Tuesday, February 14, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 43

රේඩියෝ තාක්ෂණයට පෙර තිබුණේ රැහැන් දුරකතන සේවාවනෙ. ඉතිං, රැහැන් රහිත හෙවත් රේඩියෝ දුරකතන (radiotelephone) සේවාවක් ඇරඹීමට බොහෝ දෙනා උත්සුක වුණා. ඉතාම ප්‍රාථමික ක්‍රමවලින් එය බිහි විය. ඩිජිටල් තාක්ෂණය මෙකල දියුණුව තිබුණේද නැත. මෙම ප්‍රාථමික ක්‍රමයේ මූලික පදනම වූයේ VHF කලාපයේ රේඩියෝ චැනල් කිහිපයක් (විසි ගණනක්) යොදා ගන්නා ට්‍රාන්සීවර් භාවිතා කිරීමයි. එම සේවාව සාමාන්‍ය රැහැන් දුරකතන පද්ධතියටද සම්බන්ද කළ නිසා, රැහැන් දුරකතන සමඟද සංවාද කළ හැකි විය. ස්වයංක්‍රිය ඉලෙක්ට්‍රොනික් ස්විච වෙනුවට ක්‍රියාකරුවෙකු හරහා (operator-assisted) එකිනෙකාට සම්බන්ද විය. සමහර අවස්ථා/පෙදෙස්වල full duplex වෙනුවට half duplex විදියටයි (වෝකි ටෝකී වගේ) සංවාද කළ හැකිව තිබ්බේ.

VHF කලාපය යොදා ගත් නිසා ඇන්ටනාවකින් පිටවන රේඩියෝ තරංග විශාල ප්‍රදේශයකට ගමන් කරනවා. දෘෂ්‍ය ක්ෂිතිජයෙන් එම තරංග කෙලවර නොවේ. ඊට හේතුව පහල සංඛ්‍යාතයන්ට හැකියාවක් තිබෙනවා පොලොව වක්‍ර වන විට තරංගත් එම වක්‍රය ඔස්සේම ගමන් කරන්නට (මේ ගැන පසුවට වෙනම විමසා බැලෙනවා). ඉතිං මෙම ප්‍රාථමික තාක්ෂණයේදී විශාල පෙදෙසක් එකවර ආවරණය කළා චැනල් විස්සකින් පමණ.

මෙම ක්‍රමයේ තිබූ දෝෂ ගණනාවකි. වැඩි පිරිසකට එකවර භාවිතා කළ නොහැකි විය (උපරිම විසි ගාණක්නෙ) මොකද විශාල පෙදෙසක විසිරී සිටින පිරිසකට තිබුණේ කුඩා චැනල් ගණනක් නිසා. ඊට කදිම පිලියමක් සොයා ගති. එනම්, FDMA හා SDMA (frequency reuse) ක්‍රම භාවිතා කිරීමට තීරණය කිරීමයි. තනි විශාල පෙදෙසක් පුරා ගමන් කරන රේඩියෝ තරංග වෙනුවට කුඩා පෙදෙස් ගණනාවක් පුරා වෙන වෙනම ගමන් කරන රේඩියෝ තරංග යොදා ගත්තා. මෙවිට VHF පරාසය සුදුසු නැත මොකද එම තරංග කුඩා පෙදෙස් ඉක්මවා ගමන් කරනවනෙ. මේ සඳහා UHF පරාසය යොදා ගත්තා. UHF වැනි ඉහල සංඛ්‍යාත තරංග ක්ෂිතජයෙන් එහාට ගමන් කරන්නේ නැත (එනම් ස්වභාවයෙන්ම කුඩා පෙදෙසකට සීමා වේ). නූතන සෙල්‍යුලර් තාක්ෂණයේ ප්‍රධාන සන්ධිස්ථානයකි එය.

මල්ටිප්ලෙක්සිං ක්‍රම භාවිතා කළ නිසා, දැන් විශාල පිරිසකට එකවර භාවිතා කිරීමේ හැකියාව ලැබුණි. direct dialing (එනම් ක්‍රියාකරුවෙකුගේ මැදිහත් වීමකින් තොරව ග්‍රාහකයා විසින්ම අංකය ඔබා කෝල් ගැනීම) යන වැඩිදියුණු කිරීම්ද පසුව ඇති විය. මෙම ප්‍රාථමික ක්‍රම විවිධ රටවල විවිධ නම් (සම්මතයන්) යටතේ සිදු විය – MTS (Mobile Telephone Service), Improved MTS (IMTS), Advanced MTS (AMTS), MTD, ආදි ලෙස.

ඉහත පෙන්වා දුන් ලෙසට ප්‍රධානතම ප්‍රායෝගික ගැටලුවලට විසඳුමක් වූයේ යම් දුරකතන පහසුකම් සපයන්නෙකු විසින්, රේඩියෝ දුරකතන සේවාව සපයන රටෙහි (පෙදෙසෙහි) තිබෙන මුලු භූමියම කුඩා පෙදෙස් ගණනාවකට බෙදා, මීට පෙර කතා කළ FDM හා frequency reuse යන මල්ටිප්ලෙක්සිං ක්‍රම යොදා ගැනීමයි. මෙලෙස කැඩූ කුඩා කුඩා පෙදෙස් cell යන නමින් හඳුන්වනවා.


ඉහත රූපයේ 1, 2, 3 ආදී ලෙස අංක යොදා තිබෙන්නේ සංඛ්‍යාතයන් වෙන් වෙන්ව දැක්වීමට බව මීට කලින් අප ඉගෙන ගත්තා මතකද? ඒ කියන්නේ දී ඇති සංඛ්‍යාත පරාසයක් කුඩා පරාස 7කට කඩා (FDM) එම සංඛ්‍යාත පරාස 7 පමණක් භාවිතා කර මුලු රටම ආවරණය කළ හැකියි (frequency reuse). එහි එක් එක් වර්ණවලින් දක්වා තිබෙන්නේ එකම පැටර්න් එකයි. එවැනි පැටර්න් එකක් අනුගමනය කරන සෙල් කිහිපයක් cell cluster ලෙස හැඳින්වෙනවා (ඒ අනුව ඉහත රූපයේ සෙල් ක්ලස්ටර් 5ක් දක්වා ඇත).

එවැනි කුඩා පෙදෙසක් සෙල් යන නමින් හඳුන්වන්නේ ශාක හා සත්ව යන සියලු ජීවීන් සෑදී තිබෙන සෛල (cell) යන සංකල්පය යොදා ගෙනය. අපේ සම ගතහොත් මුලු සමම මෙවැනි සෛල ගොන්නකි. එලෙසම මුලු භූමියම සෙල් ගොඩකි. රූපවල සමාකාර සඩාෂ්‍ර ආකාරයට සෙල් ඇඳ පෙන්වන්නේ භූමියේ කිසිදු ඉඩක් අත් නොහැරෙන බව පෙන්වීමටයි. එහෙත් ප්‍රායෝගිකව ටවර් එකකින් නිකුත් වන රේඩියෝ සංඥා එවැනි ලස්සන සඩාෂ්‍රයක හැඩයේ මායිමකින් ඉවර නොවන බව සිහිතබා ගන්න. එක් එක් සෙල්වලින් නිකුත්වන රේඩියෝ තරංග ඊට වටේ තිබෙන සෙල් තුලට තරමක් ඇතුලු වේ (යට රූපයේ රතු පාටින් දැක්වෙන්නේ මෙම තත්වයයි). ඇත්තටම එයත් වාසියකි. ඒ ගැන මොහොතකින් බලමු.


සෑම සෙල් එකක් මැදම දුරකතන කුලුනක් (communication tower හෝ cellular tower) සවි කෙරෙනවා. එවිට එම ටවර් එකෙන් අදාල සෙල් එක (කුඩා පෙදෙස) ආවරණය කරනවා. සෙල් නැතිව මුලු පෙදෙසම එකට ගෙන රට මැද උස් තැනක එක ටවර් එකක් ගසා සන්නිවේදනය කරන විට චැනල් 20ක් තිබුණා නම්, එම මුලු පෙදෙසටම (විශාල නගරයම හෝ රටම) එකවර කෝල් කළ හැක්කේ 20 දෙනෙකුටයිනෙ. එහෙත් එම රටම සෙල් 1000කට කඩා එය සිදු කළේ නම්, දැන් 20x1000 = 20,000 ක පිරිසකට එකවර කෝල් ගත හැකියි; බලන්න කොතරම් දියුණු තත්වයක්ද කියා. මෙවැනි සෙල් යොදාගෙන සිදුකරන රේඩියෝ සන්නිවේදන ක්‍රමවේද සියල්ලම cellular communication (සෙල්‍යුලර් යන ඉංග්‍රිසි වදනෙහි තේරුම “සෛල ආකාරයේ පවතින” යන්නයි) ලෙස හැඳින්වේ.

සෑම සෙල් එකක්ම එකම ප්‍රමාණය නොවේ. සිටින ග්‍රාහකයන් (subscribers) ගණන අනුව cell size තීරණය වේ. ග්‍රාහකයන් සිටින්නේ ටිකයි නම් (ග්‍රාමීය පෙදෙසක් වැනි) සෙල් එක විශාලය. එය අරය කිලෝමීටර් 35ක් (එනම්, වර්ගකිලෝමීටර් π x 352 = 3800ක්) පමණ විශාල පෙදෙසක් විය හැකිය. මෙබදු සෙල් macro cell ලෙස හැඳින්වෙනවා. විශාල ප්‍රදේශයක් ආවරණය කළ යුතු නිසා, ඉතා උසට ටවර් සෑදීමට සිදු වේ. කුඩාම සෙල් femtocell ලෙස හැඳින්වෙන අතර, මේවා යම් ආයතනයක ගොඩනැඟිල්ලක් තුල පිහිටුවේ (එතරම් කුඩා පෙදෙසකුයි ආවරණය කරන්නේ). මෙම සෙල් සයිස් දෙක අතර microcell, picocell ලෙස තවත් සෙල් සයිස් වර්ග දෙකක් ඇත.


සාමාන්‍යයෙන් ග්‍රාහකයන් පිරිස වැඩි වන විට, විශාල සෙල් ඊට කුඩා සෙල් කිහිපයකට කඩනවා. තවත් පිරිස වැඩි වන විට, ඊටත් කුඩා සෙල් සයිස්වලට කඩනවා. සෑම සෙල් එකක් සඳහාම ටවර් එකක් තිබිය යුතුය. බොහෝ ටවර් ලොකුවට යකඩ කුලුනු සේ සාදා තිබුණත්, පිකෝ/ෆෙම්ටො තරමේ සෙල්වලදී එවැනි දැවැන්ත කුලුනු දක්නට නැත; ඒ වෙනුවට ගොඩනැඟිල්ලක් තුල හෝ එලියේ සවිකර තිබෙන කුඩා ඇන්ටනා දක්නට ලැබේවි. මෙලෙස ඕනෑම ග්‍රාහක පිරිසකට සෑහෙන පරිදි සෙල්‍යුලර් ජාල සාර්ථකව සෑදීමේ හැකියාව තිබෙනවා. සෙල් යොදා ගැනීමේ ප්‍රබලතම වාසිය එයයි.

ටවර් එකේ රාජකාරිය වන්නේ ඇන්ටනා උසින් පිහිටුවීමයි. ඒ ඒ රටවල බොහෝ රෙගුලාසි තිබෙනවා ඒ සඳහා. උදාහරණයක් ලෙස, ලංකාවේදී සිවිල් ගුවන් සේවා අධිකාරිය, ආරක්ෂ අමාත්‍යංශය, විදුලි සන්දේශ නියාමන කොමිසම ආදී ආයතනවලින් අවසර ගෙනයි ඒවා ඉදි කළ හැක්කේ. ඉස්සර එක් එක් දුරකත සේවා සපයන ආයතන තම තමන්ගේ කුලුනු වෙන වෙනම ඉදිකළා. එය ඇත්තටම ඉතාම නරකම පිළිවෙතකි. එකක් නම් ඉන් රට පුරා හැමතැනම කුලුනු ඉදි වෙනවා. එය පරිසර ප්‍රශ්න, සම්පත් නාස්තිය, සමාගම්වලට වියදම වැඩි වීම (එය අවසානයේ පාරිභෝගිකයා පිට පැටවීම) ආදිය සිදු වේ. ඊට පිළියම වන්නේ යම් පොදු ප්‍රතිපත්තියකට අනුව සෙල් ඇති කිරීම හා යම් ටවර් එකක් දුරකතන සමාගම් කිහිපයක් විසින් සාමූහිකව භාවිතා කිරීමයි (sharing). ලංකාවේ බලාත්මක රෙගුලාසි කිහිපයක් බලමු.

ලංකාවේ රෙගුලාසි අනුව කුලුනු ඉදිකළ යුත්තේ BS (British Standard) වැනි පිළිගත් ජාත්‍යන්තර සිවිල් ඉදිකිරීමේ ප්‍රමිතින්ට අනුවයි. අනිවාර්යෙන්ම සිවිල් ඉංජිනේරුවකු ලවා එම ඉදිකිරීම් සහතික කරගත යුතුය (ප්‍රමිතින්ට අනුව ඉදිකළ බවට). සෑම ටවර් එකක්ම නිවැරදිව භූගත කළ යුතුය – එම භූගතය අනිවාර්යෙන්ම ඕම් 5ට වඩා අඩු ප්‍රතිරෝධයක් පෙන්විය යුතුය. අර්ත් කම්බියේ අවම ගනකම (හරස්කඩ වර්ගපලය) 50mm2 විය යුතුය. අවම වශයෙන් කුලුනේ පාදමේ සිට අවට ඇති වෙනත් ඉඩම්වල මායිමට මීටර් 5ක් පමණ පරතරයක් තිබිය යුතුය. හිතුමනාපේ ඕන ඕන තැන ටවර් ගැසිය නොහැකිය. යම් ප්‍රදේශයක (තෝරාගත් වපසරියක) උපරිමව ටවර් 3කි සෑදිය හැක්කේ. මෙවැනි පෙදෙසක් antenna structure farm ලෙස හැඳින්වේ. ෆාම් එකක උපරිම අරය මීටර් 250කි. යම් ෆාම් එකක සිට අනුයාත ෆාම් එකක් අවම වශයෙන් කිලෝමීටර් 4කට වඩා දුර විය යුතුය. යම් ෆාම් එකක පිහිටුවා තිබෙන සියලු කුලුනුවලින් පිටවන රේඩියෝ විකිරණ ප්‍රමාණයන්ගේ එකතුව ICNIRP හි දක්වා තිබෙන අගයන්ට අනුකූල විය යුතුය (මේ ගැනත් පසුවට සලකා බලනවා).


ඔබ දැක ඇති ටවර් එක පාමුල කුඩා කාමරයක් තිබෙනවා. ඒ තුල තමයි සියලු ඉලෙක්ට්‍රොනික්ස් උපාංග හා විදුලි සැපයුම පවතින්නේ. මෙම කොටස් පොදුවේ Base Station (BS) හෝ Base Transceiver Station (BTS) හෝ Radio Base Station (RBS) ලෙස හඳුන්වනවා. සාමාන්‍ය ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය (primary power supply) සපයන අතර, විදුලිය විසන්ධි වූ විට පාවිච්චි කිරීමට අමතර විදුලි සැපයුම් පහසුකමක්ද (backup/auxiliary power supply) අනිවාර්යෙන්ම ඇත. එක් කුලුනක් සමාගම් කිහිපයක්ම ෂෙයාර් කරනවා නම්, එතැන BS කිහිපයක්ම තිබේවි. කුලුන හා BS එක සහිත සම්පූර්ණ පෙදෙස cell site කියා හැඳින්වෙනවා. එය ආරක්ෂිත පෙදෙසකි (අනවසරයෙන් ඇතුලු වීම තහනම්ය).


හදිසි අවස්ථා හෝ විශේෂිත අවස්ථා සඳහා විශාල කුලුනු ගසා දුරකතන පහසුකමක් සැලැස්විය නොහැකියිනෙ. එවැනි අවස්ථාවලදී ට්‍රක් එකක රැගෙන ගොස් ඕනෑම තැනක ස්ථානගත කළ හැකි mobile BS හෙවත් mobile cell site ඇත (තවත් විසිතුරු නම් රාශියක් මේ සඳහා තිබේ). උදාහරණයක් ලෙස, බැරැක් ඔබාමා ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී මෙවැනි මොබයිල් BS 26ක් තාවකාලිකව එම භූමිය අවට පිහිටුවා ඇත. මේ සියලු හපන්කම් කළ හැකි වන්නේ FDMA ට පිංසිදු වන්නට බව පැහැදිලියි නේද?


සෑම සෙල් එකක් සඳහාම පිහිටුවා තිබෙන එක් එක් BS අවසානයේදී එකිනෙකට සම්බන්ද කළ යුතුය. එවිටනෙ සෙල්‍යුලර් දුරකතන ජාලය සක්‍රිය වන්නේ. මෙම සම්බන්ද කිරීම ෆයිබර්වලින් හෝ මයික්‍රොවේව් රේඩියෝ තරංග මඟින් හෝ (මොබයිල් සයිට්වලදී චන්ද්‍රිකා හෝ ඒ අවට පවතින රැහැන් දුරකතන සම්බන්දතාවලින් පවා) සිදු කළ හැකිය. ෆයිබර් ඇදීමට නම් කාලයක් ගත වෙතත්, මයික්‍රොවේව් ලින්ක් ඇති කිරීම පැය කිහිපයකින් වුවද කළ හැකිය (ටවර්වල දක්නට ලැබෙන දීසි ඇන්ටනා වැනි ඇන්ටනා තිබෙන්නේ මේ සඳහාය).

සෙල්ෆෝන් සමග කනෙක්ට් වෙන්නේ කූරු (හෝ සිරස් රීප්ප පටි) සේ පෙනෙන ඇන්ටනාවලිනි. දෙවර්ගයක ඇන්ටනා භාවිතා කළ හැකිය. එකක් නම්, කුලුනේ සිට වටේටම (අංශක 360) සංඥා නිකුත් කරන omnidirectional ඇන්ටනා වර්ගයයි. මෙම ඇන්ටනා සරලයි; තාක්ෂණය පැරණියි. දැන් මෙම ඇන්ටනා බොහෝවිට ඉවත්ව යමින් දෙවැනි වර්ගයේ ඇන්ටනා වර්ගය වන sector antenna භාවිතයට ගැනේ.


මුලු සෙල් එකම ඔම්නිඩිරෙක්ෂනල් ඇන්ටනාවකින් ආවරණය කරනවාට වඩා, එම සෙල් එකේ යම් කොටසක් පමණක් එක ඇන්ටනාවකින් ආවරණය කළ හැකි තරමට තාක්ෂණය දියුණුව ඇත. උදාහරණයක් ලෙස එක් ඇන්ටනාවකින් අංශක 180ක් පමණක් (එනම් අර්ධවෘත්ත පෙදෙසක්) ආවරණය වන පරිදි සකස් කළ හැකියි. මෙවිට එවැනිම තවත් ඇන්ටනාවකින් ඉතිරි අර්ධය ආවරණය කළ හැකියි. මෙලෙස සෙල් කලාපය “කෑලි” හෙවත් sector වලට කඩා එක් එක් සෙක්ටරයක් සඳහා වෙන වෙනම ඇන්ටනා පිහිටුවිය හැකියි. සෙක්ටර් දෙකකට කඩන bisector ක්‍රමයට වඩා එක සෙක්ටරයක් අංශක 120ක් වන සේ පවතින සෙක්ටර් තුනේ හෙවත් trisector ක්‍රමය වඩා ප්‍රචලිතය. සෙක්ටර් ක්‍රමය ඇත්තටම සෙල් සයිස් එක කුඩා කරමින් සෙල් ගණන වැඩි කළා හා සමානය; එමඟින් තවත් වැඩිපුර ග්‍රාහක පිරිසකට සේවා සැපයිය හැකි විය (අමතර කුලුනු නොගහ).


ඉහත රූපයේ දැක්වෙන්නේ සෙක්ටර් 3ක් ඇති අවස්ථාවයි. එහි Real sector ලෙස ඇති හැඩය බලන්න. ඇත්තටම සෙක්ටර් ඇන්ටනාවෙන් රේඩියෝ තරංග විහිදී යන ඇන්දම එහි දැක්වේ (තමන්ගේ සෙක්ටර් කලාපයෙන් එලියට තරංග විහිදී යනවා තරමක අක්‍රමවත් හැඩයකින්; රවුමක් වගේ නැතිව). අනෙක් සෙක්ටර් දෙකෙහි හැඩයද එවැනිම ආකාරයට පවතින බව සිතින් මවා ගන්න. ඇන්ටනා ගැන පාඩමේදී විකිරණ විහිදී යන හැඩ ගැන වැඩිදුර විස්තර බලමු.

සෑම සෙල් එකකටම අනන්‍ය අංකයක් ඇත. එය cell id (CID) නම් වේ. යම් සෙල් එකක් සෙක්ටර්වලට කඩා ඇත්නම්, එම සෙල් එකට එක සෙල් අයිඩී එකක් නොදී, එක් එක් සෙක්ටරයට වෙන වෙනම සෙල් අයිඩී ලබා දේ. GSM, CDMA යන දෙවර්ගයේම සෙල්‍යුලර් ජාලවලදී, cell id එකේ අගය 0 සිට 65535 (216 – 1) දක්වා වේ (එනම් එය බිට් 16ක් දිගය). අදාල දුරකතන සමාගම විසින් තමන්ගේ සෙල්වලට මෙම අගයන් ලබා දේ.

ජාත්‍යන්තර වශයෙන් සෙල්‍යුලර් දුරකතන සඳහා සම්මුතින් ඇති කර ගෙන තිබේ. ඒ අනුව ITU ආයතනයේ E.212 යන සම්මුතිය විසින් සෑම රටක්ම සෙල්‍යුලර් තාක්ෂණයේ ප්‍රයෝජනය සඳහා අංක තුනකින් යුත් අනන්‍ය අංකයකින් නම් කෙරේ. එය Mobile Country Code (MCC) ලෙස හැඳින්වේ. මෙම MCC අංකයේ යම් රටාවක් ඇත. ඉන් පළමු ඉලක්කමින් කියන්නේ ලොව කුමන පෙදෙසක එම රට තිබෙනවාද වැනි කාරණයකි. පළමු ඉලක්කම් හා ඉන් අදහස් වන දේ පහත දැක්වේ.

2 – යුරෝපය
3 – උතුරු ඇමරිකානු හා ඒ ළඟ ඇති කැරබියානු පෙදෙස්
4 – ආසියාව හා මැදපෙරදිග
5 – ඔස්ට්‍රේලියාව හා ඒ ආශ්‍රිත පෙදෙස් (මෙය Oceania ලෙස පොදුවේ හැඳින්වේ)
6 – අප්‍රිකාව
7 – දකුණු හා මධ්‍යම ඇමරිකාව
9 – ඉහත ආවරණය නොවූ පෙදෙස් (ඇන්ටාර්ටිකාව), චන්ද්‍රිකා, නාවුක නැව් හා ගුවන් යානා
0 – පරික්ෂන මට්ටමේ තිබෙන සෙල්‍යුලර් ජාලා (test networks)
1 හා 8 – තවම පවරා නැත

ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුත්තේ 4න් පටන් ගන්නා MCC අංකයක්නෙ. ඔව්, ලංකාවේ අංකය 413 වේ. සාමාන්‍යයෙන් ටෙස්ටිං සඳහා 001 යන MCC එක භාවිතා කෙරේ.

එම සම්මුතියෙන් සෑම රටක් සඳහාම අනන්‍ය අංකයක් ලබා දුන්නා සේම, ඒ ඒ රට තුල සිටින සෙල්‍යුලර් දුරකතන සේවා සපයන්නන්ද අනන්‍ය අංකයකින් හැඳින්විය යුතු බව කියා තිබෙනවා. මෙම අංකය Mobile Network Code (MNC) කියා හැඳින්වෙනවා. එම අංකය ඉලක්කම් දෙකක් හෝ තුනක් දිග විය හැකිය (ලංකාවේ භාවිතා වන්නේ ඉලක්කම් දෙකේ ක්‍රමයයි). උදාහරණයක් ලෙස, ලංකාවේ දැනට සෙල්‍යුලර් සේවා සපයන ආයතනවල අංක පහත දැක්වේ.

මොබිටෙල් - 01
ඩයලොග් (MTN) - 02
එටිසලාට් (ටීගෝ/සෙල්ටෙල්) - 03
ලංකාබෙල් - 04
එයාර්ටෙල් - 05
හච් - 08

GSM සෙල්‍යුලර් ජාලා අනිවාර්යෙන්ම ඉහත MCC/MNC අංක භාවිතා කරන අතර, UMTS, WiMax, Tetra වැනි සෙල්‍යුලර් ජාලා ඒවා අනිවාර්යෙන්ම පිළිපදින්නේ නැත (ඒ වෙනුවට වෙනත් ක්‍රම ඒවාට අනුගමනය කිරීමට අවසර ඇත). දැන් අපට හැකියාව තිබෙනවා MCC/MNC යන අංක යුගලයෙන් ලොව ඕනෑම GSM සම්බන්දතාවක් අනන්‍යව (uniquely) හඳුනාගන්නට.

ඒ විතරක්ද නොවේ; MCC/MNC/CellID යන ත්‍රිත්වයෙන් අපට හැකියි ලොකයේ ඕනෑම සෙල් කලාපයක් අනන්‍යව හඳුනා ගන්නට (එම ත්‍රිත්වයට Location Area IdentityLAI කියා කියනවා). සාමාන්‍යයෙන් වර්තමානයේ සෙල් කලාපයක් එතරම් විශාල නැත. එනිසා මෙම ක්‍රමයෙන් අපට හැකියි කෙනෙකු සිටින තැන හඳුනා ගන්නටත් ඔහුගේ අතේ තිබෙන සෙල්ෆෝන් එකෙන්. මෙම තැන හඳුනා ගැනීම GPS තරම් නිවැරදි නැතත්, මේ ආශ්‍රයෙන් බොහෝ සේවාවන් ලබා දිය හැකියි. උදාහරණයක් ලෙස, අවට තිබෙන රෙස්ටුරන්ට්, වැදගත් ස්ථාන, කෝච්චි/බස් නැවතුම් වැනි ස්ථාන ගැන අපට දැනුම් දෙන සේවා ඇති කළ හැකිය. කෙනෙකු අනතුරක සිටින විට දළ වශයෙන් හෝ ඔහු සිටින ස්ථානය හඳුනාගත හැකියි. මේ සෑම දේටම සෙල් ෆෝන් එකක් ඔහු ඔන් කරගෙන ළඟ තබා ගෙන සිටිය යුතුය.

No comments:

Post a Comment