Friday, March 3, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 52

රේඩියෝ සංඥා ක්ෂමතාව

ක්ෂමතාව හෙවත් ජවය (power) යනු ඒකක කාලයක් තුලදී (තත්පර එකකට) නිපදවන හෝ වැය කරන ශක්ති ප්‍රමාණය බවත්, එය තත්පරයට ජූල් (Joules per second – Js-1) හෙවත් වොට් (Watt – W) යන ඒකකයෙන් මනින බවත් අප දන්නවා. තවද, රසායනික, න්‍යෂටික, තාප, ආලෝක, විකිරණ, විදුලිය, චාලක, විභව ආදී විවිධාකාරයේ ශක්තින් (energy) ඇති බවත්, ඒ සියලු ශක්තින් වැයවන (හා නිපදවෙන) සීග්‍රතාව වොට් යන එකම ඒකකයෙන් මැනිය හැකි නිසා, ඉහත දැක්වූ එකිනෙකට වෙනස් ශක්ති ප්‍රභේදයන් එකිනෙකට සංසන්දනය කිරීමේ හැකියාවද තිබේ. දැන් අප වැඩිදුරටත් විමසා බලන්නට යන්නේ රේඩියෝ සංඥාවල ක්ෂමතාව ගැනයි.

භෞතික විද්‍යාවේදී ඉගැන්වෙන මූලික න්‍යායක් තමයි ශක්තිය නිපදවීමට හෝ විනාශ කිරීමට නොහැකි බව; ඉන් කියවෙන්නේ විශ්වය යම් මොහොතක හටගත්තාද, අන්න එම අවස්ථාවේ තිබූ ශක්තිය තමයි දිගටම සදාකල්හිම පවතින්නේ. මෙය ශක්ති සංස්තිථික මූලධර්මය (conservation of energy) ලෙස හැඳින්වෙනවා. එසේ වුවත්, නිරන්තරයෙන්ම එක් ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයක් බවට පත් වෙමින් තිබෙනවා (energy conversion) ස්වාභාවිකව හා මිනිසා විසින් නිපදවූ උපකරණ මඟින්. උදාහරණයක් ලෙස, හිරු එලිය/ආලෝකය යන ශක්තිය ස්වාභාවිකව රසායනික ශක්තිය බවට පත් වෙනවා ගස්කොලං ආහාර නිපදවීමේදි (ප්‍රභාසංස්ලේෂනය). මිනිසා සාදපු බල්බය සිදු කරන්නේ විදුලි ශක්තිය ආලෝක ශක්තිය බවට පත් කිරීමයි. ඉතිං මෙලෙසම රේඩියෝ ක්ෂේත්‍රයේදී, විදුලි ශක්තිය රේඩියෝ ශක්තිය (රේඩියෝ තරංග) බවට පත් කරනවා.

යම් ශක්ති ප්‍රභේදයක් තවත් ශක්ති ප්‍රභේදයක් බවට පත් වීමේදී අපට ශක්තිය ගැන දෙයාකාරයකින් බැලිය හැකියි - එනම්, ශක්ති පරිවර්තන කාර්යට ඇතුලු වන ශක්තිය (input energy) හා එම පරිවර්තන කාර්යෙන් පසු පිටතට දෙන ශක්තිය (output energy) වේ. හැමවිටම ඉන්පුට් කරපු ශක්තියට සාපේක්ෂව අවුට්පුට් කරන ශක්තිය අඩුයි කියා පොතපතෙහි සඳහන් වෙනවා. එකවරම ඉන් හැඟවෙන්නේ පරිවර්තන කාර්ය තුලදී යම් ශක්ති ප්‍රමාණයක් විනාශ වී ඇත කියාය. එහෙත් අප දන්නවා ශක්ති සංස්තිථික නියමය අනුව ශක්තිය එසේ විනාශ වී යෑමට නොහැකියි.

ඇත්තටම මෙහිදී කියන්නේ වෙනත් දෙයකි. යම් ශක්තියක් ඉන්පුට් කර, අපට අවශ්‍ය තවත් ශක්තියක් බවටනෙ පරිවර්තනය කරගන්නට යන්නෙ. එහෙත් එම පරිවර්තන කාර්යේදී, අපට අවශ්‍ය ශක්ති ප්‍රභේදයට අමතරව වෙනත් අනවශ්‍ය ශක්ති ප්‍රභේදයක්ද (හෝ ශක්ති ප්‍රභේද කිහිපයක්) ඇති වී තිබෙනවා. බොහෝවිට එම අමතර අනවශ්‍ය ශක්තිය තාපය (heat) වේ. ඉතිං, එම අනවශ්‍ය ශක්ති ප්‍රභේදය අපතේ යෑමකි. මීට දිය හැකි හොඳම උදාහරණය විදුලි බල්බයයි. බල්බයෙන් කරන්නේ විදුලි ශක්තිය ආලෝකය බවට පත් කිරීම වුවද, එය තාපයද නිපදවනවා (ඒකයි බල්බය හොඳින් රත් වෙන්නේ).

ඉන්පුට් කරපු ශක්තියට සාපේක්ෂව අවුට්පුට් කරන ශක්ති ප්‍රමාණය ශක්ති කාර්යක්ෂමතාව (energy efficiency) ලෙස හැඳින්වෙනවා. එය ප්‍රතිශතයක් වශයෙනුයි බොහෝවිට දැක්වෙන්නේ.

කාර්යක්ෂමතාව = (පිටකරන ශක්තිය / ඇතුලු කරන ශක්තිය)100%

හැමවිටම අප උත්සහ කරන්නේ කාර්යක්ෂමතාව උපරිම වන අයුරින් කාර්යන් සිදු කිරීමටයි. රේඩියෝ තාක්ෂණයට අවධානය යොමු කළොත්, ඉන් කියන්නේ යම් විදුලි ශක්තියකින් උපරිම රේඩියෝ තරංග ප්‍රමාණයක් ඇති කළ යුතු බවයි. කාර්යක්ෂමතාව අඩු වුවොත්, ඉන් ශක්තිය නාස්ති වෙනවා පමණක් නොවේ, එසේ ශක්තිය නාස්ති වෙන්නේ තාපය බවට නිසා ඉන් උපකරණයට හානිද ගෙන ආ හැකියි. විශේෂයෙන් අපේ අවධානය මෙහිදී යොමු වන්නේ රේඩියෝ ට්‍රාන්ස්මීටරයකින් (වයර් එක දිගේ) යවන මුලු විදුලි සංඥා ශක්තියම කෙසේ හෝ ඇන්ටනාව මඟින් රේඩියෝ තරංග බවට පත් කිරීමටයි. ඇන්ටනාව හා ඇන්ටනාවයි ට්‍රාන්ස්මීටරයයි සම්බන්ද කරන වයරය (feeder) යන දෙක මෙහිදී හරියාකාරව සකස් කළේ නැතිනම් එම අරමුණ ඉටු නොවේවි (මේ ගැන ඇන්ටනා පාඩමේදී බලමු).

විදුලිය ගැන සැලකීමේදී, විදුලිය දෙයාකාරයකින් අධ්‍යනය කළ යුතු යැයි මා දකිනවා. එකක්, විදුලි බලය (electiricity හෙවත් electric power) ලෙසයි. සාමාන්‍යයෙන් electrical ක්ෂේත්‍රය ලෙස මෙය අප හඳුනාගමු. මෙහිදී විදුලිය විදුලි ශක්තියක් ලෙසම භාවිතා වෙනවා විවිධාකාරයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමට (මෝටර්, හීටර්, බල්බ ආදී). දෙවැන්නේදි, විදුලිය භාවිතා වෙන්නේ සංඥා නිරූපණය කිරීමටයි (මෙවිට අප එම සංඥා විදුලි සංඥා (electric signal) ලෙස හඳුන්වනවා). මෙම ක්ෂේත්‍රය electronics ලෙස හඳුනාගමු. ඇත්තටම විදුලි සංඥා සලකන විට, ජවය යන සංකල්පය එතරම් වැදගත් නැත (ඒ වෙනුවට විදුලි වෝල්ටියතාව හා එහි විචලනයන් වැදගත් තැනක් ගනී).

කෙසේ වෙතත්, විදුලි සංඥාවල ජවය වැදගත් වන අවස්ථා කිහිපයක්ද තිබේ. එකක් නම්, loudspeaker (speaker systems) වේ. මෙහිදී ශබ්දවලට අනුරූප විදුලි සංඥා ගැන කතා කළත්, ඒවා විශාල ස්පීකර්වලට යොමු කරන විට, වොට් ගණන (ජවය) වැදගත් සාධකයකි (අපි ස්පීකර්වල වොට් ගණන, සවුන්ඩ් ඈම්ප්වල වොට් ගණන ගැන කතා කරනවනෙ). අපටත් වැදගත් තවත් අවස්ථාවක් තමයි transmitter හා antenna. මෙහිදිත් විදුලි සංඥා මූලික වුවත්, අප ට්‍රාන්ස්මීටරයේ වොට් ගණන ගැන කතා කරනවා. එමනිසා, රේඩියෝ සංඥා ගැන කතා කරන විට, අපට සිදු වෙනවා ජවය ගැනත් දැනගෙන සිටීමට. එනිසා, පළමුව කෙටියෙන් විදුලි ජවය ගැන පොදුවේ කරුණු ටිකක් බලමු.

විදුලි ශක්තිය ගැන සලකා බලන විට, විදුලියේ මූලික ගතිගුණ දෙක වන වෝල්ටියතාව හා ධාරාව ඇසුරින් අපට එම විදුලියේ ක්ෂමතාව ගණනය කළ හැකියි ක්ෂමතාව = වෝල්ටියතාව x ධාරාව (P = VI) යන සූත්‍රය ඇසුරින්. ඕම් නියමයද (V = IR) ඇතුලත් කරගත් විට, එම සූත්‍රය තවත් ආකාර දෙකකින් දැක්විය හැකියි.

P = VI = (IR)I = I2R
P = VI = V(V/R) = V2/R

එහෙත් ප්‍රායෝගික තත්වයන් යටතේ ඉහත සඳහන් සරල සූත්‍රයකින් එකවර ජවය ප්‍රකාශ කිරීම අපහසු විය හැකියි. ඊට හේතුව විදුලිය හැමවිටම ස්ථාවර නැති වීමයි. උදාහරණයක් ලෙස, බැටරියකින් ස්ථාවර විදුලියක් ලැබෙනවා යැයි එකවර සිතුනත්, කාලයත් සමඟ බැටරිය ඩිස්චාජ් වන විට, ඊට ස්ථාවර විභවයක් පවත්වාගෙන යෑමට බැරි වෙනවා. එනිසා අවස්ථා කිහිපයකට කඩා ඒ එක් එක් අවස්ථාව ගැන වෙන් වෙන්ව සලකා බලමු.

විභවය හා ධාරාව යන දෙකම නියතව ස්ථාවරව පවතී නම් (steady DC), ඉහත ජව සූත්‍රයක් ඍජුවම යෙදිය හැකියි. යම් විදුලි උපකරණයක් ක්‍රියාත්මක වන්නේ යම් කාල සීමාවක් තුලනෙ. එම කාල සීමාව තුල දිගටම මෙවැනි විදුලි බලයක් සැපයීමට උත්සහ කළ යුතුය. අප භාවිතා කරන සියලු ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ (ටීවී, ෆෝන්, පරිගනක ආදි) සඳහා මෙවැනි විදුලි සැපයුමක් ලබා දීමට හැකි පමණ උත්සහ කළ යුතුමයි. ප්‍රායෝගිකව මෙවැනි පරිපූර්ණ විදුලි සැපයුමක් සපයා ගැනීම ඇත්තටම ඉතාම අපහසු කාර්යකි. Regulated power supply යනුවෙන් හැඳින්වෙන්නේ මෙවැනි හොඳ ස්ථාවර විදුලි සැපයුමකි. උපකරණය ක්‍රියාත්මක කාලය තුල ඕනෑම මොහොතක් සැලකීමේදී, ජවය එකම අගය වීම මෙවැනි ජව සැපයුමක ලක්ෂණයයි.

ප්‍රායෝගිකව ගත් විට, ඉහත ආකාරයේ පරිපූර්ණ නියත ක්‍රියාකාරිත්වයක් හැමවිටම ලබා ගත නොහැකිය. ඉඳහිට හෝ වෝල්ටියතාව හෝ ධාරාව හෝ දෙකම යම් ප්‍රමාණයක් ඉහල පහල යාවි. ඒ කියන්නේ උපකරණය ක්‍රියාත්මකව පවතින කාලය තුල, එක් එක් මොහොතක පවතින ජවය මැනගත් විට, එම අගයන් එක සමාන නොවේවි. මෙවන් අවස්ථාවලදී average power යන වචනයක් භාවිතා කළ හැකියි. ඉන් කියන්නේ එක් එක් අවස්ථාවලදී වෙන වෙනම මැන ගත් ජව අගයන් සියල්ල එකතු කර, එම එකතුව ජව අගයන් මැන්න අවස්ථා ගණනින් බෙදිය යුතුය (ජවය සඳහා පමණක් නොව, ඕනෑම දේක average අගය මනින්නේ එලෙසනෙ).

ඉහත අවස්ථා දෙකම ඍජු විදුලියක් (DC) පවතින අවස්ථා වේ. දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ථ විදුලි (AC) පවතින අවස්ථා ගැන. විදුලි බලාගාර (ජෙනරේටර්) මඟින් ස්වාභාවිකවම නිපදවෙන්නේ සයිනාකාර තරංග හැඩැති විදුලියක් හෙවත් ප්‍රත්‍යාවර්ථ විදුලියක් බව මීට කලින් අප ඉගෙන ගත්තා. පිරිසිදු ඒසී විදුලියකදී, වෝල්ටියතා හා ධාරා හැඩයන් දෙකම පිරිසිදු සයිනාකාර තරංග හැඩය ගන්නවා පමණක් නොවේ, ඒ දෙදෙනා එකම කලාවකින් පවතිනවා (එනම් දෙදෙනාම ඉහල පහල යන්නේ එකටයි; දෙදෙනාම තිරස් අක්ෂය කපන්නේ එකටයි).


මෙවැනි අවස්ථාවකදීත් ජවය, P = VI යන සූත්‍රයෙන්ම ඉතා පහසුවෙන් දැක්විය හැකියි. එහෙත් මෙහිදී විදුලිය ක්‍රමයෙන්/රටාවකට ඉහල පහල යන නිසා, ජවයද රටාවකට ඉහල පහල යා යුතුයිනෙ. විභවය හා ධාරාව එකට ගමන් කරන නිසා, හැමවිට ජවය ධන අගයක් ලෙස ලැබෙනවා (ඊට හේතුව වෝල්ටියතාව තිරස් අක්ෂයෙන් පහල ඇති විට ඍණ වුවත්, ධාරාවද එම අවස්ථාවේදී ඍණ වන නිසා, ඍණ අගයන් දෙකක් එකට වැඩි කළ විට ධන වෙනවා).

සටහන
ජවය ධනයි යනු එය යම් උපකරණයක් විසින් වැය කරමින් පවතිනවා යන්නයි. ජවය සඳහා ඍණ අගයක් ලැබුණොත් ඉන් හැඟවෙන්නේ යම් උපකරණයකින් ජවය වැය කරනවා වෙනුවට නිපදවනවා/පිටකරනවා යන්නයි (ඒ කියන්නේ ජවය වැය කිරීම හා නිපදවීම යන දෙක එකිනෙකට විරුද්ධව කාර්යන් නිසා, ධන හා ඍණ යන එකිනෙකට විරුද්ධ සලකුණු දෙකින් ඒ දෙක නියෝජනය වේ).

මෙලෙස ධන හා ඍන ජවයන් හමුවෙනවා power factor ගැන කතා කරන විට. එහෙත් මෙම පාඩම්වලට එය අදාල නැති නිසා වැඩිදුරට කතා නොකෙරේ. එනිසා එහිදී හමුවන තවත් ජව සංකල්ප වන true power, apparent power, reactive power ගැනත් මෙහිදී අවධානය යොමු නොකෙරේ.

මෙවැනි විචලනය වන ජවයක් ගත් විට, ජව අගයන් කිහිපයක්ම අපට දැන් අර්ථ දැක්විය හැකියි. එකක් නම්, කුලු ජවය (peak/max power – Pp, Ppeak, Ppk , Pmax ) වේ. එය ජව විචලනයේ උපරිම තැන තිබෙන ජවයයි. එය පහසුවෙන්ම ගණනය කරන්නට පුලුවන්, එම අවස්ථාවට අනුරූපව පවතින කුලු වෝල්ටියතාව (peak/max voltage – Vp, Vpeak, Vpk) හා කුලු ධාරාව (peak/max current – Ip, Ipeak, Ipk) දැනගත් විට.

Pmax = Imax x Vmax

එවැනි විචලනය වන ජවයක් සඳහා අර්ථ දැක්විය හැකි තවත් ජව අගයක් වන්නේ average power යන්නයි. රූපමය වශයෙන් සැලකුවොත්, එය හරියට කඳු මුදුන් සේ ඉහලට එසවී තිබෙන “මුදුන් කොටස්” කපා මතුපිට සමතලා කළ විට ලැබෙන ජව අගයයි.

ඊටත් අමතරව පිරිසිදු සයිනාකාර හැඩැති විදුලියකදී, ඇවරේජ් ජවය සූත්‍රයකින්ද ගණනය කළ හැකියි (කුලු ජවය ඇසුරින්). එම සූත්‍රය පහත ආකාරයට ව්‍යුත්පන්න කර ගනිමු. සයිනාකාර නොවන නමුත් වෙනත් ක්‍රමවත් හැඩ සහිත තරංග (කොටු, ත්‍රිකෝණාකාර, කියත්දැති) සඳහාද වෙන වෙනම සූත්‍ර ඇත (එහෙත් එම හැඩ අපට මෙහිදී වැදගත් නැත).

Vavg = 2Vpeak/π = 0.637Vpeak
Iavg = 2Ipeak/π = 0.637Ipeak
Pavg = Vavg x Iavg = (0.637Vpeak)(0.637Ipeak) = 0.406(VpeakIpeak) = 0.406(Ppeak)
Pavg = V2avg/R = I2avgR

මීට අමතරව, Root Mean Square (RMS) power යනුවෙන් තවත් ජව අගයක් අර්ථ දැක්විය හැකිය. බොහෝ අයට මෙම සංකල්පය නොතේරෙන බැවින්, මෙම ජවයෙන් කියන අදහස මා මෙසේ පහසුවෙන් තේරෙන අයුරින් දක්වන්නම්.

සිතන්න යම් ප්‍රතිරෝධයක් තිබේ යැයි කියා. එම ප්‍රතිරෝධය හරහා යම් නියත ස්ථාවර විදුලිබලයක් (ජවයක්) යම් කාල පරාසයක් (T) පුරා යවන විට ඉන් යම් තාපයක් අඛණ්ඩව නිපදවෙනවා. දැන් සිතන්න එම ප්‍රතිරෝධය හරහාම ඉහත ස්ථාවර විදුලිය ඉවත් කර යම් විචලනය වන විදුලිබලයක් T කාල පරාසයක් යවනවා කියා (මෙම T කාල පරාසය සයිනාකාර තරංගයේ එක් කාලාවර්තයකට සමාන වේ). එවිටද අර ලෙසම යම් තාපයක් හටගන්නවානෙ. මෙලෙස හටගන්නා තාපය ස්ථාවර විදුලිය යැවූවිට ලැබෙන තාප අගයට 100%ක් සමාන වන අවස්ථාව ලැබෙන සේ ඒසී විදුලිය සීරුමාරු කරමු. දැන් අපට මේ ලැබී තිබෙන්නේ rms ජවයයි.

පරිපූර්ණ සයිනාකාර හැඩයෙන් පවතින යම් විදුලියක rms ජවය මැනීමට සූත්‍රයක් පහත ආකාරයට ව්‍යුත්පන්න කරගත හැකිය.

Vrms = Vp/2 = 0.707Vp
Irms = Ip/2 = 0.707Ip
Prms = Vrms x Irms = (Vp/2)(Ip/2) = VpIp/2 = Ppk/2

මේ අනුව ජවයක rms අගය එහි කුලු අගයෙන් හරි අඩකි. සමහර අවස්ථාවලදී මෙම rms ජවයම average power ලෙස සටහන් කරනවා (මා ඊට එකඟ නැත). ඊට හේතුව, ඉහත දැක්වූ සත්‍ය ඇවරේජ් ජව අගයේ ප්‍රයෝජනවත්බව අඩුවීමයි.

නිතරම වාගේ අපට වැදගත් වන්නේ කුලු ජවය හා rms ජවයයි. ට්‍රාන්ස්මිටර් පරිපථ පමණක් නොව, ඕනෑ ලොකු හෝ කුඩා, සරල හෝ සංකීර්ණ පරිපථයකටම පහත න්‍යායන් දෙක සාමාන්‍යයෙන් පොදුය.

යම් විදුලි සංඥාවක වෝල්ටියතාවේ හෝ ධාරාවේ හෝ ජවයේ කුලු අගයන් දැන සිටීම බොහෝවිට වැදගත් වෙනවා පරිපථ නිර්මාණය කිරීමේදී. ඕනෑම පරිපථයක් ගත් විට, එම පරිපථයේ සෑම උපාංගයක්ම (රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් වැනි) හා සෑම තැනකම පැවතිය හැකි උපරිම වෝල්ටියතා, ධාරා, ජව අගයන් (maximum/rated value) තිබෙනවා. ඉතිං, විදුලි සංඥාවේ එම කුලු අගයන් පැවතිය යුත්තේ පරිපථ කොටස්වල උපරිම අගයට සමාන හෝ අඩු වන පරිදිය. නැතහොත් පරිපථ කොටස් හා උපාංග විනාශ වී යනවා.

එලෙසම, ඕනෑම පරිපථයක් ගත් විට, එම පරිපථයේ සාමාන්‍යයෙන් පැවතිය හැකි/යුතු වෝල්ටියතා, ධාරා, හා ජව යන ඒකකයන්ගේ නාමික අගයන් (nominal/sustained/operating value) තිබෙනවානෙ. ඉතිං, විදුලියේ rms අගයන් පැවතිය යුත්තේ එම නාමික අගයන්ට සමාන හෝ අඩු වන පරිදිය.

විදුලි ජවය ගැන සලකා බැලිය හැකි අනෙක් අවස්ථාව නම්, කාලය සමඟ අක්‍රමවත් ආකාරයට වෙනස් වන විදුලි සංඥාය. ඒවා පිරිසිදු සයිනාකාර හැඩයක් නොගනී. විදුලි සංඥා හැමවිටම පවතින්නේ මේ ආකාරයෙනි. සාමාන්‍ය විදුලි සංඥාවල ජවයක් ගැන එතරම් කතා නොකරන නමුත් පෙරදිත් සඳහන් කළ ආකාරයට ස්පීකර් හා ට්‍රාන්ස්මිටර් ගැන කතා කරන විට විදුලි සංඥාවේ ජවය වැදගත්ම සාධකයකි. එහෙත් මෙහි පවතින ගැටලුව වන්නේ එකවර ඉහත සඳහන් කරපු සූත්‍රයක් සුලු කිරීමෙන් ජවයක් ප්‍රකාශ කළ නොහැකි වීමයි.

එනිසා, රේඩියෝ තාක්ෂණයේදී සංඥා ජවය ගැන කතා කිරීම පහසු කරවීම සඳහා විශේෂිත ජව අගයන්/සංකල්පයන් කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. දැන් අපි බලමු රේඩියෝ තාක්ෂණයේදී ජවය/ක්ෂමතාව ගැන සටහන් කිරීමේදී එම වැදගත් සංකල්ප කිහිපය. RR රෙගුලාසිවල පහත ආකාරයේ රෙගුලාසියක් තිබෙනවා.

1.156 power: Whenever the power of a radio transmitter, etc. is referred to it shall be expressed in one of the following forms, according to the class of emission, using the arbitrary symbols indicated:

peak envelope power (PX or pX);
mean power (PY or pY);
carrier power (PZ or pZ).

For different classes of emission, the relationships between peak envelope power, mean power and carrier power, under the conditions of normal operation and of no modulation, are contained in ITU-R Recommendations which may be used as a guide.

For use in formulae, the symbol p denotes power expressed in watts and the symbol P denotes power expressed in decibels relative to a reference level.”

මින් කියන්නේ රේඩියෝ තාක්ෂණයේදී ජවය ප්‍රකාශ කළ හැකි ආකාර 3ක් තිබෙන බවයි - peak envelope power, mean power, carrier power. ඇත්තටම මෙම ජව අගයන් 3rms ජවයන්ය. වෙනස තිබෙන්නේ ඒවා ඉදිරිපත් කරන ආකාරයෙහි. මේ 3 ගැන වෙන වෙනම මොහොතකින් සලකා බලමු.

තවදුරටත් ඉහත රෙගුලාසියේ කියනවා ජවය යන්න නියෝජනය කිරීමට ඇති ඉංග්‍රිසි “පී” අකුර සිම්පල්වලින් දක්වා තිබෙන විට, සාමාන්‍ය වොට් (මිලිවොට්, කිලෝවොට්,…) අගයකින් එම අගය ලිවිය යුතු බවත්, කැපිටල්වලින් ලියා ඇතිවිට ඩෙසිබල්වලින් (dBW, dBm, dBc, …) දැක්විය යුතු බවත් (මීට පෙර ඩෙසිබෙල් පාඩමේදී මේ ගැන අපි කතා කර තිබෙනවා; dBc ගැන තව මොහොතකින් විස්තර කෙරේ). උදාහරණයක් ලෙස, යම් ට්‍රාන්ස්මීටරයක ජවය p = 100W කියා හෝ එම අගයම ඩෙසිබල්වලින් P = 50dBm කියාද කිව හැකිය.

මෙනිසා සමහර පතපොතෙහි ඒ ඒ ආධුනික මට්ටම් සඳහා හෝ ඒ ඒ බෑන්ඩ් සඳහා උපරිම ජවයන් සටහන් කරන විට, වොට්වලින් මෙන්ම ඩෙසිබල් ක්‍රමයෙන්ද එම අගයන් දක්වා තිබිය හැකියි. උදාහරණ ලෙස, මීට පෙර අප බැලූ ආධුනික ශිල්පි මට්ටම් සඳහා අනුමත ජවයන් පහත දැක්වේ.

Novice class – HF bands – J3E – 20dBW PEP (=100W PEP)
Novice class – HF bands – වෙනත් එමිෂන් - 17dBW (=50W)
Novice class – VHF band – ඕනෑම එමිෂන් - 10dBW (=10W)
General class – HF bands – J3E – 27dBW (=500W)
General class – HF bands – වෙනත් එමිෂන් - 24dBW (=250W)
General class – වෙනත් බෑන්ඩ් - ඕනෑම එමිෂන් - 14dBW (=25W)
Advance class – HF bands – J3E – 30dBW PEP (=1000W)
Advance class – HF bands – වෙනත් එමිෂන් - 27dBW (=500W)
Advance class – වෙනත් බෑන්ඩ් - ඕනෑම එමිෂන් - 17dbW (=50W)

ඉහත තුන් ආකාරයකින් සටහන් කළ හැකි ජවයන් අර්ථදැක්වීමට RR හි මෙවැනි රෙගුලාසි 3ක් ඇත.

1.157 peak envelope power (of a radio transmitter): The average power supplied to the antenna transmission line by a transmitter during one radio frequency cycle at the crest of the modulation envelope taken under normal operating conditions.”

1.158 mean power (of a radio transmitter): The average power supplied to the antenna transmission line by a transmitter during an interval of time sufficiently long compared with the lowest frequency encountered in the modulation taken under normal operating conditions.”

1.159 carrier power (of a radio transmitter): The average power supplied to the antenna transmission line by a transmitter during one radio frequency cycle taken under the condition of no modulation.”

රෙගුලාසිවලින් එකවර සම්පූර්ණ අදහස ඇති නොවන බැවින් ඒ ගැන තවදුරටත් විමසා බලමු.

Peak envelope power (PEP – පෙප්) යනුද rms ජව අගයක්මයි. එහෙත් මෙහිදී පෙප් යනුවෙන් වෙනත් නමකින් හැඳින්වීමට තරම් විශේෂත්වයක් ඇත. යම් සංඥාවක් ගැන සිතන්න. එම සංඥාව සාමාන්‍යයෙන් අක්‍රමවත් හැඩයකින් යුතු වෙනවා. එවිට, යම් කාල පරාසයක් පුරා පවතින සංඥා කොටසක් ගත් කළ එහි තිබෙන විශාලතම කුලු අගය සටහන් කර ගත යුතුයි. පිරිසිදු සයිනාකාර තරංගයක් නම්, මෙම කුලු අගය යම් කාලයකට සැරයක් රටාවකට ආවර්ත වුවත්, අක්‍රමවත් සංඥාවක බොහෝවිට එම කුලු අගය එම කාල සීමාව තුල එක්වරක් පමණක් ඇති වේවි.


යම් කාල පරාසයක් පුරා තිබූ සංඥා හැඩය (උඩ හා යට සීමා) envelope කියා හඳුන්වනවා (එන්වෙලප් යන වචනයේ තේරුම “කවරය” යන්නයි; සංඥාව කවර් කරගෙන සිටිනවා යන්න ඉන් ගම්‍ය වේ). එම උඩ හා යට සීමා තුලනෙ සංඥාව පවතින්නේ (තැනින් තැනට උඩ හා යට සීමා වෙනස් විය හැකියි ඉහත රූපයේ පෙන්වා තිබෙන ආකාරයට). ඉතිං, එම එන්වෙලප් එක තුල දක්නට ලැබෙන කුලු අගය පදනම් කරගෙන දැන් rms ජවය ගණනය කරනවා. එවිට, එය පීන් එන්වෙලප් පවර් (පෙප්) ලෙස හැඳින්වේ.

උදාහරණයක් බලමු. යම් ට්‍රාන්ස්මිටරයක අවසාන රේඩියෝ ජව වර්ධකයෙන් පිටවන සංඥා එන්වෙලප් එකෙහි වැඩිම වෝල්ටියතාව පවතින ස්ථානයේ peak voltage අගය100Vp නම්, එම වර්ධකයට ඇන්ටනාව පෙනෙන්නේ ඕම් 50ක ප්‍රතිරෝධයක් ලෙස නම්, පෙප් අගය කීයද?

කුලු වෝල්ටියතාව rms වෝල්ටියතාවක් බවට පත් කර ගත යුතුය.

Vrms = 0.707Vp = 0.707x50 = 35.4Vrms

දැන් අපට හැකියි ජවයේ rms අගය ගණනය කරන්නට.

Prms = V2rms/R = 35.42/50 = 25W PEP

සාමාන්‍යයෙන් කටහඬක් සැලකූ විට, එහි වෝල්ටියතා (ජව) විචලනය ඉතා අක්‍රමවත්ය. බොහෝවිට වැඩිම කාලයක් වෝල්ටියතා විස්තාර අගය පවතිනු ඇත්තේ දළ වශයෙන් එකම වෝල්ටියතා පරාසයක වේ. එහෙත් ඉඳහිට එකවර කුඩා කාලයක් විශාල විස්තාර අගයන් පවතීවි. ඉතින්, ඉහත පෙප් ගණනය කිරීමේදී යොදා ගන්නා කුලු වෝල්ටියතාව ලෙස සලකන්නේ ඉඳහිට ඇති වන මෙවැනි විස්තාරයන්ය. මින් නිගමනය කළ හැක්කේ කුමක්ද?

ආධුනික ගුවන් විදුලියේදී ට්‍රාන්ස්මීටරයකින් ශබ්ද/කටහඬ නිකුත් විය හැකි උපරිම ජව අගයන් දක්වා තිබෙන්නේ පෙප්වලින් බව අප ඉහතකදී දුටුවා. මෙමඟින් අපට ගැරන්ටියක් ලැබෙනවා යම් කටහඬ නිකුත් කරන ට්‍රාන්ස්මීටරයකින් මොනම හේතුවක් නිසාවත් එම උපරිම වොට් ගණන ඉක්මවා රේඩියෝ සංඥා නිකුත් නොවන බවට. තවද, බොහෝවිට එම උපරිම ජවයට අඩු වොට් ගණනකින් තමයි ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වනු ඇත්තේ. දළ වශයෙන් වැඩිම කාලයක් තුල කටහඬ පවතිනු ඇත්තේ දී තිබෙන පෙප් වොට් ගණනින් 1/3ත් 1/4ත් අතර ප්‍රමාණයක් තුලයි. උදාහරණයක් වශයෙන්, ජෙනරල් පංතියේ ආධුනික ගුවන් ශිල්පියෙකුට HF සංඛ්‍යාත ඔස්සේ කටහඬ (J3E) යැවිය හැක්කේ පෙප් වොට් උපරිමව 500කි. ඉතිං, එම පෙප් වොට් 500කට ට්‍රාන්ස්මීටරය සකසා SSB-SC ක්‍රමයට දැන් කතා කරමින් සිටින විට ඇත්තටම ඔහුගේ ට්‍රාන්ස්මීටරයෙන් නිකුත් වනු ඇත්තේ වොට් 500x(1/4) = 125 සිට වොට් 500x(1/3) = 167 දක්වා වොට් ගණනකින් වේ. ඉඳහිට පමණක් වොට් 500කින් ශබ්දය යැවේවි.

මෙහිදී කෙනෙකුට සිතිය හැකියි ඉඳහිට පමණක් ඉතා කුඩා කාලයකට යැවෙන කොටස අමතක කර දමා, සාමාන්‍යයෙන් වැඩිපුර කාලයක් යැවෙන සංඥාව අනුමත උපරිම වොට් ගණන දක්වා වැඩි කළොත් හොඳයි නේද කියා. මෙවිට වැඩිම කාලය වොට් 500ට ආසන්නවත්, ඉඳහිට වොට් 700ක් වැනි ඉහල අගයකිනුත් සම්ප්‍රේෂනය වේවි (ට්‍රාන්ස්මීටරයට එතරම් අගයකින් සම්ප්‍රේෂනය වීමට හැකියාව තිබේ නම්). ඔව්, එය හොඳයි නමුත් නීතිවිරෝධියි. ඉඳහිට ඉතා කෙටි කාලයකට හෝ ඔබට හැකියාවක් නැහැ එම අනුමත උපරිම වොට් ගණනට වඩා වැඩි ජවයකින් විසුරුවා හරින්නට. පෙප් යන විශේෂිත ඒකකය හඳුන්වා දීමට මූලික හේතුවක් වන්නේද මෙවැනි තත්වයක් ආවරණය කිරීමටයි.

එහෙත් මෙසේ කළ හැකියි. සුදුසු digital signal processing (DSP) හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් කටහඬ දළ වශයෙන් එකම වෝල්ටියතා පරාසයක පවත්වාගෙන යන ලෙස සකස් කළ හැකියි. එවිට ඉඳහිට ඉතා ඉහල අගයන් ගන්නා කොටස් හායනය කර, ඉතා දුර්වල වෝල්ටියතා කොටස් වර්ධනය කර සංඥා එන්වෙලප් එකේ විචලනය අවම කෙරේ (dynamic range එක අඩු කෙරේ). ඉන්පසු ඉහත ඡේදයේ කියූ ලෙසට අනුමත උපරිම වොට් ගණනට ආසන්න අගයකින් සම්පූර්ණ කටහඬ සම්පූර්ණ කාලය පුරාම විකාශනය කළ හැකියි. දැන් පරිපථය විසින් තහවුරු කර තිබෙනවා කිසිම විටක වොට් 500 නොඉක්මවන ලෙස ශබ්දය පවත්වාගෙන යෑමට. ඇත්තටම මෙම ක්‍රමය නිතරම භාවිතා වෙනවා සාමාන්‍ය ස්ටූඩියෝ ශබ්ද පරිපාලනය හා රෙකෝඩිං (sound controlling and recording) තුල (පහත සටහන කියවන්න).

සටහන
Dynamic Range හා Loudness War
යම් ශබ්දයක්/කටහඬක් ගත් විට, එය යම් කාල පරාසයක් පුරා අසමින් හෝ පටිගත කරමින් සිටින විට, එම කාල සීමාව තුල කනට ඇසෙන අඩුතම ශබ්දය (the faintest/quietest sound level) හා විශාලතම ශබ්දය (the loudest sound level) අතර අනුපාතය ශබ්දයේ ගතික පරාසය (dynamic range (DR, DNR) of sound) ලෙස හැඳින්වෙනවා. මේ හැර තවත් අවස්ථා ගණනාවක් සඳහාත් dynamic range යන වචනය යොදා ගන්නා බවද මතක තබා ගන්න (මෙවිට තේරුම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වේ).

එදිනෙදා අප කතාබහ කරන විට මෙම පරාසය තරමක් විශාලය (40dB ක් පමණ). එහෙත් අපේ කනට ඇත්තටම හැකියි ඊට වඩා විශාල පරාසයක ශබ්ද ඇසීමට (120dB පමණ). ඔබ දැක ඇති සමහරුන් කතා කරන විට, ඔවුන් සමහර වාඛ්‍ය අවසන් කරන්නේ කනට නොඇසෙන තරමේ අඩු ශබ්දයකිනි; වචන ශබ්ද කරන්නේ හඬ උස්පහත් කිරීමෙනි (intonation); ඔවුන්ගේ කතා තරමක නාට්‍යම ස්වරූපයක් තිබෙනවා. සෑම සම්භාව්‍ය සංගීතයකදීම (classical music) මෙය ඉතා හොඳින් අත්විඳිය හැකියි. වයලීනයක් හෝ පියානොවක් හෝ වාදනය සමහර අවස්ථාවලදී ඉතා දැඩි ශබ්දයකින්ද සමහර අවස්ථාවල ඉතා සියුම් හඬකින්ද වැයෙනවා. ඒ කියන්නේ ඩයිනමික් රේන්ජ් එක විශාලයි මෙවැනි අවස්ථාවල.

යම් ශබ්ද සංඥාවක් සඳහා පොදු rms ජවයක්/වෝල්ටියතාවක් ගණනය කළ හැකියිනෙ. එලෙසම එම ශබ්දයේම කුලු අගයද සෙවිය හැකියිනෙ. (කුලු අගය) / (පොදු rms අගය) යන අනුපාතය crest factor ලෙස හැඳින්වෙනවා. ඒ අනුව, ක්‍රෙස්ට් ෆැක්ටර් එක වැඩියි කියන්නේ ඩයිනමික් රේන්ජ් එකත් වැඩියි කියන එකයි.

එලෙස ශබ්දය උස් පහත් වීම කනට අලංකාරයක්/රසයක්/සජීවි බවක් ගෙන ආවත්, සමහර අයට හා සමහර අවස්ථාවලදී එහි ප්‍රශ්නයක් ඇත. විශේෂයෙන් එවැනි ශබ්ද ඩිජිටල් ක්‍රමයට රෙකෝඩ් කර ඇසීමේදී එම ගැටලුව ඇති වේ. එනම්, ඇනලොග් සංඥාවක් ඩිජිටල් බිට් පෙලක් බවට පත් කිරීමේදී ඇනලොග් සංඥාවේ අඩු වෝල්ටියතා කොටස්වල ක්වන්ටයිසේෂන් එක හරිහැටි සිදු නොවේ. මේ ගැන අප මීට පෙර පාඩම්වල කතා කර තිබෙනවා (ඊට පිලියමක් ලෙස කොම්පෑන්ඩිං වැනි උපක්‍රම යොදා ගත් හැටිත් එහිදී අප ඉගෙන ගත්තා). මෙහි ප්‍රතිපලයක් ලෙස, ඩිජිටල් කරපු ශබ්ද නැවත අසන විට අඩු ත්‍රීව්‍රතාවකින් පවතින ශබ්දවල කොලිටිය බොහෝ සෙයින් අඩු විය.

එම කොලිටි අඩුවීම වැලැක්වීමට යොදාගත යුතු උපක්‍රමය විය යුත්තේ වැඩි බිට් ගණනක් ක්වන්ටයිසේෂන් අධියරේදී යොදා ගැනීමයි. එහෙත් මෙවිට මුලු ශබ්දය සඳහාම ඉතා විශාල බිට් ගණනක් අමතරව වැය වේ (ෆයිල් සයිස් එක වැඩි වේ).

බිට් ගණන වැඩි නොකර, කොලිටිය වැඩි කළ හැකි තවත් උපක්‍රමයක් වූයේ ඩයිනමික් රේන්ජ් එක අඩු කිරීමයි. මෙවිට ඉතා අඩු ශබ්ද තරමක් ප්‍රබල වේ. එනම්, උපරිම විස්තාර/වෝල්ටියතා අගයන් එලෙසම තබා අඩු විස්තාරයන්/වෝල්ටියතාවන් වැඩි වේ. මෙමඟින් සමස්ථ සංඥාවේ rms වෝල්ටියතාව හා ජවය වැඩි වෙනවා කුලු වෝල්ටියතාව හා ජවය එලෙසම තබා ගනිමින්; එනම් ක්‍රෙස්ට් ෆැක්ටර් එක අඩු වෙනවා. මෙවැනි ශබ්ද කනට ඇසෙන විට හොඳ ප්‍රබල ශබ්ද ලෙස දැනේ. ඉතා හොඳින් මෙය සිදු කරන විට, කනට අඩු කොලිටියක් නොදැනෙන සේ කුඩා බිට් ගණනකින් (ෆයිල් සයිස් එක අඩු) ශබ්ද/සංගීත පටිගත කළ හැකිය.

වැඩි ප්‍රබලතාවකින් ශබ්ද ඇසෙන නිසා, සමහර සංගීත ආකාරවල මෙම උපක්‍රමය ඉතා කැමැත්තෙන් යොදා ගැනීමට මුලු සංගීත ක්ෂේත්‍රයම ඉබේම පෙළඹිණි (මෙම උපක්‍රමයට විරුද්ධව සිටින අයද නැතිවා නොවේ); එය හරියට “ෆැෂන්” එකක් විය. මෙම තත්වය තමයි Loudness War ලෙස හැඳින්වෙන්නේ. මෙහි ඇත්තටම ෆයිල් සයිස් එක අඩු කිරීම නොවේ ප්‍රමුඛතාව වූයේ; ශබ්දය “කන පැලෙන්න” ඇසෙන තත්වයට පත් කිරීමයි.

ඉතිං, පෙප් වොට් ගැන පවසන විට, SSB-SC ට්‍රාන්ස්මීටරයෙත් ඩයිනමික් රේන්ජ් එක අඩු කර, උපරිම වොට් ගණනින් සන්නිවේදනය කළ හැකි බවයි ඉහත මා පැවසුවේ.

පිරිසිදු සයිනාකාර විදුලියක PEP වොට් අගය හා සාමාන්‍ය RMS වොට් අගය සමාන වේ.

mean power යනුවෙන්ද ජව අගයක් අර්ථ දක්වා තිබෙනවා. එයත් rms අගයකි. යම් සංඥාවක් කාලයත් සමඟ විචලනය වෙනවානෙ. මේ විචලනය නිසා, සංඥාවේ එක් එක් තැන්වල පවතින rms අගයද කාලය සමඟ විචලනය වේ. යම් කාල පරාසයක් තුල පවතින මෙවැනි rms ජවයන් සියල්ලේම සාමාන්‍ය අගය (average) මීන් පවර් වේ.

ඉහත RR රෙගුලාසියේ තිබූ අර්ථකථනයේ කාල පරාසය කෙබඳු විය යුතුදැයි විස්තර කර තිබෙනවා. දැනට සම්ප්‍රේෂනය වෙමින් තිබෙන සංඥාව මූර්ජනය කිරීමට යොදා ගත් බුද්ධි සංඥාවේ පවතින අඩුම සංඛ්‍යාතය (මෙවිට වැඩිම තරංග ආයාමය හා වැඩිම කාලාවර්තය) සඳහා ගත වන කාලාවර්තයට සාපේක්ෂව විශාල කාලයක් විය යුතුය. උදාහරණයක් ලෙස, දැනට කටහඬ සම්ප්‍රේෂනය වන විට, එම සංඥාවේ (ෆූරියර් න්‍යාය අනුව) පවතින අඩුම සංඛ්‍යාතය 300Hz නම්, එහි කාලාවර්තය 1/සංඛ්‍යාතය = 1/300 = තත්පර 0.0033 පමණ වේ. මෙම කාලයට සාපේක්ෂව විශාල කාලයක් යන්න දළ වශයෙන් දස ගුණයක් ලෙස සැලකුවොත්, මධ්‍ය අගය සෙවීමට ගත වන කාලය තත්පර 0.033ක් පමණ වෙනවා නේද?

පිරිසිදු සයිනාකාර විදුලියක mean ජවය හා rms ජවය සමානය. එලෙසම මීන් ජවය හා පෙප් ජවයත් සමානය. එනම් ජව අගයන් 3ම සමානය.

දැන් carrier power (වාහක ජවය) ගැන බලමු. එයද rms ජවයකි. මින් කියන්නේ යම් ට්‍රාන්ස්මිටරයක්, කිසිදු බුද්ධි සංඥාවක් නැති විට හෙවත් මූර්ජනයක් නොවන විට හෙවත් නිකංම සයිනාකාර වාහක තරංගය පමණක් සහිත විට, (ඇන්ටනාවට) ලබා දෙන rms වොට් ගණනයි. එනම්, මින් කියන්නේ නිකංම වාහකයේ පවතින වොට් ගණනයි. බුද්ධි සංඥාවකින් මූර්ජනය සිදු වුවත් නැතත් වාහක අගය වෙනස් නොවේ. වාහකය ගැන අප මූර්ජන පාඩම්වල බොහෝ දේවල් කතා කළා මතකද?

වාහකය නැතිවම බැරි වුවත්, වාහකය කිසිදු සංඥාවක් ගබඩා කර ගන්නේ නැති බවත් අප ඉගෙන ගත්තා. තවද, AM ක්‍රමයේදී විශේෂයෙන් කිසිදු බුද්ධි සංඥාවක් ගබඩා කර නොගන්නා වාහකය සඳහා සංඥාවේ මුලු ජවයෙන් වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නා හැටිත් අප දුටුවා. එය නාස්තියක්නෙ. එනිසා වාහකය නැතිව (SSB-SC) හෝ වාහකය ඉතා හීන කර (SSB-RC) සිදු කරන මූර්ජන ක්‍රමවලින් වාහකය සඳහා විදුලිය නාස්තිවීම අඩු කර ගත හැකි වූවා.

වාහක ජවය දැනගත් පසු අපට පුලුවන් එම අගය සමඟ අදාල සංඥාව හෝ සංඥාවේ විවිධ කොටස්/සංරචක සසඳන්නට. උදාහරණයක් ලෙස, සංඥාවේ බුද්ධි තොරතුරු සහිත රේඩියෝ කොටසේ තිබෙන ජවය එම සංඥාවේම පවතින වාහක ජවයට වඩා කොපමනද කියා සැසඳිය හැකියි. සැසඳිය යුතු සංඥාවේ හෝ සංඥා සංරචකයේ වොට් ගණන වාහක ජවයෙන් බෙදා එම අගයේ ලඝු ගත් විට එය බෙල් අනුපාතයක් ලෙස ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව ඩෙසිබල් අනුපාතයක් ලෙස සකස් කළ විට dBc යන්න පහත ආකාරයට නිර්වචනය කරගත හැකිය. සංඥාව වොට් ඒකකයෙන් මනින්නේ නැතිව, වෝල්ට් ඒකකයෙන් මැන ගණනය කරන හැටිත් පහත ඇත.


උදාහරණයක් ලෙස, වාහක ජවය වොට් 10 නම් හා සම්පූර්ණ සංඥාවේ ජවය (වාහකයත් ඇතුලුව) වොට් 110 නම්, සම්ප්‍රේෂනය වන සංඥාවේ dBc අගය කීයද? ඉහත සූත්‍රයට අනුව, එම අගය 10log(110/10) = 10.4dBc වේ. දැන් අපට දැන ගැනීමට අවශ්‍ය වන්නේ වාහකය හැර සෙසු සංඥා කොටස්වල ජවය dBc ඒකකයෙන් නම්, පළමුව සමස්ථ ජවයෙන් වාහක ජවය අඩු කර ගෙන, ඉන්පසුව ඉහත සූත්‍රයට අනුව නැවත ගණනය කළ යුතුය. එවිට, වාහකය හැර සෙසු සංඥාවේ ජවය 110 – 10 = 100W වන අතර, dBc අගය වන්නේ 10log(100/10) = 10dBc වේ.

රේඩියෝ ට්‍රාන්ස්මිටර් ගැන සැලකීමේදී ජවය ගැන අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පහත සාරාංශගත කර ඇත.

1. අනිවාර්යෙන්ම සෑම රේඩියෝ සංඛ්‍යාතයක් (හෝ සංඛ්‍යාත කලාපයක්) සඳහාම සම්ප්‍රේෂනය කළ හැකි උපරිම වොට් ගණනක් නීති රෙගුලාසිවලින් පනවා තිබෙනවා. එය ආධුනික ගුවන් ශිල්පයටත් චන්ද්‍රිකාවලටත් ටීවී/රේඩියෝ සේවාවලටත් පොදුය. එම උපරිම අගයන්ට වැඩි ජවයක් භාවිතා කිරීම තහනම්ය.

2. හැමවිටම ට්‍රාන්ස්මීටරයේ අවසාන වර්ධකයෙන් පිට කරන විදුලි සංඥාවේ වොට් ගණනම ඇන්ටනාව විසින් රේඩියෝ තරංග බවට පත් කරවීමට උත්සහ කළ යුතුය (ඇන්ටනා නිසි ලෙස සෑදීමෙන්). එහෙත් ප්‍රායෝගිකව, මෙය සිදු නොවේ. හැමවිටම වර්ධකයෙන් එලියට පිට කරන සංඥාවෙන් යම් ප්‍රතිශතයක් තාපය ලෙස හානි වෙනවාමයි. ඒ ගැන පසුවට බලමු.

3. හැකි තරම් වැඩිපුර ජවයක් රැඳවිය යුත්තේ සංඥා කොටස තුලය; වාහකයේ නොවේ. එනිසා වාහකය සපුරා ඉවත් කරමින් (SSB-SC) හෝ වාහකය බාල කර (SSB-RC) සංඥාව රේඩියෝ තරංග ලෙස යැවිය හැකිය.

4. සංඥාවේ ජවය වැඩියි යනු එය ඈතට යනවා යන්නයි. ඉතිං, සංඥාවේ බෑන්ඩ්විත් එක හැකි තරම් අඩු කළොත්, සංඥාව තවත් ප්‍රබල කළ හැකියි. බෑන්ඩ්විත් එක වැඩි වන විට, ඒ වැඩිපුර සංඛ්‍යාත ඔස්සේ විහිදී තිබෙන තරංගවලටත් ජවය වැය වෙනවානෙ (බොහෝ දෙනෙකු අතර දෙයක් බෙදා හරින විට, ඉබේම හැමකෙනාටම ලැබෙන පංගුව අඩු වෙනවා). එනිසයි SSB ක්‍රමය වාසිදායක වන්නේ. බෑන්ඩ්විත් එක අඩුවීම නිසා තවත් අයට රේඩියෝ තරංග භාවිතා කිරීමේ වාසියට අමතරව, ජවය කේන්ද්‍ර වීම නිසා වැඩිදුරකට සම්ප්‍රේෂනය වීමේ හැකියාවත් ඊට ලැබෙනවා.

No comments:

Post a Comment