Thursday, January 7, 2016

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 6



නිවසක විදුලි සැලසුම

ඔබේ නිවසට ආසන්නයේම ඇති ලයිට් කනුවේ සිට ඔබේ නිවසේ විදුලි මීටරය සවිකරන ස්ථානය දක්වා සර්විස් වයරය (service wire) නමින් හැඳින්වෙන ගනකම් වයරයකින් විදුලි සැපයුම ලැබෙනවා. සාමාන්‍යයෙන් විදුලි මීටරය සවි කරන්නේ නිවැසියාට අවශ්‍ය තැනකයි. එය නිවසේ අලංකාරයට හානි නොකරන තැනක හා මනු කියවන්නාට පහසුවෙන් ළඟාවිය හැකි ආරක්ෂිත ස්ථානයක් විය යුතුයි. සර්විස් වයරය විදුලි මීටරයට සවි කෙරෙන්නේ ඈම්ප් 40ක ෆියුස් එකක් හරහාය. ෆියුස් එකෙන් නිවසට හානිකර මට්ටමේ විදුලියක් ඇතුලුවීම වැලකෙන අතර, මුලු නිවසේම විදුලි සැපයුම නතර කළ හැකියි අවශ්‍ය නම් මෙම ෆියුසය ගලවා හෝ ඕෆ් කරමින්. විදුලි මීටරයට ඔබ මුදල් ගෙවා තිබුණත්, එය අයිති විදුලිබල මණ්ඩලයටයි. එනිසා එහි කිසිම රෙපෙයාර් කිරීමක් ඔබ විසින් නොකළ යුතු අතර, කිසියම් දෝෂයක් දුටු විට විදුලිබල මණ්ඩලයට එය දැනුම් දී නිවැරදි කරගත යුතුය.
විදුලි මීටරයේ සිට ඔබේ නිවස තුල අැති "ෆියුස්බෝඩ් එකට" හෙවත් විදුලි බෙදාහැරීමේ පුවරුවට (power distribution box) තවත් ගනකම් (6mm2 ගේජ් එකක් හෝ ඊට වැඩි ගේජ් එකක් සහිත) වයර් යුගලයකින් විදුලිය රැගෙන යයි. මෙම වයරය මේන් වයරය (main wire) ලෙස හැඳින්වේ.
සාමාන්‍යයෙන් ෆියුස් පෙට්ටිය පිහිටිය යුත්තේ නිවසේ ඕනෑම වැඩිහිටියකුට පහසුවෙන් ළඟාවිය හැකි තැනකය. විදුලිය නිසා ඇතිවන යම් හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම නිවසේ මුලු විදුලි සැපයුම නවතාලීමට මෙම ෆියුස් පෙට්ටිය වෙතට යෑමට සිදු වේ. එනිසා කිසිවිටක එය ලොක් කර වසා දැමිය හැකි කාමරයක ස්ථානගත නොකළ යුතුය. තවද තට්ටු නිවසක් නම් එය යට තට්ටුවේ තිබීම සුදුසුය. තවද, එය අඩි හයක් හතක් පමණ උසකින් පිහිටවිය යුතුය. පහතින් පිහිටවුවොත් කුඩා ළමුන් ඊට ඇඟිලි ගසා අනතුරු සිදු විය හැකි සේම, වැඩිහිටියන්ගේ ඇඟේ හැප්පිය හැකියි යන එන අතරේ. එය ඉතා උසින් සවි කිරීමද නොකළ යුතුය මොකද වැඩිහිටියකුට සිටගෙන සිට එය ක්‍රියාකරවීමට හැකි විය යුතුය (සිතා බලන්න හදිසියකදී ඉතා උසින් පිහිටි ෆියුස් පෙට්ටියේ මේන් ස්විචය ඕෆ් කිරීමට දුවගෙන ආ විට, එය ඕෆ් කිරීමට උස නැති නිසා කොහෙන් හෝ පුටුවක්/බංකුවක් සොයා ගෙන විත් ඒක උඩ නැඟීමට සිදු වුවොත් වෙන්න තිබෙන හානිය වී හමාර වී තිබේවි). නිවසේ අලංකාරයට හානි නොවනු පිණිස, එය කොරිඩෝ එක වැනි ස්ථානයක පිහිටු වීම සුදුසුය. වර්ථමානයේ මෙම ෆියුස්බොඩ් එකේ සියලු අංග MCB (miniature circuit breaker) යන තාක්ෂණය අනුව නිපදවා හුරුබුහුටියට ඇත.


මේන් වයරය තුළ ලයිව් හා නියුට්‍රල් යන වයර් දෙක ඇත. මෙම වයර් දෙකම ෆයුස්බෝඩ් එකේ ඇති මේන් ස්විචයට (main switch) පළමුවෙන් ඇතුලු වේ (සාමාන්‍යයෙන් මේන් ස්විචයේ යටි පැත්තේ ඇති සිඳුරු තුලට මෙම වයර් ඇතුලු කෙරේ; නිවැරදි පිළිවෙලට එම වයර් දෙක ඇතුලු කළ යුතුය). මේන් ස්විචයේ රාජකාරිය වන්නේ නිවසේ මුලු විදුලි සැපයුමම එකවර ඕෆ් කිරීම පමණි. එය ඇත්තටම ස්විචයකි. සාමාන්‍ය ස්විචයකදී සජීවී කම්බිය පමණයි සම්බන්ධ වෙන්නේ (එනම් සජීවි කම්බිය විතරයි “කඩන්නේ”), එහෙත් මේන් ස්විචය වැඩි ආරක්ෂාව පිණිස සජීවි හා උදාසීන යන කම්බි දෙකම කඩනවා.


 
මේන් ස්විචයෙන් පිටවන අග්‍ර දෙක (සාමාන්‍යයෙන් උඩු පැත්තේ ඇති සිඳුරු දෙක) නැවතත් මේන් වයර් එකෙන්ම කපා ගත් (එනම්, මේන් වයර් එකේ ගේජ් එක සහිත) වයර් කැබැලි දෙකකින් "ට්‍රිප් ස්විචයට" සම්බන්ධ කරනවා (ට්‍රිප් ස්විචයේ උඩු පැත්තේ ඇති සිඳුරු දෙකට). ලයිව් හා නියුට්‍රල් වයර් දෙක මේ හැම අවස්ථාවකදීම නිවැරදි සිඳුරට (slot/hole) ඇතුලු කරන්නට වග බලා ගත යුතුයි. ට්‍රිප් ස්විචය යනුවෙන් පැවසුවත් මෙය ELCB (Earth Leakage Circuit Breaker) ලෙස හෝ RCD (Residual Current Device) ලෙස වඩා නිවැරදිව හැඳින්වේ. මෙම උපකරණය ඉතා වැදගත් රාජකාරියක් ඉටු කරනවා. එනම්, යම් දෝෂයක් නිසා උපකරණයකට සපයා ඇති විදුලිය පොලොවට ලීක් වුවොත් මෙම උපකරණය ක්‍රියාත්මක වී ක්ෂණිකවම මුලු විදුලි සැපයුමම නවතා දමනවා. යම් උපකරණයකින් දෝෂයක් හේතුවෙන් වැඩිපුර ධාරාවක් ගැනීම ට්‍රිප් ස්විචයකින් නතර කළ නොහැකියි (ඒ සඳහා තමයි ෆියුස් තිබෙන්නේ).

උදාහරණයක් ලෙස, ඉලෙක්ට්‍රික් කේතලයට සැපයූ විදුලි සැපයුම යම් කිසි ක්‍රමයකින් පොලොවට කාන්දු වුවොත් ට්‍රිප් එක ඕෆ් වේ. කේතලයට සැපයූ විදුලිය පොලොවට කාන්දු වන්නේ යම් සන්නායකයක් කේතලයත් පොලොවත් අතර සම්බන්ධ වූ විටයි. හැමවිටම වාගේ මෙම සන්නායකය වන්නේ මිනිස් සිරුරකි. සාමාන්‍යයෙන් කේතලය හෝ වෙනත් ඕනෑම විදුලි උපකරණයක් සාදා තිබෙන්නේ ඊට සපයන විදුලිය එම උපකරණයේ ආවරණයට (කේසිං එකට) සම්බන්ධ නොවන ආකාරයටයි. එහෙත් කිසියම් දෝෂයක් නිසා ඇතුලතින් ලයිව් වයරය උපකරණයේ ලෝහ ආවරණයට ෂෝට් වී ඇති විට , එම වයරයේ විදුලිය ආවරණයට ලැබී එම ආවරණය ස්පර්ශ කළ විට ශරීරය හරහා විදුලිය පොලොවට ග්‍රවුන්ඩ් වේ. මෙමඟින් විදුලි සැර වැදී මරුමුවට පත් විය හැකියි. ඇත්තටම ට්‍රිප් ස්විචයේ කාර්යභාරය වනුයේ ඉහත උදාහරණයේ වැනි කිසියම් දෝෂ නිසා විදුලිය පොලොවට කාන්දු වීමෙන් උපකරණය විනාශ වීම වලක්වා ගැනීමයි. එහෙත් ඒ එක්කම ඉබේම උපකරණ පාවිච්චි කරන පුද්ගලයනුත් ඉන් ආරක්ෂා කෙරෙනවා.
ට්‍රිප් ස්විචයේ මෙම බැරෑරුම් රාජකාරිය නිසා එය නිසි ක්‍රියාකාරිත්වයෙන් යුක්තදැයි වරින් වර පරික්ෂා කර බැලීමට කුඩා බට්න් එකක් තිබෙනවා. එම බොත්තම එබූ විට, ට්‍රිප් ස්විචය එකවර ඕෆ් වෙනවා (ට්‍රිප් වෙනවා). මසකට වරක් හෝ එම ට්‍රිප්/ටෙස්ට් බට්න් එක ඔබා ස්විචය ට්‍රිප් වෙනවාද බැලීම වැදගත්.
සාමාන්‍යයෙන් ට්‍රිප් ස්විචය ට්‍රිප් වන්නේ මිලිඇම්පියර් 30ක් හෝ ඊට වැඩි ධාරාවක් පෙර විස්තර කළ ලෙසට උපකරණයේ සිට පොලොවට ලීක් වූ විටයි. මෙය එක් උපකරණයකින් පමණක් සිදුවන ලීක්වීමම නොව ගෙදර තිබෙන සියලුම පොලොවට ලීක් වීම්වල එකතුවයි. විවිධ හේතු නිසා නිවසේ වයරිං එකේ විවිධ තැන්වලින් ඉතා කුඩා ප්‍රමාණයේ ලීක් වීම් තිබේ. එනිසා මිලිඇම්පියර් 1ක් හෝ එවැනි කුඩා අගයකට ට්‍රිප් ස්විච සෑදුවොත් විනාඩියෙන් විනාඩියට ට්‍රිප් වෙන්නට ඉඩ තියේවි. ඊට අමතරව මිලිඇම්පියර් 30 යනු මනුෂ්‍ය ශරීරයක් හරහා ලොකු අනතුරක් සිදු නොකොට ගලා යා හැකි උපරිම ධාරා ප්‍රමාණය යැයි ඉංජිනේරුවන් සොයාගෙන තිබෙනවා (එහෙත් ඇත්තම තත්වය නම්, ඊට වඩා කුඩා ධාරාවකින් වුවද මරණය සිදු විය හැකියි එම ධාරාව සිරුරේ කුමන ප්‍රදේශයක් හරහාද යන්නේ කියන කරුණ මත). එම ප්‍රායෝගික තත්වය සැලකිල්ලට ගෙනයි මිලිඇම්පියර් 30කට එය සාදා තිබෙන්නේ. තවද, මීට වඩා අඩු හා වැඩි මිලිඇම්පියර්වලට සෑදූ ට්‍රිප් ස්විච්ද තිබෙනවා (ට්‍රිප් වෙන ධාරා ප්‍රමාණය ට්‍රිප් ස්විචයේ සඳහන් වෙනවා; ඔබේ ට්‍රිප් ස්විචය මත තිබෙන දත්ත කියවා බලන්න). මුහුදු වෙරලක් අද්දර තිබෙන නිවාසවල සාමාන්‍ය නිවසකට වඩා මෙම විදුලි කාන්දු ප්‍රමාණය වැඩි විය හැකියි (මොකද මුහුදු සුළඟ සමග ලවණද මිශ්‍රව පවතින නිසා ලවන යනු හොඳ සන්නායක මාධ්‍යයක් නිසා). එවිට මිලිඇම්පියර් 30කට වඩා වැඩි ට්‍රිප් ස්විචයක් යෙදීමට සිදුවිය හැකියි එවැනි නිවාසවල.
ට්‍රිප් ස්විචයෙන් පිටවන සිඳුරුවලින් (බොහෝවිට එහි යට පැත්තේ ඇති සිඳුරුවලින්; ට්‍රිප් ස්විචය මත ඇති සලකුණු කියවා හරියටම දැනගත හැකියි) නියුට්‍රල් වයරය ෆියුස් බෝඩයේ තිබෙන නියුට්‍රල් වයරය සම්බන්ධ කරන ඇනයට/දණ්ඩට (neutral bar/link) සවි කළ යුතුය. ලයිව් වයරය ෆියුස් පෙට්ටියේ ඇති ෆියුස් සියල්ලටම සම්බන්ධ කළ යුතුයි (සාමාන්‍යයෙන් ෆියුස්වල යට පැත්තේ ඇති සිඳුරට). ෆියුස් 5ක් ඇති නම්, මෙලෙස මෙම ෆියුස් 5ටම සම්බන්ධ කළ යුතුයි ට්‍රිප් එකේ සිට එන ලයිව් වයරය. මෙලෙස ෆියුසු රාශියක් තිබෙන නිසා තමයි මීට ෆියුස් පෙට්ටිය යනුවෙන් කියන්නට පුරුදුව තිබෙන්නෙත්.



මෙය කළ හැකි පහසුව ක්‍රමය නම්, බස්බාර් (bus bar) ලෙස හැඳින්වෙන තඹ පතුරක් පාවිච්චි කිරීමයි. මෙම තඹ පතුරේ සුදුසු පරතරවලින් උඩට එසවුණු "උල්" ඇති අතර, මෙම උල් හරි ගාණටම ෆියුස්වල සිඳුරුවලටත් ට්‍රිප් එකේ ෆේස් සිඳුරටත් ඇතුලු වේ. තනි තනි වයර් සම්බන්ධ කරනවාට වඩා මෙය පහසු මෙන්ම හොඳය.




දැන් නිවසේ විදුලි උපකරණ සියල්ලටම විදුලිය බෙදා හරින්නේ මෙම ෆියුස්වල සිටය. සාමාන්‍ය විදුලි බුබුලු, ෆෑන්, කාමරවල තිබෙන කෙවෙනි ආදිය සඳහා අදින වයර්වල ගේජ් එක 1mm2 වේ. එහෙත් විදුලි මෝටර්, හොට් ප්ලේට් වැනි ඇම්පියර් 4 හෝ 5කට වැඩි ධාරාවක් ලබා ගන්නා උපකරණ සඳහා 2.5mm2 හෝ ඊට වැඩි ගේජ් එකක් සහිත වයර් ඇදිය යුතුයි. ලබා ගන්නා ධාරාව වැඩි වන්නට වන්නට මෙම ගේජ් එක වැඩි විය යුතුය.
සෑම ෆියුසයකටම යටින් ට්‍රිප් එකේ සිට විදුලිය සැපයෙන අතර (ෆේස් ලයින් එක) එහි ඉහල සිඳුරෙන් විදුලි උපාංගවලට විදුලිය සැපයේ. සෑම ෆියුසයකින්ම පිට කළ හැකි උපරිම ධාරා ප්‍රමාණයක් ඇත (ඇම්පියර් 5, 6, 10, 15 ආදී ලෙස). යම් කිසි මොහොතක යම් ෆියුසයකට සම්බන්ධිත උපාංගවලින් එය සපෝට් කරන උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගන්නට උත්සහ කළොත්, එම ෆියුස් එක ඕෆ් වේ. ඒ කියන්නේ ෆියුස්වලින් උපකරණවලට ආරක්ෂාවක් ලැබේ. උදාහරණයක් ලෙස, ෆ්‍රිජ් එක වැඩ කරන විට ඇම්පියර් 2ක් ලබා ගන්නේ යැයි සිතමු. එය ඇම්පියර් 5ක ෆියුසයකට සම්බන්ධ කර ඇතැයිද සිතමු. දැන් යම් දෝෂයක් නිසා ෆ්‍රිජ් එකෙන් ඇම්පියර් 7ක් වැය කරන්නට ගියවිට, එය 5ට වැඩි නිසා ෆියුසය ඕෆ් වේ. සාමාන්‍යයෙන් යම් උපාංගයක් ඊට නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගන්නේ එය තුළ යම් ෂෝට්වීමක් ඇති වූ විටයි.
සාමාන්‍යයෙන් නිවසේ තිබෙන සෑම විදුලි උපකරණයකටම එක ෆියුසය බැගින් ලබා දෙන්නේ නැත. එය කළ හැකි නම් ඉතාම ආරක්ෂිත වුවත්, එසේ කරන්නට ගියොත් ෆියුස් තිහ හතලිහක් පමණ සවි කිරීමට සිදු වේවි. එනිසා ප්‍රායෝගිකව සිදු කරන්නේ නිවසේ ඇති උපාංග ගැන යම් තක්සේරුවක් සිදු කර, උපකරණ කිහිපයක් එක ෆියුසයක් යටතට ගැනීමයි. එවිට ෆියුස් පහ හයකින් පමණ සියල්ල ආවරණය කළ හැකියි.
උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් නිවසේ බල්බයක් වොට් 100ක් ලෙස සලකනවා (ඔබ වොට් 15ක පමණ CFL හෝ LED බල්බ සවි කළත් සිරිතක් වශයෙන් එක් බල්බයක් වොට් 100ක් ලෙස සලකා ගණනය කිරීම් කරනවා). ඒ කියන්නේ එක් බල්බයක් සඳහා ඇම්පියර් 100/240 = 0.4ක් ලබා ගන්නවා. ඒ කියන්නේ ඇම්පියර් 5හේ ෆියුස් එකකට බල්බ 12ක් පමණ සවි කළ හැකියි නේද? මේ විදියට එක් එක් උපකරණයක් ලබා ගන්නා ධාරාවන් පහසුවෙන් සොයා ගත හැකියි. සෑම උපකරණයකම පාහේ වොට් ගණන සඳහන් කරන නිසා, I = P/V යන සුපුරුදු සූත්‍රයෙන් ඒ ඒ උපකරණවල ධාරාවන් සෙවිය හැකියි. ඉන්පසු එක් එක් ෆියුස් එකේ අගයට සමාන හෝ අඩු වන පරිදි එම උපාංග ෆියුස්වලට භාරදිය හැකියි.
ඔබට මෙහෙමත් සිතේවි දැන්. ඇම්පියර් 40හේ එක ෆියුස් එකක් පමණක් සවි කර, සියලු විදුලි උපකරණ එම තනි ෆියුසයට සම්බන්ධ කළා නම් ඉතාම ලාභදායකයි නේද කියා. එසේ කළ හැකි වුවත්, ඉන් ඇතිවන කිසිම ආරක්ෂාවක් හෝ ප්‍රයෝජනයක් නැත. ඉහල ධාරා අගයක් සහිත ෆියුස් යෙදුවොත් ඒ කියන්නේ යම් උපකරණයක් ෂෝට් වූ විට, එම ඉහල අගයක් සහිත ධාරාව දක්වා ධාරාවක් එම දෝෂ සහිත උපකරණය හරහා දැන් ගලා යා හැකියි. උදාහරණයක් ලෙස ඉහත උදාහරණයේ ෆ්‍රිජ් එක ෂෝට් වීම නිසා ඇම්පියර් 7ක් ගලා යන විට, එය සවිකර තිබුණේ ඇම්පියර් 10ක ෆියුස් එකකට නම්, ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ ෂෝට් වීම නවතිනේ නැතිව එය විනාශ වී යනකල්ම විදුලිය දිගටම ගමන් කරාවි. ඒ අනුව, ෆියුසයකින් නියම ආරක්ෂාව ලැබෙන්නේ එහි ධාරා අගය උපකරණයේ ධාරා අගයට සමාන වන විට නේද? ඔව්. එහෙත් එවැනි ඉතා අනර්ඝ මට්ටමේම (එනම්, උපකරණයේ ධාරාවට සමාන ධාරාවක් සහිත ෆියුස් යෙදීම) ආරක්ෂාවක් ගන්නට ගියොත් පෙරත් සඳහන් කළ ලෙසට, එක් එක් උපාංගය සඳහා තනි තනි ෆියුස යෙදීමට සිදු වෙනවා. ඒ නිසා මේ අන්ත දෙක අතරමැදි අවස්ථාවක් ලෙස, අැම්පියර් 5, 6 වැනි ෆියුස සාමාන්‍යයෙන් යෙදීම උචිතය.
එහෙත් වතුර මොටරය හෝ වෙනත් එවැනි ප්‍රබල මෝටර් යොදන විට, එම මෝටරය සඳහාම එක් වැඩි ඇම්පියර් ගණනක් (ඈම්ප් 13 හෝ 15) සහිත ෆියුසයක් යොදන්න. සාමාන්‍යයෙන් මෝටරය ක්‍රියාත්මකව පවතින අවස්ථාවක එය ඇම්පියර් 5ක් 6ක් පමණ ගත්තද, මෝටරය ස්ටාර්ට් වන අවස්ථාවේදී විශාල ඇම්පියර් ගණනක් අවශ්‍ය වෙනවා (එය ඕනෑම මෝටරයකට පොදු ලක්ෂණයකි). ඉතිං මෝටරය ඇම්පියර් 5ක්නෙ ගන්නෙ ඒකනිසා ඇම්පියර් 6ක ෆියුස් එකක් ඊට ගැලපෙනවා යැයි සිතා එවැනි අඩු අගයක එකක් යෙදුවොත් ඔබට කිසිම විටක මෝටරය ස්ටාර්ට් කිරීමට නොහැකි වේවි. ස්ටාර්ට් කරන විටම, ඇම්පියර් 10ක් වැනි අධික ධාරාවක් එය ලබා ගන්නට අවශ්‍ය නිසා, එම ප්‍රමාණය අර අඩු අගයේ ෆියුස් එකෙන් ලබා ගත නොහැකිව එය ඕෆ් වේවි.
සාමාන්‍යයෙන් එක් එක් ෆියුසයේ සිට යන සෑම වයරයක්ම අවම වශයෙන් 1mm2 ගේජ් එකක් සහිත ඒවා විය යුතුය. මෙම වයර් පීවීසි ආවරණයකින් යුතු අතර, එම ආවරණයට ඇතුලතින් යම් වර්ණයක් (විශේෂයෙන් රතු හා කලු වර්ණය) සහිතව තවත් ආවරණයක් ඇත. සාමාන්‍යයෙන් තවමත් ලංකාවේ රතු වරණයෙන් යුතු වයර් යොදන්නේ ලයිව් වයර් එක සඳහාය. නියුට්‍රල් වයරය කලු විය යුතුය. වෙනත් රටවල මෙම වර්ණ වෙනස් විය හැකියි. කෙසේ හෝ වේවා, නියමිත වර්ණ සම්මතය අනුව වයරිං එක සිදු කළ යුතුය.
ලයිව් හා නියුට්‍රල් වයර් දෙකට අමතරව, භූගත වයරය (earth wire) යනුවෙන්ද වයරයක් තිබෙනවා. එය තරමක් මහත (2.5mm2) වන අතර, කොලපාටින් හෝ කහ කොල මිශ්‍ර පාටකින් එය ඇත. එම වයරය ෆියුස් බෝඩයේ අර්ත් ඇනයට සම්බන්ධ කළ යුතුය. එම ඇනයට/දණ්ඩට (Earth link/bar) එක් කෙළවරක් සම්බන්ධ කොට අනෙක් කෙලවර වත්තේ පොලොව යටට යවා ඇති භූගත දණ්ඩට (earth rod) හොඳින් සවි කළ යුතුය.


 
සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ දිග තඹ දණ්ඩක් පොලොව යටට ගැසීම සුදුසු වුවත්, තඹ දඬු මිල අධික නිසා ගැල්වනයිස් කරපු යකඩ බම්බුවක් තමයි බොහෝ දෙනා යොදා ගන්නේ. ඇත්තටම ඉතා නිවැරදිම ක්‍රමය නම්, මෙම අර්ත් බටය සවි කර, එය පොලොව සමග ඉතා හොඳ විදුලිමය සම්බන්ධතාවක් ඇති කර ඇත්දැයි මීටරයකින් සෙවිය යුතුය. එම මීටරයෙන් අවශ්‍ය අගය පෙන්වන තුරු දිග බටයක් පහලට ගැසිය යුතුය. බටය හොඳට පොලොවට බැස්සුවාට ඉන් කියවෙන්නේ නැහැ විදුලිමය වශයෙන් හොඳ සම්බන්ධතාවක් ඉන් ඇති වූවා කියා. සමහරුන් මෙම බටය සමගම ලුණුද දමනවා මොකද ලුණු හොඳ සන්නායකයක් නිසා බම්බුව හා පොලොව අතර විදුලිමය සම්බන්ධතාව වැඩි කිරීමට. එහෙත් එය මෝඩ වැඩකි (කිසිසේත් කරන්න එපා). තවද, බටය පොලොවට බස්සන විට, එය වටේට ගස්සන්නේ නැතිව එක එල්ලේ පොලොව තුලට තල්ලු කිරීමට උත්සහ දරන්න. එය වටේට ගැස්සෙමින් යටට යන විට, පස් බටයෙන් ඈතට යයි (එනම් බටයේ ප්‍රමාණයට වඩා විශාල සිඳුරක් ඇති වේ). එවිට පස හා බටය අතර සම්බන්ධය තවත් දුර්වල වේ. පොලොවේ තැනින් තැන පසේ ස්වභාවය වෙනස්ය. සමහර විට, මීටර් ගණනාවක් යටට ගියත් හොඳ විදුලිමය සම්බන්ධතාවක් ලැබෙන්නේ නැතිනම්, එය ගලවා වෙනත් තැනක ගැසිය යුතුය. මේ ලෙස සුදුසු වෙනස්කම් සිදු කර හොඳ අර්ත් කනෙක්ෂන් එකක් සාදා ගත යුතුය (එහෙත් මේ විදියට නිවාසවල සිදු කරන්නේ කීයෙන් කී දෙනාද කියා සිතා බලන්න). තවද, නිතිපතා මෙම අර්ත් බටයට සවිකර තිබෙන අර්ත් වයරය හොඳින් සවි වී තිබේදැයි පරික්ෂා කළ යුතුය. අර්ත් එක යනු විදුලි අනතුරුවලින් ආරක්ෂා වීමට තිබෙන හොඳම අවියයි. එය පරිස්සමින් රැක බලා ගත යුතුයි.
අර්ත් එකේ වැදගත්කම කුමක්ද? යම් උපකරණයක ලයිව් වයරය එම උපකරණයේ ලෝහ ආවරණය (හෝ ලයිව් වයරය නොගෑවිය යුතු එම උපකරණයේ ඕනෑම තැනක) ගෑවුණොත්, එවැනි අවස්ථාවකදී ට්‍රිප් ස්විචය ඕෆ් කිරීම ඉන් සිදු වේ. මතක තබා ගන්න මෙහිදී එම විදුලිය පොලොවට ගලා යෑම අත්‍යවශ්‍ය නැහැ. ලයිව් වයරය උපකරණයේ ලෝහ ආවරණයේ පමණක් ගෑවීම ප්‍රමාණවත්. මින් ඇත්තටම සිදු වන්නේ උපකරණයත් ඔබවත් ආරක්ෂා කිරීමයි (බැරිවෙලාවත් අර්ත් එකක් නැති විට, එවැනි උපකරණයක් ඇල්ලුවොත් ඔබට විදුලි සැර වදිනවා). හැබැයි මෙලෙස අර්ත් එකෙන් ලැබෙන ආරක්ෂාව ලැබීමට කොන්දේසි කිහිපයක් තිබේ. පෙර සඳහන් කළ ආකාරයට පොලොව සමග හොඳින් විදුලිමය වශයෙන් සම්බන්ධව ඇති අර්ත් බටයක් ගසා තිබිය යුතුය. එම බටයේ සිට අර්ත් වයරයක් ෆියුස්බෝඩ් එකේ අර්ත් ඇනයට සවිකර තිබිය යුතුය. එම අර්ත් ඇනයේ සිට තවත් අර්ත් වයරයක් අදාල උපකරණය සම්බන්ධ කර ඇති විදුලි කෙවෙනියේ (electric socket/plug-base) ඇනයට සම්බන්ධ කර තිබිය යුතුය. එම කෙවෙනියේ අර්ත් එකේ සිට අදාල උපකරණය දක්වාද අර්ත් සම්බන්ධතා වයරයක් තිබිය යුතුය.
සාමාන්‍යයෙන් විදුලි උපකරණයේ භාහිර ආවරණයට තමයි අර්ත් වයරය සම්බන්ධ වෙන්නේ (එවිටයි ලයිව් වයරය එම ආවරණයට ගෑවුණොත් ට්‍රිප් එක ඕෆ් වෙන්නේ). කිසිවිටක කේසිං එකට සම්බන්ධ කර ඇති මෙම වයරය කේසිං එකෙන් ගලවා දමන්ට එපා. සමහරුන් මෙම අර්ත් වයරය ප්ලග් එකේ සවි නොකර නිකං තබනවා (මොකද අර්ත් සම්බන්ධය නැතත් යන්ත්‍රය වැඩ කරනවා යැයි සිතන මෝඩයන් ඕනෑ තරම් ඉන්නවා). කිසිවිටක අර්ත් වයරය සම්බන්ධ නොකර ඉන්න එපා.


 
ඕනෑම කෙවනියක් දෙස බැලූ විට, එහි සිඳුරු තුනක් පේනවා නේද? එහි උඩින් ඇති තරමක් මහත සිඳුරට තමයි ෆියුස් බෝඩ් එකේ සිට එන අර්ත් වයරය සවි කරන්නේ. එහි යටින් ඇති සිඳුරු දෙකෙන් දකුණු සිඳුරට හැමවිටම ලයිව් වයරය සම්බන්ධ කළ යුතු අතර, වම් සිඳුරට නියුට්‍රල් වයරය සම්බන්ධ කළ යුතුමයි. වයර් දෙක මාරු කර සම්බන්ධ කළත් උපකරණය ක්‍රියාත්මක වුවත්, ඉහත සඳහන් කළ කිසිදු ආරක්ෂාවක් මෙලෙස වැරදියට සම්බන්ධ කර ඇති කෙවනියකට ප්ලග් කරපු උපකරණයකට නොලැබෙනවා.
බිත්තියේ සවිකර තිබෙන සොකට් එකකට ඉහත ආකාරයට නිවැරදිව හා සම්මත ආකාරයෙන් වයර් සමබන්ධ කළ පසු, ඊට සවි කරන ප්ලග් එකටද නිවැරදිව වයර් සම්බන්ධ කළ යුතුය. එහි මහත තනි උඩින් තිබෙන පින් එකට අර්ත් වයරය සවි කළ යුතුය. සොකට් එකේ ෆේස් එක තිබෙන්නේ දකුණු පැත්තේ නිසා, එම සිඳුර තුළට යන ප්ලග් එකේ පින් එක තමයි ෆේස් එක වන්නේ. එම පින් එකට රතු වයරයද අනෙක් පින් එකට කලු වයරයද සවි කරන්න (පහත රූපයේ නියුට්‍රල් වයරය නිල් පාටින්ද, ලයිව් වයරය දුඹුරු පාටින්ද දක්වා ඇත්තේ එය වෙනත් රටක වර්ණ කේත සම්මතයකට අනුව ඇඳ ඇති නිසාය). හොඳ තත්වයේ ප්ලග් ඇතුලේ ෆියුස් එකක්ද තිබේ. වයර් සේම ප්ලග් හා සොකට්ද සාදා තිබෙන්නේ යම් කිසි උපරිම ධාරාවක් සඳහායි. උදාහරණයක් ලෙස ඇම්පියර් 5ක ප්ලග් හෝ සොකට් එකක් හරහා ඇම්පියර් 8ක් ලබා ගන්න එපා.



හැමවිටම විදුලි ස්විචයකට සම්බන්ධ කරන්නේ ලයිව් වයරයයි. ෆියුස් බෝඩයේ සිට එන එක් ලයිව් වයරයක් මෙම ස්විචයේ එක් අග්‍රයකට සම්බන්ධ කරන අතර, එහි අනෙක් අග්‍රයට සම්බන්ධ කළ වයරය උපකරණයට සම්බන්ධ කෙරේ. මෙවිට ස්විචය ඕන් කළ විට මෙම වයර් කොටස් දෙක එකිනෙකට සම්බන්ධ වී උපකරණයට විදුලිය ගලා යයි (ස්විචයක කාර්ය එයනෙ). නියුට්‍රල් වයරයක් කිසිම විටක ස්විචයකට සම්බන්ධ වන්නේ නැත. නියුට්‍රල් වයරය කෙලින්ම ෆියුස් බෝඩයේ සිට උපකරණයටයි සම්බන්ධ වන්නේ. කිසිවිටක නියුට්‍රල් වයරයට ස්විචය සවි නොකළ යුතුය.


 
හැකි හැමවිටම වයර් යැවිය යුත්තේ බට තුලින්ය. මෙම බට ලෝහ බට නම් ඉතාම අනර්ඝ වුවත්, එවිට වියදම අධික වන බැවින් pvc බට යෙදීමයි බොහෝ අය කරන්නේ. බිත්ති දිගේ යන විට නම්, අනිවාර්යෙන්ම බට යෙදුවත්, සීලිං හෝ බාල්ක දිගේ යවන විට බට නොයොදන "කැත" පුරුද්දක් විදුලි කාර්මිකයන්ට තිබේ. ඇත්තටම ෆියුස් බෝඩයේ සිට අවසානයේ බිත්තිවල ඇති කෙවෙනි දක්වා ඇති සම්පූර්ණ විදුලි රැහැන බට තුළින යැවීමට හැකි තරම් උත්සහ දැරිය යුතුය.
තවද, බට තුළින් වයර් යවන විට බොහෝ අය එම බටය සම්පූර්නයෙන්ම පිරෙන්නම වයර් ඇතුලු කරනවා. සමහරවිට දැනටමත් තිබෙන වයර් නිසා තවත් වයර් ඇතුලු කරන්නට අමාරු විට, තෙල් ආලේප කර බොහොම අමාරුවෙන් හෝ වයර් බටය තුළින් යවා "වීරයෙකු" හපන්කමක් කළා සේ පෙන්වනවා. මෙලෙස බට තුළින් ඒවා පිරෙන්නම වයර් ඇතුලු කරන එක තරම් මෝඩ මීහරක් කමක් තවත් නැත. එය කිසිසේත් සිදු නොකළ යුතුය. එක් එක් වයර් ගේජ් අනුව බටය තුළ තිබෙන හරස්කඩ වර්ගඵලයෙන් කොපමණ හිඩක් තැබිය යුතුදැයි වගුවල දක්වා තිබෙනවා. මෙලෙස බටයේ තැබිය යුතු යම් කිසි හිස් හිඩට "පරතර සාධකය" (space factor) යන නම ව්‍යවහාර වෙනවා. එහෙත් පරතර සාධක දක්වමින් මෙවැනි වගු නොමැති විට හෝ "හොඳ පුරුද්දක්" ලෙස හෝ, බටයකින් 50%ක් 60%ක් දක්වා පමණ පිරෙන තෙක් පමණක් වයර් යවන්න. මතක තබා ගන්න මෙලෙස හිඩ තබන්නේ පසු කාලෙක තවත් වයරයක් ඒ තුලින් යැවීමට නොවේ. පසු කාලෙක තවත් වයර් යැවීමට බලාපොරොත්තු වේ නම්, දැන්ම ඒ සඳහා අමතර හිඩද තබා ගන්න.
ඉහත කියූ ලෙසට පරතර සාධකයක් තබා ගැනීමේ අරමුණ මෙයයි. වයර් තුළින් ධාරාවක් යන විට (ජූල් තාපනය නිසා) ඒවා රත් වෙනවා. ඕනෑම රත් වෙච්ච දෙයක් පරිසරයේ ඇති විට, ස්වභාවයෙන්ම එය පරිසර උෂ්ණත්වය දක්වා අඩු වෙනවා (ඒකනේ උනුසුම් තේ එකක් සිසිල් වෙන්නේ). එක අතකින් ධාරාව නිසා අඛණ්ඩව වයරය රත් වෙනවා; අනෙක් පසින් අඛණ්ඩව වයරය සිසිල් වෙනවා. රත් වීමේ වේගය සිසිල් වීමේ වේගයට වඩා වැඩි නම්, ක්‍රමයෙන් වයරය තව තවත් රත් වෙනවා (එසේ රත් වී අවසානයේ ගිනි ගැනීම්ද සිදුවෙනවා). මෙම සිසිල් වීමේ වේගය වැඩි වෙනවා හොඳින් සුලං හමනවා නම් හා රත් වෙච්ච ද්‍රව්‍යයේ වැඩි ක්ෂේත්‍රඵලයක් වාතයට නිරාවරණය වෙලා පවතී නම්. සාමාන්‍යයෙන් යම් ගනකමක් (ගේජ් එකක්) සහිත වයරයක් ඔස්සේ කොපමණ ධාරාවක් උපරිමව ගලා යා හැකිද යන්න තීරණය කරන්නේ මෙම රත්වීම හා සිසිල් වීම දෙකේ සීඝ්‍රතාවන් දළ වශයෙන් සමාන වන අයුරිනි. ඉතිං බට තුළින් වයර් යවන විට ඊට වැඩිපුර සුලං වදින්නේ නැති නිසා සිසිල් වීමේ වේගය අඩුයි. ඒ මදිවට බටය තුලින් ගලා යන කුඩා සුලං ධාරාවත් නැති වෙනවා බටය පිරෙන්නටම ගොඩක් වයර් ඇතුලු කිරීමෙන්. තත්වය තවත් බරපතල වෙනවා මේ සියලු වයර් හරහා ධාරාවන් ගලා යන විට, ඒ සියල්ලමත් රත් වීමෙන් බටය තුළ රස්නය ඉතා වැඩි වෙන නිසා.
හැමවිටම විදුලි උපකරණවලට විදුලිය සැපයිය යුත්තේ සමාන්තර විදියටයි. එවිට සෑම උපාංගයකටම ලැබෙන්නේ එකම 240V වෝල්ටියතාවයි (එහෙත් එක් එක් උපාංගය විසින් තමන්ට අවශ්‍ය ධාරා ප්‍රමාණය ලබා ගනී). සමාන්තරව විදුලිය සැපයිය හැකි මූලික ක්‍රම දෙකක් පවතිනවා පහත රූපයේ දැක්වෙන පරිදි. ඉන් ඩේසිචේන් ක්‍රමය ලාභදායි වේ (වයර් අඩුවෙන් වැය වෙන නිසා). එහෙත් මෙහිදී වයරයේ මැදින් කැඩුණොත් එතැන් සිට ඉදිරියට සියලු උපකරණ ක්‍රියා විරහිත වීම දෝෂයකි. එම දෝෂය සම්පූර්ණයෙන්ම නැති වේ ස්ටාර් ක්‍රමයේදී. එහෙත් මෙහිදී වැඩිපුර වයර් ප්‍රමාණයක් මෙන්ම එම වයර් යැවීමට වැඩිපුර බට හා හිඩක් වැය වේ.


 
ගොඩනැඟිල්ලක්/නිවසක් වයරිං කිරීමේදී වයර් දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කිරීමට සිදු වෙනවා නිතරම. පුලුවන් හැමවිටම මෙවැනි සම්බන්ධයක් සුදුසු කනෙක්ටරයක් යොදමින් සිදු කරන්න. කනෙක්ටරයක් යෙදීමට අපහසු අවස්ථාවකදී එම වයර් හොඳින් අඹරා හැකි නම් ඊයම්වලින් පාස්සන්න. පෑස්සුවත් නැතත් එම ජොයින්ට් හොඳින් ඉන්සියුලේෂන් ටේප් හෝ හීට් ශ්‍රින්ක් බට යොදා පරිවරණය කරන්න.
වයරිං ගැන තවත් කරුණු රාශියක් කීමට ඇතත්, මෙම අතිරේකය සඳහා අවසන් වරට සඳහන් කිරීමට සිදු වන්නේ වයර්, ස්විච, කෙවෙනි, හෝල්ඩර් ආදී සියල්ල හොඳ කොලිටියෙන් යුතු ඒවාම ගන්න (කොලිටිය යනු හැමවිටම මිල වැඩි භාණ්ඩයද නොවේ). කොතරම් හොඳ විදුලි සැකැස්මක් දක්ෂතම කාර්මිකයා ලවා කර ගත්තත් වැඩක් නැහැ බඩු තත්වයෙන් බාල නම්. ඒ වගේමයි ඉස්තරම්ම කොලිටියෙන් යුතු බඩු දැම්මත් වැඩක් නැහැ දැනුමක් දක්ෂකමක් නැති කාර්මිකයකු විසින් නම් වයරිං එක සිදු කරන්නේ. මේ දෙකෙන්ම වැඩක් නැහැ උපකරණ පාවිච්චි කරන නිවැසියන් ඒවා නිසි පරිදි පරිහරනය කරන්නේ නැතිනම්.
ඔබ ඉලෙක්ට්‍රොනික්ස් වැඩ කිරීමට නිවසේ වෙනමම තැනක් සකස් කර ගැනීම උචිතයි (සමහරුන්ට ඒ සඳහා වෙනමම කාමරයක් ඇත). එතැන කුඩා ළමුන්ගෙන්, විදුලිය ගැන නොදන්නා ඕනෑම කෙනෙකුගෙන්, සතුන්ගෙන් ආදීය ආරක්ෂාවක් සහිත තැනක් නම් වඩාත් උචිතයි. මෙම තැනට ෆියුස් බෝඩ් එක සිට වෙනමම විදුලි සම්බන්ධතාවක් ලබා ගන්න. ඒ සඳහා ඇම්පියර් 10ක ෆියුසයක් එහි සවි කරන්න. එම ෆියුස් එකෙන් නිවසේ වෙනත් කිසිම උපකරණයකට විදුලිය සපයන්නට එපා. එම ෆියුසයේ සිට 2.5mm2 වයර්වලින් තමන්ගේ වැඩ කරන තැනට ආරක්ෂිතව විදුලි සැපයුම ලබා ගන්න. ෆියුස් බෝඩ් එකේ සිට වෙනමම අර්ත් වයරයක්ද එතැනට ලබා ගන්න. දැන් එම විදුලි සැපයුමෙන් ඔබට අවශ්‍ය විවිධ වර්ගයේ සොකට් ආදිය සහිත සවිකරපු පවර් පැනලයක් සාදා ගන්න.



බොහෝ අය පුරුදුව ඇත්තේ කාමරයේ තිබෙන සොකට් එකට එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ගසා, ඉන් විදුලි උපකරණ කිහිපයකට විදුලිය ලබා දීමටයි. මෙය කිසිසේත් හොඳ ක්‍රමයක් නොවේ. මෙමඟින් එක්ස්ටෙන්ෂන් කෝඩ් එක අනවශ්‍ය ලෙස රත්වීම/ගිනි ගැනීම, ෆියුස් යෑම අාදිය ඇති වේ. තාවකාලික අවශ්‍යතා හා ඉතා අඩු ක්ෂමතා (කුඩා) උපකරණ කිහිපයකට එකවර පවර් සැපයීමට පමණක් පවර් එක්ස්ටෙන්ෂන් කෝඩ් භාවිතා කරන්න. ඉහත ආකාරයට නිවැරදි ක්‍රමයට එය සිදු කරන්න.



ඉලෙක්ට්‍රෝනික්ස් (electronics) ...

No comments:

Post a Comment