්ස්මිටරය අතර පරතරය අඩු වන විට, විකිරණ වැඩි වැඩියෙන් ශරීරයට වදී. ඒ අනුව, ඇන්ටනාව ශරීරයට ළංවීම වැඩි නිසාම, වැඩිම විකිරණ ප්‍රමාණයක් පෝටබල් උපකරණයකින් මිනිස් සිරුරට වදී. අඩුම ප්‍රමාණයක් ෆික්ස්ඩ් උපකරණයකින් ඇති වේ.

ඉහත සියලුම තොරතුරු පසුබිමේ තබා ගෙන දැන් අපි බලමු රේඩියෝ විකිරණ සම්බන්දයෙන් ප්‍රමිතින් පනවා තිබෙන්නේ කෙසේද කියා.

මෙම රෙගුලාසිවල බලාපොරොත්තුව වන්නේ පුද්ගලයන් අහිතකර මට්ටමින් රේඩියෝ තරංගවලට නිරාවරණය වීම වැලැක්වීමයි. එහිදී සම්ප්‍රේෂනය සිදු කරන පුද්ගලයා/අය මෙන්ම ඊට ඍජුවම සහභාගි නැති අය (පොදු ජනයා) යන කොටස් දෙකම ඇතුලත්ය.

තවද, ඇන්ටනාවෙන් නිකුත් වන විකිරණ ප්‍රමාණය (ජවය) නොව, ඇන්ටනාව අවට ප්‍රදේශයේ එම විකිරණය විසින් ඇති කරන විකිරණ මට්ටම (exposure) ගැනයි මූලිකවම අවධානය යොමු කර තිබෙන්නේ.

ඇත්තටම විකිරණයට නිරාවරණය වෙන කාණ්ඩ දෙකක් මෙම ප්‍රමිතින් තුල පැහැදිලිව දක්වනවා.

1. Controlled/Occupational Exposure Environment
2. Uncontrolled/General population Exposure Environment

Controlled Exposure
කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩයට ඇතුලත් වන අය තමන් හානිදායක මට්ටමේ පවතින රේඩියෝ විකිරණයකට නිරාවරණය වෙන බව හොඳින්ම දැනුවත් අයයි. බොහෝවිට මේ පිරිස ට්‍රාන්ස්මිටර් ඇන්ටනා සමඟ වැඩ කරන හෝ ඒ ආශ්‍රිත රැකියාවල නිරත වන අයයි.

ඇන්ටනාවෙන් හානිදායක මට්ටමින් විකිරණ පවතින පෙදෙස නිශ්චිතව හඳුනාගැනීම හා එම පෙදෙසෙහි සිටීමෙන් විකිරණ හානි ඇතිවන බව හොඳින්ම දැනුවත්ව සිටීම මෙහි අනිවාර්ය කොන්දේසිය වේ.

තවද මෙම කාණ්ඩයට ඇතුලත් වෙනවා හානිදායක මට්ටමේ පවතින රේඩියෝ විකිරණයක් සහිත ප්‍රදේශයක ඉඳහිට හෝ කෙටි කාලයක් සඳහා වැඩකරන අය හෝ එවැනි ප්‍රදේශයක් හරහා ගමන් කරන පුද්ගලයනුත්; මෙම පිරිස තමන් එවැනි පෙදෙසක වැඩ කරන්නට යන්නේ හෝ එවැනි විකිරණවලින් හානි ඇතිවිය හැකි පෙදෙසක් හරහා යන්නේ යන පූර්ව අවබෝධය ලබා ගෙන ඇති පිරිසක් විය යුතුමය. ඒසී කැඩුන විට එය සාදන හෝ යම් විදුලි රෙපෙයාර් වැඩක් කරන හෝ වතුර පයිප්ප සවිකරන, ටවර්/ඇන්ටනා අවට ඉඳහිට ශුද්ධ කරන හෝ ඇන්ටනා පරිශ්‍රය පරික්ෂා කිරීම ආදී විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන අය මේ යටතට ගත හැකියි; අනිවාර්යෙන්ම ඔවුන් පූර්ව දැනුවත්ව සිටිය යුතුය.

තවත් කාණ්ඩයක් මීට ඇතුලත් වෙනවා. ඒ තමයි ආධුනික ගුවන් ශිල්පින්. සාමාන්‍යයෙන් ඔහුගේ ඇන්ටනා සවිකර තිබෙන නිවසේ සිටින පිරිසද මේ කාණ්ඩයට වැටෙනවා. ඇත්තටම ආධුනික ගුවන් විදුලි ශිල්පියා විසින් තම/එම නිවසේ සියල්ලන්ම රේඩියෝ විකිරණ ගැන දැනුවත් කර තිබිය යුතුය.

ආධුනික ගුවන් ශිල්පියාගේ නිවසට කෙටි කාලීනව හෝ දිගු කාලීනව රැඳී සිටීමට එන අයවත් (අමුත්තන්, නෑයන්, මිතුරන්, අසල්වාසින්) නිසි දැනුවත් කිරීමෙන් පසුව ඔවුන්ද කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩයට වැටේ.

ඒ විතරක්ද නොවේ, කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩයට ඇතුලත් වෙනවා ආධුනික ගුවන් විදුලි ශිල්පියාගේ ඇන්ටනා සවි කර තිබෙන පරිශ්‍රය වටේ සිටින ළඟම අසල්වාසින් පිරිසත්. මෙවිටත්, අනිවාර්යෙන්ම ශිල්පියා විසින් එම අසල්වාසි නිවැසියන්ට නිසි අවබෝධය ලබා දිය යුතුය.

ඇත්තටම, කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩයේ සිටින අයට පූර්ව නිසි අවබෝධය ලබාදීම පමණක් ප්‍රමාණවත් නැත. එම අවබෝධය තුලින්, විකිරණ හානියෙන් වැලැක්වීමටත් කටයුතු කළ යුතුමය. නැතිනම් අවබෝධය ලබා දීමෙන් විතරක් පලක් නැහැනෙ. විකිරණවල හානිය වැලැක්වීමට ගත හැකි හා ගත යුතු පියවරවල් රැසක් අපි පසුවට සලකා බලන අතර, ඒවා අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුය.

Uncontrolled Exposure
ඇන්ටනාවක් අවට පවතින අහිතකර මට්ටමින් විකිරණය තිබෙන බව නොදැන සිටින පිරිස මේ යටතට වැටේ. සාමාන්‍ය පොදු ජනයා (general public) මේ අතර වේ. ඊට අමතරව, එවැනි පෙදෙසක් තිබෙනවා යැයි නොදැන, විකිරණයෙන් වැලැකී සිටීමට නිසි ක්‍රම ගැන දැනුමක් නැති අය මීට ඇතුලත්ය. ඒ කියන්නේ කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩයයි මෙම කාණ්ඩයහි වෙනස් වන්නේ මේ අයට පූර්ව දැනුමක් නැති වීමයි.

යම් සම්ප්‍රේෂක ඇන්ටනාවක් පවත්වාගෙ යන ආයතනයක සේවකයන් මෙම පූර්ව දැනුම නැතිනම්, ඔවුන්ද මේ කාණ්ඩයට වැටේ. එම ඇන්ටනාව තිබෙන පරිශ්‍රයේ තාවකාලිකව යම් වැඩ කිරීමට එන හෝ එම ප්‍රදේශය හරහා ගමන් කරන පූර්ව දැනුමක් නැති අයද මේ යටතට වැටේ.

ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකුගේ නිවසට එන අයට පූර්ව දැනුමක් නැතිනම්, ඔවුන්ද මේ යටතට වැටේ. තවද, ආධුනික ගුවන් ශිල්පියාගේ ගේ අවට තරමක් ඈතින් සිටින අසල්වාසීන් (අල්ලපු ගෙදරට අල්ලපු ගෙවල්) මේ යටතට වැටේ.


හානිය කොතරම් වුවත්, ඇන්ටනා යොදා ගෙන විකිරණ පිට කිරීම නැවතීමට හෝ අඩු කිරීමට බැහැ; එනම් ඇන්ටනා ගලවා දැමීමට හෝ ඇන්ටනාවෙ වොට් ගණන අඩු කරන්නට බැහැ. විකිරණ හානිය හැමවිටම පවතින්නේ ඇන්ටනාවක් අවට යම් කුඩා ප්‍රදේශයක් තුල පමණි. ඉතිං, මෙම කුඩා ප්‍රදේශය නිවැරදිව පාලනය කිරීමෙන් විකිරණ හානිය අවම කිරීමටයි ප්‍රමිතින් විසින් උත්සහ කරන්නේ. ඉහත ආකාරයට RF radiation exposure සඳහා කාණ්ඩ දෙකක් අර්ථ දක්වා තිබෙන්නේ විකිරණ හානිය මැනවින් ප්‍රායෝගික ආකාරයෙන් කළමණාකරණය කිරීමේ පහසුව තකාය.

ඇන්ටනා ආශ්‍රිතව වැඩ කරන අයත් සිටිය යුතුයිනෙ එම සේවා නිසි ලෙස පවත්වාගෙන යෑමට හා නඩත්තු කිරීමට (රේඩියෝ, ටීවී, සෙල්‍යුලර් සේවා). එසේම, ඇන්ටනාවක් අවටින් මිනිසුන් ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැක්කක් වන්නටත් පුලුවන් (ආධුනික ගුවන් ශිල්පියෙකුගේ ගෙදර නිවැසියන් හෝ අසල්වාසින් ඉවත් කළ නොහැකියිනෙ). ඉතිං, ප්‍රායෝගිකව දිය හැකි හොඳ විසඳුමක් වන්නේ මෙම පිරිසට ඇන්ටනාව අසලට නොයෑමට දැනුවත් කිරීම නේද? මෙම පිරිස එනිසා controlled (පාලනය කළ) යටතට වැටේ. අනෙක් සෙසු අය uncontrolled යටතට වැටේ.

එලෙස නිකංම කාණ්ඩ දෙකකට කඩා ලේබල් කිරීමක් විතරක් නොවේ සිදු කර තිබෙන්නේ. මෙම කාණ්ඩ දෙකට නිරාවරණය විය හැකි උපරිම විකිරණ මට්ටම් (Maximum Permissible Exposure – MPE) අගයන්ද වෙනස්ය. අන්කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩයට වඩා වැඩිපුර විකිරණ මට්ටමක් කොන්ට්‍රෝල්ඩ් කාණ්ඩය සඳහා අනුමත කර තිබෙනවා. ඒ ඇයි?

ඇත්තටම කොන්ට්‍රෝල්ඩ් වේවා අන්කොන්ට්‍රෝල්ඩ් වේවා, උපරිම විකිරණ මට්ටම් (MPE) යනු ඒ පුද්ගලයන් ඇත්තටම තම ශරීරයට නිරාවරණය කර ගත හැකි විකිරණ මට්ටම් ලෙස වරදවා සිතා නොගත යුතුය. එම පුද්ගලයන් ගැවසෙන අවදානම් ප්‍රදේශයේ තිබිය හැකි උපරිම විකිරණ මට්ටම ගැනයි මෙහිදී කතා කරන්නේ. පුද්ගලයන්ට පෞද්ගලිකව තම ශරීර විකිරණයට නිරාවරණය වෙන මට්ටම් කෙනෙකුට වඩා අනෙකාට වැඩිපුර අනුමත කළා නම්, එය කොතරම් අසාධාරණයක් විය හැකිද? එනිසා නැවත අවධාරණය කරන්නේ මෙම MPE අගයන් යනු ප්‍රදේශයක පවතින විකිරණ මට්ටම් පිළිබඳ අගයන් පමණි.

ඉතිං, කන්ට්‍රෝල්ඩ් කාණ්ඩයට වැඩි MPE අගයක් (එනම් වැඩි විකිරණ ප්‍රමාණයක්) අනුමත කර තිබෙන්නේ, මෙම කාණ්ඩයේ අය එම අවදානම ගැන නිරන්තරයෙන්ම දැනුවත් නිසා, සුදුසු ක්‍රමවේද යොදා ගෙන ඉන් වැලකී සිටිමින් තම කටයුතු/රාජකාරි ඉටු කළ හැකි නිසාය. සාමාන්‍ය අයට ඉන් වැලකී සිටීමට අඩුම ගානේ තමන් හානිදායක විකිරණයකට ලක් වෙන්නයි යන්නේ කියාවත් හැඟීමක් නැත.

පූර්ව දැනීමක් තිබෙන අය පවා, හානිදායක විකිරණයෙන් වැලකීමට නිසි ක්‍රම සලසා දී නැතිනම්, එවැනි පරිසරයක නොයෑමට/වැඩ නොකිරීමට අයිතියක් ඇත (කොතරම් හාම්පුතුන්/කලමනාකරුවන් බල කර සිටියත්). ජීවිතය තමන්ගේ වන අතර, එය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට තමන්ට සෑම අයිතියක්ම තිබේ (මානව හිමිකමක්).

කලමනාකරුවන්/නිසි බලධාරියා තම සේවකයන්ට විකිරණ හානිය ගැන කියා නොදී, ඉන් වැලකී සිටීමට උපක්‍රම/ක්‍රමවේද නොසලසවා, එම සේවකයන්ව එවැනි අනතුරුදායක ප්‍රදේශයක සේවයේ යෙදවීමද නීති විරෝධි වේ.

ඉහත සියලු විස්තර තුල “පූර්ව නිසි අවබෝධය/දැනුම” ලබා දීම අනිවාර්ය යැයි පැවසුවත්, ඇත්තෙන්ම පූර්ව නිසි අවබෝධය ලබා දෙනවා යනු කුමක්ද? එය සිදු කළ හැක්කේ කෙසේද? එය ඉටු කළ හැකි ආකාර ගණනාවක් ඇත.

සේවා ආයතනයක් නම්, සියලු පිරිස් කැඳවා වැඩමුලුවක් (workshop/seminar) ලෙස එය විධිමත්ව කියා දිය හැකිය. විකිරණයෙන් ඇතිවිය හැකි හානි, ඒවායෙන් වැලකෙන හැටි, එක් එක් විකිරණ සංඥාවල තේරුම හා එවිට ගත යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග මොනවාද ආදිය ගැන පිරිස දැනුවත් කළ හැකියි.

ඉහත ආකාරයට ක්‍රමවත්ව දැනුවත් වැඩසටහන් කළ හැකි නම් ඉතාම වටිනවා. එලෙස වැඩමුලුවක් ලෙසම පැවැත්විය නොහැකි වුවත්, විනාඩි කිහිපයක කතා බහකින්ද බොහෝ අයට එය සිදු කළ හැකිය.

එහෙත් සමහර අවස්ථාවලදී ඒ කිසිවක් ප්‍රායෝගිකව කළ නොහැකි වන්නට පුලුවන්. උදාහරණයක් ලෙස, ආධුනික ගුවන් ශිල්පියෙකුට අසල්වාසින් සියල්ල කැඳවා ඉහත ආකාරයේ වැඩමුලුවක් පැවැත්විය නොහැකි වන්නට පුලුවන්. එවන් විටක පහත සරල පියවර දෙකකින් එය කළ හැකියි.

1. හානිදායක මට්ටමින් විකිරණ තිබෙන පෙදෙස හඳුනාගෙන එය කොටු කළ හැකියි අනිත් අයට පහසුවෙන් ඇතුලු වන්නට බැරි විදියට (restriction).

එසේ ආරක්ෂිතව කොටු කළ නොහැකි නම්, එම පෙදෙස අවට ප්‍රදේශයෙන් පැහැදිලිව වෙන් කර දැක්වෙන සේ සැකසිය යුතුය (කුඩා වැටක් ගැසීමෙන් වැනි ක්‍රමයකින්).

ඔබ දැක ඇති සෙල්‍යුලර් ටවර් සවි කර තිබෙන භූමිය අවට ආරක්ෂිත වැටක් ගසා තිබෙනවා; අන්න එවැන්නක් තමයි මෙහිදිත් අපේක්ෂා කෙරෙන්නේ.

ඇන්ටනාව සවි කර තිබෙන්නේ කෙනෙකුට පහසුවෙන් ළඟා විය නොහැකි කැලෑ ආශ්‍රිත හෝ කඳු ගැටයක් වැනි පෙදෙසක නම්, අමුතුවෙන් ආරක්ෂිත වැටක් ගැසීම අනිවාර්ය නැත (බොහෝ ටීවි චැනල් විසුරුවා හරින ටවර් මෙවැනි තැන්වලනෙ තිබෙන්නේ).

2. ඉහත දෙයාකාරයෙන් එක් ආකාරයකින් ප්‍රදේශය වෙන් කළ පසු, එම පෙදෙසට ප්‍රවේශ වන ස්ථානවල පැහැදිලිව හා පහසුවෙන් තේරුම්ගත හැකි අයුරින් සුදුසු අවදානම් දැන්වීමක් (Warning board /notice /sign /label) සවි කළ යුතුය (ඔබ ඕන තරම් දැක තිබෙනවානෙ පාරවල් හදන තැන්වල, රෝහල්වල එක්ස්රේ කාමරය ළඟ ආදී තැන්වල එවැනි දැන්වීම්/ස්ටිකර්). උදාහරණයක් ලෙස පහත ආකාරයේ අවදානම් පනිවුඩයක් ලිවිය හැකිය.

මෙය රේඩියෝ විකිරණ අවදානම සහිත ප්‍රදේශයකි. එනිසා මෙම ප්‍රදේශයේ තත්පර yyyyට වඩා නොසිටිය යුතුය.

ඉහත අවදානම් පනිවුඩයේ yyyy යන තැනට සුදුසු තත්පර ගණනක් ලියන්න. එම අගය සමහරවිට විනාඩිවලින්ද දැක්විය හැකිය. එම අගය තීරණය කරන අයුරු පහත විස්තරවලින් ඔබට දැනගත හැකිය. ඉහත සිංහල පනිවුඩයම ඉංග්‍රිසියෙන් පහත ආකාරයට ලිවිය හැකිය (FCC ආයතනය පහත අවදානම් පනිවුඩය අනුමත කර තිබේ).

You should not remain in this RF radiation area for more than yyyy seconds

ඉහත වාඛ්‍යයක් ඇතිව හෝ නැතිව පහත ආකාරයේ අවදානම් සංඥාවක්ද පැහැදිලිව පෙනෙන සේ ඇලවිය හැකිය.


ඇත්තටම අවදානම පෙන්වා දෙන විවිධාකාරයේ සංඥා නිර්මාණය කරගෙන තිබෙනවා. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි. මින් සමහරක් පොදුවේ අනතුරු හැඟවීම සිදු කරනවා. සමහරක් නිශ්චිතවම යම් අනතුරු හඟවනවා. උදාහරණයක් ලෙස, ඇන්ටනා කුලුන/සැකිල්ල අතින් අල්ලන්න එපා, විකිරණවලට ඔරොත්තු දෙන විශේෂිත රෙදි අඳින්න, pacemaker නම් උපකරණ ශරීරය තුල සවි කර තිබෙන හදවත් රෝගීන් විශේෂයෙන් ඇතුලු වීම තහනම් ආදී ලෙස ඒ විශේෂිත අනතුරු හැඟවීමේ පනිවුඩ විවිධ වේ.


යම් ඇන්ටනාවක්/ටවර් එකක් සිට ඈතට යන්නට යන්නට විකිරණ ප්‍රබලතාව අඩු වේ. (ඒ වගත් සැලකිල්ලට ගෙන හෝ) යම් ඇන්ටනාවකින් ඇති කරන විකිරණ අවදානම් තත්වය එම ප්‍රදේශයේ අලවන/පිහිටුවන ලේබලය/බෝඩ් එකේ වර්ණවලින් හා එහි ලියා තිබෙන පනිවුඩයෙන් දැක්විය. උදාහරණයක් ලෙස, අඩුම අවදානම/විකිරණ මට්ටමක් ඇති පෙදෙසක සවි කරන සංඛේතය නිල් පාටින් Notice යන අවදානම් වචනය සහිතවද, ඊට වඩා අවදානම/විකිරණ මට්ටම වැඩි ප්‍රදේශයක සංඛේතය කහ පාටින් Caution යන වචනය සහිතවද, වැඩිම අවදානම/විකිරණ මට්ටම සහිත පෙදෙසක සංඛේතය රතු පාටින් Warning යන වචනය සහිතවද එම පුවරු සවි කළ හැකිය.

No comments:

Post a Comment