Monday, February 20, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 46

මීට පෙර අප සඳහන් කළා කටහඬ සඳහා GSM හි 13kbps ක දත්ත වේගයක් වෙන් වෙන බව. එහෙත් රැහැන් දුරකතන සමයෙහි ශබ්දය සඳහා 64kbps අවශ්‍ය බව පෙන්වා දුන්නා (DS0). ඒ අනුව පෙනෙනවා කිසියම් හැකිලීමේ ක්‍රම (compression) භාවිතා කිරීමට සිදු වෙන බව. එවැනි පැරණි හා අලුත් (ඉතා හොඳ) ක්‍රම ගණනාවක්ම මේ වන විට සොයා ගෙන භාවිතා කර තිබෙනවා.

යම් අමු දත්ත (බිට්) ටිකක් යම් කිසි කටයුත්තක් ඉටු කරගැනීම සඳහා යම් ගණිත කර්මයකට ලක් කිරීම encoding ලෙස හැඳින්විය හැකිය. එය සිදු කරන පරිපථය encoder වේ. එලෙස එන්කෝඩ් කරපු දත්ත ටිකෙන් නැවත මුල්/ඔරිජිනල් දත්ත ටික ලබා ගැනීම decoding වන අතර, එය සිදු කරන උපකරණය decoder නමි. මූර්ජනය, එන්ක්‍රිප්ට් කිරීම, ඇනලොග් සංඥා ඩිජිටල් කිරීම (ADC), ඩිජිටල් සංඥා ඇනලොග් කිරීම (DAC), දත්ත හැකිලවීම ආදී සියලුම දත්ත මත සිදු කරන ක්‍රියාවන් ඒ අනුව පොදුවේ එන්කෝඩිං වේ (ඒවායේ විලෝම ක්‍රියා ඩිකෝඩිං වේ).

සාමාන්‍යයෙන් බොහෝවිට පරිපථයක් සාදන්නේ එන්කෝඩිං හා එහිම විලෝමය වන ඩිකෝඩිං යන ක්‍රියාවලි දෙකම එකටය (එනම් එකම පරිපථ කොටසින් මේ දෙකම සිදු කර ගත හැකියි; වෙන වෙනම පරිපථ දෙකක් අවශ්‍ය නැත). මෙමවැනි උපාංගයක් codec ලෙස හඳුන්වනවා (coder+decoder). මොඩෙම් යනුද ඒ ලෙසම කොඩෙක් එකකි. මෙලෙස විවිධාකාරයේ කෝඩෙක් ඇත. සමහර කෝඩෙක් IC චිප් ලෙසද, සමහර කෝඩෙක් පරිගනක මත රන් වන සොෆ්ට්වෙයාර් ලෙසද ලබා ගත හැකියි.

උදාහරණයක් ලෙස, පරිගනක/ෆෝන්වල ආදියේ රූප/ෆොටෝ ගබඩා කරන ෆයිල් වර්ග වන JPEG, PNG, GIF බැලීමට හැකියාව තිබෙන්නේ එම පරිගනකයේ (හෝ උපකරණයේ) ඊට අදාල කෝඩෙක් සොෆ්ට්වෙයාර් තිබෙන නිසාය. එලෙසම, වීඩියෝ සේව් කරන mp4 වැනි ෆයිල් ෆෝර්මැට්ද, ශබ්ද සේව් කරන mp3 වැනි ෆෝර්මැට්ද සොෆ්ට්වෙයාර් කොඩෙක් නිසායි අපට භාවිතා කළ හැක්කේ.

සාමාන්‍යයෙන් පරිගනකයේ හෝ ස්මාර්ට් ෆෝන් එකක යම් ප්ලේයර් එකක් ඉන්ස්ටෝල් කරන විට, ඉබේම ප්‍රචලිත කෝඩෙක් ඉන්ස්ටෝල් වෙනවා. එනිසා කෝඩෙක් යන වචනය ඔබට එවැනි අවස්ථාවල මුන නොගැසේවි. එහෙත් ඉඳහිට යම් වීඩියෝවක් ප්ලේ කරන්න හදන විට, එය ප්ලේ කරන්නට බැහැ (format is not recognised/supported) වැනි පනිවුඩයක් දිස් වෙනු ඇත. පරිගනකයදී මෙවැනි තත්වයක් හමු වූ විට අදාල කොඩෙක් එකක් හෝ වෙනත් ප්ලේයර් ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කළ විට ගැටලුව විසඳේ.

එහෙත් මෙම ප්‍රශ්නය එන්නේ ඔබ කඩෙන් මිල දී ගත් සීඩි/කැසට් ප්ලේයර් (ඩෙක්) එකේ නම්, කරන්නට දෙයක් නැත. එවැනි ප්ලේයර්වලට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්නට බැහැනෙ. ඔබ ප්‍රායෝගිකවම දන්නවා බොහෝ ඩීවීඩී, සීඩී කිසිදු ගැටලුවකින් තොරව ප්ලේ වෙනවා. ඊට හේතුව ඒවා සම්මත (එනම් ප්ලේයර් එකක තිබිය යුතු යැයි තීරණය කරපු) කෝඩෙක්වලින් සාදා තිබීමයි. හැමතැනම සම්මතයන්/ප්‍රමිතින්වල වැදගත්කම ඉස්මතු වෙනවා නේද?

ඉතිං, සන්නිවේදන පද්ධතිවල ශබ්ද හැකිලවීමට (උදාහරණයක් ලෙස GSM හි 64kbps ශබ්දයක් 13kbps දක්වා හැකිලවීමට) භාවිතා කරන කොඩෙක් voice codecs හෙවත් vocoders ලෙස හැඳින්වෙනවා. මේ සඳහා එක් එක් කාලවලදී හඳුන්වාදුන් ප්‍රචලිත ක්‍රම ගණනාවක් තිබේ. GSM Full Rate (Regular Pulse Excited Linear Predictive Coder – RPE LPC) යනු GSM හි භාවිතා කළ මුල්ම වෝකෝඩර් එකයි. ඉන්පසු, Enhanced Full Rate (EFR), GSM Half Rate, Adaptive Multi-Rate (AMR), AMR Wideband (AMR WB) ආදි ලෙස තවත් වෝකෝඩර් බිහි විය.

ඉහත බොහෝ GSM කොඩෙක් ගොඩනඟා තිබෙන්නේ එක පොදු සූත්‍රයක්/ඇල්ගොරිතමයක් මතයි. එම ඇල්ගොරිතමය Code Excited Linear Prediction (CELP) ලෙස හැඳින්වෙනවා. ඇත්තටම මෙම ඇලගොරිතමයේ සංස්කරණ කිහිපයක් ඇත (ACELP, RCELP, VSELP).

සන්නිවේදන පද්ධති තම තමන්ට කැමති වෝකෝඩර් තෝරා ගත හැකියි. එනිසා ඒ ඒ පද්ධතිවලට භාවිතා කළ හැක්කේ කුමන වෝකෝඩර්ද කියා ප්‍රමිතීන් පනවා තිබේ. යම් ෆෝන් එකක් ගත් විට එම සම්මත වෝකෝඩර් සියල්ලම සපෝට් කළ යුතුය. එවිට සන්නිවේදන පද්ධතිය විසින් එම කෝඩෙක් අතුරින් කුමක් යොදා ගත්තත් ගැටලුවක් නොවේවි.

එහෙත් තවත් ගැටලුවක් ඇති විය හැකියි. එනම් විවිධ සන්නිවේදන පද්ධති අනුගමනය කරන්නේ විවිධ ප්‍රමිතින්ය. උදාහරණයක් ලෙස, GSM ක්‍රමය ඉහත කෝඩෙක් භාවිතා කරනවා. CDMA ක්‍රමය හෝ VOIP පද්ධතියක් හෝ සාමාන්‍ය රැහැන් දුරකතන ජාලයක් වෙනත් වෙනත් කෝඩෙක් භාවිතා කළ හැකිය. ඉතිං, මෙවැනි අවස්ථාවලදී එක් පද්ධතියක දත්තයක් අනෙකට තේරුම්ගත නොහැකිය. මෙය විසඳිය හැකි ආකාර කිහිපයක් තිබිය හැකිය. එක් ක්‍රමයක් නම්, මෙලෙස වෙනස් කෝඩෙක් භාවිතා කළත්, ඒවා එකිනෙකට සම්බන්ධ (interconnect) වෙන විට, සියල්ලෝම එකම සම්මත කෝඩෙක් ක්‍රමයක් භාවිතා කිරීමට එකඟ වීමයි. බොහෝවිට මෙම සම්මත කෝඩෙක් එක 64kbps සහිත DS0 වේ.

දැන් අප කෙටියෙන් බලමු ඕනෑම සන්නිවේදන ජාලා දෙකක් හෝ කිහිපයක් එකිනෙකට interconnect වීමේදී පවතින තත්වය ගැන (GSM තාක්ෂනයට ප්‍රමුඛතාව දෙමින්). ඔබේ ෆෝන් එක සම්බන්ධ වන්නේ ඔබ අසල තිබෙන ටවර් එකටයි. ඉතිං ඔබේ කෝල් එක එතැනින් කාටද යා යුත්තේ යන කාරණය මත සිදුවිය හැකි අවස්ථා (cases) බලමු.

1. එම ඇමතුම එම ටවර් එකටම සම්බන්ධ තවත් කෙනෙකුට විය හැකිය. එවිට වැඩේ සරලය. කෙලින්ම ඔහුට එම ඇමතුම එම ටවර් එක හරහාම දිය හැකියි. රැහැන් දුරකතනයක නම්, ඔබේ ඇමතුම ඔබ දැනට සම්බන්ද ස්විචයට සම්බන්ද කෙනෙකුට නම්, කෙලින්ම මෙම ස්විචය විසින් ඔබේ ඇමතුම ඔහු වෙත යොමු කරනවා.

2. එම ඇමතුම එම ජාලයේම නමුත් වෙනත් ටවර් එකකට සම්බන්ද කෙනෙකුට විය හැකිය. එවිට, ජාලයට සිදු වෙනවා ඔබේ ටවර් එකේ ඇති පරිපථය මඟින් අනෙක් අදාල ටවර් එකේ පරිපථයට එම සංඥාව යවන්නට. ඉන්පසු ඒ ටවර් එකෙන් අදාල පුද්ගලයාට සංඥාව යොමු කරාවි. රැහැන් දුරකතනයක නම්, ඔබේ ඇමතුම එම ජාලයේම වෙනත් ස්විචයකට සම්බන්ද කෙනෙකුට නම්, ඔබේ ස්විචය හරහා එම ස්විචයට ගොස් අදාල කෙනා හා සම්බන්ද වේ.

3. එම ඇමතුම වෙනත් දුරකතන සමාගමකට සම්බන්ද කෙනෙකුට විය හැකියි. එම සමාගමත් පිහිටා තිබෙන්නේ එම රටේම නම් තත්වය තරමක් සරලයි. එම දුරකතන සමාගම සෙල්‍යුලර් දුරකතන සේවාවක් හෝ රැහැන් දුරකතන සේවාවක් හෝ විය හැකියි. එහෙත් ඔබේ දුරකතන සමාගමට ඒ කුමන ජාතියේ දුරකතන සමාගමක්ද යන්න ගැන වදවීමට හේතුවක් නැත.

ඔබේ සමාගම හා අනෙක් රැහැන් හා රැහැන් රහිත සියලු සමාගම් සමග රට තුල අවබෝධතා ගිවිසුම් ගසා, එකිනෙකාගේ පද්ධති සම්බන්ද කර තිබේ. මෙම ගිවිසුම්වල තිබෙනවා එකිනෙකාට ගාස්තු අය කරන ක්‍රමය හා කුමන ස්ථානයකදී (මෙම ස්ථානය Point of Presence – POP ලෙසද නම් කළ හැකියි) කෝල් එකිනෙකට හුවමාරුවන gateway පිහිටවිය යුත්තේ කියා.

ගේට්වේ (gateway) යනු යම් සන්නිවේදන පද්ධති දෙකක් එකිනෙකට සම්බන්ද කිරීමට යොදාගන්නා සුවිශේෂි පරිගනකයකි. එය ස්විචයක් ලෙසද හැඳින්වෙනවා. නිකංම එක් පද්ධතියකින් සංඥාවක් අනෙක් පද්ධතියට යැවීමට වෙනුවට බොහෝවිට පරිවර්තන රාජකාරියද ඉන් සිදු කරනවා. එනම්, පද්ධති දෙකේ සංඥා පවතින ෆෝර්මැට්/ආකාර වෙනස් නම්, එක් ගේට්වේ එකට සිදු වෙනවා තමන්ගේ පද්ධතියට පිට පද්ධතියක සිට ආගන්තුකව එන සංඥා තමන්ගේ ආකාරයට වෙනස් කර ගන්නට.

දැන් යම් සමාගමකට කරන්නට තිබෙන්නේ අනෙක් සමාගමකට යන කෝල් එක, අර ගිවිසුම් ප්‍රකාරව, එම ජාලයේ තිබෙන යම් ගේට්වේ වෙතට භාර දීම පමණි. එතැන් පටන් එම සංඥාව එම ජාලයේ ග්‍රාහකයා වෙත ගෙන යෑමේ වගකීම ඔවුන් සතුයි.

අනෙක් පසටද තත්වය එයමයි. එනම් වෙනත් ජාලයකින් ඔබේ දුරකතන ජාලයට එන කෝල් එකක්, එම ජාලා විසින් සිදු කරන්නේ ඔබේ දුරකතන සමාගමේ පරිගනකයට භාරදීම පමණි. එතැන් සිට ඔබේ ජාලය එම කෝල් එක සාමාන්‍ය කෝල් එකක් සේ නියමිත ස්ථානය කරා යොමු කරනවා.


ඔබ දැක ඇති (හා භාවිතාද කරනවා ඇති) අන්තර්ජාලයෙන් ඔබට එංගලන්තය, ඇමරිකාව, ඉතාලිය වැනි රටවල ටෙලිෆෝන් අංකයක් නොමිලේම ලබා ගැනීමට අවස්ථා ලබා දෙනවා. ඔවුන්ට ඉන් ලාභ ලැබෙන්නේ කෙලෙසද කියා සිතා බලන්න. හැමවිටම වාගේ අප එවැනි අංකයක් ලබා ගන්නේ එක්කෝ ආශාවට නැතිනම් යම් ව්‍යාපාරික හෝ එවැනි කටයුතු සඳහාය. ඉතිං එම අංකය අප වෙනත් අයට ලබා දෙන විට, ඔබට ඔවුන්ගෙන් කෝල් එනවා (එම කෝල් VOIP නම් තාක්ෂණ ක්‍රමයෙන් අන්තර්ජාලය හරහා ඔබේ පරිගනකයට හෝ ස්මාර්ට් ෆෝන් එකට රවුට් කරගත හැකියි). ඉතිං මෙම සේවාව නොමිලේ ලබා දෙන අයට ඔබට එන සෑම ඇමතුම් කාලයකින්ම ලාභ තීරුවක් තිබෙනවා.

ඊට හේතුව තමයි මා සුලු මොහොතකට පෙර පැවසුවේ. යම් දුරකතන සමාගමකින් තවත් දුරකතන සමාගමකට ඇමතුම් ගන්නා විට, ඇමතුම ලබන ආයතනයට මුදලක් ඇමතුම ලබා ගන්නා ආයතනයෙන් ගෙවිය යුතුයි ගිවිසුමේ ප්‍රකාරව. මෙම ක්‍රමය ඉන්පසු අදාල දුරකතන ජාලා විසින් ග්‍රාහකයන්ගේ කර මත පටවනවා (ඔවුන්ගේ ලාභ තීරුවත්, රජයේ බදු මුදලුත් සමග). එවිට එය Caller Party Paying (CPP) ලෙස හැඳින්වෙනවා (එනම් ඇමතුම ගන්නා කෙනා පමණක් ගාස්තු ගෙවනවා; ලබන කෙනාට නොමිලේ ඇමතුම ලැබෙනවා). එහෙත් සමහර රටවල ඇමතුම ගන්නා කෙනාට අමතරව ඇමතුම ලබන කෙනාත් යම් මුදලක් ගෙවිය යුතු වෙනවා (ලංකාවේ මුලදි තිබුණෙත් මෙලෙසයි).

රටක් තුල සාමාන්‍යයෙන් දුරකතන සමාගම් හත අටක් වැනි කුඩා ප්‍රමාණයක්නෙ තිබෙන්නේ. තවද, එකම රට තුල තිබෙන බැවින් අදාල වන්නේ එකම නීති පද්ධතියක් හා එකම රාජ්‍ය ප්‍රතිපත්තියකි. උදාහරණයක් ලෙස, ලංකාවේදී TRC ආයතනය මැදිහත්ව ඒ දේවල් සිදු වේ. විශේෂයෙන් අය කිරීම් ගැන තීරණවලට එළඹීම ඉතා පහසුය.

රාජ්‍ය ප්‍රතිප්තිවලට දැක්විය හැකි උදාහරණයක් ලෙස, මේ මොහොත වන විට TRC විසින් ටෙලිෆෝන් කෝල් වලට අවම ගාස්තුවක් (floor rate) නියම කර තිබෙනවා (විනාඩියකට රුපියලක් ලෙස). සමහර ජාල එම ජාලය තුල සිදුවන දුරකතන සංවාද නොමිලේ ලබා දීමට කැමති වුවත්, අර රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා ඔවුන්ට අවම ගාස්තුව අය කිරීමට සිදු වෙනවා. රජය එය සිදු කරන්නේ එමඟින් විශාල බදු අය කර ගැනීමට හැකි නිසාය (උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් රුපියල් 300ක පමණ පවතින ඔබේ බිල නොමිලේ ඇමතුම් පහසුකම දුන්නොත් රුපියල් 100ට පමණ බසින විට, එමඟින් රජයට 50% බැඟින් අය කළ හැකි බදු මුදල අඩු වෙනවනෙ).

එහෙත් විවිධ රටවල් සමග එම කටයුත්ත කිරීම ඉතාම බැරෑරුම්ය. තාක්ෂණික මෙන්ම පරිපාලන, නීති ගැටලු එහි ඇත. විවිධ රටවල විවිධ නීතිරීති මෙන්ම ප්‍රතිපත්ති ඇත. ඒවා නිතරම වෙනස් වියද හැකියි. අපි දන්නවා සමහර රටවලට කෝල් ගන්නා විට විනාඩියකට රුපියල් සිය ගනනක් වැය වෙනවා. ඊට හේතුව එම රටවලින් පනවා තිබෙන නීති හා ප්‍රතිපත්තිය. කැමත් වුවත් අකමැති වුවත් වෙනත් රටවලට තවත් රටක එවැනි ප්‍රතිපත්තිවලට කැමති වීමට සිදු වේ. මෙවැනි සංකීරණ තත්වයන් නිසා, ජාත්‍යන්තර වෙළඳ සම්මුතින් පවා තිබෙනවා එක් එක් රටවල් අතර සිදුවන මුදල් ගනුදෙනු සිදු කරන්නේ කොහොමද, යම් ගැටලු ඇති වූ විට එය සමනය කරගන්නේ (arbitration) කොහොමද වැනි කාරණා සම්බන්දව.

තවද, දුරකතන සේවා සපයන ආයතන ගණන දහස් ගණනකි. ඉතිං එකින් එක අවබෝධතා ගැසීම ප්‍රායෝගික නැත. කෙසේ හෝ විවිධ සංකීර්ණ ගිවිසුම් ඔස්සේ මුලු ලෝකයේම දුරකතන ජාලා එකිනෙකට සම්බන්ද වී පවතින බව අපි දන්නවා (ඒකනෙ ඕනම තැනකට කෝල් ගත හැක්කේ). විවිධාකාරයේ ගිවිසුම් මෙහිදී හමුවෙනවා.

සමහර ආයතන දෙකක් එකිනෙකට ද්විපාර්වික ගිවිසුම් (bilateral agreements) ගසාගෙන තිබෙනවා’ මෙම ක්‍රමයෙන් ඉතාම අඩු ගාස්තු හා ඉතා කාර්යක්ෂම සේවාවක් දෙපාර්ශවයටම හිමි වේ. එහෙත් මෙලෙස වෙන වෙනම ලෝකයේ සිටින දහස් ගණනක් වූ කොම්පැනි සමග ගිවිසුම්ගත වීමම ඉතාම කාලය හා මුදල් වැය වන කටයුත්තකි. එවිතරක්ද නොවේ, සමහරවිට ඒ ඒ රටවල පවතින විවිධ දේශපාලන පරිසර වෙනස්වීම් නිසා නිරන්තරයෙන් මෙම ගිවිසුම් සමාලෝචනය හා වෙනස් කරමින් සිටීමටත් සිදු වේවි. එසේ වුවත්, මෙලෙස ගිවිසුම්ගතව සිටින ආයතන කිහිපයක් අනිවාර්යෙන්ම ලොව තුල තිබිය යුතුයි (සෑම රටක් සමගම නොවූවත් විශාල රටවල්/කොම්පැනි සමග ඔවුන් ගිවිසුම්ගතව සිටිනවා). ඔවුන් සාමාන්‍යයෙන් විශාල සමාගම්ය.

තවත් අය කරන්නේ දැනටමත් ගිවිසුම්ගතව සිටින ඉහත ඡේදයේ විස්තර කළ ආකාරයේ විශාල දුරකතන සේවා සමාගමක් හා සම්බන්ද වීමයි (මෙවිට තමන්ගේ කෝල් ඔවුන්ගේ දැනටමත් විවිධ පාර්ශවකරුවන් සමග ඇති කරගෙන තිබෙන ලින්ක් ඔස්සේ ගමන් කරනවා). මෙම ක්‍රමය පහසුය මොකද ඉහත ඡේදයේ විස්තර කළ ගිවිසුම් ගත වීමේ හා ගිවිසුම් ගසා ගත් පසුත් ඇති වන ප්‍රායෝගික ගැටලු ගැන සිත සිත ඉන්නට අවශ්‍ය නැත. එහෙත් මෙම ක්‍රමයේදී ගාස්තු තරමක් වැඩිය මොකද අතරමැදියෙකුටත් ලාභ යන නිසා.

රටවල් අතර කෝල් රවුටිං කිරීම රටක් තුල රවුටිං කරනවාට වඩා සංකීර්ණ හා බොහෝවිට වියදම් අධික බව දැන් පැහැදිලියිනෙ. බොහෝවිට වියදම වැඩි වී තිබෙන්නේ, ඒ ඒ රටවල් විසින් කෘත්‍රිමව ජාත්‍යන්තර කෝල් සඳහා මිල ඉහල දමා තිබීමයි. උදාහරණයක් ලෙස, ලංකාවේ සිට ඉතාම ඈතින් සිටින ඇමරිකාවට විනාඩියකට රුපියල් දෙක තුනක් වැනි සුලු මුදලකට කෝල් කළ හැකි වුවත්, ඊට බොහෝ ළඟ ඇති මැදපෙරදිග රටවලට විනාඩියකට රුපියල් 10කට වැඩිය. එවිතරක්ද නොවෙයි; ඇමරිකාවට රුපියල් 2කට පමණ මුදලකට කෝල් එකක් ගනිද්දී, ගෙදර ටෙලිකොම් රැහැන් දුරකතනයෙන් අල්ලපු ගමට කෝල් එකක් ගැනීමට රුපියල් 3කට වඩා අය කරනවා. මෙයත් විහිලු තත්වයකි (ප්‍රතිපත්ති තවත් සරල කර සකස් කළ යුතු බව මින් පැහැදිලි වෙනවා).

කෙසේ හෝ වේවා අද අන්තර්ජාල ප්‍රවේශය ඉතාම සීඝ්‍රයෙන් දියුණු වෙමින් හා අන්තර්ජාල සේවා ගාස්තු පහල යමින් පවතිනවා. එනිසා අන්තර්ජාලය ඔස්සේ දුරකතන සංවාද කිරීම (Voice over IP – VOIP) අද ප්‍රචලිතය (skype, viber, whatsApp වැනි). ප්‍රචලිත පමණක් නොව බොහෝ වටිනා අමතර සේවා රැසක් (වීඩියෝ කෝල්, ෆයිල් හුවමාරු කිරීම ආදී) ඉතාම අඩු මුදලට ලැබෙනවා. මෙය තාක්ෂණයේ පල නෙලා ගැනීමක් වුවද, සාම්ප්‍රදායික දුරකතන සේවා සැපයුම් කරුවන්ට මරු පාරකි. විශේෂයෙන් IDD කෝල්වලින් ලැබුණු අතිවිශාල ලාභය දැන් ඉතාම අඩු වී තිබෙනවා.

දුරකතන සමාගම්වලට මෙන්ම එය රජයටද පාඩුවකි මොකද ලබා ගත හැකි බදු මුදල ඉන් අඩු වෙනවා. එනිසා බොහෝ රටවල් VOIP තහනම් කර තිබෙනවා. බදු මුදල අඩුවීමට අමතරව ඔවුන් පෙන්වා දෙන තවත් හේතුවක් නම්, ත්‍රස්තවාදී හා නීතිවිරෝධි වැඩ රජයේ ආරක්ෂක අංශවලට හසු නොවී කිරීමට වැඩි ඉඩකඩ ඉන් ලැබී තිබීමයි (මීට හේතුව, VOIP ක්‍රම සියල්ල එන්ක්‍රිප්ට ආකාරයටයි සිදු වන්නේ).

හේතු කුමක් වුවත්, ලංකාවේ සන්නිවේදන නීති පනත විසින්ද VOIP තහනම් කර තිබෙනවා. එහෙත් විවිධ ප්‍රායෝගික හේතු නිසා ලංකාවේ තවමත් (මා හිතන පරිදි ඉදිරියටත්) මෙම නීති ක්‍රියාත්මක කරන්නේ නැත. ඇත්තටම එය රජයට කිරීමත් ප්‍රායෝගිකව අපහසුය. සමහරවිට VOIP බ්ලොක් කිරීමට විවිධ තාක්ෂණික බාධා ඇති කළද (VOIP සඳහා අවශ්‍ය පෝට් බ්ලොක් කරමින් එහෙම), ඒ සියලු තාක්ෂණික බාධා අභිබවා යෑමට අද ඉතා සරල උපක්‍රම තිබෙනවා.

පෞද්ගලික ප්‍රයෝජනයට VOIP භාවිතා කිරීමට අවසර තිබුණත්, ඒවායෙන් අයුතු ලාභ ලැබීමට වානිජමය වශයෙන් එය කිරීමට අවසර නැත (නියමින් හෝ අනියමින්). මේ ගැනත් කෙටියෙන් බලමු දැන්.

යම් දෙයක් කිරීමට ලාභ ක්‍රමයකුත්, වියදම් අධික ක්‍රමයකුත් තිබුණොත් අප නිතැතින්ම පෙළඹෙන්නේ ලාභ ක්‍රමයටනෙ. දුරකතන සේවා ගැන බලන විට, ලාභ ක්‍රමය (අන්තර්ජාලය හරහා දත්ත යැවීම) බොහෝවිට තහනම් වන අතර අපට භාවිතා කරන්නට බල කරන්නේ මිල අධික සාම්ප්‍රදායික ක්‍රමයයි. මීට එක් හේතුවක් නම්, රජයට ලැබෙන බදු මුදල් අඩු වීම වැලැක්වීම බව ඉහත සඳහන් කළා.

ඊට අමතර තවත් සාධාරණ හේතුවක්ද ඇත්තටම ඇත. එනම්, යම් සේවාවක් කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට හොඳ තරගකාරිත්වයක් මෙන්ම සුදුසු ලාභ තත්වයක් එම ආයතනවලට තිබිය යුතුයිනෙ. එම ලාභවලින් තමයි ඔවුන් තව තවත් නව තාකෂණයන් සඳහා ආයෝජන සිදු කරන්නෙත්. ඉතිං අපට ලාභ හා වාසි වුවත්, අඩු ගාස්තු ආයතනවලට පාඩු ගෙන දිය හැකියි. එවිට සන්නිවේදන කර්මාන්තය කඩා වැටීටම හෝ නව තාක්ෂණ හඳුන්වා නොදී එක තැන පල් වෙන තත්වයක් ඇති විය හැකියි. ඒ කියන්නේ තත්වය සමබර කිරීමට දුරකතන සමාගම්වලට ලාභ ලැබෙන සේ කෘත්‍රිමව හෝ ගාස්තු වැඩි කිරීමට අවස්ථා රජයන් විසින් ලබා දෙනවා.

සන්නිවේදනය ජාලා අතර දත්ත සම්ප්‍රේෂනය කරන ලින්ක් route කියා හැඳින්වෙනවා. සෑම රූට් එකකම දෙකෙලවරක් (termination) තිබෙනවා. නීත්‍යානුකූලබව පදනම් කරගෙන රූට් වර්ග 3ක් නිර්චචනය කර තිබෙනවා - white, gray, හා black ලෙස.

වයිට් රූට් එකකදී දෙකෙලවරම නීත්‍යානුකූල වේ. ඉහත ආකාරයට විවිධාකාරයේ ගිවිසුම් ප්‍රකාරව විවිධ සන්නිවේදන ජාලා අතර පවත්වාගෙන යන්නෙ වයිට් රූට්ය. සාමාන්‍යයෙන් මෙවැනි රූට් හරහා යන කෝල්වල ගාස්තු වැඩිය.

බ්ලැක් රූට් එකකදී දෙකෙලවරම නීති විරෝධි වේ. යම් රටක දුරකතන ජාලයකින් එන කෝල් එකක් VOIP ලින්ක් එකක් (එනම් අන්තර්ජාලය) හරහා වෙනත් රටකට (නීති විරෝධිව) යවා, එම රට තුලදී නැවත සාමාන්‍ය දුරකතන ජාලයක් හරහා යැවීම මෙහිදී සිදු වේ. තවද, අදාල රටවල් දෙකෙහිම එය සිදු කිරීම නීති විරෝධි යැයි ප්‍රකාශ කර තිබියද යුතුය. මෙහිදී රටවල් දෙකෙහිම gateway (PSTN gateway කියා සාමාන්‍යයෙන් එය හැඳින්වේ) එක බැඟින් තිබෙනවා ටෙලිෆෝන් ජාලය හා වොයිප් ජාලය අතර ඉන්ටර්කනෙක්ට් එක සාදන්නට.

ග්‍රේ රූට් එකකදී එක කෙලවරක් නීත්‍යානුකූලද අනෙක් කෙළවර නීති විරෝධිද වේ. මෙහිදී පෙර සේම එක් රටක කෝල් එකක් ගේට්වේ එකක් හරහා වොයිප් ජාලයට සම්බන්ද කර, එම වොයිප් (අන්තර්ජාල) ජාලය හරහා අනෙක් රටට කෝල් එක රවුට් කර, එම රටේදී තවත් ගේට්වේ එකක් හරහා එම රටේ දුරකතන ජාලයට සම්බන්ද වේ. එහෙත් මෙහිදී කෝල් එක එවන රටේදී එය සිදු කිරීම නීත්‍යානුකූලවන අතර, කෝල් එක ලබන රටේදී නීති විරෝධි වේ.

ලෝකයේ ග්‍රේ/බ්ලැක් රූට් විශාල ගණනක් තිබේ. පරිගනකයක් තිබෙන ඔබටත් ඉතා පහසුවෙන්ම රුපියල් හාර පන්සියකින් පමණ එවැනි රූට් එකක් සෑදිය හැකිය. අවශ්‍ය වන්නේ රුපියල් තුන් හාරසියක මෝඩෙම් එකක්, පරිගනකයක්, හා කුඩා ප්‍රෝග්‍රෑම් එකක් (Asterisk වැනි) පමණි. පරිගනකයට මෝඩෙම් එකක් (හෝ කිහිපයක්) ඉන්ස්ටෝල් කර, ඊට ටෙලිෆෝන් ලයින් එක කනෙක්ට් කරන්න. ඉන්පසු සුදුසු සොෆ්ට්වෙයාර් එකක් ගෙන (අන්තර්ජාලයේ නොමිලේ මේවා ඇත), එය ඉන්ස්ටෝල් කරගෙන අදාල සෙටිංස් සාදන්න. අන්තර්ජාල පහසුකමත් අවශ්‍ය වේ.

ඉන්පසු වෙනත් රටක (හෝ එම රටෙහිම) සිට කෙලින්ම අන්තර්ජාල SIP ක්‍රමවේදය (මෙයත් වොයිප් ක්‍රමයකි) ඔස්සේ ඔබ ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එකට කෝල් කළ හැකියි (හරියට ස්කයිප් එකෙන් කතා කරනවා වගේ). පරිගනක මත මෙන්ම ස්මාර්ට් දුරකතන මත වැඩකරන සිප් ප්‍රෝග්‍රෑම් (EyeBeam වැනි) ඕනෑ තරම් අන්තර්ජාලයේ නොමිලේ තිබෙනවා. දැන් සිප් ප්‍රෝගෑම් එකේ සිට ටෙලිෆෝන් නම්බරයක් ඩයල් කර අර මොඩෙමය හරහා දුරකතන ඇමතුම් ගත හැකිය.


SIM Boxing යනු ඉහත ආකාරයේ නීති විරෝධි භාවිතාවකි. ලංකාවේ ඩයලොග් වැනි ආයතන එය නැවැත්වීමට බොහොම වෙහෙස දරනවා. මෙහිදී පිටරැටියන්ට (විශේෂයෙන් මැදපෙරදිග රටවලට) වොයිප් ක්‍රමවලින් ලාබෙට කතා කිරීමට අවස්ථාව ලබා දෙනවා ලංකාවේ දුරකතන අංකවලට ඍජුවම. මෙය පාලනය කිරීම ඇත්තටම අපහසු වුවත්, ඩයලොග් වැනි ආයතන එය පාලනය කළේද මා දකින විදියට නීති විරෝධි ක්‍රමවලිනි. එනම්, ඔවුන්ගේ ඩයලොග් අංක ගැන ඔවුන් සෝදිසියෙන් සිට, යම් කාලයක් (හෝ දවසක් තුල) විවිධ දුරකතන අංකවලට කෝල් වැඩියෙන්ම ලබා ගන්නා දුරකතන අංක ඔවුන් තාවකාලිකව අක්‍රිය කරනවා. ඔවුන් උපකල්පනය කරන්නේ එවැනි කනෙක්ෂන්වලට තමයි අර වොයිප් ලින්ක් සම්බන්ද කර තිබෙන්නේ කියා ගේට්වේ එකේදී. ඉතිං සිම් බොක්සිං කරන අයත් ඊට උපක්‍රම යොදනවා (උදාහරණයක් ලෙස එකම කනෙක්ෂන් එක භාවිතා නොකර කනෙක්ෂන් රාශියක් කලවමේ භාවිතා කිරීම).


නීති විරෝධිව මෙන්ම නීත්‍යානුකූලවත් එය සිදු වන අවස්ථා තිබෙනවා. එවැනි නීත්‍යානුකූල අවස්ථා කිහිපයක් දැන් බලමු.

ඔබ දැක ඇති Skype, Viber වැනි නොමිලේ ලබා දෙන වොයිප් සේවාවල SkypeOut, ViberOut වැනි මුදල් ගෙවා ලබාගත හැකි අතිරේක සේවාවක් ක්‍රියාත්මක වෙනවා. මෙම ක්‍රමත් ඉහත මා විස්තර කළ ලෙසයි කියාත්මක වන්නේ. එහිදී ඔබේ ස්කයිප් හෝ වයිබර් එකේ සිටම සාමාන්‍ය ටෙලිෆෝනයකට කතා කළ හැකියි. එවිට ඔබේ කෝල් එක අදාල වොයිප් ජාලය හරහා ගොස් එහි ගේට්වේ එකෙන් සාමාන්‍ය දුරකතන ජාලයට සම්බන්ද වෙනවා (මොඩෙම් හරහා).

තවද, මොබිටෙල්, ඩයලොග් වැනි ජාලා කලකට ඉහතදී හඳුන්වා දුන්නා ඔබේ ජංගම දුරකතනයේ සිට Skype හා Google Talk නම් වොයිප් ජාලාවලට කතා කිරීමේ පහසුකම්. මේවාත් ක්‍රියාත්මක වන්නේ ඉහත ආකාරයටමයි. එහෙත් දැන් සිදුවන්නේ skypeout, viberout ක්‍රියාත්මක වූ ක්‍රමයට විරුද්ධව දෙසටයි. එනම්, ඔබේ ජංගම දුරකතනයේ සිට ස්කයිප් හෝ ගූගල් ටෝක් යන වොයිප් ජාලාවලටයි කෝල් ගමන් කරන්නේ. මෙවිට, ඔබ ලබා ගන්නා කෝල් එක අදාල දුරකතන ජාලයේ (මොබිටෙල් හෝ ඩයලොග්) ගේට්වේ එකට ගොස් එතැනින් ස්කයිප් හෝ ගූගල් ටෝක් වොයිප් ජාලවලට සම්බන්ද වේ.

ඉහත කතා කළ ආකාර කිහිපයේදීම ඇමතුම ගන්නා පාර්ශ්වය හා ඇමතුම ලබනා පාර්ශ්වය යන දෙදෙනාගෙන් කෙනෙකු සාමාන්‍ය දුරකතනයකුත් අනෙකා වොයිප් පහසුකමකුත් භාවිතා කළානෙ. මේ ලෙසම වෙනත් රටකද මොඩෙම් හා සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගත් විට, කෙලින්ම එම රටේ ටෙලිෆෝන් එකකින් ඔබේ රටේ දුරකතනයකට කතා කළද හැකියි (සිප් ප්‍රෝගෑම් එකක් නැතිව). මෙවිට කෝල් ගන්න කෙනා හෝ ලබන කෙනා දන්නේ නැහැ වොයිප් හරහා එය සිදු වන බව. ලංකාවේ දුරකතන සමාගම් විසින් හඳුන්වාදුන් Budget IDD වැනි ක්‍රම මේ විදියට ක්‍රියාත්මක වේ.

2 comments: