Friday, February 24, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 50

රේඩියෝ තරංග ආශ්‍රිත සම්මත

විශේෂයෙන් ආධුනික ගුවන් විදුලිය ගැන හදාරන අපට, සන්නිවේදනය සඳහා රේඩියෝ තරංග යොදා ගන්නා හැටිත්, ඒ සඳහා පනවා ඇති දේශීය හා ජාත්‍යන්තර රෙගුලාසි ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුතුය. මෙම කොටසින් අප කතා කරන්නේ ITU ආයතනය විසින් පනවා ඇති RadioRegulations ලෙස හැඳින්වෙන රෙගුලාසි මාලාවේ ප්‍රකාශ කර ඇති ජාත්‍යන්තර වශයෙන් සෑම රටක්ම පිලිගැනීමට බැඳී සිටින සමහර සංකල්ප හා සම්මතයන් කිහිපයක් ගැනයි.

නවතම සංස්කරණය වන RR2016 යන රෙගුලාසි මාලාවේ තිබෙන සමහර අර්ථකථන (definition) කිහිපයක් පළමුව මා පහත දක්වනවා. එම රෙගුලාසි 1.1, 1.45, 2.112 ආදී ලෙස RR ලේඛනයේ/පොතේ අංක කර තිබෙනවා. ඒ එක් එක් අංකනයක් යටතේ තිබෙන ප්‍රකාශයක් article යන නමින් හැඳින් වෙන අතර, ඒ එක් එක් ආර්ටිකල් එකක් ඇත්තටම රෙගුලාසියකි (regulation). එම රෙගුලාසි ITU එකේ සාමාජිකත්වය ලබන සෑම රටක් විසින්ම එලෙස පිළිගැනීමට බැඳී සිටී (binding).

1.137 radiation: The outward flow of energy from any source in the form of radio waves.”

මෙම ආටිකල් 1.137න් radiation යන වචනයේ නිර්වචනය ලබා දේ. ඕනෑම ප්‍රභවයකින්/උපකරණයකින්/ඇටවුමකින් රේඩියෝ තරංග ලෙස පිටවන ශක්තිය රේඩියේෂන් (මෙහි සිංහල නම “විකිරණය” වේ) ලෙස සැලකිය යුතුය.

මේ අර්ථකථනය අනුව, ඔබ යම් විදුලි ස්විචයක් ඔන්/ඕෆ් කරන විටත් පිටවන රේඩියෝ තරංගත් රේඩියේෂන් වේ. ඔබේ මයික්‍රොවේව් උදුනෙන් පිටවන/සෑදෙන ක්ෂුද්‍ර තරංගත් රේඩියේෂන් වේ. ඔබේ ට්‍රාන්ස්මිටරයෙන් පිටවන රේඩියෝ සංඥාත් රේඩියේෂන් වේ. කොටින්ම, රේඩියේෂන් යනු ඕනෑම තැනක ඕනෑම ආකාරයකින් පිටවන/සෑදෙන රේඩියෝ තරංග සඳහා කියන පොදු නමයි.

“1.138 emission: Radiation produced, or the production of radiation, by a radio transmitting station.”

මෙම ආටිකල් එක emission යන වචනයේ නිර්වචනය ලබා දේ. යම් සම්ප්‍රේෂකයකින් පිටවන විකිරණ එමිෂන් (මෙහි සිංහල නම “විමෝචනය” වේ) ලෙස සැලකිය යුතුය.

මේ අර්ථකථනයෙන් ඇත්තටම සිදු කරන්නේ ස්වාභාවිකවත්, හිතාමතා නැතිවත් විවිධ සංසිද්ධි නිසා පිටවන රේඩියෝ තරංග හා අප උවමනාවෙන් සාදා ගෙන සන්නිවේදනය සඳහා යොදා ගන්නා රේඩියෝ තරංග අතර වෙනස පෙන්වා දීමයි. එනිසා කෙටියෙන් ගතහොත් අප විසින් උවමනාවෙන් ඉලෙක්ට්‍රොනික් පරිපථ හෝ වෙනත් උපක්‍රමයකින් නිපදවා ඇන්ටනාවකින් සම්ප්‍රේෂනය කරන රේඩියෝ තරංග එමිෂන් ලෙස නම් කළ යුතුය.

“1.139 class of emission: The set of characteristics of an emission, designated by standard symbols, e.g. type of modulation of the main carrier, modulating signal, type of information to be transmitted, and also, if appropriate, any additional signal characteristics.”

මෙම ආටිකල් එකෙන් class of emission යන්න නිර්වචනය කරයි. අප විසින් රේඩියෝ තරංග නිපදවා නිකංම ඇන්ටනාවකින් විසුරුවා හරින්නේ නැහැනෙ. එම රේඩියෝ තරංගවලට විවිධ දේවල් අප සිදු කරනවා (බුද්ධි තොරතුරු කැවීම හෙවත් මූර්ජනය සිදු කරනවා; ස්ප්‍රෙඩ් කරනවා; ...). ඉතිං මෙලෙස සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නිසා, අවසානයේ විසුරුවා හරින එමිෂන් එකේ ගතිගුණත් විවිධයි. මෙන්න මෙම විවිධාකාරයේ ක්‍රියාකාරකම් මත එමිෂන් අප විසින් වර්ග කරනවා. ඒ එක් එක් වර්ගයක් ක්ලාස් ඔෆ් එමිෂන් (මෙය සිංහලෙන් විමෝචක පංතිය ලෙස කිව හැකිය) ලෙස නම් කරනවා.

“1.152 necessary bandwidth: For a given class of emission, the width of the frequency band which is just sufficient to ensure the transmission of information at the rate and with the quality
required under specified conditions.”

මෙම ආටිකල් එකෙන් necessary bandwidth යන්න නිර්වචනය වේ. මින් කියන්නේ, යම් සන්නිවේදනයක් සඳහා අප භාවිතා කරන්නට යන එමිෂන් පංතියක්/ක්‍රමයක් තෝරා ගත් විට හා එම ක්‍රමයෙන් අපට අවශ්‍ය දත්ත වේගයද ඇතුලුව අනෙකුත් කොන්දේසිද සැපිරෙන ලෙස එය සිදු කරන විට, ඒ සඳහා අවශ්‍ය වන අවම සංඛ්‍යාත පරාසය (බෑන්ඩ්විත්) නෙසෙසරි බෑන්ඩ්විත් ලෙස හැඳින්විය යුතු බවයි.

අප හොඳින්ම දන්නවා සංඛ්‍යාතයන් යනු ඉතාම සීමිත වටිනා සම්පතක් බව. ඉතිං, අපට එය නාස්ති කර දැමීමට ඉඩ දිය නොහැකියි. යම් සන්නිවේදනයක් ඉටු කර ගැනීමට සරිලන අවම සංඛ්‍යාත පරාසයක් පමණක් එනිසා භාවිතා කිරීමට නීතියෙන් බල කෙරේ. ගණිතසූත්‍ර ඇසුරින් ගණනය කිරීමෙන් හෝ වෙනත් එවැනි ක්‍රමවේද හා සූත්‍ර නැති අවස්ථාවලදී ප්‍රායෝගිකව ක්‍රියාකාරි සන්නිවේදන පද්ධතියක් මැන බැලීමෙන් හෝ ඒ ඒ එමිෂන් ක්‍රමය සඳහා අවශ්‍ය කරන නෙසෙසරි බෑන්ඩ්විත් එක සොයා ගත යුතුය කියා RR හි සඳහන් වේ.

“1.153 occupied bandwidth: The width of a frequency band such that, below the lower and above the upper frequency limits, the mean powers emitted are each equal to a specified percentage β/2 of the total mean power of a given emission.

Unless otherwise specified in an ITU-R Recommendation for the appropriate class of emission, the value of β/2 should be taken as 0.5%.”

1.152 ආටිකල් එක අනුව යම් සම්ප්‍රේෂනයක් සඳහා නෙසෙසරි බෑන්ඩ්විත් එකක් ලබා දුන්නත්, බොහෝ අවස්ථාවලදී සිදුවන දෙයක් තමයි එම පරාසයට වඩා වැඩිපුර සංඛ්‍යාත පරාසයක් පුරාවට රේඩියෝ සංඛ්‍යාත විසුරුවා හැරීම. මෙවිට 1.153 ආටිකල් එකෙන් නිර්වචනය කෙරෙන occupied bandwidth යන වචනය බලාත්මක වෙනවා.

මින් කියන්නේ නෙසෙසරි බෑන්ඩ්විත් එකේ අවම අගයටත් පහල අගයක සිට නෙසෙසරි බෑන්ඩ්විත් එකේ උපරිම අගයටත් ඉහල අගයක් දක්වා පැතිරුණු සංඛ්‍යාත පරාසයක් ලබාගෙන සංඥාවක් සම්ප්‍රේෂනය වන විට, එලෙස වැඩිපුර භාවිතා කරන සංඛ්‍යාත පරාස තුල පවතින ජවය, සංඥාවේ මුලු ජවයෙන් යම් නිශ්චිත ප්‍රමාණයකට සමාන නම්, එය ඔක්‍යුපයිඩ් බෑන්ඩ්විත් ලෙස හැඳින්විය යුතු බවයි. තවද, එලෙස පැවතිය යුතු වොට් ප්‍රතිශතය නිකමට හෝ නිශ්චය කර නැති නම්, ඉබේම එම ප්‍රතිශත්ය 0.5% ලෙස ගත යුතු බවත් එම රෙගුලාසියේ සඳහන් වෙනවා. මින් ඇත්තටම සිදු කරන්නේ නෙසෙසරි බෑන්ඩ්විත් එකේ කියූ ගානට වඩා වැඩිපුර ලබා ගන්නා සංඛ්‍යාත පරාසයන් පුලුවන් තරම් සීමා කිරීමයි.

“1.144 out-of-band emission: Emission on a frequency or frequencies immediately outside the necessary bandwidth which results from the modulation process, but excluding spurious
emissions.”

යම් සම්ප්‍රේෂනයක මූර්ජන ක්‍රියාවලියේදී, එම සම්ප්‍රේෂනය සඳහා ලබා දුන් යම් නෙසෙසරි බෑන්ඩ්විත් එකට පිටින් සංඛ්‍යාතයක හෝ සංඛ්‍යාත පරාසයකද රේඩියෝ සංඥා පවතී/නිපදවේ නම්, එය අවුට් ඔෆ් බෑන්ඩ් එමිෂන් එකක් ලෙස නිර්වචනය කෙරේ. එහෙත් අප ඊළඟට විමසා බලන්නට යන spurious emission මේ යටතට ගැනෙන්නේ නැත. මෙහි වැදගත්ම කොන්දේසිය වන්නේ සම්ප්‍රේෂකයේ ඇති මූර්ජක පරිපථයේ සිදුවන මූර්ජන ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස වෙනත් සංඛ්‍යාතවලද නිපදවෙන රේඩියෝ තරංග විය යුතු වීමයි. මෙම තත්වය පාලනය කිරීමට අපහසුයි මොකද එවිට එම සම්ප්‍රේෂනයට බාධා ඇති වෙනවා.

“1.145 spurious emission: Emission on a frequency or frequencies which are outside the necessary bandwidth and the level of which may be reduced without affecting the corresponding transmission of information. Spurious emissions include harmonic emissions, parasitic emissions, intermodulation products and frequency conversion products, but exclude out-of-band emissions.”

අවුට් ඔෆ් බෑන්ඩ් එමිෂන් නොවන, එහෙත් නෙසෙසරි බෑන්ඩ්විත් එකෙන් පිටත නිපදවෙන රේඩියෝ තරංග ස්පූරියස් එමිෂන් වේ. මෙම තත්වය පහසුවෙන් පාලනය කළ හැකියි දත්ත සම්ප්‍රේෂනයට බාධා ඇති නොවන සේ.

“1.146 unwanted emissions: Consist of spurious emissions and out-of-band emissions.”

ඉහත දෙයාකාරයම (එනම් ස්පූරියස් හා අවුට් ඔෆ් බෑන්ඩ්) එමිෂන් පොදුවේ අන්වෝන්ටඩ් එමිෂන් ලෙස නම් කෙරේ.

“1.147 assigned frequency band: The frequency band within which the emission of a station is authorized; the width of the band equals the necessary bandwidth plus twice the absolute value of the frequency tolerance. Where space stations are concerned, the assigned frequency band includes twice the maximum Doppler shift that may occur in relation to any point of the Earth’s surface.”

යම් කිසි සම්ප්‍රේෂනයක් සිදු කිරීම සඳහා යම් විදුලිසංදේශ අධිකාරියක් විසින් ලබා දී තිබෙන සංඛ්‍යාත පරාසය අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් වේ. එම අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් එකට ලැබෙන සංඛ්‍යාත පරාසය සමාන වන්නේ එම එමිෂන් එකට නියමිත/සුදුසු නෙසෙසරි බෑන්ඩ්විත් එකත්, එම සංඛ්‍යාතයට නියමිත frequency tolerance අගය (මෙය සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් හෝ ppm ලෙස දැක්වෙන නිසා, ඉහත රෙගුලාසියේද කියන පරිදි ප්‍රතිශතය ඊට අදාල හර්ට්ස් අගයක් ලෙස (absolute value) පළමුව සකස් කළ යුතුය) මෙන් දෙගුනයක අගයත් යන අගයන් දෙක එකතු කළ විට ලැබෙන සංඛ්‍යාත පරාස අගයටයි (frequency tolerance ගැන ඊළඟ ඡේදයක දැක්වේ).

උදාහරණයක් ලෙස, යම් රේඩියෝ සේවාවක්/සම්ප්‍රේෂනයක් සිදු කරන්නේ මෙගාහර්ට්ස් 100 නම්, එම එමිෂන් එකට නියමිත නෙසෙසරි බෑන්ඩ්විත් එක කිලෝහර්ට්ස් 10 නම්, හා මෙගාහර්ට්ස් 100ට නියමිත frequency tolerance අගය 0.001%ක් නම් (එවිට එහි absolute value එක 100MHz x (0.001/100) = 0.001MHz හෙවත් 1kHz වේ), අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් එකේ බෑන්ඩ්විත් එක වන්නේ 10+2(1) = 12kHz වේ. එවිට එම සම්ප්‍රේෂනය මෙගාහර්ට්ස් 100.000 සිට මෙගාහර්ට්ස් 100.012 දක්වා වූ අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් එක තුල සිදු වේ.

“1.148 assigned frequency: The centre of the frequency band assigned to a station.”

අසයින්ඩ් ෆ්‍රීක්වන්සි යනු ඉහත නිර්වචනය කළ අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් එකේ මැද සංඛ්‍යාතයයි. එය පහසුවෙන්ම ගණනය කළ හැකියි, අදාල බෑන්ඩ් එකේ කෙලවර සංඛ්‍යාත දෙක එකතු කර 2න් බෙදූ විට. උදාහරණයක් ලෙස, ඉහත උදාහරණයේදී 100.000MHz – 100.012MHz යන අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් එකේ අසයින්ඩ් ෆ්‍රීක්වන්සි එක වන්නේ, (100.000 + 100.012)/2 = 100.006MHz වේ.

“1.149 characteristic frequency: A frequency which can be easily identified and measured in a given emission.

A carrier frequency may, for example, be designated as the characteristic frequency.”

යම් එමිෂන් එකක පහසුවෙන්ම හැඳිනගත හැකි හා මැනිය හැකි සංඛ්‍යාතය කැරක්ටරිස්ටික් ෆ්‍රීක්වන්සි නමි. එය බොහෝවිට කැරියර් සංඛ්‍යාතය විය හැකියි.

“1.151 frequency tolerance: The maximum permissible departure by the centre frequency of the frequency band occupied by an emission from the assigned frequency or, by the characteristic frequency of an emission from the reference frequency.

The frequency tolerance is expressed in parts in 106 or in hertz.”

යම් එමිෂන් එකක් සඳහා අසයින්ඩ් ෆ්‍රීක්වන්සි බෑන්ඩ් එකක් හිමිවෙනවානෙ. එම බෑන්ඩ් එකේ මැද සංඛ්‍යාතය අසයින්ඩ් ෆ්‍රීක්වන්සි ලෙසත් හැඳින්වෙන බව ඉහත පැවසුවා. ඉතිං විවිධ හේතු (උෂ්ණත්වය අඩු වැඩි වීම, ඉලෙක්ට්‍රොනික් උපාංගවල පවතින දෝෂ ආදී) නිසා, එම එමිෂන් එකට පවරපු මැද සංඛ්‍යාතය අපගමනය විය හැකිය. මෙම අපගමනය අප පෙන්වන්නේ එහි නියම අසයින්ඩ් ෆ්‍රීක්වන්සි එකට හෝ එහි කැරක්ටරිස්ටික් ෆ්‍රීක්වන්සි එකට සාපේක්ෂවයි. එම අපගමනය සහනතා අගයක් (tolerance) ලෙස දැක්වෙනවා. එය “කොටස් මිලියනයකට” “කොටස් කීයද” (parts per million – ppm) ලෙස හෝ හර්ට්ස් අගයක් ලෙස කෙලින්ම දැක්විය හැකියි (ඊට අමතරව ප්‍රතිශතයක් ලෙසද දැක්විය හැකියි).

උදාහරණයක් ලෙස යම් සම්ප්‍රේෂනයක් සඳහා යොදා ගන්නා සංඛ්‍යාත පරාසයක මධ්‍ය අගය මෙගාහර්ට්ස් 200 යැයි සිතමු. එම අගය එහා මෙහා විය හැකි (එනම් අපගමනය විය හැකි) මට්ටම 10ppm නම්, එය හර්ට්ස්වලින් කීයද? කොටස් (මෙහිදී කොටස් යනු හර්ට්ස් වේ) මිලියනයකට 10ක් නම්, හර්ට්ස් මිලියන 200කට (හෙවත් මෙගාහර්ට්ස් 200කට), එම අගය හර්ට්ස් 2000කි. ඉතිං, එම ටොලරන්ස් අගය මෙගාහර්ට්ස් 200 ට හර්ට්ස් 2000ක් ලෙස නිරපේක්ෂ අගයක් (absolute value) විදියටත් කිව හැකිව තිබුණා. ප්‍රතිශතයක් ලෙස, එයම (2000/200,000,000) x 100% = 0.001% කි. බලන්න ප්‍රතිශතයක් වශයෙන් දක්වන විට එය කුඩා දශම සංඛ්‍යාවක් ලෙස ලිවිය යුතු වෙනවා. ඊට වඩා පහසුවෙන් හා ඉක්මනින් ලිවිය හැකි ppm යොදා ගන්නේ එනිසයි.

RR හි සඳහන් වෙනවා නෙසෙසරි බෑන්ඩ්විත් සටහන් කරන සම්මත ආකාරයකුත්. එය සංඥා (ඉලක්කම් හෝ ඉංග්‍රිසි අකුරු) 4කින් තිබිය යුතු අතර, එය එක් ඉංග්‍රිසි අකුරකිනුත්, ඉලක්කම් 3කිනුත් සමන්විත විය යුතුය. භාවිතා කළ යුතු ඉංග්‍රිසි අකුරු 4ක් තිබෙන අතර, ඒ එක් එක් අකුරකින් නියෝජනය කරන්නේ හර්ට්ස්ද (H), කිලෝහර්ට්ස්ද (K), මෙගාහර්ට්ස්ද (M), ගිගාහර්ට්ස්ද (G) යන වගයි. ඉලක්කම් 3න් කියන්නේ සංඛ්‍යාත අගයයි. එම අගය දශමද විය හැකිය. එවිට, දශම තිත තිබෙන තැන අර ඉංග්‍රිසි අකුර යෙදෙනවා. තවද අවශ්‍ය නම් දශම සංඛ්‍යා සන්නිකර්ෂනයද (ළඟම දළ අගය ගැනීම) කළ හැකිය. මුල් සංඥාව බිංදුව හෝ K, M, G යන ඉංග්‍රිසි අකුරක් විය නොහැකිය. පහත උදාහරණ බලා ක්‍රමය තවදුරටත් පහසුවෙන් තේරුම් ගත හැකියි.

0.002 Hz = H002         6 kHz = 6K00               1.25 MHz = 1M25
0.1 Hz = H100             12.5 kHz = 12K5          2 MHz = 2M00
100 Hz = 100H            180.4 kHz = 180K        10 MHz = 10M0
25.3 Hz = 25H3           180.5 kHz = 181K        202 MHz = 202M
2.4 kHz = 2K40           180.7 kHz = 181K        5.65 GHz = 5G65

Class of emission ද යම් ක්‍රමවත් කෙටි සංඛේත ක්‍රමයකින් RR තුල දක්වනවා. එම කෙටි සංඛේත ක්‍රමයේදී අනිවාර්යෙන්ම සංඥා 3ක් තිබෙනවා. එක් එක් සංඥාවෙන් එක් එක් වෙනස් කාරණා නියෝජනය කෙරෙනවා.

පළමු සංඛේතයෙන් කියන්නේ එමිෂන් එකේ ප්‍රධාන වාහකය (main carrier) මත සිදු කරන්නේ කුමන මූර්ජන ක්‍රමයක්ද යන වගයි.

දෙවන සංඛේතයෙන් කියන්නේ ඉහත වාහකය සමඟ මූර්ජනයට ලක් කරන බුද්ධි වාහකයේ (modulating signal) ස්වභාවය ගැනයි.

තෙවැනි සංඛේතයෙන් කියන්නේ සන්නිවේදනය කරන දත්තයේ/සංඥාවල ස්වභාවය ගැනයි.

මේ සියලු සංඛේත ගැන දැන් වෙන් වෙන්ව බලමු.

පළමු සංඛේතය හා එහි තේරුම

N – මූර්ජනයට ලක් නොවූ වාහකය (unmodulated carrier) පමණක් විමෝචනය වේ (නිකංම සයිනාකාර තරංගයක් සම්ප්‍රේෂන වේ)

A – Double Sideband (DSB), Amplitude Modulation (AM)

B – Independent Sideband (ISB)

C – Vestigial Sideband (VSB)

H – Single Sideband with Full Carrier (SSB-FC)

R – Single Sideband with Reduced or Variable level Carrier (SSB-RC)

J – Single Sideband with Suppressed Carrier (SSB-SC)

F – Frequency Modulation (FM)

G – Phase Modulation (PM)

D – විස්තාර මූර්ජනය හා කෝන මූර්ජනය (FM/PM) යන දෙකම එක සැරේට (simultaneous) හෝ මිශ්‍රව (pre-established sequence) යොදා ගනී

K – Pulse Amplitude Modulation (PAM)

L – Pulse Width Modulation (PWM) / Pulse Duration Modulation (PDM)

M – Pulse Phase/Position Modulation (PPM)

P – නිකංම පල්ස් පෙලක් (unmodulated pulse train) කැරියර් එක හරහා යවන විට

W – ඉහත එක් ආකාරයකටවත් නොවැටෙන, හා විස්තාරය, සංඛ්‍යාතය, කලාව, ස්පන්ද යන මූර්ජන ක්‍රමවලින් කිහිපයක් එකවර හෝ මිශ්‍රව යොදා ගෙන සිදු කරන සංයුක්ත මූර්ජන ක්‍රමයක් සඳහා

X – ඉහත කිසිම ආකාරයකටවත් නොවැටෙන අවස්ථා සඳහා

දෙවැනි සංඛේතය හා එහි තේරුම

0 – කිසිම බුද්ධි සංඥාවක් නැත

1 – ඍජුවම කැරියර් එක ඔන් ඕෆ් කිරීම (OOK). සාම්ප්‍රදායික මෝර්ස් කෝඩ් මේ ක්‍රමයෙන් බුද්ධි තොරතුරු වාහකයට කවයි. ඒ කියන්නේ අමුතුවෙන් බුද්ධි තොරතුරු සහිත සංඥාවක් නැත. කැරියර් එක ඔන් හා ඕෆ් පමණක් සිදු කරන නිසා, මෙය ඉබේම ඩිජිටල්/බයිනරි ස්වභාවක් ගනී.

2 – ඉහත 1 අවස්ථාව වැනිම ඩිජිටල්/බයිනරි ආකාරයට බුද්ධි තොරතුරු වාහකයට කවනවා. එහෙත් මෙහිදී එම ඩිජිටල් බුද්ධි තොරතුර වෙනම සංඥාවක් (subcarrier) වශයෙන්ද පවතිනවා.

3 – සාමාන්‍ය ඇනලොග් බුද්ධි සංඥාවක් ඇත (මෙම ඇනලොග් සංඥාවෙන් සාමාන්‍ය පරිදි කැරියර් එක කුමක් හෝ මූර්ජන ක්‍රමයකින් මූර්ජනය කරනවා)

7 – ඩිජිටල් ආකාරයෙන් බුද්ධි සංඥා දෙකක් හෝ වැඩි ගණනක් තිබේ

8 – ඇනලොග් ආකාරයෙන් බුද්ධි සංඥා දෙකක් හෝ වැඩි ගණනක් තිබේ

9 – ඩිජිටල් හා ඇනලොග් යන දෙවර්ගයේම බුද්ධි සංඥා කිහිපයක් තිබේ

X – ඉහත කිසිම ආකාරයකට යටත් නොවන වෙනත් ඕනම ආකාරයක්

තෙවැනි සංඛේතය හා එහි තේරුම

N – කිසිම තොරතුරක් සම්ප්‍රේෂනය නොවේ

A – Telegraphy (Aural). කනින් අසා සිදු කරන ටෙලිග්‍රාෆ් (මෝර්ස්කෝඩ්) සන්නිවේදනය

B – Telegraphy (Automatic reception). යන්ත්‍ර මඟින් සිදු කරන ටෙලිග්‍රාෆ් (මෝර්ස්කෝඩ්)

C – Fax

D – Data, Telemetry (ටෙලිමෙට්‍රි යනු රේඩියෝ තරංග මඟින් දුර තිබෙන තැනක යම් යම් දේවල් මැන දැනගැනීමයි), Telecommand (ටෙලිකමාන්ඩ් යනු රේඩියෝ තරංග මඟින් දුර තිබෙන උපකරණ පාලනය කිරීමයි)

E – Telephony (ශබ්දයෙන් සිදු කරන සන්නිවේදනය), Sound broadcasting (රේඩියෝ චැනල් වැනි ශබ්ද විකාශන)

F – Television (video)

W – ඉහත ආකාර කිහිපයක එකතුවක් ඇති විට

X – ඉහත කිසිම ආකාරයකින් ආවරණය නොවූ වෙනත් ඕනෑම විදියක්

ඉහත සංඛේත අනුව ප්‍රයෝගිකව භාවිතා වෙන රේඩියෝ සන්නිවේදනය (එමිෂන්) කිහිපයක් උදාහරණ ලෙස සලකා බලමු.

J3Eමින් කියන්නේ ශබ්දය/කටහඬ SSBSC මූර්ජන ක්‍රමයෙන් යවන ඕනෑම සන්නිවේදන ක්‍රමයක් ගැනයි. ආධුනික ගුවන් විදුලියෙහි සාමාන්‍යයෙන් කටහඬින් සිදු කරන සන්නිවේදනයත් සංඛේතවත් කෙරෙන්නේ මේ ලෙසයි.

A1Aකැරියර් එක වරින් වර ඔන් ඕෆ් කරමින් (මෙය OOK ලෙස හැඳින්වෙන විස්තාර මූර්ජන ක්‍රමයකි) යවන යම් සංඥාවක් කනෙන් අසා සිදු කරන ටෙලිග්‍රාෆ් සන්නිවේදනයයි. සාම්ප්‍රදායික මෝර්ස්කෝඩ් සන්නිවේදනය මෙයයි.

C3F – VSB මූර්ජන ක්‍රමයෙන් ඇනලොග් සංඥාවක් රූප ලෙස විමෝචනය කිරීම. සාමාන්‍ය ටීවී සේවාව මින් සංඛේතවත් කෙරේ.

A3Eශබ්දය AM ක්‍රමයට විමෝචනය කිරීම. සාමාන්‍ය AM රේඩියෝ චැනල මින් නියෝජනය වේ.

F3Eශබ්දය FM ක්‍රමයට විමෝචනය කිරීම. සාමාන්‍ය FM රේඩියෝ සේවා/චැනල මින් නියෝජනය වේ.



ඇත්තටම, ඉහත අනිවාර්යෙන් තිබිය යුතු සංඛේත 3 හැරුනහම, කැමති නම් තිබිය හැකි වෛකල්පික (optional) සංඥා දෙකක්ද තිබිය හැකිය. එහිදී හතරවැනි සංඥාවෙන් සම්ප්‍රේෂනය/විමෝචනය කරන දත්තයේ ස්වභාවය වැඩිදුර විස්තර වන අතර, පස්වැනි සංඛේතයෙන් කියන්නේ යොදා ගන්නා මල්ටිප්ලෙක්සිං ක්‍රමය (මල්ටිප්ලෙක්සිං යොදා ගන්නේ නම්) කුමක්ද යන්නයි. මෙම සංඥා දෙක වෛකල්පික නිසා, මේ දෙකම නැතිව එකක් පමණක් සටහන් කරන විට, නැති සංඥාව තිබෙන තැනට කුඩා ඉරක් (dash) ලිවිය යුතුය. දැන් ඒ ගැනත් කෙටියෙන් බලමු.

හතරවැනි සංඥාව හා එහි තේරුම

M – යවන රූප සංඥා කලුසුදු (monochrome) වේ

N – යවන රූප සංඥා වර්ණ (color) වේ

G – යවන ශබ්ද සංඥා monophonic වේ (එක් ශබ්ද චැනලයක් ඇත)

H – යවන ශබ්ද සංඥා stereophonic (stereo) (ශබ්ද චැනල් දෙකක් ඇත) හෝ quadraphonic (ශබ්ද චැනල් 4ක් ඇත) වේ

තවත් සංඥා කිහිපයක් තිබේ (ඉහත සටහන් නොකරපු).

පස්වැනි සංඥාව හා එහි තේරුම

N – කිසිම මල්ටිප්ලෙක්සිං ක්‍රමයක් භාවිතා නොවේ

C – Code Division Multiplexing, Spread Spectrum techniques

F – Frequency Division Multiplexing

T – Time Division Multiplexing

W – FDM හා TDM දෙකම එකවර යොදා ගන්නා විට

X - ඉහත සඳහන් නොකළ වෙනත් ඕනෑම ජාතියක මල්ටිප්ලෙක්සිං ක්‍රමයක්

උදාහරණ කිහිපයක් බලමු.

A3EGNසාමාන්‍ය AM සේවාවක් වන අතර, ශබ්දය මොනෝ වන අතර, කිසිදු මල්ටිප්ලෙක්සිං එකක් නැත.

F3EH-සාමාන්‍ය FM ක්‍රමය වන අතර, පස්වැනි සංඥාව සටහන් කර නැති නිසා - (ඩෑෂ්) එකක් යොදා ඇත.

A3E-Nසාමාන්‍ය AM ක්‍රමය වන අතර, හතරවැනි සංඥාව සටහන් කර නැති නිසා ඩෑෂ් එකක් යොදා ඇත.

R3CMN – SSB-RC මූර්ජන ක්‍රමයෙන් ඇනලොග් සංඥාවක් ෆැක්ස් ආකාරයට යවන සන්නිවේදනයකි (එනම් සාමාන්‍ය ෆැක්ස් සේවාව). යවන රූප කලුසුදු වන අතර, කිසිම මල්ටිප්ලෙක්සිං එකක් භාවිතා නොවේ.

RR රෙගුලාසි (1979දී පැවති WARC සමුලුවෙන් (WARC79) මේ සංඥා ක්‍රමය ඉදිරිපත් කර ඇත) අපට කියනවා ඕනෑම එමිෂන් එකක් (රේඩියෝ සන්නිවේදනයක්/සේවාවක්) සංක්ෂිප්ත සම්මත ක්‍රමයකින් දැක්විය හැකියි කියා (Emission Designator). පළමුව එම එමිෂන් එකට අදාල නෙසෙසරි බෑන්ඩ්විත් එක ඉහත හඳුන්වාදුන් සංඛේත ක්‍රමයෙන් ලියා, දෙවනුව එම එමිෂන් එකේ එමිෂන් ක්ලාස් එක ඉහත දැක්වූ සංඛේත ක්‍රමයෙන් ලිවිය යුතුය. පහත උදාහරණ බලන්න.

H400 A1Aමින් නිරූපණය වෙන්නේ නෙසෙසරි බෑන්ඩ්විත් එක හර්ට්ස් 400ක් වන, කැරියර් එක ඔන් ඕෆ් කරමින් විස්තාර මූර්ජනය සිදු කරන (OOK) කනින් ඇසිය යුතු ටෙලිග්‍රාෆ් සන්නිවේදනයයි.

6M25 C3Fබෑන්ඩ්විත් එක 6.5MHz වන සාමාන්‍ය රූපවාහිනි සේවාව.

200KGXW – GSM Cellular

1M25F9W – CDMA Cellular

300KG7W – EDGE

60H0J2B – PSK31 (මෙය ආධුනික ගුවන් විදුලියේ පරිගනක ආශ්‍රයෙන් රේඩියෝ තරංග ඔස්සේ පනිවුඩ යවන ප්‍රචලිත ක්‍රමයකි)

No comments:

Post a Comment