Wednesday, November 11, 2015

ඉලෙක්ට්‍රොනික්ස් II (Electronics) - 23



ඉහත spiral coil (සර්පිලාකාර කොයිලය) සඳහා වූ සූත්‍රයට r, w සඳහා අගයන් අඟල්වලින් ලබා දී ඇත. W යනු කොයිලයේ පිටම වටය හා ඇතුලතම වටය අතර දුර ප්‍රමාණය වන අතර, r යනු කොයිලයේ මධ්‍යයේ සිට ගණනය කරන දුර ප්‍රමාණයයි (කිසිදු කම්බියක් නැති අරයත්, w/2 කුත් එකතු කළ විට එය ලැබේ).

ටොරොයිඩ් කොයිලයක ප්‍රේරණතාව

 



ඉහත සූත්‍රය නිවැරදි වන්නේ ටොරොයිඩයේ අරය (a) කොයිලයේ අරය (r) ට වඩා බොහෝ කුඩා වූ විටයි. තවද, එහි අරයන් මීටර්වලින්ද, ප්‍රේරණතා අගය හෙන්රිවලින්ද පවතී. ඉහත ටොරොයිඩ් කොයිල් එකටම පහත සූත්‍රයද යෙදිය හැකියි. මෙහි r හා a සෙන්ටිමීටර් වලින් ලබා දිය යුතු අතර, ලැබෙන ප්‍රේරණතා අගය මයික්‍රොහෙන්රි වේ. ඉහත සූත්‍රයේදී මාධ්‍යයේ පාරගම්‍යතාව යොදන අතර, පහත සූත්‍රයේදී යොදන්නේ මාධ්‍යයේ සාපේක්ෂ පාරගම්‍යතාව බව මතක තබා ගන්න.


ඉහත ටොරොයිඩ් එකේ හරස්කඩ ක්ෂේත්‍රඵලය වෘත්තාකාර වේ. ටොරොයිඩයේ හරස්කඩ ක්ෂේත්‍රඵලය හතරැස් නම්, පහත සූත්‍රය යෙදිය යුතුය. මෙහිද මාධ්‍යයේ සාපේක්ෂ පාරගම්‍යතා අගයයි ලබා දිය යුත්තේ.
 
කොයිලයක් තුළින් ගලා යා හැකි උපරිම ධාරාවක් ඇත. එය කොයිලය සෑදීමට යොදා ගන්නා කම්බියේ ගේජ් එක මත රඳා පවතී. මෙම ධාරාව rated current හෝ maximum current යනුවෙන් හැඳින්වේ. ඇත්තටම ඕනෑම තැනක rated යන විශේෂණ පදය සහිතව ධාරාවක්, වෝල්ටියතාවක් ආදිය සඳහන් කර ඇති විට, එහි තේරුම "උපරිම" යන්නයි. කොයිලය තුළින් උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා ගියොත් කොයිලය පිලිස්සී යා හැකියි. ඊට පෙර කොයිලයේ ආලේපිත පරිවාරක කොටස් පිලිස්සී යා හැකියි. එවිට කොයිල්වල පොටවල් එකිනෙකට ෂෝට් වේ. කොයිලයක පොටවල් ගණන වැඩි වන විට, උපරිම ධාරාව අඩු වේ; ස්ට්‍රේ කැපෑසිටන්ස් වැඩි වේ; ස්ට්‍රේ රෙසිස්ටන්ස් වැඩි වේ; කොයිලයේ කිව් අගය අඩු වේ. පොටවල් ගණන වැඩි කරන්නේ ඉන්ඩක්ටන්ස් එක වැඩි කිරීමටනෙ. එහෙත් පොටවල් වැඩි නොකර, වැඩි පාරගම්‍යතාවක් සහිත කෝර් එකක් යෙදීමෙන්ද කොයිලයේ ඉන්ඩක්ටන්ස් වැඩි කළ හැකියි. එවිට, උපරිම ධාරාව, ස්ට්‍රේ රෙසිස්ටන්ස් හා කැපෑසිටන්ස්, කිව අගය ආදිය වෙනස් නොවේ. එහෙත් කොයිලයට කෝර් එකේ බලපෑම වැඩි වන විට (එනම් පාරගම්‍යතාව වැඩි වන විට), කොයිලය තුළින් ගමන් කරන සංඥාවට විදුලි ඝෝෂාවද වැඩි වැඩියෙන් එකතු වන බව මතක තබා ගන්න.
ඉහත ක්‍රමවලට අමතරව, තවත් විවිධාකාරයේ හැඩවලින් යුතු කොයිල් සෑදිය හැකි අතර, ඒ සෑම එකක් සඳහාම ඊටම සුවිශේෂි වූ සූත්‍ර ගණනාවක්ම පවතී.
 

චුම්භකගාමක බලය (magnetomotive force – mmf) යනුවෙන්ද වචනයක් අපට හමු වෙනවා. එය හරියට විදුලියේදී හමුවන විද්‍යුත්ගාමක බලය (electromotive force – emf) වගේම රාශියක්. ඔව්, විදුලියේදී emf වලට හිමි ස්ථානය තමයි චුම්භකවලදී mmf ට හිමි වන්නේ.
 
mmf = Hl (H - චුම්භකතාව, l (එල් අකුර) - චුම්භකයේ දිග)
 
H = NI/l නිසා, ඉහත සූත්‍රය පහත ආකාරයටද ලිවිය හැකියි නේද?
 
mmf = Hl (එල්) = NI (අයි)
 
යම් සන්නායකයක අග්‍ර දෙක අතර යම් විද්‍යුත්ගාමක බලයක් ඇති විට, එම සන්නායකය දිගේ විදුලි ධාරාවක් (ඉලෙක්ට්‍රෝන) ගමන් කරනවා. එලෙසම, යම් (කාන්දම්) ද්‍රව්‍යයක් දෙපස චුම්භකගාමක බලයක් ඇති විට, ඒ හරහා චුම්භක ස්‍රාවයක් ගමන් කරනවා. විද්‍යුත්ගාමක බලය නිසා ගමන් කරන ධාරාවට එම මාධ්‍යය විසින් ප්‍රතිරෝධකතාවක් දක්වනවා (එනම්, ධාරාව ගැලීමට බාධාවක්). 
එලෙසම, චුම්භකගාමක බලය නිසා චුම්භක ස්‍රාවයක් ගමන් කරන විට, මාධ්‍යය විසින් ඊට "චුම්භක ප්‍රතිරෝධකතාවක්" (reluctance – R) දක්වනවා. රිලක්ටන්ස් හි පරස්පරය (1/R) හැඳින්වෙන්නේ permeance (P) ලෙසයි. මේ අනුව, ඔබට පැහැදිලිවම පෙනෙනවා විදුලිය හා චුම්භක අතර එකිනෙකට අනුගතව පවතින සංකල්ප/සූත්‍ර පවතින බව. ඒ කියන්නේ විදුලියේදී ධාරාවට හිමි තැන චුම්භකවලදී චුම්භක ස්‍රාවයටද, ප්‍රතිරෝධය හිමි තැන රිලක්ටන්ස්වලටද හිමි වෙනවා. එම සම්බන්ධතාව සූත්‍රයක් ලෙස පහත ආකාරයට ලිවිය හැකියි. මෙය විදුලියේදී ඔබ ඉගෙන ගත් ඕම් නියමයට අනුරූප සූත්‍රයක් නේද? මෙම සූත්‍රය Hopkinson's Law යන නමින් හැඳින්වෙනවා.
 
mmf = (Magnetic flux)(Reluctance) mmf = ϕR
 
ඇත්තටම විදුලිය හා චුම්භක සූත්‍ර අතර තිබෙන සමානකම් තවදුරටත් ගමන් කරනවා. ඔබ දන්නවා යම් ප්‍රතිරෝධි ද්‍රව්‍යයක ප්‍රතිරෝධය මැනීමට R =pl/A යන සූත්‍රය යොදා ගන්නා බව (p යනු ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවයි). මෙම සූත්‍රයම R = l/σA ලෙසටත් ලියනවා ( σ යනු ද්‍රව්‍යයේ සන්නායකතාවයි). එක සූත්‍රයක ප්‍රතිරෝධකතාවද අනෙක් සූත්‍රයට සන්නායකතාවද යොදාගෙන තිබෙනවා (σ = 1/p). මේ ආකාරයටම චුම්භකයක රිලක්ටන්ස් එකද ලිවිය හැකියි. එය පහත ආකාරයට සාධනය කළ හැකියි. විදුලියේදී සන්නායකතාව යනු විදුලි ධාරාව ගමන් කිරීමට ඇති පහසුතාව වන අතර, චුම්භකවලදී පාරගම්‍යතාව යනු චුම්භක ස්‍රාවය ගමන් කිරීමට ඇති පහසුතාව වේ.
 
 

එඩි කරන්ට්

කෝර් යොදන විට, ඇති විය හැකි තවත් සංසිද්ධියක් තමයි eddy current (සුළි ධාරා) කියන්නේ. පළමු වරට මෙම සංසිද්ධිය ගැන සොයා බැලූ විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස, ඔහුගේ නමින් Foucault (ෆූකෝ) current ලෙසද මෙය නම් කෙරෙනවා. මෙය අපූරු සිදුවීමක් වුවත්, හැමවිටම වාගේ ඉලෙක්ට්‍රොනික්ස්වලදී එඩි කරන්ට් එක අපට කරදරයක් ලෙසයි පවතින්නේ (එහෙත් එය වෙනත් ප්‍රයෝජනවත් වැඩවලට යොදාගතද හැකියි). ඊට හේතුව එඩි කරන්ට් නිසා ශක්තිය තාපය ලෙස හානි වීමයි (eddy loss ලෙස මෙම ශක්ති හානිය හැඳින්වේ). මේ ගැන විමසා බලමු.
 
එඩි කරන්ට් යන්නට එම නම ලැබී තිබෙන්නේ එම විදුලිය හැමවිටම පිහිටන්නේ රවුමක් (සුලියක්) ආකාරයෙන් නිසාය. ඊට හේතුව සරලය. ඔබ දන්නවා සරල රේඛීය කම්බියක් ඔස්සේ විදුලි ධාරාවක් ගමන් කරන විට චුම්භක ක්ෂේත්‍රය ඇති වන්නේ මුදු (රවුම්) ආකාරයටයි. තවද, රවුම් ආකාරයට විදුලි ධාරාවක් යැවිය හැකි නම්, එවිට චුම්භක ක්ෂේත්‍රය රේඛීයව ඇති වේ (කොයිලයේ චුම්භක ක්ෂේත්‍රය රේඛිය වන්නේ එහි ධාරාව ගමන් කරන්නේ රවුමට බැවිනි).
 
 
ඒ කියන්නේ ධාරාව හා චුම්භක ක්ෂේත්‍රය යන දෙකෙන් එකක් රවුම් වන විට, අනෙක රේඛීය වේ. මේ අනුව, කොයිලයක රේඛීය චුම්භක ක්ෂේත්‍රයක් පවතින විට, ඉන් අසල ඇති රේඛීය සාමාන්‍ය කම්බියක/සන්නායකයක ඇති වන්නේ (අන්‍යොන්‍ය ප්‍රේරණය වන්නේ) රවුම් (සුළි) ධාරාවක් බව දැන් ඔබට තේරුම් යා යුතුය. ඉතිං කෝර් එක වටා කම්බි ඔතා තිබෙන්නේ රවුමට බැවින් ධාරාව ගලා යන්නේ රවුමටයි. එනිසා ඇති වන චුම්භක ක්ෂේත්‍රය රේඛීය වේ. මෙම රේඛීය චුම්භක ක්ෂේත්‍රය නිසා ප්‍රේරණය වන්නේ රවුම් ආකාරයේ විදුලියකි. මෙලෙස කොයිලය මැදින් ඇති කෝර් එකේ අන්‍යොන්‍ය ප්‍රේරණය නිසා විදුලියක් ප්‍රේරණය වෙනවා (රවුම් ආකාරයට). මෙම ප්‍රේරිත විදුලියට තමයි සුළි ධාරාව කියන්නේ. මෙලෙස ප්‍රේරණය වන සුලි ධාරාවේ දිශාව පහසුවෙන්ම සොයන්නට හැකියි දකුණත් රීතිය (හෝ ලෙන්ස් රීතිය) යෙදීමෙන්. රවුමට ගමන් කරන බැවින් එක්කෝ වාමාවර්තව නැතහොත් දක්ෂිණාවර්තවයි එම සුලි ධාරාව යොමුව පවතින්නේ. (ධාරාව හා චුම්භක ක්ෂේත්‍රය අතර පවතින සම්බන්ධතාව හැමවිටම දකුණත් රීතිය මඟින් සොයා ගන්නට පුලුවන් එම ධාරාවන් හෝ චුම්භක ක්ෂේත්‍රයන් රේඛියව හෝ රවුමට හෝ පැවතියත්. එහෙත් මතක තබා ගන්න ධාරාව ගමන් කරන දිශාව හා චුම්භක ක්ෂේත්‍රය පවතින දිශාව හැමවිටම එකිනෙකට ලම්භක වේ.) චුම්භක ක්ෂේත්‍රය එක් රේඛාවකින් දැක්කුවෙත් (උතුර සිට දකුළට යන ලෙස), සුලි ධාරාව එම රේඛාව වටේට පිහිටනවා ලෙස ඔබට පෙනෙනවා නේද? (දකුණත් රීතිය එලෙසම යෙදිය හැකියි පහත ආකාරයට; මෙහිදී සාමාන්‍ය දකුණත් රීතියේ තිබූ ධාරාව හා චුම්භක ක්ෂේත්‍රය යන පද දෙක මාරු කර ඇති බව පෙනේ.)
 


පෙර පෙන්වා දුන් පරිදි දිශාව පහසුවෙන් සෙවිය හැකි වුවත්, ඇත්තටම අපට සුළි ධාරාවේ දිශාව වැදගත් නැත මොකද මෙම සුලි ධාරාවන් ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ තුළ ප්‍රයෝජනවත් වැඩකට සාමාන්‍යයෙන් අප යොදා ගන්නේ නැති නිසා. එහෙත් අපට යම් යම් උපක්‍රම යොදන්නට සිදු වෙනවා මෙම එඩි කරන්ට් එක අවම කර ගන්නට. ඒ ඇයි? කෝර් එක තුළ ප්‍රේරණය වන එඩි කරන්ට් එක (I) එලෙස කෝර් එක තුළ ගමන් කරනවා. කෝර් එකේ ඇත්තේ කුඩා ප්‍රතිරෝධකතාවක් වේ. ඒ කියන්නේ සුලි ධාරාව ගමන් කරන මුලු රවුම් මාර්ගය ඔස්සේම තිබෙන ප්‍රතිරෝධය (R) නිසා, I2R අනුව මෙම එඩි ධාරාව නිසා තාප උත්සර්ජනයක් සිදු වෙනවා. මෙම තාප උත්සර්ජනය අවම කිරීමට උපක්‍රමයක් ඇත. එනම්, කෝර් එකේ ප්‍රතිරෝධකතාව වැඩි කිරීමයි (එවිට ගලා යන ධාරාව අඩු වෙනවා; ධාරාව වර්ගපදයක් ලෙස පවතින බැවින් ධාරාව කුඩා ප්‍රමාණයක් අඩු වූවත් එහි බලපෑම විශාල වේ). එහෙත් මෙවිට, පාරගම්‍යතාවද වෙනස් (අඩු) විය හැකිය; එය ප්‍රශ්නයකි. එනිසා විදුලි ප්‍රතිරෝධය වැඩි කරන ගමන්ම චුම්භක පාරගම්‍යතාව (රිලක්ටන්ස් එක) නොඅඩු විය යුතුය. මෙය සිදු කරන පහසු හා හොඳ ක්‍රමයක් නම් කෝර් එක තනි "කුට්ටියක්" ලෙස සකස් නොකර, වටේට පරිවරණය කරන ලද සිහින් පතුරු (lamination) රාශියක් එකට ගෙන කෝර් එක සෑදිමයි.
 
 
මෙහිදී තනි කුට්ටියක් ලෙස පවතින කෝර් එක වෙනුවට සිහින් පතුරු එක ළඟින් ළඟින් තබා හොඳින් තද කර කෝර් එක සාදනවා (A). ඒ විතරක් නොවේ, මෙම පතුරු එකින් එක පරිවරණය කර තිබෙනවා. එවිට, එක් පතුරක සිට ධාරාවක් අනෙක් පතුරකට ගමන් කළ නොහැකියි. ට්‍රාන්ස්ෆෝමර්වල කෝර්වල ඔබට පහසුවෙන්ම මෙම පතුරු දැක ගත හැකියි. මෙම පතුරු සිහින් වැඩි වන තරමට එඩි ධාරාව අඩු වී තාප හානිය අඩු වේ. කෝර් රත් වීමට තවත් හේතුවක් මෙම එඩි කරන්ට් නිසා ඇති වන රත් වීමයි.
 
ලැමිනේෂන් පතුරු නිසා එඩි කරන්ට් එකෙන් ඇතිවන ශක්ති හානිය අඩු වන්නේ කෙලෙසද? ඉහත රූපයේ B වලින් දැක්වෙන්නේ ලැමිනේෂන් නැතිව තනි කුට්ටියක් ලෙස කෝර් එක පවතින විට, කෝර් එකේ ඇති වන සුලි ධාරාවකි. එය විශාලව පවතිනවා. මුලු කුට්ටිය පුරාම එම සුලිය පවතිනවා. ඉහත රූපයේම C වලින් දැක්වෙන්නේ ලැමිනේෂන් පතුරු ඇති විට සුලි ධාරාවක් ඇති වී තිබෙන අයුරුයි. එක් එක් පතුර පරිවරණය කර තිබෙන බැවින් එක පතුරක ඇතිවන සුලිය එම පතුර තුළ පමණක් පැතිරේ (අනෙක් පතුරුවලට ගමන් නොකරයි). ඒ කියන්නේ දැන් ඇති වන්නේ තනි විශාල සුලියක් නොව, එක් එක් පතුර තුළ කුඩා සුලි රාශියකි. විදුලි ධාරාවට මෙම පරිවරණය බාධාවක් ඇති කළද, චුම්භක ස්‍රාවයට ඉන් එතරම් බලපෑමක් නැත (එය අනිවාර්ය කොන්දේසියකි). බැලූබැල්මට ඔබට පෙනේවි එක් එක් පතුර තුල ඇතිවන කුඩා සුලි ධාරාවන් සියල්ල එකතු කළ විට, පෙර තනි කුට්ටියේ ඇති වූ තනි විශාල සුලි ධාරාවට සමාන වේවි කියා. එහෙත් එසේ සිදුවන්නේ නැත. ඊට හේතුව මෙලෙස තර්ක කළ හැකියි.
 
ජූල් තාපන නියමය අනුව, යම් ප්‍රතිරෝධයක් දෙපස ඩ්‍රොප්වන විභයේ වර්ගයට සමානුපාතිකව තාප උත්සර්ජනය සිදු වේ. ඒ අනුව සුලි ධාරාවේ විභවයේ වර්ගයට අනුව ශක්ති හානිය සිදු වේ. තවද, ප්‍රේරණය වන සුලි විභවය චුම්භක ස්‍රාවයේ වෙනස්වීමේ සීඝ්‍රතාවට සමානුපාතික වේ (ෆැරඩේ නියමය). තනි කුට්ටියක් ලෙස කෝර් එක තිබූ විට, සම්පූර්ණ ස්‍රාවයම එම කුට්ටියේ රැඳේ. එහෙත් ලැමිනේෂන් ලෙස පවතින විට මෙම මුලු ස්‍රාවය ලැමිනේෂන් පතුරු අතරේ බෙදී යයි (පතුරුවල ගණකම සමාන නිසා ස්‍රාවය සමාන කොටස්වලට කැඩේ). එමනිසා ශක්ති හානිය අඩු වේ. උදාහරණයක් ඇසුරින් සංඛ්‍යාත්මකව මෙය බැලුවොත් ඔබට වඩාත් පැහැදිලි වේවි.
 
සිතන්න තනි කුට්ටියක් ලෙස තිබෙන විට ස්‍රාවය 8ක අගයක් ගන්නවා කියා. ස්‍රාවයේ වෙනස්වීමට සමානුපාතිකව වෝල්ටියතාවක් ප්‍රේරණය වේ. එසේ ප්‍රේරණය වන විභවයද 8ක් ලෙස ගමු (එකට එක ලෙස සමානුපාතයක් පවතිනවා ලෙස උපකල්පනය කරමු ගණනය කිරීමේ පහසුව තකා). මෙම වෝල්ටියතාවේ වර්ගයට සමානුපාතිකවයි ශක්ති හානිය සිදු වන්නේ. 8හි වර්ගය 64 වේ. (එකට එක ලෙස සමානුපාතයක් මෙහිත් පවතිනවා යැයි උපකල්පනය කරමු ගණනය කිරීමේ පහසුව තකා). ඒ කියන්නේ තනි කුට්ටියක් ලෙස කෝර් එක පවතින විට ශක්ති හානිය 64කි. දැන් ලැමිනේෂන් පතුරු 4කින් සෑදූ කෝර් එකක් ගමු. එවිට, මුලු ස්‍රාවයම 4ට බෙදී එක් එක් ස්‍රාව කොටස් එක් එක් පතුර තුළ රැඳේ. එවිට එක් පතුරක් තුළ 8/4 = 2ක ස්‍රාවයක් ඇත. දැන් මෙම ස්‍රාවය නිසා (පෙර උපකල්පනයම යොදා ගෙන) 2ක වෝල්ටියතාවක් ප්‍රේරණය වේ. මෙම වෝල්ටියතාවේ වර්ගය ගෙන තාප හානිය සෙවිය හැකියි. එවිට එක් පතුරකින් තාප හානිය 22 = 4කි. පතුරු 4හි මුලු හානිය 4x4 = 16 කි. ඒ කියන්නේ ලැමිනේෂන් පතුරු යොදා ඇති විට ශක්ති හානිය 16කි; පෙර ලැබුණු 64 අගය නොවේ. දැක්කද ශක්තිය හානි වීම විශාල ලෙස අඩු වී තිබෙනවා? එය 64/16 = 4 ගුණයකින් අඩුවී තිබෙනවා. ඇත්තටම මෙම 4 ගුණයට හේතුව පතුරු 4ක් යෙදීමයි. පතුරු ගණනය සමාන ගුණයකින් ශක්ති හානිය අඩුවන බව තේරුම් ගන්න. ඒ කියන්නේ පතුරුවල ගණකම වැඩිවන තරමට (එනම් පතුරු ගණන වැඩි වන තරමට) හානිය අඩු වේ.
 
මීටත් අමතරව තවත් උපක්‍රමයක් තිබෙනවා එඩි කරන්ට් එක නිසා ඇතිවන ශක්ති හානිය අවම කිරීමට. අපගේ කොන්දේසිය වූයේ විදුලි ප්‍රතිරෝධය වැඩි කර, චුම්භක පාරගම්‍යතාව අඩු නොකර තබා ගැනීමයි. යකඩ කුඩු වලට සිලිකන් කුඩු යම් ප්‍රමාණයක් මිශ්‍ර කිරීමෙන් යම් තරමකට මෙම කොන්දේසිය සපුරා ගත හැකියි (එහෙත් මෙහිදී පාරගම්‍යතාවද යම් ප්‍රමාණයකින් අඩුවේ.) සිලිකන් යකඩ කුඩු මිශ්‍රණය සහිත කෝර් පවතිනවා. Silicon Steel හෝ transformer iron හෝ electrical iron හෝ armature iron යන නම්වලින් මෙම මිශ්‍රණය හැඳින්වෙනවා. එඩි ලොස් එක පමණක් නොව, හිස්ටරසිස් ලොස් එකද සිලිකන් මිශ්‍ර කිරීම නිසා අඩු වේ.
එඩි ලොස් එක සංඛ්‍යාතයේ වර්ගයට හා චුම්භක ස්‍රාව ඝනත්වයේ වරිගයට සමානුපාතික වේ (eddy loss is proportional to B2f2). ඇත්ත වශයෙන්ම ඉහතදී සලකා බැලූ චර්මීය ආචරණය සිදු වන්නේද කම්බිය තුළ (ස්වයංව) සිදුවන මෙම එඩි කරන්ට් එකේ බලපෑම නිසයි. කොයිලයේ/කෝර් එකේ උෂ්ණත්වය වැඩි වූ විට, එය කෝර් එකේ පාරගම්‍යතාවට බලපාන බවද මුලින් සඳහන් කළා.

උෂ්ණත්වය වැඩි වීමේදී ක්‍රමයෙන් පාරගම්‍යතාව අඩු වේගෙන ගොස් එක්තරා උෂ්ණත්වයකදී සාපේක්ෂ පාරගම්‍යතාව 1 බවට පත් වේ. මෙම උෂ්ණත්වය Curie temperature ලෙස හැඳින්වෙනවා. එක් එක් ද්‍රව්‍යයට ඊටම ආවේණික කියුරි උෂ්ණත්වයක් තිබේ. උදාහරණයක් ලෙස, යකඩවල කියුරි උෂ්ණත්වය සෙල්සියස් 1040 පමණය. යම් ද්‍රව්‍යයක් තමන්ගේ කියුරි උෂ්ණත්වය හෝ ඊට වැඩි උෂ්ණත්වයකට ළඟා වූ විට, තමන් සතුව යම් කාන්දම් ශක්තියක් තිබුණි නම්, එය ඉවත් වී යයි. එහෙත් මෙම උෂ්ණත්වයේදී වුවද, එම ද්‍රව්‍යය හරහා විදුලි ධාරාවක් යවා එය විද්‍යුත් චුම්භකයක් බවට පත් කළ හැකියි. කාන්දම් කැබැලි රත් කරන විට, එහි කාන්දම් ගතිය අඩු වෙන්නේද මෙම හේතුව නිසා තමයි
 
ඇත්තටම මෙම විස්තර වඩාත්ම වැදගත් වන්නේ අන්‍යොන්‍ය ප්‍රේරණය සහිත අවස්ථාවලටයි (විශේෂයෙන් ට්‍රාන්ස්ෆෝමර්වලට). එහෙත් ට්‍රාන්ස්ෆෝමර් ආදිය ගැන මෙම පාඩම් මාලාවේදී කතා නොකරන බැවින් වැඩි දුරටත් මෙම මාතෘකාව ගැන සාකච්ඡා නොකෙරේ.

විචල්‍ය ප්‍රේරක

ප්‍රතිරෝධක හා ධාරිත්‍රකවල මෙන්ම ප්‍රේරකද වර්ග දෙකක් තිබේ. මෙතෙක් ඉගෙන ගත්තේ නියත අගයන් සහිත ප්‍රේරක (fixed inductor) ගැනයි. මීට අමතරව ප්‍රේරණතාව විචලනය කළ හැකි විචල්‍ය ප්‍රේරකද (variable inductor) තිබේ. ඇත්තටම ප්‍රේරක අගය වෙනස් කල හැකි ක්‍රම ගණනාවක්ම පවතී. කොයිලයේ දිග වෙනස් කිරීමෙන් (එනම්, පොටවල් අතර පරතරය අඩු/වැඩි කිරීමෙන්) එය කළ හැකියි. කෝර් භාවිතා කෙරෙනවා නම්, කොර් එක කොයිලය තුළට දමා ඇති ගැඹුර වෙනස් කිරීමෙන්ද එය කළ හැකියි (එනම්, කොයිලය තුළ ඇති කෝර් දණ්ඩ උස්-පහත් කිරීමෙන්). තවත් සුවිශේෂි ආකාරද පවතිනවා. කෝර් නැති හා කෝර් ඇත්නම් කුමන වර්ගයේ ද්‍රව්‍යයක්ද තිබෙන්නේ යන වග අනුව, විචල්‍ය ප්‍රේරක සඳහා සංඛේත කිහිපයක්ම පවතිනවා පහත ආකාරයට (මෙය ගැන පුදුම වන්නට දෙයක් නැත මොකද සාමාන්‍ය ප්‍රේරක සංඛේතද කිහිපයක් පැවතියා යොදාගන්නා කෝර් එක අනුව).


 
මෙලෙසම ප්‍රීසෙට් ඉන්ඩක්ටර් සඳහා පහත ආකාරයට සංඛේත හඳුන්වාදිය හැකියි. එහෙත් බොහෝ දෙනා ප්‍රීසෙට් ඉන්ඩක්ටර් හා වේරියබ්ල් ඉන්ඩක්ටර් යන දෙකටම ඉහත සංඛේත යොදාගන්නා බවක් පෙනෙනවා (ප්‍රීසෙට් නිතර හමුනොවන නිසා වෙන්න ඇති). 
 
 
අධිසංඛ්‍යාත සංඥා සඳහා සාදනු ලබන ඉන්ඩකටර්වලට චර්මීය ආචරණය විශාල ප්‍රශ්නයකි. එනිසා ලිට්ස් වයර්වලින් එම කොයිල් ඔතන අවස්ථාද තිබෙනවා (ලිට්ස් වයර් ගැන පළමු පාඩම් මාලාව තුළ විස්තර ඇත). ලිට්ස් වයර් එකක් තුළ සිහින් කම්බි රාශියක් ඇති අතර, ඒ සෑම සිහින් කම්බියක්ම වෙන වෙනම පරිවරණය කර තිබේ. එනිසා, ලිට්ස් වයර් යොදා ගන්නා විට, එහි කෙළවරවල්වල ඇති එක් එක් සිහින් කම්බියේ පරිවරණ සුදුසු ක්‍රමවේදයකින් සම්පූර්ණයෙන් ඉවත් කර, කෙළවරවල්වල ඇති එම සිහින් කම්බි සියල්ල එකට අඹරා ගත යුතුය.

Inductive kick

කොයිල් එකක් තිබෙන සෑම තැනකදීම මෙය සිදු වේ. ඒ කියන්නේ මෝටර්, ට්‍රාන්ස්ෆෝමර්, ඉන්ඩක්ටර්, රිලේ ආදී කොයිල් භාවිතා කෙරෙන සෑම තැනකම මෙය ඇත. inductive kickback යනුවෙන්ද මෙය හැඳින්වෙනවා. විවධ ප්‍රයෝජනවත් වැඩ සඳහා මෙය යොදා ගත්තත්, පරිපථවලදී නම් ඉන්ඩක්ටිව් කික් එක විනාශකාරී දෙයක්. මොකක්ද ඉන්ඩක්ටිව් කික් කියන්නෙ? පහත රූපය බලන්න.
 
 
මෙම පරිපථයේ ස්විචය ඔන් කළා යැයි සිතන්න. දැන් කොයිලය හරහා ධාරාවක් ගමන් කරයි (A සිට B දක්වා). මීට සම්බන්ධ කළ විදුලිය ඩීසී වුවත් ඒසී වුවත් ගැටලුවක් නැත. එහෙත් මෙම උදාහරණය සඳහා ඩීසී විදුලය ලබා දී ඇතැයි උපකල්පනය කරමු. පරිපථය ඕන් කළ ක්ෂණයෙහි කොයිලය හරහා ධාරාව ගලා යෑම නිසා, එහි චුම්භක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඩීසී විදුලියක් නිසා (සුලු වෙලාවකට පසුව, එනම් L/R කාල නියත 5කට පසුව) මෙම ක්ෂේත්‍රයද නියතයි (එනම්, විචලනය නොවේ).
 
දැන් එකවරම ස්විචය ඕෆ් කරමු. එවිට, ඔබට සිතේවි පරිපථය සුපුරුදු ලෙස ඕෆ් වේවි කියා. ඔව්, පරිපථය නම් සුපුරුදු පරිදි ඕෆ් වෙනවා. ඒ සමගම තවත් අපූරු දෙයක් සිදු වෙනවා කොයිලය තිබෙන නිසා. ඔබ දන්නවා කොයිලය තුළ යම් චුම්භක ශක්තියක් ගබඩා කරගත්තා එහි ක්ෂේත්‍රය තුළ. පරිපථය හරහා යන ධාරාව නැවැත්වූ විට, එම චුම්භක ක්ෂේත්‍රය හැකිලෙමින් අහෝසි වී යනවා. එය ඔබට පැහැදිලියිනෙ. විද්‍යුත් චුම්භකයක චුම්භක ක්ෂේත්‍රය පවතින්නේ ඒ හරහා ධාරාවක් ගමන් කරන තුරාවට පමණයි. දැන් ප්‍රශ්නය මෙයයි. චුම්භක ක්ෂේත්‍රය හැකිලෙමින් අහෝසි වී යනවා යන්නෙහි තේරුම එම ශක්තිය වෙනත් තැනකට යන බවයි; එනම් වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වන බවයි. ඇත්තටම එය පරිවර්තනය වන්නේ විදුලි ශක්තියක් බවටයි. ඇත්තෙන්ම එම චුම්භක ශක්තිය ජනනය වූයේද විදුලි ශක්තියෙනි; එය නැවත පත් වන්නේද විදුලි ශක්තිය බවටයි.
 
කැප් එකකදී නම්, විදුලිය ඕෆ් කළ පසු, තවදුරටත් කැප් එකේ විදුලි ක්ෂේත්‍රය ගබඩා වී පවතිනවා. එහෙත් කොයිලයකට එසේ කළ නොහැකියි. ඉන්ඩක්ටරය හා කැපෑසිටරය යන උපාංග දෙකම ශක්තිය ගබඩා කරගන්නා උපාංග දෙකක් වුවත්, ඒ දෙකේ ඉහත වෙනස්කම වටහාගන්න.
දැන් මෙම විදුලි ශක්තිය කොයිලය සම්බන්ධ කළ සන්නායක/වයර් ඔස්සේමයි ගමන් කරන්නේ. ඒ විතරක්ද නොවේ; චුම්භක ක්ෂේත්‍රය ඉතා ක්ෂණයකින් විදුලි ශක්තිය බවට පත් වෙනවා. ඒ කියන්නේ, ඉතා කෙටි කාලයක් නිසා සාමාන්‍යයෙන් කුඩා විදුලියක් වුවත් ඉතා ප්‍රබල විදුලියක් බවට පත් වෙනවා (මේ ගැන මීට කලින් අප හොඳින් කතා කර තිබෙනවා; කුඩා කාලවලදී අති විශාල ශක්ති ගැන). ඒ කියන්නේ සමහරවිට කිලෝවෝල්ට් ගණනක් දක්වා එහි වෝල්ට් ගණන පත් වෙනවා. මෙය තමයි ඉන්ඩක්ටිව් කික්බැක් ලෙස හැඳින්වෙන්නේ.
 
ප්‍රේරකයක් සඳහා වූ V = L(di/dt) යන සූත්‍රය අනුවද මෙය පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඉතාම ඉතාම ඉතා කුඩා කාලයකින් පරිපථයේ ධාරාව තිබූ මට්ටමේ සිට ශූන්‍ය දක්වා වෙනස් වෙනවා; ඒ කියන්නේ di/dt යන අනුපාතය ඉතා විශාල අගයක් ගන්නවා. උදාහරණයක් ඇසුරින් මෙය බලමු. ඉහත පරිපථයේ ගලන උපරිම (ස්ථාවර) ධාරාව මිලිඇම්පියර් 10ක් යැයිද, කොයිලයේ ප්‍රේරණතාව මිලිහෙන්රි 10 (හෙන්රි 0.01) යැයිද සිතමු. පරිපථය ඕෆ් වීමට මයික්‍රොතත්පර එකක් ගත වූවා යැයිද සිතන්න (ඔබ සිතුවාට ස්විචය ඕෆ් කරන විට එය ක්ෂණිකව සිදු වෙනවා කියා, ඒ සඳහාද යම් කාලයක් ගත වෙනවා). දැන් ඉහත සූත්‍රය අනුව, කික්බැක් වෝල්ටියතාව ගණනය කරමු. මයික්‍රොතත්පර එකක කාලයක් තුළදී ධාරාව මිලිඇම්පියර් 5 සිට 0 දක්වා වෙනස් විය. ඒ අනුව di = 5 – 0 = 5mA = 0.005A වන අතර, dt = 1uS = 0.000001S වේ. ඒ අනුව, දැන් පරිපථය තුල ජනනය වන කික්බැක් වෝල්ටියතාව (0.01)(0.005)/(0.000001) = වෝල්ට් 50කි. දැන් ඕෆ් වීමට ගත වූ කාලය මයික්‍රොතත්පර 0.01ක් නම්, කික්බැක් වෝල්ටියතාව 5000 දක්වා ඉහල යයි.
 
ඉහත විස්තරය අනුව, කොයිලයේ ප්‍රේරණතාව වැඩි වන්නට වන්නට කික්බැක් වෝල්ටියතාව වැඩි වේ. එලෙසම, ඕෆ් කරන මොහොතේ පැවති ධාරාව වැඩි වන විටත් කික්බැක් වෝල්ටියතාව වැඩි වේ. තවද, ඕෆ් වීමේ වේගය වැඩි වන විටද (එනම් ඕෆ් වීමට ගත වූ කාලය අඩු වන විට) කික්බැක් වෝල්ටියතාව වැඩි වේ. මේ සියල්ල ඉන්ඩක්ටරයේ සූත්‍රය ඇසුරින් පැහැදිලිව පෙනෙනවා නේද?
ඉතිං මෙහි ඇති වැරැද්ද කුමක්ද? විශාල වැරැද්දක් තිබෙනවා. පරිපථය ඕෆ් නිසා එම කික්බැක් ධාරාව අනෙක් උපාංග හරහා ගමන් කරන්නට විදියක් නැහැ නේද යැයි ඔබට සිතෙනු ඇත. ඔව්, එලෙස සිතුවොත් නම් එහි ප්‍රශ්නයක් නැහැ. එහෙත්, මෙම අති විශාල වෝල්ටියතාව දැන් පිහිටන්නේ විවෘත අග්‍ර දෙක දෙපසයි. එය විදුලියේ ස්වභාවයනෙ. යම් පරිපථයක් විවෘත (ඕෆ්) නම්, පරිපථයේ තිබෙන මුලු වෝල්ටියතාවම පිහිටන්නේ එම විවෘත අග්‍ර දෙක දෙපසයි; අනෙක් උපාංග වටා වෝල්ටියතාවන් ඩ්‍රොප් නොවේ. පරිපථයේ අනෙක් උපාංග දෙපස වෝල්ටියතා ඩ්‍රොප් වුවොත් ඉන් අදහස් කරන්නේ එම උපාංග හරහා ධාරාවක් යන බවයි (ඕම් නියමය අනුව). එහෙත් ඕෆ් කරපු පරිපථයක ධාරාවක් ගමන කළ නොහැකියිනෙ. ඉතිං මේ අනුව ඉහත කියූ ලෙසටම සම්පූර්ණ වෝල්ටියතාවම පිහිටිය යුත්තේ විවෘත අග්‍ර දෙක හරහාය. මේ ආකාරයට ස්විචයේ අග්‍ර දෙක දෙපස අති විශාල වෝල්ටියතාවක් පිහිටීම හේතුවෙන් එම අග්‍ර දෙක අතර ස්පාක් වීමක් සිදු විය හැකියි. එවිට ස්විචය පිලිස්සී යා හැකියි. ස්විචය විතරක් නොවේ, ස්පාක් වීමක් යනු ධාරාව ගමන් කරන අවස්ථාවක් බැවින්, දැන් මුලු පරිපථය හරහාම ක්ෂණික ධාරාවක් ගලා යනවා. එමඟින් එම ධාරාව විශාල නම් උපාංගද පිලිස්සී යා හැකියි. මතක තබා ගන්න මෙම ධාරාව තත්පරයෙනුත් ඉතා කෙටි කාලයක් තුළයි ගමන් කරන්නේ. කාලය කුඩා වුවත් ධාරාව විශාල වීම නිසයි උපාංග පිලිස්සී යා හැක්කේ. මෙවැනි කුඩා කාලයක් තුල ගමන් කරන විදුලිය සර්ජ් හෝ ස්පයික් ලෙස හැඳින්විය හැකියි.
 
කික්බැක් එකේදී චුම්භක ක්ෂේත්‍රය හැකිලීමේදී ඇතිවන විදුලි ධාරාවේ දිශාවද අපට පහසුවෙන් සොයාගන්න පුලුවන්. ඒ සඳහා ලෙන්ස් නියමය යොදන්න. කොයිලයක් හැමවිටම හැසිරෙන්නේ ඒ හරහා භාහිරව යවන ධාරාවට විරුද්ධවාදියෙක් ලෙසයි. ඒ කියන්නේ භාහිර ධාරාව වැඩි වෙන විට, කොයිලය උත්සහ කරන්නේ එම ධාරාවේ වැඩි වීම වැලැක්වීමටයි. එලෙසම, ධාරාව අඩුවන විට, එය බලන්නේ එම ධාරාව අඩු වීම වැලැක්වීමටයි. මෙය තමයි ලෙන්ස් නියමය (තවත් ආකාරයකින්). ඉතිං ස්විචය ඕෆ් කිරීමේදී පරිපථයේ භාහිර විදුලි ධාරාව එකවර වාගේ ඇනහිටී. එවිට, කොයිලය තමන්ගේ ක්ෂේත්‍රයද එකවර හකුලුවා එම අඩු වූ (නැති වූ) ධාරාව පරිපථය තුළ යවන්නට බලනවා. ඒ කියන්නේ කොයිලයේ කික්බැක් ධාරාව දැන් පිහිටන්නේ මුලින් භාහිර ධාරාව තිබූ දිශාවටමයි.


 
සමහරවිට එකවර ස්විචය පිලිස්සී නොගියත්, කිහප වතාවක්ම මෙය සිදුවන විට ස්විචය ක්‍රමයෙන් පිලිස්සී යනවා. වයර්ද, වයර්වල පරිවරණ කොටස්ද ක්‍රමයෙන් අභාවයට යනවා. එකවර හෝ සෙමින් සෙමින් සිදුවුවත් මෙය බරපතල ප්‍රශ්නයක් බව පේනවා නේද? මෙය පරිපථ තුළ සිදු වීම වැලැක්විය යුතුයි. ඒ සඳහා උපක්‍රම කිහිපයක්ම තිබෙනවා. සරලම උපක්‍රමය නම් ඩයෝඩයක් පහත ආකාරයට යෙදීමයි (අප තවමත් ඩයෝඩ ගැන කතා කර නොමැති බැවින් ඉතා කෙටියෙන් මෙය විස්තර කරන්නම්).
 
 
ඩයෝඩයක් යනු එක් දිශාවකට පමණක් විදුලි ධාරාවක් ගමන් කරවන ඉලෙක්ට්‍රොනික් උපාංගයකි. සාමාන්‍යයෙන් පරිපථය ඔන් එකේ තිබෙන විට, විදුලි ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට ඩයෝඩය සවි කෙරේ. එවිට, පරිපථය ඕන් විට, ඩයෝඩය හරහා ධාරාව ගමන් නොකරයි. විදුලිය සාමාන්‍යයෙන් එක තැන වටේට යන්නේ නැත. එය හැමවිටම විදුලි සැපයුමේ ධන සිට ඍණ දක්වායි ගමන් කරන්නේ. එවිට, කොයිලයෙන් යම් ධාරාවක් පහත පෙනෙන ආකාරයට ඩයෝඩය හරහා වටේ යන්නේද නැත. ඒ කියන්නේ ඩයෝඩය එතැන නැහැ වගෙයි පරිපථයට දැනෙන්නේ.
 


එහෙත් දැන් පරිපථය ඕෆ් කරපු අවස්ථාව සලකමු. එවිට, ඉන්ඩක්ටිව් කික්බැක් සිදු වේ ඉහත කියූ ලෙසම. දැන් කොයිලයේ කික්බැක් ධාරාවට සාමාන්‍ය පරිපථය හරහා ගමන් කිරීමට අපහසුවක් තිබෙනවා මොකද ස්විචය ඕෆ් නිසා. එහෙත් එම ධාරාවට දැන් ගමන් කිරීමට තවත් පරිපථයක් (මාර්ගයක්) තිබෙනවා. ඒ තමයි ඩයෝඩය හරහා. මෙතැනදී කොයිලය හරියට බැටරියක් වාගේයි (ඔව් කොයිලය සත්තකින්ම මෙතැනදී ක්‍රියා කරන්නේ බැටරියක් ලෙසයි). එවිට, බැටරියේ අග්‍ර දෙක ඩයෝඩයේ අග්‍ර දෙකට සම්බන්ධව පවතිනවා යැයි සිතිය හැකියි. ඒ විතරක්ද නොවේ; ඩයෝඩය හරහා ධාරාවක් ගලා යා හැකි දිශාව ඔස්සෙ තමයි මෙම කික්බැක් ධාරාව පිහිටන්නේ. ඒ කියන්නේ කික්බැක් ධාරාව ඉතා පහසුවෙන් ඩයෝඩය වටේ ගමන් කරනවා. ඩයෝඩයේ යම් ප්‍රතිරෝධයක් පවතිනවා. ඒ කියන්නේ ඒ හරහා විදුලිය ගමන් කරන විට, තාප උත්සර්ජනය සිදු වෙනවා. එවිට "බැටරිය" (කොයිලයේ ශක්තිය) බසිනවා. සම්පූර්ණයෙන්ම මෙම ශක්තිය නැති වී යනකල්, ඩයෝඩය වටේම මෙම විදුලිය ගමන් කරනවා.
 


මේ විදියට කික්බැක් එක සම්පූර්ණයෙන්ම උදාසීන වී යනවා. ස්විචයට හෝ පරිපථයේ වෙනත් උපාංග හරහා විදුලිය ගලා නොයන නිසා පරිපථය හා ස්විචය ආරක්ෂා වෙනවා. ඉහත ආකාරයට ඩයෝඩය යෙදීම කළ හැක්කේ ඩීසී විදුලියක් සහිත අවස්ථාවකදීය. ඒසී විදුලියක් කොයිලය හරහා ගමන් කරයි නම්, මෙම ක්‍රමය වැඩ කරන්නේ නැත. (ඊට හේතුව එක් තරංග අර්ධයකදී ඉහත විස්තර කළ පරිදි ඩයෝඩය ක්‍රියා කළත්, අනෙක් අර්ධයේදී ඩයෝඩය හරහා ධාරාවක් ගමන් කරනවා පරිපථය ඔන් විටත්. මේ ගැන හරියටම වැටහීමක් ලැබෙන්නේ ඩයෝඩ ගැන ඉගෙන ගත් පසුවයි.) මේ ආකාරයට කික්බැක් එක උදාසීන කරන ක්‍රම කිහිපයක්ම පවතිනවා. ඒ සියලු ක්‍රමවල පොදු ගතිලක්ෂණය වන්නේ පරිපථය ඕෆ් විට, කොයිලයේ කික්බැක් ධාරාවට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් සාදා දීමයි. එසේ විකල්ප මාර්ගය ඔස්සේ "රවුම් ගගා" සිටින විට, එම ශක්තිය ඉබේම වැයවී යනවා (උදාසීන වෙනවා). මෙම අරමුණින් යොදන ඉලෙක්ට්‍රොනික් උපක්‍රමය/පරිපථ කොටස snubber circuit ලෙස හැඳින්වෙනවා (snub යන්නෙහි තේරුම "මොට කරනවා" යන්නයි). මේ සියලු ක්‍රම විස්තරාත්මකව ඩයෝඩ පාඩම සමග ඉදිරිපත් කෙරේ.

Gapped core inductor

අවසාන වශයෙන් තවත් විශේෂිත ආකාරයක ඉන්ඩක්ටරයක් ගැන බලමු. මෙම කොයිලයේ විශේෂත්වය වන්නේ යොදාගන්නා කොර් එකේ යම් තැනක හිඩැසක් (gap) තිබීමයි (පහත රූපය).
 
ඉන්ඩක්ටරයක් සඳහා මෙවැනි කෝර් එකක් යොදන්නේ ඇයි? සාමාන්‍යයෙන් කෝර් එකක් යොදා ගන්නේ පාරගම්‍යතාව වැඩි කිරීමෙන් ඉහල ප්‍රේරණතාවක් ලබා ගැනීමටයි. එහෙත් මෙලෙස යොදන කෝර්වල විවිධ ගැටලු ඉහතදී අප දුටුවා. කෝර් එක සංතෘප්ත වීම (saturation), උෂ්ණත්වය අනුව පාරගම්‍යතාව වෙනස් වීම මේ ගැටලු අතර වූවා. තවත් ප්‍රධාන ගැටලුවක් තමයි H වැඩි කරගෙන යන විට, B අරේඛීයව (non-linear) වැඩි වීම.
 


ඒ කියන්නේ මුලදී H වැඩි කරන විට B යම් වේගයකින් වැඩි වෙනවා. ඉන්පසු ක්‍රමයෙන් මෙම වේගය අඩු වෙනවා. ඒ කියන්නේ විශාල H අගයන්හිදී B හි වැඩි වීම සිදු වන්නේ අඩුවෙන්. තවත් H වැඩි කරගෙන යෑමේදී B තවදුරටත් වැඩි වන්නේ නැති තත්වයකට පත් වෙනවා (සංතෘප්ත අවස්ථාව). ඔබ දන්නවා කෝර් එකේ H අගය වෙනස් වෙන්නේ කොයිලය හරහා යන ධාරාව වෙනස් වූ විටයි (H කොයිලයේ පොටවල් ගණන හා කොයිලයේ දිග අනුව වෙනස් වුවත්, කොයිලය නිර්මාණය කළාට පසු ඒවා විචලනය නොවන නිසා එම සාධක නොසලකා හැරිය යුතුයි; එහෙත් ධාරාව එසේ නොවේ; ධාරාව ඕනෑම විට විචලනය විය හැකියි). ඒ කියන්නේ විචලනය වන ධාරාවක් යවන විට, (සංඥාවේ) ධාරා තරංගයේ විස්තාරයේ විවිධ තැන්වලදී (අරේඛීය B වැඩි වීම නිසා) ප්‍රේරණතාව වෙනස් වෙනවා. මෙය අවසානයේදී සංඥාවේ විකෘති වීමට බලපානවා.

මෙන්න මෙම දෝෂ අවම කිරීමට තමයි ගැප් කෝර් යොදා ගන්නේ. ඔබ දන්නවා වාතයේ පාරගම්‍යතාව ඉතාම අඩුයි. තවද, කෝර් නොමැති (එනම් වාතය කෝර් එක ලෙස යොදාගත්) විට, සංතෘප්ත වීමේ ප්‍රශ්නයද නැත. තවද, H ට සාපේක්ෂව B විචලනය වීම රේඛියව එහි සිදු වෙනවා. එනිසා, කෝර් එකක කුඩා වාත හිඩැසක් (air gap) තැබූ විට, කෝර් එකට මෙම වාතයේ තිබෙන හොඳ ගතිලක්ෂණවල බලපෑම ලැබෙනවා. ඒ කියන්නේ දැන් කෝර් එකේ තිබ්බාට වඩා හොඳ රේඛීය H-B විචලනයක් ලබා ගත හැකියි. එනමුත් හොඳ ගතිගුණ වගේම වාතයේ නරක ගතිගුණත් ඊට හිමි වෙනවා. එනම්, කෝර් එකේ පාරගම්‍යතාව අඩු වී ඉන්ඩක්ටරයේ ප්‍රේරණතාව අඩු වෙනවා. කෝර් එකේ පිහිටුවන ගැප් එකේ විශාලත්වය අනුව වාතයේ බලපෑම කොතෙක් කෝර් එකට ලබා දිය යුතුදැයි තීරණය කරනවා. එනම්, ගැප් එක විශාල නම්, වාතයේ බලපෑම කෝර් එකට වැඩියෙන් දැනෙනවා (ඒ කියන්නේ රේඛීය ක්‍රියාකාරිත්වය තව තවත් වැඩි වන නමුත් ප්‍රේරණතාව තව තවත් අඩු වෙනවා).

යම් කෝර් එකක් ගන්න. එහි H වැඩි කරගෙන යන විට B ද ක්‍රමයෙන් වැඩි වෙනවා (පහත රූපයේ නිල්පාටින් දැක්වෙන වක්‍රයෙන් පෙන්වන්නේ ගැප් එකක් නැති විට H ට සාපේක්ෂව B වෙනස්වන ආකාරයයි). එය යම් කිසි B අගයකදී සංතෘප්ත මට්ටමට පැමිණෙනවා. තවද කෝර් එකෙහි ගැප් එකක් අලුතින් ඇති කළත් මෙම සංතෘප්ත වන B අගය නම් වෙනස් නොවේ. ඒ වෙනුවට H ට සාපේක්ෂව B වෙනස්වන වේගය පමණක් අඩු වේ. එනම්, වක්‍රයේ ස්ලොප් එක අඩු වේ. ගැප් එක විශාල වන්නට වන්නට මෙම වේගය/ස්ලොප් එක අඩු වේ (පහත රූපයේ රතු පාටින් දැක්වෙන වක්‍රයෙන් මෙය නිරූපණය වේ).



ඉහත රූපයෙනුත් පැහැදිලිවම පෙනෙනවා ගැප් එකක් ඇති කිරීමෙන් කෝර් එක සංතෘප්ත වන B අගය ඉහල නොයන බව (බොහෝ අය විශ්වාස කරන්නේ ගැප් එකෙන් සංතෘප්ත වන B අගය ඉහළ දැමිය හැකි බවයි; එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි විශ්වාසයක්). එහෙත් ගැප් එක නිසා විශාල H පරාසයක් අපට ලබා ගත හැකියි කෝර් එක සංතෘප්ත වන්නට පෙර. ඒ කියන්නේ පෙරට වඩා කොයිලය හරහා යැවිය හැකි ධාරා ප්‍රමාණය දැන් වැඩියි (H අගය ධාරාවට සමානුපාතික නිසා).

ඔබගේ පරිපථයේ නිතරම යම් (නියත) ධාරාවක් ගමන් කරනවා යැයි සිතන්න (මිලිඈම්ප් 50ක් ලෙස උදාහරණය සඳහා ගමු). මෙම ධාරාව නිසා ඇතිවන චුම්භකතාව H යැයිද සිතමු. එම පරිපථයේ කොයිලයේ යම් කෝර් එකක් ඇතැයිද සිතන්න. එහෙත් මෙම කෝර් එක ඉහත H අගයේදී සංතෘප්තව පවතිනවා යැයි උපකල්පනය කරමු (පහත රූපයේ කොලපාට වක්‍රය බලන්න). ඒ කියන්නේ මෙම කෝර් එක මෙම පරිපථය සඳහා ගැලපෙන්නේ නැහැ. එක්කෝ ධාරාව අඩු කළ යුතුයි; නැතිනම් කෝර් එක වෙනස් කළ යුතුයි. පරිපථයේ ධාරාව අඩු කිරීම කළ නොහැක්කක් මොකද එය දැනටමත් නිශ්චය කරගත් දෙයක් නිසා. එවිට, ඔබට ඉතිරි වන්නේ මෙම ධාරා ප්‍රමාණයට ඔරොත්තු දෙන, එනම් මෙම ධාරා ප්‍රමාණය නිසා ඇතිවන H අගයට ඔරොත්තු දෙන (සංතෘප්ත නොවන) කෝර් එකක් සොයා ගැනීමයි. එහෙත් මෙලෙස කෝර් එක මාරු නොකර එහි එයාර් ගැප් එකක් ඇති කිරීමෙන්ද එම අරමුණ ඉටු කර ගත හැකියි (නිල්පාට වක්‍රය). කලුපාටින් පෙන්වා තිබෙන්නේ H අගය (ධාරාව) විචලනය වන පරාසයයි. බලන්න මෙම කලුපාටින් පෙන්වා තිබෙන පරාසය තුළ H විචලනය වන විට, ගැප් එකක් නැති කෝර් එක සංතෘප්ත මට්ටම පත් වුවත්, ගැප් එක සහිත විට සංතෘප්ත මට්ටමට පත් නොවේ.
 
 
ප්‍රතිරෝධක දෙකක සමක අගය සොයන ආකාරයටම රිලක්ටන්ස් දෙකක (හෝ කිහිපයක) සමක අගය සෙවිය හැකියි. හැමවිටම වාගේ අපට හමුවන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කළ රිලක්ටන්ස් දෙකකි (සමාන්තරගතවද අවශ්‍ය නම් සම්බන්ධ කළ හැකි බවද මතක තබා ගන්න; එවිට සමාන්තරගතව සම්බන්ධ කළ ප්‍රතිරෝධක දෙකක සමක අගය සොයන ආකාරයට සමක රිලක්ටන්ස් අගය සෙවිය යුතුය). ඒ අනුව, ශ්‍රේණිගතව සම්බන්ධ කළ රිලක්ටන්ස් දෙකක සමක රිලක්ටන්ස් එක වන්නේ,

සමක රිලක්ටන්ස් අගය = රිලක්ටන්ස් 1 + රිලක්ටන්ස් 2

තව දුරටත් ගැප් එක ගැන විමසා බලමු. ගැප් එක ගැන පැහැදිලි කර ගැනීමට තිබෙන පහසුම ක්‍රමය නම්, එය සරල විදුලි පරිපථයක් සමග සංසන්දනය කිරීමයි. පහත රූපයේ (A) බලන්න. මෙහි ඕම් 4ක රෙසිස්ටරයක් ඇත (රූපයේ ඕම් යන ඒකකය වෙනුවට Volt/Amp යන සංයුක්ත ඒකකය යොදාගෙන ඇති බව සලකන්න; R = V/I නිසා මෙම ඒකකය ලැබේ). සිතන්න මෙම ධාරා ප්‍රමාණය ඇම්පියර් 2ක් දක්වා අඩු කළ යුතුයි කියා. එ් සඳහා ඔබට හැකියි තවත් රෙසිස්ටරයක් ශ්‍රේණිගතව යොදන්න. ධාරාව ඇම්පියර 2ක් නම්, ඕම් 4 රෙසිස්ටරය හරහා එම ධාරා ප්‍රමාණය ගමන් කරන විට, රෙසිස්ටරය දෙපස වෝල්ට් 2x4 = 8 ක් රැඳේ. එවිට ඉතිරි වෝල්ට් 12 – 8 = 4 ඩ්‍රොප් වීමට අලුතින් එකතු කළ යුතු රෙසිස්ටරයේ අගය විය යුත්තේ 4/2 = 2 ohm වේ. මෙම නව පරිපථය (B) වලින් පෙන්වයි

 

මේ ආකාරයටම හොප්කින්සන්ස් ලෝ එක අනුව චුම්භක පරිපථයක් ගැන විමසමු (චුම්භක පරිපථයක් යනු චුම්භකගාමක බලයක් හේතුවෙන් යම් මාධ්‍යයක් ඔස්සේ චුම්භක ස්‍රාවය ගමන් කරන සංවෘත පථයකි; විශ්ලේෂණ අවශ්‍යතා සඳහා පමණයි චුම්භක පරිපථ යොදා ගන්නේ). දැන් පහත රූපයේ (A) හි දැක්වෙන ගැප් එක නැති කෝර් එක ගැන සිතමු. මෙහි කොයිලය විසින් ඇති කරන mmf අගය ඇම්පියර්-ටර්න් (At) 12ක් ලෙස දක්වා ඇත. මෙම චුම්භකගාමක බලය නිසා ඇතිවන චුම්භක ස්‍රාවය කෝර් එක දිගේ ගලාගෙන යයි. කෝර් එකේ රිලක්ටන්ස් එක "වෙබර් එකට ඇම්පියර් ටර්න්" (At/Wb) 4කි. ඒ අනුව මෙම චුම්භක පරිපථයේ (magnetic circuit) ගලා යන චුම්භක ස්‍රාවය (ϕ) වෙබර් 3කි (mmf = ϕ x R යන සූත්‍රය අනුව). ඉලෙක්ට්‍රික් පරිපථයේදී කළා සේම, උපකල්පනය කරමු මෙම ස්‍රාව ප්‍රමාණය 2 දක්වා අඩු කළ යුතුයි කියා. එවිට, ඉලෙක්ට්‍රික් පරිපථයට පිටතින් ශ්‍රේණිගතව රෙසිස්ටරයක් සවි කළා මෙන්, චුම්භක පරිපථයට පිටතින් ශ්‍රේණිගතව යම් රිලක්ටන්ස් අගයක් ඇතුලු කළ යුතුයි. එම රිලක්ටන්ස් අගය ගණනය කරමු.



අලුතින් තිබිය යුතු ස්‍රාව ප්‍රමාණය 2 නිසා, එම ස්‍රාවයෙන් කෝර් එකේ රිලක්ටන්ස් එකෙන් ගුණ කළ විට, (2 x 4 =) 8 ලැබේ. එවිට, ඉතිරි 12-8=4 අගය සඳහා අලුතින් රිලක්ටන්ස් අගයක් ශ්‍රේණිගතව ඇතුලු කළ යුතු වෙනවා. මෙම රිලක්ටන්ස් එක ඇති කරන්නේ ගැප් එක මඟින්ය. ඉතිං මෙම ගැප් එකේ තිබිය යුතු රිලක්ටන්ස් අගය වන්නේ 4/2 = 2 වේ. දැන් ඔබ ගණනය කර හමාරයි ගැප් එකේ තිබිය යුතු රිලක්ටන්ස් අගය. ඉලෙක්ට්‍රිකල් පරිපථයේදී නම්, එම අගයෙන් යුත් ප්‍රතිරෝධකයක් සවි කිරීමෙන් එය ප්‍රායෝගිකව සිදු කළ හැකියි. එහෙත් චුම්භක පරිපථයේදී එලෙස ඔබට අවශ්‍ය අගයන් සහිත "රිලක්ටන්ස් උපාංග" ලබා ගත නොහැකියි. එවැනි උපාංග වර්ගයක් නැත. ඒ වෙනුවට සිදු කරන්නේ එම අවශ්‍ය රිලක්ටන්ස් අගය ලැබෙන පරිදි ගැප් එක සකස් කර ගැනීමයි.

ඉහත රූපයේ චුම්භක ස්‍රාවය ගමන් කරන මාධ්‍ය දෙකක් දැන් තිබෙනවා - කෝර් එක හා වාතය. ඒ අනුව එම දෙකෙහි වෙන වෙනම රිලක්ටන්ස් දෙකක් තිබෙනවා. මෙම දෙකෙහි සමක අගය සෙවිය හැකියි reluctance = l/uA යන සූත්‍රය ශ්‍රේණිගත රිලක්ටන්ස් කිහිපයක සමක අගය සොයන සූත්‍රයට ආදේශ කරමින්. වාත ගැප් එකේ ක්ෂේත්‍රඵලය වන්නේද කෝර් එකේ ක්ෂේත්‍රඵලයමයි. එනිසා,

සමක රිලක්ටන්ස් අගය = (කෝර් එකේ රිලක්ටන්ස් එක) + (වාත ගැප් එකේ රිලක්ටන්ස් එක)

සමක රිලක්ටන්ස් අගය = lc/(uru0A) + lg(u0A) = (lc/ur + lg)/u0A

ඉහත (අවසානයේ පෙන්වන) සූත්‍රය අනුව, කෝර් එකේ දිග කෝර් එකේ සාපේක්ෂ පාරගම්‍යතාවෙන් බෙදේ. සාමාන්‍යයෙන් මෙම සාපේක්ෂ පාරගම්‍යතාව දහස් ගණනක අගයකි. එනිසා lc/ur යන කොටස ඉතා කුඩා අගයක් බවට පත් වේ. බොහෝ අවස්ථාවලදී lc/ur << lg වේ.

වාත ගැප් එක නිසා කොයිලයේ ඉන්ඩක්ටන්ස් එක අඩු වන බව ඔබ දැන් දන්නවා. මීට හේතුව වාතයේ තිබූ ඉතා අඩු පාරගම්‍යතාවේ බලපෑමයි. ඒ කියන්නේ කෝර් එකේ පාරගම්‍යතාව හා වාතයේ පාරගම්‍යතාව යන දෙකෙහිම බලපෑම දැන් කොයිලයට තිබෙනවා. එනිසා, ඔබට පුලුවන් දැන් පහසුවෙන්ම මෙම විවිධ ද්‍රව්‍ය දෙකෙහිම පාරගම්‍යතා දෙකේ සමක අගය පහත ආකාරයට ගණනය කරන්නට.



මෙම සමක පාරගම්‍යතා අගය යොදා ගන්නවා නම්, ඔබට අමුතුවෙන් මාධ්‍ය දෙක ගැන වෙන වෙනම සැලකීමට අවශ්‍ය නැහැ. මෙම uT පාරගම්‍යතාව තනි මාධ්‍යයක් ලෙස සලකා කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉහත සූත්‍රයේ lg වැඩි කරගෙන යන විට, uT අගය අඩු වේගෙන යන බව තේරුම් ගන්න. ඒ කියන්නේ වාත ගැප් එක විශාල වන්නට වන්නට සමක පාරගම්‍යතාව අඩු වේ.

බොහෝ අවස්ථාවලදී වාත ගැප් එක කෝර් එකට සාපේක්ෂව කුඩා වුවත්, එම කුඩා ගැප් එකේ රිලක්ටන්ස් එක විශාල කොර් එකේම රිලක්ටන්ස් එකට වඩා ඉතා විශාල බව මතක තබා ගන්න. ඒ කියන්නේ කෝර් එකේ රිලක්ටන්ස් එක නොසලකා හැරිය හැකියි. Rgap >> Rcore විට, ගැප් එකේ රිලක්ටන්ස් එක දළ වශයෙන් කෝර් එකේ රිලක්ටන්ස් එක ලෙස ගත හැකියි.

සම්පූර්ණ කොයිලය තුළ ගබඩා කර ගන්නා ශක්ති ප්‍රමාණය 0.5LI2 යන සූත්‍රයෙන් ගණනය කළ හැකි බව පෙර සඳහන් කළා. කොයිලයක ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය ගණනය කළ හැකි තවත් සූත්‍රයක් තිබෙනවා.

කොයිලයේ ගබඩා වන ශක්තිය = 0.5(කොයිලයේ රිලක්ටන්ස් එක)(චුම්භක ස්‍රාවය)2
W = 0.5Rϕ2

අපට මෙම අවස්ථාවේදී මෙන්න මෙම සූත්‍රය තමයි ප්‍රයෝජනවත් වන්නේ. පළමු සූත්‍රයෙන් ඔබට මුලු කොයිලයේම ගඩබා කරන ශක්තිය එකවරම ගණනය කළ හැකි වුවත්, විවිධ පාරගම්‍යතා හෝ රිලක්ටන්ස් ඇති විට එම සූත්‍රය ප්‍රයෝජනවත් බව නැති වෙනවා. එවිට දෙවැනි සූත්‍රය තමයි යොදා ගත හැක්කේ. එක් එක් රිලක්ටන්ස් එක සඳහා ඉහත සූත්‍රය වෙන වෙනම යෙදිය හැකියි. උදාහරණයක් ලෙස, සාමාන්‍ය ෆෙරයිට් කෝර් එකේ වාත ගැප් එකක් ඇති අවස්ථාව ගමු. මෙවිට ෆෙරයිට් මාධ්‍යය හා වාතය වෙන වෙනම රිලක්ටන්ස් (පාරගම්‍යතා) දෙකකි. එවිට, වාත ගැප් එකට ඉහත සූත්‍රය යෙදීමෙන් එම කොටසේ ගබඩා වන ශක්ති ප්‍රමාණය ගණනය කළ හැකියි පහත ආකාරයට. එකම ෆෙරයිට් කෝර් එක තුළ වාත ගැප් එක පවතින නිසා, මෙම මාධ්‍ය දෙක හරහාම ගලා යන්නේ එකම චුම්භක ස්‍රාවයයි.

වාත ගැප් එකේ ගබඩා වන ශක්තිය = 0.5(වාත ගැප් එකේ රිලක්ටන්ස් එක)(චුම්භක ස්‍රාවය)2

එලෙසම ෆෙරයිට් කොටසේ ගබඩා වන ශක්තියද ගණනය කළ හැකියි.

0.5(ෆෙරයිට් එකේ රිලක්ටන්ස් එක)(චුම්භක ස්‍රාවය)2

මෙම ශක්ති දෙකෙහි එකතුව තමයි කොයිලයේ සම්පූර්ණ ගබඩා වී තිබෙන ශක්තිය වන්නේ. එනම්,
W = 0.5LI2 = 0.5Rgapϕ2 + 0.5Rferriteϕ2

ඉහත ආකාරයට වෙන වෙනම ශක්තිය ගණනය කිරීම නේද ඔබ ඉලෙක්ට්‍රිකල් පරිපථයේදීත් සිදු කරන්නේ? එනම්, ප්‍රතිරෝධක කිහිපයක් ඇති විට, ඒ එක් එක් ප්‍රතිරෝධකයේ උත්සර්ජනය වන ශක්තින් වෙන වෙනම RI2 සූත්‍රය අනුව ගණනය කර, ඒ සියලු ශක්තින් එකතු කළ පසු ඔබට මුලු පරිපථයේම ශක්ති උත්සර්ජනය ලැබෙනවා.

Rgap >> Rcore විට, ඉහත සූත්‍රය අනුව (ගැප් එකේ ශක්තිය) >> (කෝර් එකේ ශක්තිය) වේ. එනිසා, දළ වශයෙන් කොයිලයේ මුලු ශක්තියම වාත ගැප් එකේ ශක්තියට සමාන කළ හැකියි. ඒ කියන්නේ කොයිලයේම ශක්තිය වාත ගැප් එකේ ගබඩා වී තිබේ. මෙය අපූරු තත්වයක් නේද? මුලු කොයිලයේම ශක්තිය කුඩා වාත කුහරය තුළ පවතිනවා.


පෙරදී ගත් උදාහරණය තවදුරටත් සලකා බලමු. එම උදාහරණයට අදාල රූපය නැවත පහත දැක්වේ.


reluctance = l/uA යන සූත්‍රය භාවිතා කරමින් ඔබට පුලුවන් ගැප් එකේ දිග (lg) සොයන්න (න්‍යායාත්මකව). ඔබට අවශ්‍ය රිලක්ටන්ස් අගය දැන් ඔබ දන්නවා (ඉහත උදාහරණයේදී එය 2කි). දැන් ඔබට තීරණය කිරීමට සිදු වෙනවා ගැප් එක පිරවිය යුතු මාධ්‍යය. එහි කිසි තර්කයක් නැහැ; අමුතුවෙන් කිසිදු මාධ්‍යයක් එහි නොතබා කෙලින්ම වාතය තිබෙන්නට හරින්න (වාතය සංතෘප්ත නොවීම හා එහි රේඛිය හැසිරීම යන වටිනා ගුණාංග නිසා). ඔබ දන්නවා වාතයේ පාරගම්‍යතාවත් (වෙනත් අමුතු මාධ්‍යයක් භාවිතා කරන්නේ නම්, එම මාධ්‍යයේ පාරගම්‍යතාව දැනගන්න). එවිට ඔබට ඉතිරි වන්නේ ගැප් එකේ දිග (ඉහත රූපයේ lg වලින් එය නිරූපණය වේ) හා හරස්කඩ වර්ගඵලයයි (ඉහත රූපයේ a වලින් දැක්වේ). හරස්කඩ වර්ගඵලයද අමුතුවෙන් වෙනස් කරන්නට බැහැ මොකද එය දැනට පවතින කෝර් එක මත තීරණය වන්නක්. ඒ අනුව, අපට අවසානයේ ඉතිරි වන්නේ ගැප් එකේ දිග පමණයි. ඉහත උදාහරණය සඳහා එය ගණනය කරමු. වාතයේ පාරගම්‍යතාව 4π x 10-7 වන අතර, හරයේ හරස්කඩ ක්ෂේත්‍රඵලය (a) වර්ගමීටර් 0.000025 යැයි සිතමු (පැත්තක දිග මිලිමීටර් 5 බැගින් වූ සමචතුරස්‍රයක්).

2 = l/((4π x 10-7)x(0.000025)) → l = 6.2831×10⁻¹¹ මීටර්

ඉහත අගය ඉතාම කුඩාය. ඊට හේතුව මෙම උදාහරණයට ලබා දී තිබෙන්නේ ප්‍රායෝගිකව පවතින අගයන් නොව පහසුවෙන් ගණනය කර දැක්වීමට පමණක් ලබා දුන් අගයන් නිසාය. කෙසේ හෝ වේවා, ඔබ දැන් දන්නවා ගණනය කරන අයුරු. එහෙත් ඉහත අගය න්‍යායාත්මකව නිවැරදි වුවත්, ප්‍රායෝගිකව තවත් සාධක කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදු වෙනවා. එකක් නම්, ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් කෝර් ලබා ගත නොහැකියි. තවත් ප්‍රායෝගික කරුණක් නම්, ඔබට ඕනෑම ප්‍රමාණයක ගැප් එකක් කොර් එක තුළ සෑදිය නොහැකි වීමයි. ගැප් එක ඉතා කුඩා වූ විට කුඩා H පරාසයක් අපට ලැබේ; ගැප් එක ඉතා වැඩි විට කොයිල් කම්බි එතීමට ඉඩ අවම වේ. මේ අනුව, ඒ ඒ කෝර් එක අනුව උපරිම ගැප් දිගක් (lg) තිබෙන බව පැහැදිලියි නේද?

ඉහත ගණනය කිරීම්වලදී සමහර ප්‍රායෝගික කරුණු නොසලකා ඇති බව මා පෙන්වා දුන්නා. තවත් එවැනි නොසලකා හැරි සාධකයක් තමයි චුම්භක ස්‍රාවයෙන් කොටසක් ඒකාකාරව නොවී (හෝ පිට පැන) ගමන් කිරීම. එය flux fringing යන නමින් හැඳින්වෙනවා. පහත රූපයේ සරලව ෆ්ලක්ස් ෆ්‍රින්ජිං පෙන්වා තිබෙනවා.
 

 
(නැවතත් මා සඳහන් කරනවා අවසානයේ ගැප් එකේ දුර ගණනය කරපු ආකාරය ප්‍රායෝගිකව නිවැරදි නොවේ. මේ ගැන වැඩි විස්තර පසුවට නැවත සඳහන් කෙරේ.)


ඉලෙක්ට්‍රෝනික්ස් (electronics) ...

No comments:

Post a Comment