Monday, August 8, 2016

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 2


ආධුනික ගුවන් විදුලියේ ඉතිහාසය

මෙහි ඉතිහාසය පටන් ගන්නේ ගුවන් විදුලි තරංග සොයා ගැනීමත් සමගමයි. එය එකදහස් අටසිය ගණන්වල අග භාගයයි. 1887 දී පමණ හර්ට්ස් (Heinrich Hertz) නම් ජර්මානු ජාතික විද්‍යාඥයා විසින් අද අප රේඩියෝ තරංග (විද්‍යුත් චුම්භක තරංග) ලෙස හදුන්වන ඉතා වැදගත් දෙය විද්‍යාත්මකව සනාථ කළා. මුලින් හර්ට්සියානු තරංග (Hertzian waves) ලෙස හදුන්වපු එය 1910 දී පමණ රේඩියෝ තරංග (radio waves) ලෙස හදුන්වන්නට පටන් ගත්තා. විද්‍යුත් චුම්භක තරංග යනුවෙන් දෙයක් පැවතිය හැකි බවත්, ආලෝකය යනුද විද්‍යුත් චුම්භක තරංග විශේෂයක් බවත් ඇත්තටම මීට යම් කාලයකට උඩදී එනම් 1864 දී පමණ මැක්ස්වෙල් (James Maxwell) විසින් ඉදිරිපත් කළ සිද්ධාන්තයක් වූවා. හර්ට්ස් සිදු කළේ එම සිද්ධාන්තය ප්‍රායෝගිකව ඔප්පු කිරීමයි. හර්ට්ස්ට ගරු කිරීමක් ලෙස, අද අප තරංගවල සංඛ්‍යාතය මනින ජාත්‍යන්තර ඒකකය හදුන්වන්නේද හර්ට්ස් ලෙසයි. පහත රූපයේ සිටින්නේ හර්ට්ස් වේ.



හර්ට්ස් විසින් රේඩියෝ තරංග සොයා ගත්තත් ඔහුට ඉන් ප්‍රායෝගිකව යොදා ගන්නා භාවිතාවක්/උපකරණයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූවා. රේඩියෝ තරංග උපයෝගි කරගෙන ප්‍රයෝජනවත් උපකරණයක් සාර්ථකව ඉදිරිපත් කළ පුද්ලයා වන්නේ ඉතාලි ජාතික මාර්කෝනි (Guglielma Marconi) වේ. ඔහුට අවශ්‍යව තිබුණේ ඒ වන විට වයර් ඔස්සේ සන්නිවේදනය කළ ටෙලිග්‍රාෆ් සංඥා රැහැන් රහිතව ගුවන් විදුලි තරංග මගින් සන්නිවේදනය කිරීමටයි. මාර්කෝනි 1895 දී පමණ එය කිරීමට සමත් වූයේ ගුවන් විදුලියේ පියා යන විරුදාවලියටද හිමිකම් කියමිනි. එය wireless telegraph හෝ radio telegraph ලෙස හැදින්වූවා. 1901 පමණ වන විට, ඔහු අත්ලාන්තික සාගරය හරහා කිලෝමීටර් දහස් ගණනක දුරකට සංඥා යැවීමට සමත් විය. එය ඉතා විශාල ජයග්‍රහණයකි. පුදුමයට කරුණ වන්නේ මෙච්චර දේවල් කළත් ඔවුන්ට රේඩියෝ තරංග හා ඒවා අවකාශයේ ගමන් කරන ආකාරය ආදිය ගැන හරි දැනුමක් නැති වීමයි (අද අපි දන්නවා කොහොමද වායුගෝලයේ ඉහලින්ම තිබෙන අයනගෝලය එදා මාර්කෝනි යවපු රේඩියෝ තරංග එතරම් දුරක් ගමන් කරවීමට සැලැස්සුවේ කියා). පසු කාලීනව මාර්කෝනි විසින් ගුවන් විදුලිය පණිවුඩ සේවා සපයන ව්‍යාපාරයක්ද ඇරඹීය. මාර්කෝනිගේ රූපයක් පහත ඇත.



ඇත්තටම රේඩියෝ තරංග සොයා ගන්නටත් වසර 50කට පමණ පෙර සිට විද්‍යුත් සන්නිවේදනය තරමක් දියුණුව පැවතිණි. 1837 දී පමණ මෝර්ස් (Samuel Morse) හා ඔහුගේ සහයක වේල් (Alfred Vail) විසින් මෝර්ස් සංඥා යොදා ගෙන පණිවුඩ යවන ටෙලිග්‍රාෆ් (telegraph) ක්‍රමය සොයා ගත්තේය. ඒ මගින් සැතපුම් දහස් ගණන් දුරට ඉතා වේගයෙන් වයර් ඔස්සේ විදුලි සංඥා යවා පණිවුඩ යැවිය හැකි විය. සියලු පණිවුඩ ලිඛිත ඒවාය (තවමත් කටහඩ යැවීමට හැකියාව නොතිබුණි). තවද අත්ලාන්තික් සාගරය පත්ලෙ ඉතා දිගු කේබල් ඇද ඇමෙරිකානු මහද්වීපය හා යුරෝපය අතරද මෙමගින් පණිවුඩ යැවිය හැකිව තිබුණි. තවද, 1843 දී පමණ ඇලෙක්සැන්ඩර් (Alexander Bain) නම් තැනැත්තා ටෙලිග්‍රාෆ් ලයින් ඔස්සේ රූප යැවීමටද ක්‍රමයක් සොයා ගත්තේය. එය තමයි අද අප ෆැක්ස් (fax) යන නමින් හදුන්වන්නේ. ඇත්තටම ෆැක්ස් යනු ෆැක්සිමිලි (facsimile) යන දිගු වචනය කෙටි කර සාදා ගත්තකි. පහත රූපයේ සිටින්නේ මෝර්ස්ය.



1876 ද පමණ තමයි බෙල් (Alexander Graham Bel) විසින් මෙම ටෙලිග්‍රාෆ් කේබල් හරහා කටහඩ යැවීමට සමත් වූයේ. අද අප දුරකථනය (telephone) ලෙස හදුන්වන්නේ එයයි. එහෙත් අද මෙන් දියුණු ටෙලිෆෝන් සේවාවක් නොවේ එය. ඉතිං, මාර්කෝනි සිදු කළේ මෙම ටෙලිග්‍රාෆ් සංඥා/පණිවුඩ රේඩියෝ තරංග මගින් සිදු කිරීමට හැකි ක්‍රමයක් සොයා ගැනීමයි. තවද, 1900 දී පමණ බ්‍රසීල ජාතිකයකු වයර්ලස් ක්‍රමයට (එනම් රේඩියෝ තරංග ඔස්සේ) කටහඩ යැවීමට ක්‍රමයක් සොයාගත් බවද සදහන් වේ. බෙල්ගේ රූපයක් පහත ඇත.


මෙම සමය යනු ලෝකයේ තරගෙට මෙන් වෙනත් රටවල් යටත් කරගන්නට උත්සහ කරපු කාලයකි. අපේ රට පවා මේ වෙන විට එංගලන්තයේ යටත් විජිතයකි. ඉතිං යුධ පණිවුඩ යැවීමට හා යටත් විජිතයන් පරිපාලනය කිරීමට මෙම තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීමට එංගලන්තය වැනි රටවල් උත්සුක වුණා. එනිසා වැඩි වැඩියෙන් රේඩියෝ තාක්ෂණය යොදා ගත්තා.

රජයට අනුබද්ධ ආයතන හා විශාල පෞද්ගලික සමාගම් මෙම නව රේඩියෝ තාක්ෂණය ගැන පර්යේෂණ සිදු කළා. මේ සමගම විදුලිය හා ඉංජිනේරුවේදය ගැන උනන්දු හා උගත් පිරිස්ද ස්වාධීනව රේඩියෝ තරංග ගැන අධ්‍යනය හා අත්හදා බැලීම් සිදු කළා. මෙන්න මෙම ස්වාධීන පිරිස් තමයි ආධුනික ගුවන් විදුලි ශිල්පයේ පුරෝගාමින්. ඒ අනුව පෙනී යනවා ඔවුන් ඉතා දැනුමැති පිරිසක් බව. ඒ විතරක් නොවේ, රේඩියෝ තාක්ෂණ ක්‍රමවේද ගැන බොහෝ වැදගත් කරුණු කාරණා ඇත්තටම ලොවට ඉදිරිපත් කළේද මෙම ආධුනික ගුවන් විදුලි ශිල්පීන් විසින් බව පොදු පිළිගැනීමයි. ඔවුන් මේ සියල්ල සිදු කළේ හුදු ලාභ පරමාර්ථ උදෙසා නොවේ. අදටත් ආධුනික ගුවන් විදුලිය ලාභ අරමුණු නොකර පවත්වාගෙන යන්නේ මෙම සම්ප්‍රදාය ඔස්සේය.

මුල් කාලයේ ගුවන් විදුලි තාක්ෂණයේ තිබූ මූලිකම ප්‍රශ්නයක් වූයේ විශ්වාසදායි හා ලාභදායි ලෙස ගුවන් විදුලි තරංග නිපදවීමට අපහසු වීමයි. එහෙත් ඉලෙක්ට්‍රෝනික්ස් ක්ෂේත්‍රයේද දියුණුව සමග රේඩියෝ තාක්ෂණයද දියුණු වූවා. ඒ අනුව ඉලෙක්ට්‍රොනික්ස්වල සිදු වූ ඉතාම වැදගත් පෙරලිකාර සොයා ගැනීමක් වූයේ 1903 දී පමණ ෆ්ලෙමිං (John Flemming) විසින් ඩයෝඩ රික්ත නල (diode vacuum tubes) සොයා ගැනීම හා එම ඩයෝඩ කපාටය තව දුරටත් දියුණු කරමින් 1906 දී පමණ ට්‍රයෝඩ රික්ත නල ෆොරෙස්ට් (Lee de Forrest) විසින් සොයා ගැනීමයි. ඇත්තටම මෙම කාල වකවානුව තරගකාරිත්වයෙන් නිරන්තර හැල හැප්පීම් හා නඩුහබවලින් පිරී තිබේ. හැම දෙනාම පාහේ උත්සහ කළේ කුමක් හෝ කාර්යක්ෂම රේඩියෝ තාක්ෂණයක් සොයා ගෙන ඊට පේටන්ට් බලපත්‍ර (බුද්ධිමය දේපලක්) ලබා ගෙන ඉන් මුදල් සෙවීමයි.

ඉන්පසු 1948 දී පමණ ෂොක්ලි (William Shockley), බාර්ඩීන් (John Bardeen), හා බ්‍රැට්න් (Walter Brattain) යන තිදෙනා විසින් අර්ධසන්නායක ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමත්, 1958 දී පමණ කිල්බි (Jack Kilby) සංගෘහිත පරිපථ (Integrated Circuits – IC) සොයා ගැනීමත් රේඩියෝ තාක්ෂණය පමණක් නොව, පරිගණක තාක්ෂණය හා අන් සියුල විදුලි හා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රයන්හි සීඝ්‍ර වර්ධනයට හේතු විය. මෙලෙස අර්ධසන්නායක (semiconductor) වලින් ඉතා කුඩාවට කාර්යක්ෂම ඉලෙක්ට්‍රෝනික් උපාංග නිපදවීම අදද නිරන්තරයෙන් දියුණු වෙමින් පවතී. උපකරණ කුඩා විය. විදුලි පරිභෝජනය අඩු විය. විදුලි හා ඉලෙක්ට්‍රෝනික් උපකරණ ලාභදායි විය. එමගින් වැඩි වැඩියෙන් මෙම තාක්ෂණයන් මිනිසුන් අතරට පත් විය. මුලු ලොවම ක්‍රමයෙන් ඉලෙක්ට්‍රෝනික් ලෝකයක් විය (ඔබේ වටපිටාව ටිකක් බලන්න කොතරම් සර්කිට්/උපකරණ තොගයක් ඔබ අවට ගැවසෙනවාද කියා).

වැදගත් පණිවුඩ හුවමාරුවට පමණක් නොව, රේඩියෝ තාක්ෂණය ජනසන්නිවේදන (mass communication) හා රසාස්වාදය (entertainment) සදහාද යොදා ගැනිණි. එහි ප්‍රතිපලය ලෙස ගුවන් විදුලි සේවා (radio broadcasting) බිහිවිය. සමහරුන් තර්ක කරන්නේ 1895 දී මාර්කෝනි විසින් පළමු රේඩියෝ සේවාව ඇති කළ බවයි (එහෙත් එය තාවකාලික/කෙටිකාලීනව සිදු කළ එකකි). මේ පිළිබද මත ගණනාවක් තිබේ. කෙසේ වෙතත් එකදහස් නවසිය මුල් වසර කිහිපයේ මෙවැනි රේඩියෝ සේවා ගණනාවක් ලොව පුරාම බිහි වී තිබේ. සමහර ඒවා පර්යේෂණ මට්ටමින් තිබූ අතර, තවත් සමහර ඒවා වානිජ පදනමින් පැවත තිබේ. ප්‍රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන්, හා විනෝදාස්වාදය උදෙසා වැඩසටහන් ඉදිරිපත් කිරීමද එකදහස නවසිය විසි ගණන්වල සිට ඇරඹුණි. ඉන්පසු ව්‍යාපාරවලින් වෙළද දැන්වීම් පළ කර ඉතා විශාල මුදල් හම්බ කරන ක්‍රමයක් බවටද මෙම ගුවන් විදුලි (හා රූපවාහිනි) සේවා පත් විය.

ඒ අනුව අපේ රටේද ගුවන් විදුලි සේවයක් නිල වශයෙන් පටන් ගෙන තිබෙන්නේ 1925 දෙසැම්බර් 16 දිනය. ඇත්තටම ඊටත් යම් කලකට උඩදී පර්යේෂණ මට්ටමින් එය පටන් ගෙන තිබුණි. එය දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ලෙසද ලොව පැරණිම ගුවන්විදුලි සේවා අතරින් එකක් ලෙසද සැලකේ. ලංකාවේ එකල තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට ඉංජිනේරුවකු ලෙස සේවය සදහා එංගලන්තයේ සිට පැමිණි ගුවන් විදුලිය ගැන දැනුමක් ඇති හාපර් (Edward Harper) නම් ඉංජිනේරුවෙකු විසින් එය කුඩාවට අරඹා ඇත. ජර්මානු සබ්මැරීනයකින් ලබා ගත් රේඩියෝ උපකරණ කිහිපයක් අටවාගෙන ඔහු එම සේවාව කොළඹ අවට පෙදෙසට ඇසෙන පරිදි කොළඹ කොටුවේ කුඩා කාමරයක සිට පවත්වාගෙන ගොස් ඇත. ඊට ලාංකික ඉජිනේරුවන් වන ඒ. නඩරාසා, ඩබ්ලිව්. . ද සිල්වා, බී. විජේතිලක යන අය සහය වී ඇත. එම රේඩියෝ චැනලය Colombo Radio යන නමින් පවත්වාගෙන ගියේය. ග්‍රැමර්ෆෝන් යන්ත්‍රයක් මයික් එක ළගින් තබා සංගීතය ඉන් විසුරුවා ඇත. ඒ අනුව හාපර් යනු ලංකාවේ ගුවන් විදුලියේ පියා වේ. දෙවන ලෝක යුධ සමයෙහිදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් මෙම ගුවන් විදුලි සේවාව යුධමය අවශ්‍යතා සදහා පවරාගෙන එය Radio SEAC ලෙස නම් කෙරිණි (SEAC යනු South East Asia Command යන්නයි). යුද්ධය අවසන් වූවාට පසුව එය නැවත සිවිල් කටයුතු සදහා පවරා දෙන ලදුව 1949 දී Radio Ceylon ලෙස නම් කෙරිණි. ඉන්පසු 1972 න් පසු පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් රටේ නම සිලෝන් වෙනුවට ශ්‍රී ලංකා ලෙස වෙනස් කෙරුණ නිසා, නැවත කිහිප වතාවක්ම නම වෙනස් වී මේ වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලිය යන නමින් ඍජුවම රාජ්‍ය ආයතනයක් වශයෙන් ("ආණුඩ්වේ හොරණැව") ගුවන් විදුලි චැනල් කිහිපයක්ම භාෂා තුනෙන්ම පවත්වාගෙන යයි. හඩ්සන් සමහරසිංහ වැනි දේශපාලන ගණිකාවන් එහි මුල් පුටුවට පත් වීම නිසා එතරම් ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන ගුවන් විදුලිය දේශපාලන ගුබ්බෑයම් බවට පත්ව තිබීම කණගාටුවෙන් වුවද සිහිපත් කිරීමට සිදු වේ.

රේඩියෝව ඇරඹී ටික කාලකයකින් තව තවත් ප්‍රයෝජන ඉන් ගැනීමට උත්සුක වුණා. ගුවන් යානා හා පොලොව අතරද, නැව් හා ගොඩබිම් අතරද පණිවුඩ යැවීමට ගුවන් විදුලි තරංග ප්‍රයෝජනයට ගත්තා. ටෙලිග්‍රාෆ් වයර් ඔස්සේ රූප යවන ආකාරයටම (එනම් ෆැක්ස්), රේඩියෝ තරංග ඔස්සේද රූප යවන්නට දැරූ උත්සහයේ ප්‍රතිපලයක් ලෙස රූපවාහිනි තාක්ෂණය බිහි විය. ඊට සම්බන්ද නිර්මාණකරුවන් රාශියක් සිටියත් බෙයාර්ඩ් (John Logie Baird) යන ඉංග්‍රිසි ජාතිකයා රූපවාහිනියේ පියා ලෙස සැලකේ. ඔහු 1926 ජනවාරි 26 වෙනිදා සාර්ථකව වයර්ලස් ක්‍රමයට රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. පහත දැක්වෙන්නේ එම වැඩසටහනේ තිබූ රූප රාමුවකි.





ලොව පළමු ටීවී චැනලය/ස්ටේෂන් එක වන්නේ 1928 දී ඇරඹි W2XB . ලංකාවේ රේඩියෝ ඉතිහාසය ඉතා පැරණි එකක් වුවත්, ලංකාවට ටීවී හදුන්වා දෙනු ලැබුවේ 1979 අප්‍රේල් 13 දිනය. ඒ ස්වාධීන රූපවාහිනියයි (ITN). වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ ඊට මුල පිරීය. ඔහු රේඩියෝ/ටීවී තාක්ෂණය ගැන ප්‍රාමාණික දැනුමැත්තෙකි. ඇත්තටම මෙම ඉතිහාස කථාව රසවත්ය. පෞද්ගලික මට්ටමින් එය ඇරඹියත් එම චැනලය වැඩි කල් නොගොස්ම රජයට පවරා ගත්තේය. ඊට හේතුව රජය විසින් පනවපු කොන්දේසියක් උල්ලංඝණය වීමයි (එනම්, යම් චැනලයක් යම් පැය ගණනකට වඩා වැඩසටහන් ඉදිරිපත් නොකර සිටීම හෙවත් චැනල් එක "off the air” තිබීම තහනම්ය). කෙසේ හෝ වේවා ෂාන්ගේ රේඩියෝ තාක්ෂණයට තිබූ දැඩි ආශාව නිසාම පසු කලෙක ඔහු TNL යන නමින් (ටෙලිෂාන් යන ඔහුගේ නමේද කොටසක් සහිතව) අලුත් චැනලයක් පටන් ගෙන අද දක්වාම පවත්වාගෙන යයි.

රේඩියෝ තාක්ෂණය තච තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිරිණි. චන්ද්‍රිකා (satellite) තාක්ෂණය ඉන් ප්‍රමුඛ වේ. 1958 දී පමණ පළමු සන්නවේදන චන්ද්‍රිකාව ඇමරිකාව විසින් යවන ලදි. එහෙත් චන්ද්‍රිකාවක් ගුවනට යැවූ පළමු රට වන්නේ රුසියාවයි. එම චන්ද්‍රිකාව Sputnik නම් වේ. එම චන්ද්‍රිකාවෙන් ප්‍රායෝගික ප්‍රයොජනයක් නොවීය (නිකංම “බීප් බීප්” ලෙස ඇසෙන "බීකන් තරංගයක්" විසුරුවමින් එය කැරකි කැරකි තිබුණි).

මේ සමගම පරිගණක තාක්ෂණයද දියුණු වෙමින් පැවතිණි. විශාල කාමර තරම් වූ පරිගණක වෙනුවට කුඩා මේසයක් මත තැබිය හැකි (desktop) පරිගණක බිහි විය. 1975 දී පමණ මෙවැනි ඩෙස්ක්ටොප් පරිගණක බහුල විය. ඒවායේ මිල ගණන් සිතාගත නොහැකි තරම් අඩු වීම නිසා (එහෙත් අද පවතින මිල ගණන් හා සසදන විට තවමත් එහි මිල ඉතා ඉහල බව පෙනේ), සල්ලිකාර අය ඒවා මිල දී ගත්තා. එනිසා ඒවා "පෞද්ගලික පරිගනක" (Personal Computer – PC) යන නමින් ප්‍රසිද්ධ වූවා (මීට පෙර තිබූ පරිගණකවල මිල ඉතා අධික වීම නිසාත්, ඒවායෙන් ප්‍රයෝජන ගැනීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය වූ නිසාත් පුද්ගලයන් මීට පෙර පරිගනක මිල දී ගත්තේ නැත; විශාල ආයතන පමණයි පරිගණක භාවිතා කළේ). ඔබ දන්නවා අද වන විට පරිගණකයක් කුඩා අත් ඔරලෝසුවකටත් වඩා කුඩාවට සාදා තිබෙන බව. ඉතිං පරිගනකයේ දියුණුව සන්නිවේදනයේ දියුණුවට හේතු විය. උදාහරණයක් ලෙස, ඉස්සර ටෙලිෆෝනයකින් තවත් දුරකතනයකට කතා කරන විට ඊට පිටස්තර පුද්ගලයකු මැදිහත් විය. එනම්, ඔබේ දුරකතනය ඔසවන විට, ඉබේම අර අතරමැදියා ඔබට කතා කරනවා (මෙම අතරමැදියා දුරකතන සමාගමේ සේවකයෙකි). ඉන්පසු ඇය අසනවා ඔබෙන් කාටද කතා කරන්නට අවශ්‍ය කියා. අහවලාට කතා කරන්නට අවශ්‍ය යැයි කියූ විට, ඇය ඔබේ ටෙලිෆෝන් ලයින් එක අනෙක් පුද්ගලයාගේ ටෙලිෆෝන් ලයින් එකට සවි කරනවා (ඔබ ටීවී එකට ඇන්ටනා ප්ලග් එක සවි කරන්නා සේ). එහෙත් මේ සියල්ල වෙනස් වූයේ පරිගනක තාක්ෂණය සන්නිවේදන පද්ධතිවලට හදුන්වාදුන් නිසාය. දැන් එම අතරමැදියාගේ කාර්ය ක්ෂණයෙන් පරිගණකයක් මගින් සිදු වෙනවා.

1983 දී පමණ සුප්‍රසිද්ධ Motorola ආයතනයේ වැඩ කළ කූපර් (Martin Cooper) නම් ඇමරිකන් ජාතික ඉංජිනේරුවා විසින් ලොවට ජංගම දුරකථන හදුන්වා දුනි. එය විදුලි සන්නිවේදනයේ විප්ලවයකි. අද වන විට ජංගම දුරකතනයක් නැතිව කිසිවක් කළ නොහැකි තරමට එය ළංව තිබෙනවා නේද? ලංකාවේ ප්‍රථම ජංගම දුරකතන සේවාව 1989 දී පමණ හදුන්වාදී ඇත. ඒ අනුව ලංකාවේ ප්‍රථම ජංගම දුරකතන ජාලය වන්නේ Celltel වේ (පසුව එය Tigo ලෙසත් ඉන්පසු වර්තමානය වන විට Etisalat ලෙසත් නම වෙනස් වූයේ එම ජාලය වෙනත් ව්‍යාපාරිකයන් විසින් මිල දී ගත් නිසාය). එය දකුණු ආසියාවේ ප්‍රථම ජංගම දුරකතන සේවය ලෙසද සැලකේ. ජංගම දුරකතන තාක්ෂණය ලොව පුරාම මෙන්ම ලංකාව තුලද ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අදද එම වර්ධනය සිදු වේ. පහත රූපයේ සිටින්නේ කූපර්ය.



පරිගණක තාක්ෂණය නිසා අන්තර්ජාලය (Internet) බිහි විය. එතැනින් නොනැවතී අන්තර්ජාලය මත වෙබ්, ඊමේල්, විද්‍යුත් වානිජ කටයුතු (electronic commerce හෙවත් ecommerce), ස්කයිප් ආදි සන්නිවේදන සේවා (Voice over IP – VOIP) ආදී බොහෝ වටිනා සේවා බිහි විය. ඉතිං අන්තර්ජාලයට පිවිසීමට දුරකතන සේවාම යොදා ගැනිනි. මෙය පරිගනක හා සන්නිවේදන යන තාක්ෂණ දෙක යලි වෙන් කළ නොහැකි තරමට බැද තැබුවේය. එනිසා සාම්ප්‍රදායික දුරකතන පහසුකම්වලට අමතරව දත්ත පහසුකම (data facility) අද දුරකතන සේවා මගින් ලබා දේ. ADSL, 3G, WiFi, WiMax, HSPA, 4G LTE ආදී වචනවලින් කියැවෙන්නේ දුරකතන සේවා මතින් ලබා දෙන මෙවැනි දත්ත සේවාවන්ය.

ඉහත දැක්වූයේ සන්නිවේදනය, විදුලි සන්නිවේදනය, රේඩියෝ තාක්ෂණය ආදියෙහි විකාශය පිළිබද කෙටි විස්තරයකි. අන්තර්ජාලයේ මේ පිළිබද ඕනෑ තරම් විස්තර ඇත. මේ සියල්ල ආධුනික ගුවන් විදුලියට සබදකමක් දක්වනවා. සිතා බලන්න. ආධුනික ගුවන් විදුලි ශිල්පින් නොවන්නට සමහරවිට අද තත්වය මීට වඩා වෙනස් වන්නටත් තිබුණා. ඔවුන් බොහෝ දේවල් දායාද කර තිබෙනවා. උදාහරණ ලෙස FM නම් අද නැතිවම බැරි ක්‍රමය ඔවුන් සොයා ගත්තක්. එලෙසම SSB යන වටිනා ක්‍රමයද ඔවුන්ගේ සොයා ගැනීමක්. ඉහත විස්තරය තුල ඔබ නොදන්නා යම් යම වචන/සංකල්ප තිබිය හැකියි. පසු පාඩම්වලදී විස්තරාත්මකව ඒ බොහෝ දේවල් ගැන අපි කතා කරමු. මෙම කෙටි ඉතිහාස කතාව තුල තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් පමණි සදහන් වූයේ. එහෙත් ප්‍රකට හා අප්‍රකට පුද්ගලයන් දහස් ගණනක් මේ සියලු ජයග්‍රහණ පිටිපස සිටී. ඔවුන්ට අපේ උත්තමාචාරය හිමි විය යුතුයි!



සටහන:
පහත දැක්වෙන්නේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන එෆ් එම් රේඩියෝ සේවා හා ටීවී සේවාවල විස්තරයි.

 https://drive.google.com/open?id=0B_ZPPcHU-jw4MFZNR0pSNUVMcEU

 https://drive.google.com/open?id=0B_ZPPcHU-jw4WnNTTE56SVd1V0E

2 comments:

  1. අහෝ! ඉතාම රසවත්ව ලියා තිබෙනවා. යම් ක්ශේත්‍රයක ඉතිහාසය හා එහි පරිණාමය දැන සිටීම එම ක්ශේත්‍රය අධ්‍යයනය කිරීමට ඉතාමත් ම අාශාවක් උන්නදුවක් හා කැපවීමක් ඇති කරවනවා. ස්තූතියි

    ReplyDelete