Sunday, February 26, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 51

ලාංකාවේ ආධුනික ගුවන් රේඩියෝ තරංගමාලා (Amateur Bands)

ආධුනික ගුවන් විදුලිය සේවාව සඳහාත් සංඛ්‍යාත කලාපයන් වෙන් කරනු ලබන්නේ වෙනත් සේවා සඳහා වෙන් කරන පිළිවෙලටමයි. මේ ගැන මීට කලින් අප ඉගෙන ගෙන තිබෙනවා කොහොමද ITU එකත් ඒ ඒ රටේ තිබෙන විදුලිසංදේශ නියාමන අධිකාරිත් එකතුව මෙය සිදු කරන්නේ කියා. තවද, මීට පෙර අප ඉගෙන ගත්තා ලංකාවද අයිති වන ITU කලාප 3 සඳහා, ආධුනික ගුවන් විදුලිය වෙනුවෙන් වෙන් කර තිබෙන සියලු සංඛ්‍යාත කලාපයන්. ප්‍රයිමරි, සෙකන්ඩරි, එක්ස්ක්ලූසිව් වැනි වචනවල තේරුම්ද අප එහිදි සලකා බැලුවා.

ITU එකෙන් එලෙස පොදුවේ ඒ ඒ කලාපවල සඳහා සංඛ්‍යාත කලාපයන් ඇලොකේට් කර තිබුණත්, ඒ ඒ රටටයි අයිතිය තිබෙන්නේ ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීමට (අදාල සංඛ්‍යාත පරාසයන් භාවිතා කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන). ඒ අනුව මේ වන විට, ලංකාවේ TRC විසින් ආධුනික ගුවන් ශිල්පින්ට භාවිතා කිරීමට අවසර දී තිබෙන සංඛ්‍යාත කලාපත්, ඒ හා බැඳී තිබෙන කොන්දේසිත් දැන් සොයා බලමු.

ඔබ දන්නවා ආධුනික ගුවන් ශිල්පියෙකු වීමට යම් විභාගයක්/පරීක්ෂණයක් සමත් විය යුතුයි (මේ ගැනත් මුලදී අප කතා කළා). තවද, ශිල්පියාගේ දැනුමේ/විශේෂඥභාවයේ තරම අනුව විභාග මට්ටම් කිහිපයක්ම පවතිනවා. සමත් වන විභාග මට්ටම අනුව, ලංකාවේදී ආධුනික ශිල්පි මට්ටම්/පංති (amateur class) 3ක් තිබෙනවානෙ - Novice, General, Advance. නවිස් (ආධුනික) මට්ටමට වඩා ජෙනරල් (සාමාන්‍ය) මට්ටමද, ඊටත් වඩා ඇඩ්වාන්ස් (උසස්) මට්ටමද ඉහලය. මට්ටම උසස් වන විට, ලැබෙන පහසුකම්/වරප්‍රසාදද ඉහල යයි.

මූලික වශයෙන්ම මෙතැන වරප්‍රසාද (privileges) වැඩිපුර හිමිවෙනවා යනු තමන්ට වැඩිපුර සංඛ්‍යාත කලාප ගණනක් භාවිතා කළ හැකි වීමත්, වැඩි වොට් ගණනක් සහිත ට්‍රාන්ස්මිටර් භාවිතා කළ හැකි වීමත්ය. ඒ හැර වෙනත් වැඩි සැලකිලි නැත.

තවද, ඒ ඒ සංඛ්‍යාත කලාපවල ඕනෑම ආකාරයේ සන්නිවේදන ක්‍රමයක්/එමිෂන් භාවිතා කිරීමටත් ඉඩ නැත. ඒ ඒ කලාපවල සිදු කළ හැකි සන්නිවේදන විදික්‍රම/එමිෂන් (මූර්ජන ක්‍රම ආදිය) රෙගුලාසි විසින් පනවා ඇත. උදාහරණයක් ලෙස, සමහර කලාපවල කටහඬ/ශබ්ද යැවිය නොහැකිය (මෝර්ස්කෝඩ් පමණි යැවිය හැක්කේ). සමහර කලාපවල ශබ්ද යැවිය හැකි වුවත් එය SSB-SC ක්‍රමයට පමණයි යැවිය හැක්කේ. තවත් සමහර කලාපවල FM විදියටත් ශබ්ද යැවීමට අවසර ඇත.

1990 සැප්තැම්බර් 28 වැනි දින රජයේ ගැසට් නිවේදනයෙන් (රෙගුලාසි) ආධුනික ගුවන් විදුලි ශිල්පය සඳහා වෙන් කර තිබෙන සංඛ්‍යාත පරාසත්, ඒ එක් එක් පරාසය තුල සිදු කළ හැකි සන්නිවේදන ක්‍රමත්/එමිෂන්, එක් එක් ආධුනික ශිල්පි මට්ටම (class) අනුව හිමිවන වරප්‍රසාදත් පැහැදිලිව දක්වා තිබෙනවා. එම වගුව පහත ඇත.

Novice Class
Frequency range
Service Type
Band
Permitted Emission Classes
HF
3500 – 3600 KHz Primary 80m A1A, A1B, A2A, FIA
21125 – 21200 KHz Primary Exclusive 15m A1A, A1B, A2A, F1B, J2A, J2B, J3E
28.0 – 28.500 MHz Primary Exclusive 10m A1A, A1B, A1C, A1D
VHF
144 – 146 MHz Primary Exclusive 2m F3E, F3F, F2A, A1A, A1B, A2A


General Class & Advance Class
Frequency range
Service Type

Permitted Emission Classes
HF
1800 – 2000 KHz Primary 160m A1A, J3E
3500 – 3900 KHz Primary 80m A1A, A1B, A1C, A1D, A2A
7000 – 7100 KHz Primary Exclusive 40m A2B, A2C, A2D, A3C, A3E
10100 – 10150 KHz Secondary 30m J2A, J2B, J2C, J2D, J3C
14000 – 14350 KHz Primary Exclusive 20m J3E, J3F, R3E, F1A, F1B
18068 – 18168 KHz Primary Exclusive 17m F1C, F2A, F2C, F2D, F3C
21000 – 21450 KHz Primary Exclusive 15m F3E, F3F
24890 – 24990 KHz Primary Exclusive 12m

28 – 29.7 MHz Primary Exclusive 10m

VHF
50 – 54 MHz Primary Exclusive 6m A1A, A1B, A1C, A1D, A2A
144 – 146 MHz Primary Exclusive 2m A2B, A2C, A2D, A3C, A3E, J2B, J2C, J3C, J3E, J3F, R3E, F1A, F1B, F1C, F1D, F2A, F2C, F2D, F3C, F3E, F3F
UHF
430 – 440 MHz Secondary 70cm A1A, A1B, A1C, A1D
1240 – 1300 MHz Secondary 24cm A2A, A2B, A2D, A3C, A3E
2300 – 2450 MHz Secondary 13cm A3F, J2A, J2B, J2C
SHF
3300 – 3400 MHz Secondary 9cm/90mm J2D, C3F
5650 – 5850 MHz Secondary 5cm/50mm J3E, J3E, J3F, R3E
10.00 – 10.50 GHz Secondary 3cm/30mm F1A, F1B, F1C
24 – 24.05 GHz Primary Exclusive 12mm F1D
24.05 – 24.25 GHz Secondary 12mm F2A, F2B, F2C, F2D
EHF
47 – 47.2 GHz Primary Exclusive 6mm F3C, F3E
75.5 – 76 GHz Primary Exclusive 4mm F3F
76 – 81 GHz Secondary 3.5mm

142 – 144 GHz Primary Exclusive 2mm

144 – 149 GHz Secondary 2mm

241 – 248 GHz Secondary 1.2mm

248 – 250 GHz Primary Exclusive 1.2mm


ඉහත වගුව අනුව පැහැදිලි වෙනවා ජෙනරල් හා ඇඩ්වාන්ස් යන මට්ටම් දෙකට නවිස් මට්ටමට වඩා ඉතා විශාල බෑන්ඩ් ප්‍රමාණයක් භාවිතා කිරීමේ වරප්‍රසාදය හිමි වන බව. නවිස් මට්ටමට UHF, SHF, EHF කිසිදු සංඛ්‍යාතයක් හිමි නැත.

එක් එක් බෑන්ඩ් එකක් සංඛ්‍යාත පරාසයකින් හැඳින්වීම හා මතක තබා ගැනීම හරිම අපහසුයිනෙ. එනිසා ඒ ඒ බෑන්ඩ් මීටර්/සෙන්ටිමීටර්/මිලිමීටර් යන ඒකකය සහිත යම් අගයකින් හැඳින්වෙනවා (ඉහත වගුවේ Band යන තීරුව බලන්න). මෙම බෑන්ඩ් අගය අන් කිසිවක් නොව එම සංඛ්‍යාත පරාසයේම තරංග ආයාමයකි.

එහෙත් තරංග ආයාමයක් පැවතිය හැක්කේ සංඛ්‍යාත පරාසයකට නොව එක් නිශ්චිත සංඛ්‍යාතයකටයි (තරංග වේගය = තරංගයේ සංඛ්‍යාතය x තරංග ආයාමය (v=fλ) යන සූත්‍රයට අනුව). එනිසා, ඇත්තටම ඉහත දක්වා තිබෙන තරංග ආයාමය අදාල සංඛ්‍යාත පරාසය තුල තිබෙන යම් සංඛ්‍යාතයකට හිමි තරංග ආයාමක් වේ. මෙවිට, පහසුවෙන් මතක තබා ගත හැකි ආසන්න අගයකින් එය බොහෝවිට දක්වනවා. ඇත්තටම මෙම බෑන්ඩ් අගය අපට පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාව සඳහා භාවිතා කරන්නක් නිසා, නිවැරදිම තරංග ආයාමයෙන් යොදාගැනීම අවශ්‍ය නැත.

උදාහරණයක් ලෙස, 1800 – 2000 kHz කලාපයේ බෑන්ඩ් එක සඳහා 160m ලැබුණේ කෙලෙසදැයි බලමු. (ආලෝකයේ වේගය වන තත්පරයට මීටර් 300,000,000 ලෙස ගත යුතුය.) v=fλ අනුව, 300,000,000 = (1800,000)x λ → λ = 300,000,000/1800,000 = 166.66m වේ. මෙහිදී අපි සංඛ්‍යාතය සඳහා ආදේශ කළේ පරාසයේ අවම සංඛ්‍යාතය වන හර්ට්ස් 1800,000 වේ. ඒ වෙනුවට එහි උපරිම සංඛ්‍යාතය වන හර්ට්ස් 2000,000 ආදේශ කර ඉහත ගණනය කිරීම කළ විට, 150m ලැබේ. ඒ කියන්නේ මෙම සංඛ්‍යාත පරාසයම තරංග ආයමයෙන් සලකා බලන විට, මීටර් 166ත් 150ත් අතර වේ. ඉතිං, පහසුවෙන් මතක තබා ගත හැකි අගයක් වන 160m ලෙස එය නම් කෙරෙනවා.

ඉහළ සංඛ්‍යාතවලට යන විට, බෑන්ඩ් එකේ තරංග ආයාම අගයන් ක්‍රමයෙන් අඩුවෙන බව v=fλ යන සූත්‍රය අනුවත්, ඉහත වගුව අනුවත් පැහැදිලිව පෙනෙනවා. තරංග ආයාමය ඉතා විශාල වීම මෙන්ම ඉතා කුඩා වීමත් ඇන්ටනා සාදන විට විශාල ගැටලුවක් වෙනවා (ඒ ගැන ඇන්ටනා පාඩම්වලදී වැඩිදුරට බලමු).

අවසාන තීරුවේ දැක්වෙන්නේ ඒ ඒ බෑන්ඩ් එක හරහා සිදු කළ හැකි අනුමත සම්ප්‍රේෂන විදි/එමිෂන් වේ. එකවර එම එමිෂන් ඩෙසිග්නේටර් වල තේරුම් දැනගැනීම තරමක් අපහසු වන්නටත් පුලුවන්. එහෙත් එය පහසුවෙන් දැනගත හැකි උපක්‍රමයක් ඇත. තෙවැනි සංඥාව/අක්ෂරය A හෝ B නම් අනිවාර්යෙන්ම එය මොර්ස්කෝඩ් ක්‍රමයකි. E නම් ශබ්දය/කටහඬ යැවීමකි. F නම් රූප/වීඩියෝ යැවීමකි. ආධුනික ගුවන් විදුලියේ ප්‍රචලිතව යවන සංඥා/දත්ත වර්ග 3 ඒවාය.

කුමන මට්ටමක අයෙකු වුවත්, ඒ ඒ බෑන්ඩ්වල සංඥා විසුරුවාලිය හැකි උපරිම ජවයක් නියම කොට ඇත. පහත දැක්වෙන්නේ ඉහත ගැසට් නිවේදනයෙන්ම එක් එක් මට්ටම් සඳහා නියම කර ඇති වොට් ප්‍රමාණයන්ය.



උපරිම වොට් ගණන
Novice
HF bands
J3E එමිෂන් වර්ගය සඳහා 100 W PEP
වෙනත් එමිෂන් වර්ග සඳහා 50 W RMS
VHF bands
සියලු එමිෂන් වර්ග සඳහා 10W
General
HF bands

J3E එමිෂන් වර්ගය සඳහා 500 W PEP
වෙනත් එමිෂන් වර්ග සඳහා 250 W RMS
VHF, UHF, SHF, EHF

සියලු එමිෂන් වර්ග සඳහා 25W
Advance
HF bands

J3E එමිෂන් වර්ගය සඳහා 1000 W PEP
වෙනත් එමිෂන් වර්ග සඳහා 500 W RMS
VHF, UHF, SHF, EHF

සියලු එමිෂන් වර්ග සඳහා 50 W RMS

ඉහතදී වොට් ප්‍රමාණයන් පෙන්වීමේදී W ට පසුව යෙදී ඇති PEP (Peak Envelope Power) හා RMS (Root Mean Square) යන වචන වැදගත් වේ. ඒකකය වොට් වුවත්, PEP හා RMS යන වචනවලින් යම් වෙනසක් තිබේ. ජවය (වොට්) ගැන මී ළඟ පාඩමින් වැඩිදුරට සලකා බලන විට එම වචනවල වෙනස්කම් වැටහේවි.

ඉතිං, යම් මට්ටමකට හිමි බෑන්ඩ්වලින් පිට ට්‍රාන්ස්මිට් කිරීම සපුරා තහනම්ය. උදාහරණයක් ලෙස ඔබට ඇත්තේ නවිස් මට්ටම නම්, කිසිම විටක ඊට හිමි බෑන්ඩ්වලින් පිට ට්‍රාන්ස්මිට් කිරීම නීතිවිරෝධි වේ. තවද, ඕනෑම මට්ටම සිටින කෙනෙකුට ඇමචර් බෑන්ඩ්වලින් පිට වෙනත් සංඛ්‍යාතවල ට්‍රාන්ස්මිට් කිරීමත් සපුරා තහනම්ය.

එනමුත්, නවිස් පංතියේ කෙනෙකුට තමන්ට භාවිතා කිරීමට අවසර නැති ඇඩ්වාන්ස් පංතියට භාවිතා කිරීමට අවසර ඇති ට්‍රාන්ස්මිටරයක් වුවද තමා ළඟ තබා ගත හැකියි. සමහරවිට නවිස් සංඛ්‍යාතයන් හා ඇඩ්වාන්ස් සංඛ්‍යාතයන් දෙකම සිදු කළ හැකි ට්‍රාන්ස්මීටරයක් විය හැකියි ඔබ සතුව තිබෙන්නේ. ඉතිං මෙවැනි උපාංගයක් ළඟ තබා ගැනීමට අවසර ඇතත්, තමන්ට හිමි නැති සංඛ්‍යාතයන් ඔස්සේ ට්‍රාන්ස්මිට් කිරීම තහනම්ය.

එහෙත් ඇමචර් බලපත්‍රයක් ඇතිව හෝ නැතිව ඕනෑම කෙනෙකුට සාමාන්‍යයෙන් ඕනෑම සංඛ්‍යාතයක් ග්‍රහනය කිරීමට නීතිමය බාධාවක් නැත. එනිසා නවිස් කෙනෙකුට ඇඩ්වාන්ස් බෑන්ඩ් එකකට ඇහුම්කන් දිය හැකියි.

තවද, ඕනෑම මට්ටමක කෙනෙකුට කැමති නම් වෙනත් (ඇමචර් බෑන්ඩ් නොවන) සංඛ්‍යාතයකට ඇහුම්කන් දිය හැකියි. එහෙත් මෙහිදී යම් (ඇමචර් බෑන්ඩ් නොවන) සංඛ්‍යාතයක් ඔස්සේ සිදුවන රහසිගත පනිවුඩ සෙවීමට වෙහෙසීම, හෝ අනර්ථයක් කිරීමේ අරමුණින් යම් යම් ස්ථානවලට (ඔබේ වාසස්ථානය නොවන) ගොස් එවැනි සංඛ්‍යාතයන් ග්‍රහණය කිරීම ආදිය නීතිය ඉදිරියේ වරදක් විය හැකිය (hacking).

එලෙසම, ඉහත වගුවේ දක්වා තිබෙන ඒ ඒ බෑන්ඩ් හා එමිෂන් සඳහා පනවා තිබෙන උපරිම වොට් ගණනට වඩා වැඩි අගයකින් තම සම්ප්‍රේෂණයන් නොකළ යුතුය.

VHF සිට ඉහල සංඛ්‍යාත සඳහා අඩු වොට් ගණනක් ලබා දී HF සඳහා වැඩි වොට් ගණනක් නියම කිරීමට හේතුවක් ඇත. VHF සිට ඉහල සංඛ්‍යාතයන් සාමාන්‍යයෙන් ගමන් කරන්නේ (රේඩියෝ) ක්ෂිතිජය දක්වා පමණි. ඉහල වායුගෝලයේ උපකාරයක් ඊට ලැබෙන්නේ නැත. එනිසා බොරුවට වැඩි වොට් ගණනක් ලබා දීම ප්‍රායෝගික මෙන්ම සුදුසුද නැත (පොඩි දුරක් යෑමට බොරුවට වැඩි වොට් ගණනක් භාවිතා කරන එකේ තේරුමක් නැහැනෙ).

එහෙත් HF සංඛ්‍යාතයන්ට හැකියාව තිබෙනවා කිලෝමීටර් දහස් ගණන් දුර යෑමට; ඒ සඳහා වායුගෝලයේ උපකාරය ලැබෙනවා (මේ සියලු කරුණු ගැන විස්තරාත්මකව පසු පාඩම්වල සලකා බැලෙනවා). එනිසා වොට් ගණන වැඩිපුර යොදන්නට යොදන්නට එය වැඩි වැඩියෙන් ඈතට ගමන් කරාවි.

මෙවිට කෙනෙකු තර්ක කරාවි එසේ නම් VHF, UHF සංඛ්‍යාතයන් යොදා ගෙන රේඩියෝ හා ටීවී සංඥා කොහොමද මුලු රට පුරාම විසුරුවා හරින්නේ කියා. ඊට පිළිතුර සරලය. ට්‍රාන්ස්මිට් කරන හා රිසීව් කරන ඇන්ටනා පොලොව/මුහුදු මට්ටමේ සිට ඉහලින් පිහිටන විට, එම තරංගවලට පෙනෙන ක්ෂිතජයේ අරයද වැඩි වෙනවා (ඒ කියන්නේ තරංගවලට පැතිරෙන්නට තිබෙන ප්‍රදේශය වැඩි වෙනවා). ඒකනේ එම චැනල් විශාල කඳු මුදුන්වල පිහිටුවා ඇති ඉතා උස කුලුනුවල සිට සම්ප්‍රේෂනය කරන්නේ. එහෙත් ආධුනික ශිල්පින්ගේ ඇන්ටනා සාමාන්‍යයෙන් පිහිටන්නේ පොලොවට ආසන්නයේ නේද? එනිසා ආධුනික ශිල්පින්ගේ සංඥාවලට පෙනෙන ක්ෂිතිජයේ අරය කුඩාය (ඇන්ටනාවේ උස අනුව සංඥාවකට යා හැකි දුර ගැන මීට කලින් පාඩමකදී අප ඉගෙන ගත්තා).


සටහන
Radio-controlled (RC)
රේඩියෝ තරංගවලින් දුරස්ථව පාලනය වන ප්ලේන්/හෙලිකොප්ටර් (RC planes/helicopters), කාර් වැනි සෙල්ලම් බඩු දැන් බහුලව දක්නට ලැබෙනවා. කොඩ්කොප්ටර් (quadcopter), ඩ්‍රෝන් (drone) මේ අතර අද ප්‍රචලිතය. සාමාන්‍යයෙන් මේ සඳහා යොදා ගැනෙන්නේ භාවිතා කිරීමට පූර්ව අනුමැතියක් අවශ්‍ය නැති සංඛ්‍යාත පරාසයන්ය.

එසේ වුවත්, ලංකාවේ දැනට පවතින නීතිය අනුව, මෙවැනි සෙල්ලම් බඩු/උපකරණ ලංකාවට ගෙන්වනවා නම් හෝ නිපදවනවා නම්, ඒ සෑම බඩුවක් සඳහාම නියමිත බදු මුදලක් ගෙවීමට වෙනවා (රේඩියෝ සංඛ්‍යාතවලින් අපේ රට “ගසාගෙන කන්නේ” එලෙසයි). මෙම බදු මුදල එම භාණ්ඩය සඳහා එක් වරක් පමණක් ගෙවිය යුතු අතර, රේඩියෝ ට්‍රාන්ස්මිටරයේ ජවය අනුව එය පහත ආකාරයට තීරණය වෙනවා (දැනට).

         1. 50mW ට අඩු - රුපියල් 120ක්
         2. 50mW ට වැඩි 1W ට අඩු - රුපියල් 1000ක්
         3. 1W ට වැඩි - රුපියල් 5000ක්

Band Plan

ඇත්තටම යම් රටක/පෙදෙසක ආධුනික ගුවන් ශිල්පින් වැඩිවන තරමට ඉහත සංඛ්‍යාතයන් ඔස්සේ නිරන්තරයෙන්ම සංවාද සිදු වනු ඇති. තවද, එම සංවාද විවිධ ක්‍රම ඔස්සේද සිදු වේවි (මෝර්ස්කෝඩ් යැවීම, කටහඬ යැවීම, පරිගනක ආශ්‍රයෙන් අක්ෂර/ටෙක්ස්ට් යැවීම, රූප/ටීවි සංඥා යැවීම). මේ විවිධාකාරයෙ එමිෂන් ක්‍රම භාවිතා කළ යුත්තේ ඒ ඒ බෑන්ඩ් එක සඳහා අනුමත කර තිබෙන පරිදිය (ඉහත ඒ ගැන විස්තර කළානෙ). එසේ වුවත්, එක් බෑන්ඩ් එකක් තුල සාමාන්‍යයෙන් එමිෂන් වර්ග කිහිපයක්ම කිරීමට අවසර දී තිබෙනවා. උදාහරණයක් ලෙස, ඉහත වගුවේ 2m බෑන්ඩ් එක බලන්න. එහි කනින් අසන මෝර්ස්කෝඩ්, උපකරණයක් හරහා සිදු කරන මෝර්ස්කෝඩ්, modulated මෝර්ස්කෝඩ්, SSB-SC ක්‍රමයට යවන ශබ්ද, AM ක්‍රමයට යවන ශබ්ද, FM ක්‍රමයට යවන ශබ්ද, ෆැක්ස්, ටීවී, ඩිජිටල් ආකාරයේ පනිවුඩ ආදී එමිෂන් විශාල ගණනක් දක්වා තිබෙනවා.

යම් සංඛ්‍යාත පරාස තුල එමිෂන් වර්ග කිහිපයක් භාවිතා කිරීමට අවසර දීම ප්‍රායෝගික ගැටලුවක් ඇති කරනවා. උදාහරණයක් ලෙස, ඉහත 2m බෑන්ඩ් එක තුල ආධුනික ශිල්පියෙකුට සන්නිවේදනය කරන්නට අවශ්‍ය යැයි සිතමු. එවිට ඔහු එම සංඛ්‍යාත පරාසයම පළමුව ටියුන් කර කර බලනවා දැනටමත් සන්නිවේදනයන් සිදුවන තැන් මොනවාද කියා. එතැන තමයි ප්‍රශ්නය මතුවන්නේ.

ඒ ඒ එමිෂන්/සන්නිවේදන ක්‍රම සඳහා විවිධාකාරයේ රිසීවර්නෙ භාවිතා කරන්නට වෙන්නේ. FM ආකාරයෙන් එවන ශබ්දයක් ඔබේ AM රිසීවරයෙන් අසන්නට බැහැනෙ. ටීවී දර්ශන එවන සංඥාවක් ශබ්දය පමණක් ඇසිය හැකි AM හෝ FM හෝ SSB-SC රිසීවරයකින් ග්‍රහනය කරගෙන ප්‍රයෝජනයක් නැහැනෙ. අන්න ඒ වගේ එක් එක් සංඥා එවන එමිෂන් වර්ගයට ගැලපෙන අයුරින් රිසීවර් භාවිතා කළ යුතුය. ඉතිං යම් ආකාරයක එමිෂන් එකක් සපෝට් කරන රිසීවරයක් එම සංඛ්‍යාත පරාසය පුරා ස්කෑන් කරගෙන යන විට, විවිධාකාරයේ එමිෂන් විවිධ කිසි තේරුමක් නැති ශබ්ද හැටියට ඇසේවි. ඒ අතර සමහරවිට එම රිසීවරයට විමූර්ජනය කළ හැකි එමිෂන්ද හමුවිය හැකියි. එය අහඹු මෙන්ම කාලය කා දමන ක්‍රියාවලියකි.

මෙම අවිනිශ්චිතතාව මඟහැරීමට ඒ ඒ රටවල ස්වයංව සාදාගත් (නීතියෙන් බල නොකරන) සම්මුති තිබෙනවා. මේවා band plan ලෙස හැඳින්වෙනවා. යම් රටක සිටින ආධුනික ශිල්පින් හා ආධුනික ශිල්පි සමාජ එක්රැස්ව බෑන්ඩ්ප්ලෑන් සාදා ගත හැකියි. ශ්‍රී ලංකාවේ මෙවැනි බෑන්ඩ්ප්ලෑන් එකක් තවම නැත. බෑන්ඩ්ප්ලෑන් එකක් ක්‍රියාත්මක වන හැටි නැවතත් ඉහත උදාහරණයෙන්ම බලමු.

2m බෑන්ඩ් එකේ සංඛ්‍යාත පරාසය 144 – 146MHz නෙ. එනම් මෙගාහර්ට්ස් 2ක පරාසයක් තිබේ. මෙම පරාසය නැවත කුඩා සංඛ්‍යාත පරාස කිහිපයකට කඩනවා දැන්. ඒ එක් එක් කුඩා පරාසයන් අනුමත එක් එමිෂන් එකක් සඳහා යොදාගමු යැයි සියල්ලන්ම එකඟතාවකට පැමිණෙනවා. උදාහරණයක් ලෙස, 144.00 – 144.10MHz යන කිලෝහර්ට්ස් 100ක කුඩා කලාපය මෝර්ස්කෝඩ් සඳහා යොදා ගැනීමට පුලුවන. දැන් ඔබට අවශ්‍ය නම් මෝර්ස්කෝඩ් ක්‍රමයෙන් සංවාදයක් කිරීමට ඔබට නිකරුණේ මෙගාහර්ට්ස් 2ක කලාපයක් ස්කෑන් කර කර කාලය නාස්ති කරන්නට අවශ්‍ය නැහැ, කෙලින්ම අර කුඩා කලාපය ස්කෑන් කළ හැකියි. ඒ විතරක්ද නොවේ, මෝර්ස්කෝඩ් ක්‍රමයෙන් සංවාද කිරීමට කැමති අනෙක් අයත් දැන් මෙම කුඩා කලාපයට එන නිසා, ඉතා පහසුවෙන් සංවාද කරන්නට අයත් මුන ගැහේවි (එය නිකං එකම අදහස් ඇති කට්ටියක් මුන ගැහෙන ක්ලබ් එකක් වැනිය).

සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල් විසින් තමන්ගේ පහසුව තකා එවැනි බෑන්ඩ්ප්ලෑන් සාදා, පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි අලංකාරවත් වර්ණවත් අයුරින් ඒවා සකස් කර තිබෙනවා. එවිට, ආධුනික ශිල්පින්ට හැකියි ඒවා මුද්‍රණය කර තමන්ගේ ට්‍රාන්ස්මිටර් එහෙම තබන ස්ථානයේ බිත්තියේ අලවගන්න. ලංකාව සඳහා එවැනි බෑන්ඩ්ප්ලෑන් එකක් නැති නිසා, ඉහත වගුවක දැක්වූ සංඛ්‍යාතයන් හා ඒ හා සම්බන්ද විස්තර විචිත්‍රවත් ලෙස මා විසින් බෑන්ඩ්ප්ලෑන් එකක් ලෙස සාදා තිබෙනවා. එහි රූපය (low resolution image) පහත දැක්වේ.

 

තවද, ලංකාවද අයත් වන ITU/IARU කලාප 3 සඳහා පොදුවේ IARU විසින් බෑන්ඩ්ප්ලෑන් එකක් හඳුන්වා දී තිබෙනවා පහත ආකාරයට (2015 දී ඉන්දුනීසියාවේ පැවති IARU R3 16වැනි සමුලුවේදී යාවත්කාලීන කරපු). කැමති නම්, මෙය වුවද අපට භාවිතා කළ හැකියි (එහෙත් කවුරුත් ඊට අනුගතව ක්‍රියා නොකරයි නම් ඉන් කිසි ප්‍රයෝජනයක්ද ගත නොහැකි බව සිහිතබා ගත යුතුය). කලාප 3ට අයත් සියලු පරාසයන් සඳහා මෙය සකස් කර ඇතත්, සමහර පරාස ලංකාවේ භාවිතා කිරීමට අවසර නැති බවද මතක තබා ගෙන මෙම බෑන්ඩ්ප්ලෑන් එක අධ්‍යනය කරන්න (ලංකාවට අදාල නැති ඒවා අකුරු කුඩා කර දක්වා ඇත).

Frequency range
Emission classes
135 kHz
135.7 – 137.8 CW, බෑන්ඩ්විත් එක 2kHz ට අඩු NB (CW, RTTY, Packet, ...)
475 kHz
472 - 479 CW, NB
1.8 MHz
1.800 – 1.840 CW
1.840 – 2.000 Phone/Voice, CW, SSTV, Fax, 6kHz ට අඩු බෑන්ඩ්විත් සහිත අනුමත එමිෂන්
3.5 MHz
3.500 – 3.510 CW, CW DX
3.510 – 3.535 CW
3.535 – 3.580 CW, Phone
3.600 MHz (+/- 5kHz) CoA
3.580 – 3.775 CW, Phone, NB
3.775 – 3.800 CW, Phone DX, Phone
3.800 – 3.900 CW, Phone
7 MHz
7.000 – 7.030 CW
7.030 – 7.040 CW, NB, Phone
7.040 – 7.060 CW, Phone, NB DX
7.060 – 7.100 CW, Phone
7.110 MHz (+/- 5kHz) CoA
7.100 – 7.200 CW, Phone
7.200 – 7.300 CW, Phone
10 MHz
10.10 – 10.13 CW
10.13 – 10.15 CW, NB
14 MHz
14.000 – 14.070 CW
14.070 – 14.100 CW, NB
14.100 MHz (+/- 500Hz guard band) International Beacon frequency
14.100 – 14.112 CW, NB, Phone
14.110 – 14.350 CW, Phone
14.250 MHz (+/- 5kHz) SSTV
14.300 MHz (+/- 5kHz) CoA
18 MHz
18.068 – 18.095 CW
18.095 – 18.110 CW, NB
18.110 MHz (+/- 500Hz guard band) International Beacon frequency
18.110 – 18.120 CW, NB DX, Phone
18.120 – 18.168 CW, Phone
18.160 MHz (+/- 5kHz) CoA
21 MHz
21.000 – 21.070 CW
21.070 – 21.125 CW, NB
21.150 MHz (+/- 500Hz guard band) International Beacon frequency
21.125 – 21.150 CW, NB DX
21.150 – 21.450 CW, Phone
21.340 MHz (+/- 5kHz) SSTV
21.360 MHz (+/- 5kHz) CoA
24 MHz
24.890 – 24.915 CW
24.915 – 24.930 CW, NB
24.930 MHz (+/- 500Hz guard band) International Beacon frequency
24.930 – 24.940 CW, Phone, NB DX
24.940 – 24.990 CW, Phone
28 MHz
28.000 – 28.070 CW
28.070 – 28.150 CW, NB
28.150 – 28.190 CW, NB DX
28.190 – 28.200 Beacons
28.200 MHz (+/- 500Hz guard band) International Beacon frequency
28.200 – 28.300 CW
28.300 – 29.300 CW, Phone
28.680 MHz (+/- 5kHz) SSTV
29.300 – 29.510 Satellite, CW
29.510 – 29.700 CW, WB, FM
50 MHz
50.0 – 50.1 CW, Beacons
50.1 – 50.5 CW, Phone, NB
50.5 – 54.0 CW, WB
144 MHz
144.000 – 144.025 Satellites, බෑන්ඩ්විත් එක 2700Hz ට අඩු අනුමත ඕනෑම එමිෂන් වර්ගයක්
144.025 – 144.035 EME
144.035 – 145.800 No plan
145.800 – 146.000 Satellite පමණි
146.000 – 148.000 No plan
430 MHz
430.0 – 431.9 No plan
431.900 – 432.240 EME
432.240 – 435.000 No plan
435.000 – 438.000 Satellites
438.000 – 450.000 No plan
1240 MHz
1240 - 1260 No plan
1240 - 1270 Satellites
1270 - 1296 No plan
1296 - 1297 EME
1297 - 1300 No plan

ඉහත වගුව තුල NB යනු කිලෝහර්ට්ස් 2ට වඩා අඩු narrowband (පටු පරාස) එමිෂන්ය. WB යනු wideband එමිෂන් වේ. Satellites යනු ඇමචර් සේවා සපයන චන්ද්‍රිකා වේ. Phone යනු සාමාන්‍ය ශබ්ද මෙන්ම SSTV හා Fax ද ඇතුලත්ව කිලෝහර්ට්ස් 6ට නොවැඩි වෙනත් එමිෂන් වේ. CW (Continuous Wave) යනු මෝර්ස්කෝඩ් සන්නිවේදනයයි. EME (Earth-Moon-Earth) යනු පොලොවේ සිට සඳට සංඥා යවා ඉන් ලෝකයේ වෙනත් ඉතා ඈත පෙදෙසකට සංඥා යැවීමේ ක්‍රමයයි. මීට අමතරව, ඉහල වායුගෝලයේ ඉඳහිට ගමන් කරන උල්කාවල පරාවර්තය කර යවන සංඥාත්, ඉතාම දුර්වල මට්ටමේ පවතින (එනම් ඉතා අඩු ජව සංඥා සම්ප්‍රේෂන)ද මේ යටතට වැටේ.

International Beacon frequencies යනු දැනට ලොව වටා ක්‍රියාත්මක බීකන්වල සංඛ්‍යාතයන්ය (මේ ගැන පසුවට ඉගෙන ගමු). සමහර නිශ්චිත සංඛ්‍යාතයන් SSTV සඳහා වෙන් කර තිබේ. SSTV යනු ඇමචර් ක්ෂේත්‍රයේ රූප බෙදාහරින ටීවී ක්‍රමයකි. ඉතිං, එම සංඛ්‍යාත ඔස්සේ තමන්ගේ SSTV සංඥා විකාශය කළ හැකිය.

CoA (Centre of Activity) යනු හදිසි අවස්ථාවකදී (emmergency), ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු ඇමතිය යුතු යැයි IARU විසින් තීරණය කරපු සංඛ්‍යාතයන්ය.


සටහන
හදිසි ආපදා (emergency)
විවිධ හේතුන් මත ඕනෑම පෙදෙසක සිදු විය හැකි හදිසි හෝ ආපදා තත්ව කළමණාකරණයේදී ආධුනික ශිල්පින්ගේ ඊට මැදිහත් වීම ගැන මා මෙම කොටසින් කතා කරන්නට බලාපොරොත්තු නොවුණත්, ඒ ගැනත් වචනයක් දෙකක් පළමුව කීමට කැමතියි. ලංකාවේ අපට ඇත්තටම ඒ ගැන එතරම් කතා කිරීමට තරම්වත් දෙයක් නැත. ඇමරිකාව වැනි රටවල නම්, එවැනි තත්ව වලදී ආධුනික ගුවන් විදුලි ශිල්පින් එම තත්වයන් කළමණාකරණ ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය වන ඉක්මන් සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා (එහෙම නැතිව ක්‍රියාදාම වශයෙන් සම්බන්ද කරවා ගන්නේ නැත) යොදා ගන්නා හොඳ ක්‍රමවේද ඇතත්, ලංකාවේ එවැනි සැලැස්මක් තවම නැත. මෙලෙස ආපදාවලදී හදිසියේ සාදාගෙන සිදුකරන සන්නිවේදන emergency communication (emcomm) ලෙස හැඳින්වෙනවා.

හදිසි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු අයුරු පුහුණුවීමට වෙනම වැඩසටහන් පවා ආධුනික ශිල්පින් එම රටවල පවත්වනවා. ඊට හොඳම උදාහරණය ප්‍රමුඛතම ඇමරිකානු ආධුනික ගුවන් ශිල්පින්ගෙ සංගමය වන ARRL හා කැනඩාවේ Radio Amateurs යන ආධුනික ගුවන් ශිල්පින්ගෙ සංගමය හවුලේ පවත්වාගෙන යන Amateur Radio Emergency Service (ARES) නම් වැඩසටහන/සේවාව වේ. ඇත්තටම වර්තමානයේ ආධුනික ගුවන් ශිල්පින්ගෙන් සිදුවන එක් වැදගත්ම සේවාවක් ලෙස එය සැලකේ (පඩි හෝ දීමනා නැතිව ස්වේච්ඡා සේවාවක් ලෙසයි ආධුනික ශිල්පින් එය සිදු කරන්නේ).

එහෙත් ලංකාවේ එවැනි ස්ථිර සාර්ථක වැඩසටහනක් නැති වුවද, විදුලිසංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්ට (Director General – DG) බලය තිබෙනවා එවැනි හදිසි/ආපදා තත්වයන්හිදී ඉක්මන් සන්නිවේදන පහසුකම් සලසා දීමට ආධුනික ශිල්පින්ට අවසර ලබා දී ඔවුන්ගෙන් සේවාව ලබා ගැනීමට.

යම් පෙදෙසකට හෝ විශාල පිරිසකට හදිසි හෝ ආපදා තත්වයන් ඇති විය හැකියි වගේම, යම් පුද්ගලයෙකුට හෝ කුඩා පිරිසකටත් එවැනි හදිසි තත්ව සමහරවිට ඇති වේ. උදාහරණ ලෙස, මුහුදේ යන නවුකා හා ගුවනේ යන අහස් යානා මේ අතර ප්‍රමුඛ වේ. මෙවැනි අවස්ථාවලදීද එම තත්ව කළමණාකරණය කිරීමට ලෝකයේ බොහෝ රටවල සැලසුම් හා ප්‍රායෝගික ක්‍රමවේද සලසා ඇත. ලංකාවේද එවැනි ක්‍රමවේදයක් ඇත (විශේෂයෙන් නවුකා/ධීවරයන් සඳහා). අප මේ කෙටියෙන් බලන්නේ එවැනි අවස්ථාවලදී රේඩියෝ තරංග ඒ සඳහා යොදා ගන්නා හැටිය (මේ සඳහා රේඩියෝ තරංග ඉතාම සාර්ථකව යොදා ගත හැකි බව පැහැදිලියිනෙ).

එවැනි ආපදා තත්වයක් ඇති වූ විට, එය දැනුම් දීමට නිශ්චිත රේඩියෝ සංඛ්‍යාත වෙන් කර තිබෙනවා. ඒ අනුව, එවැනි ආපදා හෝ හදිසි තත්වයන්ට මුහුන දීමට සම්භාවිතාව වැඩි ගුවන් හා නාවුක යානාවල සුදුසු රේඩියෝ සන්නිවේදන උපකරණ ගෙන යෑම නීතියෙන්ද අනිවාර්ය කර තිබෙනවා. තවද, ඉතාම නිශ්චිතව ආපදාව පවතින තැන දැනගැනීමට GPS පහසුකමද එම උපකරණවල පවතිනවා (GPS නැති ඒවාත් තිබෙනවා). තවද, එම උපකරණයේ “බට්න් එකක්” එබූ විට ස්වයංක්‍රියවම එම ස්ථානයේ GPS එකෙන් ලබා ගත් අක්ෂාංශ දේශාංශ අගයන්ද සහිතව ආපදා සංඥාව (distress signal/call) සම්ප්‍රේෂනය වෙනවා අර නිශ්චිත සංඛ්‍යාත ඔස්සේ. ආපදා සංඥාවක වැදගත් කොටස් දෙකක් තිබෙනවා - ආපදාවක් වූ බවට යවන සංඥාව (alert signal) හා ආපදාව පවතින ස්ථානය හඳුනා ගැනීමේ තොරතුරු (අක්ෂාංශ හා දේශාංශ).

නවුකා සඳහා ජාත්‍යන්තර සමුද්‍ර ආයතනයේ (International Maritime Organization – IMO) ආශිර්වාදයෙන්, GMDSS (Global Maritime Distress and Safety System) නම් ඉතා දියුණු පද්ධතියක් හඳුන්වාදී ඇත. ආපදා තත්වයන් කළමණාකරණයට මෙන්ම නවුකා සමඟ වෙනත් සන්නිවේදනයන්ද සාර්ථකව කළ හැකි ක්‍රමයකි එය. MF, HF, VHF යන සංඛ්‍යාත පරාස කිහිපය පුරාම විහිදී තිබෙන නිශ්චිත ආපදා සංඛ්‍යාත කිහිපයක් පුරාම ආපදා සංඥා ස්වයංක්‍රියව යැවීමට GMDSS සපෝට් කරන සන්නිවේදන උපකරණයකට හැකියාව ඇත. මෙම පද්ධති ක්‍රියාත්මක කරන ආකාර පිළිබඳ කෙටි පාඨමාලා පවා ඇත (ආධුනික ගුවන් ශිල්පින්ට එනිසා ඒ ගැන ගැඹුරු දැනුමක් කිසිසේත් අවශ්‍ය නැත).

ආපදා සංඥාවන්ට ප්‍රතිචාර දැක්වීම ඇත්තටම වියදම් සහගත ක්‍රියාවලියකි. ඒ සඳහා ගොඩබිමේ තැනින් තැන ආපදා සංඥාවලට ප්‍රතිචාර දැක්වීමට (ආපදා සංඥා ග්‍රහනය කිරීමට මෙන්ම ඊට ප්‍රතිචාර සංඥා යැවීමටත්) ඇන්ටනා/ට්‍රාන්සීවර් තනා තිබෙනවා (ආයතන පිහිටුවා තිබෙනවා). මුහුදු මැද පෙදෙස් සඳහා විශේෂයෙන් චන්ද්‍රිකා (Inmarsat-C satellites) පවා යොදවා තිබෙනවා. එනිසා විහිලුවට හෝ ජීවිත තර්ජන නැති හදිසි තත්වයකදී හෝ distress signal යැවීම තහනම්ය. බරපතලකම නිසා එවැනි අවස්ථාවලදී විශාල දඩ ගැසීම් පවා සිදු කරනවා. ඉතිං, නවුකා ආදියෙහි සවිකර තිබෙන ස්වයංක්‍රිය distress call යවන උපකරණවලදී, ඉහත මා “එක් බට්න් එකක්” එබූ විට එම සංඥාව යවනවා කිව්වත්, සැබැවින්ම නිශ්චිතව එබිය යුතු බට්න් පෙලක් එහි තිබෙනවා. එසේ සාදා තිබෙන්නේ, වැරදිලාවත් කෙනෙකුගේ අතින් එම බට්න් එක එබීමෙන් බොරුවට ඩිස්ට්‍රෙස් කෝල් එකක් යෑමේ හැකියාව නැති කිරීමටයි.

අතීතයේ සිට මේ සඳහා විවිධ රටවල විවිධ සංඛ්‍යාතයන් වෙන් කර තිබෙන අතර, අද වන විට ඉන් සමහරක් සංඛ්‍යාතයන් භාවිතා නොවී, ඒ වෙනුවට මුලු ලෝකයම එක සංඛ්‍යාතයකට (හෝ කිහිපයකට) ගොනු වෙමින් පවතිනවා. International Distress Frequency ලෙස එය හැඳින්වෙනවා. නවුකා සඳහා මූලිකව 2182kHz, 156.8MHz හා 406MHz (ගුවන් යානා හා පොලොවේ යන අය සඳහාද 406 භාවිතා කළ හැකියි), ගුවන් යානා සඳහා මූලිකව 125.5MHz හා 243MHz ද භාවිතා වේ.

මීට අමතරව IARU ආයතනය විසින්ද ආධුනික ගුවන් විදුලි සංඛ්‍යාත කිහිපයක් හඳුන්වා දී තිබෙනවා ආපදා දැනුම් දීමට. ඒවා Emergency CoA (Centre of Activity) ලෙස හැඳින්වෙනවා. එම සංඛ්‍යාතයන් බොහොමයක් ITU කලාප 3 සඳහාම පොදුය. මෙම සංඛ්‍යාතවල කිසිම නීතිමය අධිකාරිත්වයක් නැත.

ITU Region 1
ITU Region 2
ITU Region 3
21360 kHz
21360 kHz
21360 kHz
18160 kHz
18160 kHz
18160 kHz
14300 kHz
14300 kHz
14300 kHz
7110 kHz
7060 or 7240 or 7275 kHz
7110 kHz
3760 kHz
3750 or 3985 kHz
3600 kHz

ආපදා සංඥාවලට ඇහුම්කන් දෙමින් (monitoring) සිටින ආරක්ෂක අංශ සිටිනවා ආපදාවන්ට ලක්වූවන්ට වහා උදව් දීමේ සූදානමින්. බොහෝවිට සිදු වන්නේ, ඉහත යම් සංඛ්‍යාතයක් ඔස්සේ ආපදාවක් දැනුම් දෙන විට, ඉහත ආපදා ප්‍රතිචාර ආයතනයක් ඊට ප්‍රතිචාර දැක්වීමයි. මූලික ආපදා තත්වය ඉහත සංඛ්‍යාතයක් ඔස්සේ සිදු කළත්, ඒ ගැන වැඩි විස්තර කතා කරන්නේ ඒ දෙපිරිස අතර එකඟවන වෙනත් සංඛ්‍යාතයක් ඔස්සේය. ආපදාවක් ඇතිවී ඊට සහය දෙන තුරු යම් කාලයක් ගත වෙනවානෙ. ඒ කාලය තුල සැරින් සැරේට දෙපිරිස අතර පනිවුඩ හුවමාරු කරමින් සිටිනවානෙ. ඉතිං පොදුවේ සෑම දෙනාම භාවිතා කරන අර ආපදා සංඛ්‍යාත ඔස්සේ එය සිදු කිරීම සුදුසු නැහැ මොකද වෙනත් ආපදාවකට ලක් වූවෙකුටත් එම පොදු සංඛ්‍යාත භාවිතා කිරීමට ඉඩ සලසා දිය යුතුයි. ඔබ යම් සේවාවක් ලබා ගැනීමේදී පෝලිමක සිටින විට, එම පෝලිමේ ඉදිරියෙන්ම සිටින කෙනා හා කවුන්ටරයේ ඉන්න කෙනා දිගු වෙලාවක් සතුටු සාමීචි (ඕපදූප) යෙදී හිටියොත් අනෙක් අයට එය ගැටලුවක්නෙ. අන්න එවැනිම තත්වයක් ඇති වේවි ආපදා සංඛ්‍යාතයම ආපදාව අවසන් වන තුරු යම් කෙනෙකු දිගින් දිගටම භාවිතා කරමින් සිටින්නට ගියොත්.

මොනයම්ම හේතුවක් නිසා හෝ ආධුනික සේවා සංඛ්‍යාත ඔස්සේද ඔබට ආපදා සංඥාවක් ලැබීමට හැකියි. ඊට හේතුව ආපදාවට ලක් වූ තැනැත්තා සතුව සමහරවිට ඒ මොහොතේ ඇත්තේ එම සංඛ්‍යාත ඔස්සේ සම්ප්‍රේෂනය සිදු කරන සන්නිවේදන උපකරණයක් විය හැකියි (ඔහු ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු විය හැකියි). ආපාදාවකදී ඕනම සංඛ්‍යාතයකින් පනිවුඩ යැවීමට සදාචාර අයිතියක් ඇත (එය හරියට, කරදරේක සිටින කෙනෙකු හතර වටේටම උදව් ඉල්ලා කෑ ගහනව වැනිය). ආපදාවකට පත් වූ තැනැත්තෙකුට එය දැනුම්දීම සඳහා එම මොහොතේ තමන් සතු ඕනෑම ක්‍රමයක් භාවිතා කළ හැකි බව RR රෙගුලාසිවලද පහත ආකාරයට සඳහන් කර ඇත.

“4.9 No provision of these Regulations prevents the use by a station in distress, or by a station providing assistance to it, of any means of radiocommunication at its disposal to attract attention, make known the condition and location of the station in distress, and obtain or provide assistance.”

“30.2 § 2 No provision of these Regulations prevents the use by a mobile station or a mobile earth station in distress of any means at its disposal to attract attention, make known its position, and obtain help (see also No. 4.9).”

“30.3 § 3 No provision of these Regulations prevents the use by stations on board aircraft, ships engaged in search and rescue operations, land stations, or coast earth stations, in exceptional circumstances, of any means at their disposal to assist a mobile station or a mobile earth station in
distress (see also Nos. 4.9 and 4.16)”

තවද, බොහෝවිට මෙවැනි (වෙනත් සාමාන්‍ය) සංඛ්‍යාතයන් හදිසි ප්‍රතිචාර අංශ මොනිටර් කරන්නේද නැත. මෙනිසා එම හදිසි සංඥාව ඇසෙන කෙනාට (ඔබට) හැකියි සුදුසු අංශයකට ඒ බැව් දැනුම් දෙන්න (බොහෝවිට 119 ඔස්සේ). පොලිසි හදිසි ඇමතුම් අංශයට ලබා දී කඩිනමින් සහය දීමට අවශ්‍ය අතිරේක විස්තරද හැකි තරම් ආපදාවට ලක් වූ කෙනාගෙන් ලබා ගැනීමද වැදගත් (කොහේද දැන් ඉන්නේ, කී දෙනෙකු ඉන්නවාද, ආපදාවේ ස්වභාවය වැනි). යම් ආපදාවකදී ඊට තමන්ම ඍජුව සහනයක් ලබා දීම විශේෂයෙන් ලාංකිකයන්ගේ ස්වභාවය වුවත්, ඊට වඩා වැදගත් වන්නේ පොලිසියේ සහය ගැනීමයි.

අනිවාර්යෙන්ම යම් සංඛ්‍යාතයක් ඔස්සේ ආපදා පනිවුඩයක් ඇසෙන විට, ඉක්මන් වී ඊට ප්‍රතිචාර නොදක්වා සාවධානව ඉවසිල්ලෙන් යම් කුඩා කාලයක් ඊට සවන් දිය යුතුය. තමන් දැනටමත් එම සංඛ්‍යාතයෙන් සන්නිවේදනයක් සිදු කරනවා නම්, වහම එය තාවකාලිකව හෝ නතර කළ යුතුය. ඉන්පසු කිසිවෙකු ඔහුට ප්‍රතිචාර නොදක්වන බව දැනුනොත් පමණක් ඉහත ඡේදයේ ආකාරයට ක්‍රියා කිරීම උචිතය.

ජීවිතයට තර්ජනයක් නැති (එතරම්ම බැරෑරුම් නොවන) හදිසි තත්වයන් urgency ලෙස හැඳින්වේ (emergency නොවේ). එමර්ජන්සි සංඥාවලට මෙන්ම මෙවැනි urgency signal සඳහාද ප්‍රතිචාර දැක්විය යුතුය. මීටත් අමතරව, safety signal කියාද සංඥා වර්ගයක් තිබෙනවා. මෙම සංඥාවලින් නවුකාවලට වැදගත් කාලගුන තොරතුරු ආදිය දන්වා සිටිනවා (“කුනාටුවක් එනවා පරිස්සම් වන්න” වැනි). මේවා ආපදා සංඥා නොව, ආපදාවක් සිදු වීමට විය හැකි තත්වයන් ගැන දැනුවත් කිරීම්ය.

ඉහත තුන් වර්ගයේම සංඥා මෝර්ස්කෝඩ් වලින් සේම කටහඬින්ද දැනුම් දිය හැකිය.

එහිදි, මේ තුන් වර්ගයේ සංඥා වෙන් වෙන්ව හඳුනා ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයක් ඇත. මේ සියලු විස්තර RR හි ඉතා පැහැදිලිව සවිස්තරාත්මකව ඇත.

එමර්ජන්සි සිග්නල් මෝර්ස්කෝඩ් ක්‍රමයෙන් යවන විට SOS යන කේතය තුන්වරක් පළමුව ලියා, තමන් කවුද යන්න (identity) ලියා, ඉන්පසු ආපදාවේ/හදිසියේ තත්වය/විස්තරය ලිවිය යුතුය. කටහඬින් එය වාර්තා කරන විට Mayday (මේඩේ) යන ශබ්දය තුන්වරක් කියා, අර විදියටම තමන්ගේ අනන්‍යතාව කියා, ආපදාවේ තත්වය කිව කිව යුතුය.

SOS යන්න Save Our Souls යනුවෙන් ඉංග්‍රිසි තේරුමක් සාදා ගෙන තිබේ. මේඩේ යන්න මැයිදිනය යන තේරුම නොවේ තිබෙන්නේ; මේඩේ යනු m’aidez යන ප්‍රංශ ප්‍රකාශය ශබ්ද කරන ආකාරයයි. එහි ඔරිජිනල් (එනම් ප්‍රංශ ප්‍රකාශයේ) තේරුම “මට උදව් කරන්න” යන්නයි.

අර්ජන්සි සිග්නල්, මෝර්ස්කෝඩ්වලින් XXX යන්න තෙවරක් ලියා, තමන්ගේ අනන්‍යතාව ලියා, හදිසි තත්වයේ ස්වභාවය ලිවිය යුතුය. කටහඬින් PAN (පෑන්) යන ශබ්දයෙන් තුන්පාරක් කියා, තමන්ගේ අනන්‍යතාව කියා, හදිසි තත්වයේ ස්වභාවය කිය යුතුය.

සේෆ්ටි සිග්නල් මෝර්ස්කෝඩ්වලින් TTT යන්න තෙවරක් ලියා, අනන්‍යතාව ලියා, වැදගත් දැනුම් දීම ලිවිය යුතුය. කටහඬින් Security (සික්‍යුරිටි) යන ශබ්දයෙන් තෙවරක් කියා, අනන්‍යතාව කියා, වැදගත් දැනුම් දීම කිව යුතුය.

ඉහත සඳහන් IARU R3 බෑන්ඩ්ප්ලෑන් එකට අනුකූලවන සේ ශ්‍රී ලංකාවේ දැනට ආධුනික ශිල්පින්ට භාවිතා කිරීමට අවසර දී තිබෙන සංඛ්‍යාත පරාස හා එමිෂන් වර්ග ඇතුලත්වන පරිදි මා විසින් සකස් කළ මීට පෙර ඉදිරිපත් කළ බෑන්ඩ්ප්ලෑන් එකම තවත් විස්තරාත්මක බෑන්ඩ්ප්ලෑන් එකක් මී ළඟ පොස්ට් එකේ දැක්වේ.

3 comments:

  1. මම කියවලා තියන හොදම බ්ලොග් එක තමයි මේක නියම වැඩක් දිගටම ලියන්න ඡය වේවා

    ReplyDelete
  2. වෙලාව තියනවා නම් මේ දේවල් ගැන යූටියුබ් චැනල් එකක් පටන් ගන්න දැන් ගොඩක් අය යූ ටියුබ් බලන නිසා මේ දැනුම ගොඩක් අය අතරට ගෙනියන්න හොද ක්‍රමයක් ඒක

    ReplyDelete
  3. :) ස්තූතියි... යූටියුබ් එකේ චැනල් එකක් පටන් ගත්තා දැන් කාලෙකට උඩදී... වීඩියො වගයකුත් කළා... එහෙත් ඒව පබ්ලිෂ් කළේ නැහැ... පස්සෙ නැවත ඒ ගැන සිතා බලනවා...

    ReplyDelete