Tuesday, February 21, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 47

ඇමරිකාව වැනි රටවල ආධුනික ගුවන් විදුලි සංඛ්‍යාතයන් භාවිතා කරන ආධුනික ගුවන් ශිල්පින්ට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා ආධුනික ගුවන් විදුලියට සම්බන්ද ට්‍රාන්සීවර් හා රිපීටර් සාමාන්‍ය දුරකතන ජාලා සමඟ සම්බන්ද කරන්නත්. මෙය autopatch හෙවත් phone patch ලෙස හැඳින්වෙනවා. මෙමඟින් හැකි වෙනවා යම් ආධුනික ගුවන් ශිල්පියෙකුට තමන්ගේ ආධුනික ගුවන් විදුලි සංඛ්‍යාත ට්‍රාන්සීවරයෙන්ම සාමාන්‍ය දුරකතනය අංකයකට කතා කරන්නට.

මෙයත් අප මීට කලින් දුටු ගේට්වේ එකක් යොදාගෙනයි සිදු කරන්නේ; තාක්ෂණිකව වෙනසක් නැත. ලංකාවේ නීතිය අනුව මෙය කිරීම සපුරා තහනම් වේ; එනම්, ලංකාවේ පවතින පොදු දුරකතන ජාලයකට ආධුනික ගුවන් විදුලි උපකරණ සම්බන්ද කර එම සේවා දෙක ඉන්ටර්කනෙක්ට් කළ නොහැකිය.

ඇමරිකාවේදී පවා එය සිදු කිරීමේ යම් යම් කොන්දේසි නැතිවා නොවේ (මොකද ආධුනික ගුවන් විදුලිය සම්බන්දයෙන් තිබෙන රීතීන් බලපාන නිසා). උදාහරණයක් ලෙස, එලෙස ඔටෝපැච් එකකින් කෝල් එකක් ගත් විට, නිකමට හෝ එහා පැත්තේ ෆෝන් එක (ඇමරිකාවේ සිටින) ඔබව hold කළොත්, එවිට බොහෝවිට ඇසෙන්නේ යම් සංගීතයක්නෙ. ඉතිං සංගීතයන් ආධුනික ගුවන් විදුලි චැනල හරහා විසුරුවාලීම පොදුවේ තහනම් නිසා, ඔබට එවිට සිදු වෙනවා එම කෝල් එක වහම ඩිස්කනෙක්ට් කරන්නට.

Open source GSM network
GSM තාක්ෂණය සම්බන්දයෙන් රහසිගතව තබා ගත් බොහෝ තොරතුරු දැන් අන්තර්ජාලය හරහා ලොවටම අනාවරණය වී ඇත. එම තොරතුරු උපයෝගි කරගෙන හා දැන් පවතින වේගවත් දියුණු පරිගනක තාක්ෂණයත් උපයෝගි කරගෙන පරිගනකයකුත් තව රුපියල් හාර පන්දහක් වැනි මුදලකට ලබා ගත හැකි උපාංගයකුත් යොදාගෙන තමන්ගේම GSM සේවාවක් සාදා ගත හැකියි. මෙහිදී සාමාන්‍යයෙන් GSM ජාලයක/සේවාවක සිදු කරන authentication, registration ආදී සියලු කටයුතු සිද්ධ කිරීම පරිගනකය මත රන් වන සොෆ්ට්වෙයාර් එකක් මඟින් සිදු වේ (මෙම සොෆ්ට්වෙයාර් එක තමයි මෙතැන තිබෙන වටිනාම අංගය; අර ලෙස අනාවරණය වූ තොරතුරු මතයි මේවා සාදා තිබෙන්නේ). මෙවැනි සොෆ්ට්වෙයාර් open source GSM software ලෙස හැඳින්වේ.

OpenBTS, YateBTS ආදී ලෙස ඕපන්සෝස් ජීඑස්එම් සොෆ්ට්වෙයාර් කිහිපයක්ම පවතින අතර ඒවා නොමිලේම අන්තර්ජාලයෙන් ලබා ගතද හැකියි. GSM සේවාවට සම්බන්ද සියලු ගණිතකර්ම, සැකසීම් ආදිය එය විසින් සිදු කරනවා. එහෙත් භාහිර ෆෝන් සමඟ සම්බන්ද වීමට රිසීවරයක්, ට්‍රාන්ස්මිටරයක්, හා ඇන්ටනාවක්ද අවශ්‍ය වේ. මේ සඳහා භාවිතා කරන්නට වන්නේ software-defined radio (SDR) ලෙස හැඳින්වෙන ට්‍රාන්සීවරයකි (මේවාද දැන් පහසුවෙන් මිල දී ගත හැකියි). SDR එක පරිගනකයේ USB පෝට් එකට සම්බන්ද කර, අවශ්‍ය නම් රේඩියෝ සංඛ්‍යාත ජව වර්ධකයක් (හෝ එය නැතිව කෙලින්ම) SDR එකට සුදුසු ඇන්ටනාවක් සවිකර, සොෆ්ට්වෙයාර් එක රන් කිරීමට පමණයි තිබෙන්නේ (සොෆ්ට්වෙයාර් එකේ සෙටිංස් සකසා).


සටහන
Software Defined Radio (SDR)
මුල් කාලයේ සිටම රේඩියෝ ග්‍රාහක (receiver) පරිපථත්, රේඩියෝ සම්ප්‍රේෂක (transmitter) පරිපථත්, මේ දෙකට එකට තිබෙන transceiver පරිපථත් අපට උපකරණ වශයෙන් සාදා හෝ මිලදී ගත හැකිව තිබුණා. මේවා දැන් Hardware Defined Radio (HDR) කියා අවශ්‍ය නම් හැඳින්විය හැකියි. යම් නිශ්චිත එක් සංඛ්‍යාතයක් මත පමණක් ක්‍රියාත්මක වන පරිදි හෝ නිශ්චිත කුඩා සංඛ්‍යාත පරාසයක් පුරාම ක්‍රියාත්මක වන පරිදි (උදාහරණයක් ලෙස 88MHz සිට 108MHz දක්වා) හෝ විශාල සංඛ්‍යාත පරාසයක් පුරාම ක්‍රියාත්මක වන පරිදි (උදාහරණයක් ලෙස 50MHz සිට 800MHz දක්වා) මෙම උපකරණ සාදා තිබෙනවා.

රේඩියෝ තරංග විවිධ මූර්ජන ක්‍රම (AM, SSBSC, SSBRC, NFM, WFM, QAM, …) යොදා ගන්නවානෙ තොරතුරු සන්නිවේදනය කිරීමට. මෙවිට ඒ ඒ මූර්ජන ක්‍රමය සඳහා එකම පරිපථයක් වෙනුවට වෙනස් වෙනස් පරිපථ සෑදීමට සිදු වෙනවා. ඉතිං යම් HDR වර්ගයේ රේඩියෝ උපකරණයකින් එම සියලු මූර්ජන ක්‍රම සපෝට් කරන්නට අවශ්‍ය විට, පරිපථ රාශියක් අවශ්‍ය බව පෙනෙනවා නේද? එනිසා, එවැනි මූර්ජන ක්‍රම රැසක් සපෝට් කරන HDR වර්ගයේ උපකරණවල මිල ඉතා අධික විය.

එහෙත් පසුව මයික්‍රොකොන්ට්‍රෝලර්/පරිගනක තාක්ෂණයේ දියුණුවත් සමඟ පෙනුනා ඉහත සියලුම මූර්ජන ක්‍රම තනි පරිපථයකින් කළ හැකි ලෙස සකස් කළ හැකි බව. එය හාඩ්වෙයාර් හා සොෆ්ට්වෙයාර් ලෙස කොටස් දෙකකින් යුත් පද්ධතියකි. සියලුම මූර්ජන/විමූර්ජන ක්‍රියාවලිවල පොදුවේ සිදුවන කොටස/ගණතකර්ම වෙනම ගෙන තනි පොදු පරිපථ කොටසින් සිදු කර ගන්නවා (පරිපථයකින් සිදු කෙරෙන වැඩක් නිසා එම කොටස hardware වේ). එහෙත් ඊට අමතරව, එක් එක් මූර්ජන ක්‍රමයට පමණක් සුවිශේෂි ගණිතකර්ම යම් මයික්‍රොකොන්ට්‍රෝලර්/පරිගනක පරිපථයක් මත රන් වන software ආකාරයෙන් සිදු කර ගන්නවා (වේගවත් මයික්‍රොකන්ට්‍රෝලර් තිබෙන නිසා මෙය කළ හැකි විය). සංකීර්ණතම කාරණය සොෆ්ට්වෙයාර් ලෙස ක්‍රියාත්මක වෙන නිසා, Software Defined Radio යන නමින් එම උපකරණ හැඳින්වේ.


මෙම ක්‍රමය විප්ලවීය වේ. අතිවිශාල පරිපථයක් මෙමඟින් කුඩා උපකරණයක් ලෙස සෑදිය හැකි විය (විවිධ හැඩවලින්). උපකරණය එතරම් කුඩා වුවත්, ඉන් කරන්නේ දැවැන්ත වැඩ කන්දරාවකි. එනම්, ඕනෑම මූර්ජන ක්‍රමයක් අතිවිශාල සංඛ්‍යාත පරාසයක් (10kHz පමණ සිට 12GHz හෝ ඊටත් වැඩි සංඛ්‍යාතයක් දක්වා) පුරාවට සිදු කිරීමේ හැකියාව එය සතුය. මිල පහල ගියේය (රුපියල් දහපහලොස්දහක සිට ලක්ෂය ඉක්මවා මිල ගණන්වලට මේවා මිල දී ගත හැකිය).

ඒ විතරක්ද නොවෙයි. මයික්‍රොකොන්ට්‍රෝලර්/පරිගනක තාක්ෂනය භාවිතා වෙන නිසා, අපගේ සාමාන්‍ය පරිගනක සමගද පහසුවෙන්ම ඒවා සම්බන්ද කර ගත හැකිය. බොහෝවිට USB පෝට් එක හරහා ඒවා සම්බන්ද වේ. ඒකනෙ opensource GSM project වලටත් යොදා ගන්නේ.

සමහර sdr වලට හැක්කේ රේඩියෝ සංඥා ග්‍රහනය කර ගන්නට පමණි (sdr receiver). සමහර sdr වලට ග්‍රහනය කිරීමට මෙන්ම සම්ප්‍රේෂනය කිරීමටද හැකිය (sdr transceiver).

ඔබ දන්නවා ටීවි හා රේඩියෝ චැනල් දැන් ඩිජිටල් ආකාරයෙන් විසුරුවනවා බොහෝ රටවල. ඒ සඳහා යොදා ගන්නා ඩිජිටල් තාක්ෂණ කිහිපයක්ම තිබෙනවා DVB-T, DVB-T2 ආදි නම්වලින්. සීඩී ප්ලේයර් වැනි ඩෙක් එකක් ලෙස මෙවැනි උපාංගයක් මිල දී ගත හැකියි (සැටලයිට් ටීවී කනෙක්ෂන් එකක් ගැනීමේදී ලැබෙන්නේද මෙවැනි ඩෙක් එකක් තමයි). මීට අමතරව, පරිගනකයට සවිකරන ඩොන්ගල් එකක් සේද රුපියල් දහකට පමණ මේවා මිලට ගත හැකියි (මෙවිට පරිගනකයෙන් තමයි ටීවි බලන්න වෙන්නේ). පහත රූපයේද දැක්වෙන සේ ඩොන්ගලය සමග කුඩා ඇන්ටනාවකුත් රිමෝට් කන්ට්‍රෝලර් එකකුත් ඒ සමඟම ලැබෙනවා.


මෙලෙස DVB-T යන සම්මතයට අනුව විසුරුවා හරින ඩිජිටල් චැනල් බැලීමට විවිධ ආයතනවලින් DVB-T dongle වෙළඳපොලට එවා තිබෙනවා. මින් සමහරක් ඩොන්ගල්වල RealTek නම් අයිසී නිපදවන ආයතනය විසින් නිපදවූ RTL2832U නම් අයිසී/චිප් එකයි sdr පරිපථයේ මූලිකාංගය ලෙස භාවිතා කරන්නේ. මෙම චිප් එක සමඟ වැඩ කරන විට ලිනක්ස් මෙහෙයුම් පද්ධති ප්‍රෝග්‍රැමර් කෙනෙකු වන Eric Fry විසින් අහම්බෙන් සොයා ගත්තා එම චිප් එක සහිත සෑම ඩොන්ගල් එකක්ම පරිපථයට කිසිදු වෙනසක් සිදු නොකරම පරිගනක සොෆ්ට්වෙයාර් එකක් විසින් සාමාන්‍ය sdr receiver එකක් ලෙස යොදා ගත හැකි බව (මීට ට්‍රාන්ස්මිට් කළ නොහැකිය). එය කළ හැක්කේ මෙම චිප් එකට පමණි!

මේ සඳහා භාවිතා කළ හැකි සොෆ්ට්වෙයාර් ගණනාවක්ම නොමිලේ අන්තර්ජාලයේ ඇත; SDRsharp යනු මාද ප්‍රිය කරන එවැනි එක් සොෆ්ට්වෙයාර් එකකි.


මෙම සොයා ගැනීමත් සමඟ RTL2832U චිපය සහිත DVB-T ඩොන්ගලය අද බොහෝ දෙනා (මාද ඇතුලුව) භාවිතා කරන්නේ DVB-T ක්‍රමයට ටීවී බැලීමට නොව, sdr එකක් ලෙසයි. අනෙක් තරමක් මිල අධික sdr එකකට වඩා කොලිටියෙන් හා හැකියාවන්ගෙන් අඩු වුවත්, මෙලෙස ලාබෙට (මෙය රුපියල් දහකට අඩුය) ලැබෙන sdr එක එනිසා ජනප්‍රිය වී තිබේ. ඊට RTL-SDR කියා ව්‍යවහාර වේ.

SDR එකක සලකා බලන ප්‍රධානතම සාධකය වන්නේ එහි dynamic range එකයි. SDR යනු ඩිජිටල් උපාංගයකි. එහෙත් රේඩියෝ සංඥා ඇනලොග්ය. එනිසා ඇනලොග් හා ඩිජිටල් පරිවර්තනයක් (ADC, DAC) මේ තුල සිදු වේ. ඇනලොග් සංඥාවක් ඩිජිටල් කරන විට, sampling rate හා resolution නම් සාධක දෙකක් ගැන අප ඉගෙන ගත්තා මතකද? සාම්ප්ලිං රේට් හා රෙසලූෂන් අගයන් දෙකෙහිම අගය වැඩිවන තරමට කොලිටිය හොඳය. රෙසලූෂන් යනු එක් සාම්පලයකට තිබෙන බිට් ගණනනෙ. රෙසලූෂන් එක හා සම්බන්ද වචනයක්/සංකල්පයක් තමයි ඩයිනමික් රේන්ජ් කියන්නෙත්. එය ඩෙසිබෙල් අගයකි. රෙසලූෂන් හා ඩයිනමික් රේන්ජ් අතර පහත ආකාරයේ සම්බන්දතාවක් තිබේ.

Dynamic Range (dB) = bits x 6.02

හොඳ SDR එකක සාම්පලයකට බිට් (එනම් රෙසලූෂන් එක) 12ක් පමණ තිබේ. එහි ඩයිනමික් රේන්ජ් අගය ඒ අනුව, 12 x 6.02 = 72dB වේ. RTL2832U සහිත ඩොන්ගලයක රෙසලූෂන් බිට් 8කි තිබෙන්නේ. එවිට එහි ඩයිනමික් රේන්ජ් එක 8x6.02 = 48dB වේ. එනිසයි RTL-SDR හි කොලිටිය තරමක් අඩු යැයි පවසන එක් හේතුවක් වන්නේ. SDR එකිනෙකට සසඳන විට ඩයිනමික් රේන්ජ් යන සාධකය නිතරම යොදා ගන්නවා.

දළ වශයෙන් 64MHz සිට 1.7GHz දක්වා සංඛ්‍යාත කලාපයක් RTL2832U චිප් සහිත sdr receiver එකෙන් ආවරණය කෙරෙනවා (ඇත්තටම මීටත් වඩා පරාසයකුත් දැන් මින් ලබා ගත හැකි පරිදි සකස් කරගෙන තිබෙනවා). තවද, ඉතා හොඳින් මෙගාහර්ට්ස් 2.8ක බෑන්ඩ්විත් එකක් සහිත සංඥාවක් සමඟ ඊට වැඩ කළ හැකිය. ඒ කියන්නේ මෙම උපකරණයට ලැබෙන යම් සංඥාවක බෑන්ඩ්විත් එක මෙගාහර්ට්ස් 2.8ක් හෝ ඊට වඩා අඩු විය යුතුය. උදාහරණයක් ලෙස, සාමාන්‍ය ඇනලොග් ටීවී සංඥාවක බෑන්ඩ්විත් එක මෙගාහර්ට්ස් 6ක් පමණ වන නිසා, මෙමඟින් බැහැ එවැනි ටීවී සංඥා process කරන්න. එහෙත් මිල අධික සාමාන්‍ය SDR වල මීට වඩා වැඩි බෑන්ඩ්විත් ඇත (උදාහරණයක් ලෙස, HackRF නම් SDR එකේ බෑන්ඩ්විත් එක 40MHz වේ).

RTL2832U හි ඇති ADC කන්වර්ටරයේ සාම්ප්ලිං රේට් එක 2.8MHz පමණ වේ. සාම්ප්ලිං රේට් = 2xබෑන්ඩ්විත් යන සූත්‍රය (මේ සූත්‍රය ගැන පසුවට සලකා බලමු) අනුව, මෙම චිපයට හැක්කේ 1.4MHz ක බෑන්ඩ්විත් එකක් සහිත සංඥා ප්‍රෝසෙස් කිරීමට පමණි. එහෙත් මෙම චිපය තුල එවැනි කන්වර්ටර් 2ක් තිබෙනවා. එනිසයි 1.4MHz ප්‍රමාණය මෙන් දෙගුණයක් හෙවත් 2.8MHz ක බෑන්ඩ්විත් එකක් ඊට හැසිරවීමට හැකියාව තිබෙන්නේ.

RTL-SDR එකේ ඉන්පුට් ඉම්පීඩන්ස් අගය ඕම් 75කි. ඒ කියන්නේ ඊට සවිකරන ඇන්ටනාවේ ඉම්පීඩන්ස් අගය 75 විය යුතුය (75 ඕම් කොඇක්සියල් කේබල් භාවිතා කිරීමට සිදු වෙනවා).

ඇත්තටම RTL2832U යනු ගණිතකර්ම හෙවත් processing සිදු කරන ප්‍රධානතම චිප් එකයි. එම චිප් එකට බැහැ රේඩියෝ සංඛ්‍යාතයන් තෝරා බේරා ගන්නට (හෙවත් tune වෙන්න). ඉතිං අවශ්‍ය සංඛ්‍යාත කලාපයක් පමණක් ඩොන්ගලයට ඇතුලට ගෙන, අනවශ්‍ය සංඛ්‍යාතයන් ෆිල්ටර් කිරීමට වෙනත් පරිපථ කොටසක් අවශ්‍ය කෙරෙනවා. මේ වැඩේ කිරීමට ඩොන්ගලය තුල තිබෙනවා තවත් චිප් එකක්. Elonics 4000, FC0012, RTL R820T, R820T2 යනු එවැනි ප්‍රචලිත චිප් කිහිපයකි. සාමාන්‍යයෙන් ඩොන්ගලය මත මෙම චිප්වලින් එකක නමක් ප්‍රින්ට් කර තිබේ.

ඕනෑම රෙසිස්ටර්, කැපෑසිටර්, කොයිල්, ට්‍රාන්සිස්ටර්, ක්‍රිස්ටල් ආදී ඉලෙක්ට්‍රොනික් උපාංගයක් උෂ්ණත්වය සමඟ ක්‍රියාකාරිත්වයේ අපගමන/වෙනස්වීම සුලු වශයෙන් හෝ සිදු වේ. අනර්ඝ ඉලෙක්ට්‍රොනික් උපකරණ සාමාන්‍යයෙන් සාදන්නේ එම පරිපථයේ ඇති උපාංගවල අගයන් එසේ වෙනස් වූ විටත්, උපකරණයේ ක්‍රියාකාරිත්වයට එය බලපෑමක් නොකරන ලෙසයි (එනිසා මෙවැනි උපකරණවල ඇත්තේ තත්වයෙන් ඉතා උසස් මිල අධික උපාංග වන නිසා, උපකරණයේ මිලත් අහස උසට යයි).

SDR උපකරණය ගැනත් තත්වය එසේමයි. එහි තිබෙන Crystal Oscillator (XTAL OSC) උපාංගය උෂ්ණත්වයට අතිසංවේදි වේ. ඔසිලේටර් අගය වෙනස් වන විට, sdr එක දැනට ටියුන් වී තිබෙන සංඛ්‍යාතයද ඉබේම වෙනස් වේ (එනම් පරිගනක තිරයේ පේනවන සංඛ්‍යාතයට වඩා වෙනස් සංඛ්‍යාතයක් තමයි ඇත්තටම දැන් තිබෙන්නේ). ඉතිං, මිල අධික SDR වල උෂ්ණත්ව වෙනස්වීමට හොඳින් ඔරොත්තු දෙන ක්‍රිස්ටල් ඔසිලේටරයක් (temperature-compensated crystal oscillator) යොදා තිබේ. ඒවා මිලෙන් වැඩිය.

එහෙත් RTL-SDR වල තිබෙන්නේ එවැනි උසස් තත්වයේ ක්‍රිස්ටල් ඔසිලේටරයක් නොවේ. ඒ කියන්නේ ඩොන්ගලය ටික වේලාවක් භාවිතා කරන විට එය රත්වීම නිසා කැරියර් සංඛ්‍යාතයේ ඉතා සුලු අපගමනයක් ඇති වේවි. එහෙත් SDRsharp වැනි සොෆ්ට්වෙයාර්වල මෙවැනි කැරියර් සංඛ්‍යාතවල අපගමනයන් නිවැරදි කිරීමට යම් සෙටිං එකක් සකස් කිරීමට අවස්ථාව ලබා දේ.

ඉන්පසු අහල පහල ඇති මොබයිල් ෆෝන් ඊට කනෙක්ට් විය හැකියි සාමාන්‍ය මොබයිල් ජාලයකට කනෙක්ට් වෙන ලෙසම. සාමාන්‍ය ටවර් එකකින් එන සංඥාවලට වඩා ප්‍රබලව ඔබේ සේවයේ සංඥා එම ෆෝන්වලට ලැබෙයි නම් ඒවා කනෙක්ට් වේවි. මෙවැන්නක් කිරීමට ඇති අවශ්‍යතාව කුමක්දැයි කෙනෙකුට සිතිය හැකියි. දැන් ඒ ගැනත් විමසමු. සමහරෙකු මෙය ආශාවට/කුතුහලයට කර බැලි හැකිය. තවත් අයෙකු රහසිගතව යම් යම් අයගේ දුරකතන භාවිතාව ගැන විස්තර සෙවීමටත් යොදා ගත හැකිය. ඇමරිකාවේ CIA, NSA වැනි ආරක්ෂක අංශ බොහෝ කාලෙක සිට දැනටත් බහුල වශයෙන් මෙය සිදුකරන බව ප්‍රසිද්ධ රහසකි (එමඟින් ත්‍රස්තවාදින් සෙවීම හා රහස් ඔත්තු සේවා සිදු කිරීම සිදු වේ).

උදාහරණයක් ලෙස, එවැනි රහසිගත GSM සේවාවක්, තොරතුරු සෙවීමට අවශ්‍ය යම් කෙනෙකු සිටින අවට ක්‍රියාත්මක කරන්නේ යැයි සිතමු. එවිට, ඔහු අර කියූ ලෙසට කනෙක්ට් වනු ඇත්තේ මෙම සේවාවටයි (නමුත් ඔහුට එය තේරෙන්නේ නැත). ඉන්පසු ඔහු ඇමතුම් ගන්නා විට, එය පළමුව මෙම පරිගනකයට ඇතුලු වේ. එම පරිගනකයේ සිට ගේට්වේ එකක් හරහා එය සාමාන්‍ය දුරකතන ජාලයකට ඉන්ටර්කනෙක්ට් කෙරේ (මෙම ගේට්වේ එක ලෙස එම පරිගනකයටම ක්‍රියාත්මක විය හැකිය). එවිට සංවාදය අතරමැදි පරිගනකයේ රෙකෝඩ් කරගත හැකියිනෙ. එහෙත් අර පුද්ගලයාගේ ෆෝන් එකට එන කෝල් (incoming calls) මෙමඟින් ග්‍රහනය කර ගත නොහැකිය. ඔහු මෙම හොර සේවාවට සම්බන්දව සිටින විට, ඔහුගේ සුපුරුදු නෙට්වර්ක් එකෙන් ඩිස්කනෙක්ට් වෙලායි සිටින්නේ (හරියට ෆෝන් එක ඕෆ් කර සිටිනවා සේයි ඔහුගේ සැබෑ නෙට්වර්ක් සිතන්නේ). එකවර නෙට්වර්ක් දෙකකට කනෙක්ට් වෙන්නට ෆෝන් එකට බැහැනෙ.

කෙනෙකුට ගැටලුවක් ඇති විය හැකියි කොහොමද සිම් එකක් අප විසින් ලබා දෙන්නේ නැතිව අපේ නෙට්වර්ක් එකට සම්බන්ද වන්නට හැකි වන්නේ කියා. ඇත්තටම මොබයිල් ෆෝන් එකට සිම් එකක් අත්‍යවශ්‍ය නැහැ නෙට්වර්ක් එකට කනෙක්ට් වීමට තාක්ෂණික පැත්තෙන් බැලුවහම. සිම් එකෙන් මූලිකවම කරන්නේ යම් නීති හා මුදල් ගැටලුවකට විසඳුමක් දීමකි. එනම්, අදාල නෙට්වර්ක් එකෙන් ලබා දෙන සිම් එකක් තිබෙන අයට පමණයි එම නෙට්වර්ක් එකට කනෙක්ට් වන්නට දෙන්නේ. ඒ සඳහා IMSI, Ki යන අංක භාවිතා කළ හැටි අපි මීට පෙර ඉගෙන ගත්තනෙ. ඉන් ඕනෑම කෙනෙකුට හිතුමතේ (මුදල් නොගෙවා) තමන්ගේ නෙට්වර්ක් එකට සම්බන්ද වීමයි පාලනය කළේ.

ඉතිං සාමාන්‍ය ජීවිතයේදී ඔබ සිම් එකක් නැතිව ෆෝන් එක ඔන් කළාට ඔබට කිසිදු නෙට්වර්ක් එකකට සම්බන්ද වෙන්නට නොදෙන්නේ, ඔබේ ෆෝන් එක ඒ සියලු නෙට්වර්ක් එකකටම එකින් එක ගොස් කනෙක්ට් වෙන්නට හැදුවත්, නිවැරදි ඉම්සි හා කී අංක නැති නිසා එම ජාලවලට කනෙක්ට් වන්නට හදන විට ඒවා විසින් ප්‍රතික්ෂේප කරන නිසයි (උපමාවකින් එය දක්වතොත්, ගෙයින් ගෙට යන යාචකයෙකුට ඒ කිසිම ගෙයකින් යමක් නොදී එලවා දමන්නා සේය).

එහෙත් යම් නෙට්වර්ක් එකක් තීරණය කළොත් (එනම් එම පරිගනකයේ සෙටිංස් හැදුවොත්) ඉම්සි හා කී අංක කුමක් වුවත් ඕනෑම ෆෝන් එකකට කනෙක්ට් වීමට හැකියාව ලබා දීමට, එවිට ඔබ මොන සිම් එක දාගෙන සිටියත් ගැටලුවක් නැතිව එම නෙට්වර්ක් එකට කනෙක්ට් වේවි.

එහෙත් වානිජ ජංගම දුරකතන ජාලා තුල එය සිදු වෙන්නේ නැත. එය ප්‍රායෝගිකව සිදුවන එකම එක අවස්ථාවක් තිබෙනවා. එය හදිසි ඇමතුම් (SOS call හෝ emergency call) ගන්නා විටයි. ලෝකයේ බොහෝ රටවල නීතියෙන් අනිවාර්ය කර තිබෙනවා සොස් කෝල් ගන්නා විට, ෆෝන් එකේ සිම් එකක් තිබුණත් නැතත් එම කෝල් එක නොමිලේත් ඉහලම ප්‍රමුඛතාව සහිතවත් ගැනීමට ඉඩ දිය යුතු යැයි. නිකමට හෝ සිම් එකක් නැති ෆෝන් එකකින් සොස් කෝල් එකක් ගන්නා විට, ෆෝන් එකට ඒ මොහොතේ ප්‍රබලවම ලැබෙන සංඥාව ඔස්සේ එම කෝල් එක සම්ප්‍රේෂනය කරනවා (එම සංඥාව ලැබෙන්නේ මොන ජාලයෙන්ද කියන එක වැඩක් නැත).

සාමාන්‍යයෙන් 112, 118 (ලංකාවේ), 911 (ඇමරිකාවේ), 110 (චීනයේ) වැනි සොස් අංක ලොව පුරා ජනප්‍රියයි. ඒ විතරක්ද නොවේ හදිසි අවස්ථාවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු නිසා, කී පෑඩ් එක ලොක් කර තිබෙන ෆෝන් එකකින් වුවද සොස් අංකයක් ඇතුලු කර කෝල් ගත හැකි ආකාරයටයි ෆෝන් නිෂ්පාදකයා පවා කටයුතු සලසා තිබෙන්නේ (අමුතුවෙන් කී පෑඩ් එක අන්ලොක් කර කර කාලය නාස්ති කරන්නට අවශ්‍ය නැත).

හරි... සිම් ගැටලුව විසඳුනත් තවත් ගැටලුවක් තිබෙනවා. එනම්, අර විදියට හොර සේවාවක් ඇති විට ඕනෑම සිම් එකකින් ඊට කනෙක්ට් අවස්ථාව තිබුණත්, එම හොර සේවාව හා දුරකතනය අතර සිදුවන සංවාදය එන්ක්‍රිප්ට් කළ නොහැකිය. ඊට හේතුව සිම් එකක අවශ්‍යතාව නැති නිසා (වෙනත් සිම් එකක් තිබුණත් එය ප්‍රයෝජනයට නොගන්නා නිසා), එන්ක්‍රිප්ට් කිරීමේ ක්‍රියාවලිය සිදු වන්නේ නැත ටවර් එක සතුව දැන් Ki, IMSI අංක නැති නිසා.

එහෙත් එන්ක්‍රිප්ට් කිරීම සිදු කිරීම හෝ නොකිරීම තීරණය කරන්නේ ජාලය විසින් මිසක් ෆෝන් එකෙන් නොවේ. එනිසා මෙය ප්‍රයෝජනයට ගනිමින් අපගේ හොර සේවාව/ජාලය ෆෝන්වලට දන්වනවා එන්ක්‍රිප්ට් නොකර සන්නිවේදනය සිදු කරන ලෙස. එවිට දැන් සියලු ගැටලු ඉවත් වේ.

එහෙත් මෙවිට, ෆෝන් එකෙන් නෝටිස් එකක් පෙන්වාවි දත්ත එන්ක්‍රිප්ට් නොවී සන්නිවේදනය සිදු වේ කියා. ඉතිං නිකමට හෝ එවැනි මැසේජ් එකක් ඔබේ ෆෝන් එකේ දුටුවොත් දැන් දන්නවා කුමක් හෝ හොර වැඩක් එතැන බොහෝවිට සිදු වෙනවා කියා. එහෙත් මිනිසුන් එවැනි නෝටිස්වලට අවධානය එතරම් නොදෙන නිසාත්, සමහරවිට නෝටිස් එක කියෙව්වත් එහි අදහස කුමක්දැයි නොතේරිය හැකි නිසාත්, නෝටිස් එකත් බොහෝ අවස්ථාවල ගැටලුවක් නොවේවි.

ලංකාව තුල නම්, ඉහත ආකාරයට ඕපන් සෝස් GSM ජාල කාටවත් (අවසරයකින් තොරව) සෑදීමට නීතියෙන් තහනම් වේ. ලංකාව තුල පමණක් නොව ඕනෑම රටක සම්මත GSM සංඛ්‍යාත පරාස යොදාගෙන ඒවා කිරීම තහනම් වේ මොකද එමඟින් වෙනත් අය කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගෙවා ලබා ගත් සංඛ්‍යාතයන් අප විසින් නොමිලේම යොදා ගැනීමක් බවට පත් වෙනවානෙ.

එහෙත් ආධුනික ගුවන් විදුලි ශිල්පින්ට සමහර රටවල ආධුනික ගුවන් විදුලි සංඛ්‍යාත ඔස්සේ එය පර්යේෂණ මට්ටමින් සිදු කිරීමට බාධාවක් නැත. එය එසේ විය යුතුය මොකද ආධුනික ගුවන් විදුලියෙහි එක් පරමාර්ථයක් වන්නේ රේඩියෝ තාක්ෂණය ගැන පර්යේෂන සිදු කිරීමයි. මා සිතන පරිදි ලංකාවේ වුවද එය සිදු කිරීමට හැකියාව තිබෙනවා (පර්යේෂණ මට්ටමින් පමණි). එහෙත් ඕපන් සෝස් GSM ජාල නීත්‍යානුකූල හා ඉතා වැදගත් කටයුතු සඳහා යොදා ගත හැකියි සේම දැනටමත් යොදා ගෙනත් තිබෙනවා.

උදාහරණයක් ලෙස, දැනට කිසිදු දුරකතන ජාලයක් ක්‍රියාත්මක නැති පෙදෙසකට ඉතා ඉක්මනිනුත් පහසුවෙනුත් මේ ක්‍රමයෙන් යම් දුරකතන ජාලයක් ඇති කළ හැකිය. සාමාන්‍ය ආකාරයට එම පෙදෙස ආවරණය කිරීමට ගියොත් රුපියල් මිලියන ගණනක් වැය වේවි; එහෙත් දහස් ගණනක මුදලින් එය කළ හැකියි ඕපන් සෝස් ක්‍රමයෙන්. මෙවිට ජාලය තුල සිටින අයට එකිනෙකාට කොහොමත් කතා කළ හැකියිනෙ. එහෙත්, භාහිර ලෝකයා සමඟ කතා කිරීමට රූට් එකක් තිබිය යුතුයි ගේට්වේ එකක් හරහා වෙනත් ජාලයකට. එය බොහෝවිට චන්ද්‍රිකා ලින්ක් එකක් හරහා සිදු කෙරේ. මෙම ක්‍රමය මේ කියූ ලෙසින්ම ඇත්තටම දැනට ඇන්ටාර්ටිකාවේ භාවිතා වේ.

ඊටත් අමතරව, කැලෑ, කාන්තාර, මහා මුහුදෙ වැනි සාමාන්‍යයෙන් ජනශූන්‍ය පෙදෙස්වල සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් (නැති වූ අය සොයා ආදියට), හෝ පර්යේෂණ වැඩවලදීද ඕපන් සෝස් ක්‍රමයට සේවා තාවකාලිකව සැපයිය හැකියි. එවිට එම කටයුත්තට සහභාගි වන අයට එකිනෙකාට සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනවා (බොහෝවිට මෙවන් අවස්ථාවලදී පිටස්තර ලෝකයා සමඟ සන්නිවේදනය කිරීමට අවශ්‍යත් නැහැ; එනිසා ගේට්වේ අවශ්‍ය නැත). උදාහරණයක් ලෙස, සමහර සෝදිසි මෙහෙයුම්වලදී සෝදිසියට සහභාගී වන හෙලිකොප්ටර් යානාවල මෙවැනි ඕපන් සෝස් උපකරණ සවි කර, කැලෑ තුල සෝදිසි මෙහෙයුම්වල සිටි අයට සන්නිවේදන පහසුකම සලසා දී ඇත.

ඉහත විස්තර අනුව GSM සේවාවල බරපතල ගැටලුවක් සැඟව තිබෙන බවත් පෙනේ. එනම්, නෙට්වර්ක් එකට හැකියාව තිබුණත් ඊට කනෙක්ට් වන්නේ කවුද කියා හරියටම හඳුනා ගන්නට (කී එකෙන්), ෆෝන් එකට එම හැකියාව නැත (එනම් ෆෝන් එකට හැකියාවක් නැහැ තමන් කනෙක්ට් වෙන ජාලය/ටවර් එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියා හඳුනාගන්නට). එනිසානෙ හොර ජාලයට අපේ ෆෝන් එක අර කියපු ආකාරයට කනෙක්ට් වීමට හැකියාව ලැබුණේ. එහෙත් මෙම ගැටලුව 3G/UMTS ජාලා ඇතුලු දියුණු සෙල්‍යුලර් ජාලවල නැත. මෙම ජාලාවලදී දෙපැත්තටම authentication සිදු වේ (එනම් අර කියූ ආකාරයට මෙම ජාලාවල හොරෙන් සේවා පවත්වාගත නොහැකිය).

කෙසේ වෙතත්, GSM ඇතුලු බොහෝ ජාලවල සිදුවන සන්නිවේදනයන් ඇසීමට සමහර රටවල බුද්ධි/ආරක්ෂක අංශ කටයුතු කරනවා නොයෙක් ක්‍රම ඔස්සේ. කුමන ක්‍රමයකින් හෝ සිම්පත්වල ගබඩා වී තිබෙන Ki අංක ලබා ගතහොත් වැඩේ සාර්ථකය. ඉතිං, එම අංකය අපේ සිම්පතෙහි හැරුණහම තිබෙන්නේ අදාල දුරකතන ජාලවල පරිගනකවලත්, සිම් නිෂ්පාදනය කරපු කොම්පැනිවල ජාල තුලත්ය. මේ තැන් දෙකෙන්ම එම අංක ලබා ගත හැකි ක්‍රම තිබේ. උදාහරණක් ලෙස, ඇමරිකානු බුද්ධි අංශ සිම් නිෂ්පාදකයකුගේ දත්ත ගබඩාව හැක් කර එම තොරතුරු ලබා ගෙන තිබෙන බවට තහවුරු වී තිබේ.

මීටත් අමතරව, පරිගනක වේගවත් වීම නිසාත්, බොහෝ රහසිගතව තිබූ තාක්ෂණික තොරතුරු හෙලි වී තිබෙන නිසාත්, කෙලින්ම එන්ක්‍රිප්ට් කරපු සන්නිවේදනයන්ට ඇහුම්කන් දිය හැකි හෝ ලබාගන්නා ඇමතුම් ගැන විස්තර සොයන උපකරණත් දැන් මිලදී ගන්නට තිබෙනවා. මීට හොඳම උදාහරණයක් ලංකාවේද තිබේ. මේ මොහොතේ පවතින ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කරලත් තිබෙනවා රාජපක්ෂ ආණ්ඩු කාලයේ, මහින්ද රාජපක්ෂ ජනපති විසින් තමන්ගේ එදිරිවාදින්ගේ දුරකතන සංවාද ඇහුම්කන් දීමට එවැනි යන්ත්‍ර ලංකාවේ ක්‍රියාත්මක කර තිබෙන බවටත් දැන් එම යන්ත්‍ර ආණ්ඩුවේ භාරයේ ක්‍රියා විරහිත කර තිබෙන බවටත්.

Roaming පහසුකම ගැනත් දැන් තරමක් විමසමු. ඔබ යම් සෙල්‍යුලර් ජාලයක ග්‍රාහකයෙකු නම්, ඔබට සාමාන්‍යයෙන් කනෙක්ට් වන්නට දෙන්නේ ඔවුන්ගේ ජාලයට පමණි. එහෙත් දැනට ඔවුන්ගේ සේවාවක් නැති (no coverage) ප්‍රදේශයකදී ඔබට දුරකතන පහසුකම නොලැබී යනු ඇති. එම පෙදෙසෙහි වෙනත් ජාලයක සංඥා සමහර විට ඇති. ඉතිං ඔබේ ජාලයට හැකියාව තිබෙනවා අනෙක් ජාල සමඟ ගිවිසුම් ගත වෙන්නට ඔවුන්ගේ ජාලයටද ඔබව කනෙක්ට් කර ගන්නා ලෙසට. එවිට ඔබගේ ජාලයේ සංඥා නැතත් අර රෝමිං ගිවිසුම්ගතව සිටින වෙනත් ජාලයක සංඥා ඇති විට, ඔබට එම ජාලය ඔස්සේම සන්නිවේදනය කළ හැකියි. රෝමිං කියන්නේ එයයි.

එහෙත් රෝමිං ගැන අප වැඩිපුරම කතා කරන්නේ රට රටවල් අතර සිදුවන රෝමිං ගැනයි. අපේ රටේ නෙට්වර්ක් එකක් වෙනත් රටවල ක්‍රියාත්මක වන්නේ නැහැනෙ. එහෙත් ඉහත ආකාරයට රෝමිං පහසුකම ලබා දිය හැකියි. එවිට ඔබේ දුරකතනය එම සිම් එකම සමඟම වෙනත් රටකට ගිය විට (එහි යම් නෙට්වර්ක් එකක් සමඟ රෝමිං ගිවිසුමක් ගසා ඇත්නම්), ඔබේ දුරකතනය එම රට තුල වැඩ කරාවි. එහිදී ලංකාවේ සිට ඔබේ දුරකතනයට අමතන කෙනෙකුව ඔබට කනෙක්ට් වෙනවා. ලංකාවේ කෙනාට වැය වන්නේ සාමාන්‍ය ලෝකල් ගාස්තුව වුවත්, දැන් පිටරට සිටින ඔබ විසින් IDD ගාස්තුවක් ඊට අමතරව ගෙවිය යුතු වෙනවා ලැබෙන කෝල්වලටත්. තවද, එම රටේ සිට එම රටේ අංකවලට ඔබ ගන්නා කෝල්වලට එම රටේ සාමාන්‍ය ලෝකල් ගාස්තුව ඔබ ගෙවනවා.

අපි මෙතෙක් වැඩිපුර කතා කළේ ලංකාවේ මේ වන විට පවතින ප්‍රචලිතම ජංගම දුරකතන සේවා තාක්ෂණය වන GSM ගැන තොරතුරුයි (CDMA ස්ථාවර ගණයටනෙ ලංකාවේ ගනන් ගැනෙන්නේ). දැනට ලොව වැඩිම රටවල් ප්‍රමාණයක් භාවිතා කරන මෙය යුරෝපා තාක්ෂණයකි (ඇමරිකාවේ නොවේ). Global System for Mobile communications යන ඉංග්‍රිසි වදන් පෙලෙහි කෙටි වචනය ලෙස හැඳින්වුවත්, ඇත්තටම GSM යනු ප්‍රංශ වචනයකි - Groupe Spécial Mobile.

මුල්ම කාලයේ බිහි කළ රේඩියෝ සන්නිවේදනය තාක්ෂණයන් වන MTS, IMTS, IMTS වැනි ක්‍රම සාමාන්‍යයෙන් පිලිගැනෙන්නේ සෙල්‍යුලර් සන්නිවේදන ලෙස නොවේ. එහෙත් එම පද්ධති වැඩිදියුණු කිරීමේ ප්‍රතිපලයක් ලෙසයි සෙල්‍යුලර් තාක්ෂණය බිහි වන්නේ. 1980 දශකයේ මුලින්ම බිහි වූ සෙල්‍යුලර් තාක්ෂණයත් බොහෝදුරට ඇනලොග්ය. මෙම සෙල්‍යුලර් තාක්ෂණය පළමු පරම්පරාවේ සෙල්‍යුලර් තාක්ෂණය (First Generation1G) ලෙස හැඳින්වෙනවා. AMPS, NMT යන කෙටි නම්වලින් හැඳින්වෙන්නේ විවිධ රටවල භාවිතා කළ ඉතා ප්‍රචලිත 1G තාක්ෂණයන් දෙකකි. මෙහිදී FDMA, Frequency Reuse යන මල්ටිප්ලෙක්සිං ක්‍රම භාවිතා විය.

ඉන්පසු ඩිජිටල් තාක්ෂණය ඊට එකතු විය. එහි ප්‍රතිපලයක් වශයෙන් සංඥා ඩිජිටල් ආකාරයෙනුයි සම්ප්‍රේෂණය කළේ. මෙවිට TDMA ක්‍රමය යොදා ගත හැකි විය. එමඟින් කිහිප ගුණයකින් එකවර කතා කළ හැකි හැකියාව වැඩි විය. මෙම ඩිජිටල්කරණය වූ සෙල්‍යුලර් තාක්ෂණය දෙවැනි පරම්පරාව (Second Generation2G) ලෙස හැඳින්වේ. 1991දී පළමු වරට ෆින්ලන්තය 2G සෙල්‍යුලර් ජාලයක් ඇති කළේය. අදටත් මෙම තාක්ෂණය ලොව බහුලව ඇතත්, සමහර රටවල් මෙම තාක්ෂණය අත්හරිමින් මීටත් වඩා දියුණු ක්‍රමවලට යමින් සිටී. උදාහරණයක් ලෙස, 2016 වසර අවසානයේදී ඔස්ට්‍රේලියානු ප්‍රමුඛ දුරකතන සේවා සපයන්නෙකු වන Telstra තමන්ගේ 2G ජාලය වසා දමනවා. සිංගප්පූර්ව 2017 මැද වන විට එය සිදු කිරීමට නියමිතයි.

2G ගැන සැලකීමේදී ලොව ප්‍රධාන ක්‍රම දෙකකින් එය සිදු කරනවා. එක් ක්‍රමයක් නම්, CDMA ක්‍රමය මත පදනම් වූ තාක්ෂණයකි. ඇමරිකාව වැනි සමහර රටවල මේ ක්‍රමය ඉතාම ප්‍රචලිතය (හෑන්ඩ් ෆෝන් ක්‍රමයක් ලෙස). ලංකාවේ පවා CDMA තාක්ෂණය ඉතාම ප්‍රචලිත වී ඇත. එහෙත් ලංකාවේදී එය හෑන්ඩ් ෆෝන් ක්‍රමයක් ලෙස නොව, ස්ථාවර දුරකතන සේවයක් (fixed telephone) ලෙසයි හඳුන්වා දුන්නේ. මේ ගැන තරමක් විමසමු.

ලංකාවත් ඇතුලුව දියුණු නොදියුණු රටවල වැදගත් අවශ්‍යතාවක් ලෙස දැන් දුරකතන සේවා සැලකෙනවා. ඉතිං, ඉතා දිගු අතීතයේ සිට රැහැන් දුරකතන සේවානෙ තිබ්බේ. එහෙත් වයර් ඇදීම, කනු සිටුවීම, නඩත්තු කිරීම වැනි වියදම් අධිකවීම නිසාත්, එම බරපැන අවසානයේ පාරිභෝගිකයා කර මත පැටවෙන නිසාත්, රට තුල සෑම පෙදෙසකටම දුරකතන පහසුකම් ලැබුණේ නැත. විශේෂයෙන් ගමබද හෝ දුර ඈත පෙදෙස්වලට විශාල වියදමක් දරා පහසුකම් සැලසුවත් ඉන් ආදායම් අඩුවෙන් ලැබෙන නිසා එවැනි පෙදෙස්වලට සේවා සැපයීමට දුරකතන සම්ගම් කැමතිද නැත (ලෝකයේ කොහෙත් තත්වය එයයි). මෑතක් වන තුරු ලෑන්ඩ්ලයින් එකක් ගැනීමට ඉතා දීර්ඝ පොරොත්තු ලේඛනවල (waiting list) බලා සිටීමට සිදු විය.

ලංකාවේ එම තත්වය තවත් බරපතල වූයේ, ලෑන්ඩ්ලයින් ලබා දීමට සිටියේ එකම දුරකතන සමාගමයි - Sri Lanka Telecom. එනිසා වෙලඳපොල තරගකාරිත්වයක් නැති නිසා, ක්ෂේත්‍රය එකතැන පල් වෙමින් පැවතියා. එය රාජ්‍ය ආයතනයක් වීම හා අපේ බොහෝ දේශපාලුවන්ට දැක්මක් නොතිබීම නිසා එම තත්වය තවත් ත්‍රීව්‍ර වුණා (එසේ වුවත් යම් කාලයකට එය පෞද්ගලික සමාගමක පරිපාලනයට යටත් වූ පසු නව තාක්ෂණයට ඔවුන් වැඩියෙන් යොමු වූ බවද කිව යුතුය).

එහෙත් මේ වන විට හෑන්ඩ් ෆෝන් තාක්ෂණය හා භාවිතය දියුණු වී තිබුණි. ලෑන්ඩ් ෆෝන් හැම අතින්ම දැන් පාඩුදායකය. එසේ වුවත්, මොබයිල් ෆෝන් එකක් නොව ලෑන්ඩ් ෆෝන් එකක්ම ඕන යැයි පරසක්වල ගසන මිනිසුන් ගොඩක් සිටිනවනෙ; නැතිනම් මදිපුංචි කමක් ලෙස එය දැනේ.

මීට කඩිනම් විසඳුමක් ලෙස තමයි ස්ථාවර CDMA දුරකතන සේවා හඳුන්වා දුන්නේ. එය ලෑන්ඩ්ලයින් එකක් ලෙස මිනිසුන්ට දැනිය යුතුය. එනිසා ස්වාභාවිකව CDMA හෑන්ඩ් ෆෝන් ලෙස භාවිතා කිරීමේ හැකියාව තිබුණත්, එය සාමාන්‍ය දුරකතනයක හැඩයෙන් ලොකුවට සාදා තිබෙන්නේ. ඇත්තටම එම තීරණය ඉතා සාර්ථක වී ඇත. ඉතා ඉක්මනින් ඕනෑම කෙනෙකුට ස්ථාවර දුරකතන පහසුකම් අද ලබා ගත හැකියි ඉතාම අඩු මුදලකට (ඉස්සර ලෑන්ඩ්ලයින් ගැනීමට රුපියල් විසිතිස් දහස් ගණන් වැය කිරීමට සිදු වුවත්, අද දෙතුන්දහකට ගත හැකිය). ගම්බද පෙදෙස්වල පවා දැන් පහසුකම පවතිනවා. යම් පමණකට හෝ තරගයක් අද පවතිනවා. එහෙත් සමහර අය CDMA දුරකතනය වාහනයේ දමා ගෙන යනවා ගෙදරින් බැහැර වෙන කොට. එය කළ හැකියි ප්‍රශ්නයක් නැතිව තමන් යන පෙදෙසෙහි CDMA සිග්නල් තිබෙනවා නම්.

සෙල්‍යුලර් දුරකතන සේවාවම ජංගම දුරකතන සේවාව (mobile telephony) ලෙස සමහරුන් සලකනවා. අනිවාර්යෙන්ම සෙල්‍යුලර් දුරකතන සියල්ලම ජංගම ලෙස සැලකිය හැකි වුවත්, සෑම ජංගම දුරකතන ක්‍රමයක්ම සෙල්‍යුලර් නොවේ. උදාහරණයක් ලෙස, ආධුනික ගුවන් විදුලියේදී එම ට්‍රාන්සීවර් තැන තැන රැගෙන යා හැකිය (ජංගමය). එහෙත් එය සෙල්‍යුලර් නොවෙයිනෙ. තවද, ජංගම දුරකතනය (mobile phone) යන්නම handphone ලෙස හැඳින්වෙනවා. සෙල්‍යුලර් පද්ධතියක භාවිතා වෙන දුරකතනය cellular phone හෝ cellphone ලෙස හැඳින් වෙනවා. මීට අමතරව, චන්ද්‍රිකා තාක්ෂණත් පවතිනවා ජංගම දුරකතන සේවාවක් ලෙස (නමුත් සෙල්‍යුලර් නොවේ). එහිදි චන්ද්‍රිකා දුරකතන (satellite phone හෙවත් satphone) භාවිතා වෙනවා.

CDMA ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක් වුවත්, 2G වලදී ලොව පුරා ප්‍රචලිත වූයේ දෙවන ක්‍රමය වන GSM තාක්ෂණයයි. එහෙත් මේ වන විට, ලෝකය ක්‍රමයෙන් ඉන් ඉවත් වෙමින් පවතී. පසුව හඳුන්වා දුන් තුන්වෙනි පරම්පරාවේ (Third Generation 3G) හා හතරවෙනි පරම්පරාවේ (Fourth Generation4G) සෙල්‍යුලර් තාක්ෂණයක් GSM නොවේ. ඒවා CDMA හා OFDMA ක්‍රම භාවිතා කරනවා. අද පස්වැනි පරම්පරා (5G) ගැනත් කතා වෙනවා.

ඇත්තටම තෙවැනි පරම්පරාවෙ සිට සෙල්‍යුලර් තාක්ෂණය වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ කඩහඬ යවන ටෙලිෆෝන් ක්‍රමයක් (voice transmission) ලෙස දියුණු කිරීමට වඩා දත්ත යවන සන්නිවේදන පද්ධති (data transmission) ලෙසයි. ශබ්ද යැවීමට නම් 2G තාක්ෂණය ඕනවටත් වැඩි ප්‍රමාණවත්ය. එහෙත් අන්තර්ජාල ප්‍රවේශය (Internet access) වැනි අධිවේගි දත්ත යැවීම සඳහා තව තවත් දියුණු කළ හැකි හා දියුණු කළ යුතු තත්වයන් තිබේ. අප කාටත් අවශ්‍ය අඩුම වියදමකින් (පුලුවන් නම් නොමිලේ) ඉතා වේගවත් කනෙක්ෂන් එකකි.

රේඩියෝ ක්‍රම පමණක් නොව, රැහැන් දුරකතන සේවාද අද වැඩිපුර අවධානය දෙන්නේ අධිවේගී අන්තර්ජාල පහසුකම් හා අධිවේගී දත්ත සම්ප්‍රේෂණ සැලසීම කෙරෙහිය. උදාහරණයක් ලෙස, ADSL, Fiber connections (FTTH), IPTV වැනි සේවා පෙන්වා දිය හැකිය.

ඒ හැරත්, කඩහඬ යනුද දත්තයකි. රූප, ශබ්ද, අක්ෂර සියල්ලම දත්ත ලෙස සැලකිය හැකිය. එනිසා දත්ත සම්ප්‍රේෂණ ක්‍රම හා තාක්ෂණය දියුණු කරනවා කියන්නේ කාටත් වාසිදායක දෙයක් වෙනවා. අද සියල්ල ඩිජිටල් වෙලාය. ඉස්සර වෙනස් වෙනස් ක්‍රමවලට සලකපු දේවල් සියල්ල අද 1 හා 0 ගොඩකි (බිට්). මෙලෙස විවිධ සන්නිවේදන පහසුකම් රැසක්, එකක් බවට පත්වීම convergence ලෙස හැඳින්වේ.

කන්වර්ජන්ස් නිසා එකම සන්නිවේදන ජාලයකින් (යටිතල පහසුකමකින්) විවිධාකාරයේ කටයුතු කළ හැකිය. දුරකතන, රේඩියෝ, රූපවාහිනි, අන්තර්ජාල, දූරස්ථ අධ්‍යාපන, ආරක්ෂිත කැමරා/පද්ධති පාලනය, වෙළඳ කටයුතු, බිල්පත් ගෙවීම්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ආදී නොයෙක් කටයුතු/සේවා ඔබේ අතේ තිබෙන එකම ස්මාට් උපකරණයකින් ලොව කොතන සිට වුවද ලබා ගැනීමේ හැකියාව අද බිහිවෙමින් පවතී.

මෙනිසා අද විශ්ව ගම්මානය තවත් සංකෝචනය වී විශ්ව පවුලක් බවට පත්ව ඇත. හොඳ වගේම නරකත් එමට ඇත. මේ සම්බන්දයෙන් ගැඹුරු සමාජ කතිකාවන් සේම, තනි තනිව බුද්ධිමත් තීරණ ගැනීමට හැකි පිරිසක් බිහි කිරීම අත්‍යවශ්‍ය කරුණකි (මෙවන් විස්තීර්ණ පරිසරයක සියල්ල මධ්‍ය කේන්ද්‍රයකින් පාලනය කළ නොහැකි නිසා). මේ ගැනත් ගැඹුරින් සිතා බලන්නට මා ආරාධනා කරනවා.

No comments:

Post a Comment