Tuesday, January 31, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 36

Wavelength Division Multiplexing (WDM)

ප්‍රකාශ තන්තු ඔස්සේ සන්නිවේදනය කරන විට, එකම තන්තුව ඔස්සේ ලේසර් ආලෝක කිහිපයක්ම යැවිය හැකිය. මෙවිට, ඒ විවිධ ආලෝකයන්ගේ තරංග ආයාමයන් විවිධ විය යුතුය. එය හරියට එකම වයරයක් හරහා සංඛ්‍යාතය වෙනස් විදුලි තරංග ගමන් කරනවා වැනිමය. එනිසා, එම මල්ටිප්ලෙක්සිං ක්‍රමය WDM වේ. මෙමඟින් දත්ත යැවීමේ ධාරිතාව කිහිප ගුණයකින් වැඩි කර ගත හැකියි. එය අතිවිශාල ලාභයකි.



ඇත්තටම WDM යනුද තාක්ෂණිකව බැලුවොත් FDM ම තමයි. ඊට හේතුව ආලෝකයේ (හෝ ඕනෑම විද්‍යුත්චුම්භක තරංග වර්ගයක) තරංග ආයාමය හා සංඛ්‍යාතය එකිනෙකට බැඳුණු ඒකක දෙකකි; එකක් දන්නේ නම් පහසුවෙන්ම අනෙක සෙවිය හැකියි c = 3x108 ms-1 =fλ යන සූත්‍රයට අනුව (c යනු ආලෝකයේ වේගය වන අතර, f යනු සංඛ්‍යාතද, λ යනු තරංග ආයාමයද වන බව මීට පෙර අප ඉගෙන ගත්තනෙ). විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු ආලෝකය යනු විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුතු ආලෝකය කියන එකමයි (එම ආලෝකයන්ගේ සංඛ්‍යාත/තරංග ආයාම පවතින්නේ දෘෂ්‍යාලෝක කලාපයේ නම්, විවිධ තරංග ආයාම අපට පෙනෙනු ඇත්තේ විවිධ වර්ණ ලෙසයි). එය සංඛේතවත් කිරීමටයි සාමාන්‍යයෙන් ඉහත ආකාරයේ රූපවල එක් එක් තරංග ආයාමයන් විවිධ වර්ණවලින් දක්වන්නෙත්. ප්‍රායෝගිකව නම්, සන්නිවේදනය සඳහා යොදා ගන්නා තරංග ආයාමයන් ඇසට නොපෙනෙන අධෝරක්ත කලාපයේ පිහිටනවා. ITU ආයතනය විසින් එම තරංග ආයාමයන් පහත ආකාරයට බෑන්ඩ් කිහිපයකට කඩා නම් කර ඇත.


ෆයිබර් ඔප්ටික් භාවිතය අද සන්නිවේදන විප්ලවයක් කර තිබේ. ලොව වටා මුහුදු හා ගොඩබිම් යටින් කිලෝමීටර් දසදහස් ගණන් දිගට මේවා ඇද තිබේ. අන්තර්ජාල සේවා හා සන්නිවේදනය මෙතරම් දියුණු හා ලාභ වන්නට හේතුවත් එයයි. එහෙත් ෆයිබර් කේබල් ඇදීම අතිශය වියදම් ක්‍රියාවකි. ඉතිං දැනට තිබෙන කේබල් හරහාම තව තවත් සංඥා යැවිය හැකි නම් කොතරම් අගනේද? එය තමයි WDM වලින් සිදු කරන්නේ. එක සංඥාවක් (ආලෝකයක්) වෙනුවට දැන් ආලෝක කදම්භ (සංඥා) සිය ගණනක් එකවර යැවිය හැකි තරමට මෙය දියුණුවී ඇත. මෙහි ඇති වැදගත්කම නිසා අඛණ්ඩව WDM තාක්ෂණය අදටත් දියුණු වෙමින් පවතිනවා. දියුණු ක්‍රම ඇති වුණාම කරන්නට තියෙන්නේ ෆයිබර් කේබල් දෙපස ඇති (කුඩා) උපකරණ දෙකක් වෙනස් කිරීමට පමණි; කේබල්වලට කිසිවක් කළ යුතු නැත. එය ප්‍රබල වාසියකි.

WDM ක්‍රමයේ අවස්ථා/ප්‍රභේද කිහිපයක් ඇත. මුලින්ම ඇති වූ ප්‍රභේදයට පසුකාලීනව Binary WDM (BWDM) යන නම යොදා ඇත. ඊට හේතුව තනි ආලෝකයක් වෙනුවට තරංග ආයාම වෙනස් ආලෝක කදම්භ 2ක් ඒ හරහා යැවූ නිසාය. ඊට වඩා දියුණු ප්‍රභේදයකි Coarse WDM (CWDM) කියන්නේ. මෙහිදී විවිධ තරංග ආයාමයන් දුසිමකට වැඩි ගණනක් යැවිය හැකිය. එනිසා දත්ත ධාරිතාව වැඩිය. Dense WDM (DWDM) යනු ඊටත් වඩා දියුණු ආකාරයකි. ආලෝක කදම්භ සිය ගණනක් මෙහිදී යැවේ.

ආලෝකය මඟින් දත්ත සම්ප්‍රේෂණයේදී හමුවන බරපතල ගැටලුවක් වන්නේ යවන ආලෝකය තන්තුව තුලින් ගමන් කරන විට සිදුවන හායනය නැති කිරීමට තිබෙන අපහසුතාවයි. එනම් ආලෝකය වර්ධනය කරන ක්‍රමවේදය පහසු නැත. විදුලි සංඥා නම් පහසුවෙන්ම වර්ධක පරිපථයක් මඟින් වර්ධනය කර ගත හැකියිනෙ. එහෙත් ආලෝකයට එසේ පහසු වර්ධක පරිපථ නැත. තවමත් විද්‍යාඥයන් මෙය කළ හැකි ආකාර ගැන පර්යේෂණ කරමින් සිටී. දැනට යොදා ගන්නා හොඳම ප්‍රකාශ වර්ධකය Erbium Doped Fiber Amplifier (EDFA) යන නමින් හැඳින්වේ. එයත් වියදම් අධික උපකරණයකි.

ඉතිං විවිධ තරංග ආයාම සාදා ගත හැකි වුවත් මෙම ප්‍රකාශ වර්ධකවල තිබෙන අඩුව මෙම තාක්ෂණය යොදා ගැනීමට බාධා ඇති කරනවා. EDFA විසින් වර්ධනය කරන්නේ දළ වශයෙන් නැනෝමීටර් 1525 – 1565 කලාපයේ හා 1570 – 1610 කලාපයේ ආලෝකයන්ය. ඊට පිටින් තිබෙන තරංග ආයාමයන් සහිත ආලෝකයන් වර්ධනය කිරීමට නොහැකිය. ඉතිං ඕනෑම තරංග ආයාමයක් වර්ධනය කළ හැකි ක්‍රමයක් සොයා ගත් කාලෙක, ෆයිබර් ඔප්ටික් හරහා සිතාගත නොහැකි තරම් දත්ත ප්‍රමාණයක් යැවීමට හැකියාව ලැබෙනු ඇත WDM ක්‍රමයට පිංසිදු වන්නට.

ITU ආයතනය විසින් යොදා ගත යුතු තරංග ආයාම පරාසයන් සම්බන්දයෙන් සම්මතයන් ගණනාවක් ඇති කරගෙන තිබේ. උදාහරණයක් ලෙස, CWDM සඳහා තරංග ආයාම නැනෝමීටර් 1271 සිට 1611 දක්වා යොදා ගන්නයි ඔවුන්ගේ G.694.2 යන සම්මතය උපදෙස් දෙයි. ඒ කියන්නේ ඉහත පෙන්වූ ITU bands වලින් මුල් බෑන්ඩ් 5ම ඒ සඳහා යොදා ගත හැකියි. තවද, එම පරාසය තුල යොදා ගන්නා ආලෝක කදම්භ දෙකක් අතර පරතරය නැනෝමීටර් 20ක් විය යුතු යැයිද පවසනවා. ඒ අනුව, ඉහත අනුමත පරාසය තුල ආලෝක කදම්භ උපරිම 18ක් පමණයි යොදා ගත හැක්කේ. DWDM ට වඩා සැපිරිය යුතු කොන්දේසි අඩුවීම මෙන්ම ඊට වඩා වියදමද අඩු වීම මෙහි ඇති වාසියකි.

G.694.2 සම්මතය බලපානේ CWDM සඳහා පමණි. DWDM සඳහා G.694.1 සම්මතය බලපවත්වනවා. එහි කියනවා DWDM වල, තරංග ආයාම දෙකක් අතර පරතරයන් කිහිපයක් තිබිය හැකි බව. ගිගාහර්ට්ස්වලින් (හා නැනෝමීටර්වලින්) එම පරතරයන් සඳහන් කර තිබේ - 12.5GHz (0.05nm), 25 (0.1), 50 (0.2), 100 (0.4), හෝ 100 (0.8) යේ ගුණාකාරයක්. සාමාන්‍යයෙන් DWDM සඳහා යොදා ගන්නා තරංග ආයාම පරාස වන්නේ නැනෝමීටර් 1530 – 1553 දක්වා හා 1622 – 1624 දක්වා කලාපයන්ය (C හා L කාණ්ඩ දෙක). තරංග දෙකක් අතර පරතරය ගිගාහර්ට්ස් 100 වන විට, ඉහත පරාස තුල ආලෝක කදම්භ 40ක් යොදා ගත හැකියි. එම පරතරය 50 දක්වා අඩු කළ විට, කදම්භ 80 දක්වා ඉහල යයි. පරතරය 25 දක්වා අඩු කළ විට කදම්භ 160ක්ද, 12.5 දක්වා අඩු කළ විට කදම්භ 320 දක්වා වැඩි වේ. එය විශාල ප්‍රමාණයකි. එනිසා, පරතරය 12.5 ක් ලෙස යොදා ගන්නා DWDM ක්‍රමය Ultra Dense WDM (UDWDM) ලෙසත් නම් කෙරෙනවා.


ඔබට අපට ඉහත කිසිම WDM ක්‍රමයක් ප්‍රායෝගිකව භාවිතා කිරීමට අපහසුය (විශේෂයෙන්ම වියදම වැඩි නිසා). එනිසා දැනට සෛද්ධාන්තිකව පමණක් ඒ ගැන දැන ගැනීමෙන් සෑහීමට පත් වීමට සිදු වේ.

Time Division Multiplexing

මෙය FDM ට වඩා තරමක් දියුණු මෙන්ම තරමක් සංකීර්ණ ක්‍රමයකි. යම් සංඛ්‍යාත පරාසයක් ඔස්සේ එක එක වෙලාවන්ට එක එක (විවිධ) සංඥා යැවීම මෙහිදී සිදු වේ. එනම්, යම් සංඛ්‍යාත පරාසයක් ඔස්සේ එකම සංඥාවක් එක දිගට යන්නට දෙන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ යම් කුඩා කාලයක් එක් සංඥාවක් යවා එය නවතා, ඊළඟ කුඩා කාලයකට තවත් සංඥාවක් යවා නවතා, මේ ආකාරයට සංඥා කිහිපයක් (හත අටක් පමණ) කඩින් කඩ යැවේ. මෙලෙස කුඩා කොටස් වශයෙන් විවිධ සංඥාවල දත්ත එකට යැවීම interleaving ලෙස හැඳින්වේ. ඇත්තටම මෙහිදී වෙන්නේ අධිවේගී සම්ප්‍රේෂණ මාධ්‍යයක මන්දගාමී සංඥා කිහිපයක් යැවීමයි (බස් එකේ ඉඩ තිබේ නම්, තවත් මගීන් නංවා ගන්නවා වාගේ). තමන්ට ලැබෙන කාල සීමාවේදී එම සම්පූර්ණ සංඛ්‍යාත පරාසයම (බෑන්ඩ්විත් එකම) එම සංඥාව භාවිතා කරනවා. මෙයත් පොදු වැසිකිලියක් භාවිතා කරන්නා මෙන්මය. එකම වැසිකිලිය කිහිප දෙනෙකු භාවිතා කරතත්, ඒ සෑම කෙනාම වරකට යම් සුලු කාලයක් පමණයි ඉන්නේ. හැබැයි ඒ සිටින සුලු කාලය තුලදී සම්පූර්ණ වැසිකිලියම ඔහු සඳහා පමණි (වෙන කෙනෙකුට ඇතුලු විය නොහැකියි එහි කුමන කොටසකටවත්).


යම් සංඥාවක් යෑමට අවසර තිබෙන කුඩා කාලය time slot යනුවෙන් හැඳින්වේ. ඒ අනුව TDM හි සිදු වන්නේ යම් සංඛ්‍යාත පරාසයක් ටයිම් ස්ලොට් කිහිපයකට කඩා, ඒ එක් එක් ටයිම් ස්ලොට් එකේදී විවිධ සංඥා යැවීමයි. ටයිම් ස්ලොට් කිහිපයක කාණ්ඩයක් frame ලෙස හැඳින්වේ. ෆ්‍රේම් එකක් තුල තිබෙන ටයිම් ස්ලොට් channel ලෙසද හඳුන්වනවා (ඊට හේතුව එක් එක් ටයිම් ස්ලොට් එකක තිබෙන්නේ වෙනස් වෙනස් චැනල්වල දත්තය). එක් චැනලයක් හෙවත් ටයිම් ස්ලොට් එකක් තුල බිට් හත අටක් හෝ ඊටත් වැඩිය තිබිය හැකිය. සාමාන්‍යයෙන් තත්පරයකට ෆේම් ගණනාවක් සම්ප්‍රේෂණය කරනවා.

පහත රූපයේ දැක්වෙන්නේ බිට් 193 ක් දිග එවැනි ෆ්‍රේම් එකකි. එහි චැනල්/ටයිම් ස්ලොට් 24ක් ඇත. එක් ටයිම් ස්ලොට් එකකට බිට් 8ක් ඇත (ඊට අමතරව සෑම ෆ්‍රේම් එකක් ආරම්භයේ කිසිදු චැනලයකට අයිති නැති බිට් 1ක්ද තිබේ). ඉතිං, සුලු කළ විට, 24 x 8 + 1 = 193 ලැබේ. තවද, මෙම උදාහරණයේදී, මෙවන් එක ෆ්‍රේම් එකක් යැවීමට ගත වන කාලය මයික්‍රොතත්පර 125කි (වෙනත් පද්ධතියක් සැලකුවොත් වෙනස් කාලයක් ඊට තිබිය හැකිය). ඒ කියන්නේ තත්පරයක් තුල මෙවන් ෆ්‍රේම් (1 / 0.000125) = 8000 ක් සම්ප්‍රේෂණය කෙරේ. එවිට තත්පරයකට බිට් 8000 x 193 = 1,544,000 හෙවත් 1.544 Mbps ක දත්ත සම්ප්‍රේෂණ වේගයක් එහි ඇත.


ඇත්තටම ඉහත අප සලකා බැලූමේ සත්‍ය ලෙසම ප්‍රායෝගිකව යොදා ගන්නා සන්නිවේදන පද්ධතියක් වන T1 නම් dedicated line එකක් ගැනයි. එය DS1 සම්මතය ලෙසත් හැඳින්විය හැකිය. මතකද මීට පෙර DS0 නම් සම්මතයක් අපට හමු වූවා? DS0 සම්මතයට අනුකූල චැනලයක් හරහා කටහඬක් යැවිය හැකිය (එනම් දුරකතන සංවාදයක් කළ හැකිය). DS0 යනු 64kbps නිසා, DS1 1,544kbps නිසාත්, එක් DS1 කනෙක්ෂන්/චැනල්/ලයින් එකක් තුල DS0 ලයින්/චැනල්/කනෙක්ෂන් 1544/64 = 24ක් තිබේ. ඒ කියන්නේ තනි DS1 ලයින් එකක් හරහා ටෙලිෆෝන් කනෙක්ෂන්/ලයින් 24ක් ලබා දිය හැකියි.

DS0, DS1 හැරුණහම DS2, DS3 ආදි ලෙස තවත් සම්මතයන් ඇත. DS ට පසුව ඇති ඉලක්කම වැඩි වන විට, ඉන් අදහස් කෙරෙන්නේ වැඩි දත්ත වේගයක් ඇති බවයි. මේ සියලුම සම්මතයන් TDM ක්‍රමය මත පදනම්ව ඇත. DS0 ලයින් 24ක් TDM කළ විට DS1 ලැබේ. DS1 ලයින් 4ක් TDM කළ විට DS2 ලැබේ. එලෙස අනෙක් ඒවත් සලකන්න. පහත රූපයෙන් මේ බව කෙටියෙන් දැක්වේ.


විවිධ සන්නිවේදන පද්ධති ඇති අතර, ඒ එක් එක් පද්ධතියේ යොදා ගන්නා ෆ්‍රේම් ආකෘතිය මීට වඩා වෙනස් විය හැකිය. එහෙත් ඒ කොහි එකෙත් පොදුවේ මෙම ආකෘතිමය ස්වරූපයමයි තිබෙන්නේ (බිට් ගණන, චැනල් ගණන, සම්ප්‍රේෂණ වේගය ආදී සාධක වෙනස් විය හැකියි). ඇත්තෙන්ම T1, T2 ආදී කනෙක්ෂන් ලංකාවේ නැත (ඇමරිකාවේ එය ප්‍රචලිතය). ඒ වෙනුවට යුරෝපා රටවලත් ලංකාවෙත් තිබෙන්නේ E1, E2 ආදී සම්මතයන්ය/කනෙක්ෂන්ය. පහත දැක්වෙන්නේ E1 හි ෆ්‍රේම් ආකෘතියයි. මෙහි එක් ෆ්‍රේම් එකකට චැනල් 32ක් ඇත (එක් ෆ්‍රේම් එකක් සම්ප්‍රේෂණය වීමට මයික්‍රොතත්පර 125ක් ගත වේ). එනිසා එහි දත්ත සම්ප්‍රේෂණ වේගය වන්නේ, 32x8/0.000125 = 2048kbps වේ.


FDM ක්‍රමය ඇනලොග් හා ඩිජිටල් සංඥා දෙවර්ගය සඳහාම යොදා ගත හැකි වුවත්, TDM යොදා ගත හැක්කේ digital (හා pulse) සංඥා සමඟයි. ඊට හේතුව පහත ආකාරයට තර්ක කර දැනගන්න.

ඩිජිටල් ක්‍රමයේදී දත්ත පවතින්නේ 1, 0 ගොන්නක් ලෙස පමණයි. ඔබ කතා කරන විට ඇති වන ශබ්දය තත්කාලීනව හෙවත් ඒ වෙලේම (real-time) ඩිජිටල් සංඥා බවට පත් කෙරෙනවා යැයි සිතන්න. ඔබ ඇනලොග් විදියට එම දත්තය යවනවා නම්, ඒ සඳහා අඛණ්ඩව ඉඩ ලබා දිය යුතුය. ඒ කියන්නේ වෙනත් සංඥා එබ්බවීමට අවසර නැත; එනම් ටයිම් ස්ලොට් නැත. එහෙත් ඩිජිටල් සංඥාවක් කළ පසු, එතැන තිබෙන්නේ 1 හා 0 සංඥා ගොඩකි. අපට පුලුවන් අධිවේගයෙන් එම සංඥා ගොඩ ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය කර දමන්නට. එවිට, සම්ප්‍රේෂකය නිදහස්ය. ඒ නිදහස තුල තවත් අයකුගේ දත්ත යැවිය හැකියිනෙ.

තවදුරටත් උදාහරණයකින්ම එය පැහැදිලි කර ගමු. සිතන්න ඔබ කතා කරන විට එක් එක් තත්පරයෙන් තත්පරයට ඔබේ ශබ්දය ඩිජිටල් කරනවා කියා. ඉතිං පළමු තත්පරයෙන් පසුව එම ඇනලොග් සංඥා කොටස ක්ෂණයෙන් ඩිජිටල් දත්ත ගොඩක් බවට පත්ව ඇත. මෙම දත්ත ගොඩ අධිවේගයෙන් මිලිතත්පර 100කින් සම්ප්‍රේෂණය කළා යැයි සිතන්න. ඒ කියන්නේ ඔබ දෙවැනි තත්පරය කතා කරමින් යන අතරේ, එම තත්පරයෙන් 10න් 1ක කාලයක් තුල ගිය තත්පරේ සියලු දත්ත සම්ප්‍රේෂණය කෙරේ. මෙවිට අනෙක් පැත්තේ තිබෙන රිසීවරයෙන් එම දත්ත ගොන්න ලබාගෙන එය එම පැත්තේ ඉන්න කෙනාට ඇසෙන්නට සලසනවා. ඉතිං එම ශබ්දය තත්පර 1ක් දිග නිසා, ඔහු එක තත්පරයක් පුරාවට එය අසා ගෙන සිටී.

මේ අතරේදී, ට්‍රාන්ස්මිටරයට ආයෙත් සම්ප්‍රේෂණය කරන්නට දත්ත එන්නේ දැන් ගෙවෙමින් යන තත්පරය අවසන් වූ පසුවයි. ඒ කියන්නේ තවත් තත්පරයෙන් 10න් පංගු 9ක් නිකං බලාගෙන ඉන්නට වෙනවා දැනට ගෙවෙමින් තිබෙන තත්පරය ඉවර වන තුරු. මෙන්න මෙම නිකං බලා ඉන්න කාලය තමයි යොදා ගන්නේ තවත් දත්ත යැවීමට. සිතන්න එම නිකංම ඉන්න කාලය යොදා ගන්නවා කියලා එවැනිම තවත් කෙනෙකුගේ කතාවක් සම්ප්‍රේෂණය කරන්නට. එවිටත් එම දෙවැනි සංඥාව යවන්නත් ගත වන්නේ තත්පරයෙන් 1/10ක්නෙ. දැනුත් තත්පරයෙන් 8/10ක් සම්ප්‍රේෂකය නිකං ඉන්නේ.

මේ විදියට සම්ප්‍රේෂකය 100%ක් කාර්යබහුල කරන්නට නම් එවැනි කතාවල් 10ක් යැවිය යුතුය. ඒ කියන්නේ සංඥා 10ක් TDM ක්‍රමයට මල්ටිප්ලෙක්ස් කළ හැකියි අපි මේ දැන් උදාහරණයට ගත් සන්නිවේදන පද්ධතියේ. දත්ත ඩිජිටල් කළ විට තිබෙන වාසියක් ප්‍රයෝජනයට ගත් අවස්ථාවක් තමයි TDM කියන්නේ.

ඇත්තටම ඉහත උදාහරණය පහසුවෙන් අවබෝධ කරනු පිනිසයි මා තත්පරයෙන් තත්පරය සැලකුවේ. ප්‍රායෝගික පද්ධතිවල එම කාලය මිලිතත්පර හෝ මයික්‍රොතත්පර ගණනකි. කාලය එතරම් කුඩා කිරීමට හේතු තිබේ. තත්පරයක් වැනි විශාල කාලයක් ගත් විට, එහා පැත්තේ ඉන්න කෙනාට ඔබ කතා කරන දේ ඇසෙන්නේ තත්පරයකට වැඩි කාල පමාවකට පසුවයි. සාමාන්‍ය ටෙලිෆෝනයකදී මෙතරම් කාල පමාවක් තිබුණොත් එය විශාල කරදරයකි. දැනටත් සැටලයිට් ෆෝන් භාවිතා කරන හෝ දැනට වසර ගණනාවකට පෙර IDD කෝල් ගත්තු අය නම් මෙම කරදරය අත්විඳ තිබෙනවා. තත්පර 0.25 පමණ පමාවක් ඒවායේ තිබේ. ඊට අමතරව, සජීවි ටීවි වැඩසටහනකට ප්‍රේක්ෂකයන් කතා කරන විටත් එම තත්වය ඔබ දැක ඇති. ඉතිං, මෙම කරදරයෙන් මිදිය හැකියි තත්පරය වැනි විශාල කාලයක් ගන්නවා වෙනුවට අඩු කාලයක් ටයිම් ස්ලොට් එකට ගත් විට.

ඇනලොග් සංඥා TDM කිරීමට අවශ්‍ය නම්, පළමුවෙන්ම ඇනලොග් සංඥාව එක්කෝ ඩිජිටල් කළ යුතුය (PCM), නැතිනම් ස්පන්ද පෙලක් (PAM) බවට පත් කර ගත යුතුය. ඩිජිටල් කළොත් ඉහත පෙන්වා දුන් ආකාරයටනෙ TDM වෙන්නේ. PAM කළොත් පහත ආකාරයට TDM කළ හැකිය.


ඉහත A,B,C,D ලෙස වෙනස් වෙනස් ඇනලොග් සංඥා 4ක් ඇත. ඒ සෑම සංඥාවක්ම PAM කර ඇත. එලෙස පෑම් කළ පසු එක් ෆ්‍රේම් එකක් සඳහා එක් එක් සංඥාවකින් එක් පල්ස් එක බැඟින් ඇහිඳ ගන්නවා. අන්න ඒ විදියටයි පල්ස් සංඥා TDM කරන්නේ.

TDM සිදු කළ හැකි ආකාර 2ක් තිබේ.

1. Synchronous TDM (STDM)
2. Asynchronous TDM (ATDM)

සින්ක්‍රොනස් ක්‍රමයේදී TDM multiplexer එකට සම්බන්ද කළ සෑම උපකරණයකටම නිශ්චිතවම යම් ටයිම් ස්ලොට් එකක් ලබා දේ. එනිසා සම්බන්ධිත උපකරණ ගණනට සමාන (හෝ වැඩි) ස්ලොට් ගණනක් එක ෆ්‍රේම් එකක් තුල තිබිය යුතුය. යම් උපකරණයට දත්ත යැවීමට ඇතත් නැතත් එම ටයිම් ස්ලොට් ඒ උපකරණයට පමණක් වෙන් කර තිබෙනවා. සෑම මොහොතේම සෑම උපකරණයකටම දත්ත යැවීමට නැහැනෙ. එනිසා, මෙම ක්‍රමය ටයිම් ස්ලොට් අපතේ යෑමකට හේතු වෙනවා (යවන්න දත්ත නැති විට ටයිම් ස්ලොට් එක කවුරුත් ප්‍රයෝජනයට නොගන්නා නිසා). රැහැන් දුරකතන සේවා පද්ධතිවල මෙම ක්‍රමයයි යොදා ගන්නේ.


ඒසින්ක්‍රොනස් ක්‍රමයේදී මල්ටිප්ලෙක්සරයට සම්බන්ද කළ උපකරණවලට වෙන් වූ ටයිම් ස්ලොට් ඇතත්, යවන්නට දත්ත නැතිනම් වෙනත් දත්ත යැවීමට ඇති උපකරණවලට එම ස්ලොට් ලබා දේ. එමඟින් නාස්තිය නැති වේ. තවද, මල්ටිප්ලෙක්සරයට සම්බන්ද උපකරණ ගණනට වඩා අඩු ස්ලොට් ගණනක් (එක ෆ්‍රේම් එකක් තුල) පවත්වා ගත හැකියාව තිබීමත් මෙහි වාසියකි. ප්‍රචලිත පරිගනක ජාල තාක්ෂණයන් වන ATM, Frame-Relay ආදියෙහි මෙම ක්‍රමය භාවිතා වේ.


මෙම ක්‍රමයේදී “තැනේ හැටියට” තීරණ ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. එනම්, ඩේටා තිබේ නම් විතරයිනෙ ඒ සඳහා ටයිම් ස්ලොට් ලබා දෙන්නේ. එනිසාම එය Statistical TDM ලෙසද හඳුන්වනවා. Statistical Multiplexing ලෙස හඳුන්වන්නෙත් එයයි.

ඇත්තටම ප්‍රායෝගිකව සන්නිවේදන පද්ධතින් විසින් FDM හා TDM යන දෙකම එකට භාවිතා වේ. එහිදී තමන්ට භාවිතා කරන්නට අවසර තිබෙන සංඛ්‍යාත බෑන්ඩ්විත් එක පටු සංඛ්‍යාත පරාස කිහිපයකට කඩා (එනම් FDM කර), ඒ එක් එක් පටු සංඛ්‍යාත පරාසයක් නැවත ටයිම් ස්ලොට්වලට කඩනවා (එනම් TDM). එවන් පද්ධතියක් FDM/TDM ලෙස දක්වනවා. ඊට හොඳම උදාහරණය තමයි සෙල්‍යුලර් ෆෝන් තාක්ෂණයක් වන GSM කියන්නේ. FDM/TDM භාවිතා නොකරන සන්නිවේදන පද්ධතින්ද තිබෙනවා. එවිට CDM තාක්ෂණය මූලිකව භාවිතා වේ.


2 comments: