Wednesday, April 13, 2016

සුභ නව වසරක් වේවා!

තවත් අලුත් අවුරුද්දක් ඇවිල්ලා. විශේෂයෙන් පොඩ්ඩන්ට නම් මේ කාලය ඉතාම සැහැල්ලු හා ප්‍රීතිමත් දවස් කිහිපයක්. එක පැත්තකින් පාසල් නිවාඩුවනෙ. එවැනිම සතුටක් වැඩිහිටියන්ටත් තියෙනවාද යන්න නම් සැක සහිතයි මොකද සම"හරක්ට" අරක්කු බෝතලය අන් සියල්ලටම වඩා වැදගත් වන කාලයක් බවට සෑම උත්සව කාලයක්ම දැන් පත්ව තිබෙන නිසාය. එලෙස අරක්කු බෝතලය හා සිගරට් සමාජය රෝගී කරන අතරේ එම දහජරාව නොබොන අයට පැනි බීම පෙවීමට කොම්පැනි කාරයන් උත්සහ කරමින් සිටිනවා. සිතිමේ කිසි විනයක් නැති අපේ මහ ලොකු බෞද්ධ සමාජයත් පහසුවෙන්ම ඊට සීඝ්‍රයෙන් යට වෙමින් තිබෙනවා. සුපුරුදු ලෙසම මේවා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති රීති සෑදීමේ වගකීම පැවරී ඇති එවුන්ටද වගේ වගක් නැත. බඩ ගින්නට කන බත් එකත් වහ කන තත්වයට පත් කළ මීහරක් වැනි ගොවියන් බහුල රටක එක අතකින් සල්ලි වියදම් කර ලෙඩ රෝග සාදා ගැනීමේ කලාව නුහුරු නුපුරුදු එකකුත් නොවේ.

කාලාන්තරයක් තිසේසේ විකෘති වෙච්ච සමාජයක් තුළ සිංහල අවුරුද්ද වැනි වටිනා සතුට ඉතිරී යා යුතු කාලයද බොහෝ විට නාස්ති වෙන බවක් පෙනේ. තමන්ට දැරිය හැකි ප්‍රමාණයෙන් ඔබ්බට ගොස් අනුන්ට පේන්නට එය සමරන්නට ගොස් අවුරුද්ද යනු ණය වන කාලයක් කනකර උකස් කරන කාලයක් බවට පත් කර ගෙන ඇත (එය හරියට අපේ වෙඩිං වගේ; දෙන්නෙක් කසාද බඳින එක කොච්චර සතුටින් සැහැල්ලුවෙන් කළ යුතු දෙයක් වුවත් උජාරුව නිසාම එය කොතරම් අපා දුකක් බවට පත්ව තිබේද?) අවුරුදු උත්සවයක් ගත්තත් එහි සතුට සාමූහිකත්වය අභිබවා මුදල (ත්‍යාග) ඉදිරියට විත් තිබේ. සාමූහික ක්‍රියාකාරකම් වෙනුවට තරග බිහි වී තිබේ. කුඩා කුඩා සෙල්ලම් දක්නට නැත (උදාහරණයක් ලෙස අපි පොඩි කාලේ පංච දැම්මත් දැන් ආසාවට පංච ලෑල්ලක් දක්නට නැත). කැට ගහන්නේ නැත. ආසාවට රබන් ශබ්දයක් නැත. උංචිල්ලා ඇත්තේම නැත. මා කුඩා කල කොළඹ වැනි අධිනාගරික ප්‍රදේශයක පවා මේ සියලු දේ අත්දැක සතුටු වුණු හැටි තවමත් සිහිගැන්වේ. දැන් බලන බලන තැන රොක් වී අරක්කු පාටි ඇත; කුනුහරුප මහ හඩින් පලමින් ඒවා පැවැත්වේ. අපේ ගැහැණුන්ද ඒවාට බයිට් සපයා දෙමින් වෛශ්‍යාකම ප්‍රදර්ශනය කරමින් සිටී. ළමුන්ට සංස්කෘතිය පවරා දීමක් කිසිසේත් සිදු නොවේ. බොරුවට ටීවී එකේ පමණක් සංස්කෘතිය "රඟ දක්වන" විකාර පෙන්වයි. අව්‍යාජ උත්සව කාලයක් දකින්නට නැත.

හැමදේටම රජයට බනින අප ඇත්තටම මෙහිදී කිසිවෙකුට නොබැන තමන්ම වෙනස් විය යුතු බව තේරුම් ගැනීමට මහා පණ්ඩිතයකුගේ ප්‍රඥාවක් අවශ්‍ය නැත. එහෙත් ඉතා සරල දෙයක්වත් තේරුම් ගන්නට උත්සහ නොදරන ජඩ ලාංකිකයා අමුතුවෙන් මෙය තේරුම් ගන්නට යන්නේද නැත. වෙඩි පත්තු කිරීමේදී සතුන්ට ඉන් සිදුවන හිරිහැර ගැන කිසිවෙක් කතා කරන්නේද නැත (සත්ව සංවිධානයක් දෙකක් හැරෙන්නට). මල්වෙඩිල්ලේ ශබ්දය අපේ ගොන් නාම්බන්ට මදිය; උන්ට එය ඕනෑ සී4 බෝම්බයක තරම් හඩිනි. අවුරුද්ද ගැන ටීවී එකේ නම් උජාරු කතා එමටයි. සමහරවිට ඒ කියන්නේ ලෝකයේ වෙනත් ලංකාවක් ගැන වෙන්නට ඇති මොකද අප ඇත්තටම ජීවත් වන ලංකාවේ නම් පෙනෙන්නට තියෙන්නේම මෝඩකම්ය. ඔක්කොම කනපිටය.

අතීතය නොව වර්තමානය වැදගත් වේ. එනිසා වර්තමානය ඇති සැටියෙන් දැක ඊට පිළියම් යෙදීමට කාගෙත් වගකීමකි. විශේෂයෙන්ම සංස්කෘතික දේවලදී තනි තනි පුද්ගල හැසිරීම හා භාවිතාව වැදගත්ය. එනිසා සිංහල අවුරුද්ද ඇත්තටම අපේ සිංහල අවුරුද්ද බවට නැවත පත් කරගමු. සල්ලි හා පීඩාව වෙනුවට සතුට හා සාමය ඉස්මතු වන උත්සවයක් බවට නැවත පත් කර ගමු. කුමන ප්‍රශ්න හා අර්බුද තිබුණත්, සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථන කරනවා.

No comments:

Post a Comment