Thursday, September 8, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur radio) 10

රේඩියෝ තරංග

රේඩියෝ තරංග විද්‍යුත්චුම්භක තරංග පරාසයේ සංඛ්‍යාතය අඩුම කලාපය වේ. එනිසා පොදුවේ විද්‍යුත්චුම්භක තරංගවලට අදාල කරුණු රේඩියෝ තරංග සඳහාද වලංගු වේ. දළ වශයෙන් ගිගාහර්ට්ස් 300 සිට ඉතා පහල හර්ට්ස් අගයක් (මෙම පහළ අගය කීයදැයි තවම අපට හරිහැටි කිව නොහැකියි) දක්වා වූ විශාල පරාසයක් තුල රේඩියෝ තරංග පවතී. කෙසේ වෙතත් මෙම සම්පූර්ණ හර්ට්ස් පරාසයම තවමත් අපට භාවිතා කිරීමට තරම් තාක්ෂනය දියුණු නැත. උපරිමය ගිගාහර්ට්ස් ගණනක අගයේ සිට අවමය කිලෝහර්ට්ස් ගණනක අගය දක්වා පරාසයක් පමණයි දැනට භාවිතා කරන්නේ. එනිසා රේඩියෝ තරංග භාවිතය ගැන තීරණ ගන්නා ජාත්‍යන්තර සංවිධානය වන ITU පවා තමන්ගේ රෙගුලාසි පනවා තිබෙන්නේ 9kHz සිට 275GHz දක්වා වූ පරාසය සඳහාය.

රේඩියෝ තරංග අතිවිශාල ප්‍රයෝජන ප්‍රමාණයක් සඳහා භාවිතා කෙරෙනවා. රේඩියෝ සේවා, රූපවාහිනි සේවා, ජංගම දුරකතන, GPS වැනි භූනිශ්චය සේවා (geolocation), වෙනත් චන්ද්‍රිකා සේවා, බ්ලූටූත් හා එවැනි කෙටි දුර සන්නිවේදන සේවා, වයිෆයි, අන්තර්ජාල හා දත්ත සේවා, මයික්‍රොවේව් උදුන්, රේඩාර්, පර්යේෂන කටයුතු ආදීය ඊට උදාහරණ වේ. රේඩියෝ තරංග පරාසය තුළම විවිධ සංඛ්‍යාත උපකලාපයන් මෙම සේවා සඳහා වෙන් කොට තිබෙනවා.

අධ්‍යනය කිරීමේ හා හඳුනාගැනීමේ පහසුව තකා රේඩියෝ තරංග පරාසය ක්‍රමවත් බෙදීමකට ලක් කර, පහත දැක්වෙන ආකාරයට උපකලාප කිහිපයකට කඩා ඇත. මේ සෑම රේඩියෝ කලාපයකම නම් කිරීමේ රටාව හා පරාසයන් දැක්වීමේ රටාව බලන්න. තරංග ආයාමය c=fλ යන සූත්‍රය අනුව පහසුවෙන්ම ගණනය කළ හැකියිනෙ. උදාහරණයක් ලෙස, හර්ට්ස් 3හි තරංග ආයාමය වන්නේ 300,000,000 / 3 = 100,000,000m (මීටර් මිලියන සියයක්) වේ. සංඛ්‍යාතය වැඩිවන විට තරංග ආයාමය කුඩාවන බව වගුවෙන් පෙනෙනවා නේද? පහත වගුවේ මා තරංග ආයාමය දක්වා තිබෙන්නේ සංඛ්‍යාත පරාස තීරුවේ අගයන්ට අනුරූප වන අයුරිනි (එනම් අඩු සංඛ්‍යාතයට අනුරූප තරංග ආයාමය පළමුවත් වැඩි සංඛ්‍යාතයට අනුරූප තරංග ආයාමය දෙවනුවත්). එහෙත් සාමාන්‍යයෙන් තරංග ආයාම පරාසයක් දක්වන්නේ කුඩා අගය පළමුව ලියා වැඩි අගය දෙවනුව ලියන අයුරිනි. උදාහරණයක් ලෙස, ELF කලාපයේ තරංග ආයාම පරාසය 10,000km – 100,000km ලෙසයි ලිවිය යුත්තේ.

සංඛ්‍යාත කලාප

කලාප කෙටි නම එහි දිගු නම සංඛ්‍යාත පරාසය තරංග ආයාම පරාසය
ELF Extremely Low Frequency 3Hz – 30Hz 100,000km – 10,000km
SLF Super Low Frequency 30Hz – 300Hz 10,000km – 1000km
ULF Ultra Low Frequency 300Hz – 3000Hz 1000km – 100km
VLF Very Low Frequency 3KHz – 30KHz 100km – 10km
LF Low Frequency 30KHz – 300KHz 10km – 1km
MF Medium Frequency 300KHz – 3000KHz 1km – 100m
HF High Frequency 3MHz – 30MHz 100m – 10m
VHF Very High Frequency 30MHz – 300MHz 10m – 1m
UHF Ultra High Frequency 300MHz – 3000MHz 1m – 10cm
SHF Super High Frequency 3GHz – 30GHz 10cm – 1cm
EHF Extremely High Frequency 3GHz – 300GHz 1cm – 1mm

සාමාන්‍යයෙන් MF පරාසයට පහලින් ඇති LF, VLF ආදී පරාස සියල්ලටම පොදුවේ පහළ සංඛ්‍යාත (lower frequencies) යැයි කියනු ලබන අතර, MF ට ඉහල සංඛ්‍යාතයන් ඉහල සංඛ්‍යාතයන් (higher frequencies) ලෙස හඳුන්වනවා. ඉහත සංඛ්‍යාත පරාස band ලෙසයි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ (යම් සංඛ්‍යාත පරාසයක් බෑන්ඩ් යන නමින් හැඳින්වේ). ඉහත වගුවේ බෑන්ඩ් 11ක් පෙන්වා තිබෙනවා. මේ සියලුම බෑන්ඩ් වල නාමයන් පහසුවෙන් මතක තබා ගත හැකියි ඒවා නම් කර තිබෙන රටාව අවබෝධ කර ගත් පසු. ඉන් එක් බෑන්ඩ් එකක සංඛ්‍යාත පරාසයක් මතක තබා ගත් විට, එමඟින් සියලුම බෑන්ඩ්වල සංඛ්‍යාත පරාසයන්ද මතක සිටිනවා (මා මතක තබා සිටින්නේ HF බෑන්ඩ් එක මෙගාහර්ට්ස් 3 සිට මෙගාහර්ට්ස් 30 දක්වා කියායි).

තවද, EHF ට පසුව, THF (Tremendously High Frequency) ලෙස තවත් රේඩියෝ කලාපයක් සමහරුන් දක්වනවා (300GHz – 3THz). එයම Terahertz radiation (ටෙරාහර්ට්ස් අගයක් ඇති නිසා) හෝ submillimeter radiation (තරංග ආයාමය මිලිමීටරයට වඩා කුඩා නිසා) ලෙසද හඳුන්වනවා. ලෝහමය නොවන බොහෝ ද්‍රව්‍ය හරහා විනිවිද යෑමේ හැකියාවක් ටෙරාහර්ට්ස් රේඩියේෂන් වලට ඇත (එක්ස්රේ මෙන්). එහෙත් පෘථිවි වායුගෝලය හරහා මෙම තරංගවලට යා හැක්කේ ඉතා කුඩා දුරකි මොකද එම තරංග විශාල අවශෝෂණයකට ලක් වෙන නිසා (වාතයේ ජල වාෂ්ප නිසා). තවද ජලය හා ලෝහ හරහාද මෙම තරංගවලට යා නොහැකිය. එනිසා කෙටි දුර සන්නිවේදන සඳහා මෙම කලාපය උචිතයි.

මයික්‍රොවේව්

මයික්‍රොවේව් යනුද රේඩියෝ සංඛ්‍යාත කලාපයේම කොටසක් බව ඔබ දන්නවා. දළ වශයෙන් එය 300MHz සිට 300GHz දක්වා පවතිනවා. මීට අමතරව 1GHz ට වඩා ඉහල රේඩියෝ තරංගද මයික්‍රොවේව් ලෙස සලකන සම්මතයක් තිබෙනවා (මාද පෞද්ගලිකව සලකන්නේ මෙම සම්මතයයි). මීට මෙම නම ලැබී තිබෙන්නේ “ආදි කාලයේ” (එම කාලයේම තමයි මයික්‍රොවේව් යන නම යොදා තිබෙන්නේ) රේඩියෝ හා ටීවී හා සන්නිවේදන කටයුතු සඳහා යොදා ගත් තරංගවල තරංග ආයාමයන්ට වඩා බෙහෙවින් මෙම තරංගවල තරංග ආයාමයන් කුඩා නිසාය. “මයික්‍රෝ” යන උපසර්ගය සාමාන්‍ය භාෂා ව්‍යවහාරයේදී “ඉතා කුඩා” යන අර්ථයෙන්ද යොදා ගන්නවා, (10-6 යන නිශ්චිත අගය දැක්වීමට අමතරව). ඒකනේ ක්ෂුද්‍රජීවී (microboes) යන වචනයෙත් ක්ෂුද්‍ර හෙවත් මයික්‍රො යන උපසර්ගය තිබෙන්නේ. රේඩාර්, මයික්‍රොවේව් උදුන්, ස්ථාන දෙකක් අතර දත්ත උවමාරුව, චන්ද්‍රිකා සමග සන්නිවේදනය, GPS/GNSS සේවා, තාරකා විද්‍යාව සම්බන්ධ පරීක්ෂන ආදී බොහෝ වැදගත් දේවල් සිදු වෙන්නේ මයික්‍රොවේව් කලාපයේය. ඊට අමතරව, HSPA/3G/LTE(4G) වැනි දත්ත සම්ප්‍රේෂන සේවාද සිදු කෙරෙන්නේ මයික්‍රොවේව් කලාපය තුලයි.

මයික්‍රොවේව් හෙවත් ක්ෂුද්‍ර තරංග කලාපය සන්නිවේදනය සඳහා ඉතාම වැදගත්ය. එනිසා මයික්‍රොවේව් රේඩියෝ කලාපය පමණක් වෙනම නැවතත් පහත ආකාරයට කුඩා කලාප කිහිපයකට කඩා නම් කෙරේ. මෙහිදී ඉහත වර්ගීකරණය සලකන්නේ නැත. පහත වගුවේ L සිට F දක්වා යම් කිසි පිළිවෙලකටයි සකසා තිබෙන්නේ. Q සිට D දක්වා තවත් පිළිවෙලකටයි පරාස සාදා තිබෙන්නේ. එංගලන්තයේ RSGB (Radio Society of Great Brittain) යන ආයතනයයි මූලිකව මෙම මයික්‍රොවේව් කළාප නම් කර තිබෙන්නේ. එහෙත් ආරම්භයේදී මින් සමහර නාමයන් නිර්මාණය කර තිබෙන්නේ වෙනත් රටවල් විසිනි (උදාහරණයක් ලෙස K යන්න ජර්මානුවන් යොදාගත් අකුරකි). මෙහි Ku බෑන්ඩ් එක පහසුවෙන් මතක තබා ගත හැකියි upper (to) K ලෙස (එනම්, K ට උඩින්). Ka බෑන්ඩ් එක after K ලෙස (එනම්, K ට පසුව) ලෙසද මතක තබා ගත හැකියි. චන්ද්‍රකා සමඟ මෙම මයික්‍රොවේව් බෑන්ඩ් අක්ෂර නිතරම යොදනවා (උදාහරණයක් ලෙස, “අහවල් චන්ද්‍රිකාව Ku බෑන්ඩ් යොදා ගනී” ආදී ලෙස).

මයික්‍රොවේව් කලාප කෙටි නාමය සංඛ්‍යාත පරාසය තරංග ආයාම පරාසය
L 1GHz – 2GHz 15cm - 30cm
S 2GHz – 4GHz 7.5cm - 15cm
C 4GHz – 8GHz 3.75cm - 7.5cm
X 8GHz – 12GHz 25mm - 37.5mm
Ku 12GHz – 18GHz 16.7mm - 25mm
K 18GHz – 26.5GHz 11.3mm - 16.7mm
Ka 26.5GHz – 40GHz 5.0mm - 11.3mm
U 40GHz – 60GHz 5.0mm - 7.5mm
E 60GHz – 90GHz 5.0mm - 3.3mm
F 90GHz – 140GHz 2.1mm - 3.3mm
Q 30GHz – 50GHz 6.0mm - 10mm
V 50GHz – 75GHz 4.0mm - 6.0mm
W 75GHz – 110GHz 2.7mm - 4.0mm
D 110GHz – 170GHz 1.8mm - 2.7mm

මා පෙරත් සඳහන් කළා රේඩියෝ තරංගවල පහලම සංඛ්‍යාතයන් හා ඉහලම සංඛ්‍යාතයන් ප්‍රායෝගිකව යොදා ගැනීමට තරම් තාක්ෂණයක් තවම හරිහැටි නොමැති බව. ඒ ඇයිදැයි කෙටියෙන් බලමු දැන්.

රේඩියෝ තරංග නිපදවන ක්‍රමය

රේඩියෝ තරංග සියල්ලම නිපදවන්නට අප තවමත් යොදා ගන්නේ රේඩියෝ තරංග සොයා ගත් කාලයේ භාවිතා කරපු ක්‍රමවේදයමයි. එය දැන් ශතවර්ශයකටත් වඩා පැරණි ක්‍රමයකි. මෙම ක්‍රමයෙන් රේඩියෝ තරංග නිපදවන්නේ පියවර දෙකකින්ය.

1. අපට අවශ්‍ය රේඩියෝ සංඛ්‍යාතය පළමුව තීරණය කළ යුතුය. ඉන්පසු එම සංඛ්‍යාතය සහිත ඒසී විදුලි සංඥාවක් යම් පරිපථයක් (හෝ වෙනත් ක්‍රමයක්) ඔස්සේ නිපදවිය යුතුය. මෙලෙස අපට අවශ්‍ය සංඛ්‍යාතය සහිත විදුලි තරංගයක් (ඒසී විදුලියක්) නිපදවන ඉලෙක්ට්‍රෝනික උපක්‍රමය දෝලකය (oscillator) ලෙස හඳුන්වනවා. කැපෑසිටරයක් හා කොයිලයක් පමණක් වුව යොදාගෙන දෝලකයක් සෑදිය හැකිය. දෝලක යනු එතරම්ම සරල පරිපථ කොටසකි. දෝලක හා පරිපථ ගැන පසුවට අප ඉගෙනගමු.

2. දැන් ඉහත දෝලකයෙන් නිපදවූ ඒසී තරංගය (වර්ධක පරිපථයක් තුලින් යවා එහි ප්‍රබලතාව වැඩි කර) යම් “ලෝහ කැබැල්ලක්” තුලට යවනවා. මෙම ලෝහ කැබැල්ලේදී එම විදුලි සංඥාව/තරංගය රේඩියෝ තරංගයක් බවට පත් වෙනවා. මීට පෙරත් මා පවසා තිබෙන ලෙසට, විදුලි සංඥාව රේඩියෝ තරංග බවට පත් වන්නේ කෙලෙසදැයි පැහැදිලි කිරීම පහසු නැති වුවත්, එලෙස රේඩියෝ තරංග සෑදෙන බව නම් නිශ්චිතවම අප දන්නවා. එම රේඩියෝ තරංගයේ සංඛ්‍යාතය වන්නේ එම ලෝහ කැබැල්ල තුලින් ගිය විදුලි සංඥාවේ සංඛ්‍යාතයමයි. විදුලි සංඥාව රේඩියෝ සංඥාවක් බවට පත් කරන මෙම ලෝහ කැබැල්ල රේඩියෝ තරංග විකිරණය කරන උපාංගය (radiating element) ලෙස හැඳින්විය හැකියි. එහෙත් අපට එය වඩාත් සමීපව ඇත්තේ ඇන්ටනාව (antenna) හෝ ඒරියල් (aerial) යන නමිනි. ඇන්ටනා ගැනද අප පසුවට වෙනම ඉගෙනගමු.

ඉහත ක්‍රමවේදය ඉතා සරල හා පහසුයි නේද? එහෙත් සංඛ්‍යාතය ඉතා වැඩි වන විටත්, සංඛ්‍යාතය ඉතා පහළ වන විටත් මෙම ක්‍රමවේදය ප්‍රායෝගිකව යොදා ගැනීමට අපහසු වෙනවා. මෙම අවස්ථා දෙකට බලපාන්නේ වෙනස් (එකිනෙකට පරස්පර) හේතු කාරණා දෙකකි.

සටහන
මීට අමතරව, රේඩියෝ තරංග නිපදවන තවත් ක්‍රම ඇතත් ඒවා ප්‍රායෝගිකව අපට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට අපහසුය. උදාහරණයක් ලෙස, යම් ආරෝපණයක් ත්වරණයකට ලක් කරන විට, ඉන් ඉබේම විද්‍යුත්චුම්භක තරංග පිට කරනවා. මෙම සංසිද්ධිය synchrotron radiation නමින් හැඳින්වෙනවා. ත්වරණයේ ප්‍රමාණය අනුව රේඩියෝ තරංගයේ සංඛ්‍යාතය තීරණය වෙනවා. ඕනෑම දෙයක් වෘත්තාකාර ගමනක යෙදෙන විට, එය ත්වරණයකි. එනිසා, ආරෝපණයක් වෘත්තාකාරව චලනය කරවීමෙන් රේඩියෝ තරංග නිපදවිය හැකිය. සින්ක්‍රොට්‍රෝන් විකිරණය ඇත්තටම සිදු වන්නේ ඉතා වේගයෙන් (ආලෝකයේ වේගයට ආසන්න) වෘත්ත චලිතයක යෙදෙන විටය (ආලෝකයේ වේගයට ආසන්න වේගයන් relativistic speed කියායි හැඳින්වෙන්නේ). ඊට බොහෝ අඩු වේගයක් සහිත විටත් රේඩියෝ තරංග නිකුත් වන අතර, මෙවිට එම සංසිද්ධිය cyclotron radiation කියා හැඳින්වෙනවා. ඒ අනුව සින්ක්‍රොට්‍රෝන් රේඩියේෂන් හා සයික්ලොට්‍රොන් රේඩියේෂන් යනු දළ වශයෙන් එකම සිදුවීමක් ලෙස සැලකුවාට වරදක් නැත. අභ්‍යවකාශයේ විවිධ තැන්වල සිට විශ්වය සිසාරා විවිධ රේඩියෝ තරංග ගමන් කරන්නේ, මෙම ක්‍රම ඔස්සේ සෑදුනු රේඩියෝ තරංග තමයි.


සංඛ්‍යාතය ඉතා ඉහල යන විට විශ්වාසදායි ලෙස (reliable) ස්ථාවර (stable) විදුලි සංඥා නිපදවීම මෙන්ම ඉන්පසු එම සංඥා ඇන්ටනාවට යෑවීමට පෙර වර්ධනය කිරීම සඳහා වර්ධක පරිපථ සෑදීමද අපහසුය. මතක තියා ගන්න මෙහිදී අපහසුතාව තිබෙන්නේ පරිපථය තුල අධිසංඛ්‍යාත (high frequency) විදුලි තරංගය නිපදවීමට හා වර්ධනය කිරීමටයි. රේඩියෝ තරංගය නිපදවීම ගැටලුවක් නොවේ, මොකද රේඩියෝ තරංගය ඉබේම සෑදෙනවා එම විදුලි තරංගය ඇන්ටනාව තුලින් යවන විට. එනිසා ඉලෙක්ට්‍රොනික්ස් තාක්ෂණය දියුණු වන විට මෙම බාධකයද ජය ගත හැකියි.

සංඛ්‍යාතය අඩුවන විට අපට මතු වන්නේ විදුලි පරිපථය තුල අවසංඛ්‍යාත (low frequency) විදුලි තරංගය නිපදවීමේ අපහසුතාව නොව, ඇන්ටනාවෙන් එම අවසංඛ්‍යාත විදුලි තරංගය රේඩියෝ තරංගයක් බවට පරිවර්තනය කිරීමේ අපහසුතාවකි. ඊට හේතුව මෙයයි. ඇත්තටම ඇන්ටනාව යනු නිකංම ලෝහ කැබැල්ලක් නොවේ. සාම්ප්‍රදායික ඇන්ටනා නිර්මාණය සිදු වන්නේ සරල සිද්ධාන්තයක් මතයි. එනම්, විසුරුවා හරින තරංගයේ තරංග ආයාමයෙන් භාගයක් වන සේයි ඇන්ටනාවක් සාදන්නේ. ඒ කියන්නේ යම් සන්නායකයක් (කම්බියක් හෝ ලෝහ බටයක්) විසුරුවා හරින තරංගයේ තරංග ආයාමයෙන් අඩක් වන සේ කපා ගත් විට, එය එම සංඛ්‍යාතයන් විසුරුවාලීම සඳහා හොඳ ඇන්ටනාවකි. දැන් සිතා බලන්න හර්ට්ස් 300 තරංගයක් ගැන. එහි තරංග ආයාමය කිලෝමීටර් 1000කි. ඉන් අඩක් යනු 500km කි. ඉතිං මෙම සංඛ්‍යාතය සහිත රේඩියෝ තරංග නිපදවීමට නම්, පරිපථයට සවි කරන ඇන්ටනාව කිලෝමීටර් 500ක් තරම් දිග වේවි. එය ලංකාවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වූ දුරටත් වැඩි දුරකි. මෙවැනි දිගු ඇන්ටනා සෑදීම හා නඩත්තු කිරීම කොතරම් වියදම් සහගත වනු ඇත්දැයි සිතා බලන්න. තවත් බොහෝ පාරිසරික හා ප්‍රායෝගික ගැටලු රාශියක් ඇති වේවි.

ඇත්තටම ඇමරිකාව හා තවත් රටවල් දෙක තුනක පමණ මෙවැනි ඇන්ටනා කිහිපයක් එම රජයන් විසින්ම සාදා තිබෙනවා. එහෙත් මේවා අතිශය වියදම් සහගත වන අතර, අකාර්යක්ෂමද වේ. තවද, එම ප්‍රදේශවල වැසියන් හා සංවිධාන ඊට විරෝධතාද මතු කරනවා. මෙවැනි භාරදූර කාර්යක් රජයකට මිස තනි තනි පුද්ගලයන්ට සිදු කිරීමට බැරිය. අඩුම ගානේ සාමාන්‍ය ඇන්ටනාවක් සවිකිරීමටත් ඉඩකඩ නැතිව පුද්ගලයන් බොහෝ අපහසුතාවකට පත්ව ඇත. කිලෝමීටර් ගණන් දිග ඇන්ටනා ගැන කවර කතාද. එනිසා අධිසංඛ්‍යාතවලදී හමුවූ බාධාවට වඩා අවසංඛ්‍යාතවල හමුවන බාධාව ජය ගැනීමට අපහසුය.

මෙම ගැටලුව විසඳීමට නම් රේඩියෝ තරංග නිපදවීමට දැනට යොදා ගන්නා ක්‍රමවේදයට වෙනස් ක්‍රමයක් සොයා ගැනීමට සිදු වෙනවා. අවසංඛ්‍යාත රේඩියෝ තරංගවලට (මුහුදු) ජලයේ වැඩි ගැඹුරකට ගමන් කළ හැකියි. ඉතිං සබ්මැරින් වැනි මුහුදේ බොහෝ යට තිබෙන දේවල් සමග සන්නිවේදනය කිරීමට අවසංඛ්‍යාත රේඩියෝ තරංග ප්‍රයෝජනවත්ය. විශේෂයෙන් රජයන් හා එම හමුදාවන් මේ ගැන උනන්දුවක් දක්වන්නේ එනිසාය. සාම්ප්‍රදායික ආකාරයෙන් අවසංඛ්‍යාත රේඩියෝ තරංග නිපදවීම ඉතා අපහසු නිසා, අලුත් ක්‍රම ගැන පර්යේෂන සිදු වේ. එවැනි බොහෝ කතාබහට ලක් වෙච්ච ව්‍යාපෘතියකි HAARP (High-frequency Active Auroral Research Program) කියන්නේ. එය මූලිකව ඇමරිකානු ගුවන් හමුදාව, ඇමරිකානු නාවුක හමුදාව, ඇමරිකානු ආරක්ෂක උසස් පර්යේෂන ව්‍යාපෘති අධිකාරිය (DARPA) ආදිය මුල්වී කරපු ව්‍යාපෘතියකි (මේ වන විට, එම ආයතන මෙම ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇත).

රේඩියෝ තරංගවලට රටවල් අතර දේශ සීමා තේරෙන්නේ නැත. යම් තැනකින් රේඩියෝ තරංගයක් නිපදවූ පසු, එය වායුගෝලයද ඇතුලත් අවට පරිසරය විසින් ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම අවශෝෂනය කර ගන්නා තුරුම ඉතා ඈතට විසිරී යයි. සමහරවිට ලෝකයෙන් භාගයක දුරක් පවා එය ගමන් කළ හැකියි. ඒ කියන්නේ ඊට “වැටහෙන්නේ” විද්‍යාත්මක නියම පමණි (රටවල දේශසීමා හෝ රටවල නීති/නියම නොවේ). එනිසා රේඩියෝ තරංග භාවිතා කරන අපට සිදු වෙනවා ඒවා පරිස්සමින් රටවල පවතින නීති රෙගුලාසිවලට අනුකූලවන පරිදි ඒවා හැසිරවීමට.

Radio Spectrum Management

තනි තනි ලොකු කුඩා රටවල් දෙසියයක් පමණ මේ වන විට ලෝකයේ ඇත. මේ සෑම රටකටම ස්වාධීන අයිතියක් තිබෙනවා සම්පූර්ණ රේඩියෝ තරංග පරාසයටම. ඒ කියන්නේ එක් රටකට බැහැ තවත් රටකට නීති පනවන්න කෙසේද රේඩියෝ තරංග යොදා ගත යුත්තේ කියා. එනිසා ඒ ඒ රටවල් තමන්ගේ රට තුල රේඩියෝ තරංග කෙසේ යොදා ගත යුතුදැයි තීරණය කරනවා. එසේ වුවත්, සෑම රටකටම අයිතියකුත් තිබෙනවා අනෙක් රටවලට කියන්නට තම රට තුලට වෙනත් රටවල සිට රේඩියෝ තරංග එවන්න එපා කියලා (නැතහොත් රට තුල රේඩියෝ තරංගවලට ඉන් බාධා ඇති වෙනවානෙ). මෙය ඉතාම සංකීර්ණ කටයුත්තක්. ඉතිං, තමන්ගේ රටට වෙනත් රටවලින් එන රේඩියෝ තරංග පැමිණීම වැලැක්වීමට නම්, තම රටෙන් එම රටවලටද රේඩියෝ තරංග යෑම වැලැක්වීමට සිදු වෙනවානෙ. මෙනිසා ස්වභාවයෙන්ම සියලුම රටවල් යම්කිසි ස්වයංවාරණයක් සිදුකර ගන්නවා. එය ඉතාම හොඳ තත්වයකි. මෙලෙස රේඩියෝ තරංග ගැටලු අවම වන පරිදි කළමණාකරණය කර ගැනීම රේඩියෝ වර්ණාවලි කළමණාකරණය (radio spectrum management) ලෙස හඳුන්වනවා.

ඒ ඒ රටවල වර්ණාවලි කළමණාකරණය විද්‍යාත්මක හා වානිජ පදනමකින් වඩාත් කාර්යක්ෂමව කිරීම සඳහා ආයතනද පිහිටුවා තිබෙනවා. ලංකාවේ එම ආයතනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමයි (TRCSL). රේඩියෝ තරංග විවිධ වානිජ සේවා සඳහා විකුණා ඉතා විශාල ධනස්කන්ධයක්ද රජය ඉන් උපයා ගන්නවා. සෑම රටක්ම පාහේ රේඩියෝ තරංග ජාතික සම්පතක් ලෙස සලකනවා. ඒ අනුව, තෙල්, රන් ආදී සම්පත් හැම රටකටම නැති වුවත්, රේඩියෝ තරංග යන සම්පත සෑම රටකටම තිබෙනවා නේද? තවද, තෙල් ආදී සම්පත් කාලයත් සමග ක්ෂය වී ගියත්, රේඩියෝ තරංග සම්පත කිසිදා ක්ෂය වී නොයයි (එය පුනර්ජනනීය සම්පතක් ලෙස සැලකිය හැකියි). මෙවැනි අතිදැවැන්ත මූල්‍ය වටිනාකමක් තිබෙන නිසාත්, ඉතාම වැදගත් රාජකාරි රේඩියෝ තරංග විසින් සිදු කරන නිසාත්, එකිනෙකාට කරදර අවම වන පරිදි රේඩියෝ තරංග භාවිතයට ගැනීමට සියලුම රටවල් උත්සුක වෙනවා.

සාමාන්‍යයෙන් ඒ ඒ රටවල් තමන්ගේ රට තුළ රේඩියෝ තරංග පරිහරණය කරන්නේ කෙලෙසදැයි ප්‍රතිපත්ති තීරණ අරගන්නවා. “රේඩියෝ සංඛ්‍යාත පරාසයේ අහවල් සංඛ්‍යාතයේ සිට අහවල් සංඛ්‍යාතය දක්වා අහවල් සේවාවන් සඳහා වෙන් කර ඇත” ආදී ලෙස සංඛ්‍යාත පරාසයනුත් ඒ ඒ සංඛ්‍යාත පරාසයන් යොදාගෙන කළ හැකි දේවලුත් (දිය හැකි සේවා) තීරණය කර තිබෙනවා. උදාහරණයක් ලෙස, මෙගාහර්ට්ස් 88 සිට 108 දක්වා රේඩියෝ කලාපය FM (Frequency Modulation) නම් මූර්ජන ක්‍රමය යොදාගෙන විසුරුවා හරින රේඩියෝ සේවාවන් සඳහා වෙන් කොට තිබෙනවා. එනිසා වෙනත් කිසිදු වැඩක් මෙම සංඛ්‍යාත කලාපය තුල සිදු කිරීම තහනම් වේ. එලෙසම, මෙගාහර්ට්ස් 144 සිට 146 දක්වා කලාපය ආධුනික ගුවන් විදුලි සේවාවට වෙන් කර ඇත. මෙලෙස සිය ගණනක් වූ විවිධ සේවා/කටයුතු සඳහා රේඩියෝ කලාප වෙන් කර තිබෙනවා.

එහෙත් කාලයත් සමග රේඩියෝ තරංග යොදා ගන්නා සේවා ප්‍රමාණය වැඩි වී තිබෙනවා. එනිසා රේඩියෝ තරංග කලාප වෙන් කිරීමේ දැඩි දුෂ්කරතාවකට පත් වෙනවා. මෙය ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලූ විට, රේඩියෝ තරංග/සංඛ්‍යාතවල වටිනාකම ඉහල යෑමට හේතුවකි (මොකද ඕනෑම දෙයක සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩිවන විට එහි මිල ඉහල යනවා). කෙසේ හෝ වේවා, මෙම ගැටලුව විසඳීමට ඇති ක්‍රම කිහිපයක් තිබෙනවා.

1. දැනට කිසිදු සේවාවක් සඳහා වෙන් කොට නැති සංඛ්‍යාත පරාසයන් මෙම සේවා සඳහා වෙන් කිරීම.

2. දැනට වෙන් කර ඇති පරාසයන් සමග හවුලේ ක්‍රියාත්මක වීමට (share) අවසර දීම. මෙවිට, එකම බෑන්ඩ් එක සේවා කිහිපයක් එකිනෙකාට බාධා “අවම” වන පරිදි පවත්වාගෙන යා යුතුය.

3. රේඩියෝ වර්ණාවලියේ උඩ හා යට අන්ත දෙක යොදා ගැනීමට දිරි ගැන්වීම (විශේෂයෙන් උඩ අන්තය). ඔබ දන්නවා මෙම අන්ත දෙක තුල තිබෙන සංඛ්‍යාතයන් භාවිතා කිරීම තවමත් අල්ප වශයෙනුයි තිබෙන්නේ. මේ සඳහා බොහෝ පර්යේෂන කිරීම් අවශ්‍ය වෙනවා.

දැනටමත් රේඩියෝ වර්ණාවලිය අතුරු සිඳුරු නැතිව පිරී තිබෙන නිසා, ඉහත පළමු විසඳුම ක්‍රියාවෙහි යෙදවීමට දුෂ්කර වේ. එහෙත් සමහර සේවාවන් සඳහා වෙනත් ඕනෑම සංඛ්‍යාතයක් යොදා ගැනීමට බැරි වීමට හැකියි (විද්‍යාත්මක හේතු නිසාම). තවද, එවැනි සේවාවක් සඳහා අවශ්‍ය කරන සංඛ්‍යාත කලාපය දැනටත් වෙනත් සේවාවක් සඳහා ලබා දී තිබිය හැකියි. මෙවිට දෙවැනි විසඳුම යෝග්‍ය විය හැකියි.

යම් සංඛ්‍යාත පරාසයක් එකම එක සේවාවක් සඳහා පමණක් වෙන් කර තිබෙන අවස්ථා තිබේ. එවිට එම බෑන්ඩ් එක එම සේවාව හැර වෙනත් සේවාවන්ට අවසර නැත. මෙවැනි අවස්ථාවක් Exclusive යන නාමයෙන් හඳුන්වනවා. උදාහරණයක් ලෙස, මෙගාහර්ට්ස් 3500 සිට 3900 දක්වා වූ බෑන්ඩ් එක ආධුනික ගුවන් විදුලිය සඳහා එක්ස්ක්ලූසිව් වේ. ඇත්තටම ආධුනික ගුවන් විදුලිය සඳහා මෙවැනි එක්ස්ක්ලූසිව් බෑන්ඩ් කිහිපයක්ම තිබේ (එය සතුටට කාරණයකි).

එහෙත් එකම බෑන්ඩ් එකක් සේවා කිහිපයක් අතර ෂෙයාර් කරන විට එම සේවා අතරින් එකක් මූලික සේවාව (Primary service) යනුවෙන්ද, අනෙක් සේවා ද්විතියික සේවා (Secondary service) යනුවෙන්ද හඳුන්වනවා. මෙවිට වැඩි ප්‍රමුඛතාව ලැබෙන්නේ ප්‍රාථමික සේවාවටයි.

මෙහි ප්‍රමුඛතාව ලැබෙනවා යනු කුමක්ද? ද්විතියික සේවාවකින් ප්‍රාථමික සේවාවකට බාධා (interference) ඇති වේ නම්, ප්‍රාථමික සේවාවාට අයිතියක් තිබෙනවා එම බාධාව ඉවත් කරන ලෙසට එම බාධාව ඇති කරන ද්විතියික සේවාවලට බල කිරීමට. ඔවුන් එම ඉල්ලීමට අනුගත නොවන්නේ නම්, රජයේ නිසි බලධාරියා ලවා (ලංකාවේදී නිසි බලධාරියා TRC එකයි) එය බලාත්මක කර ගැනීමට ඔවුන්ට හැකිය. මෙවිට, බාධාව ඉවත් කිරීමට ක්‍රමයක් නොමැති බව පෙනුනොත්, අවශ්‍ය නම් එම බාධාව ඇති කරන ද්විතියික සේවාව සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පවා හැකිය. එහෙත් ප්‍රාථමික සේවාව විසින් යම් බාධාවක් ද්විතියික සේවාවනට ඇති වේ නම්, ද්විතියික සේවාවකට අයිතියක් නැහැ එපරිද්දෙන් ක්‍රියා කරන්නට. තවද, බාධාව ඇති වන්නේ තවත් ද්විතියික සේවාවකින් නම්, යම් ද්විතියික සේවාවකට හැකියාව ලැබෙනවා එම අනෙක් ද්විතියික සේවාවට විරුද්ධව කටයුතු කිරීමට (එනම්, එම බාධාව ඉවත් කර ගැනීමට).

ඉහත පෙන්වා දුන් පරිදි ප්‍රමුඛතාව ක්‍රියාත්මක වුවත්, ඉන් අදහස් වන්නේ නැහැ ද්විතියික සේවාවලට දැඩි අසාධාරණයක් සිදු වෙනවා කියා. ඇත්තටම, ප්‍රාථමික වුවත් ද්විතියික වුවත්, ඔවුන් සියල්ලන්ටම දැඩි තාක්ෂණික කොන්දේසි තිබේ. මෙම කොන්දේසි මඟින් එකිනෙකාට අසාධාරණයන් ඇතිවීම අවම වේ. දෙගොල්ලන්ම හැමවිටම එම කොන්දේසිවලට යටත්වයි රේඩියෝ තරංග විසුරුවාලිය යුත්තේ. එම කොන්දේසි කඩන විට, ප්‍රාථමික වුවත් ද්විතියික වුවත් ඔවුන්ට එකසේ නීතිය ක්‍රියාත්මක වේ. අවශ්‍ය නම්, එම සේවාවන් තහනම් කිරීමටද නිසි බලධාරියාට බලතල තිබේ. හැබැයි තහනම් කිරීමට පෙර සාධාරණ වගවිභාගයක් පැවැත්විය යුතුයි සියල්ලන්ටම කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙමින්. ද්විතියක සේවාවකට ප්‍රාථමික සේවාවක් මඟින් බාධාවක් ඇති වේ නම්, එම බාධාව ඇති වන්නේ ප්‍රාථමික සේවාව විසින් කොන්දේසි උල්ලංඝණය කිරීම නිසා නම්, දැන් ද්විතියික සේවාවට අයිතියක් තිබෙනවා එම බාධාවට එරෙහිව ක්‍රියා කිරීමට. මෙතැනදී ප්‍රමුඛතාව ඉස්මතු නොවේ.

NFAT හා MIFR

පෙරත් පැවසූ පරිදි, සෑම රටක්ම රේඩියෝ වර්ණාවලිය තුළ විවිධ බෑන්ඩ් විවිධ සේවාවන් සඳහා වෙන් කරනවා. මෙම සම්පූර්ණ වෙන් කර දක්වා තිබෙන සටහන තරමක් විශාලයි. එම සටහන ජාතික සංඛ්‍යාත වෙන් කිරීමේ වගුව (National Frequency Allocation Table – NFAT) ලෙස හඳුන්වනවා. බොහෝ රටවල් මෙම සටහන ලස්සනට රූපමය ආකාරයෙනුත් සවිස්තරාත්මක වගුවක් ආකාරයෙනුත් මහජනයාටද දැකගත හැකි පරිදි ප්‍රකාශ කර තිබෙනවා (අන්තර්ජාලයෙන් නොමිලේම ලබා ගත හැකියි). එහෙත් ලංකාව “ඉතාම දියුණු රටක්” නිසා එවැන්නක් කිරීමට තරම් කාලයක් නැති, ඊට වඩා වැදගත් රාජකාරිවල නිති යෙදී සිටින TRC එක එවැන්නක් ඉදිරිපත් කර නැත. මෙම වගුවද ඉඳහිට වෙනස් වීමට භාජනය වේ මොකද නව සේවා හා සංඛ්‍යාත බෙදීම් කාලයත් සමග සිදු වෙන නිසා.

එක් එක් රටවලට රේඩියෝ තරංග කෙසේ භාවිතා කළ යුතුදැයි තීරණය කිරීමට අභිමතය තිබුණත්, ඉහත විස්තර කළ ආකාරයට යම් ස්වයංවාරණයක් තිබෙනවා. රේඩියෝ තරංගවල ස්වභාවය (රටවල දේශ සීමා නෙතැකීම) ඉන් ප්‍රධාන හේතුවයි. ඊට අමතරව ආර්ථික හා ප්‍රායෝගික කරුණුද තිබෙනවා. උදාහරණයක් ලෙස, අපේ රටේ එෆ්එම් රේඩියෝ සේවා මෙගාහර්ට්ස් 70 සිට 88 දක්වා කලාපය තුල සිදු කළ යුතු යැයි රජය තීරණය කළොත් කුමක් වේවිද? එම සේවා සපයන ආයතනවලට එම සංඛ්‍යාත කලාපය තුල තරංග විසුරුවීමට අවශ්‍ය සම්ප්‍රෙෂක යන්ත්‍ර හා ඇන්ටනා ආදී උපකරණ අවශ්‍ය වෙනවානෙ. ඉතිං එම ආයතන විසින් ඒ උපකරණ තමන් විසින්ම සාදා ගන්නේ නැත. ඒවා පිටින් මිලදී ගැනීමට සිදු වේ. මෙම සංඛ්‍යාත කලාපය සඳහා එවැනි සම්ප්‍රෙෂක යන්ත්‍ර සාදන ආයතන නැත. ඔවුන් නිපදවන්නේ මෙගාහර්ට්ස් 88 සිට 108 දක්වා පරාසය තුල තරංග විසුරුවන උපකරණයි. සේවා සපයන්නා කෙසේ හෝ 70-88 කලාපය තුල විසුරුවන උපකරණ සොයා ගත්තත් නැවත ගැටලුව මතු වන්නේ සේවා ලබා ගන්නා විටයි (නිවාසවලට). මෙම කලාපය තුල වැඩ කරන එෆ්එම් රේඩියෝ සොයා ගතද නොහැකිය. එෆ්එම් රේඩියෝ සේවාවට පමණක් නොව, වෙනත් ඕනෑම අවස්ථාවකට මෙම තත්වය පොදුය.

ලෝකයේ සම්මතයන් හෙවත් ප්‍රමිතින් (standards) බිහි වී තිබෙන්නේ මෙවැනි සංකීර්ණතා අවම කර ගැනීමටයි. බලන්න අපේ එදිනෙදා ජීවිතය තුළ ප්‍රමිතින් කොතෙක් තිබෙනවාද කියා. සපත්තු කුට්ටමක් ගත්තත් එහි සියිස් එක දක්වන්නේ යම් කිසි ක්‍රමයකටයි (සම්මතයකටයි). ටීවී හෝ පරිගණක හෝ වෙනත් විදුලි උපකරණයක් ගත්තත් ඒවා ප්‍රමිතින් විශාල ප්‍රමාණයකට යටත්වයි නිපදවා තිබෙන්නේ. පුද්ගල ආරක්ෂාව (safety), භාණ්ඩයේ කල්පැවැත්ම හා ආරක්ෂාව, ආර්ථික වාසිය, පරිසර සංරක්ෂණය ආදී විවිධ කාරණා සලකා බලා ප්‍රමිතින් බිහි කර තිබෙනවා. අප බීමට ගන්නා වතුර බොතලයටත් ප්‍රමිතියක් තිබෙනවා (අපේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට).

ලෝක මට්ටමින් ප්‍රමිතින් ඇතිකරන හා පවත්වාගෙන යන ප්‍රමුඛතම ආයතනය ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය හෙවත් ISO (International Standards Organization) වන අතර, ජාතික මට්ටමින් සෑම රටකටම ජාතික ප්‍රමිති ආයතනයක් බැඟින් තිබේ. ලංකාවේ එම ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි (Sri Lanka Standards Institute – SLSI). අප පරිහරණය කරන සමහර උපකරණ වල CE, FCC වැනි ප්‍රමිති සංඛේත/අක්ෂර ඔබ දැක ඇති. මින් FCC යනු ඇමරිකානු විදුලි සන්දේශ ආයතනය වන අතර, එම ආයතනයෙන් පනවා ඇති ප්‍රමිතින් මෙම FCC සංඛේතය සහිතව උපකරණයේ සටහන් වේ. CE යනු යුරෝපා රටවල ක්‍රියාත්මක වන එවැනිම විදුලි සන්දේශ ප්‍රමිති දක්වන ක්‍රමයයි.

ඇත්තටම බොහෝ තාක්ෂණික හෝ විශේෂිත ප්‍රමිතින් බිහි වෙන්නේ එම විෂයන් සඳහා සුවිශේෂිව බිහි කර ඇති ආයතන හරහාය. ඉතිං, ITU යනු විදුලි සන්දේශ ක්ෂේත්‍රයේ ප්‍රමිති බිහි කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයතනයයි.

ප්‍රමිතියක් එක රැයකින් බිහි වන්නේ නැත. එය යම් කාලයක් පුරාවට වාද විවාද සංවාද වලට බඳුන් වෙමිනුයි බිහි වන්නේ. මූලික ප්‍රමිති වර්ග දෙකක් ඇත. එකක් නම් නීතිමය තත්වයක්ද සහිත ප්‍රමිති වේ. මෙවැනි ප්‍රමිතින් De Jure ප්‍රමිතින් වේ. නීති හෝ රෙකුලාසි පැනවිය හැකි අධිකාරී ආයතන විසින් මේවා පැනවේ. මෙවැනි ඩිජූරේ සම්මතයන් උල්ලංඝණය කළ නොහැකිය. එසේ කළොත් දඬුවම් ලැබේ මොකද මෙම සම්මතයන් බලපවත්වන්නේ රටේ සාමාන්‍ය නීතියක්/රෙගුලාසියක් ආකාරෙයෙනි. සෞඛ්‍යය, ආරක්ෂාව, පරිසරය වැනි ඉතා බැරෑරුම් හෝ සංවේදී කරුණු සම්බන්ධයෙන් මෙවැනි සම්මතයන් පනවනවා. දෙවැනි ප්‍රමිතින් වර්ගය De Facto ප්‍රමිතින්ය. ඒවාට නීතිමය තත්වයක් නැත. යම් ව්‍යාපාරික හෝ වෙනත් ආයතන සමූයක් රැස්ව මෙවැනි ඩිෆැක්ටෝ ප්‍රමිතින් බිහි කර ගනී. ඇත්තටම වැඩිපුරම තිබෙන්නේ මෙවැනි ප්‍රමිතින් වේ. ආර්ථික වාසි අත්පත් කර ගැනීමට මෙවැනි ඩිෆැක්ටෝ ප්‍රමිතින් ඉවහල් වේ. නැතහොත් එක් එක් ආයතන තමන්ගේ භාණ්ඩ තමන්ට හිතෙන හිතෙන විදියට නිපදවන්නට ගියොත්, එක ආයතනයකින් නිපදවන උපකරණ කොටසක් තවත් ආයතනයකින් නිපදවන භාණ්ඩයකට සවි කිරීමට බැරි වේවි. මින් අවුල් ජාලයක් ඇති වේවි. සිතා බලන්න ඔබ කඩෙන් ගේන ගේන බල්බය ඔබේ නිවසේ තිබෙන බල්බ් හෝල්ඩරයට සවි කිරීමට බැරි වුණොත් කුමක් වේවිද (ප්‍රමිතින් නැති නිසා)?

ඉතිං, රේඩියෝ තරංග ගැන කල්පනා කරන විට, ප්‍රමිතින් ඇති කර ගැනීමත්, රේඩියෝ තරංගවලින් රටවල් එකිනෙකාට ඇති කර ගත හැකි බාධා අවම කර ගැනීමටත් ජාත්‍යන්තර ආයතන හා ජාත්‍යන්තර ගිවිසුම් අත්‍යවශ්‍ය වේ. ITU එක හරහා සිදු වන්නේ එයයි. මේ වන විට අතිසාර්ථකව මෙම කටයුත්ත සිදු වේ. අයිටීයූ එක විසින් බොහෝ රෙගුලාසි පනවා තිබෙන අතර, රටවල් හැමවිටම වාගේ මෙම රෙගුලාසිවලට අනුකූලව වැඩකටයුතු කරනවා. අයිටීයූ විසින් රේඩියෝ තරංග සඳහා පනවා තිබෙන රෙගුලාසි, RadioRegulations (RR) ලෙස හැඳින්වෙන බවත්, එම රෙගුලාසි කිලෝහර්ට්ස් 9 සිට ගිගාහර්ට්ස් 275 දක්වා රේඩියෝ සංඛ්‍යාතය කලාපයට දැනට බලපවත්වන බවත් පෙර අවස්ථාවලදී සඳහන් කළා මතකද?

එක් එක් රටක් තමන්ගේ රට සඳහා වලංගු NFAT (මෙයම FAT කියාද හඳුන්වනවා) වගුවක් සාදනවානෙ. එහෙත්, මෙම වගුව එම රටවල් විසින් සාදන්නේ හිතුමනාපේ නොවේ. ITU විසින් මුලු ලෝකයටම බලපාන පරිදි මෙවැනි විශාල වගුවක් සාදා තිබෙනවා. එය Master International Frequency Register (MIFR) හෝ කෙටියෙන් Master Register ලෙස හැඳින්වෙනවා. ඉතිං, ඒ ඒ රටවල් තමන්ගේ ෆැට් වගුව සකස් කරන්නේ මෙම මාස්ටර් රෙජිස්ටරය පදනම් කර ගෙනයි. අයිටීයූ එක විසින් මෙම මාස්ටර් රෙජිස්ටරය සාදා තිබෙන්නේ මුලු ලෝකයම ප්‍රාදේශික කලාප තුනකට බෙදා වෙන් කරලාය (ITU Region 1, ITU Region 2, ITU Region 3). ඒ කියන්නේ මාස්ටර් රෙජිස්ටරය තුල ප්‍රාදේශික කලාප 3 තුල එක් එක් සංඛ්‍යාතයන් යොදා ගත යුත්තේ කෙලෙසදැයි දක්වනවා. ලංකාව අයිති වන්නේ ‍තුන්වෙනි ප්‍රාදේශික කලාපයටයි (මෙම විස්තර මුල් පාඩමකදී අප ඉගෙන ගත්තා). මෙම විශාල වගුවෙන් එක පිටුවක් පමණක් මා පහත දක්වනවා. මෙවැනි වගුවක් කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතු යැයි මා විශ්වාස කරන නිසා, මේ ගැන තරමක විස්තරයක් දක්වනවා.


මෙම පිටුව මෙගාහර්ට්ස් 47 සිට 75.2 දක්වා වූ සංඛ්‍යාත පරාසය දක්වනවා. කිලෝහර්ට්ස් 9 සිට ගිගාහර්ට්ස් 275 දක්වා වූ විශාල සංඛ්‍යාත පරාසය ආවරණය කිරීම සඳහා මෙවැනි පිටු විශාල ගණනක් තිබෙනවා. මෙම වගුව නොමිලේම අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි. අයිටීයූ ප්‍රාදේශික කලාප 3 තුල වෙන වෙනම එම කලාප තුල පවත්වාගත යුතු සේවා දක්වනවා. තවද, මෙම 47-75.2 MHz පරාසය කුඩා පරාස (බෑන්ඩ්) ගණනාවකට කඩා තිබෙනවා. ඒ කඩා තිබෙන්නේද එක් එක් අයිටීයූ කලාපවල වෙනස් වෙනස් ආකාරවලිනි (ඉහත වගු කොටස බලන්න).

සේවා නාමයන් (FIXED, Mobile ආදී) ලියා තිබෙන්නේ ප්‍රංශ හෝඩියේ අකාරාදි පිළිවෙලටයි. ඇත්තටම ප්‍රංශ හෝඩියද ඉංග්‍රිසි හෝඩියට සමානයි (ශබ්ද කරන විදිය වෙනස්). එනිසා, එම නාමයන් ඉංග්‍රිසි හෝඩියේ අකාරාදී පිළිවෙලට ලියා තිබෙනවා යනුවෙන් පැවසුත් එතරම් ගැටලුවක් නැත. සේවාවල නාමයන් ලියා තිබෙන අනුපිළිවෙලෙහි වෙනත් කිසිදු වැගදත් කමක් හෝ ප්‍රමුඛතා වටිනාකමක් නැත.

මෙවැනි වගුවල ප්‍රාථමික සේවා දක්වන්නේ සේවාවේ නාමය කැපිටල් ඉංග්‍රිසි අකුරුවලින් ලියමින්ය. උදාහරණයක් ලෙස, ප්‍රාදේශික කලාප 1 හි, මෙගාහර්ට්ස් 47 සිට 68 දක්වා වූ සංඛ්‍යාත පරාසය තුල BROADCASTING සේවාව ප්‍රාථමික සේවාව වේ. ඇත්තටම මෙම කලාපය දැනට එම සේවාව සඳහා එක්ස්ක්ලූසිව් ද වේ (ඒ කියන්නේ වෙනත් සේවා සමග මෙම කලාපය ෂෙයාර් කරන්නේ නැත).

එහෙත් එම 47-68MHz පරාසය අනෙක් අයිටීයූ කලාප දෙකට වඩා වෙනස් නේද? එම පරාසය අයිටීයූ කලාප 2 හා 3 එකිනෙකට සමානයි නේද? තවද, අයිටීයූ කලාප 1 හි තනි පරාසයක් (බෑන්ඩ් එකක්) ලෙස තිබුණත් කලාප 2 හා 3 හිදී 47-50MHz, 50-54MHz, හා 54-68MHz ලෙස බෑන්ඩ් 3කටම කඩා තිබේ. කලාප 2 හි 47-50MHz බෑන්ඩ් එක තුළ ප්‍රාථමික සේවා දෙකක්ම ඇත – FIXED, MOBILE. කලාප 3හිදි ප්‍රාථමික සේවා 3කි - FIXED, MOBILE, BROADCASTING. 50-54MHz බෑන්ඩ් එක කලාප 2 හා 3 හිදී ආධුනික ගුවන් විදුලිය සඳහා පමණක් වෙන් කර තිබේ (එහෙත් කලාප 1හිදී මෙම බෑන්ඩ් එක ආධුනික ගුවන් විදුලිය සඳහා යොදා ගත නොහැකිය).

මුල් අකුර කැපිටල්ද, ඉතිරි අකුරු සිම්පල්වලින්ද ලියූ විට, එම සේවා ද්විතියික සේවා ලෙස සැලකිය යුතුය. ඒ අනුව කලාප 2 හිදී 54-68MHz බෑන්ඩ් එක තුළ ද්විතියික සේවා දෙකක් තිබෙනවා - Fixed, Mobile.

තවද, මෙම වගුවල 5.149, 5.17, 5.177, 5.179 වැනි සංඛ්‍යා දක්නට ලැබෙනවා නේද? මේවා අධෝසටහන් දර්ශක (footnote reference) ලෙස හැඳින්වෙනවා. මෙවැනි සංඛ්‍යාවකට සම්බන්ධ යම් සටහනක් හෙවත් කෙටි නෝට් එකක් හෙවත් අධෝසටහනක් (footnote) මෙම වගුවට යටින් දැක්වේ. වගුවේ සටහන් කළ නොහැකි දත්තයන් මෙවැනි ෆුට්නෝට් යොදා විස්තර කෙරේ. එනිසා වගුවේ යම් කොටුවක් තුල ඇති සංඛ්‍යාත බෑන්ඩ් එකත් එම බෑන්ඩ් එක තුල පවත්වාගෙන යන සේවාවලටත් අදාල යම් යම් වැඩිපුර තොරතුරු ඉන් දැනගත හැකියි. සමහර ෆුට්නෝට් රෙෆරන්ස් යම් සේවා නාමයකට පසුව ඒ එක්කම ලියනවා. එවිට එම ෆුට්නෝට් එකෙන් කියවෙන දේ ඍජුවම එම සේවාවට පමණයි වලංගු වන්නේ. තවත් අවස්ථාවක ෆුට්නෝට් රෙෆරන්ස් ලියන්නේ සේවා සියල්ලම ලියා දක්වන කොටුවේ පහල කොටසේය. එවිට එම ෆුට්නෝට්වලින් කියන දේ එම සේවා සියල්ලන්ටම පොදුවේ වලංගු වෙනවා.

සංඛ්‍යාත පරාසයන් විවිධ සේවාවලට වෙන් කිරීම සංකීර්ණ වේ. එබැවින් සෑම රටක්ම එකම සම්මතය පිළිපදින්නේ නැත. සමහර රටවල පවතින එවැනි වෙනස්කම්ද සටහන් කරන්නේ මෙවැනි ෆුට්නෝට්වලය. උදාහරණයක් ලෙස, යම් රටක් තීරණය කර තිබෙනවා නම්, මෙම වගුවේ කොටුවක් තුල නොමැති සේවාවක් යම් බෑන්ඩ් එකක් තුල පවත්වාගෙන යෑමට, අන්න එවැනි දත්තයන් ෆුට්නෝට් එකකින් දැක්විය හැකියි. මෙවිට එම සේවාවන් ප්‍රාථමිකද ද්විතියකද යන වගත් සඳහන් කෙරෙනවා. පහත දැක්වෙන්නේ එවැනි ෆුට්නෝට් එකක් මාස්ටර් රෙජිස්ටරයෙන් උපටා ගැනීමකි.

5.54B Additional allocation: in Algeria, Saudi Arabia, Egypt, the United Arab Emirates, the Russian Federation, Iraq, Lebanon, Morocco, Qatar, the Syrian Arab Republic, Sudan and Tunisia, the frequency band 8.3-9 kHz is also allocated to the radionavigation, fixed and mobile services on a primary basis. (WRC 12)”

ඉහත 5.21B යන ෆුට්නෝට් එකෙන් කියන්නේ ඇල්ජීරියාව, සවුදි අරාබියාව හා එහි සටහන් කර ඇති අනෙක් රටවල්ද 8.3-9KHz යන සංඛ්‍යාත පරාසය රේඩියෝනැවිගේෂන්, ෆික්ස්ඩ් (ස්ථාවර), හා මොබයිල් (ජංගම) යන සේවා සඳහා ප්‍රාථමික සේවා වශයෙන් (on a primary basis) වෙන් කර තිබෙන බවයි. ශ්‍රී ලංකාවට බලපාන එවන් ෆුට්නෝට් එකක් මා පහත උපුටා දක්වනවා. මින් කියන්නේ පිලිපීනය හා ලංකාව තුල, 1606.5 – 1705KHz යන පරාසය ද්විතියික සේවාවක් (on a secondary basis) වශයෙන් broadcasting සඳහා වෙන් කරන බවයි.

“5.91 Additional allocation: in the Philippines and Sri Lanka, the band 1 606.5-1 705 kHz is also allocated to the broadcasting service on a secondary basis. (WRC-97)”

මෙවැනි ෆුට්නෝට්වල බොහෝවිට WRC-97 වැනි සටහනක් වරහන් තුල දක්නට ලැබෙනවා. ඉන් කියන්නේ මෙම ෆුට්නෝට් එකෙන් කියවෙන කාරණය ගැන තීරණය ගත් World Radio Conference එක පැවැත්වූ වසරයි. උදාහරණයක් ලෙස, ඉහත 5.91 යන ෆුට්නෝට් එක 1997 වසරේදී පැවැත් වූ WRC සමුලුවයි තීරණය කර තිබෙන්නේ.

යම් රටක් විසින් ෆැට් වගුවක් සකස් කර ඇත්නම් හා එහි විස්තර යාවත්කාලීන (updated) නම්, කිසි ගැටලුවක් නැතිවම අවශ්‍ය සියලුම දත්තයන් එම වගු/රූපය මඟින් ලබා ගත හැකි වේවි. එහෙත් එවැනි ජාතික ෆැට් වගුවක් සකස් කර නොමැති නම්, අයිටීයූ එකේ මාස්ටර් රෙජිස්ටරය බැලීමට සිදු වේ. ඕනෑම රටක් තම රට තුල රේඩියෝ තරංග යොදාගෙන සේවා පවත්වාගෙන යන්නේ කෙසේද කියා තීරණය කිරීමට අභිමතය ඇතත්, සාමාන්‍යයෙන් අයිටීයූ එකේ රෙගුලාසි හා මාස්ටර් රෙජිස්ටරය අනුගමනය කරන බවත් ඔබ දැන් දන්නවා. එහෙත් නොයෙක් හේතු නිසා ඒවාට පිටින් ගියොත්, ඒ වගද ITU එකට නොපමාව දැනුම් දෙනවා. එවැනි දැනුම්දීම් ඉහත පැවසූ පරිදි ෆුට්නෝට්වල දක්වනවා. එනිසා විශාල ෆුට්නෝට් ප්‍රමාණයක්ද වගුවලට අමතරව දක්නට ලැබෙනවා. ඉතිං, ඔබට යම් රටක් තුල රේඩියෝ තරංග භාවිතා කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට එම රට අයිති අයිටීයූ ප්‍රාදේශික කලාපයට අදාල තීරු කියවන්න. ඊට අමතරව ෆුට්නෝට්ද කියවන්නට සිදු වෙනවා මොකද විශේෂිත දේවල් තිබෙන්නේ ෆුට්නෝට්වල නිසා.

Frequency Allocation හා Frequency Assignment

යම් සංඛ්‍යාත පරාසයක් සඳහා යම් සේවාවක් (ප්‍රාථමික හෝ ද්විතියික ලෙස) ඉහත වගුවක් තුල ඇතුලු කිරීම frequency allocation ලෙසයි හඳුන්වන්නේ. ඉතිං යම් රටක් තුල රේඩියෝ තරංග උපයෝගි කර ගෙන යම් සේවාවක් අරඹනවා නම්, පළමුව එම සේවාව සඳහා ෆ්‍රීක්වන්සි ඇලොකේෂන් එකක් සිදු කර ගත යුතුය. එහෙම නැතිව හිතුමනාපේ එවැනි සේවා ඇරඹිය නොහැකිය. කෙලින්ම වගුවේ කොටු තුල හෝ ෆුට්නෝට්වල එම සේවාවන් දැක්විය හැකි බව ඔබ දැන් දන්නවා. එහෙත් ෆුට්නෝට්වල මෙවැනි ඇලොකේෂන් එකක් දක්වන ක්‍රම දෙකක් ඇත.

1. මෙහිදී “also allocatedයන වචනය යොදාගන්නේ නම්, එවැන්නක් additional allocation කියා හැඳින්වෙනවා. මෙවිට, වගුවේ කොටුව තුල දක්වා තිබෙන (ප්‍රාථමික හෝ ද්විතියික) සේවා ලැයිස්තුවේම දිගුවක් ලෙසයි ෆුට්නෝට් එකේ සේවා සැලකිය යුත්තේ. මෙලෙස අමතරව එකතු කරන සේවාව ප්‍රාථමිකද ද්විතියිකද යන වගත් ඒ සමගම කියනවා. උදාහරණයක් ලෙස, පහත දැක්වෙන්නේ එවැනි ඇඩිෂනල් ඇලොකේෂන් එකක් සිදු කරන ෆුට්නෝට් එකකි. සාමාන්‍යයෙන් මෙවැනි ෆුට්නෝට් එකක් ආරම්භ වන්නේත් Additional alloction: යනුවෙනුයි.

5.54C Additional allocation: in China, the frequency band 8.3-9 kHz is also allocated to the maritime radionavigation and maritime mobile services on a primary basis. (WRC 12)

2. මෙහි “allocatedලෙස තිබේ නම් (also යන කොටස නැතිව), එවැන්නක් alternative allocation කියා හැඳින්වෙනවා. මෙවිට, වගුවේ කොටුව තුල දක්වා තිබෙන සේවා ඉවත් කර ඒ වෙනුවටයි ෆුට්නෝට් එකේ සේවාවන් ආදේශ කළ යුත්තේ. සාමාන්‍යයෙන් මෙවැනි ෆුට්නෝට් එකක් ආරම්භ වන්නේ Alternative allocation: යනුවෙන්ය. පහත දැක්වෙන්නේ එවැනි ඕලටර්නේට් ඇලොකේෂන් එකක් දක්වන ෆුට්නෝට් එකකි.

5.68 Alternative allocation: in Angola, Congo (Rep. of the), the Dem. Rep. of the Congo and South Africa, the band 160-200 kHz is allocated to the fixed service on a primary basis. (WRC 12)

යම් සංඛ්‍යාත පරාසයන් ඉහත කුමන හෝ ආකාරයකින් ඇලොකේට් කළ පසු, විවිධ අයට/ආයතනවලට එම පරාසයන් තුල අදාල රේඩියෝ තරංග සේවාවන් රටක් තුල ඇරඹිය හැකියි. මේ සඳහා ඒ ඒ රටවල පවතින විදුලි සන්දේශ නියාමන අධිකාරිය මූලිකත්වය ගනී. ITU ලේඛනවල එක් එක් රටක් (හෝ එම රටේ විදුලි සන්දේශ නියාමන බලධාරි ආයතනය) Administration (පරිපාලය අධිකාරිය) යන නමින් හඳුන්වන බවද සිහිතබා ගන්න. මෙලෙස ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් විසින් එම රටේ යම් අයෙකුට/ආයතනයකට යම් රේඩියෝ බෑන්ඩ් එකක් තුල නීත්‍යානුකූල රේඩියෝ තරංග සේවාවක් ඇරඹීමට අවසර දීම හා ඒ සඳහා සුදුසු කුඩා රේඩියෝ සංඛ්‍යාත පරාසයක් වෙන් කර දීම assignment ලෙස හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස, මෙගාහර්ට්ස් 88 සිට 108 දක්වා වූ රේඩියෝ බෑන්ඩ් එක fm radio BROADCASTING සේවාව සඳහා වෙන් කර ඇත. එනිසා මෙම බෑන්ඩ් එක එෆ්එම් බෑන්ඩ් එක කියායි හැඳින්වෙන්නේ. මෙම බෑන්ඩ් එක තුල එෆ්එම් සේවා ගණනාවක්ම පවත්වාගෙන යා හැකියි. ලංකාවේ හිරු එෆ්එම්, සිරස එෆ්එම්, සිටි එෆ්එම් ආදී නම්වලින් එෆ්එම් සේවා ගණනාවක්ම පවතිනවා නේද? මේ එක් එක් චැනල්වලට TRC එක තමයි කුඩා සංඛ්‍යාත පරාසයන් assign කළේ. TRC එක තමන්ගේ අවසරය දීමේදී වාර්ෂිකව විශාල මුදලක් අය කරනවා එම ආයතනවලින්.

Bandwidth
ඕනෑම රේඩියෝ සේවාවක් සඳහා එක් රේඩියෝ සංඛ්‍යාතයක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, යම් රේඩියෝ සංඛ්‍යාත පරාසයක්ම අවශ්‍ය කෙරෙනවා. ඒ ඒ සේවාවේ ස්වභාවය අනුව කොතරම් සංඛ්‍යාත පරාසයක් අවශ්‍ය කෙරෙනවාදැයි තීරණය වෙනවා. උදාහරණයක් ලෙස, එෆ්එම් රේඩියෝ සේවාවක් සඳහා කිලෝහර්ට්ස් 30ක පමණ පරාසයක් අවශ්‍ය කෙරෙනවා. මෙලෙස හර්ට්ස් අගයකින් යම් සංඛ්‍යාත පරාසයක් දක්වන විට, ඊට bandwidth කියා පවසනවා. එහි තේරුම “බෑන්ඩ් එකේ පළල” යන්නයි. ඒ අනුව එෆ්එම් රේඩියෝ සේවාවක් සඳහා හර්ට්ස් 30,000 ක හෙවත් කිලෝහර්ට්ස් 30ක බෑන්ඩ්විත් එකක් අවශ්‍යයි. එහෙත් රූපවාහිනි සේවාවක් සඳහා ඊට වඩා කිහිප ගුණයක් විශාල බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කෙරෙනවා; දළ වශයෙන් එය කිලෝහර්ට්ස් 6,250ක් හෙවත් මෙගාහර්ට්ස් 6.25ක පමණ වේ. මෝර්ස්කෝඩ් ක්‍රමයෙන් රේඩියෝ සංඥා සම්ප්‍රේෂනය කිරීමේදී හර්ට්ස් 600ක් හෝ ඊටත් වඩා කුඩා බෑන්ඩ්විත් එකක් තමයි අවශ්‍ය වන්නේ. ඇත්තටම තත්පරයකට යවන තොරතුරු ප්‍රමාණය වැඩි වන්නට වන්නට අවශ්‍ය කරන බෑන්ඩ්විත් එකද සමානුපාතිකව වැඩි වෙනවා.

බෑන්ඩ්විත් එකක් පාරකට උපමා කළ හැකියි. පාරක් හැමවිටම අඩි 8ක් හෝ 10ක් හෝ වෙනත් අඩි ගණනක් පළලින් යුක්තයිනෙ. පාරක් දිගේ වාහන යෑමට නම්, එලෙස ගමන් කරන වාහනවල සයිස් එකට ගැලපෙන පලලක් පාරේ තිබිය යුතුයි. අඩි පාරක් දිගේ බයිසිකල් ගියත් ලොරියකට යා නොහැකියිනෙ. අන්න ඒ වගේ තමයි, සේවාවේ හැටියට බෑන්ඩ්විත් තීරණය වන්නෙත්. සාමාන්‍ය කටහඬ පමණක් සම්ප්‍රේෂනය කරනවාට වඩා රූප සම්ප්‍රේෂනය කිරීමට විශාල බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කෙරෙනවා. අප දැන් සලකා බැලූ උපමාවට අනුව, එෆ්එම් සේවාව බයිසිකලයක් නම්, රූපවාහිනි සේවාව ලොරියකි. යවන දත්ත/තොරතුර (හා දත්තයේ/තොරතුරේ ස්වභාවය) අනුව බෑන්ඩ්විත් එක කෙසේ තීරණය වන්නේදැයි උගන්වන ඉතා හොඳ විස්තරයක් පසු පාඩමක ඇත.

Amateur Bands

ආධුනික ගුවන් විදුලිය සඳහාද විශාල බෑන්ඩ් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. LF කලාපයේ සිට EHF කලාපය දක්වාම සියලු රේඩියෝ කලාපවල මෙම ආධුනික ගුවන් විදුලි බෑන්ඩ් පිහිටා තිබෙනවා. සංඛ්‍යාතය වෙනස්වන විට රේඩියෝ තරංගවල විසිරීයෑමේ යම් යම් ගුණාංග වෙනස් වේ. එනිසා, ආධුනික ගුවන් විදුලිය සඳහා විවිධ සංඛ්‍යාත කලාපයන්වල කුඩා බෑන්ඩ් ගණනාවක් ලබා දී තිබෙන්නේ, එමඟින් ආධුනික ගුවන් විදුලි ශිල්පින්ට රේඩියෝ තරංග ගැන ඉතා හොඳ අධ්‍යනයක් කළ හැකි වනු පිනිසය. එම දැනුම රේඩියෝ තරංග තාක්ෂණයේ දියුණුවට උදව් වේ. එසේ වුවත්, ඕන ඕන අයට එම සංඛ්‍යාත පරාසයන් භාවිතා කළ නොහැකිය. අදාල රටේ විදුලි සන්දේශ නියාමන බලධාරි ආයතනයෙන් (ලංකාවේදී නම් TRC එකෙන්) අවසර දීපු අයට පමණි එම ආධුනික ගුවන් විදුලි පරාස (amateru radio band හෙවත් amateur band) භාවිතා කළ හැක්කේ. එම අවසරය ලැබෙන්නේ (මා පාඩම් මාලාවේ මුලින්ම පැවසූ ලෙස) යම් විභාගයක් සමත්ව අදාල කොන්දේසිද සපුරා වාර්ෂික බලපත්‍ර ගාස්තුද ගෙව්වොත් පමණි. මෙලෙස විභාග සමත්ව ඉන්පසු බලපත්‍රයක් ලබාගැනීමේ ක්‍රියාවලිය ඇත්තටම ඉහත අප කතා කළ assignment නම් ක්‍රියාවලිය ආධුනික ගුවන් විදුලියේදී ක්‍රියාවේ යොදවන ආකාරයයි. යම් රේඩියෝ තරංග සේවාවක් කරගෙන යෑමට අසයින්මන්ට් එකක් අවශ්‍යයිනෙ.

ITU එක විසින් අයිටීයූ කලාප 3 සඳහාම ඇමචර් බෑන්ඩ් ගණනාවක්ම ඇලොකේට් කර (වෙන් කර) තිබෙන අතර, බොහෝ රටවල් එම බෑන්ඩ් තම රට තුලද එලෙසම පවත්වාගෙන යනවා. එහෙත්, අයිටීයූ එක වෙන් කර තිබෙන ඇමචර් බෑන්ඩ් යම් රටක් තුල ක්‍රියාත්මක කරන විට, ඉන් සමහර බෑන්ඩ් පොඩි පොඩි වෙනස්කම්වලටද ලක් වෙනවා. උදාහරණයක් ලෙස, ITU එක විසින් යම් ඇමචර් බෑන්ඩ් එකක් සඳහා වෙන් කරපු බෑන්ඩ්විත් එක යම් රටක් තුල අඩු කර තිබිය හැකියි. තවද, අයිටීයූ එක ආධුනික ගුවන් විදුලිය සඳහා යම් සංඛ්‍යාත පරාසයක් වෙන් කළත්, යම් රටක් එම සංඛ්‍යාත පරාසය ඒ සඳහා අවසර නොදී තිබිය හැකියි. උදාහරණයක් ලෙස, අයිටීයූ එක විසින් ඇමචර් රේඩියෝ සඳහා වෙන් කර තිබෙන 135.7-137.8KHz හා 472-479KHz යන ඇමචර් බෑන්ඩ් දෙකම ලංකා රජය විසින් පිළිගෙන නැත (එනම් එම පරාස දෙක ආධුනික ගුවන් විදුලි ශිල්පින්ට භාවිතා කිරීමට අවසර දී නැත). තවත් අවස්ථා තිබෙනවා ITU එකෙන් වෙන් නොකරපු සංඛ්‍යාත කලාපයන් ආධුනික ගුවන් විදුලිය සඳහා යම් රටවල් වෙන් කර තිබෙනවා.

පහත වගුවේ ඇත්තේ ලංකාව අයත්වන අයිටීයූ කලාප 3 හිදී ආධුනික ගුවන් විදුලිය සඳහා පොදුවේ වෙන්කොට තිබෙන ඇමචර් බෑන්ඩ් සියල්ලයි. සාම්ප්‍රදායිකව ඇමචර් බෑන්ඩ් එකක් යොදා ගෙන සන්නිවේදනය සිදු කරනවාට අමතරව, චන්ද්‍රකා තාක්ෂණයද දැන් යොදා ගනී. එනිසා එවැනි ආධුනික ගුවන් විදුලි චන්ද්‍රකා සඳහාද රේඩියෝ සංඛ්‍යාත වෙන් කරන්නට සිදු වන්නේ සමහර ආධුනික ගුවන් විදුලි බෑන්ඩ්වලින්මයි. එලෙස අවසර ලත් බෑන්ඩ් විස්තරය තීරුවේ සටහන් කර ඇත. අයිටීයූ කලාපවලට බෙදා ඒ එක් එක් කලාපවලට වෙන් කරන සංඛ්‍යාත පරාස වෙනස් වුවත්, සමහර බොහෝ සංඛ්‍යාත පරාසයන් කලාප දෙකකට පොදුය. තවත් සංඛ්‍යාත පරාසයන් කලාප 3ටම පොදුය. එවැනි කලාප තුනටම පොදු අවස්ථාද විස්තර තීරුවේ “අනෙක් කලාප දෙකටද පොදුය” ලෙස සටහන් වේ.

ඇත්තටම එලෙස කලාප තුන සඳහාම පොදු සංඛ්‍යාත පරාසයන් තිබීම අවශ්‍යයෙන්ම තිබිය යුතු ලක්ෂණයකි. නැතහොත් එක් රටක (කලාපයක) සිටින කෙනෙකුට වෙනත් රටක සිටින ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් සමඟ සන්නිවේදනය කිරීමට බැරි වෙනවානෙ. සංඛ්‍යාත කලාප වශයෙන් ගත් කළ ලෝකය පුරාම ගමන් කිරීමට හැකියාව තිබෙන්නේ HF කලාපයේ තරංගවලටයි (ඒ ඇයිද යන්න පසුවට විමසා බලමු). එනිසා, එච්එෆ් කලායේ සියලුම බෑන්ඩ් කලාප තුනටම පොදු වන සේ නිර්ණය කර ඇත. එය උවමනාවෙන්ම ගත් තීරණයකි. එහෙත් සංඛ්‍යාතය ඉහලට යන විට තරංග කිලෝමීටර් දහස් ගණන් දුර යවන්නට අපහසුබවක් ඇති වේ. එසේ වුවත්, UHF ට පසුව ඇති බොහෝ බෑන්ඩ්ද කලාප තුනටම පොදු වන සේ තීරණය කර ඇත. ඊට හේතුව තවමත් එම අධිසංඛ්‍යාත කලාප වෙනත් සේවා සඳහා බහුලව භාවිතා නොවන නිසා, එක් එක් කලාපයට වෙන වෙන සංඛ්‍යාත පරාසයන් හඳුන්වාදෙනවාට වඩා එකම සංඛ්‍යාත පරාසයක් කලාප තුනටම පොදුවේ හඳුන්වාදීම නිසා පරිපාලනයේදී ඇතිවන පහසුව විය හැකිය.

සංඛ්‍යාත පරාසය
විස්තරය
LF


135.7-137.8 kHz උපරිම ජවය වොට් 1කි. අනෙක් කලාප දෙකටද පොදුය.
MF


472-479 kHz උපරිම ජවය වොට් 1කි. අනෙක් කලාප දෙකටද පොදුය.
1800–2000 kHz 1800-1850 kHz පරාසය අනෙක් කලාප දෙකටද පොදුය.
HF


3500–3900 kHz 3500-3750 kHz පරාසය අනෙක් කලාප දෙකටද පොදුය.
7000-7100kHz ආධුනික චන්ද්‍රිකා සඳහාද යොදා ගැනේ.
7100-7200kHz අනෙක් කලාප දෙකටද පොදුය.
10.10–10.15 MHz අනෙක් කලාප දෙකටද පොදුය.
14.00-14.25 MHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
14.25 – 14.35MHz අනෙක් කලාප දෙකටද පොදුය.
18.068–18.168 MHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
21.00–21.45 MHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
24.89–24.99 MHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
28.0–29.7 MHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
VHF


50-54MHz

144-146MHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
146-148MHz

UHF


430-432MHz

432-438MHz

438-440MHz

1240-1300MHz

2300-2450MHz

SHF


3300-3400MHz

3400-3500MHz

5650-5725MHz අනෙක් කලාප දෙකටද පොදුය.
5725-2830MHz

5830-5850MHz ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
10.00-10.45GHz

10.45-10.50GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
24.00-24.05GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
24.05-24.25GHz අනෙක් කලාප දෙකටද පොදුය.
EHF


47.0-47.2GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
75.5-76.0GHz ???
76.0-77.5GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
77.5-78.0GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
78-79GHz අනෙක් කලාප දෙකටද පොදුය.
79-81GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
122.25-123.00GHz අනෙක් කලාප දෙකටද පොදුය.
134-136GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
136-141GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
142-144GHz

241-248GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.
248-250GHz අනෙක් කලාප දෙකටද පොදුය. ආධුනික චන්ද්‍රකා සඳහාද යොදා ගැනේ.

ISM Bands

එහෙත් ITU එකේද ආශිර්වාදය මත ලෝකයේ සෑම රටක්ම පාහේ බෑන්ඩ් කිහිපයක් මහජනයාට (ඕනෑම කෙනෙකුට) නොමිලේ භාවිතා කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මෙම බෑන්ඩ් ISM bands (Industrial Scientifc Medical bands) ලෙස නම් කරනවා. හැබැයි යම් යම් කොන්දේසිද මෙහිදී අදාල වෙනවා. ඔබ භාවිතා කරන බ්ලූටූත් (Bluetooth), වයිෆයි (Wi-Fi), ආදිය ක්‍රියාත්මක වන්නේ මෙවැනි නිදහස් සංඛ්‍යාත පරාසයක තමයි. වයර්ලස් මවුස්, කොර්ඩ්ලස් ෆෝන්, හෝ එවැනි වයර් රහිත උපකරණද බොහෝ විට මෙම බෑන්ඩ් එකක් තමයි යොදා ගන්නේ. තවද, රේඩියෝ තරංගවලින් හසුරුවන (Radio controlled – RC) සෙල්ලම් බඩු (රේසිං කාර්, හෙලිකොප්ටර්, කොඩ්කොප්ටර් ආදිය) වලත් මෙම බෑන්ඩ් යොදා ගන්නවා. එමඟින් අපට මෙවැනි රේඩියෝ උපාංග භාවිතා කිරීමට කාගෙන්වත් අවසර ගැනීමට අවශ්‍ය නොවේ. පෞද්ගලික උපකරණ මෙන්ම, කර්මාන්තශාලා වල භාවිතා වන උපකරණ, විද්‍යාත්මක උපකරණ, වෛද්‍ය උපකරණද මෙම ISM බෑන්ඩ් යොදා ගනී.

එහෙත් මෙම බෑන්ඩ් භාවිතා කිරීමේදී තිබෙන ප්‍රධානම කොන්දේසිය තමයි එම රේඩියෝ උපකරණ අඩුබල (low power) විය යුතුය (මිලිවොට් අගයක් විය යුතුය). මෙම කොන්දේසිය නිසා තමයි, ඔබේ බ්ලූටූත් උපාංගයට වැඩි දුරක් වැඩ නොකරන්නේ. මෙම කොන්දේසිය නිසා, මෙම බෑන්ඩ් එක විශාල පිරිසකට බාධා රහිතව පරිහරණය කිරීමට අවස්ථාව ලබා දෙනවා. කෙටි දුර නිසා, ඔබේ නිවසේ බ්ලූටූත් හෝ එවැනි උපකරණයකින් පිටවන රේඩියෝ තරංග අල්ලපු ගෙදර උපකරණවලට බාධා ඇති කරන්නේ නැත. ඇත්තටම මෙම සංඛ්‍යාත පරාසයන් නිදහස් කර තිබෙන්නේ සන්නිවේදන කටයුතු සඳහා නොවේ. එනිසා යම් යම් උපක්‍රම භාවිතා කොට දිගු දුරකට මෙම සංඛ්‍යාත කලාපයේ රේඩියෝ තරංග විසුරුවා හැරීම නීති විරෝධි වේ.

පහත දැක්වෙන්නේ මේ වන විට, ITU විසින් නිදහස් සංඛ්‍යාත පරාසයන් ලෙස හඳුන්වා දී තිබෙන බෑන්ඩ්ය. මින් 2450MHz යන ISM බෑන්ඩ් එක ඉතාම ප්‍රචලිත අතර, 5800MHz බෑන්ඩ් එකද ප්‍රචලිත වෙමින් පවතිනවා මොකද 2450 බෑන්ඩ් එක විශාල උපකරණ තොගයක් දැනටමත් භාවිතා කෙරෙන නිසා (එහි දැන් ඉඩ මදිය). යම් පාරක් බොහෝ දෙනා භාවිතා කරන විට, එම පාර දිගේ යෑමට අපහසු වන නිසා, අලුත් පාරවල් සෑදීමට සිදු වෙනවා නේද? මීට අමතරව, සමහර රටවල් වෙනත් සංඛ්‍යාත පරාසද එම රටවල් තුල නිදහස් කර තිබෙනවා ISM බෑන්ඩ් ලෙස (උදාහරණයක් ලෙස ජර්මනිය ගත හැකිය). තවත් සමහර රටවල්, අයිටීයූ එක නිදහස් කර ඇති අයිඑස්එම් බෑන්ඩ් කිහිපයක් පමණයි තම රට තුල අවසර දී තිබෙන්නේ.

ISM bands
මැද සංඛ්‍යාතය
13553 – 13567 kHz 13 560 kHz
26957 – 27283 kHz 27 120 kHz
40.66 – 40.70 kHz 40.68 MHz
2400 – 2500 MHz 2 450 MHz
5725 – 2875 MHz 5 800 MHz
24.00 – 24.25 GHz 24.125 GHz

මැද සංඛ්‍යාතය (center frequency) යනු සංඛ්‍යාත පරාසයේ හරි මැද තිබෙන සංඛ්‍යාතයයි. පරාසයේ පහල හා ඉහල අගයන් දෙක එකතු කර, දෙකෙන් බෙදූ විට මැද සංඛ්‍යාතය ලැබේ. මීට අමතරව, අයිටීයූ එක තවත් බෑන්ඩ් කිහිපයක් ISM බෑන්ඩ් ලෙස “ඒ ඒ රටවල් කැමති නම් සලකන ලෙස” හඳුන්වා දී තිබෙනවා. එම බෑන්ඩ් නම්, 6765-6795kHz, 433.05-434.79MHz, 61-61.5GHz, 122-123GHz, 244-246GHz වේ.
ඉහත සඳහන් ඇමචර් බෑන්ඩ් හා අයිඑස්එම් බෑන්ඩ් හැරුණු විට, තවත් බොහෝ සේවාවන් සඳහා බෑන්ඩ් වෙන් කොට ඇත. දැනට ලංකාව තුල (සමහර ඒවා මුලු ලෝකය පුරාමත්) වෙන් කර තිබෙන බෑන්ඩ් කිහිපයක් හඳුනාගමු.

එෆ්එම් රේඩියෝ සේවාවන් (FM radio broadcasting) 88-108MHz

AM radio broadcasting 540-1600kHz

ගුවන් යානා මෙහෙයුම් 108-136MHz

නාවුක මෙහෙයුම් 156-163MHz

GSM ජංගම දුරකතන 880-915MHz, 925-960MHz හා 1710.2-1784.8MHz, 1805.5-1879.8MHz

CDMA දුරකතන (824-838MHz, 869-883MHz)

W-CDMA (Wideband Code Division Multiple Access) හෙවත් UMTS (Universal Mobile Telecommunication System) හෙවත් 3G (3rd Generation) සේවාව හා මෙහිම දියුණු අවස්ථාවක් වන 3.5G හෙවත් HSPA (High Speed Packet Access)/HSDPA (High Speed Downlink Packet Access)/HSUPA (High Speed Uplink Packet Access) යන සේවා සඳහා 1920-1980MHz, 2110-2170MHz

4G (4th Generation) හෙවත් LTE (Long Term Evolution) – මෙම සේවාව පවතින්නේද GSM සඳහා වෙන් කර තිබූ 1800Mhz බෑන්ඩ් එකේමය (එනම්, 1710.2-1784.8MHz, 1805.5-1879.8MHz)

WiMax (Wordwide Interoperability for Microwave Access) 2.496-2.690GHz හා 5470-5850MHz

Global Navigation Satellite System (GNSS) සේවාවක් වන ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යංශය විසින් පාලනය කෙරෙන GPS (Global Positioning System) සඳහා 1569.42-1581.42MHz යොදා ගනී. මෙම පරාසයේ හරි මැද සංඛ්‍යාතය 1575.42MHz වේ. එනිසා මෙම පරාසය 1575.42MHz ලෙස හැඳින්වෙනවා (ඇත්තටම සංඛ්‍යාත පරාසයක් හැමවිටම මෙම මැද සංඛ්‍යාතයෙන් හැඳින්විය හැකිය). මීට අමතරව 1227.60MHz, 1381.05MHz, 1379.913MHz, 1176.45MHz යන මැද සංඛ්‍යාතද යොදා ගන්නවා.

තවත් රටවල් කිහිපයක් විසින්ම GNSS පද්ධති හඳුන්වාදෙමින් සිටී. මෙම බොහෝ පද්ධති තම රට හා ඒ අවට පෙදෙස්වලට පමණක් සේවාව සැපයීම අරමුණ වේ. රුසියාව විසින් පාලනය කෙරෙන GLONASS (Global Navigation Satellite System) සඳහා 1598.0625-1605.375 MHzසංඛ්‍යාත කලාපය යොදා ගනී. මෙය උතුරු ධ්‍රැව ආසන්න පෙදෙස්වලට සේවාව මූලිකව සපයනවා. ඊට හේතුව GPS පද්ධතිය ධ්‍රැව ආසන්න පෙදෙස්වලට සේවා හොඳින් සපයන්නේ නැති වීමයි. තවත් GNSS සේවාවක් වන යුරෝපා සංගමය විසින් පාලනය කෙරෙන Galileo සඳහා 1559-1594 MHzයොදා ගනී. මෙයත් GPS මෙන් මුලු ලෝකයටම සේවා සැපයීමට නියමිතයි. ජපානයේ Quasi Zenith Satellite System (QZSS), ඉංදියාවේ Indian Regional Navigation Satellite System (IRNSS) චීනය Beidou ප්‍රාදේශික සේවාවන් සපයයි. එහෙත් චීනය Beidou පද්ධතිය වැඩිදියුනු කරනවා මුලු ලෝකයටම මෙම සේවාව සැපයීම සඳහා. එවිට එය Beidou2 හෝ Compass යන නමින් හඳුන්වන්නට නියමිතයි. ඇත්තටම GPS ද ඇතුලු ඉහත සියලු සේවාවන් 1559 – 1610 MHz යන සංඛ්‍යාත බෑන්ඩ් එක තුලයි පවතින්නේ. එය ලොව පුරාම GNSS සඳහා වෙන් කර ඇත. මෙම සංඛ්‍යාත කලාපයම පර්යේෂන කටයුතු සඳහාද යොදා ගන්නවා (shared).

රූපවාහිනි සේවා (Television broadcasting) සඳහා 470-582MHz (band IV), 606-790MHz (band V), 41-68MHz (Band I), 174-230MHz (Band III). විවිධ මූලාශ්‍රවල මෙම පරාස අගයන් සුලු සුලු වෙනස්කම් සහිතව දක්වා තිබේ.

මීට අමතරව, පොලිස් හා ආරක්ෂක අංශවල සේවා සඳහා, විවිධ රාජ්‍ය හා වානිජ ආයතන සඳහා, පර්යේෂන කටයුතු සඳහා ආදී ලෙස රේඩියෝ තරංග අවශ්‍ය කරන සේවා රාශියක් ඇති අතර, ඒ සෑම සේවාවකටම අවශ්‍ය සංඛ්‍යාත පරාස වෙන් කොට ඇත. ලංකාව තුල සංඛ්‍යාත පරාසයන් බෙදා ඇත්තේ කෙසේද යන්න සොයා බැලීමට අපහසුය. TRC එක විසින් එවැනි වගුවක් ඉදිරිපත් කර නැති වීම ඉතාම කනගාටුදායකය. එහෙත් ලංකාවේ මහා ලොකුවට “විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය” නමින් අමාත්‍යංශයක්ද ඇත.

No comments:

Post a Comment