Saturday, March 4, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 53

රේඩියෝ විකිරණ බලපෑම

ඕනෑම ආකාරයක ශක්තියක් (ජවයක්) මඟින් මිනිස් ජීවිතයට තර්ජනයක් ඇති කළ හැකිය. උදාහරණයක් ලෙස, කරකැවෙන ෆෑන් එකක් තුලට ඔබේ ඇඟිල්ලක් ඇතුලු කළොත්, ඇඟිල්ල කැපී යාවී; එය චාලක ශක්තියෙන් අපට සිදු වූ හානියකි. ගින්නකට ලක් වූ විට හෝ රත් වූ යමක් ස්පර්ශ වූ විට ශරීරාවයව පිලිස්සී යයි; තාප ශක්තියෙන් සිදු වූ හානියකි මෙය. මේ ආදි ලෙස කුඩා ළමයෙකුට වුවත්, විවිධාකාර ශක්තිවලින් මිනිසාට සිදු කරන හානි අතිවිශාල ගණනක් දැක්විය හැකිය.

න්‍යෂ්ටික ශක්තියෙන් (ඇල්ෆා, බීටා, ගැමා ආදි විකිරණවලින්) ඇතිවිය හැකි හානි ගැනද එසේමය. මේවා විකිරණ අනතුරු ලෙස හඳුන්වමු. විදුලි ශක්තියෙන්ද එවැනිම හානි ඇති වේ. විදුලියෙන් ඇති විය හැකි හානි දෙයාකාරයකින් සිදු වේ. එකක් විදුලි ධාරාවේ බලපෑමෙන් ඇතිවන හානිය (පටක හරහා ධාරාවක් ගලන විට, එම පටකවල ප්‍රතිරෝධය වැඩි නිසා, රත් වී පටක පිලිස්සී යෑම) වන අතර, අනෙක විදුලි වෝල්ටියතාවේ බලපෑමෙන් ඇතිවන හානිය (චාලක පේශින් සක්‍රිය වීම නිසා මොලයේ බලපෑමෙන් තොරව එම පේශින් චලනය වීම; විශේෂයෙන් හදවතේ පේශින්ට අතිශය දරුණු තත්වයකි) වේ.

මේ ආදි ලෙස විවිධාකාරයෙන් ඇතිවිය හැකි හානි ගැන මඳක් විමසා බලන්න. ඉහත ආකාරවල හානි ගැන යම් තරමක හෝ හොඳ අවබෝධයක් බොහෝ දෙනාට තිබේ. එලෙසම, ආලෝක ශක්තියට හැකිද ඔබට හානියක් සිදු කරන්නට? රේඩියෝ තරංග/විකිරණවලට හැකිද හානියක් සිදු කරන්නට? බොහෝ අයට මේ ගැන නම් නිසි අවබෝධයක් නැත. ඇත්තටම සෑම ශක්තියකින්ම (ඒවා නිසි ලෙස පරිහරණය නොකළොත්) මිනිසාට හානියක් ගෙන දිය හැකිය. සමහර හානි කුඩා වන අතර, සමහර හානි ජීවිතය පවා අහිමි කළ හැකියි.

ඔබේ ඇසට ඉතා තියුණු ආලෝකයක් යොමු කළොත්, තාවකාලිකව හෝ ස්ථිරවම ඔබේ පෙනීම නැති විය හැකිය. ආලෝකයෙන් හානි කළ හැකි බව ඉන් පෙනේ. මෙහිදී පැහැදිලි වෙන කරුණක් නම්, සෑම ශක්තියකින්ම එකාකාරයේ හානියක්/බලපෑමක් සිදු නොවන බවයි. ආලෝකයට හානි කළ හැක්කේ ඇසට පමණි. එහෙත් තාපයට මුලු ශරීරයටම හානි කළ හැකියි.

රේඩියෝ තරංගවලින්ද මිනිසාට අවදානමක් ඇත.

අප දැන් සලකා බලන්නට යන්නේ ඒ ගැනයි. පළමුව ඔබ හොඳින්ම සිතට ගත යුත්තේ ඉහත සඳහන් කළ විවිධ ශක්ති වර්ග නිසා ඇති වූ අනතුරු වගේම රේඩියෝ තරංග ශක්තියෙන්ද අනතුරු තිබේය යන්නයි. එහෙත් ඉතාම කනගාටුදායක තත්වය වන්නේ අතිශය බහුතර පිරිසකට මේ ගැන කිසිදු හැඟීමක් හෝ බරපතල කමක් නැත. විදුලිබලය ගැන ඔවුන්ට විශාල බයක් ඇත; ගින්දර/තාපය ගැන ඇත (ඒකනෙ පරිස්සමින් උනුවතුර කේතලය හසුරුවන්නෙත්); කරකැවෙන ෆෑන් එකක් තුලට ඇඟිල්ල දැමීම ගැන සිතන විටත් බියක් ඇති වේ. එහෙත් රේඩියෝ තරංගවලට කිසිදු බියක් නැත. ඊට මූලික හේතු දෙකක් මා දකිනවා. පළමුව ඒ ගැන විමසමු.

මිනිස් ශරීරය රේඩියෝ තරංගවලට සංවේදි නොවීම පළමු හේතුවයි.

ගින්දර/තාපය ගැන සිතුවොත්, ශරීරයේ යම් අවයවයක් රත් වන විට, එය ස්නායු පද්ධතියට සංවේදනය වී, ඊට සුදුසු ප්‍රතිචාරයක් දක්වනවා. එලෙසම, ශරීරයේ යම් තෙරපීමක් ඇතිවන විටත් වේදනාවක් ලෙස ස්නායු පද්ධතියට සංවේදනය වී ඊට සුදුසු ප්‍රතිචාරයක් දක්වනවා. ත්‍රීව්‍ර ආලෝකයක් ඇසට එල්ල වන විටත් එසේමයි. විදුලිය වැදුන විටත් එසේමයි. මේ ආදි ලෙස මොලය කේන්ද්‍ර කරගත් ස්නායු පද්ධතිය (nervous system) එවැනි ශක්තින්ට සංවේදි වී සුදුසු ප්‍රතිචාර දක්වනවා. හැමවිටම සුදුසු ප්‍රතිචාරය වන්නේ අපහසුවක්/වේදනාවක් දැනෙන අනතුරින් ඉවත් වීමයි. වේදනාව වැඩි නම් ක්ෂණිකව එම ප්‍රතිචාරය දක්වනවා (උදාහරණයක් ලෙස, තියුණු කට්ටක් අතේ ඇනෙන විට ක්ෂණයෙන් අත ඉවතට ගන්නවානෙ).

එහෙත් අවාසනාවකට මෙන්ම විද්‍යාත්මක හේතුවක් නිසා රේඩියෝ තරංග ශක්තියට මිනිසා කිසිදු සංවේදිතාවක් දක්වන්නේ නැත. එනිසා හානිදායක මට්ටමින් එය තිබුණත් අපට ඒ ගැන කිසිදු දැනීමක් ඇති නොවේ. අවාසනාව එයයි. එහි විද්‍යාත්මක හේතුව වන්නේ මිනිසාගේ පරිණාමයේදී රේඩියෝ තරංගවලින් අභියෝගයක්/බලපෑමක් ලබා නොතිබීමයි. ඕනෑම සාර්ථක ජීවියෙකු අවුරුදු දසදහස් ගණන් කාලයක් පුරාවට යම් අභියෝගයකට මුහුණ දෙන විට ඊට සාර්ථකව මුහුන දීමට හැකියාව ලබා ගන්නවා. එහිදී, එම අභියෝගයට සංවේදිතාවක් ඇති කර ගන්නවා පමණක් නොවේ, එම අභියෝගයේ/අවදානමේ ප්‍රමාණයට සාපේක්ෂව සංවේදිතාව/වේදනාවද විචලනය වෙනවා (උදාහරණයක් ලෙස, තාපයට සංවේදි වෙනවා පමණක් නොවේ, රස්නය කොතරම්ද කියාත් දැනෙනවා).

රේඩියෝ තරංග ඇතිවිය හැකි ආකාර දෙකයිනෙ තිබෙන්නේ. එකක් නම් මිනිසා විසින් කෘත්‍රිමව සාදන රේඩියෝ තරංගයි; අනෙක ස්වාභාවිකව ජනනය වන රේඩියෝ තරංගයි. කෘත්‍රිමව අප රේඩියෝ තරංග සෑදීමට පටන්ගෙන තවම වසර 100ක් පමණ සුලු කාලයයි ගොස් තිබෙන්නේ (එනිසා පරිනාමීය ලක්ෂණ මිනිසා තුල ඇති වන්නට එම කාලය කිසිසේත් ප්‍රමාණවත් නැහැ). පෘථිවිය මත ස්වාභාවිකව රේඩියෝ තරංග පැවතියත් ඒ ඉතාම සුලු වශයෙනි (ජීවින්ට අභියෝගයක් නොවන මට්ටමින්). විදුලි කොටන විට වැනි අවස්ථාවක ඒවා ජනනය වේ. ඊට අමතරව අපේ ළඟම ඇති තරුව වන සූර්යාගෙන්ද යම් ප්‍රමාණයක් පැමිණේ. විශ්වයේ ඈත ස්ථානවලින්ද දුර්වල මට්ටමින් රේඩියෝ තරංග එයි. එනිසා පෘථිවි ජීවින්ට අතීතයේ සිටම රේඩියෝ ශක්තින් ජීවිතයට තර්ජනයක් නොවන මට්ටමින් පැවති නිසා, මිනිසා ඊට සංවේදිතාවක් ඇති කරගෙන නැත.

එහෙත් දැන් මිනිසා විසින් කෘත්‍රිමව සාදන රේඩියෝ තරංග කොතරම් ප්‍රබලද කියතොත් එය මිනිසාට (මෙන්ම අනෙක් ජීවින්ටද) හානිදායක මට්ටමින් ඇත. අනෙක් සතුන්ටද අනිවාර්යෙන්ම හානියක් සිදු වෙතත්, ඒ ගැන පර්යේෂන හෝ ඉන් සතුන්ට ආරක්ෂාව සලසන ක්‍රමවේද හා ප්‍රමිතින් ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. මිනිසාගේ ඊනියා “මිනිසත්කම” ගැන හොඳින් පෙනෙන අවස්ථාවක් ලෙස මා එය දකිනවා. සංවේදිතාවක් නොමැති කමින් මිනිසා ඉන් ඉබේම බේරී සිටීමට ප්‍රතිචාරද නොදක්වන (රස්නයක් දැනුනහම වහම ඉවත් වන්නා සේ) නිසා ගැටලුව උග්‍ර විය හැකිය.

මිනිසා රේඩියෝ තරංගවලින් ඇතිවිය හැකි අනතුරු ගැන හැඟීමක් නැතිව සිටීමට ඇති අනෙක් ප්‍රබල හේතුව නම්, ඔවුන්ගේ නොදැනුවත්කමයි.

ඉහත සඳහන් කළ පළමු හේතුව අපට නිවැරදි කළ හැක්කක් නොවෙයිනෙ. එහෙත් අපට හොඳින්ම කළමණාකරණය කළ හැකියි මෙම දෙවැනි හේතුව. එනිසා ඉතාම වැදගත් සාධකය වන්නේ මේ ගැන සැවොම දැනුවත් කිරීමයි. මෙම පාඩමේ අරමුණත් එයයි.

රේඩියෝ තරංග යනු විද්‍යුත් චුම්භක තරංගනෙ. රේඩියෝ තරංග, අධෝරක්ත, දෘෂ්‍යාලෝකය, පාරජම්බූල කිරණ, එක්ස් කිරණ, ගැමා කිරණ ලෙස එහි ප්‍රභෙද ගණනාවක් (විද්‍යුත්චුම්භක වර්ණාවලිය) තිබෙන බව මීට පෙර අප ඉගෙන ගත්තා. ඉතිං, විද්‍යුත්චුම්භක තරංග යනු ශක්තියකි. එම ශක්තිය E = hf යන සරල සූත්‍රයෙන් සෙවියද හැකිය (මෙහි E යනු ශක්තිය ජූල්වලින්, f යනු සංඛ්‍යාතය හර්ට්ස්වලින්, h යනු 6.625x10-34 යන නියත පදයයි). මේ සියලු විද්‍යුත්චුම්භක තරංග ප්‍රභේදයකින්ම මිනිසාට හානි ගෙන ආ හැකියි (ශක්තියක් නිසා). හානි ආකාර දෙකකින් සිදුවිය හැකිය.


විද්‍යුත්චුම්භක වර්ණාවලියේ සියලු ප්‍රභෙද විකිරණ (radiation) ලෙසයි හැඳින්වෙන්නේ. ඒ අනුව රේඩියෝ තරංගද විකිරණ වේ (රේඩියෝ යන නම සෑදී තිබෙන්නේද රේඩියේෂන් යන වචනයෙනි); ආලොකයද විකිරණ වේ; ගැමා කිරණද විකිරණ වේ; ඒ ආදි ලෙස එහි සෑම ප්‍රභේදයක්ම විකිරණ වේ.

මින් සමහර විකිරණවලට අයණීකරණය කිරීමේ (ionization) හැකියාව ඇත (අයනීකරණය ගැන මීට පෙර අප සලකා බැලුවා). විද්‍යුත්චුම්භක වර්ණාවලියේ මෙම අයනීකරණ හැකියාව ඇති විකිරණ ionizing radiation ලෙස හැඳින්වෙනවා.

කෙටියෙන් කියතොත්, අයණීකරණය යනු පරමාණුවකින්/අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කිරීමයි. දළ වශයෙන් අයණීකරණය සඳහා අවශ්‍ය අවම ශක්තිය ඉලෙක්ට්‍රොන්-වෝල්ට් (eV) යන ඒකකයෙන් 10eV වේ; ජූල්වලින් 1.6x10-18J වේ (1eV = 1.6x10-19J). නිවැරදිම අගය ගතහොත් අවම පළමු අයණීකරණ ශක්තිය තිබෙන්නේ සීසියම් (Cesium – Cs) නම් මූලද්‍රවයට වන අතර, එය 375.5kJmol-1 හෙවත් එක් පරමාණුවකට 3.9eV වේ.

ඒ අනුව, E=hf යන සූත්‍රයට 1.6x10-18J යන අගය ආදේශ කර සුලු කළ විට ලැබෙන සංඛ්‍යාතය තමයි එම අයණීකරණය සිදු කිරීමට හැකියාව තිබෙන අවම සංඛ්‍යාතය. එම අගය 1.6x10-18 = f x 6.625x10-36 → f = (1.6x10-18)/(6.625x10-34 ) = 2,415,094,330,000,000Hz හෙවත් පෙටාහර්ට්ස් 2.42කි. මෙම සංඛ්‍යාතය පවතින්නේ පාරජම්බූල පරාසයේය. ඒ කියන්නේ අයණීකරණ හැකියාව ලැබෙන්නේ පාරජම්බූල පරාසයේ මැද සිට ඉහලට ඇති විකිරණවලට පමණි (ඉහල සංඛ්‍යාත පාරජම්බූල කිරණ, එක්ස් කිරණ, ගැමා කිරණ).

මෙවිට පාරජම්බූල පරාසයේ යම් කොටසක්ද (අඩු සංඛ්‍යාත කොටස), දෘෂ්‍යාලෝක පරාසය, අධෝරක්ත පරාසය, ක්ෂුද්‍ර තරංග (මයික්‍රොවේව්), රේඩියෝ තරංග යන පරාසයන් සියල්ලටම අයණීකරණ හැකියාව නැත. එනිසා එම විකිරණ non-ionizing radiation කියා හඳුන්වනවා.

මීට පෙර සඳහන් කළා විද්‍යුත්චුම්භක විකිරණවලින් ඇතිවිය හැකි අනතුරු වර්ග මූලිකව දෙකක් බව. ඉන් එකක් වන්නේ ionizing radiation වලින් ඇතිවිය හැකි අනතුරුය. අනෙක non-ionizing radiation වලින් සිදුවිය හැකි අනතුරුය.

අයණීකරණ විකිරණ සෞඛ්‍යට ඉතා දැඩි තර්ජනයකි. න්‍යෂ්ටික විකිරණ මෙන්ම ඒවා දරුණුය (මෙවිටද සිදුවන්නේ අයණීකරණයයි). ඊට හේතුව, මෙවැනි අයණිකරණ හැකියාව තිබෙන විකිරණ ජීවියෙකුගේ ශරීරයට (සෛලවලට) එල්ල වූ විට, එම සෛල සෑදී තිබෙන්නේද නොයෙක් වර්ගයේ පරමාණු/අණුවලින් නිසා, එම පරමාණු/අණුවල ඉලෙක්ට්‍රෝන ඉවත් වී යනවා (අයනීකරණය සිදු වෙනවා). එවිට සෛල විකෘති වෙනවා. විශේෂයෙන් සෛල ඇතුලේ තිබෙන DNA යන අණුව විකෘති වීම භයානකය. පිලිකා ඇතිවිය හැකියි (මේ ගැන මුල් පාඩමකින්ද අප කතා කර තිබෙනවා).

සාමාන්‍ය රේඩියෝ තරංගවලට අයණීකරණ හැකියාව නැති නිසා, එවැනි අති විනාශකාරි ගැටලුවක් නම් ජීවින්ට ඇති වන්නේ නැත. එසේ වුවත්, රේඩියෝ තරංගවලින් (රේඩියෝ තරංගය ප්‍රබල විට), වෙනත් ආකාරයේ සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බව පර්යේෂණාත්මකව සොයා ගෙන තිබෙනවා. පර්යේෂණාත්මකව තවමත් සනාථ කර නැති වුවත්, පිලිකා සෑදීමට පවා හැකියාවක් තිබෙන බව සමහර විද්වත් මතයයි.

රේඩියෝ සංඛ්‍යාත භාවිතා කරන කර්මාන්තය ලෝකයේ දැවැන්ත ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා එකකි. එනිසා එකවර රේඩියෝ තරංගවල තිබෙන භයානකකම/විනාශකාරිබව (එවැනි ලක්ෂණයක් ඇත්තටම තිබේ නම්) හෙලි වීමට ඉඩකඩ ඇහිරේවි මුදල්වල බලයෙන්. මෙවැනි තත්වයන් අප අදටත් කොතෙකුත් දැක තිබේද (සිගරට් මාෆියාව, ඖෂධ මාෆියාව යන නම් නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ එනිසානෙ). මේ නිසාම, තනි තනි පුද්ගලයන් පමණක් නොව, ඇත්තටම තම රටවැසියාගේ යහපත ගැන සිතන සමහර දියුණු රටවල්ද (ස්විට්සර්ලන්තය වැනි) රේඩියෝ තරංග භාවිතාවට දැඩි ප්‍රමිතින් හඳුන්වා දී තිබෙනවා (විද්‍යා පර්යේෂනවලින් මොනා කිව්වත්, එම රටවල ප්‍රමිතින් පනවා තිබෙන්නේ “රේඩියෝ තරංග විනාශකාරි වේ” යන පදනමින්ය).

ඊටත් අමතරව, රුසියාව වැනි රටවල කර ඇති අධ්‍යනවලින් බටහිර රටවල අධ්‍යනවලට වඩා භයානක කමක් රේඩියෝ තරංගවල හඳුනාගෙන තිබෙනවා. එනිසා, රුසියාව වැනි රටවල් තුලද බටහිර රටවලට වඩා රේඩියෝ තරංගවලින් ආරක්ෂාවීම සම්බන්දයෙන් ප්‍රමිතින් උසස්ය. මේ සම්බන්දයෙන් බටහිර රටවල් තමන්ගේ ස්ථාවරය දිගටම සිටිමින් කියන්නේ රුසියානු පර්යේෂණ නිසි ලෙස විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කර නැති බවය. ලංකාව සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ බටහිර (විශේෂයෙන් ඇමරිකානු) ප්‍රමිතින් වේ.

රේඩියෝ තරංගවලින් මිනිසාට (ජීවින්ට) ඇතිවන තහවුරු කරගත් අන්තරාදායක තත්වයක් වන්නේ රේඩියෝ විකිරණයට නිරාවරණය වන ජීවී කොටස් (පටක – tissue) රත්වීමයි.

විකිරණය නිසා පමණක් නොව සාමාන්‍ය තාපය සමට/පටකවලට වැදීමෙන්ද එම කොටස් රත් වෙනවානෙ. එවිට, ශරීරය ඉබේම සිසිල් වෙනවා ශරීරයේ සාමාන්‍යයෙන් තිබිය යුතු උෂ්නත්වය දක්වා. එය සිදු වෙන්නේ රුධිරය මඟිනි (පෝෂ්‍ය පදාර්ථ, ඔක්සිජන්, හා වෙනත් රසායනික ශරීරය පුරාම තිබෙන සෛල බිලියන ගණනක් වෙත ගෙනයෑමත්, සෛල තුල සෑදෙන අපද්‍රව්‍ය ඉවත් කර දැමීමත් යන මූලික කාරණා දෙක හැරුණහම රුධිරය මඟින් සිදු කරන තවත් වැදගත් කෘත්‍යයක් වන්නේ මුලු ශරීරයේම උෂ්නත්වය නියතව පවත්වාගෙන යෑමයි. එය හරියට වාහනයක රේඩියේටර් පද්ධතිය වගේ). එහෙත් ශරීරය සිසිල් වන වේගයට වඩා රත්වීම වේගවත්ව සිදු වුවොත්, එවිට අනිවාර්යෙන්ම හානියක් සිදුවිය හැකියි. ශරීරයේ උන වැඩි වන විට, වහම එය අඩු කිරීමට බෙහෙත් ලබා දෙන්නෙත් එනිසාය.

තාපය (උෂ්නත්වයේ වැඩි වීම) අපේ ශරීරයට (ස්නායු පද්ධතියට) දැනෙනවා. එවිට අවශ්‍ය නම්, විකිරණයෙන් ඈත්වීමට හැකියි (එනම් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම්, කෝල් එක ඉක්මනින් අවසන් කළ හැකියි). එහෙත් අපේ ඇස හා එවැනි තවත් ශරීර අංගවලට උෂ්නත්වය එතරම් සංවේදනය නොවේ. එවැනි ශරීරාංගවලට වැඩුපුර අවදානමක් ඇත.

මේ හානිය ප්‍රෝටීන්වලට තදින් බලපායි. ප්‍රෝටීන් විකෘතිවීම (protein denature) ලෙස එය හැඳින්වේ. ප්‍රෝටීන් යනු සත්ව ශරීරයක ඉතාම අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය විශේෂයකි. විවිධාකාරයේ ප්‍රෝටීන් වර්ග ශරීරයේ නිපදවේ. හෝර්මෝන්, එන්සයිම්, නියුරොට්‍රාන්ස්මිටර් ආදී ලෙස විවිධ කාණ්ඩ යටතේ විවිධාකාරයේ සිය ගණන් ප්‍රෝටීන් පවතී. තවද, ප්‍රෝටීනයක් ඉතාම දිගු අණුවක් (polypeptide ලෙස හැඳින්වේ) වන අතර, එය සුවිශේෂි ආකාරයකට ත්‍රිමානව ගුලියක් සේ සකස් වී (convoluted) තිබේ. එක් එක් ප්‍රෝටීනයටම අනන්‍ය/සුවිශේෂි වූ ත්‍රිමාන සැකැස්මක් ඇත (මෙම ත්‍රිමාන සැකැස්ම නිසයි පොලිපෙප්ටයිඩය ප්‍රෝටීනයක් බවට පත් වන්නෙ). වැදගත්කම කාරණය වන්නේ, යම් ප්‍රෝටීනයක මෙම ත්‍රිමාන සැකැස්ම වෙනස් වූ විටත් අදාල ප්‍රෝටීනයේ ක්‍රියාකාරිත්වය ඇනහිටීමයි.

තාපයට ප්‍රෝටීන් විකෘති කළ හැකි බව ඔබත් නිතරම අත්දැක තිබෙනවා - ඒ බිත්තර තම්බන විටයි. අමු බිත්තරයක් දියර ස්වභාවයේනෙ තිබෙන්නේ. එහෙත් එය උනු වතුරේ දමා රත් කරන විට ඝන වෙනවා. ඊට හේතුව බිත්තරයේ තිබූ ප්‍රෝටීන් විකෘති වීමයි. ඒ අනුව, රේඩියෝ තරංගවලට ප්‍රෝටීන්වල ත්‍රිමාන සැකස්ම වෙනස් කිරීම හෝ ප්‍රෝටීන් අණුව සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට හැකිය (protein denaturing). එය කිසිසේත්ම ජීවින්ට හොඳ දෙයක් නොවේ.

සෙල්‍යුලර් දුරකතකන භාවිතා කිරීමේදී වැදගත් කරුණු

වැඩිදුරටත් විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමට පෙර සෙල්‍යුලර්/ජංගම දුරකතන භාවිතාවේදී සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් බලමු. ඊට හේතුව අද හැමෝම සෙල් ෆෝන් භාවිතා කරන නිසා විකිරණයට බඳුන්වීම නිරන්තරයෙන්ම සිදු වන නිසා ඒ ගැන අවධානය දිය යුතුය. වඳුරාට දැලි පිහිය ලැබුණා සේ, “නූගතුන් සේ” බොහෝ දෙනා ජංගම දුරකතන භාවිතා කරනු පෙනෙනවා.

සමහරෙක් තර්ක කරනවා මා දැක තිබෙනවා “රේඩියෝ සංඥා අප අවට වායුගොලයේ හැම තැනම ගමන් කරන නිසා කොහොමත් අපව රේඩියෝ විකිරණයට හැමතිස්සේම භාජනය වෙමින් පවතින නිසා, අපේ ෆෝන් එකෙන් එන රේඩියෝ තරංග ටිකක් වැඩි වුණාට මොකද” කියා. මෙය සාවද්‍ය ප්‍රකාශයකි. ඇත්ත; 24 පැය පුරාම අපව විවිධාකාරයේ සංඛ්‍යාතවලින් යුතු රේඩියෝ තරංගවල ගිලී සිටිනවා. එහෙත් සාමාන්‍යයෙන් ඔබ සිටින තැන්වල එම සංඥාවල ත්‍රීව්‍රතාව ප්‍රබල නැත. එම සංඥා ඈතින් පිහිටා තිබෙන කුලුනු වලින් එන නිසා, විකිරණය “දියාරු” (දුබල) වෙලා පවතින්නේ. එහෙත් අපේ ජංගම දුරකතනයෙන් කතා කරන විට, ඔබේ මුහුන අසලම තිබෙන්නේ ට්‍රාන්ස්මීටරයකි. ඉන් ප්‍රබල රේඩියෝ සංඥා නිකුත් වේ. දුරකතනයේ සිග්නල් මට්ටම අඩුයි නම් (ඒ කියන්නේ කුලුන ඈතින් තිබේ), එවිට ෆෝන් එකෙන් පිටවන රේඩියෝ තරංගවල වොට් ගණන තවත් වැඩි වේ.

1. හැමවිට අවශ්‍යතාවට පමණක් ජංගම දුරකතනයෙන් කතා කරන්නට උත්සහ දැරිය යුතුය. ඉන් කාලයත්, මුදලත් ඉතිරිවෙනවා පමණක් නොව, තම ශරීරය (විශේෂයෙන් මුහුන) විකිරණවලට ලක් වීමද ඉන් අඩු වෙනවා.

අද ෆෝන් භාවිතා කරන්නේ අවශ්‍යතාවට නොවේ. ඇබ්බැහියක් ලෙසයි. බසයක හෝ කෝච්චියක වාඩි වී යන අය දෙස බලන විට හැම එකාම ෆේස්බුක් එකේ ඕපදූප බලමින් ගමන් කරනවා. බොහෝ අය හිපි සංස්කෘතියක කොටස්කරුවන් වී තිබේ. ඔපදූප කියවන කාලය තුල, එම උපකරණයෙන්ම ඩවුන්ලෝඩ් කරගත් ඊබුක් එකක් කියවනවා නම් විකිරණයෙන් තමන්වත් ළඟපහත ඉන්න අයවත් බේරෙනවා පමණක් නොව, ජීවිතයටද ඉන් ආලෝකයක් ලැබේ.

2. අද පවතින ස්මාර්ට් දුරකතන ඇත්තටම කුඩා පරිගනකයි. එනිසා නොයෙක් ජාතියේ ප්‍රෝග්‍රෑම්/ඇප් ඒ මත රන් වේ. තවද, ඒ සෑම ඇප් එකක්ම පාහේ අන්තර්ජාලයට වරින් වර සම්බන්ද වේ. ඒ කියන්නේ ඔබ එක දුරකතන ඇමතුමක්වත් දවසටම නොගත්තත් අර ඇප් නිරන්තරයෙන්ම අන්තර්ජාලය සමග දත්ත හුවමාරු කර ගනී. ඒ කියන්නේ ඔබේ දුරකතනය නිරන්තරයෙන්ම රේඩියෝ සංඥා පිට කරයි. මේ ගැන සිතා බලන්න.

එක් අතකින් එය ෆෝන් එකේ බැටරිය ඉක්මනින්ම ඩිස්චාජ් කරනවා; අන්තර්ජාල ඩේටාවලට මුදල් කැපෙනවා. ඒ දෙකම ඔබට එතරම් ගැටලුවක් ලෙස පෙනුනේ නැතත්, සෞඛ්‍යට අහිතකර ප්‍රබල රේඩියෝ තරංග නිතරම යවන එක ගැන නොසලකා සිටිය හැකිද?

මෙනිසා, අද පවතින සමාජ වටපිටාව අනුව ඔබට සම්පූර්ණයෙන්ම ඇප් ඉවත් කර දැමීමට බැරි නම්, අඩුම ගානේ තමන්ට අත්‍යවශ්‍ය ඇප් පමණක් තබා ගෙන අනෙක් ඇප් ඉවත් කරන්න; ඒවා ක්‍රියාවිරහිතව තබන්න (disable).

3. ඩුවල් සිම් ෆෝන් හැකි පමණ අඩුවෙන් භාවිතා කරන්න; නැතිනම්, එක් සිම් එකක් පමණක් වරකට භාවිතා කර අනෙක ක්‍රියාවිරහිතව තබන්න. අවශ්‍ය වෙලාවට පමණක් එය ක්‍රියාත්මක කරන්න (enable). එමඟින් ෆෝන් එක නිතර නිතර චාජ් කිරීමත් අඩු වේවි; මුදලුත් ඉතිරි වේවි; ආරක්ෂාවත් වැඩි වේවි.

4. කිසිම විටක අත දරුවන් හා කුඩා දරුවන්ව සැනසීමට හෝ ඔවුන්ට සෙල්ලම් කර කර සිටීමට සෙල් ෆෝන් නොදෙන්න. ඉගෙන ගන්නා ළමුන්ව අක්‍රිය (වීඩියෝ ගේම්වලට එල්ලී සිටින), හා අධ්‍යාපනයට කාලය යොමු නොකරන පිරිසක් බවට පත් වීමේ තවත් අනිටු ප්‍රතිපලයකින් වැලකේවි.

5. ක්‍රියාකාරි ෆෝන් එකක කලිසමේ හෝ ෂර්ට් එකේ සාක්කුවක දාගෙන යන විට, ඩිස්ප්ලේ එක තිබෙන පැත්ත ශරීරය තිබෙන පැත්තට හරවා දමාගන්න. ඉන් පිටතින් ඇතිවන තෙරපීම් නිසා ඩිස්ප්ලේ එකට යම් හානියක් සිදුවීම අවම වන අතර, විකිරණවලින් යම් ආරක්ෂාවක්ද ලැබේ.

සාමාන්‍යයෙන් සෙල් ෆෝන් එකකින් රේඩියෝ තරංග විසිරෙන්නේ ෆෝන් එකේ බැටරිය තිබෙන පැත්තෙන්ය (එනම්, ෆෝන් එකේ ඩිස්ප්ලේ එක තිබෙන පැත්තට විරුද්ධ පැත්තෙන්). එම පැත්ත ඇඟ තිබෙන පැත්තට හරහා තිබ්බොත් විකිරණ කෙලින්ම ඇතුලු වන්නේ සමටයි.

6. ෆෝන් එකක් නිවසේ කාමරයක තබන විටත්, ඔබේ හිසේ මට්ටමට වඩා උස් මට්ටමක ඩිස්ප්ලේ එක යටට සිටින සේ තබන්න. මෙවිට ඉන් නිකුත් වන රේඩියෝ තරංග වහල පැත්තට ගමන් කරාවි ඔබේ හිසට උඩින්.

7. කිසිවිටක ෆෝන් එකත් එක්ක නිදා නොගන්න. එනම්, ෆෝන් එක කොට්ටය ළඟ හෝ ඇඳ අසල නොතබන්න. පෙර කියූ ලෙසම ඇඳට වඩා ඉහල මට්ටමක (පුලුවන් තරම් උඩින්) ඩිස්ප්ලේ එක යටට සිටින සේ එය තබන්න.

සමහරු එය ඇඳේම තබා ගන්නේ රෑ ජාමෙටත් කෝල් හා අන්තර්ජාල පනිවුඩ (ෆේස්බුක් මැසේජ් වැනි) වලට ප්‍රතිචාර දැක්වීමටයි. එහෙත් එය රේඩියෝ තරංගවලට ඔබේ වැදගත්ම ශරීර අංගය වන හිස පැය ගණනාවක් නිරාවරණය කරනවා. අනෙක් පසින්, නිතරම එන ඇලර්ට්වලට නින්ද කැඩීමෙන් සුවබර නින්දක්ද නොලැබී යනවා (හොඳ නින්දක වටිනාකම ගැන දැන් ඉතා හොඳ විද්‍යාත්මක දත්ත තිබෙනවා; කැමති නම් ඒ ගැනත් සොයා බලන්න). හොඳම ක්‍රමය නම්, ෆෝන් එක සයිලන්ස් කර උස් තැනකින් තබා නිදියෑමයි.

8. හැකිනම් ෆෝන් එක කෙලින්ම කන ළඟින් තබා කතා කරන්නේ නැතිව handsfree set එකක් භාවිතා කරන්න. එය වයර් සහිත එකක් නම් තවත් හොඳය; ලාභදායකය; කොලිටිය වැඩිය; රේඩියෝ විකිරණයෙන් වැඩිපුර ආරක්ෂා වේ; ගැස්සීමකදී හෑන්ඩ්ස්ෆ්‍රී එක බිම වැටෙන්නේ නැතිව වයර් එකෙන් එල්ලී තිබීමෙන් එයටත් වැඩි ආරක්ෂාවක් ලැබේ. bluetooth handsfree එකක ඉහත බොහෝ ලක්ෂණ නැත.

9. සමහර ෆෝන්වල ශබ්දය අඩුවෙන් ඇසෙන නිසා (ස්පීකරය දුර්වලවීම නිසා), සමහරුන් speakerphone එක සක්‍රිය කරගෙන (එවිට එහි ශබ්දය බොහෝ වැඩි නිසා, තරමක් අඩු කරගෙන) සාමාන්‍යයෙන් කනට තියන පැත්ත වෙනුවට අනෙක් පැත්ත කනට තබා ගෙන කතා කරනවා. මෙම නිසා, වැඩිපුර විකිරණ පිටවන පැත්ත ශරීරය දෙසට යොමුව පවතින නිසා, කෙලින්ම හිස විකිරණයට ලක් වේ. මෙවැනි ෆෝන් එකක් හොඳින් ශබ්ද ඇසෙන සේ ෆෝන් රෙපෙයාර් කරන තැනකින් සාදා ගන්න.

ෆෝන් එකෙන් ඇසෙන ශබ්දය මඳ වූ විට, තවත් අප්‍රසන්න තත්වයක් ඇති වේ. එනම්, ඔබ කතා කරන ශබ්දයද වැඩි වේ (අහල පහල අයත් බලන මට්ටමට); එය ඔබටද නොදැනී ඉබේ වෙන දෙයකි. එනිසා, තමන්ගේ කන ඇසීමේ තත්වයට සරිලන හොඳ ශබ්දයක් ඇසෙන සේ ෆෝන් එකේ සාමාන්‍ය ශබ්දය තිබීම වැදගත් වේ.

10. සංඥා හොඳින් තිබෙන තැනකට ගොස් කතා කරන්න. සංඥා දුර්වල විට, ෆෝන් එකෙන් ඉබේම වැඩිපුර ජවයකින් ට්‍රාන්ස්මිට් කරනවා (ඒ කියන්නේ මුහුන අසල වැඩි රේඩියෝ විකිරණ ප්‍රමාණයක් පවතිනවා). වැඩිකාලයක් දුර්වල සංඥා තිබෙන විට, ෆෝන් එකේ බැටරියත් වේගයෙන් ඩිස්චාජ් වෙනවා. සමහරවිට සංඥා දුර්වල වන්නේ ඇත්තටම ටවර් එකේ දුර වැඩි නිසාම නොවේ. වෙනත් බාධා නිසාද එය සිදු විය හැකියි. එනිසා, තමන් සිටින තැන සිට එක එක පැතිවලට අඩි කිහිපයක් ගමන් කළ විට ප්‍රබල සංඥා ලැබීමට හැකියි.

ඉහත හේතුත්, ඔබට සිතෙන තවත් වැදගත් හේතුත් නිසා, රේඩියෝ විකිරණයෙන් සිදුවන හානි අවම කර ගැනීමට උත්සහ කරන්න.

කෙනෙකු සිතාවි විශාල ගැටලු ඇති නොවන නිසානෙ ෆෝන් භාවිතා කිරීමට රටවල් අවසර දී තිබෙන්නේ කියා; අහවල් අහවල් පර්යේෂණවලින් ෆෝන්වලින් ගැටලු ඇති නොවේ යනුවෙන් ඔප්පු වී තිබෙනවානෙ කියා. යම් කාලයකට පෙර සිගරට් යනු මනස ප්‍රබෝධමත් කරන ක්‍රමයක් ලෙසයි සැලකුවේ. කවුරුත් මෝස්තරයට මෙන් ඊට යොමු විය; ඉන්පසු ඇබ්බැහි විය. එහෙත් එය ඉතාම අන්තරාදායක භාවිතාවක් බව දැන් හොඳටම ඔප්පු වී තිබෙනවා (විශාල බාධා මැද වුවත්). එවැනි තත්වයක් මෙහිදිත් තිබිය හැකිය.

අද පිලිකා, ADHD (Attention Deficiency Hyperactivity Disorder), dimentia (අමතක වන රෝග) ආදී බෝ නොවන රෝගවල (Non-communicable Diseases – NCD) ප්‍රතිශතාත්මක වැඩිවීමක් ලොව පුරාව පෙන්නුම් කෙරේ. පාරිසරික දූෂනය, ආහාර ආදී නොයෙක් හේතු ඊට බලපෑ හැකි යැයි සමහරෙකු තර්ක කරන අතර, ලොව හැමතැනම මීට පෙර ලෝකයේ නොතිබූ මට්ටමින් රේඩියෝ තරංග පැතිර තිබීමත් ඊට හේතුවක්ද නැද්ද යන්න වග තව දුරටත් සෙවිය යුතුය.

විශාල මුදල් ගැවසෙන තැන්වල සත්‍ය හැමවිටම මතු වන්නේ නැත. එහෙත් මා නැවත කියන්නේ අපේ ජීවන ශෛලයේ (life style) යම් යම් සුලු වෙනස්කම් ටිකක් සිදු කර, කැත/නරක පුරුදු ටිකක් වෙනස් කරගෙන, ආරක්ෂාව ගැන වැඩිපුර හිතුවාට හොඳක් මිස නරකක් සිදු නොවේය කියාය.

ජංගම දුරකතන සම්බන්දයෙන් අවසාන වශයෙන් තවත් සටහනක් කිරීමට කැමතිය (මෙය පාඩමට ඍජුව අදාල නොවුණත්). බොහෝ අය පුරුදුව තිබෙනවා යම් දුරකතනයක නවතම මාදිලිය (latest model) ඉතා අධික මිලකට මිලදී ගැනීමට. එය මෝඩකමකි. තමන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරිනුයි සෑම භාණ්ඩයක්ම මිලදී ගත යුත්තේ. ෆෝන් සමාගම්වල අයිතිකරුවන් වැඩිපුර මුදල් සෙවීමට සිදු කරන උප්පරවැට්ටිවලට අපේ අය පහසුවෙන්ම හසුවෙන බවක් පෙනේ. අද ලක්ෂයට මිලදී ගන්නා දුරකතනය තව මාස කිහිපයකින් 10,000 දක්වා මිල පහත වැටේ. එවිට ඔබ මාස කිහිපයකට පෙර වැඩිපුර ගෙවා තිබෙන 90,000 ඔබට ශුද්ධ පාඩුවකි; සමාගම්වලට ශුද්ධ ලාභයකි. ඒ ගැනත් සිතා බලන්න.

මෙහිදී ආධුනික ගුවන් ශිල්පින්ට අමතර වැදගත් වගකීමක් පැවරිය යුතුය. එනම්, රේඩියෝ විකිරණයෙන් ආරක්ෂා වන හැටි සාමාන්‍ය ජනයාට කියා දීමට ඔවුන් ඉදිරිපත් විය යුතුය. ඔවුන් සතුව රේඩියෝ තාක්ෂණය ගැන දැනුමක් ඇතැයි උපකල්පනය කෙරෙනවානෙ. තමන්ද ඒ ගැන ඉතා හොඳින් දැනුවත් වී, පළමුව තමන්ගේ පවුලේ අය, නෑදෑයන්, මිතුරන්, හා අසල්වාසින්ව දැනුවත් කළ හැකියි. අන්තර්ජාලය, පුවත්පත් ලිපි ආදිය යොදා ගෙන තවදුරටත් පොදු ජනයාව දැනුවත් කිරීම සිදු කළ හැකියි. වර්තමානය දැනුම් සමාජයක් නිසා, නිසි දැනුම තමන් සතු කර ගැනීමත්, එය හුවමාරු කර ගැනීමත් බුද්ධිමතුන්ගේ ලක්ෂණයයි.

2 comments:

  1. නොදන්නා දේවල් ගොඩාක් දැන ගත්තා..හොයපු දේවල් මම මේ කරුනු සම්බන්දව..මීට කලින් ලැබුනානම් කියල හිතෙනවා ..ඒතරම්ම වටිනවා..ගොඩක් පිං..බොහෝම ස්තුතී..දිගටම යමු..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙම දැනුම බොහොම වටිනවා (මං සිංහලෙන් ලිව්ව නිසා නොවේ, ඇත්තටම එම කරුණු අප දැන සිටිය යුතුම නිසා). හැකි තරම් මේ ගැන දැනුම ප්‍රචාරය කරන්න, සාකච්ඡා කරන්න, අලුත්ම පර්යේෂන දත්ත සොයා බලා අපවත් දැනුවත් කරන්න.

      මේ පිලිබදව විස්තර මා පෝස්ට් 3කින් ඉදිරිපත් කරනවා. දෙවැන්නත් මේ දැන් දැම්මා. :)

      Delete