Friday, September 16, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur radio) 13

මෙතෙක් කතා කළේ නිශ්චල ඡායාරූප කැමරා ගැනයි. මේවායේම වැඩිදියුනු අවස්ථාව තමයි වීඩියෝ කැමරාව. වීඩියෝ කැමරාව හා ටීවී වැඩ කරන්නේ කොහොමදැයි කෙටියෙන් දැන් සොයා බලමු. ඊට පළමුව අපේ ඇස විසින් නිශ්චල හා චංචල රූප වටහා ගන්නා හැටි විමසමු.

ඇසක් යනු ඉතාම සංකීරණ උපඅවයව රාශියකින් යුතු උපාංගයකි. එහි අපට පිටතින් ලොකුවට ගෝලාකාරව පෙනෙන කොටස ඇත්තටම ඇසේ ආරක්ෂාවට තිබෙන කොටස මෙන්ම ඇසේ කාච පද්ධතියයි. ඒ සියල්ලටම ඇතුලින් ආලෝකයට සංවේදී පටලය තිබේ (සෙන්සර් එක). එය දෘෂ්ඨි විතානය (retina) නමින් හැඳින්වේ. භාහිරින් එන ආලෝකය ඇසේ ඉදිරි ලොකු බෝල කොටසින් දෘෂ්ඨි විතානය මතට නාභිගත කරයි. දෘෂ්ඨි විතානය ඇසේ පිටුපස කොටසේ තිබෙන්නේ අප කෑමට ගන්නා ආප්පයක හැඩයෙනි.


මෙලෙස යම් රූපයක් දෘෂ්ඨි විතානය මතට පතිත වූ පසු යම් කුඩා කාලයක් යන තුරුම එහි බලපෑම දෘෂ්ඨි විතානය මත පවතිනවා. එය දළ වශයෙන් තත්පරයෙන් දහයෙන් පංගුවකි. ඒ කියන්නේ ඔබට යමක් දර්ශනය වූවාට පසුව වුවද, එම රූපය තත්පරයෙන් දහයෙන් පංගුවක් ඇසේ පවතිනවා (හරියට අර ටීවී එකක් ඕෆ් කළ පසුත් ඉතා කුඩා කාලයක් එහි රූපය තිරයේ දිස් වෙනවා වාගේ). දර්ශනය වූ ක්ෂණයෙහිම එම රූපය ඉවත් කළත්, ඇසට තත්පර දහයෙන් එකක කාලයක් එය එතැන තිබෙන බව දැනෙනවා. මීට හේතුව දෘෂ්ඨි විතානය නම් සෙන්සර් එක මතට පතිත වූ රූපයේ රසායනික සංඥාව මොලයට යැවීම හා ඒ සම්බන්ද වෙනත් රාජකාරි කිරීමට යම් කාලයක් අවශ්‍ය වීමයි. ඇසේ මෙලෙස දුටු දර්ශනයක් කුඩා කාලයක් පුරාවටම දර්ශනය වීම eye persistence කියා හැඳින්වෙනවා.

ඇත්තටම පර්සිස්ටන්ස් එක එක්තරා විදියකට ඇසේ දෝසයකි (එහෙත් එම දෝසය කිසිම ක්‍රමයකින් නැති කර ගැනීමටද බැරි අතර එය දෝෂයකට වඩා ඇසේ එක්තරා ස්වභාවයක් පමණි). මේ නිසා තමයි, ගිනි බෝල වේගයෙන් කරකවන විට, ඔබට ගිනි වලල්ලක් පෙනෙන්නේ. ගිනි බෝලය වේගයෙන් කරකැවෙන විට, එම බෝලය රැඳෙන රැඳෙන සෑම තැනක්ම ඇසේ සටහන් වෙනවා මැකී යන්නේ නැතිව. ෆෑන් තටු කරකැවෙන විටත්, තනි තනි තටු නොපෙනී බොඳ වෙච්ච රවුමක් පෙනෙන්නේත් මේ හේතුව නිසාමය. සමහර ලේසර් සංදර්ශනවලදීත් විවිධ හැඩතල අවකාශයේ ඇති කරන්නෙත් ඇසේ පර්සිස්ටන්ස් ලක්ෂණය නිසාය. මෙවැනි තවත් අවස්ථා ගැන ඔබ සිතා බලන්න.






ඉතිං, වීඩියෝ තාක්ෂණයේදීත් යොදා ගන්නේ ඇසේ මෙම පර්සිස්ටන්ස් නම් ලක්ෂණයමයි. එය මෙලෙස තේරුම ගමු. ඔබට යම් පිංතූරයක් පෙන්වනවා. එය පෙන්වන්නේ තත්පරයෙන් 10න් පංගුවක් තරම් කුඩා කාලයකටයි. දැන් එය ඉවත් කර, එවැනිම කුඩා කාලයක් තුල තවත් පිංතුරයක් පෙන්වනවා. එයත් ඉවත් කර, එලෙසම තවත් පිංතූර දිගින් දිගටම පෙන්වනවා. ඒ කියන්නේ එක් තත්පරයක් තුල පිංතූර 10ක් පමණ පෙන්වනවා. මෙම පිංතූර එකකට එකක් යා වෙන ආකාරයෙන් නම් තිබෙන්නේ, ඔබේ ඇස විසින් එය චලන පිංතූරයක් ලෙස හඳුනා ගන්නවා. තනි තනි නිශ්චල රූප ගොන්නක් ලෙස නොවෙයි හඳුනා ගන්නේ. ඊට හේතුව අයි පර්සිස්ටන්ස් එකයි. උදාහරණයක් ලෙස, පහත රූප සමූහය එකින් එක පිළිවෙලින් වේගයෙන් (තත්පරයට රූප 10ක් හෝ ඊට වැඩියෙන්) ඇසට පෙනෙන්නට සැලැස්සුවොත් මිනිසෙකු පයින් ගමන් කරන වීඩියෝවක් පෙනේවි. තත්පරයට මෙලෙස පෙන්වන රූප රාමු (frames) ගණන වැඩි කරන විට, වීඩියෝ එකේ කොලිටියද වැඩි වෙනවා. තත්පරයට රාමු ගණන frame rate ලෙස හැඳින්වෙනවා. එහෙත් ෆ්‍රේම් රේට් එක 25ක් 30ක් පමණ ප්‍රමාණවත් වන අතර, ඊට වැඩිපුර රේට් එකක් තිබුණා කියා කොලිටිය අමුතුවෙන් වැඩි නොවේ.






ඉතිං, සිනමාහල්වල චිත්‍රපට පෙන්වන්නේ මේ ක්‍රමයටයි. ඉතා වේගයෙන් එකිනෙකට යා වූ රූප පෙලක් පැයක් දෙකක් පුරාවට දර්ශනය කරවනවා මෝටරයක් සහිත යම් උපකරණයක් මාර්ගයෙන්. මෙම උපකරණය වීඩියෝ/ෆිල්ම් ප්‍රොජෙක්ටර් (video/film projector) ලෙස හැඳින්වෙනවා. ෆොටෝ ෆිල්ම් (හෙවත් නෙගටිව් ෆිල්ම්) වැනි දිගු පටලයක් අධිසැර ආලෝක කදම්භයක් ඉදිරියන් වේගයෙන් දිවවීමයි ප්‍රොජෙක්ටර් එකෙන් සිදු කරන්නේ. එවිට, එම ආලෝක කදම්භය අර ෆිල්ම් එක හරහා ගමන් කරද්දී එහි ගැබ්ව ඇති රූපයට සමාන රූපයක් සිනමා හලේ ඉදිරියේ ඇති යෝධ තිරය මතට පතිත වෙනවා. පහත දැක්වෙන්නේ පැරණි වීඩියෝ ප්‍රොජෙක්ටරයකි.






තවද, චිත්‍රපටය ගබඩා වී තිබෙන මෙම දිගු ෆිල්ම් රෝල් මීට පෙර කතා කළ ස්ටිල් කැමරාවේ රසායනික පට ලෙසමයි ක්‍රියාත්මක වන්නේ. එහෙත් මෙහිදී එක් තත්පරයක් තුලදී පිංතුර 20ක් 30ක් පමණ වේගයෙන් දිගටම පිංතුර ගන්නවා (එනිසා චිත්‍රපටි ෆිල්ම් රෝලක් අඩි සිය ගණන් දිගුය). සිනමා කැමරාව ක්‍රියා කරන්නේද ස්ටිල් කැමරාව මෙනි. එහෙත් එක දිගට (තත්පරයකට රූප 24ක් පමණ වේගයකින්) පිංතූර ගැනීමට ඉන් හැකියි (එනිසයි චලන රූප ඉන් සාදා ගත හැකි වන්නේ). මෙලෙස පටිගත කළ ප්ලාස්ටික් ෆිල්ම් තමයි සිනමා ප්‍රොජෙක්ටර් එක හරහා දර්ශනය කරවන්නේ.

ටීවී එකක් යනුද කුඩා සිනමා හල් තිරයක් වැනිය (එනිසානේ සිනමා හල “පුලුල් තිරය” ලෙසත් රූපවාහිනිය “පුංචි තිරය” ලෙසත් හඳුන්වන්නේ). එහි ඉදිරියෙන් ඇති තිරය මත විවිධ රූප මැවේ. විවිධ ටීවී තිර (screen) තාක්ෂණ පවතිනවා (CRT, LCD, plasma). මේවායේ පදනම එකම වුවත්, විවිධත්වය නිසා ඒවා ක්‍රියාත්මක වන හැටි පොදුවේ පැහැදිලි කිරීමට අපහසුය. එනිසා වෙන වෙනම මෙම ප්‍රචලිත තාක්ෂණ දෙක වන සීආර්ටී හා එල්සීඩී ගැන සොයා බලමු.

CRT (Cathode Ray Tube) යනු පැරණි තාක්ෂණයයි. මෙහි තිරයේ ඇතුලු පැත්තේ විශේෂිත රසායනික ද්‍රව්‍යයක් ආලේප කරනවා (එය phosphor යන නමින් හැඳින්වෙන අතර, ෆොස්ෆරස් නම් රසායනික මූලද්‍රව්‍ය සමග එය පටලවා ගන්න එපා). මෙම ෆොස්ෆර් ස්ථරයේ ඇති විශේෂත්වය වන්නේ, ඒ මතට අධිශක්ති විකිරණයක් වැටුණු විට ඉන් ආලෝකයක් ජනිත වීමයි (මෙම සංසිද්ධිය phosphorescence කියා නම් කෙරේ). මෙම අධිශක්ති විකිරණය වන්නේ පාරජම්බූල කිරණ හෝ ඊට වැඩි සංඛ්‍යාත සහිත විද්‍යුත්චුම්භක කිරණයි (එක්ස් කිරණ, ගැමා කිරණ). ටියුබ් ලයිට් හා CFL බල්බ්වල සිදු වන්නේද වීදුරුව ඇතුලු පැත්තේ ඇති සුදු පාට මෙම ෆොස්ෆර් ස්ථරය මතට බල්බය ඇතුලේ ජනනය වන පාරජම්බූල කිරණ වැදීමෙන් සුදු ආලෝකය නිපදවීම තමයි. ඊට අමතරව, වේගයෙන් අවුත් ස්ථරය මත වදින ආරෝපන ප්‍රවාහයක් (ඉලෙක්ට්‍රෝන වැනි) නිසාද ආලෝකය නිපදවීම සිදු වේ. සීආර්ටී තිර සඳහා යොදා ගන්නේ මෙලෙස වේගයෙන් එන ඉලෙක්ට්‍රෝන ධාරාවකි.

බොහෝ ලෝහ රත් කරන විට, ඉන් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙනවා (විශේෂයෙන් ටන්ස්ටන් නම් ලෝහ මූලද්‍රවය). මෙම සංසිද්ධිය thermionic emission ලෙස නම් කෙරෙනවා. මෙලෙස ඇති වන ඉලෙක්ට්‍රෝන එම ලෝහය අසලම ගැවසමින් තිබෙනවා (එවිට එය space charge යන නමින් හැඳින් වෙනවා). ටන්ස්ටන් වැනි ලෝහයක් රත් වන විට පහසුවෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වේ. මෙම රත් කිරීම සිදු කරන්නේ ටන්ස්ටන්වලින් සාදපු කොයිල් කම්බියක් (filament) හරහා විදුලි ධාරාවක් ගමන් කිරීමට සැලැස්වීමෙනි. මෙලෙස විදුලි ධාරාවක් යවා රත් කිරීම ජූල් තාපනය (Joule heating) ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රෝන මුක්ත කරන ෆිලමන්ට් එකේ සංඛේතය දෙවැනි රූපයෙන් දැක්වේ. ඉලෙක්ට්‍රෝන මුක්ත කරන මෙම කොටස කැතෝඩය (cathode) ලෙස හැඳින්වෙනවා (මීට කැතෝඩය යන නම ලැබෙන්නේ මොහොතකින් ඉගෙන ගන්නට සිටින අධිසැර වෝල්ටියතාවක් මීට සම්බන්ද කරන නිසාය).






එහෙත් ඉලෙක්ට්‍රෝන මුක්ත කර ගැනීමට මෙම උපක්‍රමයම තරමක් වෙනස් කරමින් වැඩි දියුණු කරගෙන ඇත. එවිට, රත් වන ෆිල්මන්ට් එකෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වන්නේ නැත (එනම් රත් කළත් ඉලෙක්ට්‍රෝන මුක්ත නොවන ද්‍රව්‍යයකින් තමයි ෆිලමන්ට් එක සාදා තිබෙන්නේ). එහෙත් මෙම ෆිලමන්ට් එක වට කරගෙන ඉලෙක්ට්‍රෝන මුක්ත කරන ලෝහ තහඩුවක් යොදවනවා. මෙවිට, ෆිලමන්ට් එකේ තාපයෙන් මෙම ලෝහය රත් වී ඉලෙක්ට්‍රෝන මුක්ත වේ. දැන් ෆිලමන්ට් එක වට කර ගත් ඉලෙක්ට්‍රෝන මුක්ත කරන තහඩුවයි කැතෝඩය වන්නේ. මෙම වැඩිදියුනු කළ දෙවැනි ක්‍රමය indirectly heated cathode ලෙස හැඳින්වෙන අතර, පළමු ක්‍රමය directly heated cathode ලෙස නම් කෙරේ. වැඩිදියුනු කරපු එකේ කැතෝඩය හා ෆිලමන්ට් එක වෙන් වෙන්ව තිබීම උපාංගයේ ජීව කාලය වැඩි වීමට හේතුවක් වේ. පහත දැක්වෙන්නේ එහි රූපයකි (සංඛේතයද සමග).




දැන් විදුලි ක්ෂේත්‍ර මඟින් මෙම ස්පේස් චාර්ජ් එකේ ඉබාගාතේ කැරකි කැරකි සිටින ඉලෙක්ටෝන ඇද ගෙන ඒවා වේගවත් චලනයකට ලක් කරනවා (හරියට බිම නිකං තිබෙන බෝලයකට පයින් ගසා වේගයෙන් එය චලනය කරවනවා වාගේ). මෙහිදී විදුලි ක්ෂේත්‍රය ඉතා ප්‍රබල විය යුතුය. ඒ සඳහා කිලෝවෝල්ට් කිහිපයක අධිසැර විදුලියක් අවශ්‍ය වෙනවා. මෙම අධිසැර විදුලියේ ඍණ අග්‍රය කැතෝඩයට සවි කරන අතර, ධන අග්‍රය ඇනෝඩය (anode) නම් අලුත් අග්‍රයකට සවි කරනවා. මෙම සම්පූරණ ඇටවුම රික්තකයක් (vacuum) තුලයි පැවතිය යුත්තේ. එනිසා හැමවිටම වාගේ වාතය ඉවත් කරපු වීදුරු කුටීරයක් (රික්ත නලයක් - vacuum tube) මේ සඳහා යොදා ගන්නවා.




ඉන්පසු මෙලෙස වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝන ඉතා සිහින් හා ප්‍රබල ඉලෙක්ට්‍රෝන කදම්භයක් බවට පත් කර ගන්නවා. විසිරී පැතිරී ගමන් කරන ඉලෙක්ට්‍රෝන සමූහයක් ඉතා සිහින් “ලස්සන” ඉලෙක්ට්‍රෝන කිරණයක් බවට පත් කර ගන්නේද විදුලි හෝ චුම්භක ක්ෂේත්‍ර යොදා ගනිමිනි (පහත රූපය බලන්න). මෙය හරියට කාච පද්ධතියක් මඟින් ආලෝකය හසුරුවනවා වගේම වැඩකි.




දැන් මෙම ඉලෙක්ට්‍රෝන කිරණය කෙලින්ම ෆොස්ෆර් තිරයකට වදින්නට සලස්වනවා. එවිට, එම ඉලෙක්ට්‍රෝන කදම්භය වදින ස්ථානයේ (ස්ක්‍රීන් එක මත) ආලෝක ලපයක්/ඩොට් එකක් දිස් වෙනවා.




සටහන
ඉහත ආකාරයට ඉතාම වේගයෙන් එන ඉලෙක්ට්‍රෝන කිරණ විශේෂිත ලෝහ කැබැල්ලක් මතට වැදෙන්නට සැලැස්සුවොත්, ඉන් එක්ස් කිරණ පිට වේ. එක්ස් කිරණයක සංඛ්‍යාතය ඉතා ඉහල නිසා, එම එක්ස් කිරණ ෆෝටෝනයක ශක්තියද විශාලය (එම ශක්තිය E=hf යන සූත්‍රයෙන් ගණනය කරන හැටි අප ඉගෙන ගත්තානෙ). ඉතිං, වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝනයක තිබෙන විශාල චාලක ශක්තිය තමයි මෙම අධිශක්ති එක්ස් කිරණය බවට පරිවර්තනය වන්නේ. එක්ස් රේ මැෂින් සාදන්නේ එලෙසය. මෙහිදී එක්ස් කිරණ පිටවෙන තැන අධික තාපයක් උපදින අතර (වේගයෙන් ගැටෙන ඕනෑම තැනක් රත් වීම ලෝක ස්වභාවයයි), එය සිසිල් කිරීමේ උපක්‍රමයක්ද යෙදිය යුතුය.



මෙම කුඩා ආලෝක ඩොට් එක තිරයේ එක් පික්සලයකි. දැන් මෙම ඩොට් එක වේගයෙන් මුලු තිරය පුරාම ක්‍රමවත් විදියට චලනය කරවනවා. ඒ සඳහා විදුලි ක්ෂේත්‍රයක් හෝ චුම්භක ක්ෂේත්‍රයක් යොදා ගන්නවා. ඔබ දන්නවා මෙවැනි ක්ෂේත්‍රයක් හරහා ගමන් කරන විට ඉලෙක්ට්‍රෝන නැමෙනවා හෙවත් අපගමනය වෙනවා (deflect) කියා. මේ සඳහා ඉලෙක්ට්‍රෝන සිරස් දිශාවටත් තිරස් දිශාවටත් අපගමනය එකවර සිදු කළ යුතුය. පහත රූපයේ Plates ලෙස දක්වා තිබෙන කොටස්වලින් සිදු කරන්නේ මෙම අපගමන දෙක තමයි. උදාහරණයක් ලෙස, තිරස් අපගමනය සිදු කරන තැටි (plates for horizontal deflection) දෙක මැදින් ඉලෙක්ට්‍රෝන කිරණය ගමන් කරන විට, එහි එක් තැටියකට ඍණ විදුලියකුත් අනෙකට ධනද සැපයූ විට, ඉලෙක්ට්‍රෝන කිරණය ඍණ ආරෝපිත නිසා, ධන තැටිය දෙසට ආකර්ෂණය වේ. එවිට එම පැත්තට කිරණය අපගමනය වෙනවා නේද? තැටි දෙකට යොදන වෝල්ටියතා අගය අඩු වැඩි කිරීමෙන් මෙලෙස නැමෙන ප්‍රමාණයද වෙනස් කළ හැකියි. ඉතිං සුදුසු අගය පරාසයක් යොදා කිරණය තිරයේ වම් කෙලවර සිට දකුනු කෙලවර දක්වා ඕනෑම ස්ථානයකට වදින සේ සැකසිය හැකියි. මේ විදියටම සිරස් අපගමනය සිදු කරන තැටිවලටත් සුදුසු විභවයන් සපයා, කිරණය තිරයේ සිරස් අතට චලනය කළ හැකියි.









(පිටත සිට බලන විට) තිරයේ උඩු වම් කෙලවර සිට ක්‍රමයෙන් දකුණට යමින්, එම රේඛාව අවසානයේ නැවත දෙවැනි පේලිය දිගේ වමේ සිට දකුනට යමින්, මේ ආකාරයට අවසාන පේලිය දක්වා සිදු කරනවා. මෙය ස්කෑන් කිරීම යන නමින් හඳුන්වන බව කීවා මතකද? මෙම ස්කෑන් ක්‍රියාවලිය හා එහිදී යොදා ගන්නා වචනද පහත රූපයේ දැක්වේ.




මෙලෙස, එක වරක් මුලු තිරයම ස්කෑන් කළාට පසුව, නැවතත් පෙර සේම මුලු තිරයම ස්කෑන් කරනවා. මෙලෙස තත්පරයට සම්පූර්ණ ස්කෑන් 25ක් හෝ 30ක් හෝ සිදු කරනවා. ඒ කියන්නේ මෙය ඉතාම වේගවත් ක්‍රියාදාමයකි. තවද, ඉලෙක්ට්‍රෝන මුක්ත කර, ඒවා කිරණයක් බවට පත් කර (focusing) වේගෙන් ගමන් කිරීමට (accelerating) සලස්වන උපක්‍රම සියල්ලටම පොදුවේ ඉලෙක්ට්‍රෝන තුවක්කුව (electron gun) ලෙස නම් කරනවා.

පැරණි තිරවල ඔබට තිරය පුරාව තිත් ගොඩක් පෙනෙන්නේ (චැනලයක් නැති අවස්ථාවක) මෙම වේගවත් ස්කෑන් කිරීම නිසාය. ඇත්තටම එතැන ඇත්තේ එකම එක ඩොට් එකක් පමණි. එහෙත් ඇසේ තිබෙන පර්සිස්ටන්ස් එක නිසා, ඒ සියලුම ඩොට් එකවර පවතින ලෙස ඇස දකිනවා (හරියට ගිනි බෝලයක් කරකවන විට ගිනි වලල්ලක් පෙනුන ලෙසම). මෙම තිත් ටික තමයි තිරයේ පික්සල් ටික වන්නේ.

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ එක් එක් ඩොට් හෙවත් පික්සලයක් තිරයේ තිබෙන තැනට ඉලෙක්ට්‍රෝන වද්දන විට, එම ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයේ තිබෙන ඉලෙක්ට්‍රෝන ගණන අඩු වැඩි කිරීමටයි (විමෝචනය වන ඉලෙක්ට්‍රෝන අඩු වැඩි කළ හැකියි ෆිලමන්ට් එකට සපයන විදුලිය අඩු වැඩි කිරීමෙන් හෝ වෙනත් උපක්‍රමයකින්). ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් වදින විට, ඉන් නිකුත් වන්නේ අඩු ආලෝක ප්‍රමාණයකි. මෙලෙස පික්සලයෙන් පික්සලයට ඉලෙක්ට්‍රෝන පාලනය කර, තිරය මත තත්පරයෙන් 25න් පංගුවක් වැනි කුඩා කාලයක් තුල, එක රූපයක් (frame) ස්කෑන් කළ හැකියි. එකිනෙකට සම්බන්ද මෙවැනි රූප තත්පරයකට 25 බැඟින් තිරය මත ඇඳීමෙන් අපේ ඇසට චලන රූප දර්ශනයක් (animation) හෙවත් වීඩියෝ දර්ශනයක් පෙන්විය හැකියි.

තිරය මත එක් එක් පික්සලයකට සරිලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තීරණය කරන්නේ ටීවි/මොනිටරයට ලැබෙන වීඩියෝ සිග්නල් එකෙනි. මෙම සිග්නල් එක තුල සෑම පික්සලයකටම අදාල වෝල්ටියතා අගයක් ඇත (රූපයක පික්සලයකින් වෝල්ටියතාවක් ලැබෙන අයුරු අප මීට පෙර ඉගෙන ගත්තානෙ). එම වෝල්ට් අගය වැඩි නම්, ඉලෙක්ට්‍රෝන ගන් එකෙන් වැඩිපුර ඉලෙක්ට්‍රෝන පිට කරාවි (ප්‍රින්ටරයේදී නම් සිදු වූයේ වෝල්ට් අගය වැඩි වූ විට, ප්‍රින්ටරයෙන් පිට කරන තීන්ත ප්‍රමාණය වැඩි වීමනෙ); එවිට තිරයේ එම පික්සලයෙන් වැඩි ආලෝක ප්‍රමාණයක් පිට වේවි. ඇත්තටම වීඩියෝ සිග්නල් එකක් තරමක සංකීරණ හැඩයකින් යුතු සිග්නල් එකකි. එහි පික්සලයෙන් පික්සලයට අවශ්‍ය වෝල්ටියතා අගයන් සේම, පේලියක් අවසන් බව කියන සංඥාව, එක ෆ්‍රේම් එකක් අවසානයි (ඊළඟ ෆ්‍රේම් එක දැන් පටන් ගන්නැයි) කියන විදුලි සංඥාවද ඇත. පික්සල්වලට අදාල තොරතුරු හැර මෙවැනි විශේෂිත විදුලි සංඥා sync/synchronization pulses ලෙස හැඳින්විය හැකියි. එවැනි ටීවී සිග්නල් එකක් පහත දැක්වේ. පහත රූපයේ දැක්වෙන්නේ තිරයේ එක් පේලියක් සඳහා වූ වීඩියෝ සිග්නල් කොටසකි (අවශ්‍ය නම්, මෙම තරංගය ගැඹුරින් කොටස් වශයෙන් අධ්‍යනය කිරීමට කරුණු සොයා බලන්න).




ඉහත කලු සුදු තිරය සඳහා භාවිතා කළ මූලික සිද්ධාන්තයම යොදාගෙන වර්ණ තිරයක් සෑදිය හැකිය. මෙහිදී ඉලෙක්ට්‍රෝන වැදුනු විට රතු, කොල, නිල් වර්ණ තුන නිකුත් වන ලෙස ෆොස්ෆර් පික්සල් තුන් වර්ගයක් අවශ්‍ය වේ. දැන් මෙම වර්ණ තුනෙන් යුතු ඉතාම කුඩා පික්සල් 3ක් එක ළඟින් තැබේ. මෙවිට ඉලෙක්ට්‍රෝන් ගන් 3ක්ද අවශ්‍ය වෙනවා, මෙම ඩොට් තුනට වෙන වෙනම ඉලෙක්ට්‍රෝන කිරන යොමු කිරීමට. ඒ අනුව, රතු ඉලෙක්ට්‍රෝන ගන් එකෙන් හැමවිටම ඉලෙක්ට්‍රෝන කිරන යොමු කරන්නේ රතු පික්සල්වලට පමණි. එලෙසමයි අනෙක් වර්ණත් තමන්ට අයත් ගන් වලින් තමයි ඉලෙක්ට්‍රෝන කිරන වද්ද ගන්නේ. ඒ ඒ ගන් එකෙන් අදාල වර්ණ සහිත පික්සල්වලට පමණක් කිරණ වැදීම තහවුරු කිරීමට ගන් හා තිරය අතර මැද ෂැඩෝ මාස්ක් නම් උපක්‍රමයක් යොදනවා. මෙය කුඩා සිඳුරුවලින් යුතු පටලයකි. ඉලෙක්ට්‍රෝන ගන් 3 පෙන්වා ඇති ලෙසට සුදුසු ඇලයකින් ස්ථානගත කළ විට, ඒවායෙන් නිකුත් වන ඉලෙක්ට්‍රෝන තනි සිඳුරක් හරහා ගියත්, තිරය මත වදින්නේ එකම පික්සලයට නොව වෙනස් පික්සල් 3කටයි (වර්ණ තුනට). ඉතිං පෙර අප ඉගෙන ගත්තානේ මූලික වර්ණ තුනකින් ඕනෑම වර්ණයක් සාදා ගන්නා විදිය. මෙහිදීත් එයම සිදු වේ.




සටහන
යම් මොනිටරයකට (ටීවී එකකට) ඇතුලු කරන වීඩියෝ සංඥාව අනුරූප රූපනේ තිරය මත නිර්මාණය වන්නේ. ඔබට පුලුවන් ඔබේ නිවසේ ඇති රූපවාහිනි තිරය ළඟින්ම ඇස තබා එහි රූප නරඹන්න. එවිට ඔබට වර්ණවත් ඩොට් වෙන වෙනම පෙනේවි, පැහැදිලි රූප වෙනුවට.




ටීවී එකකට ඇතුලු කිරීම සඳහා වීඩියෝ සංඥා දෙවිධියකින් ලබා ගනී. එක් ක්‍රමයක් නම්, මොහොතකින් අප කතා කරන්නට සිටින වීඩියෝ කැමරාවයි. දෙවැනි ක්‍රමය අපූරු නිර්මාණශීලී ක්‍රමයකි. කාටුන් හා ඇනිමේෂන් (animations/ animation movies) සාදන්නේ මේ දෙවැනි ක්‍රමයෙනි. එහිද පැරණි හා අලුත් විධි දෙකක් ඇත.

පැරණි විධියේදි, දක්ෂ චිත්‍ර ශිල්පින් විසින් කොල මත එකිනෙකට සම්බන්ධ රූප සමූහයක් අඳිනවා. තත්පරයට ෆ්‍රේම්/රූප 25ක් නම්, ඒ කියන්නේ එක් තත්පරයක කාලයක් සඳහා මෙලෙස රූප 25ක් ඇඳිය යුතු වෙනවා. විනාඩියකට රූප 25x60=1500කි; පැයකට රූප 1500x60=90000කි. බලන්න කොතරම් රූප ප්‍රමාණයක්ද කියා. එනිසා සාමාන්‍යයෙන් කාටුන්/ඇනිමේෂන් සඳහා ඊට වඩා අඩු ෆ්‍රේම් ගණනක් (15ක් පමණ) යොදා ගන්නවා. මෙම අඩු ප්‍රමාණය ගත්තත් රූප ඉතා විශාල ප්‍රමාණයක් ඇඳිය යුතු වෙන බව පැහැදිලියිනෙ. ඉස්සර කාලේ කාටුන් සාදපු ප්‍රධානම ක්‍රමය මෙයයි. දැන් මෙම රූප විශේෂිත ස්ටිල් ඉලෙක්ට්‍රෝනික් කැමරාවකින් විදුලි සංඥා බවට පත් කරගෙන, අවසානයේ සෑම රූපයකටම අදාල එම තනි තනි සංඥා එකතු කර, අවසන් වීඩියෝ සංඥාව සාදනවා. ඒ කාලේ හදපු මිකී මවුස් වැනි ඩිස්නි කාටුන් (හා සියලුම පැරණි කාටුන්) සාදා තිබෙන්නේ මෙම ක්‍රමයෙනි.




පරිගනක තාක්ෂණය දියුණුවත්ම ඉහත ක්‍රමය පහසු වූවා. දැන් චිත්‍ර අඳින්නේ කොලවල නොවේ; කෙලින්ම පරිගනකයේම චිත්‍ර අඳිනවා. එනිසා අමුතුවෙන් කැමරාවකින් රූප ස්කෑන් කර ගන්නට අවශ්‍යත් නැහැ. පරිගනකයෙන් චිත්‍ර ඇඳීමට පහසුකම් බොහෝ තිබෙන නිසා, පෙරට වඩා ඉතා කෙටි කාලයකිනුත් පහසුවෙනුත් රූප ටික ඇඳ නිම කළ හැකියි. Ice Age, Finding Nemo වැනි නූතන ඇනිමේෂන් චිත්‍රපටි හා කාටුන් සියල්ලම සාදා තිබෙන්නේ මෙම ක්‍රමයෙනි.

මෙතෙක් අප කතා කළේ සීආර්ටී මොනිටර්/ටීවි තිරයක් වැඩ කරන අයුරුය. මෙම ටීවී බරින් මෙන්ම ප්‍රමාණයෙන්ද විශාලය. වැඩිපුර විදුලියත් වැය වේ. ඉතා සිහින්, බරින් මෙන්ම විදුලි පරිභෝජනයෙන්ද අඩු එල්සීඩී මොනිටර්/ටීවි ස්ක්‍රීන් ගැන දැන් සරලව බලමු. මේවායේ ඉලෙක්ට්‍රෝන් ගන් හා ෆොස්ෆර් තිර නැත. ඒ වෙනුවට liquid crystal නම් අපූරු ද්‍රව්‍යයක් යොදා ගනී.

ලික්විඩ් ක්‍රිස්ටල් යනු දිග අණු (සොසේජ් වගේ) සහිත රසායනික ද්‍රව්‍යයකි. ස්වාභාවික ඝන තත්වයේ තිබෙන විට මෙම අණු සාමාන්‍ය ස්ඵටික මෙන් එකම දිශාවක් ඔස්සේ පිහිටන අතර, ස්වාභාවික ද්‍රව තත්වයේ තිබෙන විට අණු විවිධ දිශා ඔස්සේ පිහිටනවා (කිසි පිලිවෙලක් නැත). එහෙත් මේවා ඝන හා ද්‍රව යන අවස්ථා දෙකෙහි අතරමැදි අවස්ථාවට (ලික්විඩ් ක්‍රිස්ටල් අවස්ථාව) පත් කරන විට, අංශු අපට අවශ්‍ය කිසියම් පිළිවෙලකට පත් කළ හැකියි. ඒ කියන්නේ වැස්ලින් ක්‍රීම් හෝ ජෙලි වැනි ලික්විඩ් ක්‍රිස්ටල් තත්වයේ පවතින්නේ යම් උෂ්ණත්ව පරාසයක් තුල පමණක් බවද සිහි තබා ගන්න.






ඉතිං, පළමුව ඉතා තුනී පිරිසිදු විනිවිද පෙනෙන වීදුරු කැබැලි දෙකක් මැදට මෙම ලික්විඩ් ක්‍රිස්ටල් තබා සීල් කරනවා (හරියට පාන් පෙති දෙකක් මැදට බටර් ගාලා සැන්ඩ්විච් සාදනවා වාගේ). මෙය ඉතා කුඩාවට නිර්මාණය කරනවා. මෙම කුඩා ඒකකයක් එක් පික්සලයකි. මෙම වීදුරු කැබැලි දෙක මැද ක්‍රීම් එකක් වගේ තිබෙන ලික්විඩ් ක්‍රිස්ටල් පහත රූපයේ පෙනෙන ආකාරයට අණු පිහිටන සේයි සකසා තියෙන්නේ. එනම් සාමාන්‍ය තත්වය යටතේ අණු ඇඹරී තිබෙන (twisted) විදියට පවතී. මෙම ඇඹරීම පවතින්නේ සුවිශේෂි ආකාරයකටයි. එනම්, එක් වීදුරු තැටියකදී සිරස්ව අණු පිහිටන අතර, දෙවැනි වීදුරු තැටියේදී අණු ඊට අංශක 90කින් කැරකී තිරස්ව පවතී.




ඒ විතරක්ද නොවේ; මෙම ලික්විඩ් ක්‍රිස්ටල් දැන් යම් භාහිර විදුලි ක්ෂේත්‍රයකට ලක් කළ විට, එකවරම එහි සියලුම අණුවල ඇඹරීම ඉවත්ව එක් දිශාවක් ඔස්සේ අණු පිහිටයි. මෙන්න මෙම ගතිගුණය තමයි LCD තිර සාදන්නට යොදා ගන්නේ. ඒ කෙසේද? එය පැහැදිලි කරන්නට ආලෝකයේ ධ්‍රැවීකරණය (polarization) යන ලක්ෂණය ගැන දැනගත යුතුය.

බොහෝ ආලෝක ප්‍රභවයන්ගෙන් නිකුත් වන ආලෝකය සාමාන්‍යයෙන් අධ්‍රැවිත (unpolarized) තත්වයේ පවතින්නේ. ඔබ දන්නවා ආලෝකය යනු විද්‍යුත්චුම්භක තරංග විශේෂයක් බව. එවැනි තරංගයක විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර දෙකක් එකිනෙකට ලම්භකව පිහිටන බවද අප පෙරදී ඉගෙන ගත්තා (මින් හැමවිටම වාගේ චුම්භක ක්ෂේත්‍රය අමතක කර විදුලි ක්ෂේත්‍රය ගැන පමණක් කතා කරන බවද මා එහිදී පැවසුවා). ඉතිං, අධ්‍රැවිත ආලෝකයක් යනු මෙම විද්‍යුත්චුම්භක තරංගයේ (එනම් ආලෝකයේ) පවතින විද්‍යුත් ක්ෂේත්‍රය සෑම දිශාවක් ඔස්සේම පවතින කිරන ගොනුවකි. පහත රූපය බලන්න. මෙහි තද රතු පාට තරංගයෙන් පෙන්වන්නේ විදුලි ක්ෂේත්‍රය සිරස් (එනම් උඩට පහලට) විචලනය වන අවස්ථාවයි. එම තරංගය එසේ සිරස්ව විචලනය වෙද්දී තවත් තරංග කිහිපයක් වෙනත් පැති ඔස්සේ විචලනය වෙනවා නේද? එක් එක් තරංගයක් එසේ විචලනය වන දිශා තමයි වම් පැත්තේ කොටුව තුල ඊහිස් මඟින් සංඛේතවත් කර තිබෙන්නේ. මෙම උදාහරණයේදී දිශා 4ක් ඔස්සේ විචලනය වන තරංග 4ක තරංග ගොනුවක් පෙනේ. එහෙත් ප්‍රායෝගික ලෝකයේදී දිශා ගණන අතිවිශාල වේ (අවශ්‍ය නම් දිශා ගණන අනන්තයක් යැයි සිතිය හැකියි).




ඉහත ආකාරයේ අධ්‍රැවිත ආලෝකයක් ධ්‍රැවකාරක (polarizer) නම් විශේෂිත විනිවිද පෙනෙන පටලයක් හරහා යැවූ විට, ඉන් ඉවතට යන්නේ එක් දිශාවක් ඔස්සේ විචලනය වන ආලෝක කිරණ පමණි. අනෙක් පැතිවලට විචනය වන ඒවා කපා හැරේ යැයි සිතන්න. පොලරයිසර් එකක් හරියට ගේට්ටුවක් වගේ නේද? පහත රූපයේ දැක්වෙන්නේ සිරස් පැත්තට විචලනය වන ආලෝකය පමණක් යන්නට ඉඩ දෙන පොලරයිසරයක් නිසා, ඊට සිරස් පොලරයිසරය (vertical polarizer) යැයි කියනවා. මෙලෙසම තිරස් අතට තිබෙන කිරණවලට පමණක් යන්නට ඉඩ දෙන පොලරයිසරය තිරස් පොලරයිසරය (horizontal polarizer) යැයි කියනවා. ඇත්තටම සිරස් පොලරයිසරයක් ගෙන, එය අංශක 90ක් කැරකැවූ විට ලැබෙන්නේ තිරස් පොලරයිසරයකි (තිරස් පොලරයිසර්, සිරස් පොලරයිසර් කියා අමුතුවෙන් පොලරයිසර් දෙකක් සාදන්නේ නැත).




අධ්‍රැවිත ආලෝකයක් සිරස් හා තිරස් යන පොලරයිසර් දෙකක් හරහා යන්නට සැලැස්සුවොත් කිසිදු ආලෝකයක් පිටතට එන්නේ නැත. පළමුව හමුවන පොලරයිසරයෙන් එම දිශාවට හැර සෙසු දිශා ඔස්සේ තිබෙන සියලු කිරණ කපා හරී. ඉන්පසුව හමුවන්නේ පළමු පොලරයිසරයට අංශක 90ක දිශාවකින් පවතින පොලරයිසරයක් නිසා, පළමු පොලරයිසරය තුලින් පැමිණි ආලෝකයද ඉන් කැපී යයි.




එල්සීඩී සඳහා පොලරයිසර් දෙකක් අවශ්‍ය වේ. ඉහත සඳහන් කරපු ලික්විඩ් ක්‍රිස්ටල් කොටසට පොලරයිසර් කොටස් දෙකක් එකතු කෙරේ. එනම්, ඉතා කුඩාවට සෑදූ ලික්විඩ් ක්‍රිස්ටල් පික්සලය දෙපැත්තේ තිබෙන්නේ විනිවිද පෙනෙන වීදුරු කැබැලි දෙකක්නෙ. දැන් මෙහි එක් පැත්තකට තිරස් පොලරයිසරයක්ද, අනෙක් පැත්තට සිරස් පොලරයිසරයක්ද සවි කෙරේ. දැන් සියල්ල සම්පූර්ණයි. පහත රූපයේ vertical filter ලෙස සඳහන් වන්නේ සිරස් පොලරයිසරය වන අතර, horizontal filter ලෙස සඳහන් වන්නේ තිරස් පොලරයිසරය වේ (දැනට color filter අමතක කරන්න මොකද මෙවැනි කලර් ෆිල්ටරයක් එකතු කිරීමෙන් තමයි කලර් එල්සීඩී සාදන්නේ). තවද, සිරස් පොලරයිසරය සවි කරන්නේ ලික්විඩ් ක්‍රිස්ටල් අණු සිරස්ව පිහිටා ඇති පැත්තට වන අතර, තිරස් පොලරයිසරය සවි කරන්නේ එම අණු තිරස්ව පිහිටා තිබෙන පැත්තටයි.




ඉහත ආකාරයට ඉතා කුඩාවට සෑදූ (මෙය වැලි කැටයකටත් වඩා කුඩාවට සාදනවා) පික්සලයක් ගෙන එහි එක් පැත්තකින් දැන් සුදු ආලෝකයක් යවන්න. එවිට, පළමුවෙන්ම එම අධ්‍රැවිත ආලෝකය පළමු පොලරයිසරය (අපි සිතමු එය සිරස් පොලරයිසරය කියා) හරහා ගමන් කරයි. එවිට එය සිරස් ධ්‍රැවීකරණයට ලක් වේ. එම ආලෝකය දැන් සාමාන්‍ය වීදූරු තැටිය හරහා ලික්විඩ් ක්‍රිස්ටල් කොටසට පැමිණේ. ඔබ දන්නවා මෙම අණුද සිරස් පොලරයිසරය පැත්තේ තිබෙන්නේ සිරස්වයි. තවද, එම අණු ක්‍රමයෙන් ඇඹරී අනෙක් පැත්තට යන විට අංශක 90කින් ඇඹරී තිරස් වෙනවා. ඉතිං, ආලෝකයද මෙම අණු හරහා යන විට එලෙසම ඇඹරීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ක්‍රිස්ටල් හරහා අනෙක් කෙළවරට එන විට දැන් ආලෝකයත් තිරස්වයි පිහිටන්නේ. පළමු පොලරයිසරයෙන් සිරස්ව ඇතුලු වූ ආලෝකය මේ වන විට තිරස් වී තිබේ. දැන් මෙම තිරස්ව ධ්‍රැවීකරණය වී තිබෙන ආලෝකය එම පැත්තේ ඇති තුනී වීදුරුව හරහා තිරස් පොලරයිසරයට ඇතුලු වේ. කිරණත් පොලරයිසරයත් දෙකම තිරස් නිසා, ආලෝකය කැපී යන්නේ නැතිව පිට වේ.




මේ අනුව, පිටුපසින් එල්ල කරන ආලෝකය ඉදිරියෙන් පිට වේ. එහෙත් දැන් මෙම පික්සලයට විදුලි විභවයක් සැපයූ විට ක්‍රිස්ටල් අණුවල ඇඹරීම දිග හැරේ. එවිට, ආලෝකයේ ඇඹරීම අහෝසි වේ. ඒ කියන්නේ ඉහත අවස්ථාවේදී පළමු පොලරයිසරයෙන් සිරස් වූ කිරණ, දෙවැනි තිරස් පොලරයිසරයට එන්නේද සිරස් විදියටමයි. එවිට, එම ආලෝකය කැපී යනවා. එහෙත් මෙම ඇඹරීම සම්පූර්ණයෙන්ම කෙලින් වෙන්නේ ඊට අවශ්‍ය සම්පූර්ණ වෝල්ට් ගණන සැපයූ විටයි. ඊට අඩු වෝල්ටියතාවක් ලබා දුන් විට, මෙම ඇඹරීම යම් ප්‍රමාණයකින් ඉතිරි වේ. එවිට, ආලෝකයද කුඩා ප්‍රමාණයක් ඇඹරීමට ලක්ව අනෙක් පොලරයිසරය හරහා ඉවතට යාවි. මේ අනුව, මෙම පික්සලයට පිටතින් සපයන වෝල්ටියතාවක් විචලනය කිරීමෙන් දැන් අපට පිටුපසින් එන ආලෝකය ඉදිරියෙන් පිටතට යන ප්‍රමාණය වෙනස් කළ හැකියි නේද? ඒ කියන්නේ දැන් අපට තිබෙනවා පික්සලයක්; ඊට දෙන විභවය විචලනය කරන විට, ඉන් පිටවන ආලෝකය අඩු වැඩි කළ හැකියි.




මෙලෙස ලික්විඩ් ක්‍රිස්ටල් පික්සල් පිලිවෙලට තබා විශාල ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ (LCD) සෑදිය හැකියි. ඉන්පසු, මේ එක් එක් පික්සලය ඉලෙක්ට්‍රොනික් පරිපථයකින් පාලනය කළ හැකියි. එය පාලනය කරන මූලික ක්‍රම දෙක Active matrix හා Passive matrix ලෙස නම් කෙරේ (අවශ්‍ය නම්, මෙම ක්‍රම දෙක ගැන සොයා බලන්න). දැන් මොනිටරයට ලැබෙන වීඩියෝ සිග්නල් එකේ ඇති එක් එක් පික්සලයට අදාල වෝල්ටියතාවන් ඉහත මේට්‍රික්ස් පරිපථයක් හරහා ඒ ඒ පික්සලයට ලබා දේ. මෙවිට, ඒ ඒ පික්සලයෙන් එම වෝල්ටියතාවන්ට අනුරූප ආලෝක ප්‍රමාණයක් නිකුත් කරයි. එවිට යම් රූපයක් තිරයේ මැවේ. මෙවිටද, පෙර සීආර්ටී මොනිටරයේදී පැවසූ ලෙසම තත්පරයට ෆ්‍රේම් ගණන එලෙසම පවතී.

මෙවැනි පික්සලයක් ඉදිරියෙන් රතු ෆිල්ටර් පටලයක් තැබූ විට, එය රතු පාට පික්සලයක් බවට පත් වේ. එලෙසම කොල පාට හා නිල් පාට පික්සල සෑදිය හැකියි. දැන් මෙම වර්ණ 3 සහිත පික්සල් එක ළඟින් තැබූ විට, ඉන් සියලුම වර්ණ නිර්මාණය කර ගත හැකියි නේද අප මීට පෙර සාකච්ඡා කරපු විදියට? ඇත්තටම මෙම වර්ණ තුන සහිත කුඩා පික්සල එක ළඟින් තබන ක්‍රම ගණනාවක්ම පවතිනවා (විවිධ නිෂ්පාදකයන් එය වෙනස් වෙනස් ආකාරවලින් සිදු කරනවා)




එල්සීඩී තිර ඉතා තුනියට සෑදිය හැකි නිසාත්, බර අඩු නිසාත්, විදුලිය ඉතා ස්වල්ප වශයෙන් වැය කරන නිසාත් ඒවා විශාල ඩිස්ප්ලේ සිට ඉතා කුඩා ඩිස්ප්ලේ (අත් ඔරලෝසුවල ඇති ඩිස්ප්ලේ) දක්වා පරාසයක භාවිතා කරනවා.




එල්සීඩී තිරයක වැඩියෙන්ම විදුලි ශක්තිය වැය වන්නේ එය පිටුපස ඇති ප්‍රබල සුදු ආලෝකය ලබා දෙන බල්බයටයි. මෙම ආලෝක ප්‍රභවය backlight ලෙස හැඳින්වෙනවා. එහෙත් දැන් බැක්ලයිට් එක සඳහා LED බල්බ භාවිතා කරනවා. මෙමඟින් විදුලිය විශාල ලෙස ඉතිරි කර ගත හැකියි. මෙලෙස බැක්ලයිට් එක සඳහා එල්ඊඩී යොදාගත් එල්සීඩී තිර තමයි LED display යනුවෙන් හඳුන්වන්නේ.

දැන් අපි බලමු වීඩියෝ කැමරා සාදන විදිය. එහෙත් දැන් වැඩි විස්තර අවශ්‍ය නැහැ ඔබට එය තේරුම් ගැනීමට. මීට පෙර ඔබ සීසීඩී හා සීමෝස් යොදාගෙන නිශ්චල ඡායාරූප ගන්නා කැමරාව ගැන ඉගෙන ගත්තානේ. වීඩියෝ කැමරාවද ඒ ආශ්‍රයෙන්මයි සාදන්නේ. එක් තත්පරයකදී ෆොටෝ 25 ක් 30ක් පමණ වේගයෙන් නොකඩවා රූප පටිගත කිරීම ඉන් සිදු වේ.

8 comments:

  1. නියමයි.ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  2. digatama me padama karagena yanna..anit ewat nawattanna epa..okkoma weddagat..godak pin..

    ReplyDelete
  3. vishwa viddyalayakin hemotama denne na..ewa denne eka mattamaka ayata..hebei oba hemotama laba denawa..oba vishwa viddayalayakata wada watinawa..mama vishwa viddayala sisun kehepa denekutat uganwapu kenek..owuntada noterena dewal oba labadenawa..jaya wewa..lankawa thakshanika ratak karanna puluwan oba weni aya nisa..vishwa viddayala nisa yai mn piliganne na..oba weni aya nisa..teruwan saranai.

    ReplyDelete
    Replies
    1. :) thank you... api balamu kohoma hari wenasak karanna... ape minisunta therena widiyata ha awasya pramaneta hoda (technical) danuma labenne nathi gathiyak thiyenawane... lankawe danuma thiyena ekath kohoma hari balenne rupiyalak hari hoyaganna wedak karanna witharai. eka ithin ratey adyapanika kramaye weraddak widiyata man dakinne...

      Delete
  4. bohoma stuti..eta watina denum sambaryak.ts

    ReplyDelete