Sunday, January 22, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 28

PSK

ඉහත විස්තර අවබෝධ කරගත් ඔබට මෙයත් දැන් පහසුවෙන්ම වැටහෙනු ඇත. මෙහිදී ඩිජිටල් තරංගයේ මට්ටම් දෙක අනුව වාහකය කලා අගයන් දෙකක් අතර මාරු වේ. වාහකයේ සංඛ්‍යාතය හා විස්තාරය නොවෙනස්ව පවතී. ඇනලොග් කලා මූර්ජනයේම ඩිජිටල් ස්වරූපය මෙයයි. සාමාන්‍යයෙන් කලා දෙකෙහි වෙනස අංශක 180ක් (හෙවත් අර්ධවෘත්තයක කෝණය) වේ. කෝණ මනින සම්මත ඒකකය අංශක නොවෙයිනෙ; ඉතිං සම්මත ඒකකය වන රේඩියන් වලින්ද කෝණ පතපොතෙහි දැක්විය හැකියි (රේඩියන් π = අංශක 180 යන සම්බන්දතාව මතක තබා ගත් විට, එම ඒකක දෙකින් එකක් දත් විට අනෙක සෙවිය හැකිය). ඒ අනුව, අංශක 0 යනු රේඩියන්ද 0 වන අතර, අංශක 180ක් යනු රේඩියන් π (ආසන්න වශයෙන් πහි අගය 3.1416කි) වේ. ඒ කියන්නේ ඩිජිටල් සංඥා 0 දක්වන්නේ කලා වෙනස අංශක හෝ රේඩියන් 0 ලෙසයි (එනම්, කිසිදු කලා අගයක් නැත). ඩිජිටල් සංඥා 1 අංශක 180 හෙවත් රේඩියන් π කලා අගයකින් නිරූපණය කෙරේ.


ගණිතානුකූලවත් ඩිජිටල් කලා මූර්ජනය සලකා බලමු. මූර්ජනයෙන් පසුව ලැබෙන තරංග කොටස් දෙක කලාවෙන් පමණක් වෙනස් වී පහත ආකාරයෙන් තිබිය යුතුය. පහත සූත්‍රයේ Acos(2πfct+π) යන්න ත්‍රිකෝණමිතික සාම්‍යයන් යෙදීමෙන් -Acos(2πfct) ලෙසත් ලිවිය හැකිය.
 

ඉහත විස්තරය අනුව, පීඑස්කේ ක්‍රමයට මූර්ජනය කිරීමට කළ යුත්තේ මෙයයි; ඩිජිටල් 0 සංඥාව ඇති විට, වාහකය +1න් ගුණ කිරීමයි (එනම්, කිසිදු දෙයක් නොකර සිටීමයි); ඩිජිටල් 1 සංඥාව ඇති විට, වාහකය -1න් ගුණ කිරීමයි. පහත රූපයේ දැක්වෙන්නේ එම ක්‍රියාවලියයි.




එවිට පහත රූපයේ ආකාරයෙන් සයිඩ්බෑන්ඩ්ද සහිතව අවසාන මූර්ජිත සංඥාවේ සංඛ්‍යාත පරාසය පවතිනු ඇත.


ඇත්තටම PSK යනු ඉතා හොඳ හා ප්‍රචලිත ඩිජිටල් මූර්ජනය ක්‍රමයයි. ඊට හේතුව ඝෝෂාවට එය හොඳින් ඔරොත්තු දෙන අතරම, එහි බෑන්ඩ්විත් එකත් අඩුය. ඉහත රූපයේ දැක්වෙන පරිදි ASK ගත් බෑන්ඩ්විත් එකට සමාන බෑන්ඩ්විත් එකකුයි PSK ටත් අවශ්‍ය වන්නේ. ඒ කියන්නේ FSK වලට වඩා spectral efficiency එක වැඩිය. තවද, energy efficiency එකත් වැඩිය (විස්තාරය නියත නිසා).

මෙහි තිබෙන සුලු අවාසිය නම්, විමූර්ජක පරිපථය තරමක් සංකීර්ණ වීමයි. එනිසා ඒ ගැන තවත් කරුණු කිහිපයක් සොයා බලමු. ඉහත ආකාරයට කලා මූර්ජනය කළ අවසාන මූර්ජිත සංඥාව දැන් රිසීවරය දක්වා ගමන් කළේ යැයි සිතමු. එවිට, රිසීවරයෙන් කොහොමද එම කලා දෙක වෙන් වෙන්ව හඳුනා ගන්නේ හෙවත් විමූර්ජනය කරන්නේ? කලාවන් දෙක වෙන් වෙන්ම හඳුනා ගැනීම (phase detection) සඳහා කරන්නේ ග්‍රහණය කරපු සංඥාව 2cos(2πfct) වලින් පළමුව ගුණ කිරීමයි (රිසීවරය තුලද මේ අනුව ට්‍රාන්ස්මිටරයෙන් නිපදවූ වාහක තරංගයට සමාන තරංගයක් නිපදවීමට සිදු වෙන අතර, එය රිසීවර් පරිපථය තරමක් සංකීර්ණ කරනවා). එවිට පහත සූත්‍රාකාරයෙන් සංඥා දෙකක් ලැබෙනු ඇත.

Acos(2πfct).2cos(2πfct) = 2Acos2(2πfct)
-Acos(2πfct).2cos(2πfct) = -2Acos2(2πfct)

cos2A = ½(1+cos2A) යන ත්‍රිකෝණමිතික සාම්‍යය ඉහත ප්‍රතිපලවලට යෙදීමෙන් පහත ආකාරයට ඉහත සමීකරණ දෙක පත් වේ.

2Acos2(2πfct) = A(1+cos4πfct)
-2Acos2(2πfct) = -A(1+cos4πfct)

ඉහත සමීකරණ දෙකෙහි කොස් පද තිබෙනවානෙ (cos4πfct). කොස් පද ඉවත් කළ හැකි නම්, ඉතිරි වන්නේ නියත පදයි (A හා -A). එනම්,

A(1+cos4πfct) → A(1+0) = A
-A(1+cos4πfct) → -A(1+0) = -A

ඒ අනුව, ඉහත ආකාරයට ගුණ කිරීමෙන් පසුව, දෙවනුව Low Pass Filter එකක් හරහා යැවීමෙන් අපට එය සිදු කර ගත හැකියි. එවිට ඉතිරිවන්නේ කලා දෙක වෙන් වෙන්ව පෙන්වන A හා -A යන අගයන් (වෝල්ටියතාවන්) දෙක පමණි.


ඒ කියන්නේ මෙම ක්‍රමයෙන් අපට හැකි වූවා කලා දෙක වෙන් කොට ලබා ගන්නට. ඉහත පියවරවල් දෙක රූපමය ආකාරයට පහත දැක්වේ.


 
ඉහත රූපය අනුව පැහැදිලි වෙන පරිදි, ගුණ කිරීමේ පියවරෙන් සිදු වන්නේ තිරස් අක්ෂය මැදි කොට ගෙන ඉහලට හා පහලට සමාකාරව ගමන් කළ මූර්ජිත සංඥාවේ ඩිජිටල් 0 ට අදාල කොටස් තිරස් අක්ෂයෙන් සම්පූර්ණයෙන්ම උඩටත්, ඩිජිටල් 1ට අදාල කොටස් තිරස් අක්ෂයෙන් සම්පූර්ණයෙන්ම යටටත් ගමන් කරවා ඇත (shifting). ඉන්පසු, එය ෆිල්ටරය හරහා යන විට, කොස්වලින් නිරූපණය වූ සංඛ්‍යාතය වැඩි තරංග කොටස් සියල්ල ඉවත්ව කොටු ස්වරූපය නිරූපණය කෙරෙන සංඛ්‍යාතය අඩු තරංග කොටස් පමණක් ඉතිරි වේ.

ඉහත ආකාරයේ PSK ක්‍රමය Binary PSK (BPSK) හෝ 2PSK ලෙසද හඳුන්වනවා. ඊට හේතුව කලා අගයන් 2ක් පමණක් යොදා ගෙන එය සිදු කරන නිසාය. මෙම ක්‍රමයේදී ඩිජිටල් සංඥා 0ටත් 1ටත් වෙන වෙනම කලා 2ක් අපි වෙන් කළා. අංශක 180කින් වෙනස් වූ කලා දෙකක් සහිත BPSK ක්‍රමය රූපමය ආකාරයට පහත රූපයෙන් දැක්වේ. මෙවැනි රූපයක් constellation diagram ලෙස හැඳින්වේ.


ඒ හැරුණහම, කලා 2ක් වෙන් කොට දැක්විය හැකි තවත් ආකාරයක් තිබෙනවා. එහිදී ඉහත ආකාරයෙන් 0 හා 1ට ස්ථිතිකවම ඒ සඳහාම වෙන් වූ කලා අගයන් දෙකක් ලබා දෙන්නේ නැත. සාමාන්‍ය ක්‍රමයේදී 1 සඳහා නියත ලෙසම එක් කලාවකුත් 0 සඳහා නියත වශයෙන්ම තවත් කලාවකුත් ලබා දුන්නානෙ. දැන් ඒ වෙනුවට කරන්නේ, මුලින් තිබෙන සංඥාව බලා ඒ අනුව ඊළඟට කලා වෙනසක් ඇතිවද නැතිවද තරංග කොටස එකතු කළ යුත්තේ කියා තීරණය කිරීමකි. එනම්, ඊළඟට තිබෙන්නේ 1 සංඥාව නම්, එකතු කරන තරංග කොටස කලා වෙනස සහිත විය යුතුය; තිබෙන්නේ 0 සංඥාව නම්, එකතු කරන තරංග කොටසෙහි කලා වෙනසක් නැත. මෙම ක්‍රමය එනිසා Differential PSK (DPSK) ලෙස හඳුන්වනවා.


බලන්න ඉහතදී ආරම්භයේ තිබෙන 0 සඳහා යම් තරංග කොටසක් ඇත. ඊළඟටද තිබෙන්නේ 0. එනිසා එතැන කලා වෙනසක් නැතිවම තරංග කොටස එකතු කර ඇත. එනිසා ඛණ්ඩනයක්/පිම්මක් නැතිවම 00 සඳහා වූ DPSK හි තරංග කොටස සුමටව ගමන් කරයි. එහෙත් ඉන්පසුව 1 ඇත. එනිසා දැන් එකතු කරන තරංග කොටස කලා වෙනසකින් යුතුව එකතු කෙරේ. එනිසා පිම්මක් ඇති වේ. ඊළඟටද තිබෙන්නේ 1. එනිසා නැවත පිම්මක් ඇති වේ. මෙලෙස පිමි ඇති වන්නට හේතුව වන්නේ ඊට පෙර තිබෙන තරංගයේ අවසානයට වඩා අංශක 180ක වෙනසකින් යුතුව අලුත් තරංග කොටස ඇරඹෙන නිසා බව පැහැදිලියිනෙ. මේ ලෙස ඉහත රූපයේ DPSK තරංගය (යටම තරංග පෙල) විශ්ලේෂනය කර බලන්න.

M-ary Signalling හා වෙනත් ක්‍රම

ඉහත මෙතෙක් සලකා බැලුවේ මූලික ඩිජිටල් මූර්ජන ක්‍රම 3යි. ඒ සෑම අවස්ථාවකදීම වාහකයේ යම් කොටසකින් නිරූපණය කළේ එක්කෝ 0; නැතහොත් 1. ඒ කියන්නේ වාහකයේ එක් සංඥා කොටසකින් නිරූපණය කළේ එක් බිට් එකකි. බිට් එකක් නිරූපණය කරන වාහකයේ “යම් සංඥා කොටස” යන්නට symbol යන වචනය අපි ව්‍යවහාර කරමු. ඒ අනුව, ඉහත සියලු ක්‍රමවලදී එක් සිම්බල් එකකින් එක් බිට් එකක් යැවීමට හැකියි. එහෙත්, අපට පුලුවන් ඉහත ක්‍රම 3ම වැඩිදියුණු කරන්නට එක් සිම්බල් එකකදී බිට් 2ක් හෝ 3ක් හෝ ඊටත් වැඩි ගණනක් යැවීමට හැකි පරිදි. එමඟින් අඩු බෑන්ඩ්විත් එකකින් වැඩි දත්ත ප්‍රමාණයක් යැවීමට හැකියාව ලැබෙනවා නේද? මෙම ක්‍රම සියල්ලම M-ary signalling යන සංකල්පය යටතේ කතා කරමු (multi-level encoding/signalling යන නමින්ද එය හැඳින්විය හැකිය).

සටහන
m-ary හෝ n-ary හෝ k-ary ආදී ලෙස ary යන්නට ඉදිරියෙන් යම් අක්ෂරයක් සහිතව එම වචනය ඔබට හමු විය හැකියි. ary යන්නෙහි සරල තේරුම “යම් වාර ගණනකින් සැදුම්ලත්” යන්නයි. එහි m හෝ වෙනත් අක්ෂරයෙන් එවිට කියන්නේ කී වාරයක්ද යන්නයි. ඔබට නිතර හමු වූ binary යන්න සෑදී තිබෙන්නෙත් bi+ary යන්න එකතු වීමෙනි. bi යනු 2 යන්න හඟවන උපසර්ග පදයනේ. එවිට බයිනරි යනු “දෙකකින් සැදුම් ලත්” යන්නයි. මේ ලෙස, ternay (3), quaternary (4), quinary (5), senary (6), septenary (7), octenary/octal (8), nonery (9), denary/decimal (10), hexadecimal (16), vigesimal (20) ආදී ලෙස ඉදිරියට වචන සෑදිය හැකිය.

පලමුව බලමු ASK ක්‍රමය කොහොමද මෙලෙස යොදා ගන්නේ කියා. සාමාන්‍ය ASK ක්‍රමයේදී වාහකයේ විස්තාරය අගයන් දෙකක් අතර පමණයිනෙ තබා ගත්තේ (ඒ අනුව එම සාමාන්‍ය ක්‍රමය binary ASK හෝ 2-ASKලෙස වුවද හැඳින්විය හැකියි). එහෙත් අගයන් 2ක් වෙනුවට විස්තාර අගයන් 4කින් එය කළ හැකියි නේද? ඔව්. විස්තාර අගයන් 8ක්, 16ක්, 32ක් ආදී ලෙස තව තවත් විස්තාර මට්ටම් ගණන වැඩි කරගෙන යා හැකියි නේද? පිළිතුර “බැහැ” යන්නයි. එය කළ හැකි ප්‍රායෝගික සීමාවක් ඇත. මේ සියල්ල ගැන සරලව බලමු දැන්.


විස්තාර මට්ටම් 4ක් සහිත අවස්ථාව ගමු. මෙවිට සාමාන්‍ය ASK ක්‍රමයට වඩා දෙගුණයක දත්ත සම්ප්‍රේෂණ වේගයක් ඊට ඇත (බෑන්ඩ්විත් එක වැඩි නොකර). ඊට හේතුව සාමාන්‍ය ASK ක්‍රමයෙදි එක් සිම්බල් එකකදී එක් බිට් එකක් යවනවා වෙනුවට, එක සිම්බල් එකකදී බිට් 2ක්ම යැවේ. උපමාවකින් කියතොත් මුලදී එක වාහනයකින් එක්කෙනෙකු පමණක් ගමන් කරවූවා නම්, දැන් එක වාහනයක දෙදෙනෙකුව යවනවා. ඉහත රූපය බලන්න. අධ්‍යනයේ හා භාවිතාවේ පහසුව තකා අප සාමාන්‍යයෙන් බිට් දෙකේ කාණ්ඩවලින් දත්ත නිරූපණය කරනවා. බිට් 2ක කාණ්ඩයක් dibit ලෙසද නම් කෙරෙනවා. මෙම ඒඑස්කේ ක්‍රමය මේ අනුව 4ASK හෝ QuadASK (QASK) ලෙස හැඳින්විය හැකියි.

මේ අනුව, සම්ප්‍රේෂණය කළ යුතු ඩිජිටල් දත්තය ගෙන, බිට් දෙකේ කොටස්/කාණ්ඩවලට (dibits) කඩා, ඒ එක් එක් කාණ්ඩයට හිමි තරංග ස්වරූපය ආදේශ කරන්නටයි තිබෙන්නේ. මේ විදියට එක් සිම්බල් එකකින් බිට් 3ක් යැවිය හැකියි. එවිට, විස්තාර අගයන් 8ක් ගැනීමට සිදු වේ. බිට් තුනේ කාණ්ඩය tribit ලෙස නම් කෙරේ. මෙය 8ASK ලෙස හැඳින්විය හැකියි.

හැමවිටම යැවිය යුතු බිට් ගණන (N) දන්නා විට, තිබිය යුතු විස්තාර අගයන්/මට්ටම් ගණන 2N යන සරල සූත්‍රයෙන් දැන ගත හැකිය. සාමාන්‍ය හෙවත් බයිනරි ඒඑස්කේ හිදී එක් සිම්බල් එකකින් යවන්නේ එක් බිට් එකක්නෙ. ඉතිං, විස්තාර අගයන් 21 = 2 ක් ලැබේ. බිට් 2ක් යවන විට, විස්තාර මට්ටම් 22 = 4ක් ලැබේ. බිට් 3ක් යැවීමට අවශ්‍ය වූ විට, විස්තාර මට්ටම් 23 = 8 ක් තිබිය යුතුය. මේ ලෙස සලකා ගෙන ගියොත්, බිට් 4ක් එක් සිම්බල් එකකින් යැවීමට අවශ්‍ය වූ විට (quadbit), විස්තාර අගයන් 24 = 16ක් අවශ්‍ය වෙනවා නේද? ඔව්.

එසේ වුවත්, සිම්බල් එකකින් යැවිය හැකි බිට් ගණන අපට ඕන ඕන තරම් විශාල අගයක් ලෙස ගත නොහැකියි ප්‍රායෝගිකව. උදාහරණයක් ලෙස, එක් සිම්බල් එකකින් බිට් 10ක් යැවීමට අවශ්‍ය නම්, විස්තාර අගයන් 210 = 1024ක් අවශ්‍ය වනු ඇත. එහෙත් එය කිරීමේ ප්‍රායෝගික ගැටලු ඇත. භාහිර ඝෝෂාව ඊට හරස් වේ. මට්ටම් ගණන වැඩි වන විට, මට්ටම් දෙකක් අතර තිබෙන වෙනස එන්න එන්නම සියුම් වෙනවා. ඒ කියන්නේ, සිම්බල් එකකට යවන බිට් ගණන වැඩි වන්නට වන්නට ඝෝෂාවෙන් ඊට එල්ලවන බලපෑම ක්‍රමයෙන් වැඩි වේ. SNR (signal to noise) අගය අවශ්‍යයෙන්ම ඉහල අගයකින් තිබිය යුතු වෙනවා.

ඇත්තටම ප්‍රායෝගික ලෝකයේ ASK ක්‍රමය මේ විදියට යොදා ගන්නේ නැත. ඊට හේතුව, අනෙක් ඩිජිටල් මූර්ජන ක්‍රම දෙකටම වඩා ASK භාහිර ඝෝෂාවට සංවේදී වීමයි. මට්ටම් 2ක් තිබියදීත් ඝෝෂාවට එතරම් සංවේදී නම්, සියුම් මට්ටම් රාශියක් තිබෙන විට එය කොතරම් සංවේදී වනු ඇත්දැයි සිතා ගත හැකියිනෙ. එහෙත් මට්ටම් කිහිපයක් බැඟින් යොදා ගෙන මූර්ජනය කිරීම FSK හා PSK දෙකෙහිම බහුලවම යොදා ගැනේ. ඒ දෙකම භාහිර ඝෝෂාවට හොඳින් ඔරොත්තු දීම ඊට හේතුව වේ. දැන් ඉහත දැනුමද සමග ඒ ගැනත් විමසා බලමු.

සාමාන්‍ය FSK ක්‍රමය BFSK (Binary FSK) ලෙස හැඳින්විය හැකිය. ඩිබිට් යොදමින් සිදුකරන FSK මූර්ජනය 4FSK හෝ QFSK (quadFSK) ලෙස හඳුන්වමු. මෙහිදී විස්තාරය නියතයිනෙ. සංඛ්‍යාතය මට්ටම්/අගයන් 4කින් යුතු වේ. මෙලෙසම අවශ්‍ය නම්, විවිධ සංඛ්‍යාත 8ක් යොදා ගනිමින් 8FSK (එවිට එක සිම්බල් එකකින් ට්‍රිබිට් එකක් හෙවත් බිට් 3ක් නිරූපණය කළ හැකියි) සෑදිය හැකිය.


සංඛ්‍යාත වෙනස ඇඳ දැක්වීම එතරම් පහසු නැත. ඉතිං වෙනස් වෙනස් සංඛ්‍යාත කිහිපයක් ඇඳ දැක්වීම ඉතාම අපහසුය. එම අපහසුතාව මඟ හැරීමට පහත ආකාරයේ සරල සටහන් ක්‍රමයක් භාවිතා කළ හැකිය. ඉහත රූපයෙන් පෙන්වන දේම පහත රූපයෙන් ඊට වඩා සරලව නිරූපණය කෙරේ. මෙහි ඒ ඒ ඩිබිට් එකට හිමි සංඛ්‍යාතයන් (හෝ යම් “පදනම්” හෙවත් මූලික සංඛ්‍යාතයක සිට ඇති සංඛ්‍යාත විස්ථපනයන් ලෙස) දක්වා ඇත.



ඝෝෂාවෙන් එතරම් ප්‍රශ්නයක් නැති නිසා, FSK සඳහා විශාල මට්ටම් ගණනක් ගත හැකියිනෙ කියා ඔබට සිතෙනු ඇත. එහෙත් එහිද ප්‍රායෝගික සීමා ඇත. උදාහරණයක් ලෙස, එක් සිම්බල් එකකින් බිට් 10ක් යැවීමට අවශ්‍ය නම්, සංඛ්‍යාත මට්ටම් 1024ක් අවශ්‍ය වෙනවානෙ. එහෙත් සාමාන්‍යයෙන් වෘත්තයක/තරංගයක ඇති සම්පූර්ණ අංශක ගණන 360ක්නෙ. එවිට, එක් එක් සංඛ්‍යාත මට්ටම් 2ක් අතර පරතරය 360/1024 = අංශක 0.35ක් පමණ වේ. එය අංශක භාගයකටත් වඩා අඩු අගයක් නේද? ඉතිං මෙවැනි සියුම් සංඛ්‍යාත පරතර නිවැරදිව හැසිරවීමට පරිපථ (විශේෂයෙන් ඔසිලේටර් පරිපථ) නිර්මාණය කිරීම ඉතාම අපහසු හා වියදම් සහගතය. ඕනෑම පරිපථයක ක්‍රියාකාරි සංඛ්‍යාතය (operating frequency) කාලය, පරිපථයේ උෂ්ණත්වය ආදී සාධක මත සුලු වශයෙන් හෝ විචලනය වේ (frequency drift). ඊට අමතරව, සිම්බල් එකකට යවන බිට් ගණන වැඩි වන විට, ඒ සඳහා වැයවන බෑන්ඩ්විත් එකද වැඩි වේ.

Gaussian FSK (GFSK) ලෙසද ක්‍රමයක් ඇත. මෙහිදී සාමාන්‍ය කොටු ආකාරයෙන් පවතින ඩිජිටල් තරංගය පළමුවෙන්ම Gaussian Filter එකක් හරහා යවනවා. ගවුසියන් ෆිල්ටරයකින් සිදු වන්නේ කොටු ආකාරයේ තරංග හැඩයක් පහත රූපයේ ආකාරයේ තරංග හැඩයක් බවට පත් කරන එකයි. මෙම හැඩය බෙල් එකක් වැනිය. එනිසා Bell curve හෝ Gaussian curve ලෙස එම හැඩය හැඳින්වේ.


දැන් ඩිජිටල් තරංගයේ තියුණු බෑවුම් නැත; බෑවුම් සුමට කර ඇත. මෙහි ප්‍රතිපලය ඔබ දැන් දන්නවා. එනම්, ඩිජිටල් සංඥාවේ උපරිතාන ගණන විශාල ලෙස අඩු වේ. එහි ප්‍රතිපලයක් ලෙස, අවසානයේදී මූර්ජිත සංඥාව සඳහා අවශ්‍ය කරන බෑන්ඩ්විත් එක අඩු වේ. bluetooth හා GSM හා තවත් බොහෝ අවස්ථාවල මෙම ක්‍රමය යොදා ගනී.

Audio FSK (AFSK) ලෙසද ක්‍රමයක් ඇත. ඇත්තටම මෙය සාමාන්‍ය FSK ක්‍රමයම වන අතර, එකම වෙනස වන්නේ වාහකයේ සංඛ්‍යාතය මිනිස් ශ්‍රවන කලාපයේ (audible range) තිබීමයි. මෙම ක්‍රමය එකල බහුලවම භාවිතා වූයේ පැරණි රැහැන් දුරකතන මාර්ග ඔස්සේ ඩිජිටල් සංඥා යැවීමටයි. ඩයල්අප් මොඩෙම් මේ ක්‍රමය යොදා ගත්තා. දත්ත සම්ප්‍රේෂන වේගය අඩුය (මොකද බෑන්ඩ්විත් එක හැමවිට කුඩා නිසා). ඇත්තටම ඔබ මෙවැනි සම්ප්‍රෙෂණයක විදුලි සංඥාව ස්පීකරයක් හරහා යවා ඇහුම් කන් දුන්නොත් එහි වෙනස් නාද (tone) 2ක් ඇසෙනු ඇති.

තවද, මීට පෙරත් සඳහන් කර ඇති, Coherrent FSK හෙවත් Continuous Phase FSK (CPFSK) යනුද විශේෂිත FSK ක්‍රමයකි. එහිදී mark frequency හා space frequency අතර ඛණ්ඩනයක් සිදු නොවන පරිදිනෙ සංඛ්‍යාත දෙක අතර මාරු වෙන්නේ. එහි ප්‍රතිපලයක් ලෙස, උපරිතාන අවම වී, සයිඩ්බෑන්ඩ් කුඩා වේ. එමඟින් බෑන්ඩ්විත් එක කුඩා වේ.

No comments:

Post a Comment