Monday, October 10, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 19

සන්නිවේදනය ගැන පොදු කරුණු

මෙතෙක් අප සන්නිවේදන ක්‍රමවේදයන්හි විකාශයත්, විවිධ සන්නිවේදන පද්ධති ගැනත් කෙටියෙන් හෝ හැඳින ගත්තා. මේ සියලු සන්නිවේදන ක්‍රමවේද සලකා බැලූ විට, පෙනෙන මූලික හා පොදු කරුණු ගණනාවක් තිබෙනවා.

යම් සන්නිවේදන කාර්යක් සමස්ථයක් ලෙස ගත් විට, එම කාර්යට සම්බන්ද පාර්ශව/දේවල් කිහිපයක් තිබෙනවා. මේවා සන්නිවේදනයේ මූලිකාංග (elements of communication) ලෙස හඳුන්වනවා. පනිවුඩය යවන හෙවත් සන්නිවේදනය ආරම්භ කරන කෙනෙක් (source/sender/transmitter) සිටී; එම පනිවුඩය ලබන කෙනෙකු (receiver) සිටී; පනිවුඩයක් (message) තිබේ; එම පනිවුඩය යවන කෙනා සිට ලබන කෙනා දක්වා සන්නිවේදන මාධ්‍යයක් (transmission medium/ channel) තිබේ. තවද, මෙම සම්ප්‍රේෂන මාධ්‍යය දිගේ පනිවුඩය ගලා යන විට, ඊට අනවශ්‍ය ඝෝෂා (noise) හා බාධා කිරීම් (interference) ඇති වේ. අවශ්‍යතාවේ හැටියට ඉහත කොටස් 5ට අමතරව තවත් කොටස් කිහිපයක් ඇතුලත් කර ගත හැකියි.

මෙහිදී වැදගත්ම දේ පනිවුඩයයි. පනිවුඩයක් (සන්නිවේදනය කරන්නට දෙයක්) නැතිනම් සන්නිවේදනයකුත් නැහැනෙ. එය ඔබේ සිතේ ඇති වන සිතුවිල්ලක් වචනයට රඟදැක්වීමක් බවට හරවා දැක්වීමක් විය හැකිය. එහෙමත් නැතිනම් පරිසරයේ ඇති යම් ගතිලක්ෂණයක (උෂ්ණත්වය, පීඩනය වැනි) මිම්මක්/මැනීමක් විය හැකියි. අපට වැදගත් යැයි සිතෙන ඕනෑම දෙයක් පනිවුඩයක් සේ ගත හැකියි. පනිවුඩයක් සංඥාවලින් නිරූපණය කළ හැකියි (ඒ කියන්නෙ දළ වශයෙන් සංඥා හා පනිවුඩය යනු දෙකම සමානය).

දැන් මෙම පනිවුඩය සහිත කෙනා හෝ දෙය (යන්ත්‍රය) සිට එය වෙනත් කෙනෙකුට හෝ යන්ත්‍රයකට සම්ප්‍රේෂනය හෙවත් සන්නිවේදනය කළ යුතුය (සම්ප්‍රේෂනය හා සන්නිවේදනය දළ වශයෙන් එකම තේරුමක් සහිත යැයි සලකන්න). එය කෙටි දුරක් යවන විට නිකංම සන්නිවේදනය ලෙස හැඳින්වුවත් විශාල දුරකට යවන විට telecommunication ලෙසයි හැඳින්වෙන්නේ (ටෙලිකොම්‍යුනිකේෂන් යන්නට සිංහල තේරුම “විදුලි සන්දේශ” යනුවෙනුයි ලබා දී තිබෙන්නේ; ඇත්තටම ඉංග්‍රිසි වචනයේ නියම තේරුම සිංහල වචනයෙහි නැත). මෙහිදී සම්ප්‍රේෂන මාධ්‍යයේ වැදගත්කම මතු වේ. සම්ප්‍රේෂනයක් සිදු කළ හැකි ඕනෑම මාධ්‍යයක් සන්නිවේදනය මාධ්‍යයකි.

හැමවිටම සංඥා සම්ප්‍රේෂනය වන විට ඊට බාධක ඇති වෙනවාමයි. හැකි තරම් එම බාධක අවම කර ගැනීමයි අවශ්‍ය වන්නේ. එනිසා යම් මට්ටමක් දක්වා බාධාවන්වලට ඔරොත්තු දිය හැකි ලෙස සන්නිවේදන පද්ධතිය (එහි උපකරණ) සකස් කළ යුතු වෙනවා. සමහර රටවල (යුරෝපා රටවල් විශේෂයෙන්) ඒ සඳහා නීතියෙන් ප්‍රමිතින් පවා පනවා තිබෙනවා. එම සම්මතයන්ට අනුව සෑදූ සන්නිවේදන උපකරණයි එවිට ඒ රටවල නිපදවීම හා භාවිතා කළ හැක්කේ. පිටතින් එන බාධාවන්ට ඔරොත්තු දෙනවා සේම, එම උපකරණවලින් වෙනත් උපකරණවලට ඇතිවන බාධාද එම ප්‍රමිතින් විසින් සීමා කළ යුතු යැයි රීති පනවා තිබෙනවා. ඇත්තෙන්ම සන්නිවේදන පද්ධති/උපකරණවලට වැඩිම බාධාවන් ඇති වන්නේ අප විසින් භාවිතා කරන උපකරණවලින්මයි. එනිසා මෙවැනි ප්‍රමිතින් වැදගත් වේ.

ඒ අනුව ශබ්දය යනුද සන්නිවේදන මාධ්‍යයකි. එය සතුන් මෙන්ම මිනිසුන්ද අනාදිමත් කලෙක සිට අද දක්වාම ඉතා හොඳින් භාවිතා කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. මෙම ක්‍රමයෙන් සන්නිවේදනය සිදු වීමට කන (හා මුඛය) හොඳින් සැකසී ඇත. ශබ්දය (sound) තරංග ආකෘතියෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ශබ්දයට සංඛ්‍යාතයක් තිබේ. යම් පදාර්ථ අංශු (වාත, ද්‍රව, ඝන යන අවස්ථා 3හිම පවතින අංශු) කම්පනය වන රටාවේ වේගය සංඛ්‍යාතයෙන් මැනේ. අපේ කන විවිධ ශබ්ද ලෙස හඳුනා ගන්නේ මෙම සංඛ්‍යාතවල වෙනසනෙ. ශබ්දයේ සංඛ්‍යාතයට තාරතාව (pitch) යැයිද කියනවා. සංඛ්‍යාතය (පිච් එක) අඩු විට ඊට බේස් (bass) ශබ්ද යැයිද, සංඛ්‍යාතය (පිච් එක) වැඩි විට ඊට ට්‍රෙබල් (treble) ශබ්ද යැයිද කියනවා. මිනිස් කන හර්ට්ස් 20 සිට 20,000 දක්වා පුලුල් පරාසයකට සංවේදි වන බව සොයාගෙන තිබෙනවා. වයසට යන විට මෙම පරාසය ක්‍රමයෙන් පටු වේ (ඒ කියන්නේ පහල සංඛ්‍යාතත් ඉහල සංඛ්‍යාතත් ඇසීම අඩු වෙනවා). තවද, මෙම සංඛ්‍යාත පරාසයම අපේ කනට එකම සමාන ආකාරයෙන් සංවේදනය වන්නෙත් නැහැ (ඒ කියන්නේ, සමහර සංඛ්‍යාතවල ශබ්ද අපට ඇසීමට නම් ඒවා ප්‍රබල විය යුතුය). සමහර සත්වයින්ට ඇසෙන සංඛ්‍යාත පරාසයන් මීට වෙනස්ය. උදාහරණයක් ලෙස, බල්ලන්, වවුලන්, තල්මසුන්, අලින් ගත හැකිය. හර්ට්ස් 20ට අඩු සංඛ්‍යාතයන් අධෝධ්වනි (infrasound) ලෙසද, හර්ට්ස් 20000 ට වැඩි ශබ්ද අතිධ්වනි (ultrasound) ලෙසද හඳුන්වනවා.

ඉතිං, ශබ්දය යනු අංශු කම්පනය වීම නිසා ඇති වන්නක්නෙ. සාමාන්‍යයෙන් අංශු ළඟින් ළඟින් පිහිටා ඇති මාධ්‍යයක ශබ්දය වඩා වේගයෙන් ගමන් කරනවා. ඒ අනුව සාමාන්‍ය වාතයේදී ශබ්දයේ වේගය දළ වශයෙන් තත්පරයට මීටර් 350ක් (එනම් කිලෝමීටරයෙන් තුනෙන් එකක පංගුවක්) පමණ වේ. මෙම වේගයද වාතයේ වෙනස්කම් ඇති වන විට සුලු වශයෙන් වෙනස් වේ. උදාහරණයක් ලෙස, උෂ්නත්වය වැඩි වන (එවිට වාත අංශු තවත් ඈත්වීම සිදු වෙනවානෙ), ජල වාෂ්ප අඩු වැඩි වීම, වාතයේ දූවිලි අංශු අඩු වැඩි වීම වැනි සාධක ඊට බලපායි. ජලය හෝ ඕනෑම ද්‍රවයක් තුල ශබ්දයේ වේගය මීට වැඩිය. ඝනයක වේගය ඊටත් වැඩිය. වේගය එසේ වැඩි වුවද, ඊට සමානුපාතිකව ශබ්දය දුර්වල වීමද වැඩි වේ. ඒ අනුව, ඝනයකට වඩා වැඩි දුරක් ශබ්දය ද්‍රවයක් තුලද, ඊටත් වඩා වැඩි දුරක් වාතය තුලද ගමන් කරනවා. ඊට හේතුව සරලයි. ශබ්ද තරංගයක් දුර්වල වෙනවා එක් අංශුවක සිට තවත් අංශුවකට හුවමාරු වන හැම විටම. ඉතිං අංශු ඈතින් ඈතින් පිහිටා තිබෙන විට, ශබ්දය හානි වන්නේ සෑහෙන්න දිගු දුරකදී වන අතර, එම අංශු ප්‍රමාණයම ළඟින් ළඟින් ඇති විට, ඊට වඩා අඩු දුරකදී එම හානිය සිදු වෙනවානෙ.

ඒ අනුව, අපට හැකියි සාමාන්‍ය ශබ්ද තරංග හෝ අධෝධ්වනි හෝ අතිධ්වනි තරංග යොදාගෙන සන්නිවේදනය සිදු කරන්නට. වව්ලන්, තල්මසුන් ආදී සතුන් අතිධ්වනි තරංග යොදාගෙන සන්නිවේදනය සිදු කරනවා. ඒ කෙසේ වෙතත්, ශබ්ද තරංග යොදාගෙන සන්නිවේදනය සිදු කිරීමේ සීමා ඇත. පහසුවෙන්ම ශබ්ද තරංග විකෘති කළ හැකියි (සිතන්න හයියෙන් ගොරවන විට, අනෙක් සුලු ශබ්ද ඇසෙන්නේ නැහැනෙ). තවද, ඉතා ඈතට සන්නිවේදනය ඉන් සිදු කළ නොහැකියි. රහසිගතව පනිවුඩ යවන්නත් බැහැනේ මොකද ඒ අවට සියල්ලන්ටම පනිවුඩය ඇසෙන නිසා (එහෙත් අතිධ්වනි යන්ත්‍ර යොදා ගත්තා නම් අනෙක් අයට ඇසෙන එකක් නැහැ). එහෙත් මීට වඩා රේඩියෝ හෝ ආලෝක මාධ්‍ය පහසුවෙනුත් කාර්යක්ෂම ලෙසත් භාවිතා කළ හැකි නිසා ශබ්දය සන්නිවේදන මාධ්‍යයක් ලෙස යොදා ගන්නේ අඩුවෙනි (ලවුඩ්ස්පීකර්වලින් සමහර ප්‍රචාර කරනවා; අපි කතා කරන විටත් ශබ්දය යොදා ගන්නවා).

ආලෝකය (පෙනීම) තවත් සන්නිවේදන මාධ්‍යයකි. මෙයත් අනාදිමත් කාලෙක සිට ඇස් හා දර්ශන උපයෝගි කරගෙන අද දක්වාම ස්වාභාවික සන්නිවේදන ක්‍රමයක් ලෙස භාවිතා කරනවා. අතින් හෝ වෙනත් දර්ශනයක් (රඟ දැක්වීමක් වැනි) මඟින් පනිවුඩ යවනවානේ. බිහිරි අය භාවිතා කරන සංඥා භාෂාව අතින් රඟ දක්වන එකක්නෙ. එහෙත් මෙම ස්වාභාවික (හා ප්‍රාථමික) ආකාරය වෙනුවට ආලෝකය භාවිතා කර ඉතා උසස් අන්දමේ සන්නිවේදන මාධ්‍යයක් ලෙසටත් ආලෝකය භාවිතා කෙරේ. ලේසර් ආලෝකය ෆයිබර් ඔප්ටික් හෝ සාමාන්‍ය අවකාශය හරහා යැවීමෙන් මෙය සිදු වන හැටි අප මීට පෙර ඉගෙන ගත්තා.

ඉහත ක්‍රම දෙකට අමතරව මිනිසා ඉතාමත්ම පසුකාලීනව සොයා ගත් සන්නිවේදන මාධ්‍ය වන්නේ රේඩියෝ සංඥාය (1900 දී පමණ සිට). ශබ්දය හා ආලෝකය ස්වාභාවික සන්නිවේදන මාධ්‍ය වුවත්, රේඩියෝ තරංග කෘත්‍රිම මාධ්‍යයකි. මිනිසාගේ කිසිම අවයවයක් පිහිටා නැහැ රේඩියෝ තරංග පිට කිරීමට හෝ ග්‍රහනය කිරීමට. ආලෝකයටත් වඩා රේඩියෝ තරංගවල ඇති සුවිශේෂිත්වය වන්නේ රේඩියෝ තරංග විශාල ප්‍රදේශයක් පුරාවටම විසුරුවා හැරිය හැකි වීමයි. ඒ නිසානෙ ඔබට ටීවි චැනල් විසුරුවා හරින සම්ප්‍රේෂක කුලුන් පෙනෙන තෙක් මානයේ නැතත්, ඔබේ ටීවී එකට රේඩියෝ සංඥා හසුවන්නේ. මෙය ආලෝක මාධ්‍යයෙන් සිදු කර ගත නොහැකිය.

විදුලියද (වයර් හරහා ගමන් කරන විදුලි සංඥා) හොඳ සන්නිවේදන මාධ්‍යයකි. ඒකනෙ රැහැන් දුරකතනය ඔස්සේ පනිවුඩ යැවිය හැකි වූයේ. කෘත්‍රිම සන්නිවේදනය මුලින්ම සාර්ථකව භාවිතා කළේද වයර් හරහා යන විදුලිය නේද? පසුකාලයේනෙ රේඩියෝ තරංග හා ෆයිබර් ඔප්ටික් තාක්ෂන සොයා ගත්තේ.

මේ ලෙස බලන විට, තවත් සන්නිවේදන මාධ්‍යයන් ඔබට හඳුනාගත හැකි වේවි. එහෙත් දැනට සන්නිවේදනය සඳහා රේඩියෝ තරංග, ලේසර් ආලෝකය, හා වයර් හරහා යන විදුලිය තමයි යොදා ගන්නේ. මේ එක් එක් මාධ්‍යයේ ඊටම ආවේනික වූ ලක්ෂණ ඇත. එනිසා එවැනි ලක්ෂන අවශ්‍ය තැන් සඳහා ඉන් එක් මාධ්‍යයක් තෝරාගත හැකියි. උදාහරණයක් ලෙස, රේඩියෝ තරංගවලට පමණයි විශාල ප්‍රදේශයක් පුරාවටම එකවර සංඥා යැවිය හැක්කේ. ඒ නිසා ඔබේ ටීවී එක නිවසේ කොතැනකට ගෙන ගියත් ටීවී සංඥා හසු වේ. ඔබ ගමන් කළත් ඔබේ ජංගම දුරකතනය හරහා කරන කතාබහට බාධාවක් ඇති නොවේ. එසේම, ෆයිබර් ඔප්ටික් (ලේසර් ආලෝකය) භාවිතා කරමින් ඉතා විශාල දත්ත ගොන්නක් එහා මෙහා ගෙන යා හැකියි.

ඉහත මාධ්‍යන් සලකා බලන විට, මාධ්‍යය යොදා ගන්නා ආකාර දෙකක් දැක ගත හැකියි. සමහර මාධ්‍ය හරහා පනිවුඩය යවන විට, එම මාධ්‍ය හරහා හෙවත් එම මාධ්‍යට බද්ධවයි පනිවුඩ/සංඥා ගමන් කරන්නේ. උදාහරණයක් ලෙස, වයරයක් තුලින් විදුලි සංඥා යන්නේ වයරයට බද්ධවයි (එනම් වයරය තුලිනුයි). වයරය ගමන් කරන පාරේ නැතිව වෙනත් පාරක් දිගේ පනිවුඩය යන්නේ නැහැනෙ. ෆයිබර් ඔප්ටික් එකක් හරහා ලේසර් ආලෝකය යන්නේද මේ ක්‍රමයෙන්මයි. මෙවැනි මාධ්‍ය bounded/guided medium ලෙස හැඳින්විය හැකියි. එහෙත් රේඩියෝ සංඥා එසේ නොවෙයිනෙ. ඒවා ඇන්ටනාවෙන් ගමන් කිරීම පටන් ගත් විට, සීසීකඩ ගමන් කරනවා. රේඩියෝ සංඥාව මා පසුපස හෝ මා දිගේ එන්න යැයි ගයිඩ් කරන කෙනෙකු නැත. මෙවැනි මාධ්‍යයක් unbounded/unguided medium ලෙස හැඳින්වේ.

සම්ප්‍රේෂනය කරන පනිවුඩය/සංඥා ග්‍රහනය කරන පිරිස අනුවත් සන්නිවේදනය වර්ග 3කට වර්ග කළ හැකියි. එක් අවස්ථාවකදී සම්ප්‍රේෂකයා විසින් විසුරුවා හරින හෙවත් සම්ප්‍රේෂනය කරන (transmit) සංඥාව යම් වපසරියක් පුරා පැතිරී සිටින ඕනෑම කෙනෙකු (සියලු දෙනා) විසින්ම ග්‍රහනය කළ හැකි නම්, ඊට broadcast transmission (හෙවත් නිකංම broadcast) කියා කියනවා. රූපවාහිනි, රේඩියෝ චැනල් වැඩ කරන්නේ මේ විදියටයි. යම් තැනකින් විකාශනය කරන සංඥාවක් එම සංඥාව පැතිරී තිබෙන පෙදෙසේ සියලු දෙනාටම ග්‍රහනය කර ගත හැකියි.

ඇත්තටම මෙම බ්‍රෝඩ්කාස්ට් කියන වචනය අරගෙන තිබෙන්නේ කෘෂි ක්ෂේත්‍රයෙනි. ඔබ දැක ඇති ගොවියන් වී ආදී ඇට තමන්ගේ කුඹුරේ ඉසිනවා (cast). සමහර අවස්ථාවල එම ඇට ගොන්නක් අතින් ගෙන ඈතට විසිරී යන ලෙස ඉසිනවා. මෙම ක්‍රමයට ඇට ඉසීම broadcast ලෙස හඳුන්වනවා. ඉතිං රේඩියෝ තරංග සොයා ගැනීමත් සමග රේඩියෝ චැනල් ආරම්භ කළානේ. එහිදී බොහෝ දෙනෙකුට ග්‍රහනය කළ හැකි නිසා එලෙස රේඩියෝ තරංග විසුරුවා හැරීමත් broadcast ලෙස නම් කළා. බ්‍රෝඩ්කාස්ට් ක්‍රමය සඳහා රේඩියෝ තරංග මාධ්‍යය කදිමට ගැලපේ.

රේඩියෝ චැනල් පවත්වාගෙන යන ආයතනවල ඉංග්‍රිසි නම් බැලුවොත් පෙනේවි broadcast හෝ ඉන් ව්‍යුත්පන්න කළ වචනයක් (broadcasting, broadcaster වැනි) තිබෙනවා. උදාහරණයක් ලෙස, British Broadcasting Corporation (BBC), Sri Lanka Broadcasting Corporation (SLBC) බලන්න. පසුකාලයේ ටිවී චැනල්ද ඇති වුණානේ. මෙහිදීද බ්‍රෝඩ්කාස්ට් ක්‍රමයමයි යොදා ගත්තේ; එකම වෙනස වූයේ දැන් ශබ්දයට අමතරව රූපද යැවීමයි. එහෙත් රූප බ්‍රෝඩ්කාස්ට් කරන විට, ඊට telecast ලෙස නමක්ද සාදා ගත්තා. ඉංග්‍රිසි ටෙලිකාස්ට් යන්නෙහි “රූප” යවන බව හඟවන වචන කොටසක් නැත; එහෙත් එය අප සාමාන්‍යයෙන් යොදන්නේ රූප බ්‍රෝඩ්කාස්ට් කරන විටයි. ඇත්තටම broadcast යන වචනය පදනම් කරගෙන (එහි cast යන කොටස අරගෙන) telecast, unicast, multicast, webcast, simulcast, podcast, vidcast ආදී ලෙස ලස්සන වචන (සංකල්ප) ගණනාවක් පසු කාලයේ අප සාදා ගත්තා (විවිධ සන්නිවේදන ක්‍රමයන් හැඳින්වීමට).

එක් තැනක සිට සම්ප්‍රේෂනය කරන සංඥාවක් ග්‍රහනය කරගන්නේ එක් ග්‍රාහකයෙකු විසින් පමණක් නම්, එවැනි සන්නිවේදනයකට unicast කියා කියනවා. ඔබේ දුරකතන ඇමතුම ගැන සිතා බලන්න. ඔබත් තවත් එක් පාර්ශවයක් අතර පමණයි නේද එම සන්නිවේදනය සිදු වන්නේ? අන්න එවැනි පාර්ශව දෙකක් අතර පමණක් සන්නිවේදනය යුනිකාස්ට් වේ. (වයර් ඔස්සේ යන) විදුලිය යන සම්ප්‍රේෂන මාධ්‍යය යුනිකාස්ට් ක්‍රමයට හොඳින් ගැලපේ. ඇත්තටම රේඩියෝ තරංගද මේ සඳහා අද ඉතා කාර්යක්ෂම යොදා ගැනේ (ඔබේ ජංගම දුරකතනය රේඩියෝ තරංග යොදා ගත්තත්, එම ඇමතුම වෙනත් අයට ඇසෙන්නේ නැති විදියට සකසා ඇත). යුනිකාස්ට් යන්නම අවශ්‍ය නම් point-to-point communication ලෙස හැඳින්විය හැකියි.

බ්‍රෝඩ්කාස්ට්, යුනිකාස්ට් යන දෙකට පසුව ඇති අනෙක් ක්‍රමය multicast වේ. මෙය ඉහත ක්‍රම 2 අතරමැදි අවස්ථාවකි. එනම්, එක් තැනකින් විසිරී යන සංඥාවක් එය විසිරී යන වපසරිය තුල සිටින තෝරාගත් සීමිත පිරිසක් (එම වපසරිය තුල සිටින සියල්ලන්ම නොවේ) විසින් පමණක් ග්‍රහනය කර ගැනේ. උදාහරණයක් ලෙස, පොලිසියේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය (Walkie Talkie) වැඩ කරන්නේ මේ ක්‍රමයෙනි.

ඉහත ක්‍රම 3 සැලකූ විට සියුම් කරුණක් දැකිය හැකියි. එනම්, සමහර සම්ප්‍රේෂන මාධ්‍ය ස්වභාවයෙන්ම එක් ක්‍රමයකට ලැදිකමක් හෙවත් නෑකමක් දක්වනවා. රේඩියෝ සංඥා ස්වභාවයෙන්ම වපසරියක් පුරාම විසිරී යන නිසා, එය බ්‍රෝඩ්කාස්ට්/මල්ටිකාස්ට් ක්‍රමයට ස්වභාවයෙන්ම උචිතය. එහෙත් වයරයක් හරහා විදුලිය ගමන් කරන විට, හැමවිටම වයරයේ දෙකෙලවර සිටින දෙදෙනා අතර පමණක් සන්නිවේදනය සිදු වන නිසා එය ස්වභාවයෙන්ම යුනිකාස්ට් වේ. එසේ වුවත්, විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කර, රේඩියෝ තරංග ක්‍රමය යුනිකාස්ට් ක්‍රමයට වැඩ කරන විදිටයත්, වයර් ඔස්සේ යන විදුලිය බ්‍රෝඩ්කාස්ට්/මල්ටිකාස්ට් ක්‍රමයට වැඩ කරන විදියටත් සැකසිය හැකියි. ජංගම දුරකතවලදී එය හොඳින්ම කැපී පෙනේ. එහිදී රේඩියෝ තරංග භාවිතා කළත්, දුරකතන ඇමතුම සිදුවන්නේ දෙදෙනකු අතරේ වන අතර අනෙක් අයට ඊට ඇහුම් කන් දී තේරුම් ගත නොහැකිය. එලෙසමයි, දැන් දුරකතන පහසුකමක් තිබෙනවා එකවර පාර්ශව කිහිපයකට එකම ඇමතුමට සම්බන්ධ විය හැකි (call conferencing). මෙහිදී දුරකතන සේවාව වයර් ඔස්සේ සිදු වුවත්, දැන් කිහිප දෙනෙකුම එකට සන්නිවේදනය සිදු කරයි (එය මල්ටිකාස්ට් ක්‍රමයකි).


සටහන
ඉහතදී මා “කාස්ට්” යන කොටස ඇති තවත් වචන කිහිපයක් සඳහන් කර ඇත. එම නම්වලින් කියවෙන්නේ මොනවාදැයි ඔබට කුතුහලයක් ඇත් නම්, මෙන්න ඒවා ගැනත් කෙටි හැඳින්වීමක්.

Webcast, Podcast, Vidcastදැන් අන්තර්ජාලය හරහා ශබ්ද/වීඩියෝ බෙදා හරිනවානෙ. එය දෙවිදියකට සිදු වෙනවා. එකකදී අදාල ශබ්දය (හඬපටය) හෝ වීඩියෝ එක තනි (විශාල) ෆයිල් එකක් වශයෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකියි. download යනු යම් උපකරණයක සිට තමන්ගේ උපකරණයට දත්තයක් ගෙන්වා ගැනීමට කියන වචනයයි. තමන්ගේ උපකරණයේ සිට වෙනත් උපකරණයකට දත්තයක් යවන විට, එය upload යනුවෙන් හැඳින්වෙනවා. මෙහිදී බොහෝවිට ශබ්දයක් නම් mp3 ෆයිල් එකක් විදියටත්, වීඩියෝ එකක් නම්, mp4 ෆයිල් එකක් විදියටත් ඩවුන්ලෝඩ් කර ගත හැකියි. එම ෆයිල් එක ඩවුන්ලෝඩ් වූවාට පසුවයි ඒවා ප්ලේ කළ හැක්කේ (එය ඩවුන්ලෝඩ් වෙන තුරු බලාගෙන සිටීමට සිදු වෙනවා).

ඒවා ප්‍රචාරය කරන අනෙක් ක්‍රමය streaming ලෙස හැඳින්වෙනවා. මෙහිදීත් ශබ්දය/වීඩියෝ එක ඒ පරිගනකයේ ගබඩා වී තිබෙන්නේ mp3/mp4 වැනි ෆයිල් එකක් ලෙස වුවත්, එකවර මෙම ෆයිල් එක ඔබ ඩවුන්ලෝඩ් කරන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ එම ෆයිල් එකෙන් කුඩා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර, එය ඔබේ පරිගනකයේ ප්ලේ කිරීමයි. එලෙස ප්ලේ වන අතරතුර එම ෆයිල් එකේ ඉදිරි කොටස් ක්‍රමයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. මෙම ක්‍රමය නිසා, ටීවී එකෙන් යමක් බලනවා ලෙසම හැඟෙනවා. Youtube වැනි සේවා පවතින්නේ මෙවැනි ස්ට්‍රීමිං ක්‍රමයටයි. මෙලෙස ස්ට්‍රීමිං ක්‍රමයට අන්තර්ජාලය (වෙබ් එක) හරහා දත්ත සම්ප්‍රේෂනය කිරීම තමයි වෙබ්කාස්ට් කියන්නේ.

ඉහත ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයකින් ශබ්ද යවන ක්‍රමයකි පොඩ්කාස්ට් කියන්නේ. මෙම ක්‍රමය මුලින්ම ඇපල් ආයතනය විසින් හඳුන්වා දුන් iPod නම් උපකරණය හරහා සිදු කළ නිසයි මෙම නම ඊට ලැබුණේ (ipod + cast). පොඩ්කාස්ට් ක්‍රමයටම සමාන ක්‍රමයකින් වීඩියෝ යවන ක්‍රමයකි විඩ්කාස්ට් කියන්නේ (video + cast).

simulcastමෙයින් කියන්නේ සම්ප්‍රේෂනය ක්‍රම කිහිපයක් ඔස්සේම එකවර සිදුවන බවයි . එම නම සෑදී තිබෙන්නේ simultaneous + cast ලෙසයි (simultaneous යන ඉංග්‍රිසි වදනෙහි තේරුම “එකට සිදුවන” යන්නයි). උදාහරණයක් ලෙස, අද රූපවාහිනි හා රේඩියෝ චැනල් බොහෝමයක්ම සාමාන්‍ය ක්‍රමයට රේඩියෝ තරංග ඔස්සේ විසුරුවා හරින අතරේම, වෙබ්කාස්ට් ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේද විසුරුවා හරිනවානෙ. අන්න එලෙස ක්‍රම දෙකක් හෝ කිහිපයක් ඔස්සේ එකවර විසුරුවා හැරීම තමයි සිමල්කාස්ටිං කියන්නේ.

දත්ත සම්ප්‍රේෂනය සිදුවන දිශාව/පැත්ත අනුවත් ආකාර (transmission modes) 3කට එය වර්ග කළ හැකියි. එක් ක්‍රමයකදී සන්නිවේදනය හැමවිටම එකම දිශාවකට පමණක් සිදු වේ. උදාහරණයක් ලෙස, ටීවී හෝ රේඩියෝ චැනලයක් ගත් විට, හැමවිටම සංඥා/දත්ත එන්නේ ටීවි/රේඩියෝ ආයතනයේ/කුලුනෙ සිට ප්‍රේක්ෂකයා දෙසටයි. අපේ ටීවී එකේ සිට සංඥා කිසිවිටක එම කුලුනට ගමන් කරන්නේ නැහැනෙ. මෙය simplex communication ලෙස හැඳින්වේ. හැමවිටම වාගේ බ්‍රෝඩ්කාස්ට් ක්‍රමය සිම්ප්ලෙක්ස් වේ.

දෙවැනි ක්‍රමයේදී දෙපසටම එකවර සන්නිවේදනය සිදු වේ. ඔබේ දුරකතන සේවා මෙම ක්‍රමයට අයත්ය. ඔබටත් අනෙක් පාර්ශවයටත් එකවර අවශ්‍ය නම් කතා කළ හැකියි. මෙය Full Duplex (FDX) communication ලෙස හැඳින්වේ.

තෙවැනි ක්‍රමය Half Duplex (HDX) communication ලෙස හැඳින්වේ. මෙහිදීත් දෙපැත්තටම සන්නිවේදනය සිදු වේ. එහෙත් එය එකවර සිදු කළ නොහැකියි. පළමුව එක්කෙනක් සංඥා යවනවා අනෙක් කෙනාට. එය නිම වන තෙක් අනෙක් කෙනා/අය සංඥා යවන්නේ නැත. මෙලෙස එක්කෙනෙක් සංඥා යැවීම නතර කළාට පසුවයි, තවත් කෙනෙකුට සංඥා යැවීමට අවසර ලැබෙන්නේ. ඒ කියන්නේ වරකට එක්කෙනෙකුට විතරයි කතා කළ හැක්කේ කොපමණ පිරිසක් සන්නිවේදනයට හවුල් වී සිටියත්. සාමාන්‍යයෙන් Walkie Talkie ලෙස ප්‍රචලිතව තිබෙන ක්‍රමය වැඩ කරන්නේ මේ විදියටයි. පොලිසිය, ගිනි නිවන හමුදාව, රෝහල් ඇම්බ්‍යුලන්ස් සේවා ආදිය මේ ක්‍රමයට සන්නිවේදනය සිදු කරනවා.

මේ ක්‍රමයේදී යම් විනයක් අවශ්‍යයි නේද? එක්කෙනෙකු කතා කර අවසන් වන තුරු අනෙක් අය නිශ්ශබ්දව සිටිය යුතුයි. මෙවැනි ක්‍රමයකදී කෙනෙකු කතා කර අවසන් බව අනෙක් අයට සාමාන්‍යයෙන් හඟවනවා. ඒ සඳහා Over වැනි වචනයක් කියනවා. එවිට අනෙක් අයට මෙම ඕවර් යන වචනය ඇසුනු විට තේරෙනවා ඔහු දැනට කතා කර අවසන් බවත් වෙනත් කෙනෙකුට කතා කරන්නට අවස්ථාව ලබා දුන් බවත්. ඒ විතරක්ද නොවේ; හාෆ් ඩුප්ලෙක්ස් ක්‍රමයට ක්‍රියා කරන යන්ත්‍රත් ඊට සහය දක්වන ආකාරයට සාදා තිබෙනවා. එම උපකරණයෙන් අනෙක් අය කියන දේවල් ඉබේම ඇසෙනවා. එහෙත් තමන් කතා කරන ඒවා අනෙක් අයට ඇසෙන්නට අවශ්‍ය නම්, එහි ඇති යම් බට්න් එකක් ඔබාගෙන ඊට කතා කරන්නට වෙනවා. මෙම බට්න් එක Push-to-talk (PTT) බට්න් ලෙස හැඳින්වෙනවා. මෙමඟින් තමන් සිටින වටපිටාවේ ඇතිවන ශබ්ද මඟින් අනෙක් කෙනෙකු කතා කරන එයට බාධා ඇතිවීම වලකිනවා. උදාහරණක් ලෙස, මෙම පුෂ්ටුටෝක් ක්‍රමය නැති වුණා නම්, තමන් ඉහත කියූ විනය ආරක්ෂා කරමින් සිටියත්, තමන් ළඟින් වාහනයක් හෝන් එක ගාගෙන ගියොත් අර විනයෙන් ඇති වැඩක් නැහැනෙ.


මෙහිදී ආධුනික ගුවන් විදුලි ශිල්පින් තව දෙයක් මතක තබා ගත යුතුය. එනම්, ආධුනික ගුවන් විදුලියේදී simplex හා duplex යන වචන දෙක තවත් තේරුමකින් භාවිතා වෙනවා. එනම්, එක් ආධුනික ශිල්පියෙක් තමන්ගේ ට්‍රාන්සීවරයෙන් ඍජුවම තවත් ආධුනික ශිල්පයෙකුගේ ට්‍රාන්සීවරය සමග සන්නිවේදනය කරන විට ඊට සිම්ප්ලෙක්ස් සන්නිවේදනය කියා කියනවා. එහෙත්, එම දෙදෙනාගේ සන්නිවේදනය සිදු වන්නේ අතරමැදි උපකාරක සේවාවක් වන රිපීටරයක් හරහා නම්, එවිට ඩුප්ලෙක්ස් සන්නිවේදනයක් කියා කියනවා.


යම් ට්‍රාන්ස්මිටරයක ප්‍රබලතාව (වොට් ගණන) අනුව ඉන් නිකුත් වන රේඩියෝ තරංග කොපමණ දුරකට විසිර යනවාද යන්න තීරණය වෙනවා. ඒ අනුව සන්නිවේදනය කරන දෙදෙනා අතර දුර වැඩිවීම නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ රේඩියෝ සංඥා අනෙකාට ළඟා නොවීමට හැකියි. ජංගම දුරකතනවලදී මෙය නිතර සිදු වෙනවානෙ දුර පළාත්වලට යන විට (සිග්නල් නැති වෙනවා). මෙවන් අවස්ථාවලදී තමයි රිපීටර් (repeater) නම් උපකරණයේ අවශ්‍යතාව දැනෙන්නේ. එහිදී රිපීටරය සන්නිවේදනය කරන දෙදෙනා/දෙපිරිස අතර ස්ථාපනය කරනවා. එය සාමාන්‍යයෙන් උස් තැනක කුලුනකයි සවි කරන්නේ සාමාන්‍ය සන්නිවේදන කුලුනක් මෙන්ම. එවිට, රිපීටරය වටේට සිටින අයගේ සංඥා රිපීටරයට ළඟා වෙනවා. එවිට රිපීටරය කරන්නේ එම සංඥා තවත් වර්ධනය කර, නැවත අනෙක් පැතිවලට විසුරුවා හරිනවා. මේ විදියට අතරමැද සිටගෙන රිපීටරය විසින් ඈතින් සිටින අයව සම්බන්ද කරනවා. රිපීටර් ගැන හා බීකන් ගැන පසුවට පාඩමක වැඩිදුරටත් විස්තර කෙරේ.


ආධුනික ගුවන් විදුලි සේවය සම්පූර්ණයෙන්ම වාගේ සිදු වන්නේ රේඩියෝ තරංග හරහා නිසා, මෙතැන් සිට අපි රේඩියෝ තරංග මුල් කරගෙන කතා කරමු. ඒ අනුව අප දැන් සලකා බලන්නට යන්නේ රේඩියෝ සන්නිවේදනයේ ඉතාමත්ම මනරම් (සමහරවිට තරමක් අමාරු) ක්‍රියාවලියක් දෙසටයි. එය මූර්ජනයයි.

4 comments:

  1. නියමයී..බොහෝම ආශාවෙන් බලන් ඉන්නවා..ඒ පාඩම ඉක්මනටම ලබා දෙන්න..ඒ වාගේම පරිපත අපටම හදාගන්න කියලා දෙන්න සහ ඒ පරිපත වලින් කරන කාර්ය ඒ ඒකොටස් වලින් මොකක්ද කරන්නේ කියලාත් කියලා දෙන්න විස්තර කරන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා..බොහෝම ස්තුතී..කුඩා ට්‍රාන්ස්මීටර් රිසීවර් හදන විදියත් මෙහි පලකරන්න කියලා ඉල්ලාසිටිනවා..ගොඩාක් පිං ඔබට..ජය වේවා ඔබට..

    ReplyDelete
    Replies
    1. :) ඔබ කියූ දේවල් ගැන මා වෙනමම ඉතාම සවිස්තරාත්මකව ලියනවා (මාගේ ඉදිරි ඉලෙක්ට්‍රොනික්ස් පාඩම්වල). ආධුනික ගුවන් විදුලිය පාඩම්වලත් මා ඒ ගැන කෙටියෙන් (ඉලෙක්ට්‍රොනික්ස් පාඩම්වල තරමට නොවුණත්) ලියන්නට බලාපොරොත්තු වෙනවා. බලමු... ඒ කෙසේ වෙතත් ඉතා සරල ට්‍රාන්ස්මිටරයේ සිට ඉතාම උසස් ට්‍රාන්ස්මිටරය දක්වා වූ පරිපථ නම් අන්තර්ජාලයේ ඕනෑ තරම් තිබෙන බවද සිහිපත් කරන්නට කැමතියි... එහෙත් මා ඊළඟට ලියන පාඩම් සමහරවිට එම දේවල් ගැන නැවුම්ම ආකාරයක් වේවි. සමහරවිට මීට පෙර සිංහල මාධ්‍යයකින් පළ නොවූ බොහෝ කරුණුද පවතීවි.

      Delete
  2. බලාපොරොත්තු වෙනවා.. :) බොහොම ස්තුතී..

    ReplyDelete