Sunday, September 11, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 11

සන්නිවේදනය

ආධුනික ගුවන් විදුලි ශිල්පය යනු රේඩියෝ තාක්ෂණය උපයෝගි කර ගෙන දෙදෙනකු හෝ බොහෝ දෙනෙකු අතර අදහස් උවමාරු කිරීමක් නිසා (එනම් ආධුනික ගුවන් විදුලියේ මුලු පදනමම සන්නිවේදනය නිසා) සන්නිවේදනය ගැන යම් දැනුමක් ලබා ගමු. සන්නිවේදනය (communication) යනු පුද්ගලයන් අතර සිදුවන අදහස් උවමාරු කිරීමක් යැයි සැලකිය හැකියි. ඇත්තටම මිනිසුන් මෙන්ම සතුන්ද සන්නිවේදනය කරනවා. ශාක පවා යම් යම් පණිවුඩ තවත් අහල පහල ඇති ශාකවලට යවන බව දැන් සොයා ගෙන තිබෙනවා (යම් යම් රසායනික ද්‍රවය ශාක මුල් හරහා අනෙක් ශාක වෙත යොමු කරමින්).


ඒ අනුව, සන්නිවේදනය යනු සියලුම ජීවින්ට පොදු, ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය මෙවලමක් ලෙස සැලකිය හැකියි. සන්නිවේදනය සඳහා වැඩිපුරම භාවිතා වන්නේ දැකීම හා ශබ්දයි (ඇස හා කන). ඊට අමතරව ඉතා සුලු වශයෙන් රස (දිව), ගන්දය (නාසය), විවිධ දැනීම් (ශරීරය) පවා සන්නිවේදන ක්‍රියාවලියට යොදා ගත හැකියි. මේ අනුව පංච ඉන්ද්‍රියම සන්නිවේදන කාර්යට යොදා ගන්න බව පැහැදිලියි නේද?

මානව සන්නිවේදනය නිසා තමයි මෙතරම් දියුණුවක් ලොව තුල දක්නට ලැබෙන්නේ. ඉන් දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නට හැකි වූවා. මෙම මානව සන්නිවේදනයේ කඩඉම් ගණනාවක්ම තිබෙනවා. මුල්ම කාලයේ මිනිසුන් අතින් පයින්, රූපවලින්, හා රඟදැක්වීම් වලින් සන්නිවේදනය කළා. එය පළමු කඩඉමයි. ඉන්පසු කටින් ශබ්ද නිකුත් කරමින් වාචික සන්නිවේදනය (verbal communication) ඇරඹීම විශාල විප්ලවයකි.






මෙමඟින් ක්‍රමයෙන් සිංහල, ඉංග්‍රිසි ආදී මානව භාෂාවන් ගොඩනැඟුනි. පසුව එය ලිඛිත භාෂාව දක්වා දියුණු විය. එමඟින් දැනුම සංරක්ෂණය කිරීමට මඟ පෑදුණි (දැනුම ලියා තැබිය හැකි නිසා). ගූට්න්බර්ග් (Gutenberg) විසින් මුද්‍රන යන්ත්‍රය සොයා ගැනීම නිසා වේගයෙන් ලිඛිත දැනුම සංසරණය වන්නට පටන් ගත්නා (යුරෝපයේ පුනුරුදය ඇතිවීමට ප්‍රබල සාධකය වූයේ මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමයි).

දෙදෙනෙකු සමීපව සන්නිවේදන කිරීමට අමතරව විශාල දුරකට සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව මතුවිය. එවිට ඈත සිටින කෙනෙකුට මෙන්ම බොහෝ පිරිසකට එකවර යම් අදහසක් කියාපෑමට හැකි වෙනවානෙ. මිනිස් කටින් එතරම් විශාල ශබ්දයක් ඇති කිරීමට අපහසුය. තරමක් හෝ සැරට ශබ්දයක් ඇති කළ හැකි වූයේ හූව වැනි තනි ශබ්දයකිනි. එනිසා ඈතට සන්නිවේදනය කිරීමට හූව යොදා ගත්තා. ඊට අමතරව බෙර ශබ්ද, ඝන්ටාර ශබ්ද, නලා ශබ්ද වැනි දේද යොදා ගත්තා. මීට අමතරව, ගිනි දැල්වීම්, කොඩියක් ලෙලදීම වැනි සරල සන්නිවේදන ක්‍රම යොදා ගත්තා. එහෙත් මෙවැනි ප්‍රාථමික සන්නිවේදන ක්‍රමවලින් විතරක් සංකීර්ණ අදහස් ප්‍රකාශ කළ නොහැකියිනෙ.

විශාල දුරකට සන්නිවේදනය කිරීමට යම් යම් පණිවුඩ පරවියන්ගේ කකුලේ ගැට ගසා යවා තිබේ. එහෙමත් නැතිනම් වේගයෙන් දුවන මිනිසෙකු අතේ හෝ අශ්වයෙකු පිට නැඟි මිනිසුන් අතේ පණිවුඩ යවා ඇත. එහෙත් පොදු මහජනයාට දුරකට විශ්වාසනීයවත් පහසුවෙනුත් ලාභෙටත් පණිවුඩ යැවීමට සෑදූ ඉතාම වැදගත් සන්නිවේදනය සේවාව වූයේ තැපැල් (post හෝ mail) සේවයයි. තැපෑලේ ආරම්භය ඊජිප්තුවේ පාරාවෝ රජ කාලය දක්වා විහිදී යයි. එය අදටත් භාවිතාවේ තිබේ. සෑම පුද්ගලයකුටම (නිවසකටම) ලිපිනයක් ලබා දී, එකිනෙකාට ලියුම් මඟින් සන්නිවේදනය කිරීමට ඉන් මඟපෑදුනි. අද වන විට, සාමාන්‍ය තැපැල්, ලියාපදිංචි තැපැල් (registered post), ටෙලිග්‍රෑම්, පාර්සල් තැපැල්, කූරියර් සේවා ආදී ලෙස විවිධ සේවාවන් තැපෑල හරහා සිදු වේ.

ඉහත එකදු ක්‍රමයක්වත් වේගවත් නොවීය. ක්ෂණිකව සන්නිවේදනය කිරීමට හැකියාව ලැබුණේ විදුලිය සන්නිවේදනය සඳහා යොදා ගැනීමත් සමඟයි. විදුලිය යොදාගෙන කරන සන්නිවේදනය විදුලි සන්නිවේදනය හෙවත් විදුලි සන්දේශ (telecommunication) ලෙස හැඳින්වේ (ඉංග්‍රිසි වචනයෙහි tele- යන උපසර්ගයේ තේරුම “දුර සිට” යන්නයි; telephone, television ආදී තැන්වලද එම තේරුම ඇතිවයි යෙදී තිබෙන්නේ). මානව සන්නිවේදනයේ යෝධ පිම්ම විදුලි සන්දේශවල ඇරඹුමයි.

වයර් ඔස්සේ විදුලිය කිලෝමීටර් සිය දහස් ගණනක් දුරට වුවද රැගෙන යා හැකිය. තවද, වයරය කොතරම් දිගු වුවත් ක්ෂණිකව විදුලිය එක් කොනක සිට අනෙක් කොනට ගමන් කරනවානෙ. ඉතිං මෙම ලක්ෂණය දුටු අය ඉන් පණිවුඩ යැවීමට හැකි බව දුටුවා. උදාහරණයක් ලෙස, පහත දැක්වෙන ඉතා සරල විදුලි පරිපථය බලන්න. මෙහි ස්විචය ඔබේ නිවසේද, බල්බය කිලෝමීටර් 100ක් ඈත නිවසකද තිබෙනවා යැයි සිතමු. දැන් ඔබ ස්විචය ඔන් ඕෆ් කරන විට, බල්බය දැල්වේවි; නිවේවි. ඉතිං මෙමඟින් සරල පණිවුඩයක් යැවිය හැකියි නේද? බල්බය නිවන විට, ඉන් එක් පණිවුඩයකුත් (උදාහරණයක් ලෙස “සෙල්ලම් කරන්න” යන පණිවුඩය), දල්වන විට තවත් පණිවුඩයකුත් (“සෙල්ලම් කරන්න එපා”) සංඛේතවත් කළ හැකියි.




ඉහත මා “සංඛේතවත් කරනවා” යන වචනය භාවිතා කළේ විශේෂයක් එහි තිබෙන නිසාය. බල්බයක් නිවීම හෝ පත්තුවීම යනු නිකංම නිකං සිද්ධි දෙකකි; පොල් ගෙඩියක් වැටෙනවා, හුලං හමනවා, හූනෙකු චික් චික් ගානවා වැනි සිද්ධි දෙකකි. මෙවැනි හුදු සිද්ධිවල ස්වභාවයෙන්ම පනිවුඩ නැත (සමහර මෝඩ මිනිසුන් නම් හූනකුගේ ශබ්දය වැනි අහඹු හුදු සිද්ධිවලින් මිත්‍යා පනිවුඩ දකිනවා). එහෙත් අපට එවැනි සමහර සිද්ධිවලින් කෘත්‍රිමව පනිවුඩ යැවිය හැකියි. අපට ඕන පනිවුඩ යැවීමට නම් එම සිද්ධින් අපට ඕන විදියට හැසිරවිය හැකි විය යුතුයිනෙ. එනිසා පොල් වැටීම, හූනා ශබ්ද කිරීම වැනි සිද්ධි අපට ඍජුවම පාලනය කළ නොහැකි සිදුවීම් නිසා පණිවුඩ යැවීම සඳහා ඒවා යොදා ගත නොහැකි අතර, බල්බයක් ඔන් ඕෆ් කිරීම වැනි අපට කැමති කැමති ලෙසට සිදු කළ හැකි සිදුවීම් මේ සඳහා යොදා ගත හැකියි. ඉතිං මෙවැනි සිද්ධි යම් පණිවුඩ සමග “ගැට ගැසීම” (එනම් එවැනි සිද්ධියකින් නිශ්චිත පණිවුඩයක් නිරූපණය කිරීම) “සංඛේතවත් කිරීමක්” වේ. එය තාක්ෂණයේදී කේත කිරීමක් (encoding හෝ coding) ලෙස හැඳින්වේ. ඔබට රිසි සේ වෙනස් කළ හැකි (හැසිරවිය හැකි) ඕනෑම ගති ගුණයකට මෙලෙස යම් යම් නිශ්චිත පනිවුඩ ආරෝපනය කළ හැකිය (කේත කළ) හැකිය. උදාහරණයක් ලෙස, අත ඉහලට ඔසවන විට “එපා” යන පනිවුඩය කේත කළ හැකිය.

ඉතිං, විදුලි කම්බියකින් ඉහත ආකාරයට යම් සරල පනිවුඩයක් කේත ක්‍රමයක් හරහා යැවීමට හැකි වූවා. මේ ගැන තව දුරටත් සිතන විට පෙනුනා ඕනෑම ලිඛිත සංකීර්ණ පනිවුඩයක් වුවද මෙම ක්‍රමයෙන් යැවිය හැකි බව. මේ සඳහා විවිධ අය විවිධ අලුත් ක්‍රම අත්හදා බලන්නට ඇති. ඉන් අතිසාර්ථක වූ අදටත් යොදා ගන්නා ක්‍රමයක් බලමු. ඉහත බල්බය සහිත පරිපථයම උදාහරණය සඳහා ගමු.

බල්බය එක් තත්පරයක් දල්වා සිටීම හා බල්බය තත්පර 3ක් දල්වා සිටීම යන අවස්ථා දෙක ගමු. මේ දෙක අතර වෙනස තත්පර දෙකක් නිසා, ඒ දෙක අතර වෙනස ඉතා හොඳින් දැනෙනවානේ. එකක් තත්පරයකුත්, අනෙක තත්පර 1.25 ලෙස ගතහොත් මේ දෙක වෙන් කොට හඳුනාගැනීමට අපහසු බව අමුතුවෙන් කිව යුතු නැහැ. මින් කෙටි කාලයක් බල්බය දල්වා සිටීම “කෙටි” හෝ “ලඝු” හෝ “ඩි (di)” හෝ වෙනත් කුමක් හෝ නමකින් හඳුන්වමු. එලෙසම, දිගු කාලයක් බල්බය දල්වා සිටීම “දිගු” හෝ “ගුරු” හෝ “ඩා (da)” හෝ වෙනත් එවැනි නමකින් හඳුන්වමු. මේ දෙක වෙන් කොට හඳුනාගැනීමටයි අවශ්‍යතාව වන්නේ. අපි මෙතැන් සිට ඩි හා ඩා යන ශබ්ද දෙක මෙම අවස්ථා දෙක වෙන් වෙන්ව හඳුනාගැනීම සඳහා යොදා ගමු.

අපි පනිවුඩය යවන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් යැයි උපකල්පනය කරමු. එවිට ඉංග්‍රිසි හෝඩියේ අකුරු 26ක් තිබේ. ඊට අමතරව 0 සිට 9 දක්වා ඉලක්කම් 10ක්ද තිබේ. ඊටත් අමතරව නැවතීමේ තිත, කමාව වැනි විරාම ලකුණුද 10ක් පමණ තිබේ. මේ සියල්ලම එකතු කළ විට, විවිධ අක්ෂර/සංඛේත 50ක් පමණ තිබේවි. දැන් කරන්නට තිබෙන්නේ ඉහත ඩි හා ඩා යන දෙකෙන් මෙම අක්ෂර කේත කරන්නයි. උදාහරණයක් ලෙස අක්ෂර කිහිපයක් සඳහා මා එවැනි කේත (codes) කිහිපයක් පහත ආකාරයට සාදනවා.

A – di da T – da E – di K – da di da 1 – di da da da da 2 – di di da da da

මෙලෙස සියලු අක්ෂර 50 සඳහාම එකිනෙකට වෙනස් කේත සාදා ගන්නවා. දැන් ඔබට K අකුර යැවීමට අවශ්‍ය නම් කරන්නේ, ස්විචය තත්පර 3ක් ඔන් කර සිට, ඉන්පසු තත්පර 1ක් ඕෆ් කර, නැවත තත්පර 3ක් ඔන් කර සිටීම නේද? මෙවිට එහා පැත්තේ සිටින කෙනා එය ඩා-ඩි-ඩා යනුවෙන් සටහන් කර ගනීවි. මෙම ඩා-ඩි-ඩා කේතයෙන් K අකුර සංඛේතවත් කරන බව මතකයෙන් හෝ මෙම කේත සහිත කොලය/වගුව බැලීමෙන් තේරුම් ගනීවි. මේ ආකාරයට අප සාමාන්‍යයෙන් ලිපියකින් අපට අවශ්‍ය දේ ලියා කෙනෙකුට යවන්නා සේම පණිවුඩ යැවිය හැකියි නේද? උදාහරණයක් ලෙස TEK යන වදන යැවීමට අවශ්‍ය වූ විට, da di da-di-da යනුවෙන් කේත යැවිය යුතුයි.

ටෙලිග්‍රාෆ්

මෙම ක්‍රමයෙන් ඕනෑම භාෂාවක හෝඩියක් කේත කළ හැකියි පහසුවෙන්ම. යවන කෙනාත් එම පණිවුඩය ලබන කෙනාත් එම කේත දන්නේ නම්, පණිවුඩය තේරුම් ගැනීමට හැකියි. ඒ අනුව විදුලි වයර් දිගේ මෙවැනි කේත ක්‍රමයකට පනිවුඩ යැවීම ආරම්භ විය. විවිධ අය විවිධ කේත හඳුන්වා දෙන්නට ඇති. මෝර්ස් හා ඔහුගේ හවුල්කරුවාද මෙවැනි කේත ක්‍රමයක් හඳුන්වා දුන් අතර, අනෙක් කේත ක්‍රම පරදවා මෙම මෝර්ස් සංඥා/කේත ක්‍රමය ප්‍රචලිත විය. ඉහත පැවසූ ආකාරයට වයර් දිගේ ස්විචයක් ඔන් ඕෆ් කර කේත ක්‍රමයෙන් පනිවුඩ යැවීමේ තාක්ෂණය ටෙලිග්‍රාෆ් (Telegraph) ලෙස හැඳින්වේ. තවද, පසුකාලයේ පරිගනක තාක්ෂණයටත් මෙවැනි කේත ක්‍රම අවශ්‍ය වූ අතර, ASCII, Unicode වැනි නම්වලින් හැඳින්වෙන්නේ ඉන් අද පරිගනක සඳහා බහුලවම භාවිතා කෙරෙන කේත ක්‍රම දෙකයි.

ඉහත උදාහණයේදී මා සංඥා නිරූපණය සඳහා බල්බයක් යොදා ගත්තත්, ඇත්තටම ටෙලිග්‍රාෆ්වල යොදා ගත්තේ ස්පීකරයකි (එහි කෙටි “නික්” වැනි ශබ්දය ඩි නිරූපණය කළ අතර, දිගු “නී...ක්” වැනි ශබ්දය ඩා නිරූපණය කළා). ඔන් ඕෆ් කරන ස්විචය Morse code key හෝ keyer යනුවෙන් නම් කළා. ඉතිං ස්පීකරයක් හා මෝර්ස් කෝඩ් කී එකක් භාවිතයෙන් දැන් සන්නිවේදනය කිරීමට හැකියි. අනෙක් පැත්තේ එවන පනිවුඩය ස්පීකරයෙන් ඇහුම්කන් දී තේරුම් ගත යුතුය. තමන්ගේ පනිවුඩය අනෙක් කෙනාට කී එක එබීමෙන් යැවිය යුතුය (තත්පරයක් ඔබා ගෙන සිටි විට ඩි ද, තත්පර 3ක් ඔබාගෙන සිටි විට ඩා ද ඇති වේ).


කෙනෙකුට සිතිය හැකියි ඩි හා ඩා යනුවෙන් වෙනස් සංඥා දෙකක් වෙනුවට ඩි, ඩා, ඩෝ ආදී ලෙස ශබ්ද 3ක් යොදා ගත්තා නම් හොඳයි නේද කියා. එලෙසම ශබ්ද 4ක්, හෝ 5ක් හෝ 100 ක් හෝ න්‍යායාත්මකව යොදා ගැනීමේ කිසිදු ගැටලුවක් නැත. එහෙත් ප්‍රායෝගික ගැටලු මතු වේ. ඉන් එක් ගැටලුවක් නම්, වෙනස් වෙනස් සංඥා 3ක් හෝ වැඩි ගණනක් යොදා ගත් විට, එම සංඥාවලින් සාදා ගන්නා කේත මතක තබා ගැනීම ඉතා සංකීර්ණ වීමයි (සංඥා දෙක මතක තබා ගන්නෙත් බොහෝ පුරුදු පුහුණු වෙලාය; ඉතිං සංඥා තවත් තිබුණොත් මෙම ක්‍රමය අසාර්ථක වන්නට තිබුණා).

ඍජුවම දෙදෙනෙකු අතර මෙලෙස ටෙලිග්‍රාෆ් සම්බන්ධතාවක් ඇති කළ හැකියි. රට පුරාම ටෙලිග්‍රාෆ් ජාල (telegraph network) ඇති විය. ඉන්පසු එක් එක් රටවල පවතින ජාලත් එකට එකතු කළා (එමඟින් රටවල් අතර සන්නිවේදනය ඇති වූ අතර, ඒ සමගම නීති ප්‍රශ්න ඇති වූ බවත් ඒවා නිරාකරණය කිරීමට ITU පිහිටවූ බවත් පෙර අවස්ථාවක අප ඉගෙන ගත්තා). දෙදෙනෙකු අතර පමණක් නොව, ස්ථාන සිය ගණනක් අතර සම්බන්ධතා ඇති විය. මෙහිදී යම් ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ. එනම්, ස්වභාවයෙන්ම ටෙලිග්‍රාෆ් ක්‍රමය වැඩ කරන්නේ ස්ථාන දෙකක් අතරයි (එක් කෙනෙක්ගේ පනිවුඩය අනෙක් කෙලවරින් ඇසේ). ඒ අනුව, විවිධ ස්ථාන කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන විට, ටෙලිග්‍රාෆ් යන්ත්‍ර විශාල ගණනක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස, ඔබ තවත් A, B, C යන ස්ථාන 3ක් අතර ටෙලිග්‍රාෆ් ජාලයක් ඇති කරන්නට හදනවා යැයි සිතමු. ඉතිං ඔබත් A ත් අතර තනි සම්බන්ධතාවක් තිබේවි. මෙලෙසම ඔබත් B ත් අතරත්, ඔබත් C ත් අතරත් එවැනිම තනි සම්බන්ධතා තිබේවි. එවිට ඔබේ කාමරයේ මෝර්ස් කී 3ක් තිබේවි. අනෙක් අය ගැනත් එසේමයි. එකිනෙකට සම්බන්ධ වන පිරිස වැඩි වෙත්ම ඔබේ කාමරයේ සිය ගණනක් ටෙලිග්‍රාෆ් යන්ත්‍ර තිබේවි. මීට අමතරව, දෙදෙනකු අතර වෙන වෙනම වයර් ඇදීමට සිදු වී විශාල වයර් තොගයක්ද අවශ්‍ය වේවි. සිතා බලන්න කිලෝමීටර් සිය දහස් ගණනක් දුරට මෙලෙස වයර් කොතරම් අවශ්‍ය වේවිද? මෙය අතිශය වියදම් අධික ක්‍රමයකි.



එහෙත් මීට හොඳ විසඳුමක් ලැබුණි. සෑම දෙදෙනකු අතරම ඒ දෙදෙනාට පමණක් වෙන් වූ (dedicated) වයර් ලයින් යුගලක් හෙවත් සම්බන්ධතාවක් (connection) වෙනුවට ජාලයේ සියලුම දෙනා එකම වයර් යුගලට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ සියලු දෙනාම එකම වයර් ජෝඩුව භාවිතා කරනවා (shared). දැන් වයර් භාවිතා කරන ප්‍රමාණය ඉතාම අවම වන අතර, සියලු දෙනා සමඟම සන්නිවේදනය කිරීමට එක් ටෙලිග්‍රාෆ් යන්ත්‍රයක් පමණක් ඔබේ නිවසේ තිබීම ප්‍රමාණවත්ය.


අද ලෝකයේ විවිධ නම්වලින් යුතු ටෙලිෆෝන් ජාල තිබෙන්නා සේ, ඒ කාලයේ මෙවැනි ටෙලිග්‍රාෆ් ජාල පැවතුනි. යම් ජාලයක සිටින සියල්ලන්ම එකම ලයින් එකට සම්බන්ධ කළ නිසා, පෙර නොවූ ගැටලුවක් දැන් ඇති වේ. එනම්, එක් කෙනෙකු යවන පනිවුඩයක් ජාලයට සම්බන්ධ අනෙක් සියලු දෙනාටම යැවේ (ඇසිය හැකියි). එය රහස්‍යභාවයට ගැටලුවක් වුවත්, මූල්‍යමය අතින් මෙම ක්‍රමය වාසිදායක විය. පනිවුඩය කාටද, පනිවුඩය එවන්නේ කවුද යන කරුණු දෙක දැනගැනීමට අවශ්‍යයිනෙ. මේ සඳහා සෑම ටෙලිග්‍රාෆ් යන්ත්‍රයකටම අනන්‍ය නමක්/කේතයක්/අංකයක් ලබා දුන්නා. අද අපි ටෙලිෆෝන් අංකය යනුවෙන් හඳුන්වන දේ ආරම්භය මෙම කේතය තමයි. එවිට, යම් පනිවුඩයක් යැවීමට අවශ්‍ය වූ විට, පළමුව එය ලබන කෙනාගේ කේතය යවනවා. එවිට, මෙම පනිවුඩය ජාලයේ සියලු දෙනාටම යැවෙනවා. ඒ අතරින් මෙම කේතය හිමි කෙනා හැර අනෙක් අය මෙම එවන්නට යන පනිවුඩය නොසලකා හරිනවා. ඉන්පසු මෙම පනිවුඩය එවන කෙනාගේ කේතයද යවනවා. මෙමඟින් වැරදි තොරතුරු ගලා යෑම වලකින අතර, පනිවුඩයේ විශ්වාසනීයත්වය වැඩි වෙනවා (ඊටත් අමතරව, ගිනුම් තැබීමටද එය උදව් වෙනවා). ඉන්පසුවයි පනිවුඩය යවන්නේ. පනිවුඩය අවසානයේ දැන් පනිවුඩය අවසන් බවද දන්වනවා. එතෙක් වෙන කිසිම කෙනෙක් මෙම ජාලයට පනිවුඩ මුදා හරින්නේ නැත.

ටෙලිෆෝන්

අක්ෂර යැවීමට අමතරව කඩහඬද යැවීමට මිනිසුන් උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලිග්‍රාෆ් ලයින් හරහා කඩහඬද යැවීමට ක්‍රම කිහිප දෙනෙකුම සාර්ථකව අත්හදා බැලුවා. ඒ අතරින් ග්‍රැහැම්බෙල් ප්‍රමුඛ වෙනවා. මෙම සන්නිවේදන ක්‍රමය ටෙලිෆෝනය (telephone) යන නමින් කරලියට ආවා (කුමාරතුංග මුනිදාස විසින් ඊට දුරකතනය යන සිංහල නම හඳුන්වා දුන්නා). මෙය ටෙලිග්‍රාෆ් ක්‍රමයට වඩා ඉතාම ප්‍රචලිත විය. ටෙලිග්‍රාෆ් යන්ත්‍ර සාමාන්‍ය නිවස්වල භාවිතා කළේ නැත. ඊට හේතු වූයේ මෝර්ස් ක්‍රමයෙන් පනිවුඩ යැවීමට තිබූ අපහසුවත්, රහස්‍යභාවය අවම වීමත්, මේ වන විට සන්නිවේදන තාක්ෂණය මිල අධික වීමත්ය. එහෙත් ටෙලිෆෝන් තාක්ෂණය මේ සියලු බාධක ජය ගෙන සාමාන්‍ය නිවාස දක්වාම පැතිරුණා. අවසානයේ ටෙලිග්‍රාෆ් සේවාව අත් හැර දමා ටෙලිෆෝන් සේවාව ඉතිරි වූවා. එසේ වුවත්, ටෙලිෆෝන් යනු ටෙලිග්‍රාෆ්වලම දියුණු අවස්ථාවක් ලෙස සැලකීමට හැකියි. සාමාන්‍ය රැහැන් දුරකතන සේවාව PSTN (Public Switched Telephone Network) යන තාක්ෂණික නාමයෙන්ද අද හැඳින්වේ.

කඩහඬ හෝ වෙනත් ඕනෑම ශබ්දයක් මයික්‍රෆෝනයකින් විදුලි සංඥාවක් බවට පත් කරනවා. මෙම විදුලි සංඥාව වර්ධනය කර වයර් දිගේ ඉතා ඈතට ගමන් කරවා, අනෙක් පැත්තේ ස්පීකරයකින් පිට කිරීම තමයි මූලිකවම ටෙලිෆෝනයකින් සිදු වන්නේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඍජුවම ටෙලිෆෝන් ලයින් අදින්නේ නැත එය වියදම් අධික ක්‍රමයක් නිසා (මේ ගැන ඉහත ටෙලිග්‍රාෆ් ජාල ගැන කතා කරන විට අප ඉගෙන ගත්තා). එහෙත් ටෙලිග්‍රාෆ් ජාලයේදී මෙන් සියලුම ටෙලිෆෝන් ලයින් එකට ෂෙයාර් කරන්නේද නැත මොකද ඉන් රහස්‍යභාවය නැති වෙනවානේ (ඔබයි තව කෙනෙකු අතර සිදුවන දුරකථන සංවාදය අනෙක් අය අසාගෙන සිටීවි). ඉතිං ටෙලිෆෝන් ජාලය ක්‍රියාත්මක වන්නේ තරමක් වෙනස් ආකාරයකටයි.

යම් ප්‍රදේශයක දුරකතන පහසුකම තිබෙන සියලුම නිවාසවලට ටෙලිෆෝන් යන්ත්‍රයක් බැඟින් ඇති අතර, එම යන්ත්‍රයේ සිට වයර් දෙකක් එම ප්‍රදේශයේ ඇති දුරකතන සේවා සපයන කාර්යාලයකට සම්බන්ධ කෙරේ. මෙම කාර්යාලය ටෙලිෆෝන් හුවමාරුව (exchange) හෝ මධ්‍යම කාර්යාලය (central office – CO) ලෙස හැඳින්වේ. සෑම නිවසකම සිටම මෙම හුවමාරුවට වෙන වෙනම වයර් ඇදේ (වර්තමානයේ නම් මීටත් වඩා දියුණු ලාභ ක්‍රම අනුගමනය වන බවද සිහිතබා ගන්න). මේ සෑම දුරකතන සම්බන්ධතාවකටම අනන්‍ය වූ අංකයක් (දුරකතන අංකය) ලැබේ.


දැන් ඔබට මෙම ප්‍රදේශයේම තවත් කෙනෙකුට දුරකතන ඇමතුමක් ලබාදීමට අවශ්‍ය වූ විට, ඔබ කරන්නේ ඔබේ දුරකතනය එසවීමයි. එවිට, හුවමාරුවේ සිටින කෙනාට (exchange operator) ඒ බැව් දර්ශනය වෙනවා (බල්බයක් දැල් වීමෙන්). ඇය කරන්නේ එම බල්බය දැල්වෙන සම්බන්දතාවට (ඒ කියන්නේ ඔබේ දුරකතන සම්බන්දතාවේ අනෙක් කෙලවරට) ඇහුම්කන් දී ඔබට කතා කරන්නට අවශ්‍ය කාටද කියා ඇසීමයි. එවිට ඔබ අනෙක් කෙනාගේ නම්බරය ඇයට කියාවි. ඇය එවිට එම නම්බරයට අදාල තැනට ඔබේ දුරකතන ලයින් එක සම්බන්ධ කරාවි (ඔබ ටීවී එකට ඇන්ටනා වයරය ජැක් එකකින් සම්බන්ධ කරනවා වාගේ, ඇය ඔබේ ටෙලිෆෝන් වයරය අදාල අංකය සහිත වයරයට සම්බන්ද කරනවා). දැන් දෙදෙනාට දුරකතන සංවාදයේ යෙදිය හැකිය.


තාක්ෂණය දියුනු වූ විට, අතරමැදි ඔපරේටර් වෙනුවට පරිගණක යන්ත්‍ර ඒ සඳහා යෙදවිනි. එනිසා අද වන විට, ඔබට ඍජුවට අවශ්‍ය කෙනාගේ දුරකතන අංකය ඔබා (dialling) ඔහුට ඇමතිය හැකියි. එක් හුවමාරුවක් තුල සිටින දෙදෙනකු අතර සිදුවන දුරකතන සංවාදයක් ප්‍රාදේශික ඇමතුමක් (local call) ලෙස සැලකූ අතර, එවැනි ඇමතුමක ගාස්තු අඩුය. මෙලෙස රටපුරා විවිධ ප්‍රදේශවල හුවමාරු බිහි විය. එම හුවමාරුද එකිනෙකට සම්බන්ධ කළ අතර, හුවමාරු අතර ඇති කළ මෙම සම්බන්ධතා trunk lines ලෙස හැඳින්වේ. දැන් ඔබට පුලුවන් ඔබේ ප්‍රදේශයේ හුවමාරුවේ නොවන වෙනත් හුවමාරුවක සිටින කෙනෙකුට වුවද කතා කරන්නට. මෙවැනි ඇමතුම් දුරස්ථ ඇමතුම් (long distance call) ලෙස හඳුන්වන අතර, ඒවායේ ගාස්තුව වැඩිය.


ට්‍රන්ක් ලයින් විශාල දුරවල් ගමන් කරනවා. එනිසා වියදම අඩු කර ගන්නට, වයර් පුලුවන් තරම් අඩුවෙන් යොදන්නටයි උත්සහ කරන්නේ. උදාහරණයක් ලෙස, කොළඹ හුවමාරුවක සිට යාපනයේ හුවමාරුවකට ට්‍රන්ක් ලයින් 5ක් ඇතැයි සිතන්න. ඒ කියන්නේ කොළඹ හා යාපනය අතර එකවරකට උපරිම කෝල් 5ක් පමණයි පවත්වාගෙන යා හැක්කේ. යම් මොහොතක යාපනයත් කොළඹත් අතර දුරකථන සංවාද 5ක් එකවර සිදු වෙනවා යැයි සිතමු. යාපනයේ සිටන අයකු දැන් කොළඹ සිටින අයෙකුට කෝල එකක් ගන්නට හැඳුවොත් ලයින් එක කාර්ය බහුල (line busy) බව හඟවනවා. එහෙත් මෙම කාර්යබහුල බව අනෙක් කෙනා දැනටමත් කෝල් එකක සිටින නිසා ඇති වූ කාර්යබහුල වීමක් නොවේ. මෙය ට්‍රන්ක් ලයින් එක බිසී වීමකි. සාමාන්‍යයෙන් ට්‍රන්ක් ලයින් එක නිතර නිතර කාර්යබහුල වේ නම්, එය ටෙලිෆෝන් සේවා සපයන ආයතනය විසින් අමතර ට්‍රන්ක් ලයින් ඇද නිරාකරණය කළ යුතුය. ඉඳහිට ට්‍රන්ක් ලයින් බිසී වීම ගැටලුවක් නොවේ.

මෙම ට්‍රන්ක් ලයින් බිසී වීම අවුරුද්දක් උදාවන අවස්ථාව, සුනාමි හෝ බෝම්බ පිපිරීමක් වැනි ව්‍යසනයක් සිදු වී මුල් පැය කිහිපය තුල වැනි අවස්ථාවල ඔබ අත් දැක ඇති (කෝල් ගන්නට බැරිය). මෙවැනි අවස්ථාවක දුරකතන සේවා “ෆුල් බිසී” වේ. බොහෝ දෙනා කෝල් ගැනීම ඊට හේතුවයි. බොහෝවිට මෙවැනි ආපදා කළමණාකරණය කරන අයටද අවශ්‍ය කටයුතු කර ගැනීමට සන්නිවේදනය කටයුතු කිරීමට මින් බැරි වෙනවා. මෙවැනි ආපදා කළමණාකරණය කරන ආයතන සඳහා ඔවුන්ටම වෙන් වූ සන්නිවේදනය පහසුකම් සලසා දී තිබෙන්නේ එනිසාය. මෙලෙස පොලිසිය, හමුදාවන්ට පමණක් වෙන් වූ රේඩියෝ තරංග කලාප තිබේ. මීටත් අමතරව, ඇමරිකාව වැනි රටවල ආධුනික ගුවන් විදුලි ශිල්පින්ගේ සහයත් මෙවැනි සන්නිවේදනය ඇනහිටි අවස්ථාවල යොදා ගන්නවා. ඊට හේතුව ආධුනික ගුවන් විදුලි ශිල්පින්ට වෙන් කර තිබෙන රේඩියෝ තරංග පරාස එලෙස කාර්යබහුල නොවන අතර, යම් හෙයකින් කාර්යබහුලව තිබුණත් හදිසි අවස්ථාවක එම සියලු සාමාන්‍ය සන්නිවේදන කටයුතු නතර කර ආපදා තත්වයට ප්‍රමුඛතාව දෙන නිසාය.

යම් රටක් තුල ඉහත කතා කළ ආකාරයට රැහැන් දුරකතන (wireline telephones) සපයන සේවා ආයතන එකක් හෝ කිහිපයක් තිබිය හැකිය. ලංකාවේ නම් එදා සිට අදටත් රැහැන් දුරකතන සේවා සපයන්නේ එකම ආයතනයක් විසිනි (ශ්‍රී ලංකා ටෙලිකොම් - SLT). ආයතන එකක් තිබ්බත් කිහිපයක් තිබුණත්, සෑම දුරකතන සේවා ලාභියෙකුටම අනන්‍ය ටෙලිෆෝන් අංකයක් ලබා දිය යුතුය. සාමාන්‍යයෙන් රට විශාල නම්, මුලු රටම කුඩා කලාප කිහිපයකට බෙදා ඒ එක් එක් කලාපයට ඉලක්කම් 2කින් හෝ 3කින් යුතු ප්‍රාදේශික කේතයක් (area code) ලබා දේ (රට කුඩා නම් මුලු රටම එක් කලාපයක් ලෙස සලකනවා). උදාහරණයක් ලෙස, ලංකාව තුල, කොළඹ හා ඒ ආශ්‍රිත පෙදෙස 011 යන කෝඩ් එකෙන්ද, ගම්පහ හා ඒ ආශ්‍රිත පෙදෙස 033 යන කෝඩ් එකෙන්ද, නුවර හා ඒ ආශ්‍රිත පෙදෙස් 081 යන කෝඩ් එකෙන්ද දක්වනවා. මෙලෙස සෙසු කලාපවලටද ඒරියා කෝඩ් ඇත. දැන් එම එක් එක් කලාපයක තිබෙන සෑම දුරකතන සම්බන්දතාවකටම ඉලක්කම් 7කින් යුතු නම්බරයක් (serial number) ලබා දේ (එවිට සම්පූර්ණ ටෙලිෆෝන් අංකය ඉලක්කම් 10කින් යුතුය). ලංකාවද ඇතුලු බොහෝ රටවල් මෙවැනි ඉලක්කම් 10කින් යුතු ටෙලිෆෝන් අංක ක්‍රමය (telephone number plan) භාවිතා කළත්, සමහර රටවල ටෙලිෆෝන් අංකයේ ඉලක්කම් ගණන කලාපයෙන් කලාපයට වෙනස් වේ (බ්‍රිතාන්‍යයේ මෙන්ම ඉස්සර ලංකාවේද පැවතුනේ එම ක්‍රමයයි).

ඉතිං මෙලෙස සෑම රටක්ම තමන්ගේ රට තුල අනන්‍ය ටෙලිෆෝන් අංක ලබා දී තිබෙනවා. දැන් තනි තනි රටවල් එකිනෙකට සම්බන්ද කිරීමේදී අංකවල මෙම අනන්‍යතාව එලෙසම පවත්වාගෙන යෑමට නම්, සෑම රටකටමත් කෝඩ් එකක් (country code) ලබා දීමට සිදු වූවා. මෙම කන්ට්‍රි කෝඩ් ලබා දෙන්නේ ITU විසිනි. සෑම රටකටම මෙලෙස කෝඩ් එකක් ලබා දීමේදී ක්‍රමවත් බවක් තිබෙනවා (පහත රූපය බලන්න).


එනම් උතුරු ඇමරිකානු මහද්වීපයේ රටවල් (ඉහත රූපයේ නිල් පාට පෙදෙස්) 1 න්ද, දකුණු මහද්වීපයේ රටවල කන්ට්‍රි කෝඩ් එක 5න්ද ආදී ලෙස පටන් ගනී. එක් එක් මහද්වීපය/කලාපය තුල රටවල් බොහෝ ගණනක් බැඟින් තිබෙන නිසා, බොහෝවිට මෙම ඉලක්කමට පසුව තවත් ඉලක්කම් එකක් හෝ දෙකක් යොදන්නට සිදු වෙනවා. උදාහරණයක් ලෙස, ආසියානු කලාපය තුල රටවල් බොහෝ ගණනක් තිබෙන නිසා, එම කලාපයේ රටවලට ලැබෙන සියලු කෝඩ් 91, 94, 974 ආදී ලෙසයි තිබෙන්නේ. ලංකාවට ඒ අනුව 94 යන කේතය ලැබී තිබේ.

එක් රටක සිට තවත් රටකට ලබා ගන්නා ඇමතුම් ජාත්‍යන්තර ඇමතුම් (international call) ලෙස හැඳින්වෙන අතර, එහි ගාස්තු තීරණය වන්නේ රටවල් දෙක (හා එම රටවල සිටින ටෙලිෆෝන් සේවා සපයන ආයතන) අතර ඇති කර ගන්නා ගිවිසුම් මතයි. ඒ අනුව සෑම රටවල් දෙකක සිටින එක් එක් දුරකතන සේවා ආයතන (Telephone Service Provider – TSP) අතරම එවැනි ගිවිසුම් තිබේ. මෙලෙස ගිවිසුම් ඇති කර ගැනීම බරපතල හා වියදම් අධික කාරණයකි. එනිසා රටක් තුල සිටින සමහර (විශේෂයෙන් කුඩා) දුරකතන සේවා සපයන ආයතන මෙවැනි අන්තර්ජාතික ගිවිසුම් ගසන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ, එම රටේ දැනටමත් එවැනි ගිවිසුම් ගසාගෙන සිටින (විශාල) දුරකතන සේවා ආයතනයක් සමග එක් දේශීය ගිවිසුමකට එළඹීමයි. මෙමඟින් තම ජාලයේ සිටින කෙනෙකුට ජාත්‍යන්තර ඇමතුමක් ගන්නට අවශ්‍ය වූ විට, අනෙක් සේවා සපයන්නාගේ ජාලය හරහා එය ඉටු කර ගත හැකියි. හැබැයි මෙහිදී තරමක වැඩි ගාස්තුවක් ගෙවීමට සිදු වේ (නැතහොත් තමන්ගේ සේවාලාභියා වෙනුවෙන් එම අමතර වියදම ආයතනය විසින් දරාවි).

එක් රටක සිට තවත් රටකට ඇමතුම් ලබා දෙන සේවාව international gateway එක ලෙස හැඳින්වේ. ඉහත ඡේදයේ පැවසූ ලෙසට, ජාත්‍යන්තරව ගිවිසුම් ගසා ගෙන සිටින සෑම දුරකතන සේවා සපයන්නෙකුටම ගේට්වේ එකක් තිබෙනවා. ඉතිං එක් සේවා සපයන්නකුගේ ගේට්වේ එකේ සිට පිටරටවල තිබෙන විදේශීය දුරකතන ආයතනවල ගේට්වේ වලට අන්තර්ජාතික ට්‍රන්ක් ලයින් වෙන වෙනම ඇදිය යුතුය. මෙම ට්‍රන්ක් ලයින් මුහුද යටින් හෝ ගොඩබිම් දිගේ ඇද ඇති විශාල කේබල්වලින් හෝ චන්ද්‍රිකා හරහා සිදු වේ.

වෙනත් රටකට ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඉස්සර සිදු කළේ යම් කිසි කුඩා අංකයක් ඩයල් කිරීමයි. එවිට යම් ඔපරේටර් කෙනෙකු ප්‍රතිචාර දක්වා ඔබට අවශ්‍ය අංකය ඇයට ලබා දුන් විට, ඇය විසින් ඔබව අදාල නම්බරයට සම්බන්ද කරනවා. මෙම ක්‍රමයම නේද එක්ස්චේන්ජ් එකෙත් (ඉස්සර) සිදු වූයේ? එහෙත් තාක්ෂනය දියුණුවත්ම මෙම අතරමැදියා නැතිව ඍජුවම ඔබට විදෙස් අංකයකට ඇමතුම් ගැනීමට අවස්ථාව ලබා දුන්නා. මෙම ඍජු ක්‍රමය තමයි IDD (International Direct Dialling) යන නමින් අද ප්‍රචලිතව තිබෙන්නේ. ගේට්වේ එකට සම්බන්ද වන්නේ කුඩා අංකයක් (IDD prefix) ඩයල් කිරීමෙනි. ලංකාවේ එය 00 වේ. බොහෝ රටවල IDD ප්‍රිෆික්ස් එක 00 වන අතර, සමහර රටවල වෙනත් අංකද යොදා ගැනේ. (ජංගම දුරකතන භාවිතයට පැමිණීමත් සමග මෙම 00 කෙටියෙන් + ලකුණින් දැක්වෙනවා.)

වර්තමානය වන විට රැහැන් දුරකතන ඉතා දියුනු මට්ටමක පවතී. බොහෝ පහසුකම් එහි ඇත. කෝල් කරන කෙනාගේ අංකය පෙන්වන පහසුකම (Caller Line Identification – CLI) ඇත. දැනටමත් කෝල් එකක ඉන්න විට, එම කෝල් එක තාවකාලිකව නිහඬ කරවීමේ පහසුකම (Call Holding) ඇත (මෙවිට එහා පැත්තේ ඉන්න කෙනාට තවමත් කෝල් එක සක්‍රිය බව දැනවීමට යම් සංගීතයක් ඇසේවි). දැනටමත් කෝල් එකක ඉන්න විට, ඔබට තවත් කෝල් එකක් ලැබෙන විට, තවත් කෝල් එකක් එන බව හඟවන පහසුකම (Call waiting) ඇත (මෙම පහසුකම සක්‍රිය නොකර ඇති විටක, මෙවැනි අවස්ථාවක කෝල් එක ගන්න කෙනාට ලයින් බිසී බව හඟවා කෝල් එක කට් වේ). මෙවිට කැමති නම්, දැනට සිටින කෝල් එක හෝල්ඩ් කර, කෝල් වේටිං එකේ තිබෙන කෝල් එකට ආන්සර් කළ හැකිය. තමන්ගේ ෆෝන් එකට එන කෝල් තවත් ෆෝන් නම්බරයකට හරවා යවන පහසුකම (call forwarding) ඇත. මෙවිට තමන්ගේ නිවසේ රැඳෙන්නේ නැති වෙලාවලට තමන්ගේ මොබයිල් ෆෝන් එකට කෝල් ෆෝවර්ඩ් කර නිවසට එන කෝල්වලට ආන්සර් කළ හැකියි. ෆෝන් එක උස්සා ටික වේලාවක් ගිය විට (කිසිදු නොම්බරයක් ඩයල් නොකර), ඉබේම යම් නිශ්චිත අංකයකට කෝල් එකක් ගැනෙන පහසුකම (hotline) ඇත. මෙය විශේෂයෙන් කුඩා ළමුන් සඳහා උචිතය. ඔවුන්ට නොම්බර ඩයල් කිරීමට නොතේරෙන නිසා, ෆෝන් එක උස්සා සිටින විට ඉබේම අම්මගේ හෝ තාත්තගේ නම්බරයට කෝල් එක ගැනේවි. call screening (හෝ blacklisting) පහසුකමද වැදගත්ය. ඔබට යම් නම්බරවලින් කෝල් එනවාට අකමැති විට, මෙම පහසුකම සක්‍රිය කර එම අංක බ්ලොක් කළ හැකියි. තමන් දුරකතනය අසල නැති විට, කෝල් එක ඉබේම ආන්සර් වී, යම් පනිවුඩයක් තියන්නට කෝල් කරන කෙනාට අවස්ථාව ලබා දෙන සේවාව voicemail හෝ absentee service නම් වේ.

ආයතනවලට උචිත දුරකතන පහසුකමකි hunting කියන්නේ. මෙහිදී නොම්බර කිහිපයක්ම එකට එකතු කර එක් නොම්බරයක් හන්ටිං නොම්බරය ලෙස නම් කෙරේ. මෙවිට කවුරුන් හෝ මෙම හන්ටිං අංකයට කතා කරන විට, අර නොම්බර කණ්ඩායමේ පළමු අංකයට ඇමතුම යාවි. එහෙත් දැනටමත් එය බිසී නම්, එම අංක කණ්ඩායමේ ඊළඟ අංකයට යාවි. එයත් බිසී නම් ඊළඟ එකට ආදී වශයෙන් එම ඇමතුම යොමු කෙරේ. මෙමඟින් යම් ආයතනයක නොම්බර් ගණනාවක් මතක තබා ගන්නවාට වඩා එක නම්බරයක් පමණක් මතක තබා ගැනීමේ පහසුව සැලසේ. ඔබ දුරකතන දෝස වාර්තා කිරීමට ගන්නා ඇමතුම් ඇත්තටම මෙවැනි හන්ටිං පහසුකම සහිත නම්බරයකි. කෝල් සෙන්ටර් එකේ විශාල පිරිසක් සේවය කරන අතර, ඔබේ ඇමතුම ඒ එක්කෙනෙකුගේ නම්බරයකට යොමු වේ.

තවත් දුරකතන පහසුකමක් තමයි කෙටි අංක. මෙයත් ආයතනවලට සපයන පහසුකමකි. සාමාන්‍යයෙන් ලංකාවේ දුරකතන අංකයක් ඉලක්කම් 10කින් යුක්තයිනෙ. එහෙත් අංක 3 හෝ 4 කෙටි අංකයක් අවශ්‍ය නම් ගත හැකියි. අංකය කෙටි නිසා මෙවැනි අංක කිහිපයක් පමණයි රටක් තුල තිබිය හැක්කේ. එමනිසා වැදගත් ආයතන හා අවශ්‍යතාවලටයි මෙවැනි කෙටි අංක ලබා දෙන්නේ. වානිජ ආයතනවලට මෙවැනි අංක ලබා දෙන විට, ඉතා විශාල මුදලක්ද ඔවුන් ගාස්තු වශයෙන් ගෙවිය යුතු වෙනවා. ඇත්තටම මෙම පහසුකම පදනම් වන්නේ හන්ටිං පහසුකම හා කෝල් ෆෝවර්ඩිං පහසුකම මතයි. කෙටි අංකය හන්ටිං නම්බරයකි (එවිට කෙටි අංකයට ඇමතුමක් ගත් විට, සාමාන්‍ය හන්ටිං පහසුකමේදී සිද්ධ වෙන දේම සිදු වේ). විශේෂත්වය වන්නේ අංකය කෙටිවීම පමණි. 119 යනු පොලිස් හදිසි ඇමතුම් අංකය වේ. දැනට ලංකාව තුල මෙවැනි වැදගත් කෙටි අංක රාශියක් හඳුන්වා දී ඇත. හැකිනම් මෙම වැදගත් අංක තමන්ගේ දුරකතනයේ ෆෝන්බුක් එකට ඇතුලත් කරගන්න.

ආයතනවලට වැදගත් තවත් දුරකතන පහසුකමකි toll-free ටෙලිෆෝන් අංක. සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්න කෙනාටනෙ මුදල් අය වන්නේ (Calling Party Paying) . එහෙත් කෙනෙකුට පුලුවන් ඔවුන්ගේ යම් අංකයක් ටෝල්-ෆ්‍රී කරන්න. එවිට ඊට කෝල් කරන අයට මුදල් අය නොවේ. එම ගාස්තුව ආයතනය විසින් ගෙවනවා (Called Party Paying). ඉහත 119 යන අංකය ඇත්තටම ටෝල්-ෆ්‍රී අංකයකි. මේ අනුව 119 යනු පහසුකම් රැසකින් යුතු අංකයකි; එහි ටෝල්-ෆ්‍රී, හන්ටිං, කෝල් ෆෝවර්ඩිං, කෙටි අංක, හා අනෙක් ඉහත සඳහන් පහසුකම්ද සහිතයි.

ආයතනවලට වැදගත් තවත් පහසුකමක් වන්නේ PBX (Private Branch Exchange) හෙවත් PABX (Private Automatic Branch Exchange). මෙය එක්තරා විදියකින් ආයතනයක් තුල කුඩා ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකක් බඳුයි. මෙහිදී ආයතනය තුල විවිධ ස්ථාන/කාමර/පුද්ගලයන්ට වෙන වෙනම දුරකතනය බැඟින් ලබා දේ. සමහරවිට මෙලෙස දුරකතන සිය ගණනක් ලබා දී තිබිය හැකිය. මෙම දුරකතන සියල්ලම PBX නම් “කුඩා දුරකතන හුවමාරුවට” සම්බන්ධ කෙරේ. බොහෝවිට ඉලක්කම් 3කින් යුතු ටෙලිෆෝන් අංක තමයි මේ සියලු ටෙලිෆෝන්වලට ලබා දෙන්නේ. එමඟින් ආයතනයේ ඕනෑම දුරකතනයකින් එම ආයතනයේ තවත් ඕනෑම දුරකතනයකට ඇමතුමක් ගත හැකියි අදාල කෙනාගේ ඉලක්කම් 3කින් යුතු අංකය ඩයල් කරමින්. ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය නොවේ (මොකද මෙම කුඩා ටෙලිෆෝන් සේවාව එම ආයතනය විසින්ම පවත්වාගෙන යන නිසා).

ඒ විතරක් නොවේ; මෙම පැබෙක්ස් එකට පිටින් එන සාමාන්‍ය දුරකතන සම්බන්ධතා එකක් හෝ කිහිපයක් වුවද සම්බන්ද කළ හැකියි. මෙවිට, ආයතනය ඇතුලේ සිටින කෙනෙකුට තමන්ගේ දුරකතනයෙන් ආයතනයෙන් පිටත සිටින අයටත් ඇමතිය හැකියි. මෙවිට පිටතට ඇමතුමක් ගන්න අවශ්‍ය වූ විට, පළමුව 9 යන ඉලක්කම එබිය යුතුය. ඉන්පසු ඩයල් ටෝන් එක ඇසේවි (පිටතට කෝල් ගන්න ලයින් එක දැනටමත් බිසී නැතිනම්). දැන් ඔබට අවශ්‍ය සාමාන්‍ය අංකය ඔබා කෝල් එක ගත හැකිය. පිටත සිටින කෙනෙකුට ආයතනය ඇතුලේ සිටින ඕනෑම කෙනෙකුටද ඍජුවම ඇමතුම් ගත හැකියි. මෙවිට පිටත සිටින කෙනා පැබෙක්ස් එකට සම්බන්ද කළ සාමාන්‍ය ටෙලිෆෝන් අංකයට පසුව ආයතනය ඇතුලෙ ඉන්න කෙනාට අයත් ඉලක්කම් 3කින් හෙබි අංකය හෙවත් දිගුව (extension number) ඇතුලු කරයි. මෙවිට පිටත සිට එන ඇමතුම පැබෙක්ස් එක හරහා අදාල කෙනාගේ දුරකතනය හා ඍජුවම සම්බන්ද වේ.



ෆැක්ස්

වැඩිකල් නොගොස්ම රූපද විදුලිය ඔස්සේ සන්නිවේදනය කිරීමට ක්‍රම සොයා ගත්තා. අප ෆැක්ස් (fax) ලෙස හඳුනා ගන්නා එහි දිගු නාමය ෆැක්සිමිලි (facsimile) වේ. මෙහිදී ටෙලිෆෝන් තාක්ණයමයි තිබෙන්නේ. අමුතුවෙන් ෆැක්ස් ජාල නැත. එකම වෙනස සුපුරුදු ටෙලිෆෝන් යන්ත්‍රය (telephone set) වෙනුවට ෆැක්ස් යන්ත්‍රයක් සවි කිරීමයි. ඔබේ සාමාන්‍ය රැහැන් දුරකතන සම්බන්දතාවේ තිබෙන දුරකතනය ඉවත් කොට ඊට ෆැක්ස් යන්ත්‍රයක් සවි කළ විට, ඔබට ෆැක්ස් පහසුකම ලැබේ. ඒ සඳහා අමුතුවෙන් ගාස්තු නැත. මෙවිට ෆැක්ස් නම්බරය වන්නේ ඔබේ දුරකතන අංකයමයි.

ෆැක්ස් සේවාවේ තාක්ෂනික “හාස්කම” පවතින්නේ රූපයක් විදුලි සංඥාවක් බවට පත් කරන ක්‍රමවේදය මතයි. ඇත්තටම එය “හාස්කමකි” මොකද මෙම (රූපයක් විදුලි සංඥා බවට පත් කරන) ක්‍රමවේදය තමයි තවත් බොහෝ උපකරණ/සේවා ගණනාවක් සඳහා යොදා ගන්නේ. ෆැක්ස්, ප්‍රින්ටර්, ස්කැනර්, ෆොටෝකොපි මැසිම, ටීවී, රේඩියෝ තාරකා විද්‍යාව (radio astronomy) ආදිය ඊට උදාහරණ වේ. එනිසා, රූපයක් (image) විදුලි සංඥාවක් බවට පත් කරන හැටි දැන් සොයා බලමු.

No comments:

Post a Comment