Wednesday, January 20, 2016

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 11



සිග්නල් ඩයෝඩ් හා සංඥා ඍජුකරණය
(Signal diodes and signal rectification)

ඉහතදී විදුලිබලය ඍජුකරණය කරපු ආකාරයටම සංඥා ඍජුකරණයත් සිදු කෙරේ. එහෙත් යම් යම් වෙනස්කම් තිබේ. ඊට හේතුව විදුලි සංඥා හා විදුලිබලය අතර තිබෙන ප්‍රායෝගික වෙනස්කම්ය. සාමාන්‍යයෙන් විදුලි සංඥාවේ තරංගයට විදුලිබලයේ තරංගයට වඩා වැඩි සංඛ්‍යාතයක් තිබෙනවා. තවද, විදුලිබලයේදී එම සංඛ්‍යාතය නියත කුඩා අගයක් (හර්ට්ස් 50 වැනි) ගන්නා අතර, සංඥාවක කුඩා අගයක සිට ඉතා විශාල අගයක් දක්වා පරාසයක මෙම සංඛ්‍යාතය විචලනය විය හැකියි. මීට අමතරව, සංඥා විදුලියේ වෝල්ටියතාව හා ධාරාව (එනම් ජවය), විදුලිබලයේ වෝල්ටියතාව හා ධාරාවට (එනම් ජවයට) වඩා ඉතා කුඩාය. මෙම ගති ලක්ෂණ දෙක නිසා සංඥා ඍජුකරණය විදුලිබල ඍජුකරණයට වඩා තරමක වෙනස් මුහුණුවරක් ගන්නවා.

සාමාන්‍යයෙන් සංඥා සංඛ්‍යාතය ඉහල නිසා ඩයෝඩයේ ධාරිතාව ඉතාම ඉතා කුඩා විය යුතුය (සංඛ්‍යාතය වැඩි වන්නට වන්නට එම ධාරිතාව තව තවත් කුඩා විය යුතුය). තවද, කුඩා ජවයන් පවතින නිසා, ඩයෝඩය කුඩාය. PIV අගය, VF, හා IF අගයන් එනිසා කුඩාය. මෙම ගතිලක්ෂණ පිහිටන සේ නිපදවූ ඩයෝඩ සිග්නල් ඩයෝඩ හෝ සිග්නල් රෙක්ටිෆයර් ලෙස හඳුන්වනවා.

සිග්නල් රෙක්ටිෆයි කරන විට තවත් ගැටලුවක් මතු වෙනවා. සංඥාවක විස්තාරය/වෝල්ටියතාව සාමාන්‍යයෙන් කුඩාය. සිලිකන් ඩයෝඩයක් භාවිතා කළොත් එය පෙර නැඹුරු වීමට අඩුම ගානේ වෝල්ට් 0.7ක වත් වෝල්ටියතාවක් සංඥාව සතු විය යුතුය. සංඥාවේ විස්තාරය ඩයෝඩයේ මෙම බැරියර් වෝල්ටියතාවට වඩා කුඩායි නම්, සංඥාව ඩයෝඩය හරහා පොඩ්ඩක්වත් ගමන් නොකරනු ඇත. මීට පිළියමක් වන්නේ බැරියර් වෝල්ටියතාව අඩු ඩයෝඩයක් යෙදීමයි.

ඒ අනුව, ජර්මේනියම් ඩයෝඩයක් වඩා සුදුසුයි මොකද ජර්මේනියම් ඩයෝඩයක විභව බාධකය වෝල්ට් 0.3ක් පමණ කුඩාය. තවද, බැරියර් වෝල්ටියතාව 0.25 පමණ වන ෂොට්කි ඩයෝඩද භාවිතා කළ හැකියි. එහෙත් බොහෝවිට මෙම අගයනුත් විශාල වැඩි වීමට පුලුවන් මොකද මිලිවෝල්ට් ප්‍රමාණවලින් පවතින සංඥා තමයි බහුලව තිබෙන්නේ. එවැනි අවස්ථා සඳහා බැරියර් වෝල්ටියතාව ඉතාම කුඩා "බැක් ඩයෝඩ" භාවිතා කළ හැකියි.

මෙවැනි ඉතා කුඩා බැරියර් වෝල්ටියතාවන් සහිත ඩයෝඩ සොයා ගත නොහැකි වීමට පුලුවන්. එවැනි ඩයෝඩයක් තිබුණත් නැතත් යම් උපක්‍රමයක් යෙදීමෙන්ද මෙම ගැටලුවට යම් විසඳුමක් ලබා ගත හැකියි. මෙම උපක්‍රමය මඟින් සාමාන්‍ය සිලිකන් ඩයෝඩ යොදාගෙනම බැරියර් වෝල්ටියතාවේ බලපෑම 100% ක්ම ඉවත් කළ හැකියි. මෙම උපක්‍රමය ඩයෝඩ බයසිං කියා හැඳින්වේ (මොහොතකින් ඩයෝඩ බයසිං ගැන විස්තර කෙරේ).



කැප් එක හරහා ඒසී සංඥාව D2 ඩයෝඩය වෙතට යොමු වේ. +5V battery, R1, R3, D1 යන කොටස් නොමැති වූවා නම් එය සාමාන්‍ය සිග්නල් රෙක්ටිෆයර් පරිපථයකි. සංඥවේ පීක්-ටු-පීක් අගය වෝල්ට් 1 යැයි සිතමු. ඒ කියන්නේ x අක්ෂයේ සිට උඩු (ධන) කොටසේ උපරිම වෝල්ට් 0.5ක්ද, x අක්ෂයේ සිට යට (ඍණ) කොටසේ උපරිමව වෝල්ට් 0.5 බැගින්ද පිහිටනු ඇත. සංඥාවේ ඍණ කොටස කොහොමත් කැපෙනවා ඩයෝඩය ඉන් පසු නැඹුරු කරන නිසා. එහෙත් මෙම උදාහරණයේදී ධන කොටස පවා කැපී යනවා මොකද එහි උපරිම විභවය 0.5කි. ඩයෝඩය පෙර නැඹුරු කිරීමට නම්, අඩුම ගානේ වෝල්ට් 0.6ට වඩා එය වැඩි විය යුතුය. නිකමට හෝ සංඥාවේ වෝල්ටියතාව වෝල්ට් 1 යැයි සිතමු. එවිට ඩයෝඩය පෙර නැඹුරු වේ. එහෙත් එම සංඥාවෙන් විශාල ප්‍රමාණයක් (එනම් 0.6V ප්‍රමාණයක්) ඩයෝඩයේ බැරියර් වෝල්ටියතාව නිසා කැපී ගොස් විකෘති වෙච්ච කුඩා සංඥාවකුයි අවුට්පුට් වන්නේ.

මේකට විසඳුමක් ලෙස තමයි පෙන්වා ඇති පරිදි ඩයෝඩ් බයසිං කොටසක් යෙදිය යුතු වෙන්නේ. මෙම පරිපථය කිහිප ආකාරයකින් විග්‍රහ කළ හැකියි. +5V විභවය R3 හා D1 යන උපාංග දෙක විසින් විභව බෙදුමකට ලක් කරනවා. පෙර නැඹුරු ඩයෝඩයක දෙපස හැමවිටම ඩ්‍රොප් වන්නේ බාධක විභවයට සමාන නියත වෝල්ටියතාවකි (සිලිකන් සඳහා 0.6 සිට 0.7 දක්වා ප්‍රමාණයක්). එනිසා භූගතයට සාපේක්ෂව ඩයෝඩයේ උඩ අග්‍රයේ 0.6ක් පිහිටනවා. මෙම 0.6 වෝල්ටියතාව R1, D2, R2 යන උපාංග ඔස්සේ ගමන් කොට පරිපථයක් සම්පූර්ණ කරනවා (මීට අමතරව +5V සැපයුම R3 හා D1 හරහාද තවත් පරිපථයක් සම්පූර්ණ කරනවා). එය කැපෑසිටරය ඇති පැත්තට ගමන් කරන්නේ නැත්තේ කැප් හරහා ඩීසී විදුලියට ගමන් කළ නොහැකි නිසාය (එනම්, කැප් එක ඔස්සේ පරිපථයක් සම්පූර්ණ කිරීමට බැරිය).

දැන් D1 ඩයෝඩ ඇනෝඩයේ තිබෙන 0.6 වෝල්ටියතා ප්‍රමාණය තමයි R1, D2, R2 ඔස්සේ පරිපථය සම්පූර්ණ කිරීමට හදන්නේ. එහෙත් 0.6 නම් වෝල්ටියතා ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ R1, D2, R2 යන උපාංග තුනෙහි වෙන වෙනම විභවයන් ඩ්‍රොප් කිරීමට. ඊට හේතුව ඩයෝඩය පෙර නැඹුරු වන්නට නම් වෝල්ට් 0.6ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු වීමයි. එහි අර්ථය නම් D1 හි ඇනෝඩයේ පිහිටි 0.6 වෝල්ටියතාව D2 හි ඇනෝඩය දක්වා ගොස් එතැන රැඳේ. D2 ඩයෝඩය පෙර නැඹුරු නොවුණත්, මෙම 0.6 විභවය විසින් එය පෙර නැඹුරු වෙන්නට "ඔන්න මෙන්න" තත්වයට පත් කරනවා. ඒ කියන්නේ D2 හි ඇනෝඩයට වෙනත් කොහෙන් හෝ ඉතාම කුඩා වෝල්ටියතාවක් පැමිණියත් දැන් ඩයෝඩය එකවර පෙර නැඹුරු වෙනවා. ඒ කියන්නේ ඩයෝඩයට එන ඕනෑම ලොකු කුඩා විදුලි සංඥාවකට දැන් ඩයෝඩය හරහා ගමන් කළ හැකියි, එම සංඥාවට කිසිම විකෘතියක් සිදු නොකර.

සටහන
  ඉහත පරිපථ විග්‍රහයේදී පරිපථවල හමුවන එහෙත් බොහෝ අය එකවර තේරුම් නොගන්නා තත්වයක්/උපක්‍රමයක් තිබෙනවා. එය තව දුරටත් පැහැදිලි කරගමු. D1 හි ඇනෝඩයේ තිබෙන 0.6 විභවය R1, D2, R2 යන උපාංග තුන හරහා ගොස් පරිපථය සම්පූර්ණ කිරීමට හැදුවත් පරිපථය සම්පූර්ණ නොවේ. ඊට හේතුව ඩයෝඩය තවමත් සම්පූර්ණයෙන්ම පෙර නැඹුරු වී නැති වීම බව ඉහතදී පැවසුවා. ඩයෝඩය යනු ස්විචයක් ලෙස ක්‍රියා කරන්නකි. එය "ඔන්" කරන කල් (එනම් සම්පූර්ණයෙන්ම පෙර නැඹුරු කරන කල්) කිසිදු විදුලියක් ඒ හරහා ගමන් කරන්නේ නැත. එනිසා ඩයෝඩය වෙනුවට එතැන සාමාන්‍ය ස්විචයක් තිබෙනවා යැයි සිතින් මවා ගත හැකියි (පහත රූපය).


 
එවිට සාමාන්‍යයෙන් ස්විචයක් ඕෆ් අවස්ථාවේදී මෙන් ස්විචයෙ අග්‍ර දෙක දක්වාම පෙන්වා ඇති ලෙසට විභවයන් පිහිටුවිය හැකියි. ධාරාවක් ගලා යන්නේ නැතිව රෙසිස්ටරයක් (හෝ ඕනෑම උපාංගයක්) දෙපස විදුලියක් ඩ්‍රොප් වන්නට විදියක් නැහැනෙ (V=IR යන ඕම් සූත්‍රය අනුව). ඒ අනුව, +5V සැපයුම නිසා කිසිදු ධාරාවක් R1, D2, R2 හරහා ගලන්නේ නැත. එනිසා R1, R2 දෙපස විභවයන් ඩ්‍රොප් වන්නේ නැත. එසේ නම් D2 දෙපස විභවයක් ඩ්‍රොප් වන්නේ කෙසේද? ඊට හේතුව ඩයෝඩය දැන් ඕෆ් වෙච්ච ස්විචයකට සමාන වීමයි. ධාරාවක් නොගොස් විභවයක් ඩ්‍රොප් විය හැකි උපාංගයකි ස්විචය. මෙම ස්විචය සාමාන්‍ය ඔන්/ඕෆ් ස්විචයක් විය හැකියි. නැතහොත් ඩයෝඩය වැනි උපාංගයකින් ඉස්මතුවන ස්විච තත්වයකි (ඉහත අවස්ථාව වැනි).

ඉහත පරිපථයේ R3 තරමක විශාල ඕම් අගයකින් තිබිය යුතුය. ඊට හේතුව D1 ඩයෝඩය පෙර නැඹුරු වූ විට, +5V විභව සැපයුමෙන් අධික ධාරාවක් ඩයෝඩය හරහා ගලා යෑම වැලැක්වීමයි. R1 ද තරමක විශාල ඕම් අගයකින් තිබිය යුතුය. ඊට හේතුව කැපෑසිටරය හරහා එන සංඥාව මෙම ඩයෝඩය හරහා ගලා යෑම වැලැක්වීමටයි (මෙම ප්‍රතිරෝධය නැති වුවොත් සංඥාව D2 හරහා නොගොස් D1 හරහා ගමන් කරන්නට ඉඩ තිබෙනවා). ඔබ දන්නවා ධාරාව හැමවිටම අඩුම ප්‍රතිරෝධය තිබෙන මාර්ගයයි සොයා යන්නේ (පරිපථය සම්පූර්ණ කරන ගමන්ම). R2 ප්‍රතිරෝධයද විශාල විය යුතුය. R2 සහිත මාර්ගය තිබෙන්නේ +5V බයස් වෝල්ටියතා පරිපථය සම්පූර්ණ කිරීමටයි. එම මාර්ගය නොතිබ්බා නම් පරිපථයක් සම්පූර්ණ වීම නොවන නිසා බයස් පරිපථ කොටස ඵල රහිත වෙනවා. එනම් D2 ඩයෝඩයට 0.6 වෝල්ටියතාව ඩ්‍රොප් වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැතිව යනවා. D2 ඩයෝඩය හරහා පරිපථය සම්පූර්ණ වීමට හැකි නිසානෙ මෙම 0.6 වෝල්ටියතාව D2 ට ලැබුණේ. එහෙත් සංඥා විදුලිය මෙම R2 මාර්ගය හරහා භූගතයට ගමන් කිරීම වැලැක්විය යුතුයි. එය කරන්නේ සුපුරුදු ලෙසම වැඩි ප්‍රතිරෝධකතාවක් සහිත මාර්ගයක් බවට එය පත් කිරීමෙන්. දළ වශයෙන් එම පරිපථයේ D2 ඊළඟට සම්බන්ධ වන භාරයේ ප්‍රතිරෝධයට වඩා අඩුම ගානේ 10 ගුණයක්වත් වැඩියෙන් මෙම ප්‍රතිරෝධයේ අගය තිබිය යුතුය. උදාහරණයේ දී තිබෙන 10k අගය අනුව, භාරය 1k හෝ ඊට වඩා අඩු විය යුතුයි.

තවද, සංඥා ඍජුකරණයේ අරමුණ වන්නේ සංඥාවේ එක් අර්ධයක් ලබා ගැනීමට පමණක් බැවින්, අර්ධ තරංග ඍජුකරණය තමයි භාවිතා වෙන්නේ.

ඍජුකරණයට අමතරව ඩයෝඩවල තවත් භාවිතාවන් කිහිපයක්ම ඇත. ඒවා දැන් සලකා බලමු.

නැඹුරු පරිපථ (Biasing)

ක්‍රියාකාරී අවස්ථාවේදී (ON එකේදී) ඉලෙක්ට්‍රෝනික උපාංගයක් දෙපසම යම් වෝල්ටියතාවක් සාමාන්‍යයෙන් පවතිනවා. මෙලෙස ඩ්‍රොප්වන විභව අන්තරය අදාල උපාංගය විසින් තීරණය කරන්නක් ඕම් නියමය අනුව. ඒ කියන්නේ අදාල උපාංගයේ ප්‍රතිරෝධය/ප්‍රතිභාධක අගය එම උපාංගය හරහා යන ධාරාවෙන් ගුණ කළ විට, එම උපාංගය දෙපස ඩ්‍රොප් වන විභවය තීරණය වෙනවා. ඉතිං අපට බැහැනෙ කෘත්‍රිමව උපාංගයක ප්‍රතිරෝධය/ප්‍රතිභාධකය වෙනස් කරන්නට (එය උපාංගය නිෂ්පාදනය කරන විට තීරණය වූවක්). ඇත්තටම උපාංගය දෙපස ඩ්‍රොප්වන විභවය වෙනස් කිරීමට අපට අවශ්‍යත් නැහැ.

එහෙත් අපට අවශ්‍ය වෙනවා උපාංගයේ එක් අග්‍රයක වෝල්ටියතාව අපට අවශ්‍ය විභවයකට සෙට් කරන්නට. උදාහරණයක් ඇසුරින් මෙය සලකා බලමු (පහත රූපයේ a බලන්න). මෙහි X යනු යම් ඉලෙක්ට්‍රෝනික උපාංගයක් යැයි සිතන්න. එහි ප්‍රතිරෝධය කිලෝඕම් 1 යැයිද සිතන්න. දැන් මෙම උපාංගය හරහා මිලිඇම්පියර් 10ක ධාරාවක් යැවූ විට, V=IR අනුව, 0.01x1000 = 10V ක වෝල්ට් ප්‍රමාණයක් X උපාංගය දෙපස ඩ්‍රොප් විය යුතුයි. ඒ කියන්නේ රූපයේ පෙන්වා තිබෙන පරිදි වෝල්ට් 10ක බැටරියක් සම්බන්ධ කළ හැකියි ඒ සඳහා. එවිට, උපාංගයේ + පැත්තේ අග්‍රය (එනම් + අග්‍රය) වෝල්ට් 10, - අග්‍රය වෝල්ට් 0 ද පවත්වා ගනී.



දැන් b රූපය බලන්න. මෙහිදී බැටරිය වෝල්ට් 15කි. එනිසා රෙසිස්ටරයක් හරහා X උපාංගයට අවශ්‍ය විදුලිය සපයයි. මෙහිදී වැඩිපුර වෝල්ට් 5 රෙසිස්ටරය දෙපස ඩ්‍රොප් කර ගෙන අවශ්‍ය වෝල්ට් 10, X උපාංගයට ලබා දේ. මෙහිදීද X උපාංගය දෙපස ඩ්‍රොප් වන්නේ වෝල්ට් 10ම තමයි. තවද, පෙර සේම + අග්‍රයේ වෝල්ට් 10, - අග්‍රයේ වෝල්ට් 0 ද පවතී.

දැන් c රූපය බලන්න. මෙයත් වලංගු පරිපථයක්. මෙහිදීද වැඩිපුර වෝල්ට් 5 රෙසිස්ටරය හරහා රඳවාගෙන අවශ්‍ය වෝල්ට් 10 පමණක් X උපාංගයට ලබා දේ. ඒ කියන්නේ දැනුදු උපාංගය දෙපස ඩ්‍රොප් වී තිබෙන්නේ වෝල්ට් 10ම තමයි. එහෙත් මෙහිදී මුල් අවස්ථා දෙකට වඩා යම් වෙනස්කමක් තිබෙනවා. එනම්, උපාංගයේ + අග්‍රයේ රැඳී තිබෙන වෝල්ටියතාව වෝල්ට් 15ක් වන අතර, - අග්‍රයේ වෝල්ට් 5ක් තිබේ. අග්‍ර දෙකේ කුමන කුමන වෝල්ටියතා අගයන් පැවතියත් අග්‍ර දෙක අතර වෝල්ටියතා වෙනස හැමවිටම උපාංගයට අවශ්‍ය වෝල්ටියතාව වන වෝල්ට් 10ම ලැබේ.

ඉහත විස්තරය බයසිං (නැඹුරුව) හා ඍජුවම සම්බන්ධයි. ඔබට නිතරම සිදු වෙනවා ඉහත c අවස්ථාවේදී මෙන් යම් උපාංගයක එක් අග්‍රයක් යම් නිශ්චිත වෝල්ටියතා අගයකට සෙට් කරන්නට. මෙය තමයි බයස් කරනවා යනුවෙන් හැඳින්වෙන්නේ. විශේෂයෙන් ට්‍රාන්සිස්ටර් හැමවිටම නිවැරදි වෝල්ටියතාවන්ට බයස් කළ යුතුය (මේ ගැන ට්‍රාන්සිස්ටර් පාඩමේදී සලකා බලමු).

බයස් කිරීමට රෙසිස්ටර්, කැපෑසිටර්, ඉන්ඩක්ටර් ආදි උපාංග තනි තනිව හෝ මිශ්‍රව යොදා ගත හැකියි. උදාහරණයක් ලෙස ඉහත c අවස්ථාවේදී තනි රෙසිස්ටරයකින් තමයි එම බයස් කිරීම සිදු කළේ. මීටත් අමතරව බහුලවම රෙසිස්ටර් දෙකක් (හෝ කිහිපයක්) යොදා ගෙන විභව බෙදුම් පරිපථද භාවිතා කරනවා උපාංග බයස් කිරීමට (එනම්, උපාංගයට අවශ්‍ය වෝල්ටියතාව ලබා දීමට). රෙසිස්ටර් හා රෙසිස්ටර්වලින් පමණක් සාදපු විභව බෙදුම් පරිපථ ඒසී හා ඩීසී විදුලි දෙකටම එක ලෙස යොදා ගත හැකියි. එහෙත් කැප් හා ඉන්ඩක්ටර් යොදාගෙන විභව බෙදුම් සාදා ගැනීමේදී ඒසී විදුලිය සමඟ පමණයි වැඩ කරන්නේ (මේ ගැන දෙවැනි ඉලෙක්ට්‍රොනික්ස් පොතේ විස්තර කර ඇත).

ඩයෝඩ යොදාගෙනද පහසුවෙන් බයස් කිරීම සිදු කළ හැකියි. මෙහිදී ඩයෝඩයක් සතුව නියත විභවයක් තමන් දෙපස ඩ්‍රොප් කර ගැනීම යන ගතිගුණයයි යොදා ගන්නේ (ඔබ දන්නවා ඩයෝඩයක් හරහා කුමන අගයක ධාරාවක් ගියත් එය දෙපස හැමවිටම ඩ්‍රොප් වන්නේ එහි විභව බාධකයට සමාන වෝල්ට් ගණනකි; සිලිකන් සඳහා එය 0.6 පමණ වේ). පහත (a) රූපය බලන්න.


 
මෙහිදී X ස්ථානයෙන් හැමවිටම වෝල්ට් 0.6 ක වෝල්ටියතාවක් ලැබෙනවා. උපාංගය හරහා ගලා යන ධාරාව කොපමණ වුවත් මෙම බයස් වෝල්ටියතාව වෙනස් වෙන්නේ නැහැ. 0.6 වෙනුවට 1.2 ක වෝල්ටියතාවක් අවශ්‍ය නම්, ශ්‍රේණිගතව ඩයෝඩ 2ක් සම්බන්ධ කළ හැකියි (b රූපය). මෙලෙස ඩයෝඩ ගණන වැඩි කිරීමෙන් බයස් වෝල්ටියතාව වැඩි කරගත හැකියි. එය වැඩි වන්නේ 0.6 පරතරයන්ගෙනි (සිලිකන් ඩයෝඩ භාවිතා කරන්නේ නම්; ජර්මේනියම් ඩයෝඩ යොදා ගතහොත් එය 0.3 පරතරවලින් වැඩි කරගත හැකියි).

ඩයෝඩ වෙනුවට රෙසිස්ටර් යොදා ගෙන මෙය සිදු කර ගත හැකිව තිබියදී ඩයෝඩ භාවිතා කළේ ඇයි? ඊට හේතු ඇත. ගලා යන ධාරාව කුමක් වුවත්, එකම නියත වෝල්ටියතාවකට යම් උපාංගයක අග්‍රයක් සෙට් කිරීමට අවශ්‍ය වූ විට ඩයෝඩ ඊට අත්‍යන්තයෙන්ම සුදුසුය. සාමාන්‍ය රෙසිස්ටර් භාවිතා කරන්නට බැහැ මෙවැනි තැන්වල මොකද ගලා යන ධාරාව වෙනස් වන විට, රෙසිස්ටරය දෙපස ඩ්‍රොප් වන විභවය වෙනස් වෙනවා.

තවද, ට්‍රාන්සිස්ටර් හෝ පීඑන් සන්ධි සහිත වෙනත් උපාංගයන් බයස් කරන විට, තවත් වාසියක් ඇති වෙනවා ඩයෝඩ යොදා බයස් කරන විට. ඩයෝඩ යනුද පීඑන් සන්ධියක් නිසා, උෂ්ණත්වය වෙනස් වීම මත උපාංගවල අගයන් වෙනස් වීම දැන් සමාකාරවයි සිදු වන්නේ. රෙසිස්ටර් භාවිතා කළේ නම්, උෂ්ණත්වය විචලනය වන විට, රෙසිස්ටරයේ අගය වෙනස්වීමේ ප්‍රතිශතය හා වෙනත් ද්‍රව්‍ය හා තාක්ෂණයකින් සාදා තිබෙන ට්‍රාන්සිස්ටරයේ අගයන් වෙනස්වීමේ ප්‍රතිශතය එකිනෙකට අසමාන වේ. එවිට ට්‍රාන්සිස්ටරයේ බයස් කරපු වෝල්ටියතාවන් උෂ්ණත්ව වෙනස් වීම නිසා අවුල් වේ. එහෙත් ඩයෝඩ හා ට්‍රාන්සිස්ටර් දෙකම ආසන්න වශයෙන් එකම ප්‍රතිශතයකින් උෂ්ණත්වයට සංවේදී වන නිසා, මෙලෙස බයස් විභවය අවුල් වීම අහෝසි කර හෝ අවම කර ගත හැකියි.

හේතු කුමක් වුවත්, ඩයෝඩවලින් බයස් පරිපථ සෑදීය හැකි බව දැන් පැහැදිලියිනෙ. මීට පෙර සංඥා ඍජුකරණය ගැන කතා කරන විටත් බයස් පරිපථයක් යොදා ගත්තා මතකද? ඩයෝඩයේ ඇනෝඩයට 0.7ක වෝල්ටියතාවක් ලබා දීමටයි එහිදී අවශ්‍ය වූයේ. ඉතිං එය පහසුවෙන්ම කළ හැකියි ඒ පෙන්වා දුන් පරිදිම තවත් ඩයෝඩයකින් බයස් කිරීමෙන්. එවිට උෂ්ණත්ව වෙනස් වුවත්, බයස් වෝල්ටියතාවද වෙනස් නොවීම තවත් වාසියකි.

එහිදී අවශ්‍ය වූයේ සංඥා ඩයෝඩය පෙර නැඹුරු නොකර එහෙත් පෙර නැඹුරු වෙන්නට ඔන්න මෙන්න තිබෙන සේ බයස් කිරීමනෙ. ඉතිං ඩයෝඩයක් යොදා ගන්නේ නැතිව රෙසිස්ටර් යෙදුවොත් කුමක් වෙන්න තිබුණාද? උෂ්ණත්වය වෙනස් වන විට, රෙසිස්ටරය හා පීඑන් සන්ධිවල අගයන් වෙනස් වන්නේ විවිධ ප්‍රතිශතයන්වලින්. ඒ කියන්නේ සමහරවිට, ඩයෝඩය දැන් සංඥාවක් නැතිවම පෙර නැඹුරු වෙන්නට ඉඩ තියෙනවා. එහෙමත් නැතිනම් ඩයෝඩය පෙර නැඹුරු වෙන්නට ඔන්න මෙන්න තියෙන ස්වභාවය අඩු වෙන්නට පුලුවන්. මේ දෙකෙන් කුමක් වුවත්, ඉන් සංඥාව විකෘති වෙනවා. මේ දෙකම වැලකෙනවා ඩයෝඩයකින් බයස් කළ විට.


ඉලෙක්ට්‍රෝනික්ස් (electronics) ...

No comments:

Post a Comment