Wednesday, August 10, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 3


ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු වීමට…


ලංකාව තුල ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් වීමට සැපිරිය යුතු සුදුසුකම් පහත දැක්වේ.

1. වයස 16 ට වැඩි වීම

2. ආධුනික ගුවන් විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීමට තරම් තාක්ෂණික දැනුමක් තිබේ යැයි ශ්‍රී ලංකා විදුලි සන්දේශ කොමිසමේ (ආධුනික ගුවන් විදුලිය පිළිබද) නිසි බලධාරියා සෑහීමකට පත් වීම

3. එම කොමිසම විසින් පවත්වනු ලබන විභාගයෙන් සමත් වීම

සෑම රටකම ආධුනික ගුවන් විදුලිය නියාමනය කිරීමට රාජ්‍ය ආයතනයක් පවතිනවා. බොහෝවිට එය එම රටේ විදුලි සන්දේශ (telecommunication) කටයුතු නියාමනය/පාලනය කරන ආයතනයම වේ. ඇමෙරිකාවේ එය FCC (Federal Communications Commission) වේ; බ්‍රිතාන්‍යයේ එය OfCom (Office of Communications) වේ. ලංකාවේද ආධුනික ගුවන් විදුලිය හා සියලුම විද්‍යුත් සන්නිවේදන (විදුලි සන්දේශ) සේවාවන් නියාමනය කරන්නේ විදුලි සන්දේශ කොමිසම (Telecommunication Regulatory Commission of Sri Lanka – TRCSL) විසිනි. බොහෝ අය එය කෙටියෙන් "ටීආර්සී එක" යනුවෙනුයි අමතන්නේ. සමහර රටවල විදුලි සන්දේශ නියාමනය කරන ආයතනයම නොවෙයි ආධුනික ගුවන් විදුලිය නියාමනය කරන්නේ. ඊට හොද උදාහරණයකි ඉංදියාව. ඉංදියාවේ විදුලි සන්දේශ නියාමනය කරන්නේ TRAI (Telecom Regulatory Authority of India) විසින් වන අතර, ආධුනික ගුවන් විදුලිය නියාමනය කරන්නේ සන්නිවේදන අමාත්‍යංශයේ පිහිටුවා තිබෙන WPC (Wireless Planning and Coordination) නම් ආයතනික ව්‍යුහය විසිනි.

ලංකාවේ TRC හි ප්‍රධානියා (සභාපති) ලෙස නිල බලයෙන්ම පත් වන්නේ විදුලි සන්දේශ විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා වේ. ඊට අමතරව අධ්‍යක්ෂ ජනරාල්වරයා (Director General – DG) ඇතුලු තවත් අධ්‍යක්ෂවරුන් විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කෙරේ. ඩීජී තමයි කොමිසමේ එදිනෙදා කටයුතු මෙහෙයවන්නේ. එහි ආධුනික ගුවන් විදුලිය භාරව නිළධාරියෙක්ද සිටී. ඔහු විසින් අවශ්‍ය විභාග පැවැත්වීම හා වෙනත් අවශ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත.

ඇත්තෙන්ම වයර් සහිත හෝ රහිත ඕනෑම දුරකතන සම්බන්ද ගැටලුවක් අවසාන වශයෙන් මෙම කොමිසමටයි ඉදිරිපත් කළ යුතු වන්නේ (එහෙත් එසේ දැනුම් දීමට පෙර අදාල දුරකතන සේවා සපයන සමාගම සමග සාකච්ඡා කර එම ගැටලුව විසදාගැනීමට කටයුතු කළ යුතුය). මීට අමතරව, දුරකතන සොරකම් හෝ වෙනත් ඕනැම විදුලි සන්දේශ සම්බන්ද ගැටලු යොමු කළ යුතු ආයතනය මෙයයි. සියලු රේඩියෝ, ටීවී, අන්තර්ජාල සේවා සම්බන්ධ කටයුතු සියල්ල නියාමනය කරන්නේද එය විසිනි (මෙමගින් රජයට විශාල ආදායමක් මෙම ආයතනය විසින් උපයා දේ). ඇත්තටම රේඩියෝ තරංග භාවිතා කර සිදු කරන ඕනෑම කටයුත්තකදී නිසි බලධාරියා වන්නේ විදුලි සන්දේශ කොමිසම් සභාවයි. මෙම ආයතනයට ඉදිරිපත් කරන සියලු පැමිණිලි ලිඛිතව ලබා දිය යුතු බව එම ආයතනය ස්ථාපනය කළ නීති පනතේම සදහන් වෙනවා. එහෙත් එම ආයතනය සමග ඔබට 1900 යන කෙටි දුරකතන අංකය ඔස්සේ සම්බන්දව අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි.

සටහන
මෙතරම් වැදගත් ආයතනයක් වුවත්, එම ආයතනය සමග මාගේ පෞද්ගලික අත්දැකීම් හා පොදුවේ මහජන මතය නම් අප්‍රසන්නය; මිනිසුන් ගැන එතරම් නොතකන වැඩවසම් ක්‍රමයක් එහි පවතී. උදාහරණයක් ලෙස, යම් කලකට උඩදී එහි සිටි ශ්‍රියාණි මාවත්ත වැනි නමක් ඇති උසස් නිලධාරිනියකට යම් ගැටලුවක් යොමු කළ විට ඇය මට කීවේ ඇයටත් එවැනිම ප්‍රශ්න ඇති බවත්, ඇයට එහි සේවය කරමින් සිටියත් විසදා ගැනීමට බැරිව කොහොමද මට උදව් කරන්නේ කියාය. තවත් වරක වයිෆයි රවුටරයක් ක්ලියර් කර ගැනීමට මා හට පැය 5කට වඩා එහි තපින්නට වූයේ අදාල නියෝජ්‍ය අධ්‍යක්ෂවර "හාමුුමහත්තයා" පැය ගණනක් දවල් කෑම වලදමින් සිටි නිසාය. මීටත් අමතරව රාජපක්ක ආණ්ඩු කාලයේ රාජපක්ක ජනපති විසින් විදුලි සන්දේශ ඇමති ධූරයද දැරූ හෙයින් ජනපති ලේකම් ලලිත් වීරතුංග එහි සභාපති බවට පත්ව එවකට එහි අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ දේශපාලන හෙන්චයියකු වන අනූෂ පැල්පිට සමග, රුපියල් කෝටි 50ක පමණ ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස වැය කොට රාජපක්කට දේශපාලන වාසි ලබා දීමට සිල් රෙදි බෙදා දී ආයතනයට විශාල කලු පැල්ලමකි ඇති කළේය.

ජාතික වශයෙන් සෑම රටකම විදුලි සන්දේශ නියාමනය කරන ආයතනය බැගින් ඇති අතර රට අභ්‍යන්තරයේ විදුලි සන්දේශ කටයුතු ඉන් නියාමනය වේ. එහෙත් විදුලි සන්දේශ හා රේඩියෝ තරංග යනු විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන්නකි. එය කිසිසේත් වැලැක්විය නොහැකිය. උදාහරණයක් ලෙස, ලංකාවේ යම් තැනක සිට ක්‍රියාත්මක කරන රේඩියෝ තරංග විසුරුවා හරින ට්‍රාන්ස්මිටරයකින් නිකුත් වන රේඩියෝ සංඥා ලෝකය පුරාම පැතිරී යා හැකියි. ඒ සදහා අති විශාල විදුලි බලයක්ද අවශ්‍ය නොවේ; ඔබේ ගෙදර සාලයේ ඇති වොට් 100 බල්බයට යන විදුලිය ඊට ප්‍රමාණවත්ය. ඉතිං සිතා බලන්න ලෝකයේ විවිධ තැන්වල සිටින මිනිසුන් මෙලෙස රේඩියෝ තරංග යොදා ගැනීමට ගියොත් සිදු විය හැකි අවහිරතා හා බාධා. සෑම කෙනෙකුගේම සංඥා මිශ්‍ර වී කිසිදු පණිවුඩයක්වත් හරියට නොයනු ඇත. එනිසා රට තුල මෙන්ම රටවල් අතරද එවැනි බාධා අවහිරතා ඇති නොවන පරිදි රේඩියෝ/විදුලි සන්දේශ නියාමනය කළ යුතු නොවේද? ඒ සදහා ජාත්‍යන්තර ආයතනයක් පිහිටුවා ගෙන ඇත. එය International Telecommunication Union (ITU) හෙවත් ජාත්‍යන්තර විදුලි සන්දේශ සම්මේලනය ලෙස හැදින්වේ. සෑම රටකම පවතින ජාතික විදුලි සන්දේශ නියාමකය ආයතන මෙහි සාමාජිකත්වය ලබා ඇත. ඒ අනුව ලංකාවේ TRC එක මෙහි සාමාජිකයෙකි. මෙම අයිටීයු ආයතනය එක්සත් ජාතින්ගේ සංගමයට (United Nations – UN) අනුබද්ධිතයි (ඇත්තටම එක්සත් ජාතින්ගේ සංවිධානයටත් වඩා එය බොහෝ පැරණියි).

ITU පිහිටවූයේ 1865 මැයි 17 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරය. එය පිහිටවන මොහොතේ යුරෝපා රටවල් 20ක් ඒ සදහා සහභාගි විය. පිහිටුවන විට ඊට International Telegraph Union (ITU) යන නම තැබුවේය. ඊට හේතුව මේ වන විට රේඩියෝ තාක්ෂණය නොපැවතීම හා තිබූ එකම විදුලි සන්දේශ සේවාව වුයේ ටෙලිග්‍රාෆ් වීමයි. එකල එංගලන්තය, කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය ආදී ලෙස ලෝකයේ බොහෝ රටවල් ටෙලිග්‍රාෆ් සේවා අරඹන ලදි. ඉන්පසු එක් එක් රටවල වෙන් වෙන්ව පැවති ටෙලිග්‍රාෆ් ජාල එකිනෙකට සම්බන්ද කරන්න පටන් ගත්තා. 1850 දී එංගලන්තය හා ප්‍රංශය එකිනෙකට සම්බන්ද කරමින් මුහුද යටින් ටෙලිග්‍රාෆ් වයර් ඇද්දේය. 1858 දී අත්ලාන්තික සාගරය හරහා ඇමරිකාව හා යුරෝපය අතරද එවැනි ටෙලිග්‍රාෆ් ලයින් ඇද්දේය. මෙලෙස රටවල් එකිනෙකා සම්බන්ද වන විට නීති ගැටලු ඇති විය. ඊට හේතුව එක් එක් රටවල පැවති නීති හැමවිටම එකිනෙකා හා සමපාත නොවීමයි. මෙහි ප්‍රතිපලයක් ලෙස, එවැනි ගැටලු පහසුවෙන් නිරාකරණ කර ගැනීමට තමයි ITU පිහිටුවා ගත්තේ. ඇත්තටම එය ඉතාම ඵලදායි වූවා. අදටත් මෙම ආයතනය නිසා ලෝකය පුරා විදුලි සන්දේශ නීති හා සම්මතවල ඒකමතික ස්වභාවයක් පවතිනවා. යම් කාලයකට සැරයක් එහි සියලු සාමාජිකයන් රැස්ව පවතින තත්වයන් හා නව ප්‍රවණතා සමාලෝචනය කරමින් කාලයට සුදුසු සම්මුතින් ඇති කර ගන්නවා. 1934 දී එහි නම අද පවතින International Telecommunication Union ලෙස වෙනස් කර ගත් අතර, 1945 දී එක්සත් ජාතින්ගේ සංවිධානය බිහි වීමෙන් පසු 1947 දී එහි අනුබද්ධිත ආයතනයක් බවට පත් විය. පහත දැක්වෙන්නේ 1865 දී එය ස්ථාපනය කිරීමට එකග වූ සම්මුතියේ ඡායාරූපයි.



ආරම්භක රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදී ඊට සහභාගී වූ අයගේ සමූහ ඡායාරූපයක් පහත ඇත.
 
ITU ආයතනයට ඇත්තේ ඉතාම භාරදූර පුලුුල් රාජකාරියක් නිසා සාමාන්‍යයෙන් එහි රාජකාරි කටයුතු තවත් ආයතනික ව්‍යුහ රාශියක් හරහායි සිදු වන්නේ. විවිධ විෂයන් සදහා එවැනි ව්‍යුහ හා උපආයතන රාශියක් පිහිටුවා ගෙන ඇත. ITU යටතේ ඇති එවැනි එක් ව්‍යුහයක් තමයි World Radio Conference (WRC) කියන්නේ. සෑම වසර 3ක් හෝ 4කට සැරයක් මෙහි මහා සමුලුවක් පවත්වයි. එලෙස එක් එක් සමුලුුව පැවැත්විම සදහා ඔවුන් යම් රටක නගරයක් තෝරා ගනී.

මෙම WRC සමුලු අපට (ආධුනික ගුවන් විදුලියට) වැදගත්ය. ඊට හේතුව මෙම සමුලුවලින් තමයි රේඩියෝ තරංග ආශ්‍රිත ජාත්‍යන්තර සම්මුතින් හා රෙගුලාසි සාදන්නේ. එම රෙගුලාසි "රේඩියෝ රෙගුලාසි" (RadioRegulations) ලෙස හැදින්වෙනවා. මෙම රෙගුලාසි කෙටියෙන් RR ලෙසද හැදින්වෙනවා. දැනට බලපැවැත්වෙන්නේ 2012 වසරදී අවසන් වරට සකස් කළ රේඩියෝ රෙගුලාසි වේ. මෙලෙස සාදන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එහි සාමාජිකත්වය දරන රටවල් බැදී සිටිනවා. ආධුනික ගුවන් විදුලි ශිල්පින් මෙම රෙගුලාසි පිළිබද මනා දැනුමකින් යුතු විය අතර, විභාගයේදී මේ පිළිබද දැනුම පිරික්සනවා. ඇත්තටම ජාතික වශයෙන් පනවන රෙගුලාසි පදනම් කරගන්නේද මෙම RR වේ.

WRC යන්න 1993 ට පෙර හැදින්වූයේ WARC (World Administrative Radio Conference) ලෙසයි. ඒ අනුව එම නම් දෙකෙන්ම කියවෙන්නේ එකම ආයතනයයි. රේඩියෝ රෙගුලාසි හා ජාතික වශයෙන් පනවා ඇති රෙගුලාසි පසුවට ඉගැන්වේ.

දැන් නැවතත් හැම් කෙනෙකු වීමට අවශ්‍ය ඉහත කොන්දේසි තුන වෙත අවධානය යොමු කරමු. පළමු කොන්දේසිය අනුව වයස 16ට වඩා වැඩි විය යුතුය. මීට පෙර මෙම වයස මීටත් අඩුවෙනුයි පැවතියේ. අදටත් බොහෝ රටවල මෙම වයස් සීමාව 12 හෝ 14 තරම් අඩුවෙනුයි පවතින්නේ. වයස 16 යනු තවමත් පාසල් යන වයසකි. ඒ කියන්නේ පාසල් ශිෂ්‍යන්ට පවා හැම් කෙනෙකු විය හැකියි. ඒ පමණක් නොවේ, අවශ්‍ය නම් පාසලේ ආධුනික ගුවන් විදුලි සංගම් (amateur radio club/association) පිහිටුවිය හැකියි (විදුහල්පතිගේ අවසර ඇතිව හා TRC එකේ අනුමැතිය ඇතිව). එය හරියට පාසලේ බෞද්ධ සමිතිය, සාහිත්‍ය සමිතිය වැනි වේ (එහෙත් ඇමචර් රේඩියෝ ක්ලබ් එක නීති රීති රැසකින් බැදී පවතින භාරදූර එකක් බවද සිහිතබා ගත යුතුය).

මාගේ අවබෝධය හැටියට දෙවැනි කොන්දේසිය අනවශ්‍ය වේ මක්නිසාද තෙවැනි කොන්දේසිය විසින් ඉබේම දෙවැන්න තෘප්ත වන නිසාය. අවශ්‍යයෙන්ම මෙම ක්ෂේත්‍රයේ නියැලීමට යම් දැනුමක් අවශ්‍ය වේ. එය පරික්ෂා කර බැලිය යුතුමය. ITU විසින්ද මේ බැව් අවධාරණය කර තිබෙනවා. ඉතිං ඒ දැනුම තිබෙනවාද යන්න සොයා බැලීම සදහානෙ TRC එක විසින් විභාගයක් පවත්වන්නේ. ඇමරිකාව වැනි රටවල මෙම විභාගය පවත්වන්නේ ආධුනික ගුවන් විදුලි සංගම් හා එහි සාමාජිකයක් විසින්මය. විභාගය කෙසේ විය යුතුද, තිබිය යුතු ප්‍රශ්න මොනවාද ආදීය තීරණය කර බලාත්මක කරන්නේ FCC එක විසින්ය. එහෙත් ලංකාවේදී මෙම විභාගය TRC එක වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වයි (ලංකාවේ රාජ්‍ය විභාග සාමාන්‍යයෙන් පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුව විසිනි).

බොහෝ රටවල මෙම විභාගය වසරකට කිහිප වරක්ම පවත්වයි (මාසයකට සැරයක් හෝ මාස කිහිපයකට සැරයක්). ලංකාවේද එය වසරකට තෙවරක් පැවැත්වීම සම්ප්‍රදාය (එය රීතියක්දැයි මා නොදනී) වේ. එහෙත් TRC එකෙන් විමසූ විට කියන්නේ විභාගයට පෙනී සිටින කට්ටිය අඩු නිසා වරකට තුන් හතර දෙනෙක් සදහා එය පැවැත්වීම අපහසු බවයි.

ලෝකයේ හැම රටකම මෙවැනි විභාගයක් සමත් විය යුතුම වෙනවා ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් වීමට නම්. ඒ ඒ රටවල පවත්වන විභාග වෙනස්ය. ඇත්තටම විභාගය මට්ටම් කිහිපයකින් පවත්වනවා. ලංකාවේදී එය මේ මොහොතේ මට්ටම් තුනකින් පවත්වනවා (මීට කලකට පෙර මට්ටම් හතරක් පැවතියා). එම මට්ටම් තුන නම්,

1. Novice (ආරම්භක)
2. General (සාමාන්‍ය)
3. Advance (උසස්)

ක්‍රමයෙන් ඉහල මට්ටම්වලට යන විට දැනගත යුතු දැනුමද ගැඹුරු වේ (ඒ කියන්නේ විභාගය ක්‍රමයෙන් අමාරු වේ). මට්ටම් තුන සදහා හිමිවන වරප්‍රසාදද (privileges) වෙනස් වේ. ඉහල මට්ටම්වලට ඉහල වරප්‍රසාද හිමි වේ. මෙහිදී වරප්‍රසාද යනු විදුලි සන්නිවේදනය කිරීම සදහා අමතර රේඩියෝ තරංග මාලාවන් හෙවත් වැඩිපුර සංඛ්‍යාත පරාසයන් හිමි වීම, හා තමන් භාවිතා කරන ට්‍රාන්ස්මිටර්වල බලය/ජවය (වොට් ගණන) වැඩි වීමයි. මේ වරප්‍රසාද ගැන පසුවට සවිස්තරාත්මකව දැක්වේ.

ඉස්සර මෙම විභාගය ලිඛිත පරික්ෂණයක් හා ප්‍රායෝගික මෝර්ස් කෝඩ් පරික්ෂණයකින් යුතු වූවා. වර්තමානයේදී මෝර්ස් පරික්ෂණය අනිවාර්ය වන්නේ ඇඩ්වාන්ස් මට්ටම සදහා පමණි. මෙය ලංකාවේ පමණක් නොව ලොව පුරාම ක්‍රමයෙන් සිදු වන්නක් (ඇමරිකාවෙ පවා). මීට එක් හේතුවක් නම්, නූතන ඩිජිටල් දියුණු ක්‍රමවේද පවතින ලෝකයේ මෝර්ස් කෝඩ්වල ප්‍රයෝජනය අවම වීමයි. ඉස්සර මෝස්කෝඩ් තමයි ප්‍රබලවම භාවිතා වූයේ (ටෙලිග්‍රාෆ් පදනම් වූයේ මෝර්ස් කෝඩ් මතයි). එහෙත් දැන් මුලු ලෝකයම නිල වශයෙන් කිසිදු සන්නිවේදන කටයුත්තකට මෝර්ස් කෝඩ් යොදා ගන්නේ නැත (බහුලව එය නාවික හමුදාවන් භාවිතා කළත් දැන් එයද නවතා ඇත). එනිසා ආධුනික ගුවන් විදුලියට මෝස් කෝඩ් අත්‍යවශ්‍ය නැති බව ITU විසින් තීරණය කර ඇත. ඒ අනුව යමින් මෝස් කෝඩ් ක්‍රමයෙන් විශ්‍රාම යවමින් පවතී.

ඒ කෙසේ වෙතත් සමහර (පැරණි) ආධුනික ගුවන් විදුලි ශිල්පින් මෙම තීරණයට එකග නැත. ඔවුන් කියන්නේ මෝර්ස් කෝඩ් පවත්වා ගෙන යා යුතු බවයි. එහි පැති කිහිපයක් ඇත. ITU එක හෝ රටේ පවතින නියාමන ආයතනය (TRC) කිසිවිටක මෝස්කෝඩ් තහනම් කර හෝ ඉදිරියේදි තහනම් කරන්නේද නැත. තවමත් කැමති අයට එය ඉගෙන රිසි සේ භාවිතා කළ හැකියි. සිදු වී තිබෙන්නේ විභාග සදහා අනිවාර්යෙන් සමත් විය යුතුව තිබූ මෝර්ස් පරික්ෂණය අහෝසි කිරීම හෝ ලිහිල් කිරීම පමණි. තාක්ෂණය දියුණු වේ. ඉස්සර ගොන් කරත්තවල ගිය අපි දැන් ජෙට්වලින් ගමන් කරනවා. ඉතිං මෙම ලෝක න්‍යාය ආධුනික ගුවන් විදුලියටද පොදුය. ITU එක පවා දැන් කියන්නේ පුලුවන් තරම් ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ලෙසයි (එවිට එහි වාසි බොහෝ ඇත; ඒ ගැන පසුවට බලමු).

එහෙත් මෝර්ස් කෝඩ් දැන සිටීම හා ඉන් සන්නිවේදනය කිරීමම තවත් දක්ෂකමක් හා ආඩම්බරයට කරුණකි. සමහරෙකුට හොදින් සින්දු කිව හැකියි; තවෙකෙකු තවත් දෙයක් හොදින් ඉගෙන ඉන් "වැඩ පෙන්වයි". එලෙසම මෝර්ස් කෝඩ් දැනගෙන ඉන් සන්නිවේදනය කිරීමත් එක්තරා විදියක "වැඩ පෙන්වීමකි". ඉතිං බොහෝ දෙනෙකු මෝර්ස් කෝඩ් දැනටත් ස්වෙච්ඡාවෙන්ම ආශාවෙන් ඉගෙන ගන්නවා විභාගයට අත්‍යවශ්‍ය නොවුණත් (එයද සතුටු විය හැකි තත්වයකි). අනෙක් අතට පැරණි ආධුනික ගුවන් විදුලි ශිල්පින් මෙය අහෝසි කිරීමට විරුද්ධ වන්නේ ඔවුන් එය දැනටමත් සමත් නිසා එය සමත් නොවී එන අලුත් පිරිසටත් ඔවුන් අමාරුවෙන් ලබාගෙන විදින වරප්‍රසාදම හිමි වීම දැකීමට අපහසු නිසා විය හැකියි (එය සාමාන්‍ය මිනිස් ගතියක් නිසා ඔවුන්ට ඊට බැනීම අනවශ්‍ය වේ). මෝර්ස් කෝඩ් ගැන ඉතා හොද විස්තරයක් පසුවට ඇත.

ඇත්තටම පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ හෝ වෙනත් අධ්‍යාපනික ආයතනවලට පමණක් නොවේ මෙලෙස ඇමචර් රේඩියෝ ක්ලබ්/සංගම් සාදා ගත හැක්කේ. ආධුනික ගුවන් විදුලි ශිල්පින් පිරිසක් එකතු වී රටේ ඕනෑම ප්‍රදේශයක එවැනි ක්ලබ් එකක් පිහිටුවා ගත හැකියි. එහෙත් මේ හැම ක්ලබ් එකක්ම TRC එකේ අනුමැතිය ගත යුතු වේ (ඒ සදහා සැපිරිය යුතු කොන්දේසි පසුව දක්වන්නම්). සෑම රටකම වාගේ අඩුම තරමේ ජාතික මට්ටමේ මෙවැනි ආධුනික ගුවන් විදුලි ශිල්පින්ගේ සංගම්/ක්ලබ් එකක් හෝ තිබේ.

ලෝකයේ පැරණිම ආධුනික ගුවන් විදුලි සංගමය 1910 දී ඔස්ට්‍රේලියාවේ පිහිට වූ Wireless Institute of Australia (WIA) වේ. බ්‍රිතාන්‍යයේ Radio Society of Great Britain (RSGB) නම් ජාතික ආධුනික සංගමය පිහිට වූයේ 1913 දීය. ඇමරිකාවේදී 1914 දී American Radio Relay League (ARRL) පිහිට වුණි. ජපානයේ Japan Amateur Radio League (JARL) 1926 දීද, 1950 දී ජර්මනියේ Deutche Amateur-Radio-Club (DARC) , 1925 දී ප්‍රංශයේ Reseau des Emetteurs Francais (REF) , 1954 දී ඉංදියාවේ Amateur Radio Society of India (ARSI) ද පිහිට විය. මේ ආදි ලෙස සෑම රටකටම එක් ප්‍රධාන ආධුනික ගුවන් විදුලි සංගමයක් තිබේ.

මෙවැනි සංගම්වල මූලික අරමුණ වන්නේ ආධුනික ගුවන් විදුලි ශිල්පින් වෙනුවෙන් ශක්තිමත් හඩක් රට තුල නියෝජනය කිරීමයි. තනි තනිව ක්‍රියාත්මක වනවාට වඩා සමූහයක් ලෙස වැඩකටයුතු කිරීම වැදගත් හා ශක්තිමත්ය. සාමාන්‍යයෙන් රජය හා රාජ්‍ය ආයතන විසින් ආධුනික ගුවන් විදුලියට අතහිත දීම වෙනුවට එය අධෛර්යමත් කරන තීරණයි ගන්නේ. ඊට හොදම උදාහරණයකි ලංකාව. ලංකාවේදී ජාතික ආරක්ෂාව නාමයෙන් බොහෝ ප්‍රගතිශීලි දේවල් අඩපණ වේ. ඇත්තටම අතීතය දෙස බැලීමේදී ලෝකයේද මෙවැනි තාඩන පීඩන ආධුනික ගුවන් විදුලියට සිදු වු නිසා තමයි එවැනි අවස්ථාවලදී එවැනි බාධා අවහිරතාවලට විරුද්ධව ශක්තිමත්ව නැගී සිටීමට මෙවැනි සංගම් පිහිටුවා ගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම රේඩියෝ තරංගවල පවතින වානිජමය වටිනාකම තේරුම්ගත් විට ඒවායින් හම්බ කිරීමට උත්සහ දැරූවන් ආධුනික ගුවන් විදුලිය අඩපණ කිරීමට කුමන්ත්‍රණ කර ඇත (එවිට ආධුනික ගුවන් විදුලිය සදහා වෙන් කළ සංඛ්‍යාත පවා තනි භුකිතියට ලැබෙනවනේ). විශේෂයෙන් ඇමරිකාවේ ARRL යනු ඇමරිකාව වෙනුවෙන් පමණක් නොව මුලු ලෝකයේම ආධුනික ගුවන් විදුලිය වෙනුවෙන් එදා සිට අද දක්වාම අමිල සේවයක් කරන දැනටත් ලෝකයේ ප්‍රබලම ආධුනික ගුවන් විදුලි සංගමයයි.

අද වන විට මෙවැනි සංගම්වලින් විවිධ තරග සංවිධානය කෙරේ. ඊට අමතරව නවකයන් පුහුණු කරවන වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි. ඊටත් අමතරව, ආධුනික ගුවන් විදුලියට සම්බන්ධ සමහර උපකරණ (බීකන්, රිපීටර් වැනි) පවත්වාගෙනද යයි. එකිනෙකාට උපකාර කරමින් හොද ආධුනික ගුවන් විදුලියක් පවත්වා ගෙන යෑමට ඔවුන් විශාල මහන්සියක් දරයි.


ලංකාවේද එවැනි සංගමයක් ඇත. එය ශ්‍රී ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය (Radio Society of Sri Lanka – RSSL) වේ. එය නිල වශයෙන් පිහිට වූයේ 1950 වසරේදිය. එහෙත් ඉතිහාසය දෙස බලන විට, එකදහස් නවසිය විසි ගණන් වන විටත් අපේ රටේ ආධුනික ගුවන් විදුලි සංගමයක් තිබී ඇත. එය ලංකාවට ගුවන් විදුලිය හදුන්වා දුන් හාර්පර්ගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ Ceylon Wireless Club වේ. එහෙත් එය අභාවයට ගොස් ඇත. RSSL හි ලාංඡනය පහත දැක්වේ.


 
සෑම මසකට වරක්ම RSSL සාමාජිකයන් රැස් වේ. එවිට එම අවස්ථාවකට ගොස් සාමාජිකත්වයට ඉල්ලුම් කළ හැකියි. යම් ආරම්භක ගාස්තුවකුත්, වසරක් පාසා යම් සාමාජික ගාස්තුවක් ගෙවා RSSL හි සාමාජිකත්වය ලබා ගත හැකියි. ඇත්තටම මෙහි සාමාජිකත්වය ගැනීම අත්‍යවශ්‍ය නොවේ; මෙහි සාමාජිකත්වය ඇතත් නැතත් ඉහත සදහන් අවශ්‍ය සුදුසුකම් සපුරලනවා නම් ඔබට බලපත්‍රය ලබා ගත හැකියි. මේ වන විට එහි සාමාජිකත්ව මට්ටම් කිහිපයක් පවත්වාගෙන යයි.

1. Student - වයස 18 ට අඩු හා පාසලක දැනටමත් ඉගෙනුම ලබන අය

2. Affiliate - අනෙක් කිසිම ක්‍රමයකට නොවැටෙන සාමාජික මට්ටම (උදාහරණයක් ලෙස වෙනත් ආධුනික ගුවන්විදුලි සංගම්වලට මෙම සංගමයේ සාමාජිකත්වය ගත හැක්කේ මෙම සාමාජික්තව මට්ටම ඔස්සේය)

3. Associate - ඉහත Student කාණ්ඩයට නොවැටෙන හා තවමත් ආධුනික ගුවන් විදුලි ශිල්පි බලපත්‍රයක් ලබා නොගත් අය

4. Corporate - දැනට බලපත්‍රයක් ලබා සිටින සියලු අය

5. Honorary - යම් ක්ෂේත්‍රයකින් කීර්තියට පත් අයට ගෞරවයෙන් පිරිනමන සාමාජික මට්ටම

ලෝකයේ බොහෝ රටවල මෙවැනි සංගම් කිහිපයක්ම පිහිටුවා ගෙන තිබෙනවා. ලංකාවේද මේ වන විට ARAL (Amateur Radio Association of Sri Lanka) ලෙස තවත් සංගමයක් තිබේ. අවශ්‍ය නම්, තවත් සංගම් මුලින් පැවසු ලෙසම සාදාගත හැකියි. ඒ සදහා සැපිරිය යුතු කොන්දේසි කිහිපයක් ඇත.

1. එම ආයතනය ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී තිබිය යුතු අතර එය ඉගැන්වීම් සිදු කරන ආයතනයක් ලෙස පවත්වා ගෙන යා යුතුය.

2. එම ආයතනයේ පරමාර්ථ (Objective) වශයෙන් රේඩියෝ තරංග උපයෝගි කරගෙන සිදුකරන පර්යේෂන (research) හෝ රේඩියෝ තරංග මගින් ස්ථානය සොයාගැනීම් සිදුකරන සේවා (radio navigation) හෝ රේඩියෝ සන්නිවේදන තාක්ෂණ ක්‍රම (radio communication techniques) අධ්‍යනය කිරීම හා පුහුණු කිරීම සදහන් කළ යුතු වේ.

3. ආයතනයට බලපත්‍රය ගැනීමේදී දැනටමත් බලපත්‍රයක් හිමි ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු එහි භාරකරුවකු ලෙස නම් කළ යුතු අතර, ඔහුගේ ඉදිරිපිට හා ඔහුගේ මෙහෙයවීම මත පමණක් එම ආයතනයට ක්‍රියාකරවීමට අවසර දී ඇති විදුලි සන්දේශ උපකරණ ක්‍රියාත්මක කළ යුතුය. තවද, ආයතනයට ක්‍රියාකරවීමට ලැබෙන උපකරණවල වරප්‍රසාද මට්ටම තීරණය වන්නේ මෙම භාරකාර ආධුනික ගුවන් විදුලි ශිල්පියාගේ වරප්‍රසාදමයි. එනිසා ඔහුට පෞද්ගලිකව හිමි රේඩියෝ වරප්‍රසාද ඉක්මවා ආයතනයට වරප්‍රසාද නොලැබේ.

එක් එක් රටක මෙලෙස ස්වාධීනව පවතින සංගම් එකතු වී ලෝක මට්ටමේ තනි විශාල සංගමයක්ද 1925 අප්‍රේල් 18 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදි පිහිටුවා ගන්නා ලදි. එය International Amateur Radio Union (IARU) ලෙස හැදින්වේ. මෙය ආධුනික ගුවන් විදුලියට වැදගත් දිනයක් වන අතර ලෝක ආධුනික රේඩියෝ දිනය (World Amateur Radio Day – WARD) ලෙසද අප්‍රේල් 18 සැමරේ. මෙම ලෝක පරිමාණ සංගමය බිහි වීමට ප්‍රධානම හේතුව එම කාලය වන විට ආධුනික ගුවන් විදුලිය අඩපණ කිරීමට නොයෙක් අය දැරූ උත්සහයට විරුද්ධව කටයුතු කිරීමයි. ඇත්තටම මෙම සංගමය හරහා ආධුනික ගුවන් විදුලි ශිල්පින් සාර්ථක විය. නොයෙක් වරප්‍රසාද ඔවුන් හිමි කර ගත්තා. ආරම්භයේදී රටවල් 25ක් පමණක් සිටියත් මේ වන විට සෑම රටකම පාහේ සාමාජිකයෙක් මෙහි සිටී. මෙම සංගමයට සෑම රටකින්ම එක් ආධුනික ගුවන් විදුලි සංගමයකට පමණක් සාමාජිකත්වය හිමි වේ. ඒ අනුව RSSL එහි ලංකාවේ නියෝජිත ආයතනය වේ. ITU හි තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගි වීමට තරම් IARU ට දැන් පිළිගැනීමක් තිබේ.

IARU මගින් වැදගත් සේවා ගණනාවක්ම සිදු කරනවා ආධුනික ගුවන් විදුලියේ ප්‍රගමණය උදෙසා. ඉන් එකක් නම් ජාත්‍යන්තර බීකන් ව්‍යාපෘතියයි (මේ ගැන විස්තර පසුවට ඇත). පරිපාලන හා තාක්ෂණික අවශ්‍යතා නිසා මුලු ලෝකයම IARU විසින් කොට්ඨාශ (regions) 3කට කඩා ඇත. එම කොට්ඨාශ IARU region1, region2, region3 ලෙස නම් කර ඇත. එම සිතියම පහත දැක්වේ. එක් එක් රීජන් එක මෙහෙයවන්නේ වෙන් වෙන්වයි. රීජන් 3 හි මෙහෙයුම් මූලස්ථානය පිහිටා තිබෙන්නේ ජපානයේය. රීජන් 2 හි මූලස්ථානය ඇමරිකාවේ පිහිටා ඇත. ශ්‍රී ලංකාව අයත් වන්නේ රීජන් 3 ට වේ.


 ඇත්තටම IARU විසින් මෙලෙස නම් කර ඇති කලාප 3 එලෙසම ITU එක විසින්ද වෙන් කර තිබෙනවා. මෙහිදී ඒවා ITU Region1, Region2, Region3 කියායි හැදින්වෙන්නේ. අයිටීයූ එකට මෙලෙස ලෝකය කොටස් 3කට කඩන්නට සිදු වූයේ ප්‍රායෝගිත තාක්ෂණික හේතු නිසාය (එනම් රේඩියෝ සංඛ්‍යාත කාර්යක්ෂමව ලෝකයේ රටවල් අතර ගැටලු ඇති නොවන පරිදි බෙදා දීමටයි). IARU ට පෙර ITU එක විසිනුයි මෙම කලාප පළමු වරට කඩා වෙන් කළේ (IARU විසින් එම කලාප එලෙසම ගත් අතර නම පමණක් සුලුවෙන් වෙනසක් කළා). දළ වශයෙන් කළාප 3ට ඇතුලත් ප්‍රදේශ පහත දැක්වේ.

Region 1 - යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ආසියාව (රුසියාවද සහිතව)
Region 2 - උතුරු හා දකුණු ඇමරිකාව
Region 3 - ඔස්ට්‍රේලියාව, ආසියා පැසිෆික් කලාපය, දකුණු හා අග්නිදිග ආසියාව, ඉහත කලාප දෙකට අයත් නොවන සෙසු කලාප

ලෝක මට්ටම් ඇමචර් රේඩියෝ ක්ලබ් එකක්ද 1962 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පිහිටු විය (එම සංගමය එක් රටකට පමණක් නොව සමස්ථ ආධුනික ශිල්පින්ටම අයත් වේ). එය International Amateur Radio Club (IARC) ලෙස නම් කර ඇත. මෙය ආධුනික ගුවන් විදුලියට විශාල වටිනාකමක් හෝ ප්‍රයෝජනයක් එකතු නොකළත් ඒ ගැන දැන සිටීම සුදුසුය.

කෙසේ හෝ වේවා, ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් වීමට ඔබට පෙර පැවසූ ලෙස විභාගයෙන් සමත් වීමට සිදු වෙනවා. එහිදී ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙන අතර ඉන් එකක් ඔබේ ඉලෙක්ට්‍රෝනික් දැනුමත් අනෙකෙන් ආධුනික ගුවන් විදුලිය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය දැනුම (Operating procedures) ගැන පිරික්සනවා. ප්‍රශ්න පත්‍ර බහුවරණ (MCQ) වර්ගයේ ඒවාය. එක් එක් ප්‍රශ්න පත්‍රයකින් ලකුණු 50කට වැඩියෙන් ලබා ගත යුතු වෙනවා. ඔබට අවශ්‍ය මට්ටම (novice, general, advance යන තුනෙන්) තෝරා ගත හැකියි. අවශ්‍ය නම්, මට්ටම් කිහිපයකට වුවද එකවර පෙනී සිටිය හැකියි. ඇඩ්වාන්ස් මට්ටමේදී මෙම ලිඛිත ප්‍රශ්න පත්‍ර දෙකට අමතරව මෝර්ස් කෝඩ් ටෙස්ට් එකක්ද පවතිනවා. විභාග පවත්වන දිනයන් ගැසට් මගින් මහජනයාට දැනුම දෙනවා (මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ විභාග කාල සටහනේද මේ වග කල් තියා දැනුවත් කරනවා). මෙවිට අදාල ඇප්ලිකේෂන් පුරවා TRC එකට භාර දිය යුතු වෙනවා. මේ සමග කුඩා ගාස්තුවක් (රුපියල් දෙතුන්සියයක් පමණ) ගෙවීමටද සිදු වෙනවා.

මෙම විභාගයෙන් සමත් වූවාට පසුව ඔබට ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් ලෙස වැඩ කටයුතු කිරීමට බලපත්‍රයක් (license) ලබා දෙන ලෙස ඉල්ලුම් කළ හැකියි TRC එකෙන්. මෙවිට නැවතත් ඇප්ලිකේෂන් ෆෝර්මයක් පුරවා සුලු මුදලක් සමග භාර දීමට සිදු වෙනවා (මෙම මුදලද රුපියල් දෙතුන්සියයකි). මෙම මුදල වාර්ෂිකව ගෙවිය යුතුය. එහෙත් ඔබ කැමති නම් වසර 5කට සරිලන මුදල් එකවර ගෙවා වසරින් වසර එය සිදු කිරීමේ කරදරයෙන් මිදිය හැකිය. සාමාන්‍යයෙන් මෙම බලපත්‍රය ලබා දීමට පෙර TRC එක විසින් ඔබේ විස්තර ආරක්ෂක අමාත්‍යංශයට (Ministry of Defense – MOD) යවා ඔබ ගැන සොයා බලනවා. ඊට හේතුව විදුලි සන්දේශ උපකරණ වැරදි අය හෝ වැරදි විදියට භාවිතා කළොත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් සිදු විය හැකි වීමයි. මේ සියල්ල සාර්ථකව නිම වූ පසුවයි ඔබට ලයිසන්ස් ලැබෙන්නේ. ඉන්පසු එම ලයිසන් එක මාර්ගයෙන් ඔබට පුලුවන් විදුලි සන්දේශ උපකරණ ලබා ගැනීමට හෝ සාදා ගැනීමට. එම උපකරණ භාවිතා කර ඔබට හිමි වරප්‍රසාදවලට යටත්ව ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් වශයෙන් ක්‍රියාකාරී වීමට දැන් නීත්‍යානුකූල අවසරය ලැබෙනවා.

කෙටි කාලයක් සදහා ලංකාවේ සංචාරය කරන විදෙස් ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකුට වුවද නිසි ෆෝර්ම් පුරවා මුදල් ගෙවා ලංකාව තුල සිටින කාලය තුල ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලබා ගත හැකියි. මෙහිදී ඔහුට තම රට තුල ලබා ගත් බලපත්‍රයට හිමි වරප්‍රසාදවලට සමපාත වන ලංකාවේ පිරිනමන වරප්‍රසාද හිමි වේ. එලෙසම ලංකාවේ සිටින ආධුනික ගුවන් විදුලි ශිල්පියෙක් පිටරකට යන විට, ඔහුට එම රටේ සිට ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට හැකිද නොහැකිද යන වග තීරණය කරන්නේ එම රටේ පවතින නීති රීති වේ. ඇමරිකාව, යුරෝපා රටවල් ආදිය මෙම ක්‍රියාදාමය පහසු කර ගැනීමට විවිධ එකගතා නීතිවලට අත්සන් කර ඇත. ඒ අනුව එම එකගතාවලට අත්සන් කරපු රටක සිටින හැම් කෙනෙකු ඊට අත්සන් කළ තවත් රටකට යන විට විශේෂ දිගු අවසර ගැනීම් ක්‍රියාවලියෙන් බැහැරව එහි නියැලීමට අවස්ථා උදා කර දී ඇත (ලංකාව තවම එවැනි ගිවිසුම්වලට එළඹ නැත).

ආධුනික ගුවන් විදුලියේදී ඔබ ප්‍රමුඛව සිදු කරන්නේ රේඩියෝ තරංග නිපදවා එම තරංග වලට ඔබට අවශ්‍ය පණිඩුඩය "ඔබ්බවා" (මෙය මූර්ජනය ලෙස හැදින් වෙනවා) එය ඇන්ටනාවක් මගින් විසුරුවා හැරීම වේ (මෙය රේඩියෝ තරංග සම්ප්‍රේෂණය ලෙස හැදින් වෙනවා). මේ සදහා ඔබට අඩුම තරමේ එක් සම්ප්‍රේෂක උපකරණයක් හා එක් ඇන්ටනාවක් අවශ්‍ය වෙනවා. මෙලෙස සම්ප්‍රේෂණය වූ තරංග ගුවන සිසාරා ගමන් කරනවා. ඔබේ තරංග සේම වෙනත් අය විසින් සම්ප්‍රේෂණය කරන රේඩියෝ තරංගද මෙලෙස ලොව පුරා ගමන් කරනවා. මෙලෙස රේඩියෝ තරංග ඈතට ගමන් කිරීමේදී ඒවා දුර්වල වෙනවා. මෙලෙස ලෝකයේ විවිධ ස්ථානවල සිට ගුවනින් එන රේඩියෝ තරංග ඔබ විසින් ඇන්ටනාවක් හරහා "අල්ලා ගන්නවා" (මෙය රේඩියෝ තරංග ග්‍රහණය හෙවත් ආදායනය ලෙස හැදින්වෙනවා). මේ සදහාද ඔබට ග්‍රහණය කරන එක් උපාංගයකුත් ඇන්ටනාවකුත් අවශ්‍ය කරනවා. ග්‍රාහක යන්ත්‍රය සිදු කරන්නේ මෙලෙස පැමිණෙන දුර්වල රේඩියෝ සංඥා වර්ධනය කර, එහි "ඔබ්බවා තිබෙන" හෙවත් මූර්ජනනය කර තිබෙන පණිවුඩය උකහා ගැනීමයි (මෙය විමූර්ජනය ලෙස හැදින්වෙනවා). සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය හා ග්‍රහණය යන දෙක සදහාම ඔබට තනි ඇන්ටනාවක් භාවිතා කළ හැකියි.



ආධුනික ගුවන් විදුලි ශිල්පය සදහා රේඩියෝ තරංග මාලා විශාල ගණනක් වෙන් කර ඇති අතර, ඒ සියල්ල සදහාම එක් ඇන්ටනාවක්, එක් සම්ප්‍රේෂකයක්, හා එක් ග්‍රාහකයක් ප්‍රමාණවත් නොවේ. එක් එක් සංඛ්‍යාත පරාසයන් සදහා වෙන වෙනම එම උපකරණ කට්ටලය බැගින් අවශ්‍ය වේ. ඇන්ටනා, සම්ප්‍රේෂක, හා ආදායක/ග්‍රාහක උපකරණවලට අමතරව, තවත් උපාංග ගණනාවක්ද අවශ්‍ය වෙනවා (ටෙස්ටිං උපාංග වැනි). විවිධ කොම්පැනි විසින් සාදා විකුනන ආධුනික ගුවන් විදුලි ශිල්පයට අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට පුලුවනි. ඒවා සාමාන්‍යයෙන් මිල අධික වේ.

ඉස්සර කාලයේ නම් ආධුනික ගුවන් විදුලි ශිල්පින් විසින්ම මේ සියල්ල තමන්ම නිර්මාණය කර ගත්තා. දැනුත් එලෙස තමන්ට අවශ්‍ය එම උපාංග තමන්ටම නිර්මාණය කර ගත හැකියි. පොත්වල හා අන්තර්ජාලයේ මෙවැනි පරිපථ ඕනෑතරම් තිබේ. විශේෂයෙන් ඇන්ටනා නම් නිර්මාණය කර ගැනීම ඉතාම පහසු කටයුතතකි. මෙලෙස තමන්ම උපකරණ නිර්මාණය කර ගැනීම home brewing ලෙස හැදින් වෙනවා. home brewing යන වචනයේ ඇත්තටම භාවිතා කරන්නේ මත් පැන් (කසිප්පු) තමන් විසින්ම සාදා ගැනීම යන අර්ථයෙන් වුවත්, දැන් එම වචනය තමන් විසින්ම උපාංග සාදා ගැනීම සදහාත් යොදා ගන්නවා. DIY (Do It Yourself) යන වචනයද මේ සදහා යොදා ගත හැකියි.

ඉහත ආකාරයේ උපකරණ සියල්ලම ඉලෙක්ට්‍රෝනික් හා විදුලි උපකරණයි. ඉතිං ඒවා සාදා ගැනීමට ඉලෙක්ට්‍රෝනික්ස් දැනුම අවශ්‍ය කරනවා නේද? තමන් විසින්ම උපකරණ සාදා ගන්නේ නැතිව කඩෙන් එම උපකරණ මිලදී ගෙන ආධුනික ගුවන් විදුලි ශිල්පයෙහි නිරතවීමට තීරණය කළත්, එම උපාංග නිසි පරිදි පවත්වාගෙන යෑමට යම් ඉලෙක්ට්‍රෝනික් දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. විදුලිය හා ඉලෙක්ට්‍රෝනිකස් පිළිබද ඉගෙන ගත යුතු දේවල් අතිවිශාලය. විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේම ඉලෙක්ට්‍රෝනික්ස් විහිදී පවතිනවා. එනිසා සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝනික්ස් ඉගෙන ගැනීමට අපහසුය (එය බොහෝ ක්ෂේත්‍රයන්ට පොදුයිනෙ). ඉතිං මෙහිදී අප ඉගෙන ගත යුතු වන්නේ අවම වශයෙන් රේඩියෝ තාක්ෂණයට අවශ්‍ය ඉලෙක්ට්‍රෝනික්ස් හා පොදුවේ දැන සිටිය යුතු ඉලෙක්ට්‍රෝනික්ස් පිළිබද මූලික දැනුම වේ. ඊට අමතරව වැඩිපුරත් එක්ක තව තව ඉලෙක්ට්‍රෝනික්ස් දැනුම රැස් කර ගත්තාට කිසිම වරදක් නැත. ආධුනික ගුවන් විදුලිය හරහාම තමන්ගේ ඉලෙක්ට්‍රෝනික්ස් දැනුම ඇත්තටම වැඩි කර ගත හැකියි (ඉගෙන ගැනීමට උවමනාවක් තිබේ නම්).

ඉන්පසු මෙම උපකරණ යොදාගෙන ලෝකය පුරා සිටින ආධුනික ගුවන් විදුලි ශිල්පින් සමග විවිධාකාරයෙන් සන්නිවේදනය කටයුතු කළ හැකියි. කටහඩින් (voice) එය කළ හැකියි. මෝස් සංඥා ක්‍රමයෙන් එය කළ හැකියි. පරිගණකය හරහා (පරිගණක කීබෝඩ් එක භාවිතයෙන්) එය කළ හැකියි. ටීවී හරහා රූප හා වීඩියෝ (ආධුනික ගුවන් විදුලි රූපවාහිනි සේවා - Amateur TV) යැවිය හැකියි. මේ සියල්ල සිදු කරන ක්‍රමවේද පමණි. අපට ඕන ඕන විදියට මේවා සිදු කළ නොහැකියි. උදාහරණයක් ලෙස, ඔබ ක්‍රීඩාවක් සෙල්ලම් කරන විට පවා, එහි ඇති ක්‍රමවේද ඔස්සේ ඒවා කළ යුතුයිනෙ. මේවා මෙහෙයුම් ක්‍රියාපටිපාටි (operating procedures) ලෙස හැදින්වෙනවා.

තවද, රේඩියෝ තරංග යනු ඉතාම සීමිත මෙන්ම ඉතාම වටිනා සම්පතකි. එනිසා ඒවා වගකීම් සහිතව භාවිතා කළ යුතුය. වැරදි විදියට ඒවා භාවිතා කරන අයට දඩුවම් ලබා දෙනවා. ඒ සදහා නීතී රෙගුලාසි ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් පනවා තිබෙනවා.

දැන් ඔබට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝනික්ස් පිළිබද දැනුමත්, රේඩියෝ තාක්ෂණය පිළිබද දැනුමත්, ආධුනික ගුවන් විදුලිය ක්‍රියාත්මක කරවන හැටි පිළිබද දැනුමත්, මෙම ක්ෂේත්‍රයට ඍජුව හා වක්‍රව බලපවත්වන රීති රෙගුලාසි පිළිබද දැනුමත්ය. මෙතැන් සිට ඒවා කතා ගැන සොයා බලමු.

6 comments:

  1. මම මේ බුලොග් අඩවිය කලක සිට බලන කෙනෙක්,
    මේක මගේ මුල්ම අදහස් ප්‍රතිචාරය.
    මට උදව්වක් අවශ්‍ය වනවා. මට ඉලෙක්ට්‍රොනික් උශ්ණත්ව සංවේදකයක් තැනීමට අවශ්‍ය වෙලා තියෙනවා.
    ඒ සඳහා සංවේදකය ලෙස k-type තාප විද්‍යුත් යුග්ම පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා. තාප විද්‍යුත් යුග්ම කිහිපයක් අතරින් වරකට එකක් බැගින් තාප විද්‍යුත් යුග්මයේ සංඥාව අංකිත සංඥාවක් බවට හරවන පරිපථය (Max31855) ට ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් මඟින් සම්බන්ධ කිරීම සඳහා යොදා ගතහැකි හොඳම ක්‍රමය පැහැදිලි කරදෙන්න?

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකට ස්තූතියි. මං ඔබ කියන දේ ප්‍රායෝගිකව සිදු කර නැති නිසා, හරියටම පිළිතුරක් එකවර දිය නොහැකියි. එහෙත් ඔබ කියූ දේ මට පැහැදිලියි. තාප විද්‍යුත් යුග්මයක් පමණක් නොව, ඕනෑම සෙන්සර් එකක් එකම i/o අග්‍රවලට සම්බන්ධ කරන්නට අවශ්‍ය නම්, ඒ සදහා multiplexer පරිපථයක් යොදා ගත හැකියි. මෙවිට සෙන්සර් කිහිපයම ඉන්පුට් අග්‍රයට සම්බන්ධ වුවත්, භාහිරින් දෙන BCD සංඥාවෙන් කුමන සෙන්සර් එක තෝරා ගන්නාවද කියා තීරණය කෙරෙනවා. මීට අමතරව සංකීර්ණ bus architecture ක්‍රමත් තිබෙනවා. එහෙත් මෙවිට සෙන්සර් පරිපථ කොටස විසින් එම බස් එකෙහි ප්‍රෝටොකෝල් සමග වැඩ කිරීමට තරම් හැකියාවක් තිබිය යුතුයි (එහෙත් ඔබ පවසන තර්මෝකප්ල්වලට මං හිතන්නේ එම හැකියාව නැත. ගූගල් කර බලන්න මල්ටිප්ලෙක්සර් පරිපථ ගැන. අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය පරිපථ සැලසුමක් ලැබේවි. :)

      Delete
    2. මල්ටිප්ලෙක්සර් වලින් ඇනලොග් සංඥා හසුරවන්න පුළුවන්ද?

      Delete
    3. අපොයි පුලුවන්. analog multiplexor kiyla google eke search kaloth oyata boho wisthara penwawi.

      Delete
  2. ගොඩාක් වැදගත් ලිපි පලවෙන බ්ලොග් එකක් මේක. මට දැනගන්න පුලුවන්ද ආධුනික ගුවන් විදුලි සේවා සිදුකරන ආකාරය පිළිබද තවත් විස්තර ඔබලාගෙන්

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි... ආධුනික ගුවන් විදුලි සේවය ගැන මා ලියන ලිපි කියවන්න... ඒ පිළිබඳ මා ලියූ මුල් ලිපිවල ආධුනික ගුවන් විදුලිය ගැන යම් හැඳින්වීමක්ද කර තිබෙනවා... අන්තර්ජාලයෙන්ද මේ ගැන තවත් තොරතුරු අවශ්‍ය නම් සොයා ගත හැකියි (ඉංග්‍රිසි බසින්)... ඕනෑම කෙනෙකුට මෙහි නියැලිය හැකි අතර, අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ ආශාව හා දැනුම පමණි.කිසිම හදිසියක් අවශ්‍ය නැහැ... පිලිවෙලට ආශාවෙන් මේ ගැන සටහන් පොතක ලියාගෙන පාඩම් කරන්න... ඒ වචන හා සංකල්පවලට හුරුවෙන්න... අවශ්‍යම නම් ලංකාවේ රේඩියෝ සංගමයට සම්බන්ද වෙන්න (www.rssl.lk). මා නම් ඊට සම්බන්ද කෙනෙකු නොවන නිසා ඒ ගැන වැඩිමනත් විස්තර දන්නෙ නැහැ හැබැයි... පුලුවන් තරම් තනියෙන් අධ්‍යනය කරන්න.

      Delete