Friday, December 30, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 23

FM Stereo

එෆ්එම් ක්‍රමය ප්‍රචලිත වූයේ රේඩියෝ සේවාවන් (චැනල්) විසුරුවාලීමටය. පැරණි ඒඑම් ක්‍රමයට වඩා උසස් ගුණාත්මක හඬක් ඉන් ලබා ගත හැකියි (හඬ සඳහා වැඩි සංඛ්‍යාත පරාසයක් වෙන් කෙරෙන බැවින් හා ඝෝෂාවට ඔරොත්තු දෙන බැවින්). එමඟින් සංගීත වැඩසටහන් හොඳින් රස වින්දනය කිරීමට අවස්ථාව උදා විය. මෙලෙස හඬෙහි ගුණාත්මය තවත් වැඩි දියුණු කිරීමේ ක්‍රමයකි ස්ටීරියෝ එෆ් එම් කියන්නේ. මෙතෙක් ඉහත කතා කළේ එක් හඬක් පමණක් සම්ප්‍රේෂණය කිරීමකි. එනම් (සාමාන්‍ය) මයික් එකකින් ලබා ගත් “තනි” හඬයි එහිදී විසුරුවාලූයේ. එනිසා එම ක්‍රමය FM Mono ලෙස හැඳින්විය හැකියි.

ස්ටීරියෝ ක්‍රමයේදී යමක් රෙකෝඩ් කරන්නේ මයික් දෙකකින්ය. හැමවිටම වාගේ මෙම මයික් දෙක ඔබට වෙන වෙනම දක්නට නොලැබේ. ඒ වෙනුවට මයික් දෙකම එකම housing/cover එකේ රඳවා ඇත. එවිට එය ස්ටීරියෝ මයික්‍රෆෝනයක් ලෙස හැඳින්වේ (අග්‍ර 3ක් එහි ඇත). මෙම මයික් දෙක වෙන වෙනම ගලවා ගැනීමට බැරිය. තවද, වෙන වෙනම මොනෝ මයික් දෙකක් වුවද යොදා ගත හැකියි. ඉහත කුමන ක්‍රමයකින් හෝ ලැබෙන හඬ සංඥා චැනල් කියා හැඳින්වෙන අතර, ඒ අනුව ස්ටීරියෝ රෙකෝඩිං එකකදී චැනල් දෙකක් (සාමාන්‍යයෙන් left channel, right channel ලෙස එම දෙක හැඳින්වේ) ලැබේ. ස්ටීරියෝ රෙකෝඩිං ක්‍රම කිහිපයක්ම ඇති අතර මේ සෑම ක්‍රමයක්ම එකිනෙකින් වෙනස් වන්නේ මයික් දෙක තබන ආකාරය හා යොදා ගන්නේ කුමන ජාතියේ මයික්ද යන්න අනුවයි. පහත රූපයේ දැක්වෙන්නේ එවැනි ප්‍රචලිත ස්ටීරියෝ රෙකෝඩිං ක්‍රම 3කි.

 

ස්ටීරියෝ ශබ්දයක් අවශ්‍ය කරන්නේ ඇයි? ඔබ සජීවිව යමක් අසන විට, ඔබට ශබ්දයේ ත්‍රිමාන බවක් දැනෙනවානෙ. ඒ කියන්නේ ඔබට පුලුවන් යම් ශබ්දයක් එන දිශාව සොයන්න. ස්ටීරියෝ ක්‍රමය යොදා ගත්තේ රෙකෝඩිං එකක් අසන විට තරමක් දුරට හෝ මෙම සජීවි බව ලබා දෙන්නයි. එහෙත් වර්තමානයේ 3D sound ලෙස ත්‍රිමාන ශබ්ද සජීවි අයුරින්ම ඇසිය හැකි ක්‍රමවේද පවතින අතර, ස්ටීරියෝ ක්‍රමයෙන් ලැබෙන ත්‍රිමාන ගතිය අප එදිනෙදා සජීවිව අත්දකින ත්‍රිමාන ගතියට වඩා හාත්පස වෙනස්ය. ස්ටීරියෝ ක්‍රමයේදී බොහෝවිට අපට දැනෙන්නේ ශබ්දය එක් ස්පීකරයක සිට අනෙක් ස්පීකරය දක්වා වරින් වර “පාවී යන” බවකි. එනම් ශබ්දය යම් අවකාශයක පාවේ; මෙය ත්‍රිමාන ලක්ෂණයකි (එහෙත් මෙය අප සජීවි අවස්ථාවලදී අත්දකින ත්‍රිමාන ගතියට වඩා පහල මට්ටමක පවතී). ඇත්තටම මෙම ස්ටීරියෝ ත්‍රිමාන ගතිය හරිහැටි රසවිඳීමට නම් හඬ ස්ටීරියෝ ක්‍රමයට පැවතීම පමණක් ප්‍රමාණවත් නොවේ. ස්පීකර් දෙක තැබිය යුතු දුරක් හා කෝණයක් ඇත; ඔබ එය සවන් දීමට සිටිය යුතු නිශ්චිත ස්ථානයක්ද ඇත.

සටහන
ත්‍රිමාන ශබ්ද (3D sound)
අප ජීවත් වන සජීවි ලෝකය ත්‍රිමානය. ඔබ දකින රූප/දර්ශන ත්‍රිමානය. ඒකයි ඔබ දකින දේවල ගැඹුරක් දකින්නේ. දුර වස්තූන් දුර ලෙසත්, ළඟ වස්තුන් ළඟ ලෙසත් දකින්නට හැක්කේ එනිසාය. ත්‍රිමාන රූප සඳහා අවම වශයෙන් ඇස් දෙකක් අවශ්‍ය වේ. යම් රූපයක් බලන විට, එම රූපයේ සිට එන ආලෝක කිරණ ඇස් දෙකට ඇතුලු වන විට, ඉතා කුඩා කෝණ වෙනසක් ඇති වේ. අපේ මොලය මෙම කෝණ වෙනසින් ත්‍රිමාන රූපයක් මැවීමට සමත්ය. ඊටත් අමතරව අපේ මොලයට හැකියාවක් තිබෙනවා තනි ඇසකින් ලබා ගන්නා දර්ශනයකින් වුවද එහි ත්‍රිමාන ගතිය “මවා පෙන්වන්නට” (මොලය යනු සුපිරි පරිගනකයකි) පෙර ලබා ඇති අත්දැකීම් ගබඩාව උපයෝගි කරගෙන. බලන්න එක ඇසක් වහගෙන අවට පරිසරය. ඔබට තවමත් එහි ත්‍රිමාන ගතියක් දැනේවි.


එලෙසම, කන් දෙකක් තිබෙන නිසා අපට ඇසෙන ශබ්දද ත්‍රිමානය. එනිසා අපට හැකියාව තිබෙනවා ශබ්දයක් එන දිශාව සොයා ගන්නට. මෙහිදී යම් ශබ්ද ප්‍රභවයක සිට එන ශබ්දය කන් දෙකට ඇතුලු වන විට කන් දෙක පිහිටා තිබෙන්නේ ස්ථාන දෙකකදී බැවින් එම ශබ්දය කන් දෙක විසින් ග්‍රහණය කරන විට යම් “කාල වෙනසක්” ඇති වේ (එය හරියට ඇස් දෙකෙහිදී කෝණ වෙනසක් ඇති වූවා වැනිය). උදාහරණයක් ලෙස, ඔබේ දකුණු පස සිට යම් ශබ්දයක් පැමිණියේ යැයි සිතමු. එවිට එම ශබ්දය පළමුව ඇතුලු වන්නේ දකුණු කනටයි. ඊට ඉතාම සුලු කාලයකට පසුව එය වම් කනට ඇතුලු වේ. එවිට, ඔබේ මොලයට හැකියාව තිබෙනවා එම ශබ්දය දකුණු පස සිට එන්නේ යැයි තීරණය කරන්නට.



ඉහත ආකාරයට ස්වාභාවික පරිසරයේ ඇති ත්‍රිමාන රූප හා ශබ්ද මිනිසා විසින් සාදනු ලබන උපකරණ තුලින්ද ලබා ගැනීමට දැන් ක්‍රමවේද සකසා ඇත. ඇත්තටම එම න්‍යායන් ඉතා සරලයි. තවදුරටත් ඒ ගැන අන්තර්ජාලයෙන් සොයා බලන්න. මයික් දෙකක් පමණක් උපයෝගී කරගෙන ඉතාම පහසුවෙන් ත්‍රිමාන ලෙස ශබ්ද රෙකෝඩ් කළ හැකියි. එහෙත් දැනට තිබෙන තාක්ෂණය අනුව ත්‍රිමාන ශබ්ද ඇසීමට නම්, හෙඩ්ෆෝන්වලින් එම ත්‍රිමාන රෙකෝඩිං ඇසිය යුතුය.

පහත දැක්වෙන්නේ එවැනි ත්‍රිමාන ශබ්දයකි. පිරිසිදු ස්ටීරියෝ ප්ලේයර් එකකින් ඊට සවන් දෙන්න. මේ සඳහා ඔබේ ස්මාට් දුරකතනය වඩා හොඳයි.

Virtual Barbershop Virtual Sound mp3 file 


ඉහත සඳහන් විදියට ස්ටීරියෝ ශබ්දයක් රෙකෝඩ් කළ පසු, ඒවා සීඩී පටයක හෝ පරිගනකයේ හෝ අන්තර්ජාලයේ ගබඩා කර ගත හැකියි. එසේත් නැතිනම්, ගුවන් විදුලි සේවාවක් ඔස්සේ විසුරුවා හැරිය හැකිය. මේ සඳහා AM හා FM යන ක්‍රම දෙකම යොදා ගත හැකි වුවත්, එෆ්එම් ක්‍රමය වඩා සුදුසු යැයි තෝරාගෙන තිබේ. මෙම තීරණය ගත් අවධියේදී විවිධ අය විවිධ ක්‍රම යෝජනා කළ අතර, මා දැන් විස්තර කරන්නට යන්නේ එම ක්‍රම අතරින් වඩාත්ම සුදුසු යැයි තීරණය කර දැනට භාවිතා කරන එෆ්එම් ස්ටීරියෝ විකාශන ක්‍රමයයි.

ඔබ දැන් දන්නවා ස්ටීරියෝ වීමට නම් චැනල් (වෙන වෙනම හඬ පට) දෙකක් අවශ්‍ය බව. ඒ අනුව, සාමාන්‍ය එෆ්එම් වල පවතින චැනල් එක වෙනුවට චැනල් දෙකක් එකම රේඩියෝ සිග්නල් එකක් හරහා විකාශය කිරීමටයි අවශ්‍ය වන්නේ. මෙහිදී තවත් කොන්දේසියක් තිබෙනවා. එනම්, (පැරණි) මොනෝ එෆ්එම් රිසීවර්වලින්ද (අලුත්) ස්ටීරියෝ එෆ්එම් තරංග ඇසීමට හැකි විය යුතුය. ඇත්තටම මොනෝ එෆ්එම් රිසීවරයෙන් පිටතට එන්නේ උසස් හඬ කොලිටියක් සහිත ස්ටීරියෝ ශබ්දයක් නොව; එහෙත් අලුත් ක්‍රමයට විසුරුවා හරින ස්ටීරියෝ තරංගය ග්‍රහණය කරගෙන පෙර සේම (මොනෝ) ශබ්දයක් ඉන් ලබා ගත හැකි විය යුතුය. මේ සඳහා ක්‍රම කිහිපයක්ම යෝජනා කළ හැකි වුවත්, දැනට භාවිතා කරන ක්‍රමවේදය සලකා බලමු. පහත දැක්වෙන්නේ එෆ්එම් ස්ටීරියෝ රේඩියෝ සංඥාවක ආකෘතියයි.



 

මොනෝ එෆ්එම් රිසීවරයට අවශ්‍ය කරන ශබ්ද කොටස මුලින්ම ඇත. ඒ සඳහා කිලෝහර්ට්ස් 15ක බෑන්ඩ්විත් එකක් ලබා දී ඇත. ඇත්තටම විසුරුවා හරින්නේ මොනෝ එෆ්එම් ක්‍රමයට නම්, එවිට එෆ්එම් සංඥාවේ තිබෙනු ඇත්තේ මෙම කොටස පමණි (මේ ගැන මීට පෙර පාඩම්වලදී ඉගෙන ගත්තානෙ). ඉහත සම්පූර්ණ ස්ටීරියෝ සංඥාව මොනෝ එෆ්එම් රිසීවරයකට ඇතුලු වූ පසු, එය විසින් උකහා ගන්නේ මෙම කොටස පමණි. අනෙක් කොටස් නොසලකා හරී. ඉතිං මෙම ශබ්ද කොටස ඉහත සංඥාවට “ඔබ්බවන්නේ” කෙසේද? එය ස්ටීරියෝ රෙකෝඩිං එකෙන් ලැබුණු Left channel එකද? Right channel එකද? ඒ දෙකම නොව; ඒ දෙකෙහි එකතුවයි (L+R). එලෙස එකතුව ගැනීමෙහි වාසි දෙකක් ඇත. එකක් නම්, මයික් දෙකකින් එන ශබ්දය එහි ඇත. එනම් ප්‍රබල ශබ්දයක් ලැබේ. අනෙක් වාසිය නම්, මොහොතකින් ඔබට වැටහෙන පරිදි ස්ටීරියෝ හඬ ලබා ගැනීමට පහසුවද ඉන් ඇති වීමයි.

ඉහත mono audio (L+R) කොටසෙහි අවසානය සටහන් කරන කිලෝහර්ට්ස් 15ට තවත් කිලෝහර්ට්ස් 4කට පසුව (එනම් කිලෝහර්ට්ස් 19 ස්ථානයේදී) stereo pilot නම් තනි සංඥාවක් ඇත (න්‍යායාත්මකව ඊට බෑන්ඩ්විත් එකක් අවශ්‍ය නැත; එහි කිසිදු බුද්ධිමය තොරතුරක් නැත; නිකංම නිකං තනි සයිනාකාර තරංගයකි එය). මෙම සංඥාවේ ප්‍රයෝජන කිහිපයක් ඇත. මොනෝ එෆ්එම් රිසීවරයකට නම් මෙම කොටස්වලින් වැඩක් නැහැනෙ. එහෙත් ස්ටීරියෝ එෆ්එම් රිසීවරයකට මෙම පයිලට් සංඥාව නැතිව වැඩ කිරීමට බැරිය. ස්ටීරියෝ රිසීවරය ඉහත සම්පූර්ණ ස්ටීරියෝ එෆ්එම් සංඥාව ග්‍රහණය කර ගත් පසු, මෙම පයිලට් සංඥාව එහි තිබේදැයි සොයා බලනවා. රිසීවරයට එම පයිලට් සංඥාව හමු නොවුණොත්, ස්ටීරියෝ රිසීවරය තීරණය කරනවා තමන් ග්‍රහණය කරපු එෆ්එම් තරංගයේ ස්ටීරියෝ ශබ්දයක් නොව මොනෝ ශබ්දයක් ඇති බව. ඉන්පසු ස්ටීරියෝ රිසීවරය ක්‍රියාත්මක වන්නේ මොනෝ රිසීවරයක් මෙනි. එනම්, මොනෝ ඕඩියෝ කොටස පමණක් උකහා ගෙන එම ශබ්දය පමණි පිට කරන්නේ. එහෙත් ස්ටීරියෝ රිසීවරයට මෙම පයිලට් සංඥා කොටස හසු වුවොත්, එය දැන් දන්නවා තමන් ග්‍රහණය කරගෙන තිබෙන්නේ ස්ටීරියෝ තරංගයක් බව. එවිට, රිසීවරය සූදානම් වෙනවා එතැනින් ඉදිරියට තිබෙන කොටස් උකහා ගැනීමට.

ඉහත ආකාරයට ග්‍රහණය කර ගත් සංඥාව ස්ටීරියෝ වග හඳුනාගැනීමට අමතරව තවත් වැදගත් රාජකාරියක් ඉන් ඉටු කරනවා. එනම්, මෙම සංඥාවේ සංඛ්‍යාතය මෙන් හරියටම දෙගුණයක් ගිය තැන හෙවත් 38kHz නම් ස්ථානයේ තවත් ශබ්දයක් තිබෙනවා. එලෙසම පයිලට් සංඥාවේ හරියටම තුන් ගුණයක් ගිය තැන හෙවත් 53kHz නම් ස්ථානයේ තවත් අමතර තොරතුරු ගබඩා කරනවා. ඒ කියන්නේ පයිලට් සංඥාව ආශ්‍රයෙන් තමයි සංඥාවේ ඉතිරි කොටස් වෙන වෙනම ස්ථානගත කරන්නේ. එහෙත් කිසිදු බුද්ධි තොරතුරක් පයිලට් සංඥාවේ නොමැත. එනිසා බොරුවට ප්‍රබල සංඥාවක් ලෙස එය පවත්වාගෙන යෑමේ ප්‍රයෝජනයක් නැත. එය නිකරුණේ ශක්තිය අපතේ යැවීමක් වනු ඇත. එනිසයි, පයිලට් සංඥාවේ ප්‍රබලතාව 10%ක් දක්වා අඩු කර තිබෙන්නේ (මෙය මීට පෙර ඉගෙන ගත් reduced carrier වැනිම අවස්ථාවකි).

පයිලට් සංඥා සංඛ්‍යාතයේ දෙගුණය වන 38kHz අවස්ථාවේදී stereo audio (L-R) යන තවත් ශබ්ද කොටසක් හමු වේ. මෙම ශබ්දය කොටස සාදා ගන්නේ එෆ්එම් රෙකෝඩිං එකෙන් ලැබුණු L හා R චැනල් දෙක එකිනෙකට අඩු කිරීමෙනි (L-R). මෙම සංඥා කොටස ඇත්තටම DSB-SC ක්‍රමයට මූර්ජනය කරමිනුයි එතැන ස්ථාන ගත කර තිබෙන්නේ. එනිසා ස්ටීරියෝ එෆ්එම් රිසීවරයෙන් ග්‍රහණය කර ගත් එෆ්එම් රේඩියෝ තරංගය විමූර්ජනය කළ පසු, නැවතත් රිසීවරයට සිදු වෙනවා DSB-SC විමූර්ජකයකින් මෙම ස්ටීරියෝ ඕඩියෝ කොටස විමූර්ජනය කර ගන්නට. මෙහි බෑන්ඩ්විත් එක කිලෝහර්ට්ස් 30කි. ඊට හේතුව ඔබට දැන් පැහැදිලි විය යුතුයි. එනම්, සයිඩ් බෑන්ඩ් දෙකක් ලැබෙනවා DSB-SC විමූර්ජනයෙන්. අප ශබ්දය සඳහා කිලෝහර්ට්ස් 15ක් වෙන් කරනවානේ (මුලින්ම තිබූ මොනෝ ඕඩියෝ කොටසට 15kHz වෙන් කර තිබෙනවා). ඉතිං DSB-SC එකෙහි එක් සයිඩ්බෑන්ඩ් එකකට 15kHz ක් වෙන් කිරීමට සිදු වෙනවා.

දැන් රිසීවරයට ලැබී තිබෙනවා L+R හා L-R ලෙස ශබ්ද කොටස් දෙකක්ම. රිසීවරයට ඉන් හැකි වෙනවා L හා R යන චැනල් දෙක වෙන් වෙන්ව ලබා ගැනීමට. ඒ සඳහා කරන්නට තිබෙන්නේ ඉතාම සරල ගණිත කර්මයකි.

L channel → (L+R) + (L-R) = 2L
R channel → (L+R) – (L-R) = 2R

ඉහත ආකාරයට රිසීවරය විසින් උකහා ගත් (L+R) හා (L-R) යන කොටස් දෙක එකතු කර හා අඩු කර අපට චැනල් දෙක වෙන් වෙනව ලැබෙනවා. තවද, එම චැනල් දෙක ලැබෙන්නේ දෙගුණයක් ප්‍රබල වීමෙන්ය. එයද වාසියකි. මුල් ඡේදයකදී මා පැවසුවේ ඒකයි; කෙලින්ම වම් හෝ දකුණු චැනල් දෙක වෙනුවට එකතුවක් හා අඩුකිරීමක් ලෙස ඒවා සංඥාව තුල ගබඩා කළ විට ලැබෙන අනෙක් අමතර වාසිය මෙයයි.

ස්ටීරියෝ එෆ්එම් රේඩියෝ තරංගයකට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කොටස් තුන එපමණයි. එහෙත් අවශ්‍ය නම් අමතර තොරතුරු හා හැකියාවන් මෙම සංඥාව තුලට ඔබ්බවන්න පුලුවන්. ලංකාවේ බහුලව නොකෙරුනත්, සමහර රටවල අමතර තොරතුරු හා හැකියාවන් එම සංඥාව තුළ ගබඩා කර යවනවා. එවැනි තොරතුරු ගබඩා කරන්නේ 57kHz ස්ථානය කේන්ද්‍ර කරගෙනයි. එහෙත් මෙම කොටස සෑම ස්ටීරියෝ රිසීවරයකටම ප්‍රයෝජනයට ගත නොහැකිය. එම හැකියාව සහිත රිසීවරයකුත් තිබීම අවශ්‍ය කරනවා. එෆ්එම් රේඩියෝ හැකියාව තිබෙන ස්මාට් ෆෝන්වල බොහෝවිට තිබෙන්නේ මෙවැනි රිසීවරයකි. රේඩියෝ තරංගයේ මෙම කොටසේ තොරතුරු ගබඩා කර තිබුණත් නැතත්, පැරණි රිසීවරයට ඉන් බලපෑමක් නැත (මොකද මෙම කොටස එම රිසීවර් විසින් නොසලකා හරිනවා).

මෙම 57kHz ස්ථානයේ අපට ඕන ඕන විදියට තොරතුරු ගබඩා කළ නොහැකිය. ඒ සඳහාත් සම්මතයන් ඇත. එසේ නොවුණොත් රිසීවර් නිෂ්පාදකයන්ට පොදු රිසීවරයක් නිපදවීමට නොහැකි වෙනවානේ. මෙම සම්මතය සාමාන්‍යයෙන් Radio Data System (RDS) ලෙස හඳුන්වනවා. එය ඇමරිකාවේදී Radio Broadcast Data System (RBDS) ලෙසත් හඳුන්වනවා. මෙම ක්‍රම දෙකෙහිදීම එම ස්ථානයේ ගබඩා කරන දත්ත ඩිජිටල් වේ (එනම් 1 හා 0 ලෙස එහි දත්ත ගබඩා කෙරේ). එම ඩිජිටල් දත්ත 1187.5 bps යන වේගය සහිතයි. මෙය ඩිජිටල් සංඥාවක් නිසා, ඇනලොග් සංඥාවකට තරම් බලයක් අවශ්‍ය නොවේ. එනිසා සාමාන්‍යයෙන් 5%ක් තරම් අඩු ශක්තියකිනුයි මෙම ඩිජිටල් සංඥා සමස්ථ සංඥාව තුල ඔබ්බවන්නේ. මෙමRDS සංඥාව තුල විවිධ තොරතුරු/හැකියාවන් ස්ථාපනය කළ හැකියි. ඉන් ප්‍රධාන අංග (features) කිහිපයක් බලමු.

1. AF (Alternate Frequency)සාමාන්‍යයෙන් රේඩියෝ සේවාවක් සංඛ්‍යාත කිහිපයකින්ම තමන්ගේ සේවාවන් විසුරුවා හරිනවා. ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිය අනුව සෑම රේඩියෝ සේවාවක් සඳහාම සංඛ්‍යාත කලාප 2ක් ලබා දේ (ඒ දෙකම එක ළඟින් ලබා දේ). ඉස්සර විවිධ ස්ථානවලින් සංඛ්‍යාතයන් තුන හතරක් පවා එකම සේවාවට ලබා දී තිබුණි කිසිදු ඵලදායි ප්‍රතිපත්තියකින් තොරව. ඉතිං සිතන්න ඔබේ (RDS සපෝට් කරන) එෆ්එම් රිසීවරය යම් සේවාවක් අසමින් සිටිනවා කියා. යම් හේතුවක් නිසා රිසීවරයට ලැබෙන සංඥා දුර්වල වන විට (බොහෝ විට ආවරණ කලාපයෙන් එලියට යන විට මෙය සිදු වේ), එම රේඩියෝ සේවාව මෙම AF අංගය භාවිතා කරනවා නම්, ඉන් ඔබේ රිසීවරය ස්වයංක්‍රියවම මෙම AF අංගයෙහි ගබඩා කර තිබෙන ඔවුන්ගේ චැනලය විසුරුවා හරින අනෙක් සංඛ්‍යාතයකට ටියුන් වේ. මෙමඟින් ඔබට රිසීවරය අතින් කරකවා කරකවා ඉන්නට අවශ්‍ය නැත.

2. CT (Clock Time)ඔබේ රිසීවරයෙන් බොහෝවිට වෙලාවද ඔබට බලාගත හැකියි. නිවැරදිව වෙලාව බලා ගැනීමට නම්, නිවැරදි වෙලාව ඔබ එහි සෙට් කළ යුතුයිනෙ. එසේ සෙට් කළද, බොහෝ ඔරලෝසුවල පවතින දෝෂ නිසා යම් කාලයකට පසුව වෙලාව අඩුවෙන් හෝ වැඩියෙන් ගමන් කර තිබෙන බව දක්නට ලැබෙනවා. එහෙත් මෙම අංගයෙන් පුලුවන් රේඩියෝ සේවාවට නිවැරදි වෙලාව එවන්න ඔබේ රිසීවරයට. එවිට රිසීවරය විසින් ස්වයංක්‍රියව මෙම වෙලාව සෙට් කර ගන්නවා. මෙවැනිම අංගයක් තිබෙනවා සෙල්ෆෝන්වලත්. එහිදී මොබයිල් ෆෝන් සේවාව සපයන ආයතනයෙන් එවන වේලාව ෆෝන් එකේ වේලාව බවට ඉබේම පත්වන ලෙස සෙටිංස් සෑදිය හැකියි.

3. RT (Radio Text)මෙයත් අපූරු අංගයකි. මෙමඟින් රේඩියෝ සේවාවට හැකියි යම් අක්ෂරමය දත්තයක් රිසීවරයට එවන්නට. එම දත්තය සේවාවේ නම (radio station ID) විය හැකියි. එසේත් නැතිනම්, මේ මොහොතේ ඇසෙන සින්දුව ගැන විසතරයක් (ගායකයා, පද රචකයා ආදි) විය හැකියි. පාරේ ට්‍රැෆික් විස්තර හෝ වෙනත් ඕනෑම දත්තයක් විය හැකියි.

මේ ආදී ලෙස තවත් විවිධාකාරයේ අංග මෙහි ඇති අතර ඉහත පෙන්වා දුන්නේ ඉන් අංග 3ක් පමණි. මෙලෙසම නූතන ටීවීවලත් ඩිජිටල් දත්ත එවිය හැකි පහසුකම් දැන් තිබෙනවා. එහෙත් දැනට ලංකාවේ ටීවී ස්ටේෂන්වලින් මෙම පහසුකම ප්‍රයෝජනයට නොගන්නා නිසා, ඔබේ රූපවාහිනියේ එම පහසුකම තිබුණත් භාවිතා කිරීමට බැරිය. වෙනත් රටවල නම් කොටස් වෙළඳපොල තොරතුරු, කාලගුණ තොරතුරු, හා ඉදිරියේදී විකාශය වන වැඩසටහන් විස්තරය ආදී තොරතුරු මෙම ක්‍රමයෙන් විසුරුවා හරිනවා.

ඉහතදී එෆ්එම් ස්ටීරියෝ ආකෘතියේ විවිධ කොටස් කිහිපයක් තිබෙනු දුටුවා. තවම එය එෆ්එම් මූර්ජනයට ලක් කර නැත. එම ආකෘතියේ තිබුණේ මූර්ජනය කරන්නට පෙර දත්ත සමූහයක් පෙල ගස්වා තිබෙන ආකාරයයි. එම සියල්ලම තනි දත්තයක් ලෙස සලකා දැන් එෆ්එම් ක්‍රමයට අවසාන වශයෙන් මූර්ජනය කරනවා. එවිට අපට අවසානයේ ලැබෙන්නේ තනි එෆ්එම් රේඩියෝ තරංගයකි. මෙම තරංගය සුපුරුදු ලෙසම එෆ්එම් ක්‍රමයට දැන් සම්ප්‍රේෂනය කෙරේ. එම සංඥාව එෆ්එම් රිසීවරයකින් ග්‍රහණය කරගෙන, එෆ්එම් විමූර්ජනයට ලක් කෙරේ. එවිට, නැවතත් එහි ගබඩා වී තිබෙන කොටස් වෙන වෙනම උකහා ගෙන ඉහතදී විස්තර කළ පරිදි සුදුසු සැකසීම්වලට ලක් කෙරේ. සාමාන්‍යයෙන් එෆ්එම් රේඩියෝ සංඥාවක් සඳහා 200kHz ක පමණ බෑන්ඩ්විත් එකක් හිමි වේ.

ඉහත අවසාන තනි එෆ්එම් රේඩියෝ සංඥාවක් ලෙස පෙනුනත්, ඒ තුල විවිධ උපකොටස් කිහිපයක්ම තිබුණා නේද? ඒ එක් එක් සෑම උපකොටසක් සඳහාම කැරියර් සංඥාවක් අවශ්‍ය වේ. ඔබ දන්නවා නිවසක් යම් අත්තිවාරමක් මත ඉදිකරන්නා සේ, බුද්ධි සංඥාවක් (යම් මූර්ජනය ක්‍රමයකින්) කැරියර් (වාහකයක්) මත ගොඩනැඟිය යුතුය. එම කැරියර් කිහිපයෙන් එක් කැරියර් එකක් ප්‍රධාන වාහකය (main carrier) ලෙස හඳුන්වන අතර, අනෙක් වාහක උපවාහක (subcarriers) ලෙස හැඳින්වේ. එනිසා සන්නිවේදන පද්ධතිවල ඔබට නිතරම සබ්කැරියර් යන වචනය දක්නට ලැබේවි.

ඒ අනුව පයිලට් සංඥාව (19kHz) සබ්කැරියර් එකකි. එහි ගුණාකාර සංඥා වන 38kHz, 57kHz යනුද සබ්කැරියර් වේ. පයිලට් සංඥාවේ වැදගත්කම කල්පනා කර බලන්න (SSB පාඩම් කියවා බලන්න). සම්ප්‍රේෂකයේදී වෙන වෙනම වාහක 3ක් වෙන වෙනම සාදා ගන්නවාට වඩා එක වාහකයක් පමණක් නිපදවා, එහි ගුණාකාර ගැනීම පහසුවකි. තවද, එම මුල් වාහකය පමණක් දැන් විසුරුවා හැර (අඩු ප්‍රබලතාවකින්) රිසීවරය තුල සබ්කැරියර් 3ම පහසුවෙන් ලබා ගැනීමට හැකි වේ. වාහකය විචලනය වීමෙන් ඇතිවන සියලු දෝෂ ඉන් මඟ හැරේ.

No comments:

Post a Comment